ඇල්ජීරියාව

සිංහල විශ්වකෝෂය වෙතින්
11:40, 21 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ප්‍රංස සමූහාණ්ඩුවට අයත්ව තිබී 1962 දී නිදහස ලබාග...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ප්‍රංස සමූහාණ්ඩුවට අයත්ව තිබී 1962 දී නිදහස ලබාගත් උතුරු අප්‍රිකානු රාජ්‍යයකි. නැගෙනහිරින් ටියුනීසියාවෙන් හා ලිබියාවෙන් ද දකුණින් නයිජර් හා මාලි ප්‍රදේශයන්ගෙන් ද වයඹ දිගින් මොරිටේනියාවෙන් හා ස්පාඤ්ඤ සහරාවෙන් ද බටහිරින් මොරොක්කෝවෙන් ද උතුරින් මධ්‍යධරණී මුහුදින් ද වට වී ඇති ඇල්ජීරියාව ව.සැ. 952,198ක් විශාලය. මෙයින් ව.සැ. 113,883ක් විශාල වූ උතුරු ඇල්ජීරියානු ප්‍රදේශය පාලන කොට්ඨාස 13කට ද සෙසු ව.සැ. 838,315 වසා පවත්නා සහරා ප්‍රදේශය පාලන කොට්ඨාස දෙකකට ද බෙදා ඇත. ඇල්ජීරියාවේ ජනගහනය (1960) 10,786,000කි. මෙයින් 589,000ක් ජනයා සහරා ප්‍රදේශයන්හි වෙසෙති.

භූ විද්‍යානුකූලව ඇල්ජීරියාව කොටස් පහකට බෙදේ. මධ්‍යධරණී මුහුද ආසන්නව පිහිටි ගිරි සහිත පටු වෙරළ ඇල්ජීරියාවේ ඉතා ම වර්ෂාධික ප්‍රදේශයයි. සැතපුම් 100ක් පමණ පළල් වූ මේ වෙරළබඩ තීරයට දකුණින් ටෙල් හෙවත් ඇට්ලස් කඳුවල පාමුල් බිම් ඇත. මෙහි සමාන්තරව පිහිටි කඳු වැටි අතර නිම්න හා පහත් බිම් බොහොමයක් ඉතා සාරවත් පසින් වැසී තිබේ. කබිලියා වැටියෙහි චේලියා (7,638’) මෙහි ඉතා ම උස ශිඛරයයි. ටෙල් ප්‍රදේශයේ සාමාන්‍ය උස අඩි 3,100ක් පමණ වේ. චෙලිෆ් ගංගාධාරය මෙහි ප්‍රධාන පහත් බිමය. සහරා ඇට්ලස් කඳුවලටත් ටෙල් ප්‍රදේශයටත් අතර පිහිටියා වූ අඩි 3,500ක් පමණ උස සානු ප්‍රදේශය තුන්වැනි කොට්ඨාසයයි. ‘ෂොට්’ නමින් හඳුන්වනු ලබන කිවුල් දිය විල් සහ වගුරුබිම් ද මේ සානුවේ අතරින් පතර තිබේ. මීළඟට මහා ඇට්ලස් කඳුවල ශාඛා වැටියක් වන සහරා ඇට්ලස් කඳුවැටිය අඩි 4,000ක් පමණ උස ප්‍රදේශයකි. සහරා ඇට්ලස් ප්‍රදේශයෙහි දකුණු සීමාවට ආසන්න කොටසෙහි සහරා කාන්තාරය ආශ්‍රිත විශාල වැලිපර පවා ඇත. මේ වැලිපර සහිත සහරා සානුව ඇල්ජීරියාවේ පස්වැනි කොට්ඨාසය ලෙස භූ විද්‍යානුකූලව සැලකිය හැකිය. එහි සාමාන්‍ය උස අඩි 1,500කි. ඉල්මාන් (9,262′) නම් වූ මළ යමහලක් ද මෙහි ඇත. ටසිලි සහ මුයිදිර්-ආහ්නෙට් යන වැලිගල් සහිත සානු මේ මළ යමහල වටා පිහිටා ඇත. ඉගාර්ගාර් සහ මියා නම් වූ අල්පකාලීන ගංගා නිම්න දෙකක් ද මෙහි ඇත. වර්ක්ලා, වාඩ් රිග්, සිබාන්, ගුරාරා, ටුආට් සහ ටිඩිකෙල්ට් මෙහි ඇති ප්‍රධාන ක්ෂෙම භූමිය.

උතුරු ඇල්ජීරියාවෙහි මධ්‍යධරණී දේශගුණයක් ඇති අතර ඇට්ලස් කඳුවලට දකුණු කොටසෙහි උෂ්ණ කාන්තාරික දේශගුණයක් ඇත්තේය. ශීත ඍතුවේ දී බටහිර මධ්‍යධරණී මුහුද හරහා හමන සුළං ලබන ඇල්ජීරියා වෙරළබඩ ප්‍රදේශය අඟල් 20-40ක වර්ෂාපතනයක් ලබයි. රට මැදට යත් ම ක්‍රමයෙන් වර්ෂාපතනය අඩු වන හෙයින් සහරා ප්‍රදේශයට ලැබෙන වාර්ෂික වර්ෂාපතනය අඟල් 8ක් පමණ වේ. වෙරළාසන්න පෙදෙස්වල ග්‍රීෂ්ම ඍතුවේ දී උෂ්ණත්වය පැ. 75°-79° පමණ වන අතර සහරා සීමාවන්හි 93°-105°ක් පමණ වේ. ටෙල් සහ සානු ප්‍රදේශයෙහි භූමියේ උස නිසා උෂ්ණත්වය අඩු වැඩි වන අවස්ථා ඇත. ශීත ඍතුවේ දී සහරා ප්‍රදේශයේ උෂ්ණත්වය පැ. 39°-43° දක්වා පහළ බසින නමුත්, වඩා සම දේශගුණයක් සහිත වෙරළාන්තයෙහි එය පැ. 50°-54°කට වඩා අඩු නොවේ. වසන්තයේ දී සහරා ප්‍රදේශයෙන් හමන සිරොකෝ නම් වැලි සහිත උෂ්ණ වියළි සුළඟ වෙරළාන්තයේ පවා සැඩය. ඊසාන දිග වෙරළේ සුළං ඇල්ජීරියාවේ දී වියළි සුළඟක් බවට පත් වේ.

ඇල්ජීරියාවේ සදාකාලික ගංගා ඇත්තේ ස්වල්පයකි. මීට හේතුව එරට පවත්නා දේශගුණයයි. යාත්‍රා ගමනාගමනයට සුදුසු එක ගඟකුදු මෙහි නොමැත. සැතපුම් 435ක් දිග මෙල්ෆ් ප්‍රධාන ගංගාවයි. ටෙල් සහ සහරා ඇට්ලස් කඳු අතර පිහිටි කිවුල් විල් තීරයෙහි ජලය බහුල වන්නේ වර්ෂා කාලයේ දී පමණි. ග්‍රීෂ්ම ඍතුවේ දී සම්පූර්ණයෙන් සිඳී යන සමහර විල්වල පත්ලේ ලුණු තට්ටු පවා මිදේ.

උතුරු ඇල්ජීරියාවේ ස්වාභාවික වෘක්ෂලතාදිය සෙසු මධ්‍යධරණී දේශයන්හි වෘක්ෂලතාවන්ට සමානය. මෙහි ඔලිව් ගස ප්‍රධානය. වර්ෂාව ලැබෙන උස් කඳු බෑවුම්වල සදාහරිත පතනශීල වනාන්තර ඇත. කෝක්, ඕක්, ජයන්ට් (දැවන්ත) සීඩර් මෙහි ඇති ප්‍රධාන ගස්වර්ගය. ජුනිපර් සහ ඇලේප්පෝ පයින් ගස් උස් බෑවුම්වල වැඩේ. වැස්ස අඩු සානුවල ස්ටෙප් තණ බිම් ඇත. සහරා ප්‍රදේශයෙහි වෘක්ෂලතාදිය ඉතා දුලබය. ක්ෂේමභූමිවල ඉඳි වවනු ලැබේ. වල් ඌරන්, ඇන්ටිලෝප් මුවන් සහ සිවලුන් වැනි සත්තු වනාන්තරවල බහුලය. වියළි ප්‍රදේශයන්හි ගෝනුස්සෝ සුලභය.

තඹ, තුත්තනාගම්, යකඩ, ඊයම්, සහ රසදිය නිධි මෙහි ඇත. රසදිය ආකර සහ ඛනිජ තෙල් උල්පත් ආර්ථික වශයෙන් ඉතා වැදගත්ය.

කෘෂිකාර්මික රටක් වූ ඇල්ජීරියාවෙහි තිරිඟු, බාර්ලි, මිදි, ඔලිව්, කපු, දුම් සහ ඉඳි වවනු ලැබේ. ඔලිව් තෙල් සහ රටඉඳි එරටින් පිටරට යවනු ලබන ද්‍රව්‍යය. මඳ වශයෙන් වර්ෂාව ලැබෙන සානුබිම්වල බැටළුවන් ඇති කරත්. සහරා ප්‍රදේශයේ විශේෂ සැලකීමට භාජන වන සතා ඔටුවාය. වෙරළබඩ පිහිටි තෙතමනය රඳා පවතින පළාත්වල කිරි පිණිස ගවයින් ඇති කරති. ඇල්ජීරියානු ජනයා බුමුතුරුණු කර්මාන්තයට සහජ දක්ෂතාවක් ඇත්තෝය. සම් පදම් කිරීම හා සම් භාණ්ඩ සෑදීම ද මෙහි වැදගත් ගෘහකර්මාන්තය. දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු කාර්මික සංවර්ධනයක් ඇති වුණු ඇල්ජීරියාවේ ධාන්‍ය පිටි ඇඹරීම, වයින් පෙරීම, පලතුරු වියළීම සහ ඒවා ටින්වල ඇහිරීම, රෙදි විවීම, රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය, සබන්, වීදුරු සහ කඩදාසි සෑදීම ආදි කර්මාන්ත දියුණුය.

ඇල්ජීරියාවේ වෙරළාසන්න ප්‍රදේශයෙහි ගමනාගමන පහසුකම් සුලභය. මොරොක්කෝ-ටියුනීසියා දුම්රිය මාර්ගය ඇල්ජීරියාව හරහා වැටී ඇත.

ඇල්ජියර්ස් (බ.) මේ රටේ අගනුවර ද ප්‍රධාන වරාය ද වේ. ප්‍රධාන ගුවන්තොටුපළ ද ඇල්ජියස්ය. අයින් සොෆ්රා, ගෙසොල්මා, බිලීඩා, කොන්ස්ටන්ටයින්, මැස්කාරා, සේටීෆ්, මෝස්ටාගනෙම්, සෙඩ් බෙල්-ඇබෙස් මෙහි වෙනත් ප්‍රධාන නගරයෝය.

ඉතිහාසය

ඇල්ජීරියාවේ ඉතිහාසය මොරොක්කෝවේ හා ටියුනීසියාවේ ඉතිහාසය හා වෙළී පවතී. ඇල්ජීරියානු ඉතිහාසය එක පිට එක පැමිණි ආක්‍රමණ සමූහයකගේ ඉතිහාසය ලෙස සම්පිණ්ඩනය කළ හැකිය.

ක්‍රි.පූ. 12 වන සියවසේ දී පිනීසියන්වරු උතුරු අප්‍රිකාවේ මෙකල ඇල්ජීරියාව පිහිටි භූමිය ඇතුළත් ප්‍රදේශවල ජනපද පිහිටු වූහ. එකල එහි විසුවේ බර්බර් ගෝත්‍රික ජනයාය. ක්‍රි.පූ. 146 දී රෝම ප්‍රදේශයක් බවට පත්වුණු ඇල්ජීරියාව [එවක නුමිඩියාව (බ.)] ලතින් සංස්කෘතියෙන් ආභාසය ලදුයේය. ක්‍රි.ව. 429 දී එරට වැන්ඩල්වරුන්ගේ ආක්‍රමණයට ලක් වූ නමුදු එහි බයිසන්ටයින් බලය විනාශ නොවීය.

පළමුවෙන් ම හත්වැනි සියවසේ වූ අරාබි ආක්‍රමණයෙන් පසුව ඇල්ජීරියාව ක්‍රමයෙන් මුස්ලිම් රාජ්‍යයක් බවට පත් විය. 11 වන සියවස වන විට මුස්ලිම් ධර්මය හා සංස්කෘතිය මෙම ප්‍රදේශයෙහි තදින් ම මුල්බැසගෙන තිබිණි. මධ්‍යතන යුගයේ දී දේශීය ගෝත්‍රිකයන් පිහිටුවූ අල්මොරාවිද් හා අල්මොහේද් යන අධිරාජ්‍ය කෙතරම් බලවත් වී ද යත් එම අධිරාජ්‍යවල බලය ස්පාඤ්ඤය දක්වා විහිද ගිය බවට සාධක ඇත. 16 වන සියවසේ තුර්කි ආධිපත්‍යයට යටත් වුණු මෙම ප්‍රදේශය 1705 දක්වා නාමමාත්‍රයෙන් ඔටෝමන් තුර්කි ප්‍රදේශයක් වශයෙන් පැවතියේය. අනතුරුව ඇල්ජසායිර් (ඇල්ජියර්ස්) ඩේවරුන් යටතේ ගෝත්‍රික ජනයා තුර්කි බලය බිඳ හෙළා 1830 ප්‍රංසවරුන්ගේ පැමිණීම දක්වා රටේ පාලනය ගෙනගියහ. 19 වන සියවසේ මුල්භාගයේ දී ඇල්ජීරියාවේ ප්‍රංස බලය පැතිරයාම අලුත් යුගයක ආරම්භය විය. 1830 සිට 1848 දක්වා උතුරු ඇල්ජීරියාවත් 1850 සිට 1857 දක්වා අනෙකුත් ප්‍රදේශත් ප්‍රංස ජාතිකයෝ යටත් කළහ. 1848 දී දෙවන සමූහාණ්ඩු රජය මගින් ඇල්ජීරියාව ප්‍රංස යටත් විජිතයක් හැටියට ප්‍රකාශ කරන ලදි. රජයේ අනුබලය ද ඇතිව යුරෝපීය ජාතිකයෝ මේ වන විට ඇල්ජීරියාවේ උපනිවේශ පිහිටුවාගෙන හුන්හ. ඔවුන්ගේ ඉල්ලීම උඩ, මුල දී පැවති යුද්ධ පාලනය ඉවත් කොට ඇල්ජීරියාවේ පාලනය ප්‍රංස රජයට පවරන ලදි. මේ සඳහා ඇල්ජියර්ස්, ඕරාන් හා කොන්ස්ටන්ටයින් යනුවෙන් අලුත් පාලන කොට්ඨාස තුනක් ද පිහිටුවන ලදි. ඇල්ජීරියාව පිළිබඳ නව ප්‍රතිපත්තියක් අනුගමනය කළ තුන්වැනි නැපෝලියන් 1863 දී එය යටත් අරාබි රාජ්‍යයක් වශයෙන් සැලකීය. 1865 රාජ්‍ය ප්‍රකාශනයකින් ඇල්ජීරියන් ජාතිකයන් ප්‍රංසයේ යටත් වැසියන් ලෙස පිළිගත් අතර ඔවුනට ප්‍රංස පුරවැසිකම ලබාගැනීමේ අවස්ථාව ද සලසන ලදි.

ඇල්ජීරියාව ප්‍රංසයට සම්පුර්ණයෙන් ම යටත්ව තිබුණ ද ප්‍රංස පාලනයට විරුද්ධව එරට නිතර කැරලි ඇති විය. 1879 දී මහා කැරැල්ල මැඩ පැවැත්වීමෙන් පසුව එරට නැවතත් සිවිල් පාලනයක් ඇති කරන ලදි. ගෝත්‍රික ජනයාගේ ඉඩම් විශාල වශයෙන් රාජසන්තක කළ ප්‍රංස ආණ්ඩුව ඒ සියල්ල යුරෝපා ජාතික උපනිවේශීන් අතර බෙදා දෙන ලදි.

1898 දී ඇල්ජීරියාවේ ප්‍රංස ආණ්ඩුකාරතැනට නීතිය, අධ්‍යාපනය හා මුදල් පිළිබඳ බලතල හැරෙන්නට අන් සියලු ම බලතල පවරන ලදි. 1900 දී මුදල් පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහුට අයත් විය. එම කාලයේ දී ම පිහිටුවන ලද ආණ්ඩු ක්‍රම සම්පාදක මණ්ඩල දෙකේ වැඩි බලතල අයත් වූයේ උපනිවේශීන්ටය. මණ්ඩල දෙකේ වැඩි කොටස යුරෝපීය ජාතිකයන්ගෙන් සමන්විත විය. පළමුවන ලෝක සංග්‍රාම කාලයේ දී ඇල්ජීරියාවේ සාමය ආරක්ෂා වූ අතර ඇල්ජීරියන් හමුදා සේනාංක ද ප්‍රංසය වෙනුවෙන් සටන් බිමට පැමිණියහ. 1917 දී තුර්කි බලපෑම උඩ නැගෙනහිර සහරා ප්‍රදේශයේ ඇති වූ කැරලි ඉතා ලෙහෙසියෙන් ම මැඩ පවත්වන ලද්දේය.

ජාතික විමුක්ති ව්‍යාපාරය

ඇල්ජීරියානු ජාතික ව්‍යාපාරය ආසියා-අප්‍රිකා ජාතික උන්නතියේ එක් අවස්ථාවකි. ඇල්ජීරියානු ජාතික ව්‍යාපාරයේ ආරම්භය පළමුවන ලෝක සංග්‍රාමයෙන් පසුව ආරම්භ වූවකි. ප්‍රංස විජිත ප්‍රතිපත්තිය වූයේ තමනට පක්ෂපාතී, ප්‍රංස ජාතිකයින් මෙන් සිතන කරන පිරිසක් බිහිකරලීමයි. එහෙත් ජාතික ව්‍යාපාරය ආරම්භ කෙළේත් එය කෙළවරක් දක්වා ගෙන ගියේත් බටහිර සංස්කෘතිය වැලඳගත් මේ පන්තියය. ප්‍රංස යටත් විජිත පාලනය යටතේ මුස්ලිම්වරු කිහිප අතකින් පෙළුණාහ. දේශපාලන වශයෙනුත් ආර්ථික වශයෙනුත් එරට බලසම්පන්නව සිටියේ කෝලොන් යන නමින් හැඳින්වුණු උපනිවේශීන්ය.

ඇල්ජීරියානු ජාතික ව්‍යාපාරය යටත් විජිත වාදයකට විරුද්ධව ඇති වූවාක් මෙන් ම මුස්ලිම් පුනර්ජීවයක ප්‍රතිඵලයක් ද විය. එකල මෑත පෙරදිග ඇති වූ මුස්ලිම් පුනර්ජීවයෙන් ද ප්‍රංස විප්ලවයේ සටන් පාඨවලින් ද ජාතික නායකයෝ අනුබල ලැබූහ. මෙසාලි අහමද් යටතේ 1925 දී බිහි වූ ප්‍රථම ජාතික ව්‍යාපාරය ‘උතුරු අප්‍රිකානු තරුව’ (E N A - P P A) නමින් හැඳින්විණි. ප්‍රංසයේ ජීවත් වූ ඇල්ජීරියානු කම්කරුවන්ගේ අභිවෘද්ධිය ඇතිකරනු වස් බිහිවූ මෙය 1940 වන විට ජාතික නිදහස සඳහා සටන් කළ ව්‍යාපාරයක් බවට පත් විය. මෙම සංවිධානයට නියම ක්‍රියා පිළිවෙළක් හෝ දර්ශනයක් හෝ නොමැති වුව ද නිදහස සඳහා සටන් කිරීමේ අදහස ඉන් ඉදිරිපත් වූ හෙයින් ඉතිහාසය අතින් වැදගත් වේ. 1931 බිහි වූ ප්‍රතිසංස්කරණවාදී උලේමාවරුන්ගේ සංගමය ද ජාතික ව්‍යාපාරයට සම්බන්ධ වූ සංවිධානයකි.

බටහිර සංස්කෘතිය වැළඳගත් උසස් පන්තිය ජාතික ව්‍යාපාරයට සහභාගි වූයේ 1930 දීය. ප්‍රාදේශීය මණ්ඩලවලට තේරී පත් වුණු මුස්ලිම්වරුන්ගෙන් සමන්විත මුස්ලිම් සමාබද්ධ ආයතනය (Federation of Muslims) ඔවුන්ගේ ප්‍රධාන සංවිධානය විය. මුල දී ප්‍රංසය හා ඒකාබද්ධ, ස්වාධීන ඇල්ජීරියාවක් පිහිටුවීම ගැන කල්පනා කළ මොවුන්ගේ අදහස් ක්‍රමයෙන් වෙනස් වූයේ ප්‍රංස රජයට ඒ සඳහා යෝග්‍ය ක්‍රියා මාර්ගයක් ගැනීමට අපහසු වූ හෙයිනි. දෙවන ලෝක සංග්‍රාමය වන විට ආයතනයේ පරමාර්ථය ස්වෛරී ඇල්ජීරියානු රාජ්‍යයක් පිහිටුවා ගැනීම බවට පෙරළී තිබිණ. මිත්‍ර ජාතීන් උතුරු අප්‍රිකාවට ගොඩබට අවස්ථාවේ ඇති වූ තත්වයෙන් ප්‍රයෝජන ගත් අබ්බාස් ඇතුළු මේ පිරිස ඇල්ජීරියාවට ස්වයංනිර්ණය (self-determination) පිළිබඳ අයිතිවාසිකම් ඉල්ලමින් ප්‍රකාශනයක් නිකුත් කළහ. එහෙත් එම කාලයේ දී ම බලයට පත් ඩි ගෝල් සෙනෙවියා ඇල්ජීරියාවට කිසි දිනක නිදහස නොදෙන බව ස්ථිර ස්වරයෙන් ප්‍රකාශ කෙළේය. මේ සිද්ධීන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් 1945 දී මිත්‍ර ජාතීන්ගේ දිනයේ දී ඇති වූ දරුණු ම ගැටුම ප්‍රංසය සමඟ කෙළින් ම සටන් කිරීමේ ආරම්භය යයි කල්පනා කළ හැකිය. යුද්ධයෙන් පසුව, අබ්බාස්ගේ ඇල්ජීරියන් ප්‍රකාශනය අරභයා වූ ප්‍රජාතන්ත්‍රවාදී සංගමය (UDMA) ද මෙසාලිගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් ජයග්‍රහණය අරභයා වූ සංවිධානය ද (MTLD) යන දෙකේ ඉල්ලීම් අනුව සම්මත වූ 1947 පනතින් ප්‍රංසය හා පෙඩරල් ගිවිසුමකින් බැඳුණ ස්වාධීන රාජ්‍යයක් වීමට ඇල්ජීරියාවට අවස්ථාව ලැබිණි. එහෙත් මෙම පනත කෝලොන්වරුන්ගේ ප්‍රබල විරුද්ධතාව නිසා අඩපණ විය. 1947 පනත බිඳවැටීමෙන් පසුව ඇති වූ අන්තවාදී සංවිධානයේ (OS) පරමාර්ථය වූයේ සටන් කොට නිදහස ලබාගැනීමය. ප්‍රංස පොලීසිය මෙම සංවිධානය මර්දනය කළා පමණක් නොව බෙන් බෙල්ලා ප්‍රමුඛ එහි නායකයින් ද සිර කළහ.

ආර්ථික, දේශපාලන හා ජාතිභේද ගැටුම්වලින් මිරිකී සිටි ඇල්ජීරියන් ජාතිකයන් නිදහස් සටන සඳහා එකමුතු වූයේ ඔවුන් අතර විප්ලවයක් ඇති කළ 1954 වර්ෂයේ සිටය. එම වර්ෂයේ දී ඔවුහු සහයෝගයෙන් ක්‍රියා කිරීමට හා ඉදිරි වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කිරීමට කොමිටියක් පිහිටුවූහ. ජාතික විමුක්ති සටන අවසානය දක්වා ගෙන ගිය ජාතික විමුක්ති පෙරමුණ (FLN) බිහි වූයේ මෙයින් පසුවයි. මෙහි නායකයින් සියල්ලෝ ම යුද්ධ පුහුණුව ලදුවන් හෙයින් ප්‍රංසය සමඟ කෙළින් සටන් කිරීමේ නිෂ්ඵලත්වය දුටහ. ප්‍රංස රජය ඇල්ජීරියන් ජාතියක් පිළිබඳ අදහස් පිළිගන්නා තෙක් ‘ගොරිල්ලා’ සටන් ගෙන යෑමට ඔවුහු තීරණය කළහ.

1958 දී ෆර්හාට් අබ්බාස් (බ.) අගමැති වශයෙන් තාවකාලික ඇල්ජීරියන් ආණ්ඩුවක් පිහිටුවූ බව කයිරෝ, රබාත් හා ටියුනිස් යන නගරවලින් ප්‍රකාශයට පත් කරන ලදි. මෙය විප්‍රවාස රජයක් මෙන් ක්‍රියා කෙළේය. ප්‍රංස ආණ්ඩුව මේ සිද්ධීන් ගැන එතරම් සැලකිල්ලක් නොදැක්වීය. ප්‍රංසයට ඇල්ජීරියාවේ බලය රැකගැනීමට විශාල වියදමක් දරන්නට වූ අතර සෑහෙන තරම් මිනිස් ජීවිත සංඛ්‍යාවක් බිලි කරන්නට ද සිදු විය.

ප්‍රංස ආණ්ඩුවේ අකාර්යක්ෂම ක්‍රියා පිළිවෙළ ගැන කළකිරුණු ඇල්ජිරියානු-ප්‍රංස යුද නායකයෝ ප්‍රංස රාජ්‍යයට විරුද්ධව නැඟී සිටියහ. හතරවන සමූහාණ්ඩුව බිඳ වැටුණේ මෙයින් පසුවයි. ඩි ගෝල්ට නැවත වරක් ප්‍රංස ජනාධිපති වීමට ද මෙයින් අවස්ථාව සැලසිණි. එහෙත් යුද්ධ හමුදා නායකයින්ගේ බලාපොරොත්තුවලට පටහැණිව ඇල්ජීරියාව අවි බලයෙන් මැඩ පවත්වා ගැනීමේ දුෂ්කරතාව ඩි ගෝල්ට මේ වන විට අවබෝධ වී තිබුණේය. ඇල්ජීරියානු ජනයාට ස්වකීය ඉරණම නිශ්චය කොට ගැනීමේ අයිතිවාසිකම් දිය යුතු බව හේ පිළිගත්තේය. එහෙත් ප්‍රංසයට ඒ සමඟ ම තවත් වැදගත් ප්‍රශ්නයකට මුහුණපාන්නට සිදු විය. එනම් උපනිවේශීන්ගේ ප්‍රශ්නයයි. 1960 දී ඇල්ජීරියාවේ යුද්ධ හමුදා නායකයින් සංවිධානය කළ කූදෙතාව මර්දනය කරන ලද්දේ ඉතා අමාරුවෙනි. 1961 දී ඩි ගෝල්ගේ ස්වයංනිර්ණන ප්‍රතිපත්තිය පිළිබඳව පවත්වන ලද ජනමත විචාරණයේ දී (referendum) ප්‍රංසයේ සහ ඇල්ජීරියාවේ ජනගහනයෙන් තුනෙන් දෙකක සහයෝගය ඊට ලැබිණි. එම වර්ෂයේ දී ම ප්‍රංසයේ හා ඇල්ජීරියාවේ තාවකාලික ආණ්ඩුවේ නියෝජිතයන් අතර සාකච්ඡා පවත්වන ලදි. මෙම සාකච්ඡා මගින් සම්මුතියකට එළඹීමට නොහැකි වූ හෙයින් ඩි ගෝල් ඇල්ජීරියාව කොටස් දෙකකට බෙදීමට කැමැත්ත දැක්වූයේය. මෙයට විරුද්ධ වූ FLN නායකයෝ වැඩ වර්ජන කිහිපයක් සංවිධානය කළහ. ඇල්ජීරියාව පුරා ත්‍රස්තවාදී ක්‍රියා ඇරඹුණේ මෙයින් පසුවය. ඇල්ජීරියාවේ කෝලොන්වරුන්ගේ OAS නම් වූ රහස් සංවිධානයත් FLN සංවිධානයත් අතර නිතර ම ගැටුම් ඇති විය. 1961 අගෝස්තු මාසයේ දී විප්‍රවාස ආණ්ඩුවේ අගමැතිකමින් අබ්බාස් ඉවත් කොට යූසුප් බෙන් ඛෙදා එම ධුරයට පත් විය. අලුත් ආණ්ඩුව ද සාකච්ඡා මගින් සම්මුතියකට එළඹීමට කැමැත්ත ප්‍රකාශ කළහ.

ටියුනිස් නගරයෙහි පවත්වා ගෙන ආ GPRA නමින් ප්‍රකටව තිබුණු ඇල්ජීරියානු තාවකාලික රජයත් ප්‍රංස රජයත් අතර 1962 මුල් කාලයේ සිට බේරුමක් සඳහා සාකච්ඡා කරගෙන යන ලදි. මේ සාකච්ඡා පවතින කාලයේ දී OAS රහස් සංවිධානය ඇල්ජියර්ස් හා ඕරාන් ආදි නගරවල ස්වකීය නිර්දය ඝාතන හා විනාශකාරී ක්‍රියා නොකඩවා ම කර ගෙන ගියේය. OAS ප්‍රහාරවලින් දිනපතා අහිංසක අප්‍රිකානුන් පනහකට කිට්ටු සංඛ්‍යාවක් මියගිය අතර සහස්‍ර සංඛ්‍යාත ජනයා බරපතළ තුවාළ ලැබූහ. මාර්තු 18 දින ඇල්ජීරියානු විප්‍රවාස රජය හා ප්‍රංස රජය සන්ධානයකට පැමිණියහ. සටන් නැවැත්වීමට තීරණය වූ අතර ඇල්ජීරියානු ස්වාධීනතා අයිතිය ප්‍රංස රජය පිළිගත්තේය. ප්‍රංස අධිකාරීන් විසින් සිර කරනු ලැබ සිටි විමුක්ති සටනේ පුරෝගාමී බෙන් බෙල්ලා ඇතුළු FLN පෙරමුණේ නායකයන් පස්දෙනා නිදහස් කරනු ලැබූහ. ජූලි 1 දින පවත්වන ලද ජනමත විචාරණයේ දී ඇල්ජීරියානු ස්වාධීනතාවට ද ප්‍රංසය සමග සහයෝගතාව තබාගැනීමට ද පක්ෂව අතිවිශාල බහුතර සංඛ්‍යාවක් ඡන්දය දුන්හ. මේ අනුව ඩි ගෝල් සෙනෙවියා ඇල්ජීරියානු ස්වාධීනතාව පිළිගත්තේය.

සප්තවර්ෂාධික කාලයක් තිස්සේ අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව ඇල්ජීරියානු විමුක්තිකාමීන් ගෙන ගිය මෙම නිදහස් සටනේ දී එයට සහභාගීව දිවි පිදූ දේශප්‍රේමී ඇල්ජීරියානුන්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ පනස්දහසකට අධිකය. මේ හැර ශත සහස්‍ර සංඛ්‍යාත අසරණ ජනතාව බෝම්බපහරට හා වෙඩිපහරට ලක්ව දිවි පිදූහ. තුවාළ ලද්දවුන්ගේ සංඛ්‍යාව ගිණිය යුත්තේ දසලක්ෂ ගණනිනි. විසිලක්ෂයකට පමණ උන්හිටි තැන් නැති වී ගියේය. අනික් අතට මියගිය ප්‍රංස භටයන්ගේ ගණන 17,000ක් පමණ වූ අතර ප්‍රංස රජයට මෙම සටන නිසා දැරීමට සිදු වූ වියදම රන්පවුම් කෝටි 350ක් පමණ වෙතැයි කියති.

නිදහසේ උදාවෙන් පසු

GPRA තාවකාලික රජය ටියුනිස් කෙරෙන් ඇල්ජියර්ස් කරා ඒමට සූදානම් විය. එහෙත් මේ වන විට FLN නායකයින් අතර අසමගියක් ඇති වි තිබිණි. බලය ලබා ගැනීම සඳහා තරඟයක් ඇති වූයේ බෙන් ඛෙදා හා බෙන් බෙල්ලා අතරය. ලබා ගත් නිදහස ස්ථාවර කිරීමේ කාර්යයට මෙය බලවත් තර්ජනයක් විය. 1962 සැප්තැම්බර් මස පමණ වන විට මෙම අර්බුදය බොහෝ දුරට විසඳී තිබුණි. එයින් පසු නියම බලවතා වූයේ බෙන් බෙල්ලාය. 1962 සැප්තැම්බර් මාසයේ දී ප්‍රථම ඇල්ජීරියානු පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත්කර ගැනීමට ඡන්ද විමසීමක් කරන ලදි. මෙයින් පසුව ෆර්හාට් අබ්බාස් ජනාධිපති ලෙසත් බෙන් බෙල්ලා අගමැති වශයෙනුත් පත්කරගන්නා ලදහ. 1962 ඔක්තෝබර් 8 වැනි දින ඇල්ජීරියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් බවට පත් විය.

1965 ජූනි මාසයේ දී අප්‍රිකා-ආසියානු සම්මේලනය (බැංඩුං සම්මේලනයෙන් දසවසකට අනතුරුව) ඇල්ජියර්හි දී පැවැත්වීමට නියමිතව තිබුණු දිනට සතියකට පමණ ප්‍රථම බෙන් බෙල්ලාගේ රජයට විරුද්ධව යුද හමුදා නායකයන් මුල් වී ඇති කළ කැරැල්ලකින් පසුව බෙන් බෙල්ලා අගමැති ධුරයෙන් පහකොට බූමෙදියන් නම් සෙනෙවියා යුද හමුදා රජයක් පිහිටුවීය.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇල්ජීරියාව&oldid=12009" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි