ඩූශැම්ප්, හෙන්රි රොබට් මාර්ෂල්
තම සහෝදරයින් දෙදෙනා මඟින් ඝනිකවාදය (cubism) පිළිබඳ අවබෝධ කොට ගත් මොහු, ඇල්බට් ග්ලයිසිස් (Albert Gleizes), ජීන් මැට්සිඟර් (Jean Metzinger) වැනි චිත්‍ර ශිල්පීන් සම්බන්ධ ව සිටි 'දෙ ප්යූතො' (De Puteaux) නම් චිත්‍ර ශිල්පී කණ්ඩායමට ඇතුළත් ව සිටියේ ය. එහෙත් ඝනිකවාදය ඔස්සේ සිදු කෙරෙන නිර්මාණ සංවිධිත සහ අතිශය ස්ථායී ලක්ෂණ දරන බව වටහාගත් මොහු 'අර්ධ යථාර්ථවාදයේ' (semirealism) සිට 'වස්තු විරහිතව' (nonobjective) චලිත නිරූපනය කෙරේ නැඹුරු විය. එනයින් ඔහු අනාගතවාදයට සහ වියුක්තනවාදයට (abstractionism) සමීප විය. 1910-1920 දී පෙරටුගාමී නවරැල්ලෙන් (Avant-garde) ලත් ආභාසය මොහුගේ නිර්මාණ කෙරෙන් විශද වේ. එමඟින් ඩාඩාවාදයටත් අභිතාත්විකවාදයටත් මෙතෙමේ සමීප විය. ‘පඩිපෙළින් බසින නිරුවතිය’ (1912) එකල ඔහු අතින් නිමි මහත් ආන්දෝලනාත්මක නිර්මාණය වේ. එම නිර්මාණය මඟින් වස්තු විරහිත සිනමාත්මක ධ්වනියක් චිත්රයෙන් ගම්‍ය කිරීමට මොහු සමත් විය. එය චිත්‍ර කලාවේ නවමු අද්දැකීමක් විය. 'සිය තනිකඩයින් විසින් නිරුවත් කෙරුණු මනාලිය, මුහුණු දෙකකින් නිරූපිත එකිය' (1915-1923) හෙවත් 'මහා විදුරු ඵලකය' නමින් වඩාත් ප්‍රකට නිර්මාණය ඊයම් පත්, විද්‍යුත් විලායක කම්බි සහ දූවිලි යනාදී ද්‍රව්‍යයන්ගෙන් නිර්මිත, විවිධ අර්ථකථන ජනිත කළ, භෞතික විද්‍යාත්මක වශයෙන් ද විශිෂ්ට චිත්රයකි. එසේ වුවත් ඔහු තමා වෘත්තීය චිත්‍ර ශිල්පියකු නොවන බව අවධාරණය කළ අතර සාම්්රදායික අරුතික් ගත් කල ඔහු චිත්‍ර කර්මයෙහි නියැළුණේ කලාතුරෙකිනි. ඒ වෙනුවට කලාලෝලීන් කම්පනයට පත් කළ 'නිමි භාණ්ඩ' (ready-made) ක්‍රමය පුළුල් වශයෙන් භාවිත කෙළේ ය. එමඟින් ශිල්පියාගේ අභිමතය පරිදි තෝරාගැනීම සිදු කොට අත්සන යෙදීමෙන් එකී භාණ්ඩය කලා නිර්මාණයක්, ප්‍රදර්ශන හෝ කෞතුකාගාර භාණ්ඩයක් බවට පත් කරනු ලැබේ. 'පාපැදි සකය' (1913), 'බෝතල වියලනය' (1914), 'ජල මල' (1917) වැනි නිර්මාණ මේ ගණයට වැටේ. එකල ඔහු විසින් කරන ලද නිර්මාණ සංඛ්‍යාවෙන් අල්ප ය. එහෙත් ඒවා ප්‍රකෝපය අවුලූවා තබන සෙල්ලක්කාරී ලක්ෂණ දැරී ය. මෙම නිර්මාණවලට එහි කතුවරයා විසින් දීර්ඝ විස්තර සහිත විශ්ලේෂණාත්මක සටහන් යොදනු ලැබිණි. 1920 ගණන්වල දී මොහු 'ඩාඩා' කණ්ඩායමේ සහ අභිතාත්විකවාදීන්ගේ සාමූහික ක්‍රියාකාරකම්වලට උද්යෝගයෙන් සහභාගී විය. ඩාඩාවාදීන්ගේ සඟරා සහ වාර ප්‍රකාශනයන්හි මොහුගේ ලිපි නිතර පළ කෙරිණි. ඔවුන්ගේ චිත්‍රපට කිහිපයක රූගත කිරීම්වලට ද මොහු සහභාගී විය. ඒ අතරින් රෙනේ ක්ලෙයාර්ගේ Entr'acte (විරාමය) (1924) නමැති චිත්‍රපටය බෙහෙවින් ජනප්‍රිය විය. ඉන්පසු නිර්මාණ කලාවෙන් ඈත් වූ මොහු චෙස් ක්‍රීඩාව කෙරේ වැඩියෙන් නැඹුරු විය. ප්‍රංසයේ ජාතික තරගාවලි කිහිපයකට සහභාගී වූ මොහු චෙස් ක්‍රීඩා වාර්තාකරුවෙක් ද ලේඛකයෙක් ද විය. එහෙත් තවත් දශක කිහිපයක් පුරා ඔහු ඇමෙරිකානු කලා කරලියේත් ජාත්‍යන්තර පෙරටුගාමී නවරැල්ලේත් අතිශය බලසම්පන්න චරිතයක් විය.
1942න් පසු ඇ.එ.ජ.යේ වැඩිපුර වාසය කිරීමට වන් මොහු 1955 දී එරටේ පුරවැසිභාවය ලබා ගත්තේ ය. මෑන් රේ (Man Ray) ඇතුළු කිහිප දෙනකු සමඟ එකතුව 'ඇනෙමික් සිනමා' (Anemic Cinema) (1926) නමින් පර්යේෂණාත්මක සිනමා පටයක් නිර්මාණය කෙළේ ය. සාමාන්‍ය ලෝකයේ සෞන්දර්යාත්මක වටිනාකම් වෙනුවට තමාගේ නව ලෝකයේ සෞන්දර්යාත්මක වටිනාකම් ආදේශ කිරීමට මොහු ආක්රමණකාරී ව බුද්ධිපරමවාදය අවිය කොට ගත්තේ ය. ජනකාන්ත කලාව (pop art), අවමතාවාදය (minimalism), සාංකල්පික කලාව (conceptual art) වැනි 20 වන සියවසේ දෙවන භාගයේ කලා ප්රවණතා නිර්ණය කරනු පිණිස මොහුගේ නිර්මාණ කෙරෙන් සිදුවූ බලපෑම විශාල ය.
ප්‍රංසයේ න්යුලි සූ සැන්හි දී (Neuilly-sur-Seine) 81 හැවිරිදි වියේ දී මිය ගිය මොහුට බුහුමන් පිණිස 2000 සිට නූතන කලා ක්ෂේත්රයේ නිර්මාණ වෙනුවෙන් තරුණ චිත්‍ර ශිල්පීන් වෙත ප්‍රංසයේ පිරිනැමෙන විශාලතම ප්රදානය මොහුගේ නමින් නාමිත ය.
කර්තෘ: රන්ජන දේවමිත්ර සේනාසිංහ
(සංස්කරණය නොකරන ලද-2022)