උඩරට රාජධානියේ ඉතිහාසය
ලංකාවේ මැද පිහිටි කඳුකර ප්‍රදේශය බෙහෙවින් ම වනගතව පැවතියේ ඈත අතීතයේ දී ජනාකීර්ණ දියුණු සභ්‍යත්වයක් සහිත රාජධානියක මධ්‍යස්ථානයක් නොවීය. මලය රට නමින් හැඳින්වුණු ඒ ප්‍රදේශය එකල වැදගත් වූයේ පරසතුරු ආක්‍රමණවලට උතුරේ රාජධානිය යට වූ අවස්ථාවල දී ඒ සතුරන්ට විරුද්ධව සිංහලයන් ගෙනගිය ව්‍යාපාරවලට රැකවරණ සලසා දුන් ප්‍රදේශයකුත් කැරලිකරුවන්ට හා නීතියේ රැහැණින් මිදුණවුන්ට අභය ස්ථානයකුත් වශයෙනි. මේ ප්‍රදේශය වසා පැතිර ගත් රාජ්‍යයක් පළමු වරට බිහි වූයේ දහහතරවන ශතවර්ෂයේදීය. මහවැලි ගඟ අසල පිහිටි ගඟසිරිපුර හෙවත් ගම්පොළ කේන්ද්‍රස්ථානය කොටගෙන බිහි වූ ඒ රාජ්‍යයේ අගනුවර ඊළඟ ශතවර්ෂයේ අගභාගයේ දී සෙංකඩගල නුවරට මාරු විය. ඉතිහාසය හදාරන්නන් උඩරට රාජධානිය වශයෙන් සාමාන්‍යයෙන් හඳුන්වන්නේ මේ සෙංකඩගල රාජධානියයි. එහෙත් ගම්පොළ රාජධානිය ද උඩරට ප්‍රදේශයේ පිහිටි හෙයින් හා එහි රජකු ම සෙංකඩගල පුරය සිය පාලන මධ්‍යස්ථානය කරගැනීමෙන් මහනුවර උඩරට රාජධානිය බිහි වූ හෙයින් ගම්පොළ රාජධානි සමය ද මෙහි මුළුමනින් විස්තර වෙයි.
දහහතරවන ශතවර්ෂය ආරම්භයේ දී සිංහල රාජධානියේ අගනුවර වූයේ කුරුණෑගලයි. මෙය හැර දමා ගම්පොළ ඒ වෙනුවට තෝරාගැනීමට තුඩු දුන් හේතු කවරේ දැයි යනු අප්‍රකට හෙයින් ඒ පිළිබඳව යමක් කිව හැක්කේ අනුමානමාත්‍රයෙනි. ‘බෝදාමාපාණන්දැ’ විසින් මෙහෙයවන ලද කැරැල්ලක් ගැන පසුකල ලේඛනයක සඳහන් වී ඇති බැවින් අභ්‍යන්තර වියවුල් නිසා කුරුණෑගල අත්හැරපියන ලදැයි සිතිය හැකියි. මේ හැර ආර්යචක්‍රවර්තීන් යටතේ උතුරේ වැඩී ආ ද්‍රවිඩ රාජධානිය මෙකල බලපරාක්‍රමයෙන් සිංහල රාජධානිය පසුබැස්වූ හෙයින් කුරුණෑගලට වඩා ස්වාභාවික රැකවරණයන්ගෙන් ආරක්ෂාව ලත් ගම්පොළ තෝරාගන්නා ලද්දේ උතුරේ ඒ රාජ්‍යයෙන් එල්ල වූ අභියෝගයට ප්‍රතික්‍රියාවක් වශයෙනැයි සැලකීමට ද ඉඩ තිබේ.
පටුන
- 1 ගම්පොළ රාජධානිය
- 2 සෙංකඩගල අගනුවර වීම
- 3 උඩරට සීතාවකට යටත් වීම
- 4 පෘතුගීසී ප්‍රයත්න
- 5 උඩරට සිංහලේ අග්‍රරාජධානිය වීම
- 6 ලන්දේසි-උඩරට සබඳතා
- 7 සාම කාලයක්
- 8 නායක්කර් වංශය
- 9 අවනතිය හා අවසානය (1739 සිට 1815 දක්වා)
- 10 අවනතියේ ප්‍රධාන සාධකය
- 11 ලන්දේසි-උඩරට සාමය අවසන් වීම
- 12 ඉංග්‍රීසි තානාපතියෙක්
- 13 ප්‍රංස විප්ලවයේ බලපෑම හා ලන්දේසි ප්‍රදේශ ඉංග්‍රීසීන් සතුවීම
- 14 නෝත්ගේ උපක්‍රම
- 15 ප්‍රථම ඉංග්‍රීසි ආක්‍රමණය
- 16 බ්‍රවුන්රිග්
- 17 උඩරට රාජ්‍යයේ අවසානය
ගම්පොළ රාජධානිය
ගම්පොළ සිය අගනුවර වශයෙන් තෝරාගත් පළමුවැන්නා හතරවැනි භුවනෙකබාහු (ක්‍රි.ව. 1341/2 - 1353/4) රජය. ශක වර්ෂ 1266 (ක්‍රි.ව. 1344) ඔහුගේ රාජපදප්‍රාප්තියෙන් තුන්වැන්න බව ගම්පොළට නුදුරුව පිහිටි ලංකාතිලක හා ගඩලාදෙණි සෙල්ලිපිවල සඳහන් වී ඇති හෙයින් ඔහු රජ වූයේ ක්‍රි.ව. 1341/2 දී විය යුතු. ඊට අවුරුදු තුනකට පසු ඔහුගේ සොහොයුරු පස්වන පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1344/5 - 1359) හතරකෝරළයට අයත් දැදිගම සිට රාජ්‍ය පාලනය ගෙනගිය බව හපුගස්තැන්නේ සෙල්ලිපියෙන් හා තිසර සන්දේශයෙන් පෙනේ.
හතරවැනි භුවනෙකබාහු යටත් පිරිසෙයින් 1353/4 දක්වා ද පස්වන පරාක්‍රමබාහු 1359 දක්වා ද රජ කළ බවට සාක්ෂි ඇත. ගම්පොළ රාජ්‍යයේ කිරුළ ඊළඟට දැරුවේ සිරිසඟබෝ ශ්‍රී වික්‍රමබාහු නමින් සෙල්ලිපිවල හඳුන්වන තුන්වන වික්‍රමබාහු (ක්‍රි.ව. 1356 - 1374/5) රජය. ශක වර්ෂයෙන් 1282 (ක්‍රි.ව. 1360) ඔහුගේ රාජ්‍යෝදයෙන් සිව්වන වර්ෂය බව විගුලවත්ත සෙල්ලිපියේ සඳහන් වේ. ඔහු ක්‍රි.ව. 1356 දී රජ පැමිණි බවත් යටත් පිරිසෙයින් තුන් අවුරුද්දක් ඔහු හා පස්වැනි පරාක්‍රමබාහු සහායක රජුන් වශයෙන් පාලනය ගෙනගිය බවත් මෙයින් පෙනේ. වික්‍රමබාහු ඉතා අඩු වශයෙන් අටළොස් වසක් කිරුළ දැරූ බවට සාක්ෂි ඇති හෙයින් ඔහු ක්‍රි.ව. 1374/5 දක්වා පාලනය ගෙන යන්නට ඇත.
ගම්පොළ රාජධානියේ දේශපාලන ඉතිහාසයේ ප්‍රධාන ලක්ෂණ කිහිපයක් සාකච්ඡා කිරීමේ දී මේ රජවරුන් තිදෙනාගේ ම රාජ්‍ය කාලය, එනම් 1341/2 සිට 1374/5 දක්වා කාලපරිච්ඡේදය, එකවිට සැලකිල්ලට භාජන කිරීම පහසුයි.
මේ යුගය තුළ කැපී පෙනෙන එක් ලක්ෂණයක් නම් මේ දිවයිනේ දකුණු දෙසටත් ගිනිකොන දෙසටත් ගම්පොළ රජුන්ගේ අණසක පැතිරී යාමයි. පොළොන්නරු රාජධානියේ අවසාන කාලපරිච්ඡේදයේ දී එල්ල වූ විදේශාක්‍රමණ නිසා රුහුණ හා රජරට අතර සම්බන්ධය කැඩීගිය බව පෙනේ. දඹදෙණියේ රජුන්ගේ අවධානය යොමු වූයේ මායා රටටත් රජරටටත් පමණි. පැරණි ශිෂ්ටාචාරයට නිජ බිම වූ උතුරුදිග තැනිතලාව දෙස පමණක් බැලූ ඔවුන්ගේ වැඩපිළිවෙළේ රුහුණ ගැන කිසිවක් ඇතුළත් නොවූ සේය. එහෙත් සිංහල රාජ්‍යයේ කේන්ද්‍රස්ථානය දිවයිනේ මධ්‍ය කඳුකරය දෙසට යත් ම මේ තත්වය වෙනස් වූ බවට සාක්ෂි තිබේ. IV වන භුවනෙකබාහු හා V වන පරාක්‍රමබාහු රජුන් දවස මහමැතිකම් කළ සේනාලංකාධිකාර සෙනෙවිරත්හු දෙවිනුවරත් වැලිගමත් විහාරාරාම තැනවූහ. ගම්පොළ රජුන්ට ඒ ප්‍රදේශයේ දේශපාලන බලයක් නොවී නම් මෙවැනි කාර්යයක් සේනාලංකාධිකාරින් නොකරනු ඇත. තවද දෙවිනුවර විසූ කවියකු විසින් මෙකල ලියන ලද තිසර සංදේශයෙහි දැතිගම්පුර පරාක්‍රමබාහු වර්ණනා කරන ලද්දේ ඒ රජුගේ අණසක ඒ ප්‍රදේශය දක්වා පැතිර පැවති නිසා විය යුතුයි. මේ නිසා රෝහණය නැවත දිවයිනේ ප්‍රධාන සිංහල රාජ්‍යයට අයත් වීම මෙකල සිදු වී යයි සිතිය හැකිය.
උතුරේ ආර්ය චක්‍රවර්ති රාජධානියෙන් එල්ල වූ අභියෝගය අගනුවර වශයෙන් ගම්පොළ තෝරා ගැනීමට තුඩු දුන් හේතුවකැයි ඉහත සඳහන් කරන ලදි. යාපාපටුන රාජ්‍යයේ පාලකයාගේ ආක්‍රමණයක් වැඩිකල් නොයාදී ම උඩරටට එල්ල විය. සිංගයිනගර්හි ආරියන් නමැත්තකු විසින් හතරකෝරළය ආක්‍රමණය කොට දැදිගම රජ වූ පරාක්‍රමබාහු ඉන් පලවා හැරිය බව කොටගම හා ලහුගල සෙල්ලිපිවලින් පෙනීයයි. හාරිස්පත්තුවට අයත් මැදවෙල බෝමළුවේ තිබී සම්බ වූ සෙල්ලිපියකට අනුව 1359 දී වික්‍රමබාහු III වන රජු දවස මර්තාණ්ඩන් පෙරුමාළුන් නමැත්තා ගම්පොළ රාජධානියට අයත් සිදුරුවාන බලවිට, මාතලේ, දුම්බර හා සගම තුන් රට යන ප්‍රදේශවල අයබදු අය කිරීම බ්‍රාහ්මණයන්ට පැවරීය. මර්තාණ්ඩන් පෙරුමාළුන් අන් කිසිවකු නොව කොටගම සෙල්ලිපියෙහි සඳහන් සිංගයිනගර්හි ආරියන් නම් ආර්ය චක්‍රවර්තීන් ලෙස සැලකෙන හෙයින් ඒ ආක්‍රමණය නිසා සතර කෝරළය පමණක් නොව උඩරට රාජධානියට අයත් තවත් පළාත් කිහිපයක් ද යාපාපටුනට යටත් වූ බව පෙනේ. ආර්ය චක්‍රවර්ති උඩරටින් හා පහතරටින් ද අයබදු ගෙන්වා ගත්තේ යයි රාජාවලිය සඳහන් කරනුයේ මේ යුගය සම්බන්ධයෙන් විය යුතුයි.
මෙකල සුලභව දක්නට ලැබුණු රාජ්‍යපාලන චාරිත්‍රයක් නම් රජුන් කිහිප පොළක් එකවිට සහායක රජුන් ලෙස රාජ්‍ය කටයුතු විචාරීමයි. හතරවන භුවනෙකබාහු ගම්පොළ රජ කළ අතර ඔහුගේ සොහොයුරු V වන පරාක්‍රමබාහු දැදිගම සිට රට පාලනය කෙළේය. 1356/7 - 1359 කාලපරිව්ඡේදය තුළ V වන පරාක්‍රමබාහු හා III වන වික්‍රමබාහු සහායක පාලකයෝ වූහ. 1371 - 1374/5 කාලය තුළ III වන වික්‍රමබාහු හා V වන භුවනෙකබාහු සහායක රජවරු වූහ. දහසයවන සියවසේ මැදහරිය වන තෙක් නිතර දක්නට ලැබෙන මේ සම්මත සිරිත කවදා කෙසේ ඇති වූවක් ද යන්න ස්ථිරව ම කිව නොහැකිය. වෝළ අධිරාජ්‍යයේ ද එබන්දක් පැවති බව පෙනෙන්නට ඇති හෙයින් එය එහි සිට ලංකාවට ඇබ්බැහි වූවකැයි සිතිය හැකියි. එහෙත් ලංකාවේ එය මුල් බැසගත්තේ එදා දේශපාලන වාතාවරණය එහි මුල්බැසගැනීමට හිතකර එකක් වූ නිසා විය යුතුයි. බාහිර උපද්‍රවවලට සාර්ථකව මුහුණදීමට රාජ්‍යයක් අපොහොසත් වූ විට ඇති වන එක ප්‍රතිඵලයක් නම් ප්‍රාදේශීය පාලකයන් යටතේ බලය තහවුරු වීමට ඉඩ ලැබීමයි. මධ්‍යම ආණ්ඩුවේ බලය පිරිහී යත් ම විකේන්ද්‍රණකාරි ලක්ෂණ රාජ්‍යය තුළ පහළ වේ. සහායක රජුන් පහළ වන්නට පටන් ගත්තේ මධ්‍යම ආණ්ඩුවේ බලය දුර්වල වී ගිය නිසා විය යුතුයි. තත්කාලීන කෘතියක් වූ නිකාය සංග්‍රහයෙහි ද්වීපාධිරාජ, මාණ්ඩලිකරාජ, ප්‍රදේශරාජ, අන්තර්භෝගිකරාජ හා අනුශාසකරාජ යනුවෙන් රජුන් පස්වර්ගයක් ගැන සඳහන් වී ඇති හෙයින් එදා එය සම්මත රාජ්‍යපාලන චාරිත්‍රයක් වූ බව පෙනීයයි.
එකල දක්නට ලැබුණේ මධ්‍යම ආණ්ඩුවේ බලය දුර්වල කළ සහායක රජුන්ගේ පාලනයක් පමණක් නොවේ; එය රජුන්ටත් වඩා බලවත් වූ මහාමාත්‍යවරුන්ගේ යුගයක් ද විය. භුවනෙකබාහු IV දවස සිටි සේනාලංකාධිකාර මේ මහාමාත්‍යවරුන් අතරින් පළමුවැන්නා විය. ශ්‍රී මහාබෝධිය ලක්දිවට වඩාගෙන ආ බෝධිගුප්ත කුමාරයාගේ පරපුරින් පැවත එතැයි කියනු ලබන මෙහෙණවර වංශයට අයත් ඔහු පේරාදෙණියට නුදුරු සිඟුරුවානයේ (සිඳුරුවානේ) උපත ලැබූවෙකි. සේනාලංකාධිකාරගේ ජන්ම ප්‍රවේණියෙහි තැනුණු අහිනව ලංකාතිලක විහාරයට භුවනෙකබාහු IV 1344 දී ගම්බිම් පූජා කෙළේ ඔහුගේ ඉල්ලීම නිසායි. දෙවිනුවර තුන්මහල් සිටි පිළිම ගෙයක් ද අක්බෝ වෙහෙර අටළොස් රියන් පිළිම ගෙයක් ද කරවූ ඔහු ශාසනසංශෝධනයක් ද කළ බව නිකාය සංග්‍රහයේ සඳහන් වේ. මේ හැර දකුණු ඉන්දියාවේ කාඤ්චිපුරයෙහි සළපිළිම ගෙයක් ද ඔහු කරවූ බව ඒ කෘතියේ ම සඳහන් වේ. 1360 වන විට ඔහුගේ තේජෝබලපරාක්‍රමය තරමක් අඩු වී රාජ්‍ය නිලධාරීන් අතරින් ඔහුට දෙවැනි තැන ලැබී තිබුණු බව විගුලවත්ත සෙල්ලිපියෙන් පෙනේ. පසුකාලයේ අලගක්කෝනාර පවුල ලංකාවේ ලැබූ තැන ලබාගැනීමට ඔවුන්ට මඟ හෙළි කෙළේත් මඟ පෙන්වූයේත් සේනාලංකාධිකාර සෙනෙවිරත් විසිනැයි කිව හැකියි.
වික්‍රමබාහුගෙන් පසු ගම්පොළ සිහසුන ලැබුයේ භුවනෙකබාහු V (1371-1407) ය. වික්‍රමබාහු ජීවතුන් අතර සිටිය දී ම 1371 දී රජ පැමිණි ඔහු සතිස්වසක් වත් රජ කළ බවට සෙල්ලිපි සාධක ඇති හෙයින් යටත් පිරිසෙයින් ක්‍රි.ව. 1407 දක්වා ඔහු කිරුළ දැරූ බව නිසැකයි. ඔහුගේ රාජ්‍යකාලයට අයත් දේශපාලන වැදගත්කමක් හිමි වන කරුණු දෙකකි. යාපාපටුන් රජුගේ ආධිපත්‍යයෙන් සිංහල රාජ්‍යය මිදීම පළමුවැන්නය; රාජ්‍ය බලය වොටුනු නොපලන් රජුන් කිහිපපොළක් අත කෙළිබඩුවක් බවට පත්වීම දෙවැන්නය.
මායාරටට හා උඩරටට අයත් ප්‍රදේශ කිහිපයක් ම 1359 දී ඇති වූ ආක්‍රමණය නිසා ද්‍රවිඩ ආධිපත්‍යය, යටතට ගිය බව ඉහත පෙන්වා දෙන ලදි. මේ ආධිපත්‍යයෙන් ඒ ප්‍රදේශ මුදාගැනීමේ කාර්යය සංවිධානය කෙළේත් එහි නායකත්වය ගත්තේත් අලකේශ්වර (බ.) නමැත්තෙකි. කොළඹට නුදුරු වූ ගොහොරු බිම් ප්‍රදේශයක් එළිපෙහෙළි කරවා දාරුග්‍රාමය පිහිටි ස්ථානයෙහි ජයවර්ධන කෝට්ටේ බලකොටුව තැනවීම ඔහු මේ සඳහා ගත් පළමුවන පියවරයි. කටයුතු සම්පාදනයෙන් පසු යාපාපටුන් රජුගේ අයකැමියන් ද එල්ලා දැමූ ඔහු පහතරට වූ දෙමළ කඳවුරුවලට පහර දී ඒවායින් ඔවුන් පලවා හැරියේය. විදේශීය ආධාර ලබාගත් ආර්ය චක්‍රවර්ති ගොඩහමුදාවක් මාතලේ දක්වා ද නැව්හමුදාවක් පාණදුරා තොටමුණ දක්වා ද එවීය. ද්‍රවිඩ සේනාව හා යුද වැදීමට බිය වූ බුවනෙකබා රජ අලකේශ්වර වෙත පලා ගියේය. එහෙත් මෙයින් නොපසුබට වූ උඩරට සේනාව මාතලේ වාඩිලාගෙන සිටි උතුරේ සේනාවට පහර දී ආක්‍රමණිකයන් පලවා හැරියහ. මේ අතර පහතරටට ආ දමිළ හමුදාව ද අලකේශ්වර විසින් පරදවන ලදුයෙන් ද්‍රවිඩ ආධිපත්‍යයෙන් රට මුදා ගැනිණි. ඊට පසු ද්‍රවිඩ අභියෝගයක් දකුණට එල්ල වූ බවක් නොපෙනේ.
දකුණු ඉන්දියාවේ වඤ්චිපුරයේ සිට ලක්දිවට පැමිණි නිශ්ශංක අලගක්කෝනාරයන්ගෙන් පැවත එන්නකු වශයෙන් අලකේශ්වර හැඳින්වේ. දහහතරවන සියවසේ මුල දී උතුරේ සිට දකුණු ඉන්දියාවට එල්ල වූ මුස්ලිම් ප්‍රහාර නිසා දකුණේ සමහර පවුල් සිය මව්බිම හැර ලක්දිවට සංක්‍රමණය වූ බව පෙනේ. මෙහි පදිංචි වූ ඔව්හු බුදුදහම ද වැලඳගත්හ. සමහර විට අලකේශ්වර පවුල ද එබන්දක් විය හැකියි. වණික් හෙවත් වෙළෙඳ පවුලකට ඔවුන් අයත් වූ නමුත් අප සඳහන් කරන අලකේශ්වරගේ සමය වන විට ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ ද ඔවුන් සෑහෙන බලයක් ලබා සිටි බව පෙනේ. වික්‍රමබාහු III රජුගේ සමය වන විට ප්‍රභුරාජධුරය ද ලැබූ ඔහු ඒ රජුගේ සොහොයුරියක ද ආවාහ කොටගත්තේය. ඔහුගේ බලය උච්චස්ථානයට නැඟ ආයේ යාපාපටුනට විරුද්ධව සාර්ථක ව්‍යාපාරයක් මෙහෙයැවීම නිසායි. එයින් ඔහු සිංහලයන්ගේ විමුක්තිදායකයා විය. රජුගේ බලය ද අභිභවා ඔහුගේ බලය නැඟ ආ බව භුවනෙකබාහු V රජු පවා ඔහුගේ රැකවරණය පැතීමෙන් පෙනීයයි. “... සකල ගුණමණි නිධි ජලනිධි ප්‍රශස්ත ශක්තිධර ෂණ්මුඛ පරනාරී පරාඞ්මුඛ ශ්‍රී බෝධි වඩා (සැපැමි) ණි ගණවැසි කුල මාතෘ වංශ පිතෘ වංශ මෙණවර කුල මෙයුග යුගන්ධර සුරින්ධර දිවාකර නිශාකර ලෙසින් ලො එකලු කළ සිරිනුදුල අළකේශ්වර ... ” යනාදි වශයෙන් සගම සෙල්ලිපියේ ප්‍රශස්ති ස්වරූපයෙන් වර්ණනා කරන ලද ඔහු “රාජ්‍ය ශ්‍රී ලත්” බවක් නියංගම්පාය සෙල්ලිපියෙන් කියැවේ. ශාසනයේ දියුණුවට මෙන්ම ශාස්ත්‍රීය උන්නතියට ද ඔහුගෙන් අනල්ප සේවයක් විය. භුවනෙකබාහු කිරුළ දැරූ නමුත් රජු යන්න අත්‍යර්ථයෙන් ම උචිත වනුයේ අලකේශ්වර සඳහායි.
අලකේශ්වර මියගිය පසු ඔහුගේ තැන ගැනීම සඳහා ඔහුගේ පරම්පරාවට අයත් වූවන් අතර අරගළයක් ඇති විය. 1386 සිට 1387 දක්වා කුමාර අලකේශ්වර ද ඊළඟ අවුරුදු හතර හෝ පහ තුළ වීර අලකේශ්වර ද බලය අල්ලාගෙන සිටියහ. 1391 දී භුවනෙකබාහුගේ සුහුරුබඩු වූ වීරබාහු ඈපා, වීර අලකේශ්වර බලයෙන් පහ කොට අවුරුදු පහක් රාජ්‍ය කටයුතු ගෙන ගියේය. ඔහු දමිළ, මලල, යෝනකාදීන් පලවා හැරිය බව සඳහන් වේ. ඔහු ඇවෑමෙන් ඔහු පුත් විජය ඈපා ද තුනයේස ද 1396 සිට තුන් අවුරුද්දක් පාලන කටයුතු කළහ. මේ අතර විදේශීය ආධාර සහිතව පැමිණි වීර අලකේශ්වර 1399 දී රාජ්‍ය බලය නැවත අල්ලා ගැනීමෙහි සමත් විය. 1411 දී චීනයට අල්ලාගෙන යනු ලැබීමෙනි, ඔහුගේ පාලනය අවසන් වූයේ. මේ මුළු කාලය තුළ ම පාහේ V භුවනෙකබාහු නාමමාත්‍ර රජු වශයෙන් කිරුළ දැරූ බව පෙනේ.
භුවනෙකබාහු රජුගේ අවසාන කාලයට අයත් සන්නස් ජයවර්ධන කෝට්ටේ නුවර දී නිකුත් කරන ලද ඒවාය. ඒ නිසා එකල අගනුවර වශයෙන් සැලකිය යුත්තේ ඒ නගරයයි. එදා වෙන ම උඩරට රාජ්‍යයක් නොවීය. එය නොදැනුවත්ව ම වාගේ පහතරට හා එක්ව වඩා විශාල, වඩා ප්‍රබල, සිංහල රාජ්‍යයක කොටසක් බවට පත් විය. අලකේශ්වර පවුලට අයත් වූවන් වොටුනු නොපලන් රජුන් වශයෙන් ක්‍රියා කරන සමයේ දී ලංකාවේ දේශපාලන කේන්ද්‍රස්ථානය බටහිර වෙරළබඩ ප්‍රදේශයට මාරු වූයෙන් එතෙක් වෙන ම ඒකකයක් වශයෙන් තුබුණු උඩරට රාජ්‍යයට පෙර පැවති තත්වය නැති වී යාම පුදුමයට කරුණක් නොවේ.
1412 සිට 1467 පමණ දක්වා කෝට්ටේ රාජ්‍යය කළ VI පරාක්‍රමබාහු රජු දවස උඩරට රාජ්‍යය කෝට්ටේ රාජ්‍යය යටතේ වූ අතවැසි රාජ්‍යයක තත්වය ගති. පරාක්‍රමබාහු රජු විසින් පත් කරන ලද පාලකයකු විසින් එය එකල පාලනය කරන ලද බව පෙනේ. 1458 දී මේ පාලකයා වූයේ ජෝතිය සිටාණ හෙවත් දිවාණවත්තේ ලංකා අධිකාරීන් බැව් මඩවල සෙල්ලිපියෙන් පෙනේ. පරාක්‍රමබාහුගේ ආධිපත්‍යයට විරුද්ධව ජෝතිය සිටාණන් ක්‍රි.ව. 1464 දී පමණ රාජකාරියට යැවිය යුතු සේවකයන් හා අයබදු කෝට්ටේට නොයැවීමෙන් කැරැල්ලක් ඇති කළහයි රාජාවලියේ සඳහන් වේ. සිය ඥාතිපුත්‍ර අම්බුලගල කුඩා කුමාරයා යවා ඒ කැරැල්ල මැඩපැවැත්වූ පරාක්‍රමබාහු එහි පාලනය ගම්පොළ රජපෙළපතට අයත් කුමාරයකුට භාර දුන්නේය. පරාක්‍රමබාහු රජුගේ මරණින් අවුරුදු පහකට පමණ පසු කෝට්ටේ රජ වූ VI බුවනෙකබා (ක්‍රි.ව. 1472/3 - 1480/1) දවස ද කෝට්ටේ ආධිපත්‍යයට විරුද්ධව කැරැල්ලක් ඇති වූ බව ඒ රජු විසින් කරවන ලද දැදිගම අභයදාන පුවරු ලිපියේ “උඩරට කාරියක්” ගැන සඳහන් කිරීමෙන් පෙනේ. 1472/3 දී පමණ සේනාසම්මත වික්‍රමබාහු රජු යටතේ නිදහස් උඩරට රාජ්‍යයක් බිහි විණැයි යනු අද පිළිගත් මතය හෙයින් VI පරාක්‍රමබාහු රජුගේ මරණයෙන් පසු කෝට්ටේ ඇති වූ රාජපදප්‍රාප්ති වියවුල් සිය වාසියට හරවාගත් උඩරැටියන් කෝට්ටෙන් මිදුණු බව පෙනේ.
VI පරාක්‍රමබාහු රජු දවස සිට VI බුවනෙකබා රජු දවස දක්වා කාලය උඩරට කෝට්ටේ රාජ්‍යයේ අතවැසි රාජ්‍යයක් වූ යුගයක් ලෙස සැලකිය හැකියි. කෝට්ටේ රජු විසින් පත් කරන ලද ඈපාණ කෙනකු හෝ කුමාරයකු විසින් එය ඒ රජු නමින් පාලනය කරන ලදි. රාජකාරිය සඳහා සේවකයන් යැවීමත් අයබදු ගෙවීමත් උඩරට රාජ්‍යය විසින් කෝට්ටේට කළ යුතු මෙහෙවර විය. ඒ නිසා ඒවා නැවැත්වීම ස්වාධීනත්වය ප්‍රකාශ කොට කෝට්ටේට විරුද්ධව කැරලි ගැසීමක් විය. උඩරට තමන්ට පක්ෂපාතීව තබාගැනීම සඳහා ඉතා සූක්ෂ්ම ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව දත් VI පරාක්‍රමබාහු උඩරට කුමරියක ආවාහ කරගත්තේය. ජෝතිය සිටාණන්ගේ කැරැල්ල මැඩපැවැත්වූ ඔහු පැරණි උඩරට රාජවංශය වූ ගම්පොළ පෙළපතේ කුමරකුට එය පාලනය කිරීම බාර කෙළේය. VI බුවනෙකබා රජු ද උඩරට කුමරියක ආවාහ කරගත් බව දියෝගු ද කූතෝ නමැති පෘතුගීසි ලේඛකයා සඳහන් කරන හෙයින් ඔහු ද ඒ ප්‍රතිපත්තිය ම අනුගමනය කිරීමට තැත් කළ බැව් පෙනේ. මේ රජුන් දවස උඩරට පහතරටට කප්පම් ගෙවූ අර්ධ ස්වාධීන රාජ්‍යයක් වී යයි ද ඒ අර්ධ ස්වාධීනත්වයෙන් ද තෘප්තිමත් නොවූ එය පූර්ණ ස්වාධීනත්වය ලැබීමට මං සොයමින් සිටියේ යයි ද මේ නිසා කිව හැකියි.
සෙංකඩගල අගනුවර වීම
අඩ සියවසකටත් අධික කාලයක් පහතරට යටතේ වූ උඩරට රාජ්‍යය ඒ තත්වයෙන් මුදා එය පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට පත් කෙළේ සේනාසම්මත වික්‍රමබාහු (1472/3 - 1510) රජුයි. මේ නව උඩරට රාජ්‍යයේ අගනුවර වශයෙන් තෝරාගන්නා ලද්දේ සෙංකඩගල නුවරයි. කවර හෙයින් ගම්පොළ හැර ඒ වෙනුවට වෙන අගනුවරක් තෝරා ගන්නා ලද්දේ දැයි කිව නොහැකියි. දහහතරවන සියවසේ අග භාගයට අයත් සෙල්ලිපියක සෙංකඩගල දෙවියකු ගැන සඳහන් වන හෙයින් ඒ නුවර දේශපාලන මධ්‍යස්ථානයක් වශයෙන් වැදගත්කමක් ලබන්නට ශතවර්ෂයකටත් පෙර ආගමික අතින් වැදගත්කමක් ලැබූ බව සිතාගත හැකියි.
සෙංකඩගල නුවර ද එහි සිරිවර්ධන මාළිගය ද වීරවික්‍රම නම් රජකු විසින් බු.ව. 2085 (ක්‍රි.ව. 1543) දී කරවන ලදැයි චූළවංසයේ සඳහන් වේ. එහෙත් මේ යුගය සම්බන්ධයෙන් චූළවංසය කෙරෙහි එතරම් විශ්වාසයක් නොතැබිය හැකි හෙයින් ද බු.ව. 2085 දී උඩරට රජු වූයේ ජයවීර බවට මහනුවර නාථදේවාල සෙල්ලිපිය සාක්ෂි දරන හෙයින් ද චූළවංස පුවත බැහැර කිරීමට සිදු වේ. සෙංකඩගල නුවර නිර්මාතෘවරයා වික්‍රමබාහු රජ යයි ද ඔහු රාජ්‍යය කෙළේ දහසයවන ශතවර්ෂයේ මැදහරියේ යයි ද කියැවෙන පරම්පරාගත කතා පුවතක් උඩරට පැවති බව මූලාශ්‍රයන් කිහිපයකින් පෙනීයයි. එහෙත් ඒ වකවානුවේ දී උඩරට වික්‍රමබාහු රජ කෙනකු ගැන සඳහන් වී නැති හෙයින් ඒ සම්ප්‍රදායයෙන් කියැවෙන්නේ 1473/4 දී රජකමට පත් වූ සේනාසම්මත වික්‍රමබාහු ගැන යයි නිගමනය කිරීමට සිදු වේ. ලංකා ඓතිහාසික වංසකථාවන්හි එන දිනවකවානු කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබිය නොහැකි බව බොහෝ විට පෙනීගොස් තිබෙන හෙයිනි.
සේනාසම්මත වික්‍රමබාහු රජු කෝට්ටේ රාජ්‍යයේ ආධිපත්‍යයෙන් උඩරට මුදාගත් අවස්ථාවේ දී එපමණකින් තෘප්ත නොවී ඒ රාජ්‍යයට අයත් ප්‍රදේශයක් ද ඩැහැගැනීමට සමත් වූ බව අලුත්නුවර පුවරු ලිපියෙන් පෙනීයයි. “කන්ද උඩ කට්ටුවට සතුරු (වූ) කෙනකුට පතක් බසක් වත්” නොදීමටත් උඩරට රජ පරම්පරාවෙන් තමන්ට වරදක් නොවන තාක් එබන්දක් නොකිරීමටත් හතර කෝරළේ ප්‍රධානීන් ද ඇතුළු “කුඩා මහත් ඇමදෙන ම” මේ පුවරු ලිපියෙන් පොරොන්දු වූ අතර උඩරැටියෝ ඔවුනට අර්ථහානි, අංගහානි හෝ ප්‍රාණහානි නොකරන බවට පොරොන්දු වූහ. කොන්දේසි සහිතව හෝ හතරකෝරළේ තම පක්ෂයට ගැනීම උඩරට රජුගේ විශිෂ්ට ජයග්‍රහණයකි. පහතරට සිට උඩරට ගැනීමට එන යුද්ධ සේනාවක් යා යුත්තේ හතරකෝරළේ හරහා හෙයින් ඒ ප්‍රදේශයේ පක්ෂපාතිත්වය උඩරට රජුන්ට ඉතා ප්‍රයෝජනවත් විය.
වික්‍රමබාහු රජුගේ සෙල්ලිපිවල හා සන්නස්වල ඔහු හඳුන්වනු ලබන්නේ චක්‍රවර්ති ස්වාමීන් යනුවෙනි. කෝට්ටේ රාජ්‍යයේ ප්‍රධානත්වය එකල උඩරට රාජ්‍යය නොපිළිගත් බවත් වික්‍රමබාහු රජු යටතේ ඒ රාජ්‍යය සම්පූර්ණයෙන් ස්වාධීන වූ බවත් එයින් ඔප්පු වේ.
වික්‍රමබාහු රජු දැරූ සේනාසම්මත යන්නෙහි විශේෂ වැදගත්කමක් ඇතැයි ඉතිහාසඥයෝ සිතති. බුවනෙකබා V රජුගේ නායකත්වය නොමැතිව පවා ආර්ය චක්‍රවර්තීන්ගේ හමුදාව පලවා හැරීමට සමත් වූ ද පරාක්‍රමබාහු VI රජු දවස උඩරට ස්වාධීනත්වය ප්‍රකාශ කිරීමේ දී වැදගත් තැනක් ගත්තාවූ ද උඩරට යුද්ධ හමුදාව වික්‍රමබාහු රාජත්වයට පැමිණවීම සම්බන්ධයෙන් ද වැදගත් සාධකයක් වන්නට ඇත. යුද්ධ සේනාවේ සම්මතය ලත් යන අර්ථ ඇති, එතෙක් ලක් රජුන් භාවිතා නොකළ, අපරනාමයක් ඔහු විරුදාවලී ස්වරූපයෙන් යොදාගත්තේ ඔහු සේනාවට ණයගැතිව සිටි නිසා විය හැකියි. තමන්ගේ ප්‍රධානීන්ගෙන් උඩරට සේනාවට කිසියම් හානියක් නොවන බවට ගඩලාදෙණියේ පිහිටුවූ සෙල්ලිපියකින් මේ රජු පොරොන්දු වූයේ ද මේ ණයගැතිබව නිසා විය හැකියි.
ක්‍රි.ව. 1510 දී නිකුත් කරන ලද ගල්ගානේ විහාර සන්නසින් පසුව යම්කිසි ලේඛනයක් සේනාසම්මත වික්‍රමබාහු රජු විසින් නිකුත් කළ බවට සාක්ෂි අද ඉතිරි වී නොමැත. බු.ව. 2054 (ක්‍රි.ව. 1511) දී කරවන ලද ගඩලාදෙණියේ සෙල්ලිපියක එකල උඩරට රජු වශයෙන් සඳහන් වී ඇත්තේ ජයවීර නිසා ගල්ගානේ විහාර සන්නස නිකුත් කොට ටික කලකට පසු වික්‍රමබාහු මියගිය බව පෙනේ. වික්‍රමබාහුට පසුව සෙංකඩගල රාජ්‍යය ජයවීර (1510/11 - ?) නමැති රජකු ලැබූ බව සෙල්ලිපියක ආශ්‍රයෙන් කිව හැකි නමුත් ඔහුගේ රාජ්‍ය කාලය ගැන කිසිදු තොරතුරක් මෙතෙක් ලැබී නැත. ඔහුගේ පාලනය අවසාන වූයේ කවදා ද යන්න පමණක් වත් අපි නොදනිමු.
සාමාන්‍යයෙන් මේ යුගයට අයත් යයි සිතිය හැකි සිද්ධියකි, උඩරට යළිත් කෝට්ටේ රාජ්‍යයට කප්පම් ගෙවන රාජ්‍යයක තත්වයට පත්වීම. රාජාවලියේ සඳහන් වන අයුරු ධර්ම පරාක්‍රමබාහු රජු කෝට්ටේ රාජ්‍යය කරන විට “උඩරට රජ කරන රජ සිංහාසන පැනනැඟී අණබෙර ගස්සමින් අංගම්පොර අරිමින් අයබදු නොදී” සිටි විට පහතරට සිට ගිය සේනාවක් විසින් උඩරට රජුගෙන් පණම් තුන්ලක්ෂයක කප්පමකුත් ඇත්තු දෙදෙනකුත් රජුගේ දියණියත් ලබා ගන්නා ලදහ. ගඩලාදෙණියේ ඇති අභයදාන සෙල්ලිපියක සඳහන් වනුයේ ද මේ සිද්ධිය ම විය හැකියි. ශ්‍රීමත් සිරිසඟබෝ ශ්‍රී ජයවීර පරාක්‍රමබාහු චක්‍රවර්ති ස්වාමීන්වහන්සේ නම් රජකු ස්වකීය රාජ්‍යෝදයෙන් පස්වන වර්ෂයෙහි දී උඩරට අල්ලා දොඩම්වෙල පරාක්‍රමබාහු ඈපාණන්ගේ බෑනා වූ මේණවරතුනයන්ට හා පස්රට සේනාවටත් අභයදානය කර වූ බව ඒ ලිපියේ සඳහන් වේ. මෙහි සඳහන් ශ්‍රී ජයවීර පරාක්‍රමබාහු රජු පරාක්‍රමබාහු VI යයි මතයක් ප්‍රකාශ වී ඇති නමුත් මේ සෙල්ලිපියේ සඳහන් දොඩම්වෙල පරාක්‍රමබාහු ඈපාණන් හා සේනාසම්මත වික්‍රමබාහු කල පිහිටුවූ අලුත්නුවර සෙල්ලිපියේ සඳහන් “දොඩම්වෙල පරාක්‍රමයා” එක ම තැනැත්තා බව ඉඳුරා ම කිව හැකි බැවින් ශ්‍රී ජයවීර පරාක්‍රමබාහු සේනාසම්මත වික්‍රමබාහු කල හෝ ඊට පසුව පහතරට රජ වූ කෙනකු විය යුතුයි. මේ රජු පරාක්‍රමබාහු IX විය යුතුය යන එච්.ඩබ්ලිව්. කොඩ්රිංන්ටන් මහතාගේ මතය පිළිගත හොත් රාජාවලියේත් මේ සෙල්ලිපියේත් සඳහන් වනුයේ එක ම සිද්ධිය යැයි කිව හැකියි. එසේම පරාක්‍රමබාහු IX රජුගේ පස්වැන්න 1514 හෙයින් ඒ එම වර්ෂයේ සිදු වූවක් විය යුතුයි. බුවනෙකබා VI රජ පැමිණීමත් සමඟ උදාවූ උඩරට රාජ්‍යයේ නිදහස් සමය අඩ සියවසකටත් අඩුකාලයක් පැවති එකක් බවත් අවස්ථාවක් ලත් හැම විට ම ඒ රාජ්‍යය ගිලගැනීමට කෝට්ටේ ප්‍රයත්න දැරූ බවත් මේ යුගයේ ඉතිහාසයෙන් පෙනීයයි. ක්‍රි.ව. 1521 දී කෝට්ටේ රාජ්‍යය තුළ විජයබා කොල්ලය සිදු වන විට උඩරට සිහසුනේ සිටියේ ජයවීර බණ්ඩාර (? - 1551ට පසු වර්ෂයක් දක්වා) රජය. එහෙත් මේ ජයවීර බණ්ඩාරත් 1510/11 දී රජ පැමිණි ජයවීරත් එක ම තැනැත්තා නොවන බවට සාක්ෂ්‍ය තිබේ. ජයවීර ආස්තාන, ජයවීර මහා වැඩවුන් තැන යනාදි නම්වලින් හඳුන්වනු ලැබූ මොහු රජ පැමිණි වර්ෂය හෝ සිහසුන හැරගිය වර්ෂය හෝ පිළිබඳ තොරතුරු දැනට අප අතර ඇති මූලාශ්‍රයන්ගෙන් නොලැබේ. එහෙත් 1551 දීත් ඔහු උඩරට සිහසුනේ සිටි බවට පෘතුගීසි මූලාශ්‍රයන්ගෙන් සාක්ෂි ලැබෙන හෙයින් ඔහුගේ අනුප්‍රාප්තිකයා රජ පැමිණියේ ඊට පසු වර්ෂයක විය යුතුය.
ජයවීර බණ්ඩාර රජුට මුහුණ දෙන්නට වූ ප්‍රධාන වූත් ඉතා බරපතළ වූත් ප්‍රශ්නය වූයේ ස්වකීය රාජ්‍යයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමේ ප්‍රශ්නයයි. ඊට පෙර ශතවර්ෂය තුළ දී කිහිපවරක් ම උඩරට රාජ්‍යය කෝට්ටේට යටත් වූ බව ඉහත සඳහන් විය. කන්ද උඩරට ලැබූ අලුත් නිදහස නැති කොට පෙර පරිදි එය කෝට්ටේට ඇඳාගැනීමේ බලාපොරොත්තුවක් පහතරට රජුන් තුළ විය. කෝට්ටේ එකල රජ වූ බුවනෙකබා Vll 1543 නොවැම්බර් මස 28 වැනි දා පෘතුගාලයට යැවූ ලිපියකින් මේ බලාපොරොත්තුව ඔහු තුළ ද වූ බව හොඳින් පෙනේ. යාපාපටුන හා උඩරට රාජ්‍යය යන දෙක ම තමාට අයත් බවත් එ්වා ලබාගැනීම සඳහා පෘතුගීසි ආධාර අපේක්ෂා කරන බවත් ඔහු කීය. උඩරට රජු ධනවත් බවත් ඔහුගේ ධනයෙන් හරි අඩක් පෘතුගාලයට දීමට තමා සුදානම් බවත් බුවනෙකබා තවදුරටත් සඳහන් කළ බවක් පසුකළ ලේඛනයකින් පෙනීයයි.
උඩරට දෙසට සිත යොමු කෙළේ කෝට්ටේ බුවනෙකබා පමණක් නොවේ; ඔහු සොහොයුරු සීතාවක මායාදුන්නේ තුළ ද එම බලාපොරොත්තුව ම වී. වරක් බුවනෙකබා සමඟ ද වරක් තනිව ද තම පරමාර්ථය ඉටු කරගැනීමට මායාදුන්නේ උත්සාහ කළේය.
සිය රාජ්‍යයට එල්ල වී ගෙන යන තර්ජන සම්බන්ධයෙන් උඩරට රජු ගත් පියවර කිහිපයකි. පහතරට රාජ්‍යයේ අභ්‍යන්තර අවුලක් හෝ සිවිල් යුද්ධයකට තුඩු දෙන අවස්ථාවක් එළඹි විට එයින් ප්‍රයෝජන ගෙන ඒ රාජ්‍යය දුර්වල කිරීමට මාන බැලීම එක් උපක්‍රමයෙකි. බුවනෙකබා, මායාදුන්නේ හා රයිගම් බණ්ඩාර යන කුමරුවන් තිදෙනාට 1521 දී සිය පිය මහරජාණන් වූ විජයබාහු රජු මරා විජයබාකොල්ලය ඇති කොට කෝට්ටේ රාජ්‍යය බෙදාගැනීමට උඩරට ජයවීර බණ්ඩාර උදවු කෙළේ ඒ රාජ්‍යය තුළ වූ අභ්‍යන්තර වියවුලකින් ප්‍රයෝජන ගැනීමේ ප්‍රතිපත්තියට අනුවයි. විජයබා කොල්ලයෙන් පසු බුවනෙකබා හා මායාදුන්නේ දෙබෑයන් අරගළ කරන්නට පටන් ගත් විට උඩරට රජ එය ද තම වාසියට හරවා ගැනීමට බැලීය. රාජාවලියට අනුව මායාදුන්නේ සතු වූ හතර කෝරළයට උඩරට රජු අවුල් කෙළේ මේ නිසාය.
මේ උපක්‍රම එකකින්වත් පහතරට රාජ්‍යයන්ගේ බලය ඒසා දුර්වල නොවීය. උඩරට රාජ්‍යය අල්ලාගැනීමේ පරමාර්ථය සපුරාලීම කල් දැමීමට මිස ඒ රජුන්ගේ සිත්වලින් එය බැහැර කිරීමට ඒ උපක්‍රම අපොහොසත් විය. එක්දහස් පන්සිය හතලිස් ගණන් වන විට පහතරට රාජ්‍යයන්ගෙන් උඩරටට එල්ල වූ තර්ජනය වඩාත් දරුණු විය. එවිට උඩරට රජ මේ සතුරු ප්‍රහාර මැඩලීම සඳහා පෘතුගීසින්ගේ ආධාරෝපකාර පැතීය. ඒ රජුගේ ආරාධනය නිසා 1543, 1546 හා 1547 යන වර්ෂවල දී පෘතුගීසි භට කණ්ඩායම් කිහිපයක් උඩරට බලා ගියෝය.
පළමුවන වරට පෘතුගීසි බළ ඇණියක් 1543 දී උඩරටට සේන්දු වූයේ 1542 අගෝස්තු මාසයේ දී උඩරට රජු විසින් ගෝවේ පෘතුගීසි ආණ්ඩුකාර මාටිම් අෆොන්සු ද සූසා වෙත යවන ලද දූත මෙහෙවරක ප්‍රතිඵලයක් වශයෙනි. 1543 මාර්තුවේ දී ත්‍රිකුණාමලයට ආ පෘතුගීසි බළ ඇණිය උඩරට බලා ගමන් ගත් නමුත් කිසියම් කරුණක් නිසා ඔවුන් හා උඩරට සේනාව අතර ගැටුමක් ඇති විය. එයින් පෘතුගීසීහු පරාජයට පත් වූහ. බුදු විසින් “දෙදහස් අසූ පස්වන බග අවදසවක” (1543 මාර්තු 30) දින “උඩරටට පරංගින් කෙරෙවූ වියවුල” ගැන කියන මහනුවර නාථ දේවාල සෙල්ලිපිය සඳහන් කරනුයේ මේ සිද්ධිය ගැනයි.
උඩරට කෙරෙහි මායාදුන්නේ එල්ල කළ පීඩනය 1545 දී දැඩි වූ බව පෙනේ. ඒ නිසා පෘතුගීසින්ගේ ආධාර උඩරට රජුට අත්‍යවශ්‍ය විය. තම රාජ්‍යය තුළ පෘතුගීසි ගබඩාවක් පිහිටුවීම, පෘතුගීසින්ට කප්පමක් ගෙවීම, තම දුව පෘතුගීසින් කැමති වල්ලභ කුමරකුට පාවාදීම හා තමාත් තම පවුලත් කිතු සමය වැලඳගැනීම ආදි යෝජනා කිහිපයක් උඩරට රජු 1545 දී පෘතුගාලයේ රජුට ඉදිරිපත් කළේ උඩරට රාජ්‍යය පෘතුගීසීන් යටතේ වූ අතවැසි රාජ්‍යයක තත්වයට පත් කොට හෝ එය මායාදුන්නේගෙන් ආරක්ෂා කරගන්නා අටියෙනි.
මේ යෝජනාවලින් සෑහෙන ප්‍රතිඵලයක් උඩරට රජුට නොලැබුණු බව කිව හැක්කේ ඔහුට වුවමනා තරම් ඉක්මණින් ආධාර නොලැබුණු හෙයිනි. 1546 ජනවාරිය වන තෙක් ඒ රාජ්‍යය ආරක්ෂා කරගැනීමට නොහැකි වන තරමට තමාගේ තත්වය භයානක බව ඔහු කියා සිටියේය. පෘතුගීසීන්ගෙන් ආධාර ලැබීමේ ඒකායන මාර්ගය නම් කතෝලිකාගම වැලඳගැනීම යයි මේ අතර උඩරට සිටි පෘතුගීසීන් අවධාරණයෙන් ම කියා සිටියෙන් රජ ඒ පියවර ද ගත්තේය. 1546 මාර්තු 9 වැනි දා අලුයම් ජාමයේ දී ඔහු කතෝලිකාගම වැලඳ ගත්තේය. එය ඔහුගේ අවසාන තුරුම්පුව විය.
ඒ පියවර ගත් කඩිනමින් පෘතුගීසි භට කණ්ඩායම් කිහිපයක් තමාට ආධාර සඳහා උඩරටට එතැයි ජයවීර රජ බලාපොරොත්තු වී නම් ඔහුගේ ඒ ස්වශක්ති බලාපොරොත්තුව ද ඉටු නොවීය. ස්වශක්තියෙන් මායාදුන්නේගේ ප්‍රහාරයන් මැඩලීමට ද ඔහු අපොහොසත් වී. ඒ නිසා පණම් සාර ලක්ෂයක යුද්ධ වන්දියක් ද තවත් වටිනා භාණ්ඩ රැසක් ද මායාදුන්නේට ගෙවා යුද්ධය නිමාවට පත් කරගැනීමට ඔහුට සිදු විය.
උඩරට රජු හා යුද්ධයට බැසීමෙන් මායාදුන්නේ බලාපොරොත්තු වූයේ යුද්ධ වන්දියක් ලබාගැනීම නොවේ; ඒ රාජ්‍යය සීතාවකට එක් කරගැනීමයි. එහෙත් ඒ බලාපොරොත්තුව ඉටු කරගැනීම දුෂ්කර වන තැනට කරුණු යෙදෙන්නට විය. මින් පළමුවැන්න 1546 අප්‍රේල් මාසයේ දී පෘතුගිසි සේනාංකයක් උඩරටට ආධාර පිණිස යෑමයි. දෙවැන්න ජයවීර රජුගේ දියණිය කෝට්ටේ ධර්මපාල කුමරුවාට පාවා දීම නිසා උඩරට හා කෝට්ටේ රජපවුල් අතර නව ඥාතිසම්බන්ධයක් ඇතිවීමයි. කෝට්ටේ රජුත් පෘතුගීසීනුත් උඩරට පැත්ත ගත හොත් තමාට අවාසි විය හැකි බව දුටු මායාදුන්නේ සිය අභිමතාර්ථය ඉටු නොවුව ද වන්දියක් ලැබ යුද්ධය නිමාවට පත් කෙළේය.
තමා බලාපොරොත්තු වූ තරම් ඉක්මනින් පෘතුගීසි ආධාර නොලැබෙන බව දුටු විට ජයවීර රජු කෙළේ සීතාවකට විරුද්ධව කෝට්ටේ රාජ්‍යය හා ඥාති සම්බන්ධයක් ඇති කරගැන්ම බව අපට පෙනීයයි. බුවනෙකබා හා මායාදුන්නේ යන සොහොයුරන් දෙදෙන ම මුල දී කන්ද උඩරට රාජ්‍යයට විරුද්ධව සිටි නමුත් එයින් එකකු තමාට හිතවතකු බවට පත් කරගැනීම උඩරට රජුගේ රාජ්‍යෝපාය ලත් ජයග්‍රහණයක් ලෙස සැලකිය යුතුයි. ජයවීර රජු කතෝලිකාගම වැලඳගැනීම දේශපාලන වාසියක් බලාපොරොත්තුවෙන් හොර රහසේ කරන ලද්දක් විය. එහෙත් ඔහු සිතූ අන්දමේ වාසියක් එයින් නොසැලසිණි. ඒ නිසා නාමමාත්‍ර වශයෙන් හෝ කතෝලිකයකු කියා ගැනීම ඔහු ප්‍රතික්ෂේප කෙළේය. සිය පුත් කුමරුවා හෝ රටවැසියන් කතෝලිකාගමට හරවා ගනු ලබනවාට ඔහු විරුද්ධ විය. 1546 අප්‍රේල් මාසයේ දී උඩරටට සේන්දු වූ කතෝලික පැවිද්දකු කීවේ උඩරට රජු කුරුසියේ සලකුණ කිරීමට වත් නොදත් බවයි; එසේම බෞද්ධ සිරිත් විරිත් අත් නොහළ බවයි.
සීතාවක හා ඇති කරගත් සාමය නිත්‍ය එකක් නොවන බවත් කොයි මොහොතේ හෝ උඩරටට මායාදුන්නේගෙන් නැවත උවදුරු එල්ල විය හැකි බවත් ජයවීර බණ්ඩාර දත්තේය. ස්වකීය රාජ්‍යය ආරක්ෂා කරගත හැක්කේ පෘතුගීසින්ගේ උපකාරයෙන් පමණකැයි ඔහු සිතීය. පෘතුගීසීන්ගේ උපකාර සිකුරට ම ලැබීමට එක ම මඟ නම් තමා කතෝලිකාගම වැලඳගැනීමට සුදානම් බව දැන්වීම යයි ද ඔහු සිතීය. එකල ගෝවේ පෘතුගීසි ප්‍රතිරාජයා වූ දොන් ජුවන් ද කස්ත්‍රෝ අතින් ම කතෝලිකාගම පිළිගැනීමට උඩරට මුළු රජ පවුල ම බලාපොරොත්තුවෙන් සිටින බව ඔහු ප්‍රතිකාල් අධිකාරීන්ට දැන්වූයේ ප්‍රතිරාජයා ලක්දිවට පැමිණියහොත් හිස් අතින් නොව සෑහෙන සේනාවක් ද කැටුව එන බව දත් හෙයිනි. සෑහෙන පෘතුගීසි හමුදාවක් උඩරට නොමැතිව සිටිය දී තමා බුදුසමය හැර ගිය හොත් ඒ රාජ්‍යය තුළ කැරලි හටගත හැකි බව ඔහු තවදුරටත් දැන්වූයේ තම සෛනික අවශ්‍යතාව අවධාරණයෙන් ම කියා පෑමටයි. උඩරට රජුගේ බස් පිළිගත් ප්‍රතිරාජයා තමාට ඒ අවස්ථාවේ දී යා නොහැකි හෙයින් අන්තෝනියෝ මෝනිස් බරෙත්තු යටතේ පෘතුගීසි හමුදාවක් උඩරටට යැවීමට තීරණය කෙළේය.
1547 අප්‍රේල් අග හරියේ දී පමණ මඩකලපුවට සේන්දු වූ අන්තෝනියෝ බරෙත්තු පෘතුගීසි සොල්දාදුවන් 100ක් ද රැගෙන මහනුවර බලා ගියේය. උඩරට රජු හමු වූ ඔහු ඒ රජුට කතෝලිකාගම පිළිගැන්වීමට උත්සාහ කළ නමුදු ඒ රජ එය ප්‍රතික‍්ෂේප කෙළේය. කතෝලිකාගම පිළිගන්නා බවට තමා පොරොන්දුවක් නුදුන් බව ඔහු පැවසීය. ඒ රජු මෙසේ වෙනස් වූයේ බුවනෙකබාහු රජුගේ හෝ මායාදුන්නේගේ කීම පිට යයි තත්කාලීන පෘතුගීසි ලේඛනවල සඳහන් වේ. මේ අතර උඩරට රාජ්‍යයේ යුද්ධ හමුදාව රැස් වන බවට ආරංචියක් ලැබූ බරෙත්තු බිය විය. තම භටයන්හට අත්‍යවශ්‍ය දෑ පමණක් ගෙන, ඉතිරි බඩු බාහිරාදිය අත්හැර දමා, ඔහු හත්කෝරළේ හරහා කොළඹට පසුබැස්සේය.
1543-47 අතර කාලපරිච්ඡේදය තුළ උඩරට පෘතුගීසි සම්බන්ධතා සමාලෝචනය කරන විට පෙනීයන්නක් නම් උඩරටට පෘතුගීසීන්ගේ ආධාර අවශ්‍ය වූ නමුත් ඔවුන් උපකාරය සඳහා උඩරටට ආ දෙවතාවක ම උඩරැටියන් හා ඔවුන් අතර ගැටුම් ඇති වූ බවයි. තමාට ආධාරයට ආවවුන් සමඟ උඩරට රජු ගැටුම් ඇති කරගත්තේ ඇයි දැයි ප්‍රශ්නයක් ඉබේ ම මතු වෙයි. ගැටුම් හේතුව තත්කාලීන ලේඛනව දක්වා නොමැති හෙයින් මේ ප්‍රශ්නයට උත්තර දීම දුෂ්කරය. පෘතුගීසීන්ගේ ආධාර බොහෝ විට උඩරටට ලැබුණේ ඒ රාජ්‍යයට ඔවුන්ගේ ආධාරය අතව්‍යශ්‍ය වූ අවස්ථාව ගත වී කලක් ගිය පසුය. මායාදුන්නේ හා සාම ගිවිසුමකට එළඹීමෙන් පසුව පෘතුගීසි භට කණ්ඩායමක් සෙංකඩගල නුවරට ඒම මීට හොඳ නිදසුනකි. අවශ්‍ය අවස්ථාවේ දී නොව ඊට පසුව ලැබෙන ආධාරය වටිනාකමින් තොරය. ඒ නිසා පෘතුගීසි භටයන් හා ගැටීමෙන් පාඩුවක් නොවන බව උඩරැටියනට හැඟෙන්නට ඇත. තවද ඒ රාජ්‍යයට ආ පෘතුගීසි සේනාව වස්තු තණ්හාවෙන් මඬනා ලද බවත් නොයෙක් අවිනීත ක්‍රියා ඔවුනතින් සිදු වූ බවත් පෘතුගීසීන්ගේ ම ලිපිලේඛනාදියෙන් පෙනේ. ගැටුම්වලට තුඩු දෙන්නට ඇත්තේ මේ දෙකරුණ යයි සිතිය හැකියි.
අන්තෝනියෝ මෝනිස් බරෙත්තුගේ උඩරට ගමනින් අවුරුදු තුනකට පසු - 1550 අප්‍රේල් මාසයේ දී - දොම් ජෝජ් ද කස්ත්‍රෝ යටතේ තවත් පෘතුගීසි හමුදාවක් උඩරටට ගියේය. ජයවීර බණ්ඩාරගේ ආරාධනයක් පිට මේ ගමන සිදු වූ බවක් නොපෙනේ. එවර ද උඩරට සේනාව හා පෘතුගීසි හමුදාව අතර ගැටුම් ඇති විය. උඩරට සේනාවෙන් හොඳට ම බැටකෑ පෘතුගීසි හමුදාවේ භටයන්ගෙන් 200 - 400 අතර ගණනක් මැරුම් කෑහ.
උඩරට සීතාවකට යටත් වීම
ජයවීර බණ්ඩාර යටත් පිරිසෙයින් 1551 දක්වා උඩරට කිරුළ දැරූ බවට සාක්ෂි තිබේ. ඊට පසුකලක ඔහුගේ පුත් කරල්ලියද්දේ බණ්ඩාර (? - 1582) විසින් ජයවීර බණ්ඩාර සිහසුනෙන් පලවා හරින ලදි. කරල්ලියද්දේ බණ්ඩාර මේ පියවර ගත්තේ පියා ඇවෑමෙන් ඔහුට අයත් විය යුතු උඩරට රාජ්‍යය අනිකකුට පවරා දීමට සිය පියා අරඅඳිතියි යන සැකය නිසායි. මේ පියපුත් දෙදෙනා අතර භේදය අවුරුදු ගණනාවක් මුළුල්ලේ පැසවමින් ආ බව පෙනේ. 1546 දී ගෝවේ ප්‍රතිරාජයාට ලියූ ලිපියක කරල්ලියද්දේ කුමරු කියා සිටියේ තමා තම පියා මෙන් නොව එළිපිට ම කිතු සමය වැළඳ ගැනීමට කැමති බවයි. ඔහු තම පියාගේ ක්‍රියාකලාපය ගැන විදේශිකයකු සමග චෝදනා මුඛයෙන් කථා කෙළේ ඔවුන් අතර හොඳහිත නොතිබුණු නිසා යයි සිතීම යුක්ති සහගතය. ජෝජ් ද කස්ත්‍රෝ යටතේ 1550 දී උඩරටට ප්‍රතිකාල් සේනාවක් යැවීමෙන් පෘතුගීසි අධිකාරීන් බලාපොරොත්තු වූ එක් අරමුණක් නම් හැකි නම් මේ කුමරුට සිහසුන ලබාදීම යයි සිතීමට ඉඩ තිබේ. එහෙත් අවසානයේ දී කරල්ලියද්දේ උඩරට සිහසුන ලැබගත්තේ ප්‍රතිකාල් ආධාරයෙන් නොවේ; කන්ද උඩ පස්රටේ ප්‍රධානීන්ගේ උපකාරයෙනි. ඒ කැරැල්ලේ ප්‍රතිඵලයක් වශයෙන් ජයවීර බණ්ඩාර සීතාවකට පැනගොස් මායාදුන්නේගේ රැකවරණ ලැබූ බව සඳහන් වේ.
කරල්ලියද්දේ රජ කතෝලිකාගම වැළඳගත්තේය. කෝට්ටේ ධර්මපාල රජු ද එම භක්තිය ම ගෙන සිටි හෙයින් කෝට්ටේ හා උඩරට අතර මිතුරු හවුලක් මෙකල ඇතිවීම ස්වාභාවිකය. ඒ හවුල සීතාවකට විරුද්ධව පෘතුගීසීන්ගේ ආශීර්වාදය හා අනුග්‍රහය යටතේ ඇති වූවක් වශයෙන් සැලකීම නිවරදය. 1565 දී සීතාවක රාජසිංහ කෝට්ටේ නුවර වැටලූ විට ඔහු යටතේ වූ හත්කෝරළයට පහර දීමත් 1573 දී පමණ උඩරට කුමරියක් ධර්මපාලට පාවාදීමත් මේ මිතුරුබවේ සංකේත විය. එහෙත් සීතාවක රාජසිංහයන්ගේ රණශූරත්වය ඉදිරියේ නොසැලී ස්වකීය රාජ්‍යය ආරක්ෂා කරගැනීමට මිතුරු හවුලට අයත් එක ද පාලකයෙක් සමත් නොවීය. 1565 කෝට්ටේ නුවර හැර ගොස් අවුරුදු 17කට පසු, 1582 දී, උඩරටට තීරණාත්මක පහරක් ගැසූ රාජසිංහ ඒ රාජ්‍යය අල්ලාගත්තේය. උඩරට රජ සිය පවුල සමඟ පෘතුගීසීන් වෙත පලා ගියේය. සෑහෙන කාලයක් තිස්සේ පහතරට රාජ්‍යයක ආධිපත්‍යයෙන් මිදී සිටි උඩරට නැවතත් පහතරට රජකුට අයත් විය.
1582 දී උඩරට රාජ්‍යය සීතාවකට යටත් වූයේ රාජසිංහගේ රණශූරත්වය නිසා ම නොවේ. ඒ රාජ්‍යය තුළ වූ භේද ද එය අල්ලාගැනීමට රාජසිංහට උපස්තම්භක වූ බව පෙනේ. කරල්ලියද්දේ රජු කතෝලිකාගම වැලඳ ගැනීම නිසා උඩරට ප්‍රධානීන් සමහර දෙනකු රජුගේ පක්ෂය අතහැර බුද්ධාගමේ පැත්ත ගැනීම නිසා මේ භේදය ඇති විය. ආගමේ චිරස්ථිතිය සඳහා උඩරට රාජ්‍යයේ නිදහස පවා පාවාදීමට ඔවුහු මැළි නොවූහ. රාජසිංහ රජුට ඔවුන්ගේ ආධාරය ලැබිණි. කරල්ලියද්දේ අඹුදරුවන් සමගින් යාපනයට පලා ගියේය.
කවදත් පූර්ණ හෝ අර්ධ ස්වාධීනත්වයක් භුක්තිවිඳි උඩරටට රාජසිංහයන්ගේ පාලනය රිසි නොවීය. බුද්ධාගමේ චිරස්ථිතිය ම සැලකූ උඩරැටියන් සිය නිදහස ද ඒ වෙනුවෙන් කැප කළ නමුත් රාජසිංහ රජු ශිවාගම වැලඳ ගැනීම නිසාත් උඩරට බෞද්ධ පූජනීය ස්ථාන ආඬිගුරුන්ට පූජා කිරීම නිසාත් තමන් කළ ඒ ආත්මපරිත්‍යාගය නිරර්ථක වූ බව ඔවුන්ට පෙනීයන්නට ඇත. පෘතුගීසීන් ලක්බිමින් තුරන් කරලීමේ චේතනාවෙන් මඩනා ලද රාජසිංහ රජ අන්තිම කාලයේ දී මානසික ව්‍යාධියකින් පෙළෙන්නකු බඳු විය. ඔහුගේ පාලනය ද ක්‍රෑර විය. මේ නිසා ඔහුට විරුද්ධව උඩරට කැරලි කිහිපයක් ඇති විය. උඩරට රාජසිංහගේ ආධිපත්‍යයෙන් මුදවා එහි කිරීටය වීරසුන්දර බණ්ඩාරට පැවරීම අරමුණු කොටගත් පළමුවන කැරැල්ල රාජසිංහ විසින් වීරසුන්දර කූටෝපායකින් මැරවීමෙන් කෙළවර විය. දෙවැන්න ඇති කරන ලද්දේ ගම්පොළ වංශයට අයත්, කතෝලිකාගම වැලඳගත්, දොන් ප්රැන්සිස්කු මුදලි නමැත්තකු විසිනි. එය තරමක් සාර්ථක වූ බව පෙනේ. මේ අතර උඩරට රාජ්‍යයේ කටයුතුවලට පෘතුගීසීන් ද අත පොවන්නට වූයෙන් කැරැල්ල පෘතුගීසීන්ගේ උඩරට ව්‍යාපාරය හා එක් විය.
පෘතුගීසී ප්‍රයත්න
පෘතුගීසීන්ගේ උඩරට ව්‍යාපාරය ඒ රාජ්‍යය පෘතුගාලයට ඈඳාගැනීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද්දක් නොවේ. රාජසිංහ රජු කොළඹට එල්ල කළ දරුණු පහරදීම්වලින් තාවකාලික හෝ සහනයක් බලාපොරොත්තුවෙන් ඇරඹුණකි ඒ. එක්දහස්පන්සියඅසූ ගණන් ගෙවී යත් ම රාජසිංහ රජුගේ ප්‍රහාර දැඩි විය. මේවා මෙල්ල කිරීමේ එක් මගක් නම් සීතාවකට විරුද්ධව උඩරට පැවති දේශපාලන නොසන්සුන්කම් අවුස්සා රාජසිංහයන්ගේ අවධානය ඒ වෙතට යොමු කිරීම යයි ඔවුන්ට සිතිණි. මහවැලි ගඟ කළඹා බේරේ වැව ආරක්ෂා කරගැනීමේ මේ ප්‍රතිපත්තිය අනුවයි, 1591 දී පමණ පෘතුගීසීන් උඩරටට හමුදාවක් යැවුවේ.
උඩරටට පෘතුගීසි හමුදාවක් යැවීමෙන් පෘතුගීසින් බලාපොරොත්තු වූයේ ඒ රාජ්‍යය කතෝලිකාගම වැලඳගත් පෘතුගීසි පාක්ෂික රජකුහට භාර දී එය අතවැසි රාජ්‍යයක් බවට පෙරළීමය. අතවැසි රජු වශයෙන් ඔවුන් තෝරාගත්තේ කරල්ලියද්දේ බණ්ඩාරගේ බෑනා වූ දොන් පිලිප් යමසිංහ බණ්ඩාරයි. වීරසුන්දර බණ්ඩාරගේ පුත්, එවක ගෝවේ සිටි, කෝනප්පු බණ්ඩාර ද පෘතුගීසි හමුදාව සමඟ උඩරටට යැවීමට තීරණය කරන ලදි.
පෘතුගීසි බළඇණි කිහිපයක් ද ලස්කිරිඤ්ඤ හමුදාවක් ද කැටුව යමසිංහ හා කෝනප්පු බණ්ඩාර මන්නාරමේ සිට උඩරටට ගමන් කළහ. ඒ ගමනට බාධා කිරීමට රාජසිංහ රජ අසමත් විය. සෙංකඩගල නුවරට ඒ පිරිස සැපත් වූ පසු දොන් ප්රැන්සිස්කු මුදලි මෙතෙක් තමන් දැරූ කිරුළ නියම උරුමක්කාරයාට පැවරුවේ යයි පෘතුගීසි ලේඛනවල සඳහන් වේ. පෘතුගීසීහු දොන් පිලිප් කන්ද උඩරට රජු වශයෙන් ප්‍රකාශයට පත් කළෝය.
දොන් පිලිප්ගේ රාජපදප්‍රාප්තිය උඩරට රාජ්‍යය සීතාවකට යටත්ව සිටි කෙටි යුගය අවසන් කරන්නක් වී. එහෙත් සීතාවකින් මිදුණු උඩරට ඒ සමඟ ම පෘතුගීසින්ගේ ග්‍රහණයට හසු වූ බවක් පෙනීගියේය. මේ ඉරණමින් ඒ රාජ්‍යය මුදාගත්තේ කෝනප්පු බණ්ඩාරයි.
රාජාවලියේ සඳහන් වන අන්දමට රාජසිංහට විරුද්ධව උඩරට පෙරැළියක් ඇති කළ යුතු බව යෝජනා කෙළේ කෝනප්පු බණ්ඩාරයි. මන්දාරම්පුර පුවත කියනුයේ මුල දී කෝනප්පු බණ්ඩාරට සිහසුන දීමට පොරොන්දු වූ පෘතුගීසීන් පසුව එය දොන් පිලිප්ට දීමෙන් ඒ පොරොන්දුව කඩ කළ බවයි. මේ ප්‍රකාශනවල සත්‍යයක් ඇත්නම් උඩරට රාජ්‍යය ලබාගැනීමේ බලාපොරොත්තුවක් මුල සිට ම කෝනප්පු බණ්ඩාර තුළ විය. දොන් පිලිප් යමසිංහ බණ්ඩාරට සිහසුන බාරදෙනු ලැබීම ඔහුගේ ඒ බලාපොරොත්තුව කඩ කිරීමක් විය. එයින් පසුබට නොවූ ඔහු යමසිංහ රජ වූ පසු තම අවස්ථාව එළඹෙන තෙක් ඉවසිලිමත් විය. රජ වී මාස කිහිපයකට පසු යමසිංහ බණ්ඩාර මියගියේය. ඔහු මියගියේ වස කැවීමෙනැයි ද එය කරවන ලද්දේ කෝනප්පු බණ්ඩාර විසිනැයි සැක කට හැකි යයි ද පෘතුගීසි මූලාශ්‍රයන්හි සඳහන් වේ. යමසිංහ මියගිය පසු ඔහු පුත් දොන් ජුවන් රජු බව ප්‍රකාශයට පත් කරන ලද නමුත් ඔහුට විරුද්ධව කැරැල්ලක් ඇති විය. එහි නායකත්වය ගත්තේ කෝනප්පු බණ්ඩාරයි. නව රජු හත් කෝරළය හරහා වහා මන්නාරම බලා පලා ගියෙන් කෝනප්පු බණ්ඩාර විමලධර්මසූර්ය (1591/2 - 1604) යන නමින් උඩරට රජ විය.
උඩරට සිංහලේ අග්‍රරාජධානිය වීම
පළමුවන විමලධර්මසූර්ය උඩරට සිහසුන ලැබීම තමන්ට එල්ල කළ අභියෝගයක් ලෙස දෙපක්ෂයක් විසින් සලකන ලදි. සීතාවක රාජසිංහ එක් පක්ෂයකි. අර්ධ ශතවර්ෂ කාලයක් මුළුල්ලේ උඩරට ඈඳා ගැනීමේ අදහසින් ක්‍රියා කළ සීතාවක රජුන්ගේ අරමුණ 1582 දී ඉටු විය. එහෙත් ඊට දසවසකට පසු ඒ ගොදුර තම මුවින් ගිලිහීම සීතාවක පාලකයාගේ සිත් රිදවන්නක් වූ බවට සැකයක් නැත. ඒ රාජ්‍යය නිදහස් කරගත්තේ තමා විසින් මරවනු ලැබූ වීරසුන්දරගේ පුත් කෝනප්පු බණ්ඩාර කුමරා වීම තමාට වූ පෞද්ගලික නින්දාවක් ලෙස රාජසිංහ සලකන්නට ඇත. මේ නිසා විමලධර්මසූර්යයට විරුද්ධව පළමුව අරිට්ඨකීවෙණ්ඩු පෙරුමාළුන් යැවූ සීතාවක රජ පසුව තෙමේ ම සෙනඟ පිරිවරා සටන් බිමට පිවිසියේය. එහෙත් සීතාවක සේනාව උඩරටට ඇතුළු වනු වැළැක්වීමට විමලධර්මසූර්ය සමත් විය. මෙයින් කණස්සල්ලට පත් රාජසිංහ රජ පසුබැස්සේය. ඊට නොබෝ දවසකට පසු ඔහු මියගියෙන් සීතාවකින් උඩරටට එල්ල වූ තර්ජනය ඉන් අහෝසි විය.
අනික් පක්ෂය පෘතුගීසීහුය. මුල දී ඔවුනට උඩරට වුවමනා වූයේ රාජසිංහට වක්‍ර ලෙස පහර ගැසීමේ මඟක් වශයෙන් බව සැබවි. එහෙත් 1591-94 තුළ ඇති වූ සිද්ධීන් කිහිපයක් නිසා ඔවුන්ගේ අරමුණ පිළිබඳ විශාල වෙනසක් ඇති විය. පෘතුගීසීහු 1591 දී යාපාපටුන් රාජ්‍යය තමනට හිතවත් කුමරකුහට භාර කළහ. රාජසිංහගේ මරණින් පසු අවුරුදු දෙක තුන තුළ දී ලංකාවේ පහතරට ප්‍රදේශය වැඩි ආයාසයක් නොමැතිව ඔවුන් යටතට ගත හැකි විය. මේ අතර කෝට්ටේ ධර්මපාල රජ ද වයස්ගත වී සිටියේය. ඔහුගේ රාජ්‍යයෙහි උරුමක්කාරයෝ නම් පෘතුගීසීහුය. උඩරට රාජ්‍යය ද පෘතුගීසි කිරුළට ඈඳාගත හොත් ඒ ශතවර්ෂය අවසාන වන්නට මත්තෙන් ලංකාව ඒකාතපත්‍ර කොට එය පෙරදිග පෘතුගීසි අධිරාජ්‍යයේ ඉතා මහඟු විජිතය බවට පත් කරගන්නට පුළුවන් වන හෙයින් උඩරට විජයග්‍රහණය කළ යුතු විය. ලංකාවේ කපිතන් ජනරාල් නම් නව පදවියක් ඇති කොට, පේරු ලෝපෙස් ද සූසා ඒ පදවියට පත් කොට 1594 දී ලංකාවට එවන ලද්දේ මේ අරමුණ ඉටු කරගැනීමේ බලාපොරොත්තුවෙනි . විමලධර්මසූර්යගේත් කන්ද උඩරට රාජ්‍යයේත් අනාගතය රැඳී පැවැත්තේ මේ තර්ජනයට ඔහු මුහුණ දුන් ආකාරය පිටය.
පේරු ලෝපෙස්ගේ අරමුණ වූයේ කරල්ලියද්දේගේ දියණියන් වූ කුසුමාසන දේවි හෙවත් දෝන කතිරිනා කුමරිය ද කැටුව උඩරට ආක්‍රමණය කොට ඇයගේ නමින් එය අල්ලාගැනීමයි. 1594 සැප්තැම්බර් මාසයේ දී පමණ ඔහු ඒ ආක්‍රමණය ආරම්භ කෙළේය. සෙංකඩගල නුවරට පැමිණ කුසුමාසන දේවිය උඩරට රැජින වශයෙන් ප්‍රකාශ කිරීමෙන් ඔහුගේ අරමුණ ඉටු වන වගක් මුල දී පෙනීගිය නමුත් පහතරට සිට ගිය සිංහල හේවායන් පෘතුගීසීන් හැරපියා විමලධර්මසූර්යගේ සේනාවට එක් වූයෙන් පෘතුගීසි අරමුණ ව්‍යර්ථවනු පමණක් නොව පෘතුගීසි හමුදාවේ තත්වය ඉතා භයානක වන තැනට ද කරුණු සැලසිණි. වහ වහා පසුබැස ගිය පෘතුගීසි හමුදාවත් උඩරට සෙනඟත් අතර තීරණාත්මක සටනක් දන්තුරේ දී සිදු විය. මුළු පෘතුගීසි හමුදාව ම පාහේ එදින විනාශයට පත් විය. කුසුමාසන දේවිය ද විමලධර්මසූර්යට අයත් වූයෙන් ඔහු ඇය ආවාහ කරගත්තේය. කරල්ලියද්දේ රජුගේ දියණියක් වශයෙන් උඩරට රාජ්‍යය සම්බන්ධයෙන් ඇයට තිබූ උරුමය ඉතා බලගතු එකකි. ඇය ආවාහ කර ගැනීමෙන් විමලධර්මසූර්යගේ තත්වය ප්‍රබල විය. 1591-92 දී කැරලි නායකයකු වශයෙන් උඩරට රජකම ලැබූ විමලධර්මසූර්ය ඊට අවුරුදු තුනකට පසු දන්තුරේ සටනින් ජයගැන්මෙන් සිය තනතුර ස්ථිර කරගත්තේ යයි ඒ නිසා කිව හැකියි.
දන්තුරේ සටනින් පසු ද පෘතුගීසීහු උඩරට ජය ගැනීමේ අදහස අත් නොහළහ. දොන් පිලිප් යමසිංහ බණ්ඩාර හා ඔහු පුත් දොන් ජුවන් යන දෙදෙන ම තමන් ඇවෑමෙන් උඩරට රාජ්‍යය පෘතුගීසීන්ට හිමි වන අන්දමේ රාජ්‍යදාන ලිපි සකස් කොට තිබිණි. ධර්මපාලගේ රාජ්‍යදානයෙන් ද උඩරටට අයිතියක් ඔවුන්ට ලැබිණි. මේ නිසා උඩරටට නියම‚ නීත්‍යනුකූල උරුමය ඇත්තේ තමන්හට යයි ද විමලධර්මසූර්ය රජ අන්සතු රාජ්‍යයක් පැහැර ගත්තෙකැයි ද පෘතුගීසීහු තරයේ ඇදහූහ. ඔව්හු උඩරට රාජ්‍යය ඈඳා ගැනීමේ අදහස කිසි විටකත් අත් නොහළහ.
අනාගතයේ දී පෘතුගීසීන්ගෙන් ස්වකීය රාජ්‍යයට උවදුරු පැමිණිය හැකි බව දත් විමලධර්මසූර්ය රජ ඒවා වැළැක්වීමට කටයුතු සම්පාදනය කෙළේය. දකුණු ඉන්දියාවේ මදුරයිහි හා මයිලපුරයේ පාලකයන්ගෙන් ආධාර වශයෙන් වඩිග හේවායන් ලබාගත් ඔහු ඒ මඟින් උඩරට රාජ්‍යයේ ආරක්ෂක හමුදාව තර කෙළේය. මෙකල පෙරදිග කටයුතු ගැන උනන්දුවක් දැක්වූ ලන්දේසීන්ගෙන් ද ආධාර ලබාගැන්මට ඔහු බලාපොරොත්තු වූ නමුත් එය ඉටු නොවීය. වී ගොවිතැනට හා කපු වගාවට ඔහුගෙන් අනුබල ලැබිණි. ලෝහ කර්මාන්තය ද දියුණු කෙරිණි. උඩරට ආර්ථීක සංවර්ධනයක් ඇති කිරීමට ගත් තැනක් වශයෙන් ද පෘතුගීසි ආක්‍රමණයක් ඇති වුව හොත් එය මැඩලීමට අවශ්‍ය යුද්ධායුධ තැනීමට ගත් පියවරක් වශයෙන් ද මේවා වැදගත්කමක් උසුලයි. 1597 පමණ සිට පෘතුගීසීන් හත්කෝරළේ තුළ සිය බලය තහවුරු කිරීමට උත්සාහ කරද්දී ඒ කාර්යයට ඔහු බාධා කෙළේ ද පෘතුගීසීන්ගෙන් තම රාජ්‍යයට එල්ල විය හැකි ආක්‍රමණය කල්දමාගන්නා අටියෙනි. මෙසේ අනාගතයේ දී පෘතුගීසීන් හා ඇති විය හැකි ගැටුමක් සඳහා ස්වකීය රාජ්‍යය ශක්තිමත් කළ අතර ම 1594-5 දීත් 1598 දීත් පෘතුගීසීන් හා ස්ථීර සාමයක් ඇති කරගත හැකි දැයි විමලධර්මසූර්ය රජ විමසා බැලීය. පහතරට ප්‍රදේශ පෘතුගීසීන්ට අයත් බව පිළිගෙන උඩරට රාජ්‍යය තමන්ට අයත් බව පෘතුගීසීන් ලවා පිළිගන්වා ගැනීම ඔහුගේ අරමුණ වූ බව පෙනේ. එහෙත් උඩරට රාජ්‍යයට නීත්‍යනුකූල උරුමයක් තමන්ට ඇතැයි සිතූ පෘතුගීසීන් ඒ සාම යෝජනා ප්‍රතික්ෂේප කළ හෙයින් විමලධර්මසූර්ය ඉදිරිපත් කළ සාමකාමී සහජීවන පිළිවෙත බිඳවැටිණි.
උඩරට ආක්‍රමණයක් සඳහා පෘතුගීසීහු අවුරුදු ගණනක් තිස්සේ සුදානම් වූහ. හතරකෝරළේ හා හත්කෝරළේ සිය බලය තරයේ පිහිටුවාගත් ඔව්හු උඩරටට පහර දිය හැකි ප්‍රමාණයේ දුරින් බලකොටු ගණනක් ම තැනූහ. මොට්ටප්පුලිය, දියසුන්නත, අට්ටාපිටිය, ගනේතැන්න, මැණික් කඩවර යන ස්ථානවල තැනූ මේවායින් උඩරට රාජ්‍යය කොටු කෙරිණි. ඒ අතර ම මැණික්කඩවර කොටුව උඩරටට දෙන පහරක දී මූලස්ථානය වශයෙන් ද භාවිතා කළ හැකි විය. 1602 වන විට ආක්‍රමණයක් සඳහා අවශ්‍ය හමුදා හා මිල මුදල් ද ගෝවෙන් ලැබී තිබුණු හෙයින් ඒ වර්ෂය අවසානයේ දී පෘතුගීසි කපිතන් ජනරාල් තැන්පත් දොන් ජෙරෝනිමෝ ද අසවේදු උඩරට ආක්‍රමණය ඇරඹීය. උඩරට දේශසීමාවේ පිහිටි සිංහල බලකොටු යටත් කරගත් පෘතුගීසීහු 1603 පෙබරවාරියේ දී සෙංකඩගල රාජධානියට දොරටුව වශයෙන් සැලකිය හැකි බලන ද අල්ලාගත්හ. එහෙත් එය අල්ලා දින කිහිපයක් ගත වන්නට මත්තෙන් පහතරට සිට ගිය සිංහල හමුදාව උඩරට හමුදාවට එක් වූයෙන් කට හැකි වෙන කිසිවක් නොමැති බව දත් පෘතුගීසීහු ආපසු කොළඹට ඒමට තීරණය කළෝය. නැතක් දුෂ්කරතා මධ්‍යයෙහි කළ ඒ පසුබැස්ම පෘතුගීසි ඉතිහාසඥයන් හඳුන්වන්නේ “විශිෂ්ට පසුබැස්ම” නමිනි. පෘතුගීසි පරාජය නිසා පහතරට ප්‍රදේශවල කැරලි කිහිපයක් ද ඇති විය. මේවායින් ප්‍රයෝජන ගත් විමලධර්මසූර්ය රජ මැණික්කඩවර, තලම්පිටිය වැනි උඩරටට නුදුරු බලකොටු පමණක් නොව මීගමුව හා රක්ගහවත්ත වැනි ඊට ඉතා දුරින් පිහිටි ඒවා පවා අල්ලාගත්තේය.
අතවැසි රාජ්‍ය තත්වයක පැවත සේනාසම්මත වික්‍රමබාහු විසින් ස්වාධීන රාජ්‍ය තත්වයට ඔසවන ලද කන්ද උඩරට සෙංකඩගල රාජ්‍යය යළි කෝට්ටේ හා සීතාවක රාජධානිවල තත්වයට වැටීගොස්, ඇත්ත වශයෙන් සීතාවක රාජසිංහයන්ගේ යටත් ප්‍රදේශයක් බවට පත්ව තිබුණු පසු එය එම තත්වයෙන් මුදවා ස්වාධීන රාජ්‍යයක් බවටත් අනතුරුව ප්‍රධාන සිංහල රාජධානිය බවටත් ඔසවා තබන ලද්දේ විමලධර්මයන් විසිනි. එපමණක් නොව 1591 දී ඔහුගෙන් ඇරඹුණු රාජවංශය 1739 දක්වා සියවස් එකහමාරක් පමණ පරසතුරු උවදුරු මැද උඩරට රාජධානියේ එම තත්වය රැකගනිමින් මහනුවර බලයේ සිටියේය.
1604 දී - එනම් මේ විශිෂ්ට ජයග්‍රහණයෙන් අවුරුද්දකට පසු - විමලධර්මසූර්ය රජ මියගියේය. විමලධර්මයන් ඇවෑමෙන් උඩරට රාජ්‍යයේ සිංහාසනාරූඪ වූයේ සෙනරත් (1604 - 1635) රජයි. සෙනරත් විමලධර්මසූර්යගේ ඥාති සොහොයුරෙක් විය. සිය පුතුන් ළාබාල වයසේ වූ හෙයින් ඒ අවස්ථාවේ දී උඩරට මුහුණ පෑ බාහිර උවදුරුවලට සාර්ථකව මුහුණ දීමට ඔවුනට නොහැකි වෙතියි යන අදහසිනි, විමලධර්මසූර්ය රජු ස්වකීය ඥාති සහෝදරයාට උඩරට කිරුළ ලැබෙන මාර්ගය පෑදූයේ. එහෙත් සෙනරත් රජුගේ පාලනය විමලධර්මසූර්යයන්ගේ පාලනය තරම් විශිෂ්ට එකක් වී යයි කිව නොහැකියි. විශේෂයෙන් ම මුල් දශකය ගැන මේ කීම සැබෑය. බෞද්ධ භික්ෂුවකුව සිට සිවුරු හැර කිරුළ පිළිගත් සෙනරත් රජ යුද්ධෝපාය ගැන කිසිත් නොදත්තේය. අනික් අතින් විමලධර්මසූර්යයන්ගේ වැඩිමහලු පුත් කුමරුවා ඔහු විසින් මරවන ලදැයි යන කථාවක් ද එකල පැතිර ගොස් තිබිණි. විමලධර්මසූර්යයන් උඩරට රාජ්‍යයේ විමුක්තිදායකයා ලෙස සැලකූ උඩරැටියන් මේ ක්‍රියාව ගැන සෙනරත් රජු කෙරෙහි දැඩි අප්‍රසන්නතාවක් දැක්වූහයි සිතිය හැකිය. ඔහුගේ පාලනයට විරුද්ධව හාරිස්පත්තුවේ දිසාපති තැන කැරැල්ලක් ඇති කළ බව ද පෙනේ.
උඩරට ඇති වූ මේ අවුල් වියවුල් නිසා පහතරට තම බලය යථාතත්වයට ගෙන ඒමට පෘතුගීසීහු සමත් වූහ. එහෙත් ඒවායින් ප්‍රයෝජන ගෙන උඩරට අල්ලා ගැනීම සඳහා තවත් ප්‍රයත්නයක් දැරීමට ඔව්හු මැළි වූහ. ස්පාඤ්ඤ කිරුළ යටතට පත්වීම නිසා යුරෝපයේ දී ඔවුන්ට මුහුණ දෙන්නට වූ ප්‍රශ්නත් මොලුක්කා දිවයින්වලින් පෘතුගීසීන් පැන්නීම සඳහා ලන්දේසීන් ගැසූ ප්‍රහාරය නිසා ඇති වූ ප්‍රශ්නත් කෙරෙහි අවධානයත් ස්වකීය සේනා හා ධන ශක්තියත් යෙදවීමට වීම නිසාය, පෘතුගීසීන් මෙසේ උඩරට අල්ලා ගැනීමේ පියවරක් ගැනීමට අපොහොසත් වූයේ. කෙළින් ම පහර ගැසීමට බැරි හෙයින් ඔවුන් උත්සාහ කෙළේ බලකොටු වළල්ලකින් ඒ රාජ්‍යය බස්නාහිර පැත්තෙන් කොටු කොට, නැව් කණ්ඩායමක් මුරකාවල් සඳහා නැගෙනහිර මුහුදේ යොදවා, ඉන්දියාවත් ලංකාවත් අතර එකල පැවති වෙළෙඳාම නවතා දමා ඒ රාජ්‍යය හුස්ම හිර කරපියා මරාලීමයි. ඒ මරණය ඉක්මන් කරවීම සඳහා 1607-1615 පමණ කාලය තුළ දී වසකට දෙවරක් උඩරටට පහර දී ගොවිතැන් පාළු කොට හරකාබාන ද මරා දැමීමේ ප්‍රතිපත්තිය ගෙන යන ලදි. මේ අතර බලන කොටුව ද පෘතුගීසීන්ට යටත් වූයෙන් එය උඩරටට ඉතා අවදානම් යුගයක් විය.
උඩරටට විරුද්ධව පෘතුගීසීන් ගෙන ගිය මේ ක්‍රියාමාර්ගය දශකයක් පමණ කාලයක් මුළුල්ලේ පැවැත්තේය. එය නැවතුණේ 1616 වර්ෂය අවසානයේ දී හත්කෝරළෙන් ආරම්භ වී පසුව මුළු පහතරට ම පාහේ පැතිරී ගිය නිකපිටියේ බණ්ඩාරයන්ගේ කැරැල්ල නිසායි. පහතරට පෘතුගීසි බලයට විරුද්ධව නැඟ ආ මේ කැරැල්ලෙන් ප්‍රයෝජන ගැනීමට උඩරට රජු මාන බැලීම ස්වාභාවිකය. එහෙත් එයින් ඔහු ප්‍රයෝජන ගත්තේ අප බලාපොරොත්තු වන ආකාරයට නොවේ. මුල දී බලන කොටුව අල්ලාගත් ඔහු එමඟින් පෘතුගීසීන් කන්ද උඩරට එළිපත්තෙන් පලවා හැර නිකපිටියේ බණ්ඩාරයන්ට ද උපකාර යැවීය. පෘතුගීසීන්ගේ ගින්නට පිදුරු දැමීමේ මේ ප්‍රතිපත්තිය තර්කානුකූල එකකි. එහෙත් 1617 මාර්තු මැද හරියේ දී ඒ ප්‍රතිපත්තිය වහා කණපිට පෙරළූ සෙනරත් රජු පෘතුගීසීන් හා ස්ථිර සාමයක් ඇති කරගත හැකි දැයි විපරම් කෙළේය. ඊට පෘතුගීසීන් දුන් පිළිතුර සතුටුදායක වූයෙන් සාකච්ඡා කිහිපයකින් පසුව 1617 අගෝස්තු 24 වැනි දින උඩරට-පෘතුගීසි ගිවිසුමක් අත්සන් කරන ලදි.
දෝන කතිරිනාගේ පුත් කුමරුවන් තිදෙන උඩරට රාජ්‍යයට හිමිකරුවන් බව ඒ ගිවිසුමෙන් පෘතුගීසීහු පිළිගත්හ. මෙතෙක් තමන්ට උරුම යයි කී රාජ්‍යය උඩරට කුමරුවන් තිදෙනකුට හිමි යයි පිළිගැනීමෙන් ඒ කෙරෙහි තමන්ට උරුමයක් නැතැයි පෘතුගීසීන් පිළිගත් බවක් පෙනේ. එහෙත් වර්ෂයකට උඩරටින් ඇතුන් දෙදෙනකු බැගින් කප්පම් ගෙවීමට සෙනරත් රජු පොරොන්දු වීම නිසා ඒ රාජ්‍යය කප්පම් ගෙවන රාජ්‍යයක් බවට පත් විය. මේ හැරෙන්නට පෘතුගීසීන් හා මිතුරු ජාතීන් තමන්ගේ මිතුරන් ලෙසත් සතුරන් තමන්ගේ සතුරන් ලෙසත් පිළිගැනීමට සෙනරත් රජු කැමති වූයෙන් ඒ රාජ්‍යයේ විදේශ ප්‍රතිපත්තියේ ස්වාධීනත්වය සීමා විය.
1617 ගිවිසුම අනුමත කිරීමට පෘතුගාලයේ හා ගෝවේ අධිකාරීහු එතරම් කැමැත්තක් නොදැක්වූහ. නොයෙක් නොයෙක් ප්‍රශ්න නැඟූ ඔව්හු අන්තිමේ දී එය අනුමත කිරීම පැහැර හැරියහ. පහතරට කැරැල්ල නිසා උඩරට සමඟ සාම ගිවිසුමක් ඇති කරගැනීමෙන් පෘතුගීසීන් බලාපොරොත්තු වූයේ තාවකාලික සහනයකි. සාම ගිවිසුමෙන් ඒ සහනය ලැබිණ. උඩරට ඈඳා ගැනීමට ඔවුන් තුළ වූ ආශාව ගිවිසුමක් නිසා සදහට ම අස් කරගැනීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කෙරිණි. මඩකලපුවේ හා ත්‍රිකුණාමලයේ බලකොටු තනන තෙක් උඩරට ගිවිසුම අනුමත නොකළ යුතු යයි 1622-23 වර්ෂවල පෘතුගීසි අධිකාරීන් කළ ප්‍රකාශයෙන් මෙය පැහැදිලි වේ. මේ ස්ථාන දෙක ම උඩරට රාජ්‍යයට හිමි ඒවාය. ඒවායේ බලකොටු තැනීමට මානබැලීමෙන් පෘතුගීසීන් උඩරටට සතුරුකමක් කිරීමට අදහස් කළ බවක් හැඟේ. මේ නිසා 1617 උඩරට පෘතුගීසි ගිවිසුම ස්ථිරසාර සාමයක් උදා කොට උඩරටට සුරක්ෂිතතාවක් ඇති කළ එකක් වශයෙන් හැඳින්විය නොහැකියි.
1618 දී ලංකාවේ කපිතන් ජනරාල් පදවිය ලැබූ කුස්තන්තීනු ද සා ද නොරොඤ්ඤා ගෙන ගිය ප්‍රතිපත්තිය හැඳින්විය හැක්කේ උඩරට හා යුද වැදීමට සුදානම් වීමක් වශයෙනි. ඔහු උඩරටට අයත් ත්‍රිකුණාමලයේ හා මඩකලපුවේ පෘතුගීසි බලකොටු දෙකක් තැනවීය. ගාල්ලේ ද අලුතෙන් කොටුවක් තැනවූ ඔහු කොළඹ හා බලකොටු ප්‍රතිසංස්කරණය කරවීය. සිංහල හමුදා නිලධාරීන්ගේ දරුපවුල් පදිංචි කරවීම සඳහා වත්තල අසල නව නගරයක් කරවීය. පෘතුගීසීන් උඩරට ආක්‍රමණය කළ බොහෝ අවස්ථාවල දී ඒ ආක්‍රමණ අසාර්ථක වූයේ සිංහල ලස්කිරිඤ්ඤ හේවායන් උඩරට තම සහෝදර ජනතාවට විරුද්ධව සටන් කිරීමට දැක්වූ උකටලීභාවය නිසායි. පසුව ඔවුන්ගේ පවුල් කොළඹ අසල පෘතුගීසීන්ගේ පරීක්ෂාව යටතේ සිටින සේ පදිංචි කරවීමෙන් කපිතන් ජනරාල් බලාපොරොත්තු වූයේ නැවත උඩරට ආක්‍රමණයක් ඇති වූ විටක දී එවැනි තත්වයක් උදාවීම වැළැක්වීමයි. මේ හැරෙන්නට කොළඹ වෙඩිබෙහෙත් මෝලක් ද පිහිටුවූ ඔහු එමඟින් අනාගත යුද්ධයක් සඳහා කටයුතු සම්පාදනය කෙළේය. මේ හැම එකක් ම උඩරට රාජ්‍යයට අනතුරු හැඟවීමක් වශයෙන් සැලකිය යුතුයි.
තමා බලාපොරොත්තු වූ අයුරු සාමයක් උදා නොවන බව දුටු සෙනරත් රජ ලන්දේසීන්ගෙන් හා ඩෙන්මාර්කයෙන් ආධාර පැතීය. 1618 දී ඩෙන්මාර්කය සමඟ ගිවිසුමක් පවා අත්සන් කළ නමුදු එරටින් හෝ ලන්දේසීන්ගෙන් ඔහුගේ බලාපොරොත්තු ඉටු නොවීය. පහරදීම පහර වැළැක්වීමට හොඳම මඟ යයි සැලකූ ඔහු වරක් පහතරටට පහරක් එල්ල කෙළේය. තව වරක් අතපත්තු මුදලි යටතේ පෘතුගීසීන් සතු යාපනයට විශාල හමුදාවක් යැවීය. ඒ එකකින් වත් පෘතුගීසි බලය දෙදරවීමට ඔහුට නුපුළුවන් විය.
මෙසේ එක් අතකින් පෘතුගීසීන් උඩරට අල්ලා ගැනීමේ බලාපොරොත්තුවෙන් කටයුතු සම්පාදනය කළ හෙයින් ද අනික් අතින් ඔවුන්ගෙන් තම රාජ්‍යය ආරක්ෂා කරගැනීමට සෙනරත් රජු ක්‍රියා කළ හෙයින් ද 1628 වන විට දෙපක්ෂය ම යුද්ධාවතීර්ණව සිටියහ. 1628 හා 1629 වර්ෂවල දී උඩරටට පෘතුගීසි ප්‍රහාර දෙකක් එල්ල විය. සෙංකඩගල නුවරට ගිනි තැබීමත් තවත් ප්‍රදේශ කිහිපයක් විනාශ කිරීමත් ඒවායින් කෙරිණි. එහෙත් ඔවුහු පලවා හරිනු ලැබූහ.
කුස්තන්තීනු ද සා 1630 දී කළ ඌවේ ආක්‍රමණය 1628-29 වර්ෂවල උඩරටට දුන් ප්‍රහාරවලට වඩා ප්‍රබල එකක් විය. පෘතුගීසි හේවායන් 508කින් ද සිංහල හේවායන් 5,000කින් ද ඔහුගේ ආක්‍රමණ හමුදාව සමන්විත විය. 1630 අගෝස්තු මාසයේ දී කොළඹින් පිටත් වූ කුස්තන්තීනු ද සා මැණික්කඩවර හරහා ඌවට පැමිණියේය. සෙනරත් රජු ද සිය පුත් කුමරුන් තිදෙන කැටුව සපිරිවරින් එහි සම්ප්‍රාප්ත වූයේ තීරණාත්මක සටනක් එදා එහි දී සිදු වන බවට පෙරනිමිති දුටු නිසා විය යුතුයි. උඩරට හමුදාව මුල දී පෘතුගීසීන් හමුවේ පසුබැස්සේය. බදුලු නගරයත් ඒ අවට ප්‍රදේශයත් ගිනිලෑමට මින් පෘතුගීසීන්ට ඉඩ ලැබිණි. එහෙත් මේ අතර පෘතුගීසීන් සමඟ ඌවට ආ සිංහල ප්‍රධානීන් කිහිප දෙනකු විසින් සංවිධානය කරන ලද කුමන්ත්‍රණයක් පිළිබඳ හෝඩුවාවක් දැනගන්නට ලැබුණු කපිතන් ජනරාල් කොළඹට පසුබැසීමට සුදානම් විය. එවිට පහතරට සිංහල හමුදාව මුළුමනින් ම පාහේ පෘතුගීසීන් හැර දමා උඩරට සේනාවට එක් විය. අසරණ වූ පෘතුගීසි භටයෝ දෙදවසක් මුළුල්ලේ පහරකමින් වැල්ලවාය දක්වා පසුබැස්සාහ. රජුගේ ළාබාල පුත්‍ර මහා ආස්තාන (රාජසිංහ) සිංහල සේනාවේ නායකත්වය ඉසිලීය. අවසාන සටන එහි රන්දෙණිවෙලේ දී සිදු විය. පෘතුගීසි හේවායෝ සියලු දෙනා ම පාහේ මැරුම් කෑහ; නැතහොත් සිරභාරයට ගනු ලැබුවෝය. මැරුම් කෑවවුන් අතර කපිතන් ජනරාල් ද විය.
රන්දෙණිවෙලේ ජයග්‍රහණයෙන් සාර්ථක ප්‍රතිඵල නෙළා ගැනීමට උඩරට රජ අපොහොසත් විය. මැණික්කඩවර හා සබරගමු කොටු උඩරට සේනා අල්ලාගත් බව සැබවි. එහෙත් මුළු පෘතුගීසි හමුදාව ම සමූලෝත්පාටනය වූ නිසා උඩරට හමුදාව කළ යුතුව තිබුණේ ලක්දිව ඉතිරිව සිටි පෘතුගීසීන් කිහිපදෙනා තුළ ඇති වූ සන්ත්‍රාසය සිය වාසියට හරවා ගෙන කොළඹට පහර දීමයි. එකල පෘතුගීසීන් තුළ සන්ත්‍රාසයක් ඇති වූ බවට සැකයක් නැත. මල්වාන හා කළුතර බලකොටුවල සිටි පෘතුගීසීන් සිංහලයන් ඒවාට පහර දීමට පෙර ම ඒවා අත්හැර කොළඹට රිංගාගත්තේ ඔවුන් බියෙන් ඇළලී ගිය නිසායි. උඩරැටියෝ විදුලි වේගයෙන් පහර ගැසූහූ නම් සේනා විරහිතව, ප්‍රමාණවත් ආරක්ෂා සංවිධානවලින් තොරව සිටි කොළඹ කොටුව ඊට ඔරොත්තු නොදෙනු ඇත. එහෙත් උඩරට හමුදාව කොළඹට පැමිණියේ රන්දෙණිවෙලේ සටන හමාර වී සති දෙකක් ගත වූ පසුයි. එසේ පැමිණ ද ඔවුන් කෙළේ කොළඹට පහර දීම නොවේ. කඳවුරු බැඳ ඒ නගරය දිගු කලක් තිස්සේ වැටලීමට සූදානම් වීමයි. එහෙත් මේ අතර ඉන්දියාවෙන් ආධාර ලැබූ පෘතුගීසීහු උඩරැටියන්ට විරුද්ධව ප්‍රහාරයක් එල්ල කළහ. ඒ නිසා 1630 නොවැම්බර් මාසයේ සෙනරත් රජ සිය වාඩිය උගුළුවා උඩරට බලා ගියේය. ඊට පසුත් අවුරුද්දක් පමණ ගත වන තෙක් උඩරට සේනාංක කිහිපයක් පහතරට රැඳී සිටිය ද 1632 ජනවාරිය වන විට පහතරට පෙදෙස් බොහොමයක් ම උඩරැටියන්ගෙන් මුදාගැනීමට පෘතුගීසීහු සමත් වූහ. ස්වෝත්සාහයෙන් පහතරට ප්‍රදේශ පරංගින්ගෙන් මුදා ඒවා උඩරට රාජ්‍යයට ඈඳාගැනීමට උඩරට රජුට ලැබුණු මහඟු අවස්ථාවක් මෙසේ නැති වී ගියේය.
මේ අතර සාම කතාබහ පිළිබඳ යෝජනාවක් සෙනරත් රජුගෙන් ඉදිරිපත් විය. රන්දෙණිවෙල සටනේ ජයග්‍රාහකයා මෙසේ සාමයට අරඇන්දේ කරුණු කිහිපයක් නිසාය. සෙනරත් රජු එකල වෘද්ධයකු වූයෙන් ඔහුට වුවමනා කෙළේ තමාගේ මරණයෙන් පසු උඩරට රාජපදප්‍රාප්ති අවුල් වියවුල් ඇති වනු වැළැක්වීමටයි. ගිවිසුමක් මඟින් පෘතුගීසීන්ගේ හොඳහිත දිනාගත හොත් එබඳු වියවුලක් ඇති වුවත් ඔවුන් එයින් ප්‍රයෝජන නොගනිතියි සෙනරත් රජු බලාපොරොත්තු වූ බව පෙනේ. මේ හැරෙන්නට තම බාල පුත් දේවරාජසිංහට කන්ද උඩ පස්රට භාර දී විජයපාල හා කුමාරසිංහ යන වැඩිමහල් පුතුන් දෙදෙනහට මාතලේ හා ඌව දීමේ බලාපොරොත්තුවක් සෙනරත් රජු තුළ තිබිණි. මේ නිසා ඒ කුමරුවන් අතරත් වැඩිමලුන් දෙදෙනා හා පියරජු අතරත් මේ වන විට භේද ඇති වී තිබිණි. සාම ගිවිසුමකට වහා නොඑළඹුණ හොත් පෘතුගීසීන් මේ භේදයෙන් ප්‍රයෝජන ගනිතියි සෙනරත් රජු බිය වී යයි සිතීම අහේතුක නොවේ. ගෝවට දූත මෙහෙවරක් යවා 1631 දෙසැම්බර් මාසයේ දී සෙනරත් රජු සාම කතා ඇරඹුයේ පෘතුගීසින්ට විරුද්ධව විශිෂ්ට ජයග්‍රහණයක් ලද නමුත් තම රාජ්‍යය තුළ වූ මේ වියවුල් නිසා විය යුතුයි.
දූත ගමන් කිහිපයකින් හා ලිපි හුවමාරුවකින් පසුව 1633 අප්‍රේල් මස 15 වැනි දින උඩරට රාජ්‍යය හා පෘතුගීසීන් අතර සාම ගිවිසුමකට ගෝවේ දී අත්සන් තබන ලදි. ප්‍රධාන කරුණු අතින් මේ ගිවිසුමත් 1617 ගිවිසුමත් අතර සමානත්වයක් දැකිය හැකියි. කුසුමාසන දේවියගේ පුතුන් තිදෙන අතර උඩරට රාජ්‍යය බෙදී ඇති බවත් ඒ රාජ්‍යයට නීත්‍යනුකූල උරුමක්කාරයන් ඔවුන් බවත් පෘතුගීසීහු මෙවර ද පිළිගත්තෝය. තමනට ඒ රාජ්‍යයට අයිතියක් නොමැති බව වක්‍ර ලෙස මෙයින් නැවත වරක් පිළිගැනිණි. 1617 දී ඇතුන් දෙදෙනකු දීමට පොරොන්දු වූ උඩරට රජ මෙවර එක ඇතකු පමණක් කප්පමක් වශයෙන් පෘතුගීසීන්ට දීමට පොරොන්දු විය. උඩරට රාජ්‍යය හා පෘතුගීසීන් සතු ප්‍රදේශ අතර 1617 දී නියම කරන ලද දේශසීමා නොවෙනස් විය යුතු යයි පිළිගැනිණි. ඒ නිසා දේශසීමා වෙනසක් හෝ ප්‍රදේශ අයිතිය මාරුවක් නොවීය. එහෙත් 1617 දී උඩරටට තිබුණු එක බිම් කැබෙල්ලක් මෙවර පෘතුගීසීන්ට අයත් විය. එනම් පෘතුගීසීන් මඩකලපුවේ බලකොටුව තැනූ භූමි භාගයයි.
1633 ගිවිසුම උඩරට රාජ්‍යයට අවාසි සහගත එකකි. රණපිටියේ දී ජයගත් උඩරට පාලකයෝ සාම සාකච්ඡාවේ දී පරාජයට පත් වූහ. ජයග්‍රාහකයා පරාජිතයාට කප්පම් ගෙවීම මදිකමකි, නින්දාවකි. 1617 දී තමා කප්පම් ගෙවීමට සතුටු වූයේ තම දරුවන් එවිට ළාබාල හෙයින් ඔවුන් රැගෙන තැන තැන යෑමට ඇති අපහසුව නිසා යයි ද 1633 වන විට භද්‍ර යෞවන වයසේ පසු වූ ඔවුන් හෙල්ලක් අතැතිව නිදාගැනීමට දන්නා හෙයින් පෘතුගාලයේ රජු සඳහා ඇතුන් ඇල්ලීමට කැළෑ වැදීමට තමාට බැරි යයි කියමින් සෙනරත් රජ මේ කප්පම් ගෙවීමට තරයේ විරුද්ධ විය. එසේ ම පෘතුගීසීන් බලෙන් අල්ලාගත් මඩකලපුව ඔවුනට තබාගැනීමට ඉඩ දීම කොල්ලකෑම නීත්‍යනුකූල කිරීමකැයි ඔහු සිතන්නට ඇත. මේ නිසා සාම ගිවිසුම අනුමත කිරීමට ඔහු අදිමදි කළේය. එය අනුමත නොකළ හොත් නැවතත් යුද්ධාරම්භ විය හැකි බව පැහැදිලිව ම පෙනීගිය පසුව පමණි සෙනරත් රජු ගිවිසුම අනුමත කළේ.
සාම ගිවිසුම අනුමත කිරීමෙන් ටික කලකට පසු 1635 දී සෙනරත් මිය ගියේය. සෙනරත් ජීවතුන් අතර සිටිය දී ම කුමාරසිංහ, විජයපාල හා දේවරාජසිංහ යන කුමරුන් තිදෙන අතර උඩරට රාජ්‍යය බෙදා දුන් බව 1633 ගිවිසුමෙන් පෙනේ.
එහෙත් ඌවේ රාජපදප්‍රාප්තියෙන් ටික කලකට පසු කුමාරසිංහ මිය ගියේය. ඌව සම්බන්ධයෙන් රාජසිංහ හා භේද වූ විජයපාල කුමරු 1640 දී පමණ පෘතුගීසීන් වෙතට පලා ගියේය. රාජසිංහ II නමින් හැඳින්වෙන දේවරාජසිංහ මේ නිසා මුළු උඩරට රාජ්‍යයේ ම අසහාය පාලකයා බවට පත් විය.
ලන්දේසි-උඩරට සබඳතා
විමලධර්මසූර්යයන් හා සෙනරත් යන රජුන්ගේ ප්‍රතිපත්ති සලකා බලන විට ඔවුන් හොඳ උඩරට රජුන් වූවා මිස හොඳ ලංකා රජුන් නොවූහයි කිව හැකියි. සිය රාජ්‍යය කෙරෙහි ම අවධානය යොමු කළ ඔවුන්ගේ දර්ශනපථය කඩුගන්නා කඳු වැටියෙන් ඔබ්බට විහිදී ගියේ නැතැයි කීම සාධාරණය. ඒ නිසා පෘතුගීසීන් ලක් බිමින් පන්නා හැරීමේ ජාතික ව්‍යාපාරය ඔවුන්ගේ රාජ්‍ය කාලය තුළ දී අනාථ විය. සීතාවක රාජසිංහයන්ගේ මරණය නිසා අනාථ වූ ජාතික ව්‍යාපාරයට යළිත් නායකත්වය සැපයූයේ සීතාවක නරපතියාගේ නම ම ගත් රාජසිංහ II (1629-1687) රජයි. සීතාවක රාජසිංහයන්ගේ අඩිපාරේ යන්නකු ලෙස තමා ම හඳුන්වාගත් ඔහුගේ ද අරමුණ වූයේ ලක්දිවින් පෘතුගීසීන් පිටුදැකීමයි. සීතාවක රාජසිංහයන්ට සිය අභිමතාර්ථය ඉටු කරගත නොහැකි වූ කරුණු තේරුම් ගත් මොහු පෘතුගීසීන් පන්නා හැරීමට නම් ප්‍රබල නාවික ශක්තියක් ඇති විදේශීය බලවතකුගේ ආධාරය අවශ්‍ය බව දුටුවේය. එකල එබඳු බලවතකු වශයෙන් සිටියේ ලන්දේසීන් පමණි. නැගෙනහිර ඉන්දියා දූපත්වල සිය බලය පිහිටුවාගෙන සිටි ලන්දේසීන් මේ වන විට දකුණු ඉන්දියාවත් ලංකාවත් කෙරෙහි අවධානය යොමු කොට සිටි හෙයින් රාජසිංහයන් බලාපොරොත්තු වූ ආධාර දීමට ඔව්හු එක පයින් ඉදිරිපත් වූහ. රාජසිංහ රජු හා ලන්දේසීන් අතර ඇති වී ගෙන ආ සම්බන්ධතාව ගැන හෝඩුවාවක් මේ අතර පෘතුගීසීන්හට දැනගන්නට ලැබිණි. ඒ සම්බන්ධතාව පෘතුගීසි විරෝධි හවුලක් බවට පරිවර්තනය වීමට පෙර උඩරටට මහා ප්‍රහාරයක් එල්ල කළ යුතු යයි ඔවුන්ට පෙනී ගියේය. පෘතුගීසි කපිතන් ජනරාල් දියෝගු ද මේලෝ කස්ත්‍රෝ 1638 මාර්තු මස අග දී මේ නිසා උඩරට ආක්‍රමණය කළේය. සෙංකඩගල නුවරට වැද එය ගිනි තැබීමට ඔහු සමත් වූ නමුත් ආපසු එන ගමනේ දී ගන්නොරුවේ දී රාජසිංහ රජ ඔවුන්ට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කෙළේය. පෘතුගීසි හමුදාව මෙවර ද සමූලඝාතනය විය. රාජසිංහයන්ගේ ඒ විශිෂ්ට ජයග්‍රහණය ලක්දිව පෘතුගීසි බලය අස්තංගත වන බවට පෙර නිමිත්තක් විය.
මේ අතර ලන්දේසි-උඩරට මිත්‍රත්වයේ පල දරන අවස්ථාව පැමිණියේය. රාජසිංහයන්ගේ ඉල්ලීම පිට ලන්දේසි නැව් කණ්ඩායමක් ලංකාවේ නැගෙනහිර වෙරළට 1638 මැයි මස මුල හරියේ දී සැපත් වූයේය. උඩරට රජ ද විශාල යුද්ධ හමුදාවක් සහිතව එහි පැමිණියේය. දෙසෙනඟ එක් වී මඩකලපුවේ පෘතුගීසි කොටුවට පහර දුන්හ. 1638 මැයි මස 18 වැනි දා වැඩි අපහසුවක් නැතිව ම එය යටත් කරගැනීමට ඔවුන්ට පුළුවන් විය.
මෙතෙක් උඩරට රජු හා ලන්දේසීන් අතර කෙතෙක් දූත ගමන් හා ලියුම් ගනුදෙනු ඇති වුව ද ඔවුනතර ගිවිසුමකට අත්සන් තැබීමක් නොවීය. මේ අඩුපාඩුව සපුරාලන ලද්දේ මඩකලපුව වැටී පස් දිනකට පසුවයි. ඒ උඩරට-ලන්දේසි ගිවිසුමේ වගන්ති අතරින් වැදගත් එකක් වශයෙන් සැලකිය හැකි තුන්වන වගන්තිය අනුව පෘතුගීසීන්ගෙන් අල්ලාගනු ලබන බලකොටුවල ලන්දේසි සේනා නැවැත්විය යුතු විය. එහෙත් ඒ රාජසිංහ රජුගේ අභිමතයට අනුවයි. එසේ නවතනු ලබන සේනාවල ආහාරපාන හා පඩිනඩි සඳහා යන වියදම දැරීමට රාජසිංහ රජ ගිවිසුමේ හතර වැනි වගන්තියෙන් පොරොන්දු විය. අලි ඇතුන් හැර ලංකාවේ සුලබ අන් සියලු වැදගත් වෙළෙඳ ද්‍රව්‍ය පිළිබඳ ඒකාධිකාරය තවත් වගන්තියකින් ලන්දේසීන්ට හිමි කර දෙන ලදි.
1639 මැයි මාසයේ දී - එනම් ගිවිසුම අත්සන් කොට අවුරුද්දක් ගත වූ පසු - නැගෙනහිර වෙරළේ ඉතිරි පෘතුගීසි බලකොටුව වූ ත්‍රිකුණාමලයට පහර දෙනු ලැබ එය ද පෘතුගීසීන්ට අහිමි විය. 1640 පෙබරවාරි මාසයේ දී මීගමුව ද ඊට මසකට පසු ගාල්ල ද ලන්දේසීන්ට යටත් විය. ඒ අවුරුද්දේ නොවැම්බර් මාසයේ දී පෘතුගීසීහු මීගමුව නැවත අල්ලා ගත්හ. නැවත එය ලන්දේසීන් අතට පත් වූයේ 1644 ජනවාරි මාසයේ දීය.
පෘතුගීසීන් ලක්දිවින් පලවා හැරීමේ කාර්යය මෙසේ පියවරින් පියවර ඉදිරියට ගිය නමුත් මේ අතර රාජසිංහ රජු හා ලන්දේසීන් අතර උග්‍ර මතභේදයක් හට ගත්තේය. උඩරට හා ලන්දේසීන් අතර මුල දී ඇති වූ සම්බන්ධය බිඳදමා අන්තිමේ දී ඔවුන් අතර සටන් කිහිපයක් පවා ඇති කිරීමට තුඩු දුන් මේ මතභේදයට හේතුව මුල සිට ම විමසා බැලීම වටී.
ඒ මතභේදයට මුලික හේතුව වූයේ රාජසිංහයන්ගේත් ලන්දේසීන්ගේත් අරමුණු අතර වූ පරස්පර විරෝධීබවයි. රාජසිංහයන්ගේ අරමුණ වූයේ පෘතුගීසීන් පලවා හැර ඔවුන් යටතේ වූ පහතරට ප්‍රදේශය තම රාජ්‍යයට ඈඳා ගැනීමයි. ඒ කාර්යය තනිව ඉටු කරගත නොහැකි හෙයින් ඔහුට ලන්දේසීන්ගේ උදවු උපකාර අවශ්‍ය විය. තමන්ට උපකාරයට ආ සේනාවේ වැටුප් හා වියහියදම් ගෙවීමට ඔහු කැමති විය. ඒ හැරෙන්නට තමාට කරන උපකාරයට ප්‍රත්‍යුපකාර වශයෙන් ලංකාවේ වෙළෙඳ ඒකාධිකාරය ලන්දේසි වෙළෙඳ සමාගමට පැවරීමට ඔහු කැමැත්ත පළ කෙළේය. කුලියට ගත් ලන්දේසි සේනාවේ ද ආධාරයෙන් පහතරට ප්‍රදේශ එක් කර ගැනීම රාජසිංහයන්ගේ බලාපොරොත්තුව විය. රජුගේ කාර්යය සාර්ථක ලෙස නිමාවට පත් වූ පසු ලන්දේසි සේනා ආපසු යතියි ද වෙළෙඳ කටයුතු සඳහා පමණක් ගබඩාවක් හා නිලධාරීන් කිහිප දෙනකු ලංකාවේ රැඳෙතියි ද ඔහු බලාපොරොත්තු වන්නට ඇත.
ලන්දේසීන්ගේ අරමුණ රාජසිංහයන්ගේ අරමුණට වඩා වෙනස් විය. පෙරදිග රටවල දී ඔවුන්ගේ ප්‍රතිපත්තිය වූයේ කුළුබඩු නිපදවන ප්‍රදේශ ස්වකීය දේශපාලන ආධිපත්‍යය යටතට ගෙන එමඟින් වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් පූර්ණ ඒකාධිකාරයක් ඇති කිරීමයි. මේ ප්‍රතිපත්තිය අනුව විශේෂයෙන් ලංකාවේ කුරුඳු නිපදවන ප්‍රදේශ ඔවුන් යටතට ගැනීම ඔවුන්ගේ පරමාර්ථය විය. පහතරට ප්‍රදේශවලින් පෘතුගීසීන් පන්නා හැරිය පසු ඒවා රාජසිංහ රජුට බාර දුනහොත් ඔවුන්ගේ අරමුණ ඉටු නොවේ. මේ නිසා ඒවා ඔවුන් යටතට ගෙන ලංකාවේ ප්‍රදේශාධිපත්‍යය ලබා ගැනීම ලන්දේසීන් අනිවාර්යයෙන් ම කළ යුත්තක් විය. මේ කාර්යය තමන්ට තනිව කළ නොහැකැයි සැක කළ ඔව්හු රාජසිංහ රජුගේ ආධාරය ද ලැබ තම පරමාර්ථය ඉටු කර ගැනීමට මැළි නොවූහ. අනෙකාගේ සහාය ලැබ තමාගේ පරමාර්ථය ම ඉටු කර ගැනීමේ බලාපොරොත්තුව මුල සිට ම දෙපක්ෂය තුළ වූ බව මෙයින් පෙනී යා යුතුයි. එහෙත් මුල දී මේ භේදය මතු වී නොආයේය. මඩකලපුව හා ත්‍රිකුණාමලය අවට ප්‍රදේශයේ කුරුඳු නොවැවෙතැයි විශ්වාස කළ ලන්දේසීහු ඒ කොටු දෙක ම රාජසිංහට බාර දුන්හ. ඔවුන් ලංකාවේ ප්‍රදේශාධිපත්‍යය පතන බවක් ඒ නිසා මුල දී උඩරට රජුට නොපෙනිණි. එහෙත් මීගමුව හා ගාල්ල අල්ලාගත් ලන්දේසීහු ඒවා කුරුඳු කර්මාන්තයේ වැදගත් මධ්‍යස්ථාන වූ හෙයින් ඒ එකක් වත් රාජසිංහට බාර නුදුන්හ. ලන්දේසීන් ආවේ හුදෙක් තමාට උපකාර කිරීම සඳහා නොවන බවත් ඔවුන්ගේ යටිහිතේ ඊට වඩා ලොකු බලාපොරොත්තු ඇති බවත් රාජසිංහයන්ට පළමුවන වරට වැටහීගියේ එවිටය. දෙපක්ෂය අතර මතභේදය ඇරඹුණේ මෙයිනි. 1644-45 දී ලන්දේසීන් හා පෘතුගීසීන් අතර ඇති වූ තාවකාලික සාම ගිවිසුම අනුව බෙන්තර ගඟින් දකුණේ පිහිටි මුහුදුබඩ පළාත් නීත්‍යනුකූලව ලන්දේසීන්ට අයත් වූ විට ඔවුන් ලංකාවේ ප්‍රදේශාධිපත්‍යය අරමුණු කරගෙන ඇති බව රාජසිංහ රජුට හොඳට ම ඒත්තු ගියේය. මතභේදය ගැටුමකට පරිවර්තනය වූයේ එවිටය.
ලන්දේසීන් ලංකාවේ දී ගෙනගිය ප්‍රතිපත්තිය පැහැදිලි වත් ම රාජසිංහ රජ ඒ සම්බන්ධයෙන් පියවර කිහිපයක් ගත්තේය. ලන්දේසීන් අයත් කරගත් මාතර දිසාව වැනි පෙදෙස්වලට පහර දී ඒවා විනාශ කිරීමෙන් හා කුරුඳුකාර පවුල් උඩරටට ගෙනයාමෙන් නව පාලකයන්ට අලාබ හානි පැමිණවීම මින් එකකි. ලන්දේසීන්ට ආහාරපාන සැපයීම තහනම් කිරීමෙන් ඔවුන් මුහුණ පෑ දුෂ්කරතා වැඩි කිරීම තවෙකකි. රාජසිංහ රජු ගත් ඒ දෙකට ම වඩා වැදගත් ක්‍රියා මාර්ගය නම් පෘතුගීසීන් ලක්දිවින් තල්ලු වී යත් ම ඔවුන් අතින් ගිලිහෙන ප්‍රදේශ ලන්දේසීන් යටතට වැටීමට පෙර සිය සේනාව යොදවා ඒවා අල්ලාගෙන සිය රාජ්‍යයට ඈඳා ගැනීමයි. මෙසේ උඩරැටියන් විසින් අල්ලාගනු ලැබූ ප්‍රදේශ අතර හත්කෝරළය මුළුමනින් ම ද සබරගමුවෙන් කොටසක් හා හත්කෝරළෙන් බාගයක් පමණ ද වේ. මුල දී රාජසිංහට ත්‍රිකුණමලය හා මඩකලපුව ලැබී තිබිණ. බටහිර වෙරළේ වැදගත් වරායවල් වූ පුත්තලම, කල්පිටිය හා හලාවත ද ඔහු සතු විය. පෘතුගීසින් ලංකාවේ පාලනය කළ පෙදෙස්වලින් ලන්දේසීන්ට අයත් වූයේ අඩක් පමණකැයි ද ඉතිරි අඩ සිය රාජ්‍යයට එක් කරගැනීමට රාජසිංහ රජු සමත් වී යයි ද මේ නිසා කිව හැකියි.
තමා ලන්දේසීන්ට රැවටුණු බව පැහැදිලි වූ පසු රාජසිංහයන්ට තවත් පියවරක් ගත හැකිව තිබිණි. එනම් පෘතුගීසීන් හා එක් වී ලන්දේසීන්ට පහර ගැසීමයි. ඒ පියවර ගැනීමට ඔහු පෙලඹවීමේ බලාපොරොත්තුවෙන් පෘතුගීසීහු දූතයන් කිහිප දෙනකු උඩරටට යැවූහ. එහෙත් පෘතුගීසීන් සමඟ අත්වැල් බැඳගැනීම ඔහු තරයේ ප්‍රතික්ෂේප කෙළේය. එපමණක් නොව 1652 දී පෘතුගීසීන් හා ලන්දේසීන් අතර නැවත යුද්ධාරම්භ වූ විට ලන්දේසීන්ට නැවත ආධාර ද කෙළේය. කොළඹ කොටුව සඳහා 1655/1656 වර්ෂවල දී මාස ගණනක් තිස්සේ කළ සටනේ දී රාජසිංහයන් දුන් ආධාර ඉතා වැදගත් වූ බව ලන්දේසීහු ද පිළිගත්හ.
1656 දී ලක්දිව පහතරට පළාත්වලින් අන්තිම පෘතුගීසි ජාතිකයා පලවා හරින විට උඩරට රාජ්‍යයට ද පෘතුගීසීන් සතුව තුබූ විශාල භූමි භාගයක් හිමි වී එය පුළුල් වූ බැව් ඉහත සඳහන් කරන ලදි. එහෙත් 1658-68 අතර කාලය තුළ දී මෙසේ අලුතෙන් එකතු කරන ලද ප්‍රදේශ බොහොමයක් ම උඩරට රාජ්‍යයට අහිමි වී ගොස් ඒ රාජ්‍යය හැකිළී ගියේය. මෙසේ වීමට ප්‍රධාන හේතුව වූයේ ලන්දේසි සමාගම යටතේ ලංකාවේ කටයුතු භාරව සිටි රයික්ලොෆ් වැන් හූන්ස් නම් නිලධාරියා ගෙනගිය ප්‍රතිපත්තියයි. පෙරදිග ලන්දේසි බලයේ මධ්‍යස්ථානය විය යුත්තේ නැගෙනහිර ඉන්දියා දූපත් නොව ලංකාව හා දකුණු ඉන්දියාව යයි ඔහු විශ්වාස කෙළේය. මේ සඳහා ලංකාවේ ලන්දේසි බලය ශක්තිමත් පදනමක් පිට පිහිටුවීමට ඔහුට වුවමනා විය. බටහිර වෙරළේ බිම් තීරයකුත් බලකොටු කිහිපයකුත් පමණක් තබාගැනීමෙන් ඔහු තෘප්තියට පත් නොවීය. මුළු ලංකාව ම අවසානයේ දී ලන්දේසි ආඥාචක්‍රය පිළිගත යුතු යයි ඔහු විශ්වාස කෙළේය. රාජසිංහයන්ගේ බලය ඉතා අස්ථිර එකකැයි විශ්වාස කළ ඔහු ලන්දේසීන්ගේ මේ අරමුණුවලට විරුද්ධව නැගී සිටීමට ඔහුට පුළුවන්කමක් නැතැයි ද සිතීය. ලන්දේසි වෙළෙඳ සමාගමේ උසස් අධිකාරීන් සිය මතයට නම්මාගත් වැන් හූන්ස් සිය අදහස් අනුව ලංකාවේ ලන්දේසි බලය තහවුරු කිරීමේ කාර්යයේ නියැළුණේය. මේ සඳහා ඔහු කෙළේ කෙළින් ම යුද්ධ ප්‍රකාශ නොකොට හමුදා යවා උඩරටට අයත් ප්‍රදේශ අල්ලාගැනීමයි. 1659 පෙබරවාරියේ දී කල්පිටිය අල්ලාගැනීමෙන් මේ ව්‍යාපාරය ඇරඹූ ඔහු 1665, 67 වර්ෂවල දී නැගෙනහිර වෙරළබඩ පෙදෙස්වලට මෙන් ම බටහිර පැත්තේ රට අභ්‍යන්තරයේ ප්‍රදේශවලට ද තියුණු ප්‍රහාර එල්ල කෙළේය. කොට්ටියාරමේ සිට වලවේ ගංමෝය අතර වෙරළබඩ බිම් තීරුවත් සබරගමුවෙන් හා හත්කෝරළෙන් කොටස බැගිනුත් මේ නිසා ලන්දේසීන්ට හිමි විය. අලුත් ප්‍රදේශ ඈඳාගැනීම නිසා ලන්දේසීන් සතු භූමි ප්‍රමාණය ද ඔවුන් යටතේ වූ ජනගහනය ද දෙගුණ වී යයි සඳහන් වේ.
තමාගේ සහාය ලබා ලංකාවේ පැළපදියම් වූ ලන්දේසීන් මෙසේ උඩරට යටතේ වූ ප්‍රදේශ ගිල ගැනීමට විරුද්ධව රාජසිංහ මුල දී කිසිවක් කළ බවක් නොපෙනේ. 1664 දී හා ඉන්පසු කලක් ඔහු ක්‍රියා විරහිත වූයේ එකල ඇති වූ අභ්‍යන්තර වියවුලක් නිසා යයි කිව හැකිය. එනම් 1664 දී උඩරට ඇති වූ අඹන්වෙල රාලගේ කැරැල්ල නිසාය. උඩරට සිහසුනෙන් රාජසිංහ රජු ඉවත් කොට ඔටුන්න හිමි කුමරාට සිහසුන බාරදීමට කුමන්ත්‍රණය කළ අඹන්වෙල රාල නිලඹේ දී කැරැල්ලට මුල පිරීය. කුමන්ත්‍රණකරුවෝ රජුගේ සේවකයන් කිහිප දෙනකු මරා දැමූහ. මේ අතර රජ හඟුරන්කෙත අසල ගලඋඩට පලා ගියේය. රාජසිංහගේ පුත්කුමරා අල්ලාගත් කැරලි නායකයා ඔහුට පාලනය බාර කෙළේය. මේ අතර සිය සේනා සංවිධානය කළ රාජසිංහ කැරලිකරුවන්ට පහර දී කැරැල්ලට සහභාගි වූ ප්‍රධානීන් කිහිපදෙනකු මරා දැම්මේය. අඹන්වෙල රාල ද ඔහු යටතට පත් වූයෙන් දඬුවම් පැමිණවීම සඳහා ඔහු ලන්දේසීන් වෙත යවන ලදි. කැරැල්ල එයින් බිඳ වැටිණි. අභ්‍යන්තර වශයෙන් බලන කල අඹන්වෙල රාලගේ කැරැල්ල රාජසිංහගේ බලයට මහත් අභියෝගයක් එල්ල කළ සිද්ධියක් වශයෙන් සැලකිය නොහැකිය. එහෙත් ලන්දේසීන් උඩරටට අයත් ප්‍රදේශවලට පහර දෙන අවස්ථාවේ දී ඔවුන්ට ප්‍රතිප්‍රහාර දීමට ඒ කැරැල්ල නිසා රාජසිංහ අපොහොසත් වූ බවක් එයින් සිතිය හැකියි. ඒ නිසා බාහිර වශයෙන් ඒ කැරැල්ල උඩරට රාජ්‍යයට අහිතකර විය.
යට කී පරිදි ලන්දේසීන් පහර දෙද්දී රාජසිංහ මුල දී ඊට විරුද්ධව කිසියම් පියවරක් ගත් බවට සාක්ෂි නැති නමුත් කැරැල්ල නිමාවට පත් වී කලක් ගත වූ පසු ඒ ප්‍රහාර වළකාලීමට ප්‍රධාන පියවර දෙකක් ගත් බව පෙනීයයි. පළමුවැන්න ලන්දේසීන්ට විරුද්ධව විදේශාධාර පැතීමයි. 1667 දී මදුරාසියට දූතයකු යවා බ්‍රිතාන්‍ය ආධාර ලැබිය හැකි දැයි ඔහු සොයා බැලීය. එය නොලැබෙන බව දුටු ඔහු 1672 දී ලංකාවේ නැගෙනහිර වෙරළට ආ ප්‍රංස නැගෙනහිර ඉන්දියා වෙළෙඳ සමාගමේ පිරිසක් හා උඩරට-ප්‍රංස ගිවිසුමක් අත්සන් කෙළේය. එහෙත් කොට්ටියාරමේ කඳවුරු බැඳ ගත් ප්‍රංශකාරයන්ට ලන්දේසීන් විසින් පහර දී පලවා හරින ලදින් ප්‍රංස ආධාර ද උඩරටට නොලැබිණි. මෙසේ පළමුවන පියවර ප්‍රතිඵල විරහිත බව පෙනී යද්දී රාජසිංහ රජ ඊට වඩා ප්‍රතිඵල ගෙන දුන්නා වූ දෙවන පියවර ගත්තේය. එනම් ලන්දේසීන්ට විරුද්ධව ප්‍රතිප්‍රහාරයක් ඇරඹීමයි. දසවසක් තිස්සේ ලන්දේසීන්ට විරුද්ධව ප්‍රතිප්‍රහාරයක් ඇරඹීමයි. දසවසක් තිස්සේ ලංන්දේසීන්ට විරුද්ධව අවි නොඑසවූ ඔහු හිටිහැටියේ ම 1670 දී ලන්දේසීන්ට විරුද්ධව සේනා මෙහෙයැවීය. ලංකාවේ බටහිර, නැගෙනහිර හා නිරිත දිග ප්‍රදේශයේ ලන්දේසි බලකොටුවලට හා කඳවුරුවලට ඔහු පහර ගැසීය. හතරකෝරළේ අරන්දර වැටුණු පසු ලන්දේසීහු හොඳට ම බිය වූහ. උඩරට සේනා එන බව ඇසූ පමණින් ලන්දේසීහු බිය වී බලකොටු හැර යන්නට වූහ. රුවන්වැල්ල, සබරගමුව හා බිබිලේගම මෙසේ අත්හරින ලදින් විශාල ප්‍රදේශයක් වැඩි ආයාසයක් නොමැතිව අල්ලාගැනීමට උඩ රැටියෝ සමත් වූහ. මේ අතර ලංකාවේ නැගෙනහිර වෙරළ බඩ ප්‍රදේශයෙන් වැඩිහරියක් ලන්දේසීන්ගෙන් මුදා ගැනීමට ද ඔව්හු සමත් වූහ. මේ ප්‍රහාරයෙන් පස් වසකට පසු 1675 දී නැවත මහා ප්‍රහාරයක් උඩරටින් ලන්දේසීන්ට එල්ල විය. මහඔය අවට තුන්තොට ප්‍රදේශය උඩරට සේනාවට යටත් විය. අරිප්පුවටත් විදුලි වේගයෙන් පහරක් එල්ල විය. බිබිලේගම හරහා මාතර දිසාවටත් පහර වැදිණි.
රාජසිංහ II රජුගේ ප්‍රහාරයේ ප්‍රතිඵලයක් වශයෙන් 1659ට පසු ලන්දේසීන් විසින් අල්ලාගත් විශාල බිම් ප්‍රමාණයක් ආපසු උඩරටට හිමි විය. එහෙත් වැන් හූන්ස්ගේ ප්‍රතිපත්තිය බිඳවැටීම රාජසිංහ ලැබූ වඩා වැදගත් ජයග්‍රහණයක් ලෙස සැලකිය යුතුයි. රාජසිංහ දුර්වලයකු නොවන බව ද වැන් හූන්ස් නිර්දේශ කළ අන්දමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ හොත් පෘතුගීසීන්ට වූවාක් මෙන් ලන්දේසීන්ට ද ලංකාව මිනීවළක් වනු ඇතැයි ද සිතූ ලන්දේසි සමාගම ඔහුගේ ප්‍රතිපත්තිය තවදුරටත් අනුගමනය කිරීම ප්‍රතික්ෂේප කළේය. නව, සාමකාමී පිළිවෙතක් උඩරට සම්බන්ධයෙන් ගෙන යා යුතු යයි සැලකූ සමාගම 1679 දී ඒ පිළිවෙත ක්‍රියාත්මක කිරීම ලෝරන්ස් පීල්ට භාර දුන්නේය. මෙසේ 1760 පමණ වන තෙක් ලන්දේසි සමාගම ලංකාවේ ගෙන ගිය සාමකාමී ප්‍රතිපත්තියට මුල පිරුණේ රාජසිංහ II දවසයි. වැන් හූන්ස්ගේ සටන්කාමී ප්‍රතිපත්තිය බිඳදමා වඩා සාමකාමී පිළිවෙතට ලන්දේසීන් නැඔුරු කිරීම පිළිබඳ ගෞරවය රාජසිංහට හිමි වියයුතුයි. එසේ ම උඩරට රාජධානියේ බලව්‍යාප්තිය පිළිබඳ උපරිම අවස්ථාව ඇති වූයේ II වැනි රාජසිංහයන්ගේ සමයේ දී බව කිව හැකිය.
මෙසේ උඩරටට විරුද්ධව සටනට බැස බැට කෑ නිසා සාමයේ ආශීර්වාදය වැලඳගැනීමට ලන්දේසීන් සූදානම් වන අතර රාජසිංහ රජ ද වඩා නම්‍ය ප්‍රතිපත්තියකට නැඹුරු විය. වයෝවෘද්ධව සිටි ඔහුට වැඩියෙන් ම වුවමනා වූයේ ඔහු ඇවෑමෙන් ඔහුගේ පුත් කුමරුවාට වියවුල් රහිතව සිහසුන ලබාදීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් යෙදීමයි. උඩරටින් ලන්දේසීන්ට සුහද දූත මෙහෙවර යැවීමෙන් හා උඩරට සිටි ලන්දේසි හිරකරුවන් මුදා හැරීමෙන් මේ බලාපොරොත්තුව ඉටු කර ගැනීමට ඔහු මානබැලීය. 1687 වර්ෂය අවසානයේ දී ඔහු මියයන විට උඩරට හා ලන්දේසීන් අතර සාමකාමී සම්බන්ධයක අත්තිවාරම් දමා තිබිණි.
සාම කාලයක්
රාජසිංහගේ ඇවෑමෙන් රජ වූ විමලධර්මසූර්ය II (1687-1707) මේ නව පිළිවෙතට ඉත සිතින් කැමැත්ත දැක්වූයේය. 1664 සිට 1687 දක්වා බෞද්ධ විහාරයක ඔහු හැදීවැඩිණැයි සිතීමට ඉඩ තිබේ. සාමකාමී පුද්ගලයකු වූ ඔහු ආගමික කටයුතු ගැන දැඩි උනන්දුවක් දැක්වීය. මේ උනන්දුව නිසා අග්නිදිග ආසියාවේ බෞද්ධ රටවල් සමඟ සංස්කෘතික හා ආගමික සම්බන්ධතා පැවැත්වීමට ඔහුට විශේෂයෙන් වුවමනා විය. මේ සඳහා නැව් සපයා ගැනීමට සිදු වූයේ ලන්දේසීන්ගෙනි. මෙසේ ඇති දැඩි වූ පරිසරයත් ප්‍රතිපත්තියත් යන දෙක ම නිසා ඔහු ලන්දේසීන් හා සාමකාමීව සිටීමට උත්සාහ කෙළේය.
විමලධර්මසූර්ය II රජු දවස උඩරට හා ලන්දේසීන් අතර සම්බන්ධතා මතභේදවලින් සම්පූර්ණයෙන් තොර වී යයි මෙයින් නොකියැවේ. දේශපාලන හා ආර්ථික හේතූන් නිසා මතභේද රැසක් ම ඇති විය. එකල පහතරට සිංහලයන් උඩරට රජු බොහෝ විට සැලකූයේ තම රජු ලෙසටයි. අභිනවයෙන් අභිෂේකය ලත් මේ රජු බැහැදැක තම ගෞරවාදරය පුද කිරීම සඳහා පහතරටින් සෙංකඩගල නුවරට ගිය සිංහල ප්‍රධානීන්ගේ සංඛ්‍යාව ලන්දේසීන් නොසන්සුන් කිරීමට තරම් විශාල විය. වක්‍ර ලෙසකින් පහතරට සිය බලය පැතිරවීමට මානබැලූ උඩරට රජු ද සමහර විට පහතරට සිංහලයන්ට පහතරට ගම්බිම් සන්නස් මගින් ප්‍රදානය කළ හෙයින් ලන්දේසීන්ගේ නොසන්සුන් බව වැඩි විය. උඩරට රජුගේ මේ ක්‍රියාව නිසා ඔවුන්ට උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණපාන්නට සිදු විය. උඩරට රජුගේ හොඳහිත ආරක්ෂා කරගැනීමට නම් ඔහුගේ මේ ක්‍රියාවලට විරුද්ධ නොවී ඒවා මුදුනින් පිළිගත යුතුය. අනික් අතින් ඒවා පිළිගැනීම උඩරට රජු ලන්දේසීන් සතු ප්‍රදේශවල ද රජු බව පිළිගැනීමකි. පහතරට බෞද්ධ සිද්ධස්ථාන සම්බන්ධයෙන් ද මෙබඳු ම දේශපාලන ප්‍රශ්නයක් මතු විය. තමා බුදුසසුනේ ආරක්ෂකයා බව පෙන්වීමට උනන්දු වූ රජ පහතරට වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීමට දැඩි උනන්දුවක් දැක්වීය. වරක් කැලණි විහාරය පිළිසකර කිරීමට ඔහු කළ උත්සාහය මීට නිදසුනකි. උඩරට රජුගේ හිත නොරිදවා ඔහුගේ දේශපාලන බලය හා ආගමික කටයුතු උඩරටට ම සීමා කිරීමට සියුම් වැඩපිළිවෙළක් යෙදවීමට ලන්දේසීන්ට සිදු විය.
උඩරට හා ලන්දේසීන් අතර ආර්ථික ගැටලුවක් ද ඇති විය. ලන්දේසීන්ට වුවමනා වූයේ ලංකාවේ ප්‍රධාන ආයාත හා නිර්යාත භාණ්ඩ පිළිබඳ ඒකාධිකාරය තමන් අතට ගැනීමටයි. උඩරට හා ඉන්දියාව අතර වූ පුවක් හා රෙදිපිළී වෙළෙඳාම තමන් අතට ගැනීම ද මේ නිසා ඔවුන්ගේ වැඩපිළිවෙළේ වැදගත් තැනක් ලැබීය. අනික් අතට මේ වෙළෙඳාම ඒකාධිකාරයක් යටතට පත් නොකොට නිදහස්ව තබාගැනීමට උඩරට රාජ්‍යයට වුවමනා විය. එහි නිපදවූ පුවක්වලට උපරිම මිලක් ලබාගත හැක්කේත් ඊට අවශ්‍ය රෙදිපිළී සාධාරණ මිලකට ගත හැක්කේත් එවිටය. පුත්තලම් වරායෙන් නිදහසේ පුවක් පිටරට පැටවීමටත් රෙදිපිළී පිටරටින් ගෙන්වීමටත් උඩරට රජුට මේ නිසා වුවමනා විය. එහෙත් සිය වෙළෙඳාමට පහර වදින නිසා ලන්දේසීහු ඊට ඉඩ නොදුන්හ. ආර්ථික ගැටලුවේ නිදානය වූයේ මෙයයි.
විමලධර්මසූර්ය II රජුගේ බලවත් හා නිරන්තර ඉල්ලීම් නිසා 1696 දී ලන්දේසීහු පුත්තලම, ත්‍රිකුණාමලය හා මඩකලපුව උඩරට හා ඉන්දියානු වෙළෙඳ කටයුතු සඳහා නිදහස් වරායවල් බව ප්‍රකාශයට පත් කළහ. මෙයින් පසුව විශේෂයෙන් පුත්තලම ඉන්දු-ලංකා වෙළෙඳාම සඳහා ඉතා දියුණු වූත් ඉතා වැදගත් වූත් මධ්‍යස්ථානයක් බවට පත් විය. ඒ නිසා ලන්දේසීන්ට පාඩු සිදු විය. 1703 දී වරායවල් වසන ලද්දේ මේ නිසායි. ඒවා නැවත අරවාගැනීමට විමලධර්මසූර්ය රජ ද ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ ද බොහෝ උත්සාහ කළහ. එහෙත් ඒවා වෙළෙඳාම සඳහා විවෘත කිරීමට ලන්දේසීහු තරයේ විරුද්ධ වූහ. ඔවුන්ගේ මේ ප්‍රතිපත්තිය ගැන රජවරු දෙදෙන නොයෙක් විට සිය අප්‍රසාදය පළ කළහ. උඩරට රජුන් තමන් කෙරෙහි දැඩි ලෙස අප්‍රසාදයට පත් වුව හොත් හත්කෝරළේ ප්‍රදේශවල කුරුඳු තැළීමට සමාගමට අවසර නොලැබෙතැයි බිය වූ ලන්දේසීහු රජුන් තමන් කෙරෙහි පහදවාගනු සඳහා නොයෙක් උපක්‍රම යෙදූහ. රජුන්ගේ නොයෙක් දූත ගමන් සඳහා ඉල්ලූ පමණින් ම නැව් සැපයීමට ලන්දේසීහු යුහුසුලු වූහ. එසේ ම වටිනා තෑගිබෝග සහිතව දූත මෙහෙවර හැම අවුරුද්දේ ම වාගේ සෙංකඩගල නුවරට පිටත් කළහ. උඩරට රජුන්ට ලියූ ලිපිවල ඔවුන් කෙරෙහි ඉතා බයාදු, බැගෑපත් ගතියක් දැක්වෙන අන්දමේ පාඨ යෙදීමට වග බලාගත්හ.
මේ උපක්‍රමය මුල දී සාර්ථක වූ බව පෙනේ. මතභේද ඇති වූ නමුත් සම්බන්ධතා බිඳවැටීමක් නුවූ හෙයිනි. එහෙත් දහඅටවන සියවසේ තුන්වන දශකයේ දී ලන්දේසීන් හා උඩරට අතර තරමක ගැටුම් මාලාවක් ඇති විය. උඩරටට අයත් වරායවල් ඔස්සේ දකුණු ඉන්දියාව හා වෙළෙඳාම් කිරීමට උඩරැටියනට නිදහස තිබිය යුතු යයි උඩරට රජ පරණ තර්කය නැවතත් ඉදිරිපත් කළේය. පුරුදු පරිදි ලන්දේසීහු ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ. එවිට වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ උඩරට සිට පහතරටට එන කඩවත් වසා දැම්මේය. උඩරට නිපදවූ පුවක් ඒ නිසා ලන්දේසීන්ට නොලැබුණෙන් ඔවුන්ට පාඩු සිදු විය. 1734-36 කාලය තුළ පහතරට ප්‍රදේශවල කැරැල්ලක් ඇති වූ විට රජ ඒවාට ද අනුබල දුන්නේය. එපමණක් නොව ලන්දේසීන් යටතේ වූ ප්‍රදේශ කිහිපයක් ද අල්ලා ගත්තේය. මෙසේ මතභේදය උග්‍ර වී ගැටුමක් බවට පරිවර්තනය වෙමින් පැවැති අවස්ථාවේ දී එය සමථයකට පත් කරන ලද්දේ ලංකාවේ ලන්දේසි ආණ්ඩුකරු වශයෙන් පත්ව ආ වැන් ඉම්හොෆ් විසිනි.
1707 දී දෙවන විමලධර්මසූර්ය රජු මියගිය පසු ඔහු පුත් ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ (1707-1739) සිහසුනට පත් විය. කුණ්ඩසාලේ විසූ හෙයින් “කුණ්ඩසාලේ රජු” යන නමින් හැඳින්වුණු ඔහු එතරම් ජනප්‍රිය පාලකයකු නුවූ බව පෙනේ. ඔහු සිහසුනෙන් පහ කොට පට්ටිය බණ්ඩාර නමැත්තකුට රාජ්‍යය පැවැරීමේ අදහසින් කිරිවවුලේරාල ප්‍රමුඛ පක්ෂයක් කුමන්ත්‍රණයක් කළේය. එහෙත් ඒ පිළිබඳ හෝඩුවාවක් කල්තියා ම දැනගත් රජු උඩවත්ත කැළේට පැන ගොස් කුමන්ත්‍රණකරුවන්ට විරුද්ධව ව්‍යාපාරයක් සංවිධානය කෙළෙන් කුමන්ත්‍රණය අසාර්ථක විය. උඩරට නිදහස් වෙළෙඳාමට අකුල් හෙළූ ලන්දේසීන්ට විරුද්ධව දැඩි පියවරක් මුල දී ගැනීමට වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු අපොහොසත් වූයේ මෙවැනි අභ්‍යන්තර වියවුල් නිසා විය හැකියි.
නායක්කර් වංශය
1739 දී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු මියගිය විට උඩරට සිහසුන ලැබුවේ ඔහුගේ මෙහෙසියගේ සොහොයුරු නායක්කර් වංශිකයෙකි. දකුණු ඉන්දියාවේ මදුරයි ප්‍රදේශයට අයත් වූ නායක්කර්වරු මුස්ලිම් ආක්‍රමණ නිසා කොරමැණ්ඩල් වෙරළබඩ ප්‍රදේශයේ පදිංචි වූ ප්‍රදේශ පාලකයෝ වූහ. මේ පවුල් හා විවාහ සබඳකම් ඇති කරගැනීම දහහත්වන සියවසේ උඩරට රාජවංශ ඉතිහාසයේ දක්නට ලැබෙන ලක්ෂණයකි. විමලධර්මසූර්ය II රජුගේ බිසව නායක්කර් කුමරියකැයි කියනු ලැබේ. වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහගේ බිසව වූ උඩුමාලේ දේවිය ද එම වංශයට අයත් වූවාය. උඩරට රජවරුන් සඳහා පිටරටින් මණාළියන් ගෙන ඒමේ මේ පුරුද්ද ඇති වූයේ කුමක් හෙයින් දැයි යන ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් දිය නොහැකිය. බණ්ඩාරවරුන් හෙවත් උඩරට ප්‍රධානීන් බලලෝභයෙන් අභ්‍යන්තර වියවුල් ඇති කළ හෙයින් ඔවුන්ගේ බලය මැඩලනු සඳහා උඩරට රජුන් විසින් මේ පියවර ගන්නා ලදැයි මන්දාරම් පුර පුවතේ එයි. සමහර විට එහි ඇත්තක් තිබිය හැකියි.
(කර්තෘ: ටිකිරි අබයසිංහ)
[සෙංකඩගල පුරයෙහි ආරම්භයෙහි පටන් පළමු වන විමලධර්මසූර්ය මහරජු (1592-1604) දක්වා උඩරට ඉතිහාසය මෙතෙක් සාමාන්‍යයෙන් පිළිගන්නා ලද ආකාරයට වඩා වෙනස් වූත් බොහෝ සෙයින් නිරවුල් වූත් ආකාරයකින් මෑතක (1969 දෙසැම්බර මස) දී මුද්‍රණයෙන් පළ වූ අස්ගිරියේ තල්පත නමැති පැරණි පුස්කොළ පොතින් අනාවරණය වෙයි. එහි එන වැදගත් අප්‍රකට තොරතුරු පමණක් ලුහුඬින් පහත දක්වනු ලැබේ.
කුරුණෑගල් නුවර රජ කළ සිව්වන පණ්ඩිත පරාක්‍රමබාහු මහරජුගේ (1302-1326) අණින් ඔහුගේ බෑනා වූ සිරිවර්ධන නම් සේනාධිකාරිවරයා විසින් කටුපුළු දනව්වේ මුල දී කටුපුළු නුවර යයි හැඳින්වුණු තන්හි සෙංකඩගල සිරිවර්ධන පුරය ගොඩනඟන ලදි. එම සේනාධිකාරිවරයා කටුපුළු නුවරට පැමිණ එහි නටබුන් හරවා වීදි, සීමා, පවුරු බඳවා මහ රජුට සිටින්නට නිසි බලකොටුවක් ද වන සෙනසුනක් ද කැරැවීය. එතැන් පටන් එම නගරය ඔහුගේ නමින් සිරිවර්ධන පුරය යයි ද බු.ව. 1855 (ක්‍රි.ව. 1312) දී යටකී මහරජු විසින් මහාසංඝයා විෂයෙහි පුදන ලද වන සෙනසුන අස්ගිරි විහාරය යයි ද හැඳින්විණි. මෙසේ සෙංකඩගල සිරිවර්ධන පුරයෙහිත් අස්ගිරි විහාරයෙහිත් ආරම්භය එක ම අවස්ථාවෙහි සිදු විය. සෙංකඩගල පුරයෙහි මුල් ම ප්‍රාදේශික පාලකයා වූයේ ද පණ්ඩිත පරාක්‍රමබාහු මහ රජුගේ සෝවුරෙකි. මුලින් පැවිදිව සිටි හෙතෙම මහරජුගේ ඇවෑමෙන් සිවුරෙන් පහව පරාක්‍රමබාහු යන නමින් සෙංකඩගල නුවර වැඩහිඳ අස්ගිරි නිවාසී භික්ෂූන්ට සිව්පසය සලස්වමින් එම පුරය පාලනය කෙළේය. ඔහුගෙන් පසු 14 වන සියවස අවසන් වන තුරු සෙංකඩගල පුරය ගම්පොළ රාජ්‍යයට යටත්ව පැවැතිණි.
1409 දී ගම්පොළ නුවර සේනාධිකාරිවරයා විසින් තමාගේ හා රජ වන්නට පෙර දේවමන්ත්‍රී යුවරජ නමින් හැඳින්වුණු ගම්පොළ වීරබාහු මහරජුගේ මුනුබුරෙක් පරාක්‍රමබාහු යන නමින් සෙංකඩගල පුරයෙහි රජ පමුණුවන ලදි. එම රජුගේ ඇවෑමෙන් ඔහුගේත් ගම්පොළ තුන්වන වික්‍රමබාහු මහරජුගේ මිනිබිරියක වූ සුමිත්‍රා නම් දේවියගේත් පුත්‍රයා දැදිගම් පුරය රාජධානිය කොටගෙන පරාක්‍රමබාහු නමින් රජ වූ හෙයින් එතැන් පටන් සෙංකඩගල පුරය එම රාජ්‍යයෙහි කොටසක් ලෙස පැවැතිණි. දැදිගම් පුර පරාක්‍රමබාහු රජු මිය ගිය පසු රාජසභාවෙහි බලවතුන් රටේ සේනාවගේ අනුමතියක් නැතිව රාජ්‍යලෝභයෙන් ඒ ඒ පළාත් අල්ලාගැනීම නිසා රට අසමඟියෙන් පවතිද්දී “මාතුල දනව්වේ උඩ වැඩ හුන් වික්‍රමබාහු” නම් සේනාධිකාරි කුමරු පෙරළියක් ඇති කොට එම රජුගේ පුත් දැදිගම පරාක්‍රම ඈපා පන්නා හැර 1463 දී සේනාසම්මත වික්‍රමබාහු නමින් සෙංකඩගල පුරයෙහි රජ පැමිණියේය. පරාක්‍රම ඈපා පැරැද වෙල්ලස්සට පලා ගොස් දොඩම්වල ඉඩම් බැඳගෙන (මාළිගා තනාගෙන) එහි නතර විය.
සේනාසම්මත වික්‍රමබාහු රජු විසින් ඔහුගේ සත්වැන්නෙහි දුම්බර හටන් බණ්ඩාර නමැත්තකු රාජ්‍යය නිසා පෙරළියක් ඇති කළ කල්හි තුණයම හිස් කන්නැහේ නමැත්තාට රාජ්‍යය දෙන බව පොරොන්දු වී උපායෙන් ඔහු සමඟි කරවා ගන්නා ලදි. එතෙකුදු වුවත් 1483 දී මේ රජු මළ පසු (පළමුවැනි) ජයවීර නමින් සෙංකඩගල පුරයෙහි රජ වූයේ ඔහුගේ ආස්තාන කුමාරයායි. 1497 දී ඔහු අපුත්‍රකව මිය ගිය විට පස්රටේ සංඝයා හා රදලවරු එකතුව යටකී තුණයම හිස් කන්නැහේ නම් කුමාරයා තුණයම රජ යන නමින් සෙංකඩගල පුරයෙහි රජ පමුණුවාගත්හ. 1505 පමණ කාලයේ දී හෙතෙම සෙංකඩගල නුවරින් පල්ලේපිටිය නුවරට ගොස් එය රාජධානිය කරගත්තේය.
තුණයම් රජුගේ 17 වැන්න හා ජයවර්ධනපුරයෙහි ධර්ම පරාක්‍රමබාහු රජුගේ 9 වැන්න වූ 1514 දී කරල්ලියද්දේ බණ්ඩාර නමැත්තා කොළොම් තොට ප්‍රතිකාලුන්ගෙන් ද ජයවර්ධන පුරයෙන් ද හමුදා ගෙන අවුත් එම රජු නෙරපා (දෙවන) ජයවීර නමින් සෙංකඩගල පුරයෙහි රජ විය. 1542 දී කන්ද උඩ පස්රටේ රදලවරු ඔහු නෙරපා දමා තුණයම රජුගේ පුත්‍ර රංකොඩි පතිරන්නැහේ නම් කුමාරයා වීරවික්‍රමබාහු නමින් රජ පමුණුවා ගත්හ. වීරවික්‍රම යන නමින් රාජරත්නාකරය, මහාවංසය ආදි ඉතිහාස ග්‍රන්ථයන්හි හෙතෙම උත්කර්ෂයෙන් වර්ණනා කරනු ලැබෙයි. පෘතුගීසි ලේඛකයන් ඔහු හඳුන්වන්නේ වික්‍රමබාහු යන නමිනි. 1579 දී ඔහු මිය ගිය පසු යටකී දෙවන ජයවීර රජුගේ පුත්‍ර කරල්ලියද්දේ බණ්ඩාර නම් කුමාරයා කොළඹින් ප්‍රතිකාල් සේනාව ගෙන අවුත් පෙරළි කර (තුන්වන) ජයවීර නමින් සෙංකඩගල පුරයෙහි රජ කෙළේය. 1580-1585 අතර කාලයෙහි දී සීතාවක නුවර පළමුවන රාජසිංහ රජු විසින් ඔහු සිහසුනෙන් පහ කර විජේසුන්දර බණ්ඩාර නම් කුමාරයාට සෙංකඩගල රාජ්‍යය භාර දෙන ලදි. ඉක්බිති විජේසුන්දර රජු ශාසන පක්ෂපාතව රට වැසියන්ගේ ආදරය දිනාගෙන වසන කල ඒ නොරිස්සූ රාජසිංහ රජ උපායෙන් ඔහු මරවා නිකපිටියේ බණ්ඩාර නමැත්තාට රාජසූරිය යයි පට බැඳ ඔහු සෙංකඩගල පුරයෙහි රජ කැරැවීය. රට වැසි සංඝයා වහන්සේත් රදලවරුනුත් ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කරතැයි සැලව යාම නිසා ඔවුන්ට විපත් කරන්නට පටන් ගත් කල බොහෝ සංඝයා වහන්සේ රාජභයින් පලා ගියහ.
මෙසේ පවතිද්දී විජේසුන්දර රජුගේ පුත් කෝනප්පු බණ්ඩාර කුමාරයාත් යමසිංහ බණ්ඩාර නම් කුමාරයාත් ප්‍රතිකාල් සේනාවක් හා සමඟ මඩකලපුවෙන් ගොඩබැස රට මැදට එන බවත් රට වැසියන් ඊට විපක්ෂ නොවන බවත් සැලව රාජසූරිය රජ සීතාවකට පලා ගියේය. දෙවනගල රතනාලංකාර මහතෙර සාමීන් ද ගම්පොළ රාජගුරු ධර්මකීර්ති අනුතෙර සාමීන් ද ඇතුළු සංඝයාගේත් රදලවරුන්ගේ හා රට වැසියන්ගේත් පක්ෂ බලය ලැබී එම කුමාරවරු දෙදෙනා සෙංකඩගලපුරයට පැමිණියහ. ඉන් පසු ප්‍රතිකාල් සේනාධිකාරිවරයා උඩරට රජතන් සම්මතයට වෙනස්ව යමසිංහ බණ්ඩාර සේනාධිකාරි කොට නුවර මුර යොදා රාජසිංහ රජු අල්ලන්නට සීතාවක බලා ගිය කල්හි කෝනප්පු බණ්ඩාර කුමාරයා යමසිංහ බණ්ඩාර මරවා නුවර රැඳී සිටි ප්‍රතිකාල් සේනාවට දේශසීමාවෙන් පිට වන ලෙස අණ කෙළේය. එකල සංඝයා වහන්සේත් රදලවරුත් රැස්ව උඩරට සිරිත් ලෙස 1592 දී කෝනප්පු බණ්ඩාර කුමාරයා විමලධර්ම රජ යන නමින් සෙංකඩගල පුරයෙහි රජ පමුණුවා ගත්හ. එකල තමාට එරෙහිව ආ සීතාවක රාජසිංහ රජු බලනේ දී කළ මහා සංග්‍රාමයෙන් පැරැදවූ විමලධර්මසූර්ය රජ තෙමේ 1593 දී දෙල්ගමු විහාරයෙන් “දළදා සිතුමිණි රුවන” වැඩම කරවා, දෙමහල් මාළිගාවක් කරවා, එහි වඩා හිඳුවා පූජෝපහාර පවත්වමින් සෙංකඩගල නුවර ශ්‍රී ලංකාද්වීපයෙහි අග්‍රරාජධානිය කෙළේය.]
(කර්තෘ: කාර්යාලය)
අවනතිය හා අවසානය (1739 සිට 1815 දක්වා)
උඩරට රාජධානියේ අවසානය සිදු වූයේ 1815 දීය. ඒ පිළිබඳව මතභේදයක් නොපවතී. එහෙත් රාජධානියේ අවනතිය කවර දා සිට ආරම්භ වී දැයි කීම එතරම් පහසු නොවේ. ඇතැමුන්ගේ පිළිගැනීම පරිදි අවනතිය ආරම්භ වූ වර්ෂය 1739 සේ ගැනේ. අවසාන සිංහල රජු වූ නරේන්ද්‍රසිංහගේ අභාවයත් සමඟ තංජෝරයෙන් පැමිණි ද්‍රවිඩ නායක්කර්වරුන්ට උඩරට සිහසුන හිමි වූයේ එම වර්ෂයෙහිය. ලක්සිහසුන අරා වැඩ හිඳීමට එදා ඔවුනට නරේන්ද්‍රසිංහ රජුගේ මෙන් ම සිංහල රදලවරුන්ගේ ද වැලිවිට සරණංකර සාමණේරයන් වැනි භික්ෂූන් වහන්සේලාගේ ද අනුමතිය හා අනුග්‍රහය නොමසුරුව ලැබිණි. එසේ වුව ද එතැන් සිට ක්‍රමයෙන් රජු හා සමහර සිංහල රදලවරුන් අතර භේද හා අසමගිකම් ඇති වන්නට විය. එයට හේතු වූයේ රජතුමා ද්‍රවිඩයකු වීමත් දෙමළ භාෂාව කථා කිරීමත් සිය ඥාති නායක්කර්වරුන්ට වගකිවයුතු තනතුරු පැවරීමත්ය. මෙසේ නායක්කර් රදල පිරිසක් ද ඇතිවීම සිංහල රදලවරු නොඉවසූහ. එසේ ම රජකම සඳහා තමන් පමණක් සුදුස්සන් සේ නායක්කර්වරුන් සැලකීම ද ප්‍රබල සිංහල රදලවරුන්ගේ අප්‍රසාදයට හේතු විය. සමහර විට එසේ නොවන්නට ප්‍රදේශාධිපතීන් වූ ඔවුන්ට ද රජකම සඳහා හිමිකම් කීමට ඉඩකඩ තිබිණි. ඒ කෙසේ වෙතත් මෙවැනි භේදයක් පැනනැඟීමට ඉඩ ඇති බව මුහුදුබඩ ප්‍රදේශ අල්ලාගෙන සිටි ලන්දේසීහු ද ඉවෙන් මෙන් දැන සිටියහ. එවැනි භේදයක් හටගත් විටක එයින් ප්‍රයෝජන ගත යුතු බවට, විශේෂයෙන් උඩරට රජු හා කල්පවතින සාම ගිවිසුමක් ඇති කරගැනීමට උත්සාහ කළ යුතු බවට, බතාවියෙන් කොළඹ ලන්දේසි නිලධාරීන්ට උපදෙස් ලැබී තිබිණි. උඩරට රාජධානියේ අවසානය එළඹෙන්නේ ද බොහෝ සෙයින් රජු හා රදලයන් අතර හටගත් භේද හා වෛරය හේතුකොටගෙනය. එසේ බලන කල එවැනි භේදයකට මඟ පෑදූ නායක්කර් රාජවංශයේ ආරම්භයේ සිට (1739) උඩරට රාජධානියේ අවනතිය ආරම්භ වී යයි සැලකීම යුක්ති යුක්තය.
උඩරට රජුන් හා රදලවරුන් අතර පැවැති භේද 1739න් පසුව ආරම්භ වී යයි සැලකීම අහේතුක බව සමහර ඉතිහාසඥයන්ගේ මතයයි. දෙවැනි රාජසිංහ හා දෙවැනි විමලධර්මසූර්ය වැනි සිංහල රජුන් දවස ද එවැනි භේද පැවැති බවත් ඒ අවස්ථාවන්හි ලන්දේසීන් රදලවරුන් සමග රහසින් අදහස් හුවමාරු කරගත් බවත් ඉතිහාසඥයෝ පෙන්වා දෙති. ඒ නිසා භේදාරම්භය වශයෙන් සැලකීමේ දී වුව ද 1739 තීරණාත්මක වී ද යනු ඔවුන්ට සැකසහිතය. ඔවුන්ගේ නිගමනය වනුයේ උඩරට රාජධානියේ පරිහානි සමය ආරම්භ වන වකවානුව වශයෙන් 1766 වර්ෂය ගැනීම වඩා උචිත බවය. 1766 වර්ෂයේ වැදගත්කම රඳා පවතින්නේ ලන්දේසීන් හා උඩරට රජු වූ නායක්කර් වංශික කීර්ති ශ්‍රී රාජසිංහ රජු අතර ඇති වූ සාම ගිවිසුම මතය. මෙම සාම ගිවිසුම හදිසියේ ඇති වූවක් නොවේ. එය ඔවුනොවුන් අතර කලක් පැවැති භේද හා අසමගිකම් හේතු කොටගෙන 1765 දී හටගත් ලන්දේසීන්ගේ උඩරට ආක්‍රමණයත් සමඟ උද්ගත වූ තත්වයේ ප්‍රතිඵලයකි. එම ආක්‍රමණය සාර්ථක අන්දමින් සිදු වූ නමුත් පෙර දී නොයෙක් වර සිදු වූවාක් මෙන් මෙවර ද මහනුවර අල්ලාගෙන වාඩිලා සිටි ලන්දේසීන්ට ඔවුන් බලාපොරොත්තු නොවූ අන්දමේ කරදරවලට හා සතුරු තර්ජනයන්ට මුහුණ පෑමට සිදුවීම නිසා උඩරට අතහැර පහතරටට පසුබැසීමට සිදු විය. ඒ නිසා ඔවුන් බලාපොරොත්තු වූ පරිදි උඩරට අල්ලා ගැනීමට හෝ එහි රජුගේ හා රදලවරුන්ගේ අවනතභාවය ඇති වන අන්දමේ සාම ගිවිසුමකට එළඹීමට හෝ ඔවුහු අපොහොසත් වූහ. එහි දී අවි බලයෙන් කළ නොහැකි දේ සාමයෙන් කිරීමට මාන බැලූ ලන්දේසීහු 1766 වන විට රජු හා රදලවරුන් මුහුණ පා සිටි ආභ්‍යන්තරික දුෂ්කරතාවන් සිය වාසියට හරවා ගනිමින්, රජුත් රදලවරුනුත් පොලඹවාගනිමින්, ගිවිසුමක් ඇති කරගත්හ. මෙය වූකලි රජතුමාට ඉතා අවාසිදායක අන්දමේ ගිවිසුමකි. ඒ අනුව උඩරට රාජධානියට අයත් බිම් ප්‍රමාණය බොහෝ සෙයින් පටු විය. එතෙක් කල් නාමමාත්‍ර වශයෙන් හෝ තුබුණු පහතරට ප්‍රදේශ පිළිබඳ අයිතිවාසිකම් අහෝසි විය. මුහුදුකරයට යා හැකිව තුබුණු සියලු මං ඇහිරිණි. ලන්දේසීන් හැර සෙසු විදේශිකයන් සමඟ සබඳකම් පැවැත්වීම තහනම් විය. ගිවිසුම මගින් උඩරට රාජ්‍යය කඳුකරයට සිර කර තැබූ තත්වයට පත් කිරීමට ලන්දේසීහු සමත් වූහ. උඩරට රජුන් හා වෙනත් පිරිසක් අතර මීට ඉහත දී මෙවැනි ගිවිසුමක් කිසිකලක ගිවිසගෙන නොතිබිණි. ඒ නිසා මෙම ගිවිසුමත් එයින් උද්ගත වූ තත්වයත් උඩරට රාජධානිය මත වැටුණු කණකොක් හඬක් සේ සමහර ඉතිහාසඥයෝ සලකති. මෙතැන් සිට උඩරට රාජධානියේ බැඳුම් ලිහී යෑමට පටන් ගත් බව ද ඔව්හු දක්වති. ඒ කෙසේ වෙතත් 1766 ගිවිසුම ක්‍රියාත්මක වූ ගිවිසුමක් නොවීය. එය වචනයට පමණක් සීමා විය. සමකාලීනව ඇති වූ නොයෙක් අර්බුද හා තර්ජන නිසා ලන්දේසීන්ට මෙම ගිවිසුම පරිදි කටයුතු කිරීමට හෝ එයින් ප්‍රයෝජන ගැනීමට හෝ අවස්ථාවක් නොලැබිණ. ඒ නිසා ගිවිසුමක් වශයෙන් හැර තීරණාත්මක දේශපාලන සාධකයක් වශයෙන් මෙහි බලපෑම අල්ප වූ බව කිව යුතුය.
අවනතියේ ප්‍රධාන සාධකය
බාහිර වශයෙන් සලකන කල උඩරට රාජධානියේ අවසානයට තුඩු දුන් ප්‍රධාන සාධකය නම් 1796 දී ලන්දේසීන් පරදවා ඉංග්‍රීසීන් මුහුදු බඩ ප්‍රදේශ අල්ලාගැනීමයි. ලන්දේසීන්ගේ අභිප්‍රාය වූයේ උඩරට රජුන් හා සාමයෙන් විසීමත් ඒ සඳහා කල් පවතින ගිවිසුමක් ඇති කරගැනීමත්ය. ඒ හැර උඩරට රාජධානිය අල්ලාගැනීම නොවේ. උඩරට පැවැති අභ්‍යන්තර භේද වැදගත් කොට සැලැකිය හැක්කේ එවැනි ගිවිසුමකට එළඹීමට ඒවා උපකාරී විය හැකි වූ තරමින් පමණකි. එසේම දුර්වල උඩරට රාජ්‍යයක් තිබීම ලන්දේසීන්ගේ නිරතුරු පැතීම විය. ඉංග්‍රීසීහු ද මුල දී උඩරට රාජධානිය විනාශ කිරීමට නොසිතූහ. එහෙත් පසුව එවැන්නක් නොකිරීමෙන් ඇති විය හැකි තර්ජන හා ප්‍රශ්න ගැන සැලකිලිමත් වූහ. උඩරට රාජ්‍යය හා උපකාරක මිත්‍ර ගිවිසුමක් ඇති කරගැනීමට නොහැකි වී නම් එම රාජ්‍යය අල්ලාගැනීම හැර අන් විසඳුමක් නැති බව ඔවුන්ගේ අදහස විය. මෙසේ බලන කල ඉංග්‍රීසීන් පහතරට බලය අල්ලා ගැනීම (1796) උඩරට රාජධානියේ ඉරණම කෙරෙහි තීරණාත්මක විය. එහෙත් මෙම සිද්ධිය බලපෑවේ රාජධානියේ අවනතියට වඩා එහි අවසානය කෙරෙහිය. 1796 වන විට නිසැකයෙන් ම උඩරට රාජධානිය අවනතියට පත් වී තිබිණ. ඒ නිසා 1796 වර්ෂය ද භේදාරම්භය දක්වන වර්ෂය වශයෙන් ගත නොහැකිය. මෙසේ බලන කල මුලින් දැක්වූ පරිදි 1739 වර්ෂයේ සිට උඩරට රාජධානියේ පරිහානිය සිදු වූ ආකාරය විමසීම සුදුසු යැයි හැඟේ.
නායක්කර්වරුන් හා උඩරට රාජධානිය අතර සම්බන්ධය යටත් පිරිසෙයින් දෙවැනි රාජසිංහ රජු දවස (1635-87) සිට පැවැති බව අනුමාන කළ හැකිය. ඔහු හා ඔහුට පසුව රජ පැමිණි අය දකුණු ඉන්දියාවේ නායක්කර් පවුල්වලින් අගමෙහෙසියන් ලබාගත්හ. පසුව එහි මෝගල් බලය පැතිරීම හේතුකොටගෙන උන්හිටිතැන් නැති වූ නායක්කර්වරුන්ගෙන් සමහරෙක් උඩරටට කැන්දූ කාන්තාවන් සමග මෙහි පැමිණියහ. එදා 1739 දී සිංහල රජ කුමරුවන් නැති තැන සිහසුනට පත් වූයේ එසේ පැමිණි නායක්කර් කුමරෙකි. හේ ශ්‍රී විජය රාජසිංහ නමින් රජ විය. ඔහු ද ඔහුට පසුව සිහසුනට පත් වූවෝ ද ඔවුන් දැරූ ද්‍රවිඩ නම් අතහැර රජවීමත් සමඟ ම සිංහල නම් ආරූඪ කරගත්හ. ඔවුහු හින්දු ආගම ඉවත ලා බුද්ධාගම වැලඳගත්හ. එසේ කරමින් පැරණි සිංහල රජුන් මෙන් හැසිරීමටත් රාජ්‍ය කටයුතුවල නිරත වීමටත් උත්සාහ කළහ. එහෙත් එයින් සිංහල රදලවරුන් හෝ භික්ෂූන්වහන්සේ හෝ සෑහීමට පත් වූවාහු ද යනු සැක සහිතය.
1739 දී ශ්‍රී විජය රාජසිංහ සිහසුනට පත්වීමත් සමග ඔහුගේ ළඟ ම ඥාතීහු ද උඩරටට පැමිණියෝය. රජුගේ අනුග්‍රහයෙන් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් උසස් තනතුරු ලබාගත්හ. රජු වටා සිටියෝ ඔවුහුය. දෙස, බස, රැස මෙන් ම දැය ද ඔවුන්ට නුහුරු වූයෙන් ඔවුනොවුන් ඇසුරු කිරීම වඩා පහසු විය. ඒ අතර අගනුවර හැර උඩරට රාජධානියේ අස්සක් මුල්ලක් නෑර පැතිර පැවැතියේ සිංහල රදලවරුන්ගේ බලපෑමය. අගනුවර විදේශීය පිරිස් අතට පත්වීම නිසා ඔවුන් සිය ප්‍රදේශයෙහි විසීම වඩා ප්‍රිය කළා විය හැකිය. එපමණක් නොව රජුගේ අනුමතියක් පවා නැතිව ලන්දේසීන් සතු ප්‍රදේශයන්ට පහර දීමට හා එහි කැරලි කෝලාහල ඇති කිරීමට ඔව්හු සමත් වූහ. එවැනි කටයුතුත් විජය රාජසිංහගේ පියා හා ලන්දේසීන් අතර පැවැති ඝට්ටනත් හේතුකොට ගෙන රජතුමා ද නිරායාසයෙන් ම ලන්දේසි විරෝධි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට නැඹුරු විය. ඒ අතර උඩරට වාසීන්ගේ හා භික්ෂූන් වහන්සේලාගේ සිත් දිනාගැනීමට සිතූ රජතුමා උඩරට බුද්ධ ශාසනය පණ ගැන්වීම සඳහා ලන්දේසීන්ගේ සහාය ඇතිව සියම් රටින් භික්ෂූන් වහන්සේලා ගෙන්වා ගැනීමට දෙවරක් ම තැත් කළේය. දෙවර ම එය ව්‍යර්ථ වූ නමුත් එයින් එක් දේශපාලන අරමුණක් ඉටු වූවා සේ හේ සැලකීය. එනම් පහතරට ලන්දේසීන් ස්වෛරී පාලකයන් නොව, රජුගේ උපදෙස් පරිදි ක්‍රියාකළ යුතු වූත් රජුට අවනත විය යුතු වූත් පිරිසක් බව ඔවුන්ට ඒත්තු ගැන්වීමය. රජු එසේ සිතූ නමුත් එදා සියමට ස්වකීය නැව් යැවීමේ දීත් වෙනත් කටයුතු කීපයක දීත් රජු කී පරිදි ලන්දේසීන් කටයුතු කළේ එදා පැවති වෙනත් කරදර හා තර්ජන නිසා රජු හා සාමයෙන් විසීම ප්‍රඥාගෝචර යයි සැලකූ හෙයින් සුපුරුදු පරිදි රජු කෙරෙහි ව්‍යාජ අවනත භාවයක් දක්වමිනි.
ශ්‍රී විජය රාජසිංහගේ ඇවෑමෙන් දහහතර වියේ සිටි ඔහුගේ මස්සිනා කීර්ති ශ්‍රී රාජසිංහ නමින් රජකමට පත් විය. ඔහුගේ ළාබාල වයසත් දේශීය චාරිත්‍ර වාරිත්‍ර හා භාෂාව නොදැනීමත් නිසා රජකම් කිරීම ඔහුට එතරම් පහසු කාර්යයක් නොවීය. ඒ හේතුවෙන් ඔහු සිය නෑදෑයන්ගේ උපදෙස් සෙවූ අතර අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් රදලවරු රාජ්‍ය පාලනය සියතට ගැනීමට මාන බැලූහ. ඒ කෙසේ වෙතත් 1747 සිට 1782 දක්වා රජකම් කළ කීර්ති ශ්‍රී රාජසිංහගේ කාලය කීප ආකාරයකින් වැදගත් වෙයි. වැලිවිට සරණංකර හිමියන්ගේ උපදෙස් පරිදි ලන්දේසීන්ගේ සහාය ඇතිව සියම් රටට දූතයන් යවා උපසපන් භික්ෂූන් ගෙන්වා උඩරට සිටි සරණංකර හිමියන් ඇතුළු සාමණේරවරුන් උපසම්පදා කරවා ශාසනය බැබළවීමට මේ රජතුමා ක්‍රියා කෙළේය. මෙයින් ශාස්ත්‍රීය වූත් ආගමික වූත් විශාල උයෝගයක් ඇති විය. එයින් ජාතික හැඟීම් ද කුළුගැන්විණ. ඒ හේතුවෙන් ම නායක්කර් ජාතික කීර්ති ශ්‍රී රාජසිංහට කරදර පැමිණියේය. එසේ වූයේ සමරක්කොඩි හා මොලදණ්ඩෙ යන නිලමේවරුන් රජු මැරීමට රහසින් වැඩපිළිවෙළක් යෙදීම නිසාය. එය මල්වත්තේ නාහිමියන් හා සරණංකර සංඝරාජයන් දැන සිටියහයි අනුමාන කරනු ලැබේ. මෙම කුමන්ත්‍රණය සාර්ථක නොවුව ද එයින් රජුත් රදලයනුත් අතර වාදභේදවලට මුල පිරිණි. දේශපාලන වශයෙන් බලන කල 1765 දී ඇති වූ ලන්දේසීන්ගේ උඩරට ආක්‍රමණය හා 1766 දී රජු හා ගිවිසගත් සාම ගිවිසුමත් ඉතා වැදගත්ය. ඒ දක්වා ලන්දේසින් විසින් එවැනි ආක්‍රමණයක් කර නොතිබිණ. ඊට පසු ද නොකැරිණ. එවැනි පරාධීන ගිවිසුමක් ද ඊට ඉහත දී හෝ ඊට පසුව හෝ උඩරට රජුන් හා විදේශිකයන් අතර ඇති නොවීය.
ලන්දේසි-උඩරට සාමය අවසන් වීම
උඩරට රජු හා ලන්දේසීන් අතර සාමය නැති වී යුද ගිනි ඇවිළීමට තුඩු දුන් හේතු රාශියකි. ශ්‍රී විජය රාජසිංහගේ ඇවෑමෙන් කීර්ති ශ්‍රී රාජසිංහට හිමි වූ ලන්දේසි විරෝධි ප්‍රතිපත්තිය ඉන් එකකි. කීර්ති ශ්‍රීගේ පියා වූ නරෙනප්පා නායක්කර්ගේ පෙළඹවීම තවෙකකි. රජු සඳහා අශ්වයන් හා මුතු ඉල්ලා 1748 දී ලන්දේසීන් වෙත දූතයන් යවන ලද්දේ මොහුගේ හා රදලයන්ගේ පෙළඹවීමෙනි. එය ප්‍රතික්ෂේප කළ ලන්දේසීහු උඩරට සැඟවී සිටි පහතරට කුරුඳු තළන්නන් පිරිසක් පාවා දෙන ලෙස ඉල්ලා සිටියහ. උඩරටින් පැමිණි දූත පිරිස ඊට එකඟ නොවූ විට සියමෙන් සංඝයා ගෙන ඒමට නොහැකි බව ලන්දේසීහු කීහ. එවිට ලන්දේසීන් විසින් ළඟ දී අල්ලා ගන්නා ලද ඇතුන් රජුට දිය යුතු බවට දූතයෝ බල කර සිටියහ. එසේ ම මුතු කිමිදීමට අවසර දීමට රජතුමා අදහස් කරන බව ද ඔවුහු සැල කළහ. ඒ අතර ලන්දේසි වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබාගැනීමට කොළඹ බලා පැමිණි භික්ෂූන් වහන්සේලාට කැලණියේ රාත්‍රිය ගත කිරීමට වුවමනා විය. මෙයට ද ලන්දේසීන්ගෙන් අවසර නොලැබිණි. මේ සියලු කටයුතු පිළිබඳව බතාවියට දන්වන ලදින් රජු ඉදිරියේ බැගෑපත් නොවිය යුතු බවටත් රජුගේ ඉල්ලීම නොපැකිල ප්‍රතික්ෂේප කළ යුතු බවටත් උපදෙස් ලැබී තිබිණ. මේ බව රජුට දැන්වීමත් සමඟ නොයෙක් තැන ලන්දේසීන්ට විරුද්ධව කැළඹිලි ඇති විය. පහතරටින් උඩරටට පැමිණ සිටි කුරුඳු තළන්නන්ට අඩන්තේට්ටම් කරනු ලැබිණ. උඩරටින් කෙරුණු පෙලඹවීම් හා වෙනත් හේතූන් නිසා කොළඹ හා මාතර දිසාවන්හි කුරුඳු තළන්නන් අතර ද කැරලි හටගන්නට විය. ඉහත කී පෙලඹවීම් කෙසේ වෙතත් ලන්දේසීන්ගේ හා දේශීය නිලධාරීන්ගේ තාඩන පීඩන නිසා ඒ වන විටත් කුරුඳු තළන්නන් අතර දැඩි නොසන්සුන් බවක් පැතිර පැවැතිණ.
කුරුඳු තළන්නන්ගේ කැරැල්ල මැඩපැවැත් වූ ලන්දේසීහු උඩරටින් පැමිණ සිටි රජුගේ සේනාවන්ට ද පහර දුන්හ. හංවැල්ල අල්ලාගෙන සිටි රජුගේ හේවායෝ මාතර දිසාව ද දෙවනත් කරමින් මහත් කලබැගෑනියක් කළහ. ඊළඟට රජුට පාඩමක් ඉගැන්වීමට සිතූ ලන්දේසීහු උඩරට ද ආක්‍රමණය කළහ. එහෙත් ඔවුන් පහසුවෙන් පලවා හැරීමට උඩරැටියෝ සමත් වූහ. මේ අතර තත්වය තරමක් ව්‍යාකූල වීමට හේතු වූවකි, උඩරට රජු හමුවීමට මදුරාසියේ සිට ජෝන් පයිබස් නම් ඉංග්‍රීසි ජාතිකයාගේ පැමිණීම. ලන්දේසීන්ට විරුද්ධව ඉංග්‍රීසීන්ගේ ආධාර ලබාගැනීම රජුගේ අභිප්‍රාය වූ නමුත් එකල එම යුරෝපීය ජාතීන් අතර සාමය පැවැත්තේය. ඒ කෙසේ වෙතත් ඉදිරි බලාපොරොත්තු ඇතිව රජුගේ අදහස් දැනගැනීමට හා ගිවිසුමකට එළඹීමට ඉඩකඩ සොයා බැලීම සඳහා ඉංග්‍රීසීහු ජෝන් පයිබස් පිටත් කර එවූහ. හේ 1762 දී ත්‍රිකුණාමලය හරහා උඩරටට ගොස් රජු බැහැදැක්කේය. එම හමුවීමෙන් රජුගේ හෝ ඉංග්‍රීසීන්ගේ බලාපොරොත්තු ඉටු නොවූ අතර එයින් කෝපයට පත් ලන්දේසීහු උඩරට ආක්‍රමණය කිරීමට තීරණය කළහ. මෙකල ලන්දේසි පාලකයා වූ වැන් එක් එහි දී ඉවසීමෙන් කටයුතු නොකළ නිසා එම ආක්‍රමණය අසාර්ථක විය. මෙයින් හොඳ පාඩමක් උගත් හේ ඊළඟ ආක්‍රමණය සඳහා ඉවසීමෙන් යුක්තව කටයුතු පිළියෙල කළේය. 1765 දී පෙරමුණ ගත් ලන්දේසීහු ගලගෙදර හරහා ගමන් කළහ. ඔවුන්ගේ ආක්‍රමණය පහසුවෙන් වැළැක්විය නොහැකි බව දුටු රජතුමා ඔවුන් හා සාමය පැතීය. එහෙත් ඒ ගැන සාකච්ඡා කිරීමට පෙරමඟට පැමිණි නිලමේවරු රජු පාවා දීමටත් ලන්දේසීන් විසින් ඔවුන් ස්වාධීන පාලකයන් වශයෙන් පිළිගත යුතු බවටත් යෝජනා කළහ. එයින් රජුගේ තත්වය වටහාගත් ලන්දේසීහු රජු විසින් සිය කිරීටය තමන්ට පාවා දී ගැති පාලකයකු සේ වර්ෂයක් පාසා කප්පම් ගෙවිය යුතු බව දැන්වූහ. එයට රජතුමා කිසි සේත් එකඟ නොවීය. එයින් ඔවුන් අපේක්ෂා කළ අන්දමේ සමාදානයක් ඇති නොවන බව දුටු ලන්දේසීහු නැවතත් ගමනාරම්භ කළහ. ටික දිනකින් මහනුවරට ඇතුළු වූ ආක්‍රමණිකයෝ මහවාසල ද ගෙන නගරය ද කොල්ලකෑහ. ඊට ද පසු රජු ඇල්ලීම සඳහා සේනාව පිටත් කළහ. එවිට උඩරැටියන් ඔවුන්ට පහර දෙන්නට වූයෙන් ඔව්හු හොඳට ම බැට කා මහනුවරට පසුබැස්සාහ. ඒ අතර රෝගාතුර වූ වැන් එක් කොළඹ බලා පිටත් විය. ඔහුට පසුව එහි සිටි අනෙක් අණදෙන නිලධාරියා ද ආපසු පැමිණියේය. මෙයින් මහනුවර නවතා සිටි ලන්දේසි සේනාව මහත් අකරතැබ්බයකට මුහුණ පෑහ. සුපුරුදු පරිදි සැඟවී සිටි රජු හා සේනාව කලඑළි බසිමින් සතුරන්ට පහර දෙන්නට වන්හ. කොළඹ හා පණිවුඩ හුවමාරු කිරීම ද දුෂ්කර විය. ලන්දේසීන්ගේ මාරයන් වූයේ උඩරැටියන් පමණක් නොවේ. ලෙඩ රෝග හා සාගින්න ද එක හා සමාන සතුරෝ වූහ. මෙසේ ඉතා අවදානම් තත්වයකට හා දරුණු ඉරණමකට මුහුණ පා සිටි ලන්දේසීහු වහා කොළඹ බලා පිටත් වූහ. අතරමඟ දී ඔවුන්ට තදබල ලෙස අලාභහානි සිදු වූයෙන් ආපසු කොළඹට පැමිණියේ උඩරටට ගමන් කළ පිරිසෙන් ඉතා සුළු කොටසක් පමණි.
උඩරට ආක්‍රමණය මෙහෙය වූ වැන් එක් රෝගතුරව කොළඹට පැමිණි පසු එහි දී මිය ගියේය. ඉක්බිති ලන්දේසි ආණ්ඩුකාරයා වශයෙන් පත්ව ආයේ ෆැල්ක්ය. ඔහුගේ අභිප්‍රාය වූයේ ද රජු ගිවිසුමකට එකඟ කරවාගැනීමය. එයට රජු පොලඹවා ගැනීම සඳහා හේ නැවතත් උඩරට ආක්‍රමණයකට සැරසිණි. ඒ අතර ලන්දේසීහු දේශසීමාවේ පිහිටි ගම්බිම් විනාශ කළහ. කලින් පැවැති නොසන්සුන්තාවන් නිසා උඩරට ගොවිතැන් පාළු වී තිබිණ. සාගතය පේනතෙක්මානයේ විය. මේ නිසා බියට පත් රජතුමා කළ හැකි අන් කිසිවක් නොවූයෙන් ලන්දේසීන් හා ගිවිසුමකට එළඹීමට අකමැත්තෙන් වුව ද එකඟ විය. රජුගේ අසරණ තත්වය ගැන දැන සිටි ලන්දේසීහු ඔහුට ඉතා අවාසිදායක කොන්දේසි ඉදිරිපත් කිරීමට පසුබට නොවූහ.
1766 දී එළඹි මෙම ගිවිසුම නිසා මාතර, ගාල්ල, යාපනය හා කොළඹ දිසාවල් ද කල්පිටිය, මන්නාරම, ත්‍රිකුණාමලේ හා මඩකලපුව යන පෙදෙස් ද පිළිබඳව රජුට තිබුණු අයිතිය අතහැර ඒවා ලන්දේසීන්ට පවරාදීමට සිදු විය. ඊට අමතර වශයෙන් රට වටා පිහිටි මුහුදුකරයෙන් රට තුළට ගව්වක් දුර බිම් තීරුවක් ද ඔවුන්ට දෙනු ලැබිණ. ඒ සඳහා රජුට වන්දියක් ගෙවීමට ලන්දේසීහු එකඟ වුහ. රට තුළ පමණක් රජුගේ නීත්‍යනුකූල අයිතිය මෙම ගිවිසුමෙන් ආරක්ෂා විය. නැගෙනහිර හා බටහිර වෙරළෙහි පිහිටි ලුණු ලේවායන්ට යෑමට රජුට අවසර තිබිණ. නිදහසේ වෙළෙඳාම් කිරීමට ද අවසර දීමට ලන්දේසීහු පොරොන්දු වූහ. කුරුඳු වෙළෙඳාමේ අයිතිය ලන්දේසීන්ට පමණක් සීමා විය. රජුගේ ප්‍රදේශයේත් කුරුඳු තැළීමේ නිදහස ද ලන්දේසීන් සතු විය.
ඉංග්‍රීසි තානාපතියෙක්
යටකී ගිවිසුම රජු හා ලන්දේසීන් අතර පැවැති අවසාන දේශපාලන සම්බන්ධතාව ලෙස සැලකිය හැකිය. 1766න් පසුව උද්ගත වූ තත්වය නිසා මෙම ගිවිසුම එපරිදදෙන් ම ක්‍රියාත්මක කිරීමට ලන්දේසීන්ට අවස්ථාවක් නොලැබිණ. ඒ නිසා ඉන් වූ අයස වචනයට පමණක් සීමා වූවකැයි සැලකීම සාධාරණය. ඒ කෙසේ වෙතත් වචන මාත්‍රයෙන් හෝ මෙවැනි ගිවිසුමක් ඇතිවීම උඩරට ඉතිහාසය කෙරෙහි තීරණාත්මක අන්දමින් බලපෑවේය. කිහිප විටක් ම මෙම ගිවිසුම සංශෝධනය කළ යුතු බව රජතුමා සැලකර සිටි නමුත් ලන්දේසීහු ඊට කිසි සේත් එකඟ නොවූහ. එයින් කෝපයට පත් රජතුමා ඔවුන් පලවා හැරීම සඳහා වෙනත් විදේශිකයන්ගේ ආධාර ලබාගැනීමේ දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කළේය. ඔහු එසේ මිතුරන් සොයමින් සිටිය දීය, 1782 දී ලන්දේසීන් සතු ත්‍රිකුණාමලය ඉංග්‍රීසින් විසින් අල්ලාගන්නා ලදුව, උඩරට රජු හා ගිවිසුමක් ඇති කරගැනීම සඳහා හ්‍යු බොයිඩ් නම් තානාපතියකු එවන ලද්දේ. එහෙත් ඔහුගේත් රජුගේත් අභාග්‍යයට මෙන් ඔහු ගන්නොරුවට පැමිණෙන විට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා හදිසි අනතුරකින් මියගොස් තිබිණ.
කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ඇවෑමෙන් (1782) ඔහුගේ සොහොවුරු තෙමේ රාජාධිරාජසිංහ නමින් කන්ද උඩරට රජ විය. ඔහු රජකමට පත් කරන ලද්දේ නායක්කර්වරුන් හා සිංහල නිලමේවරුන් විසින්ය. උත්පත්තියෙන් ද්‍රවිඩයකු හා හින්දු භක්තියකයකු වූ නමුත් මොහු කුඩා කල සිට මහවාසල ඇසුරු කළ නිසාත් මොරතොට ධම්මක්ඛන්ධ හිමියන් වෙතින් ශාස්ත්‍රාගම හැදෑරීම නිසාත් රජකමට පත් වූ අවස්ථාව වන විට සිංහලයකු හා බෞද්ධයකු ලෙස සැලැකිණ. ඔහු ආදර්ශවත් බෞද්ධ නරපතියකු බව මහාවංස කතුවරයා ද පවසයි. තිසරණයේ පිහිටීමෙන් ද ධර්මයට නිතර සවන් දීමෙන් ද දළදා පිදීමෙන් ද පැරණි රජ දරුවන් මෙන් වෙහෙර විහාර, උපෝසථාගාර සෑදීමෙන් හා ප්‍රතිසංස්කරණ කිරීමාදියෙන් ද හේ සිය ආගම භක්තිය විදහා දැක්වීය.
හදිසියේ රජකම හිමිවීම නිසා රාජාධිරාජසිංහ මුල දී කටයුතු කළේ හෙමින් සීරුවේය. ඒ නිසා උඩරටට පැමිණ සිටි හ්‍යු බොයිඩ් සමග එක් වර ම ගිවිසුමකට එළඹ ගැනීමට හේ උනන්දුවක් නොදැක්වීය. සමහර විට ඊට ඉහත දී ද ඉංග්‍රීසීන් හා ගිවිසුමක් ඇති කරගෙන තිබුණු නමුත් එයින් ප්‍රයෝජනයක් නොවීම නිසා මෙසේ වෙළෙඳ සමාගමක නියෝජිතයකු සමග ගිවිසුමකට එළඹීමට ඔහු මැලි වී යයි සිතීමට ද පුළුවන. ඒ කෙසේ වෙතත් හ්‍යු බොයිඩ්ගේ දූත මෙහෙවර නිසා බියට හා සැකයට පත් ලන්දේසීහු වහා රජු සතුටු කිරීමට කටයුතු කළහ. රාජාධිරාජසිංහගේ රාජපදප්‍රාප්තිය කෙරෙහි සතුට පළ කිරීමේ ව්‍යාජයෙන් ලන්දේසි ආණ්ඩුකාරයා උඩරට රජුට තානාපතියන් යැවීය. එසේ ගිය තානාපතියන්ට, 1766 දී ගිවිසගත් පරිද්දෙන් නොව, පෙර පරිද්දෙන් රජුට ආචාර සමාචාර කිරීමට ද සිදු විය. ඒ අතර රජතුමා මුහුදුකරය ආපසු ඉල්ලා සිටියේය. ත්‍රිකුණාමලය ඉංග්‍රීසීන් සතුව පැවැති තෙක් එයට ඔවුන් සමහර විට එකඟ වීමට ද ඉඩ තිබිණ. එහෙත් මේ වන විට එය ප්‍රංස ජාතිකයන් විසින් අල්ලා ගන්නා ලදුව ලන්දේසීන්ට ආපසු පවරා තිබුණු හෙයින් එයට එකඟ වීමට බැරි බව ලන්දේසීහු කියා සිටියහ. එවිට රජතුමා කඩවත් වැසීමට සිය වැසියන්ට අණ කෙළේය. ලන්දේසීහු ද එයට පිළිතුරු වශයෙන් සිය කඩවත් වසමින් රජුගේ වෙළෙඳාමට හා ලුණු ලබාගැනීමට බාධා පැමිණවූහ. එයින් කෝපයට පත් රජතුමා ලන්දේසි ප්‍රදේශ විනාශ කිරීම සඳහා දිසාපතිවරුන් පිටත් කෙළේය. ලන්දේසීහු ද එවැනි තර්ජනයකට මුහුණ දීමට හොඳින් සැරසී සිටියහ. සේනාව රැස් කර තිබීම හා රහසින් නිලමේවරුන්ගේ සිත් දිනාගෙන තිබීම ද නිසා ලන්දේසීන්ට අලාභ හානියක් සිදු නොවීය. ඔවුන් පරාජය කිරීමට නම් විදේශීය ආධාර අත්‍යවශ්‍ය බව එයින් රජුට ඒත්තු ගියේය. එසේ සිතූ රජතුමා ප්‍රංස ජාතිකයන් වෙත දූතයන් පිටත් කෙළේය. ඔවුන්ගේ ගමන ගැන මහඅදිකාරම් පිළිමතලව්වේගෙන් දැනගත් ලන්දේසීහු එම ගමන වැළැක්වූහ. මෙසේ අඩියෙන් අඩිය රජු හා ලන්දේසීන් අතර නැවතත් යුද්ධයකට මඟ පෑදිණ. සිංහල නිලමේවරුන් රහසින් රජතුමාට සතුරු වූ බව ලන්දේසීහු හොඳින් දැන සිටියහ. එසේම උඩරට කුරුඳු කෙරෙහි ඔවුහු තවත් උනන්දු නොවූහ. මේ වන විට පහතරට කුරුඳු වැවීම හොඳින් දියුණුව පැවැතිණ. නැවතත් 1792 වන විට ලන්දේසීහු උඩරට ආක්‍රමණය කිරීමට කළමනා පිළියෙල කරමින් සිටියහ. එහෙත් රජු හා සාමයෙන් විසීමට තැත් කළ යුතු බවට බතාවියෙන් ලැබුණු උපදෙස් නිසා ආක්‍රමණය තාවකාලිකව නැවතිණ. ප්‍රංස ජාතිකයන්ගේ හෝ වෙනත් ජාතිකයන්ගේ ආධාර ලබාගැනීමට නොහැකි වීමෙන් බලාපොරොත්තු සුන්ව සිටි රජතුමාට කඩවත් වැසීම නිසා වෙළහෙළඳාම් ඇන සිටීමෙන් සිදු වූ පාඩුව හා අවහිරකම් දැරිය නොහැකි විය. ඒ නිසා උගුරට හොරා බෙහෙත් බොන්නාක් මෙන් නැවතත් කඩවත් විවෘත කිරීමට හේ වැසියන්ට අණ කළේය. ලන්දේසීහු ද එවිට සිය කඩවත් විවෘත කළහ. එහෙත් උඩරට රජුට දූතයන් යැවීමෙන් තවත් බාල්දු වීමට ලන්දේසි ආණ්ඩුකාරයා කැමති නොවීය.
මෙසේ රාජාධිරාජසිංහ රජුගේ කාලය ක්‍රමයෙන් ගෙවී ගියේ ස්ථිර සාමයකින් හෝ සමාදානයකින් තොරවය. රජුගේ අපේක්ෂාවන් ද ඉටු නොවූ අතර, ලන්දේසීන්ට ද රජතුමාගෙන් මෙන් ම වෙනත් යුරෝපීය ජාතිකයන්ගෙන් ද කරදර හා තර්ජන නොකඩවා පැමිණියේය. ඒ අතර සිංහල රජුන් නැතිකමින් සිත් කළකිරුණු බවක් දක්වමින් සිටි පිළිමතලව්වේ වැනි සිංහල නිලමේවරු මතුපිටින් රජුට පක්ෂපාතකම් දක්වමින් යටින් ඔහුට කටුව ගැසීමට කුමන්ත්‍රණ කළහ. මහඅදිකාරම්ගේ බලාපොරොත්තුව වූයේ ද කවදා හෝ උඩරට රජ වීමය. මහඅදිකාරම් තැන රජකමට ඇස ගසා සිටි අතර සෙසු නිලමේවරු මහඅදිකාරම් තනතුර සඳහා බලාපොරොත්තු ඇති කරගත්හ. එහෙයින් එය දැරූ තැනැත්තා ද කුමන්ත්‍රණවලට ඉලක්කයක් විය. කොයි මොහොතේ නමුත් සෙසු අය විසින් රජුට පාවා දෙනු ලැබීමේ තර්ජනයට ඔහු මුහුණ පෑවේය. ඒ නිසා ඔහුට ද සීරුවෙන් හා කල්පනාවෙන් කාලය ගෙවන්නට සිදු විය. උඩරට රාජ්‍යයේ හා පහතරට ලන්දේසි ප්‍රදේශවල තත්වය මෙසේ පැවැති අතර, යුරෝපයේ උද්ගත වූ නොසන්සුන්තාවන් නිසා නැවතත් ඉංග්‍රීසීන් හා ප්‍රංස ජාතිකයන් අතර යුද ගිනි ඇවිළෙන්නට විය. ක්‍රමයෙන් එයට ලන්දේසි රාජ්‍යය ද ඇදී ගියේය. මේ වන විට ඉන්දියාවේ මුහුදුබඩ ප්‍රදේශවල ඉංග්‍රීසීන්ගේ බලය හොඳින් පැතිරී තිබිණ. එය ප්‍රංස ජාතිකයන්ගේ ප්‍රහාරයන්ට භාජන වේ යයි සිතූ ඉංග්‍රීසීහු තම වැඩි ආරක්ෂාව සඳහාත් තම නාවික බලය රැකගැනීම හා එය පහසුවෙන් මෙහෙයවීම සඳහාත් ඉතා සුදුසු ස්ථානයක් ලෙස ඔවුන් සැලකූ ත්‍රිකුණාමලේ වරාය අල්ලාගැනීමේ ආශාවෙන් යුක්ත වූහ.
ප්‍රංස විප්ලවයේ බලපෑම හා ලන්දේසි ප්‍රදේශ ඉංග්‍රීසීන් සතුවීම
1789 දී හටගත් ප්‍රංස විප්ලවයත් සමඟ උද්ගත වූ තත්වය නිසා ප්‍රංසයට විරුද්ධව සෙසු යුරෝපීය මහාජාතීහු යුද්ධයට සැරසුණාහ. ප්‍රංසය ද සෙසු ජාතීන් අතර විප්ලවකාරී අදහස් පතුරුවමින් මහා සටනකට සැරසී සිටියේය. මෙසේ හටගත් තත්වය නිසා ඕලන්දයේ පැවති රාජාණ්ඩු ක්‍රමය වෙනුවට සමූහාණ්ඩු ක්‍රමයක් බිහි විය. එවිට ඕලන්දයේ (ලන්දේසි) රජ එංගලන්තයට පැන ගොස් එහි ආරක්ෂාව පැතීය. ඕලන්ද සමූහාණ්ඩුවට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළ බ්‍රිතාන්‍යය, ඕලන්ද යටත් විදේශයන් වූ ලංකාව හා ශුභප්‍රාර්ථනා තුඩුව එම රජු වෙනුවෙන් ආරක්ෂා කර දීමට පොරොන්දු විය. මෙම පොරොන්දුව කොළඹ ලන්දේසි ආණ්ඩුකාරයාට දන්වන ලදුව ඉංග්‍රීසි ආධාරක සේනා ලබාගැනීමට ද හේ මුල දී කැමති විය. පසුව ඕලන්දයේ සමූහාණ්ඩුවක් බිහි වී ඇති බව දැනගත් ලන්දේසීහු ඉංග්‍රීසි ආධාර ප්‍රතික්ෂේප කරමින් ඔවුන් හා සටනට සැරසුණහ. 1795-1796 අතරතුර ලන්දේසීන් හා ඉංග්‍රීසීන් අතර පැවති සුළු ගැටුම් කීපයකින් පසුව ලන්දේසි ප්‍රදේශ ඉංග්‍රීසීන් සතු විය. මුලින් ම ඉංග්‍රීසීන් අතට පත් වූයේ ත්‍රිකුණාමලයයි. එයින් ම එම වරාය අල්ලාගැනීමට ඔවුන් කොතරම් නොඉවසිලිමත් වී දැයි සිතාගත හැකිය. උඩරට රජුන් බොහෝ කලක් අපේක්ෂා කළ දේ ඔවුන්ගේ අවසරයක් හෝ අනුමතියක් නොමැතිව ඉබේ ම සිදු විය. මීට ඉහත දී ලන්දේසීන් විසින් පෘතුගීසි බලය පහතරටින් තුරන් කරනු ලැබුවේ උඩරට රජුගේ ද සහාය හා අනුමතිය ඇතිවය. මෙවර එසේ නොවීම නිසා උඩරට රජුට ඉංග්‍රීසින්ගේ කිසිදු බැඳීමක් නොතිබිණ. ඒ කෙසේ වෙතත්, යටත් පිරිසෙයින් ලංකාවේ ලන්දේසි පාලනය කෙළවරට පැමිණීම අතින් පමණක් මුත් රාජාධිරාජසිංහ රජුගේ කාලය වැදගත් වෙයි. අනෙක් අතට උඩරට රාජ්‍යයේ ස්වාධීනත්වය නැති වී යන්නේ ඉංග්‍රීසීන් නිසාය. ඒ නිසා ඒ අතින් ද තීරණාත්මක අවධියක ආරම්භය මෙකල දී සිදු වෙයි.
1796 වන විට ඉංග්‍රීසින් හා උඩරට රජුන් අතර ස්ථිර ගිවිසුමක් ඇති වී නොතිබුණත් ඒ පිළිබඳ සෑහෙන තරම් සාකච්ඡා පවත්වා තිබිණ; එසේ ම ගිවිසුමක පිටපතක් ද සකස් කර තිබිණ. එයට රජුගේ අනුමතිය ලැබීමට පෙර ඔහු 1798 දී හදිසියේ මියගියෙන් රජුට හා උඩරට රාජ්‍යයට ඉතා ම වාසිදායක අන්දමේ ගිවිසුමකට එළඹීමට තිබුණු කදිම අවස්ථාවක් සදහටම වැළකී ගියේය. ඒ ගිවිසුම අත්සන් නොකරනු ලැබුව ද එය ඇති වූ පසුබිම හැඳිනගැනීම අවශ්‍යය. 1795 දී ත්‍රිකුණාමලය අල්ලාගැනීමෙන් පසුව රජුගේ සහාය ලබා ගැනීමට සිතූ ඉංග්‍රීසීහු ඒ සඳහා රොබට් ඇන්ඩ්‍රෑස් නම් තානාපතියකු පිටත් කළෝය. 1795 සැප්තැම්බර් මස මැද දී ත්‍රිකුණාමලයෙන් පිටත් වූ ඔහු මහනුවරට ළඟා වූයේ ඒ මස අග දීය. එසේ ගිය ඔහුට අතරමඟ දී ඔහු හමුවීමට පෙරගමන් කරමින් සිටි දෙවැනි අදිකාරම් ඇරැව්වාවල යෝජනා කළ දෙයින් රජු හා නිලමේවරුන් අතර පැවැති භේද ගැන ඉඟියක් ලැබිණ. ඒ කෙසේ වෙතත්, රජු හමු වූ ඇන්ඩ්‍රෑස්ට, එදා බොයිඩ්ට මෙන් ම, ස්ථිර වශයෙන් ප්‍රතිඥා දීමට ශක්තියක් නොතිබිණ. එසේ වූයේ ලන්දේසි-ඉංග්‍රීසි අසමගිකම් කෙතෙක් කල් පවතී දැයි සලකාගත නුහුණු හෙයිනි. එහි දී ඔහු යෝජනා කළේ රජුගේ දූතයන් පිරිසක් මදුරාසියට යා යුතු බවත් එහි දී වඩා පැහැදිලි අන්දමේ ගිවිසුම්කට එළඹිය හැකි බවත්ය. එයට එකඟ වූ රජතුමා මීගස්තැන්නේ හා දෙනගමුවේ නිලමේවරුන් ඇන්ඩ්‍රෑස් සමග මදුරාසියට පිටත් කෙළේය. ඔවුන් මදුරාසියට ළඟා වූයේ ඉංග්‍රීසින් කොළඹට පහර දීමට සැරසෙමින් සිටි අවස්ථාවේ දීය. මදුරාසියට පැමිණීමෙන් වුව ද යුරෝපයේ පැවැති තත්වයත් එයින් ලන්දේසි ඉංග්‍රීසි සම්බන්ධතා කෙරෙහි ඇති විය හැකි බලපෑමත් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගත නොහැකි විය. ඒ නිසා ඉංග්‍රීසීහු ස්ථිර වශයෙන් කිසිවකට බස් දීමට මැළි වූහ. එසේ වුව ද තාවකාලික වශයෙන් හෝ දෙපිරිස අතර ගිවිසුමක් පිළිබඳව එකඟත්වයක් ඇති විය. එය රජුට ඉතා වාසිදායක ගිවිසුමකි. එයින් රජුගේ වෙළෙඳාමට හා රාජ්‍යයේ සුරක්ෂිතභාවයට කිසිදු හානියක් හෝ බාධකයක් ඇති නොකරන බවට ප්‍රතිඥා ලැබිණ. එසේ ම රජු අයිතිවාසිකම් කී, ලන්දේසීන් සතුව පැවැති ප්‍රදේශ පිළිබඳ පරීක්ෂණයකින් පසුව සාධාරණ විසඳුමකට එළඹීමට ඉංග්‍රීසීහු එකඟ වූහ. මුහුදුකරයෙන් තීරුවක් රජුට දීම ද යෝජිත ගිවිසුමේ තවත් කොන්දේසියකි. මෙවැනි ඉතා වාසිදායක ගිවිසුමකට ඉංග්‍රීසීන් කැමති වූයේ කීර්ති ශ්‍රී රාජසිංහ හා ලන්දේසීන් අතර ඇති වුණු 1766 ගිවිසුම ගැන නොදැන සිටි නිසාත් කුරුඳු වගාව තවමත් උඩරට බහුලව කෙරිණැයි ඔවුන් වරදවා සිතූ නිසාත් එම කුරුඳු ලබා ගැනීමේ දී රජුගෙන් අවහිරකම් ඇතිවීම වැළැක්වීමට තිබුණු ආශාව නිසාත් බව අනුමාන කළ හැකිය. මෙසේ කතිකා කරගත් ගිවිසුම රජුට ඔප්පු කර ඔහුගේ අත්සන ලබාගැනීම සඳහා ඇන්ඩ්‍රෑස් හා උඩරට නිලමේවරු ද ආපසු මහනුවර බලා පිටත් වූහ. මේ වන විට ලංකාවේ ලන්දේසීන් සතු සියලු ම ප්‍රදේශ ඉංග්‍රීසින් සතු වි තිබිණ. ඒ අතර ඇන්ඩ්‍රෑස් හමු වීමට රජතුමා වැඩි උනන්දුවක් නොදැක්වීය. ඉදිරියට ගමන් කිරීමට පවා රජුගේ අවසර ලැබෙන තෙක් ඔහුට අතරමඟ කිහිප විටක් ම කාලය ගෙවන්නට සිදු විය. අවසානයේ මහනුවරට පැමිණීමෙන් පසුව ඔහුට රජ හමු විය. එහෙත් ඔහු නොසිතූ පරිදි, නිවීහැනහිල්ලේ සලකා බැලීමෙන් පසුව ගිවිසුම අත්සන් කිරීම කළ යුතු බව රජු විසින් ඔහුට දන්වනු ලැබිණ. දිනයක් පසුව දන්වන තෙක් ඔහුට ආපසු කොළඹට යෑමට ද අවසර ලැබිණ. මෙවැනි ගිවිසුමක් ඊට පසු කිසිදාක ඉංග්‍රීසීන් විසින් රජුට ඉදිරිපත් කරනු නොලැබිණ. එදා රජුගේ ක්‍රියාමාර්ගය ගැන ඔවුන් තදින් කළකිරීමට පත් වූ නමුත් ගිවිසුම කල්දැමීම ගැන පසුව ඔවුහු රහසින් මෙන් ම එළිපිට ම ද සතුටු වූහ. මේ අතර 1798 දී හදිසියේ සැක කටයුතු අන්දමින් රාජාධි රාජසිංහ රජුගේ මරණය සිදු විය.
ඉක්බිති රජකම සඳහා කන්දසාමි හා මුත්තුසාමි නම් නායක්කර් කුමරුවෝ දෙදෙනෙක් ඉදිරිපත් වූහ. ඔවුන් දෙදෙනා අතුරින් සුදුස්සකු තෝරා ගැනීමේ කාර්යය පැවරී තිබුණේ උඩරට ප්‍රභූ පක්ෂයටය. රජකම අපේක්ෂාවෙන් සිටි නිලමේවරු කීප දෙනෙක් ද සිටියහ. එහෙත් ඔවුන් අතර පැවැති අසමගිකම් හා ඊර්ෂ්‍යාසහගත හැඟීම් නිසා ඔවුන් අතුරින් කෙනෙකු තෝරා ගැනීම දුෂ්කර විය. ඒ නිසා යළිත් වරක් නායක්කර් වංශිකයෙක් තේරී පත් විය. මේ අවස්ථාවේ දී තමාට අභිමත වූත් අවනත වූත් කෙනකු තෝරාගැනීමට අස්ගිරි-මල්වතු උභය පාර්ශ්වයත් සෙසු බොහෝ නිලමේවරුනුත් පොලඹවාගත් පිළිමතලව්වේ මහඅදිකාරම් කන්දසාමි නම් කුමාරයා ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් සිහසුනට පත් කරගත්තේය. කන්දසාමි වූ කලි රාජාධිරාජසිංහගේ දෙවැනි බිසොවගේ සොහොයුරියගේ පුතෙකි. ඔහු පිළිමතලව්වේගේ අවජාත පුතකු බව ද සමහරුන්ගේ විශ්වාසයයි. මුත්තුසාමි රාජාධිරාජසිංහ රජුගේ අගමෙහෙසියගේ සහෝදරයාය. එහෙත් ඔහුගේ දූෂිත චරිතය නිසා ඔහු රජකමට නුසුදුසු සේ සැලකිණ. එසේ බලාපොරොත්තු කඩවීමෙන් පසුව ඔහු හා ඔහුගේ සහෝදරයන් කීප දෙනෙක් ඉංග්‍රීසින්හට එක් වී ඔවුන්ගේ ආගන්තුකයන් වශයෙන් කල් ගෙවූහ.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජ මහඅදිකාරම් සිතූ තරම් දුබලයෙක් නොවීය. ඔහු ආගමික කටයුතු ආදියෙහි යෙදෙමින් රටවැසියාගේ සිත් දිනාගැනීමට ද තැත් කළේය. ඔහුට ස්වකීය තත්වය ගැනත් මහඅදිකාරම් ආදීන්ගේ අපේක්ෂා ගැනත් හොඳ අවබෝධයක් තිබිණ. ඒ නිසා ඔහු මහඅදිකාරම්ගේ වුව ද පඹයකු ලෙස කටයුතු කිරීමට නොකැමති විය. මේ වන විට ඉංග්‍රීසි බලය පහතරට තහවුරු වෙමින් පැවතිණ. ඉංග්‍රීසීහු ද උඩරට රජු හා ස්ථිර සාම ගිවිසුමක් ඇති කරගැනීමේ ආශාවෙන් පසු වූහ. එහෙත් කලින් අත්සන සඳහා ඉදිරිපත් කරන ලද යෝජිත ගිවිසුම ගැන එතරම් උනන්දු නොවූහ. මේ අතර 1797 දී ඉංග්‍රීසින්ට විරුද්ධව මුහුදුබඩ කැරැල්ලක් ඇති වූ විට උඩරටින් ද එයට ආධාර ලැබී ඇති බවට ඔවුහු මහවාසලට නෝක්කඩු කීහ. ඒ සියල්ලට ම වඩා 1798 වන විට ලන්දේසීන්ගෙන් අල්ලා ගන්නා ලද ප්‍රදේශ ආපසු ඔවුනට පවරා දීමට සිදු වේ දැයි පැවැති සැකය දුරු වී තිබිණ. එයින් ඉංග්‍රීසීන් කෙතරම් සතුටට පත් වී ද යත් ලංකාවේ ඔවුන් සතු ප්‍රදේශ වෙළෙඳ සමාගමේ පාලනයෙන් නොපමාව ඉවත් කොට බ්‍රිතාන්‍ය කිරීටය යටතට ගෙන ඒමට තීරණය කරනු ලැබිණ. එවැනි දෙයක් ඉන්දියාවේ පවා එතරම් කඩිනමින් සිදු නොවීය. එයින් ම ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලා ගැනීම හා ඒවා සුරක්ෂිත කරගැනීම පිළිබඳව ඔවුන්ගේ ආකල්පය පැහැදිලි වෙයි. මෙසේ සිය අයිතිය පිළිබඳ සැකය දුරු වත් ම එතෙක් ස්වාධීනව පැවති උඩරට රාජධානිය කෙරෙහි ද ඔවුන්ගේ විශේෂ අවධානය යොමු විය.
නෝත්ගේ උපක්‍රම
1798 සිට 1803 දක්වා ඉංග්‍රීසීන්ගේ අභිප්‍රාය වූයේ උඩරට රජු හා ස්ථිර සාම ගිවිසුමක් ඇති කරගැනීමය. එය ඔවුන් ඉදිරිපත් කරන කොන්දේසි අනුව සකස් විය යුත්තකි. නැතහොත් උපකාරක මිත්‍ර ගිවිසුමක ආකාරයෙන් විය යුත්තකි. මෙවැනි ගිවිසුමක් ගැන ඔවුන් උනන්දු වූයේ කරුණු කීපයක් සලකාගෙනය. උඩරට හා ස්ථිර සාමයක් නොපැවතියේ නම් දේශසීමා ආරක්ෂා කිරීම සඳහා විශේෂ මුර සේවාවක් යෙදිය යුතුය. එහි නඩත්තුව සඳහා විශාල වියදමක් දැරිය යුතුය. එසේ ම රජු හා සාමයක් නැති විට උඩරට හරහා ත්‍රිකුණාමලයට අවශ්‍ය දෑ සැපයීම දුෂ්කර වෙයි. ඒ සඳහා මාර්ගයක් සෑදීමට අවසර පැතූ විට රජු විසින් එය ප්‍රතික්ෂේප කර තිබිණ. එසේ ම මෙම කාලයේ දී වෙලස්ලි සාමිවරයා යටතේ උපකාරක මිත්‍ර ගිවිසුම් මගින් ඉංග්‍රීසි බලය ඉන්දියානු රාජ්‍යයන්හි ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පැවතිණ. ඒ අන්දමින් ම උඩරට රජු ද අවනත කර ගැනීම ලංකාවේ තත්කාලීන ඉංග්‍රීසි ආණ්ඩුකාරයා වූ ෆ්‍රෙඩ්රික් නෝත්ගේ අභිප්‍රාය විය. 1803 දක්වා ඉංග්‍රීසීන්ගේ බලාපොරොත්තුව වූයේ මෙයයි. එය ඉටු නොවන බව හොඳින් ප්‍රත්‍යක්ෂ වූ පසු ඔවුහු උඩරට රාජධානිය විනාශ කිරීම සඳහා සුදුසු අවස්ථාවක් එළඹෙන තෙක් කරබාගෙන සිටියෝය. ඒ අතර ඉහත සඳහන් පරිදි ගිවිසුමක් ඇති කරගැනීම සඳහා රජුත් නිලමේවරුත් පොලඹවා ගන්නට මහන්සි ගත්හ. එහෙත් රජුගේ හා පිළිමතලව්වේ වැනි අයගේ අපේක්ෂාවන් එකිනෙකට විරුද්ධ වූ හෙයින් එවැනි තාවකාලික හෝ සමගියක් හා සමාදානයක් ඇතිවීමට ඉඩක් නොතිබිණ.
1796ට ඉහත දී ඉංග්‍රීසීන් සිතා සිටියේ උඩරට රාජ්‍යය ශක්තිමත්, බලසම්පන්න රාජ්‍යයක් බවය. පෘතුගීසීන්ට හා ලන්දේසීන්ට අවනත නොවූවා පමණක් නොව ඔවුන්ගේ උඩරට ආක්‍රමණ බිහිසුණු අන්දමින් පිටුදැකීමට පවා උඩරැටියන් සමත් වූ බව ද ඔවුහු දැන සිටියහ. ඒ නිසා උඩරට රාජ්‍යය සමඟ ගැටීමට වඩා එය හා සාමයෙන් විසීම ප්‍රඥාගෝචර බව ඔවුහු සැලකූහ. එහෙත් 1798 වන විට මේ අදහස් බොහෝ දුරට වෙනස් වී තිබිණ. උඩරට දේශපාලන හා ආර්ථික තත්වය එතරම් සතුටුදායක නොවන බව ඔවුහු මේ වන විට දැන සිටියහ. රජුට රදලවරුන් බොහෝ දෙනකු විරුද්ධ බවත් රජු හා සෙසු රදලවරුන් මහඅදිකාරම් අවිශ්වාස කළ බවත් ඔවුහු දත්හ. මෙවැනි අභ්‍යන්තර වියවුල් හා පෙර පැවති යුද්ධ කෝලාහල නිසා රට ඉතා අසරණ තත්වයට පත් වී ඇති බව ද ඔවුනට රහසක් නොවීය. යුද්ධ කිරීම රැකියාව කොටගත් හේවායන් හෝ ස්ථාවර සේනාවක් එහි නැති බවත් ඔවුහු දැන සිටියහ. මේ සියලු පවත් ඔවුන් දැනගත්තේ ඔත්තුකාරයන් මගින් හා මහඅදිකාරම් වැනි නිලමේවරුන් සමඟ රහසින් කළ පණිවුඩ හුවමාරු මඟිනි.
උඩරට රාජ්‍යයේ හා පහතරට සිටි ඉංග්‍රීසින් අතර සම්බන්ධය තදින් පිරිහීමට පටන් ගත්තේ 1798 දී නෝත් ලංකාණ්ඩුකාරයා වශයෙන් පත් වී ඒමත් සමගය. ඔහු මුල සිට ම ක්‍රියා කළේ කවර අන්දමින් හෝ උපකාරක මිත්‍ර ගිවිසුමකට රජු පොලඹවාගැනීමටය. ඒ අතර උඩරට රාජ්‍යය පිළිබඳ ඉතා වැදගත් කාරණාවක් සාකච්ඡා කිරීම සඳහා නෝත් හමුවීමට අවශ්‍ය බව පිළිමතලව්වේ දන්වා තිබිණ. නෝත් ද මහඅදිකාරම් හමුවීමට ඕනෑකමින් සිටියේය. ඔවුන්ගේ හමුවීම සීතාවක දී සිදු විය. එසේ හමුවීමෙන් නෝත් බලාපොරොත්තු වූයේ මහඅදිකාරම් මගින් රජතුමා ගිවිසුමකට නම්මවාගැනීමය. එහෙත් පිළිමතලව්වේ අපේක්ෂා කළේ නෝත්ගේ සහායයෙන් මේ වන විට ඔහුගේ බසට පිටුපා හිතුමතයේ ක්‍රියා කළ ශ්‍රී වික්‍රම රාජසිංහ සිහසුනෙන් නෙරපා තමා ම රජවීමය. පිළිමතලව්වේ වූකලි උපායෙහි දක්ෂ, බලකාමයෙන් යුක්ත පුද්ගලයෙකි. ඒ නිසා ම හේ සෙසු නිලමේවරුන්ගේ අප්‍රසාදයට හා අවිශ්වාසයට ලක් විය. නෝත් ද සේනා මෙහෙයවීමෙහි කෙසේ වෙතත් කූට උපායෙහි දක්ෂයෙකි. ඒ නිසා දෙදෙනා අතර හමුවීමෙන් එක් වර ම ප්‍රයෝජනයක් නොවූවත් ඔවුනොවුන්ගේ තරම හා බලාපොරොත්තු පිළිබඳ අදහසක් ඇති කර ගැනීමට එය කදිම අවස්ථාවක් විය.
පිළිමතලව්වේගේ බලපෑමෙන් මිදීමත් සමග රජතුමා ද හිතුමතයේ ක්‍රියා කරන්නට විය. තමාට විශ්වාස නායක්කර්වරුන්ට හේ වගකිවයුතු උසස් තනතුරු පැවරීය. එයින් ක්‍රමයෙන් රජු හා මහ අදිකාරම් අතර මතභේද පැනනඟින්නට විය. සමහර විට එවැනි තත්වයක් ඇති කිරීමට ඉංග්‍රීසි ඔත්තුකාරයන් ද හේතු වන්නට ඇත. ඒ කෙසේ වෙතත් භේද වැඩිවීම ඉංග්‍රීසීන්ගේ අමන්දානන්දයට හේතු වූවා නිසැකය. මේ වන විට නෝත් හා පිළිමතලව්වේ අතර ලිපි හුවමාරුවෙමින් පැවැතිණ. 1800 දී නැවතත් ඔවුන් දෙදෙන අතර හමුවීමක් ද සිදු විය. එහි දී රජතුමා කෙරෙහි රටවැසියන් තදින් කළකිරී සිටින බවත් පාලනය පිළිබඳ වෙනසක් ඇති වේ යයි ඔවුන් අපේක්ෂාවෙන් සිටින බවත් පිළිමතලව්වේ නෝන්ට දැන්වීය. එහෙත් ඒ ගැන ඔහු පුලපුලා සිටි අන්දමේ පිළිතුරක් නෝත්ගෙන් නොලැබිණ. උඩරට රාජධානිය කොයි මොහොතේ නමුත් ඉංග්‍රීසින් අතට පත් විය හැකි යයි නෝත් සිතා සිටියේය. ඒ බව ඔහු මදුරාසියේ සිටි උසස් නිලධාරීන්ට ද දන්වා තිබිණ. පිළිමතලව්වේට කෙළින් පිළිතුරක් නොදෙමින් ඔහු තවමත් සිය දැලට ඇද ගැනීමට නෝත් මානබැලුවා නිසැකය. මහඅදිකාරම් යෝජනා කළ පරිදි රජු ඉවත් කොට, සිහසුන ඔහුට පැවරීමෙන් වුව ද ඉංග්‍රීසීන්ට අවාසියක් නොවන්නට ඉඩ තිබිණ. කුමක් නිසාද යත්, පිළිමතලව්වේ නොඉවසූ සෙසු රදලවරුන් ඔහුට ඉඩ දී කරබාගෙන සිටිනු ඇතැයි කොහෙත් ම නොසිතිය හැකි හෙයිනි. එයින් සමහර විට පිළිමතලව්වේගේ අවසානය තවත් ඉක්මන් වීමට ඉඩ තිබිණ. නායක්කර් වංශිකයකු වුව ද ශ්‍රී වික්‍රම රාජසිංහ රජ මහඅදිකාරම්ට වඩා තවමත් රටවැසියා අතර සැලකිල්ලට හා ගෞරවයට පාත්‍රව සිටියේය. පිළිමතලව්වේ රජකමට පත් කර ගැනීමට සෙසු රදලවරාන්ට ඕනෑ වී නම් එයට කිහිප විටක් ම අවස්ථාව එළඹ තිබිණ. එහෙත් එවැන්නක් සිදු නොවූයේ සිංහල ප්‍රධානීන්ට ඔහු උවමනා නොකළ නිසාය.
1800 දී නෝත් හා පිළිමතලව්වේ නැවත වරක් හමු වූහ. එයින් පසුව නෝත් යෝජනා කළ පරිදි ගිවිසුමක් ඇති කරගැනීම සඳහා රජු හමුවීමට මැක්ඩෝවල් සෙනෙවියා පිටත් කර එවීමට තීරණය විය. මෙම යෝජිත ගිවිසුමෙන් ප්‍රධාන වශයෙන් අපේක්ෂා කළේ රජුගේ “ආරක්ෂාව” සඳහා ඉංග්‍රීසි සේනාංකයක් උඩරට නැවැත්වීම හා රජුගේ සියලු ම විදේශීය සම්බන්ධතා ඉංග්‍රීසීන් මගින් පැවැත්වීමය. මහ අදිකාරම් සමග කතිකා කරගත් පරිදි මැක්ඩෝවල් මහනුවර බලා පිටත් විය. එහෙත් ඔහු පැමිණියේ රජුට සිහසුන ලැබීම ගැන ශුභාශීර්වාද කිරීමේ මුවාවෙනි. ඔහු විශාල සේනාවක් පිරිවරාගෙන එන බව ඇසූ රජ මහනුවර අතහැර පලායෑමට සැරසිණ. ඒ අතර සමහර නිලමේවරු ඔහු හා සටනට කටයුතු පිළියෙල කළහ. පසුව පිළිමතලව්වේගේ ඉල්ලීම පරිදි සේනාව මග නවත්වා සුළු හට පිරිසක් සමග මැක්ඩෝවල් මහනුවරට පැමිණියේය. අතරමග ගන්නොරුවේ දී ඔහු හමු වූ රජුගේ නියෝජිතයෝ ඔහු යෝජනා කළ අන්දමේ ගිවිසුමකට රජු එකඟ නොවන බව පැහැදිලිව ම කියා සිටියහ. ඔහුට වුවමනා නම් රජු බැහැදැකීමට අවසර ඇති බව ඔවුහු දැන්වූහ. මෙසේ බලාපොරොත්තු කඩ වූ මැක්ඩෝවල් රජු බැහැදැක රජුගේත් රාජ්‍යයේත් තත්වය මතුපිටින් පෙනෙන තරමින් හෝ දැනහැඳිනගෙන ආපසු කොළඹට ගියේය.
මෙම ගමනින් කරුණු කීපයක් පැහැදිලි විය. පිළිමතලව්වේට රජු තවත් අවනත නොවන බවත් ඔහු හා සෙසු රදලවරුන් අතර පැවැති වෛරයේ හා අවිශ්වාසයේ ප්‍රමාණයත් ඉංග්‍රීසින්ට දැනගන්නට ලැබිණ. රජතුමා උපකාරක මිත්‍ර ගිවිසුමකට විරුද්ධ බව ද පැහැදිලි විය. ඔහුගේ කල්පනාව වූයේ තම සතුරන්ට විරුද්ධව ඉංග්‍රීසි සේනාවක ආරක්ෂාව ඔහුට අනවශ්‍ය බවය. ඔහුට සතුරු වූ පිරිසක් සිටියේ නම් ඒ ඉංග්‍රීසින් ම හෙයිනි. එහෙත් නෝත් තවමත් අපේක්ෂා කෙළේ කෙසේ හෝ රජු හා ගිවිසුමක් ඇති කරගැනීමය. පිළිමතලව්වේට නොහැකි නම් කෙළින් ම රජු හා ගනුදෙනු කිරීමට හේ සිතීය. එහෙත් එවැන්නකට මහඅදිකාරම් කිසි සේත් කැමති නොවීය. ඔහුට වුවමනා කෙළේ කෙසේ හෝ ඉංග්‍රීසින් ඔහුට ණයගැති තත්වයට පත් කර ගැනීමටය. යම් විධියකින් නෝත්ගේ ආධාර නොමැතිව රජතුමා නෙරපීමට අදිකාරම් තැන සමත් වී නම් ඔහු රජු හැටියට භාර ගැනීමට උසස් නිලධාරීන් විරුද්ධ වන්නේ දැයි වරක් නෝත් ඔවුන්ගෙන් විමසා තිබිණ. නෝත් හා රජු අතර සම්බන්ධයක් ඇති වේය යන බිය නිසා රජු හා ඉංග්‍රීසීන් කෙටවීමට මහඅදිකාරම් සිතා ගෙන සිටියේය. ඉංග්‍රීසීහු ද ඉඩක් ලැබුණු විටක උඩරට ආක්‍රමණය කොට, ඔවුන්ගේ බලය පෙන්වා රජු බිය ගන්වා ඔහු ගිවිසුමකට එකඟ කරවා ගැනීමට වුව ද අකැමති නොවූහ. එයට දැන් අවශ්‍ය වූයේ සුදුසු හේතුවක් පමණි. එවැනි හේතුවක් සේ සැලකිය හැකි සිද්ධියක් 1802 දී සිදු විය. එයට කවුරුන් වගකිව යුතු දැයි කීම දුෂ්කරය. රජු හා මහවාසල නිලමේවරුන් ඉංග්‍රීසි රජු හා සමග සාමයෙන් විසීමට නොකැමති වූයෙන්, නොයෙක් බලහත්කාරකම් කරමින් සාමය කඩ කර ඇති බවට ඉංග්‍රීසීහු චෝදනා කළහ. ඔවුන් එසේ සඳහන් කෙළේ පුත්තලමේ සිට වෙළෙඳාම සඳහා උඩරටට ගිය මුස්ලිම් වෙළෙඳුන් කීප දෙනකුට මහඅදිකාරම්ගේ අතවැසියන් විසින් කරන ලද අතවරයන් නිසාය. සමහර මුස්ලිම්වරු වෙළෙන්දන් පමණක් නොව ඔත්තුකාරයෝ ද වූහ. මෙම සිද්ධියට රජු සමාව යැදිය යුතු බවත් අලාභහානි ගෙවිය යුතු බවත් ඒ සමඟ ම ස්ථිර සාම ගිවිසුමකට එළඹිය යුතු බවත් ඔවුහු තදින් කියා සිටියහ. ඒ අතර කිසිදු අවශ්‍යතාවක් නැතිව ඉංග්‍රීසින් හේවායන් රැස්කිරීම්, බලකොටු තර කිරීම් ආදියෙන් රජතුමා කුපිත වන අන්දමින් ක්‍රියා කර ඇති බවට උඩරටින් චෝදනා එල්ල විය. මෙම සිද්ධිය පිළිබඳව ඉංග්‍රීසීන් හා රජු අතර හුවමාරු වූ පණිවුඩ හා නෝත්ගේ රහස් වාර්තා දෙස පරීක්ෂාවෙන් බලන කල පැහැදිලිව ම පෙනෙන කාරණයකි, අලාභහානි ගෙවීම හා කණගාටුව ප්‍රකාශ කිරීම කෙසේ වෙතත්, එය ගිවිසුමක් ඇති කරගැනීම උදෙසා පැහැර නොහැරිය යුතු අවස්ථාවක් ලෙස ඉංග්‍රීසීන් සැලකූ බව. ඒ නිසා ඒ සිද්ධියේ වැදගත්කමට හා බැරෑරුම්කමට බොහෝ සෙයින් වැඩිමනත් වූ අන්දමේ ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමට තීරණය කළ ඉංග්‍රීසීහු 1803 දී යුද්ධ ප්‍රකාශ කරමින් මහනුවර බලා සේනා සහිතව පිටත් වූහ.
ප්‍රථම ඉංග්‍රීසි ආක්‍රමණය
1803 දී යුද්ධ ප්‍රකාශ කරමින් නෝත් විසින් රජුට යවන ලද ලිපියක නැවතත් ගිවිසුමක් ඇති කරගැනීමේ වැදගත්කම දැක්වෙයි. සමහර විට එවැන්නකට රජ එකඟ වී නම් මෙම ආක්‍රමණය වැළකීමට ද ඉඩ තිබිණ. ඒ කෙසේ වෙතත්, කොළඹින් හා ත්‍රිකුණාමලයෙන් පිටත් වූ ඉංග්‍රීසි සේනා අතරමඟ දී එක් වී මහනුවර බලා ගමන් කළහ. ඔවුන් මහනුවරට ඇතුළු වන විට රජු හා නුවර වාසීහු නගරයට ගිනි තබා වෙනත් ස්ථානයකට පැන ගොස් සිටියහ. සටනක් නැතිව නගරය අල්ලාගත් ඉංග්‍රීසීහු ගිනි නිවා, කඩිනමින් බලකොටු තනවා, එහි ම වාඩිලාගත්හ. අනතුරුව, මෙවැනි අවස්ථාවක් සඳහා ඉංග්‍රීසීන් විසින් රඳවාගෙන සිටි මුත්තුසාමි නෝත් විසින් උඩරට රජු හැටියට සිංහාසනාරූඪ කරනු ලැබිණ. හේ ඉංග්‍රීසීන්ට වුවමනා පරිදි ගිවිසුමකට අත්සන් තැබීය. මුත්තුසාමිගේ රජවීම එදා 1592 දී පෘතුගීසීන් විසින් දොන් පිලිප් කුමරා උඩරට රජකමට පත් කරන ලද අවස්ථාවට බොහෝ සෙයින් සමාන විය. දොන් පිලිප්ට මෙන් ම මුත්තුසාමිට ද උඩරැටියන්ගේ පක්ෂපාතකමක් නොතිබිණ. විදේශිකයන් විසින් සිහසුනේ තබන ලද හෙයින් කිසි සේත් ඔහු ජනාදරයට පත් නොවීය. ඒ නිසා ඔහු සිහසුනට පත් කිරීම මෙන් ම එම තනතුරෙහි රඳවා ගැනීම හා ඔහුගේ ආරක්ෂාව ද ඉංග්‍රීසීන්ගේ වගකීමක් බවට පත් විය. නොබෝ දිනකින් උඩරට වැසියන්ගේ විරුද්ධත්වය හා මුත්තුසාමිගේ අසරණ තත්වය අවබෝධ කරගත් ඉංග්‍රීසීහු මුත්තුසාමි පසක සිටිය දී මහඅදිකාරම් හා සෙසු නිලමේවරුන් සමග සම්මුතියකට එළඹියහ. එහෙත් එය ද ක්‍රියාත්මක වීමට පෙර සැඟවී සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජ කලඑළි බසිමින් ඉංග්‍රීසීන්ගේ අමාරුකම් ඉවෙන් මෙන් දැන උඩරැටියන්ගේ ද සහාය ඇතිව ඔවුන්ට පහරදීමට පටන් ගත්තේය. මේ වන විට රෝගාතුරව සිටි මැක්ඩෝවල් හා හේවායන්ගෙන් කොටසක් කොළඹ බලා යමින් සිටි අතර ඉතිරිව සිටි පිරිස ද ලෙඩරෝගවලින් හා ආහාර හිඟකමින් පෙළුණාහ. ඔවුන්ට තාවකාලික හෝ සහනයක් වූයේ මහඅදිකාරම් හා ලෙව්කේ නිලමේ අතර තිබුණු ගැටුමයි. මොවුන් දෙදෙනා එකිනෙකාට චෝදනා කරමින් ඉංග්‍රීසීන්ගේ සහාය ලබාගැනීමට තවමත් තැත් කළහ. ඒ අතර 1803 ජූනි මස රජුගේ සේනාව මහනුවර වටලමින්, එහි සිර වී සිටි ඉංග්‍රීසි සේනාවට පහර දුන්හ. සටන් කිරීමට පවා නොහැකි දුබල තත්වයක සිටි එම සේනාව විනාශයට පත්වූහ. මුත්තුසාමිගේ හා ඔහුට එක් වූ රාජ ද්‍රෝහීන්ගේ ද හිස් ගසා දමනු ලැබිණ. එයින් නොනැවතුණු උඩරැටියෝ පහතරට ප්‍රදේශවලට පහර දෙමින් මහත් අලාභහානි සිදු කළහ. තත්වය කෙතරම් අවදානම් වී ද යත් ඉංග්‍රීසින් සතු ප්‍රදේශයන්හි යුද්ධනීතිය පවා ප්‍රකාශ කිරීමට ඔවුන්ට සිදු විය. මේ අතර ඉන්දියාවෙන් ලත් ආධාර නිසා පරාජයේ අපකීර්තිය මකාගැනීම පිණිස උඩරට අවට ප්‍රදේශයන්ට පහර දීමටත් ඒවා කොල්ලකෑමටත් ඉංග්‍රීසීහු සමත් වූහ. ඔවුන්ගේ එම ප්‍රහාර නිසා වැසියන්ට දරුණු වධහිංසා විඳීමට සිදු විය. විශේෂයෙන් සබරගමු පළාතට බලවත් අලාභහානි සිදු විය.
1803 යුද්ධය නිසා දෙපක්ෂයට ම හානි සිදු විය. සිත් වේදනාවට හා විරුද්ධවාදීන්ගේ චෝදනාවන්ට ලක් වූ නෝත් ටික කලකට පසු සිය ධුරයෙන් ඉල්ලා අස් වී ගමරට බලා ගියේය. පිළිමතලව්වේ මහඅදිකාරම් කෙරෙහි රජු මෙන් ම ඉංග්‍රීසීහු ද කළකිරී සිටියහ. යුරෝපයේ පැවැති යුද්ධ කටයුතු නිසා උඩරට රජුගෙන් පළි ගැනීමට අවස්ථාවක් ද නොතිබිණ. ඒ අතර ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ බලය තරමක් දුරට හෝ තහවුරු විය. එහෙත් පෙර පරිද්දෙන් ම මහඅදිකාරම් හා තවත් නිලමේවරු කිහිප දෙනෙක් ඔහු වැනසීමට මාන බලමින් සිටියහ. නෝත්ට පසුව ඉංග්‍රීසි ආණ්ඩුකාරයා වශයෙන් පැමිණියේ මේට්ලන්ඩ්ය. හේ රජු හා මහවාසල සමග කිසිදු සම්බන්ධකමක් පැවැත්වීමට නොකැමැති විය. එසේ කිරීම නින්දා සහගත දෙයක් සේ හේ සැලකීය. එහෙත් වෙන අය මගින් හෝ එහි සිටි ඉංග්‍රීසි සිරකරුවන් මුදවාගැනීමට හේ උත්සාහ කෙළේය. ඒ නිසා තාවකාලික වශයෙන් හෝ සාමය පැවැතිණ. එය කුණාටුවකට ප්‍රථමයෙන් පවත්නා නිසලතාව වැනි විය. ජෝන් ඩොයිලි නම් සෙනෙවියා නෝත්ගේ ප්‍රතිපත්තිය අනුගමනය කරමින් උඩරට තත්වය ගැන සෙවිල්ලෙන් සිටියේය. ඉඩ ලැබුණු විට දී එහි භේදාදියට පොහොර දැම්මේය. මේ වන විට සියලු ම බලාපොරොත්තු සුන් වි ගොස්, රජුගේ සැකයට හා පිළිකුලට භාජනව සිටි මහ අදිකාරම් ඩොයිලිගේ ඉත්තකු මෙන් ක්‍රියා කෙළේය. 1803 සිද්ධියේ වැදගත්කම රඳාපවත්නේ එයින් උඩරට රාජ්‍යය කෙරෙහි ඉංග්‍රීසින් කලින් දැක්වූ ආකල්පය තීරණාත්මක අන්දමින් වෙනස් වීම උඩය. රජු ගිවිසුමකට බඳවා ගැනීම කළ නොහැකි බව මෙයින් හොඳාකාර ඔප්පු විය. ඒ නිසා ස්ථිර සාමයක් ඔවුනට බලාපොරොත්තු විය නොහැකි බව ඔවුහු කල්පනා කළහ. ස්ථිර සාමයක් හා සිය ආරක්ෂාව සඳහා සුදුසු එක ම ක්‍රියාමාර්ගය නම් උඩරට රාජ්‍යය ද ඉංග්‍රීසි පාලනය යටතට ගෙන ඒමය. ඉතිරිව තිබුණේ එයට සුදුසු අවස්ථාව එන තෙක් ඉවසීමෙන් හා සීරුවෙන් සිටීම පමණි.
මහඅදිකාරම් ඇතුළු සෙසු නිලමේවරුන් ද ජෝන් ඩොයිලි ද නොයෙක් අන්දමේ රහස් ව්‍යාපාරවල හා කුමන්ත්‍රණවල යෙදී සිටීම නිසා රජුගේ තත්වය අවදානම් අතට හැරිණ. ඔහුට විශ්වාස කළ හැකි අය අඩු වී යත් ම සියලු දෙනා ම සැක කිරීමට රජතුමා පෙලඹුණේය. තමාගේ ජීවිතයට පවා අනතුරක් සිදු විය හැකි බව හේ විශ්වාස කෙළේය. එය එසේ ම විය. මෙයින් රජ ක්‍රමයෙන් ප්‍රචණ්ඩ බවට පත් විය. වරක් මහා වංසයේ ම ආදර්ශවත් බෞද්ධයකු ලෙස හඳුන්වා ඇති ඔහු පසුව එහි ම හඳුන්වා ඇත්තේ ඉතා ක්‍රෑර පුද්ගලයකු ලෙසටය. රජුගේ මේ වෙනස් වීම ස්වාභාවික වූවක් ලෙස සැලකිය හැකිය. ඔහු මුළු කාලය ම ගත කළේ දැඩි බියකිනි. බියෙන් සැකෙන් සිටි ඔහුට නින්ද පවා නොලැබී ගියේය. සාමාන්‍ය රට වැසියන් කෙසේ වෙතත් ප්‍රධානීහු රජුට පක්ෂපාතීව සිටියාහු දැයි සිතීම දුෂ්කරය. සමහර අවස්ථාවල දී ඔහු ප්‍රධානීන්ගේ වධහිංසාවලින් වැසියන් මුදවාලූ බව ද සඳහන්ය. එවැනි දෙයින් ඔහු කෙරෙහි නිලමේවරුන් අතර වෛරය තවත් වැඩිදියුණු වන්නට ඇත. මෙසේ අවංක, විශ්වාස කටයුතු පුද්ගලයන්ගේ ඇසුර නොලැබී ගිය රජතුමා හිතුවක් ම කිරීමට තව තවත් පෙලැඹිණ. එයින් තමා ප්‍රපාතයට වැටුණු බව පසුව රජතුමා ම පිළිගත්තේය. මෙසේ 1803 යුද්ධයෙන් පසුව වෙඩි කෑ සතකු මෙන් ක්‍රියා කළ රජ රටවැසියන්ගේ ද අප්‍රසාදයට හා පිළිකුලට භාජන විය. ඒ අතර ඉංග්‍රීසීන්ගේ හා රදලයන්ගේ කූට උපක්‍රම වැඩි වත් ම, ඒ තරමින් ම ඔහුගේ ප්‍රචණ්ඩභාවය ද වැඩි විය.
බ්‍රවුන්රිග්
1812 ලක්දිව ඉතිහාසය අතින් තරමක් වැදගත් වර්ෂයකි. ඒ වර්ෂයේ දී රොබට් බ්‍රවුන්රිග් නම් අලුත් ඉංග්‍රීසි ආණ්ඩුකාරයෙක් පත්ව ආයේය. උඩරට රාජධානිය අල්ලා ගැනීමට පුරෝගාමී වූයේ ඔහුය. උඩරට රජුටත් පහතරට ඉංග්‍රීසීන්ටත් මහත් හිසරදයක් හා තර්ජනයක් වූ මහඅදිකාරම් පිළිමතලව්වේගේ මරණය 1812 දී සිදු විය. ඉවසීමේ කෙළවරට පැමිණ සිටි රජ පිළිමතලව්වේ මහනඩුව ඉදිරියට ගෙන්වා, එහි දී ඔහුට නොයෙක් අන්දමේ චෝදනා කොට තනතුරින් නෙරපා ටික දිනක් සිර අඩස්සියේ තබා, පසුව නිදහස් කර හැරියේය. තනතුරින් පහ කරනු ලැබූ හෙතෙම ඊළඟට රජු මැරවීමට කුමන්ත්‍රණ කෙළේය. එය හෙළි වීමෙන්, නැවතත් නඩු අසා රාජ ද්‍රෝහියකු හැටියට හිස ගසා දමනු ලැබිණ. හිස් වූ මහ අදිකාරම් ධුරයට පත් වූයේ පිළිමතලව්වේගේ ඥාති පුත්‍ර ඇහැළේපොළ නිලමේය. මොහු හා රජු අතර මුල සිට ම විශ්වාසයක් නොතිබිණ. දෙවන අදිකාරම් මොල්ලිගොඩ ඇහැළේපොල කෙරෙහි රජු බිඳවීමට නොයෙක් දෑ කළ බව ද ඔහු සැක කට යුතු ක්‍රියාවන්හි යෙදී සිටින බව ඔප්පු වන පරිදි ලිපි පණිවුඩ ආදිය පවා වෙනස් කළ බව ද කියනු ලැබේ. රජු සිහසුනෙන් නෙරපීමට ඉංග්‍රීසීන්ට ආධාර දීමට ඇහැළේපොළ කැමති විය. එමගින් සිහසුන ලබා ගැනීම ඔහුගේ අපේක්ෂාව වන්නට ඇතැයි ඇතැම් ඉතිහාසඥයෝ සිතති. එවැන්නකට ඉංග්‍රීසීන් තවත් සැරසී නොසිටි බව හේ නොදත්තේය. ඔහුගේ ලියකියවිලිවලින් පෙනෙන්නේ සිංහලේ රාජ්‍යය වඩිගයන්ගෙන් මුදවා ගැනීම ඔහුගේ පරමාර්ථය වූ බවය.
ඇහැළේපොළ කෙරෙහි රජුගේ විශ්වාසයක් නැති බව දන්වනු වස් හේ මහඅදිකාරම්ගේ දැකුම් ප්‍රතික්ෂේප කෙළේය. මේ අතර බ්‍රවුන්රිග්ගේ පැමිණීම නිසා නැවතත් ඉංග්‍රීසීන්ගේ අවධානය උඩරට කෙරෙහි යොමු වී තිබිණ. එහි දී ඔවුහු නිතැතින් ම හැරුණේ ඇහැළේපොළ වෙතටය. ඩොයිලි තම චර පුරුෂයන් මගින් උඩරට ගැන සියලු තතු දැනගෙන සිටියේය. ඔහුගේ උත්සාහයෙන් රට භේද කිරීම බොහෝ දුරට සාර්ථක වී තිබිණ. ඇහැළේපොළ තමාට අවනත නොවී සබරගමුවට වී සිටීම නිසාත් පසුව කොළඹට පැන යාම නිසාත් තදින් කිපී සිටි රජ ඔහුගේ පවුලේ අය සියලු දෙනා ම මැරවීය. ඔහුගේ දරු පැටවුන්ගේ ගෙල සිඳ ඇහැළේපොළ කුමාරිහාමි ලවා ම කෙටවූ බවක් කියනු ලැබේ. මෙම ප්‍රවෘත්තිය රජු කෙරේ පහතරට වැසියන් හා එංගලන්තවාසීන් කළකිරවීමට පසු කල ගොතන ලද්දක් යයි සිතීමට ඉඩ ඇත. ඒ කෙසේ වෙතත් ක්‍රමයෙන් රටවැසියා ද රජු කෙරෙහි අප්‍රසාදයට පත් වී සිටි බව නම් නොඅනුමානය. සිංහල නිලමේවරු බොහෝ දෙනෙක් ද එළිපිට ම රජුට විරුද්ධව ඉංග්‍රීසින්ගේ ආධාර සෙවීමට තරම් එඩිතරව සිටියහ. වරක් ඇහැළේපොළ කී පරිදි, මේ වන විට රජතුමා දැලකට හසු වූ මත්ස්‍යයකු බඳු විය. ඉංග්‍රීසීන් නිසා කොටු වී පැවැති උඩරට රාජ්‍යයේ ආර්ථික තත්වය ද අන්තයට පිරිහී තිබිණ. 1814 වන විට යුරෝපයේ පැවැති දේශපාලන තත්වය ද ඉංග්‍රීසීන්ට වාසිදායක අන්දමින් හැඩගැසෙමින් පැවතිණ. මෙසේ සැම අතින් ම, ඉංග්‍රීසීන් බලාපොරොත්තු වූ අවස්ථාව ළං ළංව පැමිණියේය. ඔවුන් එයට කළමනා පිළියෙල කොට තිබිණ. නැවතත් යුද්ධයක පෙර නිමිති පහළ වන්නට විය.
උඩරට රාජ්‍යයේ අවසානය
1802 දී සිදු වූවාක් මෙන් එවර ද පහතරටින් උඩරටට ගිය පිරිසකට කරන ලද වධහිංසා නිසා 1814 දී ඉංග්‍රීසීහු උඩරට ආක්‍රමණය කිරීමට තීරණය කළහ. එහෙත් ඔවුන් කියා සිටියේ සකල උඩරට වාසීන්ගේ බලවත් ඉල්ලීම පිට ආක්‍රමණය කරන බවය. ඔවුන්ගේ වෙනත් අරමුණු වශයෙන් දැක්වූයේ නායක්කර් වංශය කෙළවර කිරීමත් රජුගේ ක්‍රෑර පාලනයෙන් රටවැසියා මුදාගැනීමත් ඉංග්‍රීසීන්ගේ ගෞරවය ආරක්ෂා කරගැනීමත්ය. ඒ කෙසේ වෙතත් ඇහැළේපොළ ද රජුට පක්ෂපාතව සිටි මොල්ලිගොඩ ද ඇතුළු උඩරට ප්‍රධානීන් බොහෝ දෙනකුගේ ආධාර හා අනුමතිය ඇතිව ඉංග්‍රීසීහු සටනක් නොකර ම උඩරට රාජධානිය අල්ලාගත්හ. ඒ සමග ම මැදමහනුවර, බෝමුරේ උඩපිටියේ ගම රාලලාගේ ගෙදර සැඟවී සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හා ඔහුගේ නැදෑ පිරිස ද සිංහලයන් විසින් පාවා දෙන ලදුව ඉංග්‍රීසීන්ගේ සිරකාරයන් බවට පත් වූහ. පසුව ඔව්හු දකුණු ඉන්දියාවට පිටුවහල් කරන ලදහ. අනතුරුව ශ්‍රී වික්‍රම රාජසිංහට හෝ ඔහුගේ වර්ගයේ අයට උඩරට රාජ්‍යයට මීට පසු කිසිදු අයිතිවාසිකමක් නැති බව ද ප්‍රකාශ කරනු ලැබිණ. ඒ අතර 1815 මාර්තු මස 2 වැනි දින උඩරට රදලවරුන් හා ඉංග්‍රීසීන් අතර ගිවිසුමක් ඇති කර ගන්නා ලදි (උඩරට ගිවිසුම බ.) එහි, වෙනත් කාරණා අතර, බුද්ධාගමත් විහාර හා දේවාලත් සංඝයා වහන්සේලාත් පැරණි චාරිත්‍රවාරිත්‍රත් ආරක්ෂා කරන බවට ඉංග්‍රීසීන් ප්‍රතිඥා දී තිබිණ. එසේ ම නිලමේවරුන්ගේ අනුමතිය ඇතිව උඩරට රාජ්‍යය ඉංග්‍රීසි කිරීටය යටතට ගෙන එනු ලැබිණ. එහෙත් තමන් තුළ එවැනි බලාපොරොත්තුවක් තිබුණ බවක් ඉංග්‍රීසීන් ඊට (1815.2.11) කලින් සඳහන් කර නොතිබිණ. මෙසේ පුරා තුන්සිය වසක් තිස්සේ යුරෝපීය බලවතුන් සමග ගැටෙමින් වීරෝදාර අන්දමින් හා අප්‍රතිහත ධෛර්ය්‍යයෙන් ද ස්වභාව ධර්මයාගේ ඉමහත් ආධාරය ලබමින් ද රැකගත් උඩරට රාජධානිය සිංහලයන් විසින් ම ඉංග්‍රීසීන්ට පවරා දෙනු ලැබිණ. එයින්, නොකඩවා සහස්‍ර වර්ෂාධික කාලයක් අවිච්ඡින්නව පැවැති ලංකා (සිංහලේ) රාජ්‍යය තාවකාලිකව නමුත් කෙළවරට පැමිණියේය. පළමු වරට මුළු මහත් ලංකාද්වීපය ම විදේශීය පාලනය යටතට පත් විය.
නොබෝ කලකින් ම ඉංග්‍රීසින්ගේ තරම ප්‍රධානීන්ටත් ගිහිපැවිදි සෙසු ජනයාටත් වැටහෙන්නට විය. රජු නැති පාඩුව පිරිමැසීමට නිලමේවරු හෝ ඉංග්‍රීසීහු පොහොසත් නුවූහ. ඒ අතර ඉංග්‍රීසීන් කලින් දී තිබුණු පොරොන්දු කඩ කර ඇති බවත් ඔවුන් සියලු දෙනා ම රවටා ඇති බවත් ඇහැළේපොළ ඇතුළු නිලමේවරු කල්පනා කළහ. ඔවුන් කිසිවකුට, විශේෂයෙන් ම ඇහැළේපොළට, අපේක්ෂිත ඨානාන්තර නොලැබිණ. රජු නෙරපීමට සිංහලයන්ට ආධාර දීමට පැමිණි විදේශිකයෝ දැන් අධිපතිවරු වී සිටියහ. සිහසුන වෙනුවට ඔවුන් දුන් සැනසිලි ත්‍යාග පිළිගැනීමට මහඅදිකාරම් ද එකඟ නොවීය. මෙසේ උඩරට ප්‍රධානීන් හා මහජනයා අතර ක්‍රමයෙන් වර්ධනය වූ අප්‍රසන්නතාව හා සිත් වේදනාව 1818 දී ඉංග්‍රීසි විරෝධී මහා කැරැල්ලක් බවට පරිවර්තනය විය. මෙපරිදි ඉතා කෙටි කාලයකින් ඔවුන්ගේ ඇස් පෑදී ගිය නමුත් එයින් පලක් නොවීය. අමාරුවෙන් නමුත් කැරැල්ල මැඩපැවැත්වූ ඉංග්‍රීසීහු ප්‍රබල නායකයන් බොහෝ දෙනකු මරා දැමූහ. සෙසු අය වගකීමෙන් තොර නිකමුන් බවට පත් කළහ. ඉංග්‍රීසීන්ගේ පැත්ත ගත් අයට හොඳින් සැලකූහ. 1815 දී දුන් ප්‍රතිඥා කඩ කරමින් 1818 දී අලුත් කොන්දේසි සහිත ප්‍රකාශයක් නිකුත් කරමින්, රදලවරුන්ටත් ආගමට හා ශාසනයටත් දී තිබුණු ආරක්ෂාවන් ද ඉවත් කරගත්හ. මෙසේ උඩරට හා විදේශීයයන් අතර ඇති වූ සැම ගිවිසුමක් ම අභාග්‍යසම්පන්න ඉරණමකට භාජන වීම පුදුම එළවනසුලුය.
(කර්තෘ: කරුණාරත්න විජේතුංග)
(සංස්කරණය: 1970)