එංගලන්තය
භූගෝලීය වශයෙන් මහබ්‍රිතාන්‍ය දූපතෙහි උතුරේ පිහිටි ස්කොට්ලන්තයත් නිරිතදිග පිහිටි වේල්සයත් හැර ඉතිරි කොටස මෙනමින් හැඳින්වේ. එක්සත් මහාබ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත රාජධානියට ඇතුළත් ප්‍රදේශ හතර අතුරෙන් විශාලතම වූ ද අධිකතම ජනගහනය ඇත්තා වූ ද කාර්මික දියුණුවෙන් අග්‍රගණ්‍ය වූ ද ප්‍රදේශය එංගලන්තයයි.
මහාබ්‍රිතාන්‍ය දූපතෙහි සොල්වේ ෆ’ත් මෝය, ලිඩල් ගංගාව, පීල් ෆෙල් හා චෙවියට් ශිඛර සහ ට්වීඩ් ගංගාව ඔස්සේ වූ දේශ සීමාවකින් එංගලන්තය ස්කොට්ලන්තයෙන් වෙන් වේ. වේල්සය එංගලන්තයෙන් වෙන් වනුයේ දළ වශයෙන් ලිවර්පූල් බොක්කේ ඩී ගංමෝයේ සිට සෙව’න් මෝයෙහි ම පිහිටි රම්නි (Rhymney) ගං මෝය දක්වා වූ දේශසීමාවෙනි. ලෑන්ඩ්ස් එන්ඩ් තුඩුවේ සිට ඩෝවර් තුඩුව දක්වා විහිද ගිය ඉංග්‍රීසි ඕඩය එංගලන්තයේ දකුණු මායිමයි. එංගලන්තයට නැගෙනහිරින් උතුරු මුහුද පිහිටියේය. එංගලන්තය සහ වේල්සය අයර්ලන්තයෙන් වෙන්වනුයේ සාන්ත ජෝජ් ඕඩයෙන් හා අයිරිෂ් මුහුදෙනි.
විශාලත්වයෙන් එංගලන්තය ව.සැ. 50,332ක් පමණ වේ. රටේ පැරණි කවුන්ටි හෙවත් කෝරළ හතළිහෙන් සමහරක අනුබෙදීම් ඇති කරනු ලැබ සමහරක් එක් කරනු ලැබ, දැනට මුළු රට කවුන්ටි 45කට සහ ග්‍රේටර් ලන්ඩන් වශයෙන් ප්‍රධාන පාලන ඒකක 46කට බෙදා ඇත. පෙනයින් කඳු හැර එංගලන්තයේ ඉතිරි කොටස සාමාන්‍යයෙන් පහත් ප්‍රදේශයකි. එසේ වුව ද උතුරු හා බටහිර දිග පෙදෙස් නැගෙනහිර පෙදෙසට වඩා උස්ය. මෙහි බටහිර කොටසෙහි විල් දිස්ත්‍රික්කය ද රට මැදින් නාරටියක් මෙන් දිවෙන පෙනයින් කඳු ද, ඩෙවන් හා කෝන්වෝල් අර්ධද්වීප ප්‍රදේශ ද එංගලන්තයේ ප්‍රධාන උස්බිම්ය. විල් දිස්ත්‍රික්කයේ අඩි 3,210ක් උස ස්කෝෆෙල් (Scafell) හා උතුරු පෙනයින් ප්‍රදේශයේ අඩි 2,930ක් උස ක්‍රොස් ෆෙල් එංගලන්තයෙහි ඉතා ම උස් පෙදෙස් අතර වේ. නිරිත දිග ප්‍රදේශයේ ඉතාම උස් ස්ථානය වනුයේ ඩාට්මුවර්හි පිහිටි අඩි 2,039ක් උස හයි විලිස් (High Willhays) ය. එංගලන්තයේ සෙසු පෙදෙස් මුහුදු මට්ටමේ සිට අඩි 1,000කට වඩා උස් නොවේ.
විශේෂයෙන් ම බටහිර උස්බිම්හි දළ වශයෙන් ආකීය පාෂාණයෙන් සැදි මධ්‍ය ප්‍රදේශයක් වටා අංගාරධර අවධිය දක්වා ම ඒ ඒ කාල පරිච්ඡේදයන්ට අයත් පාෂාණ වර්ග විහිදී ඇති නමුදු විවිධ වූ භූචලනයන් නිසා මෙහි පාෂාණ රටාව බොහෝ අවුල් සහිතය. නැගෙනහිර පෙදෙස වැඩි වශයෙන් පර්මියානු-ත්‍රියාසික හෙවත් නව රතු වැලිගල් අවධියට අයත් පාෂාණයෙන් සෑදී ඇත. මෙහි පාෂාණ නිධි ගිනිකොණට බෑවුම් සහිතව තැන්පත්ව ඇත.
භූමි නිර්මාණානුකූලව එංගලන්තය කඳුකරය හෙවත් බටහිර කොටස මිඩ්ලන්ඩ් හෙවත් මධ්‍ය තැන්න හා නැගෙනහිර පෙදෙස වශයෙන් වෙන්කර දැක්විය හැකිය. විල් දිස්ත්‍රික්කය (Lake District), පෙනයින් ප්‍රදේශය හා නිරිත දිග ඩෙවන් හා කෝන්වෝල් උස්බිම් යනුවෙන් කඳුකර බටහිර කොටස බෙදා දැක්විය හැකිය. නියම වශයෙන් භූමි නිර්මාණානුකූලව වේල්සයේ උස්බිම් ද මෙහි ම කොටසකි.
කම්බලන්ඩ්, වෙස්ට්මර්ලන්ඩ් හා උතුරු ලැන්කෂයර් යන පළාත් විල් දිස්ත්‍රික්කයෙහි පිහිටියේය. ස්කිඩෝ, ස්කෝෆෙල්, හෙල්වෙලින් ආදි ශිඛරයන්ගෙන් යුත් මධ්‍ය උස්බිම් පෙදෙසකින් පිටතට විහිදී යන පටු නිම්න ඔස්සේ සැදි විල් රාශියක් ඇතිවීම මෙහි විශේෂ ලක්ෂණයකි. මෙම පෙදෙස දැඩි ග්ලැසියර ඛාදනයට භාජන විම මීට හේතු වී ඇත. වින්ඩමියර්, කොනිස්ටන්වෝටර්, බැසන්ත්වේට්, එනර්ඩේල්වෝටර්, බටර්මියර්, ඩ’වන්ට්වෝටර්, අල්ස්වෝටර්, හෝස්වෝටර් (Hawes Water) ආදිය මෙහි පිහිටි වඩා විශාල විල්වලින් සමහරකි. මේ හැර ග්ලැසියර ඛාදනය නිසා ඇති වූ කුඩා විල් රාශියක් ම කඳු පෙදෙස්හි ඇත. සිලූරිය අවධියේ දී ඇති වූ යමහල්කාරක චලනයන් හේතුකොටගෙන බිහි වූ බැසෝල්ට් හා ග්රැනිට් පාෂාණ බහුල යමහල් අළු ආදියෙන් යුත් කුඩා හෙල් නිසා විශේෂයෙන් ම මධ්‍ය විල් ප්‍රදේශයේ දර්ශනීයත්වය වැඩි වේ.
දකුණු ස්කොට්ලන්ත උස්බිම් කෙළවරේ සිට වෙවියට් කඳු ඔස්සේ එයාර් (Aire) හා රිබල් නිම්න දක්වා ම උතුරු පෙනයින් කඳු විහිදේ. අංගාරධර පාෂාණයෙන් නිර්මිත පෙනයින් කඳුකරය ගල් අඟුරු, යපස් ආදි නොයෙකුත් ඛනිජ බහුල ප්‍රදේශයකි. මෙහි ඇති ආග්නේය පාෂාණමය විවිධ භූලක්ෂණයන් අතුරෙහි ට්වීඩ් නිම්නයේ සිට ටීස් නිම්නය සමීපයට ම විහිදෙන ග්‍රෙට් වින් සිල් (Great Whin Sill) නමැති ආක්‍රාන්තිය (intrusion) සඳහන් කළ යුතුය. උතුරු පෙනයින් පෙදෙසේ ඊඩන් ගංගාව වයඹ දෙසට ගලා බසිනුයේ විභේදයක් නිසා ඇති වූ ද්‍රෝණියක් ඔස්සේය. ටයින්-අර්තින් කපොල්ලෙන් මෙන් ම එයාර්-රිබල් කපොල්ලෙන් ද පෙනයින් කඳු ඛණ්ඩ වී ඇත. ටයින්-අර්තින් හා එයාර්-රිබල් කපොලු අතර වූ ක්‍රොස් ෆෙල් කොටස අංගාරධර අවධියට අයත් හුනුගලින් සැදි උස්බිම් සහිත දර්ශනීය පෙදෙසකි. ක්‍රොස් ෆෙල් කොටසේ දකුණු පෙදෙසෙහි ව’න්සයිඩ් (2,419'), පෙන්ඩ්ල්හිල් (1,831'), ඉන්ගල්බරෝ (2,373'), පෙනිගෙන්ට් (2,273') ආදි ශිඛර කීපයක් ම ඇත. දකුණු පෙනයින් වැටියෙහි හෙවත් එයාර්-රිබල් කපොල්ලට දකුණෙහි උතුරු කොටස එතරම් උස් නුවූ කුඩා හෙල් හා නිම්න සහිත ප්‍රදේශයකි. එහෙත් මීට දකුණෙහි කින්ඩර් ස්කවුට් (2,088') ශිඛරය සහිත පික් ප්‍රදේශය වෙයි. ඩාබිෂයර් හා යෝක්ෂයර් කෝරළ පිහිටි දර්ශනීය උස්බිම් පෙදෙස පෙනයින් ව-ටියෙහි දකුණු කෙළවරයි.
එංගලන්තයේ ගිනිකොන කොටස හෙවත් චෙවියට් කඳු, උතුරු පෙනයින් කඳු හා යෝක්ෂයර් යන මේවාට මැදි වූ කොටස පෙනයින් වැටියේ නැගෙනහිර පාවුල් කඳුවල උතුරු කොටසයි. යපස් මෙන් ම ගල් අඟුරු නිධි ද බහුල මෙම ප්‍රදේශය කාර්මික විප්ලවයත් සමඟ ම බෙහෙවින් දියුණු වූ ප්‍රදේශයකි. මෙපමණක් නොව පෙනයින් කඳු වටා ම පාවුල් බිම්හි විවිධ කර්මාන්ත දියුණු වීමට හේතු වී ඇත්තේ පෙනයින් ප්‍රදේශයේ ඇති විවිධ ඛනිජ සම්පත්ය.
නිරිත දිග එංගලන්තයේ කෝන්වෝල්-ඩෙවන් අර්ධද්වීපය ඩෙවෝනියානු පාෂාණයෙන් සැදි සානු ප්‍රදේශයකි. මුහුදු මට්ටමේ සිට සාමාන්‍යයෙන් අඩි 1,600ක් පමණ උස් වූ මෙම ප්‍රදේශය මඳක් දකුණු දෙසට බෑවුම් සහිතය. මෙහි දකුණු කොටසෙහි විපරීත පාෂාණ තීරයක් සමඟ විශාල ග්රැනිට් හා ආග්නේය පාෂාණ ඇත. ඩාට්මුවර්හි හයි විලිස් ආදිය මෙවැනි ආක්‍රාන්ති පාෂාණයන්ගෙන් සැදි භූමි ලක්ෂණයෝ ය. වෙරළ සමීපයෙහි ඇති ලෑන්ඩ්ස් එන්ඩ් ආදි ගල්කුළු නිසා කෝන්වෝල්-ඩෙවන් වෙරළකරය ද විශේෂ බවක් දක්වයි.
ග්රැනිට් පාෂාණ ජීර්ණවීම නිසා ඇති වී තිබෙන මැටි වර්ග ද මෙහි සුලභය. පිඟන් මැටි ද තඹ හා බෙලෙක් ආදි වෙනත් ලෝපස් ද මෙම අර්ධද්වීපයෙහි ඇත.
පටුන
- 1 මධ්‍ය තැන්න (Midland Plain)
- 2 නැගෙනහිර පෙදෙස
- 3 භූවිද්‍යාත්මක කරුණු
- 4 දේශගුණය
- 5 වර්ෂාව
- 6 ජලාපවහනය
- 7 පස හා වෘක්ෂලතා
- 8 සත්ත්ව ජීවිතය
- 9 ජනයා
- 10 ජනගහනය
- 11 පළාත් පාලනය
- 12 ආර්ථීකය
- 13 කෘෂිකර්මය
- 14 සතුන් ඇතිකිරීම
- 15 වන සම්පත
- 16 ධීවර කර්මාන්තය
- 17 ආකර කර්මාන්තය
- 18 යකඩ හා වානේ නිෂ්පාදනය
- 19 ඉංජිනේරු කර්මාන්ත
- 20 රෙදිපිළි කර්මාන්තය
- 21 රසායනික කර්මාන්ත
- 22 වෙළඳාම හා මුදල්
- 23 ගමනාගමනය
- 24 සුභසාධනය
- 25 ජාතික සෞඛ්‍ය සේවය
- 26 අධ්‍යාපනය
- 27 ඉතිහාසය
- 28 රෝමවරු
- 29 ඇංග්ලෝ-සැක්සන් ආධිපත්‍යය
- 30 බ්‍රෙට්රෝල්ඩා පදවිය
- 31 වෙසෙක්ස් ආධිපත්‍යය
- 32 ඩෙන්වරු
- 33 එංගලන්තයේ ඩේන් ආධිපත්‍යය
- 34 වෙසෙක්ස් පෙළපතට නැවත සිහසුන හිමිවීම
- 35 නෝමන් ආධිපත්‍යය
- 36 නෝමන් පාලනය
- 37 ප්ලැන්ටැජිනට් (අන්ජු) පරපුර
- 38 ප්ලැන්ටැජිනට් කාලයේ එංගලන්තය
- 39 ලැන්කැස්ටර් පෙළපත
- 40 යෝක් පරපුර
- 41 ටියුඩර් පෙළපත (1485-1603)
- 42 VIII හෙන්රි (බ.) 1509-47
- 43 එංගලන්ත ආගම් ප්‍රතිසංස්කරණය
- 44 එඩ්වඩ් VI (බ.) (1547-53)
- 45 විදේශ කටයුතු
- 46 ස්ටුවට් පාලනය (1603–1714)
- 47 පොදු රාජ්‍යය හෙවත් සමූහාණ්ඩුව 1649-1660
- 48 පොත්පත්
මධ්‍ය තැන්න (Midland Plain)
මෙහි විස්තර නොවන වේල්සයේ උස්බිම් ද, එංගලන්තයේ පෙනයින් කඳු හා කෝන්වෝල් කෝරළයේ උස්බිම් ද අතරෙහි පිහිටි පහත්බිම් මධ්‍ය තැන්න නමින් හැඳින්වේ. ඊඩන් නිම්නය, ලැන්කෂයර් තැන්න හා චෙෂයර් තැන්න ද, සෙව’න් නිම්නය ද, ඒවන් හා ට්‍රෙන්ට් නිම්න ද, ලින්කන් හීත් හා යෝක් නිම්නය යන පෙදෙස් ද මධ්‍ය තැන්නෙහි කොටස්ය. පහළ සෙව’න් නිම්නයේ පිහිටි ස්ටැෆඩ්ෂයර්, වූස්ටෂයර් හා හෙරෆඩ් යන කෝරළවල රතුපස ඉතා සාරවත් හෙයින් එහි කෘෂිකර්මය බෙහෙවින් දියුණුය. මේ පෙදෙසේ පහත් සමතලා භූමිය මංමාවත්, දුම්රිය මාර්ග හා ඇළවල් පහසුවෙන් ඉදිකිරීමට ඉවහල් වී ඇත. සැලකිය යුතු දුම්රිය මධ්‍යස්ථානයක් වන ෂ්රූස්බරි මහා වෙළඳ නගරයකි. බොහෝ මංමාවත් හා දුම්රිය මාර්ග මේ තැන්නේ එක්රොක් වී ඇති අයුරු පිළිබඳ තවත් නිදසුනකි ක්රූ (Crewe) නගරය. රටඅඟුරු නිධි බහුල මේ මධ්‍ය තැන්නේ කාර්මික දියුණුව ද ඉමහති. මෙහි මහා කාර්මික මධ්‍යස්ථානය වන බ’මිංහම් මධ්‍ය තැන්නේ විශාලතම නගරයයි.
නැගෙනහිර පෙදෙස
එංගලන්තයේ නැගෙනහිර පෙදෙස ජුරාසික තීරය, චෝක් (රටහුනු) ප්‍රදේශය, පෙන්ලන්ඩ්ස් (the Fenlands-) වගුරු බිම් දිස්ත්‍රික්ක), ද වීල්ඩ් (the Weald - (එලිමහන් පෙදෙස), ලන්ඩන් ද්‍රෝණිය හා හැම්ප්ෂයර් ද්‍රෝණිය යන භූගෝලීය කොටස්වලින් සැදී ඇත. ප්‍රධාන වශයෙන් ලයස් (Lias) මැටි හා ඕඔලිටික් (Oolitic) නිධිවලින් සැදි ජුරාසික තීරය ග්ලොස්ටර්, ඔක්ස්ෆඩ්, බකිංහම්, බෙඩ්ෆඩ්, නෝතැම්ප්ටන්, හන්ටිංඩන්, රට්ලන්ඩ්, ලින්කන් හා නෝත් රයිඩිං යන කෝරළ ඔස්සේ විහිදී ඇත්තේය. පෝට්ලන්ඩ් දූවේ (Isle of Portland) සිට ඩෝසෙට් ඩවුන්ස් (හෙල්වැටි), කොට්ස් වෝල්ඩ් කඳු හා යෝක්ෂයර්හි උස්බිම් වශයෙන් විහිදි ඕඔලිටික් පාෂාණමය උස්බිම් තීරය මෙහි විශේෂ භූලක්ෂණයකි. එංගලන්තයේ දකුණු වෙරළේ එක්ස් (Exe) නිම්නයේ සිට නැගෙනහිර වෙරළේ ප්ලැම්බරෝ හෙඩ් දක්වා අඩකවයක ආකාරයෙන් පිහිටි රටහුනු මොහොරක් (escarpment) හා ගෙවී ගිය රටහුනු හෙල් කීපයක් ඇත. බටහිර ඩවුන්ස්, වයිට් හෝස් කඳු, ලින්කන්ෂයර් කඳු, චිල්ටන් කඳු හා යෝක්ෂයර් රටහුනු හෙල් මෙම මොහොර ආශ්‍රිතව පිහිටා ඇති උස්බිම්ය. එලිමහන් පෙදෙස (ද වීල්ඩ්) දැලේ පිහිටා ඇති දකුණු හා උතුරු ඩවුන්ස් ද මෙම රටහුනු නිධිවල ම කොටස්ය. එංගලන්තයේ දකුණු වෙරළෙහි නීඩ්ල්ස්හි හා බිච් හෙඩ්හි ද නැගෙනහිර වෙරළෙහි ප්ලැම්බරෝ හෙඩ් ආදි ස්ථානයන්හි ද වෙරළ අද්දර පිහිටි රටහුනු නිධි නිසා ඇති වූ විශේෂ භූ ලක්ෂණ ඇත. චිල්ටන් කඳුවලට ගිනිකොනින් වොෂ් මෝයෙහි පසුබිම වන වගුරුබිම් දිස්ත්‍රික්ක (ද පෙන්ලන්ඩ්ස්) ඇත්තේය. මුහුදු මට්ටමේ සිට අඩි 25කට වඩා උස් නොවන මෙම පහත් බිම් රොන් මඩ හා ජීර්ණක ද්‍රව්‍යයන්ගෙන් සෑදී ඇත. වගුරුබිම් දිස්ත්‍රික්කවලට දකුණින් පිහිටියා වූ ලන්ඩන් ද්‍රෝණිය නියම වශයෙන් ඉතා ම නැගෙනහිර විල්ට්ෂයර්හි සිට මුහුද දෙසට ව්‍යාප්ත වේ. සුවිශාල ලන්ඩන් මහා නාගරිකය හැරුණු විට මෙපෙදෙසෙහි ඇත්තේ නොරිච්, ඉප්ස්විච්, යාමත්, රෙඩිං, වින්ඩ්සර් වැනි විශාල නගර කීපයක් පමණි. හැම්ප්ෂයර් ද්‍රෝණිය වර්දිං සෝල්බරි හා ඩෝචෙස්ටර් අතර ත්‍රිකෝණාකාරව පිහිටියේය. නිව් පොරස්ට් නම් විශාල ප්‍රදේශය මෙහි පිහිටියේය. සවුතැම්ප්ටන් හා පෝට්ස්මත් මෙහි සුප්‍රකට නැව් තොටවල්ය. බෝන්මත් හා බොග්නර් ජනප්‍රිය සුඛස්ථාන දෙකකි.
භූවිද්‍යාත්මක කරුණු
එක්සත් රාජධානිය කුඩා ප්‍රදේශයක් වුව ද භූවිද්‍යා අනුක්‍රමයේ මුළුමනින් ම වාගේ සම්පූර්ණ සටහනක් සාදන විවිධ ස්තර එහි මතුපිට දක්නට ලැබේ. මයෝසීනය හැර අනික් ප්‍රධාන භූවිද්‍යා මණ්ඩල සියල්ල ම එක්සත් රාජධානියෙහි නියෝජනය වී ඇත. තවත් වැදගත් කරුණක් නම් බ්‍රිතාන්‍ය භූස්තර අනුක්‍රමය ආශ්‍රයණීය සම්මතයක් (a standard of reference) වශයෙන් බෙහෙවින් යොදනු ලැබීමයි. මීට හේතුව නම් 19 වැනි ශතවර්ෂය මුල දී විලියම් ස්මිත් වැනි බ්‍රිතාන්‍ය භූවිද්‍යාඥයන් පිරිසක් මූලික භූවිද්‍යා අධ්‍යයනයන්හි පුරෝගාමීව ක්‍රියා කිරීමය. ඒ නිසා බ්‍රිතාන්‍ය ප්‍රදේශ කිහිපයක නාම භූ මණ්ඩලවලට දී ඇත. ඩෙවෝනියන් මණ්ඩලය නම් කර ඇත්තේ ඩෙවන් කෝරළයේ නමිනි. වේල්සයේ බෙහෙවින් දක්නට ලැබෙන ඕඩොවීසීය මණ්ඩලය නම් කර ඇත්තේ වේල්සයේ විසූ ඕඩොවීසීස් නමැති පැරණි මිනිස් ගෝත්‍රය අනුවයි. ඇන්ගල්සිහි සිට ලන්ඩන් දක්වා පරික්‍රමණ රේඛාවක් වැටුණොත් භූස්තර අනුක්‍රමයේ වැඩි කොටස ප්‍රාක්කේම්බ්‍රිය යුගයේ සිට මෑත යුගය දක්වා පිළිවෙළින් හරහට කැපේ.
ඇන්ගල්සි, ලයින් (Lleyn) අර්ධද්වීපය, රීකින් රිජ් (Wrekin Ridge), මෝල්ව’න් කඳු (Malvern Hills), චාන්වුඩ් වනාන්තරය යන මේවායේ හා වෙනත් ප්‍රදේශවල ද මතුපිට ප්‍රාක්කේම්බ්‍රිය පාෂාණ දක්නට ලැබේ. ඇන්ගල්සිහි හා මෝල්ව’න් කඳු පෙදෙසේ කළුගල් මේ පාෂාණවල පාදස්ථ පාෂාණ වේ. ප්‍රාක්කේම්බ්‍රිය අවධියේ දී සැලකිය යුතු ප්‍රමාණයකින් පෘථිවි චලන සිදුවන්නට ඇත. ලෝංමින්ඩ්හි හා වෙනත් ප්‍රදේශවල වැලිගල් කැට හා ශල්ක (shales) තිබීම බොහෝවිට අවසාදිත නිධි සාධනය පසු කාලවල ඇති වූ බවට ඉඟියකි. එංගලන්තයේ හා වේල්සයේ බොහෝ ප්‍රදේශවල ප්‍රාක්කේම්බ්‍රිය ස්තරය පහළින් ම පිහිටා තිබේ. ඉතිරි ස්තරයනට මෙය අත්තිවාරම වී ඇත. උතුරු ඇට්ලැන්ටිස් නමින් හැඳින්වෙන පැරණි මහාද්වීපයේ ගිනිකොණ සීමාව මේ පාෂාණ විය හැකිය. බ්‍රිතාන්‍යය මෙම මහාද්වීපය අද්දර පිහිටා තිබීම එහි දැනට දක්නා ලැබෙන ස්වාභාවික දර්ශනයේ විවිධත්වයට හේතු වී ඇත. ඉතා ම පැරණි භූස්තර දැන් දක්නට ලැබෙන්නේ අවුටර් හෙබ්රීඩීස් දූපත්වල සහ ස්කොට්ලන්තයේ වයඹ දිග මුහුදු වෙරළේ කොටස්වලය. ඒවා වැඩි වශයෙන් කළුගල් වැනි ආග්නේය පාෂාණවලින් සමන්විතය.
කේම්බ්‍රිය අවධියේ දී දීර්ඝ කාලයක් නිරන්තරයෙන් ම ඇතිවුණු භූතල ඛාදනය නිසා ප්‍රාක්-කේම්බ්‍රිය භූමිය භූ-විෂමතාව අතින් සාපේක්ෂ ලෙස පහත් විය. පසුව මෙය නොගැඹුරු මුහුදක් විය. සාමාන්‍යයෙන් සිදුවන්නා සේ අවසාදිත නිධි සාධනය මීට අනතුරුව ඇති වුණි. කේම්බ්‍රිය අවධියේ දී සිදුවුණු මේ නිධි සාධනයෙන් මුළු වේල්සය ද එංගලන්තයේ කොටස් බොහොමයක් ද වැසුණු බව පෙනේ. දැන් පෘථිවිය මතුපිට කේම්බ්‍රිය පාෂාණ දක්නට ලැබෙන විශාලතම ප්‍රදේශය නම් මැරියොනෙත්හි හාර්ලෙක් ඩෝම්ය. නනීටන් ප්‍රදේශයෙහි කේම්බ්‍රිය මණ්ඩලය තිරිවාණ පාෂාණ (quartzites) අඩි 1,000කින් පමණ ද ඊට පසු චූර්ණමය වට පිඩු පාෂාණත් (conglomerates) සමග ඇති නොයෙක් ශල්ක වර්ග අඩි 3,000කින් පමණ ද සෑදී ඇත.
ඕඩොවීසීය හා සිලුරීය අවධිවල දී පළල් භූ-ද්‍රෝණි මුහුද දිගට ම පැවතුණි. මේ මුහුදේ වයඹ පැත්තේ උතුරු ඇට්ලැන්ටිස් මහාද්වීපය ද ගිනිකොන පැත්තේ ෆෙනොස්කැන්ඩියා (Fennoscandia) - ෆින්ලන්ත- ස්කැන්ඩිනේවියා) භූමි ඛණ්ඩය ද තිබිණ. ඕඩෝවීසියේ පහත් ම කොටස වන ඇරිනිග් (Arenig) ශ්‍රේණිය මුල දී රළු වැළි ගල්කැට විය. පසුව එය පිළිවෙළින් වැලිගල්, වැලි සහිත මඩගල් හා ශල්ක යනාදියට පරිවර්තනය විය. මධ්‍යම ඕඩෝවීසීය කාලවල දී භූමිගර්භයේ ඉස්සීමක් (uplift) ඇති වී රළු වැලි ගල් නිධි ඇති විය. එකල මධ්‍යම එංගලන්තයේ ඇතැම් කොටස් ගොඩබිම්ව තිබෙන්නට ඇත. ඕඩොවීසීය අවධියට පසුව පැමිණි සිලුරීය අවධියේ දී කඳු නිර්මාණය කෙරෙන අවධිය පටන් ගෙන තිබිණ. මේවායින් ඉතිරි වුණු කඳුවැටිවලින් වර්තමාන ස්කොට්ලන්ත උස ප්‍රදේශ සෑදී තිබේ. දැන් එංගලන්තයේ 'මිඩ්ලන්ඩ්ස්' නමින් හැඳින්වෙන ප්‍රදේශයෙහි ත්‍රිකෝණාකාර කඳුවැටියක් තිබිණ. ලේක් දිස්ත්‍රික්කයේ ගර්භය සමන්විතව ඇති පාෂාණ පශ්චාත් ඕඩෝවීසීය අවධියේ දී ලාවා, ටූපා (tuffs) හා යමහල් කැට (agglomerates) යනාදිය වශයෙන් පවතින්නට ඇත. ඕඩෝවීසීය අවධිය අවසානයේ දී ඍණ භූ-චලනයකින් නැවත මේ ප්‍රදේශය මුහුදු මට්ටමට වඩා පහත් වන්නට කලින් ඇතැම් සුළු නැමීම් හා ඛාදන ඇතිවුණි. මේ හේතුවෙන් එංගලන්තයේ වයඹ ප්‍රදේශයේ 'ඇෂ්ගිලියන්' හා සිලුරියන් පාෂාණ නිධි ඇති විය. උතුරු ප්‍රදේශවල ඒ වනවිටත් පටන්ගෙන තුබුණු කැලිඩෝනියන් පර්වතකරණය සිලුරීය අවධිය අවසානයේ දී එංගලන්තයටත් වේල්සයටත් පැතිරිණි. ඊශාන හා නිරිත දිශාවලට බර වූ යටි නැමීම් (synclines) හා උඩු නැමීම් (anticlines) උතුරු හා බටහිර වේල්සයේ ඇති විණි.
මීට පසුව ආ ඩෙවෝනියන් අවධියේ දී බ්‍රිතාන්‍යයේ මුළු භූගෝලීය ස්වභාවය ම වෙනස් විය. උතුරු ඇට්ලැන්ටිස් ඒ දක්වා පැවතිණි. එහෙත් එහි විශාල කඳුවැටි පේළි තිබිණ. මේ අවධියේ දී ලේක් දිස්ත්‍රික්කය සහ උතුරු වේල්සය ගොඩබිමක් විය. එකල ෆෙනොස්කැන්ඩියාව උතුරු මුහුදේ දකුණු පෙදෙස ද වැසී යන තෙක් විශාල වී තිබිණ. එයින් උතුරු එංගලන්තයේ සහ වේල්සයේ සිට මධ්‍යම අයර්ලන්තය දක්වා වඩා විශාල මහාද්වීපයක් ඇති විය. ඩෙවෝනියන් අවධියේ දී මේ මහාද්විපය ක්ෂේත්‍ර ඵලයෙන් හා සැලැස්මෙන් සැලකිය යුතු ප්‍රමාණයකින් වෙනස් විය. දකුණු වේල්සයේ පහළ ඩෙවෝනියන් මණ්ඩලයේ වැලි ගල් එම මහාද්වීපයේ දකුණු පැත්තේ ඩෙල්ටාවක් වශයෙන් සෑදුණි. කල් යත් ම ඩෙවෝනියන් මණ්ඩලයේ මැද හා ඉහළ කොටස්වල උතුරු හා මධ්‍යම වේල්සයේ බිම් ප්‍රදේශය උතුරු ඇට්ලැන්ටිස් සමග හාවීමට උතුරු දෙසට දික් වී යන්නට ඇත්තා සේ ද කලක් දකුණු වේල්සය පුරා දකුණට දික් වී යන්නට ඇත්තා සේ ද පෙනේ. ඩෙවන් කෝරළේ දක්නට ලැබෙන ඩෙවෝනියන් පාෂාණ නිධි බොහොමයක් ම ඇති වූයේ මේ අවධියේ දීය.
බ්‍රිතාන්‍ය භු-අවධි සියල්ලක් අතුරෙන් වඩා ම සවිස්තර ලෙස අධ්‍යයනයට භාජන වී ඇත්තේ අංගාරධර අවධියයි. මේ අවධියේ දී උතුරු මුහුදෙන් වැඩි කොටස ගොඩබිම් පෙදෙසක් වන්නට ඇත. ස්කැන්ඩිනේවියාව නිසැකව ම එසේ විය. එහෙත් යුරෝපයෙන් වැඩි කොටස ජලයෙන් වැසී තිබිණ. දූපත් ස්වල්පයක් පමණක් තැනින් තැන විය. මේවායේ ද මේවා අවට ප්‍රදේශවල ද නොයෙක් වර්ගවල අවසාදිත නිධි ඇති විය. එංගලන්තයේ පහළ අංගාරධර මණ්ඩලයේ ප්‍රධාන හුනුගල් නිධිය තිබේ. එහි තිබෙන වෙනස් වෙනස් පොසිල අනුව ඒ මණ්ඩලය කලාප කිහිපයකට බෙදා දැක්වේ. පහළ සහ ඉහළ ඇවෝනියන් නමින් හැඳින්වෙන මේ කලාප දෙකක පිහිටි උතුරු එංගලන්තය, ලේක් දිස්ත්‍රික්කය, ඊශාන හා දකුණු වේල්සය, කෙන්ට් යන ප්‍රදේශවල හුනුගල් නිධි බෙහෙවින් ඇති විය. ඇතැම් ප්‍රදේශවල කොරල්පර ඇති විය. ඊශාන එංගලන්තයේ ප්‍රදේශයක් වරෙක මඩ වගුරු ඩෙල්ටාවක් ද වරෙක පැහැදිලි මුහුදක් ද විය. මේ හේතුකොටගෙන වෘක්ෂලතාදියේ ශේෂත් සමග වැලිගල් ස්තර සෑදුණි. ගල් අඟුරු ඉල්ලම් සෑදුණේ එලෙසිනි.
සුළු භූචලන නිසා ඉහළ අංගාරධර මණ්ඩලය පහළ අංගාරධර මණ්ඩලයෙන් වෙන් වූ අතර නොගැඹුරු මුහුදුවල නොයෙක් ද්‍රව්‍ය නිධිගත වීම පිළිබඳ තත්ත්ව ද බෙහෙවින් වෙනස් වුණි. උතුරු ඇට්ලැන්ටිස් වෙරළේ සිට විශාල ඩෙල්ටාවක් සෑදී ක්‍රමයෙන් එය උතුරු එංගලන්තය හා ඊශාන වේල්සය වැසෙන තුරු පැතිර ගියේය. නොයෙක් විට මේ ඩෙල්ටාවල නිවර්තන වෘක්ෂලතාදිය බහුල ලෙස වර්ධනය විය. ඒවා පිට්වලින් ද වැසී තිබිණ. පෘථිවි පෘෂ්ඨයෙහි පහතට ඇති වූ සුළු චලන නිසා මේ මඩවගුරු බොහෝවිට ජලයෙන් යට විය. පසුව ඒවා වැලිවලින් වැසී ගියේය. ගල්අඟුරු ඉල්ලම් බොහොමයක් මේ ආකාරයෙන් ද ඇති විය. අංගාරධර අවධිය අවසානයේ දී පෘථිවිචලන නැවත ඇරඹුණු අතර පර්වතකරණය හේතුකොටගෙන මේ ප්‍රදේශයේ භූගෝලීය ස්වභාවය වෙනස් වුණි. මේ කාලයේ සිට අවසානයේ දී උතුරු ඇට්ලැන්ටිස් මහාද්වීපය නොපෙනී යන තෙක් එම මහාද්වීපය පැවතියේ බ්‍රිතාන්‍යයේ බටහිර දෙසිනි. කලින් එය තිබුණේ වයඹ දෙසින්ය.
අංගාරධර අවධියෙන් පසු උෂ්ණ කාන්තාර තත්ව බ්‍රිතාන්‍යයේ ඇතිවිය. එකූල ප’මීය හා ත්‍රියාසික අවධිවලට අයත් වැලිගල් ඇතැම්විට සුළඟට ගසාගෙන ආ අවසාදිත වශයෙන් හෝ ඇතැම්විට විල් සහ මුහුදුවල සෑදුණු වැලි ඩෙල්ටා වශයෙන් හෝ දක්නට ලැබිණ. ත්‍රියාසික පාෂාණ මිසොසොයික යුගයේ මුල් භාගයට අයත්ය. දැන් ඒවා පෙනයින් කඳුවැටියේ දෙපැත්ත මතුපිට ද මීඩ්ලන්ඩ් තැනිතලාවේ ද සෙව’න් ගංගාමෝයේ සිට සිඩ්මත් දක්වා සංකීර්ණ රටාවකින් ද දක්නට ලැබේ.
ඊට පසුව සෑදුණු වැලි හුනුගල් හා මැටි වැනි ජුරාසික නිධි ඩෝර්සෙට් කෝරළේ සිට නොතැම්ටන්ෂයර් හරහා හම්බර් දක්වා දක්නට ලැබේ. ගොඩබිම්වල පෘෂ්ඨ ඛාදනය වී තැනිතලා සෑදීම ඛටිකාමය (Cretaceous) අවධියේ මුල දක්වා නොනවත්වා ම සිදු විය. ඛටිකාමය අවධියේ දී සාමාන්‍ය ගොඩබිම් මට්ටම ඉතා පහත් විය. ඉහළ ඛටිකාමය අවධිය වන විට බ්‍රිතාන්‍යයෙන් වැඩි ම කොටස ජලයෙන් යටව පැවතිණ. මේ නොගැඹුරු මුහුදෙහි මැටි හා රටහුනු නිධි ඇති විය. උතුරු හා දකුණු හෙල් වැටි ද (North & South Downs) සෝල්ස්බරි තැනිතලාව ද ඩොර්සෙට්හි විශාල කොටසක් ද මේ රටහුනු නිධිවලින් සෑදී ඇත. ඛටිකාමය අවධියේ දී එංගලන්තයේ ගොඩබිම් පෘෂ්ඨය නොගැඹුරු මුහුදේ වූ තරමක් සමතලා රටහුනු තලයක් විය.
ඛටිකාමය අවධියේ දී ඇතිවුණු යටිනැම්ම ඉයෝසීන අවධියේ දී නොයෙක් වර්ගයේ වැලිවලින් හා මැටිවලින් පිරවිණි. ඔලිගොසීන අවධිය මුළුල්ලේ ම ඇතැම්විට මුහුදු තත්ත්ව ද ඇතැම්විට විල් තත්ත්ව ද දිගට ම පැවැත්තේය. මයොසීන අවධියේ දී ගොඩබිම් ප්‍රදේශය වැඩි වී එංගලන්තය සම්පූර්ණයෙන් ම වාගේ ජලමට්ටමෙන් ඉහළ දිස් විය. ඒ කාලයේ දී එංගලන්තයෙහි නිධි සෑදීමක් සිදු නොවීය. භූතල ඛාදනය එකල දක්නට ලැබුණු ප්‍රමුඛ ලක්ෂණය විය.
ප්ලයොසීන අවධියේ දී නැගෙනහිර ඇංග්ලියාව හා පහළ තෙම්ස් ද්‍රෝණිය වැනි කුඩා පෙදෙස් ජලයෙන් යට විය. මේ කාලයේ දී නැගෙනහිර ඇංග්ලියාවේ සිප්පි කටු, වැලි හා රොන් මඩ යනාදිය සහිත අවසාදිත මුහුදු වෙරළෙහි හා ගංගා මෝයවල තැන්පත් විය. ප්ලයොස්ටොසීන අවධියේ දී දේශගුණයෙහි පැහැදිලි සිසිල්වීමක් ඇති වී එංගලන්තයේ බොහෝ කොටස්වල ග්ලැසියර ඛාදනය සිදුවුණි.
දේශගුණය
එංගලන්තයේ දේශගුණයේ කැපී පෙනෙන විශේෂ ලක්ෂණය නම් අත්‍යන්ත විචල්‍යතාව හෙවත් බෙහෙවින් වෙනස්වනසුලු බවයි. ඉතා දීප්තිමත් සූර්ය රශ්මිය හදිසියේ ම වැහි අඳුරට පෙරළීම හෝ සුළං හමන දිසාව උන්හිටිගමන් මාරුවීම සුලභ ලක්ෂණයකි. මේ නිසා කාලගුණ තත්වය කල්තබා පැවසීම ඉතා අසීරු කරුණක්ව පවතී.
සාගරික දේශගුණයක් ඇති එංගලන්තය අසලින් ගලන උෂ්ණ දියවැලක් වූ ජලගුල්ම ප්‍රවාහය එරට ශීත ඍතුවේ දේශගුණය කෙරෙහි බලපාන සාධකයකි. එම දියවැල පසුකොට එන සුළඟේ බලපෑම නිසා ශීත ඍතුවේ දී උතුරු එංගලන්ත ප්‍රදේශ දකුණු එංගලන්ත ප්‍රදේශවලට වඩා ශීත නැත. සාමාන්‍යයෙන් එංගලන්තයේ මාධ්‍ය වාර්ෂික උෂ්ණත්වය උතුරේ පැ. 47° (සෙ. 8°) සිට නිරිත දිග පැ. 52° (සෙ. 11°) දක්වා වේ. ශීත ඍතුවේ මාධ්‍ය මාසික උෂ්ණත්වය උතුරේත් දකුණේත් පැ. 40°ක් පමණ වේ. ග්‍රීෂ්ම ඍතුවේ මාධ්‍ය මාසික උෂ්ණත්වය උතුරේ පැ. 60°කි; දකුණු ප්‍රදේශවල පැ. 62°කි. දෛනික (දිවා රාත්‍රි අතර) උෂ්ණත්වයේ වෙනස්වීම සාමාන්‍යයෙන් වෙරළබඩ පෙදෙස්වල ශීත ඍතුවේ දී 4° හා ග්‍රීෂ්ම ඍතුවේ දී 8° දක්වා වුව ද රට මැද ඔක්ස්‍ෆඩ් වැනි නගරවල ශීත ඍතුවේ දී 10° හා ග්‍රීෂ්ම ඍතුවේ දී 18°දක්වා වේ.
වර්ෂාව
සාමාන්‍යයෙන් එංගලන්තය අඩු වර්ෂාපතනයක් ඇති රටකි. මෙයට හේතුව රට වැඩි වශයෙන් පහත් බිමක් වීමය. එංගලන්තයේ නැගෙනහිර දිග සා.වා.ව. 30”ට අඩු ය. මධ්‍ය ප්‍රදේශයේ එය 30”-50” අතර වේ. බටහිර උස්බිම්වල වැස්ස ඊට වැඩිය. වැඩි ම වැස්ස ලැබෙනුයේ උතුරේ පෙනයින් උස්බිම්වලට හා විල් ප්‍රදේශයේ උස්බිම්වලටය.
ජලාපවහනය
මුළුමනින් එංගලන්තය තුළ පිහිටි විශාලතම ගංගාව තෙම්ස් නදියයි. එය කොට්ස්-වෝල්ඩ් හෙල් කෙරෙන් පටන්ගෙන ඔක්ස්‍ෆඩ් ඔස්සේ ගලාවිත් ලන්ඩන් නගරය මැදින් ගලා ගොස් උතුරු මුහුදට වැටේ. එහි දිග හැ. 210ක් පමණ වේ. වේල්සය හා එංගලන්තය යන දෙරටෙහි ම කොටස් පිහිටි සෙවර්න් නදිය තෙම්ස් නදියට වඩා සැතපුම් දහයක් පමණ දිග යයි සැලකේ. ටයින් (Tyne), වියර් (Wear), ට්‍රෙන්ට්, ඩොන්, විවර් ම’සි (Mersey), රිබ්ල් ආදිය වෙනත් වැදගත් ගංගායි.
පස හා වෘක්ෂලතා
පෙනයින්, විල් ප්‍රදේශ වැනි උස් ප්‍රදේශවල පස නිසරුය; මහදෙණිබිම්වලින් ගහනය. තැන තැන වූ නිසරු පසින් යුත් කොටස් කිහිපයක් හැර සම්පූර්ණ පහත් භූමි ප්‍රදේශය ම වගා කරනු ලැබේ.
මෘදු, සෞම්‍ය දේශගුණයත් විවිධාකාර පසත් නිසා එංගලන්තයේ ස්වාභාවික වෘක්ෂලතාදිය රටාව අතින් විවිධය. සාමාන්‍යයෙන් එරට ශාක විශේෂ, සංඛ්‍යාව අතින් සීමා සහිත වුව ද ශාක ගණ 90ක් ද ශාක පවුල් 400ක් පමණ ද එහි දක්නා ලැබේ. මුලින් එංගලන්තය ජනාවාස වූ කාලයේ දී එරට පහත් බිම් ප්‍රදේශය මුළුමනින් ම වාගේ ඕක් වනයෙන් වැසී පවතින්නට ඇතැයි සිතනු ලැබේ. එංගලන්තයේ වැවෙන ප්‍රධාන වෘක්ෂ අතර ඕක්, ඈෂ්, බීච්, එල්ම්, පයින්, මේප්ල්, ලින්ඩන්, හොලි ආදිය වේ. සාමාන්‍යයෙන් වර්තමාන එංගලන්තයේ ඇති තණබිම් කෘත්‍රිම ඒවායි. මෙරට චෝක් (රටහුනු) ලඳුබිම්, ලයිම් ස්ටෝන් (හුනුගල්) ලඳුබිම් හා හීත් (Heath) ලඳුබිම් නිර්මාණය හා සංයුතිය අතින් වෙනස්කම් දක්වයි.
සත්ත්ව ජීවිතය
එංගලන්තයේ මෙකල ජීවත්වන සත්තු බොහෝ කොට ම වයඹ දිග යුරෝපයේ රටවල දක්නා ලැබෙන සත්තු මය. එහෙත් මහාද්වීපයේ රටවල දක්නා ලැබෙන තරම් සත්ව විශේෂයෝ එහි නොසිටිත්. වර්තමානයේ මෙහි ජීවත්වන සත්තු අවුරුදු 7,000කට පමණ පෙර යුරෝපයෙන් සංක්‍රමණය වූවන්ගෙන් පැවත එතැයි සිතනු ලැබේ. දැනට ඇත්තේ ගොඩ ජීවත්වන සත්ව විශේෂ 50ක් පමණ ගණනකි. මොහු ද බෙහෙවින් මහාද්වීපයේ මවු සතුන්ගෙන් වෙනස් වී සිටිත්. වලසා, වෘකයා, වල්ඌරා, බීවර්, පිනිමුවා ආදි සතුන් දැන් වඳ වී ඇතිසේයි. බැජර් නම් වූ නිශාචර සතා ද දැන් දුලබය. හිවලා ගම්බද ප්‍රදේශවල ද ඔටර්, සීල් වැනි සතුන් මුහුදුබඩ නොයෙක් ප්‍රදේශවල ද දක්නා ලැබෙන අතර මීයා, රටහාවා, මුවා, ලේනා, ඉත්තෑවා, හාවා, වීස්ල් (මුගටි වර්ගය) මීයකු වැනි ෂ්රූ (shrew) ආදි සත්තු මෙකල එංගලන්තයේ දක්නට ලැබෙත්. මෙරට ඉන්නා 430ක් පමණ වූ පක්ෂි විශේෂ අතුරෙන් 230ක් ස්ථිර පදිංචිකාර කුරුල්ලන් වූ අතර සෙසු විශේෂ ඒ ඒ කාලයේ දී පිටින් පැමිණෙන සංචාරක පක්ෂීහුය. කළුකුරුල්ලා, ගේකුරුල්ලා, ස්ටාර්ලිං, චැටරිච්, මුහුදුලිහිණි වැනි කුරුල්ලෝ ද තාරා, පාත්ත වැනි ජලචර පක්ෂීහු ද එංගලන්තයේ සුලභ වර්ගයෝය.
මිරිදිය මසුන් අතර සැමන්, ට්‍රෞට්, රෝච්, ඩේස්, ග්‍රෙලිං හා පයික් වැනි මාළු වෙති. උරගයන් හා දෙගම්බඩ සතුන් විරල එංගලන්තයේ ඉන්නේ උරග වර්ග 3ක් පමණි. න්‍යුට් (newt) නම් දියහූනු වර්ග 3ක් හා ගෙඹි මැඩි වර්ග 5ක් දෙගම්බඩයන් අතර වෙති. බ්‍රිතාන්‍ය දූපත්වල ඉන්නා කෘමි විශේෂ ගණන 21,000ක් පමණ වෙතැයි ගණන් බලා ඇත.
ජනයා
එංගලන්තය ඈත අතීතයේ සිට නෝමන් විජයග්‍රහණය (1066) දක්වා විටින් විට පැමිණි යුරෝපා ජාතික විවිධ ආක්‍රමණිකයන් හා සංක්‍රමණිකයන් සිය ස්ථිර පදිංචි ස්ථානය කොටගත් රටකි. මෙකල එංගලන්තයේ ස්ථිර පදිංචිකාර ඉංග්‍රීසි ජාතිකයෝ මේ විවිධ ජාතිකයන් මිශ්‍ර වීමෙන් සෑදුණු මිශ්‍ර ලේ ඇති ජාතියක් වශයෙන් සැලකෙති. විශේෂයෙන් විටින් විට එහි වන් දිගු හිසින් හා දුඹුරු කෙසින් යුත් ඇංග්ලෝ-සැක්සන්, නෝස්, ඩේන් හා නෝමන් ජාතිකයන්ගෙන් ඉංග්‍රීසින් පැවතෙතැයි සලකනු ලැබේ.
ජනගහනය
විසිවන සියවසේ එංගලන්තයේ ජනගහනයෙහි අඛණ්ඩ වැඩිවීමක් දක්නා ලැබෙතුදු එම වැඩි වීමේ ප්‍රමාණය 19 වන සියවසේ වැඩි වීමේ ප්‍රමාණයට වඩා අඩුය. 1801ත් 1901ත් අතරතුර කිසි ම දශකයකට වාර්ෂික සාමාන්‍ය වැඩිවීම 1.1%ට අඩු නොවූ නමුත් 1911න් පසු එය 0.54%ට වැඩියෙන් කවදාවත් නැංගේ නැත. ජනගහනය නැඟීමේ ප්‍රමාණයේ මෙම පහත වැටීමට මූලික හේතුව පවුල් සංවිධානය (උත්පත්ති පාලනය) හැටියට සැලකේ. එමෙන් ම ලෝක යුද්ධද්ධය හා ආර්ථික පරිහාණි ද මේ සම්බන්ධයෙන් බල පෑ සාධකයෝයි.
දහනවවන සියවස හා විසිවන සියවස අතර දක්නට ඇති තවත් වෙනසක් නම් 19 වන සියවසේ අග භාගයේ දී විශාල වශයෙන් එංගලන්තයේ ජනයා පිටරට පදිංචියට යෑමෙහි යෙදුණු අතර විසිවන සියවසේ අගභාගයේ දී පොදුරාජ්‍ය මණ්ඩලයේ ඌන සංවර්ධිත රාජ්‍යයන් කෙරෙන් විශාල වශයෙන් ජනයා එංගලන්තයේ පදිංචියට ඒමය. 1961 ජන සංගණනයේ හැටියට එක්සත් රාජධානියෙන් පිට උපන් එරට පදිංචිකාරයන්ගේ සංඛ්‍යාව විසිලක්ෂයකට අධික විය. මින් 1/3ට වැඩියෙන් පොදුරාජ්‍යමණ්ඩලයේ හෝ යටත් විජිතවල උපන් අය වූහ. එංගලන්තයේ ජනගහනය බෙහෙවින් ම නාගරිකය. මුළු ජනගහනයෙන් 80%ක් පමණ නගරබදව හා නගරාසන්නයේ ජීවත් වෙති. කෘෂිකාර්මික ගම්බද ප්‍රදේශවලින් නගරයන් කරා ජනයා ඇදී ඒම තවමත් එරට දක්නට ලැබෙන ලක්ෂණයකි. මෙසේ රටේ ජනගහනයෙන් 1/5ක් පමණ ග්‍රේටර් ලන්ඩන් නුවර වෙසෙති. එහි ජනගහනය (1961) 7,997,089කි; ඇතුළු පුරයෙහි 4,767කි. ලන්ඩනය හැර සෙසු ජනාකීර්ණ නාගරික වනාහි, බර්මිංහම් (1,107,000), ලිවර්පූල් (746,000), මැන්චෙස්ටර් (6,62,000), ෂෙෆීල්ඩ් (494,000), ලීඩ්ස් (511,000), බ්‍රිස්ටල් (437,000) යනාදියයි.
ලක්ෂයකට අධික ජනගහනයක් ඇති නගර 60ක් පමණ මෙහි ඇත. ඒවායින් 20ක පමණ 1961 දී ජනගහනය දෙලක්ෂය ඉක්මවිය. 1961 එංගලන්තයේ ජනගහනය ඝනත්වය ව.සැ. 1ට 863ක් විය. එය එකල මුළු යුරෝපයේ ම වැඩි ම ජනාකීර්ණතා දර්ශකයයි. 1961 හා 1971 (ස්ථිර නොකළ) ජනගහන සංඛ්‍යාව මෙසේය:
1961 1971
එංගලන්තය 43,460,525 - 5,870,062
වේල්සය හා මොන්මත්ෂයර් 2,644,023 2,723,596
පළාත් පාලනය
එංගලන්තයේ පළාත් පාලනය සඳහා ප්‍රාදේශීය වශයෙන් තෝරන ලද කවුන්සිල් සභා පද්ධතියක් ඇති කොට තිබේ. මුළු ලන්ඩන් පුරයේ පාලන කටයුතු ග්‍රේටර් ලන්ඩන් කවුන්සිලය මගින් සිදු වේ. ලන්ඩනය හැර සෙසු නාගරික මධ්‍යස්ථාන පාලනය උදෙසා කවුන්ටි බරෝ කවුන්සිල් සභා වේ. ප්‍රාදේශීය හෙවත් කොට්ඨාස (regional) පදනමක් යටතේ පරිපාලන (administrative) කවුන්ටි කවුන්සිල් සභා 58කට සෙසු රට බෙදා ඇත. කවුන්ටි නොවන බරෝ, නාගරික දිස්ත්‍රික්ක හා ග්‍රාමීය දිස්ත්‍රික්ක යන මේවා පරිපාලන කවුන්සිල් සභා යටතේ වේ. පරිපාලන කවුන්ටි කවුන්සිල් සභා මගින් නිවාස හා සනීපාරක්ෂාව පිළිබඳ සේවා හැරෙන්නට සෙසු ප්‍රධාන ගණයේ කාර්‍ය්‍ය ඉටු වේ. 259ක් වූ කවුන්ටි නොවන බරෝ කවුන්සිල් හා 522ක් වූ නාගරික දිස්ත්‍රික් කවුන්සිල් සභා මගින් සනීපාරක්ෂාව හා නිවාස පිළිබඳ කටයුතු ද උද්‍යාන හා ක්‍රීඩා පිට්ටනි පැවැත්වීමාදි කටයුතු ද ඉෂ්ට කෙරේ. මෙකී පරිපාලන කවුන්ටි කවුන්සිල් සභා යටතේ වූ ග්‍රාමීය දිස්ත්‍රික්ක තුළ පුරාණ ග්‍රාමීය බරෝ සහා හා වසම් කවුන්සිල් සභා ද වේ. එංගලන්තයේ ග්‍රාමීය දිස්ත්‍රික්ක සංඛ්‍යාව 469ක් වන අතර මේ දිස්ත්‍රික්ක තුළ වසම් 7,500ක් වේ.
1965 සිට ග්‍රේටර් ලන්ඩන් නමින් නව පරිපාලන ප්‍රදේශයක් පිහිටුවා ඇත. එයට ලන්ඩන් පරිපාලන කවුන්ටිය, මිඩ්ල්සෙක්ස්හි ඉතා වැඩි කොටස හා කෙන්ට්, සරි, හාට්ෆඩ්ෂයර් සහ එසෙක්ස් යන කෝරළවලින් කොටස් ද එකතු කරනු ලැබීය. ග්‍රේටර් ලන්ඩනය ලන්ඩන්බරෝ නමින් දන්නා පාලන ප්‍රදේශ 52කින් සමන්විතය. ලන්ඩන් ඇතුළු පුරය මින් පරිබාහිරය. ලන්ඩනය පුරා ඒකාකාර ස්වභාවයේ කටයුතු සේවා ග්‍රේටර් ලන්ඩන් කවුන්සිලය (G.L.C.) මගින් ඉටු කැරේ. ප්‍රාදේශීය වශයෙන් පරිපාලනය කළ හැකි විධියේ කාර්යය ලන්ඩන්බරෝ කවුන්සිල මගින් ද ලන්ඩන් ඇතුළු පුරයේ කටයුතු කොමන් (පොදු) කවුන්සිලය මගින් ද ඉෂ්ට වේ.
ආර්ථීකය
එංගලන්තයේ ආර්ථිකය එක්සත් රාජධානියේ ආර්ථිකයේ ම කොටසකි. යම් යම් කරුණු මුල් කොට ගෙන ස්කොට්ලන්තයේ ද උතුරු අයර්ලන්තයේ ද ඇතැම් විට වේල්සයේ ද ආර්ථික කටයුතු වෙන් වෙන් වශයෙන් සැලකීමට භාජන වුව ද මුළු ඒකාබද්ධ රාජ්‍යයේ ම කර්මාන්ත හා වෙළඳ කටයුතු එකට බැඳී ඇත. එක්සත් රාජධානියේ භූමියෙන් අඩකට වැඩියෙනුත් ජනගහනයෙන් 80%කට වැඩියෙනුත් එංගලන්තය සතු බැවින් එක්සත් රාජධානියේ ආර්ථිකය සම්බන්ධයෙන් වැඩි සේවයක් එරටින් සැලසීම ස්වාභාවිකය. ඒ අතර ම ලොව කාර්මික විප්ලවය ඇති වූ ප්‍රථම රට වූ එංගලන්තය ඒ අතින් මෙන් ම ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධයෙන් ද ලබා ඇති උසස් දියුණුව නිසාත් එරට වූ අධික ස්වාභාවික සම්පත් නිසාත් මුළු එක්සත් රාජධානියේ ආර්ථිකය කෙරෙහි එංගලන්තයේ බලපැම භූමි සමානුපාතය ඉක්මවයි.
කර්මාන්ත ක්ෂේත්‍රයෙහි සහමුලින් ම විපර්යාසයක්, පරිවර්තනයක් ඇති කරලීමෙන් නූතන ලෝක කාර්මික සංවර්ධනයෙහි නියාමකත්වය ගත් රට වූ එංගලන්තය 19 වන සියවස අවසානයට සමීප කාලයේ දී කර්මාන්ත දියුණුව අතින් ලොව අන් රටවල් ඉක්මවා සිටියේය. වර්තමානයෙහි ඇ.එ.ජ. රාජ්‍යය, බටහිර ජර්මනිය හා ජපානය වැනි රටවල් කාර්මික ක්ෂේත්‍රයෙහි විවිධ අංශයන්හි වඩා උසස් අභිවෘද්ධියක් ලබා සිටිය ද කාර්මික නිෂ්පාදන පිටරට යැවීම අතින් අදත් එංගලන්තය තෙවන තැන ගනී. එසේ ම එරට මූලික වශයෙන් කාර්මික රටකි. කෘෂිකර්මයෙහි යෙදී සිටින එක් එක් අයකුට ආකර කර්මාන්තය ඇතුළු කර්මාන්ත ක්ෂේත්‍රයෙහි 13 දෙනා බැගින් අද නියුක්තව සිටිති.
කෘෂිකර්මය
ගොවිතැන් කටයුතු සඳහා එංගලන්ත භූමිය එක්සත් රාජධානියේ අනික් කොටස්වලට වඩා යෝග්‍යය. එහෙත් ආහාර අතින් ස්වයංපෝෂිත වන තරමට ඉංග්‍රීසීහු කෘෂිකර්මයෙහි යෙදී නොසිටිත්.
මෙකල එංගලන්තයේ ප්‍රධාන වගාව බාර්ලිය. මෙහි උපදින බාර්ලිවලින් අඩක් පමණ ම සත්වාහාර වශයෙන් උපයෝගී කරගනු ලැබේ. නැගෙනහිර හා දකුණුදිග වඩා වියළි කොටස්වල ප්‍රධාන වගාව වූ තිරිඟු දෙ වන තැන ගනී. කලින් ඕට්ස් ගොවිතැන කෙරෙහි දක්වන ලද උනන්දුව දෙවැනි ලෝක යුද්ධයෙන් පසු අඩු වී ගොස් ඇත. අර්තාපල්, සීනි බීට්, ට’නිප් ආදිය වෙනත් බෝගයෝයි.
1944 දී හා 1966 දී ඒ ඒ වගාවන්ට යටව තිබුණු භූමි ප්‍රමාණය පහත දැක්වේ:
වගාව 1944 1966
අක්කර ලක්ෂ අක්කර ලක්ෂ
තිරිඟු බාර්ලි 29.5 21.5
බාර්ලි 16.4 51.6
ඕට් 18.7 3.7
අර්තාපල් 9.1 4.7
සීනිබීට් 4.2 4.4
ට'නිප් 4.3 1.2
පලතුරු එළවළු හා මල් 7.2 6.2
සතුන් ඇතිකිරීම
එංගලන්තයේ කෘෂිකර්මාන්ත කටයුතුවල දී වැඩියක් ම අවධානය යොමු වී ඇත්තේ ආහාර නිෂ්පාදනය සඳහා සතුන් ඇති කිරීම කෙරෙහිය. මුළු කෘෂිකර්ම නිෂ්පාදන අතුරෙන් 66%ක් ම සත්වමාංසාදිය, කිරි හා කිරි නිපැයුම් ය. කිරිපට්ටි පාලනය එංගලන්තයේ සෑම කවුන්ටි ප්‍රදේශයක ම කෙරේ. එහෙත් චෙෂයර් ෂ්‍රොප්ෂයර්, ඩාබිෂයර්, ස්ටැෆඩ්ෂයර් හා ලැංකෂයර් යන වයඹදිග කවුන්ටිවල ද නිරිතදිග සමර්සෙට්, ඩෝසෙට්, කොන්වෝල් වැනි කවුන්ටිවල ද කිරි පට්ටි පාලනය වඩාත් දියුණුවට කෙරේ. එංගලන්තයේ ගොවිපළවල ඇති කෙරෙන ගවයන්ගෙන් 85%ක් පමණ ම කිරි සඳහා ඇති කරනු ලැබේ. එහෙත් වාර්ෂිකව මේ සතුන්ගෙන් 25%ක් පමණ මස් සඳහා මරනු ලැබේ. තෙල්, ලොම් හා මස් සඳහා බැටළුවන් ඇති කිරීම පෙනයින්, ඩෙවන් හා විල් දිස්ත්‍රික්කය වැනි ප්‍රදේශවල වඩ වඩා දියුණුවට කෙරේ. ඌරන් හා කුකුළන් ඇති කිරීම ද පෙරට වඩා දැන් බෙහෙවින් දියුණුය. 1944 දී එංගලන්තයේ ඇති කරන ලද ගව, බැටළු ඌරු හා කුකුළු සංඛ්‍යාව පිළිවෙළින් ලක්ෂ 62.6, 86.5, 13.5, 285.6 වුව ද 1966 දී ගවයන් ලක්ෂ 76.4ක් ද බැටළුවන් ලක්ෂ 142.4ක් ද, ඌරන් 55.1ක් ද, කුකුළන් 952.4 ද සිටි බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේඛනවලින් පෙනේ.
වන සම්පත
වර්තමාන බ්‍රිතාන්‍යය අතිශයින් ජනාකීර්ණ රටක් වන හෙයින් එහි වන ප්‍රදේශ ඉතා අඩුය. මුළු බ්‍රිතාන්‍යයෙන් මෙකල වනයෙන් වැසී ඇති ප්‍රදේශය 8%ක් පමණ වේ. මින් අඩක් පමණය එංගලන්තයේ පිහිටා ඇත්තේ. එංගලන්තයට අවශ්‍ය දැවවලින් වැඩි ප්‍රමාණය පිටින් ආනයනය කරනු ලැබේ.
ධීවර කර්මාන්තය
බ්‍රිතාන්‍යය අවට අයිරිෂ් මුහුද හා උතුරු මුහුද මසුන්ගෙන් ගහන වුව ද එංගලන්තයේ 14,000ක් පමණ වූ මස් මරන්නන්ගෙන් වැඩි කොටස මස් මැරීම සඳහා අයිස්ලන්තය, උතුරු නෝර්වේ, ලබ්‍රදෝරය හා නිව්ෆවුන්ඩ්ලන්තය වැනි ප්‍රදේශවලට ඔබ්බෙහි වූ මුහුදු කරා යති. එංගලන්තය අවට වෙරළේ ද මසුන් අල්ලනු ලැබේ. මුහුදු පතුලේ වසන වයිට්ෆිෂ් ද දිය මතු පිටට කිට්ටුව වසන හෙරිං ප්‍රධාන කොට ඇති මාළු ද ඉංග්‍රීසි ධීවරයන් අල්ලන ප්‍රධාන මත්ස්‍ය දෙවර්ගයයි.
ආකර කර්මාන්තය
එංගලන්තයේ සෑහෙන තරම් ප්‍රමාණයකින් ලැබෙන එක ම ඛනිජ වර්ගය ගල් අඟුරු ය. මෙකල එක්සත් රාජධානියේ ගල් අඟුරු නිෂ්පාදිතයෙන් 80%කට ද වැඩියෙන් එංගලන්තයෙන් ලැබේ. එංගලන්තයේ ප්‍රධාන ගල් අඟුරු බිම් නෝතම්බර්ලන්ඩ් සහ ඩරම් කොට්ඨාසය, යෝක්ෂයර් කොට්ඨාසය, ඩාබි, නොටිංහම් හා ලිස්ටර් ඇතුළත් නැගෙනහිර මිඩ්ලන්ඩ කොට්ඨාසය, උතුරු ස්ටැෆඩ්ෂයර් හා වොරික්ෂයර් ඇතුළත් බටහිර මිඩ්ලන්ඩ් කොට්ඨාසය, බ්‍රිස්ටල් හා සමර්සෙට් ඇතුළත් නිරිතදිග කොට්ඨාසය හා කෙන්ට් කොට්ඨාසය යන වශයෙන් බෙදේ. 1946 දී ගල්අඟුරු කර්මාන්තය ජාතිය සතු කරන ලදි. 1965 දී එංගලන්තය නිපදවූ ගල්අඟුරු ප්‍රමාණය ටොන් කෝටි 14.8ක් පමණ විය.
මුළු බ්‍රිතාන්‍යයේ යපස් නිෂ්පාදනයෙන් 99%ක් ම උපදින්නේ එංගලන්තයේයි. එය එංගලන්තයට අවශ්‍ය ප්‍රමාණයෙන් 40%ක් පමණ වේ. (එක්සත් රාජධානිය බ.).
බෙලෙක්, ඊයම්, තඹ, සින්ක් යන මේ ලෝහ ද කලක් එංගලන්තයේ හෝ වේල්සයේ විශාල වශයෙන් හාරා ගන්නා ලද නමුත් දැන් එම පතල් වැඩි කොට ම වසා දමා ඇත. වරක් රන් පවා හාරා ගන්නා ලදි. 1960 ගණන්වල කෝන්වෝල් හා ඩෙවන් කෝරළවල බෙලෙක් නිපැයුම ටොන් 1,200ක් පමණ විය. චෙෂයර්හි ලුණු ද, කෝන්වෝල්හි කෙඔලින් (පිඟන් මැටි) ද නිපදවනු ලැබේ. රටපුරා ම හුනුගල් හා උළු මැටි ලැබේ. මේ හැර ඇන්හයිඩ්‍රයිට්, බේරයිට්, ෆ්ලුඔස්පාර් (fluorspar) යන ලෝහ ඩාබිෂයර්හි නිපදවනු ලැබේ. ඉතා සුළු වශයෙන් ඩෝසෙට් හා ලැංකෂයර් කෝරළවල ඛනිජ තෙල් නිෂ්පාදනය කැරේ.
යකඩ හා වානේ නිෂ්පාදනය
එංගලන්තය එරටට අවශ්‍ය යකඩවලින් හා වානේවලින් 2/3ක් පමණ ම නිෂ්පාදනය කරයි. එහෙත් මේ පිණිස අවශ්‍ය යපස් වැඩි ප්‍රමාණයක් පිටරටින් ලබා ගන්නා අතර යකඩ හා වානේ නිෂ්පාදනයට පරණ යකඩ ද බෙහෙවින් උපයෝගී කරගනු ලැබේ. මෙම නිෂ්පාදන කර්මාන්තය සම්බන්ධයෙන් ඊසාන දිග එංගලන්තය, ලින්කන්ෂයර් හා කම්බර්ලන්ඩ් යන ප්‍රදේශ ප්‍රසිද්ධය.
ඉංජිනේරු කර්මාන්ත
නැව් තැනීම, අහස් යාත්‍රා හා සමුද්‍ර ඉංජිනේරු කර්මාන්ත, දුම්රිය යන්ත්‍ර තැනීම, මෝටර් රථ නිෂ්පාදනය, විදුලි භාණ්ඩ හා ඉලෙක්ට්‍රොනික් කර්මාන්තය ආදී වශයෙන් බෙදෙන මෙම කර්මාන්ත ක්ෂේත්‍රයෙහිය, වැඩි ම සංඛ්‍යාවක් සේවයෙහි නියුතුව සිටිනුයේ.
දුම්නැව් තැනීම අතින් පළමුවන ලෝක යුද්ධ සමය දක්වා මුල් තැන ගෙන සිටි බ්‍රිතාන්‍යය දැන් නැව් තැනීම අතින් සිව්වන තැනට වැටී සිටී (එක්සත් රාජධානිය බ.). බ්‍රිතාන්‍යයේ නැව් තනන තටාක අතුරෙන් ප්‍රධාන ඒවා තුනක් ම පිහිටියේ එංගලන්තයේය.
විශාල වූ සංකීර්ණ අහස්යානා තැනීම ප්‍රංසය වැනි රටවල් සමඟ එක්ව කෙරෙන අතර සාමාන්‍ය අහස් යානා තැනීම ග්‍රේටර් ලන්ඩන්, කවන්ට්‍රි, ඩාබි, බ්‍රිස්ටල් හා මැන්චෙස්ටර් වැනි ස්ථානවල කෙරේ. මෝටර් රථ නිෂ්පාදනය ගැන එංගලන්තය සුප්‍රසිද්ධය. එහෙත් දැනට බටහිර ජර්මනිය, ප්‍රංසය, ඉතාලිය හා ජපානය යන රටවලින් එල්ලවී ඇත්තේ බලවත් තරඟයකි. එංගලන්තයේ මෝටර් රථ නිෂ්පාදනය ප්‍රධාන කර්මාන්තශාලා 4කට සීමාව පවතී.
විශාල විදුලිබල නිෂ්පාදන යන්ත්‍ර මෙන් ම ගෙවලට අවශ්‍ය සුළු උපකරණ දක්වා වූ විදුලි භාණ්ඩ එංගලන්තයේ නිපදවනු ලැබේ. මේ ගැන මැන්චෙස්ටර්, ස්ටැෆඩ්, රග්බි හා ටයින්සයිඩ් ප්‍රසිද්ධය. දෙවන ලෝක යුද්ධයෙන් පසු රේඩියෝ, ටෙලිවිෂන් හා රේඩාර් උපකරණ වැනි ඉලෙක්ට්‍රොනික් උපකරණ තැනීම පුළුල් වෙමින් පවතී.
රෙදිපිළි කර්මාන්තය
බ්‍රිතාන්‍යයේ ප්‍රධාන රෙදිපිළී කර්මාන්ත මධ්‍යස්ථාන සියල්ල ම ඇත්තේ එංගලන්තයෙහිය. කලින් පැවති තත්වය බෙහෙවින්ම පිරිහී ඇතත් දැනට එංගලන්තයෙන් පිටට යවනු ලබන නිර්යාතවලින් 7%ක් රෙදිපිළී ය. එසේ ම එම කර්මාන්තයෙහි නියුක්ත කම්කරු පිරිස සංඛ්‍යාව අතින් දෙවැනි වන්නේ ඉංජිනේරු කර්මාන්තවල නියුක්ත සංඛ්‍යාවට පමණි. බ්‍රිතාන්‍ය රෙදිපිළී කර්මාන්තයෙහි ලා කපු නූල් හා ලොම් බෙහෙවින් ම පාවිච්චි කෙරෙන අතර රේයොන්, නයිලෝන් හා ටෙරලින් වැනි කෘත්‍රිම තන්තු ද ඉතා වැදගත් තැනක් ගනී.
රසායනික කර්මාන්ත
නිෂ්පාදන රාශියක් සදහා අවශ්‍ය අමු ද්‍රව්‍ය වන අම්ල හා ක්ෂාර ද ඒවායේ ලවණ ද එංගලන්තයේ වෛද්‍ය විද්‍යාවේ දියුණුව හේතුකොටගෙන පහළ වී ඇති බොහෝ වූ නව ඖෂධ යනාදිය ද නිපදවන රසායනික කර්මාන්ත වූකලි දෙවන ලෝක යුද්ධයෙන් පසු ඉතා දියුණුවට පත්ව ඇති කර්මාන්ත ගණයකි. පෙට්‍රෝ රසායන ද්‍රව්‍ය (petrochemicals) හා ප්ලාස්ටික් කර්මාන්තවල ශීඝ්‍ර වර්ධනය මේ දියුණුවට එක් හේතුවකි. දැනට රසායන ද්‍රව්‍ය බ්‍රිතාන්‍යයේ මුළු නිර්යාතවලින් 9%ක් පමණ වේ.
වීදුරු භාණ්ඩ, රබර් භාණ්ඩ, කඩදාසි, බුමුතුරුණු යනාදිය ද විශාල වශයෙන් එංගලන්තයේ නිෂ්පාදනය කැරේ.
වෙළඳාම හා මුදල්
එක්සත් රාජධානිය බලන්න.
ගමනාගමනය
එංගලන්තයේ අභ්‍යන්තර මහාමාර්ග හා දුම්රිය මාර්ග ප්‍රවාහණ පද්ධතිය ඉතා දියුණුය. ජලමාර්ග හා වෙරළාසන්න නැව් ගමනාගමන මාර්ග මගින් ද ප්‍රවාහණ කටයුතු කෙරේ. මෙම මාර්ගවලින් කැරෙන ප්‍රවාහණ සේවා, රාජ්‍ය සංස්ථා, නාගරික සභා, වෙළඳ සමාගම් ආදිය මගින් පවත්වාගෙන යනු ලැබේ. එංගලන්තයේ ඇති ප්‍රසිද්ධ මහා මාර්ගවල දිග සැ. 200,000ක් පමණ වේ. නව මාර්ග තැනීම රජයෙන් ලැබෙන ආධාර මුදල් මත බෙහෙවින් ම රඳා පැවතිය ද ඒවා නඩත්තු කිරීම පළාත් පාලන මණ්ඩලවල වගකීම වේ. එංගලන්තයේ දුම්රිය මාර්ග 19 වන සියවසේ පැවැති තත්වය යටතේ තනන ලද ඒවායි. 1950 සිට අලුත්වැඩියා කිරීම් හා නව තත්වවලට ගැළපෙන අයුරු අලුත් කිරීම් කරනු ලැබ ඇත. දැනට එහි දුම්රිය මාර්ගවල දිග හැ. 16,000ක් පමණ වේ. 1960 ගණන්වල දී ප්‍රධාන මාර්ගවලින් තෝරාගත් මාර්ග හා නගරාසන්න මාර්ග ද විදුලි බලයෙන් දිවෙන දුම්රිය සඳහා අලුත් කර ඇත. එංගලන්තයේ අභ්‍යන්තර ගුවන් සේවයේ දියුණුවට බාධාවක් ව ඇත්තේ රට කුඩා වීම නිසා ගමන් දුර කෙටි වීමය. හීත්රෝ හා ගැටික් ලන්ඩනය හා සම්බන්ධ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල්ය. සවුත්එන්ඩ් වැනි නාගරික පාලනය යටතේ ඇති ගුවන් තොටුපළවල් ද සවුතැම්ප්ටන් වැනි වෙළඳ සමාගම් යටතේ ඇති ඒවා ද එංගලන්තයේ ඇත.
සුභසාධනය
එංගලන්තයේ වර්තමාන සුභසාධන කටයුතුවල පදනම හැටියට සැලකෙනුයේ 1908 වෘද්ධ විශ්‍රාම වැටුප් පනත හා 1911 ජාතික රක්ෂණ පනත ද වේ. 1918 දී මාතෘ හා දාරක සුභසාධක පනත ද එක්විය. දෙවන ලෝක යුද්ධ සමයේ දී සමාජ සේවා කටයුතු ප්‍රතිසංවිධානය කිරීම සැලැසුම් කරන ලද අතර යුද්ධය කෙළවර වූ පසු පනත් රාශියක් මගින් සමාජසේවා හා සුභසාධන කටයුතුවල සීමාව පුළුල් කරන ලදි. සුප්‍රකට බෙවරිජ් වාර්තාව පදනම් කොටගත් 1945 පවුල් දීමනා පනත, 1946 ජාතික රක්ෂණ පනත හා 1946 ජාතික රක්ෂණ (කාර්මික අනතුරු) පනත මින් සමහරකි. (එක්සත් රාජධානිය ද බ.).
ජාතික සෞඛ්‍ය සේවය
එක්සත් රාජධානියේ සෑම (නිත්‍ය) පුරවැසියකුට ම ජාතික සෞඛ්‍ය සේවය මගින් පූර්ණ වෛද්‍ය පහසුකම් සලසනු ලැබේ. සාමාන්‍යයෙන් ඇස් කණ්ණාඩි, බොරු දත් වැනි දේට හා බේත් සීට්ටුවලට අයකරනු ලබන නාමමාත්‍ර ගාස්තු හැරුණු විට වෛද්‍ය සේවය සම්පුර්ණයෙන් ම නොමිලේය. ජනයාට ජාතික සෞඛ්‍ය සේවයෙහි නියුක්ත වෛද්‍යවරුන් අතුරෙන් තම පවුල අරභයා වෛද්‍යවරුන් තෝරා ගැනීමේ නිදහස තිබේ.
1911 ජාතික රක්ෂණ පනතින් උපකෘත වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් සලසන ලද නමුත් 1946 ජාතික සෞඛ්‍ය පනත ඇතිවන තුරු හාත්පසින් ම සමායෝජිත වෛද්‍ය හා රෝහල් පද්ධතියක් බිහිනොවීය. අනතුරුව 1949, 51, 52 හා 57-61 යන කාලයන්හි ජාතික සෞඛ්‍යය පිළිබඳ නව පනත් හා සංශෝධන මගින් සෞඛ්‍ය සේවය වත්මන් තත්වයට ගෙනැවිත් ඇත. වර්තමාන සෞඛ්‍ය සේවය රෝහල් හා විශේෂඥ සේවා, පෞද්ගලික වෘත්තීය සේවා, පළාත් පාලනාධිකාර සේවා යනුවෙන් වෙන් වූ කට්ටි තුනක් යටතේ සැලසේ. බෝවෙන රෝග, නිදන්ගත රෝග, මානසික රෝග යනාදී සැම රෝගයකට ම ප්‍රතිකාර කිරීම ලෙඩ සුව වී ක්‍රමයෙන් ප්‍රකෘති තත්වයට පැමිණෙන්නවුන් බලාකරගැනීම හා සූතිකා සේවය ඇතුළු වෙදහෙදකම් සියල්ලක් රෝහල හා විශේෂඥ සේවා යටතට ගැනේ. එංගලන්තය ආරෝග්‍යශාලා ප්‍රදේශ 14කට බෙදා තිබේ. මේ එක එකක් ප්‍රාදේශිය රෝහල් මණ්ඩලයක් මගින් පාලනය කෙරේ. වෛද්‍යවරුන්ට පෞද්ගලිකව රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඉඩ පහසුව ඇත. පළාත් පාලනාධිකාර සේවාවන්ට මාතෘ හා දාරකාභිවෘද්ධි කටයුතු, වින්නඹු සේවය, ගෘහ හෙදකම, ප්‍රාදේශීය සෞඛ්‍ය මධ්‍යස්ථාන, ගිලන් රථ සේවය, එන්නත් කිරීම ආදි කාර්යය ඇතුළත්ය.
අධ්‍යාපනය
එංගලන්තයේ හා වේල්සයේ වයස 5 සිට 15 දක්වා පාසැල් යා යුතු අනිවාර්ය වයස් සීමාවයි. එංගලන්තයේ පොදු පාඨශාලා මහා ආණ්ඩුවට වගකිව යුතු පළාත් ආණ්ඩු ආයතන මගින් පරිපාලනය කෙරේ. ඒවා ප්‍රාථමික, ද්විතීයික හා 'වැඩිදුර' අධ්‍යාපනය සඳහා වර්ග කරනු ලැබ ඇත. ප්‍රාථමික අධ්‍යාපනය ළදරු පාසැල් වයස 5 සිට 7 දක්වා ළදරුවන්ටත් කනිටු පාසැල් 7 සිට 11 දක්වා ළමයින්ටත් වෙන් වේ. ඇතැම් විට මේ පාසැල් දෙවර්ගය එක්තැන් වූ පාසැල් ද වේ. ද්විතීයික පාසැල් සිව් වර්ගයකි. 'ග්රැමර් පාසැල්', කාර්මික පාසැල්, ද්විතීයික නූතන පාසැල්, පූර්ණ (comprehensive) පාසැල් යනුවෙනි. විශේෂයෙන් නේවාසික ශිෂ්‍යයන්ගෙන් යුත් 'පබ්ලික් ස්කූල්ස්' (public schools) නමින් දන්නා සුප්‍රකට උසස් පාසැල් වර්ගය ඇතුළු ස්වාධීන පාඨශාලා විශාල සංඛ්‍යාවක් ද ඇත. පූර්ණ කාල හෝ අර්ධකාල වැඩිදුර ඉගෙනීම සඳහා අනේක විධ අවස්ථා සලසා ඇත. කාර්මික හෝ වෘත්තීය අධ්‍යාපනය පළාත් පාලන අධ්‍යාපන අධිකාරයන් මගින් පැවැත්වෙන කාර්මික වණික් හා කලා විද්‍යාලයන්ගෙන් සැලසෙන අතර විශේෂ කර්මාන්ත පිළිබඳ විශේෂඥ කටයුතු සඳහා උසස් පාඩම් මාලා සපයන ජාතික විද්‍යාල දහයක් ද ඇත. 12 වැනි හා 13 වැනි සියවස්හි දී පිහිටුවන ලද ඔක්ස්ෆඩ් හා කේම්බ්‍රිජ් ඇතුළු විශ්වවිද්‍යාල ගණන (1968) 33කි. එංගලන්තයේ විශ්ව විද්‍යාල ස්වාධීනය, ස්වයංපාලකය. එහෙත් ඒවායේ ආදායමින් විශාල ප්‍රමාණයක් ලැබෙන්නේ මහජන මුදලිනි. මේ නිසා විශ්වවිද්‍යාල ආණ්ඩුවේ මූල්‍ය සමීක්ෂණයට භාජන කිරීමේ අදහසක් ද පවතී. (එක්සත් රාජධානිය ද බ.).
ඉතිහාසය
ඈත අතීතයේ දී, බ්‍රිතාන්‍ය දූපත්වලට පිටතින් පැමිණ විසූ ඇල්බියන් නම් මනුෂ්‍ය වර්ගයා එම දූපත්වල වනාන්තර ප්‍රදේශවලට පලවා හැර ක්‍රි.පූ. 500 පමණේ දී ආර්ය වර්ගයට අයත් කෙල්ට් නම් වර්ගයා එහි පදිංචි වූහ. මොවුන් කථා කළ භාෂාව කෙල්ටික් (බ.) නම් විය. අද ද කෙල්ටික් කථා කරන විසිලක්ෂයකට අධික සංඛ්‍යාවක් වෙල්ෂ්, අයිරිෂ් හා ස්කොච් ජනයා අතර වෙත්. කෙල්ට්වරු ගොවිතැනින් හා සතුන් ඇති කිරීමෙන් ජීවත් වූහ. මොවුහු කම්බිලි වැනි රෙදි පොරවා සිටි හෙයින් බ්‍රිටන් නමින් හැඳින්වෙන්නට වූහ. බ්‍රිටන්වරු ගෝත්‍ර කීපයකට බෙදී විසූහ. එක් ගෝත්‍රයකට රජකු බැගින් සිටි බව පෙනෙයි. මොවුනතර වූ දැන උගත් පන්තිය ඩ්රුයිඩ් නමින් ප්‍රකට වූහ; ආගමික පූජකයන් හැටියට ගෞරවයට ද පාත්‍ර වූහ.
කාර්තේජ්හි පිනීසියන්වරුන් බලසම්පන්නව සිටි සමයේ දී ඔවුහු කෝන්වෝල්හි වූ බෙලෙක් ලබාගැනීම පිණිස එංගලන්තයට පැමිණියහ. මේ කාලයේ එංගලන්තයත් බෝල්ටික් ප්‍රදේශය, යුරෝපා මහාද්වීපික රටවල් හා මධ්‍යධරණී ප්‍රදේශත් අතර ද වෙළහෙළඳාම පැවති බවට ද සාක්ෂි ඇත. ග්‍රීක් කාසි අනුකරණයෙන් බ්‍රිටන්වරුන් කාසි අච්චු ගැසූ බව ද පෙනේ.
රෝමවරු
යුරෝපයේ ගෝල් ප්‍රදේශයේ කෙල්ටික්වරුන් යටත් කළ ජූලියස් සීසර් ක්‍රි.පූ. 55 දී ද නැවත ක්‍රි.පූ. 54 දී ද එංගලන්තය ආක්‍රමණය කෙළේය. කැසිවෙලාම්නෝස් නම් බ්‍රිටන් රජු, ලන්ඩන්, වෙරුලම් ආදි කඳවුරු ප්‍රදේශ අල්ලා ගෙන සිටි සීසර් සමග සාමයට පැමිණියෙන් සීසර් ආපසු ගෝල් ප්‍රදේශය බලා පිටත්ව ගියේය. ඕගස්ටස් හා කැලිගුලා යන රෝම අධිරාජයන්ගෙන් ද බ්‍රිටන්වරුන්ගේ රටට තර්ජන පැමිණියේය. ඉක්බිති ක්‍රි.ව. 43 දී ක්ලෝඩියස් රෝම අධිරාජයාගේ ඕලුස් ප්ලෝටියස් (Aulus Plautius) හා ඔස්ටෝරියස් ස්කැපූලා (Ostorius Scapula) යන සේනාපතීන් විසින් දකුණු එංගලන්තයේ කොටසින් කොටස අල්ලා ගන්නා ලදි. රෝමවරුන් යටත් කරගත් ප්‍රදේශ රෝම යුද්ධ සේනාපතීන් යටතේ තබන ලදි. ක්‍රෑර රෝම පාලනය නිසා රණකාමි බ්‍රිටන්වරු වරින් වර කැරලි ගැසූහ. බොයඩීසියා (Boadicea) හෙවත් බූඩිකා (Boudicca) නම් වූ එසේනි (Eceni) ප්‍රදේශයේ බ්‍රිටන් රැජින ලන්ඩන් වෙරුලම් ප්‍රදේශ වනසා දකුණේ රෝම පාලකයා රටින් පලවා හැරියාය. එහෙත් බටහිර සේනාංකයක් භාරව සිටි ස්විටෝනියස් පෝලිනස් (Suetonius Paullines) විසින් බ්‍රිටන්වරුන් යටත් කොට නැවත රෝම පාලනය තහවුරු කරන ලදි. ඉක්බිති ඇග්‍රිකෝලා නම් බලසම්පන්න රෝම ආණ්ඩුකාරයා උතුරු ප්‍රදේශය (ස්කොට්ලන්තයේ කොටසක්) ද යටත් කොට එංගලන්තයේ රෝම ශිෂ්ටාචාරය පැතිරවීමේ යෙදුණේය. ක්‍රි.ව. 121 දී උතුරේ කැලිඩෝනියන් පහරදීම් නැවැත්වීම් අරභයා හේඩ්‍රියන් රෝම අධිරාජයා ගොඩනැඟූ ප්‍රාකාරය වෙනුවට 140 දී ඇන්ටෝනියස් පියුස් විසින් වඩා උතුරෙන් ප්‍රාකාරයක් ඉදිකරන ලදි. 209 දී සෙප්ටිමියුස් සෙවරාස් අධිරාජයා උතුරේ කැලිඩෝනියාවට පහර දී ආපසු පැමිණ රෝම ප්‍රදේශයේ හේඩ්‍රියන් බැම්ම යළිත් බැඳවිය. එහෙත් කැලිඩෝනියාවේ පික්ට්වරු ද ස්කොට්වරුන් හා අයර්ලන්තයේ ගැලික්වරු ද නිතර ම රෝමවරුන්ට පහර දෙන්නට වූහ. 368 දී තියඩෝසියස් රජුට ආක්‍රමණිකයන් පලවා හැරිය හැකි වුව ද, රෝම අධිරාජ්‍යයේ බෙදීමත් බාබේරියන් ආක්‍රමණත් ගෝල් ප්‍රදේශයේ ඇති වූ වියවුල් හා එංගලන්තයේ රෝම ආණ්ඩුකාරවරුන් අතර වූ භේදත් නොකඩවා ගෙන ගිය පික්ට්, අයිරිෂ් ආදීන්ගේ ප්‍රහාරත් ඒ අතර ම උතුරු මුහුදුබඩ සැක්සන් ප්‍රහාරත් නිසා එංගලන්තයේ රෝම පාලනය බිඳ වැටිණ. ක්‍රි.ව. 410 වන විට රෝම සම්බන්ධය මුළුමනින් ම නැති වී ගොස් තිබිණි.
රෝම පාලනය 5 වන සියවස මුල දී ම අවසාන වූ නමුත් ඔවුන්ගේ වැදගත් සංස්කෘතික අංග කීපයක් ම එරට ශේෂ විය. නගර නිර්මාණය, මාර්ග නිර්මාණය හා ගෘහනිර්මාණය අතින් එංගලන්තය රෝම ක්‍රම අනුගමනය කළේය. විශේෂයෙන් දකුණු එංගලන්තයේ රෝම බලපෑම අධික විය. උසස් පන්ති අතර ලතින් භාෂාව පැතිරී ගියේය. මුලින් ම ක්‍රිස්තියානි ධර්මය එංගලන්තයට ගෙනාවෝ ද රෝමවරුය. රෝම ක්‍රමයට ජීවිතය හැඩගසා ගත් බ්‍රිටන්වරු ක්‍රිස්තු භක්තිය වැලඳ ගත්හ.
ඇංග්ලෝ-සැක්සන් ආධිපත්‍යය
අවුරුදු ගණනාවක් තිස්සේ රෝමවරුන්ට නිතර නිතර පහරදෙමින් සිටි උතුරු මුහුදු තෙර සැක්සන් හා අනිකුත් ට්‍යුටන් ගෝත්‍රිකයෝ ක්‍රි.ව. 450 පමණේ සිට නැගෙනහිර හා බටහිර වෙරළබඩ කුඩා ජනපද පිහිටුවූහ. ඇංග්ලෝ-සැක්සන්වරුන්ගෙන් ඉක්බිති ජූට් වර්ගයා ද එංගලන්තයට පැමිණ කෙල්ට් හෙවත් බ්‍රිටන්වරුන් උතුරට හා බටහිරට පලවා හැරියහ. ක්‍රි.ව. 520 වන විට ජූට්වරු කෙන්ට්, වයිට් හා හැන්ට්ස් වෙරළෙහි ද සැක්සන්වරු සසෙක්ස්, වෙසෙක්ස්, එසෙක්ස්, මිඩ්ල්සෙක්ස් යන පළාත්වල ද, ඇංගල් හෙවත් ඉංග්ලිෂ් (ඉංග්‍රීසි)වරු නැගෙනහිර හා මධ්‍ය එංගලන්තය, ලින්ඩ්සේ, යෝක් හා අවට, බැම්බරෝ ආදි ප්‍රදේශවල ද කුඩා රාජධානි පිහිටුවූහ. ඉක්බිති කැම්බ්‍රියාහි ආතර් නම් වූ බ්‍රිටන්වරුන්ගේ ප්‍රධාන රජු සේනා සංවිධානය කොට ඉදිරිපත් වීම නිසා ඇංග්ලෝ-සැක්සන් ආක්‍රමණික ක්‍රියාවලට හානි පැමිණියේය. එහෙත් ඔහුගේ මරණින් පසු ඇංග්ලෝ-සැක්සන් ආක්‍රමණයේ දෙවන අවස්ථාව හෙවත් එහි වැඩිදුර ව්‍යාප්තිය ඇරඹිණ. 557 දී සැක්සන්වරු වේල්ස් මායිමේ වූ සෙවර්න් (Severn) නිම්නය අත්පත් කරගත්හ. 613 දී වෙස්ටර්හි ඇංගල්වරුන්ගේ ජයග්‍රහණය නිසා අයිරිෂ් මුහුදට මඟ පෑදිණ. මෙම සැක්සන් ඇංගල් ජයග්‍රහණ නිසා වේල්සය, ස්කොට්ලන්තය හා කෝන්වෝල් යන පෙදෙස්වල විසූ කෙල්ටික්වරුන්ට කවදාවත් එක්වීමට ඉඩක් නොලැබිණ. ඇංග්ලෝ-සැක්සන්වරු (බ.) සිය භාෂාව හා සංස්කෘතිය රැකගෙන එරටට එංගලන්තය යන නම දුන්හ. 7 වන සියවස මුල දී දකුණු, නැගෙනහිර හා මධ්‍ය බ්‍රිතාන්‍යය ඇංග්ලෝ-සැක්සන්වරුන් හා ජූට්වරුන් අතර බෙදී පැවතියේය. මොවුන්ට අයත්ව පැවති ප්‍රදේශ සප්ත රාජ්‍ය නමින් හැඳින්විණ. නොතම්බ්‍රියා, මර්සියා, ඇංග්ලියා, එසෙක්ස්, සසෙක්ස්, වෙසෙක්ස් හා කෙන්ට් යථෝක්ත සප්ත රාජ්‍යයෝයි. ඉන් නොතම්බ්‍රියා, මර්සියා හා වෙසෙක්ස් වඩා විශාල ද වඩා බලසම්පන්න ද විය.
ඇංග්ලෝ-සැක්සන් හා ජූට් යන ජර්මනික් ගෝත්‍රිකයෝ ක්‍රිස්තු භක්තිකයෝ නොවූහ. රෝමවරුන්ගේ කාලයේ දී ඉහත දැක් වූ ලෙස ක්‍රිස්තු භක්තිය බ්‍රිතාන්‍යයට පැමිණි නමුත් ඇංග්ලෝ-සැක්සන් ආක්‍රමණයෙන් පසු එරට ක්‍රිස්තියානි ආගම හා යුරෝපීය (රෝම) සභාව අතර සම්බන්ධය නැති වී ගොස් තිබුණෙන් I වැනි මහා ග්රැගරි පාප්තුමා 597 දී අගොස්තීනු පූජකවරයා ප්‍රමුඛ ක්‍රිස්තියානි මිෂනාරීන් කීපදෙනකු එංගලන්තයට යැවීය. කෙන්ට් ප්‍රදේශය එහි එතල්බ'ට් රජ ද එසෙක්ස් පළාත ද ඔවුන්ගෙන් මුල් අවස්ථාවේ දී ම ක්‍රිස්තු ධර්මය පිළිගත්හ. ඉක්බිති ක්‍රිස්තු භක්තිය වැලඳ ගත් නෝතම්බ්‍රියාවේ රජුගේ වුවමනාවෙන් අයිරිෂ් හා ස්කොට් මිෂනාරීන් ද ධර්ම ප්‍රචාරයෙහි යෙදීම නිසා වැඩි කල් යන්නට මත්තෙන් මුළු එංගලන්තය ම වාගේ ක්‍රිස්තියානි රටක් විය. ඇංග්ලෝ-සැක්සන්වරුන් ක්‍රිස්තියානිය පිළිගැනීම ඔවුන් එක්සත් කිරීමේ ප්‍රධාන සාධකයක් විය.
බ්‍රෙට්රෝල්ඩා පදවිය
6, 7, 8 හා 9 වැනි සියවස්වල සිට හම්බර් නදියෙන් දකුණෙහි වූ රජවරුන් අතර පොදු අධිපති රජකුගේ ආධිපත්‍යය පිළිගැනීමේ සිරිතක් විය. 'බ්‍රෙට්වෝල්ඩා' නමින් දන්නා ලද මේ නායක පදවිය පරම්පරාගතව පැවරෙන්නක් නොව අභීත රණශූර භාවය වහල් කොට ලබන ශ්‍රේෂ්ඨ ජයග්‍රහණ මගින් දිනාගත යුත්තක් විය. බ්‍රෙට්වෝල්ඩා පදවිය උසුලන්නකුට අනික් රජුන්ගෙන් කප්පම් පඬුරු ලැබුණාක් මෙන් යුද්ධවල දී සේනා හා යුද්ධෝපකරණ ආදියෙන් ද ආධාර ලැබිණ.
පළමුවරට මුළු එංගලන්තයේ ම ආධිපත්‍යය දැරූ බ්‍රෙට්වෝල්ඩා පදවිය දැරුවේ ස්කොට් හා කම්බ්‍රියන් යන දෙජාතීන් පරදවා (613 දී) චෙස්ටර්හි ජයග්‍රහණය ලැබූ නෝතම්බ්‍රියාවේ ඇතල්ෆ්‍රිත් රජය නැගෙනහිර ඇංගල්වරුන්ගේ රජ වූ රෙඩ්වෝල්ඩ්ට 616 පමණේ දී දකුණු එංගලන්ත රාජ්‍යවල නායකත්වය හිමි විය. ඉන් අනතුරුව නොතම්බ්‍රියාවේ ඇතල්ෆ්‍රිත්ගෙන් පසු රජ වූ එඩ්වින්ට බ්‍රෙට්වෝල්ඩා හැටියට පෙනී සිටිය හැකි විය. එහෙත් 632 දී මර්ෂියාවේ පෙන්ඩා නම් නායකයෙකු අතින් ඔහු ද, 641 දී ඔහුගෙන් පසු නොතම්බ්‍රියා රජකම ලැබූ ඔසවෝල්ඩ් ද මැරුම් කෑහ. ඉක්බිති පෙන්ඩා රජු මරා නෝතම්බ්‍රියාවේ රජ වූ ඔස්ව්‍යු කලක් බ්‍රෙට්වෝල්ඩා පදවිය ද ඉසුලුවේය. ක්‍රිස්තුභක්තික ඔස්ව්‍යු, පෙන්ඩාගේ පුත්‍රයා ඇතුළු මුළු මර්ෂියාව ක්‍රිස්තු ලබ්ධියට හැරවීමෙහි සමර්ථ විය. 684 දී නෝතම්බ්‍රියාවේ ආධිපත්‍යය නැති වී ගියේය.
8 වන සියවසේ දී මර්ෂියාව ඇංග්ලෝසැක්සන් එංගලන්තයේ ආධිපත්‍යය ඉසිලීය. 757-796 කාලයේ රජකම දැරූ ඔෆා අවසාන බලවත් රජය. එතෙක් එංගලන්තයේ විසූ ඉතා ම බලසම්පන්න රජු හැටියට ද ඔහු සලකනු ලැබේ. කෙන්ට්, සසෙක්ස්, එසෙක්ස් හා නැගෙනහිර ඇංග්ලියාව මර්ෂියාවේ කොටස් හැටියට සලකා පාලනය කළ හෙතෙම මහා බුද්ධිමතෙක් ද නීති සම්පාදකයෙක් ද විය. නෝතම්බ්‍රියාව හා වෙසෙක්ස්ඔෆාට යටත් නොවූ නමුත් වෙසෙක්ස්හි අභ්‍යන්තර කෝලාහල නිසා ඔහුගේ ආධිපත්‍යය එරට පැතිර වීමට පිළිවන් විය. 'ඉංග්‍රීසීන්ගේ මුළු රටේ ම රජ' හෙවත් 'ඉංග්‍රීසි රජ' යන පදවි නාමය ගත් පළමුවැන්නා ඔෆාය. ඉන්පසු ජෝන් රජු දක්වා හැම රජෙක් ම මේ නාමය දැරීය.
වෙසෙක්ස් ආධිපත්‍යය
ඔෆාගෙන් පසු මර්ෂියාවේ ආධිපත්‍යය බිඳ වැටුණේය. එකල රටින් පලාගොස් සිටි එල්බ’ට් නම් බටහිර සැක්සන් කුමරා 802 දී පෙරළා පැමිණ වෙසෙක්ස්හි රජ විය. ක්‍රි.ව. 825 දී එවක මර්ෂියන් රජ වූ බෝන්වුල්ෆ් පරදවා කෙන්ට්, සසෙක්ස්, එසෙක්ස් හා නැගෙනහිර එංගල් ප්‍රදේශය ද යටත් කරගත් හෙතෙම 829 දී නොතම්බ්‍රියාව ද යටත් කොටගෙන මුළු එංගලන්තයේ ම රජ බවට පත් විය. 8 වැනි බ්‍රෙට්වෝල්ඩා හැටියට සලකනු ලබන ඔහු එම නායක රාජ පදවිය දැරූ පළමුවන වෙසෙක්ස් රජ ද විය. මර්ෂියාව එල්බ’ට්ට යටත්ව පැවැත්තේ සුළු කාලයකි. විග්ලප් නම් රජු විසින් එපෙදෙස මුදවා ගනු ලැබීය. එහෙත් වේල්ස් හා ෆ්රෑන්ක් රජුන්ගේ ද ක්‍රිස්තියානි සභාවේ ද ආධාරය ලැබුණු වෙසෙක්ස්වරුන්ට පමණක් ඩේන් ආක්‍රමණයෙන් තම ප්‍රදේශ මුදාගත හැකි විය. මාව්ලන්තය හෙවත් මර්ෂියාව ද, නොතම්බර්ලන්තය හෙවත් නොතම්බ්‍රියාව ද අනිකුත් කුඩා රාජ්‍ය රාශියක් ද ඩේන් ආක්‍රමණිකයන් අතට පත්විය.
ඩෙන්වරු
නෝර්වේ, ස්වීඩන් හා ඩෙන්මාක් යන රටවල පදිංචිව රාජ්‍ය පිහිටුවා විසූ ට්‍යුටොනික් ගෝත්‍රයට අයත් මොවුහු සමුද්‍රතරණයෙහි යෙදී දක්ෂ නාවිකයන් බවට පත්ව සිටියහ. ඉක්බිති 8 වන සියවස අවසන සිට ඔවුහු ජර්මනියටත් ගෝල් ප්‍රදේශයටත් බ්‍රිතාන්‍ය දූපත්වලටත් පහර දෙමින් කොල්ල කෑමෙහි යෙදුණාහ. බ්‍රිතාන්‍ය දූපත්වලට නවවන සියවසේ සිට වරින් වර පහර දෙන්නට වූ ඩේන් හා ස්කැන්ඩිනේවියන් මුහුදු කොල්ලකාරයෝ කල් යත් ම සංවිධානව ප්‍රදේශ අල්ලා ගැනීම අරභයා එරට ආක්‍රමණය කළහ. 868 දී වෙසෙක්ස්හි එතල්රෙඩ් රජ එංගලන්තයේ කඳවුරු බැඳගෙන සටන් ගෙනගිය ඩේන්වරුන් හා යුද වැදුණේය. 871 දී ඔහුගේ අභාවයෙන් පසු ඔහු සහෝදර ඇල්ෆ්‍රඩ් (871-899) (මහා ඇල්‍ෆ්‍රඩ් බ.) ඩේන්වරුන් පරදවා ඔවුන් සමග සාම ගිවිසුමක් ඇති කර ගත්තේය. ලන්ඩන්හි සිට චෙස්ටර් දක්වා බෙඩ්ප’ඩ් හරහා දිවෙන ඉම රේඛාවෙන් උතුර හා නැගෙනහිර ඩේන්වරුන්ගේ ප්‍රදේශය හැටියට වෙන් කළ ඇල්ෆ්‍රඩ් ඉන් දකුණු හා බටහිර හා කොටසෙහි අසහාය ස්වාමියා බවට පත් විය. අනාගත එක්සත් එංගලන්තය පිළිබඳ අත්තිවාරම ලූ තැනැත්තා හැටියට සැලකෙන ඇල්ෆ්‍රඩ් ඩේන්වරුන්ගේ එංගලන්තයට ගොඩබැසීම වැළැක්වීම පිණිස නැව් හමුදාවක් ගොඩ නැඟූයේ පළාත්බද රජකු හැටියට නොව ජාතික රජු හැටියටය. පසු කල 'වෙල්ෂ්' ජාතිකයන් ද ඔහුගේ ආධිපත්‍යය පිළිගැනීම නිසා ඔහු හම්බර් නදියෙන් දකුණෙහි වූ ඩේන්, ඉංග්‍රීසි හා වෙල්ෂ් ජාතිකයන් විසූ මුළු බ්‍රිතාන්‍ය ප්‍රදේශයෙහි රාජයා විය. ඉක්බිති බ්‍රිතාන්‍ය ප්‍රදේශයෙහි ඇල්ෆ්‍රඩ් රජ හැස්ටන් නම් නායකයා යටතේ 892 දී එංගලන්තයට පහරදිම සඳහා ගෝල් හා ජර්මන් ප්‍රදේශවලින් පැමිණි ඩේන්වරුන් පලවා හැරියේය.
අතිශයින් ජනප්‍රිය වූ ශ්‍රේෂ්ඨ රජකු හැටියට සලකනු ලබන ඇල්ෆ්‍රඩ් රජ අධ්‍යාපනය, සාහිත්‍යය හා නීතිය සංවර්ධනය කිරීම පිණිස මහත් සේවයක් කෙළේය. ඔහු නොයෙක් ග්‍රන්ථ පරිවර්තනය කැරැවීය. නීති පද්ධතියක් ද සම්පාදනය කෙළේය. ආගම දියුණුවට ද සිත කය මෙහෙයවීය. එයින් හෙතෙම මහා ඇල්ෆ්‍රඩ් යන නමින් ප්‍රසිද්ධියට පත් විය.
ඇල්ෆ්‍රඩ්ගෙන් පසු ඔහු පුත් එඩ්වඩ් (899-924) ඩේන්වරුන්ට විරුද්ධව සටන් ඇරඹීය. ඔවුන් අතර පැවැති අසමගියෙන් ප්‍රයෝජන ගත් එඩ්වඩ් 917 දී නැගෙනහිර ඇංග්ලියාව අල්ලා ගත් අතර ඔහුගේ නැඟණිය වූ මර්ෂියාවේ ඇතල්‍ෆ්ලීඩ් විසින් ලෙස්ටර් අයත් කරගන්නා ලදී. ඇගේ මරණින් පසු මර්ෂියාව ද එඩ්වඩ් සතු විය. ඉක්බිති නොටිංහැම්හි ඩේන්වරු ද ඔහුට යටත් වූහ. මේ කාලයේ දී අයර්ලන්තයේ විසූ නෝවීජියානුහු (නෝත්; නෝස්) වයඹදිග එංගලන්තය ආක්‍රමණය කළහ. ක්‍රි.ව. 919 දී නෝතම්බ්‍රියාවේ ඉංග්‍රීසි ඩේන් හා නෝත් වර්ගයා ද ස්කොට්ලන්තයේ රජවරුන් හා ස්ට්‍රැත්ක්ලයිඩ්හි බ්‍රිටන්වරු ද එඩ්වඩ්ගේ ආධිපත්‍යය පිළිගත්හ. 'මුළු බ්‍රිතාන්‍යයෙහි අධිරාජ පදවිය' දැරූ හෙතෙම 925 දී කලුරිය කෙළේය.
ඔහු පුත් ඇතල්ස්ටන් ද (925-939) නොතම්බ්‍රියාවේ ආධිපත්‍යය රැකගති. හේ යෝක්හි නෝත් රාජ පෙළපත පලවා හැරියේය. ස්කොට්ලන්තය ආක්‍රමණය කළ ඇතල්ස්ටන්ට විරුද්ධව, පලිගැනීම් වශයෙන් ස්කොට් රජු ද, අයර්ලන්තයේ නෝත්වරුන් ද එංගලන්තයට ඇතුළු වූ නමුත් ඇතල්ස්ටන් සිය සොහොයුරු එඩ්මන් ද සමග එක්ව ආක්‍රමණිකයන් සම්පූර්ණයෙන් පැරදවීය. නිතර වෙස්ට් සැක්සන් පාලකයන්ට විරද්ධව ආ නෝතම්බ්‍රියාවේ ඩේන්වරු මේ යුද්ධයේ දී නෝත්වරුන් හා එක් නොවූහ. ඇතල්ස්ටන්ගේ කාලයේ දී පාලනය සම්බන්ධයෙන් නිසි ලෙස සංස්කරණය වූ ප්‍රඥප්ති මාලාවක් ප්‍රතිපාදනය කරන ලදී. ඉංග්‍රීසි සිවිල් මෙහෙයේ මූලාරම්භය මොහුගේ කාලයේ දී ඇති වී යයි සලකනු ලැබේ.
එඩ්මන් (939-946) රජුගේ කාලයේ දී නෝත්වරුන් නැවත ආක්‍රමණය කොට යෝක්හි බලයට පත් වූ නමුත් නෝත් රජු වූ ඇන්ලාෆ්ගේ මරණයෙන් පසු එඩ්මන්ට මධ්‍ය ප්‍රදේශයෙහි සිය බලය නැවත ඇති කර ගත හැකි විය. ඉන් පසු හෙතෙම හම්බර් නදියෙන් දකුණු දෙස සම්පූර්ණ ඩේන් ප්‍රදේශය ම තමාට නතු කර ගත්තේය. යෝක් හා ස්ට්‍රැත්ක්ලයිඩ් පෙදෙස් ද යටත් කරගත් හෙතෙම ස්ට්‍රැත්ක්ලයිඩ් ස්කොට් රජුට පැවරීය.
949 දී එඩ්මන්ගේ ඇවෑමෙන් රජ වූ එඩ්රඩ්, නෝවිජියන්වරුන් නෝතම්බ්‍රියාවෙන් එළවා එපෙදෙස අයත් කොටගෙන බැම්බරෝ හා යෝක් තමන් යටතේ පාලනය කරනු පිණිස අ’ල් (සිටු)වරුන් දෙදෙනකු තැබීය.
ඉක්බිති 959 දී රජකමට පත් එඩ්ගාර්ගේ කාලයේ දී සාමය පැතිරිණ. 973 දී ඔහු බාත්හි දී ඔටුනු පැලඳි පසු බ්‍රිතාන්‍යයේ වේල්ස්, ස්කොට් හා ඩේන් රජවරු 8 දෙනෙක් ඔහුගේ නායකත්වය පිළිගත්හ.
එංගලන්තයේ ඩේන් ආධිපත්‍යය
975 දී එඩ්ගාර්ගේ මරණින් පසු රජ වූ එඩ්වඩ් දුර්වල රජෙක් විය. සුළුමවගේ මෙහෙයවීමෙන් මරණයට පත් කරනු ලැබූ ඔහුගෙන් පසු රජ වූ II ඇතල්රෙඩ්ගේ කාලයේ දී ඩේන්වරු වරින්වර එංගලන්තයට පහර දෙන්නට වන්හ. ඇතල්රෙඩ් රජ තමාට සේවය කිරීම පිණිස ඩෙන්මාකයේ ස්වේන් රජුගේ වයිකිං (මුහුදු කොල්ලකාර) ඇණියක් බඳවා ගත්තේය. 1013 දී ස්වේන් රජ එංගලන්තය ආක්‍රමණය කොට නෝතම්බ්‍රියාව හම්බර් හා වෙලන්ඩ් අතර ප්‍රදේශ ද වොට්ලිං වීදියෙන් උතුරේ පිහිටි කෝරළ ද අල්ලා ගත්තේය. ඇතල්රෙඩ් ප්‍රංසයේ නෝමන්ඩි ප්‍රදේශයට පලා ගියේය. ජයග්‍රාහක ස්වේන් මුළු රටේ ම රජු හැටියට පිළිගනු ලැබීය. එහෙත් 1014 දී හෙතෙම මිය ගියේය; ඔහු පුත්‍ර කැන්‍යුට් රජ විය. මේ අතර ඇතල්රෙඩ්ගේ පුත්‍ර එඩ්මන් වෙසෙක්ස්හි රජකම ලබාගත් නමුත් 1016 දී ඔහු මියගියෙන් කැන්‍යුට් වෙසෙක්ස් රජු හැටියට ද පිළිගැනිණ. එංගලන්තය මෙසේ ඩෙන්මාකය, හා නෝවේ ඇතුළත් විශාල අධිරාජ්‍යයක මධ්‍යස්ථානය බවට පත්ව පරම්පරාවක් පමණ පැවැත්තේය. කැන්‍යුට් රජ රාජ්‍යානුශාසනා කෙළේ ඉංග්‍රීසි රජකු හැටියටය. ඔහු සාධාරණ ලෙස රට පාලනය කෙළේය. එහෙත් එංගලන්තය වැඩිකල් ඩේන්වරුන් යටතේ නොපැවැත්තේය.
වෙසෙක්ස් පෙළපතට නැවත සිහසුන හිමිවීම
හත් වර්ෂයක ඩේන් පාලනයෙන් පසු කැන්‍යුට්ගේ පුත්‍ර හාට්කැන්‍යුට්ගේ කාලයේ දී එංගලන්තයේ රදලවරු නැවත 1042 දී බටහිර සැක්සන් පෙළපතට සිංහාසනය පැවරූහ.
නෝමන්ඩි ප්‍රදේශයෙන් කැඳවනු ලැබූ බටහිර සැක්සන් පෙළපතට අයත් එඩ්වඩ් ද කොන්ෆෙසර් 1042 සිට 1066 දක්වා රාජපදවිය දැරීය. මේ කාලයේ දී ඔහු බලයට පත් කිරීමට ද මුල් වූ වෙසෙක්ස්හි අ’ල්වරයාව සිටි ගොඩ්වින් ඉමහත් බලයක් දැරීය. 1052 දී ගොඩ්වින් ද හැරල්ඩ් නම් වූ ඔහුගේ පුත්‍රයා ද පිටුවහල් කරනු ලැබ සිට විශාල බල ඇණියක් සමග පැමිණ රජවාසල ඔවුන් දැරූ බලතල නැවත ලබා ගත්හ. වර්ෂයක් ඇතුළත ගොඩ්වින් මිය ගිය අතර 1066 දී එඩ්වඩ් රජු ද කලුරිය කළ පසු හැරල්ඩ් එංගලන්තයේ රජු හැටියට ලන්ඩන්හි රදලවරුන් විසින් ප්‍රකාශ කරනු ලැබ යෝක්හි ආච් බිෂොප්වරයා විසින් කිරුළු පලඳවන ලදී.
නෝමන් ආධිපත්‍යය
මේ අතර එංගලන්ත කිරුළ කෙරෙහි හැමවිට ම නෙත් යොමාගෙන සිටි නෝමන්ඩ්හි ආදිපාද විලියම්, හැරල්ඩ් රජබව ලත් පුවත අසා වහා එංගලන්තය ආක්‍රමණය කිරීමට සූදානම් විය. නැසීගිය එඩ්වඩ් රජුගේ ඥාතියකු වූ ඔහු එංගලන්තයේ සමහර රදලවරුන්ගේ සහයෝගය තමාට ලැබෙතැයි ද විශ්වාස කළේය. 1066 දී විලියම් එංගලන්තයට ඇතුළු වන්නට ප්‍රථම නෝවේහි රජු වූ හාඩ්රාඩා ස්කැන්ඩිනේවියානු හමුදාවක් සමග එංගලන්තයට ඇතුළුව යෝක් ප්‍රදේශය අල්ලා ගැනීම නිසා හැරල්ඩ්ට සිය බලය ස්කැන්ඩිනේවියානු ආක්‍රමණිකයා පලවා හැරීම පිණිස යොදන්නට සිදුවිය. හැරල්ඩ් රජු මෙයින් වෙහෙසට පත්ව සිටින අවස්ථාවක පැවන්සි නම් ස්ථානයෙන් හුරුපුරුදු නෝමන් භට කණ්ඩායමක් සමඟ ගොඩබට විලියම් එක් දිනක සටනින් පසු ඉංග්‍රීසි ස්වාධීනතාව බිඳ හෙළා නෝමන් ආධිපත්‍යය පිහිටුවීය.
එකල එංගලන්තය විසිලක්ෂයක පමණ ජනගහනයකින් යුත්, වැඩි හරිය කැළෑවෙන් වැසුණු රටක් විය. රටවාසීන්ගෙන් හතරෙන් තුන් කොටසක් පමණ රැකුණේ ගොවිතැනින්ය.
රට සාමාන්‍යයෙන් සශ්‍රීකව පැවැත්තේය. මේ කාලය වන විට රජුගේ බලය දුර්වලව පැවතිණ. රජු රටේ විශාල ම ඉඩම් හිමියා වුව ද, නියම පාලන බලය පැවැත්තේ වෙසෙක්ස් නෝතම්බ්‍රියා, මර්ෂියා වැනි ප්‍රදේශ හිමි අ’ල්වරුන් අතේය. 10 වැනි සියවසේ දී බලවත් රජුන් කීපදෙනකු විසින් අමාරුවෙන් ගොඩනඟන ලද එක්සත්බව මෙකල වන විට බිඳී පැවතිණ. යට කී අ’ල්වරුන්ගේ ආධාරය නොලැබ කිසි ම හදිසි දුෂ්කර අවස්ථාවක දී රජුට තනිව කටයුතු නොකළ හැකි විය.
නෝමන් පාලනය
රදලවරුන්ගේ තේරීමෙන් නොව ජයග්‍රහණය මගින් රජ බව අත්කරගත් විලියම් ඉහත සඳහන් කළ බලවත් අ’ල්වරුන්ගේ බලය සිඳ දැම්මේ ය; රජවාසල පාලනය පිළිබඳ කේන්ද්‍රස්ථානය බවට පත් කළේය. වෙසෙක්ස් නෝතම්බ්‍රියා, ම’ෂියා වැනි බෙදීම් ගැන නොතැකූ හෙතෙම යුද්ධ වැදගත්කම අනුව අමුතුවෙන් කොට්ඨාස බෙදා තමාට හිත පක්ෂ වූවන් ඒවායේ සාමිවරුන් බවට පත් කළේය. රටේ නොයෙක් ප්‍රදේශයන්හි ඔහුගේ පාලන සංවිධානයට විරුද්ධව ඇති වූ කැරලි ඔහු සාර්ථක ලෙස මර්දනය කෙළේය. 1070 වන විට එංගලන්තයේ නෝමන් පාලනය මුල්බැසගන්නා තත්ත්වයට තහවුරු විය. එහෙත් ඉංග්‍රීසි නීතිය, භාෂාව හා සංස්කෘතිය එක පැහැර වෙනස් කිරීමට නොහැකි විය. විලියම් ප්‍රංස (නෝමන්, බ්‍රෙටන් හා ෆෙලමිං) රදල පන්තියක් එංගලන්තයේ ඇති කළේය. "රදලයන්ගේ බලය පිළිබඳ උල්පත රජය" යන වැඩවසම් සිද්ධාන්තය දැඩිව ගත් ඔහු රදලයන්ගෙන් ඉඩම් භුක්තිය වෙනුවට පෙරළා බලාපොරොත්තු වූයේ යුද්ධ කාලයේ සේවය පිණිස නියමිත නයිට්වරුන් හා භටයන් ගණනකි. ඇංග්ලෝ-සැක්සන් යුගයේ දී මෙවැනි නීතිරීතිවලින් රදලයෝ බඳිනු ලැබ නොසිටියහ. ඇංග්ලෝ-නෝමන් අණසක යටතේ මේ මුල් කාලයේ දී ම රට පුරා වඩා සමීප සම්බන්ධයකින් බැඳුණු සමාජයක් ඇති විය.
ආගම සම්බන්ධයෙන් ඔහු එවක කැන්ටබරි ආච්බ්ෂොප්වර ලාං ප්‍රාන්ක් සමඟ සමීප සම්බන්ධයකින් කටයුතු කෙළේය. රජුගේ ආධිපත්‍යය ආගමික කටයුතු සම්බන්ධයෙන් ද යෙදිණ. රජුගේ කැමැත්ත නැතිව පාප්තුමාගේ ලියකියවිලි භාර නොගැනීමටත් පාප්තුමකු නොපිළිගැනීමටත් පාප්තුමාගේ කැඳවීම උඩ හෝ බිෂොප්වරයකු රෝමයට නො යා යුතු බවත් හේ නියම කෙළේය.
නෝමන්ඩිහි ආදිපාදවරයකු මෙසේ එංගලන්තයේ බොහෝ දුරට ස්වෛරී පාලනයක් ඇති කිරීම ගැන අභ්‍යන්තර වශයෙන් රට තුළ ද බාහිර වශයෙන් නෝවේ, ඩෙන්මාක්, ප්‍රංස ආදී පිටරටවල ද නොසන්සුන්කම් ඇති විය. 1070-1075 කාලවල අභ්‍යන්තර කැරලි ඇති විය. 1085 දී ඩේන් රජු එංගලන්ත ආක්‍රමණයකට සුදානම් වෙද්දී මරනු ලැබීම නිසා එම ආක්‍රමණය වැළකිණි. විලියම් සාධාරණ වූ බලවත් රජකු හැටියට සලකනු ලැබේ. ඔහු එංගලන්තය හා ඩේන් ප්‍රදේශය විජයග්‍රහණ මගින් අල්ලා ගත් අතර නෝමන්ඩියේ හා බ්‍රෙටන්හි සිය පාලනය ගෙන ගියේය. ස්කොට්ලන්තය හා වේල්සය ද ඔහුගේ අධිපති බව පිළිගති. වැඩිමල් පුතු රොබට්ට නෝමන්ඩි හා ඩේන් ප්‍රදේශයෙහි පාලනය භාරදුන් විලියම් තම දෙවන පුත්‍ර වූ II වැනි විලියම්ට (1087-1100) එංගලන්ත කිරුළ පැවරීය. II වැනි විලියම්ගේ ඇවෑමෙන් ඔහු සොවුරු I වැනි හෙන්රි (1100-1135) සිංහාසනාරූඪ විය. II වැනි විලියම් ද I හෙන්රි ද බලසම්පන්න රජවරු වූහ. බැරන්වරුන්ගේ කැරැල්ලක් මැඩ පැවැත්වූ II වැනි විලියම් ස්කොට්ලන්තයේ කොටසක් වූ කම්බර්ලන්තය ඈඳා ගත්තේය. I වැනි හෙන්රි පාලනය හා නීති සම්බන්ධයෙන් විප්ලවයක් ඇති කළේය. බැරන්වරුන් එකතුව දිය හැකි ප්‍රහාරයකින් නොබිඳිය හැකි සංවිධානාත්මක රාජාණ්ඩුවක් ඇති කළ ඔහු II වැනි ඇතල්රෙඩ් රජුගෙන් පැවතෙන්නියක බිසව කර ගැනීමෙන් නෝමන් පාලනය ගැන පැවති ඉංග්‍රීසි ජාතික විරෝධය තුනී කර ගත්තේ ය. ඔහුගේ කාලය තුළ රට පුරා නොබිදුණු සාමයක් පැවැත්තේ ය. හෙන්රි රජුගේ අභාවයත් සමග නියම නෝමන් රජ පෙළපත අවසන් වූයේ යයි කිව හැක.
I වැනි හෙන්රිගෙන් පසු රජකමට පත් වූයේ II වැනි විලියම්ගේ (අනියම්) මුණුබුරකු වූ ස්ටීවන්ය. සිහසුනට උරුම කී හෙන්රිගේ දියණියන් වූ ද නැසී ගිය V වැනි හෙන්රි රෝම අධිරාජයාගේ බිසෝ වූ ද මැටිල්ඩා (මෝඩ්) කුමරියට රජකම පැවරීමට බැරන්වරුන් විරුද්ධ වීම නිසා ස්ටීවන්ට සිහසුන හිමිකර ගත හැකි වූ නමුත් ඔහුගේ කාලය (1135-54) ඉතා දුර්වල, පීඩිත සමයක් විය. මැටිල්ඩා ද රටේ බටහිර පළාත් කෙරෙහි බලපෑවාය. 1153 දී ස්ටීවන් තමාට විරුද්ධව යුදවන් මැටිල්ඩාගේ පුත්‍ර නෝමන්ඩිහි ආදිපාද අන්ජුහි කවුන්ට්වරයා ද ඇක්විටේන්හි ආදිපාදයා ද වූ හෙන්රි (ප්ලැන්ටැජිනට්) හා සන්ධානයකට පැමිණ තමාගේ ඇවෑමෙන් එංගලන්ත සිහසුන ඔහුට අයත් වන පරිදි ගිවිසුම් අත්සන් කෙළේය. 1154 දී ස්ටීවන් මියගියෙන් ප්ලැන්ටැජිනට් (අන්ජු) පෙළපතට එංගලන්ත රජකම හිමි විය. ස්ටීවන්ගේ කාලයේ දී පූජක පක්ෂයට ඉමහත් බලයක් අත් වූ අතර, චෙස්ටර්, ලෙස්ටර්, ඩාබි, වොරික්, නොතැම්ප්ටන් ආදී අ’ල්වරු නැවත මහත් බලයට පැමිණියහ. මුල් නෝමන් පාලකයන් විසින් ඇති කරන ලද බලසම්පන්න මධ්‍ය ආණ්ඩුවේ බලය බොහෝ දුරට මොහුගේ කාලයේ දී නැතිව ගොස් තිබුණේය. ඇංග්ලෝ-නෝමන් කාලයේ රජුගේ බලය, රජවාසල කේන්ද්‍රස්ථානය කොට ක්‍රියා කැරුණු පාලන ක්‍රමයක් මගින් සැලසුණු බැරන්වරුන්ගේ රාජපාක්ෂිකභාවය මත රැඳී පැවැත්තේ ය. එතෙක් පැවති රදල බලය මේ යුගයේ දී ප්‍රහීණ විය. මහා ආණ්ඩුවේ බලය වැඩි දියුණු විය. I වැනි හෙන්රි කාලයේ දී මැනවින් සංවිධානය වූ රාජාණ්ඩුවකට පදනම් වැටුණු බව සඳහන් විය. පූජක බලය ද දෙදරුම් කෑවේය. ස්ටීවන්ගේ කාලය බොහෝ දුරට අරාජික කාලයක් වැනි වුව ද නෝමන් යුගයේ වැටුණු අත්තිවාරම් ලෙහෙසියෙන් ගරා නොවැටුණේය. හෙන්රිගේ පාලන කාලයේ වෙස්ට්මිනිස්ටර්හි තිබුණු බ්‍රිතාන්‍ය භාණ්ඩාගාරය පසු කාලයේ රට පුරා විහිදුණු පාලන පද්ධතියක අත්තිවාරමක් විය. ඩූම්ස් ඩේ බුක් නම් වූ පෘථුල වාර්තා ග්‍රන්ථයට කරුණු සම්පාදනය කැරුණේ I වැනි විලියම්ගේ කාලයේ දීය.
ප්ලැන්ටැජිනට් (අන්ජු) පරපුර
නෝමන්ඩිහි හා ඇක්විවේන් හි ඈපා හා අන්ජුහි කවුන්ට් පදවිය ද දැරූ II වැනි හෙන්රි 1154-1189 තමා බලයට පැමිණි විගස ම බලය නොලැබ එංගලන්තයේ තනා තිබූ රදල කඳවුරු මන්දිර (කාසල්) බිඳ දමා කේන්ද්‍රස්ථ පාලන ක්‍රමයක් ඇති කිරීමට ක්‍රියා කළේය. ස්ටීවන්ගේ කාලයේ දී ක්‍රියා විරහිත බවට පැමිණ තිබුණු රාජ්‍ය භාණ්ඩාගාරය ප්‍රතිසංවිධානය කෙළේය. සිය රාජ්‍ය කාලයෙන් අඩක් පමණ යුරෝපයේ තම රාජධානියේ ගත කළ හෙන්රි, යුරෝපා මහාද්වීපයේ පැවති ජූරි ක්‍රමය එංගලන්තයේ ඇති කොට තවත් නොයෙකුත් නීති ප්‍රතිසංස්කරණය කිරීමෙහි යෙදුණේය. මේ නිසා අධිකරණය සම්බන්ධ උසස් දියුණුවක් මෙකල දක්නා ලදි. පූජක පක්ෂය පාප්තුමාට නොව රාජ්‍ය නීතිවලට යටත් කොට, බිෂොප්වරුන් ඔවුන් යටතේ වූ දේපොළවලට අනුකූලව රදලවරුන් හා සම තත්ත්වයේ තැබීම ආදියෙන් කළ ප්‍රතිසංස්කරණවලට විරුද්ධව රටේ නොසන්සුන්කම් ඇති වූයෙන් එක්තරා ප්‍රමාණයකට පාප්තුමාගේ අයිතිය පිළිගැනීමට ඔහුට සිදුවිය. තෝමස් බෙකට් නම් වූ කැන්ට’බරි ආච් බිෂොප්තුමා රජු කෙරෙහි පැවරී තිබුණු ආගමික කටයුතු පිළිබඳ පාලන බලයට විරුද්ධ වූ නායකයාය. 1170 දී ආච් බිෂොප් බෙකට් ජීවිතක්ෂයට පත් කරනු ලැබීමෙන් ඇති වූ නොසන්සුන්භාවය නිසා රාජ්‍යය හා ආගම අතර කලකට ඉහත පැවති සම්බන්ධය යළි ඇති කිරීමට හෙන්රි ගත් උත්සාහය අත්හැර දමන්නට සිදු විය. එංගලන්තයේ ආගමික පාලන කටයුතු පාප්තුමාට සිය අතට ගත හැකි විය.
II වැනි හෙන්රි රජු බලයෙන් පහකිරීමේ අදහසින් ඔහුගේ බිසව හා පුත්‍රයන් ස්කොට් හා ප්‍රංස ආධාර ද ඇතිව යුද වැදුණු නමුත් 1174 දී ඔහු ඔවුන් මර්දනය කිරීමෙහි සමත් විය. පාලන හා අධිකරණ සංශෝධනවල ඔහු යෙදුණේ මින් පසුවය. එහෙත් 1189 දී සිය පුත්‍රයන්ගේ ආධාරය ද ඇතිව ඔහු ප්‍රංසය පැරදවීය. ස්කොට්ලන්තයේ සිට පිරනීස් කඳුවැටිය දක්වා විහිදුණු ඔහුගේ රාජ්‍යය පිතෘද්‍රෝහී රිචඩ් අතට පත්විය.
රිචඩ් ද ලයන් හාට් (1189-1199) සිය කාලය මුළුමනින් ම වාගේ තුන්වැනි කුරුස යුද්ධය පිණිස ගත කළේය. ඔහු එංගලන්තයේ කටයුතු ගැන බැලීම පිණිස පැමිණියේ දෙවරකි. එම දෙවතාවේ ම මාස කීපයකට වඩා එහි නොනැවතුණේ ය. 1192 දී කුරුස යුද්ධයෙන් පසු ආපසු එද්දී ඔහුගේ සතුරන් විසින් අල්ලා ශුද්ධ රෝම අධිරාජ හෙන්රි IV වෙත භාර දෙනු ලැබූ රිචඩ් විශාල වන්දි මුදලක් ගෙවා නිදහස ලැබූයේ 1194 දීය. ඔහුට විරුද්ධව ඔහුගේ සහෝදර ජෝන් 1192 දී ඇරඹූ කැරැල්ල 1194 වන විට ඉංග්‍රීසි ජනතාව විසින් මැඩලා තිබුණි.
ඉක්බිති ඔහුගේ සහෝදර ජෝන් (1199-1216) තම කාලයේ දී ප්‍රංසයේ ඔගස්ටස් සමග කළ යුද්ධයෙන් පැරදීම නිසා නෝමන්ඩි පළාත එංගලන්තයට නැතිව ගියේය. III වැනි ඉනසන්ට් පාප්තුමා සමග ඇති වූ ආරාවුලේ ප්‍රතිඵලය වශයෙන් එතුමාගේ යටත් රජකු හැටියට දෙවැනි වරට කිරුළු පලඳින්නට ජෝන්ට සිදු විය. බැරන්වරුන් රජුගේ බලයට විරුද්ධව ගැසූ කැරැල්ල ද නිමවුණේ ඔහුගේ අවාසියටය. බැරන්වරුන් විසින් තම වාසියට පිළියෙළ කරන ලද මහා ප්‍රඥප්තියට (මැග්නා කාටා බ.) අත්සන් තැබීමෙන් එම කැරැල්ල සමථයට පමුණුවන ලදි.
III වැනි හෙන්රි (1216-1272) රජ වන විට වයස අවුරුදු 9ක් විය. ඔහුගේ රාජ්‍ය කාලයේ දී රජ වාසලට පැමිණි හිතවතුන්ගේ බලපෑමට යටත් වීමට ඔහුට සිදු විය. රජුගේ බලය සීමා කර බැරන්වරුන්ගේ බලය වැඩි කර ගැනීම පිණිස ඔවුන් විසින් 'ඔක්ස්පඩ් වගන්ති' පිළි ගැනීමට රජුට බල කරන ලදී. එහෙත් බැරන්වරුන් අතර වූ භේදයෙන් ප්‍රයෝජන ගත් රජ ක්‍රමයෙන් එම නීති අස්කර දැමීමෙහි සමත් විය. මේ නිසා ඇති වූ සිවිල් යුද්ධයේ දී රජුට පරාජය අත්විය. බැරන්වරුන්ගේ නායක සයිමන් ඩිමොන්ප’ට්ගේ අත්තනෝමතික ක්‍රියා නිසා බැරන්වරු බොහෝ දෙනෙක් ඔහුට විරුද්ධ වූහ. මේ නිසා හෙන්රිගේ පුත්‍ර එඩ්වඩ් අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන 1265 දී සයිමන්ගේ සේනා විනාශ කොට ඔහු ද නසා දැමීය. හෙන්රිගේ ඉතිරි කාලය තුළ රටේ සාමය පැවතිණ.
I වැනි එඩ්වඩ් (බ.) (1272–1307) රජුගේ රාජ්‍ය සමයේ දී වේල්සය යටත් කරනු ලැබීය. ස්කොට්ලන්තය ද වරක් ඔහුට යටත් වූ නමුත් මඳ කලකින් එරට නිදහස් විය. මෙරජුගේ කාලයේ දී එංගලන්ත පාර්ලිමේන්තුවේ හා නීතියේ ප්‍රගතියට කටයුතු සිදු විය. 1295 රැස්වූ 'ආදර්ශ පාර්ලිමේන්තුව' මහජන මන්ත්‍රී මණ්ඩලයේ ආරම්භය ලෙස සැලකේ. නිරිතදිග ප්‍රංසයෙහි ප්ලැන්ටැජිනට් පෙළපතේ අයිතිය තව දුරටත් රැක ගැනීමට වෙහෙස ගත් ඔහු හා ප්‍රංසයේ IV වැනි පිලිප් අතර නිතර සටන් ඇති විය. කෙසේ නමුත් 1305 විවාහ ගිවිසුම නිසා ඔහුගේ ප්‍රංස අයිතිය තහවුරු විය.
II වැනි එඩ්වඩ් (බ.) (1307-1327) රොබට් බ්රූස් අතින් ස්කොට්ලන්ත යුද්ධයේ දී පැරදිණ. දුබල රජකු වූ ඔහු සිය බිසව ප්‍රමුඛ බැරන්වරුන් විසින් සිහසුනෙන් නෙරපා ජීවිතක්ෂයට පමුණුවන ලදී. III වැනි එඩ්වඩ් (බ.) (1327-77) ස්කොට් සටන්වලින් මුල දී ජය ලත් නමුත් පසුව සටන් නවත්වන්නට ඔහුට සිදු විය. හේ ප්‍රංස රජු හැටියට ද ඉදිරිපත් ව සියක් හවුරුදු යුද්ධයට මුල පිරීය. යුද කටයුතු නිසා එංගලන්තය පළමුවන වරට තදබල ආර්ථික පරිහාණියකට භාජනය විය. 'බ්ලැක්ඩෙත්' වසංගතය පැතිර ගියේ ද මෙකලය.
1376 දී ප්‍රංස යුද්ධ මෙහෙයවමින් සිටි රජුගේ වැඩිමල් පුත්‍ර 'බ්ලැක් ප්‍රින්ස්' මිය ගියෙන් III වැනි එඩ්වඩ්ගෙන් පසු බ්ලැක් ප්‍රින්ස්ගේ පුත්‍ර බෝඩෝහි රිචඩ් II වැනි රිචඩ් නමින් රජ බවට පත් විය. මොහුගේ කාලයේ දී පාප් පදවියේ භේදය ඇති විය. එංගලන්තය රෝම පාප්තුමාගේ පස ගත් අතර ප්‍රංසය අවිඤ්ඤාංහි පාප්තුමාගේ පාර්ශ්වය ගත්තේය. මෙම ආගමික භේදය රිචඩ්ගේ විදේශ ප්‍රතිපත්තිය කෙරෙහි බෙහෙවින් බලපෑවේය. ප්‍රංස යුද්ධය නැවත ඇරඹිණ. එය අසාර්ථක වීමත් යුද වියදම් පිණිස අධික බදු පැනවීමත් ආණ්ඩුවේ අදක්ෂතාවත් නිසා රටේ කැලඹිලි තත්ත්වයක් ඇති විය. ආර්ථික පරිහාණිය නිසා ආණ්ඩුවේ වැරදිවලට විරුද්ධව 1381 දී වොට් ටයිලර් නමැත්තාගේ ප්‍රධානත්වයෙන් ඇති වූ ගොවීන්ගේ කැරැල්ල ඉක්මනින් ම මැඩපවත්වනු ලැබීය. මේ අතර පූජක පක්ෂයේ වස්තු සම්භාරයත් පාප්තුමාට ගෙවනු ලබන විශාල මුදල් සම්භාරයත් අනිකුත් ආගමික අයථා කටයුතුත් නිසා ඒවාට විරුද්ධව ජෝන් වයික්ලිෆ් නම් ඔක්ස්ෆඩ් දේවධර්මාචාර්‍ය්‍යවරයෙක් නැඟී සිටියේ ය. ඔහුගේ මරණින් පසු ඔහුගේ අනුගාමිකයෝ ලොලාඩ්වරු යයි හඳුන්වනු ලැබූහ. ලොලාඩ් ධර්මය ද ගොවීන්ගේ කැරැල්ල ද වැඩවසම් ක්‍රමයේ වහල් බැමි කඩා බිඳ දමීම අරභයා ඇති වූ ව්‍යාපාරයන් ලෙස සැලකේ.
1389න් පසු රාජ්‍යාධිකාර බලය ඉසුලූ ඇමතියන් ඉවත් කොට පාලන බලය සම්පූර්ණයෙන් තම අතට ගත් රිචඩ් අවසාන කාලයේ දී ස්වෛරී රජකු ලෙස කටයුතු කිරීමට සිතීය. 1395 රිචඩ් රජ අයර්ලන්තය ආක්‍රමණය කෙළේය. නැවත 1399 දී අයර්ලන්තයේ කැරැල්ලක් මැඩීමට ගොස් සිටිය දී බෝලිං බ්‍රෝක්හි හෙන්රි හෙවත් ලැංකැස්ටර්හි හෙන්රි නම් ඔහුගේ ඥාති සහෝදරයා එංගලන්තයට ගොඩ බැස බලය අල්ලා ගති. රිචඩ් ආපසු පැමිණි කල්හි සිරබාරයට ගනු ලැබීය. සිංහාසනය ලැංකැස්ටර් පෙළපතට අයත් විය.
ප්ලැන්ටැජිනට් කාලයේ එංගලන්තය
ප්ලැන්ටැජිනට් කාලයේ දී ක්‍රමයෙන් රජවරුන්ට පාර්ලිමේන්තුවේ අධිකාරි බලයට හිස නමන්ට සිදුවිය. පාර්ලිමේන්තුව ද ක්‍රමයෙන් අද පවත්නා තත්ත්වයට හැඩ ගැසෙන්නට පටන් ගත්තේ මේ කාලයේ දීය. පූජකවරු බලය අතින් පිරිහුණු අතර වස්තුව අතින් පොහොසත් බවට පත්වූහ. මධ්‍යතන යුගයේ වැඩවසම් සමාජයේ දියුණු ම යුගය මේ කාලය වූ අතර සාහිත්‍යය, කලා ශිල්ප හා ගෘහනිර්මාණය පිළිබඳ විශාල ප්‍රබෝධයක් ද දක්නා ලදි. විලියම් ලැංග්ලන්ඩ් හා ජෙප්රි චෝසර් මෙකල සාහිත්‍ය ප්‍රගතියට මුල් වූවෝය. වැඩ වසම් ක්‍රමයේ වැටීමේ ආරම්භය පිළිබඳ පෙර නිමිති ද මෙකල ම දක්නා ලදි.
ලැන්කැස්ටර් පෙළපත
IV වැනි හෙන්රි (බ.) 1399 සිට 1413 දක්වා රජ කෙළේය. පාර්ලිමේන්තුවේ හා පාප්තුමාගේ ආධාරයෙන් බලයට පැමිණි ඔහුගේ කාලයේ දී තවතවත් පාර්ලිමේන්තුවේ බලය දියුණු වූ අතර විරුද්ධ මත දැරූවන්ට පිලිස්සීම් ආදී දරුණු දඬුවම් පැමිණ වීමට පාප්තුමාට ඉඩ දීමට ඔහුට සිදුවිය. මෙකල ඇතිවූ ස්කොට් යුද්ධය හා වේල්ස් කැරලි නිසා වූ අධික වියදම් පිණිස බදු බර වැඩි කිරීමට සිදුවීමෙන් රජුගේ ජනප්‍රියභාවය නැතිවී ගියේය.
V වැනි හෙන්රි (1413-1422) සියක් හවුරුදු යුද්ධයෙන් ලත් ජය නිසා 1420 දී ට්‍රෝයීස් ගිවිසුම අනුව ප්‍රංස සිහසුනට උරුමකරු විය. එම ගිවිසුමට අනුව IV වෙනි චාල්ස් රජුගේ කැතරින් නම් දියණිය හා විවාහ වූ ඔහු චාල්ස් රජු මියයාමට දෙමසකට කලින් කලුරිය කිරීම නිසා ප්‍රංස කිරුළ දැරීමට ඉංග්‍රීසි රජකුට තිබුණ වාරය නැති වී ගියේය.
VI වැනි හෙන්රි (1422-1471) රජ වන විට වයස 8 මසක් විය. මවු පසින් ප්‍රංස සිංහාසනයට උරුමකම් දැරූ ඔහු වෙනුවෙන් බෙඩ්ප’ඩ් ආදිපාද ජෝන් උතුරු ප්‍රංසයේ නෝමන්ඩි ප්‍රදේශය පාලනය කළේය. 1419 ඇති කර ගන්නා ලද ඉංග්‍රීසි-බර්ගන්ඩි ගිවිසුම පැවති තාක් උතුරු ප්‍රංසයේ ඉංග්‍රීසි අයිතියට හානියක් නොවීය. 1429 දී ආක්හි ජෝන් (Joan of Arc) ඉංග්‍රීසි අයිතියට විරුද්ධව ඉදිරිපත්ව VII වැනි චාල්ස් රීට්ස්හි දී ඔටුනු පැලඳ වූ නමුත් 1431 දී ඉංග්‍රීසි පාක්ෂිකයන් විසින් සිරභාරයට ගනු ලැබ මැරුම් කෑවාය. එහෙත් බර්ගන්ඩි ගිවිසුම බිඳ වැටීමත්, බෙඩ්ෆ’ඩ්හි ජෝන් මියයාමත්, විරුද්ධව සිටි ප්‍රංස පක්ෂ නැවත එකතු වීමත් නිසා ප්‍රංස ඔටුන්න පැලඳීමේ බලාපොරොත්තුවෙන් එහි ගිය හෙන්රිට බලාපොරොත්තු සුන්ව ආපසු එන්නට සිදු විය. 1450 වන විට නෝමන්ඩි ප්‍රදේශය එංගලන්තයට නැති වී ගියේය. 1453 දී සියක් හවුරුදු යුද්ධය නිමාවට පත් විය. ප්‍රංසයෙන් ඉංග්‍රීසීන්ට ඉතිරි වූයේ කැලේ ප්‍රදේශය පමණි. මේ අතර 1450 දී ජැක්කේඩ්ගේ (බ.) ප්‍රධානත්වයෙන් කැරැල්ලක් ඇති විය. කැරලිකරුවන් ද විරුද්ධ පක්ෂය වූ යෝක්වරුන් ද අතර සම්බන්ධය පැවතිණ. විරුද්ධ පක්ෂ නායක යෝක්හි රිචඩ් ඈපා ද ඉංග්‍රීසි සිහසුනට උරුමකම් දැරීය. එහෙත් 1453 දී රජුට පුතකු ලැබීම නිසා ඔහුගේ සිංහාසන අයිතියට බාධාවක් ඇතිවිණි.
යෝක් පරපුර
රෝගාතුරව සිටි හෙන්රිගේ නමින් ගෙනයන ලද පාලන දූෂණවලට විරුද්ධව ඇති වූ යුද්ධ සිංහාසන උරුම යුද්ධ බවට පෙරළිණ. මේ යුද්ධ රෝසයුද්ධ නමින් හැඳින්වේ. 1460 දී වේක්ෆීල්ඩ්හි දී යෝක් ඈපා සිය සේනාවත් සමග විනාශ වූයෙන් ඔහු පුත් එඩ්වඩ් දිගට ම එම යුද්ධ ගෙන ගියේය. 1461 දී ඔහු VI වැනි හෙන්රි සිහසුනෙන් ඉවත් කරන ලද බවත් තමා IV වැනි එඩ්වඩ් (එඩ්වඩ් බ.) නමින් එංගලන්තයේ රජ වූ බවත් ප්‍රකාශ කෙළේය. එහෙත් 1471 දක්වා ඔහුගේ රජ පදවිය ස්ථාවර තත්ත්වයක නොවීය. 1470 දී වොරික් සාමිගේ ප්‍රමුඛත්වයෙන් විරුද්ධවාදීහු එක්සත්ව VI වැනි හෙන්රි නැවත බලයට පත්කළහ. VI වැනි හෙන්රි දෙවන වර සමසක් පමණ රජ බව දැරීය. සිය අනුචරයන් විසින් හෙන්රි රජු මරනු ලැබූ පසු යෝක්පරපුර එංගලන්නයේ ස්ථාවර බවට පත්විය. 1475 දී එඩ්වඩ් සාර්ථක ලෙස ප්‍රංසය ආක්‍රමණය කොට ප්‍රංසයේ XI වැනි ලුවී සමඟ එංගලන්තයට වාසි සහිත ගිවිසුමක් අත්සන් කළේය. ඔහු ස්කොට්ලන්තයේ කොටසක් ඈඳා ගැනීමෙහි ද සමර්ථ විය.
1483 දී IV වැනි එඩ්වඩ්ගේ මරණින් පසු 12 හැවිරිදි V වැනි එඩ්වඩ් (බ.) සිහසුනෙහි හිඳුවන ලදි. එහෙත් රාජ්‍ය භාරය ඉසුලූ ළමා රජුගේ බාප්පා වන ග්ලොස්ටර්හි රිචඩ් ඈපා ඔහුත් ඔහුගේ සොහොයුරු කුමරාත් සිරකොට තෙමේ III වැනි රිචඩ් නමින් රජ විය. මේ කුමරුවෝ දෙදෙන මාස තුනක් යන්නට පෙර මරවනු ලැබූහ.
III වැනි රිචඩ් රජ වී දෙවසකින් එංගලන්තය ටියුඩර් පෙළපතට අයත් විය. රජුට විරුද්ධ වූ යෝක් හා ලැංකැස්ටර් දෙපෙළපතට ම අයත් රදලයන්ගේ නායකකම ගෙන රිච්මන්ඩ්හි අ’ල්වරයා වූ හෙන්රි ටියුඩර් බොස්වත්හි දී 1485 දී රජු පරදවා එංගලන්ත සිහසුන හිමිකර ගත්තේය. III වැනි රිචඩ් යුද්ධයේ දී මිය ගියේය.
යෝක්, ලැංකැස්ටර් යන කාලයන්හි දී ඉංග්‍රීසි පාණ්ඩිත්‍යයේ හා සාහිත්‍යයේ දියුණුවට කටයුතු සැලසිණ. ඉංග්‍රීසි නීතියේ හා පාලන ක්‍රමයේ ද නාවික බලයේ ද උන්නතිය පිණිස ලේඛකයන් ගත් මහන්සියට මෙකල ඇතිවූ නව නිෂ්පාදනයක් වූ මුද්‍රණ යන්ත්‍රයෙන් මහත් රුකුලක් ලැබිණ. රෙදි නිෂ්පාදනයේ විශාල දියුණුවක් දක්නා ලද අතර විදේශ හා අභ්‍යන්තර වෙළඳාම ද ශීඝ්‍රව දියුණු විය. යෝක් පරපුරේ අවසානය එංගලන්තයේ මධ්‍යතන යුගයේ අවසානය සේ සලකනු ලැබේ. මේ කාලයේ දී ප්‍රංසය කෙරෙහි ඉංග්‍රීසීන්ට තිබුණු අයිතිය මුළුමනින් ම වාගේ නැති වී ගියේය.
ටියුඩර් පෙළපත (1485-1603)
බොස්වත් සටනින් ජයගත් හෙන්රි ටියුඩර් VII වැනි හෙන්රි (බ.) නමින් රජ විය. ඔහුගේ මුල් අවුරුදු 12 තුළ තමාට විරුද්ධව පැන නැඟි කැරලි කුමන්ත්‍රණ මැඩීම සඳහා කටයුතු කිරීමට ඔහුට සිදුවිය. යෝක් පරපුරට අයත් රාජ්‍ය උරුමක්කාරයන් හැටියට වරින් වර ඉදිරිපත් කරනු ලැබූ ලැම්බට් සිමිනල් හා ප’කින් වෝබෙක් යන අයගේ ද කැරලි මැඩපැවැත්වූ හෙන්රි සිහසුන තහවුරු කරගත්තේ බ්ලැක්හීත් කෙතේ සටනින් පසුය.
VII වැනි හෙන්රිගේ පියා වූ එඩ්මන් ටියුඩර් වේල්සයට අයත් වූවකු බැවින් මේ කාලයේ දී වේල්සය එංගලන්තය හා වඩා සමීප සම්බන්ධයකට පැමිණියේය. රදලවරුන්ගේ දේශපාලන බලය ප්‍රහීණවීමත්, රජුගේ පාලන බලය වැඩිවීමත් මෙකල දක්නා ලදී. වැනිසිය, ෆ්ලාන්ඩර්ස්, ඩෙන්මාක් හා ස්කැන්ඩිනේවියා ආදී ප්‍රදේශ සමග වාසි සහිත වෙළඳ ගිවිසුම් ඇති කරගන්නා ලදි. නැව් යාත්‍රාවට හා විදේශ වෙළඳුන්ට ධෛර්ය දීමෙන් ද වෙළඳාම දියුණු කරන ලදි. එංගලන්තය වෙනුවෙන් ජෝන් කැබට් නිව්පවුන්ඩ්ලන්තය හා ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ සොයා ගත්තේ හෙන්රිගේ කාලයේ දීය. රදල වැඩවසම් එංගලන්තය මධ්‍යම පන්ති රටක් බවට හැරවීමේ මුල්ගල තබන ලද කාලය හැටියට ද මේ කාලය සලකනු ලැබේ. ගම් ප්‍රදේශවල ගොවිතැන වෙනුවට බැටළුවන් ඇති කිරීමට මෙහෙයවීමෙන් රක්ෂා සම්බන්ධයෙන් එම පෙදෙස්වල දුෂ්කරතා ඇතිවීම නිසා නොසන්සුන්කම් පැන නැඟිණ.
රටේ සමාජ සාමය බිඳ හෙළන කැරලි කෝලාහල, අල්ලස්දීම්, නීතිවිරෝධ රැස්වීම් ආදියට විරුද්ධව කටයුතු කිරීම පිණිස 1487 දී ප්‍රිවි කවුන්සල් සාමාජිකයන් කීප දෙනකුට පාර්ලිමේන්තු පනතකින් බලය පවරන ලදි. 'ස්ටාර් චේම්බර්' යන නමින් මේ මණ්ඩලය හැඳින්විණ. ටියුඩර්වරුන් සිය ආණ්ඩුවේ නියෝජිත මණ්ඩලයක් හැටියට ප්‍රයෝජන ගත් අධිකරණ මණ්ඩල අතුරෙන් වඩා ම කීර්තියට පත් වූයේ මෙයයි. VII වැනි හෙන්රි රජුට සිය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිණිස පාර්ලිමේන්තු සහයෝගය නිතර ලැබුණු බැවින් හෙතෙම එයට පිටින් ක්‍රියා කිරීමට අදහස් නොකෙළේය. දඩමුදල්, වන්දි ආදියෙන් භාණ්ඩාගාරය තර කළ ඔහු පාර්ලිමේන්තුවෙන් ආධාර මුදල් ඉල්ලා සිටියේ පස්වතාවක් පමණි.
විදේශ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂ්‍යකාරී ව කටයුතු කළ ඔහු සමග, ප’කින් වෝබෙක්ට එංගලන්ත සිහසුන සඳහා අසාර්ථක ලෙස ආධාර දුන් මැක්සිමිලියන් රෝම අධිරාජයා විරුද්ධව සිටියේය. ස්පාඤ්ඤයේ ෆර්ඩිනන්ඩ් හා ඉසබෙලා සමග සම්බන්ධය තහවුරු කර ගැනීමට විවාහ සම්බන්ධකම් කීපයක් ඔහු ඇති කළේය. එංගලන්තය හා ස්කොට්ලන්තය එක්සත් කිරීමේ පියවරක් වශයෙන් සිය දියණි වූ මාග්‍රට් කුමරිය ස්කොට්ලන්තයේ IV වැනි ජේම්ස් රජුට විවාහ කර දුන්නේය. ඔහු තම රාජ්‍යය කෙතරම් බලසම්පන්න බවට පත් කෙළේ දැයි කිවහොත් තම දියණියක වූ මේරි කුමරිය මහාදිපාද චාල්ස් (පසුව රෝම අධිරාජ V චාල්ස්) කුමරාට විවාහ ගිවිසවීමට පවා ඉදිරිපත් විය.
හෙන්රි රජු කලුරිය කරන විට භාණ්ඩාගාරය පිරී තිබුණ අතර ස්ථාවර ආණ්ඩුවක් ද එංගලන්තයට ලැබී තිබුණි.
VIII හෙන්රි (බ.) 1509-47
18 වෙනි වියේ දී රජබවට පැමිණි මෙතෙම පියරජු (VII වැනි හෙන්රි)ගේ විදේශ සාම ප්‍රතිපත්තිය බිඳ දමා යුරෝපාමහාද්වීපයේ යුද්ධ ආරවුල්වලට සම්බන්ධ වන්නට සිතීය. ප්ලැන්ටැජිනට් එංගලන්තයට අයත් ව තිබූ ප්‍රංස පළාතක් වූ ඇක්විටේන් ප්‍රදේශය නැවත අල්ලාගැනීමට සිතූ ඔහු ස්පාඤ්ඤයට ආධාර සේනා යවා තෙමේ කැලේ නුවරට ගොඩබැස්සේය. ඔහු ලත් සුළු ජයග්‍රහණවලින් එතරම් ඵලක් නොවීය. වෙනත් බාහිර බලපෑම් නිසා ඔහු ප්‍රංසය හා සාම ගිවිසුමකට පැමිණියේය. 1513 දී ස්කොට්ලන්තයේ IV වැනි ජේම්ස් රජ එංගලන්තය ආක්‍රමණය කළ නමුත් හෙන්රි රජ විසින් පරදවනු ලැබ යුද්ධයේ දී මිය ගියේය.
තෝමස් වුල්සි නම් කාඩිනල්වරයකු ඔහු සිය පුරෝහිතයා හා ප්‍රධාන ඇමති හැටියට පත්කර ගත්තේය. බලකාමී හෙන්රිට හා වුල්සිටත් එංගලන්තය යුරෝපයේ බලතෝලනය රකින රට හැටියට තබාගැනීමට ඕනෑ කෙළේය. යුරෝපීය බලවත් රටවල් මේ කාලයේ දී මාරුවෙන් මාරුවට එංගලන්තයේ මිත්‍රභාවය අපේක්ෂා කළ බව පෙනී යතත් ඇත්ත වශයෙන් සිදුවූයේ හෙන්රි රජු රවටනු ලැබීම යයි සලකනු ලැබේ. රාජ්‍ය තන්ත්‍ර ඥානයෙන් එතරම් නොපැසුණු හෙන්රි රජුට හා වුල්සිට නොයෙකුත් පොරොන්දු දී මුදලින් හා සේනාවන්ගෙන් ආධාර ලබා ගත් රෝම අධිරාජයා ද ප්‍රංසය ද විසින් මාරුවෙන් මාරුවට රැවටීම නිසා එංගලන්තය මෙකල නිතර ධනහානිවලට මුහුණ පෑ බව ද කියනු ලැබේ. 1525 දී හෙන්රි, පාවියාහි දී පැරදුණු ප්‍රංසයේ I වැනි ෆ්රැන්සිස් රජු සමග ගිවිසුමකට බැඳී ශුද්ධ-රෝම අධිරාජයාත් ප්‍රංසයත් අතර 1542 දක්වා ම බලසාම්‍යය රැක්කේය. 1542 දී ප්‍රංස රජු එංගලන්තයට විරුද්ධව ස්කොට්වරුන්ට ආධාර දීම නිසා ඔහු ප්‍රංසය හා විරුද්ධ විය. එංගලන්තය ආක්‍රමණය කිරීමෙහි යෙදුණු ස්කොට්වරුන් පැරදවූ හෙන්රි ප්‍රංසයේ බුලෝන් ප්‍රදේශය ද අල්ලාගති.
කලක සිට හෙන්රිගේ අප්‍රසාදයට පාත්‍රව රාජද්‍රෝහි චෝදනා උඩ බලයෙන් පහකරනු ලැබ සිටි වුල්සි 1538 දී කලුරිය කෙළේය.
එංගලන්ත ආගම් ප්‍රතිසංස්කරණය
මේ අවධියේ දී යුරෝපයේ ක්‍රිස්තියානි ආගම් ප්‍රතිසංස්කරණය පිළිබඳ වාදයෙන් යුරෝපය ඇළලී ගියේය. හෙන්රි VIII රජ මුල් අවධියේ දී පාප්තුමාගේ පක්ෂය ගෙන විප්ලවවාදී ලූතර්ට විරුද්ධව පොත්ලිවීමාදියෙන් ක්‍රියා කළේය. එහෙත් පසුව තම බිසවගෙන් දික්කසාද වීමේ ප්‍රශ්නය උඩ 1529 සිට පාප්තුමා සමග දීර්ඝ වියවුලකට පටලැවුණු හෙන්රි රජ 1534 දී එංගලන්තයේ ක්‍රිස්තියානි සභාව සම්බන්ධයෙන් පාප්තුමාගේ පාලන බලය නැති කෙළේය. 1534 දී පාර්ලිමේන්තුව මගින් සම්මත වුණු ආධිපත්‍ය පනතින් (Act of Supremacy) හෙන්රි රජු එංගලන්ත සභාවේ අතිශ්‍රෙෂ්ඨ අධිපතියා හැටියට පිළිගැනිණ. රජ පූජක පක්ෂයේ නායකයා හැටියට එංගලන්ත පූජකවරුන් ලවා පිළිගන්වනු ලැබීය. එංගලන්තයේ ක්‍රිස්තියානි සභාව හා රෝමානු සභාව අතර සම්බන්ධය නැති කරන ලදී. පාප්තුමාට සිරිත් පරිදි කරන ගෙවීම් නැති කරනු ලැබීය. 1536 සිට 1539 දක්වා කාලය තුළ හෙන්රි රජු පූජකාරාම රාජසන්තක කොට ඒවායේ දේපොළ ජනයා අතර බෙදා දීම නිසා රජුගේ ආගම් ප්‍රතිසංස්කරණයට මහජන සහයෝගය ද ලැබුණේය.
හෙන්රි VIII රජ ලූතර් ආදීන්ගේ ප්‍රොතැස්තන්ත මත නොපිළිගත් අතර එම මත ගත්තවුන්ට පීඩා පැමිණවීමටත්, බොහෝදුරට ම කතෝලික දේව ධර්මය හා පැරණි ලතින් පූජා විධිත් දිගට ම පවත්වා ගෙන යාමටත් ක්‍රියා කළේය. එහෙත් පුද්ගල හේතූන් හා ජාතික කරුණු ද උඩ පාප්තුමාට විරුද්ධව ඔහු ගෙන ගිය ඉහත කී ක්‍රියා කලාපය යුරෝපීය ආගම් ප්‍රතිසංස්කරණයට ඉවහල් විය. කෙසේ වුව ද නියම ප්‍රොතැස්තන්ත රෙපරමාදුව කෙරෙහි එංගලන්තය ගමන් කරන්නට වූයේ මීළඟ රාජ්‍ය සමයේ දීය. හෙන්රි VIII රජ පාර්ලිමේන්තුව විෂයෙහි විශාල බලයක් පෑවේය. ඔහු එංගලන්ත රජුන් අතර අවසාන ආඥාදායක රජු හැටියට සමහරු සලකති. ඔහුගේ කාලයේ දී සාමි මණ්ඩලයෙහි පළමුවරට ගිහි සාමිවරු බහුතර පක්ෂය බවට පත් වූහ. ඔහු ආගම රාජබලයට යටපත් කිරීමෙන් මෙතෙක් ආගම හා රාජ්‍යය අතර තිබූ සම්බන්ධය වෙනස් කෙළේය. කතෝලික පූජකාරාම ජනතාව අතර බෙදාදීම නිසා රජු ජනප්‍රිය වූ අතර ආර්ථීක අතින් රටේ විශාල පෙරළියක්ද ඇති විය. අධික වියදම් දරමින් අසාර්ථක විදේශ යුද්ධවලට සහභාගිවීම නිසා රටේ වරින්වර ධනහානි ඇතිවන තත්ව පහළ විය. එංගලන්තයේ නාවික බලය ගැන ඔහු සිත මෙහෙයවීම පසුකල එරට ලත් සමුද්‍රාධිපත්‍යයට රුකුලක් විය. කාලයක සිට නැගෙමින් ආ එංගලන්තයේ ජාතික හැඟීම උද්දීපනය කිරීමෙහි ලා ඔහුගේ කාලයේ දී සිදු වූ සේවය සුළුපටු නොවේ.
එඩ්වඩ් VI (බ.) (1547-53)
හෙන්රි VIIIගේ තෙවැනි බිසව වූ ජේන් සීමෝර්ගේ පුත්‍ර මොහුගේ කාලයේ මුල් අවස්ථාවේ දී සමර්සෙට් ඈපා ද ඉන්පසු වොරික් අ'ල්වරයා ද (පසුව නෝතම්බර් ලන්ඩ් ඈපා) රාජ්‍යාධිකාරය දැරීය. ඔහු එංගලන්තය එා ස්කොට්ලන්තය එක්සත් කිරීමට දැරූ ප්‍රයත්න නිෂ්ඵල විය. 1550 දී බුලෝන් ප්‍රදේශය ආපසු ප්‍රංසයට භාරදෙන ලදි. සමර්සෙට් ඈපා ද නොතම්බර්ලන්ඩ් ඈපා ද එංගලන්තයේ රෙපරමාදු සභාව ස්ථාවර කිරීමට බෙහෙවින් මහන්සි ගත්හ. හෙන්රි රජුගේ කාලයේ දී පාප්තුමාගෙන් බිඳී ඉවත් වී යෑම සිදුවුවද ආගමික වෙනස්කම් ඇති වූයේ මඳ වශයෙන් බව යට සඳහන් විය. ප්‍රථම යාච්ඤා පොත ඉංග්‍රීසියෙන් ප්‍රසිද්ධ කොට දේවස්ථානයන්හි ඉංග්‍රීසියෙන් දේව මෙහෙය පැවැත්වීම මෙකල සිදු විය.
එඩ්වඩ් VIගෙන් පසු කිරුළේ අයිතිය නෝතම්බර්ලන්ඩ් ඈපාගේ බලපෑම යටතේ ඔහුගේ පුත්‍රයා හා විවාහ වී සිටි (හෙන්රි VIIIගේ මේරි නම් සහෝදරියගේ වැඩිමල් මිනිපිරිය වූ) ජේන් ග්‍රේ ආර්යාවට අන්තිම කැමැත්තකින් පවරා තිබුණෙන් රජු ඇවෑමෙන් ජේන් ග්‍රේ ආර්යාව රජව නව දිනක් කිරුළ දැරුවාය.
මේ අතර හෙන්රිගේ පළමු බිසව වූ කැතරින්ගේ දුහිතෘ මේරි ටියුඩර් කුමරිය, නොතම්බර්ලන්ඩ් යටත් කොට 1553 සැප්තැම්බර් 19 දා බලයට පැමිණියාය. කතෝලික භක්තික ඇයගේ කාලයේ දී හෙන්රි VIII රාජ සන්තක කළ පූජකාරාම ආපසු දීමේ හා පූජකවරුන් බලයට පැමිණවීමේ ලකුණු පහළවීම හා නැවත පාප්තුමාගේ බලය පිහිටුවීම ද නිසා රටේ මහත් නොසන්සුන්කම් ඇති විය.
මේරි රැජින ස්පාඤ්ඤයේ පිලිප් කුමරු හා විවාහ වීමෙන් පසු ඇති වූ කැරැල්ලට අනතුරුව රෙපරමාදුව ගත්තවුන්ට විරුද්ධව පනවා තිබූ දැඩි නීතිරීති ඉවත් කරන ලදි. එහෙත් 1555-58 කාලය තුළ ප්‍රොතැස්තන්ත නිකායිකයන් පෙළීම ගෙන ගිය ඇය විසින් 300ක් ප්‍රොතැස්තන්තවරු පුලුස්සා මරනු ලැබූහ. ස්පාඤ්ඤ සම්බන්ධය නිසා ප්‍රංසය සමග යුද්ධයට පටලැවුණු එංගලන්තයට එතෙක් ප්‍රංසයෙන් හිමිව තුබුණු කැලේ නගරය ද නැති වී ගියේය.
මේරි රැජින එංගලන්තය නැවත කතෝලිකාගමට හරවා ගැනීමට ගත් සීමාන්තික පීඩනකාරී ක්‍රියා ආදිය නිසා ද එවක ඇති වූ ආර්ථීක පරිහානිය නිසා ද ඇගේ රාජ්‍ය කාලය දුර්භාග්‍ය සමයක් විය.
ඉක්බිති රජ බවට පත් වූ එලිසබෙත් රැජින (බ.) (1558-1603) VIII හෙන්රි රජුගේත් ඈන් බොලීන්ගේත් දුවණියෝය. මේරි රැජිනගේ කාලයේ දී නවත්වන ලද ඉංග්‍රීසි යාච්ඤා පොත භාවිතය ද ඉංග්‍රීසියෙන් දේවමෙහෙය පැවැත්වීම ද නැවත ඇති කරනු ලැබීය. 1570 දී එලිසබෙත් රැජින පාප්තුමා විසින් ආගමෙන් නෙරපනු ලැබුවාය. ඉක්බිති 1572 දී රිඩොල්‍ෆි කුමන්ත්‍රණය අනාවරණය වූ පසු මෙතෙක් ප්‍රංසයේ හා ස්පාඤ්ඤයේ විරුද්ධත්වය ඇතිකර ගැනීමට අකැමැත්ත නිසා රෝමානු සභිකයන් නොපෙළීමේ වැදගත් ප්‍රතිපත්තියක් ගෙන ගිය ඈ ඔවුනට විරුද්ධව දැඩි නීති රීති පැනවීම ඇරඹුවාය. එලිසබෙත් රැජින දැඩි කැල්විනිස්ට් මත ගත් ප්‍යුරිටන්වරුන්ට (ශුද්ධ ආගමිකයන්ට) විරුද්ධ වූවාය.
විදේශ කටයුතු
ඉහත සිට ම ප්‍රංසයේ ආධාර ලබමින් වරින් වර අසාර්ථක ලෙස එංගලන්ත ආක්‍රමණයෙහි ද යෙදුණු ස්කොට්ලන්තය මේ කාලයේ දී එංගලන්තයේ ආධාර සෙවීය. ස්කොට්ලන්තයේ බලවත්ව සිටි ප්‍රංසවරුන් පලවා රට මුදාගැනීමට ක්‍රියා කළ ජෝන් නොක්ස් ප්‍රමුඛ කණ්ඩායමක් 1559 දී ඉංග්‍රීසි ආධාර ඉල්ලා සිටියෙන්, එහි ගිය ඉංග්‍රීසීහු විශාල ජයක් අත්කර ගත්හ. 1568 දී මේරි ස්කොට් රැජින (බ.) එරට කැරලිකරුවන් විසින් පරදවනු ලැබීම නිසා එලිසබෙත් රැජිනගේ රැකවරණ පතා ඇය වෙත පැමිණියාය. එහෙත් ඉංග්‍රීසි සිහසුනට ඇයට තිබුණු උරුමය නිසා රැජිනගේ බාහිර අභ්‍යන්තර සතුරෝ මේරි දඩමීමා කරගනිමින් කුමන්ත්‍රණ කරන්ට වූහ.
ප්‍රංසයත්, ස්පාඤ්ඤයත් මෙකල ඔවුනොවුනට සතුරු වූහ. මින් ඵල නෙළූ එලිසබෙත් රැජින ප්‍රංස, ස්පාඤ්ඤ දෙරට ම දුර්වල කිරීමේ උපක්‍රම යෙදුවාය. 1572 දී ප්‍රංසය එංගලන්තය හා මිත්‍ර ගිවිසුමකට අත්සන් තැබීය. මේ අතර ස්පාඤ්ඤයේ පිලිප් II රජු මේරිගේ ඉංග්‍රීසි කිරුළේ අයිතිය ගැන කතා කරන්නට වීම නිසා මේරි නසා දමන ලෙස ඉල්ලා මහත් උද්ඝෝෂණයක් ඇති විය. 1587 දී ස්පාඤ්ඤය හා යුද ඇවිලී ගෙන එන මොහොතේ මේරි ස්කොට් රැජින කුමන්ත්‍රණවලට සහභාගි වීමේ චෝදනාව උඩ ගෙළ සිඳ මරනු ලැබුවාය.
මේ කාලයේ දී ඉංග්‍රීසි මුහුදු කොල්ලකාරයෝ ස්පාඤ්ඤ-ඇමෙරිකන් නැව්තොටු හා ධනය පිරි නැව් ද කොල්ල කන්නට වූහ. 1588 දී නැව් 130කින් යුත් ස්පාඤ්ඤ 'ආමාඩා' නැව් කණ්ඩායම ඉංග්‍රීසි නැව් කණ්ඩායම විසින් විනාශ කරනු ලැබීම නිසා ස්පාඤ්ඤ සමුද්‍රාධිපත්‍යයේ අවසානය උදා විය. එහෙත් ස්පාඤ්ඤ ව්‍යසනය සම්පූර්ණයෙන් අවසාන වූයේ නැත. 1596 දී හා 1599 දී ද ස්පාඤ්ඤ මුහුදු පහරදීම් ඇතිවිය. මේ අතර 1589 දී පෘතුගාලයට පහර දීමට ඩ්රේක් හා නොරිස් යන ඉංග්‍රීසි නාවිකයන් ගත් තැත මුළුමනින් නිෂ්ඵල විය. ස්පාඤ්ඤ තර්ජනය එලිසබෙත් රැජිනගේ රාජ්‍ය කාලයේ අවසානය දක්වා ම පැවැත්තේය.
හෙන්රි IIගේ කාලයේ සිට නමින් එංගලන්තයට යටත්ව පැවති අයර්ලන්තය නැවත යටත් කර ගැනීම මෙකල සිදු විය. ශ්‍රේෂ්ඨ ඉංග්‍රීසි දේශගවේෂණ යුගය වශයෙන් ද හැඳින්වෙන මේ කාලයේ විසූ කීර්තිධර නාවිකයෝ නම් හෝකින්ස්, ඩ්රේක්, රැලේ, ෆ්‍රොබිෂර් ආදීහුය. මොව්හු රටවල් සොයා දැන ගැනීමෙහි හා සමුද්‍රබලය තර කිරීමෙහි යෙදුණාහ. ඉංග්‍රීසි විද්‍යා පුනර්ජීවනය පිළිබඳ ස්වර්ණමය යුගය සේ ද එලිසබෙත් රාජ්‍ය කාලය සලකනු ලැබේ. එලිසබෙත් යුගය අතිශයින් ම ප්‍රසිද්ධව ඇත්තේ ඒ කාලයේ එංගලන්තයෙහි ඇති වූ විශිෂ්ට සාහිත්‍ය පෝෂණය සම්බන්ධයෙනි. ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ ස්වර්ණමය යුගය වූ මේ අවධියෙහි විසූ සාහිත්‍ය සේවීන් අතර බේකන්, බෙන් ජොන්සන්, හූකර්, මාලෝ, වෙබ්ස්ටර් ආදිහු ද ෂේක්ස්පියර් කිවියා ද වෙති.
1603 දී අවිවාහක එලිසබෙත් රැජින සිය මහලු වියේ දී මියගියේ ජාතියේ හා ආගමේ ඉදිරි ගමන පිණිස මෙතෙක් ඇයට අතිශයින් හිතපක්ෂව සහාය දුන් රටවැසියා ඇයගේ අවසාන කාලයෙහි කටයුතු ගැන කලකිරී සිටි අවධියක දීය. කතෝලිකයන් මෙන් ම ප්‍රොතැස්තන්ත ප්‍යුරිටන්වරුන් ද පසු වූයේ නොසතුටිනි. ජේම්ස් I රජු කිරුළු පැලැන්දේ ෂේක්ස්පියර් ආදී කවීන් ප්‍රීතිමත් නව යුගයක උදාව ගැන නැඟූ ජයඝෝෂා මැදය.
ස්ටුවට් පාලනය (1603–1714)
ජේම්ස් I (බ.) නමින් 1603 දී එංගලන්තයේ රජ බවට පත් වූයේ මේරි ස්ටුවට් (ස්කොට්) රැජිනගේ පුත්‍ර ස්කොට්ලන්තයේ VI වන ජේම්ස් රජය. එංගලන්ත ස්කොට්ලන්ත කිරීටයන්ගේ එක්වීම් මේ ලෙසින් කැලඹීම් යුද්ධ විරහිතව ම සැලසුණු අතර, අයර්ලන්තය එලිසබෙත් රැජින විසින් යටත් කර තිබීම නිසා ජේම්ස් රජ එරටෙහි ද නියම පාලකයා විය. 1607 දී උතුරු අමෙරිකාවේ වර්ජිනියා ජනපදය පිහිටුවීමෙන් අලුත සොයා ගත් උතුරු ඇමෙරිකාවේ බ්‍රිතාන්‍ය ජනපද පිහිටුවීමට මුල පිරිණ.
ස්පාඤ්ඤ යුද්ධයෙන් ලත් ස්ථිර ජයග්‍රහණ නිසා එංගලන්තයේ දේශපාලන හා ආගමික නිදහස ස්ථිර විය. ඉංග්‍රීසි සමුද්‍රාධිපත්‍යයට ද ස්ථිර ලෙස පදනම වැටුණේය. ආගමික කටයුතු ගැන උනන්දු වූ ජේම්ස් රජ මුලින් කතෝලික, ප්‍රොතැස්තන්ත දෙපක්ෂයට ම සාධාරණ ලෙස කටයුතු කෙළේය. 1604 දී රැස්වුණු පාර්ලිමේන්තුවේ දී රජු තම දේව වරමින් ලත් අයිතිය තහවුරු කරගෙන සෑම බලයකට ම ඉහළින් ඉස්මතු වීමට සිතා ක්‍රියා කළ නමුත් එය අසාර්ථක විය. රජුගේ අකැමැත්ත තිබිය දී ම පාර්ලිමේන්තුව කතෝලිකයන්ට විරුද්ධව දැඩි නීති පනවා ක්‍රියා කරවීය (1605). ගන් පවුඩර් (වෙඩි බෙහෙත්) කුමන්ත්‍රණය (බ.) මෙහි ප්‍රතිඵලය විය. එංගලන්තය හා ස්කොට්ලන්තය එක්සත් කිරීම සම්බන්ධයෙන් ද රජු හා මන්ත්‍රී මණ්ඩලය අතර මතභේද ඇති විය.
1611 දී පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ පසු ඊළඟ සත් වර්ෂය තුළ දී එරට වූයේ 1614 දී දෙමසක් පැවති පාර්ලිමේන්තුව පමණි. රජුගේ ආදායම් තත්ත්වය පිරිහීම නිසා මහත් නොසංසුන්කම් මැද්දේය, රට පාලනය කරනු ලැබුවේ. 1615 දී ආදායම් ගැන සුළු සහනයක් ලත් නමුත් තිස් හවුරුදු යුද්ධය නිසා රජ නැවතත් මුදල් පිළිබඳ කරදරයට මුහුණ පෑවේය. 1621න් පසු ස්පාඤ්ඤ රජ වාසල සමග විවා ගිවිසුමකට ඔහු ගත් වෙහෙස නිෂ්ඵල වූ අතර ප්‍රංසය සමඟ සම්බන්ධයකට රටවැසියා විරුද්ධ වූහ. චාල්ස් I (බ.) (1625-1649)ගේ කාලයේ දී, ඔහුගේ පියාගේ කාලයේ ඉමහත් බලයක් පෑ අගමැති බකිංහැම් පුරෝහිත පදවිය දැරීය. මුල් කාලයේ සිට ම ස්පාඤ්ඤය හා ප්‍රංසය සමඟ කරන්ට යෙදුණු අසාර්ථක යුද්ධ ආදිය නිසා චාල්ස් රජු හා පාර්ලිමේන්තුව අතර කොතෙකුත් අර්බුද පැන නඟින්නට විය. පාර්ලිමේන්තුව යුද්ධ කටයුතු සම්බන්ධයෙන් ද රජුගේ වියදම් සම්බන්ධයෙන් ද මුදල් සම්මත කළේ ඉතා අඩුවෙනි. 1625 දී ද 1626 දී හා 1629 දී ද ඔහු පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. ඔහු සිය ඒකමතික බලයෙන් බදු පැනවීය. කෝඩිස් වෙත හා ප්‍රංසයට අයත් රේ දූපත වෙත 1626 දී බකිංහැම්ගේ නායකත්වයෙන් යවන ලද දෙසේනා ම මහත් හානි ලැබ අසාර්ථකව ආපසු පැමිණියහ. බකිංහැම් අන්තවාදියකු විසින් මරනු ලැබූ පසු සර් තෝමස් වෙන්ට්වත් ඔහුගේ තනතුරට පත්විය.
1628 දී කැඳවනු ලැබූ III වන පාර්ලිමේන්තුව රජුට විරුද්ධව පැමිණිලි ගැන සාකච්ඡා කොට 'අයිතිවාසිකමේ පෙත්සම' පිළියෙළ කොට ඊට රජුගේ අනුමැතිය ද ලබා ගන්නා ලදි. 1629 දී පාර්ලිමේන්තුව විසිර වූ පසු චාල්ස් I රජ 11 වසක් පෞද්ගලික ලෙස අත්තනෝමතික පාලනයක් ගෙන ගියේය. 1629, 1630 වර්ෂවල ස්පාඤ්ඤය හා ප්‍රංසය සමඟ සාමය ඇති කරගනු ලැබීය. රජුගේ මුදල් සපයා ගැනීමේ විධිවිධාන හා ආගමික ප්‍රතිපත්තිය නිසා රටේ බලවත් විරෝධයක් ඇති විය. ස්කොට්වරුන්ගේ ආගමික විශ්වාසයනට පටහැණි වූ ඔහුගේ ස්කොට් සභා කටයුතු නිසා ඇති වුණු ස්කොට් කැරැල්ලේ ප්‍රතිඵලයක් හැටියට නොතම්බර්ලන්ඩ් හා ඩරම් ප්‍රදේශ ස්කොට්ලන්තයට යා කරගනු ලැබීය. මේ නිසා 1640 නොවැම්බර් 3 දින රැස්වූ 'දීර්ඝ පාර්ලිමේන්තුව' යන නමින් ප්‍රකට වුණු පාර්ලිමේන්තුව රජුගේ 'පුද්ගල රාජ්‍ය කාලය' නිමාවට පත් කෙළේය. ජිම් හා හැම්ඩන් ප්‍රමුඛ මන්ත්‍රීහු ස්ට්‍රැප’ඩ් සාමිට විරුද්ධව රාජාපරාධ පනතක් සම්මත කොට 1641 දී ඔහු නසා දැමූහ. ස්ටාර්චෙම්බර්, උතුරේ මන්ත්‍රී සභාව ආදි විශේෂ අධිකරණයන් අවලංගු කොට රාජභාණ්ඩාගාරය පාර්ලිමේන්තුව යටතේ තබන ලදි.
1641 දී ඇති වූ ඇල්ස්ටර් කැරැල්ල විගස ම මුළු අයර්ලන්තය පුරා පැතිර ගියේය. එහෙත් සේනා සංවිධානය රජුට භාරදීමට බිය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැඩි ඡන්ද 11කින් රජුට විරුද්ධව ඔහුගේ වැරදි පාලනය පිළිබඳ විස්තර සහිත 'ග්රෑන්ඩ් රිමොන්ස්ට්‍රන්ස්' නම් පෙත්සම සම්මත කරගත්හ.
1642 දී ස්කොට් කුමන්ත්‍රණයට සම්බන්ධ යයි සැක කරනු ලැබූ මන්ත්‍රීන් 5 දෙනකු ඇල්ලීමට රජු ගත් මූඪ පියවර නිසා, සාකච්ඡා බිඳ වැටී I සිවිල් යුද්ධය ඇති විය. ස්කොට් ආධාරය ද ලත් පාර්ලිමේන්තු කණ්ඩායම 1645 දී රජුගේ සේනා සම්පුර්ණයෙන් පැරදවූහ. රජු ස්කොට් කඳවුරට ඇතුළුව ගෙන ගිය සාකච්ඡා නිෂ්ඵල විය. 1647 දී ඉංග්‍රීසි පාර්ලිමේන්තු කණ්ඩායමට රජ බාර දෙනු ලැබීය. මේ අතර රජු ස්කොට්වරුන් සමග ගිවිසුමකට පැමිණීම නිසා II සිවිල් යුද්ධය ඇති විය. ඔලිවර් ක්‍රොම්වෙල් (බ.) ස්කොට් ආක්‍රමණික සේනා පැරදවීය. ඉක්බිති පාර්ලිමේන්තු මන්ත්‍රීන් 70කට අඩු සංඛ්‍යාවකගෙන් යුත් 'රම්ප්' නමින් ප්‍රසිද්ධ වූ මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් රජ වරදකරු යයි තීරණය කරන ලදි. 1649 ජනවාරි 30 දා I චාල්ස් රජ හිස සිඳ මරවනු ලැබීය.
පොදු රාජ්‍යය හෙවත් සමූහාණ්ඩුව 1649-1660
චාල්ස් I මරණයට පත් කරනු ලැබූ පසු රාජාණ්ඩු ක්‍රමය ද, සාමි මණ්ඩලය ද අවලංගු කොට 1649 දී පොදුරාජ්‍යයක් පිහිට වූ බව ප්‍රකාශ කරනු ලැබීය. විධායක බලය 41 දෙනකුගෙන් යුත් රාජ්‍ය මන්ත්‍රණ සභාවකට පැවරිණ. මුල් කාලයේ දී එංගලන්තයේ ද, අයර්ලන්තයේ හා ස්කොට්ලන්තයේ ද පොදුරාජ්‍ය යුද්ධාණ්ඩුක්‍රමය ගැන තදබල විරෝධය පැනනැඟිණ. 1652 වන්නට පළමු ස්කොට්ලන්තය හා අයර්ලන්තය යටත් කරනු ලැබ යටත් රටවල් හැටියට ඒවායේ පාලනය ඇරඹිණ. මේ දෙරට යටත් කිරීමේ ගෞරවය හිමිවනුයේ කලින් රාජ්‍ය සේනා පැරදවූ ඔලිවර් ක්‍රොම්වෙල්ටය. ප්‍රංසය, ස්පාඤ්ඤය ආදි රටවල් මුල දී පොදුරාජ්‍ය එංගලන්තය නොපිළිගත් නමුත් 1652න් පසු ඒ රටවල් විසින් ද පිළිගනු ලැබිණ.
1653 දී පාර්ලිමේන්තුව හා යුද්ධ සේනාව අතර ඇති වූ ගැටුමකින් පසු ක්‍රොම්වෙල් ප්‍රමුඛ යුද්ධ නිලධාරීන් විසින් 'රම්ප්' පාර්ලිමේන්තුව හා රාජ්‍ය මන්ත්‍රී සභාවත් විසුරුවා හරිනු ලැබූහ. 1653 දෙසැම්බර් 16 දින ක්‍රොම්වෙල් 'ආරක්ෂක ස්වාමියා' හැටියට එංගලන්තයේත් ස්කොට්ලන්තයේත් අයර්ලන්තයේත් පාලනය සිය අතට ගත්තේය. 1655 දී රට කොටස් 10කට බෙදා එක් එක් කොටස මේජර් ජනරාල්වරයකු යටතේ තබන ලදි. ස්පාඤ්ඤ යුද්ධය ළං වීම නිසා මුදල් ලබා ගැනීම පිණිස 1656 අවුරුද්දේ පාර්ලිමේන්තුව කැඳවූ හෙතෙම මන්ත්‍රී මණ්ඩල ද්වයකින් යුත් පාර්ලිමේන්තුවක් සහිත ආණ්ඩු ක්‍රමයක් ඇති කැරැවිය. 'රජ' යන නම නොලත් නමුත් එතැන් සිට ක්‍රොම්වෙල් යාවජීව 'ආරක්ෂකයා' බවට පත්ව නොබෝ දිනකින් ම (1658 දී) පාර්ලිමේන්තුව විසුරුවා හැර බලය සිය අතට ගත්තේය.
ඔහු අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් මෙන් ම විදේශ කටයුතු සම්බන්ධයෙන් ද කාර්යක්ෂම ලෙස කටයුතු කිරීමෙන් එංගලන්තයේ කීර්තිය හැම තැන පැතිර ගියේය. පිටරට වෙළඳාමත් ජනපද පිහිටුවීමත් ප්‍රොතැස්තන්ත බලයත් මෙකල දියුණු විය. ඕලන්ද යුද්ධයෙන් ජය ලත් ක්‍රොම්වෙල් ජැමෙයිකාව හා ඩන්ක’ක් අත් කරගති.
පොදු රාජ්‍යයේ වැටීම හා නැවත රාජාණ්ඩුව පිහිටුවීම
1658 ඔලිවර් ක්‍රොම්වෙල් මිය ගිය පසු ඔහුගේ පුත්‍ර රිචඩ් ක්‍රොම්වෙල් පියාගේ තැන ගත් නමුත් 9 මසකින් ඔහුට ඉල්ලා අස්වීමට සිදු විය. සිවිල් යුද්ධයක් ඇති වන තැනට කරුණු සැලසිණ. මේ නිසා දීර්ඝ පාර්ලිමේන්තුව (රම්ප්) නැවත රැස් කරනු ලැබීය. ස්කොට්ලන්තයේ සේනා භාරයේ සිටි ජෝජ් මොන්ක් නම් සේනාපතියාගේ උවදෙස් පරිදි 1660 දී නව පාර්ලිමේන්තුවක් තේරීමට නියම විය. උභය සභාවන්ගෙන් යුත් පාර්ලිමේන්තුවක් සහිත රාජාණ්ඩුවක් පිහිටුවීමට අලුත් පාර්ලිමේන්තුව තීරණය කළෙන් චාල්ස් Iගේ පුත්‍ර චාල්ස් කුමාරයා ඕලන්දයෙන් කැඳවනු ලැබ එංගලන්ත රාජ්‍යයෙහි කිරුළු පලඳවනු ලැබීය.
1660 මැයි මාසයේ දී එංගලන්ත රජු හැටියට ප්‍රකාශ කරනු ලැබූ චාල්ස් II බ. (1660-1685) සිය රාජ්‍ය කාලය ගණන් ගත්තේ 1649 සිය පියාගේ හිස ගසා දමන ලද දිනයේ සිටය.
රාජාණ්ඩුව පිහිටුවීමෙන් පසු ස්කොට්ලන්තයට නැවත ස්වාධීනතාව ලැබිණ. අයර්ලන්තයට ද සිය පැරණි නාමය ලැබුණේය. බලාපොරොත්තු වූ තරම් ආගමික නිදහසක් නොලැබිණ. විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ද එතරම් වෙනසක් ඇති නොවීය. ඔහු ප්‍රතිකාල් ජාතික බ්රැගන්සා කුමරිය හා විවාහ වීමේ දී ලත් දායාදයෙන් කොටසක් වූ බොම්බාය පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමට බදු දෙන ලදි.
රජුගේ පුරෝහිතයා වූ ද එංගලන්ත සභාවට පක්ෂව කටයුතු කළා වූ ද ක්ලැරන්ඩන් අ’ල්වරයා 1667 දී බලයෙන් පහ කරනු ලැබූයෙන් ප්‍රංසයට පැන ගියේය. මින් පසු රජුට උපදෙස් දීම පිණිස දක්ෂ තනි අමාත්‍යයකු නොවීම නිසා 'කබාල්' නම් වූ උපදේශකයන් 5 දෙනකුගෙන් යුත් මණ්ඩලයක් පිහිටුවන ලදි. වර්තමාන කැබිනට් මණ්ඩලයේ මුල් උත්පත්තිය ඇති වූයේ මෙයිනි. 1674 දී කබාල් මණ්ඩලය විසුරුවීමේ දී ඩැන්බිසාමි ප්‍රධාන ඇමති බවට පත් කරන ලදි.
චාල්ස්ගේ රාජ්‍ය කාලයේ දී ඇති වූ ඉංග්‍රීසි-ඕලන්ද යුද්ධය, බ්ලැක්ඩෙත් වසංගතයේ නැවත පැතිරීම හා 1666 ලන්ඩන් මහා ගින්න ද රටට අතිශයින් විපත්තිකර විය. "රජු මැරීමට හා ඔහුගේ සහෝදර කතෝලික ජේම්ස් කුමාරයාට රජකම දීමටත්, පාප්තුමා කුමන්ත්‍රණයක් ගෙන යතැ"යි මේ අතර ම 1678 ටයිටස් ඕට්ස් නමැත්තකු පතළ කළ දූසමාන ආරංචිය ද රටේ නොසන්සුන්කම් වැඩි කළේය.
චාල්ස් සිය අවසාන කාලයේ දී බෙහෙවින් ජනප්‍රිය බවට පත් විය. මේ නිසාත් ඔහුගේ කාර්යක්ෂමතාව නිසාත් පාර්ලිමේන්තුව විසුරුවා හැර තනිව රජ කිරීමට ඔහුට පුළුවන් විය. විග් හා ටෝරි යන පක්ෂ ඒවායේ නියම ස්වරූපය ගත්තේ ඔහුගේ කාලයේ දීය.
මෙරජුගේ රාජ්‍ය කාලයේ දී ඉහත දැක්වූ පරිදි ස්කොට්ලන්තය නැවත සිය ස්වාධීනතාව ලැබූ අතර අයර්ලන්තය ද පෙර තත්ත්වය නැවත ලබා ගත්තේය. ඉන්දියාවේ ඉංග්‍රීසි අධිරාජ්‍යයේ පදනම වැටුණේ ද චාල්ස් IIගේ කාලයේ දීය. ඇමෙරිකන් ජනපද පිහිටුවීම ගැන ද උනන්දුවක් දක්නා ලදී. නිව්යෝක් පළාත එංගලන්තයට අයත් විය. මිල්ටන්, ඩ්‍රයිඩන්, ලොක්, බන්යන් ආදි සාහිත්‍ය සේවීහු නිසා මෙකල ඉංග්‍රීසි සාහිත්‍යයේ විශේෂ බැබළීමක් ද දක්නා ලදි.
ජේම්ස් II (බ.) (1685–1688) චාල්ස් වැනි දක්ෂ පාලකයෙක් නොවීය. කතෝලිකයකු වූ ඔහුගේ වැඩ පිළිවෙළ කතෝලික ස්වෛරී පාලනයක් ඇති කිරීමට ගන්නා ලද තැතක් බඳු විය. ඔහුට පුතකු ලැබීම නිසා කතෝලික පාලනය එරට දිගට ම පැවතිය හැකි වෙතැයි මහත් බියක් රටේ පැතිරිණ. මේ නිසා ජේම්ස් රජුගේ බෑනා (මේරි නම් දූ කුමරියගේ ස්වාමියා) වූ යුරෝපයේ ප්‍රොතැස්තන්තවරුන්ගේ නායකයා මෙන් සලකනු ලැබූ ඔරෙන්ජ්හි විලියම් වෙත එංගලන්තය මුදා ගැනීමට පැමිණෙන ලෙස ඉල්ලා ටෝරි පක්ෂයේ නායක ඩැන්බිසාමි ප්‍රමුඛ ඉංග්‍රීසි නායකයෝ සංදේශයක් යැවූහ. 1688 නොවැම්බර් හි දී විලියම් එංගලන්තයට ගොඩ බැස මසක් ඇතුළත ජේම්ස් රජ ප්‍රංසයට පැන ගියේය. මෙසේ එංගලන්ත සිංහාසනය විලියම් හා මේරි අතට ලෙහෙසියෙන් ම පත්විණ.
විලියම් බලයට පත් කිරීම ගැන ටෝරි පක්ෂයේ විරුද්ධත්වය පැන නැඟිණ. එහෙත් ජේම්ස් රජු රටෙන් පැන යාම නිසා සිහසුන හිස්ව ඇති බැවින් විලියම් එයට සුදුස්සා බව විග්වරු කියා සිටියහ. මේ නිසා දෙපක්ෂය මැදහත් සම්මුතියකට පැමිණ විලියම් III හා මේරි එංගලන්තයේ සමපාලකයන් හැටියට පත් කරනු ලැබූහ. එහෙත් පාලන බලය සපූර්ණයෙන් විලියම් වෙත පැවරිණ. ලන්ඩන්හි රැස්වුණු ස්කොට් බලවතුන් පිරිසක් විසින් විලියම් රජුට ස්කොට්ලන්ත පාලනය ද පවරනු ලැබීය. අයර්ලන්තයේ පාලන බලය ඉසුලු ට්ර්කොනල් අ’ල්වරයා එරට සෑම වැදගත් නිලතලයක් ම කතෝලිකයන්ට පැවරීම නිසා ප්‍රොතැස්තන්තවරු එංගලන්තයට පලා යමින් සිටියහ. ට්ර්කොනල් අයිරිෂ් පාලනය භාරගන්නා ලෙස ජේම්ස් රජුගෙන් ඉල්ලා සිටියෙන් ප්‍රංස ආධාරය ද ලත් හෙතෙම එහි ගියේය. එහෙත් විලියම් රජුගේ සේනා විසින් පරදවනු ලැබූ ජේම්ස් රජ නැවත ප්‍රංසයට පැන ගියේය. 1691 දී අයර්ලන්තය සම්පූර්ණයෙන් නැවත යටත් කර ගන්නා ලදි.
මේරි රැජින 1694 දී මිය ගිය පසු 1702 දක්වා විලියම් III තනිව කිරීටය දැරීය. විලියම් රජුගේ කාලයේ දී රජුගේ 'දිව්‍යමය අයිතිය' නැති කරන ලදි. ක්‍රමයෙන් රාජබලය අඩු කරනු ලැබූ අතර පාර්ලිමේන්තුවේ ආධිපත්‍යය පිහිටවනු ලැබීය. 1689 දී වගන්ති 11කින් යුත් අයිතිවාසිකම් පනත සම්මත විය. මේ අනුව පාර්ලිමේන්තුවේ අවසරය නැතිව බදු අයකිරීම හා සාම කාලයේ දී යුද්ධ හමුදා නඩත්තු කිරීම නොකළ යුතු විය. පාර්ලිමේන්තු මන්ත්‍රීන් තේරීම පිණිස නිදහස් මැතිවරණ කළ යුතු විය. 1689 දී පැන වූ ආගමික නිදහස දීමේ පනතින් කතෝලිකයන්ට හා යුතිමේරියන්වරුන්ට හැර අන් හැම ක්‍රිස්තියානි සභාවලට ම අයත් අයට ඇදහීමේ නිදහස දෙනු ලැබීය. 1701 දී සම්මත කරනු ලැබූ පනතක් අනුව එංගලන්තයේ රජු එංගලන්ත සභාවට අයත් විය යුතු බව නියම විය. ප්‍රොතැස්තත්ත ආගම එංගලන්තයේ තහවුරු වීමත් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයේ ප්‍රගතියට පහසුව සැලසීමත් මෙකල සිදුවිය. ටෝරි හා විග් දේශපාලන පක්ෂවල මතභේද වැඩිදියුණු වනු ද පෙනිණ. 1690 හා 1996 දී විලියම් රජු මැරීමට ජැකොබයිට් කුමන්ත්‍රණ ඇති විය. එහෙත් ඒ අසාර්ථක විය.
විලියම් III රජුගේ කාලයේ දී එංගලන්ත බැංකුව විවෘත කරනු ලැබීම ද වැදගත් සිද්ධියකි. ජාතික ණය මුදල ඇරඹුණේ ද මොහුගේ කාලයේය.
ප්‍රංස බලය සිඳ දැමීමේ ආශාවෙන් කටයුතු කළ විලියම් රජ ඕග්ස්බර්ග් සංගම යුද්ධයට සම්බන්ධ විය. 1697 රිස්වික් ගිවිසුම පරිදි ඇති වූ සාමයෙන් ලුවී XIV රජු 1689 සිට අල්ලා ගත් ප්‍රදේශ ආපසු විලියම් රජු වෙත පැවරීමත් ඔහු එංගලන්තයේ නියම රජු හැටියට පිළිගැනීමත් සිදුවිය. 1702 සිට 1714 දක්වා ජේම්ස් II රජුගේ බාල දියණිය වූ ඈන් (බ.) රජ කළාය. මෙකල එංගලන්තයේ විසූ ඇඩිසන්, ස්ටීල් ආදීහු විග් පක්ෂය ද, ස්විෆ්ට්, ප්‍රයර් ආදීහු ටෝරි පක්ෂය ද ගෙන දේශපාලන ප්‍රශ්න සාකච්ඡා කිරීම නිසා විශාල මහජන උද්‍යෝගයක් ඇති විය. රැජින ටෝරි පක්ෂයට නැඹුරු වූවාය. ඈ විග් අමාත්‍යමණ්ඩලයට නොටිංහැම් ආදි ටෝරිවරුන් පත් කළාය. ගොඩොල්පින් සාමි භාණ්ඩාගාර නායක ධුරයට පත් කරනු ලැබීය. මාල්බරෝ යුවළ රැජින ඇසුරු කරමින් ඉමහත් බලයක් පාමින් කාලයක් කටයුතු කළහ.
1702-1710 කාලයේ දී ස්පාඤ්ඤ සිංහාසන උරුම යුද්ධයෙන් ස්පාඤ්ඤයට හා ප්‍රංසයට විරුද්ධව එංගලන්තය දිගට ම ජය අත් කරගත් නමුත් ඒ අතර ඇති වූ ටෝරි විරුද්ධත්වය නිසා තදින් ක්‍රියා කළ විග් අමාත්‍ය මණ්ඩලය ඉවත් කොට, ප්‍රංසය හා සාමය කැමති ටෝරි පක්ෂයේ අමාත්‍ය මණ්ඩලයක් බලයට පමුණුවනු ලැබීය. යුද්ධයෙහි වීරයා වූ මාල්බරෝ සේනාපති ධුරයෙන් නෙරපනු ලැබීය. 1713 දී යුට්‍රෙක්ට් ගිවිසුමෙන් ස්පාඤ්ඤ සිංහාසන යුද්ධයේ සාමය ඇති විය.
ඈන් රැජිනගේ කාලයේ දී සිදු වූ ඉතා ම වැදගත් ඓතිහාසික සිද්ධිය වශයෙන් සැලකිය හැක්කේ ස්කොට්ලන්තය හා එංගලන්තය එක්සත් කිරීමේ පනත (1707) සම්මත කරගනු ලැබීමයි.
විලියම් III රජුගේ කාලයේ සිට ස්කොට්ලන්තය ස්වකීය ස්වාධීනතාව ආපසු ලබාගෙන වෙන ම නිදහස් ලෙස කටයුතු කරන්නට වන. මේ නිසා බාහිර යුද්ධ පවතින කාලවල දී ස්කොට්ලන්තය සතුරු පස ගනිතැයි යන බියෙන් පසු වූ විලියම් රජ ද ඈන් බිසව ද එරට හා එංගලන්තය එක්සත් කිරීම ආරක්ෂාව පිණිස අත්‍යවශ්‍ය හැටියට සැලකූහ. 1702 දරන ලද ප්‍රථම පරිශ්‍රමය අසාර්ථක විය. 1703 දී ස්කොට් පාර්ලිමේන්තුව 'ආරක්ෂක පනත' නමින් පනතක් සම්මත කොට ස්කොට් වෙළඳාම හා ආගම පිළිබඳ නිදහස සහතික නොකරන ඉංග්‍රීසි රජකු වෙත ස්කොට් සිහසුන නොපැවරිය යුතු බව තීරණය කරන ලදි. 1705 දී එංගලන්තයේ වසන ස්කොට්වරුන් විදේශිකයන් වශයෙන් සැලකීමටත් ස්කොට් බඩු වර්ජනය කිරීමටත් දේශසීමා නගර ආයුධ සන්නද්ධ කිරීමටත් සම්මත කිරීමෙන් ස්කොට්ලන්තයට මහත් හිරිහැර ඇති වීම නිසා දෙරට එක්කිරීම ගැන ස්කොට් උනන්දුව ලියලන්නට විය. 1707 දී ස්කොට්, ඉංග්‍රීසි සම කොමිෂන් සභා දෙකක් විසින් පවත්වන ලද සාකච්ඡාවල ප්‍රතිඵලය වශයෙන් දෙරට එක්සත් කිරීමේ ගිවිසුමක් අත්සන් කිරිමට තීරණය විය. ඒ පිළිගත් ඉංග්‍රීසි, ස්කොට් පාර්ලිමේන්තු විසින් දෙරටේ ම නියෝජිතයන්ගෙන් සමන්විත එක්සත් පාර්ලිමේන්තුවක් පිහිටුවීමට තීරණය කරන ලදි. පැරණි ස්කොට් පාර්ලිමේන්තුව අවලංගු කොට විසුරුවා හරින ලදි. එක්සත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ අසුන් 45ක් ද සාමි මණ්ඩලයේ අසුන් 16ක් ද ස්කොට්වරුන් වෙනුවෙන් වෙන් කරන ලදි. මෙසේ 1707 දී එංගලන්තය හා ස්කොට්ලන්තය එක්වීමෙන් මහා බ්‍රිතාන්‍යය ඇතිවිය. (ඈන් රැජිනගෙන් පසු ඉතිහාසය එක්සත් මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත රාජධානිය යටතේ එයි.)
පොත්පත්
(රෝම යුගය හා ඉන් පෙර කාලය ගැන)
Mackenzie-Ancient man in Britain
Windle-Romans in Britain
(ඇංග්ලෝ සැක්සන් හා මධ්‍යතන යුගය ගැන)
Chadwick, H. M.-Origin of English Nation
Menton, F. M.-Anglo Saxon England
Polle, A. L.-From Doomsday Book to Magnacarta.
(ටියුඩර් හා ස්ටුවට් යුග ගැන)
Reesi-Tudors and Stuarts
Wollard, A. F.-Factors in Modern History
(පොදු වශයෙන්)
Oxford History of England, Vols. 41
(සංස්කරණය: 1974)