එක්සත් මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත රාජධානිය
එක්සත් මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත රාජධානිය
එක්සත් මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත රාජධානිය (United Kingdom of Great Britain and Northern Ireland) යනු එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය හා උතුරු අයර්ලන්තය යන මේවායින් සමන්විත දේශපාලන ඒකකයේ නිල නාමයයි. ව්‍යවහාර පහසුව තකා වැඩි වශයෙන් භාවිත වනුයේ එක්සත් රාජධානිය කියායි. ඇතැම්විට ඒකාබද්ධ රාජ්‍යය යන්නෙන් ද මෙම දේශපාලන ඒකකය හැඳින්වේ.
එක්සත් රාජධානිය ව්‍යවස්ථානුකූල සසීම රාජාණ්ඩුවකි. මෙකල එක්සත් රාජධානියේ සිහසුන හොබවන්නී එලිසබත් II (බ.) මහරැජිනය. ඕතොමෝ බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයේ නායිකාව ද වන්නීය.
විශාලත්වය හා ජනගහනය
එක්සත් රාජධානියේ සම්පූර්ණ විශාලත්වය ව.සැ. 94,215කි. එංගලන්තය ව.සැ. 50,871ක් ද වේල්සය 7,474ක් ද ස්කොට්ලන්තය 30,411ක් ද උතුරු අයර්ලන්තය 5,459ක් ද තනි තනිව විශාලය. රාජ්‍ය සතරේ ජනගහනය පිළිවෙළින් (1971) 45,870,000; 2,724,000; 5,228,000; 1,525,000 යන වශයෙනි. එ.රා.හි මුළු ජනගහනය (1971) 55,522,000කි. මින් 78%ක් ම නාගරික ජනගහනයයි. එ.රා.හි අගනුවර එංගලන්තයේ අගනුවර වූ ලන්ඩන් නුවරයි. පිටිනුවර ද ඇතුළුව එහි ජනගහනය (1961) 7,997,089කි. එක්සත් රාජධානියෙහි භාර ලක්ෂයකට අධික ජනගහනය ඇති නගර පහත දැක්වේ. බර්මිංහැම් 1,107,187; ග්ලාස්ගෝ 1,055,017; ලිවර්පූල් 745,750; මැන්චෙස්ටර් 661,791; බෙල්පාස්ට් 549,139; ලිඩ්ස් 510,676; ෂෙෆීල්ඩ් 494,394; එඩින්බරෝ 468,361; බ්‍රිස්ටල් 437,048. ඉංග්‍රීසි භාෂාව මුළු රාජ්‍යය පුරා භාවිත වෙතත් බටහිර වේල්ස්හි බොහෝ දෙනා වෙල්ෂ් භාෂාවත්, ස්කොට්වරුන් හා අයිරිෂ්වරු බොහෝ දෙනෙක් ගේලික් පවුලට අයත් භාෂාත් කථාකරති.
එක්සේසත් වීම
වෙන ම සුළු රාජ්‍යයක් වශයෙන් පැවති කෙල්ටික් වේල්සය 1282 දී එංගලන්තයේ එඩ්වඩ් I රජු විසින් යටත් කරන ලදි. 1284 දී එහි ඉංග්‍රීසි අණසක පිහිටුවනු ලැබීය. එඩ්වඩ් රජ වේල්ස් ජනතාවගේ සිත් දිනාගැනීමේ අදහසින් 1301 දී ස්වකීය පුත්‍රයා (පසුව එඩ්වඩ් II) 'වේල්ස් කුමාරයා' යන ගෞරව නාමයෙන් හඳුන්වන ලදි. බ්‍රිතාන්‍ය රජුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයාට වේල්ස්හි කුමාර පදවිය ප්‍රදානය කිරීමේ සිරිත ආරම්භ වූයේ මෙලෙසිනි. 1536 එක්සේසත් කිරීමේ පනත ඒකාබද්ධ එංගලන්ත-වේල්ස් රාජ්‍ය ඉතිහාසයේ ඉතා ම වැදගත් අවස්ථාවයි. මෙම පනත හා පරිපූරක ව්‍යවස්ථා පනත් මගින් ඉංග්‍රීසි නීතියට පටහැනි වේල්ස් චාරිත්‍රානුගත නීති අවලංගු කොට ඉංග්‍රීසි භාෂාව අධිකරණ කටයුතු පිළිබඳ භාෂාව හැටියට ප්‍රකාශ කිරීමෙන් වේල්ස් පරිපාලක කටයුතුවල සමායෝජනය සම්පූර්ණ විය. වේල්ස් මන්ත්‍රීහු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අසුන් ගත්හ. වේල්ස් කටයුතු බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලයේ සාමාජිකත්වය දරන වේල්ස් කටයුතු භාර අමාත්‍යවරයකු යටතේ සිදු වේ. වේල්ස් උපදේශක සභාව ඔහුට උපදෙස් දෙයි.
1604 දී ස්කොට්ලන්තයේ ජේම්ස් VI රජු, ජේම්ස් I නමින් එංගලන්තයේ සිංහාසනාරූඪ වීමෙන් පසු එංගලන්තය, වේල්සය හා ස්කොට්ලන්තය එක් රාජ්‍යයක් සේ ගැනීමෙන් මහා බ්‍රිතාන්‍යය යන නම භාවිත වන්නට විය. මින් සියවසකට පසු ජැකොබයිට්වරුන් ඈන් බිසවගේ මරණින් අනතුරුව ස්ටුවට් කුමරකුට ස්කොට්ලන්තයේ රජකම දීමට තර්ජනය කිරීම නිසා 1707 දී ස්කොට්ලන්තය එංගලන්තයට ඒකාබද්ධ කරන ලදි. මහා බ්‍රිතාන්‍යය යන නම නියම වශයෙන් පිළිගැනීමට යෙදුණේ ස්කොට්ලන්ත, එංගලන්ත පාර්ලිමේන්තු ද්වය ද ඒකාබද්ධ කරන ලද 1707 වර්ෂයේ දීය.
ප්‍රධාන බ්‍රිතාන්‍ය දූපත් දෙකින් විශාලතර වූ ද එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය යන ඛණ්ඩත්‍රයෙන් සැදුණා වූ ද ද්වීපය මෙසේ මහා බ්‍රිතාන්‍යය නමින් හැඳින්වෙන්නට වූ අතර එම දූපත සමග ඉතිරි ප්‍රධාන ද්වීපය වූ අයිරිෂ් දූව හෙවත් අයර්ලන්තය දේශපාලන වශයෙන් එක් වූයේ 1801 එක්සේසත් පනත මගිනි. මෙලෙසින් එක්සේසත් වූ රාජ්‍යය 'එක්සත් මහා බ්‍රිතාන්‍ය හා අයර්ලන්ත රාජධානිය' නමින් නිල වශයෙන් දන්නා ලදි. 1922 දී අයිරිෂ් කවුන්ටි ප්‍රදේශ හෙවත් කෝරළ 26ක් එක්සත් මහා බ්‍රිතාන්‍ය හා අයර්ලන්ත රාජධානියෙන් වෙන් වී පසුව ඒර නමිනුත් 1949 සිට අයර්ලන්ත ජනරජය නමිනුත් හැඳින්වෙන්නට වූ අයිරිෂ් නිදහස් රාජ්‍යය පිහිටුවා ගත්හ. උතුරේ අල්ස්ටර් ප්‍රදේශයට අයත් කවුන්ටි ප්‍රදේශ 9න් 6ක් පමණක් 'එක්සත් රාජධානියෙහි' ශේෂ විය. මේ හේතුකොටගෙන එක්සත් මහා බ්‍රිතාන්‍ය හා අයර්ලන්ත රාජධානිය යන නම මඳක් වෙනස් වී එක්සත් මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත රාජධානිය යනුවෙන් එම දේශපාලන ඒකකය හැඳින්විණ. මෙපරිද්දෙන් වත්මන් එක්සත් මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත රාජධානියේ උපත සිදුවූයේ 1922 දීය.
ඉහත දැක්වූ පරිදි වේල්සයේ කටයුතු බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලයේ ඇමතිවරයකු යටතේ සිදුවන අතර ස්කොට්ලන්තයේ ප්‍රධාන දෙපාර්තමේන්තු බ්‍රිතාන්‍ය කැබිනට් අමාත්‍යවරයකු වූ ස්කොට්ලන්තය පිළිබඳ රාජ්‍ය ලේකම්වරයකු යටතේ පවතී. එහි නෛතික, අධිකරණ, අධ්‍යාපන හා පළාත්පාලන පද්ධති ද ස්කොට්ලන්ත ජාතික ආගමික සභාව ද එක්සේසත් පනතට පෙර පැවති සේ, එංගලන්ත-වේල්ස් ප්‍රදේශවලට වෙනස් අයුරින් පවත්වා ගෙන යනු ලැබේ. උතුරු අයර්න්තයේ පවත්නේ මීට ද වෙනස් තත්ත්වයකි. වෙනස් අධිකරණයක් ද ඇති එහි දෙපාර්තමේන්තු වගකිවයුත්තේ එරට පාර්ලිමේන්තුවටය. එක්සත් රාජධානි, කිරීටය නියෝජනය කරන ආණ්ඩුකාරයෙක් උතුරු අයර්ලන්තයේ සිටී.
නියමිත ලෙස එක්සත් රාජධානියේ කොටස් වශයෙන් ම නොසැලකෙන බ්‍රිතාන්‍ය දූපත්වලට අයත් චැනල් දූපත් හා අයිල් ඔෆ් මෑන් දූව කිරීටයට අවනත ප්‍රදේශයි. ඒවායේ වෙන ම මහජන මණ්ඩල, උසාවි හා පළාත්පාලන ක්‍රම ඇත.
ආණ්ඩුව
එක්සත් රාජධානි ආණ්ඩුව සසීම ව්‍යවස්ථානුගත රාජාණ්ඩුවකි. රැජින රජයතත් ආණ්ඩු නොකරතැයි කියනු ලැබේ. රැජින ක්‍රියාකරන්නේ තම අමාත්‍යවරුන්ගේ, විශේෂයෙන් අග්‍රාමාත්‍යවරයාගේ, උවදෙස් පරිදියි. ආණ්ඩුව යයි කියනු ලබන්නේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ජාතික කාර්ය පාලනය කරන අමාත්‍ය මණ්ඩලයටය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අලිඛිතය, සුනම්‍යය. එහි ප්‍රධාන ප්‍රභව කොට ගිණිය හැක්කේ මැග්නා කාර්ටා (බ.) වැනි පනත්, අධිකරණ තීරණ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සම්ප්‍රදාය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ විශාරදයන්ගේ කෘති යන මේවායි. 1931 වෙස්ට්මින්ස්ටර් පනත මගින් කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි ඩොමිනියන් ප්‍රදේශ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක අධිකාර බලය අත්හැර දමන ලදි. මින් පසුව නිදහස ලත් ඉන්දියාව, ලංකාව, කිනියාව වැනි රටවල් පිළිබඳ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අධිකාරය ද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු පනත් මගින් ම අත්හැර දමන ලදි.
එක්සත් රාජධානියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලාංග සතරකි. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය, සංස්ථාපිත එංගලන්ත හා ස්කොට්ලන්ත ක්‍රිස්තියානි සභාද්වය යන මේයි. සාමාන්‍ය වශයෙන් මුල් අංගත්‍රයෙන් ආණ්ඩුව සැදී ඇත. බලතල පංගු කිරීමක් නැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙකී අංග දෙකට හෝ තුනට ම පොදුවේ වැටෙන කාර්ය ද බෙහෙවි.
ව්‍යවස්ථාදායකය
රාජ්‍යයේ පරමෝත්තර බලය පාර්ලිමේන්තුව සතුය. පාර්ලිමේන්තුව කිරීටය, සාමි මන්ත්‍රී මණ්ඩලය, මහජන මන්ත්‍රී මණ්ඩලය යන අංශත්‍රයෙන් සමන්විතය. මෙය ව්‍යවස්ථාදායකය හැටියට සැලකෙතත් ඇත්ත වශයෙන් ව්‍යවස්ථාදායක විධායක ශාඛා විභේදනයක් එක්සත් රාජධානියෙහි නැත. කැබිනට් මණ්ඩලයෙහි හෙවත් විධායකයෙහි සෑම සාමාජිකයකු ම පාර්ලිමේන්තුවේ මණ්ඩලද්වයෙන් එකක සාමාජිකයකු විය යුතුයි. ඒ හැර මේ අය සාමූහික වශයෙන් මහජන මන්ත්‍රී මණ්ඩලයට වගකිවයුතු ද වේ. රජු හෙවත් කිරීටය ආරම්භයේ දී පාර්ලිමේන්තුවේ සිය මැති ඇමතියන් පිරිවරා අසුන් ගත් නමුත් ඒ සිරිත දැන් අභාවයට ගොස් ඇත. මෙකල රැජින පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වන්නේ කලාතුරකින් උත්සවාවස්ථාවන්හි දීය.
සාමි මන්ත්‍රී මණ්ඩලය
රදල පෙළන්තියට අයත් සාමිවරුන් ද, ජීවිත කාලයට කිරීටය විසින් පත් කරනු ලබන සාමිවරුන් ද ආච්බිෂොප් හා බිෂොප් පදවි දරන ආගමික සාමිවරුන් හා අභියාචන ශ්‍රේෂ්ඨාධිකරණය වශයෙන් ක්‍රියාකරන සාමිමන්ත්‍රී මණ්ඩලයේ නීති රාජකාරි කිරීමට පත් කරනු ලබන නීතිසාමිවරුන් ද අසුන් ගන්නා සාමි මන්ත්‍රී මණ්ඩලය බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාදායකයේ ශාඛාද්වයෙන් බලය අතින් අප්‍රධාන තැන ගන්නා සභාවයි. 1968 දී එහි අසුන් ගත් 1062 දෙනා අතුරෙහි පාරම්පරික සාමිවරු 858ක් ද, යාවජීව සාමිවරු 155ක් ද ආච් බිෂොප්වරු 2ක් (කැන්ටබරිහි හා යෝක්හි ආච් බිෂොප්වරු) ද බිෂොප්වරු 24 දෙනකු හා නීති සාමිවරු 23 දෙනෙක් ද වූහ.
මහජන මන්ත්‍රී මණ්ඩලය
1969 දී කවුන්ටි (කෝරළ) හා බරෝ (නාගරික) මැතිවරණ කොට්ඨාස 630ක් වෙනුවෙන් මහජන ඡන්‍දයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරු 630 දෙනෙක් මෙහි අසුන් ගත්හ. චිරාගත සම්ප්‍රදාය අනුව අග්‍රාමාත්‍යවරයා ද මහජන මන්ත්‍රීවරයකු විය යුතුය. බාලවයස්කරුවන්, වස්තුභංගත්වය ලැබූවන්, එංගලන්ත සභා, ස්කොට්ලන්ත සභා, අයර්ලන්ත සභා හා රෝම සභා යන ආගමික සභාවලට අයත් පූජකයන්, සිවිල් සේවකයන්, විනිශ්චයකාරවරුන් හා 1957 මහජන මන්ත්‍රී මණ්ඩලයට නුසුදුසුකිරීමේ පනත අනුව පරිබාහිර වූ වෙනත් කොටස් ද මහජන මන්ත්‍රී මණ්ඩලයේ අසුන් ගැනීමට නුසුදුස්සෝ වෙති. වයස 18න් වැඩි අයට සාමාන්‍යයෙන් ඡන්දබලය හිමිය.
විධායකය (කැබිනට් මණ්ඩලය)
මෙය කිරීටයේ විශ්වසනීය උපදේශකයන්ගේ ඇතුළු කට්ටලයකින් සැදී ඇත. අග්‍රාමාත්‍යවරයා මෙහි ප්‍රධානයායි. මහජන මන්ත්‍රීමණ්ඩලයේ වැඩි ආසන ගණන දිනාගත් පක්ෂයේ නායකයා රජු හෝ රැජින විසින් අග්‍රාමාත්‍ය පදවියට පත් කරනු ලබයි. ඔහුගේ උවදෙස් පිට රජු හෝ රැජින විසින් අමාත්‍යමණ්ඩලය පත්කරනු ලැබේ. අගමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලයේ සාමාජිකවරුන් තෝරනු ලබන්නේ මෙම අමාත්‍ය මණ්ඩලයෙනි. ජාතික ප්‍රතිපත්තිය සකසාගැනීමේ හා මෙහෙයවීමේ වගකීම දරන්නේ කැබිනට් මණ්ඩලයයි. කැබිනට් අමාත්‍යවරු තනි තනිවත් සාමූහිකවත් කිරීටයට, අග්‍රාමාත්‍යවරයාට හා පාර්ලිමේන්තුවට වගකිවයුත්තාහ. කැබ්නට් සාමාජිකවරු පාර්ලිමේන්තුවේ මණ්ඩලද්වයෙන් එකක සාමාජිකයෝයි.
අධිකරණය
පොදු නීතිය නිර්ණය කිරීම හා ව්‍යවස්ථාපිත නීතිය විවරණය කිරීමත් අධිකරණයේ කාර්යයි. 1873 ශ්‍රේෂ්ඨාධිකරණ පනත හා ඉන් අනතුරුව සම්මත වුණු පරිපූරක පනත් අනුව සාමි මන්ත්‍රී මණ්ඩලය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයක් වේ. මෙය රාජාධිකරණය, චාන්සරිය හා ප්‍රොබේට් උසාවිය, දික්කසාද උසාවිය හා අද්මිරාල්තිය යන අංශවලින් යුත් මහාධිකරණය හා ඇපැල් (අභියාචන) උසාවිය යන මූලික අංශ දෙකට බෙදා ඇත. ආගමික (ecclesiastical) උසාවි හැර එක්සත් රාජධානියේ අනිකුත් සැම උසාවියකින් ම දෙනු ලබන තීරණ පිළිබඳ අවසාන ඇපැල් උසාවිය වනුයේ සාමි මන්ත්‍රී මණ්ඩලයයි. ප්‍රිවි කවුන්සලයේ නීති කාරකසභාව සාමිමන්ත්‍රීමණ්ඩල මට්ටමේ ම අභියාචන අධිකරණයකි. එයට සාමිමන්ත්‍රී මණ්ඩලයේ අධිකරණ සාමිවරුන් හා අධිකරණ පදවි දරන හෝ දැරූ ප්‍රිවි කවුන්සලයේ එබඳු වෙනත් අයද අයත් වෙති. පොදුරාජ්‍ය මණ්ඩලයේ අනිකුත් ප්‍රදේශවල ඇතැම් නඩු හා ආගමික අධිකරණයන්ගේ තීරණ ද පිළිබඳ අවසාන අභියාචන අධිකරණය මෙයයි.
සංස්ථාපිත ආගමික සභා
එක්සත් රාජධානියෙහි පූර්ණ ආගමික නිදහස ඇතත් එහි රජපදවිය දරන්නාට එම නිදහස නැත. රජු හෝ රැජින සිංහාසනාරූඪ වීමේ දී එංගලන්ත සභාව පිළිපැදීමේ දිවුරුම දියයුතු වන අතර රාජත්වය දරන්නා එංගලන්තසභිකයකු විය යුතුය යන්න 1701 නිරාකරණ පනතින් (Act of Settlement) නියමිතය. ආණ්ඩු ව්‍යවස්ථාවට අනුව එංගලන්තයේ ආගමික සභා හා නිකායයන් අතුරෙහි එංගලන්ත සභාව ප්‍රමුඛස්ථානය දරන අතර ස්කොට්ලන්තයේ සංස්ථාපිත ආගමික සභාව ප්‍රෙස්බිටීරියන් සභාවයි. එක්සත් රාජධානියේ ඔටුනු පැලඳවීමේ කාර්යය එංගලන්ත සභාවේ පූජක පක්ෂය අතින් ම ඉටුවිය යුතු වන අතර එක්සත් රාජධානියේ රජ පදවිය හොබවන්නා එංගලන්ත සභාවේ ද නායකත්වය දරයි.
කිරීටය
ඉහතින් සඳහන් වූ ආණ්ඩු ව්‍යවස්ථාවට අයත් මූලාංග සතර ඒකාබද්ධ කරන්නේ කිරීටයයි. යට සඳහන් වූ ලෙස ව්‍යවස්ථාදායකය සම්පූර්ණ වීමට සාමි මන්ත්‍රී මණ්ඩලයට හා මහජන මන්ත්‍රී මණ්ඩලයට කිරීටය එක්විය යුතුය. විධායකය වූ කැබිනට් මණ්ඩලය ක්‍රියා කරන්නේ පරමෝත්තර විධායක බලය පැවරී ඇති කිරීටයේ නාමයෙනි. අධිකරණ අංශයෙන් බලන කල කිරීටය අධිකරණයේ නායකත්වය දරන අතර යුක්තිය හෙවත් අධිකරණය පසිඳලනු ලබන්නේ කිරීටයේ නාමයෙනි. 1534 ආධිපත්‍ය පනත (Act of Supremacy) අනුව රජු (රැජින) එංගලන්ත සභාවේ මිහිපිට වැඩ වාසය කරන එක ම පරමාධිපති නායකයායි. මෙසේ ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සහ ආගමික සභාව යන මූලාංග සතර කිරීටයෙන් එකට බැඳේ. 1701 නිරාකරණ පනතින් හා 1936 රජකම අත්හැරීමේ රජුගේ ප්‍රකාශන පනතින් එක්සත් රාජධානි කිරීටයේ පාරම්පරික උරුමය දැක්වේ.
පළාත් පාලනය
අභ්‍යන්තර පාලනය සඳහා කවුන්ටි (කෝරළ), කවුන්ටි බරෝ, බරෝ, නාගරික හා ග්‍රාමීය දිස්ත්‍රික්ක හා වසම් (parishes) යනුවෙන් එංගලන්තය, වේල්සය හා උතුරු අයර්ලන්තය කොටස්වලට බෙදී ඇත. ස්කොට්ලන්තයේ ඇත්තේ කවුන්ටි බරෝ හා දිස්ත්‍රික්කය. මේ සැම කොට්ඨාසයකට ම කවුන්සලයක් හෙවත් මන්ත්‍රී සභාවක් ඇත. උතුරු අයර්ලන්තයේ යම් යම් ප්‍රාදේශීය බලතල සහිත පාර්ලිමේන්තුවක් ද ඇත. පාර්ලිමේන්තු පනත්වලින් නියමිත ප්‍රාදේශීය සේවා මේවා මගින් ඉටු වේ. නිවාස හා ප්‍රදේශ පාලන අමාත්‍යාංශය මහා ආණ්ඩුව හා ප්‍රදේශ පාලනය එක්කරන පුරුකය.
ආර්ථීකය
නූතන ලෝකය කාර්මික බවට හැර වූ කාර්මික විප්ලවය ආරම්භ වූයේ එංගලන්තයෙනි. මෙසේ ලොව පුරෝගාමී කාර්මික ජාතිය වීම නිසා කලක් යන තුරු ම කාර්මික දියුණුවෙනුත්, කාර්මික නිෂ්පාදන අලෙවියට මෙන් ම අමු ද්‍රව්‍ය සපයා ගැනීමට ද තිබුණු පහසුකම් නිසා ඇති වූ ආර්ථික දියුණුවෙනුත් මහා බ්‍රිතාන්‍යය ලොව අනිකුත් ජාතීන් ඉක්මවා සිටියේය. එහෙත් කල්යාමෙන් ජගත් මහා සංග්‍රාම, දේශපාලන පෙරළි, සංස්කෘතික විප්ලව, නව සොයා ගැනීම් ආදි විවිධ හේතූන් නිසා ලෝක වෙළඳ පොළේ ඉල්ලුම් රටාවේ ඇති වූ විපර්යාසයේ ශීඝ්‍රතාවට සරිලන වේගයකින් ඇ.එ.ජ. රාජ්‍යය, ජර්මනිය, ජපානය ආදි නව කාර්මික රටවල් කළාක් මෙන් ස්වකීය නිෂ්පාදන රටාව වෙනස් කොට ගැනීමට නොහැකි වීම නිසා කාර්මික නිෂ්පාදනය අතින් මුල දී හිමි කරගෙන තිබුණු තැන ක්‍රමයෙන් බ්‍රිතාන්‍යයට නැති වී ගිය ද එරට තවමත් කාර්මික ආර්ථිකයක් ඇති ප්‍රධාන ගණයේ කාර්මික රාජ්‍යයකි. එමෙන් ම අන් බොහෝ කාර්මික රටවලට වැඩියෙන් ආයාත නිර්යාත විදේශ වෙළඳාම මත රැඳුණු ආර්ථිකයක් ඇති රටකි එක්සත් රාජධානිය. මෙහි ප්‍රධාන ආර්ථික සම්පත් වනුයේ අතිශයින් විකාසයට පත්ව තිබෙන කර්මාන්ත හා සුවිශාල පුහුණු කම්කරු පිරිසයි. කර්මාන්ත අතුරෙහි නිෂ්පාදන කර්මාන්ත, ආකර කර්මාන්තය, කෘෂිකර්මාන්තය, සතුන් ඇති කිරීම හා ධීවර කර්මාන්තය ප්‍රධාන තැන ගනී.
කාර්මික නිෂ්පාදනය
1971 වර්ෂයේ බ්‍රිතාන්‍යයේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 46%ක් කාර්මික නිෂ්පාදනයෝයි. යකඩ හා වානේ කර්මාන්තය, ඉංජිනේරු කර්මාන්ත, රෙදිපිළී කර්මාන්තය, රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය යනාදි වශයෙන් කාර්මික නිෂ්පාදනය හෙවත් නිෂ්පාදන කර්මාන්ත පුළුල් ලෙස බෙදිය හැකිය. 1939 දී මේ කර්මාන්තවල 6,800,000ක් සේවයේ යෙදී සිටි අතර 1960 දසකයේ දී එම සංඛ්‍යාව 9,200,000ක් පමණ දක්වා වැඩි විය.
යකඩ හා වානේ කර්මාන්තය
යපස් නිෂ්පාදනය, අමුවානේ නිෂ්පාදනය හා නිමවූ වානේ භාණ්ඩ නිෂ්පාදනය වශයෙන් මෙම කර්මාන්තය මූලික වශයෙන් බෙදාලිය හැකිය. 1967 දී එක්සත් රාජ්‍යයෙහි වානේ ටොන් කෝටි 1.6කට කිට්ටු ප්‍රමාණයක් නිෂ්පාදනය කැරුණ ද 1950 දී නිපදවනු ලැබූයේ ටොන් අනූහත් ලක්ෂයකට කිට්ටු ප්‍රමාණයකි. මෙරට නිපදවන යකඩවලින් අඩකට වඩා ස්වීඩනය, කැනඩාව, වයඹදිග අප්‍රිකාව ආදි රටවලින් ගෙනෙන යපස්වලින් නිපදවනු ලැබේ.
1967 දී බ්‍රිතාන්‍යයෙහි අමුවානේ ටොන් කෝටි 2.39ක් පමණ නිෂ්පාදනය විය. අමුවානේ නිෂ්පාදනය සඳහා ගනු ලබන්නේ යපස් හා පරණ යකඩය. 1966 නිපදවන ලද වානේවලින් 52%ක් ම ඉවත දැමු පරණ යකඩවලින් (scrap) තනනු ලැබීය.
1946 දී යකඩ හා වානේ කර්මාන්තයෙන් වැඩි කොටසක් කම්කරු රජය විසින් යකඩ හා වානේ සංස්ථාව පිහිටුවා ජාතිය සතු කරන ලදි. එහෙත් 1951 බලයට පැමිණි කොන්සර්වටිව් ආණ්ඩුව විසින් එය අවලංගු කිරීමට පියවර ගන්නා ලදි. 1964 දී යළිත් කම්කරු රජය බලයට පැමිණියෙන් නැවත මෙම කර්මාන්තය ජාතිය සතු කරන ලදි. 1967 දී පවුම් සියක් කෝටියක පිරිවැටුමක් සහිත වානේ නිෂ්පාදක සමාගම් 14ක අයිතිය බ්‍රිතාන්‍ය වානේ සංස්ථාව පවරා ගත්තේය. දැනට එරට නිපදවන අමු වානේවලින් 90%ක් නිපදවනු ලබන්නේ මෙම සංස්ථාව මගිනි.
ඉංජිනේරු කර්මාන්ත
දෙවන ජගත් සංග්‍රාමයට ප්‍රථම ඉංජිනේරු නිෂ්පාදිත පිටරට යැවීම අතින් ඇ.එ.ජ. රාජ්‍යය හා ජර්මනිය පළමුවන හා දෙවන තැනත් එක්සත් රාජ්‍යය තුන්වන තැනත් ගත්තේය. එවක පේෂකර්ම යන්ත්‍රසූත්‍ර, වාෂ්පබල එන්ජිම්, දුම්රිය උපකරණ, බර විදුලි යන්ත්‍රසූත්‍ර යන මේවා පිටරට යැවීම අතින් මුල්තැන ගත්තේ එක්සත් රාජධානියයි. එහෙත් මෝටර් රථ, සැහැල්ලු විදුලි යන්ත්‍රසූත්‍ර, යන්ත්‍රෝපකරණ ආදිය නිෂ්පාදනය කිරීම අතින් එරටට අත්වූයේ පහත් තැනකි. කෙසේ වුව ද යුද්ධය කෙළවර වූ පසු ඉංජිනේරු කර්මාන්තයේ ශීඝ්‍ර දියුණුවක් දක්නා ලද අතර 1960 ගණන් වන විට එම ද්‍රව්‍ය නිෂ්පාදනය ද්විගුණ වන තරමට නැංගේය.
මෝටර් රථවාහන නිෂ්පාදනය අතින් මුල් අවධියේ දී ඉතා පහත් තැනක් ගෙන සිටි එක්සත් රාජධානිය 1912 දී නිපදවූයේ ඇ.එ.ජ. රාජ්‍යය නිපදවූ ප්‍රමාණයෙන් 5%ක් පමණි. එම වර්ෂයේ නිපදවන ලද සෑම වර්ගයේ ම මෝටර් වාහන සංඛ්‍යාව 34,000කි. 1912න් පසු මෝටර්වාහන නිෂ්පාදනයේ ශීඝ්‍ර දියුණුවක් දක්නා ලදි. පහත චක්‍රය බලන්න.
8888888888888888888888888888888888
1960-65 අතර කාලයේ වාර්ෂික ලෝක මෝටර් රථවාහන නිෂ්පාදනය 14,288,000ක් පමණ විය. එම කාලයේ දී ඇ.එ.ජ. රාජ්‍ය පමණක් ලෝක නිපැයුමෙන් අඩක් පමණ නිෂ්පාදනය කර ඇත. එක්සත් රාජධානියෙහි මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තයෙහි යෙදී සිටි සේවක සංඛ්‍යාව 1961 දී 412,000ක් වූ අතර 1966 දී එම ගණන 500,000 දක්වා වැඩි විය. මෝටර් වාහන නිෂ්පාදනය අතින් වත්මන්හි බටහිර ජර්මනිය, ජපානය, ප්‍රංසය හා ඉතාලිය සමග එක්සත් රාජධානියට බලවත් තරඟයක් කරන්නට සිදු වී තිබේ.
නවීන නැව් නිෂ්පාදන කර්මාන්තය අතින් මුල පටන් I වන ලෝක මහා යුද්ධාරම්භය සමය තෙක් එක්සත් රාජධානිය ප්‍රධාන තැන ගෙන තිබිණි. 1913 දී ලෝක නැව් ප්‍රමාණයෙන් 50%ක් බ්‍රිතාන්‍යයේ සාදන ලද ඒවා විය. එහෙත් අනතුරුව 1 වන ලෝක මහා යුද්ධය, 1930 ඇති වූ ධනහානිය හා ඉක්බිති II වන ජගත් සංග්‍රාමය ද නිසා බ්‍රිතාන්‍ය නැව් කර්මාන්තයේ වැටීමක් දිගට ම දක්නා ලදි. II වන ලෝක යුද්ධ සමයේ දී සතුරන් විසින් ගිල්වනු ලැබුණු වෙළඳ නැව් ප්‍රමාණය ටොන් හතලිස් ලක්ෂයක් පමණ විය. 1950-59 දසකයේ දී බ්‍රිතාන්‍ය නැව් තැනීමේ කර්මාන්තයේ ක්‍රමවත් දියුණුවක් ඇති විය. එහෙත් ඒ සමඟම ජර්මනිය, ජපානය, ස්වීඩනය වැනි රටවල් සමග එක්සත් රාජධානියට නැව් තැනීම අතින් තරඟ කරන්නට සිදු විය. 1960 දී ටොන් කෝටි 12.1ක් වූ ලෝක නෞකා ප්‍රමාණය 1970 දී ටොන් කෝටි 20.8 දක්වා වැඩි විය. ටොන් කෝටි 2.1ක් 1970 දී පමණක් නිෂ්පාදනය වූ අතර එයින් ටොන් කෝටියක නැව් ප්‍රමාණයක් ජපානය ද ටොන් 17 ලක්ෂයක් ජර්මනිය ද 13 ලක්ෂයක් ස්වීඩනය ද 10 ලක්ෂයක් එක්සත් රාජධානිය ද විසින් නිපදවන ලදි. දැනට ද ලෝක නෞකා නිෂ්පාදනය අතින් එක්සත් රාජධානියට අයත්ව ඇත්තේ සිව්වන ස්ථානයයි.
I වන II වන ජගත් සංග්‍රාම බ්‍රිතාන්‍ය අහස්යානා නිෂ්පාදනයට බලවත් රුකුලක් විය. යුද්ධ සමයේ දී යුද්ධ අහස්යානාවලට මුල් තැන දෙනු ලැබුව ද යුද්ධය කෙළවර වූ පසු සිවිල් අහස්යානා නිෂ්පාදනය කෙරෙහි වැඩි අවධාරණයක් යොමු විය. 1958 දී එක්සත් රාජධානිය විසින් විදේශවලට විකුණන ලද අහස්යානාවල හා එන්ජින්වල අගය පවුම් 151,400,000ක් වූ නමුත් 1964 දී එය පවුම් 88,000,000 දක්වා අඩු විය. එහෙත් 1965න් පසු යළිත් බ්‍රිතාන්‍ය අහස්යානා නිර්යාතවල අගය වැඩිවන්නට විය. 1965 දී එරට විසින් පවුම් කෝටි 13.6ක් වටිනා අහස්යානා විකුණන ලද අතර 1966 දී එය පවුම් කෝටි 20 ද ඉක්මවිය. එහෙත් 1961 දී නිෂ්පාදන සේවයේ යෙදී සිටි 300,000ක පිරිස 1966 වන විට 255,000 දක්වා අඩු වී තිබිණි. මෙකල එරට ප්‍රංසය හා එක්ව 'සුපර්සොනික්' හෙවත් 'අධිධ්වනි' කොන්කෝර්දේ ගුවන්යානා තැනීමෙහි යෙදී සිටී.
රෙදිපිළී කර්මාන්තය
කාර්මික විප්ලව සමයේ සිට රෙදිපිළී නිෂ්පාදනය අතින් ලෝකයේ ප්‍රමුඛ ස්ථානය ගෙන සිටි එක්සත් රාජධානියට I වන ලෝක යුද්ධ සමයේ දී ඒ තත්වය ක්‍රමයෙන් නැති වී ගියේය. බ්‍රිතාන්‍ය රෙදිපිළීවලට ඉතා සරු වෙළඳපොළවල්ව පැවති ඉන්දියාව හා චීනය වැනි රටවල් ද ජපානය ද රෙදිපිළී නිෂ්පාදනයට බැසීම මේ තත්ත්වයට හේතු කර විය. 1937 දී පිටරට යවන ලද කපු භාණ්ඩ ප්‍රමාණය I වන ලෝක යුද්ධයට පෙර යවන ලද නිර්යාතවලින් 1/3 පමණ විය. මේ තත්ත්වය එන්ට එන්ට ම පිරිහෙමින් ගිය අතර 1945 දී කපු කර්මාන්තයෙහි නියුක්තව සිටියවුන්ගේ සංඛ්‍යාව 1937 දී සිටි සංඛ්‍යාවෙන් අර්ධයක් පමණ දක්වා බැස්සේය. 1966 දී නිෂ්පාදිත රෙදි ප්‍රමාණය 1937 ප්‍රමාණයෙන් 25%ක් පමණ වූ අතර එම වසරේ පිටරට යවන ලද ප්‍රමාණය 1937 ප්‍රමාණයෙන් 10%ක් පමණ විය.
බ්‍රිතාන්‍ය කපු කර්මාන්තය විසිවන සියවසේ මුල් දසකයෙන් පසු ක්‍රමයෙන් වැටී ගිය අයුරු පහත දැක්වෙන චක්‍රයෙන් පෙනීයයි.
88888888888888888888888888888888
1918න් පසු මෙතෙක් ඉතා දියුණු තත්වයක පැවති බ්‍රිතාන්‍ය ලොම් රෙදි නිෂ්පාදනයට ද උදාවූයේ දුර්දශාවකි. එහෙත් දෙවන ලෝක යුද්ධයෙන් පසු ලොම් රෙදි නිපැයුම ක්‍රමයෙන් යථාතත්වයට පත් වූ අතර ජාත්‍යන්තර වෙළඳ පොළෙහි ලෝම රෙදිපිළී සම්පාදනය අතින් ප්‍රථම ස්ථානය ද යළි එරටට හිමි කරගත හැකි විය.
20 වන සියවසේ මුල දී එක්සත් රාජධානියේ දියුණුවට පත් කර්මාන්තයකි රේයොන්, නයිලෝන් හා ටෙරිලීන් වැනි කෙඳි නිපදවීමේ කර්මාන්තය. 1950න් පසු නයිලොන් හා ටෙරිලීන් වැනි සෙලියුලෝසික නොවන රෙදි නිෂ්පාදනය බෙහෙවින් දියුණු වන්නට විය. එම වර්ෂයේ ලෝක නිෂ්පාදනයෙන් 2%ක් පමණ වූ මෙම කෙඳි නිපැයුම 1961 වන විට 35%ක් තරම් ඉහළ නැංගේය. 1961 දී එරට නිෂ්පාදිත කෙඳි ප්‍රමාණය රාත්තල් 148,000,000කි.
රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය
කාබනික හා අකාබනික රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය, ඛනිජ තෙල් ශෝධනය, ඖෂධ වර්ග, ප්ලාස්ටික්, තෙල්සායම්, සබන්, සැන්ට් හා පුයර නිෂ්පාදනය යනාදිය මෙයට ඇතුළත්ය. 1960න් ඇරඹි දසකය අවසානයේ මෙම කර්මාන්තයන්හි 550,000ක් පමණ ජනයා යෙදී සිටියහ. පළමුවන ලෝක යුද්ධ සමයේ බෙහෙවින් විකාශයට පත් මෙම කර්මාන්තය දෙවන ලෝක යුද්ධය නිසා තව තවත් දියුණුවට පත්විය.
ආකර කර්මාන්තය
බ්‍රිතාන්‍යයෙහි බලය උපදවා ගැනීමේ මාර්ග අතුරෙන් ගල් අඟුරු තවමත් ඉතා ප්‍රධාන තැනක් ගනී. ගල්අඟුරු කැණීම අතින් ද පුරෝගාමී දේශය වූ මහා බ්‍රිතාන්‍යයෙහි තවමත් ප්‍රධාන පතල් කර්මාන්තයට පවත්නේ ගල්අඟුරු කර්මාන්තයයි. එංගලන්තයේ නෝතම්බර්ලන්ඩ්, යෝක්ෂයර්, ඩාබිෂයර් හා නොටිංහැම්ෂයර් හා ලැංකැෂයර් ආදී කෝරළයන්හි ද දකුණු වේල්සයේ ද ස්කොට්ලන්තයේ දකුණු උස් කඳුකර යාබද මිටියාවත්හි ද ප්‍රධාන ගල්අඟුරු බිම් පිහිටියේ ය. 1913 වර්ෂයේ දී එ. රාජධානියෙහි ආකර 3,270ක් වූ අතර ඒවායේ දස ලක්ෂයකට අධික සංඛ්‍යාවක් වැඩ කළහ. අඟුරු ටොන් කෝටි 28.7ක් නිෂ්පාදනය කැරිණ. ටොන් කෝටි 7.3ක් පිටරට යැවිණ. I වන ලෝක යුද්ධ කාලයෙහි අඟුරු ආකර ආණ්ඩුවේ පාලනය යටතට පත් විය. 1947 දී කම්කරු රජය විසින් අඟුරු ආකර කර්මාන්තය ජාතිය සතු කරන ලදි. වත්මන්හි වැඩි වැඩියෙන් තෙල් භාවිතවීම අඟුරු නිෂ්පාදනයට පහරක් ව පවතී. ලෝකයේ අඟුරු නිෂ්පාදනය අතින් 1965 දී 6 වන තැන එක්සත් රාජ්‍යයට අයත් විය. එම වර්ෂයේ ලෝක අඟුරු නිෂ්පාදනය ටොන් 309 කෝටියක් පමණ වූ අතර සෝවියට් රාජ්‍යය ටොන් 64 කෝටියක් නිපදවා ප්‍රධාන තැන ගත්තේය. එ.රාජධානිය ටොන් කෝටි 21ක් නිපැදවිය.
යපස්
බ්‍රිතාන්‍යයෙහි වර්ෂයකට යපස් ටොන් කෝටි 1.6ක් පමණ නිපදවනු ලැබේ. ප්‍රධාන යපස් බිම් ඇත්තේ යෝක්ෂයර්, නොතැම්ප්ටන්ෂයර් හා ලින්කන්ෂයර් කෝරළයන්හිය. එම රට යකඩ හා වානේ කර්මාන්තවල පාවිච්චියට ගනු ලබන යපස්වලින් අඩකට ද අඩුවෙනි එහි උපදිනුයේ. එක්සත් රාජධානියෙහි කණිනු ලබන වෙනත් ඛනිජ අතර හුණු ගල්, පිඟන් මැටි, ලුණු, බෙලෙක්, තුත්තනාගම්, ගල්ලෑලි ආදිය වේ.
කෘෂිකර්මාන්තය
එක්සත් රාජධානියෙහි වැඩ කරන ජනතාවගෙන් 4%කට ද වඩා අඩුවෙනි කෘෂිකර්මාන්තයෙහි යෙදී සිටිනුයේ. 1871 දී 15 ලක්ෂයක් පමණ කෘෂිකර්මයෙහි යෙදී සිටි නමුත් 1970 වන විට එය 5 ලක්ෂයට පමණ බැස තිබුණේය. කොයි හැටි වෙතත් රටේ ආහාර අවශ්‍යතාවෙන් අඩක් පමණ දැන් එහි ම උපදවනු ලැබේ. 1963-66 අතර කාලයේ දී ප්‍රධාන වගාවනට යටත්ව තිබුණු සාමාන්‍ය බිම් ප්‍රමාණය පහත දැක්වේ.
88888888888888888888888888888888
ඇපල් වැනි පලතුරුවලට වෙන් ව ඇති බිම් ප්‍රමාණය අඩු නමුත් නිෂ්පාදනය කෙරෙන පලතුරුවල අගය ධාන්‍ය නිෂ්පාදනයේ අගයට වඩා අඩු නැත.
ඉස්තරම් ගව, එළුබැටඵ, ඌරු ආදී සතුන් බෝකිරීම අතින් එක්සත් රාජධානිය ප්‍රධාන තැනක් ගනී. ගොවිපළවල නිෂ්පාදන අතුරෙන් 2/3ක් ම සත්ත්ව ද්‍රව්‍යවලින් ලැබේ. ගවයන් ඇති කිරීම සම්බන්ධයෙන් ෂ්රෝප්ෂයර් හා වෙෂයර් කෝරළ ප්‍රසිද්ධය. ඌරන් රටේ සෑම ගොවිපළක ම පාහේ ද කුකුළන් ප්‍රධාන වශයෙන් ලංකෂයර්හි ද බැටළුවන් සාමාන්‍යයෙන් උස් බිම්වල ද ඇති කරති.
ධීවර කර්මාන්තය
මුහුදු මාළු ඇල්ලීම ගැන එක්සත් රාජධානිය විශේෂයෙන් ප්‍රසිද්ධය. හෙරිං, කොඩ්, හැඩක් ආදී මසුන් හා කකුළුවන්, පොකිරිස්සන් හා බෙල්ලෝ එක්සත් රාජධානියේ අල්ලනු ලබන මාළු අතර ප්‍රධානය. ස්කොට්ලන්තයෙන් බටහිර දෙස මුහුද, ඉංග්‍රීසි ඕඩය, උතුරු මුහුද, අයිස්ලන්ත මුහුද සහ අයර්ලන්තයෙන් දකුණුදිග හා බටහිර දිග මුහුදු බ්‍රිතාන්‍ය දූපත් වටා පිහිටි ප්‍රධාන මාළු බිම්ය. සාමාන්‍යයෙන් එක්සත් රාජධානියෙහි වර්ෂයකට අල්ලන මාළු ප්‍රමාණය හොණ්ඩර ලක්ෂ 185ක් පමණ වේ. මෙම මාළු පවුම් කෝටි 6ක් පමණ අගී. හෙරිං වැනි මසුන් ටින්වල අසුරා වැඩිකොටස පිටරට යවනු ලබන අතර සැමන් හා සාඩීන් ටින් මාළු පිටරටින් ගෙන්වා පරිභෝග කරනු ලැබේ.
වෙළඳාම
කාර්මික සංවර්ධනයේ පුරෝගාමිත්වය නිසා නිෂ්පාදිත ද්‍රව්‍ය අලෙවිය සඳහා මුලින්ම වෙළඳ පොළවල් අල්ලාගත හැකි වීමත්, ඉරු නොබසින මහා අධිරාජ්‍යයක පාලකයන් වීම නිසා අලෙවිය සඳහා මෙන් ම අමු ද්‍රව්‍ය සපයාගැනීම සඳහා ද නිතැතින් ම ඕනෑතරම් මධ්‍යස්ථාන ලැබී තිබීමත් එක්සත් රාජධානියේ විශේෂ වාසිය සඳහා විය. එහෙත් නව කාර්මික රටවල සංවර්ධනයත් සමඟ ලෝක ඉල්ලුමේ සංයුතිය වෙනස් වන්නට වීම එක්සත් රාජධානියේ විදේශ වෙළඳාමට පහරක් විය. මුල දී රෙදි පිළී හා පාරිභෝගික ද්‍රව්‍ය විදේශයනට අවශ්‍ය වුව ද පසුව නිෂ්පාදක යන්ත්‍රෝපකරණ හා වඩා සංකීර්ණ පාරිභෝගික භාණ්ඩ වැඩි වැඩියෙන් අවශ්‍ය වූ අතර මෙම ද්‍රව්‍ය සැපයීමේ දී ඇ.එ.ජ. රාජ්‍යය, ජපානය, ජර්මනිය වැනි රටවල් එක්සත් රාජධානිය පරදවාලූහ. 1876-80 කාලයේ දී ලෝක නිර්යාතවලින් 38%ක් බ්‍රිතාන්‍යයෙන් පිටරට යැවූ දෑ වූ නමුත් 1911-13 කාලයේ දී බ්‍රිතාන්‍ය නිර්යාත ප්‍රමාණය 27% දක්වා අඩු විය. මේ අතර බ්‍රිතාන්‍ය ආයාත අගය දෙගුණ වන්නට විය. මේ නිසා වැඩෙන්නට වූ ඍණ වෙළඳ පරතරය හෙවත් නිර්යාත අගය ඉක්මවූ ආයාත අගය 1875-79 කාලයේ දී පවුම් කෝටි 17.4ක් විය. 1910-13 කාලයේ දී එය පවුම් කෝටි 22.4ක් දක්වා වැඩි විය. මෙම පරතරය පියවුණේ අදෘශ්‍යමාන වත්කම්වලින් හෙවත් බ්‍රිතාන්‍ය නැව් සේවය, රක්ෂණ හා මුදල් සැපයීමේ සේවය යනාදියෙන් ලබන ලද ආදායමිනි. I වන ලෝක යුද්ධ කාලයේ දී යුද්ධය සඳහා ශ්‍රමය හා මුදල් යෙදවීමට සිදුවීම නිසාත්, බොහෝ වෙළඳපොළවල් වැසී යාම නිසාත් බ්‍රිතාන්‍ය වෙළඳාමට බාධා පැමුණුණ ද අදෘශ්‍යමාන වත්කම් මගින් පරතරය පියවා ගත හැකි විය. 1910-13 සමයේ සාමාන්‍ය වාර්ෂික නිර්යාත අගය පවුම් කෝටි 47.4ක් ව තිබුණු අතර 1920-24 දී වාර්ෂික නිර්යාත අගය පවුම් කෝටි 86.5ක් විය. 1932 දී අනිකුත් කාර්මික-වෙළඳ ජාතීන්ගෙන් ස්වකීය වෙළඳාමට එල්ලව පැවති තර්ජන නිසා එවක බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩල නියෝජිතයන්ගේ රැස්වීමක් ඔටාවාහි පවත්වා වරණ බදු පිළිබඳ සම්මුතියකට එළඹෙන ලදි. මේ නිසා 1930 දී 39%ක්ව පැවති එක්සත් රාජධානියෙන් පොදු රාජ්‍ය මණ්ඩලයේ අනෙක් රටවලට යවන ලද නිර්යාත 1938 දී 50% දක්වා වැඩි විය. ආයාත ප්‍රමාණය ද 25%න් 40% දක්වා නැංගේය. එහෙත් මෙසේ ලබන ලද අතිරික්තය අන් වෙළඳපොළවලින් ලැබූ පාඩුව පියවීමට තරම් නොවීය. මෙලෙසින් 1933 සිට ලෝක වෙළඳපොළේ බ්‍රිතාන්‍ය වෙළඳාම් කොටස ක්‍රමයෙන් පහත වැටෙන්නට විය. දෙවන ජගත් සංග්‍රාම සමයේ දී ජර්මන් හා ජපන් වෙළඳ තරඟය පහව ගිය පසුත් ශ්‍රමය හා අමුද්‍රව්‍ය සපයා ගැනීමේ මූලික ප්‍රශ්නය නිසා, විදේශ වෙළඳාම බෙහෙවින් පහත වැටුණි. 1938 හා 1945 අතර කාලයේ දී යුද්ධ ආර්ථිකය ක්‍රියාත්මක කිරීමට සිදුවීමෙන් එක්සත් රාජධානියේ විදේශ වත්කම්වල අගය පවුම් කෝටි 354.5 සිට 241.7 දක්වා පහත වැටිණි. මේ ආදී හේතු නිසා යුද්ධාවසානය වන විට විදේශ වත්කම්වලින් එ. රාජධානිය ලබමින් සිටි ආදායමේ මුදල් අගය අඩකින් අඩු විය. මේ අතර ආයාතවල සාමාන්‍ය මිල අධික වන්නට විය. මේ නිසා යුද්ධාවසානයත් සමඟ විදේශවලට යවන නිර්යාත වැඩිකිරීමට සෑම ප්‍රයත්නයක් ම දරන ලදි. මෙසේ 1951 දී 1938 දී යවන ලද නිර්යාත ප්‍රමාණය මෙන් 1.8 ගුණයක් පිටරට යවන ලදි. 1950-59 දසකයේ බ්‍රිතාන්‍ය ජංගම ගණනයේ ගෙවුම් ශේෂයේ ද හිඟයක් දක්නා ලද්දේ 1951 හා 1955 වර්ෂවල පමණය. එම කාලය තුළ 1956 හා 1958 වර්ෂවල වෙළඳ ශේෂයේ අතිරික්තයක් ද දක්නා ලදි.
1960-69 දසකයේ දී ගෙවුම් ශේෂයේ පිරිහීම පැහැදිලිව දක්නා ලදි. වෙළඳ ශේෂයේ හිඟය 1960, 1964, 1967 යන වර්ෂවල ඉතා ඉහළ නැංගේය. බෙහෙවින්ම මේ තත්ත්වයට හේතු වූයේ ආයාත ප්‍රමාණය වැඩිවෙද්දී නිර්යාත ප්‍රමාණය ඒ තරමටම වැඩි නොවීම ය. 1969 දී ඇති වූ විශාල වෙළඳ ශේෂ ඌනතාව නිසා රජය විසින් තාවකාලිකව ඇතැම් ආයාත සම්බන්ධයෙන් 15%ක අධිබද්දක් පනවන ලදි. මේ පියවර නිසා ආයාත ප්‍රමාණය අඩුවීමෙන් ජංගම ගණනයේ ශේෂ පරතරය අඩුවිය.
1967 දී මිසර-ඊශ්‍රායෙල් අරගලය නිසා සූවස් ඇළ වසනු ලැබීම බ්‍රිතාන්‍ය විදේශ වෙළඳාමට වැදුණු තවත් බලවත් පහරක් විය. මේ නිසා යළිදු හිඟය අධික ලෙසින් නගින්නට වූයෙන් පවුමේ අගය 14.3%කින් අඩුකරන ලදි (මේ නිසා පවුමේ ඩොලර් අගය 2.40ක් විය). රාජ්‍ය වියදම් ද අඩු කරන ලදි. එහෙත් මේ පියවරවලින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබිණ.
එක්සත් රාජධානියෙන් වැඩියෙන් පිටරට යවනු ලබන්නේ නිෂ්පාදිත භාණ්ඩය. මුළු වාර්ෂික නිර්යාත ප්‍රමාණයෙන් 85%ක් නිෂ්පාදිත භාණ්ඩය. ඉංජිනේරු (ප්‍රවාහණ) භාණ්ඩ පමණක් 50%ක් පමණ වේ. රෙදි පිළී, රසායන ද්‍රව්‍ය හා ලෝහ අනිකුත් ප්‍රධාන නිර්යාතය. පිටරටින් ගෙන්වන තේ, රබර්, ලෝම, ආහාර වර්ග වැනි නොයෙක් ද්‍රව්‍ය යළි නිර්යාත වශයෙන් යැවීම ද එක්සත් රාජධානියේ විදේශ වෙළඳාමේ ලක්ෂණයකි. ආහාර වර්ග, දුම්කොළ, තේ, රබර්, පැට්‍රෝලියම්, දැව, කපු, ලෝම හා යපස් ආදිය එරට ප්‍රධාන ආයාතය.
1970 දී පිටරට යැවූ නිර්යාතවල අගය රන්පවුම් කෝටි 806.3ක් විය. මේ නිර්යාතවලින් 22%ක් ම යවන ලද්දේ යුරෝපා ආර්ථික හවුලේ රටවලටය. එම වර්ෂයේ විදේශවලින් ගෙන්වා ගන්නා ලද ආයාතවල වටිනාකම පවුම් කෝටි 905.2ක් විය. මේ භාණ්ඩවලින් 20%ක් ම ලැබුණේ යටකී ආර්ථික හවුලේ රටවලිනි.
1957 දී ජර්මනිය, ප්‍රංසය, ඉතාලිය, ලක්සම්බර්ග්, බෙල්ජියම හා නෙදර්ලන්තය යන යුරෝපීය රටවල් එක්ව යුරෝපීය ආර්ථික හවුල (European Economic Community) (බ.) ඇති කරගත්හ. මෙම හවුලෙන් එම රටවල් ලබන ඉමහත් වාසි ප්‍රයෝජන සලකා එක්සත් රාජ්‍යය ද 1963 දී ද ඉන්පසු 1967 දී ද එයට බැඳීමට ඉල්ලුම් කෙළේය. එම දෙවතාවේ දී ම එම වෑයම අසාර්ථක වූ නමුත් 1972 දී කොන්සර්ව්ටිව් රජය දීර්ඝ ප්‍රයත්නයකින් පසු එම හවුලට බැඳීමට සමත් විය. යුරෝපීය ආර්ථික හවුලට බැඳෙන අවස්ථාවේ දී බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය, නිර්යාත, ප්‍රතිශීර්ෂ ආදායම ආදිය බටහිර ජර්මනිය, ප්‍රංසය වැනි එම හවුලේ රටවල් කීපයක එම ශිර්ෂයන් සමග පහත දැක්වෙන වක්‍රයෙහි සංසන්දනය කොට දක්වා ඇත:
88888888888888888888888888888888
මුදල්
1971-72 වර්ෂයේ එක්සත් රාජධානියේ ආදායම් ඇස්තමේන්තුව රන් පවුම් 16,762,000,000 ක් වූ අතර වියදම් පක්ෂය පවුම් 14,446,000,000ක් විය.
මුදල් ඒකකය
එක්සත් රාජධානියේ මුදල් ඒකකය ස්ටර්ලිං පවුමය. 1 වන ලෝක යුද්ධ සමයේ දී රන්පවුම් භාවිතය ක්‍රමයෙන් අඩු වී ගොස් 1931න් පසුව සම්පූර්ණයෙන් අභාවයට ගියේය. අතීතයේ සිට පැවති පවුම් සිලිම් පැන්ස ක්‍රමය 1971 දී භාවිතයෙන් අස් කරන ලදුව දැන් ව්‍යවහාරයෙහි පවත්නේ පවුම හා ශතක ක්‍රමයකි. ස්ටර්ලිං පවුමේ වත්මන් (1974) හුවමාරු අගය ඩොලර් 2.32කි. මෙරට මුදලින් රු15.60කි.
ගමනාගමනය හා සම්බන්ධන
අභ්‍යන්තර ගමනාගමනය අතින් ඉතා දියුණු රටකි එක්සත් රාජධානිය. දිය, ගොඩ, අහස් යන තෙමගින් ම අත්‍යන්තයෙන් දියුණු ප්‍රවාහණ සේවාවන් ඇති මෙහි අභ්‍යන්තර ජලමාර්ග වැඩිහරියක් පාලනය කරනු ලබන්නේ බ්‍රිතාන්‍ය ජලමාර්ග මණ්ඩලය මගිනි. තෙම්ස්, ක්ලයිඩ්, හම්බර්, සෙවර්න් ආදි ගංගා ප්‍රවාහණ සේවය සඳහා යොදාගෙන ඇති අතර ඇළ මාර්ග ද යාත්‍රා ගමනාගමනය සඳහා උපයෝගී කොටගෙන ඇත. වෙරළාසන්න නාවික සේවය තෙල් ප්‍රවාහණය සඳහා විශේෂයෙන් ප්‍රයෝජනවත්ය.
1825 දී ප්‍රථම වාෂ්පබල දුම්රිය දිවූයේ එංගලන්තයේය. 1913 වන විට එක්සත් රාජධානියේ හැ.23,718ක දුම්රිය මං තනා තිබිණි. 1914 දී මහා යුද්ධය ප්‍රකාශ කිරීමෙන් පසු දුම්රිය පාලනය රජය යටතට ගන්නා ලදි. 1921 දුම්රිය පනත එවක පැවති දුම්රිය සමාගම් 120 සදර්න්, ග්‍රේට් වෙස්ටර්න්, ලන්ඩන්-මිඩ්ලන්ඩ් හා ස්කොටිෂ්, ලන්ඩන් හා නෝර්ත් ඊස්ටර්න් යනුවෙන් කණ්ඩායම් සතරකට කැටි කරන ලදි. 1947 දී බ්‍රිතාන්‍ය දුම්රිය සේවය ජාතිය සතු කරන ලදි. උතුරු අයර්ලන්තයේ දුම්රිය සේවය අල්ස්ටර් ට්‍රාන්ස්පෝට් අධිකාරය යටතේ තැබිණි.
මහා මාර්ග
රටපුරා පැතිරි ඉතා කදිම මහාමාර්ග සේවයක් එක්සත් රාජධානියෙහි වේ. එහි මාර්ගවල මුළු දිග සැ.210,000ක් පමණ වේ. 1949 පසු 'එක්ස්ප්‍රෙස් මෝටර්වේස්' නමින් දන්නා ශීඝ්‍රගාමී මෝටර් රථ මාර්ග ඉදිකිරීම ආරම්භ කරන ලදි. 1969 වන විට උතුරු අයර්ලන්තයේ මහා මාර්ගවල දිග සැ.14,000කට වැඩිය. විශේෂ මෝටර් රථ මාර්ග ද එහි ඉදිවෙමින් පවතී.
ගුවන් සේවාව
බ්‍රිතාන්‍යයේ නිත්‍ය වෙළඳ ගුවන් සේවය ආරම්භ වූයේ 1930-39 දසකයේ ය. එරට ප්‍රධාන ගුවන් මාර්ග බ්‍රිතාන්‍ය පාරසමුද්‍ර ගුවන් මාර්ග සංස්ථාව (BOAC) සහ බ්‍රිතාන්‍ය-යුරෝපීය ගුවන් මාර්ග (BEA) මගින් පාලනය වේ. ලන්ඩනයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් දෙකකි. හීත්රෝ සහ ගැට්වික් ඒ දෙකයි. මැන්චෙස්ටර් අසල රිංවේ, ග්ලාස්ගෝ අසල රෙන්ප්රූ, බර්මිංහැම් අසල එල්ම්ඩන්, ස්කොට්ලන්තයේ ප්‍රෙස්ට්වික් හා බෙල්ෆාස්ට් අසල ඕල්ඩර්ග්රෝව් වෙනත් ප්‍රධාන ගුවන් තොටුපළවල්ය.
තැපැල්, විදුලි සන්දේශ, ගුවන් විදුලි සේවා
එක්සත් රාජධානියේ රජයේ තැපැල් කාර්යාලය මගින් එරට තැපැල් හා විදුලි සන්දේශ සේවා ක්‍රියාත්මක කෙරේ. ගුවන් විදුලි සේවය හා ටෙලිවිෂන් සේවය ද තැපැල් කාර්යාලයේ අධිකාරය යටතේ පවතී. එහෙත් මේ සේවාවන් කෙළින් ම පරිපාලනය කැරෙන්නේ බී.බී.සී. (බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සංස්ථාව) හා අයි.ටී.ඒ (නිදහස් ටෙලිවිෂන් අධිකාරය) මගිනි.
සමාජ සේවා කටයුතු
සමාජ සුභසාධනයට ඉතා ප්‍රධාන තැනක් දී කටයුතු කරන එක්සත් රාජධානියෙහි රටවාසීන්ගේ ජීවන තත්ත්වය එක්තරා අවම මට්ටමකට වඩා පහත වැටීමට නොදීමේ අරමුණෙන් රජය ගෙනයන සමාජ සේවා වැඩපිළිවෙළක් ඇත. රැකීරක්ෂා නොමැති අයට, නඩත්තු මුදල් ගෙවීම, සේවා වියුක්ති රක්ෂණ, නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවාව, ළදරුවන්, ආබාධිතයන් හා වෘද්ධයන් රැක බලාගැනීම ආදිය මේ වැඩ පිළිවෙළට අයත්ය. සුභසාධන සේවා සඳහා වර්ෂයකට රජයට වැයවන මුදල පවුම් කෝටි 4500 ඉක්මවයි. ජාතික රක්ෂණ සේවය යටතේ 65 ඉක්ම වූ පිරිමින්ට ද 60 ඉක්ම වූ ස්ත්‍රීනට ද සේවයෙන් අස්වීමේ විශ්‍රාම වැටුප් ලැබේ. වැන්දඹුවනට ද විශ්‍රාම මුදල් ගෙවීමේ ක්‍රමයක් ඇත.
සෞඛ්‍ය සේවය
එංගලන්තය යටතේ බලන්න.
අධ්‍යාපනය
වත්මන් එක්සත් රාජධානියේ අධ්‍යාපනය 1944 අධ්‍යාපන පනත හා එහි පසුකාලීන සංශෝධන පනත් උඩ සංස්ථාපිතය. 1944 පනතින් මෙසේ දැක්වේ: "ව්‍යවස්ථාපිත පොදු අධ්‍යාපන පද්ධතිය, ප්‍රාථමික අධ්‍යාපනය, ද්විතීයික අධ්‍යාපනය හා වැඩිදුර අධ්‍යාපනය යනුවෙන් දෙනු ලබන ප්‍රගතිශීලි අවස්ථා තුනකට සංවිධාන විය යුතුය. ස්වකීය ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට, යටකී අවස්ථාත්‍රය ම සපුරා කාර්යයක්ෂම අධ්‍යාපනය ලබා දීමෙන්, තම බලතලවලින් ලැබී ඇති ඉඩකඩ පරිදි ජනතාවගේ ආධ්‍යාත්මික, සදාචාරාත්මක, මානසික හා කායික සංවර්ධනය අරභයා සිය කොටස ඉටු කිරීම, සෑම ප්‍රදේශයකම පළාත් අධ්‍යාපන අධිකාරය සතු යුතුකමය."
එක්සත් රාජධානියේ පාසැල් අධ්‍යාපනය ලැබිය යුතු වයස් සීමාව 5 සිට 15 දක්වා යි.
1968-69 එරට සියලු ප්‍රාථමික ශිෂ්‍යයන්ගේ සංඛ්‍යාව 6,126,100ක් ද්විතීයික හා වෘත්තීය අධ්‍යාපනය ලැබූවන්ගේ ගණන 3,286,700ක් ද වූ අතර ගුරු පුහුණුව ලැබීමෙහි යෙදී සිටි අය 123,350ක් ද විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංඛ්‍යාව 240,000ක් ද වූහ. එක්සත් රාජධානියේ 1971 විශ්වවිද්‍යාල සංඛ්‍යාව 44ක් විය.
මහා බ්‍රිතාන්‍ය අවධිය
(වේල්සය ද සහිත) එංගලන්තය හා ස්කොට්ලන්තය එක්වීමෙන් මහා බ්‍රිතාන්‍යය ඇති වූයේ ස්ටුවට් වංශික ඈන් බිසවගේ කාලයේ දී (1707) සම්මත වූ එක්සත්වීමේ පනත මගිනි. ඈන් බිසවගෙන් පසු බ්‍රිතාන්‍ය කිරුළ ජර්මන් ජාතික හැනෝවර් රාජවංශයට හිමි විය. හැනෝවර් වංශික ජෝජ් I (1714-1727) බලයට පත්වූයේ විග් පක්ෂයේ සහාය නිසාය. මේ නිසා රාජප්‍රසාද ලත් විග් පාක්ෂිකයනටය, අමාත්‍ය මණ්ඩල පත්වීම් ලැබුණේ. ඉංග්‍රීසි බස නොදත්තා වූ ද සිය ජර්මන් අයිතිවාසිකම් ගැන මෙන් බ්‍රිතාන්‍යය ගැන ඕනෑකමක් නොදැක්වූ ද ජෝජ් I රජුගේ කාලයේ දී බොහෝදුරට ඇමතිවරුනට සිය අභිමතය පරිදි රට පාලනය කිරීමේ ඉඩ සැලසිණි. මෙය පාර්ලිමේන්තුවේ මෙන් ම කැබිනට් මණ්ඩලයේ ද වර්ධනයට රුකුලක් විය. ඒ අතර 1715 දී ජැකොබයිට් කැරැල්ල මැඩ විග්වරුන් ස්වකීය ආධිපත්‍යය පිහිටුවාලීම නිසා ටෝරි පක්ෂයේ බලය හීන වී ඔවුන්ගේ සහායයෙන් සිහසුන යළි දිනාගැනීම පැතූ ස්ටුවට්වරුන්ගේ ඒ පැතුම් සදහට ම වැළලී ගියේය.
1720 පමණේ දී විදේශ ව්‍යාපාරික ජාවාරම් සඳහා බ්‍රිතාන්‍ය වාසීහු ඉතා අධික වශයෙන් තම ධනය ආයෝජනය කිරීමෙහි යෙදුණහ. වැඩිකල් නොගොස් ම සවුත් සී නම් සමාගමේ වස්තු භංගත්වය සමග උග්‍ර ධනහානියක් ඇතිවූයෙන් ජාතියේ ආර්ථිකය ඔසවාලීමේ කාර්‍ය්‍යය රොබට් වෝල්පෝල්හට (බ.) භාර විය. එම කාර්‍ය්‍යය සාර්ථක ලෙස ඉටුකිරීමෙන් පසු එවක බ්‍රිතාන්‍ය දේශපාලන පිටියේ මුඛ්‍ය ස්ථානයට පත් ඔහු 1742 දක්වා ම අග්‍රාමාත්‍ය ධුරයෙහි සිටියේය. කිරීටයේ ස්ථාවරතාව ඉතා වැදගත් කොට සැලකූ වෝල්පෝල් විදේශ සාමය රැකගැනීම හා පක්ෂය ශක්තිමත්ව තබාගැනීමත්, බදු බර අඩුකිරීමත් වෙළඳාමට ධෛර්යදීමත් සිය ප්‍රතිපත්තිය කොට ගති. ජෝජ් II (1727-1760) කිරුළු පලන් පසු වෝල්පෝල් ඔහුගේ ද සිත් දිනාගෙන දක්ෂ දේශපාලන අනුගාමිකයන්, පරිපාලන යුද්ධ හා නාවික නිලධාරීන් කවයක් ඇති කොටගෙන කටයුතු කළ නමුත් කල්යාමේ දී අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තිය නිසා බලවත් විරුද්ධ පක්ෂයක් ඇතිවීමෙන් 1742 දී ඔහුට ඉල්ලා අස්වීමට සිදුවිය. 1743 දී අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ හෙන්රි පෙලම් (Pelham) ශීඝ්‍රයෙන් නඟින්නට වූ ජාතික ණය පහත දමා ගැනීම පිණිස සාම ප්‍රතිපත්තියක් හා ඒ සමඟ ම යුද්ධ හා නාවික කටයුතු පිළිබඳ වියපැහැදම් මෙන් ම සේවක පිරිස ද කපාහැරීමේ ප්‍රතිපත්තියක් ද අනුගමනය කෙළේය. 1754 දී ඔහු මිය යන විට රටේ අභ්‍යන්තර තත්ත්වය හොඳ අතට හැරී තිබිණි. ඔහුගේ කාලයේ සිට විදේශ කටයුතු මෙහෙයවූ නිව් කාසල්හි ආදිපාදවරයා දිගට ම ප්‍රංස විරෝධී ප්‍රතිපත්තිය ගෙන ගිය අතර ඔස්ට්‍රියාව හා ජර්මන් සුළු රජවරුන් සමග මිත්‍ර සම්බන්ධය පවත්වාගෙන ගියේය. එහෙත් කල් යාමේ දී ඔස්ට්‍රියාව, බ්‍රිතාන්‍ය මිත්‍රත්වයට වඩා ප්‍රංසයේ සම්බන්ධය අගේ කරමින් රුසියාව ද සමග එක් වී බ්‍රිතාන්‍යයේ සැලකිය යුතු එක ම මිත්‍ර රාජ්‍යය වූ ප්‍රසියාවට විරුද්ධව තුන් හවුල් මිත්‍ර ගිවිසුමක් ඇතිකොට ගත්තේය.
හත් අවුරුදු යුද්ධය හා විලියම් පිට් (ජ්‍යෙෂ්ඨ)
පෙලම් අමාත්‍ය මණ්ඩලයේ සිටි දක්ෂතාවලින් සෙසු සියල්ලන් ඉක්ම වූ විලියම් පිට් (බ.) හැනෝවර් පෙළපතට හිතවත්කම් නොදැක්වූවෙක් විය. පෞද්ගලික ලාභාපේක්ෂාවලින් තොරව සිය රාජකාරි කටයුතු අතිදක්ෂ ලෙස කරගෙන යාම නිසා අතිශයින් ජනප්‍රියව සිටි මොහුට යටකී හේතුව නිසා සුදුසු තැන ලැබීම ප්‍රමාද විය. එහෙත් ප්‍රංස-ඔස්ට්‍රියානු-රුසියානු හමුදා 1756 දී ප්‍රසියාවට පහරදීමෙන් ඇරඹූ හත් අවුරුදු යුද්ධය (බ.) ඔහුට අවස්ථාව සැපයූයේය. නිව් කාසල්හි ආදිපාදයා වෙත පාර්ලිමේන්තු කණ්ඩායමේ පාලනය පැවරී තිබුණු අතර 1757 දී යුද්ධය මෙහෙයවීමේ කටයුතු පිට් වෙත පැවරිණ. වහා ම ප්‍රසියාවේ මහා ප්‍රෙඩ්රික් රජු සමග නව ගිවිසුමක් ඇති කොට ගෙන ආධාර සේනා යවමින් ද ප්‍රංස වෙරළබඩ, ප්‍රදේශවලට පහර දෙමින් ද ඔහු යුද්ධයට සහභාගී විය. මෙසේ වැඩිකල් නොගොස් කැනඩාව යටත් කොට ගත් ඔහු ඉන්දියාවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පදනම ලෑමෙහි ද සමත් විය. මේ අතර 1760 දී ජෝජ් II මිය ගියෙන් ජෝජ් III (1760-1820) (බ.) රජ විය. යුදපිටියේ සැම පෙරමුණකින් ම වාගේ ජයග්‍රහණ අත්වෙද්දී බ්‍රිතාන්‍ය දේශපාලන පිටියේ දක්නා ලද්දේ නොසංසුන්තාවකි. රජු පිට්, නිව්කාසල් දෙදෙනා කෙරෙහි ම ප්‍රසාදයක් නොදැක්වූ අතර පිට් හා නිව්කාසල් ද අන්‍යෝන්‍යයන් නුරුස්සන්නට වූහ. වැඩිකල් නොගොස් ම ස්පාඤ්ඤයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කිරීමේ ප්‍රශ්නය උඩ පිට්හට ඉල්ලා අස්වීමට සිදු වූ අතර ඉන් වසක් ඇතුළත නිව්කාසල් ද අස්විය. රාජප්‍රසාදය ලබමින් මෙවක බලයේ සිටි ස්කොට් ජාතික ජෝන් ස්ටුවට් බ්‍යුට් 1763 දී ප්‍රසියාව කොන්කරමින් ප්‍රංසය සමඟ පැරිස්හි සාම ගිවිසුමකට එළඹීමෙන් හත් අවුරුදු යුද්ධය නිමාවට ගෙනායේය. ගිවිසුමෙන් කැනඩාවේ හා ඉන්දියානු ප්‍රදේශවල බ්‍රිතාන්‍ය අයිතිය තහවුරු විය. 1763 දී බ්‍යුට් අස්වූයෙන් ග්‍රෙන්විල් රොකිංහැම්, චැතම් සාමි (විලියම් පිට්), ග්‍රාප්ටන්හි ආදිපාදවරයා වැනි අය ප්‍රධාන අමාත්‍ය පදවි ලැබ 1770 දක්වා බලයේ සිටියහ. එම වර්ෂයේ දී ජෝජ් III විසින් සිය අගමැති වශයෙන් පත් කරන ලද නෝත් සාමිවරයා 1782 දක්වා එම පදවිය දැරීය.
සාහිත්‍ය ක්ෂේත්‍රය
මුල් හැනෝවර් වංශික දෙරජුන්ගේ සමයේ සිටි කවීන් අතර පෝප් කවියා අගනා උසස් කාව්‍ය රචනාවෙහි මුල් තැන ගත්තේය. හර්විගේ හා හොරස් වෝල්පෝල්ගේ දිනපොත්, මතක සටහන් හා ලියුම් ද උසස් සාහිත්‍ය කෘති අතරෙහි වැටේ. ග්‍රේ කිවියා තම ශ්‍රෙෂ්ඨ කවි කෙළේ ද මෙසමයේය. ආචාර්ය ජොන්සන් තම ශ්‍රේෂ්ඨ ශබ්දකෝෂය හා අනිකුත් කෘති රාශියක් කෙළේ ජෝජ් II රජු දවසය. තවද මෙසමයේ තොම්සන් වැනි කවීහු පද්‍යරචනයෙහි යෙදුණු අතර පීල්ඩිං හා රිචඩ්සන් වැන්නහු සිය නවකථාවන්ගෙන් ඉංග්‍රීසි සාහිත්‍යය (බ.) පෝෂණය කළහ.
ජෝජ් II කාලයේ දී චිත්‍රකලාවේ ද කලකින් නුදුටු බැබළීමක් දක්නා ලදි. රෙනල්ඩ්ස්, ගේන්ස්බරෝ, රොම්නි හා හෝගාත් මෙවක විසූ ශ්‍රේෂ්ඨ බ්‍රිතාන්‍ය චිත්‍රශිල්පීහුය. ලෝක ප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය කෞතුකාගාරය පිහිටවනු ලැබුයේ ද ජෝජ් II රජු සමයේ දීය.
ප්‍රථම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ වැටීම
හත්අවුරුදු යුද්ධයෙන් පසු එම යුද්ධය සඳහා ගිය විය පැහැදම් ද ඇමෙරිකානු ජනපද ප්‍රංස හා රතු ඉන්දියානු ආක්‍රමණවලින් මුදාගෙන සෙමෙහි තබාගැනීම සම්බන්ධයෙන් කරන්නට වූ වියදම් ද නිසා බ්‍රිතාන්‍යයට ඇති වූ මුදල් අවහිරය එරට ඊට අයත් ඇමෙරිකානු ජනපදයන් සමඟ යුද්ධයක පටලැවීය. මේ කාලයේ ප්‍රංසය, ස්පාඤ්ඤය හා නෙදර්ලන්තය සිටියේ බ්‍රිතාන්‍යය හා සතුරුවය. 1681 සිට 1763 දක්වා පැවති දීර්ඝ යුද්ධ සමයක අවසානයේ ප්‍රංසයට කැනඩාවේ අයිතිය ද ඉන්දියාවේ ඔවුන්ගේ ප්‍රදේශවලින් වැඩිකොටසක් ද නැතිව ගොස් තුබුණු අතර ස්පාඤ්ඤයට අයත්ව තුබූ ෆ්ලොරිඩා, ජිබ්‍රෝල්ටාර් හා මිනෝකා යන ප්‍රදේශ බ්‍රිතාන්‍යය සතු වී තිබිණි. කලක් ම පෙරදිග විදේශ වෙළඳාමේ විශාලතර කොටස අයත් කොට ගෙන සිටි නෙදර්ලන්තයේ වෙළඳ අධිකාරය මේ සමයේ දී බ්‍රිතාන්‍යය ටිකින් ටික උදුරා ගනිමින් සිටියේය. මධ්‍යස්ථ ජාතීන්ට අයත් නැව් සෝදිසි කිරීමේ ඉංග්‍රීසි වැඩ පිළිවෙළ ගැන අසතුටු වූ බොහෝ මැදහත් ජාතීහු බ්‍රිතාන්‍යයට විරුද්ධව සිය වෙළඳ අයිති රැකගැනීම අරභයා සන්නද්ධ මධ්‍යස්ථ සංගමයක් පිහිටුවා ගෙන තිබිණි. මේ තත්ත්වය යටතේ ඇමෙරිකා ජනපදවල ඇති වූ කැරලිකාර තත්ත්වය සංසුන් කරගැනීම බ්‍රිතාන්‍යයට බෙහෙවින් දුෂ්කර විය. ප්‍රංසය, ස්පාඤ්ඤය හා ඕලන්දය කෙළින් ම ඇමෙරිකා ජනපදවලට සහාය දී බ්‍රිතාන්‍යයෙන් පළිගැනීමට ඉදිරිපත් වූහ. 1781 දී බ්‍රිතාන්‍ය සේනා ඇමෙරිකානු ජනපදවාසීන් අතින් පරාජයට පත් වූ අතර 1783 පැරිස් ගිවිසුමෙන් ජනපදවල ස්වාධීනතාව පිළිගන්නා ලදි. මෙය වූකලි ප්‍රථම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ වැටීම ලෙස සලකනු ලැබේ (ඇමෙරිකානු නිදහස් සටන බ.).
විලියම් පිට් (කනිෂ්ඨ)
1782න් පසු රොකිංහම් යටතේ විග් පාලනයක් ද මාස කීපයකින් ඔහු මියගියෙන් ෂෙල්බර්න් යටතේ වූ අමාත්‍ය මණ්ඩලයක පාලනයක් ද පැවැත්තේය. අනතුරුව පත් වූ විග්-ටෝරි දෙපක්ෂයෙන් සැදි ෆොක්ස්-නෝර්ත් රජය ගෙන ආ ඉන්දියා පනත සාමිමණ්ඩලයේ දී පැරදීමට සලස්සා 1783 දී ම එම රජය අස්කොට දැමූ ජෝජ් III රජ විලියම් පිට් (කනිෂ්ඨ) (බ.) සිය ප්‍රධාන අමාත්‍ය පදවියට පත් කෙළේය. ආණ්ඩු ප්‍රතිසංස්කරණවාදියකු වූ පිට් දේශපාලන පක්ෂ නායකයකු නොවුව ද ඔහුට දේශපාලන පක්ෂ භේදයෙන් පීඩිතව, පක්ෂ දේශපාලනය එපාව සිටි බොහෝ අයගේ සහාය ලැබුණු අතර රජු කෙරෙහි ද ඉමහත් බලයක් පෑ හැකි විය. පසුව නෝර්ත්ගේ කොන්සර්වටිව් අනුගාමිකයන්ගේ සහාය ද ඔහුට ලැබිණි. එහෙත් මේ නිසා ඔහු දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබද මත අත් නොහළේය. සිවිල් සේවයේ දුෂණ ඉවත් කොට, මුදල් තත්ත්වය යහපත් අතට හරවා, වෙළදාමේ දියුණුව පිණිස ප්‍රංසය සමග ගිවිසුම් ඇති කොට කාර්මික බවට හැරෙමින් පැවති බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනයට ද රුකුල් දෙමින් රටට කළ සේවය නිසා ප්‍රධාන අමාත්‍යයා හැටියට මෙතෙක් කිසිවකු නොලද බලයක්, අධිපති බවක් හා කීර්තියක් හේ හිමි කොට ගත්තේය. මේ කාලයේ ඔහුගේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන අංගයක් වූයේ නෙදර්ලන්තය ප්‍රංස ඇඟිලි ගැසීමෙන් ඈත් කොට තබාගැනීම පදනම් කොටගත් ප්‍රසියානු-නෙදර්ලන්ත-බ්‍රිතාන්‍ය ත්‍රිත්ව මිත්‍ර ගිවිසුමයි. 1789 ප්‍රංස මහා විප්ලවය (බ.) ක්‍රමයෙන් මේ තත්ත්වය වෙනස් කිරීමෙහි සමත් විය. බ්‍රිතාන්‍යයේ ප්‍රංස විප්ලවයට පක්ෂ විපක්ෂ කණ්ඩායම් දෙකක් විග් පක්ෂයේ ඇති විය. විග් පක්ෂයේ පිළිගත් නායකයාව සිටි පෝට්ලන්ඩ්හි ආදිපාද තැන විප්ලවය බ්‍රිතාන්‍යයෙහි ද පැතිරී යතැයි බියෙන් පිට් රජයට සහාය දීමට කැමති වීමෙන් පිට්ගේ බලය තවදුරට ද වැඩි විය.
1793 දී ප්‍රංසය බ්‍රිතාන්‍යයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කෙළේය. මේ කාලයේ කාර්මික දියුණුවත් ඒ උඩ ඇතිව තිබුණු ආර්ථික ශක්තියත් එමෙන් ම අනභිභවනීය නාවික බලයත් නිසා බ්‍රිතාන්‍යය සිටියේ ප්‍රංසයට වඩා වාසිසහගත තත්ත්වයකය. 1795 දී නැපෝලියන් ප්‍රංසයෙහි බලයට පැමිණීමෙන් පසු 1815 දක්වා බ්‍රිතාන්‍යය නැපෝලියන්ට විරුද්ධව යුරෝපා යුදපිටියෙහි සටන් වැදී සිටියේය. 1805 දී ප්‍රංස, ස්පාඤ්ඤ නැව්හමුදා පරදවා ට්රැෆල්ගාර්හි දී ලත් නාවික ජයග්‍රහණය නිසා ප්‍රංස හමුදාවන්ගේ බ්‍රිතාන්‍ය ආක්‍රමණය වැළකිණ. 1815 වෝටර්ලූ සටනින් නැපෝලියන් අවසාන වශයෙන් ලත් පරාජයෙන් පසු ප්‍රංස යුද්ධ තර්ජනය ඉවත්ව ගියේ ය (නැපෝලියන් බ.).
එක්සත් මහා බ්‍රිතාන්‍යය හා අයර්ලන්ත රාජ්‍යයේ සම්භවය
1783 සිට 1801 දක්වාත් 1804 සිට 1806 දක්වාත් අගමැති පදවිය දැරූ විලියම් පිට් (කනිෂ්ඨ) එවක බ්‍රිතාන්‍යයේ සිටි අග්‍රගණ්‍ය දේශපාලනඥයාය. 1800 දී එක්සේසත් පනත සම්මත කරගැනීමෙන් මහා බ්‍රිතාන්‍යය හා අයර්ලන්තය එක්සත් කොටගෙන එක්සත් (ඒකාබද්ධ) මහා බ්‍රිතාන්‍ය හා අයර්ලන්ත රාජ්‍යය පිහිටුවාලීමේ ගෞරවය ද ඔහු සතු වෙයි. අයර්ලන්තයේ බහුජනතාව වූ කතෝලිකාගමිකයන්ට එරෙහිව පැවති දණ්ඩන නීතිවලින් ඔවුනට සහනය සැලසීම සඳහා ඔහු දැරූ වෑයම් රජුගේ දැඩි කතෝලික විරෝධි ප්‍රතිපත්තිය නිසා නිෂ්ප්‍රභ වූයෙන් 1801 දී පිට් සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේය. 1806 දී ඔහුගේ ඇවෑමෙන් ග්‍රෙන්විල් අග්‍රාමාත්‍ය පදවියට පත්විය. විල්බර්ෆෝස්, ක්ලාක්සන්, මැකෝලි වැනි අය ගෙන ගිය දීර්ඝ උද්ඝෝෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් මේ කාලයේ දී ඉංග්‍රීසි වහල් වෙළඳාම තහනම් කැරිණි.
1810න් පසු ජෝජ් III උමතු රෝගයකින් පෙළෙන්නට වූයෙන් වේල්ස්හි කුමාර ජෝජ් (පසුව ජෝජ් IV) රාජ්‍ය ප්‍රතිනිධි (Prince Regent) හැටියට කටයුතු කෙළේය. 1812 දී එවක අග්‍රාමාත්‍ය පර්සිවල් උම්මත්තකයකු අතින් මිය ගියෙන් එම පදවියට පත් වූයේ ලිවර්පූල් සාමිය. ලිවර්පූල් සාමි 1827 දක්වා එම පදවිය දැරීය. ඔහුගේ විදේශ අමාත්‍ය කාසල්රී 1818 දී එක්සත් ජනපද රාජ්‍යය සමග ගිවිසුමකට බැඳුණේය.
1820-30 දක්වා රාජ පදවිය දැරුවේ ජෝජ් IV ය. බ්‍රිතාන්‍ය රාජාවලියෙහි ඉතා දුර්වල රජකු හැටියට සලකනු ලබන මොහුගේ කාලයේ දී නිදහස් විදේශ ප්‍රතිපත්තියක් ගෙනයාමෙන් එක්සත් රාජධානියට සේවය කළ විදේශ අමාත්‍ය කැනිං 1827 දී අගමැති පදවියට පත් විය. මොහුගේ සමයේ දී බ්‍රිතාන්‍යය රුසියාව හා ප්‍රංසය සමග එක්ව තුර්කියට විරුද්ධව ග්‍රීසියේ නිදහස් සටනට ආධාර දුන්නේය. 1827 දී ම කැනිං මිය ගියෙන් ගෝඩ්රිච් සාමිවරයා අගමැතිව මාස කීපයක් කළ අසාර්ථක සේවයෙන් පසු වෝටර්ලූහි දී නැපෝලියන් පැරද වූ වෙලිංටන් ආදිපාදවරයා එම පදවියට පත් විය. 1829 දී කතෝලික සහන පනත ගැන රජුගේ කැමැත්ත ලබා ගත හැකි වූයේ ආණ්ඩුවේ මුඛ්‍ය පදවි දැරූ වෙලිංටන් හා පීල් ඇතුළු කීපදෙනෙකු ම අස්වීමෙන් පසුය. 1830 දී ජෝජ් IV මිය ගියෙන් ඔහුගේ සහෝදර විලියම් IV (1830-37) රජ විය. ඔහු ඇවෑමෙන් උදාවූයේ වික්ටෝරියා මහේසිකාවගේ සමයයි (1837-1901).
දෙවන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය
1783 දී ඇමෙරිකානු ජනපදවල ස්වාධීනතාව පිළිගැනීමෙන් ප්‍රථම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ඇද වැටුණු පසු ජේම්ස් කුක්ගේ දේශ ගවේෂණය හා ඉන්දියානු ප්‍රදේශවල ඉංග්‍රීසි සේනාවන්ගේ නව විජයග්‍රහණ නිසා බ්‍රිතාන්‍ය විජිත ව්‍යාප්තියේ දෙවන අවධිය උදා වූ සේ සැලකිය හැකි ය. 1815 දී අවසන් වූ නැපෝලියානු යුද්ධවල ප්‍රතිඵලයක් වශයෙන් මුරිසිය, ට්‍රිනිඩෑඩ්, ටොබාගෝ, මෝල්ටා යන ප්‍රදේශ බ්‍රිතාන්‍යය සතු වූ අතර ලංකාවේ අභ්‍යන්තරයේ සිංහල ආණ්ඩුවේ අර්බුද හේතු කොට ගෙන මෙරට ද එම වර්ෂයේ දී බ්‍රිතාන්‍යාධිපත්‍යය යටතට පත් විය. කුක්ගේ ගවේෂණයන්ගෙන් පසු කලක් ම බ්‍රිතාන්‍ය අපරාධකරුවන්ට සිර කඳවුරක් සෙයින් සලකන ලද ඕස්ට්‍රේලියාව (බ.) ඇමෙරිකානු බ්‍රිතාන්‍ය ජනපද නිදහස ප්‍රකාශ කිරීමෙන් පසු එක්සත් රාජ්‍යය විසින් වඩා වැදගත් කොට සලකන ලදි. 1788 දී එහි ප්‍රථම උපනිවේශය ඇරඹිණ. ධාන්‍යවගාව, රන් ආකර කර්මාන්තය, බැටළුවන් ඇති කිරීම ආදිය සඳහා 19 වන සියවස තුළ බ්‍රිතාන්‍ය ජාතිකයෝ විශාල වශයෙන් මෙහි ඇදී ආහ. ජනපද ව්‍යාපාරය මෙහි ආරම්භ කිරීමෙන් පසු ඕස්ට්‍රේලියාව බ්‍රිතාන්‍ය පාලනය යටතේ පවතින හැටියට සලකන ලද අතර 1839 දී නවසීලන්තය ද බ්‍රිතාන්‍ය පාලනයට අයත් බව ප්‍රකාශ කරන ලදි. 1814 දී බ්‍රිතාන්‍ය ජාතිකයෝ කේප් ප්‍රදේශය ඕලන්ද ජාතිකයන්ගෙන් ලබාගත්හ. 1874 සිට 1880 දක්වා බ්‍රිතාන්‍ය අගමැතිව සිටි ඩිස්රේලිගේ කාලයේ දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්තිය සීරුවට අනුගමනය කරන ලදි. එවක සූවස් ඇළේ පාලන අයිතිය ලබා ගත් ඩිස්රේලි තුර්කීන්ගෙන් සයිප්‍රසය ලබා ගැනීමට ද සමත් විය. මෙසමයේ බ්‍රිතාන්‍ය කිරුළ දැරූ වික්ටෝරියා රැජින වෙත ඉන්දියාවේ අග්‍ර රාජිනිය යන පදවි නාමය පාර්ලිමේන්තුව මගින් පිරිනමන ලදි. ඩිස්රේලිගෙන් පසුව ද අධිරාජ්‍යයේ ව්‍යාප්තිය පිණිස දිගට ම කටයුතු කැරිණි. පැසිපික් දූපත් රාශියක් අත් කරගත් බ්‍රිතාන්‍යය අප්‍රිකාව බෙදා ගැනීමේ යුරෝපීය පොරයේ දී වැඩි කොටස ලබා ගැනීමෙහි ද සමත් විය.
1839 වර්ෂය බ්‍රිතාන්‍ය විජිත පාලනය පිළිබඳ වැදගත් අවස්ථාවක් විය. ඩරම් (Durham) සාමිවරයා සිය නිදහස් මත උඩ සකස් කළ වාර්තාව එම වර්ෂයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. 19 වන සියවසේ දී එක්සත් රාජ්‍යය අනුගමනය කළ ධවල (ජනපද) විජිතයනට ඩොමීනියන් තත්ත්වය (ස්වරාජ්‍යය) දීමේ ප්‍රතිපත්තියට පදනම් වූයේ මෙම වාර්තාවේ වගන්තිය. 1840 දී ඉහළ කැනඩාව හා පහළ කැනඩාව සන්ධීය රාජ්‍යයක් හැටියට එක්සත් කැරිණ. 1847 දී එහි වගකිව යුතු ආණ්ඩු ක්‍රමයක් ඇති කරන ලදි. 1867 දී බ්‍රිතාන්‍ය උතුරු ඇමෙරිකා පනතින් කැනඩාව ඩොමීනියන් රාජ්‍යයක් හැටියට ප්‍රකාශ කැරිණ. කැනඩා සන්ධීය රාජ්‍යයට ඇතුළත් නොවී සිටි නිව්ෆවුන්ඩ්ලන්තය 1855 සිට ස්වරාජ්‍ය තත්ත්වය ලබා සිටියේය. 1855-56 කාලයේ දී ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රාජ්‍ය සතරකට වගකිවයුතු ආණ්ඩු ක්‍රමයක් ලැබුණු අතර 1901 දී ඕස්ට්‍රේලියා පොදු රාජ්‍යය පිහිටුවන ලදි. 1852 දී නිව්සීලන්තය වග කිවයුතු ආණ්ඩුවක් ලැබීය. බ්‍රිතාන්‍ය දකුණු අප්‍රිකාව ස්වරාජ්‍යය ලැබීම හා ඒකාබද්ධ වීම බෝයර්-බ්‍රිතාන්‍ය යුද්ධ වියවුල් නිසා මඳ කලක් ප්‍රමාද විය. 1899 හටගත් බෝයර් යුද්ධය එක්සත් රාජධානියේ ජයග්‍රහණයෙන් 1902 දී අවසන් විය. 1909 දී ස්වරාජ්‍ය තත්ත්වය ලබා සිටි කේප් කොලනි, නතාල්, ට්‍රාන්ස්වාල් හා ඔරේන්ජ් නිදහස් රාජ්‍ය එක් කිරීමෙන් දකුණු අප්‍රිකා සංගමය ඇති විය. 1914 වන විට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ලෝකයෙන් 1/4ක භූමි භාගයකුත් 1/4 ජනගහනයකුත් අයත්ව පැවතිණි.
පක්ෂ දේශපාලනය
1830 දශකයේ දී එවක අපකීර්තියට භාජනය වෙමින් පැවති 'ටෝරි' යන නම අත්හළ ටෝරි පාක්ෂිකයෝ 'කොන්සර්වටිව්' නමින් හැඳින්වෙන්නට වූහ. එම පක්ෂයේ සිටි අබාධ වෙළඳ ප්‍රතිපත්තිය දරූ අය විග් පාක්ෂිකයන් සමඟ ක්‍රමයෙන් එක් වන්නට වූහ. පසුව විග් පාක්ෂිකයෝ නව ලිබරල් පක්ෂය තනා ගත්හ. එවක ලිබරල් වාදීහු සිතීමෙහි ද ආගම් ඇදහීමෙහි ද නිදහස පතා සටන් කළහ. අබාධ වෙළඳ ප්‍රතිපත්තිය අනුගමනය කළ ඔව්හු වැඩි වශයෙන් කාර්මික මධ්‍ය පන්තියට අයත් වූහ. 19 වන සියවසේ දී මධ්‍ය පන්තියේ බුද්ධිමතුන්ගෙන් සැදි සමාජවාදී ෆෙබියන් නම් සමාජය කෙමෙන් වැඩෙන්නට විය. 1883 සිට මේ සමාජය භූමිය හා කර්මාන්ත ජාතිය සතු කිරීම ගැන උත්සුකව ක්‍රියාකරන්නට වූහ. 1900 දී බ්‍රිතාන්‍ය කම්කරු සමිති සංගමය සම්මේලනයක් පැවැත් වූ අවස්ථාවේ දී ෆෙබියන් සංගමිකයෝ ද ඊට සහභාගි වූහ. බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය බිහි වූයේ මෙම සම්මේලනයේ ප්‍රතිඵලයක් වශයෙනි. 20 වන සිය වස වන විට ලිබරල් පාක්ෂිකයෝ අබාධ වෙළඳ ප්‍රතිපත්තිය හැරෙන්නට ඔවුන් එතෙක් ගරු කළ ප්‍රත්‍යෙකවාදය හා රාජ්‍ය නිර්බාධ (Laissez faire) ප්‍රතිපත්තිය ද අත්හැර දමා දරිද්‍රතාව පහකිරීමට රජය මැදහත් විය යුතුය යන මතය ගත්හ.
ආණ්ඩු ප්‍රතිසංස්කරණ
17 වන සියවස තරම් ඈත දී ස්වෛරී පාලනය බ්‍රිතාන්‍යයෙන් දූරීභූත වුව ද 19 වන සියවස තෙක් නියම ප්‍රජාතන්ත්‍රවාදයක් එහි ඇති නොවීය. 1832 ප්‍රතිසංස්කරණ පනත සම්මත වන තෙක් බ්‍රිතාන්‍යයේ පැවතියේ රදල ආණ්ඩු ක්‍රමයකැයි කිව හැකිය. එහි වූ ව්‍යවස්ථාදායකයට අයත් මණ්ඩලද්වයෙන් සාමි මණ්ඩලයෙහි මහජන නියෝජනයක් නොවීය. ධනයත් දේශපාලන බලයත් රදල පන්තිය, ඉඩම්හිමි පන්තිය හා වෙළඳ සිටුවරුන් අතෙහි විය. රටේ බහු ජනතාව වූ ගොවි කම්කරු කොට්ඨාස යටකී ප්‍රධානීන් ගෙනගිය ආණ්ඩුවෙන් පාලනය කරනු ලැබූහ. 18 වන සියවස මධ්‍ය භාගයේ සිට බ්‍රිතාන්‍යය ශීඝ්‍රයෙන් කාර්මික බවට පෙරළෙද්දී මැන්චෙස්ටර්, බර්මිංහැම්, ලීඩ්ස් වැනිකාර්මික නගර පහළ වෙද්දී, කර්මාන්තශාලාවල පැවති අයහපත් තත්ත්වයන් ද ශිල්පි පන්තියේ විනාශය හා රැකී රක්ෂා හිඟය ද නිසා නගරාසන්නව බලවත් නොසංසුන්ගතියක් පැවැත්තේය (කාර්මික විප්ලවය බ.). මේ අතර පොහොසත් නිෂ්පාදක මධ්‍ය පන්තිය උපයෝගිතාවාදී හා රාජ්‍ය නිර්බාධවාදී මත දරමින් උද්ඝෝෂණ කළාහු පාර්ලිමේන්තු ඡන්ද ඉල්ලා සටන් කළහ. ප්‍රතිඵලයක් වශයෙන් 1832 ප්‍රතිසංස්කරණ පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදි. මේ පනත නිසා ඉඩම් හිමි රදල පන්තිය යටතේ මෙතෙක් පැවති ආණ්ඩු බලයෙන් කොටසක් ධනවත් කාර්මික මධ්‍යම පන්තියට ද හිමි විය. එහෙත් සාමාන්‍ය පොදු ජනතාවට තමන් කොන් කරනු ලැබූ බව පෙනී ගියෙන් නියම ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් දුප්පත් පොහොසත් හැමට ඡන්ද බලය ඉල්ලා පෙත්සම් ඉදිරිපත් කරන ලදි. 1839 දී ඔවුන්ගේ වෑයම අසාර්ථක වූ පසු චාටිස්ට්ස් (chartists) නමින් ප්‍රසිද්ධිය ලත් මෙම පොදු කම්කරු ජනතාව තව දුරට ද තම සටන ගෙන ගියහ. 1848 දී ඔවුනට යළිත් අසාර්ථකත්වයට මුහුණ දීමට සිදුවිය. ඉන්පසු කම්කරු සමිති පිහිටුවා ගත් ඔව්හු එමගින් වඩා හොඳ සේවා තත්ත්වයන් ලබාගත්හ.
මේ අතර මධ්‍යම පන්තිය 1832 ප්‍රතිසංස්කරණ පනතේ වරප්‍රසාද භුක්ති විඳින්නට පටන්ගත්තහු ආරක්ෂක තීරුබදු ඉවත් කරන මෙන් ඉල්ලා සටන් කළහ. 1845 දී රොබට් ෆීල් ලවා ආරක්ෂක ධාන්‍ය නීති අවලංගු කරවා ගැනීමෙන් ඔව්හු ඉඩම්හිමි පන්තියේ විරෝධය මැඩ විශාල ජයක් ලබා ගත්හ. 1860 වන විට අනිකුත් ආරක්ෂක තීරුබදු ද අවලංගු කරගැනීමට මධ්‍යම පන්තිය සමත් වූහ. මෙසේ එක්සත් රාජධානිය අබාධ වෙළඳ මාවත කරා පිවිසියේය. මෙය මධ්‍යම පන්ති ලිබරල්වාදීන්ගේ ජයග්‍රහණයක් විය.
වික්ටෝරියා රැජිනගේ සමයේ දී (1837-1901) එක්සත් රාජධානියෙහි ලිබරල්වාදයේ ශීඝ්‍ර වර්ධනයක් දක්නා ලදි. සිය යුගයේ අවශ්‍යතාවනට කන්දුන් වික්ටෝරියා රැජින සෛවරී අදහස් නොදැක්වීම නිසා ජනාදරයට පාත්‍ර වූවාය.
1867 දී කම්කරු සංගම් සාමාජිකයෝ ජෝන් බ්‍රයිට් නමැත්තා මුල්කොට ගෙන සිය දේශපාලන අයිතිවාසිකම් ඉල්ලා සටන් කළහ. මෙකල සිටි මධ්‍යම පන්තියේ අන්තගාමී රැඩිකල්වාදීන්ගේ ද සහයෝගය ලත් බ්‍රයිට් තත්කාලීන බ්‍රිතාන්‍ය දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන තැනක සිටි ග්ලැඩ්ස්ටන්ගේ ද සහාය ලබා අග්‍රාමාත්‍ය ඩිස්රේලි (බ.) ලවා 1867 ප්‍රතිසංස්කරණ පනත සම්මත කරවා ගැනීමෙන් බ්‍රිතාන්‍ය කම්කරුවනට ඡන්ද බලය ලබා දීමෙහි සමත් විය. මෙම පනත නිසා ලිබරල් පක්ෂය වඩාත් බල සම්පන්න වූ අතර ග්ලැඩ්ස්ටන්ට බලයට ඒමට ද මඟ පෑදිණ. 1872 දී ඔහුගේ මුල් වීමෙන් 'රහස් ඡන්දය' සම්මත වූ අතර 1884 දී ගොවිකම්කරුවනට ඡන්ද බලය ලබා දුන් ප්‍රතිසංස්කරණ පනත ද සම්මත කැරිණි. ලිබරල් පක්ෂයේ මෙහෙයීමෙන් මෙසේ ඡන්දබලය ලත් කොටස කොන්සර්වටිව් පාක්ෂික ඉඩම් හිමියන්ගේ බලය යටතේ සිටි කොටසක් වූයෙන් 1885න් පසු 1906 දක්වා මේ නව ඡන්ද ලැබීමෙන් වැඩි වශයෙන් ම බලයට පත්වූයේ කොන්සර්වටිව් පක්ෂයයි. මේ අතර යට කී පරිදි 1901 දී බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය පිහිටුවීම එරට දේශපාලන ඉතිහාසයේ ඉතා වැදගත් සිද්ධියක් විය. සමාජ පෙරළියක් ගැන උද්ඝෝෂණය කළ කම්කරු පක්ෂය දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය පරිපූර්ණත්වය කරා ගෙන ඒම පිණිස මුල සිට ම සටන් කළහ. තම අදහස් ක්‍රියාවට නැගීම සඳහා ඔව්හු ලිබරල් නායක ලොයිඩ් ජෝර්ජ්ට සහාය දුන්හ. 1911 දී ලොයිඩ් ජෝජ් ලිබරල් කම්කරු පක්ෂ බලය මෙහෙයා සාමිවරුන්ගේ බල කප්පාදු කරලමින් මහජන මන්ත්‍රී මණ්ඩල බලතල වැඩි කළ 'පාර්ලිමේන්තු පනත' සම්මත කරගත්තේය. 1918 දී එක්සත් රාජ්‍යයේ වයස 21න් වැඩි සෑම පුරවැසියකුට ම ඡන්ද බලය ලබා දෙන ලද අතර 30න් වැඩි ස්ත්‍රීන්ට ද ඡන්ද බලය ව්‍යාප්ත කැරිණි. අනතුරුව ස්ත්‍රී පක්ෂයේ ඉතිරි කොටසට ද ඡන්ද බලය දීමෙන් සර්වජන ඡන්දය වළංගු කොට කම්කරු පක්ෂය උද්ඝෝෂණය කළ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අනුව 'පන්ති රජය' වෙනුවට 'ජනතා රජයක්' එක්සත් රාජධානියෙහි පිහිටුවීමේ නියම මාර්ගය කපන ලද්දේ 1928 දීය.
වික්ටෝරියා රැජිනගේ සමයේ දී ඉහත සඳහන් වූ පරිදි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පනත් මඟින් ක්‍රමානුකූලව සිද්ධ වූ ප්‍රජාතන්ත්‍රවාදී ගමන ඉතා වැදගත් කොට සැලකිය යුතුය. මේ හැර හැට හතර වසක් රජකළ එතුමියගේ දීර්ඝ රාජ්‍ය කාලයේ දී සමාජයේ විශාල පෙරළි සිදුවිය. ඉඩම් හිමි රදල පන්තිය යටපත්කොට කාර්මික හා ව්‍යාපාරික මධ්‍යම පන්තිය බලයට පැමිණීමේ පොරය ආණ්ඩු ප්‍රතිසංස්කරණය හා අත්වැල් බැඳගෙන සාර්ථකත්වය කරා ගමන් කෙළේ ද මේ කාලයේ දී ය.
එතුමියගේ සිව්සැට වර්ෂ රාජ්‍ය කාලය විද්‍යාව, කාර්මික නිෂ්පාදනය, වෙළහෙළඳාම හා සාහිත්‍යය අතින් අත්‍යන්තයෙන් නිර්මාණාත්මක විය. 1900 වන විට ඓශ්චර්ය හා බලය අතින් එක්සත් රාජධානිය ලෝකයේ ප්‍රමුඛස්ථානයේ වැජඹෙන්නට විය. ධාන්‍ය නීති අවලංගු කිරීමත් ඒ අනුව වෙනත් තීරුබදු අවලංගු කිරීමත් නිසා බ්‍රිතාන්‍යය ඉතා ම සරුසාර යුගයකට පිවිසියේය. 1844 දී රොෂ්ඩේල් පුරෝගාමීහු සමුපකාර ව්‍යාපාරය ආරම්භ කළහ. වාෂ්ප බලය හා යන්ත්‍රසූත්‍ර භාවිතය සැම අතක ම ව්‍යාප්ත වූයේ ද මෙසමයේය. 1851 දී එක්සත් රාජධානිය කාර්මික ප්‍රගතිය පිළිබඳ ප්‍රථම ජගත් ප්‍රදර්ශනය පැවැත්වීය. මේ යුගයේ දී රාජ්‍යය පුරා දුම්රිය මං හා මහා මාර්ග ඉදිකරන ලද අතර ටැලිපෝන් හා ටැලිග්‍රාප් සේවා ද ආරම්භ විය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ව්‍යාප්තිය ගැන ද මහත් උනන්දුවක් දැක්වුණු මෙම අවධියේ දී ක්‍රිමියානු යුද්ධය (1854-56) මගින් මධ්‍යධරණී ප්‍රදේශය හා ඉන්දියාව වෙත රුසියානු ඇඟිලි ගැසීම් නවත්වාලන ලදි. 1857 හමුදා කැරැල්ලෙන් පසු ඉන්දියානු ප්‍රදේශ ආණ්ඩු කිරීමේ බලය බ්‍රිතාන්‍ය රජය පවරා ගත්තේය. අප්‍රිකාව බෙදාගැනීමේ යුරෝපීය තරඟයේ දී මිසරය, උගන්ඩාව, නයිජීරියාව, ගෝල්ඩ් කෝස්ට්, දකුණු අප්‍රිකා ප්‍රදේශ ඇතුළු විශාල කොටසක් බ්‍රිතාන්‍යය අයත් කර ගත්තේය. නාවික බලය අතින් මේ කාලයේ දී බ්‍රිතාන්‍යය අන් ජාතීන් පරදවා සිටියේය. ටෙනිසන්, රොබට් බ්‍රවුනිං, තැකරි, ඩිකන්ස්, තෝමස් හාඩි, ස්ටීවන්සන්, කිප්ලිං, මැතිව් ආනල්ඩ් ආදීහු කාව්‍ය කරණයෙහිත් නවකථා ලිවීමෙහිත් යෙදී ඉංග්‍රීසි සාහිත්‍යය පෝෂණය කළහ. ඩාර්වින් ස්වකීය විපරිණාම ධර්මය පිළිබඳ ග්‍රන්ථය ලිවූයේ ද මිල්, මැකෝලි, කාලයිල් ආදිහු අර්ථ ශාස්ත්‍රය, දේශපාලන විද්‍යාව, ඉතිහාසය ගැන ලිවූයේ ද වික්ටෝරියානු යුගයේ දීය (ඉංග්‍රීසි සාහිත්‍යය ද.බ.).
එඩ්වඩ් VII
1901 දී වික්ටෝරියා රැජිනගේ අභාවයෙන් පසු රජ පැමිණියේ ඇගේ පුත්‍ර එඩ්වඩ් VII (බ.) ය. සාමය හා මිත්‍රත්වය ප්‍රිය කළ මොහුගේ කාලයේ දී දිගුකලක් තිස්සේ එක්සත් රාජධානිය අනුගමනය කළ උදාර - හුදකලාව (splendid isolation) පැවැත්මේ ප්‍රතිපත්තිය හැරදැමිණ. ප්‍රංසයේ මිත්‍ර රුසියාවට විරුද්ධව 1902 දී ජපානය සමග බ්‍රිතාන්‍යය ඇති කරගත් මිත්‍ර ගිවිසුම ප්‍රංස - ඉංග්‍රීසි පරතරය තවත් පුළුල් කළ නමුත් මේ වන විට යුද්ධ හා නාවීක බලය ගොඩනඟමින් බලයෙන් මත්ව මෙන් ක්‍රියාකරන්නට වූ ජර්මනියේ විදේශ ප්‍රතිපත්තිය නිසා බ්‍රිතාන්‍ය-ප්‍රංස සාකච්ඡාවලට මඟ පෑදිණ. 1903 එඩ්වඩ් රජුගේ සාර්ථක ප්‍රංස ගමනින් පසු දෙරට අතර කාලාන්තරයක් තිස්සේ පැවති එදිරිවාදුකම් දුරුව දිගු මිත්‍රත්වයකට මඟ පෑදිණ. 1904 දී බැල්ෆර් රජය ප්‍රංසය සමඟ මිත්‍ර ගිවිසුමකට (ආංකාංත් කෝර්ද්යාල්) බැඳුණේය. 1905 දී යළි රුසියානු තර්ජන නිසා බ්‍රිතාන්‍ය-ජපන් සමගි ගිවිසුමක් ඇති විය. එහෙත් මේ අතර ජර්මනිය, ඕස්ට්‍රියා හංගේරිය, ඉතාලිය හා රුමේනියාව එක් පිළකට බෙදුණෙන් බලතුලනය පවත්වා ගැනීම උදෙසා කටයුතු කළ එක්සත් රාජධානිය රුසියාව සමග පැවති වාදභේද හැර දමා 1910 දී ප්‍රංසයත් රුසියාවත් සමග මිත්‍ර සම්බන්ධතා ඇති කොටගෙන විරුද්ධ කඳවුරක් ඇති කර ගත්තේය. 1910 දී එඩ්වඩ් රජ මිය ගියේය. ඔහුගේ රාජ්‍ය සමයේ දී රඩ්යාඩ් කිප්ලිං, තෝමස් හාඩි, වෙස්ටර්ටන්, ජෝන් මේස්‍ෆීල්ඩ්, ජෝජ් මුවර්, බර්නාඩ් ෂෝ, හෙන්රි ජේම්ස් ආදීහු ඉංග්‍රීසි සාහිත්‍යයට අමරණීය සේවයක් කළහ. වෙල්ස් හා ආනල්ඩ් බෙනට් සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසියේ ද මේ සමයේය. පුවත්පත් කලාව පිළිබඳව ද මේ කාලයේ දී විශාල දියුණුවක් දක්නා ලදි (ඉංග්‍රීසි සාහිත්‍යය බ.)
ශුභසාධන පනත් හා සමාජය
1905 දී බැල්ෆර්ගේ කොන්සර්වටිව් රජය ඉල්ලා අස්වීමෙන් පසු පත්වූයේත් ඉන්පසු 1906, 1910 වර්ෂයන්හි පැවැත්වුණු මැතිවරණවලින් බලයට පත්වූයේත් ලිබරල් පක්ෂයයි. එම පක්ෂය ගෙන ගිය අබාධ වෙළඳ ප්‍රතිපත්තියත් බාහිර ලෝකයේ වෙළඳ තරඟයත් නිසා එක්සත් රාජධානියේ ධාන්‍ය නිෂ්පාදනයත් ඒ සමඟ ම ඉඩම් හිමි රදල පක්ෂයත් පිරිහෙන්නට වූහ. කම්කරු පන්තිය කම්කරු පක්ෂය පිහිටුවා ගැනීමෙන් පසු සුභසාධනය සඳහා ලිබරල් පක්ෂයට සහාය දීම එරට සුභසාධන රාජ්‍යයක් බවට පත්වීම ඉක්මන් කෙළේය. 1906-14 සමයේ ආර්ථික හා සුභසාධන පනත් රැසක් ම සම්මත විය. වෘද්ධ විශ්‍රාම වැටුප් පනත, ජාතික රක්ෂණ පනත, ජාතික සෞඛ්‍ය රක්ෂණ පනත හා ධනවතුන්ට පැනවූ අධික බදුත් ඉඩම් ගැන පැන වූ නව බදුත් මේ අතර විය. නව අර්ථ ශාස්ත්‍රඥයන් ඉදිරිපත් කළ සිද්ධාන්ත මධ්‍යම පන්තියේ ජනයා තුළ සුභසාධන හා පුරවැසි අයිතිවාසිකම් පිළිබඳ නව ප්‍රබෝධයක් ඇති කෙළේය. මේ කාලයේ ඇති වූ අධ්‍යාපන ව්‍යාප්තිය ද අනතුරුව ඇති වූ ජගත් මහා යුද්ධද්වය ද සමාජයේ පන්ති භේද උස්මිටිකම් මකාලූ මහා බලවේග විය. මේ සියල්ලක් නිසා කම්කරු ජනතාවට මධ්‍යම පන්තියේ දොර විවෘත විය.
ජෝජ් V
1910 දී එඩ්වඩ් VII රජු ඇවෑමෙන් රජ බවට පත් ඔහුගේ දෙවන පුත්‍ර ජෝජ් V (බ.) 1936 දක්වා එම පදවිය හෙබවිය. මෙරජු සමයේ මුල දී ම සාමි මන්ත්‍රී මණ්ඩලයේ බලතල රැසක් නැති වී ගියේය. 1910 ලොයිඩ් ජෝජ්ගේ අයවැය ලේඛනය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ඇති වූ පාර්ලිමේන්තු අරගලය අවසන් වූයේ සාමිවරුන්ගේ බල බොහොමයක් සිඳලූ 1911 පාර්ලිමේන්තු පනතිනි.
පැරණි රටාවෙන් ඉවත්ව එක්සත් රාජධානියේ සංයුතිය වෙනස් වීම, සර්වජන ඡන්දය සම්මත වීම, ආර්ථික පරිහාණිය, රන්මිනුම අත්හැර දැමීම, අබාධ ප්‍රතිපත්තිය හැරදැමීම හා බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලය පිහිටුවීම ජෝජ් V රජුගේ කාලයේ සිදු වූ වැදගත් සිද්ධිය.
ප්‍රථම ලෝක මහා යුද්ධය
1914 බෝල්කන් රටවල ඇති වූ අරගලයක් ලෝක මහා සංග්‍රාමයක් බවට පත් වූයේ විස්මය ජනක වේගයකිනි. ජර්මන් සේනා බෙල්ජියමේ මධ්‍යස්ථතාවට නිගරු කරමින් එරට හරහා රණප්‍රයාණයේ යෙදෙමින් ගමන් කිරීම නිසා බ්‍රිතාන්‍යය ප්‍රංසයේ හා රුසියාවේ පස ගනිමින් ජර්මනියට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කෙළේය. ඕස්ට්‍රියා හංගේරිය, බල්ගේරියාව හා තුර්කිය ජර්මන් පක්ෂය ගත් රටවල්ය. මේ යුද්ධ සමයේදී ඇස්ක්විත් (ලිබරල්) කම්කරු හා කොන්සර්වටිව් පක්ෂවලින් ද සිය අමාත්‍ය මණ්ඩලයට ඇමතිවරුන් බඳවා ජාතික රජයක් පිහිටුවා ගත්තේය. 1916 දී ලොයිඩ් ජෝජ් (ලිබරල්) ජාතික රජයේ අග්‍රාමාත්‍ය පදවියට පත්විය. යුද්ධයේ දී බ්‍රිතාන්‍යයට එහි නාවික බලය බෙහෙවින් ආධාරෝපකාරී විය. ජර්මන් නැව්වලට අවහිර කිරීමෙන් ද, අධිරාජ්‍යයේ ඒ ඒ පෙදෙස්වලින් භටයන්, අවිආයුධ හා ආහාරාදිය ප්‍රවාහණය කිරීමෙන් ද ජර්මන් විජිත අයත් කර ගැනීමෙන් හා ඔවුන්ගේ වෙළඳාම කපා හැරීමෙන් ද නාවික හමුදාව යුද්ධ ප්‍රයත්නයට විශාල සේවයක් කෙළේය. ජර්මන් සබ්මැරින්වලින් මුල දී ඇති වූ විනාශය ක්‍රමයෙන් මැඩගැනීමට පිළිවන් වීම නිසාය, බ්‍රිතාන්‍ය නාවික බලයේ නියම ප්‍රයෝජනය ලබාගත හැකි වූයේ. කැනඩාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව වැනි අධිරාජ්‍යයට අයත් විශාල රටවලින් පමණක් නොව ලංකාව වැනි කුඩා රටවලින් ද බ්‍රිතාන්‍යයට ආධාර දෙන ලදි. 1917 දී ඇ.එ.ජ. රාජ්‍යය බ්‍රිතාන්‍ය පක්ෂයට එක්වීම ජර්මන් පක්ෂයේ බලවත් අවාසියට හේතු විය. මේ අතර රුසියාව එහි ඇති වූ විප්ලවය නිසා ජර්මනිය සමග වෙනම සාම ගිවිසුමක් අත්සන් කොට ගෙන 1918 දී යුද්ධයෙන් ඉවත් විය. 1948 දී බ්‍රිතාන්‍ය මිත්‍රපක්ෂයේ ජයග්‍රහණයෙන් යුද්ධය අවසන් විය (ලෝක මහා යුද්ධය I බ.).
ප්‍රථම ලෝක මහා යුද්ධයෙන් එක්සත් රාජ්‍ය වැසියන් හත්ලක්ෂයක් පමණ මියගිය අතර විසිලක්ෂයක් පමණ බරපතළ තුවාළ ලැබූහ. දේපොළ, යානවාහන, නැව්, ගොඩනැඟිලි ආදියට සිදු වූ අලාභය මිනිය නොහැකි තරම්ය. යුද්ධාවසානයේ දී කපු හා ලෝම රෙදි, අඟුරු, නැව් හා යන්ත්‍ර සූත්‍ර ආදිය අලෙවි කිරීමේ වෙළඳ පොළවල් එරටට නැතිව යෑමෙන් ද යුද්ධ භාණ්ඩ තැනීම සඳහා පිහිටුවා තිබුණු කර්මාන්තශාලා වසා දැමීමට සිදුවීමෙන් ද රැකීරක්ෂා වියුක්තිය සමග අත්වැල් බැඳගත් විශාල ආර්ථික පරිහානියක් එරට ඇති විය. ජාතික ණය මුදල යුද්ධාරම්භයේ දී පැවති මුදල මෙන් දස ගුණයක් විශාල විය. මේ නිසා බ්‍රිතාන්‍ය විදේශ වත්කම් විකුණන්නට සිදු වූ අතර අයවැය පියවීමට බදු බර වැඩිකරන්නට ද සිදු විය.
යුද්ධ සමාදානයෙන් පසු 1919 දී වර්සේල්ස්හි දී අත්සන් කරන ලද සාම ගිවිසුම අනුව ආසියාවේත් අප්‍රිකාවේත් පැසිපික් සයුරේත් භූමි ප්‍රදේශ රැසක් බ්‍රිතාන්‍යයේ පාලනය යටතට පැවරිණි. එහෙත් ඉන් සමහරක පාලනය පිණිස තුර්කිය, පලස්තීනය, මිසරය යන රටවල බ්‍රිතාන්‍ය හමුදා තැබිමට සිදුවීම බලවත් ප්‍රශ්නයක් විය. අධිරාජ්‍යයට අයත් ඉන්දියාව වැනි ප්‍රදේශ ස්වරාජ්‍යය ඉල්ලා සටන් කිරීමට පටන් ගැනීම ද, අයර්ලන්ත නිදහස් සටන ද මහායුද්ධයෙන් පසු මතු වූ දේශපාලන ප්‍රශ්න අතර විය.
එක්සත් රාජධානියේ සංයුතිය වෙනස්වීම
1914 දී ලෝක මහා යුද්ධය ඇරඹීම නිසා අයිරිෂ් ප්‍රශ්නය කලකට යට ගොස් තිබුණ ද යුද්ධ සාමයෙන් පසු නැවත එය මතු විය. ප්‍රශ්නය නිරාකරණය කිරීම් වස් 1920 දී ස්වදේශ පාලන පනත පනවා උතුරේ අල්ස්ටර්හි කවුන්ටි ප්‍රදේශ 6ක් උතුරු අයර්ලන්තය නමින් වෙන් කොට එය එක්සත් රාජධානියේ කොටසක් හැටියට තබා ගන්නා ලද අතර අයර්ලන්තයේ ඉතිරි බහුතර කොටසට වෙන ම ආණ්ඩුවක් දෙන ලදි. මේ නිසා එවක් පටන් එක්සත් රාජධානියට අයත්ව පවත්නේ මහා බ්‍රිතාන්‍යයත් උතුරු අයර්ලන්තයත් පමණි. එක්සත් මහා බ්‍රිතාන්‍යය හා අයර්ලන්ත රාජධානිය නමින් එතෙක් හැඳුන්වුණු එරට ඒ අනුව එක්සත් මහා බ්‍රිතාන්‍යය හා උතුරු අයර්ලන්ත රාජධානිය යනුවෙන් හැඳින්විණ. 1922 දී අයර්ලන්තයේ දකුණුදිග කවුන්ටි ප්‍රදේශ නිදහස් අයිරිෂ් රාජ්‍යය නමින් බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයේ ඩොමිනියන් රාජ්‍යයක් බවට පත් කරන ලදි. 1932 දී එහි බලයට පැමිණි එ්මන් ඩී වැලේරා රාජපාක්ෂිකභාවය පිළිබඳ දිවුරුම් අහෝසි කොට දැම්මේය (අයර්ලන්ත සමූහාණ්ඩුව බ.).
සර්වජන ඡන්දය
1918 දී ලොයිඩ් ජෝජ් රජය ඡන්ද කොට්ඨාසයේ පදිංචිය හෝ පවුම් 10ක වාර්ෂික අගයක් ඇති ව්‍යාපාර ස්ථානයක වාසය හෝ සහිත හැම පිරිමි පුරවැසියකුට ම ඡන්ද බලය දීමේ පනත සම්මත කෙළේය. මේ පනතින් වයස 30න් වැඩි ස්ත්‍රීන්ට ද ඡන්ද බලය හිමි විය. 1928 දී වයස 21ට එළඹී ස්ත්‍රීන්ට ඡන්ද බලය ලැබුණේය. එවිට බලයේ සිටියේ කොන්සර්වටිව් ස්ටැන්ලි බෝල්ඩ්වින්ය. ව්‍යාපාර ස්ථානයක වාසය පිළිබඳ සුදුසුකම ඉවත් කරන ලද්දේ 1948 තරම් මෑතක දීය.
ආර්ථික පරිහාණිය
යුද්ධයෙන් පසු පරිහාණිය කරා යන්නට වූ එක්සත් රාජධානියේ ආර්ථික තත්වය හේතුකොටගෙන කාර්මික නිෂ්පාදන මෙන් ම නිර්යාත ද පහත වැටී රැකීරක්ෂා ප්‍රශ්නය ද බෙහෙවින් උග්‍ර විය. කම්කරු වර්ජන ව්‍යාපාර නිසා තත්වය තවත් නරක් විය. මේ අතර ඒ දක්වා ජාතික රජයට බැඳී සිටි කොන්සර්වටිව් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විය. 1922 දී ලිබරල් පාක්ෂිකයන් පරදවා කොන්සර්වටිව් පක්ෂය බලයට ආ නමුත් 1924 දී කම්කරු හා ලිබරල් පක්ෂ එකතුව එය පරාජය කළහ. එහෙත් 1924 දී රැම්සේ මැක්ඩොනල්ඩ් පිහිටු වූ ප්‍රථම කම්කරු රජය බලයේ සිටියේ නව මසක් පමණි.
අනතුරුව කොන්සර්වටිව් පාක්ෂික ස්ටැන්ලි බෝල්ඩ්වින් බලයට පැමිණ 1929 දක්වා අගමැති පදවිය දැරීය. ලෝක වෙළඳ පොළෙහි එක්සත් රාජධානියේ අඟුරු, වානේ හා රෙදිපිළී ආදියට තිබුණු ඉල්ලුම දිගට ම අඩු වන්නට වූයෙන් රැකීරක්ෂා වියුක්ති ප්‍රශ්නය ද උග්‍ර තත්වයට පත් වූ මෙසමයේ සේවාවියුක්ති සහන දීමනාදිය වැඩි කරන ලදි. මෙවක පැවති ආර්ථික ප්‍රශ්නවලට විසඳුමක් හැටියට මූලික කර්මාන්ත රජය සතු කළ යුතු යයි උද්ඝෝෂණය කළ කම්කරු පක්ෂය 1929 දී බලයට පැමිණියේය. මැක්ඩොනල්ඩ් යළිත් අගමැති විය. මේ අතර ලෝක ආර්ථික පරිහාණිය නිසා එ.රා.හි සේවා වියුක්ති ප්‍රශ්නය තවත් උග්‍ර වීමත් ජාතික මුදල් තත්වය ඉතා ම නරක්වීමත් හේතුකොටගෙන 1931 දී කම්කරු රජය අස් විය. ඒ සමග ම ලිබරල් හා කොන්සර්වටිව් පක්ෂ නායකයන් සමඟ එක්ව ජාතික රජයක් පිහිටුවා ගෙන එම ප්‍රශ්නවලට විසඳුම් සොයන්නට මහරජුගෙන් මැක්ඩොනල්ඩ්හට වරම් ලැබිණ. මෙසේ ඇති වූ ජාතික රජය කොන්සර්වටිව් උවදෙස් අනුව අබාධ වෙළඳ ප්‍රතිපත්තිය හැර දමා ආරක්ෂක තීරුබදු යළි ගෙන ඒමේ ප්‍රශ්නය උඩ මහා මැතිවරණයක් පවත්වා ඉන් විශාල ජයක් ලැබීය. එහෙත් මෙවර මැක්ඩොනල්ඩ්හට කටයුතු කරන්නට සිදු වූයේ කොන්සර්වටිව් පක්ෂයේ ඉත්තකු මෙනි. ඔටාවා සම්මේලනයේ දී අධිරාජ්‍ය වරණ තීරුබදු හා ආරක්ෂක තීරුබදු පැනවීම රජයේ පිළිගත් ප්‍රතිපත්තිය වශයෙන් පිළිගැනීමෙන් ද එලෙසින් තීරුබදු පැනවීමෙන් ද ලිබරල් හා කම්කරු පක්ෂ ප්‍රතිපත්තිවලට ඉඳුරාම පටහැණිව රජය ක්‍රියා කිරීම නිසා එම පක්ෂවලට අයත් ඇමතිවරු තිදෙනෙක් ඉල්ලා අස්වූහ. අනතුරුව කම්කරු පක්ෂයෙන් මැක්ඩොනල්ඩ් නෙරපා දමනු ලැබීය. 1935 දී හෙතෙම අගමැති පදවිය කොන්සර්වටිව් බෝල්ඩ්වින්හට භාර දී තෙමේ කවුන්සිල් සභාවේ සභාපති සාමි හැටියට ආණ්ඩුවේ ම සේවය කළේය.
බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලය
1931 දී කම්කරු රජය පවතිද්දී වෙස්ට්මින්ස්ටර් ආඥාපනත සම්මත කර ගැනීමෙන් බ්‍රිතාන්‍යය ඩොමිනියන් රටවලට තම විදේශ හා අභ්‍යන්තර කටයුතු පිළිබඳ සම්පූර්ණ පාලන බලතල පවරා දී ඒවාට පොදුරාජ්‍ය මණ්ඩලය තුළ සම තත්වය ප්‍රදානය කෙළේය. මේ වන විට ඩොමිනියන් (ස්වරාජ්‍ය ) තත්ත්වය ලබා සිටියේ සුදු ජාතීන් උපනිවේශ හැටියට අරඹනු ලැබ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත්ව පැවති ප්‍රදේශ හා නිදහස් අයිරිෂ් රාජ්‍යය පමණි. කැනඩාව, නිව්පවුන්ඩ්ලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය හා දකුණු අප්‍රිකාව එම ඩොමිනියන් ප්‍රදේශයි.
එඩ්වඩ් VIII
1936 ජනවාරි මාසයේ දී ජෝජ් V රජු මියගියෙන් වේල්ස්හි කුමාරයා එඩ්වඩ් VIII (බ.) නමින් රජ විය. එහෙත් එරජ මෞලි මංගල්‍යයට කලින් තමා දික්කසාද වූ ඇමෙරිකානු කතක හා විවා ගිවිස සිටින බව ආණ්ඩුවට දන්වා සිටියේය. එක්සත් රාජධානියේ රජ පදවිය දරමින් මෙබඳු විවාහයක් කර ගැනීමට අවසර දීම ප්‍රතික්ෂේප කිරීමෙන් බෝල්ඩ්වින් ආණ්ඩුව කළ ක්‍රියාවෙන් පාලන මණ්ඩලය වශයෙන් පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍යය ප්‍රදර්ශිත විය. එම වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී එඩ්වඩ් VIII කිරුළ අත්හළේය.
අස් වූ රජුගේ සොහොයුරු යෝක්හි ආදිපාදයා ජෝජ් VI (බ.) නමින් සිංහාසනාරූඪ විය. 1937 දී බෝල්ඩ්වින් අගමැති පදවියෙන් අස් වූයෙන් එම පදවියට නෙවිල් චෙම්බර්ලින් පත්විය.
දෙවන ලෝක මහා යුද්ධය
1930න් ඇරඹුණු දසකයේ මුල හරියේ දී ජර්මනියේ හිට්ලර් හා ඉතාලියේ මුසෝලිනි යන ආඥදායකයන් ද ජපානය ද ආක්‍රමණකාරී ලෙස කටයුතු කිරීම සාමකාමි ලෝකයට බලවත් තර්ජනයක්ව පැවැත්තේය. එක්තරා ප්‍රමාණයකින් මොවුන්ගේ අභිප්‍රායයනට ඉඩදීමෙන් ලෝක සාමය රැකගෙන තමන් යුද්ධයට ඇදී ඒම වළක්වා ගත හැකිය යන අදහසිනි, 1937 දී එ.රා.හි අගමැති පදවිය භාරගත් චෙම්බර්ලින් මුල් අවස්ථාවේ දී ක්‍රියා කෙළේ. ජපානය චීනය ආක්‍රමණය කරද්දී, ජපනුන් ඈතපෙරදිග බ්‍රිතාන්‍ය වෙළඳ කටයුතුවලට ඇඟිලි ගසද්දී, හිට්ලර් හා මුසෝලීනි ස්පාඤ්ඤ සිවිල් යුද්ධයෙහි ලා ස්පාඤ්ඤ පැසිස්ට්වාදීන්ට ආධාර දෙද්දී, මුසෝලිනි හා ෆ්රැන්කෝ බ්‍රිතාන්‍යයේ විරෝධ ප්‍රකාශ නොතකා මධ්‍යධරණියේ බ්‍රිතාන්‍ය නැව් ගිල්වද්දී ඔහු අනුගමනය කෙළේ 'සෙමෙන් සෙමින්' ප්‍රතිපත්තියයි. මෙය දුබලකමේ ලක්ෂණයක් හැටියට මෙකී ආක්‍රමක රටවල් සැලකීය. 1938 මාර්තු මාසයේ දී හිට්ලර්ගේ නාට්සි හමුදා ඕස්ට්‍රියාවේ ස්වාධීනතාව නසාලමින් එරට යටත් කරගත්හ. ඉන් අනතුරුව චෙකොස්ලොවේකියාවේ සුඩේටන්ලන්තය නම් කොටසට ජර්මනියට නීත්‍යනුකූල අයිතියක් ඇතැයි හිට්ලර් ප්‍රකාශ කළ කල්හි ජර්මනිය ඒ කොටස හිමි කර ගැනීමෙන් හෝ සාමය රැකෙතොත් යහපතැයි සිතා ඊට ඉඩදෙමින් බ්‍රිතාන්‍ය අගමැතිවරයා මියුනික් ගිවිසුමට අත්සන් කෙළේය. එහෙත් හිට්ලර් ඉන් නොනැවතී 1939 මාර්තු මාසයේ දී මුළු චෙකොස්ලොවේකියාව ම ගිල ගත්තේය. ඊළඟට නාට්සි හමුදා පෝලන්තයට නෙත් යොමු කරන බව පෙනීගියෙන් චේම්බර්ලින් ප්‍රංසය ද සමග එක්ව පෝලන්තයේ නිදහසට විරුද්ධව එල්ල වන ප්‍රහාරයක් ඇති වුවහොත් තමන් එහි නිදහස රැකීමට ඉදිරිපත් වන බවට ගිවිසුම් අත්සන් කෙළේය. මේ අතර බ්‍රිතාන්‍ය, ප්‍රංස, රුසියන් තුන්හවුලක් ගැන කලක සිට ම සාකච්ඡා පවත්වන ලද නමුත් එය සාර්ථක කර ගැනීමට නොයෙකුත් බාධක පැමිණි අතර අන්තිමේ දී, 1939 අගෝස්තු මාසයේ දී, රුසියාව ජර්මනිය සමග අනාක්‍රමක ගිවිසුමකට අත්සන් කිරීම නිසා එම අදහස සම්පූර්ණයෙන් ම අත්හැර දැමීමට සිදුවිය. එම සැප්තැම්බර් මස 1 දා හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කෙළේය. දෙදිනක දී බ්‍රිතාන්‍යය හා ප්‍රංසය තම පොරොන්දු පරිදි පෝලන්තයේ ආධාරයට ඉදිරිපත් වෙමින් ජර්මනියට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළහ. එහෙත් පෝලන්තය ජර්මන් ග්‍රහණයට හසු විය.
යුද්ධ ප්‍රකාශ කළ දිනයේ ම චේම්බර්ලින් අග්‍රාමාත්‍යවරයා ඊඩ්න් හා චර්චිල් ද ඇතුළත් යුද්ධ කැබිනට් මණ්ඩලයක් පත් කෙළේය. ජර්මනිය පෝලන්තය අල්ලා ගෙන සමසකින්, එනම් අප්‍රේල් මාසයේ දී, නෝර්වේ රට ආක්‍රමණය කෙළේය. ඊළඟ මාසයේ දී ඕලන්දය, බෙල්ජියම හා ප්‍රංසය යන රටවල් නාට්සි ප්‍රහාරයට ලක් වූහ. නෝර්වේ ආක්‍රමණය උඩ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැන නැඟි විවාදයේ දී චෙම්බර්ලින් රජය පරාජය නොවී බේරුණේ වැඩි ඡන්ද ස්වල්පයකිනි. ඵසේ ම ඔහු යටතේ ජාතික ආණ්ඩුවක සේවය කිරීම කම්කරු පක්ෂය ප්‍රතික්ෂේප කෙළේය. මේ නිසා 1939 මැයි මාසයේ දී ඔහු අගමැති පදවියෙන් අල්ලා අස්විය. ඔහුගේ තැනට පත්වූයේ වින්ස්ටන් චර්චිල්ය.
1940 ජූනි මාසයේ දී ප්‍රංසය ජර්මන් බලය ඉදිරියේ ඇද වැටුණු පසු ඉතාලිය ද ජර්මන් පක්ෂය ගෙන යුද්ධයට එක්විය. 1941 ජූනි මාසයේ දී හිට්ලර්ගේ හමුදා රුසියාව ආක්‍රමණය කෙළෙන් රුසියාව ජර්මනියට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කෙළේය. ප්‍රංසය වැටීමේ සිට මේ අවස්ථාව දක්වා එක්සත් රාජධානිය සතුරු ප්‍රහාරවලට මුහුණ දුන්නේ තනිවය. ජර්මන් ගුවන් ප්‍රහාරවලින් එරටට වූ අලාභ හානි අතිවිශාල විය. එහෙත් හිට්ලර් බ්‍රිතාන්‍ය ආක්‍රමණය දිගට ම කල්දැමුවා මිස එරටට ආක්‍රමක හමුදා නොයැවීය. එම වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී ජපානය ද ජර්මන් පක්ෂයට (අක්ෂය) එකතුවීමෙන් තත්ත්වය වඩාත් උග්‍ර විය. යුද්ධයේ මුල් කාලයේ දී දිගට ම මුහුදේ මෙන් ගොඩබිමේ ද ජර්මන් පක්ෂයට ජය අත්විය. ජපානය අක්ෂ බලයන් හා එක් වී වැඩිකල්යන්නට පෙර ම ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය බ්‍රිතාන්‍ය මිත්‍ර පක්ෂයට එක්වීමෙන් ක්‍රමයෙන් බලතුලනය එම පක්ෂයට වාසි වන අන්දමින් වෙනස් වන්නට විය.
1942 අපරාජිත ජර්මන් සෙනෙවි රොමෙල් පරදවා බ්‍රිතාන්‍ය සෙනෙවි මෝන්ට්ගොමරි එල් අලමේන්හි දී ලත් විශිෂ්ට ජයග්‍රහණයෙන් පසු අක්ෂ බලයන්ගේ අවාසනාව උදාවිය. 1943 දී බ්‍රිතාන්‍ය හමුදාවෝ සිසිලිය හා ඉතාලිය ආක්‍රමණය කළහ. මින් සති කීපයකට පසු මුසොලීනි බලයෙන් වැටුණේය. අලුතෙන් පත්වූ ඉතාලි රජය සාම ගිවිසුමක් අත්සන් කොට ජර්මනියට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කෙළේය.
1944 ජූනි මාසයේ දී බ්‍රිතාන්‍ය-ඇමෙරිකන් සේනා දෙවන පෙරමුණ විවෘත කරමින් ප්‍රංසයට ඇතුළු වූහ. එම වර්ෂයේ අවසානයේ දී ඔව්හු ප්‍රංසය මුදාගත්හ. මේ අතර ජර්මන්වරු V-1 හා V-2 යන රොකට් බෝම්බවලින් බ්‍රිතාන්‍යයට පහර දීම ඇරඹූහ. මෙයින් බ්‍රිතාන්‍යයට බරපතළ හානි සිදු වූ නමුත් බ්‍රිතාන්‍ය මිත්‍රපක්ෂ හමුදා ජර්මනියට වැදී 1945 මැයි මාසයේ දී බර්ලින්හි දී රුසියානු හමුදා හා එක්වූහ. එම මාසයේ දී ම ජර්මනිය යටත් විය. අනතුරුව සැප්තැම්බර් 2 වැනි දා ජපානය යටත් වීමෙන් සයවසක් මුළුල්ලේ ලෝකය පෙළූ දෙවන ලෝක මහා යුද්ධය නිමාවට පත්විය (ලෝක මහා යුද්ධය II ද බ.).
මෙම මහා ව්‍යසනය නිසා එක්සත් රාජධානියේ 400,000කට කිට්ටු සංඛ්‍යාවකගේ ජීවිත විනාශ විය. පවුම් කෝටි 500කට ද වැඩි අගයක් ඇති දේපොළ විනාශ වූ අතර විදේශ වෙළඳාමට වැදුණු පහර නිසා ආර්ථික වශයෙන් ඇති වූ අලාභය අතිවිශාල විය. නාවික කටයුතු ද බොහෝදුරට අඩු විය. ඇ.එ.ජ.රාජ්‍යය ණය-බදු ආධාර මගින් එරටට බෙහෙවින් උදවු කළ නමුත් යුද්ධ වියදම් සඳහා එක්සත් රාජධානියට තම විදේශ ආයෝජන විකුණා මුදල් කර ගැනීමට ද විදේශවලින් ණය ගැනීමට ද සිදු විය. මේ නිසා විදේශ ණය මුදල පවුම් කෝටි 300කට ද වැඩියෙන් නැංගේය.
ජාත්‍යන්තර සහයෝගිතාව
1941 අගෝස්තු මාසයේ දී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය චර්චිල් ඒ වන විට යුද්ධයට සම්බන්ධ වී නොසිටි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ජනාධිපති රූස්වෙල්ට් සමග අත්ලන්තික් සාගරය මධ්‍යයේ යුද්ධ නෞකාවක දී හමු වී අක්ෂ බලයන්ගේ ආක්‍රමණයට ප්‍රතිවිරෝධය දැක්වීම පිළිබඳව සාකච්ඡා පැවැත්විය. සාකච්ඡාවේ ප්‍රතිඵලය වූයේ අත්ලන්තික් ප්‍රඥප්තිය යි. මෙම අත්ලන්තික් ප්‍රඥප්තිය 1942 ජනවාරි 1 වැනි දා එක්සත් ජාතීන් නමින් හඳුන්වන ලද ඒ වන විට ජර්මන් පක්ෂයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කොට සිටි රාජ්‍ය 26 විසින් අනුමත කරන ලදි. 1944 දී මේ සම්බන්ධයෙන් වොෂිංටන් අසල ඩම්බාර්ටන් ඕක්ස් නම් ස්ථානයේ දී චර්චිල් ඇ.එ.ජ. රාජ්‍යය, සෝවියට් සංගමය හා චීනය සමග සිව් මහජාතීන්ගේ රැස්වීමට ද අනතුරුව 1945 දී යෝල්ටාහි දී පැවැත්වූ 'මහතුන්දෙනාගේ' (චර්චිල්, ස්ටාලින් හා රූස්වෙල්ට් නියෝජනය කළ තුන් රටේ) රැස්වීමට ද සහභාගිවීමෙන් වර්තමාන ලෝකසාමය හා සුරක්ෂිතතාව රැකගැනීමේ අසහාය ජාත්‍යන්තර ආයතනය වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇති කිරීමට පුරෝගාමී විය.
දෙවන ලෝක මහා යුද්ධයෙන් පසු
යුද්ධ සාමයෙන් පසු කම්කරු පාක්ෂික ඇමතිවරු ජාතික රජයෙන් අස්වූහ. 1945 ජූලි මාසයේ දී බ්‍රිතාන්‍යයේ පවත්වන ලද මහාමැතිවරණයෙන් සමාජවාදී වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ කම්කරු නායක ක්ලෙමන්ට් ඇට්ලි බලයට පත්විය. ඇට්ලිගේ සමයේ දී එක්සත් රාජධානියෙහි අභ්‍යන්තර වශයෙන් විශාල වෙනස්කම් ඇති විය. එංගලන්ත බැංකුව, අඟුරු ආකර, විදුලි ගෑස් හා ගමනාගමනාදී මහජන සේවා, යකඩ හා වානේ කර්මාන්ත රජය සතු කරන ලදි. 'තොටිල්ලේ සිට සුසානබිම' දක්වා සමාජ සුරක්ෂිතතා පද්ධතියන් 1948 දී සම්මත කර ගැනීමෙන් කම්කරු පක්ෂයේ සමාජ සේවා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලදි. මේ හේතු කොටගෙන ආර්ථික අතින් හා රැකීරක්ෂා ප්‍රශ්නය අතින් ඉතා දුෂ්කරව පැවති පශ්චාත් යුද්ධ සමයේ පවා එක්සත් රාජධානියේ ජනතාවට අන්ත දුගීබවට හෝ රෝගීව නැතහොත් මහලුව අසරණ බවට හෝ වැටීමේ භීතියෙන් නිදහස්ව ජීවත් විය හැකි විය. එසේ වුව ද අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පිළිබඳ පාලනයන් නිසාත්, ජීවන වියදම නැඟීම නිසා වැඩි වැටුප් ඉල්ලා සේවකයන් ගෙන ගිය උද්ඝෝෂණාදිය නිසාත්, වරාය සේවකයන් වැඩ වර්ජනයෙහි යෙදීම නිසාත් රටෙහි නොසන්සුන්කම වැඩි විය. මේ අතර රන් පවුමේ අගය ඩොලර් 4.03න් 2.80 දක්වා අඩු කරන ලදි. බදු බර තව තවත් වැඩි කිරීමට සිදු වූ අතර සෞඛ්‍ය සේවය වැනි සමාජ සුභසාධන කටයුතු සම්බන්ධයෙන් පවා කරන ලද වියදම් අඩු කරන ලදි.
විජිතයනට නිදහස
1947 දී හින්දුස්ථානය, ඉන්දියාව (භාරතය) හා පකිස්ථානය යනුවෙන් දෙකඩ කොට ස්වාධීන ඩොමිනියන් රාජ්‍ය දෙකක් බවට පත් කැරිණ. මෙයින් බ්‍රිතාන්‍ය රජුට 'ඉන්දියාවේ අධිරාජයා' යන නාමය අත්හරින්නට සිදුවිය. ඒ සමඟ ම වාගේ බුරුමය ද 1948 දී ලංකාව ද ස්වාධීනත්වය ලැබූහ. මේ රාජ්‍යයන් අතුරෙන් බුරුමය පමණක් පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් වීමට තීරණය කෙළේය. 1948 දී යුදෙව්, අරාබි දෙපක්ෂයේ ඉල්ලීම් ගැන බේරුමක් ඇති කළ නොහැකි වූයෙන් බ්‍රිතාන්‍යය පලස්තීනය පිළිබඳ සිය මැන්ඩේට් බලතල එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට පවරා දුන්නේය. මේ කාලයේ දී ම ඒර (නිදහස් අයිරිෂ්) රාජ්‍යය එක්සත් රාජධානිය සමග තිබුණු තම සබඳතා හැර දමා අයර්ලන්ත සමූහාණ්ඩුව ප්‍රකාශයට පත් කෙළේය.
දෙවන ලෝක මහා යුද්ධය අවසන් වීමෙන් පසු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ක්‍රමයෙන් සිහින්ව යද්දී ධනය, බලය දෙකින් ම එක්සත් රාජධානිය පිරිහෙන්නට විය. ශතවර්ෂ ගණනක් යුරෝපයේ බලතුලනය රැකගැනීමට ඉදිරිපත්ව කටයුතු කළ එරටට දැන් ඒ සඳහා ඉදිරිපත් වීමට ශක්තියක් නොතිබිණි. නැගෙනහිර යුරෝපය මුළුමනින් ම වාගේ සෝවියට් සංගමයේ බලාධිකාරය යටතේ විය. බටහිර යුරෝපයේ ආරක්ෂක කටයුතු මෙන් ම ආර්ථික පුනරුත්ථාපන කටයුතු ද ධන බල ශක්තිය අතින් පශ්චාත් යුද්ධ ලෝකයේ පෙරමුණට පත්ව සිටි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය භාර ගත්තේය. එම රාජ්‍යය මුල් වීමෙන් කොමියුනිස්ට් ව්‍යාප්තියට හා ආක්‍රමක කටයුතුවලට හරස්වීම සඳහා පිහිටුවන ලද උතුරු අත්ලන්තික් ගිවිසුම් සංවිධානය (NATO), මැද පෙරදිග මධ්‍ය ගිවිසුම් සංවිධානය (CENTO) හා අග්නිදිග ආසියා ගිවිසුම් සංවිධානය (SEATO) යන මේවායේ සාමාජිකත්වය බ්‍රිතාන්‍යය ලබාගත්තේය.
1951 මැතිවරණයෙන් නැවත වරක් චර්චිල් බලයට පත් විය. හෙතෙම කම්කරු රජය ජාතිය සතු කළ මහා මාර්ග ප්‍රවාහණ සේවයෙන් කොටසක් ආපසු පුද්ගල අංශයට පැවරීය. 1953 වානේ පනතින් වානේ සමාගම්වලට අයිතිවාසිකම් පවරා දුන් ඔහු එම කර්මාන්තයේ සමීක්ෂණ කටයුතු රජයට පැවරෙන පරිදි යකඩ හා වානේ මණ්ඩලයක් පිහිටුවිය. 1954 දී ආහාර හා වෙනත් බොහෝ ද්‍රව්‍ය සම්බන්ධ පාලන නීති ඉවත් කළේය. 1950 ගණන්වල දී බ්‍රිතාන්‍යයේ ආර්ථික තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරිණ. නිෂ්පාදනය මෙන් නිර්යාත ද ඉහළ නැංගේය. 1960 වන විට බොහෝ දෙනකුගේ ආදායම 1949 දී පැවතියාක් මෙන් දෙගුණයක් තරම් ඉහළ නැංගේය.
එලිසබත් II
1952 පෙබරවාරි 6 දින ජෝජ් VI රජු මියගියෙන් ඒ දිනවල විදේශ සංචාරයක යෙදී කිනියාවේ සිටි එලිසබත් කුමරිය ආපසු පැමිණ රාජ්‍යය භාරගත්තාය.
1953 දී එක්සත් රාජධානිය සුඩානය සම්බන්ධයෙන් මිසරය සමඟ එකඟත්වයට පැමිණ එරටට අභ්‍යන්තර ස්වාධීනතාව දුන්නේය. 1954 දී සූවස් ප්‍රදේශයේ බ්‍රිතාන්‍ය හමුදා මාස 20ක් තුළ ඉවත් කර ගැනීමට ද එක්සත් රාජධානිය එකඟ විය. මේ කාලයේ දී අග්නිදිග ආසියා ප්‍රදේශ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය, ඇමෙරිකා දෙපක්ෂය අතර මතභේද ඇති විය. එක්සත් රාජධානිය මහජන චීනය පිළිගත් අතර ඇ.එ.ජ. රාජ්‍යය ගත්තේ ඊට විරුද්ධ පියවරය. 1953-54 ඉන්දු-චීන අරගලයේ දී 1954 ජිනීවා නිරාකරණය ඇති කිරීමට බ්‍රිතාන්‍යය මුල් වී ක්‍රියා කෙළේය. 1955 දී එවක 80 හැවිරිදි වියේ සිටි චර්චිල් ඉල්ලා අස් වූයෙන් ඇන්තනි ඊඩ්න් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත්විය. බ්‍රිතාන්‍යයට අපකීර්තිය ගෙන ආ සූවස් අරගලය ඇති වූයේ ඊඩ්න්ගේ කාලයේ දීය. සූවස් ප්‍රශ්නයට කලින් සයිප්‍රස්හි බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව නැඟී ආ ජාතිවාදී ව්‍යාපාරයේ දී ද බ්‍රිතාන්‍යය කෙළේ එම ජාතික ව්‍යාපාරය මර්දනය කිරීම අරභයා සයිප්‍රස් ග්‍රීක ප්‍රජානායක මකාරියොස් අග්‍ර බිෂොප්තුමා පිටුවාහල් කිරීමේ දරුණු ක්‍රියාවයි.
මැද පෙරදිග සාමය හා සුරක්ෂිතතාව රැක ගැනීමේ පියවරක් වශයෙන් එක්සත් රාජධානිය 1953 දී තුර්කිය, ඉරාකය, ඉරානය හා පකිස්ථානය ද සමග බැග්ඩෑඩ් ගිවිසුමට බැඳුණේය. මේ නිසා මිසරය, සිරියාව හා ජොර්දානය බ්‍රිතාන්‍යය සමග නොහොඳ විය. මේ අතර ඇ.එ.ජ.රා. හා එ.රා. මිසරයේ අස්වාන් වේල්ල සම්බන්ධයෙන් පොරොන්දු වූ ආධාර නැවැත්වීමට තීරණය කෙළෙන් මිසර ජනාධිපති නසාර් සෙනෙවියා 1956 ජූලි මාසයේ දී සුවස් ඇළ මිසර ජාතියට අයත් දේපොළ හැටියට ප්‍රකාශ කොට සූවස් සමාගම හා එයට අයත් දේ ජාතිය සතු කෙළේය. සූවස් සමාගමේ වැඩි කොටස් හිමිකරුවන් වූ බ්‍රිතාන්‍යය හා ප්‍රංසය එය තමන්ට වැදුණු බලවත් පහරක් සේ සලකා ඊශ්‍රායෙලය ද සමඟ එක්ව ආක්‍රමක පියවර ගත්තේය. මේ සම්බන්ධයෙන් එ.රා. තුළත් පොදු රාජ්‍ය මණ්ඩලයේත් මහජන මතය ඊඩ්න් රජයට විරුද්ධව නැඟී එද්දී ඇ.එ.ජ.රා. ද එ.රා.-ප්‍රංස ආක්‍රමණය නැවැත්වීමට බලකර සිටියේය. මේ අතර එක්සත් ජාතීන්ගේ මණ්ඩලය ද මැදහත්වීමෙන් නොවැම්බරයේ දී එම රටවල් යුද නවත්වා හමුදා ඉවත් කරගැනීම නිසා ප්‍රශ්නය විසඳිණ (සූවස් බ.). 1957 මුල දී ම ඊඩ්න් අගමැති පදවියෙන් ඉල්ලා අස්විය.
අනතුරුව අගමැති පදවියට පත් වූ හැරල්ඩ් මැක්මිලන් 1963 දක්වා බලයේ සිටියේය. හෙතෙම මුල දී ම ඇමෙරිකා-බ්‍රිතාන්‍ය හොඳහිත තහවුරු කිරීමට ක්‍රියා කෙළේය. 1957 දී මකාරියොස් අග්‍ර බිෂොප්තුමා නිදහස් කරනු ලැබූ නමුත් සයිප්‍රස් නිදහස් රටක් බවට පත් කරන ලද්දේ 1960 දීය.
පොදු රාජ්‍ය මණ්ඩලය පුළුල්වීම
1957 දී ගෝල්ඩ් කෝස්ට් රට ඝානා නමින් ඩොමිනියන් රාජ්‍යයක් බවට පත් විය. 1958 දී මලයාව ද 1960 දී නයිජීරියාව ද 1961 දී සියෙරා ලෙයොන් හා ටැංගනිකාව ද ස්වාධීනතාව ලැබූහ. 1961 දි ද. අප්‍රිකාව ජනරජයක් බවට පත් වූ පසු එරටේ පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකත්වය දීර්ඝ නොකරන ලදි. ඉහත දැක්වූ රාජ්‍ය නිදහස ලැබීමෙන් පසු පොදුරාජ්‍ය මණ්ඩලයට බැඳුණ අතර 1962 දී ජැමෙයිකා, ට්‍රිනිඩෑඩ් හා ටොබාගෝ සහ උගන්ඩාව ද 1963 දී කිනියාව හා සැන්සිබාරය ද 1964 දී මලාවි (න්‍යාසාලන්තය) හා සැම්බියාව (උතුරු රොඩීසියාව) ද නිදහස ලබා පොදු රාජ්‍ය මණ්ඩලයට බැඳුණහ. 1965 දී සිංගප්පූරුව මලයා සංයුක්ත රාජ්‍යයෙන් ඉවත්ව තනි රාජ්‍යයක් බවට පත් විය. එම වර්ෂයේ දී ගැම්බියාව සහ මාලදිවයින් ද 1966 දී ගුයානා, ලෙසෝතෝ, බොට්ස්වානා හා බාබේඩූස් ද ඊළඟ වර්ෂයේ දී ඇන්ටිගුවා, ඩොමිනිකා, ග්රැනඩා, සෙන්ට් ලූසියා, සෙන්ට් කිට්ස්-නෙවිස් හා ඇංග්විලාව ද, 1968 දී මුරිසිය හා ස්වාසිලන්තය ද පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් බවට පත්වූහ. දකුණු රොඩීසියාවේ සුළු ජාතික ඉයන් ස්මිත්ගේ ධවල රජය 1965 දී එක්සත් රාජ්‍යයේ මුල් වීමක් හෝ අනුදැනීමක් නොමැතිව ඒකපාක්ෂිකව ස්වාධීනතාව ප්‍රකාශ කෙළේය. බ්‍රිතාන්‍යය එම රජය පිළිගැනීමෙන් වැළකුණා මිස එම රාජද්‍රෝහී බලාත්කාර ක්‍රියාව අවිබලයෙන් මැඩීමට කටයුතු නොකෙළේය. 1968 දී ඒඩන් දකුණු යේමනය යන නමින් නිදහස දිනා ගත්තේය.
1963 දී මැක්මිලන් රජය යුරෝපා ආර්ථික හවුලට (පොදු වෙළඳ හවුලට) බැඳීමට ගත් වෑයම ප්‍රංසය විරුද්ධවීම නිසා නිෂ්ඵල විය. එම වර්ෂයේ ඔක්තෝබරයේ දී මැක්මිලන් අසනීපව අස්වීම නිසා හ්‍යුම් සාමි එම තනතුරට පත් විය. ඊළඟ වර්ෂයේ දී පවත්වන ලද මැතිවරණයේ දී හැරල්ඩ් විල්සන්ගේ නායකත්වයෙන් කම්කරු පක්ෂය ජයග්‍රහණය කෙළේ වැඩි ආසන හතරකිනි. මේ තත්වය උඩ වානේ කර්මාන්තය ජාතිය සතු කිරීම වැනි පියවර ගැනීමට රජය ඉක්මන් නොවීය. 1966 මාර්තු මාසයේ දී යළි මැතිවරණයකට මුහුණ දුන් විල්සන් රජය එවර වැඩි ආසන 97ක් සහිතව ජය ලැබීය. 1967 දී විල්සන් රජය ද යුරෝපා ආර්ථික හවුලට බැඳීමට වෑයම් කළ නමුත් ප්‍රංසයේ නිෂෙධ ඡන්දය නිසා එ ද අසාර්ථක විය. ක්‍රමයෙන් ආර්ථික දුෂ්කරතා වැඩිවීම නිසා යළිත් වරක් 1967 දී රන්පවුමේ අගය පහත දැමීමට සිදු විය. 1970 දී එඩ්වඩ් හීත්ගේ ප්‍රමුඛත්වයෙන් යුත් කොන්සර්වටිව් රජය බලයට පැමිණියේය. හීත් රජය යුරෝපා ආර්ථික හවුලට බැඳෙන්නට ගත් වෑයම 1972 දී සඵල විය.
ආර්ථික උද්ධමනය හා කාර්මික අර්බුදය 1973 අවසාන භාගයේ දී හටගත් තෙල් අර්බුදය හේතු කොටගෙන වඩාත් උග්‍රවීම නිසා, නියමිත කාලයට පෙරාතුව, 1974 පෙබරවාරි 7 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හීත් රජයට සිදුවිය. 1974 පෙබරවාරි 28 දින පැවැත් වූ මහමැතිවරණයෙන් තනි පක්ෂයක් වශයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් නොලැබුණ ද කම්කරු පක්ෂයේ නායක හැරල්ඩ් විල්සන් වෙනත් පක්ෂ සහායක් නොලබා ම රජයක් පිහිටු විය. ආණ්ඩුව දිගට ම ගෙන යාමට වැඩි ආසන ගණනක් නොවූ බැවින් ඔක්තෝබර් 10 දින යළි මහා මැතිවරණයක් පවත්වන ලදි. එහි දී තනි පක්ෂයක් වශයෙන් වැඩි ආසන ගණනක් දිනා ගැනීමට අගමැති විල්සන් සමත් විය.
8888888888888888888888888888888888888888
(සංස්කරණය: 1974)