"උඩරට" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('උඩරට යනුවෙන් භූගෝලීය වශයෙන් නිශ්චිතව බෙදුණා...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
13:35, 18 ජූලි 2025 වන විට නවතම සංශෝධනය
උඩරට යනුවෙන් භූගෝලීය වශයෙන් නිශ්චිතව බෙදුණා වූ හෝ වත්මන්හි දේශපාලන වශයෙන් සලකුණු කළ නිත්‍ය මායිම් සහිත වූ හෝ ප්‍රදේශයක් මෙරට නොමැත. එහෙත් දළ වශයෙන් සලකන කල්හි මුහුදුබඩ පහත් බිම් වළල්ලෙන් වට වූ දකුණු දිගට බරව ගියා වූ භූමි ප්‍රදේශය මෙරට කඳුකරය බැවින් එපෙදෙස භූගෝලීය වශයෙන් උඩරට යයි හැඳින්විය හැකිය. මෙනයින් අඩි 1,000 සමෝච්ච රේඛාවෙන් ඉහළ ප්‍රදේශය උඩරට ප්‍රදේශය හැටියට ඇතැම් භූගෝල විද්‍යාඥයෝ සලකති. එහෙත් ලංකාව උඩරට හා පහතරට යනුවෙන් දෙකඩකට බෙදා දැක්වීම භූගෝලවිද්‍යාඥයන්ට අනභිමතය. ඒ කෙසේ වෙතත් නිශ්චිත මායිම් නැතිව වුව ද ඓතිහාසික සිද්ධීන් උඩ බෙදුණා වූ එසේම සංස්කෘතික උරුමයන් නිසා පහතරටින් වෙසෙසා දැක්විය හැකි උඩරට “රාජ්‍යය” ඓතිහාසික සත්‍යයකි. (උඩරට රාජධානියේ ඉතිහාසය බ). විටක ප්‍රදේශ රාජ්‍යයක හෙවත් සාමන්ත රාජධානියක ද විටක මෙරට ප්‍රධාන රාජ්‍යයක ද තත්වය දැරූ උඩරට රාජ්‍යයේ දේශපාලන මායිම් එම රාජධානියේ රජ කළ රජුන්ගේ බලසම්පන්න බව හෝ බෙලහීන බව අනුව පුළුල්ව හෝ හැකිළී හෝ ගියේය.
කෝට්ටේ අග්‍රරාජධානියට ගැති නොවූ පූර්ණ නිදහස් ප්‍රදේශ රාජ්‍යයක තත්වයට උඩරට ඔසවාගන්නා ලද්දේ 1472/3-1510 දක්වා රජ කළ සේනාසම්මත වික්‍රමබාහු විසිනි. ඔහු ප්‍රථම වරට ‘කටුපුළුලබද සෙංකඩගල පුරය’ සිය අගනුවර කරගති. මෙරජුගෙන් පසුව යළි එය කෝට්ටේ අග්‍රරාජධානියේ අතවැසි රාජ්‍යයක් බවට පත්ව තිබී පසුව සිතාවක රාජසිංහයන් විසින් අයත් කරගන්නා ලදි. අනතුරුව I වැනි විමලධර්මයන් සීතාවක රාජසිංහ රජු පරදවා සෙංකඩගලපුරය සිය රාජධානිය කොටගෙන, කලින් උඩරට ප්‍රදේශ රාජයාව සිටි කරල්ලියද්දේ රජුගේ දියණියන් වූ කුසුමාසන දේවිය (දෝන කතිරිනා) බිසොව කර ගැනීමෙන් තම රාජ්‍ය උරුමය සවි කොට උඩරට රාජ්‍යය ප්‍රදේශ රාජ්‍ය තත්වයෙන් සිංහලේ අග්‍ර රාජධානි තත්වයට ඔසවා ගැනීම උඩරට ඉතිහාසය සම්බන්ධයෙන් අත්‍යන්ත වැදගත්කමින් යුතු සිද්ධියකි. මල්වානේ ගිවිසුම යටතේ දොන් ජුවන් ධර්මපාලයන් විසින් ලංකාවේ අග්‍රරාජධානිය ව පැවති කෝට්ටේ රාජධානිය ප්‍රතිකාල්වරුන්ට පවරා දෙනු ලැබුව ද සීතාවක රාජසිංහයන් නිසා කෝට්ටේ රාජධානිය අන්ත පරිහානියට පත්ව හැකිළී ගොස් තිබුණා පමණක් නොව කෝට්ටේ රාජධානියට වැඩි තැනක් සීතාවකට අයත්ව තිබුණේ ද විය. රාජසිංහයන්ගේ පරාභවයත් සමග සිතාවක තත්වය ද ඇදවැටුණෙන් නියම වශයෙන් සිංහල බලය කේන්ද්‍රස්ථ වූයේ විමලධර්මයන් වටා සෙංකඩගල පුරයෙහිය. ලක්දිව අග්‍රරාජ සංකේතය හැටියට මෙරට මහජනතාව පිළිගත් දළදා වහන්සේගේ භාරය ද 1592 සිට නියම වශයෙන් විමලධර්මයන් පවරාගත්තෙන් සෙංකඩගල රාජධානිය විමලධර්මයන්ගේ කාලයේ සිට මෙරට අග්‍රරාජධානිය හැටියට පිළිගැනිණ. විමලධර්මයන්ගේ මුල් කාලයේ දී කෝට්ටේ රාජධානිය නියම වශයෙන් පුත්තලමේ සිට වලවේ දක්වා වූ මුහුදු තීරයටත් මධ්‍යම පළාතේ කඳුකරය දක්වා රට මැදටත් සීමා වී පැවැත්තේය. යාපනය පෘතුගීසින්ගේ ආරක්ෂාව යටතේ පැවැත්තේය. මේ අතර විටින් විට පෘතුගීසින් හා විමලධර්මයන් ද එසේම පසු කාලයේ දී ලන්දේසි , ඉංග්‍රීසි වර්ගයන් හා අනිකුත් උඩරට රජුන් ද අතර ඇති වූ යුද්ධවල ජය පරාජය නිසා උඩරට දේශසීමාව ද නිතර වෙනස් වන තත්වයක පැවැත්තේය. කෙසේ වුව ද කන්ද උඩරට රාජ්‍යය සිංහලේ හෙවත් සිංහලයන්ගේ ප්‍රධාන රාජධානිය ලෙස සැලකීමට පටන් ගැනුණේ විමලධර්මයන්ගේ සමයේ දීය. 1815 දී සිංහල රාජ්‍යය ඉංග්‍රීසින්ට පවරා දෙනු ලබන තෙක් ම උඩරට රාජධානියේ ඒ තත්වය එසේම රැකුණේය.
විමලධර්මයන්ට පසු රජ වූ සෙනරත් රජු තම අවසන් සමයේ දී තම පුත් කුමාරසිංහාස්තානයන්ගේ රාජ්‍ය උරුමය සහතික කරමින්, ළාබාල ඔහුට ආරක්ෂකයන් දෙදෙනකු පත්කිරීම සඳහා කැඳවූ රාජසභාව පහත දැක්වෙන ප්‍රදේශයන්හි පාලකයන්ගෙන් සැදුණු බව බාල්දියස් කියයි. එනම් කොට්ටියාර්, පාළුගම, මඩකලපුව, පාණම, යාපනේ, ඌව, මීගමුව, වෙල්ලස්ස, කොත්මලේ, මීවතුර, පුත්තූර් සතරකෝරළේ, හාරිස්පත්තුව, උඩුගොඩ, මාතලේ, බුලත්ගම හා පස්ගම, අට්ටාපිටිය හා විල්පොළ ආදියයි. මේ හැර ආරක්ෂකයන් පත් කරමින් එතුමා නිකුත් කළ රාජ නිවේදනයකින් ද තමා ලංකාධීශ්වර බවත් මහනුවර, සීතාවක, ත්‍රිකුණාමලේ, යාපනපටුන, සත්කෝරළේ, මන්නාරම, හලාවත, පාණම, මඩකලපුව, පාළුගම හා යාල, ඌව, දෙනවක, පස්දුන් කෝරළේ, වෙල්ලස්ස, කොත්මලේ, මීවතුර හා බිම්තැන්න, වැලිගම, ගාල්ල, උඩුනුවර, යටිනුවර, සතරකෝරළේ, හාරිස්පත්තුව, උඩුගොඩකෝරළේ, කුරුවිට හා බටුගෙදර යන මේවායේ රාජ, යුවරාජ, ඈපා පදවිධාරී බවත් පැවසේ. මෙසේ 17 වන සියවස මුල් භාගයේ දී ත්‍රිකුණාමලේ, යාපනය, මන්නාරම, හලාවත, මඩකලපුව, ගාල්ල ආදි මුහුදුබඩ ප්‍රදේශ ද උඩරට අධිරාජයා යටතේ පැවති බව සැලකිය හැකිය.
උඩරට සිංහල රාජධානිය විශාලතමව ව්‍යාප්ත වී පැවතියේ දෙවන රාජසිංහයන්ගේ අඩසියවසක් දික් වූ පාලන සමයේ අවසාන පරිච්ජේදයේ දී බව කිව හැකියි. මෙරට මුහුදුබඩ ප්‍රදේශ ප්‍රතිකාලුන්ගෙන් උදුරා අයත් කොටගෙන ඒවා පාලනය කරමින් සිටි ලන්දේසීහු ද මුළු ලංකාවේ අගරජු වශයෙන් එතුමා අමතා ලිවූහ. ශ්‍රී ලංකාධීශ්වර යයි කියාගත් එතුමා තම අවසන් සමයේ දී නියම වශයෙන් කොළඹ, ගාල්ල, මාතර, යාපනය, මන්නාරම වැනි ලන්දේසි බලකොටු ප්‍රදේශ කීපයේ හැර සෙසු ලංකාවේ අසහාය ස්වාමියා විය. මෙසේ එතුමාගේ කාලයේ දී උඩරට රාජධානිය පහතරට අතිවිශාල භූමිභාගයක් වසා සිටියේය. II වන විමලධර්මයන්ගේ කාලයේ දී ද උඩරට රාජ්‍යයේ භූගෝලීය මායිම් බොහෝ දුරට නොවෙනස්ව පැවතිණි. එහෙත් පසුව කීර්ති ශ්‍රී රාජසිංහයන් මුහුදුබඩ සම්පූර්ණ බිම්වළල්ලක් ලන්දේසීන්ට දීමට එකඟ වීමෙන් උඩරට රාජ්‍යය සමුද්‍රතීරයක් නැති මධ්‍ය භූමිභාගයට සීමා විය. ඉන් පසු මේ තත්වය දිගට ම 1815 දක්වා ම පැවැත්තේ යයි කිව හැකිය.
කඳුරට හෙවත් මලය ප්‍රදේශය කේන්ද්‍ර කොට පහළ වූ උඩරට රාජ්‍යය යටකී පරිදි පුළුල්ව ගිය අවස්ථාවල දී මෙරට පහත් ප්‍රදේශයේ විශාල බිම්කොටස් ද වසා පැතිර ගියෙන් ලංකාවේ උඩරට රාජධානිය සැබවින් ම මෙරට කඳුකරයට හෙවත් උඩරටට සීමාව නොපැවති බව පැහැදිලි විය යුතුය. උඩරට සිංහල රජුන්ට අයත්ව පැවති මෙරට පහත් ප්‍රදේශයේ කොටස්වල ද සිංහල සංස්කෘතික අංග, සමාජ සිරිත් විරිත්, රාෂ්ට්‍ර හා පාලන නීතිරීති යනාදිය ඒ වකවානුවේ දී යුරෝපීය ජාතීන් අත් අඩංගුවේ පැවති මෙරට ප්‍රදේශවල මෙන් නොව දිගු කලක් රැකුණේය. මේවායේ ඇතැම් අංග මෙකල ද පැවතීම නිසා භූලක්ෂණ අනුව පහතරට යයි හැඳින්විය යුතු පෙදෙස් ද ඓතිහාසික, සංස්කෘතික හා සමාජ පසුබිම සැලකීමෙන් උඩරටට අයත් සේ අදත් සැලකේ.
බ්‍රිතාන්‍යයන් ලංකාවේ පාලනය අත්පත් කරගත් වකවානුවේ දී හෙවත් 19 වැනි ශතවර්ෂය මුල දී උඩරට යන්නෙන් කවර ප්‍රදේශයක් අදහස් කරන ලද්දේ දැයි එකල මෙහි විසූ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන් හා එංගලන්තයේ මහආණ්ඩුව අතර හුවමාරු වූ ලියකියවිලි අනුව මහාචාර්යය තෙන්නකෝන් විමලානන්ද මහතා මෙසේ දක්වයි: “සිංහලේ, උඩරට, උඩරට රාජ්‍යය, සිංහලේ පළාත්, සිංහලේ රාජ්‍යය, උඩරට පළාත් යන යෙදුම් සමානාර්ථවත්ය. උඩරට රාජ්‍යය දිසා දොළසකින් ද රටවල් නවයකින් ද සමන්විත විය. දිසා නම් සතර කෝරළේ, සත් කෝරළේ, ඌව, මාතලේ, සපරගමුව, තුන්කෝරළේ, වලපනේ, උඩ පළාත, නුවරකලාවිය, වෙල්ලස්ස, බින්තැන්න හා තමන්කඩුවයි. රටවල් නම් උඩුනුවර, යටිනුවර, තුම්පනේ, හාරිස්පත්තුව, දුම්බර, හේවාහැට, කොත්මලේ, උඩ බුලත්ගම හා පාත බුලත්ගමයි” (උඩරට මහ කැරැල්ල - තුන්වැනි කාණ්ඩය, 253 පිට).
1815 දී මුළු ලංකාව ම ඉංග්‍රීසි පාලනය යටතට පත් වුව ද 1834 දක්වා ඉංග්‍රීසින් උඩරට පාලනය ගෙන ගියේ එය වෙන ම කොටසක් හැටියට සලකා රෙසිදන්තවරයකු යටතේය. 1834 දී ඇති කරන ලද අලුත් ආණ්ඩුක්‍රමය යටතේ උඩ පහත දෙරට එකතු කිරීමෙන් ලංකාව එක ම රාජ්‍යයක් හැටියට පාලනය කිරීම ආරම්භ විය. මෙසේ 1834 දී දේශපාලන ඒකකයක් වශයෙන් උඩරට ප්‍රදේශයේ පැවැත්ම අවසන් වූ නමුත් 1815 උඩරට ගිවිසුම යටතේ උඩරැටියන් සම්බන්ධයෙන් ඉංග්‍රීසි සිංහල දෙපක්ෂයේ සම්මුතියෙන් ඇති කරන ලද තීරණ හා සහන ක්‍රියාත්මක කළ යුතු වූයෙන් “උඩරට ප්‍රදේශ” යන්න අභාවයට නොගොස් දිගට ම රැකිණ.
බ්‍රිතාන්‍ය පාලන කාලයේ දී යම් යම් අණපනත්හි උඩරට පළාත් යන්නෙන් කවර ප්‍රදේශයක් අදහස් කරන ලද්දේ දැයි දැක්වේ. 1870 අංක 3 දරන උඩරට විවාහ ආඥා පනතෙහි “උඩරට පළාත්” මෙසේ වෙන් කර දක්වා ඇත: මධ්‍යම පළාත, වයඹ පළාතේ හත් කෝරළය හා පුත්තලමේ දෙමළ හත්පත්තුව, නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයෙහි බින්තැන්නේ උඩ, පල්ලෙ හා රද්ද පළාත්, නාදෙන, වැවගම්පත්තු, අක්කරපත්තු යන වන්නම් (වන්නි ප්‍රදේශ), පාණම කොට්ඨාසයේ සිංහල ගම් හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙහි කඩ්ඩුකුලම් පත්තුවේ සිංහල ගම්, සබරගමුව, හතර හා තුන්කෝරළ හා පහළ බුලත්ගම, දකුණු පළාතේ යක්කාවල, උතුරුමැද පළාතේ තමන්කඩුව හා නුවර කලාවිය, උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයෙහි සියලු ම සිංහල ගම් යනුවෙනි.
තව ද සමස්ත ලංකාව ඉංග්‍රීසි ආධිපත්‍යයෙන් මිදී ස්වාධීනතාව ලත් පසු ද උඩරට විවාහ නීතිය වැනි යම් යම් නීති සංස්ථා ආදිය නිසා “උඩරට” යන සංඥාව අවිනෂ්ටව පවතී.
1952 අංක 44 දරන උඩරට විවාහ හා දික්කසාද ආඥා පනතෙහි “උඩරට පළාත්” යනුවෙන් අදහස් කරනුයේ (1) මධ්‍යම පළාත (2) උතුරු මැද පළාත (3) ඌව පළාත (4) සබරගමු පළාත (5) උතුරු පළාතේ වවුනියා දිස්ත්‍රික්කයෙහි නැගෙනහිර හා බටහිර චින්නවෙඩ්ඩිකුලම් කෝරළ හා දකුණු කිලක්කුමුලෙයි කෝරළය (6) නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයෙහි බින්තැන්න පත්තුව, වැවගම් පත්තුව හා පාණම පත්තුව, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙහි කඩ්ඩුකුලම් පත්තුව (7) වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කය හා පුත්තලම දිස්ත්‍රික්කයෙහි දෙමළ හත්පත්තුව යන මේවාය.
උඩරට යනුවෙන් නියමිත භූගෝලීය බෙදීමක් නැති බව මෙහි ආරම්භයේ දී පෙන්වා දෙන ලද අතර මුහුදු මට්ටමින් අඩි 1,000ට වඩා උස් වූ මධ්‍ය කඳුකරය සාමාන්‍යයෙන් එසේ හැඳින්වෙන හෙයින් මේ ලිපියෙන් සාකච්ඡා කැරෙනුයේ එම භූගෝලීය ප්‍රදේශය බව සැලකුව මනායි.
භූගෝල විද්‍යාත්මක විස්තර
මෙම ප්‍රදේශය ඒ අවට පිහිටි පහත් භූමියෙහි සිට අඩතැනි දෙකක් වශයෙන් ඉහළට නහී. ලංකාවේ ඉතා උස් ස්ථානය වූ ද අඩි 8,292ක් උස් වූ ද පිදුරුතලාගල එහි මුදුනය. උතුරේ සිට මාතලේ නිම්නය, නකල්ස් කඳු, මහනුවර සානුව, දොළොස්බාගේ කඳුවැටි, පිදුරුතලාගල වැටි හා හෝටන්, මූන්, එල්ක් ආදි උස් තැනි ද හැටන් සානුව, ඌව ද්‍රෝණිය, ලුණුගල වැටිය, නැගෙනහිර වේදිකාව, ශ්‍රීපාද කඳුවැටිය, දක්ෂිණ ප්‍රාකාරය, දක්ෂිණ වේදිකාව, සබරගමු වැටිය හා රක්වාන කඳුකරය ද මහවැලි ගං නිම්නයේ වැඩි කොටසක් ද කැලණි, කළු හා වලවේ ගංගාවන්හි ඉහළ නිම්න ද උඩරට නමින් හැඳින්විය හැකි භූගෝලීය ප්‍රදේශයෙහි කොටස්ය.
භූමියෙහි උස් බව නිසා අවට පහත් බිම්වලට වඩා සිසිල් වූ මෙම පෙදෙස වඩාත් සුඛදායක ද වේ. මෙහි නිරිත දිග මෝසම් සුළඟින් වර්ෂාව ලබන බටහිර පෙදෙස ඊසාන දිග මෝසම් සුළඟින් වර්ෂාව ලබන නැගෙනහිර පෙදෙසට වඩා තෙත්ය. උඩරට ප්‍රදේශයේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 80-125ක් පමණ වුව ද සමනොළ අඩවියෙහි වැඩි කොටසකට හා නකල්ස් කඳු පෙදෙසට අඟල් 200ක පමණ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනයක් ලැබේ. උතුරු, දකුණු හා බටහිර උඩරට සෙසු පෙදෙස්වලට ලැබෙන සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 75-100කි. ඌව ද්‍රෝණිය උඩරට ඉතා ම වියළි පෙදෙසයි. මෙහි සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 50ක් පමණ වේ. වියළි වූ ද සිසිල් වූ ද මෙහි දේශගුණය විශේෂයෙන් සැපදායකය.
වර්ෂාව නොඅඩු හෙයින් උඩරට කඳුහෙල් ඔස්සේ ගලා බස්නා ඇළදොළ බොහෝය. ලංකාවේ ප්‍රධාන ගංගා වන මහවැලි, කළු, කැලණි, වලවේ හා මැණික් ගංගාවන්හි හා මහඔය, කිරිඳි ඔය ආදියෙහි මුල් හා අතු ගංගා සියල්ල ම පාහේ උඩරට පෙදෙසින් පටන් ගැනේ. උඩරට කඳුහෙල් හා සානු ඔස්සේ ඇදහැළෙන ගංගාවන්හි දියඇලි බොහෝය. දියළුම, දුන්හිඳ, ඇබර්ඩීන්, ලක්ෂපාණ, සෙන්ට් ක්ලෙයාර්, රම්බොඩ, මානවෙල, පේරවැල්ල, කුරුඳුඔය, එල්ජින්, ඩෙවන් ආදිය සුප්‍රසිද්ධ වූ ද ඉතා දැකුම්කලු වූ ද දිය ඇලිවලින් සමහරකි. ඒ ඒ ඍතුවල වැසිපල අනුව මෙම දිය ඇලිවල ජලප්‍රවාහය අඩුවැඩි වෙතත් මධ්‍ය කඳුකරයට වර්ෂා කාලයේ දී තද වැසි ලැබෙන හෙයින් වැසිපල අඩුකාලවල දී පවා දිය නොසිදේ.
වෘක්ෂලතාදිය
උඩරට කඳු පෙදෙස් තේ වගාව ආදිය සඳහා යොදා ඇතත් ස්වාභාවික වෘක්ෂලතාදිය ඉතිරිව ඇති කඳු හෙල් ද බොහෝය. මුහුදු මට්ටමේ සිට අඩි 5,000ට වඩා උස් පෙදෙස්වල සමශීතෝෂ්ණ කලාපීය ශාක සහිත වනාන්තර ඇති අතර වර්ෂාව නොඅඩුව ලැබෙන උඩරට සෙසු පෙදෙස්හි තෙත් සමක වනාන්තර ඇත. ලංකාවේ විශාල මහමුකළාන් වන සිංහරාජ අඩවිය හා සමනොළ අඩවිය උඩරට ඉතා ම වර්ෂාධික නිරිතදිග පෙදෙසෙහි පිහිටියේය. හොර, දුන, හැඩවක, දෙල්, දඹ, මිල්ල, ලියන්, නා, කැකුණ, අරිද්ද මෙම පෙදෙසේ වනාන්තරයන්හි බහුල ශාකය. තවද කොතල හිඹුටු, පුස්වැල්, දුල් ආදි ආරෝහක හා ලතා වශයෙන් වැඩෙන ශාක ද අපිශාක, මීවන, උඩවැඩියා හා නෙලු වර්ග ද මේ වනාන්තරයන්හි බොහෝය. මුහුදු මට්ටමෙන් අඩි 5,000ට වඩා උස් වූ ද අර්ධසමක වායුගුණයක් ඇත්තා වූ ද උඩරට පෙදෙස්හි මහරත්මල් (රොඩොඩෙන්ඩ්‍රොන් ආබෝරියුම්) ශාකය ඉතා බහුලව දක්නට ලැබේ. කීන, දොඹ , මීහිරිය ආදි තරමක් උස ගස් යට වැවෙන බඩල්හනස්ස, ඇත්වැරැල්ල, බට, මීවන ආදියෙන් යුත් ශාක මඬුල්ලක් මේ වනයන්හි ඇත. උඩරට ප්‍රදේශයේ විශාල තණබිම් පෙදෙස් දක්නට ලැබේ. වෘක්ෂ වර්ධනයට අප්‍රමාණවත් තරමින් වර්ෂාව ලැබෙන සානුවල හා කඳුබෑවුම්වල ඉලුක්, මානා ආදි තෘණවලින් යුත් පතන් නම් වූ තණබිම් ඇත. ඉතා ප්‍රසිද්ධ වියළි පතන් ඇත්තේ ඌව ද්‍රෝණියෙහිය. මහනුවර සානුවෙහි ද නකල්ස් ප්‍රදේශයෙහි ද රක්වාන-දෙණියාය ප්‍රදේශයෙහි ද මෙවැනි පතන් ඇත. පිදුරුතලාගල අවට වූ හෝටන්, එල්ක්, මූන් ආදි උස් තැනිවල තෙත්පතන් නමින් හැඳින්වෙන තණබිම් ඇත. මේ පතන්වල අතරින් පතර ද මහරත්මල් ශාකය වැඩේ. උඩරට ප්‍රදේශයේ වන වගා කිරීමේ ව්‍යාපාරය යටතේ මෙම පතන්වලින් වැඩි කොටසක් යූකැලිප්ටස් හා සයිප්‍රස් වගා කිරීම සඳහා යොදා ඇත.
ආර්ථික කටයුතු
කන්ද උඩරට රාජ්‍ය සමයේ දී උඩරට ජනාවාසව පැවති පෙදෙස් බොහෝදුරට වී ගොවිතැනත් එදිනෙදා ආහාර සඳහා අවශ්‍ය වූ බෝග වර්ගත් වවා ගත් ස්වයංපෝෂිත ජනසමූහයකට වාසභූමි වූවා මිස දැන් මෙන් වැවිලි කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය නොවීය. එකල වෙළෙඳ ද්‍රව්‍ය වශයෙන් උඩරට පෙදෙස්වලින් කුරුඳු, කරාබු, එන්සාල්, ගම්මිරිස් ආදි කුළුබඩු හා පුවක් රැස් කර ගත් නමුත් ඒ සඳහා සංවිධානය වූ වගාවල් නොතිබිණ.
දැනට පවත්නා අන්දමින් උඩරට ආර්ථික ක්‍රමය හැඩගැසෙන්නට වූයේත් වැදගත් වන්නට වූයේත් විශේෂයෙන් ම බ්‍රිතාන්‍ය පාලන සමයේ දීය. 19 වැනි ශතවර්ෂය මැද භාගයේ දී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනය තහවුරු වන විට එතෙක් මුහුදුබඩ පළාත්හි බලය රැකගෙන සිටි ලන්දේසීන් මහත් ලාභ ලැබූ කුරුඳු වෙළෙඳාම ද හීන වන්නට පටන් ගෙන තිබිණි. එහෙයින් කෝපි වැවීම කෙරෙහි බ්‍රිතාන්‍යයන්ගේ සැලකිල්ල යොමු විය. මධ්‍යම, ඌව හා සබරගමු පළාත්හි බොහෝ පෙදෙස් කෝපි වගාව සඳහා යොදවනු ලැබීය. ලංකාවේ වර්තමාන ආර්ථික ක්‍රමයෙහි වුව ද ඉතා වැදගත් ස්ථානයක් උසුලන වතුවැවිලි ආරම්භ වූයේ උඩරට කෝපි වගාව සමඟය. කෝපි වැවිල්ල සාර්ථක ආදායම් මාර්ගයක් බව දුටු බ්‍රිතාන්‍යයෝ උඩරට පෙදෙස් කරා මහා මාර්ග හා දුම්රිය මාර්ග තැනීමට යුහුසුලු වූහ. වැවිලි ප්‍රදේශ කරා මාර්ග තැනීම ද මාර්ග දියුණුවීම සමඟ වැවිලි ප්‍රදේශ ව්‍යාප්ත වී යාම ද සිදු විය. දිලීර රෝගයක් පැතිර යෑම නිසා කෝපි වගාව විනාශ වී යෑමත් සමඟ ම සින්කෝනා වැවිල්ල ද ඊට අනතුරුව තේ වැවිල්ල ද ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය. විටින් විට බාධා ඇති වූ නමුදු ඒ සියල්ල මැඩගෙන තේ වැවිල්ල දියුණු විය. ලංකාවේ සාර්ථකව රබර් වැවිය හැකි බව වැවිලිකරුවන් දැනගත් පසු රබර් වැවීම ද අරඹනු ලැබීය. ලෝක වෙළෙඳ පොළෙහි රබර් මිල වැඩි වූ හෙයින් විසිවැනි ශත වර්ෂය මුල්භාගයේ දී රබර් වැවිල්ල ශීඝ්‍රයෙන් දියුණු විය.
ලංකාවේ වැවිලිකරු දිස්ත්‍රික්ක 65න් 40ක් පමණ ම උඩරට පිහිටා ඇත. උඩරට වැවිලි වගා අතුරෙන් ප්‍රධාන වනුයේ තේය. ලංකාවේ තේ වගාව සඳහා යොදවා ඇති ඉඩම් දක්කර 591,984න් 322,624ක් ම පිහිටා ඇත්තේ මධ්‍යම පළාතෙහිය. මුහුදු මට්ටමේ සිට අඩි 1,000-2,000 දක්වා වූ පෙදෙස්හි රබර් වගාව දියුණු වී ඇත. රබර් වගාව වැඩියෙන් ම ව්‍යාප්තව ඇත්තේ සබරගමු පළාතේයි. උඩරට ප්‍රදේශයේ වගා කෙරෙන වෙනත් වැවිලි බෝග අතුරෙහි කොකෝවා හා කෝපි ද වැදගත් වේ. මහනුවර හා මාතලේ දිස්ත්‍රික්ක මෙම බෝග වගාව පිළිබඳව විශේෂ ප්‍රසිද්ධියක් දරන පෙදෙස්ය. මධ්‍යම පළාත හා ඌවේ පළාතේ වැලිමඩ ප්‍රදේශය ප්‍රමුඛ උඩරට පෙදෙස්හි විශාල වශයෙන් කැරට්, බීට්, ගෝවා වැනි රට එළවළු වගාව දියුණු වී ඇත.
සමශීතෝෂණ දේශගුණයන්හි සරු ලෙස වගා කළ හැකි මල් ද පෙයාර්, අලිගැට පේර, ඩූරියන්, කෙසෙල් හා වැල්දොඩම් ද ග්‍රේප් ෆ්‍රැට්, පැණි දොඩම් ආදි දොඩම් වර්‍ග ද වැවීම උඩරට යම් යම් පෙදෙස්වල ආදායම් මාර්ග වශයෙන් සැකසී ඇත. ගම්මිරිස්, එන්සාල්, කරාබු හා සාදික්කා ආදිය ද විශේෂයෙන් ම මහනුවර, මාතලේ, කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්කවල ද අවට පෙදෙස්වල ද වවනු ලැබේ. මාතලේ, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල දුම් වගාව (සිගරැට් සඳහා) කෙරේ. උඩරට පෙදෙස්වල ද පරිභෝග කෘෂිකර්මයෙහි ලා ප්‍රධාන වනුයේ වී ගොවිතැනය. සාමාන්‍යයෙන් මුහුදුමට්ටමේ සිට අඩි 3,000ට වඩා උස් වූ බිම්හි වී වගා කරනු නොලැබේ. පටු නිම්නයන්හි හා කඳු බෑවුම්හි පඩිපෙළවල් මෙන් සැදි කන්දැති (හෙල්මළු) ලියැදි පන්ති වී වගාව කෙරෙන උඩරට පෙදෙස්හි විශේෂ ලක්ෂණයකි. ඒ ඒ ප්‍රදේශයට හුරු පුරුදු පරිද්දෙන් එළවළු, අලබතල, ධාන්‍ය ආදි බෝග වර්ග සාමාන්‍ය ගොවිජනයා විසින් වවාගනු ලැබේ.
නිෂ්පාදන කර්මාන්ත වශයෙන් උඩරට වැදගත් වී ඇත්තේ විශේෂයෙන් තේ, රබර් ආදි ද්‍රව්‍ය වෙළෙඳපොළට සැකසීමේ කර්මාන්තය. අමුද්‍රව්‍ය ලබා ගැනීමේ පහසුව, දේශගුණයේ යෝග්‍යතාව ආදි හේතූන් නිසා උඩරට පෙදෙසෙහි ස්ථානගත කර්මාන්ත කීපය අතුරෙහි විශේෂයෙන් ම මධ්‍යම පළාතේ ඒ ඒ ස්ථානයන්හි පිහිටි බීර, චොකලට්, පලතුරු බීම ආදිය නිපදවීමේ කර්මාන්ත සඳහන් කළ හැකිය. ඒ ඒ පෙදෙස්වලින් එම ගොවි ද්‍රව්‍ය රැස් කර ශීතනය හා විජලනය ආදි නව ක්‍රම මගින් කල්තබාගැනීම සඳහා වූ මධ්‍යස්ථාන දෙකතුනක් නුවරඑළිය හා මහනුවර අසල ඇත. මේ හැර තැන තැන උළුගඩොල් කර්මාන්තය කෙරෙනු දැකිය හැකි අතර පිත්තල කර්මාන්තය, මේවර කර්මාන්තය, ඇත්දත් හා අං කර්මාන්තය, කළාල හා පැදුරු විවීම වැනි පැරණි කලාශිල්ප ගෘහ්‍ය කර්මාන්ත වශයෙන් තන්හි තන්හි කරගෙන යනු ලැබේ.
ඛනිජ සම්පත් අතින් උඩරට ප්‍රධාන වනුයේ විශේෂයෙන් ම රත්නපුර පෙදෙසින් ලබාගන්නා මැණික්ය. උඩරට පෙදෙස්හි ප්‍රයෝජනයට ගන්නා වෙනත් නිධි අතුරෙහි මිනිරන්, හුනුගල් හා තලාතු මිනිරන් වැදගත් වේ.
ප්‍රවාහණය
උඩරට පෙදෙස්හි පමණක් නොව ලංකාවේ අනික් පෙදෙස්හි ද මංමාවත් දියුණු වූයේ බ්‍රිතාන්‍ය පාලන සමයේ දීය. මුල දී විශේෂයෙන් ම කඳුකර පළාත් මනාව පාලනය කරගැන්මට ගමනාගමන පහසුකම් අත්‍යවශ්‍ය යැයි සැලකූ බ්‍රිතාන්‍යයෝ ලංකාවේ මාර්ග තැනීමට යුහුසුලු වූහ. 1820ත් 1825ත් අතර කාලයේ දී ම කොළඹ, මහනුවර, කුරුණෑගල හා දඹුල්ල සම්බන්ධ කළ මහාමාර්ග පද්ධතියක් ඉදි කරනු ලැබීය. කඳුහෙල් ඔස්සේ පහසු ගමන්මාර්ග නොතිබුණු හෙයින් ස්වාභාවික වශයෙන් ම ආරක්ෂා සහිත වූ උඩරට ප්‍රදේශයේ මංමාවත් ඉදිවීමෙන් එම රැකවල් බිඳ වැටුණේය. 1832 වන විට කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ද මාර්ග පහසුකම් සැලසිණ.
වතුවගාවන් උදෙසා උඩරට මාර්ග දියුණු කරන්නට යෙදුණේ 1832න් පමණ පසුවය. 1832-48 කාලයේ දී විශේෂයෙන් ම කෝපි වතු කරා පාරවල් යෙදීම නිසා බදුල්ල හා නුවරඑළිය ආදි නගරයන්ට ද 1848 වන විට කොළඹ සිට අවිස්සාවේල්ල ඔස්සේ යටියන්තොට හා රක්වාන දක්වා ද මාර්ග ඉදි වූ හෙයින් සබරගමු කොටසට ද මාර්ග පහසුකම් සැලසිණ. උඩරට ප්‍රදේශයේ කෝපි, තේ ආදි වතුවගාවන් දියුණු වත් ම 1850ත් 1870ත් අතර කාලයේ දී මහනුවර, මාතලේ, නුවරඑළිය හා බදුල්ල අවට පෙදෙස්වලට ද මාර්ග ඉදි කරනු ලැබීය.
එංගලන්තයේ දුම්රිය සේවය ඉතා සතුටුදායක බව පෙනීයත් ම ලංකාවේ ද ආර්ථික කටයුතු උදෙසා ම දුම්රිය මාර්ග තැනීමට බ්‍රිතාන්‍ය පාලකයෝ මැළි නොවූහ. වතුකරයේ පහසුව උදෙසා 1858 පමණේ දී සෑදීමට ආරම්භ කරන ලද දුම්රිය මාර්ගය 1867 වන විට මහනුවර දක්වා ම ඉදි කර සම්පූර්ණ විය. උඩරට වැවිලිකරයේ බඩු අගනුවර කරා යැවීමට දුම්රිය සේවය ඉතා ප්‍රයෝජනවත් වූයෙන් 1883 වන විට නානුඔය දක්වා ම දුම්රිය මාර්ග ඉදි කරනු ලැබීය. මාතලේට නැගෙනහිර දෙසින් වූ වතුකරයට අදාළ පරිද්දෙන් 1880 දී මාතලේ දක්වා ද දුම්රිය සේවාව දික් කරන ලදි. පසුව බදුල්ල දක්වාත් රත්නපුරය දක්වාත් දුම්රිය මාර්ග ඉදි කෙරුණෙන් ඌව හා සබරගමු පළාත්වලට ද ශීඝ්‍ර ගමනාගමන පහසුකම් සැලසිණ.
ජනගහනය
දේශපාලන වශයෙන් උඩරට පළාත් බ්‍රිතාන්‍යයන් අතට පත් වීමෙන් පසුව එහි විශේෂයෙන් ම ඇති වූ ආර්ථික විපර්යාස නොයෙකුත් සමාජ විපර්යාසයන්ට ද තුඩුදුන්නේය. එතෙක් උඩරට පළාත්වල විසුවෝ කන්ද උඩරට රාජධානියෙහි සිරිත්විරිත්, නීතිරීති ආදිය අනුව තමතමන්ට පාරම්පරිකව හිමි වූ කර්මාන්ත හා රැකියාවන් කරමින් යැපුණෝ වූහ. වී ගොවිතැන ප්‍රමුඛ කෘෂිකර්මය පදනම් කරගත් ගම්වලට සීමා වී කුඩා ජනසමූහ වශයෙන් ඔව්හු විසූහ.
බ්‍රිතාන්‍ය පාලකයන් විසින් උඩරට පළාත්හි වතු ව්‍යාපාරය දියුණු කිරීමත් සමඟ ම කුඩා ගම්වල විසූ සිංහල ජනයා කොන් වී ගියහ. යුරෝපීය වතුහිමියෝ සිය වතුවලට අවශ්‍ය වූ ශ්‍රමය උදෙසා ලක්ෂ ගණනින් ඉන්දියානු ද්‍රවිඩ කුලීකරුවන් උඩරටට ගෙන්වා ගත්හ. මේ හේතුවෙන් උඩරට පෙදෙස්වල එතෙක් පැවති ජනාවාස රටාවෙහි පමණක් නොව ජන සංඛ්‍යාවෙහි ද ජාතීන් වශයෙන් ජනගහනය සමන්විත වී තුබුණු ආකාරයෙහි ද මහත් වෙනසක් ඇති විය. විශේෂයෙන් ම මෙම පෙදෙස්වල ජනගහනයට විශාල ඉන්දියානු ද්‍රවිඩ පිරිසක් එක් වූහ. එසේ වුව ද උඩරට ප්‍රදේශයේ නුවරඑළි දිස්ත්‍රික්කයෙහි හැර අනෙක් සෑම දිස්ත්‍රික්කයක ම ජනගහනයෙන් වැඩිදෙනා උඩරට සිංහලයෝය. 1963 ජන සංගණන වාර්තා අනුව සංඛ්‍යා වශයෙන් උඩරට සිංහල ජනයා ප්‍රධානව සිටින දිස්ත්‍රික්ක වනුයේ පිළිවෙළින් කුරුණෑගල, මහනුවර, කෑගල්ල, රත්නපුර, බදුල්ල, අනුරාධපුරය, මාතලේ, නුවරඑළිය, මොනරාගල, අම්පාරේ හා වවුනියාවය.
(සංස්කරණය: 1970)