ඌර්ධ්වපාතනය

සිංහල විශ්වකෝෂය වෙතින්
12:56, 6 අප්‍රේල් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Sublimation). ඝන ද්‍රව්‍යයක් රත් කළ විට කෙළින් ම වාෂ්ප...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Sublimation). ඝන ද්‍රව්‍යයක් රත් කළ විට කෙළින් ම වාෂ්ප බවට හෝ වායුමය ද්‍රව්‍යයක් බවට හෝ පරිවර්තනය වී සිසිල් කළ විට එය යළිත් ඝන ද්‍රව්‍යය බවට පරිවර්තනය වීම ඌර්ධ්වපාතනය නමි. ඇමෝනියම් ක්ලෝරයිඩ් ස්ඵටික පරීක්ෂණ නළයක තබා රත් කළ හොත් එය වාෂ්පභාවයට පරිවර්තනය වේ. මේ වාෂ්ප පරීක්ෂණ නළයේ ඉහළ සිසිල් කොටසට ගිය විට එයින් යළිත් ඇමෝනියම් ක්ලෝරයිඩ් ස්ඵටික සෑදේ. පහසුවෙන් ඌර්ධ්වපාතනය සිදුවන තවත් ද්‍රව්‍යයක් නම් අයඩීන්ය. අයඩීන් ස්ඵටික පරීක්ෂණ නළයක තබා රත් කළ හොත් ස්ඵටික වාෂ්පභාවයට හැරේ. පරීක්ෂණ නළයේ ඉහළ කොටසට පැමිණි විට මේ වාෂ්පයෙන් අයඩීන් ස්ඵටික සෑදේ. ලෝහමය හෝ අලෝහමය හෝ වන බොහෝ ස්ඵටික ද්‍රව්‍යයන් රික්තයක (vacuum) ඌර්ධ්වපාතනය කළ හැකිය. තරමක් ලොකු සෙලේනියම් ස්ඵටික මේ අන්දමට සාදා ගෙන තිබේ.

ඌර්ධ්වපාතනය හා ආසවනය (බ.) අතර ඇති වෙනස නම් ඌර්ධ්වපාතනයේ දී ඝන ද්‍රව්‍යය ද්‍රව අවස්ථාවකට පරිවර්තනය නොවීමයි. වෙනත් අවස්ථා විපර්යාසවල මෙන් ඌර්ධ්වපාතනය සිදුවන විටත් තාපය අවශෝෂණය හෝ විමෝචනය හෝ වේ. ද්‍රව්‍යයක තනි ස්කන්ධ ඒකකයකින් අවශෝෂණය කරන හෝ විමෝචනය කරන හෝ මේ තාප ප්‍රමාණයට ඌර්ධ්වපාතන තාපය (heat of sublimation) යයි කියනු ලැබේ. අයඩීන්, කපුරු හා ම'කියුරික් ක්ලෝරයිඩ් වැනි ද්‍රව්‍ය ඌර්ධ්වපාතනයෙන් ශුද්ධ කළ හැකිය. ඇතැම් මිශ්‍රණවල සංඝටකයන් ද ඌර්ධවපාතනය යෙදීමෙන් වෙන් කළ හැකිය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඌර්ධ්වපාතනය&oldid=10725" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි