අප්‍රිකාව
විශාලත්වය අතින් ලෝකයේ දෙවැනි මහාද්වීපයයි. උත්තර අක්ෂාංශ 370 21' සිට දක්ෂිණ අක්ෂාංශ 340 51' දක්වාත්, බටහිර දේශාංශ 170 33' සිට 510 27' දක්වාත් විහිදී ඇති මේ මහාද්වීපයෙහි විශාලත්වය වර්ග සැතපුම් 1,17,32,700 පමණ වේ. උතුරේ රාස් බෙනි සකාහි සිට දකුණේ අගුල්හාය් (අගුලස්) තුඩුව දක්වා දුර සැතපුම් 5,000කි. අප්‍රිකාවේ උතුරු කොටස දකුණු කොටස මෙන් දෙගුණයක් පමණ පළලය. පළලින් ඉතා ම වැඩි වන්නේ ව'ඩ් තුඩුව සහ රාස්හ-පුන් අතරය. එහි දුර සැතපුම් 4,600ක් පමණ වේ. අප්‍රිකාව ආසියාවට සම්බන්ධ කෙරෙන සූවස් දේශසන්ධියේ (සූවස් ඇළ බ.) පළල සැතපුම් 80කට වැඩි නැත.
අප්‍රිකාව ප්‍රධාන වශයෙන් විශාල සානුවකි. එහි සාමාන්‍ය උස අඩි 2,000ක් පමණ වේ. අප්‍රිකානු වෙරළ කඩතොලු රහිතය. බොහෝ පෙදෙස් මුහුදු වෙරළ අතට ශීඝ්‍ර බෑවුම් සහිතය. වෙරළ අවට දූපත් අඩුය. නැගෙනහිර වෙරළට නුදුරුව පිහිටි සැන්සිබාරය සහ මැඩගස්කරය අප්‍රිකානු මහාද්වීපයට අයත් ප්‍රධාන දූපත්ය. වයඹ දිගින් පිහිටි කැනරි සහ කේප් ව'ඩ් කොදෙව් ද නැගෙනහිර දිගින් පිහිටි සේෂෙල් හා කොමොරෝ කොදිව් ද වැදගත්ය. යමහල් ආශ්‍රිත ප්‍රභවයක් ඇති මුරුසිය, රීයූනියන්, රෝඩ්රිගේස්, සාන්ත හෙලේනා සහ ඇසෙන්ෂන් යන දූපත් ද අප්‍රිකා මහාද්වීපයට අයත් සේ ගිණිය හැකිය.
මහා අප්‍රිකානු සානුවෙහි වෙරළ බඩ පෙදෙස් ගැටියක් මෙන් උස්ව පිහිටා ඇත්තේය. එහෙයින් විශේෂයෙන් ම මධ්‍යම සානු ප්‍රදේශය හා පටු වෙරළබඩ තැන්න අතර ගමනාගමනාදිය දුෂ්කර වේ. මහා අප්‍රිකානු සානුවෙහි වයඹදිග ප්‍රදේශය ආශ්‍රිතව පිහිටි ඇට්ලස් කඳු (බ.) අප්‍රිකාවේ සෙසු භූ ලක්ෂණවලට වඩා යුරෝපයේ ඇල්ප්ස් නම් වූ නැමි කඳු පන්තියට නෑකම් දක්වයි. එකිනෙකට සමාන්තරව පිහිටි කඳුවැටි කීපයකින් ම යුක්ත වූ ඇට්ලස් කඳු පන්තියෙහි මහා ඇට්ලස් කඳුවැටිය අඩි 12,000 – 13,600 දක්වා උසය. ඇට්ලස් කඳු පන්තියෙහි පාමුල් පෙදෙස වූ ඇල්ජීරියාව හෙල් සහ ලවණ විල් සහිත සානු ප්‍රදේශයකි.
ඇට්ලස් ප්‍රදේශයේ සිට දකුණට ගිනි වෙරළ දක්වාත් නැගෙනහිරට සෝමාලිලන්තය දක්වාත් විහිදෙන උතුරු අප්‍රිකානු සානු ප්‍රදේශයෙහි සාමාන්‍ය උස අඩි 1,000ක් පමණ වේ. මේ සානු මධ්‍යයෙහි පිහිටි අහගර් සහ ටිබෙස්ට් කඳු අඩි 9,500කට වඩා උසය. ටිබස්ට් කඳුවලට දකුණින් වූ වළතැන්නක (depression) චැඩ් විල (බ.) ඇත. නයිල් ගංගා නිම්නය ද එයට දකුණේ ඇති නුබියානු උස් බිම් ද උතුරු අප්‍රිකා සානුවෙහි විශේෂ භූ ලක්ෂණ වේ.
චැඩ් ද්‍රෝණියට දකුණෙන් පිහිටි කොංගෝ ගංගාධාරය ද මුහුදු මට්ටමේ සිට සාමාන්‍යයෙන් අඩි 1,500ක් පමණ උස් වූ සානුවකි. මේ නැගෙනහිර සීමාව මධ්‍ය ප්‍රදේශවලට වඩා උස් ගැටියකි. වයඹ දිගින් ඇති කැමරුන් සහ ඇඩමා කඳු ද උසින් අඩි 10,000කට අධිකය.
කොංගෝවට නැගෙනහිරින් පිහිටිප්‍රදේශය නැගෙනහිර අප්‍රිකානු උස්බිම් යැයි නම් කළ හැකියි. හෝස්ට් කුට්ටියක් (horst block) වන මෙහි සාමාන්‍ය උස අඩි 4,000කි. මෙහි ඇබිසීනියානු උස්බිම් නම් වූ උතුරු කොටස හෙල් සහ යමහල් සහිතය. මේ කොටසෙහි ඉතා ම උස් ශිඛරය වූ රාස් දාෂාන් අඩි 15,153කි. ඊට දකුණෙන් පිහිටි ටානා විලෙන් නයිල් ගඟේ අතු ගංගාවක් වන නිල් නයිල් ගඟ පටන් ගනී. උගන්ඩා සහ කීනියා උස්බිම් අතර ද ඉතා උස් වූ ශිඛර කීපයක් මවෙයි. රුවන්සෝරි (16,794') එල්ගන් (14,140') හා කීනියා (17,040') ඉන් සමරහකි. අප්‍රිකාවේ ඉතා ම උස් ගිරි ශිඛරය වන කිලිමඤ්ජාරෝ ද නැගෙනහිර අප්‍රිකානු උස් බිම් කුට්ටියෙහි පිහිටා ඇත. මළ යමහලක් වන මෙහි උස අඩි 17,040කි. රුවන්සෝරි හා එල්ගන් ශිඛරවලට දකුණින් වූ හෙල් මැද වළතැන්නක වික්ටෝරියා විල පිහිටා ඇත්තේය.
නැගෙනහිර අප්‍රිකානු උස්බිම් පෙදෙසෙහි ඉතා ම වැදගත් භූ ලක්ෂණය වනුයේ රතු මුහුදේ සිට සැම්බීසි නිම්නය දක්වා විහිදි දැදුරු නිම්නයයි. අරාබි අර්ධද්වීපයේ බටහිර පෙදෙසේ පිහිටි මළ මුහුද ආශ්‍රිත ප්‍රදේශයෙන් පටන් ගන්නා මහා දැදුරු නිම්නය රතු මුහුද ඔස්සේ මේ නැගෙනහිර අප්‍රිකානු ප්‍රදේශයට ද විහිදී ඇත්තේය. එහි දිග සැතැපුම් 2,000ක් පමණ වේ. රතු මුහුද අවට ප්‍රදේශයේ සිට දකුණු දිගට විහිදෙන නැගෙනහිර අප්‍රිකානු දැදුරු නිම්නය නියාසා විල අසල දී දෙකකට බෙදේ. එකක් ටැංගනීකා විල ඔස්සේ ඇල්බට් විල දක්වා ද අනෙක නියාසා විලෙන් දකුණට සැම්බිසි ගඟ දක්වා ද විහිදේ. රුඩොල්fප්, නියාසා, ටැංගනීකා සහ ඇල්බට් යන විල් දැදුරු නිම්නය ආශ්‍රිත පටු විල්ය. ටැංගනීකා විලේ සමහර තැන් අඩි 4,700ක් පමණ ගැඹුරුය. දැදුරු නිම්නයේ ඉවුරුවල යමහල් බහුලය. නිම්නය නිසා කඩ කඩ වී ඇති නැගෙනහිර අප්‍රිකානු උස්බිම්වලට හා කොංගෝ සානුවට දකුණින් පිහිටා ඇත්තේ දකුණු අප්‍රිකානු සානුවයි. එය බටහිරින් කාලාහාරි ගැටියටත් නැගෙනහිරින් ඩ්රැකන්ස්බ'ග් කඳුවලටත් මැදිවී පිහිටා ඇත. අවට වෙරළබඩ තැන්න ඉතා ම පටුය. දකුණු දෙසින් වෙරළ අතට බෑවුම ඇති දකුණු අප්‍රිකානු සානුවෙහි මහාකරූ හා කුඩාකරූ යන නම්වලින් හැඳින්වෙන "පඩි"" දෙකක් තිබේ. දකුණු වෙරළේ පිහිටි සුබපැත්මේ තුඩුව සැලකිය යුතු භූ ලක්ෂණයකි. ඩ්රැකන්ස්බ'ග් කඳු උතුරේ ඇට්ලස් කඳුවලට සමාන නැමි කඳු පන්තියකි.
අප්‍රිකාවේ ප්‍රධාන ගංගාව වනුයේ වික්ටෝරියා විලෙන් පටන් ගනෙ සැතැපුම් 4,037ක් දුර ගලා ගොස් මධ්‍යධරණී මුහුදට වැටෙන නයිල් ගඟයි (බ.). සමක ප්‍රදේශ ආශ්‍රිත සැතැපුම් 3,000ක් පමණ දිගැති කොංගෝ ගඟ (බ.) සහ සැතැපුම් 2,600ක් දිගැති නයිජර් ගඟ අප්‍රිකාවේ ඊළඟට විශාල ගංගාවෝයි. දකුණු අප්‍රිකාවේ ප්‍රධාන ගංගා අතර ඔරේන්ජ් (සැ. 1,300), ලිම්පොපෝ (සැ. 1,000) හා සැම්බීසි (සැ. 1,650) ගංගා සැලැකිය යුතුය. මහා අප්‍රිකානු සානුවෙහි ගැටි වෙරළට සමීපව පිහිටි හෙයින් ජලමාර්ග වශයෙන් අප්‍රිකානු ගංගාවල වැදගත්කම අඩුවී තිබේ.
භූගර්භය
ආකීය යුගය: අප්‍රිකා මහාද්වීපයේ පදනම අති විශාල ආකීය පාෂාණතලයකි. බටහිරින් ගෝල්ඩ් කෝස්ට් පළාතෙන් සහ නැගෙනහිරින් රතු මුහුදු වෙරළෙන් ඇරඹී දකුණ බලා විහිදෙමින් ද දකුණු අප්‍රිකාව වටා යමින් ද නිරාවරණව පවතින මේ ආකීය පාෂාණ තලය මහාද්වීපයෙන් තුනෙන් කොටසක පමණ දක්නා ලැබේ. ආකීය යුගය තුළ දී ස්තර වශයෙන් නිර්මාණය වූ මෙහි ඇතැම් කොටස් එම යුගය කෙළවර දී රැලි ගැසුණු අතර, ඒ ස්තර පසාරු කරගෙන නැඟුණු මැග්මාව ග්රැනිට් වශයෙන් සිසිල් වී යන වී ආක්‍රාන්ත පාෂාණ සේ තැන්පත් විය. අධික පීඩනයට සහ තාපයට භාජන වූ කොටස් නයිස් සහ ශල්ක පාෂාණ බවට විපරීත වී ගියේය.පාෂාණ තලයෙහි දකුණු මධ්‍යම කොටස කිඳා බැසීමෙන් අනතුරුව ඒ මත ශල්ක සහ වැලි තට්ටු තැන්පත් වී රැලි ගැසිණි. ට්‍රාන්ස් වාල්හි විට්වෝට්'ස්රාන්ඩ් පළාතේ මේ තට්ටු ඉතා ඝනය. රන් (බටහිර, දකුණු, මධ්‍යම, දකුණු සහ නැගෙනහිර අප්‍රිකාව), තඹ (රොඩේසියාව) සහ ඩොලොමයිට් (කටංගාව, රොඩේසියාව) මෙහි ඇති ආකීය ඛනිජ ද්‍රව්‍ය වේ.
පේලියොසොයික යුගය: මේ යුගයේ මුල් හරියේ දී අප්‍රිකා භූමියෙන් බහුතර කොටසක් මුහුදු මට්ටමෙන් ඉහළට නැඟී පැවතුණේය. එහෙත් කරදියෙන් වැසී පැවතුණු දකුණු වෙරළ දිගට වැලිගල්, ශල්ක සහ හිරිගල් තට්ටු ඝනව තැන්පත් විය. උතුරෙන් ද මුහුදු දිය ආක්‍රමණයක් ඇතිවූයෙන්, ඒ ආශ්‍රිත නිධි උතුරු සහරා මායිමේ තැන්පත් වී ගියේය.
මෙම යුගයේ අග හරියේ දී දකුණු සහ මධ්‍යම අප්‍රිකාවේ විශාල කොටසක් කිඳා ගිය නමුත් අවට කොටස උස්බිම් සේ ඉතිරි විණි. මේවා සෝදාපාළු බවට පැමිණීමෙන්, කිඳා ගිය කොටසේ වැලි සහ මැටි තට්ටු තැන්පත් විය. කරූ ප්‍රදේශයේ ඉතා ඝනව පවතින මේ ස්තරවල යට භාගයේ ග්ලැසියර පස ද තිබේ. එහෙයින් අංගාරධර අවධියේ දී පමණ දකුණු අප්‍රිකාව, අයිස් තට්ටුවකින් වැසී පැවතුණු බව පැහැදිලි වේ. ඒ අයිස් දියවූවාට පසුව හටගත් කැළෑව නිසා තැන්පත් වුණු ගල් අඟුරු නිධි නතාල් සහ කේප් යන පළාත්වල ඇත. වයඹ දිග අප්‍රිකාවේ පිහිටි ගල් අඟුරු නිධි ද මේ සමයට ම අයිති වේ. ප්‍රාග්-ඓතිහාසික උරගුන්ගේ ඇටසැකිලි ද ශාකවලින් ශේෂව පවතින ද්‍රව්‍ය ද ඉහළින් පිහිටි පේලියොසොයික ස්තර අතර තිබේ.
මෙසොසොයික යුගය: කරදිය ආශ්‍රයෙන් දකුණු අප්‍රිකාවේ තැන්පත් වූ ස්තර මේ යුගයේ ත්‍රියාසික අවධියේ දී කේප් කඳු වශයෙන් රැලි වැටී නැඟී සිටියේය. ත්‍රියාසික සහ ජුරාසික් අවධිවල දී කරූ පළාතෙහි නිධි සාධනය නොනැවැතී ම කැරිණි. ඛටීකාමය අවධිය තුළ දී වත්මන් නැගෙනහිර සහ උතුරු අප්‍රිකානු වෙරළ කලෙක වසා පැවැති මුහුද ආශ්‍රිතව තැන්පත් වුණු ස්තර පෘතුගීසි නැගෙනහිර අප්‍රිකාවේ ද සහරාවේ ද ඇත. චැඩ් පළාත සහ නයිජර් නිම්නය ද එකල කරදියෙන් වැසී යන්නට ඇත. මේ අවධිය අවසානයේ දී දකුණු අප්‍රිකාවේ දියමන්ති නිධි නිර්මාණය විය.
කයිනොසොයික යුගය: මේ යුගයේ මුල් හරියේ දී උතුරු අප්‍රිකාවේ නැගෙනහිර ප්‍රදේශය මුහුදින් වැසීතිබුණේය. ඉන් ඒ පෙදෙසේ තැන්පත් වුණු ඝන (නුමිමිලිටික්) හිරිගල් තට්ටු පැරැණි මිසරවරුන් විසින් පිරමිඩ තැනීමෙහි ලා ප්‍රයෝජනයට ගන්නා ලදි. කොංගෝ නිම්නයෙහි ද, නිරිතෙහි කාලාහාරි ප්‍රදේශයෙහි ද භූමිජාත වැලිගල් සහ ශල්ක ඝනව තැන්පත් විය. නැගෙනහිර මධ්‍යම කොටසේ යමහල් පිපිරීමෙන් ගලා ගිය ලාවා දහරින් විශාල භූමි භාගයක් වැසී ගියේය. කිලිමඤ්ජාරෝ සහ කීනියා යන ශිඛරවලින් කුළුගැන්වී ඇති නැගෙනහිර අප්‍රිකානු උස් කඳුකරය ද යමහල් කාරක සාධක සහිත භූ චලන හේතුකොටගෙන පැන නැඟිණ. රතු මුහුද ඔස්සේ ගිනිකොන ප්‍රදේශයෙහි ද, නැගෙනහිර අප්‍රිකානු රටවල් ඔස්සේ සැම්බිසි ගංගාධාරය දක්වා පිහිටි ප්‍රදේශයෙහි ද ඇති දැදුරු නිම්න ප්ලයිස්ටොසීන අවධියෙහි මැද කාලයේ දී සෑදී ඇති බව නිගමනය කර ඇත. මෙහි වඩා හෑරුණු කොටස්වල රැඩොල්fප්, නියාසා, ඇල්බට්, එඩ්වඩ්, කිවු සහ ඩැංගනීකා යන විල් පිහිටා තිබේ.
කයිනොසොයික යුගයේ මැද හරියේ තෘතීයික අවධියේ දී අතිවිශාල ඇල්පයින් කඳු මණ්ඩලය තදාසන්න යුරෝපීය භූමි භාගයෙහි පැන නඟිත් ම, සහාවේ වයඹින් පිහිටි මුහුදු ආශ්‍රිත පාෂාණ තට්ටු රැලි ගැසී ඇට්ලස් කඳු වශයෙන් නැඟී සිටියේය.
මෑත දී උදා වූ ප්ලයොසීන සහ ප්ලයිස්ටොසීන අවධිවල දී නැගෙනහිර අප්‍රිකානු කඳුකරයේ ග්ලැසියරවලින් වැසී ගියේය. ගංගා ආශ්‍රිව පිටාර තැනිතලා ද මුහුහු වෙරළ සහ කාන්තාර ආශ්‍රිතව වැලි වැටි ද විල් සහ ගංගා ආශ්‍රිතව මඩවගුරු ද උස්බිම් ආශ්‍රිතව කබුක් තට්ටු ද නිර්මාණය වූ අතර ඇතැම් කඳුකර පෙදෙස් අර්ධ තැනිතලා බවට පත්විය.
අප්‍රිකාවේ යමහල්කාරක සාධක බෙහෙවින් ම දැදුරු නිම්න ආශ්‍රිත ප්‍රදේශයන්ට සීමා වේ. ටැංගනීකාවේ ඔල්ඩෝනියෝ ලෙන්ගායි ශිඛරය හා නියැන්ලාජීරා ශිඛරය ද කොංගෝවේ නිරාගොන්ගෝ ශිඛරය ද ප්‍රසිද්ධ යමහල්ය. කැමරූන් හා ටිබෙස්ටි ප්‍රදේශයන්හි ද මෑතක දී යමහල් කාරක භූචලන ඇති වී තිබේ.
පස: අප්‍රිකාවේ ඒ ඒ ප්‍රදේශයේ පස ද දේශගුණය අනුව විවිධාකාර වේ. ඇට්ලස් කඳුවලට උතුරු ප්‍රදේශයේ පස තද දුඹුරු පැහැති හෙයින් චෙස්ට්නට් නමින් හැඳින්වෙයි. මේ පස ගොවිතැනට සුදුසුය. ඇට්ලස් කඳු බෑවුම්වල මෙන් ම සමහර නැගෙනහිර අප්‍රිකානු කඳුබෑවුම්වල ද පොඩ්සොල් නම් වූ පස් විශේෂය වෙයි. ඇට්ලස් කඳුවලින් දකුණට පිහිටි සහරා කාන්තාරීය පෙදෙස්වල වර්ෂාව මඳ හෙයින් එහි පස ක්ෂරණය වී නැත. එහෙයින් කාබනේට් ආදි ඛනිජ බහුල ඒ පසෙහි ගොවිතැන් කිරීම ජලසම්පාදනයෙන් ඉතා සරු ලෙස කළ හැකි වේ. අප්‍රිකාවේ නිවර්තන පෙදෙස්වල සාරවත් පස් අඩුය. එහෙත් යමහල් විදාරණය වීමෙන් යමහල් පස් තැන්පත් වන පෙදෙස් සහ ජලගැල්මෙන් දියළු පස් තැන්පත් වන පෙදෙස් අතිශයින් සාරවත්ය. නැගෙනහිර අප්‍රිකානු දැදුරු නිම්නය අවට පෙදෙස් සහ පහළ නයිල් නිම්නය පිළිවෙළින් ඊට නිදසුන් වේ.
මධ්‍යම අප්‍රිකාවේ බොහෝ පෙදෙස් අධික වර්ෂාව නිසා ක්ෂරණය වී ඇති පසින් යුක්තය. රත් පැහැයට හුරු මේ පස බොහෝ විට වැලි සහිතය. සේදී යන කඳු බෑවුම්වල ද ජලය රැඳි පවත්නා වගුරු බිම්වල ද පස ඉතා නිසරුය.
විශේෂයෙන් ම දකුණු අප්‍රිකාවේ නිවර්තන පෙදෙස්වලින් ඔබ්බෙහි වූ පෙදෙස්වල ච'නොසෙම් නම් පස ඇති හෙයින් එම පෙදෙස් මඳක් සාරවත්ය. එහෙත් ඉතා ම දකුණෙහි පිහිටි කේප් ප්‍රාන්තයෙහි පස එතරම් සාරවත් නොවේ.
දේශගුණය: අප්‍රිකාව ප්‍රධාන වශයෙන් ඝර්ම කලාපීය මහාද්වීපයකි. උත්තර අක්ෂාංශ 370 සිට දක්ෂිණ අක්ෂාංශ 350 දක්වා විහිදෙන මෙහි උෂ්ණත්වය සාමාන්‍යයෙන් අධිකය. කඳු මුදුන්වල හිම මිදෙන අවස්ථා ද ඇති නමුත්, ප්‍රදේශයක් වශයෙන් ගත් කල දකුණු අප්‍රිකානු වෙරළේ සාමාන්‍ය උෂ්ණත්වය පැ.620ක් පමණ වේ. උතුරේ සහරා ප්‍රදේශවල සාමාන්‍ය උෂ්ණත්වය පැ.860කි. අප්‍රිකාවේ දේශගුණික කලාප අක්ෂාංශවලට සමාන්තරව පිහිටි කලාප වශයෙන් පවතී.
මෙහි සමක දේශගුණික කලාපය ප්‍රධාන වශයෙන් කොංගෝ ගංගාධාරයට සීමා වී තිබේ. ගිනි වෙරළේ සිට වික්ටෝරියා විල දක්වා වූ මේ දේශගුණික කලාපය පැ. 700-800 පමණ සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වයක් සහ අඟල් 60 – 80 පමණ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනයක් ද පවත්නා ප්‍රදේශයකි. නැගෙනහිර අප්‍රිකාවේ සමකය අවට පෙදෙස් කඳු සහිත හෙයින් එහි දේශගුණය කොංගෝ ගංගාධාරයේ දේශගුණයට වඩා මඳක් සිසිල්ය. සමක දේශගුණික කලාපයට උතුරින් සහ දකුණින් හෙවත් උත්තර අක්ෂාංශ 50-150 සහ දක්ෂිණ අක්ෂාංශ 50-150 දක්වා සුඩාන් හෙවත් සැවානා දේශගුණික කලාපය වෙයි. මේ වනාහි ශීත ඍතුවේ දී වෙළඳ සුළං බල පවත්වන ප්‍රදේශයකි. සමක දේශගුණික කලාපයට නුදුරු පෙදෙස්වල සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 60 පමණ වුව ද, ඉන් ඈත්වත් ම වර්ෂාපතනය 400-200 දක්වා අඩු වේ. සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය පැ.700ක් පමණ වේ. මෙම දේශගුණය සහිත රටවල් වශයෙන් උතුරේ සෙනෙගාල්, අපර්වෝල්ටා, සුඩාන් හා ඉතියෝපියාවත් දකුණේ ඇංගෝලාව, දකුණු බෙල්ජියානු කොංගෝව, උතුරු රොඩේසියාව සහ ටැංගනීකාවත් වැදගත් වේ.
මහා සහරා කාන්තාරය සුඩාන් ප්‍රදේශයට උතුරින් බටහිර ප්‍රංස අප්‍රිකාව හා මිසරය වසා සිටී. වියළි ඊශාන දිග වෙළඳ සුළං අවුරුද්ද මුළුල්ලේ ම හමන බැවින් මේ ප්‍රදේශයෙහි වර්ෂාව ඉතා හිඟය. සාමාන්‍යවාර්ෂික වර්ෂාපතනය අඟල් 10ටත් අඩුය. සමහර අවස්ථාවල දී සහරා කාන්තාරයේ උෂ්ණත්වය පැ.1300 පවා ඉක්මවයි. උෂ්ණත්වයේ දෛනික අන්තරය ද විශාලය. දකුණු අප්‍රිකාවේ ද සුඩාන් දේශගුණික කලාපයට දකුණින් කාන්තාරීය දේශගුණයක් ඇති පෙදෙසක් තිබේ. මෙහි ද අග්නිදිග වෙළඳ සුළං අවුරුද්ද මුළුල්ලේ ම බලපාන හෙයින් වර්ෂාව ඉතා දුලබය. අසල මුහුදේ බෙංගුවෙලා ශීත දියවැල ගැලීම ද කාලාහාරි නම් වූ මේ කාන්තාර ප්‍රදේශයට වර්ෂාව හිඟවීමට එක් හේතුවකි.
කාලාහාරි කාන්තාරයට නැගෙනහිරින් වූ නතාලය ආදි පෙදෙස්වලට අග්නිදිග වෙළඳ සුළංවලින් සුළු වර්ෂාපතනයක් ලැබේ. ඊට දකුණින් වූ දකුණු අප්‍රිකාව කෙරෙහි ග්‍රීෂ්ම ඍතුවේ දී වෙළඳ සුළං ද ශීත ඍතුවේ දී බටහිර සුළං ද බලපාන හෙයින් එහි මධ්‍යධරණී වර්ගයේ දේශගුණයක් වෙයි. උතුරෙහි ඇට්ලස් කඳුවලට උතුරෙන් වූ මධ්‍යධරණී වෙරළෙහි පවත්නේ ද එබඳු ම දේශගුණයකි. එහි සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්ය පැ.500ක් පමණ වේ.
නැගෙනහිර අප්‍රිකාවේ සමකකලාපීය උස්බිම් පෙදෙසෙහි ඊට ම විශේෂ වූ දේශගුණයක් ඇත. නයිරෝබි, ඇඩිස් අබාබා ආදි ස්ථානයන්හි සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය පැ.550-600ත් අතර වේ. මුහුදු මට්ටමේ සිට පිහිටි උස අනුව උස්බිම්වල ප්‍රාදේශීය දේශගුණික කලාප ඇතැයි කිව හැකිය.
ස්වාභාවික වෘක්ෂලතා: අප්‍රිකාවේ ස්වාභාවික වෘක්ෂලතා කලාප ද දේශගුණික කලාප අනුව ම පවතී. අප්‍රිකාවේ, සහරා කාන්තාරයට උතුරුදිග කොටසෙහි වෘක්ෂලතාදිය තදාසන්න දකුණු යුරෝපීය හා නිරිතදිග ආසියාතික පෙදෙස්වල වෘක්ෂලතාදියට ද දකුණු අප්‍රිකානු පැළෑටි ඕස්ට්‍රේලියානු හා දකුණු ඇමෙරිකානු පැළෑටිවලට ද සමානත්වයක් දක්වන බව පෙනේ. සමක දේශගුණය සහිත කොංගෝ ප්‍රදේශය අධික වර්ෂාව හා අධික උෂ්ණත්වය නිසා වැඩෙන ඝර්ම කකලාපීය ඝන වනාන්තරවලින් වැසී පවතී. ලයිබීරියාවේ සිට නයිජීරියාව දක්වා ප්‍රදේශ ද ඝර්මකලාපීය වන තීරයෙහි ඇතළත් වේ. අඩි 15-250 පමණ උස් වූ මහා ගස් ද ඒ මත එකිනෙකෙහි එතෙමින් දිවෙන නොයෙක් විශාල වැල් ද නානා උඩවැඩියා හා මීවන වර්ගයේ පැළෑටි ද මේ වනාන්තරවල ගහනය. පාම් ආදි තාල වර්ගයේ ගස් ද දැව පිණිස ගන්නා අගනා මහෝගනී වර්ග ඇතුළු ගුවාරියා, කළුවර, ලොවෝවා, ඇල්බීසියා ආදි නොයෙක් ගස් ද රබර් ද මෙහි බහුලය.
සැවානා දේශගුණික කලාපයට වර්ෂාව මඳ හෙයින් එහි වෘක්ෂලතාදිය සමක දේශගුණික කලාපයෙහි තරම් බහුල නොවේ. ඉතාඋසට වැඩෙන රළු තෘණ වර්ග තැනින් තැන බෙහෙවින් ඇත. දැඩි නියඟට ඔරොත්තු දිය හැකි තාල වර්ගයේ ගසක් වූ පාම් ගස මෙහි සරු ලෙස වැඩේ. දැව පිණිස ගත හැකි ඉරෝකෝ, කළුවර ආදි වෘක්ෂ ද මේ ස්වාභාවික වෘක්ෂලතා කලාපයෙහි වැවේ. ඝර්මකලාපීය අර්ධ වනාන්තර හා තණබිම් වශයෙන් සිතියමෙහි දක්වා ඇත්තේ මෙම ප්‍රදේශයි. කාන්තාර දේශගුණික කලාප කිට්ටු වත් ම සැවානා නම් වූ ඝර්මකලාපීය තණබිම්වල ගස් හිඟය. ඒ වෙනුවට කටු සහිත පඳුරු දක්නට ලැබේ. ලාටු වර්ග කටු සහිත පඳුරු දක්නට ලැබේ. ලාටු වර්ග ලබා ගැනීමට ප්‍රයෝජනවත් වන ඇකේෂියා පැළෑටිත් තද ලීයෙන් යුත් තාල වර්ගයේ ගසුත් මේ තණබිම්වල ඇත.
මේ තණබිම් සහ කාන්තාර අතර ප්‍රදේශවල, අර්ධකාන්තාරීය පැළෑටි වන රළු තණ වර්ග සහ පතොක්වර්ග බහුලය. සමහර තණ වර්ග කෙඳි ලබාගැනීමටත්, කඩදාසි සෑදීම සඳහා 'පල්ප්' සකස් කර ගැනීමටත් යෝග්‍ය වේ. දකුණු අප්‍රිකාවේ කරූ නම් වූ සානු පෙදෙස්වල ද ඇංගෝලාවෙහි ද මෙවැනි අර්ධකාන්තාරීය පැළෑටි කලාප ඇත්තේය.
අප්‍රිකාවේ ඝර්මකලාපීය කඳු මුදුන්වල සහ වර්ෂාව නොඅඩු අර්ධ ඝර්මකලාපීය පෙදෙස්වල සාමාන්‍යයෙන් උෂ්ණ සෞම්‍ය කලාපයට අයත් වූ නොයෙක් වර්ගවල වෘක්ෂලතාදිය බහුලව වැඩේ. අරාබි කෝපි, කපුරු, ඔලිව් හා කෙසෙල් මෙහි වැඩෙන ප්‍රධාන, ප්‍රයෝජනවත් ශාක වර්ගයි.
ලොබීලියා, බ'බෙරිස් හා කෝනුස් මෙහි වැවෙන පැළෑටිවලින් සමහරකි. නොයෙක් මීවන වර්ග, පාසි සහ වැල් මේ වනාන්තරවල බහුලය. කඳු බෑවුම්වල ඉහළ කොටසෙහි උණ වර්ගයේ ගස් බහුලය. ඊට ඉහළින් වැඩෙනුයේ සෞම්‍ය කලාපීය තෘණ වර්ගය. දකුණු අප්‍රිකාවේ නිරිතදිගින් පිහිටි කරූ ප්‍රදේශයේ ඇති සෞම්‍යකලාපීය තණ බිම් "වෙල්ට්" යනුවෙන් හැඳින්වෙයි. මධ්‍යම ඇමෙරිකවෙන් මේ ප්‍රදේශයට බෝවී ඇති ඔපුන්ටියා ශාකය සෙසු ගහකොළට හානි කරන ශාකයක් ලෙස සැලකේ. කරූ ප්‍රදේශයෙහි ශුෂ්කශාක බහුලය.
සෞම්‍යකලාවලට ආවේණික වූ වෘක්ෂලතාදිය වැඩෙන අනෙක් ප්‍රදේශ මධ්‍යධරණී දේශගුණය සහිත පෙදෙස්වලට සීමා වී පවතී. ශීත ඍතුවේ දී වර්ෂාවත් ග්‍රීෂ්ම ඍතුවේ දී නියඟත් පවත්නා මේ පෙදෙස්වල ස්වාභාවික වෘක්ෂලතාදිය සදාහරිතය. ඔලිව්, ලෝරල්, දොඩම් වර්ගයේ ගස්, සීඩර් ආදිය මෙහි වැඩෙන ප්‍රධාන ශාකයෝය. මධ්‍යධරණී දේශගුණය පවත්නා කේප් ප්‍රාන්තයේ මනහර ඕකිඩ් වර්ග වැවේ. සහරා ආදි කාන්තාරවල වෘක්ෂලතාදිය නොවැඩේ. එහෙත් කාන්තාර මධ්‍යයෙහි ජලය ලැබෙන ක්ෂේමභූමිවල රටඉඳි, පාම්, විලෝ සහ fපිග් (අත්තික්කා) ආදිය වැවේ.
සත්ව ජීවිතය: ඉතා ඈත අතීතයේ දී හෙවත් මෙසොසොයික නම් යුගය දක්වා අප්‍රිකාව, ආසියාව, ඕස්ට්‍රේලියාව සහ දකුණු ඇමෙරිකාව ගොන්ඩ්වානාලන්තය නම් වූ එක ම මහාද්වීපයකට අයත් ප්‍රදේශයක් වූ බව සලකනු ලැබේ. සියලු ම දක්ෂිණ මහාද්වීපවල - ප්‍රධාන වශයෙන් දකුණු ආසියාතික ප්‍රදේශවල - පැළෑටි ජීවිතයෙහි මෙන් ම සත්ව ජීවිතයෙහි ද සමානත්වයක් දක්නට ලැබේ. මේ සමානත්වය නිසා ඉහත සඳහන් පෙදෙස් කලෙක එක ම භූමි ප්‍රදේශයක්ව පැවති බව නිගමනය කරනු ලැබේ. ඒ කෙසේ වෙතත් මේ පෙදෙස් එකිනෙකින් වෙන්වීමෙන් පසු, වෙනත් පෙදෙස්වල සත්ව ජීවිතය සමඟ සම්මිශ්‍රණය වීමට අවකාශ අඩු වූයෙන්, විශේෂයෙන් ම ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව යන පෙදෙස්වල, සත්වයන්ගේ ප්‍රවේණි ලක්ෂණ බොහෝදුරට ආරක්ෂා වී තිබේ. යුරෝපීය හා ආසියාතික සත්වයනට සුළු ආසියාව හරහා අප්‍රිකාවට පැමිණීමට ගොඩ මාර්ගයක් තිබුණු නමුත් සහරා කාන්තාරය එබඳු ව්‍යාප්තියකට ස්වාභාවික බාධාවක් විය. එහෙයින් අප්‍රිකාවට ම විශේෂ වූ සත්ව සංහතියෙන් වැඩි කොටස සහරා කාන්තාරයෙන් දකුණු දිග අප්‍රිකානු ප්‍රදේශවලට පමණක් සීමා වී ඇත.
අප්‍රිකාවට ම විශේෂ වූ ක්ෂීරපායී වර්ගයේ සත්තු බහුලය. අග්‍රේශයන් අතර ලීමර ගණයේ ගෝරිල්ලා. වඳුරා, චිම්පන්සි, ඔරංඋටං යන සත්තු විශේෂයෙන් සැලකිය යුත්තෝය. මේ සත්ව ගණය ප්‍රධාන වශයෙන් අප්‍රිකාවේ නිවර්තන සහ අර්ධ නිවර්තන වනාන්තරවලට සීමා වේ. ක්ෂීරපායී වර්ගයට ම අයත් නිර්දන්තයන් අතර අප්‍රිකාවට ම විශේෂ වූ මානිස් (manis) සහ ආඩ්වාක් (aardvaak) සඳහන් කළමනාය. මේ සත්තු ප්‍රධාන වශයෙන් ඉතියෝපියානු පෙදෙස්වල වෙසෙති. අප්‍රිකාවට පමණක් සීමාවූ ක්ෂීරපායී වර්ගයේ කුර සහිත සතුන් අතර සැවානා තණබිම් වාසභූමි කරගත් සීබ්‍රා සහ ක්වැගා ප්‍රධානය. මේ පෙදෙස්වල රයිනෝසිරස්සු (කඟවේණු) ද වෙසෙත්. අප්‍රිකාවේ ඝර්මකලාපීය තණබිම්වල වෙසෙන අනෙක් සතුන් අතර ජිරාfප්, ඕකාපි හා ඇන්ටිලෝප් (කුරුඟුමුව) යන මොවුන් සඳහන් කළ යුතුය. විශේෂයෙන් ම ඉතියෝපියානු ප්‍රදේශ මේ සතුනට වාසභූමි වෙයි. දියගොඩ දෙකෙහි ම වාසය කළහැක්කාවූ ද විශේෂයෙන් ගංගා සහ විල් අවට වගුරු බිම්වල සැරිසරන්නා වූ ද අප්‍රිකානු හිපොපොටේමස් වැඩි වශයෙන් නැගෙනහිර අප්‍රිකාවටත් බටහර අප්‍රිකාවේ ලයිබීරියාවටත් සීමා වූවෙකි. වගුරුබිම්, ගංගා හා විල් අසල කැළෑවල වසන අප්‍රිකානු ඇතා ද ඉහත සඳහන් කළ සතුන් මෙන් ම ක්ෂීරපායී වර්ගයට අයත් ශාකභක්ෂකයෙකි. අප්‍රිකාවේ මුවෝ දුලබයහ. වලසුන් සහ වෘකයන් මෙන් ම මුව වර්ගයට අයත් සත්තු ද විශේෂයෙන් ම සහරා කාන්තාරයට උතුරෙහි ඇට්ලස් කඳු ප්‍රාන්තවල සිටිති.
ශාකභක්ෂක සතුන් මෙතරම් බහුලව වාසය කරන අප්‍රිකා මහාද්වීපයෙහි මාංසභක්ෂක සතුන් ඇතිවීම පුදුමයක් නොවේ. විශේෂයෙන් ම බිඩාල වර්ගයට අයත් මාංසභක්ෂක සතුන් අතර, ඝර්ම කලාපීය තණබිම් වාසභූමි කරගත් සිංහයා ප්‍රධානය. මේ හැර දිවි, කොටි ආදි සත්තු ද අප්‍රිකාවේ බහුලය. එහි වෙසෙන සුනඛ වර්ගයේ සතුන් අතර සිවලුන් හා වෘකයෝ ප්‍රධාන වෙති.
අප්‍රිකානු පක්ෂීන් අතුරෙන් විශේෂයෙන් ම කාන්තාර සීමාවලට නුදුරුව වෙසෙන පැස්බර වර්ගයේ සතුන් සඳහන් කළ යුතුය. මේ හැර කොක්, කොට්ටෝරු, ගිජුලිහිණි, ගිනිකුකුළු ආදි පක්ෂීහු අප්‍රිකාවේ ඉතා බහුලය.
උරග වර්ගයේ සතුන් අතර නයිල්, නයිජර් සහ කොංගෝ ගංගාවල අධිකව වෙසෙන කිඹුල්ලු ද වනාන්තරවල බහුලව ගැවසෙන නා, පොළොං - පිඹුරු ආදි නොයෙක් වර්ගවල සර්පයෝ ද සැලැකිය යුතු වෙත්. දකුණු අප්‍රිකාවට විශේෂ වූ හිකනලුන්, කටුස්සන් හා හූනෝ ද නොයෙක් වර්ගවල උභයජීවීහු ද වෙත්.
අප්‍රිකාව නිජභූමි කොට ඇති ඉහත සඳහන් සත්වයන් හැර, මිනිසා විසින් ව්‍යාප්ත කරන ලද එළු බැටළු ගව සහ ඔටු ආදී සත්තු විශාල සංඛ්‍යාවක් අප්‍රිකාවේ වෙසෙති.
සත්වයන්ට, විශේෂයෙන් ම ගවයන්ට, හිංසාකාරී වූ කෘමියකු වන ට්සෙට්සි (tse-tse) මැස්සාගේ එක ම වාසභූමිය ද අප්‍රිකාවයි.
ඛනිජ: අප්‍රිකා මහාද්වීපයේ බොහෝ රටවල නොයෙක් ඛනිජ ද්‍රව්‍ය ඇත. විශේෂයෙන් දියමන්ති, රන්, යුරේනියම්, තඹ, පොස්පේට්, ක්‍රෝමයිට්, මැංගනීස් ආදිය ගැන අප්‍රිකා මහාද්වීපය සුප්‍රකටය. ඇතැම් විශාල ප්‍රදේශවල ඛනිජ පිළිබඳ පරීක්ෂණ තව ම පවත්වා නොමැත.
ලෝකයෙහි රනින් 38.5%ක් ලැබෙන්නේ දකුණු අප්‍රිකාවෙනි. ට්‍රාන්ස්වාල්හි විට්වෝට'ස්රාන්ඩ් පළාතේ පිහිටි ජොහැන්නස්බ'ග් නුවර ඔස්සේ සැතැප්ම 70ක් දුරට නැගෙනහිර සිට බටහිර දෙසට විහිදි භූමිභාගයෙක ප්‍රධාන රන් ආකර ඇත. අඩි 3 සිට 10 දක්වා ගනකම ඇති රන් නිධි අඩි 3000 සිට 9000 දක්වා ගැඹුරෙහි හමු වේ. ලොවෙහි විශාලතම රන් නිධියක් ටැංගනීකාවේ ඇතත් තව ම එහි ආකර කැණීම් ඇරඹී නැත. ඇල්බට් විලට වයඹින් ද කොංගෝව, නයිජීරියාව, ඝානාව, සුඩානය, ටියුනීසියාව, ඉතියෝපියාව, කීනියාව, උගංඩාව සහ දකුණු රෝඩේසියාව යන මේ ප්‍රදේශවලින් ද රන් හාරා ගනු ලැබේ.
ටැංගනීකාවේ සිට කේප් ප්‍රදේශය දක්වා විහිදි භූමියෙහි තැනින් තැන දියමන්ති ආකර වෙයි. කිම්බ'ලි සහ ප්‍රිටෝරියා යන දෙනුවර අතර පිහිටි වාල් සහ හාට්ස් යන ගංගා නිම්නවල හා ඒ අවට පිහිටි දියමන්ති ආකර අතිවිශාලය. දියළු පස් හා තැන්පත්ව පවතින දියමන්ති නිධි කේප් රාජ්‍යයේ නමක්වාලන්තයේ දී නිරිත දිග ට්‍රාන්ස්වාලයේ ලිතෙන්බ'ග් පුරය සමීපයේ ද හමු වේ. කොංගෝ සහ ඇංගෝලා යන රාජ්‍යවල ද දියමන්ති හෑරීම ඉතා දියුණු තත්වයක ඇත. සියෙරා ලියොන්, ඝානා සහ මොසැම්බික් යන රාජ්‍ය දියමන්ති ලැබෙන තවත් ප්‍රදේශ වේ. ලෝකයේ දියමන්ති නිපැයුමෙන් 97% පමණ අප්‍රිකාවෙන් ලැබේ.
ට්‍රාන්ස්වාලයේ පිහිටි අතිවිශාල නිධියෙන් ගල් අඟුරු හාරා ගැනෙන්නේ දකුණු ජොහැන්නස් බ'ග් නුවරට මඳක් නැගෙනහිරින් පිහිටි විට්බෑංක් ප්‍රදේශයෙන් පමණි. දකුණේ කරූ ප්‍රදේශයෙහි ගල් අඟුරු තට්ටු තිරස්ව තැන්පත් වී තිබෙන නිසා හාරා ගැනුම ඉතා පහසුය. නතාල් රාජ්‍යයේ නිව්කාසල් සහ ලේඩිස්මිත් යන පළාත් අවට වර්ග සැතැපුම් දහසක ගල් අඟුරු ආකර භූමියක් වෙයි. නයිජීරියාවේ ඩෙල්ටාවට ඊශාන දිගින් වර්ග සැතැපුම් 1600ක අඟුරු බිමක් ඇත ටැංගනීකාවේ සහ සොමාලිලන්තයේ ද ගල් අඟුරු නිධි ඇති බව සොයාගෙන තිබේ. ලෝකයේ ගල් අඟුරු නිෂ්පාදනයෙන් 2%කට වඩා අප්‍රිකාවෙන් නොලැබේ.
ලෝකයෙහි විශාල ලෙස තඹ ආකර පිහිටා ඇත්තේ කොංගෝ රාජ්‍යයෙහි කටංගා සානුවේ සහ උතුරු රොඩේසියාවේය. එහෙත් වැඩි ම තඹ නිෂ්පාදනය උතුරු ට්‍රාන්ස්වාලයෙහිය. ලෝකයේ තඹ නිෂ්පාදනයෙන් 18% අප්‍රිකා මහාද්වීපයෙන් ලැබේ.
උස්ස සහ මධ්‍යම වර්ගයේ යපස් අතිවිශාල ප්‍රමාණයක් දකුණු අප්‍රිකාවේ නොයෙක් තැන ඇතත්, ඒ හාරාගනු ලබන්නේ ට්‍රාන්ස්වාලයෙන් පමණි. දකුණු රොඩේසියා, සියෙරාලියෝන්, ගාබොං, ප්‍රංස කැමරූන් සහ බාබරි රාජ්‍ය යකඩ ලැබෙන වෙනත් අප්‍රිකානු ප්‍රදේශයෝයි.
උතුරු නයිජීරියාවේ බවුච් සානුවෙහි දියළු තට්ටු ආශ්‍රිතව උසස් වර්ගයේ බෙලෙක් නිධි ඇත. කොංගෝ, උගන්ඩා, ටැංගනීකා, ට්‍රාන්ස්වාල් සහ නිරිත දිග අප්‍රිකා යන රාජ්‍යවල ද බෙලෙක් ඇත්තේය. දැනට අප්‍රිකාවෙන් ලැබෙන බෙලෙක් ප්‍රමාණය ලෝක නිෂ්පාදනයෙන් 15%කි.
ට්‍රාන්ස්වාල් සහ ඉතියෝපියා රාජ්‍යවල ප්ලැටිනම් ඇත්තේය. සියෙරා ලියෝනයේ ප්ලැටිනම් නිෂ්පාදනය තවමත් දියුණු නැත. එසේ වුව ද, ලෝකයේ ප්ලැටිනම් නිෂ්පාදනයෙන් 16% අප්‍රිකාවෙන් ලැබේ. ඝානාහි සහ කේප් රාජ්‍යයේ පොස්ට්මස්බ'ග් අසල මැංගනීස් තිබේ. ටැංගනීකාවේ මැංගනීස් නිෂ්පාදනය පටන් ගෙන නැත. ලොවෙහි විශාල වශයෙන් ම පොස්පේට් නිපදවන්නේ බාබරි රාජ්‍යවලය. මැඩගස්කරයේ ද පොස්පේට් ඇත්තේය.
අප්‍රිකාවේ වෙනත් ඛනිජ වර්ග ඇති ප්‍රදේශ:-
මිනිරන්. මැඩගස්කරය (මැලගසි) සහ කීනියාව
කෝබෝල්ට්. කොංගෝව, මොරිටේනියාව සහ උතුරු රොඩේසියාව
ක්‍රෝමයිට්. දකුණු රොඩේසියාව සහ ට්‍රාන්ස්වාලය (ලෝක නිෂ්පාදනයෙන් 27% පමණ ලැබෙන්නේ අප්‍රිකාවෙනි.)
බොක්සයිට්. සියෙරා ලියෝනය
යුරේනියම්. දකුණු අප්‍රිකාව, කොංගෝව, කටංගා සානුව, ගාබෙං සහ මොසැම්බික්
ඇස්බෙස්ටොස්. රොඩේසියා-නියාසාලන්තය සහ දකුණු අප්‍රිකාව
තලාතු මිනිරන් (මයිකා). දකුණු රොඩේසියාව, ටැංගනීකාව මැඩගස්කරය (මැලගසි) සහ සොමාලිලන්තය
ඊයම්. නිරිත දිග අප්‍රිකාව, නයිජීරියාව, ටියුනීසියාව සහ උතුරු රොඩේසියාව
ඛනිජ තෙල්. ඇල්ජීරියාව, ලිබියාව, ඇංගෝලාව, මිසරය, ගාබෙං, මොරොක්කෝව සහ නයිජීරියාව
තුත්තනාගම්. උතුරු රොඩේසියාව, කොංගෝව සහ බාබරිය
රිදී. කොගෝව, නයිජීරියාව සහ දකුණු අප්‍රිකාව
අප්‍රිකාවේ ඛනිජ නිෂ්පාදනය
ඛනිජය ලෝක නිෂ්පාදනයෙන් සියයට ගණන
රන් ….. 38.5
දියමන්ති ….. 97
ගල් අඟුරු ….. 2
තඹ ….. 18
බෙලෙක් ….. 15
ප්ලැටිනම් ….. 16
මැංගනීස් ….. 20
පොස්පේට් ….. 30
මිනිරන් ….. 9
ක්‍රෝමයිට් ….. 27
යකඩ ….. 2
බෝක්සයිට් ….. 1.5
ඇස්බෙස්ටොස් ….. 16
වැනේඩියම් ….. 2.5
ලෝකයේ දියුණු කළ හැකි ජල විදුලි බලයෙන් 40%ක් ම ඇත්තේ අප්‍රිකාවේය.
ආර්ථික කටයුතු: අප්‍රිකාවේ බොහෝ පෙදෙස් දේශගුණික බාධකයන් නිසා හෝ භූලක්ෂණ නිසා හෝ නිසරු පස නිසා හෝ ගොවිතැනට පමණක් නොව මනුෂ්‍ය වාසයට පවා අහිතකරය. එහෙත් ජනාවාස වී ඇති සෑම පෙදෙසක ම පාහේ කෘෂිකර්මය වැදගත් ආර්ථික ව්‍යාපාරයකි. අප්‍රිකාවේ ගොවිතැන් ක්‍රමය "ස්වදේශීය හේන් ගොවිතැන" සහ "ව්‍යාපාරික කෘෂිකර්මය" යයි දෙආකාර වේ. ස්වදේශීය හේන් ගොවිතැන ප්‍රධාන වශයෙන් කරනු ලබනුයේ නිවර්තන කලාපවල වෙසෙන නොදියුණු ස්වදේශීය ජනසමූහයන් විසිනි. වරින්වර එළිකරගනු ලබන කැළෑ පෙදෙස්වල ප්‍රධාන වැවිලි වනුයේ ඉරිඟු, කපු සහ කෙසෙල්ය. මේ හැර ඝානා, ලිබියා, උගන්ඩා, ඉතියෝපියා ආදි ඝර්මකලාපීය ප්‍රදේශවල රබර්, කොකෝවා, උක් සහ කපු වෙළඳ බෝග වශයෙන් වවනු ලැබේ. කොකෝවා වැවීම ප්‍රධාන වශයෙන් ම ගිනිවෙරළ අවට රටවලට සීමා වී තිබේ. කිරි ගැනීම සඳහා දකුණු ඇමෙරිකාවෙන් අප්‍රිකාවට ගෙන්වන ලද හීචියා රබර් ඝර්මකලාපීය අප්‍රිකානු රටවල වවා ඇත්තේය. අප්‍රිකාවේ බොහෝ නිවර්තනික ප්‍රදේශවල සුළු බෝගයක් වශයෙන් මෙන් ම විශාල වෙළඳ බෝගයක් වශයෙන් ද කපු වවනු ලැබේ. විශේෂයෙන් ම මිසරයේ නයිල් නිම්නයෙහි දියළු තැනිතලාවලත්, උගන්ඩා, සුඩාන් ආදි ප්‍රදේශවලත් වෙළඳ බෝගය වශයෙන් කපු වැවීම දියුණුය. අප්‍රිකාවේ සමක කලාපීය ප්‍රදේශවල නිජභූමි කරගත් පාම් ගසින් එම පෙදෙස්වලට විශාල ආදායමක් ලැබේ. නැගෙනහිර අප්‍රිකානු උස්බිම්වල තේ වැවීම ද මෑතක දී පටන් සැලකිය යුතු වෙළඳ ව්‍යාපාරයක් බවට පත්කොට තිබේ. ඝර්මකලාපීය පෙදෙස්වල ව්‍යාපාරික වැවිලි ක්‍රම අනුව කපු, රබර්, කොකෝවා, උක් සහ තේ වැනි බෝග වගා කිරීම විශේෂයෙන් ම යුරෝපීය බලපෑම හා උද්‍යෝගය නිසා දියුණු වී ඇත.
කීනියාව වැනි සමහර ඝර්මකලාපීය කඳුකර ප්‍රදේශවල සහ මධ්‍යධරණී දේශගුණය බලපවත්වන සෞම්‍යකලාපීය පෙදෙස්වල බොහෝ කොට ම ප්‍රංස, ඕලන්ද හා බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ආරම්භ කරන ලදුව යුරෝපීය ක්‍රමයට වගා කරන ගොවිපළවල් තිබේ. මධ්‍යධරණී පලතුරු ද තිරිඟු සහ ඉරිඟු වැනි ධාන්‍ය වර්ග ද ඒවායේ ප්‍රධාන වැවිලිය.
ව්‍යාපාරික ක්‍රම අනුව සතුන් ඇති කිරීම ද විශේෂයෙන් ම දකුණු අප්‍රිකාවේ දියුණු කර්මාන්තයකි. වෙල්ට් නම් වූ සෞම්‍යකලාපීය තණබිම්වල බැටළුවන් ඇතිකිරීම ඉතා දියුණුය. මෙහි එළුවන් සහ බැටළුවන් වැඩි වශයෙන් ම ඇති කරනු ලබන්නේ ලොම් පිණිස නොව මස් පිණිසය. මෙය ද යුරෝපීයයන්ගේ මෙහෙයවීම පිට දියුණු වූ කර්මාන්තයකි. ගවයන් ඇතිකිරීමට යෝග්‍ය වූ තණබිම් අප්‍රිකාවේ ඇති නමුත් ගව පාලනයට ට්සෙට්සි මැස්සා මහත් බාධාවක්ව සිටී. එහෙත් ගවයන් ඇතිකිරීම බන්ටු ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයකි. උතුරු අප්‍රිකාවේ කාන්තාරීය ජනසමූහයන් අතර, ගමනාගමනයට උපකාර වන ඔටුවන් ඇතිකිරීම සහ ආහාර පිණිස එළුවන් ඇතිකිරීම ද සැලකිය යුතු වේ.
අප්‍රිකාවේ ආර්ථික දියුණුවට වැඩියක් ම පිහිට වූයේ ආකර කර්මාන්තය යැයි කිව හැකියි. දකුණු අප්‍රිකාව, ටැංගනීකා, රොඩේසියා, කටංගා, ලිබියා, සුඩාන, ඇල්ජීරියා, නයිජීරියා ආදි ප්‍රදේශවල දියමන්ති, රන්, මැණික්, තඹ, ඛනිජතෙල්, යුරේනියම්, මැංගනීස් ආදි අගනා ඛනිජ වර්ග සොයාගැනීම නිසා 19 වැනි ශතවර්ෂයේ දී යුරෝපීය දේශපාලනඥයින්ගේ මෙන් ම ධන ලෝභීන්ගේ ද සැලකිල්ල අප්‍රිකාව කෙරෙහි යොමු විය. වර්තමාන දකුණු අප්‍රිකාව යථෝක්ත ඛනිජ වර්ග සපයන ප්‍රධාන ප්‍රදේශවලින් එකකි.
විවිධ ඛනිජ වර්ග, නොයෙක් කෘෂිකාර්මික ද්‍රව්‍ය හා සත්ව ද්‍රව්‍ය ආදිය නිපදවීම අතින් අප්‍රිකාව අන්‍ය මහාද්වීපවලට නොදෙවෙනි තැනක් ගන්නා බව ඉහත කළ විස්තරයෙන් පෙනී යයි. ඉන් අප්‍රිකාව ආර්ථික අතින් දියුණු මහාද්වීපයකැයි කෙනකුට පෙනී යා හැකිය. වන ද්‍රව්‍යවලට හා සුළු කෘෂිකාර්මික ද්‍රව්‍යවලට ද, රන් ස්වල්පයකට ද සීමාව පැවති අප්‍රිකානු නිෂ්පාදනය යුරෝපීයයන්ගේ පැමිණීමෙන් පසු ශතසහස්‍ර ගුණයකින් දියුණු වූ බව ඔවුනට ප්‍රශංසා මුඛයෙන් කිවයුතුය. ආර්ථික දියුණුවට අදාළ වන මංමාවත් ආදි පහසුකම් ද සුලබ විය. නවීන අධ්‍යාපන පහසුකම් ද ඔවුන්ගෙන් නොසැලසුණේ නොවේ. එහෙත් යුරෝපීය අධිරාජ්‍යවාදීන් අප්‍රිකානු විජිත පාලනය කෙළේ සිය මව්රටේ ශුභසිද්ධිය උදෙසා මිස අප්‍රිකානු කළු ජනතාව නඟා සිටුවීම පිණිස නොවේ. විජිතවාදයේ හා වර්ණභේදයේ බැමිවලින් බැඳී නොයෙක් අතවරයෙන් මිරිකුණු අප්‍රිකානු ස්වදේශික ජනතාව සිටියේ ආර්ථික වශයෙන් ඉතා පහත් තත්වයකය. පැරණි ගෝත්‍ර සංවිධානය හා ස්වයංපෝෂිත ගැමි ආර්ථික ක්‍රමය බිඳ හෙළීමට විධිවිධාන යෙදීම නිසා, ගැමි ජනතාවගෙන් ඉතා වැඩි ගණන යන එන මං නැති තත්වයකට පත්වූහ. අප්‍රිකානු ජනතාව කොංගෝවේ හෝ කීනියාවේ හෝ ටැංගනීකාවේ හෝ දකුණු අප්‍රිකා සමූහාණ්ඩු සංගමයේ හෝ ගෝල්ඩ් කෝස්ට්හි හෝ සුඩානයේ හෝ වේවා නැතහොත් මොරොක්කෝවේ හෝ ඇල්ජීරියාවේ හෝ වේවා, අධිරාජ්‍යවාදීන්ගේ ගොවිපළවල, ආකරවල, කම්මල්වල හා කාර්යාලවල දාසයන් බවට පත්ව සිටියාහුය. වර්ණභේද නීතිරීති නිසා එකම කම්කරු සේවායෙහි යෙදුණු සුදු මිනිසාගේත් නීග්‍රෝ මිනිසාගේත් වැටුප් අතර පරතරය 10:1 හෝ ඊටත් වැඩි විය. තරමක අධ්‍යාපනයක් ලැබ බටහිර සංස්කෘතිය අනුව හැදී යුරෝපීයයන්ගේ කාර්යාල, රාජ්‍ය කාර්යාල ආදියෙහි සේවය කරන මධ්‍යම පන්තියක් කොයි රටේත් ඇති විය. එහෙත් හැම අප්‍රිකානු විජිතයක ම ජනතාවගෙන් 95% කට නොඅඩු ප්‍රමාණයක් අන්ත දුගී තත්වයේ පසුවිය.
දෙවන ජගත් සංග්‍රාමයෙන් පසු ජනයා විජිත බැමිවලින් මිදෙමින් ස්වාධීනතාව කරා පිය නඟන්නට වූවාට පසු අප්‍රිකානු දේශයන්හි ද ආර්ථික ප්‍රතිපත්තිය විශාල පරිවර්තනයකට භාජන විය. කලින් ඉංග්‍රීසි-ප්‍රංස පාලනය යටතේ පැවති සූවස් ඇළ තම ජාතිය සතු කරගත් මිසරය, අස්වාන් වැනි සුවිශාල බහු කාර්ය ජලසම්පාදන ක්‍රම ඇති කොටගෙන ක්‍රියාරම්භ කෙළේය. නව නිදහස ලැබූ ඝානා, නයිජීරියා, ගිනි ආදි දේශයෝ ආර්ථික ව්‍යාපාර හැකිතරම් ජාතිය සතු කරගනිමින් ද ඩැහෝමි, අපර්වෝල්ටා, චැඩ්, ටියුනීසියා ආදි සමහර රාජ්‍යයෝ ද යුරෝපීය ජාතීන්ගේ ආධාරය ලබමින් ද ජාතික දියුණුව අරභයා ක්‍රියාරම්භ කළහ. විජිත යුගයේ දී කළු ජනතාවට උසස් අධ්‍යාපන පහසුකම් නොසැලසීම නිසා අප්‍රිකානු රටවල ස්වදේශීය දොස්තරවරුන්, ඉංජිනේරුවරුන්, කාර්මික ශිල්පීන්, උපාධිධාරීන් එකෙකුදු නැති තරම් විය. මේ නිසා ආර්ථික සංවර්ධනයට ගැළපෙන පරිදි ඇති කරන ලද අධ්‍යාපන වෙනස්කම් නිදහස දිනාගත් කොයි රටකත් පාහේ දක්නා ලදි. භූගත මහාධනස්කන්ධයකින් හා සරුසාර පසකින් ද වෙනත් ස්වාභාවික සම්පත්වලින් ද ආඪ්‍ය අප්‍රිකා මහාද්වීපයේ නව නිදහස ලැබූ ජාතීන් ශතවර්ෂාධික කාලයක් පිටරට ඇදී ගිය මහා ධනස්කන්ධය රටේ නවත්වා ගැනීමෙන් හා ජාතික ආර්ථික සංවර්ධනය උදෙසා නව ප්‍රබෝධයකින් යුතුව කටයුතු කිරීමෙන් ද අනාගතයේ දී ලොව දියුණු ජාතීන් හා සම තත්වයට පැමිණෙනු නොවැළැක්විය හැකිය.
ගමනාගමනය: යුරෝපීයයන් අප්‍රිකානු මහාද්වීපය ගවේෂණය කිරීමට පෙර ද අප්‍රිකානු මහාද්වීපයේ වෙරළබඩ සමහර පෙදෙස් නාවික වෙළඳ මධ්‍යස්ථාන බවට පත්වී තිබිණ. සූවස් ඇළ කැපීමට පෙර, බටහිර යුරෝපීය හා ආසියාතික වෙළඳ කටයුතු සඳහා කේප් මාර්ගය යොදාගැනීම අප්‍රිකානු මහාද්වීපික වෙරළ ආශ්‍රිත නාවික ගමනාගමනය දියුණුවීමට හේතුවක් විය.
මහාද්වීපය අභ්‍යන්තරයෙහි ස්වාභාවික ලක්ෂණ ගමනාගමන මාර්ගයන්හි දියුණට එතරම් හිතකර නොවීය. මෙම මහාද්වීපයෙහි පිහිටි ස්වාභාවික ධනය පිළිබඳ අවබෝධය මඳවූ නිසාදෝ භූ ලක්ෂණික දුෂ්කරතාවන් මැඩ පවත්වා ආසියාවේ "සේද මග" වැනි මහාද්වීපික වෙළඳ මාර්ග සාදා ගැනීමක් ඇති නොවීය. ඇත්ත වශයෙන්, එහි මහාද්වීපික වෙළඳාමක් ඇති නුවූයේ මහා කාන්තාරත් බිහිසුණු වල් සතුන්ගෙන් ගහන වූ වනාන්තරත් ඔස්සේ එකල අප්‍රිකානු ජනයාට ගමන් මාර්ග සාදාගැනීම කිසිසේත් පහසු නොවූ නිසා විය හැකිය. වර්තමානයේ දී වුව ද අප්‍රිකාවේ ස්වාභාවික බාධකයන් මැදින් මාවත් වැටී නැත.
නොයෙක් විදේශවලට අයත් යටත්විජිත වශයෙන් අප්‍රිකාව කඩ කඩ වී යෑම එම මහාද්වීපය හරහා දුම්රිය මාර්ග හා මහා මාර්‍ග ඇති නොවීමට හේතුවක් වන්නට ඇත. අද දවසේ පවා අප්‍රිකාවේ ඇති දියුණු දුම්රිය මාර්ග හා රථවාහන මාර්ග, විශේෂයෙන් ම යුරෝපීය යටත් විජිතව පැවති හෝ පවතින හෝ ප්‍රදේශවලට සීමාවී ඇත.
ගමනාගමනය සඳහා අප්‍රිකාවේ ගංගා ඉතා වැදගත් වේ. අප්‍රිකාවේ වෙරළබඩ ප්‍රදේශවල සිට රට මැදට යාමට පුරාණයේ සිට ම ගංගාවන් ඉතා ප්‍රයෝජනවත් වූ බව පෙනේ. අප්‍රිකාවේ බොහෝ මහාමාර්ග හා දුම්රිය මාර්ග ගංගා ප්‍රවහණ ක්‍රමවලට සම්බන්ධය. එහෙයින් 20 වැනි ශතවර්ෂයේ ඉදිකරන ලද දුම්රිය මාර්ග බොහොමයක් ම ගමනාගමනට වහල් කරගනු ලැබූ ගංගා නිම්නයන්ට සීමා විය. සාමාන්‍යයෙන් වෙරළබඩ තොටුපළවල් ද මහාද්වීප මධ්‍යයෙහි ආකර ද වෙළඳ මධ්‍යස්ථාන ද අතර වැටී ඇති තනි තනි දුම්රිය මාර්ග හැර ඒකාබද්ධ වූ අන්තර් මහාද්වීපික දුම්රිය මාර්ග නැත. එහෙත් දකුණු අප්‍රිකාවේ ඛනිජ ආකර බහුල වූ රොඩේසියා, මොසැම්බික්, බෙල්ජියන්, කොංගෝ යන පෙදෙස්වල ඒකාබද්ධ දුම්රිය සේවයක් තිබේ. අප්‍රිකාවේ මංමාවත් බොහොමයක් නගරවලට සීමා වී පවතී. නගරවලින් දුරබැහැර පෙදෙස්වල ඇති බොහෝ වැලි පාරවල් වැහි කාලයේ දී ගමනාගමනයට නුසුදුසු වෙයි. කාන්තාර ප්‍රදේශයන්හි ක්ෂේම භූමියෙන් ක්ෂේම භූමියට වැටී ඇති පටු පාරවල් මිස මාවත් නැත. ට්සෙට්සි ආදි කෘමීන්ගෙන් සතුන්ට හිරිහැර ඇතිවන්නාවූ ද වර්ෂාව බහුල වූ ද සමහර පෙදෙස්වල බඩු එහා මෙහා ඔසවාගෙන යනු ලබන්නේ මිනිසුන් විසින් ම ය. වියළි පෙදෙස්වල, ගවයෝ ද අශ්වයෝ ද විශේෂයෙන් ම කාන්තාරීය පෙදෙස්වල ඔටුවෝ ද තවලම් සඳහා ගනු ලබත්.
දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව අප්‍රිකාවේ ගුවන් ගමන් සේවය බෙහෙවින් දියුණු විය. උතුරු අප්‍රිකානු වෙරළේ කයිරෝ, ට්‍රිපෝලි, ටියුනිස්, ඇල්ජිය'ස් හා ටැන්ජියර් ජාත්‍යන්තර ගුවන් ගමන් සේවාවන් හා සම්බන්ධ ගුවන් තොටුපොළවල්ය. ඩකාර්, කානෝ, ලියෝපෝල්ඩ්විල් නියරෝබි හා ජොහැන්නස්බ'ග් අප්‍රිකා මහාද්වීපයේ අන්‍ය ප්‍රධාන ගුවන් තොටුපළවල්ය. පවත්නා දුම්රිය හා මාවත් මහාද්වීප තරණයට ප්‍රමාණවත් නොවන හෙයින්, අප්‍රිකානු මහාද්වීපයේ ප්‍රාදේශීය ගුවන් සේවය එහි ප්‍රවහණ ක්‍රම අතුරෙහි වැදගත් තැනක් ගනී.
ජනගහනය: අප්‍රිකාවේ මුළු ජනගහනය විසිතුන් කෝටියක් පමණ වේ. මහාද්වීපයෙන් හතරෙන් කොටසක් පමණ වන කාන්තාර ප්‍රදේශයේ සාමාන්‍ය ජනගහනය වර්ග සැතැප්මට 4 දෙනෙකි. ඝන වනාන්තරවල ජනගහනය වර්ග සැතැපුමකට 10 දෙනෙකුට වැඩි නොවන්නේය. මුළු මහාද්වීපයේ සාමාන්‍ය ජනගහනය වර්ග සැතැප්මට 14 දෙනෙකි. මීට වඩා අඩු සාමාන්‍ය ජනගහනයක් ඇති එක ම මහාද්වීපය ඕස්ට්‍රේලියාව පමණි. අප්‍රිකාවේ ජනගහනය අධික පළාත් නම් 1. වර්ග හැතැප්මකට 700ක් පමණ සිටින මිසරයේ නයිල් නිම්නය 2. දහසකට වඩා සිටින නයිජර් ඩෙල්ටාව 3. දකුණු අප්‍රිකාවේ ආකර ප්‍රදේශය 4. නැගෙනහිර අප්‍රිකා සානුවේ විල් ප්‍රදේශය 5. නැගෙනහිර සහ දකුණු අප්‍රිකාවේ වෙරළබඩ ප්‍රදේශ සහ 6. ඉතියෝපියා සානුව ද වේ. වැඩි ම ජනගහනය සහිත අප්‍රිකානු රාජ්‍යය නයිජීරියාවයි. එහි ජනගහනය 1960 ගණන් බැලීම අනුව 34,29,600කි. අප්‍රිකාවේ නගර අතුරින් වැඩි ම ජනගහනය ඇත්තේ මිසරයේ අගනුවර වූ කයිරෝ වේය. විසි එක් ලක්ෂයක් ජනයා වෙසෙන එනවුර විශාලකමින් ලෝකයේ දහසය වැනි නගරයයි. මිසරයේ ප්‍රධාන තොට වන ඇලෙක්සැන්ඩ්රියාවේ ජනගහනය දස ලක්ෂයකට කිට්ටුය. දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බ'ග් නගරයෙහිත් නයිජීරියාවේ ඉබාදාන් නගරයෙහිත් ජනගහනය පන්ලක්ෂයකට අධිකය.
ජනයාගේ ව්‍යාප්තිය අප්‍රිකානු දේශීය ජනයා:
(1) උතුරු අප්‍රිකානුවෝ: ප්‍රධාන වශයෙන් මධ්‍යධරණී කොකසයිඩ් වර්ගයට අයත් මොවුහු ඇල්ජීරියාව, මොරොක්කෝව, ලිබියාව, මිසරය, සුඩානය, සොමාලිලන්තය, මොරිටේනියාව ආදි ප්‍රදේශවල වාසය කරති.
(2) නිග්‍රෝවරු: මොවුන් වාසය කරන්නේ සාමාන්‍යයෙන් සහරා කාන්තාරයේ දකුණු සීමාවෙන් දකුණට පිහිටි ප්‍රදේශවලය. අප්‍රිකාවේ දකුණු භාගයේ නිරිතදිග පෙදෙස හැරෙන්නට සෙසු කොටස එනම් ඝානා, අයිවරිකෝස්ට්, නයිජීරියා, මාලි, නයිජර් පෙදෙස, කොංගෝ, ඩැහෝමි, ලයිබීරියා, කිනියා, සුඩාන්, රොඩේසියාව, ටැංගනීකා, රුවන්ඩා - උරුන්ඩි, සියෙරා ලියොන් ආදි පෙදෙස් මොවුන්ගේ ප්‍රධාන වාසභූමිය හැටියට සැලකිය හැකිය. ඔවුහු ගෝත්‍ර රාශියකට බෙදී සිටිති.
(3) හොටෙන්ටොට්වරු, බුෂ්මන්වරු සහ පිග්මිවරු: මොවුහු නීග්‍රෝ පවුලට ම අයිති වෙතත්, නීග්‍රෝ පවුලට වෙනස් වූ ලක්ෂණ ද ඇත්තෝය. මේ ගෝත්‍රවල ජනයා කොංගෝ, නිරිතදිග අප්‍රිකාව බෙචුවානාලන්තය, ඇංගෝලාව යන මේ පෙදෙස්වල හා දකුණු අප්‍රිකානු රාජ්‍යය පුරා ද විසිර සිටිති.
වෙනත් ජාතීහු: අප්‍රිකාවේ පදිංචි යුරෝපීයයන්ගෙන් ඉතා වැඩි කොටස උතුරේ සහ දකුණේ තොටමුණු අසල වෙති. 1652 සිට ම කෙප්ටවුන් පළාත යුරෝපීයයන්ගෙන් ගහන වන්නටවිය. මොවුන්ගෙන් පැවතෙන්නන් අප්‍රිකැන්ඩර් (බෝයර්) නමින් දනිති. ඇල්ජිය'ස්හි විශාල කොටසක ලක්ෂ සංඛ්‍යාත ප්‍රංස ජනයා පදිංචිව ජනපද පිහිටුවාගෙන ඇත. නිවර්තන කලාපයේ වෙසෙන යුරෝපීයයන්ගේ වාසය අඩි 5000ක් පමණ උසැති කඳුකරයට සීමා වී ඇත. යුරෝපීය ජාතීන් වාසස්ථාන තනා ගත් අභ්‍යන්තර කොටස් අතරින් වෙල්ට් ප්‍රදේශය ප්‍රධානය. යුරෝපීයයන්ගේ වතුයායවල වැඩ කිරීමට ගෙන්වන ලද ඉන්දියානු කම්කරුවන්ගෙන් පැවතෙන්නෝ නතාල් සහ බ්‍රිතාන්‍ය නැගෙනහිර අප්‍රිකාවේ ලක්ෂ ගණනින් වෙසෙති.1
ඉතිහාසය
පූර්ව ඓතිහාසික යුගය: අවුරුදු දසලක්ෂයකට පමණ පෙර සිට අප්‍රිකාව නොකඩවා ම මනුෂ්‍ය වාසභූමියක්ව පැවති බවට සාක්ෂි එමට ඇතැයි ද, එහෙයින් ම අප්‍රිකාව මානව වර්ගයාගේ මුල් බිම හැටියට බොහෝ විද්‍යාඥයන් සලකතැයි ද මහාචාර්ය ඇම්. ඩී. ඩබ්ලිව්. ජෙfප්රිස් කියයි. ඒ කෙසේ වෙතත් රොඩේසියාව, මිසරය හා සොමාලිලන්තය යන රටවල ද කීනියාහා ට්‍රාන්ස්වාල්අතර ප්‍රදේශය ද තිබී මෑත දී සොයා ගෙන ඇති පුරාණ පාෂාණ (පැලියෝලිතික) යුගයට අයත් පුරාවස්තු අනුව අප්‍රිකාව ද ආසියාව හා යුරෝපය මෙන් සෑම පූර්ව ඓතිහාසික යුගයක් ම පසු කළ බව සැලකිය හැක. නීග්‍රෝ මිනිසාගේ වාසභූමිය හැටියට සලකනු ලබන අප්‍රිකාව එම මනුෂ්‍ය වර්ගයාගේ මුල්බිම නොවන බවත් නීග්‍රෝ වර්ගයා නුදුරු අතීතයෙහි අප්‍රිකාවට පැමිණි බවත් සාමාන්‍යයෙන් පිළිගත් මතයයි.
නියැන්ඩර්තාල් මනුෂ්‍යයා ඉතා අතීතයෙහි සිරියාවෙන් හෝ ස්පාඤ්ඤයෙන් උතුරු අප්‍රිකාවට සංක්‍රමණය වූ බවත් ඊට පසු කාලයක පෙරදිග ප්‍රදේශයකින් නීග්‍රෝමිනිසා පැමිණි බවත් අනතුරුව සිරියාව හෝ ස්පාඤ්ඤය වැනි රටකින් කොකේසිය වර්ගයා (fපුලා පවුල) පැමිණ උතුරු අප්‍රිකාවේ පදිංචි වූ බවත් ඇතැම් මානව විද්‍යාඥයෝ කල්පනා කරති. අනතුරු කාලපරිච්ඡේදයක දී ලිබියන්වරු හෙවත් බර්බර්වරු නැගෙනහිර දෙසින් ද එයින් පසු කෙල්ට්-අයිබීරියන්වරු ස්පාඤ්ඤයෙන් ද උතුරු අප්‍රිකාවට සංක්‍රමණය වූහයි සිතනු ලැබේ. නොයෙක් ජාතීන්ගේ ආක්‍රමණ ද භූගෝලීය හේතූන් ද නිසා උතුරෙන් විසිර ගිය නීග්‍රෝ ජනයා නැගෙනහිරට හා බටහිරට ද ටැංගනීකා හා න්‍යාසා විල්වලින් ඔබ්බෙහි දකුණු කොංගෝ ප්‍රදේශයට හා මධ්‍ය සැම්බිසි ප්‍රදේශයට ද පැමිණි බවත් පෙනේ.
මිසරයෙන් හා මොරිටේනියාව ආදි ප්‍රදේශවලින් ලැබී ඇති පුරාවිද්‍යාත්මක සාක්ෂිවලට අනුව අවුරුදු දසදහසකට පමණ පෙර උතුරු අප්‍රිකාවේ මොරොක්කෝවේ සිට මිසරය දක්වා උතුරු වෙරළබඩ තීරයෙහි කොකේසියානු වර්ගයට අයත් fපුලා හා බර්බර් යන ගෝත්‍රවලට නෑකම් කියන ජනතාවක් ද ඇබිසීනියාවෙහි බර්බර්, නීග්‍රෝ හා බුෂ්මන් ජනයා සමඟ මිශ්‍රවෙමින් වර්තමාන හැමිටික් ජනයාගේ ආදි-පියවරුන් ද විසූ බව ඉතිහාසඥයන්ගේ හැඟීමය. උතුරු හා ඊසානදිග අප්‍රිකාව හැර අප්‍රිකාවේ ජනාවාසව පැවති ඉතිරි පෙදෙස්වල නීග්‍රෝ ජාතිකයන් හා බුෂ්මන්වරුන් වාසය කළ බව පෙනේ. එවක සහරාව ජනාවාසව නොපැවතිණ. ඒ කාලයේ දී වගුරු බිම්වලින් හා විල්වලින් ද ඝන කැළෑවලින් ද පිරී පැවති මධ්‍ය හා දකුණු අප්‍රිකාවෙන් විශාල කොටසක් ද ජනශූන්‍යව පැවැත්තේය.
ඓතිහාසික යුගය (මිසරය): නයිල් මිටියාවතේ ශිෂ්ටාචාරය ලෝකයේ පැරණි ම ශිෂ්ටාචාරය වශයෙන් ඇතැම් ඉතිහාසඥයෝ සලකත්. ක්‍රිස්තු පූර්ව 3200 දී පමණ බලයට පැමිණි රාජවංශික මිසරවරුන්ගේ මුතුන්මිත්තන් නයිල් මිටියාවත බද ප්‍රදේශයට පැමිණියේ ක්‍රි.පූ.4000 දී පමණය. මොවුන්ගේ මුල් බිම නිරිත දිග අරාබිය යයි ද පසුව ඔවුන් පදිංචිව සිටියේ ඩැන්කිල් නම් ප්‍රදේශයේ හා ඇබිසීනියාවේ යයි ද කියත්. තවද මොවුන් නීග්‍රෝ හා මොංගෝලීය ලේමිශ්‍ර, මූලික වශයෙන් හැමිටික් පවුලට අයත් ජාතියක් බවත් ඔවුන් මිසරයට පැමිණියේ ඇබිසීනියාව දෙසින් බවත් එසේ පැමිණෙද්දී නයිල් ඩෙල්ටාවෙහි බර්බර්වරුන්ට සමාන ජාතියක් වූ ලිබියන් වර්ගයා විසූ බවත් පෙනේ.
මිසරයේ පළමුවන රජ පෙළපත ක්‍රි.පූ.3200ට පමණ අයත්ය යනු ඉතිහාසඥයන්ගේ මතයයි. පළමුවන රජ පෙළපතේ ආදිමයා නාමර් නම් රජෙකි.
ඈත අතීතයෙහි දී මිසරය ප්‍රදේශ දෙකකට බෙදී තිබුණි. ඩෙල්ටා ප්‍රදේශය හා මෙම් fපිස්හි සිට 1 වන ඇල්ල දක්වා වූ දකුණු මිසරය ද යනුවෙනි. මේ ප්‍රදේශ දෙක ම යටත් කළ රජවරු ද්විත්ව කිරීටයක් දැරූහ. මෙම් fපිස් නගරය ගොඩනැගූ මිනිස් රජ මේ රාජ්‍ය දෙක ම එක්සත් කළ පළමු වැන්නාය. යුග වශයෙන් සලකා, රාජවංශිකයන් යටතේ පැවති මිසරය පුරාතන අධිරාජ්‍යය මධ්‍යතන අධිරාජ්‍යය හා නූතන අධිරාජ්‍යයි අධිරාජ්‍ය තුනකට බෙදනු ලැබේ. පුරාතන අධිරාජ්‍ය යුගයේ දී 1 වන පිරමිඩය ද ගීසාහි විශාලතම පිරමිඩ් තුන ද තනනු ලැබී යයි සිතිය හැකිය. මධ්‍යතන අධිරාජ්‍ය යුගයට අයත් රජුන්ගේ කාලයේ දී මෙහි වැඩවසම් ක්‍රමය පැවති බව කියති. හික්සොස් හෙවත් සිරියානු බෙඩුයින්වරුන් මිසරය ආක්‍රමණය කෙළේ මේ කාලයේදීය. නූතන අධිරාජ්‍ය යුගයේ දී තීබ්ස් නගරය මිසරයේ අගනුවර විය. රජ පෙළපත් යටතේපැවති මිසරය ක්‍රි.පූ.670 දී පමණ ඇසිරියානුන් අතට පත්ව නමුත් ඉන් මඳ කලකට පසු ඔවුන්ගෙන් එය මුදාගැනීමට මිසර ජාතිකයන්ට හැකි විය. එහෙත් ක්‍රි.පූ.525 දී පමණ මිසරය පර්සියානුන්ගේ ආධිපත්‍යයට යටත් වූ බව පෙනේ. ක්‍රි.පූ.332 දක්වා පර්සියානු අධිරාජ්‍යයට යටත්ව තුබුණු මිසරය ඉන්පසු වරින්වර ග්‍රීක, රෝම, බයිසන්ටයින්, අරාබි ආදි අධිරාජ්‍යයන් යටතට පැමිණියේය. අනතුරුව ම කැරුණු සතුරු ආක්‍රමණ නිසා මිසරයේ දේශීය ශිෂ්ටාචාරය යටපත් වන්නට පටන් ගති. මිසර ශිෂ්ටාචාරය නියම වශයෙන් නීග්‍රෝ ජනයා කෙරෙහි බලපාන්නට වූයේ මිසරය ඇසිරියානු, පර්සියානු, ග්‍රීක, රෝම, බයිසන්ටයින් හා අරාබි ආදි විදේශික අධිරාජ්‍ය යටතට පත්වීමෙන් පසුය. ක්‍රි.ව.7 වන සියවසේ දී අරාබි ජාතිකයන් අතට පත් වූ මිසරය 1517 දී තුර්කි අධිරාජ්‍යය යටතට පත්විය.
fපිනීසියානුවරු: ක්‍රි.පූ.12 වැනි සියවසට ද පෙර fපිනීසියානුන් මොරිටේනියාවට ඇතුළු වීම අප්‍රිකාව සම්බන්ධයෙන් සඳහන් කළ හැකි ප්‍රථම ඓතිහාසික විදේශික සංක්‍රමණය හැටියට දැක්විය හැකිය. ඔවුහු ක්‍රි.පූ.1100 පමණේ දී ටියුනීසියාවේ උටිකා නගරය පිහිටුවා ගත්හ. උතුරු අප්‍රිකාවේ fපිනීසියානු අගනුවර වූ කාතේජ් නගරය ගොඩනඟන ලද්දේ ක්‍රි.පූ.822 පමණේ දී ය. ක්‍රි.පූ.8 වැනි සියවසේ දී ට්‍රිපෝලියේ සිට මොරොක්කෝව දක්වා වූ වෙරළබඩ තැනින් තැන fපිනීසියානු (කානනයිට්) වෙළඳ නගර විය. හෙරොඩෝටස් කියන පරිදි දෙවන නකූ නම් පාරාවෝගේ නියමයෙන් ක්‍රි.පූ.600 පමණේ දී fපිනීසියානු නාවිකයකු සූවස් බොක්කේ සිට අප්‍රිකාව වටා යාත්‍රා කොට තුන්වසකින් මොරොක්කෝව හා ස්පාඤ්ඤය වෙන් කරන සමුද්‍රසන්ධියෙන් නැවත මධ්‍යධරණී මුහුදට ඇතුළු වූ බව පෙනේ. fපිනීසියන්වරු වෙළඳ ජාතියක් වූහ. පෞර රාජ්‍යයක් වූ, සුළු ආසියාවේ (සිරියාවේ) සිඩොන්හි ස්වකීය මව් රාජ්‍යයෙන් කාතේජ් නගරය වෙන් වූයේ ක්‍රි.පූ.8 වන සියවස තරම් කාලයේ දී ය. වෙළඳාම සම්බන්ධයෙන් කාතේජ්හි ප්‍රධාන තරගකරුවෝ ග්‍රීකයෝ වූහ.
අත්ලන්තික් මුහුදුබඩ ප්‍රදේශයන්හි වෙළඳාමෙහි නියුක්තව සිටි ග්‍රීකයෝ ක්‍රි.පූ.500 පමණ වන විට බටහිරින් ජිබ්‍රෝල්ටරය දක්වා වූ ප්‍රදේශයන්හි ඔවුන්ගේ වෙළඳාම කරගෙන ගියහ. මුහුදු කොල්ලකාරයන් වූ කාතේජියානුවරු ක්‍රි.පූ.500 දී පමණ ග්‍රීකයන්ගේ මේ වෙළඳාමෙන් කොටසක් අත්පත් කරගත්හ. බටහිර අප්‍රිකාවේ ජනපද පිහිටුවීම හා දේශගවේෂණය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ඉසිලූ කාතේජියානු යාත්‍රිකයකු වූ හැනෝ 300ක් පමණ වූ ස්ත්‍රී පුරුෂ පිරිසක් සමඟ නැව් 60කින් අප්‍රිකාව බලා පිටත් වූයේ මේ කාලයේදී ය. ඔහු බටහිර අප්‍රිකාවේ වර්තමාන සියෙරා ලියොන් දක්වා යාත්‍රා කළේය. ක්‍රි.පූ.300 පමණ කාලය කාතේජ්හි ස්වර්ණමය යුගය විය. ක්‍රි.පූ.242 දී කාතේජියන් මුහුදු බලය රෝමන්වරුන් විසින් විනාශ කරන ලදින් ඔවුන්ගේ වෙළඳාම ද පිරිහෙන්නට විය. ලෝක ප්‍රසිද්ධ යුද්ධ දක්ෂයකු වූ කාතේජ්හි හැනිබල් ක්‍රි.ව.202 දී රෝමන් සේනාපති සිපියෝ අතින් පරාජය වී අවුරුදු පනහකට පමණ පසු එනම් ක්‍රි.පූ.146 දී කාතේජ් නගරය රෝමන්වරුන් විසින් ගිනි තබා මුළුමනින් විනාශ කරන ලදින් අප්‍රිකාවේ කාතේජියානු බලය අතුරුදහන් විය.
ඇමන් වන්දනාව ටානිට් (චන්ද්‍ර) හා රබ්බාන් අම්මා (දේවමාතෘ) පිළිබඳ පුද පූජා ආදි සිරියානු ඇදහිලි ක්‍රම අප්‍රිකාවට ලැබුණේ කාතේජියානුවරුන්ගෙනි. fපිනීසියානු භාෂාව ද නොයෙක් සතුන් හා පැළෑටි වර්ග ද ඔවුන්ගෙන් ලැබුණු තවත් දායාදය. කාතේජියානුවරු අප්‍රිකාවේ අභයන්තරයට කාවැදීමට වෑයම් නොකළ නමුත් වර්තමාන ටියුනීසියා ප්‍රදේශය දක්වා සිය බලය පැතිර වූහ. ඔවුන්ගේ කාලයේ දී යුදෙව් ශිෂ්ටාචාරයට උතුරු අප්‍රිකාවට පිවිසීමට ද මඟ පෑදිණි.
ග්‍රීක ජනපද: ග්‍රීකයන්ගේ අප්‍රිකාගමනය ප්‍රථම ඓතිහාසික යුරෝපීය සංක්‍රමණ හැටියට සලකනු ලැබේ. ඔව්හු ක්‍රි.පූ.631 දී පමණ සයිරීනිහි ග්‍රීක නගරයක් ඉදිකළහ. සයිරීනි අසල බාක්, ටියුවේරියා, යුඑස්පෙරිඩීස් හා ඇපොලෝනියා නම් ජනපද සතරක් ද වැඩි කලක් යන්නට පෙර ඉදිකළහ. මේ ග්‍රීක ජනපදයන්හි නිරන්තරයෙන් ම වාගේ අභ්‍යන්තර කෝලාහල පැවතුණු අතර අසල්වාසී බර්බර්වරු ද ඒවාට වරින්වර පහර දුන්හ. මේ සියලු දුෂ්කරතා මධ්‍යයේ ග්‍රීකයන්ට ඔවුන්ගේ අප්‍රිකානු ජනපද ක්‍රි.පූ.96 දක්වා රැක ගැනීමට හැකි වූ නමුත් එම වර්ෂයේ දී ඒවා රෝමන්වරුන්ගේ ආධිපත්‍යයට යටත් විය. ක්‍රි.පූ.හත්වන සියවසේ සිට ග්‍රීකයෝ වෙළෙඳුන් හැටියටමිසරයට යාම් ඊම් කළහ. පර්සියානුවන් මිසරය ආක්‍රමණය කළායින් ශතවර්ෂ දෙකකට පමණ පසු, එනම් ක්‍රි. පූ. 332 දී මහා ඇලෙක්සැන්ඩර් රජ මිසරය යටත් කොට ඇලෙක්සන්ද්‍රියා නගරය ඉදි කළේය. ඇලෙක්සැන්ඩර් අධිරාජයාගෙන් පසු ක්‍රි.පූ.323 දී මිසරයේ බලය අල්ලා ගත් ඔහුගේ සේනාපති ටොලිමියොස් සෝටර් විසින් සුප්‍රසිද්ධ ටොලමි රජ පරපුර මිසරයෙහි ඇති කරන ලදි. ක්‍රිස්තු වර්ෂාරම්භය පමණ දක්වා රජ කළ මේ පරපුරට අයත් සමහර රජවරු මිසරයෙන් දකුණෙහි ඔවුන්ගේ අණසක පැතිරවීමට වැර වැඩූහ. මේ කාලයේ දී රතුමුහුදු වෙරළ හා සොමාලිලන්තය යන ප්‍රදේශවලට ද දේශගවේෂකයන් යවනු ලැබූ බව පෙනේ.
රෝමන් අප්‍රිකාව: ක්‍රි.පූ.146 දී කාතේජ් නගරයේ බලය බිඳ හෙළීමේ දී නුමීඩියන් හා මොරිටේනියන් රජුන්ගේ ආධාරය රෝමන්වරුන්ට ලැබිණ. ක්‍රි.පූ.96 දී සයිරනිකාවේ ග්‍රීක ජනපද ද ක්‍රි.පූ.30 දී මිසරය ද රෝමන්වරුන්ට අයත් විය. මේ කාලය වන විට බටහිර ට්‍රිපොලිටේනියාව, ටියුනීසියාව, ඇල්ජීරියාව හා මොරොක්කෝව ද රෝමන්වරුන් අතට පත්වී තිබුණේය. ක්‍රි.ව.415 දී වැන්ඩල්වරුන් රෝමන් අප්‍රිකාව ආක්‍රමණය කළ වකවානුවේ දී ම වාගේ අසල්වැසි බර්බර්වරුන් සමඟ ද යුද කිරිමට රෝමන්වරුන්ට සිදුවිය. ඔවුහු ඇට්ලස් ප්‍රදේශය ද පසුකොට සහරා කාන්තාර තරණයට ද ප්‍රයත්න දැරූහ. ක්‍රි.ව.50 පමණේ දී සියුරෝනියස් පෝලිනස් නමැති රෝමන් සෙනෙවියා අප්‍රිකාවේ ඇට්ලස් කන්ද දක්වා රට අභ්‍යන්තරයට පැමිණියේය.
කාතේජියානු ජනයාගේ හා ග්‍රීකයන්ගේ කාලයේ සිට පැවත ආයේ යැයි සලකන රන් හා ඇත්දත් වෙළඳාම ද වහල් වෙළඳාම ද රෝමන්වරුන්ගේ කාලයේ දී පෙරට වඩා මඳක් දියුණුව පැවති බව පෙනේ. Fපිනීසියානු යුගයේ දී පියුනික් (fපිනීසියානු) භාෂාවට හිමිව තුබූ තැන රෝමන් කාලයේ දී ලතින් භාෂාවට ලැබිණි. ක්‍රි.ව.300 වන විට ක්‍රිස්තියානි ආගම උතුරු අප්‍රිකාවේ තහවුරුව පැවතියේය.
වැන්ඩල් ආක්‍රමණ: වැන්ඩල්වරුන් ක්‍රි.ව.415 දී රෝමායත්ත අප්‍රිකාවට පහර දුන් අවස්ථාවේ දී ඔවුන්ට මොරොක්කෝවේ හා ඇල්ජීරියාවේ බර්බර්වරුන්ගේ ආධාරය ද ලැබුණේය. 513 දී වැන්ඩල්වරු නැගෙනහිර රෝම අධිරාජ්‍යයේ බයිසන්ටයින්වරුන් අතින් පරාජය වූ පසු ටැන්ජියර්හි සිට මිසරය දක්වා ප්‍රදේශය එම අධිරාජ්‍යයට අයත් විය. මේ කාලයේ දී රෝමන් සභ්‍යත්වයේ පුනරුද්දීප්තියක් ඇතිවිය. බයිසන්ටයින් අධිරාජ්‍යය පිහිටුවා අවුරුදු 100ක් පමණ ගත වූ විට කාතේජ් නුවර නැවතත් උසස් දියුණුවක් ලැබීය. එහෙත් යුරෝපීය සභ්‍යත්වයට විරුද්ධ වූ බර්බර්වරුන් නිතර කැරලි ගැසීම නිසා බයිසන්ටයින්වරුන්සමහර නගර හැර දමා ඉවත්ව ගිය බව ද පෙනේ.
ඉතියෝපියාව (ඇබිසීනියාව): ක්‍රි.පූ.6 වැනි සියවස පමණේ සිට ම හේබ්‍රෙව්වරු ඉතියෝපියාවේ උස්බිම්වල පදිංචි වූහ. අරාබි අර්ධද්වීපයේ යේමන්හි ද යුදෙව්වන් පදිංචි වූ බැවින් ඉතියෝපියාව හා අරාබිය අතර ඒ කාලයේ සිට ම සම්බන්ධය පැවතියේය. වැන්ඩල්වරුන්ගේ කාලයේ දී යුදෙව්වෝ උතුරු අප්‍රිකාවේ පෙදෙසින් පෙදෙසට යෙමින් සිය ආගම ද පැතිරවූහ.
4 වැනි සියවසේ දී මිසර හා ග්‍රීක මිෂනාරිවරු ක්‍රිස්තියානි ආගම ගෙන ඇබිසීනියාවට ආහ. මේ කාලයේ දී ඇබිසීනියන්වරු අප්‍රිකාවේ සමකාසන්න ප්‍රදේශ දක්වා සිය බලය පැතිරවූහ. ක්‍රිස්තු භක්තික ඇබිසීනියානුවරු නිරිතදිග අරාබියේ ද තම බලය පතුරුවා මැඩගස්කර් දිවයිනේ වැසියන් හා අරාබිවරුන් අතර පැවති වෙළඳාමට පහර ගැසූහ. ක්‍රිස්තු ලබ්ධික ඇබිසීනියන්වරුන්ගේ බලය ව්‍යාප්ත වීම අග්නිදිග අප්‍රිකාවේ එකල පැවති සිම්බාබ්වේ ශිෂ්ටාචාරයට ද පහරක් විය. ක්‍රි.ව.616 දී පර්සියානු සේනාවෝ දෙවන වරට මිසරයට ඇතුළු වූහ. බටහිර අරාබියෙන් ඇබිසීනියානුවරුන් පන්නා දැමූ ඔවුහු නැගෙනහිර ඇබිසීනියාවට ද ඇතුළු වූහ. 7 වැනි සියවසේ දී අරාබිය හා මිසරය ආදී අවට ප්‍රදේශ ඉස්ලාම් රටවල් බවට පත් වූයෙන් ඇබිසීනියාව තනි විය.
අරාබි (මුස්ලිම්) ආක්‍රමණය: මහමත්තුමාගේ අභාවයෙන් 8 වසරකට පසු, එනම් ක්‍රි.ව.640 දී, අමීර් ඉබ්න් අල් ආස් (බ.) නම් ඉස්ලාම් භක්තික අරාබි සෙනෙවියා මිසරය ආක්‍රමණය කොට 642 දී එරට අල්ලා ගත්තේය. 646 දී ඇලෙක්සැන්ඩ්රියාව ද මුස්ලිම්වරුන්ට යටත් විය. ඉක්බිති ට්‍රිපොලිය හා fපෙසාන් යන ප්‍රදේශ ද මුස්ලිම් ධජයට යටත් වූයෙන් ක්‍රි.ව.705 වන විට අප්‍රිකාවේ බයිසන්ටයින්-රෝම පාලනය මුළුමනින් ම වාගේ අතුරුදහන් විය. උතුරු අප්‍රිකාවේ අරාබි දිග්විජය නතර වූයේ ක්‍රි.ව.700 දී මොරොක්කෝව ද යටත් කර ගැනීමෙන් පසුවය. අරාබීහු බර්බර්වරුන් හා මුවර්වරුන් ද සිය භක්තියට හරවාගෙන අප්‍රිකාවේ අරාබි අධිරාජ්‍යය බලයෙන් බලයට ගෙන ගියහ. 711 දී ඉස්ලාම් ලබ්ධිය ගත් ටාරික් නම් බර්බර් සෙනෙවියා ස්පාඤ්ඤය ආක්‍රමණය කොට එරට ද අරාබි අධිරාජ්‍යයට එකතු කළේය. ටාරික් ගොඩබට පර්වතමය අර්ධද්වීපය ජිබ්‍රෝල්ටර් (ජිබල්-අල්-ටාරික්) නම් විය. 715-760 පමණේ දී බැග්ඩෑඩ්හි කාලිප්වරයා උතුරු අප්‍රිකාවේ ද ස්පාඤ්ඤයේ ද ආධිපත්‍යය ඉසුලුවේය. උමාර් පවුලට අයත් අබ්ද් අර්රාමන් බෙන් මුආවියා නම් කුමරා ක්‍රි.ව.758 දී ස්පාඤ්ඤයට වැදී අවුරුදු 30ක් පමණ නොකඩවා යුද කොට එරට බැග්ඩෑඩ්හි කාල්පිවරයාගෙන් මුදා ගෙන පසු කාලයේ දී ස්පාඤ්ඤයෙහි කීර්තියෙන් වැජඹුණු අරාබි රාජපරම්පරාව වූ උමයියාදු පරපුර ඇති කෙළේය. 1020 දක්වා රජකළ උමයියාදු අමීර්වරු වරින්වර මොරොක්කෝව ආක්‍රමණය කොට යුද සේවය පිණිස නීග්‍රෝ වහලුන් ලබාගත්හ. නව වන දසවන ශතවර්ෂයන්හි දී අප්‍රිකානු ප්‍රදේශ පාලනය කළේ පැටීමා (පාතිමා) රජ පරපුරය. මේ පරපුරේ තුන්වැනි රජුගේ කාලයේ දී මොරොක්කෝවේ සිට මිසරය දක්වා උතුරු අප්‍රිකානු ප්‍රදේශ හා දමස්කස් දක්වා වූ සිරියානු ප්‍රදේශත් පාලනය වූයේ ඒ රජු යටතේය.
11 වන සියවස දක්වා උතුරු අප්‍රිකානු ප්‍රදේශවල ලක්ෂ ගණන් බර්බර්වරුන් ද රෝම, ග්‍රීක, ගොතික්, හේබ්‍රෙව් යන විවිධ වර්ගයනට අයත් ක්‍රිස්තියානින් හා යුදෙව්වරුන් ද අරාබීන් විසින් පාලනය කැරුණේ යුද්ධ භටයන් දහස් ගණනකට ද පාලකයන් හා පූජකයන් අතළොස්සකට ද සීමා වූ ස්වල්ප දෙනකුන් මගිනි. 11 වන සියවසේ දී ආසියාවෙන් ලක්ෂ ගණන් මුස්ලිම්වරුන් උතුරු අප්‍රිකානු ප්‍රදේශවලට සංක්‍රමණය නොවන්නට එම ප්‍රදේශවල ඉස්ලාම් භක්තිය හෝ අරාබි වර්ගයා හෝ අද ශේෂ නොවන්නට පවා ඉඩ තිබුණි. 1045 පමණේ දී දෙලක්ෂ පනස් දහසක් පමණ ජනයාගෙන් යුත් බෙනි-හිල්ලා හා බෙනි-සොලීම් නම් වූ ගෝත්‍ර දෙකක් අරාබියෙන් පිටුවහල් කරනු ලැබ මිසරය හරහා ටියුනීසියාවට හා ට්රිපොලිටේනියාවට ගොස් එම ප්‍රදේශ යටත් කොටගෙන පදිංචි වූහ. මින් පසුව ද අරාබියෙන් පැමිණි මුස්ලිම් ජනයා බාකාවෙහි හා ට්‍රිපොලියෙහි ද පදිංචි වූ.
11 වන 12 වන සියවස්වල දී නුබියාව, ඩොංගෝලාව හා සේනාර් යන ප්‍රදේශයන්හි හැමිටික් ජනයා පලවා හැර ඒ ප්‍රදේශවල අරාබි ජනපද පිහිටුවන ලදි. සේනාර්හි ඇති කරනු ලැබූ fපන්ජ් නම් රජ පෙළපත 13-18 ශතවර්ෂයන්හි දී ඊසාන දිග අප්‍රිකාවේ ආධිපත්‍යය දැරීය. 12 වන ශතවර්ෂයේ දී සොමාලිලන්ත ජනයා ඉස්ලාම් ආගමට හරවා ගැනීමෙහි සමත් වූ අරාබීහු කිල්වා, මොසැම්බික්, සැම්බීසි, සැන්සිබාර් හා මොම්බාසා යන තන්හි ද බලයට පැමිණියහ. මැඩගස්කර් දිවයින් සොයා ගැනීමේ ගෞරවය ද අරාබීන්ට හිමි වේ.
අප්‍රිකානු අධිරාජ්‍ය
උතුරු අප්‍රිකාවෙහි මුල් අරාබි සංක්‍රමණය ඇති වූවාට පසු සහරා කාන්තාරයෙන් ඔබ්බෙහි බටහිර නයිජීරියා හා බටහිර සූඩාන් යන ප්‍රදේශයන්හි විශාල වූත් ඉසුරුමත් වූත් නීග්‍රෝ අධිරාජ්‍ය කීපයක් ඇති වූ බව මසුදි, ඉබන් බතුතා, ඉබන් ඛල්දුන්, අල් ඉද්‍රිසි, අල් බක්රි යනාදි ලෝක ප්‍රසිද්ධ මුස්ලිම් දේශාටකයන්ගේ ලියවිලිවලින් පෙනේ.
ඝානා අධිරාජ්‍යය: ක්‍රි.ව.300 පමණේ දී නයිජර් නදී ප්‍රදේශයේ බටහිර නයිජීරියාවේ ඝානා (කූම්ඛි) නගරය අවට මුලින් ම ඝානා රාජ්‍යය ඇති වූ බව පෙනේ. පසුව අධිරාජ්‍යයක් බවට පත්වූ ඝානාව ක්‍රි.ව.10 වැනි සියවසේ අවසාන භාගය වන විට අත්ලන්තික් සාගරය තෙක් බටහිරට ද සහරා කාන්තාරය තෙක් උතුරට ද ව්‍යාප්ත වී බලයෙන් හා ඓශ්චර්‍ය්‍යයෙන් ආඪ්‍යව පැවැත්තේය. ඝානා අධිරාජ්‍යවාසීන්ගෙන් කොටසක් ඉස්ලාම් භක්තිය වැලඳ ගත් අතර සෙස්සෝ පැරණි ස්වදේශීය ආගම් ම ඇදහූහ. ක්‍රි.ව.1076 දී මේ නීග්‍රෝ අධිරාජ්‍යය අල්මොරාවිද් (බර්බර්) අධිරාජ්‍යය විසින් බිඳ හෙළන ලදි. එහෙත් 1087 න් පසු ඝානා අධිරාජ්‍යයෙන් කොටස් කීපයක් නිදහස ලැබීය. ඒවා ද අනතුරුව මාලි නම් වූ අධිරාජ්‍යයට යටත් විය.
මාලි අධිරාජ්‍යය: ක්‍රි.ව.1050 දී මාලි නම් වූ කුඩා රට පාලනය කළ බරමෙන්ඩිනා නම් රජු ඉස්ලාම් ලබ්ධිය වැලඳ ගත්තෙන් එරට ඉස්ලාම් රාජ්‍යයක් බවට පත්විය. ක්‍රි.ව.1240 දී සුන්ඩියාටා නම් මාලි රජ එවක අල් මොරාවිද් අධිරාජ්‍යයෙන් නිදහස ලබාගෙන සිටි ඝානා රාජ්‍යය මුළුමනින් වනසා එපෙදෙස ද ගැම්බියා සහ වංගාරා රන් ආකර ප්‍රදේශ ද මාලි රාජ්‍යටය ඈඳාලීය. 1307 දී මාලි අධිරාජ්‍යය පාලනය කළ මන්සාමූසා නීග්‍රෝ වර්ගයා අතර පහළ වුණු අති ශ්‍රේෂ්ඨ රජෙකි. ඔහුගේ කීර්තිය යුරෝපය, ආසියාව ආදි මහාද්වීපවල පවා පැතිර ගියේය. මූසාගේ සමයෙහි දී බලසම්පන්නව පැවති මධ්‍ය නයිජර් පෙදෙසේ සොන්ඝායි රාජ්‍යය ද මාලි අධිරාජ්‍යයට ඈඳාගන්නා ලදි. 60000ක පිරිසක් සමඟ මක්කම වන්දනාව පිණිස ගිය මේ නීග්‍රෝ අධිරාජයාගේ කාලයේ දී මාලි අධිරාජ්‍යයේ ශ්‍රී විභූතිය ලොව පුරා පතළ විය. එක්සත් බටහිර අප්‍රිකාවක් දැකීමෙහි ලා මූසා ගත් මහන්සිය බොහෝ දුරට සාර්ථක වී යයි කිව හැකි වුවත් 1332 දී ඔහුගේ අභාවයෙන් පසු එම අධිරාජ්‍යය පිරිහෙන්නට විය.
සොන්ඝායි අධිරාජ්‍යය: ඉහත සඳහන් වූ සොන්ඝායිවරු ක්‍රි.ව.8 වැනි සියවස ආරම්භයේ දී මධ්‍ය නයිජර් පෙදෙසේ ගාඕහි සිය අගනුවර පිහිටුවූහ. සොන්ඝායිවරු ද මාලිවරුන් මෙන් මිශ්‍ර නීග්‍රෝ ජාතිකයෝ වූහ. ක්‍රි.ව.1010 සිට ඔවුහු ඉස්ලාමිකයෝ වූහ. 1335 දී මාලි අධිරාජ්‍යයේ ග්‍රහණයෙන් මිදුණ සොන්ඝායිවරු 1488 වන විට විශාල අධිරාජ්‍යයක් ගොඩනැඟීමෙහි සමර්ථ වූහ. ශ්‍රේෂ්ඨතම සොන්ඝායි අධිරාජයා වූ ද අප්‍රිකානු අධිරාජයන් අතර විශිෂ්ට කීර්තියක් උසුලන්නාවූ ද අස්කියා මහමත් I ක්‍රි.ව.1488 සිට 1520 දක්වා වූ කාලය ඇතුළත මාලි ප්‍රදේශයේ සිට සහරාව අසල පිහිටි කානෝ හා කත්සිනා දක්වා වූ ප්‍රදේශ සොන්ඝායි අධිරාජ්‍යයට ක්‍රමයෙන් එක් කෙළේය. හෙතෙම රටේ සංවිධානාත්මක ආණ්ඩුවක් ඇතිකොට ටිම්බක්ටු, ගාඕ, වලාටා, සංකෝර් යන නගරවල විශ්වවිද්‍යාලයන් ද පිහිටු විය. සංකෝර් විශ්වවිද්‍යාලය ලෝක ප්‍රසිද්ධ අධ්‍යාපන ආයතනයක් විය. 1591 දී මොරොක්කෝවේ අල් මන්සූර්ගේ ආක්‍රමණය නිසා සොන්ඝායි අධිරාජ්‍යය බිඳ වැටිණ. මෙසේ බටහිර අප්‍රිකාවේ පහළ වූ ඝානා අධිරාජ්‍යය ක්‍රි.ව.300 සිට 1076 දක්වා ද මාලි අධිරාජ්‍යය 1236 සිට 1488 දක්වා ද සොන්ඝායි අධිරාජ්‍යය 1488 සිට 1591 දක්වා ද ශ්‍රී විභූතියෙන් යුතුව පැවැත්තේය.
අල්මොරාවිද් (අල්මුරාබිතුන්) අධිරාජ්‍යය: අල්මොරාවිද්වරුන් ක්‍රි.ව.1076 දී ඝානා අධිරාජ්‍යයට පහර දී එය බිඳ හෙලූ බව ඉහත සඳහන් විය. අල්මොරාවිද් රාජ්‍යය පහළ වූයේ 1020න් පසු භාගයේදී ය. සෙනගල් ගඟ ඉහළ පෙදෙසේ විසූ බර්බර් වර්ගයට අයත් කුඩා අප්‍රිකානු ගෝත්‍ර කීපයක් ඝානා අධිරාජ්‍යයේ ව්‍යාප්තිය වැළැක්වීම පිණිස ආගමික නායකයකු යටතේ එකතු වූහ. රිබාත් නම් ස්ථානයෙහි ඉස්ලාම් පූජකාරාමයක් ඉදි කොට ගත් මොවුන්ගේ නායකයා සිය අනුගාමිකයන්සමඟ ඉස්ලාමික නොවූ අවට ගෝත්‍රයන් හා යුදකොට සිය බලය පැතිරවීය. 1050 පමණ වන විට අල්මොරාවිද්වරුන්ගේ බලය බටහිර සහරාව පුරා පැතිරිණ. ඉක්බිති 1076 දී අබු බක්ර් නම් නායකයා යටතේ ඝානා අධිරාජ්‍යය බිඳ හෙලූ මොවුහු 1087 පමණේ දී යූසුfප් නම් නායකයා යටතේ මොරොක්කෝව ඇතුළු උතුරු අප්‍රිකාව ද ස්පාඤ්ඤය ද යටත් කර ගත්හ.
අල්මොරාවිද්වරුන් ඝානාව යටත් කරගැනීමත් සමඟ ම ආකන් නම් ගණයට අයත් ගෝත්‍ර රාශියක් එහි සිට දකුණු දෙසට සංක්‍රමණය වී ගෝල්ඩ් කෝස්ට් (රන්වෙරළ) පෙදෙසෙහි පදිංචි වූහ. සෙනගල් නදියේ සිට ස්පාඤ්ඤයේ ඒබ්‍රෝ නදිය දක්වා පැතුරුණු අල්මොරාවිද් (බ.) අධිරාජ්‍යය ශත වර්ෂයකින් පසු ක්‍රමයෙන් අභාවයට යත් ම අල්මොහේද් අධිරාජ්‍යය බලයට පැමිණියේය.
අල්මොහේද් (අල්මුවාහිද්) අධිරාජ්‍යය: ශ්‍රේෂ්ඨතම අප්‍රිකානු අධිරාජ්‍යය හැටියට වැඩිදෙනා විසින් සලකනු ලබන අල්මොහේද් අධිරාජ්‍යය අරඹනු ලැබුයේ ද ඉස්ලාම් මාධිවරයකු හෙවත් ආගමික නායකයකු විසිනි. මේ නායකයා මහමත් ඉබ්න්තුමාට් නම්විය. 1147 සිට 1269 පමණ දක්වා පැවති මේ බර්බර් අධිරාජ්‍යයට ද සෙනගල් නදියේ සිට ස්පාඤ්ඤයේ ඒබ්‍රෝ දක්වා ප්‍රදේශය අයත් විය. ස්පාඤ්ඤයෙන් කොටසක් නැවත යුරෝපීය වර්ගයාට මුදාගැනීමට හැකිවූයේ ද මේ අධිරාජ්‍යය පැවති කාලයේ දී ය. 1248 දී සෙවිල් නගරය ස්පාඤ්ඤ වර්ගයාට මුදාගත හැකි වූ නමුත් ග්රැනඩාව තවත් ශතවර්ෂ දෙකක් අප්‍රිකාව යටතේ පැවතිණ. ඉස්ලාම් සභ්‍යත්වයේ ස්වර්ණ යුගය හැටියට ද හැඳින්වෙන අල්මොහේද් යුගයේ සිහිවටන තව ම ස්පාඤ්ඤයේ දක්නා ලැබේ.
අප්‍රිකානු ආධිපත්‍යය නිසා අයිබීරියානු අර්ධද්වීපයේ වෙළහෙළඳාම දියුණු වී මහත් ඓශ්චර්‍ය්‍යයක් ඇති වූවා පමණක් නොව මිශ්‍ර විවාහ නිසා අප්‍රිකානුන්ට හා අරාබීන්ට ස්පාඤ්ඤ ලේ මුසු වූ අතරම පෘතුගීසි වර්ගයාට ද අප්‍රිකානු අරාබි ලේ මිශ්‍ර විය.
අල්මොහේද් (බ.) අධිරාජ්‍යය වැටීමෙන් පසු එයට අයත්ව තිබුණු අප්‍රිකානු ප්‍රදේශ මොරොක්කෝ, ට්ලෙම්සේන් හා ටියුනීසියා යන රාජ්‍යවලට බෙදිණ.
මොරොක්කෝව: මොරොක්කෝවේ මහමත් XI සුල්තාන්වරයාට ආධාර පිණිස 1578 දී ජර්මන්, ඉතාලි හා පෘතුගීසි භටයන් 17000ක් සමඟ එරටට ගිය දොන් සෙබස්තියන් නම් පෘතුගීසි රජ එහි බලය අල්ලාගෙන සිටි සාඩියන් වංශික අබ්දුල් මාලික් අතින් පැරද මරුමුවට පත්විය. මාලික් ද රෝගාතුර වී මිය ගිය හෙයින් මොරොක්කෝවේ බලයට පැමිණි මුලේ අහමද් අල් මන්සූර් 1591 දී ඉහත දැක්වූ පරිදි සහරාවෙන් ඔබ්බෙහි වූ සොන්ඝායි අධිරාජ්‍යයට පහර දී ටිම්බක්ටු නගරය දක්වා ප්‍රදේශ අල්ලා ගත්තේය. මොහුගේ කාලයේ දී මොරොක්කෝව යුරෝපීය රාජ්‍යයන් තුළ භය උපදවන තරම් බලසම්පන්න රටක්ව පැවතිණ. එලිසබෙත් මහරැජින ද මොරොක්කෝව සමඟ මිත්‍ර ගිවිසුමකට බැඳීමට කීප වතාවක් ම දූතයන් යැව්වාය. තුර්කිවරුන්ගේ ආක්‍රමණ නිසා මිස නැතිනම් මුළු උතුරු අප්‍රිකාව ම මොරොක්කෝවේ පාලනය යටතට පත්වන්නට ඉඩ තිබුණි.
1517 දී තුර්කිවරු මිසරයේ බලයට පැමිණියහ. ඉක්බිති ඇල්ජීරියාව, ටියුනීසියාව හා ට්‍රිපොලිය ද ඔවුන්ගේ අධිරාජ්‍යය යටතට පත්විය. 17 වන සියවස වන විට මොරොක්කෝව හැර සෙසු උතුරු අප්‍රිකාව ම තුර්කියේ පාලනය යටතේ පැවැත්තේය.
අරාබි ආක්‍රමණයේ ප්‍රතිඵල: 8 වැනි සියවසෙහි දී ඇරඹුණු අරාබි අප්‍රිකානු සංක්‍රමණය 19 වන සියවස දක්වා ම වාගේ පැවතිණ. මේ අප්‍රිකානු සංක්‍රමණවල ප්‍රතිඵලය වූයේ මුල්කාලයේ සිට උතුරු හා බටහිර අප්‍රිකාවේ මුස්ලිම් ජනපද හා අධිරාජ්‍යයන් ඇතිවීම හා 17, 18 වන සියවස්හි දී ඉස්ලාම් භක්තිය ගත් බර්බර්වරුන් උතුරු හා වයඹදිග අප්‍රිකාවේත් ඉස්ලාම් භක්තිය ගත් තුර්කීන් වයඹදිග අප්‍රිකාවේත් මුස්ලිම් නිග්‍රෝවරුන් නයිජර් හා මධ්‍ය සුඩාන ප්‍රදේශවලත් අරාබිවරුන් නයිල් ගඟබඩ සහ නුබියා වෙරළෙහිත් බලයට පැමිණීම ද වේ. නැගෙනහිර අප්‍රිකාව කෙරෙහි බලය පෑ දකුණු අරාබිවාසීහු මධ්‍ය අප්‍රිකානු විල් ප්‍රදේශයෙහිත් කොංගෝ ප්‍රදේශයෙහිත් වරින් වර අධිපතිකම් කළහ.
අරාබිවරුන් විසින් සිරියා හා මෙසපොටේමියා ප්‍රදේශ කෙරෙන් ලැබූ සරසන් ගෘහනිර්මාණ ශිල්පය බර්බර්වරුන් හා මිසරවරුන් අතින් වඩාත් අලංකාරවත් දියුණු වී ගියේය. උතුරෙන් ස්පාඤ්ඤය හා සිසිලිය දක්වා ද, දකුණෙන් පහත නයිජර්, නයිල් හා සැම්බිසි නදී ප්‍රදේශයන් පමණක් නොව මැඩගස්කර් දිවයින දක්වා ද සරසන් ගෘහනිර්මාණ ශිල්පය ව්‍යාප්ත විය.
මුළු උතුරු අප්‍රිකාවෙහි ම පැතිරී ගිය අරාබි භාෂාව ඒ මුළු ප්‍රදේශයෙහි ජාත්‍යන්තර භාෂාව බවට පත්වීම ද වැදගත් කරුණකි. නීග්‍රෝ, බර්බර්, මිසර ආදි වර්ගයා අතර පැතිරී ගිය අරාබීන්ගේ ආගම වූ ඉස්ලාම් ධර්මය වර්තමාන අප්‍රිකාවේ ප්‍රධාන ආගමනයයි කිව හැකි තරමට අවසාන ප්‍රචලිතව ඇත.
අප්‍රිකාවේ අරාබි ආක්‍රමණයේ අවසාන ප්‍රතිඵලය වූයේ අරාබි මුස්ලිම් ග්‍රහණයෙන් මිදුණු ප්‍රතිකාල්වරුන් ද ඔවුන්ට පසු අනිකුත් යුරෝපීය වර්ගයා ද අප්‍රිකා ආක්‍රමණයට ඉදිරිපත් වීමය.
අප්‍රිකාවේ දේශගවේෂණය
විද්‍යාවේ නවෝදයට නුදුරු සමයේ දී අප්‍රිකාවේ ප්‍රදේශ සොයා ගැනීමට පැමිණි යුරෝපීය ජාතීන් අතර පෘතුගීසි ජාතිකයෝ මුල් වූහ. 1415 දී සියුටාහි සටනින් මුස්ලිම්වරුන් පරාජය කළ පසු වැඩි වැඩියෙන් අප්‍රිකානු පෙදෙස් තම රාජ්‍යයට ඈඳා ගැනීමට වෑයම් කළ පෘතුගීසිහු 15 වැනි ශතවර්ෂය ආරම්භයේ දී සිය දේශව්‍යාප්තිය බටහිර අප්‍රිකානු වෙරළට පමණක් සීමා කළහ. එහෙයින් 1480 වන විට සම්පූර්ණ ගිනි වෙරළ ම පෘතුගීසි ජනපදයක් බවට පැමිණිණ. 1484 දී දියෝගු කෑම් විසින් කොංගෝ මුවදොරත් 1488 දී බාර්තොලමියුදියස් විසින් සුබපැත්මේ තුඩුවත් 1498 දී වස්කෝ ද ගාමා විසින් සුබපැත්මේ තඩුව ඔස්සේ ඉන්දියාවට යන නැව් මාර්ගයක් සොයා ගනු ලැබීම නිසා මුළු බටහිර වෙරළෙහිත් මොසැම්බික් දක්වා නැගෙනහිර වෙරළෙහිත් පෘතුගීසි වෙළඳ කටයුතු දියුණු විය. 1482 දී ගෝල්ඩ්කෝස්ට්හිත් (දැන් ඝානා) 1576 දී ඇංගෝලාහිත් පෘතුගීසිහු ස්ථිර පදිංචිකාරයෝ වූහ. බටහිර අප්‍රිකානු වෙරළාසන්න ප්‍රදේශයන්ගෙන් ලබා ගත් ප්‍රධාන වෙළඳ ද්‍රව්‍ය අතුරෙන් ඇත්දත් කුළුබඩු හා වහල්ලු ද වැදගත් වූහ.
මේ කාලය වන විට, අලුතෙන් සොයාගෙන තිබුණු ඇමෙරිකානු ප්‍රදේශයන්හි විශාල වශයෙන් අරඹා තිබුණු වැවිලි කර්මාන්ත උදෙසා කම්කරුවන් ශතසහස්‍ර ගණනින් අවශ්‍යව පැවතියෙන්, පෘතුගීසීහු ඉතා ලාභ ගෙන දෙවන මනුෂ්‍ය වෙළඳාමක් ඇරඹූහ. අප්‍රිකානු නීග්‍රෝ ජනයන් වහල් මෙහෙය පිණිස ඇමෙරිකාවට විකිණීම ඉතා ලාභ සහිත ව්‍යාපාරයක් වූයෙන්, එය අතිශයින් දරුණු වූ අමානුෂික ක්‍රියාවක් බව දකිමින් ම අනික් යුරෝපීය ජාතීහු ද ක්‍රමයෙන් එයට ඇදී ආහ. මෙසේ වහල් වෙළඳාම ද අප්‍රිකානු ප්‍රදේශ ගවේෂණයෙහි යුරෝපීය ජාතීන් පෙලඹවිය. සම්පූර්ණ බටහිර වෙරළෙහි ම වාගේ ශීඝ්‍ර ලෙසින් වහල් වෙළඳාම පැවති අතර පහළ නයිජර් නදී ප්‍රදේශය "වහල් වෙරළ (Slave Coast) නමින් ප්‍රසිද්ධ විය (වහල් වෙළඳාම බ.).
රත්රන් ලබාගැනීම පිණිස පෘතුගීසීහු සැම්බිසි වෙරළ ඔස්සේ යෙමින් වර්තමාන රොඩේසියාව දක්වා බන්ටු-නීග්‍රෝ ජාතිකයන් සමඟ වෙළඳ සබඳකම් දියුණු කරගත්තෝය. මේ හැර "ප්‍රෙස්ටර් ජෝන්" (බ.) රජු සෙවීමෙහි පෘතුගීසීන් නිරතවීම නිසා ඇබිසීනියානු ප්‍රදේශ ගැන ද යුරෝපීය ජනයාට දැන ගැනීමට ඉඩ ප්‍රස්තාව ලැබිණ. ඇබිසීනියානු ප්‍රදේශයන්හි වෙළඳාම අත් කරගෙන සිටි මුස්ලිම් ජනයා නොබෝ කලකින් පෘතුගීසීන් විසින් යටපත් කර ගනු ලැබීම නිසා එම ප්‍රදේශයන්හි ද යුරෝපීය බලය පැතිරිණ. 17 වැනි සියවස මුල් භාගයේ දී ලන්දේසීහු ද ඉංග්‍රීසීහු ද අප්‍රිකාවට පැමිණියහ. ඉංග්‍රීසිහු එවක ලන්දේසීන් සතුව තිබුණු ගෝල්ඩ් කෝස්ට් පෙදෙස අයත් කොට ගත්හ. ලන්දේසීහු 17 වන සියවස අගහරියේ දී දකුණු අප්‍රිකාවේ වෙළඳ මධ්‍යස්ථාන පිහිටුවා ගත්හ.
අප්‍රිකානු දේශගවේෂණ සංගමය: විද්‍යානුකූලව හා සංවිධානාත්මකව අප්‍රිකාවේ අභ්‍යන්තර දේශගවේෂණය ආරම්භ වූයේ 1788 දී අප්‍රිකානු දේශගවේෂණ සංගමය පිහිටුවීමෙන් පසුවය. එසේ වුව ද, 1770-1772 කාලයේ දී, ඇබිසීනියානු උස්බිම් ගවේෂණය කර නිල් නයිල් ගඟේ මාර්ගය සටහන් කරගත් ජේම්ස් බ්රූස් අතින් ක්‍රමානුකූල අප්‍රිකානු ගවේෂණ කටයුතුවලට සිදුවූ සේවය සුළු කොට ගිණිය යුතු නොවේ. අප්‍රිකානු ගංගාධාරයන් ගවේෂණය කර මහාද්වීපය අනාවරණය කර ගැනීම අප්‍රිකානු දේශගවේෂණ සංගමයේ පරමාර්ථය විය. එහි පළමුවැනි පියවරනයිජර් ගංගා නිම්නයට යොමු විය. සංගමයේ මෙහෙයවීමෙන් උතුරු අප්‍රිකාවේ සහරා ප්‍රදේශය ඔස්සේ නයිජර් ප්‍රදේශයට ළංවීමට වෑයම් කළ මේජර් හෝටන් ද අකාලයේ මියගිය හෙයින් ඔවුන්ගේ ගමන් සම්පූර්ණයෙන් සඵල නොවීය. 1975 දී සංගමයේ මෙහෙයීමෙන් ගැම්බියාව හරහා ම නයිජර් පෙදෙසට ගිය මංගෝපාක් (බ.) නයිජර් ගඟ නැගෙනහිරට ගලන බව හෙළි කෙළේය. මේ ගඟ නැගෙනහිරට ගලා ගොස් දකුණට හැරෙන බව මංගෝ පාක් සිය දෙවැනි ගවේෂණ ගමනේ (1805-06) දී ප්‍රදේශවාසීන්ගෙන් අසා දැනගත්තේය. මින්පසුව බක්හාට්, ටකේ ආදි කීපදෙනකුන්ම නයිජර් ගැටලුව විසඳීමට වෑයම් කළ නමුත්, අප්‍රිකානු සංගමයේ පරමාර්ථය 1820 වනතුරුත් සම්පූර්ණයෙන් ඉටුනොවීය. 1823 දී අප්‍රිකානු ගවේෂණයෙහි යෙදුණු වෝල්ටර් ඌඩ්නි, ඩික්සන් ඩෙන්හම් හා හියු ක්ලැපටන් සුඩාන් ප්‍රදේශය ඔස්සේ චැඩ් විල දක්වා ගොස් එම විල ප්‍රථමවරට දුටු යුරෝපීයයන් වශයෙන් එම ගෞරවය හිමි කර ගත්හ. කෙසේ හෝ නයිජර් ගඟ පටන් ගන්නා තැන සොයා දැනගැනීමේ ගෞරවය හිමිවී ඇත්තේ මේජර්ලෑංටය. නූතන යුගයට අයත් ගවේෂකයන් අතුරෙන් ටිම්බක්ටු නගරයට ප්‍රථමයෙන් පිවිසි ගවේෂකයා ද ලෑංය. නයිජර් ගඟේ මුවදොර ස්ථිර වශයෙන් ලකුණු කිරීම 1830 දී එම කාර්‍ය්‍යයෙහි යෙදුණු රිචඩ් ලැන්ඩර් විසින් කරන ලදි.
1830 දී ප්‍රංස ජාතිකයන් ඇල්ජීරියාව අත්කර ගැනීමෙන් පසු, යුරෝපීය දේශගවේෂකයන් මෙන් ම විද්‍යාඥයෝ ද බොහෝ ගණනක් එහි ගියහ. මොවුන් අතුරෙන් පුරාවිද්‍යාඥයකු වූ බ'බ්රූගර් ද, භූ විද්‍යාඥයකු වූ වෙග්නර් ද, ගවේෂකයන් වූ fපොන් පියුක්ලන් මුස්කෝ, ම්රැඩ්ෂෝ හා හෙන්රීක්බාත් ද විශේෂයෙන් සඳහන් කළ යුත්තෝයි.
චැඩ් විල අවට ප්‍රදේශයේ බාත් විසින් ඇරඹුණ ගවේෂණ කටයුතු නිම කිරීමට පිටත් වූ fපෝගල් (1863) මෙන් ම වයඹ දිග පෙදෙස් ගවේෂණයෙහි යෙදුණු සොලෙයිලේ, ජූබෙර්, ඩුනෝ-ඩූ පෙයර් හා ඊ. fපොන් බැරී ද දේශීයයන් විසින් මරා දමනු ලැබූහ. මේ අතර 1855 දී ප්‍රංස විදේශීය හමුදවෙහි සේවයට පැමිණි ජී. රෝල්fප් නමැත්තා, fපෙස්, මොරොක්කෝ, ටැfපිලේට්, මුර්සුක්, බෝර්නු ආදි ස්ථානයන්ට ගොස්, බෙනූ හා නයිජර් ගංගා තරණය කොට අනතුරුව ලිබියාව ඇබිසීනියාව හා කෑfප්රා යන පෙදෙස්වල සංචාරය කෙළේය.
1854 දී නයිජර් නිම්නයට පිවිසි ඩබ්ලිව්.බී. බයිහීගේ ගමන, නයිජර් ගඟ පිළිබඳව එතෙක් සොයාගෙන තුබුණු කරුණු තහවුරු කිරීමට ප්‍රයෝජනවත් විය. හේ 1875 දී බෝනාට් වෝල්ටා ගංපෙදෙස් ගවේෂණය කළේය. ජර්මන් ජාතිකයකු වූ fපෙලගල් බෙනූ ගඟේ පටන්ගැන්ම සොයා ගත්තේය. 1887 දී බින්ගර් නම් වූ ප්‍රංස ගවේෂකයා නයිජර් හා වෝල්ටා ගංගා අතර සම්බන්ධය පෙන්වා දුන්නේය. නැගෙනහිර සහරාවට හා ටිබෙට්සි ප්‍රදේශයට ගිය ප්‍රථම යුරෝපීය ජාතිකයා ගුස්ටාfප් නාකිටිගාල්ය. 1869 දී ට්රිපොලියේ සිට මුර්සුක් දක්වා ගමන් කළ ඔහු කූකා දක්වා ගොස් වාඩායි හා ඩාර්fපූර් ඔස්සේ කයිරෝවට පැමිණියේය.
(සංස්කරණය:1963)