අභයගිරිය
පුරාතනයෙහි අභයාවල, අභයවිහාර, අභයුත්තර, උත්තර විහාර යනාදී නම්වලින් හැඳින්වුණු මෙය ලක්දිව බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිද්ධීන් කිහිපයකට ම මුල් වූ සුප්‍රසිද්ධ විහාරායතනයකි. වළගම්භා රජු (ක්‍රි.පූ.103, නැවත 89-77) විසින් ක්‍රි.පූ.89 දීපමණ මෙම විහාරය ඉදිකරවන ලදි. ඒ පිළිබඳ මහාවංස ප්‍රවෘත්තිය මෙසේයි: රට ආක්‍රමණය කරමින් ආ ද්‍රවිඩයන්ට බියෙන් වළගම්භා රජු අනුරාධපුර රාජධානියෙන් පළා යද්දී එක් තීර්ථකාරාමයක විසූ ගිරි නම් නිගණ්ඨයෙක් රජු හට නින්දා පරිභව කෙළේය. මෙයින් සිත් තැවුලට පත් රජ නැවත සිහසුන ලබාගත් පසු එම තීර්ථකාරාමය කඩා බිඳ දමා එතැන්හි දොළොස් පිරිවෙනකින් යුත් විහාරයක් කරවා එය තමන්ගේ "අභය" නාමයත් නිගණ්ඨයාගේ "ගිරි" නාමයත් එක්කොට "අභයගිරි" යයි නම් කෙළේය. අනතුරුව රජතුමා තමහට විපත් කාලයේදී උපකාරීව සිටි මහාතිස්ස තෙරුන්හට මෙම විහාරය පිදීය. ඒ තිස්ස තෙරහුද ලක්දිව ථෙරීය භික්ෂු ගණයට අයත් වූහ.
අභයගිරි විහාරය පැරණි ලක්දිව උසස් ම ආයතනය වූ මහාවිහාරය (බ.) හා මුලදී සම්බන්ධව පැවති නමුත් නොබෝ කලකින් විහාරද්වය අතර වාදභේද පැන නැගිණ. (අභයගිරි නිකාය බ.) මහාවිහාරය ථෙරවාදය ගරු කළ අතර අභයගිරිය දඹදිවින් වරින් වර ගෙන එන ලද ධර්මරුචි නිකාය, වෛතුල්‍යවාද, වාජිරියවාද ආදී විපරිත මතවලට මධ්‍යස්ථානයක් විය. ක්‍රමක්‍රමයෙන් දියුණුවට පත් අභයගිරි පක්ෂයට බොහෝ විට රාජානුග්‍රහයද ලැබිණි. ගජබා රජ (ක්‍රි.ව.114-136) අභයුත්තර ථූපය විශාල කරවා විහාරයේ පැවැත්ම පිණිස වෙන් කළ ඉඩකඩම් වැවීමට ජලය ලබාගැනීම සඳහා ගාමණිතිස්ස නමින් ජලාශයක් බැඳවීය. කනිටු තිස් රජු (ක්‍රි.ව.167-186) විසින් අභයගිරි පක්ෂයට අයත් භූතාරාමවාසී මහා නාග තෙරුන් සඳහා රතනප්‍රසාද (බ.)නම් මාහැඟි මන්දිරයක් ඉදිකරවන ලදි. මහසෙන් රජු (ක්‍රි.ව.274-301) කල අභයගිරියේ මහත් දියුණුවක් ඇති විය. අභයගිරිවාසීන්ගේ පක්ෂය ගත් රජතුමා මහාවිහාරයට අයත් විහාරාරාම කඩා බිඳ දමා ඒවායේ වස්තුව අභයගිරිය දියුණු කිරීම සඳහා යෙදවීය. ඉන් අභයගිරියට තව තවත් ගොඩනැගිලි එක් විය. දෙවනපෑතිස් රජු විසින් ථූපාරමයෙහි පිහිටුවන ලදැයි මහාවංශයෙහි සඳහන් වන "මහාකාලසිලාප්‍රතිමා" නම් වූ බුදු පිළිමය ද අභයගිරියට ගෙන යන ලදි. මහාවිහාරයට අයත්ව තිබුණු මිහින්තලේ සෑගිරිය (බ.) ද පූර්වාරාමය (බ.) (පුලියන්කුලම) නම් විහාරය ද රජු විසින් අභයගිරි පක්ෂය වෙත පවරන ලදී. එහෙත් මහසෙන් රජුගේ අවසාන සමයේ දී අභයගිරි පක්ෂය මහත් ව්‍යසනයකට මුහුණ පෑවේය.
සිරිමෙවන් රජු (ක්‍රි.ව.301-328) කල අභයගිරියට නැවතත් රාජානුග්‍රහය ලැබිණ. විහාරය විශාල කරවීම, බෝධිද්‍රැමයක් පිහිටුවීම දාඨග්ග බෝධිඝර නම් මන්දිරයක් ඉදිකිරීම ආදියෙන් රජහු අභයගිරියේ දියුණුවට කටයුතු කළහ. අභයගිරියේ සමාධි පිළිමයට ආසන්නව බෝගෙයක් තිබුණු බව පුරාවිදු අධිකාරියේ ක්‍රි.ව.1960 පරිපාලන වාර්තාවෙන් හැඟේ. මෙරජු කල ලක්දිවට ගෙන ආ දළදාව අවුරුදු පතා අභයගිරි විහාරයට මහා පෙරහැරින් වැඩමවා මහත් පූජෝත්සව පවත්වන ලදි. දන්තධාතූව හා පාත්‍රධාතුව අභයගිරිය භාරයේ පැවැතිණ. පාහියන් භික්ෂුව කියන පරිදි එකල මහාවිහාරවාසී භික්ෂු සංඛ්‍යාව 3,000ක් පමණ වුවද අභයගිරි විහාරයෙහි නේවාසික භික්ෂූහු 5,000ක් විසූහ.
මධ්‍යම යුගයේ දී අභයගිරි විහාරය සඳහා ඉදි කරන ලද ගොඩනැගිලි අතර විහාරයට ම සම්බන්ධ කොට තැනුණු කප්පුර පිරිවෙන සහ තිපුත්ථුල්ල ආරාමය ද වෙයි. පස්වන කාශ්‍යප රජු (ක්‍රි.ව.914-923) සමයෙහි මිනින්තලේ චේතිය පබ්බත විහාරයට හා ඇත් වෙහෙර අභයගිරි විහාරයට අයත් ප්‍රධාන ආයතනයක් වූ කපාරාමූළයට පැවරිණ. මෙම මූළය සත්වැනි සියවසෙහි සිට එකොළොස්වැනි සියවස දක්වා ආගමික කාර්යයන්හි වැදගත් තැනක් දැරුවේය.
පළමුවන විජයබාහු රජු (ක්‍රි.ව.1055-1110) කල ධම්මරුචි නිකායේ නායක තෙරණුවෝ මෙහි විසූහ. රජතුමා සොළීන් සමඟ කළ යුද්ධයේ දී අභයගිරි විහාරය රජුට බොහෝ උපකාර කළ හෙයින් සතුරන් පරදවා රජ්‍යාභිෂේකය ලත් පසු එතුමා අභයගිරිය සඳහා උත්තරමූළ පිරිවෙන කරවීය. එකල (11 වන සියවසෙහි) අභයගිරිය මහත් ශ්‍රී විභූතියෙන් බැබළිණ.
පළමුවන පරාක්‍රමබාහු රජු ඇති කළ සංඝ සාමග්‍රියෙන් පසු අභයගිරි විහාර පක්ෂය වෙනම නිකායක් වශයෙන් පැවතීම අවසන් විය. එතුමන් විසින් අභයගිරි දාගැබ ද ප්‍රතිසංස්කරණය කරවන ලද්දේය. තෙළෙස්වන සියවසේ දී පමණ අනුරාධපුර රාජධානියේ වැටීමත් සමඟ අභයගිරි විහාරය ද ඉතිහාසයෙන් ගිලිහී ගියේය. ඊට අයත් ගොඩනැගිලි සියල්ලක්ම ජරාවාස විය. එසේ වුවද අභයගිරියට අයත් උතුරොළ (උත්තරමූළ) හා මහනෙත්පාමුළ යන ආයතන සොළොස්වන සියවස දක්වා ඒ නාමයන්ගෙන් ම පැවත ආයේය. මින් උතුරොළ අභයගිරියේ ප්‍රධාන ආයතනය විය. දන්තධාතුව හා පාත්‍රධාතුව මුලින් ම භාරව තිබුණේ මෙම ආයතනයටය. අභයගිරියට අයත් ඉහත සඳහන් විහාර සියල්ලක් ම පාහේ දැනට විනාශ වී ඇත.
අභයගිරි දාගැබ: අභයගිරි විහාරයට අයත් වූ දාගැබ අනුරාධපුරයට උතුරු දෙසින් පිහිටියේය. ඒ නිසාම එය පුරාතනයෙහි "උත්තරමහාචේතිය" නාමයෙන් හඳුන්වනු ලැබීය. අභයගිරි විහාරය පිහිටුවන ලද්දේ වළගම්බා රජු විසින් වුව ද එරජු දාගැබක් කළ බවක් මහාවංසයෙහි විශේෂයෙන් සඳහන් නොවේ. එහෙත් ඔහු එහි චෛත්‍යය ද ගොඩනැඟූ බව පිළිගත යුතු වේ. අභයගිරියේ චෛත්‍යයක් ගැන පළමුවෙන් ම මහාවංසයෙහි සඳහන් වනුයේ ගජබා (ගජබාහු ගාමිණී) රජු විසින් දාගැබ විශාල කොට බැඳවීම පිළිබඳ පුවතෙහිය.
අභයගිරි දාගැබ පළමුවෙන් ගොඩනැංවූ කාලයෙහි එය දැනට පෙනෙන තරම් විශාල නොවීය. අද පවත්නේ දොළොස්වන සියවසේ දී පළමුවන පරාක්‍රමබාහු රජු විසින් අන්තිම වරට විශාල කොට බැඳවුණු දාගැබ වේ. එකල එය රියන් 140ක් උස් වූ බව ඉතිහාසයෙන් කියවේ.
ගජබා රජු විසින් අභයගිරි දාගැබ විශාල කොට බැඳ වූ බව සඳහන් විය. එකල සතර දොරටුවෙහි "ආදිමුඛ" සතරක් පිහිට වූ බවද කියැවේ. "ආදිමුඛ" යනුවෙන් කුමක් අදහස් කෙරේදැයි අවිනිශ්චිතය. ඒවා කනිට්ඨතිස්ස රජුගේ ශිලා ලිපියක සඳහන් වී ඇති "අයක" නම් වන නිර්මාණයන් ලෙස අනුමාන කරනු ලැබේ. "අයක" යනු අමරාවතී ශිලාලේඛනවල සඳහන්වන "ආයක" (බ.) බව සිතිය හැකිය. ආයකය සිංහලෙන් "වාහල්කඩ" (බ.) නමින් හැඳින්වෙන නිර්මාණයේ ම වෙනස් ආකෘතියක් විය හැකිය.
දහනවවන සියවසේ අවසාන භාගය තෙක් අභයගිරි දාගැබ කැළෑවෙන් වැසී ජරාවාසව තිබිණි. අනතුරුව අවට වූ කැළෑ පෙදෙස එළි පෙහෙළි කොට දාගැබ පාදාගන්නා ලදි. 1890 ලංකාණ්ඩුව මගින් මෙහි කොත්කැරැල්ල සහිත සතරැස් කොටුව ප්‍රතිසංස්කරණය කැරිණ.
අභයගිරි දාගැබ ද ලංකාවේ අනෙක් පැරණි ස්තූපයන් ගොඩනැඟීමේ දී අනුගමනය කළ මූලධර්මයන්ට අනුව නිමවන ලද්දකි. දාගැබ පිහිටා ඇත්තේ වර්ග අඩි 587 පමණ විශාල වූ ද අඩි හයක් උස් වූ ද සලපතළ මළුවකය. දාගැබ වටා දිවෙන, ප්‍රදක්ෂිණාපථයක් ලෙස ගැණෙන වැලිමළුව අඩි 95ක් පළලය. සතරැස් මළුවේ හරිමැදින් අර්ධ ගෝලාකාර ගර්භය පැන නඟී. චෛත්‍ය පාදය පේසාවළලු තුනකින් යුක්තය. පහළ ම පේසාවේ විෂ්කම්භය අඩි 355කි. උස අඩි 6½කි. මුදුන් පේසාව මත ගර්භයේ විෂ්කම්භය අඩි 310ක් වේ. ගර්භය මුදුනේ පිහිටි සතරැස් කොටුව අඩි 33ක් උසය. සමචතුරස්‍රයක් වූ මෙහි එක් පාර්ශ්වයක දිග අඩි 75ක් වේ. පැති සතර ම ගරාදිවැට (වේදිකා) සහිත හිරුමඞල සටහනින් සමලංකෘතය. මළුවේ සිට සතරැස් කොටුවේ මුදුන දක්වා උස අඩි 187 අඟල් 6කි. සතරැස් කොටුව මැදින් පැන නැඟෙන සිලින්ඩරයක හැඩයෙන් යුත් දේවතා කොටුවේ උස අඩි 15කි. විෂ්කම්භය අඩි 30කි. දේවතාකොටුව මත කොත්කැරැල්ල පිහිටියේය. මුදුන ගරාවැටී ඇති මෙම කොත්කැරැල්ලේ සම්පූර්ණ උස අඩි 42 අඟල් 6කි. මෙසේ මුළු දාගැබේ උස අඩි 245ක් වේ. ගඩොළින් බැඳි කොත්කැරැල්ල තුළ තිබී සොයා ගත් අඟල් හයක් පමණ ගනකමින් යුත් වටකුරු පැතලිගල්පුවරු දාගැබ් මුදුනේ පිහිටුවන ලද ඡත්‍රයන්හි නෂ්ටාවශේෂ ලෙස හැඟේ. අඩි 2½ක් පමණ පරතරවල එක පිට එක පිහිටා තුබුණු මේවා ඡත්‍රාවලියක ආකාරය දැක්වෙන සේ නිම වූවා විය හැකිය. වෝහාරිකතිස්ස රජු (ක්‍රි.ව.209–231) විසින් දාගැබ මත ඡත්‍රයක් කරවන ලද බව සඳහන් වී ඇත. මළුව මත විසිරී තිබී සොයා ගනු ලැබූ ගල්ටැම් කැබලි ඡත්‍රයන් උසුලා සිටීම පිණිස කර වූ ශීලායෂ්ටි බව සිතිය හැකිය.
මෙම මහා දාගැබ ඉදිකිරීම පිණිස දරන ලද වියදම කෙතෙක්දැයි කිව නොහැක . එහෙත් තුන්වන සේන රජු (ක්‍රි.ව.938 -946) විසින් ගල්පුවරු ඇතිරවීම සඳහා කහවණු 40,000ක් වැය කළ බව සඳහන් වේ.
අභයගිරිය බෞද්ධ ස්තූපයන් අතර විශේෂ ස්ථානයක් ගන්නේ එහි විශාලත්වය නිසාය. එය අනුරාධපුර දාගැබ් අතුරෙන් දෙවැනි වන්නේ ජේතවන දාගැබට පමණි. බුදුන් ලක්දිව වැඩි ගමනක දී අභයගිරි චෛත්‍ය ස්ථානයෙහි තබන ලද පාදලාංඡනයක් මත මෙම ස්තූපය කරවූ බව පාහියන් භික්ෂුව සඳහන් කරයි. මෙහි සර්වඥධාතු නිදන් කිරීමක් ගැන විශේෂයෙන් සඳහන් නොවේ. කසුප් නම් රජකු විසින් "ධර්ම ධාතු පිහිටුවා භගිරිවෙහෙර එකසිය සතළිස් රියනක් උස කරවි" යයි සද්ධර්මරත්නාකරයෙහි සඳහන් වේ.
පසුගිය ශතවර්ෂයේ සිට අභයගිරි දාගැබ හඳුනා ගැනීම පිළිබඳව උගතුන් අතර බොහෝ මත භේද පැවැත්තේ ය. ඊට හේතුව වූයේ මෙකල පුරාවිද්‍යාඥයන් පිළිගන්නා පරිදි අභයගිරිය හා ජේතවනය නම් මාරු කොට හැඳින්වීමයි. අද පවා අභයගිරි දාගැබ යනුවෙන් සාමාන්‍ය මහජනයා හඳුන්වන්නේ පුරාවිද්‍යාඥයන් ජේතවනය වශයෙන් සලකන දාගැබය. මේ නම ගැන පර්යේෂණ පැවැත්වූයේ හියු නෙවිල් මහතාය. නම් මාරුව ගැන මුලින් ම සඳහන් කළේ ද ඔහුය. අනතුරුව හෙන්රි පාකර්, එච්.සී.පී. බෙල්, එඩ්වඩ් අයටන්, ඒ.ඇම්. හෝකාට්, සෙනරත් පරණවිතාන වැනි පුරාවිද්‍යාඥයන්ගේ හා ඉතිහාසඥයන්ගේ පර්යේෂණවලින් නෙවිල් මහතාගේ මතය තහවුරු වුණි.
අභයගිරිය හා ජේතවනය පිහිටි දිශාවන් ගැන කිසිදු ඉතිහාස ග්‍රන්ථයක නියම වශයෙන් සඳහන්වී නොමැත. මේ පිළිබඳව ප්‍රථමයෙන් ම යමක් ප්‍රකාශ කරන ලද්දේ පාහියන් භික්ෂුව විසිනි. චේතිය (මිහින්තලේ) පිහිටියේ අභයගිරි විහාරයට නැගෙනහිරින් බව ඔහු සඳහන් කරයි. පාහියන්ගේ මෙම කියමන නිවැරදි බව පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍යවලින් ඔප්පු වේ.
අභයගිරිය හඳුනා ගැනීම පිණිස පැරණි ශිලා ලිපි ද බෙහෙවින් උපකාරි වෙයි. පැරණි රත්න ප්‍රාසාද යයි සලකනු ලබන ආරාමයේ අත්තිවාරමට යටින් තිබී සොයාගත් ගජබා රජුගේ ශිලාලිපියක මෙම ස්තූපය "අභය-ගමණි-උතර-මහ-චෙත" යනුවෙන් දැක්වේ. මෙම පුවරුව පරීක්ෂා කළ අයටන් මහතා එය මුල් ස්ථානයේ ම පිහිටා ඇති බව වාර්තාකර තිබේ. උතුරු (අභයගිරි) දාගැබේ දකුණු වාහල්කඩ ඉදිරිපස පිහිටි මළුතිස (කනිට්ඨ තිස්ස) රජුගේ ශිලාලිපියක ද "උතර-මහ-චෙත" යන නාමය දක්නා ලැබේ. නවවන සියවසට අයත් නාගරි අකුරින් කොටන ලද තාන්ත්‍රික ගූඪ සූත්‍රයන් අඩංගු ගල්පුවරු කිහිපයක් ද සොයාගෙන ඇත. තාන්ත්‍රික මත බල පෑ අභයගිරිය අසලින් මෙකී ලිපි සොයාගෙන තිබීම අභයගිරි නාමය පිළිබඳව ඇති ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට පිටිවහලකි. තව ද, සතරවැනි මිහිඳු රජුගේ පුවරු ලිපියක "තුන් මහසල පිළිම බුදුන්" (මහගල් බුදුපිළිම තුනක්) සහ "බුද්පිරිබොය් මිණිපය්" (බුදුන් පරිභෝග කළ මැණික් පාත්‍රය) යනුවෙන් බුදුපිළිම තුනක් හා මැණික් පාත්‍රයක් ගැන සඳහන් වේ. උතුරු පෙදෙසේ පිහිටි සමාධි පිළිමය හැර මහ බුදුපිළිම දෙකක් අදත් දක්නා ලැබේ. එසේ ම පාත්‍රධාතුව අභයගිරියට අයත් උතුරොළ් මුළට භාරව තුබුණු බව මහාවංසයේ සඳහන් වේ. අභයගිරියට නුදුරින් පිහිටි මිහිඳු රහතන්ගේ බණ මණ්ඩපය යයි වරදවා සලකන "ගල්මඩුව" අසල ඇති පස්වැනි කසුබ් රජුගේ සෙල්ලිපියක අහයගිරිය හා කපාරාමූළය ගැන සඳහන් වේ. (අබහය්ගිරි ලිපි සියල්ලක් ම මුල් ස්ථානවල ම පිහිටි බව නොඅනුමානය. එහෙයින් උතුරු දාගැබ අභයගිරිය බව නිශ්චය වෙයි.
අනුරාධපුර උතුරු පෙදෙසෙහි පිහිටි කුට්ටම් පොකුණ අසල වූ කපාරාරාම පිරිවෙන කැණීමේ දී හමු වූ ශිලාලිපියකින් ද මේ සම්බන්ධයෙන් වැදගත් කරුණු හෙළිදරව් වේ. දසවන සියවසේ මැදභාගයට පමණ අයත් ලෙස සැලකෙන මෙම ලිපියෙහි කපාරාරාමයේ නම සඳහන් වේ. එබැවින් මෙම ආරාමය සහ අභයගිරිය උතුරු පෙදෙසෙහි පිහිටි බව පෙනේ.
අභයගිරි දාගැබ පිහිටියේ පැරණි අනුරාධපුර නගරයට උතුරෙන් බව පැරණි සෙල්ලිපි අනුසාරයෙන් පැහැදිලි වේ.
එහෙත් "අභයගිරිං පට්ඨාපෙසි සිලාථූපං චෙතියමන්තරෙ" යන දීපවංස පාඨය (XIX පරිච්ඡේදය, 18 වැනි ගාථාව) ඉහත කී හඳුනාගැනීමට පටහැණිව එන බව කිවයුතුයි. සාමාන්‍යයෙන් පිළිගත් පරිවර්තනය අනුව චේතිය සහ සිලාථූපය අතර අභයගිරි විහාරය පිහිටුවිය යනු එහි අර්ථයි. මෙහි සඳහන් "චේතිය" සහ "සිලාථූප" යනු කවරේදැයි අවිනිශ්චිතය. එහෙත් යටකී පරිවර්තනය ගැන උගතුන් අතර නොයෙක් මතභේද පවතී. "අන්තරං" යනුවෙන් අතර නොව අසල හෝ ඇතුළත යන අදහස ගෙන දෙන බව සමහරු කියති. මෙහි සිලාථූපය යනුවෙන් දැක්වෙනුයේ වළගම්බා රජු විසින් අභයගිරියෙහි මුලින් ම ගලින් බැඳවූ චෛත්‍යය විය හැකි බව පරණවිතාන මහතා අදහස් කරයි. බුදුන් ලක්දිව වැඩි ගමනක දී සිලාචේතිය ස්ථානයෙහි උන්වහන්සේ වැඩ විසූ බව මහාවංසයෙහි සඳහන් වේ. අභයගිරියෙහි බුදුන් සිරිපා තැබූ බව පාහියන් විසින්ද සඳහන් කර ඇති බව යට දැක්විණි. මේ අනුවද සිලාථූපය අභයගිරිය විය හැකි බව පරණවිතාන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
කර්තෘ:ඩී.ටී. දේවේන්ද්‍ර
(සංස්කරණය:1963)