අභිනය
ප්‍රාපණාර්ථයෙහි "නි" ධාතුවට පෙරටුව "අභි" යන උපසර්ගය යෙදීමෙන් සෑදෙන මෙය භාරතීය නාට්‍ය ශාස්ත්‍රයට අයත් පාරිභාෂික වචනයකි. රඟ දැක්වෙන නාට්‍යය ප්‍රේක්ෂකයන් වෙතට පැමිණවීමේ අර්ථයෙන් අභිනය යයි කියන බව භරත මුනිවරයා පවසයි (යස්මාත් ප්‍රයොගං නයති තස්මාදභිනයඃ ස්මෘතඃ) අභිනය වනාහි රසභාවාදිය අඟවන (ව්‍යඞ්ග්‍යයෙන් කියාපාන) හැසිරීම් වෙසෙසක් යයි මල්ලිනාථයෝ කියත් (අභිනයො රසභාවාදිව්‍යඤ්ජක වෙෂ්ටා විශෙෂඃ) මේ නිර්වචනයෙන් එහි මූලික අර්ථය වඩා මැනවින් පැවසේ යයි සිතේ. වෙස් බැඳගත් නළුනිළියන්ගේ වචන, ගීත ආදිය ඇසීමෙන් ද ඔවුන්ගේ රැඟුම්, මුහුණුවල විලාසය හා වෙනත් චේෂ්ටා බැලීමෙන් ද ප්‍රේක්ෂකයා තුළ කිසියම් රසයක් උපදී. ඒ රසය ඔහු වෙත පැමිණෙන්නේ නළුනිළියන්ගේ වෙස්, වචන, රැඟුම්, මුඛාරූඪ විලාසය යන ආදියේ මාර්ගයෙනි. රසය උපදවන මේ සියල්ලට "අභිනය" යයි කියනු ලැබේ.
ආඞ්ගික, වාචික, ආහාර්‍ය්‍ය හා සාත්වික වශයෙන් අභිනය සිවුවැදෑරුම් වේ.
(සංස්කරණය:1963)