ඒකනායක

සිංහල විශ්වකෝෂය වෙතින්
11:18, 27 ජූලි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('පොළොන්නරු සමයෙන් පසු සිංහල රාජ සභාවෙහි වූ ඉතා...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

පොළොන්නරු සමයෙන් පසු සිංහල රාජ සභාවෙහි වූ ඉතා උසස් පදවියක් සේ සැලකේ. කඳවුරු සිරිතෙහි කලිකාල සාහිත්‍ය පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ පිරිවර නිලධාරීන් අතුරෙහි මුලින් ම එන සේනානායකයනට පසුව ද හංස සන්දේශයෙහි රාජසභා වර්ණනයෙහි මුල්තැන ගන්නා රාජකුමාරවරුනට පසුව එහෙත් වික්‍රමසිංහ අදිකාරම්ට හා සේනානායකවරුනට පෙරාතුව ද ඒකනායක ගැන සඳහන් වේ. මේ හැර ඒකනායකවරුන් ගැන පැවසෙන අන් තැනක් ගැන ඉතිහාසඥයන් මෙතෙක් සොයාගෙන නැති අතර ඒකනායක පදවියට අයත් බලතල හා රාජකාරි කවරේ දැයි කිසි තැනක සඳහන්ව ඇත්තේ ද නැත. ඒ කෙසේ වුවත් ඉහත දැක්වෙන නිලකාර වට්ටෝරුවල ඉතා මුදුන් තැනක් ගෙන ඇති ඒකනායක පදවිය ඉතා ම වගකිවයුතු උසස් නිලයක් වූ බවට සැකයක් නැත.

හංස සන්දේශයෙහි ‘ඒකනායක මැති මහන්තේ’ යයි පවසා තිබීමෙන් අදහස් වනුයේ ඒකනායකවරයා ‘මහන්ත’ යන ගරු නම ද දැරූ බව යයි සිතන පරණවිතාන සූරීහු ඒකනායක පදවිය වත්මන් මහාමාත්‍ය යන්නෙන් අදහස් වන පදවියට අනුරූප වූවක් විය හැකි යයි ද කල්පනා කරති. පසු කාලයෙහි වාසල මුදලි තත්වයේ ඒකනායක පදවියක් වූ බව සාලිඇලේ මණිරතන හිමියන් කළ කව්මුතුහරෙහි එන “කොළඹ වාසල ඒකනායක මුදලිඳුය පරසිදු උනා” (54) යනාදි කවෙන් පෙනේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඒකනායක&oldid=11474" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි