ඌර්

සිංහල විශ්වකෝෂය වෙතින්
12:34, 6 අප්‍රේල් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(අ'ර්). ඉරාකයේ (පැරණි දකුණු බැබිලෝනියාවේ) යුප්‍ර...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(අ'ර්). ඉරාකයේ (පැරණි දකුණු බැබිලෝනියාවේ) යුප්‍රටීස් නිම්නය බඩ උ.අ. 31° හා නැ.දේ. 46° ආශ්‍රිතව පිහිටා ඇති පුරාණ ස්ථානයකි. මුල දී ඌර් නගරය පිහිටියේ යුප්‍රටීස් ගංගා නිම්නයට නැගෙනහිරිනි. එහෙත් දැනට යුප්‍රටීස් ගඟ ඌර් ප්‍රදේශයට සැ. 12ක් පමණ නැගෙනහිරින් ගලා බසී. යුප්‍රටීස් හා ටයිග්‍රිස් යන ගංගා නිම්නයන් දෙකට ම සමීපව පිහිටි හෙයින් ඌර් අතීතයේ දී ඉතා වැදගත් වෙළඳ මධ්‍යස්ථානයක්ව පැවතිණ. බැග්ඩෑඩ් හා බස්රා අතර දුම්රිය මාර්ගයෙහි වූ ඌර් දුම්රිය මංසන්ධිය ද මෙම ඓතිහාසික ස්ථානයට නුදුරුව පිහිටා ඇත.

පුරා විද්‍යාව

සුමේරියානු ඉතිහාසය පිළිබඳ වටිනා තොරතුරු රැසක් මෙහි කරන ලද පුරා විද්‍යාත්මක කැණීම්වලින් හෙළි වී තිබේ.

බස්රාහි බ්‍රිතාන්‍ය කොන්සල්වරයා වූ ජේ.ඊ. ටේලර් මහතා 1854 දී මෙම ස්ථානයේ කළ කැණීමක දී ලැබුණු මැටිමුවා සිලින්ඩර ලිපිවලින් මෙය ආබ්‍රහම්ගේ නිජබිම යයි බයිබලයේ සඳහන් වන ඛල්දියන්වරුන්ගේ ඌර් නම් ස්ථානය බව හෙළි විය. කලින් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙහි නිලධාරියකු වූ ආර්. කැම්බල් තොම්සන් මහතා මෙසපොටේමියාවේ යුදහමුදාවේ ප්‍රවෘත්ති අංශයෙහි සේවය කරමින් සිටින අතර 1918 දී මෙහි පර්යේෂණයක යෙදුණේය. එයිනික්බිතිව, බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ මෙහෙයීමෙන් ආචාර්ය එච්.ආර්. හෝල් යටතේ එහි පැමිණි කණ්ඩායමක් 1918-19 දී මෙම ස්ථානය කැණීම යළිත් ආරම්භ කළේය. මුදල් හිඟකම නිසා නවතා දැමීමට සිදු වූ මේ කටයුතු 1922 දී පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයීය කෞතුකාගාරයේත් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේත් ඒකාබද්ධ කණ්ඩායමක් මගින් නැවතත් ආරම්භ කෙරිණ. සර් ලෙනාඩ් වුලිගේ අධ්‍යක්ෂකත්වය යටතේ පැමිණි මේ කණ්ඩායම දොළොස් අවුරුද්දක් තිස්සේ මෙහි පුරාවිද්‍යාත්මක පර්යේෂණයන්හි නිරත විය. මීට අමතරව, ඉරාකයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ද ඌර් පිළිබඳ සෑහෙන පර්යේෂණ කටයුතු ප්‍රමාණයක් ඉටු වී ඇත.

ප්‍රථම රාජවංශ යුගය

සුමේරියාවේ ප්‍රාග්-ඓතිහාසික යුගයට අයත් අල් උබායිද් (බ.), උරුක් (බ.) සහ ජෙම්දෙත් නස්ර් (බ.) නම් වූ සංස්කෘතීන් තුන ම ඌර්හි ද පැවති බව යථෝක්ත පර්යේෂණයන්ගෙන් අනාවරණය වී ඇත. ඌර්හි ප්‍රථම රාජවංශ යුගයට (ක්‍රි.පූ. 2370 පමණ) හෝ ඊට ආසන්න කාලයකට අයත් සොහොන් බිමක් කැණීමෙන් සමකාලීන ඌර් ශිෂ්ටාචාරය පිළිබඳ තොරතුරු රාශියක් ලබාගැනීමට වුලිගේ කණ්ඩායම සමත් විය. මෙම සොහොන් බිමෙහි රජවරුන්ගේ සොහොන් ගෙවල් දහසයක් දක්නා ලදි. රජවරුන්ගේ සිරුරු තැන්පත් කළ මේ සොහොන් ගෙවල් පිහිටියේ ඉඩකඩ ඇති සොහොන් වළක එක් පසෙකය. සොහොන් වළට බැසීම සඳහා පඩි සහිත හෝ බෑවුම් සහිත පියමඟක් විය. මියගිය රජවරුන් හා සමග ඔවුන්ගේ පරිවාර ජනයා ද සේවක සේවිකාවන්ද බිලි කොට භූමදාන කරන ලද බව හෙළි වී ඇත. මෙයින් එක් සොහොන් වළක හැටදෙනකුට නොඅඩු පිරිසකගේ ඇටකටු ද රිය දෙකක නෂ්ටාවශිෂ්ට ද ඒ රියවල බඳනා ලද ගොනුන්ගේ ඇටකටු ද දක්නා ලදි. මෙම සොහොන් වළවල්හි වූ පිරිස් අතර අන්තඃපුර ස්ත්‍රීන් ද හේවායන් ද ගාන්ධර්වයන් සහ රජමාළිගයට අයත් සෙසු සේවක සේවිකාවන් ද වූ බව ඔවුන්ගේ ඇටකටු ආශ්‍රිතව තිබුණු ආභරණ හා වෙනත් භාණ්ඩ අනුසාරයෙන් නිගමනය කළ හැකිව තිබේ. මොවුන් සියලු දෙනා ම සොහොන් වළ තුළ දී කිසියම් පානයක් පීමෙන් දිවි තොර කරගන්නට ඇතැයි අදහස් කෙරේ. මේ සොහොන් වළවලින් හෙළිවන්නේ රජවරුන් පිළිබඳ අවමංගල්‍ය චාරිත්‍රයකැයි වුලි අදහස් කරන අතර එයින් දැක්වෙන්නේ සශ්‍රීකත්වය පිළිබඳ චාරිත්‍රයකැයි ද මේවායේ භූමදාන කොට ඇත්තේ රජවරුන් නොව පූජකයන් යයි ද යන තවත් මතයක් වේ.

මේ සොහොන් බිම්වලින් ලැබුණු භාණ්ඩ ද පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුක්තය. තත්කාලීන ශිෂ්ටාචාරයේ දියුණුව ඒවායින් පිළිබිඹු වේ. මේ භාණ්ඩ රාශියක් රත්රන්, රිදී, ලැපිස් ලැසුලි (නීලෝපල), කානීල්‍යන් ආදියෙන් කළ ඒවාය. තඹ හා ලෝකඩ ද භාවිතයෙහි පැවැති බවට සාධක ඇත. මේ සොහොන් බිම්වල තිබී සොයාගන්නා ලද දෑ අතර විශේෂයෙන් සඳහන් කළ යුතු භාණ්ඩ කිහිපයක් වේ. අඟල් 22ක් දිග, අඟල් 9ක් උස, ඍජුකෝණාස්‍ර පුවරු දෙකකින් යුක්ත වූ 'ඌර් ධජය' නමින් හැඳින්වෙන කැටයම මින් එකකි. මෙහි යුද්ධයත් සාමයත් පිළිබඳ පුවත් කිහිපයක් නිරූපිතය. එක් එක් පුවරුවෙහි තිරස් තීරු තුන බැගින් වේ. සුමේරියානු සම්ප්‍රදායට අනුව කැටයමෙහි අවස්ථා දැක්වෙන්නේ පහළ ම තීරුවේ සිට ඉහළටය. යුද්ධය නිරූපණය කෙරෙන පුවරුවේ පහළ ම තිරස් තීරුවෙහි යුද වැදුණු රිය සෙනඟ දැක්වෙති. මැද තීරුවෙන් දැක්වෙන්නේ ජීවග්‍රාහයෙන් ගන්නා ලද සතුරන් රජු වෙත කැඳවා ගෙන යනු ලබන ආකාරයයි. උඩ ම තීරුව මැද රියෙන් බැස සිටිනා රජ වේ. ඔහු පිටුපස මඟුල් රිය ද සේවකයෝ ද දක්නා ලැබෙත්. රාජපුරුෂයෝ තමන් කැඳවාගෙන ආ සතුරන් රජු වෙත ඉදිරිපත් කරති. සාමය නිරූපණය කෙරෙන පුවරුවෙහි පහළ ම තීරු දෙක්හි බඩුපොදි සහ ආහාර ද්‍රව්‍ය ආදිය රැගෙන යන රාජපුරුෂයෝ දැක්වෙති. ඔවුහු ගවයන්, බැටළුවන් ආදි සතුන් දක්කාගෙන යති. ඉහළ ම තීරුවෙහි රජු හා රාජසභිකයෝ අසුන්වල හිඳ මධු පානය කරති. මේ කැටයම් තීරුව කෙළවර වීණාවක් (ලයර්) වාදනය කරන්නකුගේ රූපයෙකි. මේ රූප නෙළා ඇත්තේ ලැපිස් ලැසුලි පසුතලයක සිප්පිකටු සහ හුනුගල් විශේෂයකිනි. මුළු කැටයම ම බිටුමන්වලින් දැව පුවරුවලට සවිකොට ඇත. මෙහි රූප නෙළා ඇති ආකාරයෙන් එකල ශිල්පීන්ගේ කලා කෞශල්‍යය පිළිබිඹු වන අතර එහි නිරූපිත අවස්ථාවන් කරණකොට ගෙන එය වැදගත් ඓතිහාසික වාර්තාවක් ද වෙයි. යට කී සොහොන් භාණ්ඩ අතර ඝන රන්මුවා තලයක් සහිත සිරියක් ද වෙයි. එහි මිට ලැපිස් ලැසුලි ගලින් නිමවා රන්බුබුළු අල්ලා අලංකාර කොට ඇත්තේය. සිරියේ කොපුව ද රනින් ම නිමියේ විසිතුරු දැල් කැටයමින් හොබනේය. මෙකල හාප් සහ ලයර් නමින් දන්නා වීණා කිහිපයක් ම සොහොන් වළවලින් සොයා ගෙන තිබේ. මේවායින් ඇතැම් සංගීත භාණ්ඩ රිදියෙන් ද ඇතැම් ඒවා දැවයෙන් ද නිමියේය. සිප්පිකටු, ලැපිස් ලැසුලි, රත්රන් ආදිය ගිල්ලවීමෙන් මේවා අලංකාර කරන ලදි. මෙම හාප් සංගීත භාණ්ඩවල ගවයකුගේ හෝ එළදෙනකගේ හිසක මූර්තිය සවිකොට ඇත. එක් භාණ්ඩයක ගෝණකුගේ හිසක මූර්තිය සවි කොට තිබේ. සොහොන්වල තිබී සොයා ගන්නා ලද නොයෙක් භාණ්ඩවල ඇති රන්රිදී කර්මාන්තයන්ගෙන් මෙන් ම රන්මුවා කුසලාන්වලින් ද එකල රන්කරුවන්ගේ ශිල්පීය දියුණුව ප්‍රකට වේ.

වාස්තු විද්‍යාව අතින් සලකන විට, ආරුක්කුව ද බෝක්කු හැඩය ගත් පියස්ස මෙන් ම අර්ධගෝලාකාර පියස්ස ද මෙකල ශිල්පීන් දැන සිටි බවට මේ සොහොන් ගෙවල් සාධක වෙයි.

ඌර්හි ප්‍රථම රාජවංශික යුගයට අයත් දේවාලයක් අල් උබායිද් නම් ස්ථානයෙහි කරන ලද කැණීම්වල දී මතු වී තිබේ. එය ඌර්හි ප්‍රථම රාජ වංශයේ ආරම්භකයා වූ මෙස්-අන්නි-පද්-ද රජුගේ පුත්‍ර අ-අන්නි-පද්-ද නම් රජතුමා විසින් නින් ඛර්සග් දේවිය සඳහා ඉදි කරවන ලද බව එහි වූ සෙල්ලිපියක සඳහන් වේ. මේ දේවාලය පිහිටියේ මැටි ගඩොලින් කළ අධිෂ්ඨානයක් මතුයෙහිය. දේවාල මුඛය අලංකරණය කරන ලද මූර්ති හා අල්පෝන්නත කැටයම් සහිත පට්ටිකා දේවාලයේ බිත්ති සමඟ ඇද වැටී තිබී සොයාගන්නා ලදි. තඹවලින් කළ මේ එක් කැටයමකින් නියපඳුරුවලින් ගෝණුන් දෙදෙනකු ගත් උකුස්සෙක් දැක්වේ. සිංහයන්ගේ ඌර්ධව කායයන්හි මූර්ති කිහිපයක් ද තඹවලින් කළ ගවයන්ගේ මූර්ති කිහිපයක් ද මේ සුන්බුන්වලට අයත්ය. එක් පට්ටිකාවක ගවයන් පේළියක් ද කිරි දෙවීමේ දර්ශනයක් ද අල්පෝන්නතව කැටයම් කොට ඇත. දේවාලයට අයත් ඇතැම් කුලුනුවල සිප්පි, ශල්ක සහ රතුගල් ගිල්වා ඇත. ඇතැම් කුලුනු වටා තඹ තහඩු අල්ලා ඇත. මේ නටබුන් එක් කොට දේවාලයේ මුඛය ප්‍රතිනිර්මාණය කළ වුලි එය ඌර්හි ප්‍රථම රාජවංශ සමයේ වාස්තුවිද්‍යාව සහ කලාව පිළිබිඹු කොට දක්වන මහඟු නිදසුනක් බව පවසයි.

මෙසමයට ම අයත් සිගුරට් ගොඩනැඟිලි ද වේ. මේවා ගොඩනඟා ඇත්තේ මැටිගඩොලිනි. ගොඩනැඟිලි සමූහය පිහිටි මළුව වටා වූ පවුරෙහි පදනමට හුනුගල් වරි කිහිපයක් අල්ලා ඇත. මෙකී පවුරේ ඝනකම අඩි 36කි. මෙතරම් ඝන පවුරක් බැඳ තිබීමෙන් මෙන් ම මෙහි වූ මුරගෙයින් ද යුද්ධායුධ ගබඩාවක් වශයෙන් භාවිතා කළ බවට සාධක ඇති ගබඩා කාමරයකින් ද පෙනෙන්නේ සිගුරට් පහය පිහිටි මේ ස්ථානය බලකොටුවක් වශයෙන් ද භාවිත වූ බවයි.

දෙවන රාජවංශ යුගය

ප්‍රථම රාජවංශ යුගයෙන් පසු ඌර්හි පරිහානි යුගයක් උදා වූ බව පෙනේ. ක්‍රි.පූ. 2340 දී පමණ අක්කාඩ්හි සාර්ගොන් රජු විසින් ඌර් යටත්කොට ගන්නා ලදි. මේ පාලන සමයෙන් පසු ඌර්හි දෙවැනි රාජවංශයක් පැවැති නමුත් ඒ කාලපරිච්ඡේදය පිළිබඳ කිසිදු තොරතුරක් දත නොහැකිය.

තෙවන රාජවංශ යුගය

ක්‍රි.පූ. 2112 සිට 2015 දක්වා පැවැති තෙවන රාජවංශ යුගයේ දී ඌර් විශාල අධිරාජ්‍යයක අගනුවර බවට පත් විය. දිගින් යාර 1,130ක් ද පුළුලින් යාර 750ක් ද පමණ වූ නුවර, ප්‍රාකාරයකින් සහ කොටුබැම්මකින් පරික්ෂිප්ත වූයේය. කොටුබැම්මේ පදනම මැටි ගඩොලින් ද පවුර පිලිස්සූ ගඩොලින් ද තැනිණ. කොටුබැම්මට බස්නාහිර පැත්තෙන් යුප්රටීස් නදිය ද උතුරු කොනේ දී එම නදියෙන් පටන් ගෙන නැගෙනහිර දිසාව දක්වා වැටුණු දිය අගලක් ද වූයෙන් නගරයට පිවිසිය හැකි වූයේ දකුණු දෙසින් පමණි. නගරයේ පුජනීය පෙදෙසෙහි සිගුරට් පාය ඇතුළු දේවාල ආදිය ඉදි කොට තිබිණ. මේ ප්‍රදේශය නැනාර් නම් වූ සඳ දෙවියාට ද ඔහුගේ ශක්තිය වන නිංගාල් දෙව්දුවට ද කැප විය.

මෙකී සිගුරට් පාය ඌර්හි තෙවන රාජවංශයේ ප්‍රථමයා වූ ඌර්-නම්මු සහ ඔහුගේ පුත් දුන්ගි විසින් ආරම්භ කරන ලද බවත් එම කර්මාන්තය බැබිලෝනියාවේ අන්තිම රජු වූ නබෝනිදුස් රජු විසින් සම්පූර්ණ කොට තැනවූ බවත් මෙහි තිබී සොයාගන්නා ලද මැටිමුවා සිලින්ඩර ලිපිවල ප්‍රකාශිතය. සිගුරටය මාලක තුනකින් යුක්තය. පහත ම මාලකය අඩි 200×150ක පමණ අයම් විතරින් ද, අඩි 50ක පමණ උසින් ද යුක්තය. ඊමත පිහිටි අනික් මාලක දෙක ක්‍රමයෙන් එකිනෙකට කුඩා වේ. සඳ දෙවියා සඳහා ඉදි වූ එක් ගර්භයක් සහිත කුඩා දෙව්මැදුර පිහිටියේ ඉහළම මාලකයෙහිය. සිගුරටයට නැඟීම සඳහා එහි ඊසාන දිසාවෙහි පියගැටපේළි තුනක් විය. මෙයින් එක් පියගැටපේළියක් බිම් මාලකයේ බිත්තිය මැදින් ඉදිරියට නෙරා පිහිටි අතර අනික් පියගැටපේළි දෙක බිත්තියට යාව දෙපසට විහිද සිටියේය. මේ පියගැටපේළි එක් වන තැන, පළමුවැනි හා දෙවැනි මාලක අතර, විශාල දොරකොටුවකි. එහි සිට දෙවැනි මාලකයට ද ඉහළ ම මාලකයේ දෙව්මැදුරට ද පියගැටපේළි විය. මාලකයන්හි ගස් රෝපණය කර තිබුණු බවට සාධක ඇත. මේ ගස් නිසා සිගුරටය ඕලම්බක උද්‍යානයක සිරිය ගන්නට ඇත. නියම ආරුක්කුව ද අර්ධ ගෝලාකාර පියස්ස ද මෙම නිර්මාණයෙහි ලා උපයුක්තය.

පූජනීය පෙදෙසට අයත් තවත් වැදගත් ගොඩනැඟිල්ලක් වූයේ දුබ්ලාල් මාඛ් හෙවත් පුවරු ගෘහයයි. ඌර්-නම්මු රජු විසින් එය තනවන ලද්දේ සිගුරටය පිහිටි මාලකයට පිවිසෙන දොරකොටුව වශයෙනි. පසුව එය නගරයේ විනිශ්චය ශාලාව වශයෙන් ද භාවිතා කරන ලදි. මෙහි තිබී ලැබුණු මැටි පුවරු රාශියකින් ඌර්හි තෙවන රාජවංශ යුගයේ පාලන තන්ත්‍රය පිළිබඳ අගනා තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. මේ පුවරුවලින් තහවුරු වන පරිදි ඌර්හි රජු වශයෙන් සලකන ලද්දේ නැනාර් දෙවියාය. නියම වශයෙන් රට ආණ්ඩු කළ රජතුමා නැනාර් දෙවියාගේ නියෝජිතයා වූයේය. පාලන තන්ත්‍රයේ විවිධ අංශ භාර ඇමතිවරුන් ඇතුළු රාජසභාව පුළුල් සංවිධානයක් විය. ඒ ඒ අංශ සඳහා ගර්භ සහ සභාශාලා දේවාල භූමිය තුළ පිහිටියේය. මෙයින් පෙනෙන්නේ දේවාලය ආගමික කටයුතුවලට පමණක් සීමා වූ ස්ථානයක් නොව රජ මාළිගය, ආණ්ඩුවේ කාර්යාල සහ ගබඩා ගෙවල් ආදිය අයත් ගෘහසමූහය වූ බවයි.

භූමියෙහි හිමිකම නැනාර් දෙවියා සතු වූයෙන් බිමින් උපදනා දැයින් කොටසක් ඔහුට අයත් විය. මේ අනුව වැසියන් විසින් නිතිපතා බදු වශයෙන් විවිධ දෑ දේවාලයට ගෙන එන ලදි. දේවාලයට මෙසේ ගෙනැවිත් බාර දෙන ලද සියලු ම දේවල් මැටිපුවරුවල සටහන් කොට මැටිපුවරුවල ලියූ කුවිතාන්සි නිකුත් කරන ලදි. සෑම මාසයක් අග දී ම දේවාලයට සැපයුණු සියලු ම දෑ පිළිබඳ විස්තර සටහනක් පිළියෙල කරන ලදි.

දේවාලයේ පාලනය යටතෙහි සිදු කරන ලද සේවාවන් සඳහා දේවාලයේ ආදායමෙන් දෙන ලද වැටුප් ආදි දීමනා ද මෙසේ ම පරීක්ෂ්‍යකාරීව වාර්තා කොට තබන ලදි. දේවාලය මගින් සිදු වූ කාර්මික කටයුතු පිළිබඳ තොරතුරු ද මේ මැටිපුවරුවල අඩංගුය. රෙදි විවීම මේ කර්මාන්තයන්ගෙන් එකක් විය. දේවාල භූමිය තුළ වූ කර්මාන්ත ශාලාවල 'උපාසිකාවෝ' බොහෝ දෙනෙක් සේවයෙහි යොදවන ලදහ. දේවාල භූමියට පිටින් කුඩා කර්මාන්ත ශාලා තනාගෙන සිටි පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන්ට වැඩ කොටස් වශයෙන් බාර දෙන ලදි.

ඌර්හි රාජත්වය පිළිබඳව එළියක් ලැබෙන කැටයම් පුවරුවක් පුවරු ගෘහයට නුදුරුව තිබී සොයා ගෙන ඇත. අඩි 10ක් උස අඩි 5ක් පුළුලැති මේ හුනුගල් පුවරුවෙහි හිස රවුම්ය. පුවරුවේ පුළුල් පැති දෙක්හි ම තිරස් අතට තීරු පහ බැගින් වෙන් කොට ඒ එක් එක් තීරුවෙහි ඌර්-නම්මු රජුගේ කාර්යසාඵල්‍යය දක්වා ඇත. දෙපැත්තෙහි ම මුදුන් තීරුවෙහි වනුයේ එක ම කැටයමකි. මේ කැටයම මුදුනෙහි අඩසඳ වේ. ඊට යටින් සිටින ඌර්-නම්මු රජ, දරුවකු ඇකයෙහි තබාගෙන හිඳින නිංගාල් දෙව්දුවට වඳියි. රජුගේ හිසට උඩින් දිය දහර දැක්වේ. උඩ සිට දෙවැනි තීරුවෙහි වම් කෙළවර නිංගාල් දෙව්දුවගේ රූපය ද දකුණු කෙළවර නැනාර් දෙවියාගේ රූපය ද වේ. මේ දෙදෙනා ම සිටින්නේ ආසනාරූඪවය. ඔවුන් දෙදෙනාට පූජා පවත්වන රජුගේ රූපය ද රජු පිටුපසින් සිටින රජුගේ ඉෂ්ට දේවතාවන්ගේ යයි සැලකෙන රූපය ද දෙවරක් දක්වා ඇත. නැනාර් දෙවියා පෙදරේරුවන් භාවිතා කරන මිනුම් දණ්ඩක් ද ලඹයක් ද රජුට දෙයි. මේ උපකරණ දෙක යුක්තියේත් සාධාරණත්වයේත් සංකේත ලෙස සැලකේ. තුන් වැනි තීරුවෙහි රජු මේ උපකරණ රැගෙන ගමන් ගන්නා අයුරු දැක්වේ. මෙයින් නිරූපණය කෙරෙන්නේ රජු සිගුරට්පාය තැනවීම සඳහා නික්ම යාම යයි වුලි අදහස් කරයි. පුවරුවේ මුහුණතෙහි සෙසු කොටස් කැඩී ගොස් තිබේ. එහි අනික් පැත්තෙහි පූජකයකු ගවයකුගේ බඳ කැපීමේ දර්ශනයකින් යඥයක් නිරූපිතය. ආසනාරූඪ දෙවියන් ඉදිරියට පිටිතල හයා බැඳි සතුරන් පමුණුවන ආකාරය ද මෙහි කැටයම් කොට ඇත. තවත් කැටයමකින් විශාල බෙරයක් ගසන බෙරකරුවෝ සමූහයක් දැක්වෙති. මේ කැටයම් දෙකින් විජයග්‍රහණය දැක්වෙන බැව් සිතිය හැකිය. අවසන් තීරුවෙහි තවත් යඥයක දර්ශනයකි. මේ කැටයම් පුවරුවේ නිරූපිත දර්ශන සමස්තයක් වශයෙන් ගෙන බලන කල්හි එයින් හෙළි වන්නේ සුමේරියානු රජකු සතු කාර්යයන් සේ සලකන ලද දෙවියන් පිදීම, සතුරන් ජය ගැනීම, වැසියන්ට යුක්තිය ඉටුකිරීම හා ඇළවේලි තැනීම බව වුලි පෙන්වා දෙයි.

ඊලාම දේශයෙන් පැමිණි ආක්‍රමණිකයන්ගේ ප්‍රහාරවලට ලක් වීමෙන් ඌර්හි තෙවන රාජ වංශය බිඳ වැටිණ. මේ ආක්‍රමණිකයෝ ඌර් නගරය ද ගොඩනැඟිලි ද විනාශ කළහ. අනතුරුව සුමේරියාවේත් අක්කාඩ් (ඇකැඩ්) දේශයේත් ආධිපත්‍යය ලැබූ ඉසින් සහ ලාසා යන නගරවල පාලකයෝ ඌර්හි ගොඩනැඟිලි ආදිය ප්‍රතිසංස්කරණය කළහ. ඉසින්-ලාසා සමය ශත වර්ෂ දෙකක පමණ කාලයක් පැවතීමෙන් පසු ක්‍රි.පූ. 1800 දී බැබිලෝනියාවේ රජු විසින් ඌර් යටත් කොටගන්නා ලදි. බැබිලෝනියානු ප්‍රහාරයේ දී විනාශයට පත් කරන ලද ගොඩනැඟිලි ආදිය නැවතත් ප්‍රතිසංස්කරණය කරන ලද්දේ කුරි ගල්සු නම් කැසයිට් රජු විසිනි. උතුරෙහි ඇසිරියානු රාජ්‍යයේ නැඟීම හේතුකොටගෙන ඌර් ඇතුළු සුමේරියානු පෞර රාජ්‍යයන්හි බලය ප්‍රහීණ විය. ක්‍රි.පූ. 7 වන සියවසේ දී ඇසිරියානු රාජ්‍යය බිඳ වැටීමෙන් පසු සුමේරියාවෙහි පාලනය බැබිලෝනියාවේ නව රාජ වංශයක් අතට පත්වීම නිසා මේ තත්ත්වය යළිත් වෙනස් විය. මෙම රාජවංශයේ ශ්‍රේෂ්ඨතමයා වූ බයිබලයේ සඳහන් වන නෙබුකද්නෙසර් රජ ද එම රාජවංශයේ අන්තිමයා වූ නබෝනිදුස් රජ ද ඌර්හි ගොඩනැඟිලි කර්මාන්ත ප්‍රතිසංස්කරණය කිරීමෙහි ලා සැලකිලිමත් වූහ.

යථෝක්ත බැබිලෝනියානු රාජවංශය ජයගෙන සුමේරියාවෙහි බලය අත්පත් කොටගත් පර්සියානුන්ගෙන් ද ඌර් ශිෂ්ටාචාරයේ පැවැත්මට එල්ල වූයේ තර්ජනයෙකි. පසු කාලයක ශරතුෂ්ට්‍ර සමය වැළඳගත් පර්සියානු පාලකයෝ සුමේරියානු ආගම නොඉවසුවාහු සුමේරියානු ආගමේ කේන්ද්‍රස්ථානයක් වූ ඌර්හි දේවාල ආදිය වනසා දැමූහ. ක්‍රි.පූ. 4 වැනි සියවසේ දී පමණ යුප්රටීස් නදියේ මාර්ගය වෙනස්වීමත් සමඟ සුමේරියානු ශිෂ්ටාචාරයේ කේන්ද්‍රස්ථානයක් වූ ඌර් ජනාවාසයෙන් තොර වී වැලිකතරෙහි කොටසක් බවට පත් විය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඌර්&oldid=10722" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි