"උතුරුමැද පළාත" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් අතරමැදි සංස්කරණ 2ක්)
67 පේළිය: 67 පේළිය:
 
උතුරුමැද පළාත ප්‍රධාන වශයෙන් වී ගොවිතැන ඉතා දියුණු ප්‍රදේශයකි. මෙහි දේශගුණය ඝර්ම කලාපීය ධාන්‍ය වගාව සඳහා බොහෝ දුරට යෝග්‍යය. විශේෂයෙන් ම මඩ ගොවිතැන් සඳහා වර්ෂා ජලය ප්‍රමාණවත් නොවන හෙයින් ජලසම්පාදනය අත්‍යවශ්‍ය වේ. මඩ ගොවිතැන්වලට අමතරව හේන්වල ඇල්වී වගාව ද මෙම පළාතේ දියුණුය. 1964 සංඛ්‍යාලේඛන අනුව මෙහි යල මහ කන්නයේ දී වගා කළ හැකි බිම් ප්‍රමාණය මෙසේය.  
 
උතුරුමැද පළාත ප්‍රධාන වශයෙන් වී ගොවිතැන ඉතා දියුණු ප්‍රදේශයකි. මෙහි දේශගුණය ඝර්ම කලාපීය ධාන්‍ය වගාව සඳහා බොහෝ දුරට යෝග්‍යය. විශේෂයෙන් ම මඩ ගොවිතැන් සඳහා වර්ෂා ජලය ප්‍රමාණවත් නොවන හෙයින් ජලසම්පාදනය අත්‍යවශ්‍ය වේ. මඩ ගොවිතැන්වලට අමතරව හේන්වල ඇල්වී වගාව ද මෙම පළාතේ දියුණුය. 1964 සංඛ්‍යාලේඛන අනුව මෙහි යල මහ කන්නයේ දී වගා කළ හැකි බිම් ප්‍රමාණය මෙසේය.  
  
ප්‍රදේශය     අක්කර (මහ සහ යල)
+
ප්‍රදේශය සහ ඉඩම් ප්‍රමාණය අක්කර (මහ සහ යල)
  
 
අනුරාධපුර දිස්ත්‍රික්කය...................... 92,277......... 38,281
 
අනුරාධපුර දිස්ත්‍රික්කය...................... 92,277......... 38,281
  
පොළොන්නරු දිස්ත්‍රික්කය............''''....51,706...........43,018
+
පොළොන්නරු දිස්ත්‍රික්කය................51,706...........43,018
  
 
උතුරුමැද පළාත...........................143,983........... 81,299
 
උතුරුමැද පළාත...........................143,983........... 81,299
106 පේළිය: 106 පේළිය:
 
සියවස් ගණනාවක් මුළුල්ලෙහි සිංහල ශිෂ්ටාචාරයෙහි කේන්ද්‍රස්ථානය වූයේ ලංකාවේ උතුරු මැද පෙදෙසේ වූ වියළි කලාපයයි. එහි පිහිටි පුරාතන අගනුවරවල් වූ [[අනුරාධපුරය]] (බ.) හා [[පොළොන්නරුව]] (බ.) යන මධ්‍යස්ථානවලින් ඒ ඒ කාලවල දී ලංකාව පාලනය විය.  
 
සියවස් ගණනාවක් මුළුල්ලෙහි සිංහල ශිෂ්ටාචාරයෙහි කේන්ද්‍රස්ථානය වූයේ ලංකාවේ උතුරු මැද පෙදෙසේ වූ වියළි කලාපයයි. එහි පිහිටි පුරාතන අගනුවරවල් වූ [[අනුරාධපුරය]] (බ.) හා [[පොළොන්නරුව]] (බ.) යන මධ්‍යස්ථානවලින් ඒ ඒ කාලවල දී ලංකාව පාලනය විය.  
  
ක්‍රි.ව. 1215 දී පමණ සිදු වූ [[කාලිංග මාඝ]]ගේ (බ.) ආක්‍රමණයත් සමඟ ම සිංහල රාජ්‍ය පාලන මධ්‍යස්ථානය වශයෙන් මෙම පෙදෙසෙහි පැවති වටිනාකම පිරිහී ගිය බව පෙනේ. මාඝගේ බලය උතුරුමැද පෙදෙසේ කොටස්වල ද පැවතිණ. ඉන්පසුව මේ ප්‍රදේශය [[ආර්ය චක්‍රවර්ති]]ගේ (බ.) බලය යටතට පත් විය. සිංහල රාජ්‍ය පාලන මධ්‍යස්ථානයන් නිරිත දිගට සංක්‍රමණය වත් ම මේ පෙදෙස් වනගත වන්නට පටන් ගැනිණ. තන්හි තන්හි වන්නිනායකයෝ ද බිහි වූහ. වන්නි රාජ්‍ය පිළිබඳව වංශකථාවල පළමුවරට සඳහන් වනුයේ 13 වැනි සියවස මැදභාගයට ආසන්න කාලයෙහි සිට බැවින් ඒවා බිහි වූයේ මේ සමයේ සිට යයි සිතිය හැකිය ([[වන්නි]] බ.). 16 වැනි සියවස වන විට වත්මන් උතුරු පළාත හා උතුරුමැද පළාත පිහිටි බිම් පෙදෙස වනපෙත් බවට පත් වෙමින් තිබිණ. 1521 දී සිදු වූ විජයබා කොල්ලයෙන් නොබෝ කලකට පසුව රජ වූ සීතාවක I වැනි රාජසිංහගේ ආධිපත්‍යය මේ පෙදෙස්හි ද පැවතිණ. 16 වැනි සියවසේ අවසාන කොටස වන විට [[උඩරට රාජ්‍යය]] (බ.) I වැනි විමලධර්මසූර්ය රජු යටතෙහි පැවති අතර වත්මන් උතුරුමැද පළාතෙහි ද ඔහුගේ බලය ව්‍යාප්තව තිබුණු බැව් මන්දාරම්පුර පුවත වැනි කෘතිවලින් පෙනේ. 1636 වැන්නෙහි II වැනි රාජසිංහ රජු පලියකාට්හි ලන්දේසි ආණ්ඩුකාරයාගෙන් ප්‍රතිකාල්වරුනට විරුද්ධව ආධාර ඉල්ලා යැවූ සන්දේශයෙහි තමා අඳුන්වන ඡේදයෙහි දක්වා ඇති පරිදි එතුමා අනුරාධපුරයේ සත්කෝරළයෙහි ද රජ පදවිය දැරීය.  
+
ක්‍රි.ව. 1215 දී පමණ සිදු වූ [[කාලිංග මාඝ]]ගේ (බ.) ආක්‍රමණයත් සමඟ ම සිංහල රාජ්‍ය පාලන මධ්‍යස්ථානය වශයෙන් මෙම පෙදෙසෙහි පැවති වටිනාකම පිරිහී ගිය බව පෙනේ. මාඝගේ බලය උතුරුමැද පෙදෙසේ කොටස්වල ද පැවතිණ. ඉන්පසුව මේ ප්‍රදේශය [[ආර්ය චක්‍රවර්ති]]ගේ (බ.) බලය යටතට පත් විය. සිංහල රාජ්‍ය පාලන මධ්‍යස්ථානයන් නිරිත දිගට සංක්‍රමණය වත් ම මේ පෙදෙස් වනගත වන්නට පටන් ගැනිණ. තන්හි තන්හි වන්නිනායකයෝ ද බිහි වූහ. වන්නි රාජ්‍ය පිළිබඳව වංශකථාවල පළමුවරට සඳහන් වනුයේ 13 වැනි සියවස මැදභාගයට ආසන්න කාලයෙහි සිට බැවින් ඒවා බිහි වූයේ මේ සමයේ සිට යයි සිතිය හැකිය ([[වන්නි]] බ.). 16 වැනි සියවස වන විට වත්මන් උතුරු පළාත හා උතුරුමැද පළාත පිහිටි බිම් පෙදෙස වනපෙත් බවට පත් වෙමින් තිබිණ. 1521 දී සිදු වූ විජයබා කොල්ලයෙන් නොබෝ කලකට පසුව රජ වූ සීතාවක I වැනි රාජසිංහගේ ආධිපත්‍යය මේ පෙදෙස්හි ද පැවතිණ. 16 වැනි සියවසේ අවසාන කොටස වන විට [[උඩරට]] රාජ්‍යය (බ.) I වැනි විමලධර්මසූර්ය රජු යටතෙහි පැවති අතර වත්මන් උතුරුමැද පළාතෙහි ද ඔහුගේ බලය ව්‍යාප්තව තිබුණු බැව් මන්දාරම්පුර පුවත වැනි කෘතිවලින් පෙනේ. 1636 වැන්නෙහි II වැනි රාජසිංහ රජු පලියකාට්හි ලන්දේසි ආණ්ඩුකාරයාගෙන් ප්‍රතිකාල්වරුනට විරුද්ධව ආධාර ඉල්ලා යැවූ සන්දේශයෙහි තමා අඳුන්වන ඡේදයෙහි දක්වා ඇති පරිදි එතුමා අනුරාධපුරයේ සත්කෝරළයෙහි ද රජ පදවිය දැරීය.  
  
 
1658 දී ලන්දේසි ප්‍රතිකාල්වරුන් සතුව පැවති මන්නාරම හා යාපනේ වැනි බලකොටු අයත් කර ගැනීමෙන් පසු අනුරාධපුර, නුවරකලාවිය, තමන්කඩු ඈ ප්‍රදේශ හොඳට ම වල්බිහිව ගියේ වන. අනතුරුව 1815 දී ඉංග්‍රීසින් උඩරට රාජ්‍යය ඈඳා ගැනීමෙන් පසු මෙ පෙදෙස කලක් ම පාලනය වූයේ රෙසිදන්තවරයකු යටතේය. ඉක්බිති 1832 දී කෝල්බ්රුක් කොමිසම නිර්දේශ කළ අයුරු ලංකාව පළාත් පහකට බෙදන ලද නමුත් ප්‍රදේශ විශාල වීම නිසා දුෂ්කරතා ඇති විය. මේ නිසා විශාල පළාත් නැවත බෙදන ලදි. මෙලෙස පවත්නා 1873 සැප්තැම්බර් මස 6 වැනි දින දරන ප්‍රකාශනයෙන් විලියම් හෙන්රි ග්රැගරි ආණ්ඩුකාරතුමා උතුරු පළාතෙහි දකුණු කොටස වන නුවර කලාවිය ද නැගෙනහිර පළාතට අයත්ව තුබුණු තමන්කඩුව දිස්ත්‍රික්කය ද වයඹ පළාතට අයත්ව තුබුණු සත්කෝරළයේ දෙමළ හත්පත්තුව ද එකතු කොට උතුරු මධ්‍යම පළාත නමින් පළාතක් පිහිටුවිය. අනුරාධපුරය එහි ප්‍රධාන නගරය සේ එතැන් සිට සැලකිණ.
 
1658 දී ලන්දේසි ප්‍රතිකාල්වරුන් සතුව පැවති මන්නාරම හා යාපනේ වැනි බලකොටු අයත් කර ගැනීමෙන් පසු අනුරාධපුර, නුවරකලාවිය, තමන්කඩු ඈ ප්‍රදේශ හොඳට ම වල්බිහිව ගියේ වන. අනතුරුව 1815 දී ඉංග්‍රීසින් උඩරට රාජ්‍යය ඈඳා ගැනීමෙන් පසු මෙ පෙදෙස කලක් ම පාලනය වූයේ රෙසිදන්තවරයකු යටතේය. ඉක්බිති 1832 දී කෝල්බ්රුක් කොමිසම නිර්දේශ කළ අයුරු ලංකාව පළාත් පහකට බෙදන ලද නමුත් ප්‍රදේශ විශාල වීම නිසා දුෂ්කරතා ඇති විය. මේ නිසා විශාල පළාත් නැවත බෙදන ලදි. මෙලෙස පවත්නා 1873 සැප්තැම්බර් මස 6 වැනි දින දරන ප්‍රකාශනයෙන් විලියම් හෙන්රි ග්රැගරි ආණ්ඩුකාරතුමා උතුරු පළාතෙහි දකුණු කොටස වන නුවර කලාවිය ද නැගෙනහිර පළාතට අයත්ව තුබුණු තමන්කඩුව දිස්ත්‍රික්කය ද වයඹ පළාතට අයත්ව තුබුණු සත්කෝරළයේ දෙමළ හත්පත්තුව ද එකතු කොට උතුරු මධ්‍යම පළාත නමින් පළාතක් පිහිටුවිය. අනුරාධපුරය එහි ප්‍රධාන නගරය සේ එතැන් සිට සැලකිණ.

10:53, 2 ජනවාරි 2026 වන විට නවතම සංශෝධනය

සිංහල බෞද්ධ සංස්කෘතිය කුළුගැන්වුණු ස්වර්ණ යුගයන්හි ශ්‍රී විභූතිය කියාපානා, නටබුන්ව වනරොදින් හා පස්කඳුවලින් වැසී තිබී වත්මන් සැදැහැතියන් අතින් පිළිසකර වී ජීවමාන ස්වරූපයෙන් නැඟී සිටුනා තුඟු මහත් වෙහෙර විහාර දාගැප් මාළිග මන්දිරාදියෙන් හා නූතන ඉංජිනේරුවන් පවා විස්මය පත් කරවන පැරණි මහා වැව් කර්මාන්තයන්ගෙන් ද මුළු භූමිය ම වැසී ඇතැයි කිවයුතු තරම් වූ අනුරාධපුරය, පොළොන්නරුව වැනි පුරාණ සිංහල රාජධානි පිහිටා ඇති උතුරුමැද පළාත වූකලි ලොව පැරණිතම ඓතිහාසික වෘක්ෂරාජයාණන් වූ, බෞද්ධ ලෝකයේ අත්‍යන්තයෙන් පූජනීය වූ ශ්‍රී මහා බෝධිරාජයාණන් ද නිසා ආගමික, පුරාවිද්‍යාත්මක, ඓතිහාසික හා සංස්කෘතික වශයෙන් විශේෂ වැදගත්කමකින් යුත් භූමිභාගයකි.

වත්මන් මායිම්වලින් හිම් වූ උතුරුමැද පළාත එසේ බෙදා වෙන් කරන ලද්දේ 1873 දීය. නුවර කලාවිය හා තමන්කඩුව පෙදෙස් එක් කිරීමෙන් බ්‍රිතාන්‍ය පාලකයන් එසේ උතුරුමැද පළාත වෙන් කෙළේ පරිපාලන කටයුතු පහසුව තකාගෙනය.

විශාලකම හා මායිම්

ව.සැ. 4145.25ක් වූ මෙම පළාත වත්මන් ලංකාවේ පළාත් අතුරෙන් ඉතා ම විශාල පළාතයි. මෙයින් ව.සැ. 39ක් පමණ වැව් ආදි ජලාශයන්ගෙන් වැසී ඇත. උතුරින් උතුරු පළාතින් ද නැගෙනහිරින් නැගෙනහිර පළාතින් ද දකුණින් මධ්‍යම පළාතින් ද නිරිත හා බටහිර දිගින් වයඹ පළාතින් ද උතුරුමැද පළාත වට වී ඇත. අනුරාධපුරය, පොළොන්නරුව යන දිස්ත්‍රික්ක දෙකට මෙම පළාත බෙදා තිබේ. උතුරුමැද පළාතේ ප්‍රධාන නගරය අනුරාධපුරයයි. අනුරාධපුරය, මැදවච්චිය, හොරොව්පතාන, මිහින්තලේ, කලාවැව, කැකිරාව, මින්නේරිය හා පොළොන්නරුව මෙම පළාතේ පිහිටි ඡන්ද කොට්ඨාසයෝයි. අනුරාධපුර සංරක්ෂණ මණ්ඩලය මගින් එම සංරක්ෂණ කටයුතුවලට බාහිරව අනුරාධපුර පළාත් ආණ්ඩු සභාවේ බලතල ද ක්‍රියාවේ යොදවනු ලැබේ. පොළොන්නරුව සුළු නගරසභාවක් මඟින් පාලනය වේ. උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි ගම්සභා 23ක් ද පොළොන්නරු දිස්ත්‍රික්කයේ ගම්සභා 3ක් ද ඇත (1969). මෙම පළාතේ ඇති ආදායම් පාලක කොට්ඨාස 11න් 9ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද 2ක් පොළොන්නරු දිස්ත්‍රික්කයේ ද වේ.

භූගෝලීය වශයෙන් උතුරුමැද පළාත ලංකාවේ උතුරුදිග තැනිතලාව යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන ප්‍රදේශයෙහි පිහිටියේය. මාතලේ කඳුවල සිට රිටිගල (2,514’) දක්වා ද ගල්ඔය, අලුත්ඔය පෙදෙස් හරහා ඊසාන දිගට ත්‍රිකුණාමල බොක්කෙන් උතුරුදිග පෙදෙස දක්වා විහිදි කඳු ගැට පන්තිය ද හැර උතුරු පළාතේ සෙසු පෙදෙස් මුහුදු මට්ටමේ සිට අඩි 500කට වඩා උස් නොවේ. දිවයිනේ ව්‍යූහය ගැන සලකා බැලීමේ දී පහත් ම අඩතැන්න වශයෙන් ගැනෙන පෙදෙසට උතුරුමැද පළාත ද අයත් වේ. කාලාන්තරයක් මුළුල්ලේ අධික ඛාදනයට භාජන වූ ස්ඵටික පාෂාණ මණ්ඩලයක් මෙහි වේ. එම ඛාදනයට ඔරොත්තු දෙන ගල්කුළු සහිත කඳුගැට කීපයක් පමණක් අතරින් පතර දක්නට ලැබේ. භූවිද්‍යාත්මක වශයෙන් උතුරුමැද පළාතේ වයඹදිග ප්‍රදේශය විජයානු මණ්ඩලයේ වන්නි නයිස් (wanni gneiss), තෝනිගල ග්රැනිට් හා නයිස්, පෙග්මටයිට් ආදි පාෂාණයෙන් සැදුණේ වේ. පළාතේ ගිනිකොණ පෙදෙසෙහි හෙවත් පොළොන්නරු ප්‍රදේශයෙහි උස්බිම් පද්ධතියෙහි කොන්ඩලයිට් වර්ගයේ පාෂාණයෙන් සැදි හෙල්බිම් දක්නට ලැබේ.

වේවැල්කන්ද, මීගස්කන්ද, මින්නේරිකන්ද, බටුඔයකන්ද, මීගොල්ලකන්ද, මොරගහකන්ද, කඳුරකන්ද ආදි මුදුන්වලින් යුත් කඳුවැටිය මාතලේ උස්බිම්වල සිට පොළොන්නරු පෙදෙස හරහා ත්‍රිකුණාමලය දක්වා ම විහිදෙන නමුදු මෙය උතුරුමැද පළාතේ ප්‍රධාන ජලවහන පෙදෙස් වෙන් කරන දියබෙත්මක් නොවන්නේය. මිනිපේ සිට ත්‍රිකුණාමලය දක්වා මහවැලි ගං නිම්නය ගලනුයේ මෙම කඳුවැටියට දළ වශයෙන් නැගෙනහිර දිගිනි. එසේ වුව ද කිරිඔය, ගල්ඔය, අලුත්ඔය ආදි ඔයවල් කීපයක් ම මෙම කඳුවැටිය හරහා විත් මහවැලි ගඟට එක් වේ. නියම වශයෙන් ලේනව, සීගිරිය, හබරණ, කහටගස්හින්න, බෙල්ලන්කඩවල, ගල්සියඹලාහින්න හා මොරහින්න යන කඳුමුදුන් ඇතුළු උස්බිම්වල සිට ගිනිකොන හා නැගෙනහිර දිගට ගලන සියලු ම ජලමාර්ග මහවැලි නිම්නයට අයත් වන්නේය. නැගෙනහිර වෙරළින් මුහුදට වැටෙන යාන්ඔයේ හා මාඔයේ ප්‍රධාන අතු ගංගා උතුරුමැද පළාතේ ඊසාන දිග පෙදෙස්හි පිහිටියේය. ලංකාවේ වයඹදිග වෙරළින් මුහුදට වැටෙන මල්වතුඔය, මෝදරගම්ආරු, කලාඔය හා මීඔය ද උතුරුමැද පළාතේ ඉතා ම වැදගත් ගංගා වශයෙන් ගිණිය හැකිය.

දේශගුණ බෙදීම් අනුව උතුරුමැද පළාත මෙරට වියළි කලාපය යනුවෙන් ගැණෙන කොටසට වෙන් වේ. මෙම පළාතේ සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය පැ. 81°ක් පමණ වේ. එහෙත් අප්‍රේල්හි සිට සැප්තැම්බර් දක්වා වඩාත් උෂ්ණ කාලය වේ. මේ කාලය උතුරුමැද පළාතේ නියං කාලයයි. ඇළදොළ සිඳී ගස කොළ වියළී යන මේ කාලය ඉතා කටුකය. මෙම පළාතට වැසිපල ඇති වනුයේ ප්‍රධාන වශයෙන් ඊසාන දිග මෝසම් සුළඟිනි. ඔක්තෝබර් මාසයේ දී පමණ දිවයින පුරා ඇති වන සංවහන වර්ෂාවලින් ඇරඹෙන වැසි සමය ජනවාරි මාසය පමණ දක්වා පවතී.

අප්‍රේල් මාසයේ දී ද විශේෂයෙන් සංවහන වර්ෂා නිසා අඟල් 5-7ක් පමණ වර්ෂාව ලැබේ. වර්ෂාව ඉතා ම අඩු ජූනි මාසයේ දීය. ඔක්තෝබර්, නොවැම්බර් හා දෙසැම්බර් වැසිපල බහුල මාසය. ඊසාන දිග මෝසම් වර්ෂා පමණක් නොව අවපාත හේතුවෙන් ඇති වන වර්ෂා ද මෙම මාස්වල දී සමහර විට ලැබේ.

වෘක්ෂලතා හා සත්තු

ලංකාවේ නියම වියළි නිවර්තන කලාපීය ශාකයන් වූ බුරුත, පලු, වීර, හල්මිල්ල, කළුවර, දිවුල්, වෑවරණ, සියඹලා ආදිය මෙහි බහුල ශාකයෝය. මෙහි වැසි සමයේ දී වැඩියෙන් වැඩෙන ශාක නියං කාලයට ඔරොත්තු දෙනසුලුය. උතුරුමැද පළාතේ වනාන්තරයන්හි ලොකු ගස් යට එරමිණියා, ඉඳි ආදි කටුපඳුරු ඇත. ගං හෝ අද්දර කුඹුක් බහුලව වැඩේ. ලංකාවේ ආරක්ෂිත පැළෑටියක් වන වන්ඩා ටෙසලාටා (Vanda tessellata) ආදි උඩවැඩියා වර්ග ද මෙම වනාන්තරයන්හි ඇත.

උතුරුමැද පළාතේ ජනාවාසවලින් ඈත් වූ වනපෙත් අධික බැවින් එහි වනසත්තු බහුලය. වනසත්ව ආරක්ෂාව සඳහා වූ විල්පත්තු ජාතික අභයභූමිය හා රිටිගල ප්‍රත්‍යාරක්ෂිත ස්වාභාවික භුමිය ද මෙම පළාතේ කොටස්ය. ලංකාවේ වියළි කලාපීය වනාන්තරයන්හි බහුල වඳුරු, රිළා, ගෝන, මුව, කුළුමී, වල්ඌරු ආදි සත්තු මෙහි කැළෑවල ද වෙසෙත්. තමන්කඩුව පෙදෙසේ මහවැලි ගඟ ආශ්‍රිත විල්ලු පෙදෙස්හි වල්අලි රංචු වඩාත් බහුලව ගැවසෙත්. විල්පත්තුව අලි, වලස්, ගෝන, මුව ආදි සතුන්ගෙන් ගහන පෙදෙසකි.

උතුරුමැද පළාතේ වැව් බොහෝය. විශේෂයෙන් ම නියං සමයේ දී මෙම වැව් අවට පෙදෙස්වල නොයෙකුත් වර්ගයේ කුරුල්ලන් දැකගත හැකි වේ. ඊසාන දිග මෝසම් වැසි සමය ආසියා මහාද්වීපික පෙදෙස්වලින් පැමිණෙන සංචාරක පක්ෂීන් බහුල කාලය වේ. මේ නිසා උතුරුමැද පළාතේ ගැවසෙන පක්ෂි වර්ගයෝ බොහෝ වෙත්. ලංකාවේ සාමාන්‍යයෙන් දක්නට ඇති මලිති, බටිති, ගිරා, කොබෙයි ආදි කුරුල්ලන් හැර ලිහිණි, සේරු, තාරා, වලිකුකුළු, වටු ආදීන් හා නොයෙකුත් වර්ගවල කොක්කු විශේෂයෙන් ම මෙහි වැව් අවට වෙසෙත්.

ජලසම්පාදනය

අවුරුදු පතා දැඩි නියඟයට ලක් වන උතුරුමැද පළාතේ ගොවිතැන් කටයුතු කෘත්‍රිම ජල සම්පාදන හා වාරිමාර්ග පද්ධතියක් කෙරෙහි රැඳී පැවැත්ම අනිවාර්‍ය්‍යය. රජරට රාජධානියෙහි පටන්ගැන්මේ සිට අද දක්වා ම එහි ගොවිතැන් කටයුතුවලට පදනම් වූ වැව් අමුණු උතුරුමැද පළාතේ අස්සක් මුල්ලක් නෑර ඇති සේය. නවීන විද්‍යාඥයන් මවිත කරවන අයුරින් පැරැන්නන් විසින් නිර්මිත විශාල වැව් අමුණු හා වාරිමාර්ග සමහරක් ශතවර්ෂ කීපයක් මුළුල්ලේ නොකඩවා ප්‍රයෝජනයට ගත් ඒවාය. අනුරාධපුර හා පොළොන්නරු රාජධානිවල අභාවයත් සමඟ මෙම පෙදෙස්හි ජනාවාස හීන වූයෙන් පැරණි වැව් හා ඇළමාර්ග ද වනබත්ව අභාවයට පත් වී ගියේය. ක්‍රි.ව. 19 වැනි ශතවර්ෂයේ දී බ්‍රිතාන්‍ය පාලකයන්ගේ උද්‍යෝගය නිසා මෙම මහා වාරිකර්මාන්තයන් ප්‍රකෘතිමත් කිරීම ආරම්භ විය. මල්වතුඔය, මෝදරගම්ආරු, කලාඔය, මාඔය, යාන්ඔය, කවුඩුලුඔය, අලුත්ඔය හා මහවැලිගඟ උතුරුමැද පළාතේ වාරි කර්මාන්තයන්ට ආදියෙහි සිට ම පදනම් වී ඇති ස්වාභාවික ජලමාර්ගයෝය. උතුරුමැද පළාතේ ප්‍රධාන වැව් හා ඒවායේ ධාරිතාව පහත දැක්වේ.

වැව සහ ධාරිතාව (අක්කර අඩි)

ගිරිතලේ වැව - 17,500

කලා වැව - 72,678

මහඉලුප්පල්ලම වැව - 4,276

කට්ටියාව වැව - 2,740

මැදවච්චිය වැව - 835

මින්නේරිය වැව - 110,000

බසවක්කුලම වැව - 1,640

නච්චදූව වැව - 45,148

තිසා වැව - 2,500

නුවර වැව - 36,049

සංගිලි කනදරාව - 3,140

පරාක්‍රම සමුද්‍රය - 83,000

හුරුළු වැව - 55,000

මහවිලච්චිය -

පදවිය වැව -

කවුඩුල්ල -

මහකනදරාව -

වාහල්කඩ වැව -

ආර්ථික කටයුතු

රජරට රාජධානියෙහි වැටීමත් සමඟ ම උතුරුමැද පළාත පිහිටි පෙදෙස සම්පූර්ණ වශයෙන් ම පාහේ වනබත් විය. දරුණු නියං, මහා ජලගැලීම් ආදි ස්වාභාවික දුෂ්කරතාවන්ට මුහුණපාමින් හුදකලා ගම්මානයන්හි විසූ දුප්පත් ජනයා මැලේරියාව ආදි රෝගයන්ට ගොදුරු වූහ. විසිවැනි ශතවර්ෂය ආරම්භ වන විට උතුරුමැද පළාත තරම් ජනාවාසයට අහිතකර වූ අන් පෙදෙසක් ලංකාවේ නොවූ තරම් විය. පළමුවැනි ලෝක යුද්ධයත් සමග ඇති වූ ආහාර හිඟය ආදි හේතූන් නිසා උතුරුමැද පළාත වැනි පෙදෙස්හි කෘෂිකර්මය දියුණු කිරීමේ අවශ්‍යතාව දැනෙන්නට විය. එමෙන් ම ජනාකීර්ණ පෙදෙස්වල තදබදය විසඳීම උදෙසා ජනශුන්‍ය මෙම ප්‍රදේශයන්හි ජනයා ව්‍යාප්ත කරවීමේ අවශ්‍යතාවක් ද විය. මේ ආදි හේතූන් නිසා විසිවැනි සියවස මුල් භාගයේ දී කෘෂිකර්මය, වාරිමාර්ග හා ඉඩම් සංවර්ධනය, ග්‍රාම සංවර්ධනය, ගෘහකර්මාන්ත හා ජනපද පිහිටුවීම, සෞඛ්‍යය ආදි කටයුතු භාර දෙපාර්තමේන්තු සියල්ලක් ම පාහේ උතුරුමැද පළාත නඟා සිටුවීමේ පරමාර්ථයෙන් කටයුතු කරන්නට විය. මැලේරියා මර්දන ව්‍යාපාරය සාර්ථක වීම පළාතේ දියුණුවට උපස්තම්භක විය. පැරණි වැව් හා වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කර ඒ ආශ්‍රිතව ගොවිජනපද පිහිටුවීම පළාතේ ගොවිතැන් කටයුතු දියුණු කිරීමට මෙන් ම ජනාවාස ඇති කරලීමට ද මාර්ගයක් විය. 1915 පමණේ සිට උතුරුමැද පළාත ඇතුළු වියළි කලාපයේ ජනපද පිහිටුවීම ආරම්භ වූ නමුදු 1946 ලංකාවේ නිදහස් රජයක් පිහිටුවීමෙන් පසුව ජනපද පිහිටුවීමේ කටයුතු ඉතා ශීඝ්‍රයෙන් සිදු විය.

උතුරුමැද පළාත ප්‍රධාන වශයෙන් වී ගොවිතැන ඉතා දියුණු ප්‍රදේශයකි. මෙහි දේශගුණය ඝර්ම කලාපීය ධාන්‍ය වගාව සඳහා බොහෝ දුරට යෝග්‍යය. විශේෂයෙන් ම මඩ ගොවිතැන් සඳහා වර්ෂා ජලය ප්‍රමාණවත් නොවන හෙයින් ජලසම්පාදනය අත්‍යවශ්‍ය වේ. මඩ ගොවිතැන්වලට අමතරව හේන්වල ඇල්වී වගාව ද මෙම පළාතේ දියුණුය. 1964 සංඛ්‍යාලේඛන අනුව මෙහි යල මහ කන්නයේ දී වගා කළ හැකි බිම් ප්‍රමාණය මෙසේය.

ප්‍රදේශය සහ ඉඩම් ප්‍රමාණය අක්කර (මහ සහ යල)

අනුරාධපුර දිස්ත්‍රික්කය...................... 92,277......... 38,281

පොළොන්නරු දිස්ත්‍රික්කය................51,706...........43,018

උතුරුමැද පළාත...........................143,983........... 81,299

වියළි කාලයේ දී කැළෑ කපා පුලුස්සාගන්නා හේන්වල ඇල්වී, කුරක්කන්, තල, මෙනේරි, ඉරිඟු, මුං ආදි ධාන්‍ය වර්ග ද මිරිස් ආදිය හා වියළි කලාපීය එළවළු වර්ග ද වගා කරනු ලැබේ. ජනපද ව්‍යාපාර ක්‍රමය යටතේ ගොවීන්ට බෙදා දෙන ලද ගොඩ ඉඩම්වල ද හේන්වල වගාකරන බෝග වගා කරනු ලැබේ. එහෙත් හේන් ගොවියා මෙන් වරක් වගා කරන ලද බිම් අත්හැර අලුත් ගොවිබිම් සෙවීමක් ජනපද ගොවියා නොකරයි. තවද හේන්වල මෙන් කෙටිකාල බෝග පමණක් නොව දෙහි, දොඩම් ආදි බහුවාර්ෂික බෝග ද ජනපද ගොවියා වගාකරයි.

1963-64 සංඛ්‍යා ලේඛන අනුව එම වර්ෂයේ දී උතුරුමැද පළාතේ ආහාර බෝගවර්ග සඳහා යොදවන ලද ගොඩ ඉඩම් ප්‍රමාණය හා අස්වැන්න මෙසේය:

උතුරුමැද පළාතේ රජයේ කෘෂිකාර්මික සංවිධාන කීපයක් ම ඇත. අනුරාධපුරයේ බිත්තර වී ආයතනය, මහඉලුප්පලමෙහි වියළි කලාපීය කෘෂිකර්ම පර්යේෂණ ආයතනය හා පාසල් ගොවිපළ අ/මල්වත්ත කෘෂිකර්ම ආයතනය, අ/යක්කල කපු වගාව පිළිබඳ මග පෙන්වීමේ මධ්‍යස්ථානය, හිඟුරක්ගොඩ කෘෂිකර්ම ආයතනය, පොළොන්නරුවේ කෘෂිකර්ම ආයතනය හා මධ්‍යම සත්ව පර්යේෂණායතනය ද තමන්කඩුව ව්‍යාපාරය ද උතුරුමැද පළාතේ රජයේ කෘෂිකාර්මික හා සත්වපාලන මධ්‍යස්ථාන වේ. ඒ ඒ ස්ථානයෙහි තිබෙන පහසුකම් අනුව බිත්තර වී නිෂ්පාදනය, වියළි කලාපයට අවශ්‍ය බීජ සහ පැළ නිෂ්පාදනය හා බෙදා හැරීම, අතිරේක ආහාර බෝග, තෘණ වර්ග හා වෙනත් සත්වාහාර, කෙඳි වර්ග ආදිය පිළිබඳව පර්යේෂණ පැවැත්වීම හා ඒවා වගා කිරීම, විශේෂයෙන් ම ගවයන්, එළුවන් හා කුකුළන් ඇතිකිරීම ආදිය මෙම කෘෂිකාර්මික හා සත්ව පාලන මධ්‍යස්ථානයන්ගෙන් ඉටු වන කාර්යයෝය.

උතුරුමැද පළාතේ සාමාන්‍ය ගොවිජනයා විසින් හුදෙක් කෘෂිකාර්මික කටයුතුවලට උපයෝගී කරගැන්ම උදෙසා එළ හා මී හරක් ඇති කරනු ලැබෙත්. ගොවි කටයුතු සඳහා ට්‍රැක්ටර ආදි යන්ත්‍රෝපකරණ යෙදවීම ක්‍රමයෙන් වඩාත් ජනප්‍රිය වී ඇති හෙයින් ගොවි කටයුතු සඳහා වුව ද ගවයන් ඇතිකිරීම අඩු වේගෙන යේ. තමන්කඩුව කවදත් සිංහල ගවයන් ගැන ප්‍රසිද්ධියක් උසුලයි. මෙහි සින්ඩ්, සින්ඩ්×ජ'සි, ජ'සි×සිංහල යන හරක් වර්ග ද මීහරක් ද ඇති කරනු ලැබෙත්. පොළොන්නරුවෙහි මෙම දෙමුහුන් ගවවර්ග හා තර්පකාර් ගවයන් ද මහඉලුප්පලමෙහි විශේෂයෙන් ෂාහිවල් ගවයන් ද ඇති කරනු පෙනේ.

උතුරුමැද පළාතේ වැවිලි අතුරෙහි වගාවක් වශයෙන් වැදගත් වනුයේ පොල් වගාව පමණි. අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි පොල් අක්කර 13,273ක් ද පොළොන්නරු දිස්ත්‍රික්කයෙහි 6,809ක් ද ඇත. ජනපද ව්‍යාපාර යටතේ ගොවීන්ට බෙදා දෙන ගොඩ ඉඩම්වල හා මධ්‍යම පන්තියේ ජනයා අතර බෙදා දෙන ලොකු ඉඩම්වල බොහෝ කොටස් පොල් වගාව සඳහා යොදවනු ලැබේ.

කර්මාන්තයන්ට අමුද්‍රව්‍ය වශයෙන් රජයේ අනුග්‍රහය ඇතිව උතුරුමැද පළාතේ වගා කෙරෙන බෝග අතුරෙහි කන්තලේහි උක් හා අනුරාධපුරයේ කපු සඳහන් කළ හැකිය.

මෙම පළාතේ වනාන්තරවලින් අගනා දැව වර්ග රාශියක් රැස් කරගනු ලැබේ. රජයේ කැළෑ අක්කර (1952) 2,561,280ක් පමණ උතුරුමැද පළාතේ ඇත. දුම්රිය පාරවල් සඳහා අවශ්‍ය සිල්පර කොටන් ආදිය ද වෙනත් රජයේ අවශ්‍යතාවන් සඳහා දැව ද මෙම වනාන්තරවලින් රැස් කරගනු ලැබේ. අලුත්ඔය නම් ස්ථානයේ කැළෑ දෙපාර්තමේන්තුවේ විශාල ලී ගබඩාවක් ඇත. බුරුත, නැදුන්, මිල්ල, හල්මිල්ල, පලු, කළුවර, මහොගනි, හොර ආදි දැව වර්ග රාශියක් ද වේවැල් ආදිය ද මෙම වනාන්තරවලින් රැස් කරගනු ලැබේ.

පොළොන්නරුවෙහි උකුකිරි කර්මාන්ත ශාලාව හැර අන් නවීන කම්හල් උතුරුමැද පළාතේ නැත.

ජනගහනය

විසිවැනි සියවස ආරම්භයේ දී උතුරුමැද පළාතේ ජනසංඛ්‍යාව 79,110ක් (1901) පමණ විය. 1953 දී 229,282ක් පමණ වූ මෙහි ජනසංඛ්‍යාව 1963 වන විට 394,000ක් පමණ විය. උත්පත්ති වැඩිවීම හා මරණ අඩුවීම ආදි හේතුවලට වැඩියෙන්, ජනගහනයේ නැඟීම කෙරෙහි බලපා ඇත්තේ පිට පළාත්වලින් ජනයා සංක්‍රමණය වීම බව පෙනේ. කෘෂිකාර්මික කටයුතු දියුණු කිරීමට ක්‍රම සැලසීම ද ජනපද ව්‍යාපාර ආදිය මගින් ජනයා මෙහි පදිංචි කරවීමට රජය උනන්දු වීම ද විශේෂයෙන් ම මැලේරියා මර්දන ව්‍යාපාරය සාර්ථක වීම ද උතුරුමැද පළාතේ ජනගහනයේ නැඟීමට රුකුල් වූ හේතුය.

1953 සංඛ්‍යා ලේඛනය අනුව උතුරුමැද පළාතේ ජනගහනයෙන් 66.4%ක් පමණ උඩරට සිංහලයෝ ද 16·9%ක් පහතරට සිංහලයෝ ද වෙත්. 8·1%ක් පමණ ලංකා යෝනක ජනයා වන අතර ලංකා දෙමළ ජනසංඛ්‍යාව 6%ක් පමණ වේ. ඉන්දියානු දෙමළ 1·5%ක් පමණ ද ඉන්දියානු යෝනක 0·5%ක් පමණ ද වේ. ලංසි හා යුරේසියානු ජනයා 0.2%ක් පමණ බව ද මැලේ හා වැදි ජනයා 0.1% පමණ බැගින් වන බව ද මෙම සංඛ්‍යා ලේඛනයෙහි වාර්තා වේ.

ලංකාවේ සෑම පළාතක ම මෙන් මෙහි ද අකුරු උගත් ජනයා ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බව සංඛ්‍යා ලේඛන අනුව පෙනේ. 1921 දී පළාතේ අකුරු උගත් ජනසංඛ්‍යාව 33.8%ක් වූ අතර 1946 වන විට 51.6% දක්වා ද 1953 වන විට 63.5% දක්වා ද වැඩි විය. 1963 දී උතුරුමැද පළාතේ පාසැල් 525ක් විය. මෙයින් 412ක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි ද 104ක් පොළොන්නරු දිස්ත්‍රික්කයෙහි ද විය.

ප්‍රවාහණය

උතුරුමැද පළාතේ ප්‍රසිද්ධ මාර්ග සැතපුම් (1964) 1,472ක් පමණ ඇත. කුරුණෑගල සිට දඹුල්ල හරහා ත්‍රිකුණාමලය දක්වා ද (A6) මහනුවර සිට අනුරාධපුරය හරහා යාපනය දක්වා ද (A9) මරදන්කඩවල සිට හබරණ හරහා වාලච්චේන පාර දක්වා ද (A11) පුත්තලමේ සිට අනුරාධපුරය හරහා ත්‍රිකුණාමලය දක්වා ද (A12), ගල්කුලමේ සිට අනුරාධපුරය දක්වා (A13) මැදවච්චියේ සිට තලේමන්නාරම් පාර දක්වා ද (A14) අනුරාධපුරයේ සිට රම්බෑව පාර දක්වා ද (A20) වූ ප්‍රධාන මාර්ග උතුරුමැද පළාත ඔස්සේ වැටී ඇත. දළ වශයෙන් උතුරු දුම්රිය මාර්ගයේ තඹුත්තේගම සිට මැදවච්චිය දක්වා කොටස ද මඩකලපු හා ත්‍රිකුණාමල දුම්රිය මාර්ග ද්වයෙහි පිළිවෙළින් මොරගොල්ලාගම සිට වැලිකන්ද දක්වා හා ගල්ඔය හන්දියේ සිට අග්බෝපුර දක්වා කොටස් ද තලේමන්නාරම් දුම්රිය මාර්ගයේ මැදවච්චියේ සිට නෙරියකුලම් දක්වා කොටස ද මෙම පළාත ඔස්සේ වැටී ඇත. ත්‍රිකුණාමල හා මඩකලපු දුම්රිය මාර්ගයන් මෙම පළාතට වඩාත් ප්‍රයෝජන වනුයේ බඩුබාහිරාදිය එහා මෙහා ගෙනයාමටය. ලංකාවේ ඉතා ම වැදගත් බෞද්ධ පූජනීය නගරයක් වන අනුරාධපුරය කරා විශේෂයෙන් ම වෙසක්, පොසොන් වන්දනා කාලයන්හි දී ඇදෙන මහජනකායට උතුරුදිග දුම්රිය මාර්ගයෙන් විශේෂ පහසුකම් සැලසේ. අනුරාධපුර දුම්රිය ස්ථානය ද වන්දනා සමයන්හි දී අධික මගීන් සංඛ්‍යාවකට පහසුකම් සපයන අයුරින් විශේෂයෙන් සැලසුම් කරන ලද ප්‍රධාන පෙළේ දුම්රිය ස්ථානයකි. වෙසක් පොසොන් වන්දනා කාලය අනුරාධපුරයට පමණක් නොව ඓතිහාසික හා සංස්කෘතික වශයෙන් වැදගත් වූ පූජනීය හා පුරාවිද්‍යාත්මක ස්ථානයන් ඉතා සුලබව පිහිටි මුළු උතුරුමැද පළාතට ම දිවයිනේ නන් දෙසින් ජනයා ඇදෙන කාලය යැයි කිව හැකිය. ලංකා ගමනා ගමන මණ්ඩලය මඟින් ද වන්දනා සමයන්හි දී දෛනික සේවාවන්ට අමතරව සේවා පහසුකම් සපයනු ලැබේ.

මෙම පළාතේ කුඩා ගුවන් තොටුපළවල් දෙකක් ඇත; හිඟුරක්ගොඩ හා අනුරාධපුරයෙහිය. ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මධ්‍යම තරංග ශ්‍රවණ පහසුකම් කොළඹින් ඈත පෙදෙස්වලට ද සැපයීම උදෙසා වූ විකාශන මධ්‍යස්ථානයක් ද අනුරාධපුරයෙහි ඇත.

ඉතිහාසය

සියවස් ගණනාවක් මුළුල්ලෙහි සිංහල ශිෂ්ටාචාරයෙහි කේන්ද්‍රස්ථානය වූයේ ලංකාවේ උතුරු මැද පෙදෙසේ වූ වියළි කලාපයයි. එහි පිහිටි පුරාතන අගනුවරවල් වූ අනුරාධපුරය (බ.) හා පොළොන්නරුව (බ.) යන මධ්‍යස්ථානවලින් ඒ ඒ කාලවල දී ලංකාව පාලනය විය.

ක්‍රි.ව. 1215 දී පමණ සිදු වූ කාලිංග මාඝගේ (බ.) ආක්‍රමණයත් සමඟ ම සිංහල රාජ්‍ය පාලන මධ්‍යස්ථානය වශයෙන් මෙම පෙදෙසෙහි පැවති වටිනාකම පිරිහී ගිය බව පෙනේ. මාඝගේ බලය උතුරුමැද පෙදෙසේ කොටස්වල ද පැවතිණ. ඉන්පසුව මේ ප්‍රදේශය ආර්ය චක්‍රවර්තිගේ (බ.) බලය යටතට පත් විය. සිංහල රාජ්‍ය පාලන මධ්‍යස්ථානයන් නිරිත දිගට සංක්‍රමණය වත් ම මේ පෙදෙස් වනගත වන්නට පටන් ගැනිණ. තන්හි තන්හි වන්නිනායකයෝ ද බිහි වූහ. වන්නි රාජ්‍ය පිළිබඳව වංශකථාවල පළමුවරට සඳහන් වනුයේ 13 වැනි සියවස මැදභාගයට ආසන්න කාලයෙහි සිට බැවින් ඒවා බිහි වූයේ මේ සමයේ සිට යයි සිතිය හැකිය (වන්නි බ.). 16 වැනි සියවස වන විට වත්මන් උතුරු පළාත හා උතුරුමැද පළාත පිහිටි බිම් පෙදෙස වනපෙත් බවට පත් වෙමින් තිබිණ. 1521 දී සිදු වූ විජයබා කොල්ලයෙන් නොබෝ කලකට පසුව රජ වූ සීතාවක I වැනි රාජසිංහගේ ආධිපත්‍යය මේ පෙදෙස්හි ද පැවතිණ. 16 වැනි සියවසේ අවසාන කොටස වන විට උඩරට රාජ්‍යය (බ.) I වැනි විමලධර්මසූර්ය රජු යටතෙහි පැවති අතර වත්මන් උතුරුමැද පළාතෙහි ද ඔහුගේ බලය ව්‍යාප්තව තිබුණු බැව් මන්දාරම්පුර පුවත වැනි කෘතිවලින් පෙනේ. 1636 වැන්නෙහි II වැනි රාජසිංහ රජු පලියකාට්හි ලන්දේසි ආණ්ඩුකාරයාගෙන් ප්‍රතිකාල්වරුනට විරුද්ධව ආධාර ඉල්ලා යැවූ සන්දේශයෙහි තමා අඳුන්වන ඡේදයෙහි දක්වා ඇති පරිදි එතුමා අනුරාධපුරයේ සත්කෝරළයෙහි ද රජ පදවිය දැරීය.

1658 දී ලන්දේසි ප්‍රතිකාල්වරුන් සතුව පැවති මන්නාරම හා යාපනේ වැනි බලකොටු අයත් කර ගැනීමෙන් පසු අනුරාධපුර, නුවරකලාවිය, තමන්කඩු ඈ ප්‍රදේශ හොඳට ම වල්බිහිව ගියේ වන. අනතුරුව 1815 දී ඉංග්‍රීසින් උඩරට රාජ්‍යය ඈඳා ගැනීමෙන් පසු මෙ පෙදෙස කලක් ම පාලනය වූයේ රෙසිදන්තවරයකු යටතේය. ඉක්බිති 1832 දී කෝල්බ්රුක් කොමිසම නිර්දේශ කළ අයුරු ලංකාව පළාත් පහකට බෙදන ලද නමුත් ප්‍රදේශ විශාල වීම නිසා දුෂ්කරතා ඇති විය. මේ නිසා විශාල පළාත් නැවත බෙදන ලදි. මෙලෙස පවත්නා 1873 සැප්තැම්බර් මස 6 වැනි දින දරන ප්‍රකාශනයෙන් විලියම් හෙන්රි ග්රැගරි ආණ්ඩුකාරතුමා උතුරු පළාතෙහි දකුණු කොටස වන නුවර කලාවිය ද නැගෙනහිර පළාතට අයත්ව තුබුණු තමන්කඩුව දිස්ත්‍රික්කය ද වයඹ පළාතට අයත්ව තුබුණු සත්කෝරළයේ දෙමළ හත්පත්තුව ද එකතු කොට උතුරු මධ්‍යම පළාත නමින් පළාතක් පිහිටුවිය. අනුරාධපුරය එහි ප්‍රධාන නගරය සේ එතැන් සිට සැලකිණ.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උතුරුමැද_පළාත&oldid=9812" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි