අනුරාධපුරය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ක්‍රි.පූ.4 වැනි සියවසෙහි පටන් ක්‍රි.ව.11 වැනි සියවස පමණ දක්වා ලංකාවේ ප්‍රධාන රාජධානිය වූ අනුරාධපුරය දිවයිනේ ඉතාම වැදගත් ඓතිහාසික නගරයයි. පළමුවන වරට ලංකාවෙහි බුදුසස්න පිහිටුවන ලද්දේ අනුරාධපුරයෙහි බැවින් එය දිවයිනේ ප්‍රධාන පූජනීය නගරය ද වේ.

නැගෙනහිර දේශාන්තර 800.24´ හා උත්තර අක්ෂභාග 80.21´ ආශ්‍රිතව ලංකාවේ උතුරුදිග තැනිතලාවෙහි මල්වතු ඔය බඩ පිහිටි මේ නගරය මුහුදු මට්ටමේ සිට සාමාන්‍යයෙන් අඩි 295ක් පමණ උසය. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය 57˝කි. සාමාන්‍ය වාර්ෂික උෂණත්වය පැ.81කි. අනුරාධපුරය වියළි කලාපයේ ප්‍රධාන කාලගුණ පර්යේෂණ මධ්‍යස්ථානයක් ද වේ.

පළාත් ආණ්ඩු සභාවක් මගින් පාලනය වන මේ නගරය වර්ග සැතපුම් 9¼ ක් විශාලය. මෙහි ජනගහනය 18,431කි (1953). නුවරවැව (බ.) තිසාවැව (බ.) සහ බසවක්කුලම්වැව (අභය වැව බ.) අනුරාධපුර නගරයෙහි පිහිටි වැව්ය. මල්වතු ඔය ද නගරයේ ජලසම්පාදනයට බෙහෙවින් උපකාරී වේ.

1874හි පටන් අනුරාධපුරය උතුරු මැද පළාතේ අගනුවරයි. කොළඹ සිට අනුරාධපුරයට දුර සැතපුම් 127½කි. මහනුවර සිට (දඹුල්ල හරහා) සැතපුම් 85½කි. දහනවවැනි ශතවර්ෂයේ අගහරියේ දී පුරාවස්තු පරීක්ෂණ සහ වැව් අමුණු ප්‍රතිසංස්කරණ ඇරඹීමෙන් පසු අනුරාධපුරය නව මුහුණුවරකින් දියුණු වන්නට විය. ඒ කාලයේ දී අනුරාධපුරයෙහි දුම්රිය නැවතුම්පළක් ද ඉදිකරන ලදි.

පෞරාණික අනුරාධපුර නගරයේ පුරාවස්තු ආරක්ෂා කරගැනීමත් පූජනීය නගරයක් වශයෙන් එහි ශුද්ධත්වය රැකගැනීමත් උදෙසා නිවාස, විදුහල්, වෙළඳපළවල්, අන්‍යාගමික ගොඩනැඟිලි ආදිය ශුද්ධ නගරයෙන් ඉවත් කොට නවීන නාගරික උවමනාවන් පිරිමසාලන නව නගරයක් මල්වතු ඔයේ නැගෙනහිර ඉවුරෙහි ගොඩනඟා තිබේ.

ලංකාවේ ශ්‍රේෂ්ඨතම පූජනීය බෞද්ධ නගරය වූ අනුරාධපුරයෙහි පැරණි සිංහල නරපතීන් විසින් ඉදිකරන ලද බෞද්ධ සිද්ධස්ථාන අතුරෙන් අභයගිරිය, ඉසුරුමුණිය, කිරිබත්වෙහෙර, ජේතවනය, ථූපාරාමය, දක්ෂණ විහාරය, දළදා මාළිගය (පැරණි), නඛා වෙහෙර, පාචීනතිස්ස පබ්බත විහාරය, මිරිසවැටිය, මහාබෝධි විහාරය, රුවන්වැලිසෑය, ලංකාරාමය, ලෝවාමහාපාය, විජයාරාමය, වෙස්සගිරිය, සංඝමිත්තාචේතිය, සිලා චෙතිය යනාදිය ප්‍රතිසංස්කරණය කරනු ලැබ හෝ නෂ්ටාවශිෂ්ටව තවමත් පවතී. ලෝකයේ ඇති ඉතා ම ශාන්ත වූ ශෛලමය සමාධි පිළිමය හැටියට ජගත් කීර්තියක් උසුලන ශ්‍රෙෂ්ඨ කලා කෘතිය ද, ලොව පුරාණතම ඓතිහාසික වාක්ෂය හැටියට පිළිගනු ලබන ශ්‍රී මහා බෝධීන්වහන්සේ ද ඇත්තේ අනුරාධපුරයෙහිය. ඉහත සඳහන් පූජනීය ස්ථානයන් දැක වැඳපුදාගැනීම පිණිස පොසොන් සමයේ දී අනුරාධපුරයට දිවයිනේ සෑම පළාත්වලින් ම ඇදී එන ලක්ෂසංඛ්‍යාත වන්දනාකරුවන් නිසා අවුරුදු පතා එම කාලයේ දී අනුරාධපුර ශුද්ධනගරය උත්සවශ්‍රියක් උසුලයි.

(අනුරාධපුර දිස්ත්‍රික්කය; ලංකාව-ඉතිහාසය; ලංකාව-පුරා විද්‍යාව; සිංහල සාහිත්‍යය; වැව් කර්මාන්තය යන ලිපි ද බලන්න. අනුරාධපුරයේ සිද්ධස්ථාන පිළිබඳව මේ විශ්ව කෝෂයෙහි වෙන වෙන ම ලිපි පළවේ. අනුරාධපුරයෙහි රජකළ රජවරුන් ගැන ද වෙන් වශයෙන් ලිපි ඇතුළත් වේ.)

කර්තෘ:(කාර්‍ය්‍යාලය)

ඉතිහාසය

F-16.jpg
අනුරාධපුරය වැදගත් ස්ථානයක් සේ සලකනු ලබන්නේ එහි දැනට පවත්නා තත්වය නිසා නොව අවුරුදු 1,500ක් පමණ කාලයක් සිංහල නරපතීන්ගේ රාජධානිය හැටියට එය පැවති නිසාත් ඒ කාලයේ දී එහි ගොඩනඟන ලද නොයෙක් සිද්ධස්ථාන තවමත් බෞද්ධයන් ඉතා භක්තියෙන් සලකන නිසාත්ය. සිංහලයකු තමාගේ ජාතියේ අතීත ඉතිහාසය ගැන සිතන විට පළමුවෙන් ම සිහියට එන්නේ අනුරාධපුරයයි. එමෙන් ම සිංහල බෞද්ධයකුට අනුරාධපුරයේ සිද්ධස්ථාන පිළිබඳ මහිමය කුඩා කාලයේ දී පටන් ම වැඩිහිටියන්ගෙන් අසන්නට ලැබේ. මේ හේතුකොටගෙන අනුරාධපුරයේ ඉහත දී පැවැති ශ්‍රී විභූතිය අතිශයෝක්තියෙන් දක්වන වාර්තා මීට අවුරුදු සිය ගණනකට ඉහත සිට ජනයා අතර පැවැතී ගෙන අවුත් තවමත් ප්‍රකටව පවතී. මෙබඳු එක් විස්තරයක් ගම්පොළ රාජධානි කාලයේ දී ලියූ සද්ධර්මාලංකාරයේ දැක්වේ.

එය මෙසේය:

“මෙසේ ශාසනභාරධාරණාදී වූ අනේක ප්‍රකාරයෙන් සකලදීපදීපායමාන වූ මේ ශ්‍රී ලංකාද්වීපයෙහි කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම යන සතර බුදුන්ගේ ධාතුප්‍රතිෂ්ඨාවෙන් පවිත්‍ර වූ නොයෙක් සිය දහස් ලක්ෂ ගණන් රහතන්ගේ නිරන්තර සඤ්චාරයෙන් හා දහගබ් මහබෝ සුළුපා මහපා සක්මන් මණ්ඩප රත්පත් පඞ්ක්තීන් ගැවැසී ගත්තාවූ අතිපවිත්‍ර භූමි ප්‍රදේශයෙහි පිහිටියා වූ ඉතා සිතකලු වූ යට කියන ලද ඒ අනුරාධපුර නම් නුවර එකලට පෘථිවිතල නමැති කාන්තාවගේ සරහා පිළියෙළ කරන ලද අතිමනෝඥ වූ මුඛමණ්ඩලයක් වැන්න. තවද ඒ රාජධානියෙහි ශ්‍රී සමෘද්ධිය දක්නා සඳහා නාගභවනයෙන් දිව අවුත් පෙළ පෙළ සෑදී හොත්තා වූ හැළිනාග රාජයන්ගේ දරණ වැළ පඞ්ක්තියක් මෙන් සුනුයමින් ධවලවූ හාත්පසින් වට කරන ලද ඉතා උස් වූ ප්‍රාකාර පඞ්ක්තීන් හා ඒ ඒ තන්හි විචිත්‍රාකාරයෙන් සරහා කරන ලද වහසල් දොරටු අට්ටාල වටවෙට්ටමින් ප්‍රතිමණ්ඩිත විය. ශ්‍රද්ධා සම්පන්න වූ දිව්‍ය මනුෂ්‍යයන් විසින් නිරතුරුව කරන ලද පූජා සත්කාර ඇති කෛලාසකූට ශිඛරයක් සේ අතිශයින් උස් වූ දහගබ් පඞක්තීන් ශෝභමානය. නිරන්තරයෙන් වැඳ පුදන ලද ලෝකවාසී වූ සත්ව සමූහයන්ට ඉහලෝක පරලෝක දෙකින් ම කැමැති කැමැති වස්තු ප්‍රදානය කරන හෙයින් කල්පවෘක්ෂ පඞ්ක්තියක් හා සාදෘශ්‍යව නානා ස්ථානයෙහි පිහිටියා වූ බෝධි වෘක්ෂ පඞ්ක්තීන් ප්‍රතිමණ්ඩිතය. නොයෙක් සිය සියදහස් ගණන් භික්ෂු භික්ෂුණීන් විසින් ආකීර්ණ වීමෙන් අතිමනෝඥ වූ දුටු දුටු ජනයන්ගේ සිත් පැහැර ගන්නා තරම් අනේකාලංකාරයෙන් යුක්ත වූ නොයෙක් සියදහස් ගණන් විහාරාරාමයෙන් සැරහුණේය. තවද ඒ අනුරාධපුර නම් රාජධානියෙහි බහා පලඳවන ලද රන්කොත් සමූහයෙන් අලංකෘත වූ දෙමහල් තුන්මහල් ආදි වූ ප්‍රභේද ඇති නව ලක්ෂයක් පමණ උස් වූ මහා ප්‍රසාද පඞ්ක්තියෙන් හා බිම් මහල් අනූලක්ෂයකින් ප්‍රතිමණ්ඩිත විය. ස්වර්ණ රජතමය වූ පූර්ණඝට පූර්ණකලස මාලාවෙන් හා රන්වැට රිදීවැට ලියවැට දඬුවැට ආදියෙහි දල්වන ලද ප්‍රදීපසහස්‍රයෙන් හා ඒ ඒ තන්හි නඟන ලද ස්වර්ණ රජතාදි වූ නානා වර්ණ ධ්වජපතාකා පඞ්ක්තීන් හා එසේ ම නානා ස්ථානයෙහි විසිතුරු කොට සරහා නඟන ලද රන් රිදී රඹ තොරණ ආදි වූ මනහර තොරණ පඞ්ක්තීන් විරාජමාන වූ චන්ද්‍රවංක වීථිය, මහවැලි වීථිය, සිඟුරුවන් වීථිය යනාදි වූ වීථි පඞ්ක්තීන් හා චක්‍රවාට පර්වතාකාර ගොපුර පඞ්ක්තීන් ඉතා ශෝභමාන විය. එසේ ම ඒ පුර මස්තකාකාශයෙහි නඟන ලද මහමේ කුළුපෙළක් මෙන් ශෝභමාන වූ ධ්වජපතාකා පෙළින් හා රාජවාහනොපෙත හස්ති සමූහයන්ගේ කුඤ්චනාදයෙන් හා එම පුරසම්පත්ති නමැති මහමුහුද වැද බිඳෙන රළපෙළක් සේ නිරන්තරයෙන් දිවන්නාවූ පනින්නාවූ අශ්වයන්ගේ හේෂාරවයෙන් හා දිව්‍ය ගන්ධර්වයන් වැනි මනහර වාද්‍යකාරයන් විසින් ප්‍රයෝග කරන ලද නානාප්‍රකාර භේරීතූර්‍ය්‍යභාණ්ඩයන්ගේ ශ්‍රවණරමණීය වූ ගම්භීර ධීර නාදයෙන් එකනින්නාදය. තාලශුද්ධි දක්වා වයන බෙරමඬුලු මධ්‍යයෙහි නානා ප්‍රකාර නෘත්‍යාංග දක්වමින් රඟ බැස නටන නළුනාටිකාවන් විසින් සමලංකෘත වූ ඒ ඒ තන්හි ජනසමූහ සම්බාධව නිත්‍යොත්සවයෙන් හොබනා නෘත්‍ය මණ්ඩලමාලාවෙන් ප්‍රතිමණ්ඩිතය. නානා ප්‍රකාර වූ ශ්‍රී සම්පත්තීන් යුක්ත ස්ත්‍රී පුරුෂයන් විසින් ගැවැසී ගත්තාවූ ඒ අනුරාධපුර නම් රාජධානිය දිව්‍යලෝකයෙහි දෙවියන්ගේ ආලකමන්දා නම් රාජධානිය මෙන් සියලු දිව්‍යමනුෂ්‍යයන්ට සන්තෝෂ එළවන්නේය.”

සද්ධර්මාලංකාරයෙහි එන මේ විස්තරයට පසුව යට සඳහන් මහවැලිවීථිය දිගින් තුන් ගවුවක් පමණ වීයයි කියා තිබේ. අනුරාධපුරයේ නැගෙනහිර දොරටුවෙන් බස්නාහිර දොරටුවට සතර ගවුවකැයි ද දකුණු දොරටුවේ සිට උතුරු දොරටුවට දුර සතර ගවුවකැයි ද සිංහල ථූපවංසයේ කියා තිබේ. සද්ධර්මාලංකාරයේත් ථූපවංසයේත් මේ කියමන් එසේ ම පිළිගෙන ගවුව සැතැප්ම හතරකැයි ගැණ පුරාණ අනුරාධපුරය ප්‍රමාණයෙන් වර්ග සැතැප්ම 256 ක් වී යයි ද එය වර්තමාන ලන්ඩන් වැනි මහා නගරයන්ටත් වඩා විශාල වී යයි ද ඇතැම් අය පවසත්. ථූපවංසයත් සද්ධර්මාලංකාරයත් ලියා ඇත්තේ අනුරාධපුරය වනගත වූවාට පසුවයි. ඒ පොත් ලියූ තැනැත්තන් අනුරාධපුරයට ගොස් එහි පුරාණ තත්වය ඒ වූ පරිදි වටහා ගැන්මට වෑයමක් කළා දෝ යනු සැක සහිතය. පුරාණ රාජධානියේ ශ්‍රී සමෘද්ධිය ගැන තොරතුරු කටින් කට පරම්පරා ගණනක් කීමෙන් මෙබඳු අතිශයෝක්ති ඇතිවුණාට සැකයක් නොමැතියි. අනුරාධපුරය ජනාවාසව පැවති කාලයේ දී ලියූ පොතපතේ ඒ නගරය ගැන සඳහන් කරුණු විමසා බැලීමෙනුත්, පුරාණ ගොඩනැඟිලි ආදියෙහි නෂ්ටාවශේෂ පරීක්ෂා කිරීමෙනුත් පුරාණ කාලයේ දී මේ මහා නගරය තිබුණේ කෙසේ ද යන වග වටහා ගතහැකියි. ඉහත සඳහන් වර්ණයන්හි දක්නා අනුරාධපුරය පිළිබඳ විස්තරය අතිශයෝක්තීන්ගෙන් අනූන එකක් වුව ද, සමෘද්ධියෙන් පැවති කාලයේ දී ඒ නගරය එවකට ලෝකයේ පැවැතුණු සුප්‍රකට නගරවලට නොදෙවැනි තැනක් ගත් බව පෙනේ.

නාමය: මහාවංසයේ එන ප්‍රවෘත්තීන්ට අනුව අනුරාධපුයට ඒ නම ඇති වූයේ අනුරාධ නැමැත්තකු එය පළමුවෙන් පිහිටුවූ නිසායි. පළමුවෙන් මේ නගරය ඉදි කළේ ලංකාව මනුෂ්‍ය වාසයක් බවට පැමිණවී යයි ද සිංහල ජනයාගේ ආදිපුරුෂයා වී යයි ද පිළිගනු ලබන විජය රජුගේ අනචරයකු වූ අනුරාධ නම් ඇමතියාය. පඬුවස් දෙව් රජුගේ මෙහෙසිය වූ භද්දකච්චානා බිසවුන්ගේ සොහොයුරකු වූ අනුරාධ නම් කුමාරයා මේ ස්ථානයෙහි වැවක් බඳවා ඊට දකුණෙන් මාළිගාවක් නංවා එහි විසී යයි ද මහාවංසයේ සඳහන් වේ. පඬුවස්දෙව් රජුගේ මුනුබුරු වූ පණ්ඩුකාභය කුමාරයා තම මයිලන් නසා ලංකා රාජ්‍යය අත්පත් කර ගත් පසු අනුරාධ කුමාරයා විසූ තැනට ආ බවත් ඒ කුමාරයා තම මාළිගය පණ්ඩුකාභය රජුට දී අන් තැනක වාසයට ගිය බවත්, පණ්ඩුකාභය රජු තමන්ගේ රාජධානිය එතැන පිහිටුවාගත් බවත්, අනුරාධ නමැති දෙදෙනකුන්ගේ වාසභූමිය වූ නිසාත් අනුරාධ නම් නැකතින් නගරය පිහිටවූ නිසාත් අනුරාධපුර නාමය ඇති වූ බවත් මහාවංසය සඳහන් කරයි. අනුරාධපුරය ප්‍රසිද්ධියට පත්වූවාට පසු එහි සමාරම්භය පිළිබඳව නොයෙක් දෙනා නොයෙක් කථා කියා ඇති බව මේ ඉතිහාස ප්‍රවෘත්තිවලින් වටහා ගත හැකිය. ජනාවාසයක් හැටියට මේ භූමිය තෝරා ගන්නට ඇත්තේ දැනට මල්වතුඔය නමින් හැඳින්වෙන පුරාණ කදම්බ නදියෙන් ජලපහසුව සැලසුණු නිසා බවට සැකයක් නැත. රාජධානියක් හැටියට මේ ස්ථානය තෝරා ගත්තේ එය ලංකාවේ උතුරු පිටි බිමේ මැද හරියේ වූ නිසා යයි සිතිය හැකිය. ඒ ඇර රාජධානියකට අවශ්‍ය සුදුසුකමක් වශයෙන් කිවයුතු වූ පහසුවෙන් සතුරන්ගෙන් ආරක්ෂා කරගත හැකි වීම වැනි අන් කිසි කාරණයක් අනුරාධපුරය තෝරා ගැනීමට හේතු වී යැයි කිය නොහැකිය.

අනුරාධපුරය රාජධානියක් වූවාට පසුව එහි ජනගහනය වැඩි වූවාට සැකක් නැත. ජනතාවට අවශ්‍ය ජලය ලබාගැනීමට අනුරාධ කුමාරයා බැඳවූ වැව නොසෑහුණු නිසා පණ්ඩුකාභය රජ අලුතෙන් වැවක් නගරයට නුදුරුව බැඳවිය. තමන්ගේ අභය නාමයෙන් ප්‍රකට වූ අභය වාපියේ නම ක්‍රමයෙන් වෙනස් වෙමින් ඇවිත් අනුරාධපුර යුගයේ අවසානය වන විට බයවෑ නමින් හැඳින්විණි. ඒ නම දෙමළෙන් උසුරුවන අයුරින් බසවක්කුලම් කියා දැන් ව්‍යවහාර වෙයි. ප්‍රමාණයෙන් අක්කර 205ක් වූ ද සැතැප්මකට වඩා දික් වූ ද අඩි 28ක් පමණ උස් වූ මියරක් (වැව් කණ්ඩියක්) ඇත්තා වූ ද මේ වැව ඒ කාලයේ හැටියට විශාල කර්මාන්තයක් මෙන් ගිණිය හැකියි. පණ්ඩුකාභය රජු පුරශෝධක චණ්ඩාලයන් පන්සියයක් ද වර්චස් ශෝධකයන් දෙසියයක් ද මළමිනී බැහැර ගෙන යන්නන් එක්සිය පනසක් ද ඒ ගණනට ම සොහොන්-ගොවුවන් ද පත් කළ මහාවංසය සඳහන් කරයි. මේ සංඛ්‍යා සැබෑ නම් නගරයේ විශාල ජන සංඛ්‍යාවක් විසූ බව නිගමනය වේ. පණ්ඩුකාභය රජ තමාගේ දෙටු මයිලණුවන් වූ අභය කුමාරයා නගරගුත්තික තනතුරට පත් කළේය. පුරාණ අනුරාධපුරය පිළිබඳ කටයුතු බලා ගැන්මට මෙ නමින් නිලධාරියකු සිටි බව පැරණි බ්‍රාහ්මී ලිපිවලින් ද ඔප්පු වේ. අනුරාධපුරයේ සන්නිවේශය කෙබඳුව තිබුණා ද යන්න ගැන ද පණ්ඩුකාභය චරිතය විස්තර කරමින් මහාවංසය නොයෙක් දේ සඳහන් කරයි. නුවර දොරටු සතර අසල ද්වාරගාම සතරක් විය. සොහොන් බිම ද, ආඝාතනය ද, යෝනසභාගවත්ථුව ද, නීච සුසානය ද ඒ කාලයේ මිනිසුන් ඇදහූ දෙවිවරුන් යක්ෂයන් ආදීන්ගේ ආයතනයන් ද ඒ ඒ තැන්වල පිහිටුවූයේ ය. අභය වෑ මියරට පහළින් චිත්තරාජ නම් යක්ෂයා ද, නගරයේ පෙරදිග කාළවේල නම් යක්ෂයා ද, රජ මාළිගාවෙහි අස්සමුඛී යකින්නිය ද වැස්විය. වෙසමුණි රජුගේ නුගයත්, වැදිදෙවියාට තල්ගසකුත්, මහේජඝර නම් ආයතනයකුත් නිගණ්ඨ, ආජීවක ආදි ඒ ඒ පාෂාණ්ඩයන්ගේ ආරාමත් පිහිටුවූවේය. පණ්ඩුකාභය කාලයේ දී කරවූවකැයි අඳුනාගත හැකි කිසි ම කර්මාන්තයක් බසවක්කුලම හැර දැනට අනුරාධපුරයේ දක්නට නොමැතියි. පණ්ඩුකාභය රජුගේ පුත් මුටසීව මිහිපල්හු මහාමේඝවන නම් උයනක් කරවූ බව සඳහන් වේ. පසු කාලයක දී මේ භූමියෙහි මහාවිහාරය (බ.) පිහිටුවන ලදි.

දහම්සෝ රජු පිත් මිහිඳු මාහිමියන් ලංකාවේ බුද්ධශාසනය පිහිටුවීමෙන් පසු අනුරාධපුරයේ නොයෙක් සිද්ධස්ථාන ඇතිවී එම නගරය පුණ්‍ය භූමියක් හැටියට ලංකාවේ පමණක් නොව පිටරටවලත් ප්‍රසිද්ධ විය. සිංහලයන් බුදුසමය වැලඳ ගත්තේ ක්‍රි.ව. පෙර 250 දී පමණ රජ තැන්පත් දෙවනපෑතිස් රජු සමයේ දීය (මහින්දාගමනය බ.). දෙවනපෑතිස් රජ බුද්ධභක්තිකයකු වූවාට පසු මහාමේඝවනය සංඝයාගේ සැප විහරණය පිණිස පූජා කළේය. බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුව නිදන් කොට දාගැබක් ද කරවූයේය. දැනට ථූපාරාමය (බ.) නමින් හැඳින්වෙන මේ දාගැබ අනුරාධපුරයේ දකින්නට ඇති ගොඩනැඟිලිවලින් ඉතාමත් පැරණි එක හැටියට සැලකේ. එහෙත් ථූපාරාමය දැන් දක්නට ලැබෙන්නේ එය දෙවනපෑතිස් රජු නිම කළ සැටියට නොවේ. පසු කාලවල දී නොයෙක් විට මේ චෛත්‍යය ප්‍රතිසංස්කරණය කරන ලද හෙයිනි. දඹදිව බුද්ධගයාවේ ශ්‍රී මහාබෝධියේ දක්ෂිණ ශාඛාවක් ගෙනැවිත් මහාමේඝ වනයෙහි රජ මැදුරට නැගෙනහිරින් රෝපණය කරන ලදි. අද වන තුරු පවත්නා මේ බෝධි වෘක්ෂය අනුරාධපුරයේ ඇති ශ්‍රේෂ්ඨතම පූජ්‍ය ස්ථානයක්ය යනු බෞද්ධයන්ගේ පිළිගැනීමයි (ශ්‍රී මහාබෝධිය බ.). මහාවිහාරය සඳහා දෙවනපෑතිස් රජු විසින් කරවන ලද්දකැයි හඳුනාගත හැකි කිසියම් ප්‍රාසාදයක් හෝ ප්‍රාසාද ශේෂයක් හෝ දැන් නොමැතියි. අද නෂ්ටාවශේෂ ව දක්නා ගොඩනැඟිලි ආදිය පවා කල්යාමේ දී වෙනස් වී ගොස් තිබෙන හෙයිනි. දැනට වෙස්සගිරිය (බ.) නමින් ව්‍යවහාර වන පුරාණ ඉසුරුමුණි විහාරයත් දෙවනපෑතිස් රජු විසින් පිහිටුවන ලද්දකැයි ඉතිහාසයේ සඳහන්ය. නමුත් එහි දක්නට ඇති ගල්ලෙන්වල කෙටූ බ්‍රාහ්මී ලිපි එකකවත් ඒ රජුගේ නම නැත. දෙවනපෑතිස් රජ පිහිටුවී යයි සඳහන් වෙස්සගිරි විහාරය අනුරාධපුරය අසල විය නොහැකියි. නගරය ඇතුළත් වන පරිද්දෙන් සාංඝික සීමාව ද මේ රජු විසින් ම පිහිටුවන ලදි. දෙවනපෑතිස් කාලය වන විට අනුරාධපුරයෙහි ජන සංඛ්‍යාව වැඩී පැවති බවට ඒ රජු විසින් විශාල වැවක් තනවනු ලැබීම ම සාධකයක් වශයෙන් ගත හැකියි. තවමත් ඒ රජුගේ නම දරන මේ වැව, එනම් තිසාවැව, ප්‍රමාණයෙන් අක්කර 396 කි. සැතැපුම් දෙකක් පමණ දික් වූ එහි මියර උසින් අඩි 25කි.
F-17.jpg

දෙවනපෑතිස් රජුගේ මල් වූ උත්තියගේ රාජ්‍යයේ දී මිහිඳු මාහිමියෝත් ලංකාවට බෝධිය වැඩමවා ආ සංඝමිත්තා ථෙරීත් පිරිනිවන් පෑවෝය. මිහිඳු මාහිමියන් ආදාහන කළ තැන දාගැබක් පිහිටවූ නමුත් එය අසවල් තැන යයි දැන් නියම වශයෙන් කිය නොහැකියි. එසේ ම සංඝමිත්තා ථෙරීන් ආදාහන කළ තැන පිහිටුවූ දාගැබත් දැනට නොමැතියි. එය සිරිමහබෝධිය සමීපයෙහි විය යුතුයි. ථූපාරාමයට නැගෙනහිරින් දැන් බොහෝ දෙනා සංඝමිත්තා චේතිය (බ.) යයි කියන දාගැබ ඊට පසු කාලයක පිහිටුවූවකි.

ද්‍රවිඩ ආක්‍රමණ: උත්තිය රජුගේ මරණින් වැඩි කාලයක් යන්නට පෙර අනුරාධපුරය දෙමළුන්ට අයිති වූයේය. පළමුවැනි වරට ලංකාවේ අධිපති වූ දෙමළුන් වන සේන ගුත්තික නම් අස්නැවියන් දෙදෙනා උදක-සුද්ධිකයන් වූ බවත් දිනපතා නෑම පහසු වනු පිණිස කදම්බ නදිය නගරය අසලින් ගලායන්ට සැලැස්සූ බවත් සඳහන්ය. දැන් හාල්පානු ඇළ නමින් ව්‍යවහාර වන ඇළ මේ කාලයේ දී කරවූවක් විය හැකියි. එළාර රජු පරදවා සිංහල රාජ්‍යය අනුරාධපුරයේ නැවත පිහිටුවූ දුටුගැමුණු රජ රණශූරයකු ලෙස මෙන් ම විශාල දාගැබ් ප්‍රාසාද ආදිය නැංවූවකු ලෙස ද ප්‍රසිද්ධය. රජ වී නොබෝ කලකින් මේ රජු කරවූ මිරිසවැටිය (බ.) ථූපාරාමයට වඩා විශාලය. එහෙත් ඒ රජුගේ නම විශේෂයෙන් ආශ්‍රිත වී ඇත්තේ මහාථූප නමින් ද, රුවන්වැලිසෑය (බ.) නමින් ද ප්‍රසිද්ධ වූ විශාල දාගැබ සමගය. මෙය ගොඩනඟන කාලයේ දී ඒසා විශාල දාගැබක් බෞද්ධ ලෝකයේ කොතැනකවත් නොතිබිණැයි කිය හැකියි. රැවන්වැලිසෑය 120 රියනක් උසට කරවූ බව සඳහන් නිසා එය දැන් තිබෙන ප්‍රමාණයට ම දුටුගැමුණු රජු කරවූයේ යයි නිශ්චය වේ. මේ දාගැබ නිමවන්නට පෙර දුටුගැමුණු රජු කලුරිය කළ හෙයින් ඡත්‍රය පිහිටුවීම ආදිය ඔහුගේ මලණුවන් වූ සැදෑතිස් නිම කැරැවී. දුටුගැමුණු රජු විසින් ම ලෝහපාසාදයත් තනවන ලදි. මෙය මහල් නවයකින් ද ගැබ් 900 කින් ද යුත් ඉතා විශාල ප්‍රාසාදයක් වි යයි මහාවංසයේ විස්තර කර තිබේ. එහෙත් එය මුලින් නිමවූයේ ලීයෙන් විය යුතුයි. සැදෑතිස් රජු කාලයේ දී ගින්නෙන් විනාශ වූයෙන් එය මහල් සතකින් යුක්ත කොට නැවත කරවූ බව සඳහන් නිසායි. දැනට ලෝවාමහපාය (බ.) යයි කියන තැන ම දුටුගැමුණු රජ කරවූ ප්‍රාසාදය තිබුණාට සැකක් නැත. එහෙත් එතැන දැනට පෙනෙන්ට ඇති ගල්කණු මහා පරාක්‍රමබාහු කාලයේ අන්තිම වරට කළ ප්‍රතිසංස්කරණයේ දී පිහිටුවන ලද ඒවායි. අවුරුදු දහහතරක් පමණ අනුරාධපුරයේ ඉසුරු පවත්වමින් සිටි දෙමළුන් නෙරපා ක්‍රි.ව. පෙර 88 දී පමණ රජවූ වළගම්අබා රජ ද වෙහෙර දාගැබ් කරවීමෙන් අනුරාධපුරය අලංකාර කළ රජුන් අතර උසස් තැනක් ගත්තෙකි. එතෙක් කල් එක නිකායක්ව පැවති බුදුසස්න ඒ රජුගේ කාලයේ දී නිකාය දෙකකට බෙදුණේය. එසේ වූයේ ඒ රජු පිහිටුවූ අභයගිරි විහාරය මහාවිහාරයෙන් වෙන්වූ හෙයිනි (අභයගිරිය බ.). ඒ රජු අභයගිරි දාගැබ කරවූයේ ගිරි නම් නිගණ්ඨයකුගේ ආරාමය වනසා එය තිබූ තැනයි. අභයගිරි දාගැබ දැන් දක්නා තරම් එවක විශාල නොවීය. එය පසු කාලයක දී එනම් පළමුවැනි ගජබා රජු දවස ද පළමුවැනි කසුප් රජු දවස ද විශාල කරවන ලදි. වළගම්අබා රජු සමයේ දී පිහිටුවූ තවත් සිද්ධස්ථානයක් නම් දකුණුගිරි වෙහෙර (බ.) යි. මේ විහාරයේ දාගැබ මෑතක් වනතුරු ම එළාළ සොහොන යයි මහජනයා වරදවාගෙන තිබුණේය. මේ දාගැබත් වළගම්අබා රජු කාලයේ දී කරවූයේ එතරම් විශාලව නොවේ. දැන් දක්නට ලැබෙන ප්‍රමාණය ඇති වූයේ කනිට්ඨතිස්ස රජු විසින් ප්‍රතිසංස්කරණය කළාට පසුවයි.

වසභ වූකලි අනුරාධපුර ඉතිහාසයෙහි ලා සඳහන් කළයුතු තවත් සිංහල නරපතියෙකි. ඒ රජු නගරයේ පවුර කලින් තිබුණාට වඩා උස් කරවා තර කරවා නගරය ඇතුළේ පොකුණු කණවා ඊට උමගකින් ජලය ගෙන ආ බව මහාවංසයේ සඳහන්ය. නගරය මේ කාලයේ දී ක්‍රමයෙන් වර්ධනය වූ බවට සාධකයක් වශයෙන් නුවර වැව බැඳවීම පෙන්විය හැකියි. මෙය අසවලාගේ කෘතියක් යයි කිසි තැනක දක්වා නැති නුමුත් පළමුවැනි ගජබාහු රජුගේ ලිපියක සඳහන් වන හෙයින් ඊට පෙර සිට පැවැත්තකැයි තීරණය වේ.

මහසෙන් අවධිය: වළගම්අබා රජුගෙන් පසු හවුරුදු තුන්සියයක් අතර කාලයේ දී නොයෙක් රජවරුන් විසින් අනුරාධපුරයේ තනවන ලද බොහෝ ප්‍රාසාදාදිය ගැන මහාවංසයේ සඳහන් වේ. එහෙත් ඒ කිසිවක් දැන් නිශ්චය වශයෙන් හඳුනා ගත නොහැකිය. ක්‍රි.ව. 267 දී රජ වූ ජෙට්ඨතිස්ස පිහිටුවූ පාචීනතිස්ස පබ්බත විහාරය (බ.) දැන් නුවර වැව අද්දර මිහින්තලා පාර අයිනේ අගළකින් වටවූ භූමිය බැව් එතැන ඇති ශිලාලිපියකින් එළිවී ඇත. දෙටුතිස් රජුගේ මලණුවන් වූ මහාසේනගේ කාලය අනුරාධපුර ඉතිහාසයේ ඉතා වැදගත් කාලපරිච්ඡේදයකි. මහාවිහාරයත් අභයගිරි විහාරයත් අතර භේදය මේ කාලයේ දී උත්සන්න වීමෙන් අභයගිරි පැත්ත ගත් රජතුමා මහා විහාරයේ ලෝහපාසාදය ආදී නොයෙක් ගොඩනැඟිලි විනාශ කෙළේය. පසුව තමාට විරුද්ධව ඉතා ප්‍රබල වූ මහජනමතයක් ඇතිවූ කල්හි ස්වකීය ක්‍රියා මාර්ගය වෙනස් කොට මහාවිහාරයේ විනාශකළ ගොඩනැඟිලි නැවත සෑදවූයේය. මහා විහාරයේ සීමාව තුළ ම ජේතවන නම් අලුත් විහාරයක් ද පිහිටුවූයේය (ජේතවනාරාමය බ.). මේ විහාරයේ දාගැබ මහතින් ඊට පෙර තැනූ චෛත්‍ය සියල්ල ම ඉක්මවා ගියේය. රියන් 160ක් යයි මහාවංසයේ සඳහන් මේ දාගැබ තවමත් අඩි 230ක් උසට තිබේ.
F-18.jpg

මහසෙන් රජුගේ අවධිය වන විට අනුරාධපුරය සමෘද්ධියේ මුදුන්පෙත්තට පැමිණ තිබිණි. එහි විසූ තෙරවරුන්ගේ කීර්තිය බෞද්ධ ලෝකයේ බොහෝ තැන්හි පැතිරී ගොස් තිබූ බවට නාගාර්ජුන කොණ්ඩාවේ ශිලාලිපියක් සාක්ෂි දෙයි. අනුරාධපුරයේ සිද්ධස්ථාන වැඳගැන්මට පිටරටවලින් ද සැදැහැවත්හු ආවෝය. මේ සිද්ධස්ථාන කීපයක් පිහිටි තැන් බුදුරදුන් මේ දිවයිනට වැඩි තුන්වැනි ගමනේ දී සමාධියෙන් වැඩ සිටීමෙන් පවිත්‍ර වූ ඒවාය යන විශ්වාසය මේ කාලය වන විට සැදැහැවතුන් අතර ඇති විය. මහාවංසයේ දැක්වෙන හැටියට අනුරාධපුරයේ පිහිටා ඇති බුදුන් පරිභෝග කළ ස්ථාන නම් ශ්‍රී මහාබෝධිස්ථානය, මහාථූපය (රුවන්වැලිය), ථූපාරාමය, සිලාචේතිය (අභයගිරිය) යන සතරයි. පසුව රචිත ග්‍රන්ෟථයන්හි බුදුන්වහන්සේ අනුරාධපුරයේ අට තැනක සමාධි සුවයෙන් වැඩ උන් බව කියා තිබේ. පූජාවලියේ කියන්නේ අනුරාධපුරයේ දකුණු මහාසෑය, ශ්‍රී මහාබෝධිය, ලෝවාමහපාය, පිරිත්ලාගෙය, දන්තාදර (ජන්තාඝර) පොකුණ, ථූපාරාමය, රුවන්වැලිසෑය, මහසලසෑය (මිහින්තලයෙහි මහසලසෑය පූජාවලිය 708 පිට) යන තැන්වල බුදුන් සමාධියෙන් වැඩහුන් බවයි. මේ අට තැනට අටමස්ථානය කියා ඒ කාලයේ දී ව්‍යවහාර වූයේය. වර්තමාන අටමස්ථානය (බ.) මීට වෙනසි.

මහසෙන් පුත් සිරිමෙවන් සමයෙහි දී දළදාව ලංකාවට ගෙනැවිත් එය රජමැදුරේ තැන්පත්කොට අවුරුදු පතා පෙරහැරින් අභයගිරියට වැඩමවා පුද සත්කාර පවත්වන ලදි. මහසෙන් රජුගෙන් පසුව අනුරාධපුරයේ විශාල දාගැබ් තනවා නැත. එහෙත් තුන් නිකායට අයත් විහාරවල නොයෙක් මාහැඟි ප්‍රාසාද කළ බැව් සඳහන්ය. මේ කාලයේදී අනුරාධපුරය පැවති තත්වය ගැන දැනගැනීමට බුද්ධඝෝෂාචාරීන්ගේ අටුවා ද (පාහියන් බ.), හුවාං ත්සාං (හියුං සාං බ.) යන චීනයාත්‍රිකයන්ගේ පොත් ද උපකාරී වේ. හුවාං ත්සාං ලංකාවට පැමිණියේ නැත. දෙමළ රටේ සිටිද්දී ලංකාවෙන් ගිය අය කී තොරතුරු ඔහුගේ පොතේ සඳහන්ය. පාහියන්ගේ වාර්තාවේ මහා විහාරයේ භික්ෂූන් තුන්දහසක් ද අභයගිරියේ පන්දහසක් ද විසූ බව කියා තිබේ. සිංහල රජුන් තුනුරුවන් විෂයයෙහි පැවැත්වූ පූජා ද, මහාබෝධිය දළදා මැදුර ආදි සිද්ධස්ථානවල මහිමය ද, මහාපාළියේ භික්ෂූන්ට දන් දුන් හැටි ආදි නොයෙකුත් දේ ද අනුරාධපුරය පිළිබඳ මේ වාර්තාවලින් එළි වේ.

F-19.jpg

වියවුල් සමයක්: පළමුවැනි කාශ්‍යප රජු තමාගේ වාසය හැටියට සීගිරිය (බ.) සකස්කොට ගත් නමුත් ඊ ළඟට ආ රජවරු පෙර ලෙස ම අනුරාධපුරය රාජධානි කොට විසූහ. ක්‍රිස්තු හවැනි, සත්වැනි ශතක ලංකාවේ රජුන් අතර වියවුල් ඇති වූ කාලයකි. මේ යුද්ධවල දී අනුරාධපුරයේ සිද්ධස්ථානවලට හානි පැමුණුණේය. සෙබළුන්ට පඩි දීමට මුදල් නැති වූ අවස්ථාවල දී දකුණු දාගැබ, ථූපාරාමය වැනි චෛත්‍ය බිඳ එහි නිදන් කළ ධනය පැහැර ගත් රජවරු ද වූහ. එහෙත් ඔවුහු යුද්ධයෙන් ජයගත්තාට පසුව වෙහෙර විහාර නැවතත් ප්‍රකෘතිමත් කළහ. එබඳු වියවුල් සහිත කාලවල දී රටේ සාමය පවත්වා සමෘද්ධිය ඇති කරලීමට පොහොසත් රජවරු වූහ. ඔවුනතුරෙන් පළමුවැනි අග්‍රබෝධි හා සිව්වැනි අග්‍රබෝධි යන රජවරු විශේෂයෙන් සඳහන් කළ යුත්තෝය. දැනට කුට්ටම් පොකුණ යයි කියනු ලබන අලංකාර ගල් මේවරින් නිමි පොකුණ පළමුවැනි අග්බෝ රජු කාලයේ දී කළ කර්මාන්තයකැයි සැලකිය හැකියි.

ක්‍රි.ව.648 දී පමණ රජ පැමිණි මානවම්මගෙන් මේ වියවුල් කාලය නිමාවූයේය. එතැන් පටන් අවුරුදු තුන්සීයක් පමණ අනුරාධපුරයට භාග්‍ය සම්පන්න කාලයක් විය. දැනට අනුරාධපුරයේ සුන්බුන් ගොඩනැඟිලි අතර දක්නා ගල්කැටයම් බොහොමයක් මේ කාලයට අයත්ය. ප්‍රාසාදවල අධිෂ්ඨානයන්හි මනා ලෙස නෙළා පිහිටුවන ලද ගල් පුවරු, දොරටුවල දක්නා ලැබෙන පිටගැට පේළි ඒ පියගැට දෙපස ඇති කොරවක් ගල්, පාමුල ඇති සඳකඩ පහන්, දොරටුවල නාගරූප යනාදිය මේ කාලයේ අනුරාධපුරයේ විසූ ශිල්පීන්ගේ කෞශල්‍යය විදහා පාන්නේය. ක්‍රි.ව. අටවැනි හා නවවැනි ශතකවල (සියවස්වල) විසූ රජුන් අනුරාධපුරයේ කරවූ ප්‍රසාද සිය ගණනක් මහාවංසයේ සඳහන් වන නමුත් එයින් දැනට අඳුනා ගත හැක්කේ කීපයක් පමණි. වටරවුම් පාරේ දැන් ඇත්ගාල යයි කියන තැන පුරාණ රත්නප්‍රාසාදය (බ.) විය. මෙය දෙවැනි මිහිඳු රජු විසින් කරවන ලද්දකි. කුට්ටම් පොකුණට උතුරින් පුරාණ කපාරාරාමයේ සුන්බුන් දකින්නට ඇත. අනුරාධපුරය අවට පන්කුලිය (බ.), විජයාරාමය (බ.), පුලියන්කුලම (බ.), තොලුවිල (බ.) යන නම්වලින් දැනට හැඳින්වෙන තැන්වලත් තිසාවැව අසල මගුල් උයනේත් දක්නට ලැබෙන ගොඩනැඟිලි ද, නුවරට බටහිරින් දැනට මාළිගාව යයි මහජනයා වරදවා කියන පියන්ගල්වල නටබුන් ද මේ යුගයේ කර්මාන්ත හැටියට සැලකිය හැකියි. මහදාගැබ්වල කොත්කැරලි ද, සලපතළ මළු ද, ඇත්පවුරු දොරටු යනාදිය ද මේ කාලයේ තැනූ ඒවායි. නවවැනි ශතකයේ දී අනුරාධපුරය ඉතා රමණීය නගරයක් වූවාට කිසි සැකක් නොමැතියි. මේ කාලයේ රජවරුන් කීපදෙනකු පොළොන්නරුවේ විසූ නමුත් නියම රාජධානිය වූයේ අනුරාධපුරයයි.

F-20.jpg

පරිහාණිය: ක්‍රි.ව.833 දී රජ පැමිණි පළමුවැනි සේන රජුගේ කාලයේ දී පාඬි රජ සිංහලයන් යුද්ධයෙන් පරදවා අනුරාධපුරය පැහැර ගෙන එහි තිබූ ධනය කොල්ලකා නුවර “යකුන් කැපුවා සේ නිසරු කළේය” යි මහාවංසය කියයි. එහෙත් ඊට පසුව රජ වූ දෙවැනි සේන පාඬිරජුගෙන් පළිගත්තේය. අනුරාධපුරයට වූ හානි ද පිරිමැස්වීය. හතරවැනි උදය රජුගේ කාලයේ දී පරන්තක නම් සොළී රජු එවූ සේනාවක් අනුරාධපුරය පැහැරගෙන එහි දළදා මැදුර ආදි සිද්ධස්ථාන කීපයක් වැනසුවාය. නමුත් සොළී සෙනඟ වැඩිකල් අනුරාධපුරයේ නොසිටියහ. මින් ටික කලකට පසු, ක්‍රි.ව.956 දී රජ පැමිණි සිව්වැනි මිහිඳු රජතුමා අනුරාධපුරයේ ශ්‍රී විභූතිය සඳහා නොයෙක් ගොඩනැඟිලි තැන වූයේය. නමුත් ඒ වන විට මේ නගරයේ අස්තංගමනය ළං වී තිබුණි. මිහිඳු රජුගේ මරණින් පසු සිංහල ප්‍රධානීන් අතර ඇති වූ භේද නිසා රාජරාජ නම් රජුට ලංකාවේ සොළී බලය පිහිටුවීමට හැකි විය. ක්‍රි.ව.1017 දී රාජේන්ද්‍ර චෝළ රජුගේ සේනාව සිංහල රජු ජීවග්‍රාහයෙන් ගෙන අනුරාධපුරයත් අත්පත් කර ගත්තාය. සොළීන්ට ලංකාව යටත්ව තිබූ කාලයේ දී අනුරාධපුරයේ දාගැබ් වෙහෙර විහාර ආදිය විනාශ කර දමන ලදි. සොළීන්ගේ මූල ස්ථානය පොළොන්නරුව (බ.) විය. අනුරාධපුරයේ අවුරුදු 1500 ක් පමණ පැවති රාජ්‍ය මෙයින් අවසාන විය.

සොළීන් නෙරපා ලංකාවේ සිංහල ආධිපත්‍යය නැවතත් පිහිටුවාලූ විජයබාහු රජ තමාගේ අභිෂේක මංගල්‍යය ක්‍රි.ව.1073 දී අනුරාධපුරයේ දී සිද්ධ කළේය. මේ සඳහා ඒ මිහිපල්හු විසින් අනුරාධපුරයේ මාළිගයක් තනවන ලදි. එහෙත් රජුගේ නිත්‍ය වාසය වූයේ පොළොන්නරුවේය. විජයබාහු රජුගේ අවසානයේ පටන් මහපැරකුම් රජගේ උදාව දක්වා ඇති වූ වියවුල් සහිත කාලය තුළ දී අනුරාධපුරය ක්‍රමයෙන් පිරිහී ගියාට සැක නැත. පරාක්‍රමබාහු රජුත් නිශ්ශංකමල්ල රජුත් අනුරාධපුරයේ රුවන්වැලිසෑය ආදි සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණයෙහි උද්‍යෝගි වූහ. එහෙත් මාඝ රජු පොළොන්නරුව පැහැර ගත්තාට පසුව අනුරාධපුරය පමණක් නොව මුළ රජරට ම විනාශ මුඛයට පත්විය. දඹදෙණියේ දෙවැනි පරාක්‍රමබාහු කාලයේ දී රුවන්වැලිසෑය ප්‍රකෘතිමත් කිරීමට උත්සාහයක් ගන්නා ලදි. එහෙත් මේ කාලය වන විට අනුරාධපුරටත් ඒ අවට ප්‍රදේශයත් බොහෝ සෙයින් වනගත වී අතරින් පතර ඉතිරි වී තිබුණු ගම්වල ජනයා වන්නි නම් ප්‍රධානීන් යටතේ විසූහ. මේ අවධියේ පටන් අවුරුදු 600 ක් ම අනුරාධපුරය පාළු වී තිබුණේය. එහෙත් එහි සිද්ධස්ථාන වැඳ පිදීමට ඉඳහිට ලංකාවාසීහු පමණක් නොව විදේශිකයෝ ද පැමිණියෝය. හවැනි බුවනෙකබා නිරිඳුන් සමයෙහි රාමඤ්ඤදේසයෙන් උපසම්පදාව පිණිස ආ පිරිස අනුරාධපුරයේ සිද්ධස්ථාන වැඳීමට ගිය බැව් සඳහන් වේ. ඊට ටික කලකට පෙර සියමෙන් මෙහි ආ භික්ෂූන් ද එසේ ම ගිය බව සඳහන් වේ. සෙංකඩගල කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ දී අනුරාධපුරයේ සිද්ධස්ථාන එළි පහළි කිරීමට තරමක උත්සාහයක් ගන්නා ලදි. ශ්‍රී මහාබෝධිය වටේට තිබෙන ගල්පවුර ඒ අවධියෙහි තැනූවකි. එය සාදා තිබෙන්නේ ඒ අසල තිබූ නටබුන් ගොඩනැඟිලිවලින් එකතු කරගත් නොයෙක් ආකාරයේ ගල් ගොඩගැසීමෙන්ය. දැනට ඉතිරිව තිබුණා නම් පුරාවේදීන්ගේ මහත් සැලකිල්ලට භාජන වන්නට තිබුණු ස්ථාන බොහොමයක් කීර්ති ශ්‍රී රාජසිංහ සමයේ සැදැහැවතුන් අතින් වැනසුණාට කිසි සැකයක් නැත.

මේ අඳුරු කාලයේ දීත් ශ්‍රී මහාබෝධිය, රුවන්වැලිසෑය යන තැන් සහමුලින් ම පාළුවී යන්නට ඉඩ දී නැත. ඒ දෙතැන බාරව භික්ෂු නමක් වැඩසිටි බව පැවසෙයි. ඒ කාලයේ දී අනුරාධපුරයට නුදුරු වූ වන්නි ප්‍රදේශයන්හි පමණක් නොව උඩ පාත දෙරට නොයෙක් පෙදෙස්වලත් ඒ ඒ බෞද්ධයෝ නොයෙක් අන්තරායවලට මූණපාමින් අනුරාධපුරය වැඳීමට ගියහ. ලංකාවේ කලක් සිර කරනු ලැබ සිටි රොබට් නොක්ස් නම් ඉංග්‍රීසි ජාතිකයා බේරී යන ගමනේ දී අනුරාධපුරය පසුකර ගියේය. ඔහු ලියූ සුප්‍රකට ග්‍රන්ථයෙහි ඔහුට අනුරාධපුරය පෙනුණු හැටි දැක්වෙන වාර්තාවක් වෙයි.

බ්‍රිතාන්‍ය යුගය: බ්‍රිතාන්‍ය යුගයේ මුල දී අනුරාධපුරය බැලීමට ගිය ඉංග්‍රීසි ජාතිකයන් ලියූ වාර්තා ද ඇත. මේ කරණකොටගෙන අනුරාධපුරයේ පැරණි දේ ගැන ලංකාවේත් පිටරටවලත් පඬුවන් අතර දැනුමක් ද උද්‍යෝගයක් ද ඇතිවිය. එහෙත් අනුරාධපුරය එළිවීමට මඟ සැලසුණේ ඒ අවට ප්‍රදේශ 1873 දී වෙන ම පළාතක් බවට පත් කොට එහි කච්චේරියක් පිහිටුවා ඒජන්තවරයකු නැවැත්වීමෙන් පසුය. එවක එම ප්‍රදේශයේ උත්සන්නව පැවැති මැලේරියා උණ නිසා පළාත වැඩිදියුණු වූයේ ඉතා සෙමින්ය. අලුත් නගරයකට උවමනා ගොඩනැඟිලි ද මුලාදෑනීන්ගේ නිවාස ද තැනුයේ සිද්ධස්ථාන අසලය. අලුතින් පාරවල් සෑදීමේදීත් පුරාණ ස්ථානවලට බොහෝ හානි විය. කලක් වනගතව තිබුණු සිද්ධස්ථාන එළිකොට නැවත සකස් කිරීමට බෞද්ධයෝ ද ඉදිරිපත් වූහ. මේ ව්‍යාපාරවල දී පුරාණ ගොඩනැඟිලි අලුත් ක්‍රමයට සකස් කිරීමෙනුත් බොහෝ හානි සිදු විය. පුරාණ වස්තු පරීක්ෂාවටත් ආරක්ෂා කිරීමටත් ආණ්ඩුවේ අභිනව දෙපාර්තමේන්තුවක් 1890 දී පිහිටුවන ලදින් පුරාණ නගරයෙනුත් විහාර භූමිවලිනුත් විශාල කොටසක් ආරක්ෂා වන පරිදි වෙන්කොට තබන ලදි. වාස්තු නිර්මාණයෙහි ද ප්‍රතිමා කර්මාන්තයෙහි ද ඇති වූ පුරාණ සිංහලයන්ගේ නෛපුණ්‍යය මූර්තිමත් කොට දක්වන නොයෙක් නිර්මාණ මේ වන තුරු ඉතිරි වී ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැරූ පරිශ්‍රමය නිසායි. සිද්ධස්ථානවලට ආසන්නව අලුත් ගොඩනැඟිලි තැනීමේ නුසුදුසුකම සුධීන්ට වැටහී ගියෙන් අලුත් නගරය වෙන තැනක පිහිටුවා පැරණි තැන් මනා සේ සකස් කිරීමේ ව්‍යාපාරයක් ආණ්ඩුව මගින් අවුරුදු කීපයකට පෙර අරඹන ලදි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් බෝමළුව අවට තුබූ අශෝභන කඩ සාප්පු ආදි ගොඩනැඟිලි ආණ්ඩුවට ගෙන ඒවා කඩා අස් කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරන ලදි. මහත් වියදමකින් කරගෙන යන මේ ව්‍යාපාරයෙන් ශ්‍රී මහා බෝධිය, රුවන්වැලිසෑය ආදි තැන් සුදුසු පරිදි පවත්වාගෙන යා හැකිය.

වෙහෙර විහාරාදිය: අනුරාධපුරය වනයෙන් වැසී තිබුණු කාලයේ දී ඉතිහාසයේ ප්‍රකට බොහෝ තැන්වල නම් පවා අමතක වී තිබුණි. එබඳු එක් තැනක් වූ ඉසුරුමුණි විහාරය යට සඳහන් විය. දැන් ව්‍යවහාර වන අයුරු වෙස්සගිරිය මෙතැන විය නොහැකි බවට සාධකයක් මහාවංසයෙන් දැක්විය හැකිය. වළගම්අබා රජු දෙමළුන්ට පැරදී පලාගොස් කලක් වෙස්සගිරි වනයේ සැඟවී සිටියේ යයි මහාවංසයේ දැක්වේ. දැන් වෙස්සගිරිය යයි කියන තැනට නගරයේ සිට ඇති දුර හැතැප්ම දෙකකටත් අඩුයි. නගරය සතුරන් අතේ තිබිය දී ඊට එතරම් ආසන්න තැනක් සැඟවී සිටීමට යෝග්‍ය වී යයි සිතිය නොහැකියි. ඒ ඇරත් වෙස්සගිරිය යයි කියන තැන පිහිටි මහගල් මත කොටා ඇති ලිපිවල එහි නම දැක්වෙන්නේ “ඉසිරමණ” “කසබගිරි” කියායි. කාශ්‍යපගිරි යනු ද ඉසුරුමුණියට තවත් නමකි.

අභයගිරි ජේතවන යන මහාදාගැබ් දෙකේ නම් ද මේ අයුරින් ම හුවමාරු වී තිබේ. මේ පිළිබඳ ඇත්ත සෙවීමේ දී පුරාණ ඇතුළු නුවර, එනම් පවුරෙන් පිරිකෙවුණු පෙදෙස, කොතැන්හි වී දැයි නිර්ණය කිරීම අවශ්‍යයි. විහාර භූමි පිහිටියේ පවුරින් පිටය. මහාවිහාරය නගරයට දකුණෙනුත් අභයගිරිය හෙවත් උත්තරාරාමය උතුරෙනුත් පිහිටි බව පැරණි පොත්පත්වල සඳහන් වේ. නගරය කොතැන්හි වීද යන්න තීරණය කරගැනීමට ඉවහල් වන සාධකයක් ථූපවංසයෙහි එයි. ශ්‍රී මහාබෝධිය පිහිටුවූයේ නගරයේ දකුණු දොරටුවේ සිට දුනු පන්සියයකට දුරිනැයි එහි සඳහන්ය. දුන්න දැන් මිනුමේ සැටියට අඩි 8 ක් පමණ වෙයි. ඒ නිසා බෝමළුවේ සිට අඩි 4000ක් දුරිනුයි නුවර දකුණු වාසල පිහිටියේ; එනම් සැතැප්මකටත් අඩුවෙනි. මෙපමණ දුර බෝමළුවේ සිට උතුරට කෙළින් ගිය විට හමුවන්නේ ථූපාරාමයට නැගෙනහිරින් පිහිටි ස්ථානයකි. සුමංගලවිලාසිනියේ බුද්ධඝෝස ආචාරීන්ගේ කියමනකුත් මේ හා ගැළපේ. නගරයට පිවිසෙන මග ථූපාරාමයේ දකුණු දොරටුව පසු කරගෙන නැගෙනහිර අතට ගොස් උතුරට හැරෙන බව බුද්ධඝෝසාචාරීහු කියත්. ථූපවංසයේත් සුමංගලවිලාසිනියේත් සඳහන් තොරතුරුවලට ගැළපෙන තැන භූමිය පරීක්ෂා කරන විට එතැන වැටියකුත් ඊට පිටින් පතහකුත් දක්නට ලැබේ. වැටිය නුවර පවුර ගරා වැටීමෙන් සෑදුණකි. ඊට පිටින් ඇති පතස අගළ තුබූ තැනයි. ඒ වටේ ගිය විට පුරාණ ඇතුළු නුවරේ සීමාව මැනගත හැකියි. මෙසේ පවුරෙන් පිරිකෙවුණු ඇතුළු නුවර ප්‍රමාණය උතුරේ සිට දකුණටත් නැගෙනහිර සිට බස්නාහිරටත් සැතැප්මකට ටිකක් අඩුවෙයි. දැනට ජේතවනය නමින් හැඳින්වෙන දාගැබ තිබෙන්නේ මේ පවුරු වළල්ලට උතුරු දිගිනි. නුවරට උතුරින් තිබුණු දාගැබ උත්තර චේතිය හෙවත් අභයගිරිය බව ඉතිහාසයෙන් දැනගත හැකියි. ඒ නිසා දැන් මහජනයා ජේතවනය යයි කියන දාගැබ පුරාණ අභයගිරිය විය යුතුයි. දැන් මහජනයාගේ මතයේ හැටියට අභයගිරිය යයි කියන දාගැබ තිබෙන්නේ රුවන්වැලිසෑයට (මහාථූපයට) හැතැපුම් බාගයක් පමණ නැගෙනහිරටයි. මේ පෙදෙස පිහිටියේ මහාවිහාර භූමියට යාබදවයි. මහාවංසකථාවේ හැටියට මහාසේන ජේතවන විහාරයත් එහි දාගැබත් පිහිටුවූයේ මහාවිහාර සීමාව ඇතුළේය. දැන් මහජනයා අභයගිරිය යයි කියන්නේ පුරාණ ජේතවනයටයි. අභයගිරියේ හා ජේතවනයේ නම් හුවමාරැ වී ඇති බව මේ දෙතැන ඇති සෙල්ලිපි වලින් ද ස්ඵුට වේ. මහජනයා නම් කරන ජේතවනයෙනි දක්නා ලැබෙන සෙල්ලිපි සියල්ලෙහි ම සඳහන් වන්නේ අභයගිරිය ගැනයි. එසේ ම මහජනයා නම් කරන අභයගිරිය අසල ඇති සෙල්ලිපිවල සඳහන් වන්නේ දෙනානකයයි. දෙතැන සෙල්ලිපි හුවමාරුවක් ඒ කාලයේ කිසි කෙනකුට වුවමනා වූ කටයුත්තක් නොවෙයි. අභයගිරිය (උත්තර චේතිය) සඳහන් ‘මහජන ජේතවනයේ’ දක්නට ඇති ගල් පුවරුවක් අලි කීපදෙනකුන් නැතිව එසවිය නොහැකි තරම් විශාලය. එහි ඇති ලිපියත් ජේතවන දාගැබ කළ මහසෙන් රජුට පෙර විසූ කනිට්ඨතිස්ස රජුගේයි. දාගැබ්වල මහත ද මේ නිගමනය තවත් දුරට තහවුරු කරයි. පුරාණ පොත්වල සඳහන් වන අයුරු ජේතවන දාගැබ උසින් 160 රියනකි; අභයගිරිය 140 රියනකි. අනුරාධපුරයේ මහ දාගැබ් තුනෙන් ඉතාමත් විශාල එක ‘මහජන අභයගිරියයි’. පුරාණ පොත්වල එන පරිදි ඉතා ම විශාල දාගැබ ජේතවනය බැවින් දැන් ‘මහජන අභයගිරිය’ පුරාණ ජේතවනය විය යුතුයි.

F-21.jpg

ඇතුළු නුවර රජමාළිගාව පිහිටා තිබිණි. මෙය කොතැන ද කියා ශිලාලිපිවල උපකාරයෙන් දැනගත හැකියි. රජමාළිගයේ මහාපාළි නම් දන් සැල ද දළදා මැදුර ද විය. දැන් ගෙඩිගේ මූකළාන යයි කියන තැන විශාල ගල්ඔරුවක “මෙ මහපෙළ” කියා පැවැසේ. ඒ නිසා මේ ගල් ඔරුව මහා පාළියේ බත් ඔරුවයි. ඒ අසල තිබෙන ගල් පුවරුවක දළදා ගෙය ගැන සඳහන් වේ. පුරාණ අනුරාධපුරයේ දළදා මාළිගය තිබුණේ මහජනයා කියන ලෙස ථූපාරාමයට දකුණෙන් නොව ගෙඩිගේ මූකළානේ බව මේ ලිපියෙන් එළි වේ. දළදා මැදුරත් මහපාළියත් හැඳින ගැන්මෙන් ඒ අසල දක්නට ඇති නටබුන් ගොඩනැඟිලි රජ මැදුරට අයත් වී යයි තීරණය කළහැකියි. මේ පෙදෙසේ පාදා ඇති අත්තිවාරම්වලින් මුළු සැලැස්මක් දැක්වෙන්නේ ගෙඩිගෙයට නිරිත දිගින්ය. මෙය මහා විජයබාහු රජු අනුරාධපුරයේ ඉදි කළ මාළිගයේ නෂ්ටාවශේෂ යයි සැලකිය හැකියි.

අනුරාධපුරයේ බටහිර පැත්තේ දැන් මාළිගා යනුවෙන් මහජනයා පවසන තැන් සියල්ල ම එක සැලැස්මක් අනුව කොට තිබේ. මේ ආකාරයට ම තැනූ ගොඩනැඟිලි රිටිගල (බ.) දැක්ක හැකියි. මහාවංසයේ රිටිගල වනවාසිකයන්ට ආරාම කළ බැව් සඳහන්ය. රිටිගල ආරාමවලට සමාන අනුරාධපුරයේ ඇති අරම් ද ආරණ්‍යක භික්ෂූන් සඳහා කරවූ ප්‍රධානඝර යයි සැලකිය යුතුයි (පියන්ගල බ.). මහාවිහාරයට බස්නාහිර පැත්තෙන් ප්‍රධාන භූමිය පිහිටුවාලීය යන මහාවංස ප්‍රවෘත්තියට ද මේ නිගමනය සැසඳේ.

ශිලාලිපි උපකාරයෙන් අඳුනාගැනීමට හැකි වී තිබෙන තවත් ඉතිහාසගත සිද්ධස්ථානයක් නම් දක්ඛිණ විහාරයේ ස්තූපයයි. මේ දාගැබ ගරා වැටීමෙන් සෑදුණු ගොඩැල්ලට මේ ළඟක් වන තෙක් ම මහජනයා විසින් එළාර සොහොන යයි ව්‍යවහාර කරන ලදි. මහාවංසයේ දැක්වෙන හැටියට එළාළ චෛත්‍යය දුටුගැමුණු රජු කරවූයේ ඒ දෙමළ රජු සටන් කරමින් වැටුණු තැනය. මේ සටන සිදුවූයේ නගරයේ දකුණු දොරටුවේය. නගරයේ දකුණු දොරටුව ථූපාරාමයට හැතැප්ම කාලක් පමණ නැගෙනහිරින් පිහිටි බැව් යට දක්වන ලදී. ඒ නිසා එළාර චෛත්‍යය පුරාණයේ දී තිබුණේ වරදවා එළාර සොහොන යයි බොහෝ කලක් විශ්වාස කළ තැනට හැතැප්මක් පමණ උතුරෙනි. එතැන පුරාණ ස්තූපයක කිසි ලකුණක් නොමැතියි. එය කාලයට ගොදුරු වී යයි සිතිය යුතුයි.

උද්‍යාන නටබුන්: ඇතුළු නුවර හැරුණු විට අනුරාධපුරයේ ශාසනික නොවූ ගොඩනැඟිලිවල ශේෂයන් දක්නට ලැබෙන්නේ තිසාවැවේ කන්ද පාමුලය. හතරවැනි මිහිඳු රජුගේ ලිපියක තිසා වැවෙන් ජලය කුඹුරුවට දීම ගැන පැනවූ ව්‍යවස්ථාවන්හි එන ඇතැම් කරුණු ද රසවාහිනියේත් මහාබෝධිවංසගැටපදයේත් සඳහන් කරුණු ද සංසන්දනය කොට බැලීමෙන් පුරාණ රජවරුන්ගේ උයන මෙහි වූයේ යයි තීරණය කොට ගත හැකියි. දීර්ඝිකා, ධාරාගෘහ ආදි පුරාණ උයන්වල තිබුණු නොයෙක් අංගයන් ලෙස අඳුනා ගත හැකි කර්මාන්ත ද පොකුණු ද පොකුණුවලට ජලය ගෙන ඒමට උපයෝගී වූ සොරොව් යනාදිය ද මෙහි පාදා ඇත. මෙහි දැනට දක්නා කර්මාන්ත 8 වැනි 10 වැනි ශතකවලට අයත් විය හැකියි. පුරාණ කාලයේ දී උයන් කොයි ආකාරයකින් පැවතුණේ ද යන්න ගැන පොතපතේ දක්නා ලැබෙන සාධක වලට ගැළපෙන පැරණි දේ මේ මඟුල් උයනේත් සීගිරියේත් ඇර ලංකාවේ වෙන තැනක නොමැතියි. භාරතයේත් මෙතරම් පැරණි උයන් බිමක් තව ම සොයා ගෙන නොමැතියි.

මෙහි සඳහන් තැන් හැරුණු විට අනුරාධපුරයේ දක්නට ලැබෙන පැරණි ගෙපළවල් ඉතිහාසයේ සඳහන් අසවල් ප්‍රාසාදයට හෝ පිරිවෙනට අයත්ය කියා තීරණය කර ගැන්මට සෑහෙන සාක්ෂි නැත. අනුරාධපුරයේ දැන් දක්නට ඇති බොහොමයක් ගෙපළ ද එහි ඇති කර්මාන්ත ද අඳුනා ගැන්ම ඒ ඒ ස්ථානයට සම්බන්ධ කළ හැකි ශිලාලිපියක් හමුවුණොත් මිස වෙන මඟකින් කළ නොහැකියි. එබන්දක් ගැන කිවහැක්කේ මහාවිහාරයට හෝ අභයගිරියට හෝ ජේතවනයට හෝ අන්කිසි විහාරයකට හෝ ඇතුළත් වූ ගොඩනැඟිල්ලක්ය යන්න පමණි.

ඒ එසේ වුවත් මේ පුරාණ කර්මාන්ත ශේෂයන්ගේ උපකාරයෙන් පැරණි සිංහලයන්ගේ වාස්තු නිර්මාණ ක්‍රම හා මූර්ති කලාව කොයි ආකාරයකින් පැවතුණේ ද, ඒ ඒ කාලවල දී කොයි ලෙසින් වෙනස් වූයේ ද යන කාරණා වටහා ගත හැකියි. අනුරාධපුරයේ දක්නා ලැබෙන ඇතැම් පුරාවස්තු ලංකාවේ අතීතයට පමණක් නොව ලංකාවෙන් පිට බෞද්ධ රටවල්වල අතීතයට ද එළිය දෙයි. උදාහරණයක් වශයෙන්, පධානඝර යන ආයතන භාරතයේ පැරණි ලිපිවල සඳහන් වන නමුත් මේ ගණයේ නිර්මාණ කෙසේ වූයේ ද යන්න දැන ගැන්මට කිසියම් නිදර්ශනයක් භාරත දේශයෙහි නොමැතියි. අනුරාධපුරයේ පධානඝර හෙවත් පියන්ගල් මගින් මේ අඩුව පිරිමැසේ.

කර්තෘ:සෙනරත් පරණවිතාන

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අනුරාධපුරය&oldid=3255" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි