අයිසන්හවර්, ඩ්වයිට් ඩේවිඩ්

සිංහල විශ්වකෝෂය වෙතින්
13:22, 7 ජූලි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Eisenhower, Dwight David) 1890-. වර්ෂ 1952 සිට 1960 දක්වා ඇමෙරිකා එක්සත...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Eisenhower, Dwight David) 1890-. වර්ෂ 1952 සිට 1960 දක්වා ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ජනාධිපති පදවිය දැරූ මෙතෙමේ එරට 34 වැනි ජනාධිපතිවරයාය. දෙවැනි ජගත් සංග්‍රාමයෙන් බ්‍රිතාන්‍ය-ඇමෙරිකානු-රුසියානු මිත්‍රපක්ෂය ලත් ජයග්‍රහණය පිළිබඳ ගෞරවය හිමි වියයුතු වීර සේනාධිපතීන් කීපදෙනා අතර ප්‍රධාන තැනක් මොහුට හිමිය.

1890 ඔක්තෝබර් 14 වැනිදා ටෙක්සාස් ප්‍රාන්තයේ ඩෙනිසන්හි උපන් මොහුගේ මුතුන්මිත්තෝ ස්විස් ජාතිකයෝය. හෙතෙම කැන්සාස් ප්‍රදේශයේ දී මූලික අධ්‍යාපනය ලබා වෙස්ට් පොයින්ට්හි පිහිටි යුද්ධ ශිල්ප විද්‍යාලයට බැඳී 1915 දී එහි උපාධිය ලැබුවේය. ඉක්බිති දෑවුරුද්දක් කල් ටෙක්සාස්හි සෑම් හවුස්ටන් බලකොටුවේ දහනව වැනි පාබළ හමුදාවෙහි සේවය කොට, 1918 දී යුද්ධ ටැන්කි භට කණ්ඩායමක කපිතන් වශයෙන් ප්‍රංසයේ යුද පෙරමුණට යෑමට සූදානම්ව සිටියේය. 1920 දී මේජර් පදවියකට පත් වූ හෙතෙම ඊළඟ දොළොස්වස තුළ දී යුද්ධ ශිල්පයේ අංශ කීපයක් පිළිබඳ තවත් උපාධි ලැබ යුද්ධ කාර්‍ය්‍යාංශයේ උපලේකම්වරයා යටතෙහි උපවිධායක තනතුරට පත් විය. හේ 1933 දී පිලිපයින් දිවයින්වල ආරක්ෂා සංවිධාන කරවනු පිණිස පැමිණි මැක් ආතර් සෙනෙවිතුමාගේ විශේෂ සහකාර නිලධාරියා වශයෙන් සේවය කොට, 1939 දී තුන් වැනි පාබළ හමුදාවේ අණදෙන නිලධාරි තනතුර ලබා පෙරළා ගියේය. ඉන් පසු නවවැනි හමුදා බළඇණියේ ද, අවසන තුන්වැනි යුද්ධ හමුදාවේ ද ප්‍රධාන නිලධාරියා වූයේය.

ඇමෙරිකාව දෙවැනි ජගත් සංග්‍රාමයට සම්බන්ධ වූ පසු, 1942 පෙබරවාරියේ සිට යුද්ධ විධිවිධාන අංශයේ ඉතා විශිෂ්ට ලෙස සේවය කළ ඔහු යුරෝපීය යුද පෙරමුණේ සිටි සියලු ඇමෙරිකානු භට හමුදාවල මහ සෙනෙවි තනතුරට පත් කරන ලද්දේය. සිය කාර්‍ය්‍යාලය ලන්ඩනයේ පිහිටුවා ගත් හෙතෙම මිත්‍ර සේනා අතර මහත් සහයෝගතාවක් වහා ඇති කිරීමට පොහොසත් විය.

සූවස් ඇළ කරා නොනවත්වා වේගයෙන් ඇදීගිය රොමෙල්ගේ ජර්මන් සේනාවලට විරුද්ධව උතුරු අප්‍රිකානු ප්‍රදේශය ආක්‍රමණය කළ (1942.11.08) මිත්‍ර හමුදාවල සේනාධිනායකත්වය ඉසිලූ අයිසන්හවර් සමසක් තුළ දී විශිෂ්ට ජයග්‍රහණයක් ලබා, කැසබ්ලන්කා සම්මුතියෙන් තීරණය වූ පරිදි සිසිලි සහ ඉතාලි ආක්‍රමණයේ සේනාධිපති බවට ද පත්වූයේය. දෙමසක් තුළ දී සිසිලිය පරාජය විය; ඉක්බිති ඉතාලිය ද යටත් විය.

1943 දෙසැම්බරයේ දී පැවැත්වුණු කයිරෝ සම්මුතිය අනුව සියලු යුරෝපීය යුදපෙරමුණුවල මිත්‍ර හමුදා භාර සේනාධිනායක තනතුර ලත් අයිසන්භවර් ඉතාලි ආක්‍රමණය ඇලෙක්සැන්ඩර් සෙනෙවියාට භාර කොට, ප්‍රංස ආක්‍රමණය සඳහා කටයුතු සංවිධාන කරනු වස් ලන්ඩනයේ මිත්‍ර ආක්‍රමණික බල සේනා පිළිබඳ ප්‍රධාන මධ්‍යස්ථානය වෙත ගියේය. මේ කාලයෙහි දී ඔහු යටතෙහි සේවය කළ පළමුවන තෙවන, හත්වන, නවවන සහ පසළොස්වන ඇමෙරිකානු හමුදා ද පළමුවන කැනේඩියානු හමුදාව ද දෙවන බ්‍රිතාන්‍ය හමුදාව ද පළමුවන ප්‍රංස හමුදාව ද පිටපිට ලත් ජය නිසා 1945 මැයි 7 වැනිදා ජර්මනිය අන්ත පරාජයට පත් විය.

යුද්ධය අවසන් වූ පසු, ජර්මනියේ ඇමෙරිකානු කොටසේ ප්‍රථම යුද්ධ ආණ්ඩුකාර පදවිය ලත් අයිසන්හවර් 1945 නොවැම්බරයේ දී එක්සත් ජනපද හමුදාවේ අග්‍ර නිලධාරියා (Chief of Staff) බවට පත් විය.

1947 දී කොලම්බියා විශ්වවිද්‍යාලයේ අධිපති තනතුරට පත් වූ හේ ඇමෙරිකානු ත්‍රිවිධ හමුදාවල නිලධාරි සංගමයේ තාවකාලික සභාපති පදවිය දරමින් සිට 1950 දී උතුරු අත්ලන්තික් සම්මේලන සංවිධානය යටතේ බටහිර යුරෝපීය ආරක්ෂක හමුදාව භාරව ගියේය. 1952 දී "රිපබ්ලිකන්" පාක්ෂිකයකු වශයෙන් එක්සත් ජනපදයේ ජනාධිපති තරඟයට ඉදිරිපත් වූ අයිසන්හවර් ඉන් ජය ගත්තේය. 1956 දී ද ජනාධිපති වශයෙන් තෝරා ගනු ලැබුවේය.

(සංස්කරණය:1963)