ඔටාවා සම්මේලනය
බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලය සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් රටවල් අතර කෙරෙන වෙළඳාම සම්බන්ධයෙන් විශේෂ තීරුබදු ක්‍රමයක් ඇති කිරීමේ අරමුණින් 1932 දී කැනඩාවේ ඔටාවා නගරයෙහි දී පවත්වන ලද සම්මේලනයයි. මෙහි දී පිළිගන්නා ලද ප්‍රතිපත්තියට අනුව, පළමුකොට අභ්‍යන්තර නිෂ්පාදකයන්ට ද දෙවනුව අධිරාජ්‍යයට අයත් නිෂ්පාදකයන්ට ද ඊළඟට විදේශීය නිෂ්පාදකයන්ට ද ආදි වශයෙන් පිළිවෙළින් වෙළඳ පහසුකම් සලස්වා දෙන්නට තීරණය විය. මේ ප්‍රතිපත්තිය ගැප් වූ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම් ගණනාවක් ම මෙහි දී අත්සන් කරනු ලැබිණි. ආර්ථික හා දේශපාලන ඉතිහාසය අතින් බැලුව හොත්, කරුණු කීපයක් නිසා ඔටාවා සම්මේලනය වැදගත් වෙයි. එකල නැඟී එමින් පැවති විදේශීය (විශේෂයෙන් ජර්මන් හා ජපන්) කාර්මික තර්ජන ඉදිරියේ බ්‍රිතාන්‍යයෙහි ආර්ථික ප්‍රමුඛත්වය රැකගැනීමට නම්, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය හා පොදු රාජ්‍ය මණ්ඩලය විශේෂ ආර්ථික ඒකකයක් වශයෙන් සංවිධාන කළ යුතු බව ඉංග්‍රීසීන්ට අවබෝධ වී තුබූ සැටි මේ සම්මේලනයෙන් පැහැදිලි වේ (අධිරාජ්‍ය වරණය බ ).
(සංස්කරණය: 1974)