ඔසප්වීම හෙවත් ආර්තවය

සිංහල විශ්වකෝෂය වෙතින්
16:10, 6 නොවැම්බර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Menstruation). ඔසප්වීම වනාහි වැඩිවිය පැමිණි කාලයේ සිට ආර්තවාභාවය (menopause) (බ.) දක්වා, නියම අතර කාලයන්ගෙන් යුතුව, නැවත නැවතත් සිදුවන, යෝනිවිසර්ජයකින් අවසන් වන, සංකීර්ණ විපර්යාස මාලාවකි.

සාමාන්‍යයෙන් මෙම අතර කාලය දින 28-30ක් පමණ වේ. එහෙත් ඒ ඒ ස්ත්‍රීන් කෙරෙහි ද, එක ම ස්ත්‍රිය කෙරෙහි කලින් කල ද එය වෙනස් විය හැකිය.

ඔසප්වීම වැඩිවිය පැමිණීමේ දී ආරම්භ වේ. ප්‍රථමයෙන් මල්වර වන වයස ඒ ඒ රටවල වෙනස් වේ. අප රට වැනි ඝර්මකලාපික රටවල එය සිදුවන්නේ වයස අවුරුදු 12-14 අතර කාලයෙහිය. ස්ත්‍රියකගේ ගර්භිණීකාලය තුළ හැර ප්‍රජනන කාලය මුළුල්ලෙහි ම ආර්තවචක්‍රය (menstrual cycle) පැවතී, වයස අවුරුදු 45-55 අතර කාලයේ දී එය අවසන් වේ. ඊට ආර්තවාභාවය යයි කියනු ලැබේ. මෙය ද ප්‍රදේශ තත්වයන් අනුව කලින් හෝ ප්‍රමාදව සිදු වේ.

ඔසප් රුධිරය වනාහි අන්තෝමාතෘකයෙන් හෙවත් ගර්භක්ෂේත්‍රයෙන් (endometrium) නික්මෙන්නකි. අන්තෝමාතෘකය කිසිවිටෙකත් ක්‍රියා විරහිතව නොපවතී. එහි සිදුවන විපර්යාස අවස්ථා (phases) සතරකින් යුක්ත වේ.

1. ප්‍රත්‍යුත්පාදක (regenerative)

2. ලියලන (proliferative)

3. ස්‍රාවීය (secretory)

4. ආර්තව (menstrual) යනුවෙනි.

ආර්තව චක්‍රය අනියත වශයෙන් පූර්ව පිටියුටරි ගොනැඩොට්‍රොපික හෝමෝනයන්ගෙන් (anterior pituitary gonadotrophic hormones) ද නියත වශයෙන් ඊස්ට්‍රස්ජනක (oestrogen) සහ ප්‍රොජෙස්ටෙරෝන් (progesterone) ඩිම්බාධාර හෝමෝනයන්ගෙන් (ovarian hormones) ද පාලනය වේ.

1. ප්‍රත්‍යුත්පාදක අවස්ථාව

මෙම අවස්ථාව ඔසප්වීම නතර වූ විගස ම ආරම්භ වී දෙදිනක් තුළ පවතී. අන්තෝමාතෘකයේ ශේෂ වූ ග්‍රන්ථි සහ ස්ට්‍රොමා සෛල (stroma cells) බහුල වේ. වැගුරුණු ලෙස තුවාළයක් සුව වීමේ දී මෙන් අවශෝෂිත වේ; අන්තෝමාතෘකය නැවත ප්‍රකෘතිමත් වේ.

2. ලියලන අවස්ථාව

ඔසප්වීම නතර වීමෙන් පසු දෙදිනකින් පමණ ආරම්භ වී, (ආර්තවයට තුදුස් දිනකට පෙර) ඩිම්බනීහරණය (ovulation) සිදුවන තෙක් පවතී. මේ කාලය තුළ සිදුවන අන්තෝමාතෘකයේ වර්ධනයට ඊස්ට්‍රස්ජනක හේතු වේ.

3. ස්‍රාවීය අවස්ථාව

මේ පූර්ව ආර්තව අවස්ථාව ඩිම්බනීහරණයෙන් පසු ආරම්භ වේ. මේ අවස්ථාවේ දී ඩිම්බාධාරයෙහි වූ පීත කලේවරය (corpus luteum) මගින් නිපදවනු ලබන ප්‍රොජෙස්ටෙරෝන් එවිටමත් ඊස්ට්‍රස්ජනක අනුබලයෙන් වර්ධනය වන අන්තෝමාතෘකය තවදුරටත් වැඩෙන්නට සලස්වයි. අන්තෝමාතෘක ග්‍රන්ථි ප්‍රමාණයෙන් අධික වේ. එහි ග්ලයිකොජන් (glycogen) ප්‍රමාණය ද වැඩි වේ. කෘශලක (capillaries) රුධිරයෙන් ව්‍යාතිත වේ. කුඩා රක්තමාවෝ (heamatoma) අපිච්ඡදය (epithelium) යට සෑදෙත්. එයින් රතුවන් ලෙයින් පිරි පෘෂ්ඨයක් නිපදේ. මේ ඝන මෘදු වාහිනික (vascular) පටලය සංසේචිත ඩිම්බය (fertilized ovum) පිළිගැනීම් වස් පුදුමාකාර ලෙස සකස් වී ඇත. සංසේචනය සිදු නොවී නම්, ඩිම්බය මිය යයි; පීතකලේවරය සිඳී බිඳී යයි; ඊස්ට්‍රස්ජනක සහ ප්‍රොපේස්ටෙරෝන් ස්‍රාවය පහළ බසියි; අන්තෝමාතෘකය පිරිහීම් ලක්ෂණ දක්වයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් විශල්කනය (desquamation) සහ ලෙය ගැලීම සිදු වේ.

4. ආර්තව අවස්ථාව

රුධිර විසර්ජය දින 3ක් හෝ 4ක් පවතී. සාමාන්‍යයෙන් ස්ත්‍රියකගේ මල්වරයේ සිට ආර්තවාභාවය දක්වා සෑම දින 28කින් 30කින් සිදුවන මෙය ආර්තව චක්‍රයේ අවසාන අවස්ථාව වේ. සංසේචිත ඩිම්බයක් පිළිගැනීමට පෙර ත්‍රිවිධ අවස්ථාවන්හි කරන ලද සකස්වීම් නුවුවමනා වී නම්, එය බැහැර කරනු ලැබේ. අන්තෝමාතෘකයේ මතු කොටස කෘශලකයන්ගෙන් වහනය වන රුධිරය සමග ඉවත ලනු ලැබේ. සංසේචිත නොවූ ඩිම්බය ද එසේ ම පහවේ.

ඊස්ට්‍රස්ජනක සහ ප්‍රොජෙස්ටෙරෝන් ආර්තව චක්‍රය කෙරෙහි බලපෑම

ඊස්ට්‍රස්ජනක පූර්ව පිටියුටරියේ කූප උත්තේජක හෝමෝනයේ (follicle stimulating hormone - F.S.H.) පාලනය පිට අන්තෝමාතෘකය සශ්‍රීක ලෙස ලියලන්ට සලස්වයි. තවද පයෝධරයන්ගේ, යෝනි අපිච්ඡදයේ සහ ග්‍රීවාග්‍රන්ථින්ගේ (cervical glands) ක්‍රියාකාරිත්වය කෙරෙහි ද බලපානු ඇත. ප්‍රොජෙස්ටෙරෝන්, එනම් පීත කලේවරය මගින් නිපදවනු ලබන හෝමෝනය, පූර්ව පිටියුටරි ග්‍රන්ථියේ පීත්‍යකාරක හෝමෝනයේ (luteinizing hormone) පාලනය අනුව ආර්තව චක්‍රයේ දෙවෙනි දෙසතිය තුළ වූ ස්‍රාවීය අවධිය කෙරෙහි බලපවත්වයි. එහෙත් ඊස්ට්‍රස්ජනකයන්ගේ ක්‍රියාවට භාජන වූ පටක කෙරෙහි ම ප්‍රොජෙස්ටෙරෝන් හෝමෝනය බලපානු ඇත.

ආර්තව අක්‍රමතා

(1) අනාර්තවය (amenorrhoea), (2) දුෂ්කෘත්‍යමය ගර්භාශ රක්තපාතය (dysfunctional uterine bleeding) හා (3) දුරාර්තවය (dysmenorrhoea) යනුවෙන් ත්‍රිවිධය.

1. අනාර්තවය

අනාර්තවය යනු ඔසප් නොවීමයි. ඔසප් ජීවිතයේ ආර්තව චක්‍ර දෙකක් හෝ වැඩි ගණනක් තුළ ඔසප් නොවී නම් ස්ත්‍රිය අනාර්තවයෙන් පෙළෙතැයි කියනු ලැබේ. මේ තත්ත්වය රෝග ලක්ෂණයක් පමණි. එය ම රෝගයක් නොවේ.

අනාර්තවය ප්‍රාථමික සහ ද්විතීයික වශයෙන් දෙයාකාර වේ. ප්‍රාථමික යනු ජීවිත කාලය තුළ කිසි විටකත් ඔසප් වී නොමැති බවය. ද්විතීයික යනු ඔසප් වීම කලින් තිබී නතරවීමය.

අනාර්තවය මෙසේ වර්ග කළ හැකිය:

(අ) ගුප්තාර්තවය (cryptomenorrhoea)

(ආ) තථ්‍ය අනාර්තවය (true amenorrhoea).

(අ) ගුප්තාර්තවය

ආජන්මජ අසාමාන්‍යතාවක් වූ මේ තත්ත්වයේ දී යෝනි මුඛය කුමාරිච්ඡදයට (hymen) යන්තම් ඉහළින් නොයෙක් විට පටලයකින් වැසී පවතී. එය අඡිද්‍ර යෝනිය (imperforate vagina) නමින් හැඳින්වේ. කුමාරිච්ඡදය හැමවිට ම ඇත. එහෙත් කිසිවිටකත් අඡිද්‍ර නොවේ. වැඩිවිය පැමිණි පසු ඔසප් රුධිරය යෝනිය තුළ නතර වේ. එය ගුප්තාර්තවය නම් වේ. මෙම රුධිරය එකතු වී යෝනිය ව්‍යාතනය කෙරේ. රක්ත කංචුව (haematocolpos) නම් වූ ඊට ප්‍රතිකාරයක් නොකරන ලද නම් කලක් ගත වූ පසු යෝනියේ පීඩනය වැඩි වේ. ගර්භාශය ව්‍යාතිත වේ. රුධිරය පැලෝපියන් නළ තුළට වෑස්සී ගියේ නම් රක්ත කාහලිකාවක් (heamato-salpinx) සිදු කෙරේ. මෙය ඉතා සෙමින් සිදුවන්නකි. මාස්පතා ඇති වන ඔසප් රුධිරය අවුන්ස කිහිපයක් වුවත් අතර කාලයේ දී තරලය තරමක් අවශෝෂිත වේ. ශේෂය සාන්ද්‍ර වූ (concentrated), ඝන වූ, මඳක් දුඹුරු වර්ණ වූ, තාර වැනි ද්‍රව්‍යයකට පරිවර්තනය වේ.

ඔසප් රුධිරය නික්මීමක් නොමැති වුවත් මසකට වරක් උදර වේදනාව, පිට කැක්කුම සහ සනීප මඳ ගතිය ආදියෙන් පෙළුණු බව රෝග ඉතිහාසය පිළිබඳව ප්‍රශ්න කිරීමෙන් දත හැකිය. භගය (vulva) පරීක්ෂා කිරීමේ දී නෙරා පිහිටි පටලය විද්‍යමාන වන හෙයින් නිර්ණය කිරීම පහසු වේ.

පටලය ඡේදනය කොට ඇතුළත දැය බැස යෑමට සැලැස්වීමෙන් ඊට ප්‍රතිකාර කරනු ලැබේ.

(ආ) තථ්‍ය අනාර්තවය

මෙය පහත දැක්වෙන භෞතවේදීය අවස්ථාවන්හි දී ඇති වේ.

වැඩිවිය පැමිණීමට පෙර

ඔසප්වීම සාමාන්‍යයෙන් වයස අවුරුදු 12-14 අතර ආරම්භ වේ. ඩිම්බාධාරයෙහි ඊස්ට්‍රස්ජනක කාර්‍ය්‍යය ඊට කලින් ආරම්භ වුවත්, රුධිරයෙහි ඊස්ට්‍රස්ජනක මට්ටම අන්තෝමාතෘකයෙන් ලෙය වහනය සිදු කිරීමට තරම් පළමුවෙන් ඉහළට නොනඟින බැවින් එය සිදුවන තෙක් අනාර්තවය පවතී.

ගර්භිණී කාලය තුළ

අනාර්තවය මුළු ගර්භිණී කාලය තුළ සාමාන්‍යයෙන් පවතී. ප්‍රාවර පතනශීලය (decidua capsularis) සහ තථ්‍ය පතනශීලය (decidua vera) ගර්භිණී කාලයේ 12 වැනි සතියේ දී එකිනෙකට හාවන තෙක් ඒවා අතර කුහරයක් ඇති වේ. ඇතැම් විට ගර්භිණී කාලයේ පළමු සති දොළස තුළ ඉන් රුධිර වහනයක් ද සිදුවිය හැක.

ක්ෂීරණ සමය තුළ

මෙම කාලය තුළ ඔසප්වීම සාමාන්‍යයෙන් සිදු නොවන නමුත් කිරිවැරීමෙන් සති ස්වල්පයකට පසු එය නැවත ආරම්භ වේ. සියයට 30 දෙනකුගේ පමණ ඔසප් වීම ක්ෂීරණ සමය තුළ දීම ආරම්භ වේ. ඩිම්බනීහරණය සහ පීත කලේවරය සෑදීම ද සාමාන්‍ය ලෙස පවතී.

ක්ෂීරණ සමයේ දී ප්‍රොලැක්ටින් (prolactin) හෙවත් ලූටියොට්‍රොපින් (luteiotropin) හෝමෝනය පූර්ව පිටියුටරිය මගින් බහුල වශයෙන් ස්‍රාවය කරනු ලැබේ. ආර්තවය පාලනය කරන සියලු ම හෝමෝන ද මේ කාලය තුළ පවතී. වැඩිදෙනකුගේ ඩිම්බනීහරණය සහ ආර්තවය සිදු නොවීමට හේතුව පීත්‍යකාරක හෝමෝනය නිපැදීම අඩුවීමත් කූප උත්තේජක හෝමෝනය සහ පීත්‍යකාරක හෝමෝනය අතර අනුපාතය ව්‍යාකුල වීමත්ය. එයින් ඩිම්බනීහරණය වළකී. එහෙත් නොබිඳුණු ග්‍රාප කූපයෙන් ඊස්ට්‍රස්ජනක තරමක් නිපදවීම නොවළකී.

ආර්තවාභාවයෙන් පසු

ආර්තවාභාවයේ දී ඩිම්බාධාර කෘත්‍යය භෞතවේදීය වශයෙන් නතර වීමත් හා සමඟ ඔසප්වීම ද නතර වේ. මේ කාලයේ දී ඩිම්බාධාරයෙහි සක්‍රිය කූප නොමැති බව පරීක්ෂණවලින් දත හැකිව තිබේ. ඩිම්බාධාරය මගින් ඊස්ට්‍රස්ජනක නිපැදීම නතරවීමත් සමඟ පිටියුටරි ග්‍රන්ථියෙන් කූප උත්තේජක හෝමෝනය ඇතැම් විට අධික ලෙස නිපදේ. එය ආර්තවාභාවයේ දී ඇතිවන හදිසි (මුහුණ) රතුවීම් ආදියට හේතු විය හැකිය.

ආර්තවාභාව අනාර්තවය සාමාන්‍යයෙන් වයස අවුරුදු 48-52 අතර සිදු වේ. එහෙත් ඇතැම් ස්ත්‍රීන්ගේ ආර්තවාභාවය ඊට අවුරුදු කීපයකට කලින් සිදු වේ.

අනාර්තවයට හේතු වන ව්‍යථවේදීය කරුණු පහත දැක්වේ.

ගර්භාශය

මෙය වර්ධනය වීමේ දී අනේකවිධ දෝෂ ඇතිවිය හැකිය. ආජන්මජ දෝෂ බරපතළ වූ විට අනාර්තවය ඇති වේ.

අන්තෝමාතෘකයෙහි මූලික වශයෙන් අඩුපාඩුවක් තිබේ නම් හෝ එය සෑදී නොමැති නම්, ඊස්ට්‍රස්ජනක සංයෝගයක් මගින් එය නිර්ණය කළ හැකිය. දින 21ක් තුළ සංයෝගය දී නතර කළ පසු දින 7-10කින් පමණ ලේ යෑමක් සිදු නොවී නම්, එය අන්තෝමාතෘකයෙහි දොසක් විය හැකිය. ලේ යෑමක් සිදු වේ නම් අනාර්තවයට හේතුව ඩිම්බාධාරයන්ගෙන් වන උත්තේජනය අඩුවීමය.

මේ රෝගීන්ගේ ද්විතීය ලිංගික ලක්ෂණ ප්‍රකෘති ලෙස වර්ධනය වී තිබේ නම්, ඩිම්බාධාර කෘත්‍යය සාමාන්‍ය ලෙස පවතින බවත්, ඔසප් නොවීම සම්පූර්ණයෙන් පාහේ ගර්භාශයික හේතුවකින් සිදුවන බවත් හඟවයි.

ඩිම්බාධාරය

ඩිම්බාධාරයේ බොහෝ ස්ථානික රෝග අනාර්තවයට හේතු නොවේ. චිරස්ථායී අනාර්තවය සිදු කිරීමට නම් ඩිම්බාධාර ද්වයෙහි ම ඩිම්බාධාර පටක සියල්ලක් ම විනාශ විය යුතුයි. එය සිදුවන්නේ ඉතා කලාතුරකිනි.

X කිරණ හෝ රේඩියම් මගින් ආදි ම කූප විනාශ කිරීම අනාර්තවයට හේතු වේ. ආර්තවරීතයට හෙවත් ප්‍රදරයට (menorrhagia) ප්‍රතිකාර කිරීමේ දී කෘත්‍රිම ආර්තවාභාවයක් සිදු කිරීමට මේ ක්‍රමය සමහර විට චිකිත්සීය වශයෙන් යොදනු ලැබේ.

ඩිම්බාධාර ද්වය ශල්‍ය කර්මයෙන් සම්පූර්ණයෙන් ඉවත් කිරීමෙන් ද අනාර්තවය සිදු වේ.

පිටියුටරිය

පිටියුටරි ග්‍රන්ථිය ස්වාභාවික ලෙස වර්ධනය නොවූ විට මිටි බව, අනාර්තවය, ලිංගික වර්ධනයේ ඌනතාව ආදිය ඇති වේ. කූප උත්තේජක හෝමෝනය නිපදවීම සිදු නොවේ. නැතහොත් අඩු වේ. ඊස්ට්‍රස්ජනක ද මූත්‍රවල ඇති නොවේ.

ආගන්තුක හේතූන්ගෙන් වන පිටියුටරි අකරණිය (pituitary failure) ද්විතීයික අනාර්තවයට හේතු වේ. ගොනැඩොට්‍රොපින් හෝමෝන මඳ බැවින් හෝ කොහෙත් ම නැති බැවිනි.

උපරිවෘක්ක ග්‍රන්ථිය

අධිවෘක්ක වල්කයේ (adrenal cortex) අර්බුදයක් (tumour) හෝ අතිප්ලාස්මීයතාවක් (hyperplasia) හෝ ඇති වූ විට එහි ක්‍රියාකාරිත්වය අධික වී අධිවෘක්ක ඇන්ඩ්‍රෝජනක හෝමෝනය (adrenal androgenic hormone) බහුල වශයෙන් නිපදේ. එවිට පෞරුෂ ලක්ෂණ (virilism), එනම් කටහඬ ගොරෝසුවීම, රෝම ඇති වීම, භගමණිය (clitoris) විශාල වීම, අනාර්තවය ආදිය ඇති වේ. ඇඩිසන් රෝගය (Addison's disease) උග්‍ර වූ විට අනාර්තවය ඇති වේ.

තයිරොයිඩ් ග්‍රන්ථිය

මික්ස්ඉඩීමාව (myxoedema) සහ අධික තයිරොයිඩතාව (hyperthyroidism) උග්‍ර වූ විට ද අනාර්තවය ඇති වේ.

අග්න්‍යාශය

අනාර්තවය ඇතැම්විට මධුමේහය (diabetes mellitus) සමඟ පවතී.

දරුණු රෝග

ශරීරය දුර්වල කරන යම්කිසි දරුණු රෝගයක් වැළඳුණු විට හෝ ඉන්පසු හෝ ඔසප් කෘතිය තාවකාලිකව නතර විය හැකිය. රෝගයට ප්‍රතිකාර කරනු විනා විශේෂ ප්‍රතිකර්මයක් වුවමනා නොකෙරේ.

හදිසියෙන් සහ දැඩි වශයෙන් ආහාර සීමා කිරීමට තීරණය කරන ඇතැම් තරුණ ස්ත්‍රීන්ගේ ආර්තවය නොයෙක් විට තාවකාලිකව නතර වේ.

2. දුෂ්කෘත්‍යමය ගර්භාශයික රක්තපාතය

ඔසප් අවධියේ දී අධික වශයෙන් ගැලීම හෙවත් ප්‍රදරය නමින් හැඳින්වේ.

ආර්තව චක්‍ර කෙටිව ඔසප්වීම් නිතර නිතර පවතී නම්, ඊට අපිආර්තවය (epimenorrhoea) හෙවත් බහු ආර්තවය (polymenorrhoea) යයි කියනු ලැබේ.

ඔසප්වීම නිතර නිතර ඇතිවීමත් සමග රුධිර වහනය ද අධික වශයෙන් පවතී නම් එය අපිආර්තවරීතය (epimenorrhagia) නම් වේ.

ඔසප් ජීවිතයේ ඔසප්වීම් හැර යම්කිසි අක්‍රමික රක්තපාතයක් සිදු වේ නම් එය මාතෘකරක්තරීතය (metrorrhagia) නමින් හැඳින්වේ. එනම්, ස්ත්‍රියකට දින 28කට වරක් දින 5ක් තුළ පවත්නා ක්‍රමික ආර්තව චක්‍රයක් තිබිය දී ඇතැම්විට ක්‍රමික ඔසප්වීම් අතර ද ලේ යෑම සිදුවීමයි.

ඉහත සඳහන් ඔසප්වීමේ අසාමාන්‍යතා වනාහි රෝග ලක්ෂණ පමණකි. එයින් ව්‍යථවේදීය තත්ත්වයක් නොදැක්වේ. ප්‍රතිකාරයට පෙර ඊට හේතු සොයා බැලිය යුතුයි.

වැඩිවිය පැමිණීමේ දී

වැඩිවිය පැමිණීමෙන් පසු ඔසප්වීම් කීපයක දී ම ප්‍රදරය නොයෙක්විට සිදු වේ. පළමු මාස හෝ අවුරුදු කීපය තුළ පවා චාක්‍රිය රක්තපාතය ඩිම්බනීහරණය විරහිතව සිදුවනු ඇත. එය අධික නම්, යකඩ බහුල වශයෙන් දීමෙන් හා ඔසප් වාරයන්හි විවේකීව හිඳීමට සැලැස්වීමෙන් ඊට ප්‍රතිකාර කළ යුතුය.

ඩිම්බනීහරණය සිදු නොවන හෙයින් හා ඩිම්බාධාරයෙහි පීත කලේවරය ඇති නොවන හෙයින් අන්තෝමාතෘකය ප්‍රොජෙටෙරෝන් නොමැතිව ඊස්ට්‍රස්ජනකයන්ගෙන් නිතර උත්තේජනය වීම ඊට හේතු වේ.

ප්‍රජනන කාලය තුළ

විද්‍යමාන ස්ථානික හේතුවක් නොමැතිව ස්ත්‍රියකගේ ප්‍රජනන අවධියේ දී අනියම් ලේ වහනයන් නොයෙක් විට ඇති වේ. බොහෝසෙයින් මෙය ඇතිවන්නේ දරුවන් ප්‍රසූත කළ ස්ත්‍රීන් කෙරෙහිය. ලේ වහනය චක්‍රීයව, හෝ නොනැවතීම හෝ අක්‍රමිකව හෝ පැවතිය හැකිය. මේ තත්වයන්හි ගර්භාශය නොයෙක් විට මහත්ව හෝ ස්වල්ප වශයෙන් විශාලව හෝ දැනේ.

විද්‍යමාන ස්ථානික හෝ ශාරීරික හේතුවක් නොමැතිව මේ තත්වයන්හි අනියම් ගර්භාශයික රක්ත පාතයක් පවතින විට එය හෝමෝන අසමතෝලනය (hormonal imbalance) නිසා සිදු වේ යයි කල්පනා කරනු ලැබේ. පිටියුටරිය මගින් ඩිම්බාධාර කෘත්‍යය වැඩියෙන් හෝ අඩුවෙන් හෝ උත්තේජනය කිරීමක් විය හැකිය. උද්වේග නිසා සිදුවන අසමතෝලනය ඇත්තෙන් ම මේ විපර්යාසයට හේතු වේ යයි සිතිය හැකිය.

අන්තෝමාතෘකය නොයෙක් අසාමාන්‍යතා දක්වයි. එහෙත් ප්‍රකෘති ලෙස විද්‍යමාන වන අන්තෝමාතෘකයකින් ද අධික රක්තපාතය සිදුවිය හැක.

ජීවිතයේ ප්‍රජනන කාලය තුළ සිදුවිය හැකි මේ අනියම් රක්තපාතයේ දී ඩිම්බනීහරණය විරහිත ඊස්ට්‍රස්ජනක රක්තපාතය (anovular oestrogenic bleeding) පවත්නේ යොවුන් වියේ දී සහ ආර්තවාභාවය ආසන්න කාලයේදී මෙන් නොව වඩා අඩුවෙනි.

ප්‍රතිකාරය

රක්තපාතයට සාමාන්‍ය ප්‍රතිකාර නම් විවේකය, යකඩ බහුල වශයෙන් දීමෙන් නීරක්තියට ප්‍රතිකාර කිරීම, හීමොග්ලොබින් ප්‍රමාණය ඉතා අඩු නම් රුධිර පාරවිලයනය (blood transfusion) යන මේයි. එයින් ප්‍රතිඵලයක් සිදු නොවී නම් කියුරට්කරණයෙන් (curettage) තත්ත්වය විසඳා හෝමෝන් ආදියෙන් ප්‍රතිකාර කරනු ලැබේ.

අසාමාන්‍ය ආර්තවාභාවය

ආර්තවාභාවය සාමාන්‍ය ලෙස සිදුවන විට, ඔසප්වීම හදිසියෙන් නතර වනු ඇත. සමහර විට ආර්තව චක්‍රය දීර්ඝ වී, අවසානයේ දී ඔසප්වීම් සම්පූර්ණයෙන් නතර වේ. නැතහොත් ආර්තව චක්‍රය එලෙසින් ම පැවැත, ඔසප් රුධිරය ක්‍රමයෙන් අඩු වී ආර්තව සම්පූර්ණයෙන් නතර වේ.

මෙම කාලය තුළ අසාමාන්‍ය ආර්තවාභාවයත් නොයෙක් විට ඇති වේ.

ආර්තවරීතය හෙවත් ප්‍රදරය, බහු ආර්තවය සහ අක්‍රමික රක්තපාතය බොහෝ විට මිශ්‍රව පවතී. මෙවැනි අය ගර්භාශයේ මාත්සරික ආබාධයකින් (malignant disease) පෙළෙත් දැයි යනු දැන ගැනීමට කියුරට්කරණය ඉතා අවශ්‍ය වේ. අධික රක්තපාතයේ දී ජරායු විච්ඡේදනය (hysterectomy) කරනු ලැබේ. මෙවැනි අවස්ථාවන්හි වැඩි කාලයක් තුළ ඊස්ට්‍රස්පනක දීම කිසිසේත් නොකට යුතුයි.

ඩිම්බනීහරණය විරහිත රුධිරවහනය

ඩිම්බනීහරණය කලින් සිදු නොවී ගර්භාශයෙන් ලේ යෑම මෙයින් අදහස් කෙරේ. මෙය නිර්ණය කළ හැකි වන්නේ පූර්ව ආර්තව අවධියේ දී හෙවත් නැවත ලේ යෑම ආරම්භවීමට පෙර කියුරට්කරණයකින් අන්තෝමාතෘකය පරීක්ෂා කර බැලීමෙනි. එහි ස්‍රාවීය අවධියට අයත් වෙනස් වීම් නොමැතිව ලියලන අවධියට අයත් ලක්ෂණ පෙන්නුම් කරයි.

ප්‍රජනන අවධියේ යම්කිසි විටෙක ඩිම්බනීහරණය විරහිත රක්තපාතය සිදුවිය හැකි වුවත්, එය බොහෝසෙයින් දක්නට ලැබෙන්නේ මල්වරයේ දී සහ ආර්තවාභාවයේ දීය. ස්වල්ප දෙනකුගේ රුධිර වහනය මේ අවධියේ දී අධිකව ද දීර්ඝව ද චක්‍ර සම්පූර්ණයෙන් අක්‍රමිකව ද පැවැතිය හැකිය.

ආර්තව චක්‍ර කෙටිවීම (අපිආර්තවය හෙවත් බහු ආර්තවය)

ආර්තව වක්‍රය සාමාන්‍ය 28 දිනට වඩා අඩුවෙන් පැවතීම කිසියම් වයසක දී වුවත් ඇතිවිය හැකි අසාමාන්‍යතාවකි. නොයෙක් විට ප්‍රදරය සමග පැවතිය හැකි වුවත් තනිව ම ද ඇති විය හැකිය. එවිට ස්ථානික හේතුවක් දැනගත හැකි වන්නේ කලාතුරකිනි. අධික රක්තපාතයක් නොමැති නම්, නීරක්තියෙන් හා දුබලතාවෙන් නොපෙළෙයි. අපහසුකම දැනෙන්නේ නිතර නිතර ඔසප්වීමෙනි.

මේ චක්‍රය කෙටිවීමට හේතුව පූර්ව පිටියුටරියේ අධික ක්‍රියාකාරිත්වය වේ. එහෙයින් ඩිම්බනීහරණය හා ඔසප්වීම වහ වහා සිදු වේ. මෙය නොයෙක් විට දක්නට ලැබෙන්නේ විවාහයට පත්වීමෙන් පසු මුල මාසයන්හි දීත් ගබ්සාවීමකින් පසු හෝ දරු ප්‍රසූතියකින් පසු ඔසප්වීම නැවත ආරම්භ වූ විටත්ය.

ඔසප්වීම් අතර ලේ වහනය

ඔසප්වීම් අතර අක්‍රමිකරක්තපාතය සාමාන්‍ය ආර්තව චක්‍රය හා ඔසප්වීම් සමඟ පැවැතිය හැකිය. මෙවැනි රක්තපාතයක් නිරායාසයෙන් හෝ ව්‍යායාම, මලපහකිරීම, දියටනය (micturition) ආදි අවස්ථාවන්හි සහ මෛථුනයේ දී හෝ සිදුවිය හැකිය. අක්‍රමික රක්තපාතයට නොයෙක්විට ස්ථානික හේතුවක් ඇත. මූත්‍ර ප්‍රසේක කුණ්ඩලිකාවකින් (urethral caruncle) සමහර විට ලේ වහනය විය හැකිය. යෝනියේ, ගර්භාශ ග්‍රීවයේ හෝ දේහයේ කුලීරමාවක් (carcinoma) ආර්තවාභාවයට පෙර ඇතිවිය හැකිය. ග්‍රීවයේ ශ්ලේෂ්මල පොලිපස (mucus polypus) ලේ වහනයට නිතර හේතු වේ. ග්‍රීවයේවාහිනික ක්ෂරණයකින් (vascular erosion) සංසර්ගයේ දී සමහරවිට ලේ වහනය වේ. අන්තෝමාතෘකයේ ඇඩිනෝමා පොලිපසයන්ගෙන් (adenomatous polypi) ද මේ ලේ වහනය සිදු විය හැකිය.

ඩිම්බනීහරණය සිදු වන විට, එනම් ආර්තව චක්‍රය මැද දී, ලේ වහනය නොයෙක් විට ඇති වේ. එය 13 වැනි දින පමණ සිදු වී පැය ස්වල්පයක් පමණක් පවතී.

කිසියම් වයසක වුවත් අක්‍රමික රක්තපාතයක් පවතී නම් ප්‍රතිකාරයට පෙර එහි නිදානය ස්ථිර වශයෙන් දත යුතුයි. සාමාන්‍ය ශ්‍රෝණි පරීක්ෂණයකින් ස්ථානික හේතුවක් දැනගත නොහැකි නම් කියුරට්කරණයෙන් එය නිර්ණය කළ යුතු වේ.

3. දුරාර්තවය

සාමාන්‍ය ඔසප්වීම් වේදනා රහිත වුවත්, බොහෝ ස්ත්‍රීහු ඔවුන්ගේ ප්‍රජනන ජීවිත කාලය තුළ දී සමහර විටක ඔසප්වීමට පෙර හෝ ඔසප්වීමේ දී හෝ අපහසුවකින් හෝ සැබෑ වේදනාවකින් හෝ පෙළෙති. නොයෙක් විට ඔවුනට සනීප මඳ ගතියක් දැනේ. ඔක්කාරය, වමනය, පාචනය යන මේවායින් ද පෙළෙනු හැකිය. මේ වේදනා දැනීමේ ප්‍රමාණයෙහි විශාල වෙනසක් පවතී. ස්ත්‍රියගේ සාමාන්‍ය කටයුතුවලට බාධා පමුණුවන තරමට වේදනා පවතී නම් එය අසාමාන්‍යතාවකි.

(අ) ශ්‍රෝණි ආබාධ (pelvic diseases) නිසා ඇතිවන දුරාර්තවය සහ

(ආ) නිසර්ග (intrinsic) දුරාර්තවය යනුවෙන් දුරාර්තවය වර්ග කළ හැකිය.

මේ හැම දුරාර්තවයක දී ම මානසික සාධක බලපවත්වන බව සැලකිය යුතුයි.

(අ) ශ්‍රෝණි ආබාධ නිසා ඇතිවන දුරාර්තවය

මෙය නොයෙක් විට ද්විතීයික හෙවත් සංකුල දුරාර්තවය නමින් හැදින්වෙන නමුත්, වේදනාව දැනීම බොහෝ සෙයින් වෙනස් විය හැකිය. වේදනාව නොයෙක් විට ඔසප්වීම ආරම්භ වීමට සතියකට හෝ දසදිනකට හෝ පෙර ඇතිවිය හැකිය. මේ පූර්ව ආර්තව වේදනාව කාහලිකාදාහය (salpingitis) සහ අනික් ශ්‍රෝණි ප්‍රදාහ තත්ත්වයන් සමඟ විශේෂයෙන් ඇති වේ. එය ‘එන්ඩොමෙට්‍රියෝසිස්’ (endometriosis) නමැති ආබාධය සමග ද ඇතිවිය හැකිය. මේ වේදනාව නොයෙක් විට යටිබඩේ සහ පිටේ මඳ කැක්කුමක් වශයෙන් පවතී. ඇතැම් විට කකුල් දිගේ පහළට පැතිරෙන්නට පුළුවන. මේ තත්ත්වයන්හි දී ඔසප්වීම ඉතා වේදනා සහිත වේ.

(ආ) නිසර්ග දුරාර්තවය

නිරන්තරයෙන් ම ඇති වන දුරාර්තවය මෙය වේ. ගෑනු ළමයින් සහ තරුණ ස්ත්‍රීන් කෙරෙහි සාමාන්‍යයෙන් ඇති වේ. අධික වේදනාව පවත්නේ ස්වල්ප දෙනකු කෙරෙහි පමණකි. සමහර විට සිය කටයුතුවල යෙදීමට පවා නොහැකි වන පරිදි එය අධික විය හැකිය.

වේදනාව ස්වභාවෙන් ම භ්‍රාස්‍ය (spasmodic) හෝ ශූලක (colicky) හෝ වේ. එය සාමාන්‍යයෙන් ඔසප්වීමේ පළමු දින ආරම්භ වේ. වේදනාව පැය කීපයක් හෝ පළමු සහ දෙවැනි දින මුළුල්ලේ ම හෝ පැවැතිය හැකිය. නොයෙක් විට ඔසප් රුධිරය ප්‍රථමයෙන් ස්වල්පය. ගලායෑම මනා ලෙස පවත්නා විට වේදනාව බෙහෙවින් අඩු වේ. අන්තෝමාතෘක කැබැලි නික්මිය හැකිය. සමහර විට ගර්භාශයේ අන්තෝමාතෘකය සම්පූර්ණයෙන් ම පහ වේ. එවිට වේදනා ඉතා අධික වේ. මෙය නොයෙක් විට වෙන් වශයෙන් පටලමය දුරාර්තවය නමින් විස්තර කරනු ලැබේ. එහෙත් එය භ්‍රාස්‍ය ආර්තවයේ ඉතා උග්‍ර තත්වයක් වශයෙන් සැලකීම වඩාත් සුදුසු වේ.

භ්‍රාස්‍ය දුරාර්තවයේ දී තීව්‍ර ශූලක වේදනාවෙන් පසු මඳ කැක්කුමක් නොයෙක් විට පවතී. ඔක්කාරය, වමනය සහ ක්ලාන්තය ද නොයෙක් විට පාචනය ද අධික වේදනාවත් සමග ඇති විය හැකිය.

ප්‍රතිකාරය සඳහා පැමිණෙන බොහෝ රෝගීහු වයස අවුරුදු 17-25 අතර අය වෙති. ඔසප්වීම ආරම්භ වූ කාලයේ සිට ම වේදනාව පැවැති බව ඔව්හු නොයෙක් විට දන්වති. එහෙත් තවදුරටත් ප්‍රශ්න කිරීමේ දී ඔවුන්ගේ ඔසප්වීම් පළමුවෙන් වේදනා රහිතව පැවති බවත්, මාස හෝ අවුරුදු කීපයකට පසු පමණක් එය වේදනා සහිතව අනුක්‍රමයෙන් උග්‍ර වූ බවත් පවසති. සමහර විට වේදනාව කාලයක් ගත වන තෙක් ආරම්භ නොවේ. එය ඇති වන්නේ ඇපෙන්ඩිසයිටිස් වැනි රෝගයකින් හෝ උද්වේග සංකටයකින් (emotional crisis) හෝ පසුය.

භ්‍රාස්‍ය දුරාර්තවය දරු ප්‍රසූතියෙන් සුව වන බව නොයෙක් විට කියනු ලැබේ. එය නොයෙක් විට එසේ වුව ද හැමවිට ම නොවේ. සමහර විට දරු ප්‍රසූතියෙන් පසුව වුවත් එය දිගට ම පවතී. ඇතැම් විට දුරාර්තවය ඒකාන්තයෙන් ම ආරම්භ වන්නේ දරු ප්‍රසූතියකින් පසුවය.

අධික භ්‍රාස්‍ය දුරාර්තවය නොයෙක් විට අවිවාහක ස්ත්‍රීන් කෙරෙහි වයස අවුරුදු 30 හෝ ඊට වැඩි වන තුරු දිගටම පවතී. මේ අය බොහෝවිට නියුරෝසිය අක්‍රමතාවෙන් (neurotic disorder) පෙළෙති.

ප්‍රතිකාරය

එළිමහනෙහි ක්‍රමික දෛනික ව්‍යායාම් මගින් භ්‍රාස්‍ය දුරාර්තවය වළක්වාගත හැකි බව ප්‍රකාශ කොට තිබේ. සෞඛ්‍යය මනා ලෙස පවත්වා ගැනීම, නීරක්තියෙන් (anaemia) පෙළේ නම් ඊට ප්‍රතිකාර කිරීම, මලබද්ධය වැළැක්වීම, උද්වේග ආයාස ආදියෙන් පෙළේ නම්, එය සොයා බලා ප්‍රතිකර්ම යෙදීම, සැලකිලි සහිත පරීක්ෂණයකින් පසු හොඳ සනීපෙන් වෙසෙන බව හැඟේ නම්, ඔසප්වීම නීරෝගී සාමාන්‍ය කෘතියක් බව තේරුම්කර දී ඇගේ සිත ‍‍ධෛර්‍ය්‍යවත් කිරීම ආදිය ප්‍රතිකාර විධි වේ.

අධික වේදනාවෙන් පෙළෙන විට, උණුසුම් දිය නෑම සහ සයනයෙහි විවේකීව හිඳීම, උණු දිය බෝතලයක් යටිබඩ මත තබා ගැනීම, නිර්වේදනික ඖෂධ (analgesic drugs) (නි. ඇස්පිරින්, පෙනසෝන්, කොඩේන් ආදිය) ගැනීම ප්‍රයෝජනවත් වේ.

(කර්තෘ: ඇස්.ඩී. රත්නපාල)

(සංස්කරණය: 1974)