අබාධ වෙළඳාම

සිංහල විශ්වකෝෂය වෙතින්
12:58, 30 ජූනි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('තරඟ ක්‍රමයේ වැඩීම අතින් වැදගත් කාලපරිච්ඡේදයක...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

තරඟ ක්‍රමයේ වැඩීම අතින් වැදගත් කාලපරිච්ඡේදයක් වන දහනවන සියවසට අයත් අබාධ වෙළඳ උද්ඝෝෂණය ශතවර්ෂ ගණනාවක් මුළුල්ලෙහි වැඩී ආ විශාල තරඟ ව්‍යාපාරයෙහි අවසාන අවස්ථාව වුව ද, එය එතනින් නිමාවට පත් නොවීය. එම නිසා ලෝක ආර්ථික ඉතිහාසයේ "අබාධ වෙළඳාම" යනුවෙන් ඒ ඒ අවස්ථාවන්හි දී වෙනස් වෙනස් අර්ථ ප්‍රකාශ විය. එංගලන්තයෙහි තම වෙළඳ බලය පිහිටුවා ගැනීමට ආශා කළ මධ්‍යතන යුගයේ විදේශීය වෙළඳුන් විසින් අබාධ වෙළඳාම යනුවෙන් අදහස් කරන ලද්දේ ඔවුන් අසාධාරණ බදුවලට යටත් කරනු නොලැබීමත් සාමාන්‍ය තීරුබදු පමණක් ගෙවීමෙන් වෙනත් බාධාවන් නොමැතිව ඉංග්‍රීසි වරායවලත් වෙළඳනගරවලත් වෙළඳාම පිණිස ඔවුන්ට නිදහස ලැබීමත් වේ. සොළොස්වන සියවසේ අගහරියේ දී එංගලන්තයේ "අබාධ වෙළෙන්දා" යථොක්ත පදයෙන් අදහස් කළේ "ම’චන්ට් ඇඩ්වෙන්චරර්ස්" (Merchant Adventurers) වැනි වෙළඳ සමායතනවලට දී තුබුණු විශේෂ වෙළඳ වරප්‍රසාදයන් අවලංගු කර දැමීමයි. දහහත්වන සියවසේ දී ඉන් අදහස් කරන ලද්දේ පහසු කොන්දේසි අනුව ඕනෑ ම කෙ‍නකුට වෙළ ද සමාගම්වලට ඇතුළු විය හැකි පරිදි යථෝක්ත ආයතනවල සංවිධානය පුළුල් කිරීමයි.

තීරුබදු සලාක ක්‍රම, හුවමාරු භාණ්ඩ පාලනය, (commodity control) සංකීර්ණ තීරුබදු ක්‍රම, රජයේ වෙළඳ ඒකාධිකාර හෝ අන්‍ය වෙළඳ ඒකාධිකාර ආදි වශයෙන් වෙළඳාම සීමා කිරීම් වස් පනවනු ලබන නීත්‍යනූකූල බාධාවන්ගෙන් තොරව ස්වතන්ත්‍ර රාජ්‍යයන් අතර කෙරෙන භාණ්ඩ විනිමය සඳහා අබාධ වෙළඳාම යන අලුත් ව්‍යවහාරය ඇතිවූයේ අටළොස්වන සියවසේ දීය. හුදෙක් රජයේ අය සඳහා පනවනු ලබන තීරුබදු ක්‍රම අබාධ වෙළඳාම හා පටහැණි නොවේ. වර්තමාන අබාධ වෙළඳ සිද්ධාන්තය ප්‍රථමවරට ස්ථීර ලෙස ක්‍රමානූකූලව සකස් වූයේ ප්‍රංසයේය. මෙයට හේතු වූයේ රජය විසින් වෙළඳ රජය විසින් වෙළඳ නිදහස සීමා කරමින් පැනවූ දැඩි නීතිවලට විරුද්ධව නැගුණු උද්ඝෝෂණයයි. සමාජයේ ස්වාභාවික පිළිවෙත රැකීම පරමාර්ථ කොටගත් ෆිසියොක්රැට් වාදීහු (Physiocrats) රජයේ අවිචාරවත් මැදිහත්වීම් නිසා ස්වකීය පරමාර්ථය ඉටුවීමට බාධා පැමිණෙනු දැක රටක ධනය උපදින්නේ කෘෂිකර්මාන්තයෙන් හෙයින් කෘෂිකර්මාන්තයට පූර්ණ නිදහස තිබිය යුතු යයි තරයේ කියා සිටියහ. මෙහි ලා ඔවුන්ගේ මූලික අභිප්‍රාය වූයේ අභ්‍යන්තර වෙළඳාම පිළිබඳව පැවැති සියලු බාධාවක් ම අස්කරවීමයි. ඔවුන් පිළිගත් සිද්ධාන්තයන්ට අනුව විදේශීය වෙළඳාමෙන් වාසියක් ඇති නැති තරම්. මුළු වාණිජ්‍ය ක්‍රමය ම නිරර්ථකය යනු මේ නිසා ඔවුන් තුළ ඇති වූ අදහසයි. රාජ්‍ය දේශසීමාවන් ගැන කිසිදු තැකීමක් නොමැතිව රටවල් අතර නිදහසේ බඩු එහා මෙහා ගෙන යෑමේ සිද්ධාන්තය පිළිගැනීමට ඔවුන් මැළි නොවූයේ එහෙයිනි.

‍ෆිසියොක්රැට් සාම්ප්‍රදායිකයන්ගෙන් පසු අබාධ වෙළඳාම පිළිබඳ උද්ඝෝෂණය තවදුරටත් ගෙන ගොස් එයට සිද්ධාන්තයක තත්ත්වය ලබාදීමට ප්‍රමාණවත් වන සේ ඒ පිළිබඳ අදහස් ක්‍රමානූකූලව සකස් කරන ලද්දේ ඉංග්‍රීසි ජාතික දේශපාලන අර්ථශාස්ත්‍රඥයකු වූ ඇඩම් ස්මිත් විසිනි. 1976 පළකරවන ලද "ජාතීන්ගේ ධනයේ ස්වභාවය හා හේතූන් පිළිබඳ විමර්ශනය" (Inquiry in to the Nature and causes of the Wealth of Nation) නම් වූ ඔහුගේ ග්‍රන්ථයෙහි විවිධ කාර්‍ය්‍යන්හි මෙන් ම භූමි ප්‍රදේශයන්හිද විශිෂ්ටකම් ඇතිවීම කරණකොටගෙන හෙවත් ශ්‍රම විභජනය සහ අබාධ වෙළඳාම හේතුකොටගෙන ධන නිෂ්පාදනය බෙහෙවින් වැඩි කළ හැකියැයි සඳහන්වේ. වෙළදාම කෙරෙහි බලපවත්වන සෑම අවහිරයක් ම අඩු ඵලදායී නිෂ්පාදනය කෙරේ ආර්ථික ශක්තිය යොමු කරවයි. මේ නිසා නිෂ්පාදනය කරනු ලබන මුළු ධනයේ ප්‍රමාණය අඩුවේ. එහෙත් අබාධ වෙළඳාම පිළිබඳව වැඩි බලාපොරොත්තුවක් ඇතිකර නොගත්තේ දොම්නසට සහ ප්‍රකෝපයට පත් ඒකාධිකාරීන් ඒකරාශී වී පැරණි ක්‍රමය රැක ගැනීමට ක්‍රියා කළ හැකි බැවිනි.

ස්මිත්ගේ ග්‍රන්ථය ප්‍රකාශයට පැමිණි නොබෝ කලකින් තමන් විසින් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩයන්ගේ ශ්‍රේෂ්ඨත්වය කරණකොටගෙන විදේශීය වෙළඳපොළවල් දිගට ම අල්ලා සිටීමට හැකිවේ යැයි බ්‍රිතාන්‍ය වෙළෙන්දන්ට අවබෝධ වන්නට විය. එම නිසා වඩා ලිහිල් වෙළඳ ප්‍රතිපත්තියක් ඇති විය යුතුය යන අදහස සාමාන්‍යයෙන් පිළිගැනෙන්නට විය. වෙළඳාම නතරවන තරමේ අධික තීරුබදු රාශියක් ඉවත්කොට මධ්‍යම ප්‍රමාණයේ තීරු ගාස්තු අයකරන සේ වෙළඳ ගිවිසුමක් 1786 දී ප්‍රංසය සමඟ ඇති කර ගැනීමට විලියම් පීට් සමර්ථ වුයේය. ප්‍රංස විප්ලවකාරී යුද්ධ නිසා මෙකී අත්හදා බැලීම ඉක්මනින් ම ඉබේ ම නතර වුණ නමුදු වෙළඳාම පිළිබඳ වැඩි නිදහසක් ඇතිවීම තමන්ගේ වාසිය පිණිස වේය යන බ්‍රිතාන්‍ය නිෂ්පාදකයන්ගේ මතය 1786-93 අතර කාලය තුළ දී ලබාගත් අත්දැකීම්වලින් තවදුරටත් සනාථ විය.

නැපෝලියානු යුද්ධවලට අනතුරුව ඇතිවූ පුනරුත්ථාපන සමයේ දී අනුගමනය කළ යුතු වූ වෙළඳ ප්‍රතිපත්තිය කිනම් විය යුතු ද යන්න නිරාකරණය කිරීමේ ප්‍රශ්නයට බොහෝ යුරෝපීය රටවල් මුහුණපාන්නට වූහ. මහා බ්‍රිතාන්‍යයෙහි කාර්මික දියුණුව ඉතා ශීඝ්‍රයෙන් ඇති වූ හෙයින් එරට විසින් නිපදවනු ලැබූ බඩු අලෙවි කිරීම සඳහා වෙළඳපොළවල් සෙවීම විසඳිය යුතු වැදගත් ම ගැටලුව විය. එහෙත් යුරෝපා මහාද්වීපික රටවල් අධික තීරු බදු ක්‍රම පවත්වාගෙන ආ හෙයින් වෙළඳපළවල් සොයා ගැනීම සුකර නොවීය. තම රටේ තීරු බදු පරිමාණය අඩු කරන ලෙස බ්‍රිතාන්‍ය නිෂ්පාදකයන් සහ වෙළෙන්ඳන් ඉල්ලා සිටින්නට වූයේ අඩු තීරු බදු ක්‍රමයක් ඇති කිරීමෙන් අන් රටවල් විසින් ගෙන්වනු ලැබූ බ්‍රිතාන්‍ය භාණ්ඩ කෙරෙහි පවත්නා තහනම ලිහිල් කරවීමට එම රටවල් ද පෙලඹවිය හැකිය යන අපේක්ෂාවෙනි. වර්ෂ 1815 යුද්ධයෙන් පසු මව් රටේ තිරිඟු කාර්තුවක මිල සිලිම් 80 දක්වා වැඩිවෙනතුරු පිටින් තිරිඟු ගෙන්වීම තහනම් කිරීමෙන් එහි මිල අධිකව තබාගැනීමට උත්සාහ දැරූ පිරිසක් වූ ඉඩම්හිමි රදල පාලකයන් සමඟ යටකී යෝජනාව නිසා ඝට්ටන ඇතිවීමේ තත්ත්වයක් උද්ගත විය. මේ දෙපක්ෂය අතර ඇති වූ දික් ගැසුණු එකක් විය. අවසාන වශයෙන් සමථයක් ඇතිවූයේ තිස්‌ වසකට පසුවය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අබාධ_වෙළඳාම&oldid=2053" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි