"ඇම්බැක්කේ දේවාලය" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('පේරාදෙණියට සැතපුම් 8ක් පමණ ඈතින් පිහිටි දවුලග...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 24 පේළිය: | 24 පේළිය: | ||
පියස්ස රැඳැවෙනුයේ කණු මත සවි කරන ලද තලාඳ මත සවි කැරුණු යටලී මතය. තලාඳ ද ලියකමින් විචිත්‍රය. | පියස්ස රැඳැවෙනුයේ කණු මත සවි කරන ලද තලාඳ මත සවි කැරුණු යටලී මතය. තලාඳ ද ලියකමින් විචිත්‍රය. | ||
| − | |||
දේවාලයේ මහදොරේ පනෙල්වල ද කණුවල දක්නට ලැබෙන හංස පූට්ටු ආදි කැටයම් වේ. | දේවාලයේ මහදොරේ පනෙල්වල ද කණුවල දක්නට ලැබෙන හංස පූට්ටු ආදි කැටයම් වේ. | ||
13:00, 22 ජූනි 2026 තෙක් සංශෝධනය
පේරාදෙණියට සැතපුම් 8ක් පමණ ඈතින් පිහිටි දවුලගල නම් ගමේ සිට සැතැපුම් බාගයක් පමණ ගිය තැන, ගම්හත දක්වා විහිදෙන මහාමාර්ගයේ දකුණු පස ඇති වෙල්යාය අසබඩ ඇම්බැක්කය නම් ගමේ මේ දේවාලය පිහිටියේය. කඳකුමරුන් (කතරගම දෙවියන්) අරක් ගත්, නොයෙක් හාස්කම් පාන තැනෙකැයි කියනු ලබන මේ දේවාලය මහනුවර සමයට අයත් සේ සැලැකෙන අගනා ලී කැටයම් රැසක් සම්බන්ධයෙන් මහත් ප්‍රසිද්ධියක් උසුලයි.
ගම්පොළ රජ කළ තුන් වන වික්‍රමබාහු (ක්‍රි.ව. 1357-1374) රජු දවස මේ දේවාලය තැනිණැයි ඇම්බැක්කේ වර්ණනාව නම් කාව්‍යයෙහි සඳහන් වේ. ඇම්බැක්කයට යාව පිහිටි රංගම නම් ගමේ බෙරකරුවකුට කඳකුමරුන් පෑ හාස්කමක් පිළිබඳ පවත දැනගත් රජු එහි මේ දේවාලය කැරවූ බව ද කියනු ලැබේ. වික්‍රමබාහු රජු හා සමඟ මේ දේවාලයේ ඇති සැබැඳියාව මේ මතු නොවේ. ඒ රජුට හෙණකඳ බිසෝබංඩාර (බ.) නම් දේවියක් අග මෙහෙසිය වීල. ඇයගේ මල් උයන මේ අසල පිහිටියේල. එහි නිතර නිතර ආගිය ඇයගේ රූපලාවණ්යයෙහි ඇලුණු කඳ කුමරහු ඇය මනුෂ්යාත්මභාවයෙන් මුදවා සිය මෙහෙසිය කැරගත්තෝල. එසේ කොට ඇයත් මේ දේවාලයට අධිගෘහීත දේවතාවක කැරවූල. එවක් පටන් ඇයගේ අවමංගලෝත්සවයෙහි දී පවත්වන්නට යෙදුණු සිරිත් විරිත් මෙහි ඇසළ පෙරහරේ දිය කැපීමේ උත්සවයෙහි දීත් අනුගමනය කරන්නට වීල.
දේවාලය සම්බන්ධ ප්‍රධාන ගොඩනැඟිලි අටෙකි. එයින් එකක් - රිට්ටාගෙය හෙවත් සිංහාසන මණ්ඩපය යන නමින් හැඳින්වෙන තැන - පිහිටියේ දේවාලයේ මළුවෙන් පිටය. අනෙක් සත පිහිටියේ මළුව තුළය.
සිංහාසන මණ්ඩපය හෙවත් රිට්ටා ගෙය යන නමින් හැඳින්වෙන බැහැරි ගොඩනැගිල්ල දේවාලයේ මළුවට යාර සීයක් පමණ ඈතින් කුඩා කඳු ගැටයක් මත පිහිටියෙකි. මඳක් උසට තැනුණු එය තුළට වැදිය හැකි වනුයේ උඩුමාලයෙහි කවුළුවක් වැනි කුඩා දොරකඩෙකිනි.
මළුවේ පිහිටි ගොඩනැඟිලි කෙරෙන් මහා දේවාලය ගෘහය ප්‍රධාන තැන ගනී. මළුවේ හරි මැද පිහිටි එය වැඩ හිටින මාළිගාව හා දිග්ගෙය යන දෙනමින් හැඳින්වෙන එකකට එකක් යාබදව පිහිටි ගොඩනැඟිලි දෙකකින් යුක්තය. ලීයෙන් කැපුණු දේව ප්‍රතිමාව පිහිටියේ වැඩ හිටින මාළිගාවෙහිය. එහෙයිනි එයට ඒ නම. දිගිටි සිවුරැස් ගොඩනැඟිල්ලක් වන දිග්ගෙය පිරිත්ගෙය, මැද දිග්ගෙය, හඳුන් කූඩම, හේවිසි මංඩපය යන කොටස් සතරෙකින් යුක්තය. පුරාණ කාලයේ මාණික්ක මහගේලාගේ (නළඟනන්ගේ) රැඟුම් කැරුණේ මේ දිග්ගෙහිය. අද ඒ නැටුම් නොපැවැත්වේ.
මහාදේවාලය ගෘහය දෙපස තවත් ගොඩනැඟිලි දෙකකි. ඉන් එකක් බුදු පුද සඳහා ඉදි කැරුණු පිළිම ගෙයෙකි. ඒ බුදුගෙය යන නමින් හැඳින්වේ.
එහි කඳකුමරුන්ගේ වාහනය වන රණ මොනරිඳුට පුද පවත්වනු පිණිස ද රන් ආයුධ තැබීමට ද ඇරුණු කාමරයෙක් ද වේ. ලීයෙන් කපන ලද ඉතා අනර්ඝ මොනර රුවක් තැන්පත් කොට ඇති එම කාමරය මොනරා ගෙය නමින් හැඳින්වේ. මහා දේවාලයේ අනික් පස පිහිටියේ දැඩිමුණ්ඩ දෙවියන්ට පුද පැවැත්වෙන කෝවිලෙකි. එය පල්ලෙ දේවාලය නමින් ද හැඳින්වේ.
පල්ලෙ දේවාලයට නුදුරින් වී අටුව ද එයට ඉක්බිතිව අඩි තුනක් පමණ දුරින් මුළුතැන් ගෙය ද පිහිටියේය.
මළුවට පිවිසෙන තැන පිහිටි ගොඩනැඟිල්ල වාහල්කඩ නමි. එ ද දිගිටි සිවුරැස් ගෙයෙකි.
දේවාලය මළුවේ පිහිටි තවත් කුඩා ගොඩනැඟිල්ලෙක් ද වේ. මුඛ්‍ය ස්ථානයක් නොගනිතත්, එ ද සැලකිය යුත්තෙකි. සූනියම් දේවතාවා සඳහා තැනුණු එය මල්පැල යන නමින් හැඳින්වේ.
මේ දේවාලයේ ගොඩනැඟිලිවල දක්නට ලැබෙන ලී වැඩ - වෙසෙසින් ම කැටයම් - කලාත්මක නිර්මාණ වශයෙන් ගන්නේ විශේෂ තැනෙකි. කැටයම් ඇත්තේ එහි කණුවල, දොරපනෙල්වල හා උළුවහුවලය. එයින් තලාඳවල කණුවල හා දොරපනෙල්වල කැටයම් විශිෂ්ට කලාකෘති වේ.
ගඩොලින් කළ කණු කීපයක් ඇති රිට්ටා ගෙයි හැර අනෙක් ගොඩනැඟිලිවල කණු ලීයෙන් කැරිණි. මේ කණු සාමාන්‍ය ස්වරූපයෙන් මහනුවර මඟුල් මඩුවේ කණුවලට සමාන වේ. ඇතැම් කණුවල පේකඩ සතරෙකි. ඇතැමෙක පේකඩ දෙකෙකි. මේ පේකඩ ද විසිතුරු කැටයමින් අලංකෘතයි. එහි අග කොටස් පහතට නැමුණු ඵුල්ලපද්මයන්ගේ ආකාරය දක්වයි. කණුවල පාදම් ගලින් කැරිණි. හැම කණුවෙක ම මුල භාගය සතරැස්ය. ඒ භාගය සාමාන්‍යයෙන් උසින් අඩි තුනක් පමණ වේ. මේ හරියේ සතර පැත්තම ලියවැලින් අලංකෘතය. එක පැත්තෙක ලියවැල් දෙකෙකි. මේ සතරැස් කඩින් ඉක්බිති අඩියක් පමණ වූ අටපට්ටම් කඩෙකි. ඉන්ඉක්බිති හරිහතරැස් කඩෙකි. එහි සතර පැත්ත වෙසෙසි කැටයමින් විසිතුරුය. ලණු ගැටය, හංස පූට්ටුව, භේරුංඩයා, නළඟන, සිංහයා, හස්තියා, ඇත්කඳ ලිහිණියා ආදි විචිත්‍ර කැටයම් ඇත්තේ මේ කොටසෙහිය. මේ කොටසින් ඉක්බිති යළිත් අටපට්ටම් කොටසෙකි. ඉන් ඉක්බිති හරිහතරැස් කොටසින් මතු කණුවේ පේකඩය වේ. මේ සතරැස් කොටසෙහි ද හංසපූට්ටුව ආදි කැටයම් වේ.
පියස්ස රැඳැවෙනුයේ කණු මත සවි කරන ලද තලාඳ මත සවි කැරුණු යටලී මතය. තලාඳ ද ලියකමින් විචිත්‍රය.
දේවාලයේ මහදොරේ පනෙල්වල ද කණුවල දක්නට ලැබෙන හංස පූට්ටු ආදි කැටයම් වේ.
මෙහි දිග්ගෙහි කැටයම්ය විශේෂයෙන් සුප්‍රකට. එහි කණුවල අපෝන්නත රූප 128ක් ද ලියවැල් 256ක් ද පේකඩවල නෙළුම්මල් රූප 64ක් ද බාල්කවල ලියවැල් ආදි සටහන් 30ක් ද තලාඳවල 36ක් ද වේ. මුළු කැටයම් ගණන 514කි.
දිග්ගෙයි සඳුන්කූඩම නමින් හැඳින්වෙන කොටසට පිවිසෙන දොරේ උළුවස්ස ගම්පොළ වික්‍රමබාහු රජුගේ මාළිගාවෙන් ගෙනෙන ලද්දකැයි කියති. එසේ ම වැඩ සිටින මාළිගාවේ රන්කොත ද එම මාළිගාවෙන් ම ගෙනෙන ලද්දකැයි ද යෙති.
මේ දේවාලයට පුරාණ කාලයේ රාජරාජමහාමාත්යාදීන්ගෙන් ලැබී ඇති පූජා වස්තු අතුරෙහි වික්‍රමබාහු රජු පූජා කළ ඇතාගේ දළ යුවළ ද, ලන්දේසීන් විසින් II වැනි රාජසිංහ රජුට පරිත්‍යාග කරනු ලැබ, අනතුරුව රජු විසින් දේවාලයට පිදුණු කූණම ද ඇහැළේපොළ අදිකාරම පූජා කළ තම්බෝරුව හා ආභරණ ද වේ.
දේවාලයට නුදුරින් පිහිටි උයනදෙණිය නම් කුඹුරේ ගල්තලාවෙක ශ්‍රී බුද්ධ වර්ෂ 1953 (ක්‍රි.ව. 1410/11) යන වර්ෂය කොටා ඇත. ඒ හැර වැඩි යමක් සටහන් වී නැත. ඒ ලිපියට මඳක් ඔබින් බලුකපුටු ලකුණ කොටා ඇත.
දේවාලයේ නඩත්තුව සඳහා රංගම, තලවතුර, පදුවන්ගොඩ, ඇම්බක්ක යනාදි ගම් ද අසූ පස් අමුණක කෙත්වතු ද පූජා කැරුණු වග ඇම්බැක්කේ වර්ණනාවෙහි සඳහන් වේ. මේ දේවාලය සතුව පැවැති සන්නස් ආදි ලියකියැවිලි සතුරු උවදුරු ආදිය නිසා නැති වී ගිය බව කියති.
(කර්තෘ: ඇන්. මුදියන්සේ)
(සංස්කරණය: 1967)