අර්ථ විචාරය
(Semantics).
යම් භාෂාවක් ව්‍යවහාර කිරීමේ දී අර්ථ ප්‍රකාශ කෙරෙන ආකාරය විද්‍යානුකූලව පරික්ෂා කිරීම අර්ථ විචාරය නමින් හැඳින්වෙයි. අර්ථ විචාරය වාග්විද්‍යාවේ අංශයකි. අපරදිග වාග් විද්‍යාඥයන් අතර අර්ථ විචාරය නව්‍ය විද්‍යාත්මක ස්වරූපයක් ගෙන සිටී. ඒ පිළිබඳ පර්යේෂණ පැවැත්වීම බෙහෙවින් ම මෙම සියවසෙහි දී සිදු වුව ද දහනව වන සියවසේ මුල් භාගයේ සිටියහ. 1839 දී කේ. රයිසික් (Reisig) විසින් ලියන ලද ලතින් වාග් විද්‍යාව පිළිබඳ පොතෙහි අර්ථ විචාරය ව්‍යාකරණයේ විශේෂ අංශයක් ලෙස දක්වන ලදි. එවකට අලුත් විද්‍යාවක් වූ මෙය ඩාමෙස්ටේටර් (Darmesteter), බ්‍රේආල් (Breal), එල්ට්ස්මාන් (Erdmann), යාබර්ග් (Jaberg), මෙයියේ(Meillet), fපෝක් (Falk), හැටිස්පෙල්ට් ( Hatzfeld), කාර්නෝයි( Carnoy), වෙලැන්ඩර් (Wellander), හැන්ස් ෂ්පර්බර් (Hans Sperber) ආදි උගතුන් අතින් සකස් වෙමින් ආයේය. 1913 දී නයිරෝප් (Nyrop) විසින් ලියන ලද "ප්‍රංස භාෂාවේ ඓතිහාසික ව්‍යාකරණය" (Grammaire historique de la langue francaise) නැමති පොතේ හතර වන කාණ්ඩය මුළුමනින් ම අර්ථ විචාරය සඳහා කැපවිය. එහෙත් අර්ථ විචාරය අලුත් මුහුණුවරක් ගෙන වාග්විද්‍යාවේ විශේෂ අධ්‍යයනාංශයක් වූයේ 1930න් පසුවය.
1916 දී "සාමාන්‍ය වාග් විද්‍යාත්මක පාඩම් මාලාව" (Cours de Linguistique Generale) යන නමින් ෂාර්ල් බයි (Charles Bally) අදීන් විසින් සකස් කොට පළකරන ලද ෆර්දිනාන්ද් දො සොසුය්ය (Ferdinand de Saussure) නමැති ජිනීවාහි වාග්විද්‍යාඥයාගේ කථා පෙළ නිසා භාෂා ශාස්ත්‍රෝද්ග්‍රහණය එතෙක් නොපැවති අන්දමින් සමාජ ශාස්ත්‍රයක් බවට පත් විය. ශබ්දය සහ අර්ථය යයි භාෂාව දෙවැදෑරුම් කොට දැක්වූ ඔහු අර්ථ විචාරයේ දී වැඩි වැඩියෙන් මනස කරා නැඹුරු වී ගියේය. අප කිසියම් වචනයක් කියන විට එය අපේ සිතෙහි චිත්‍රයක් මවා පාන බව දො සොසුය්යගේ මතය විය.අප "අශ්වයා යි කී විට අප සිතෙහි අශ්වයකුගේ රූපයක් මැවෙයි. මේ ආදි වශයෙන් අප කථා කරන හැම විටම එයින් චිත්ත රූප නිර්මාණය වෙයි. පවසනු ලබන්න හෙවත් උක්තිය උදෙසා "signifient" වචනය ද පැවසෙන අර්ථය හෙවත් ප්‍රකාශිතය උදෙසා "signifie" යන වචනය ද දො සොසුය්ය විසින් භාවිත කරන ලදි. දො සොසුය්යගේ මතය කිසිම භාෂාවකට සපුරා නොගැළපෙන බව පසුව පහළ වූ ඇතැම් වාග් විද්‍යාඥයන්ගේ අදහස විය. "කොහොම ද සැප සනීප", "ආයුබෝවන් දෙයියෝ සාක්කි" ආදි කියමන්වලින් අර කියන ලද පරිදි වාක්විත්‍ර නොමැවෙයි. මෙසේ ඌනතාවක් දක්නා ලැබෙන හෙයින් දො සොසුය්යගේ මතයෙහි පිහිටා සිට අර්ථ විචාරය කිරීම විද්‍යානුකූල නොවන බව ලෙනඩ් බ්ලූම් ෆීල්ඩ් (Leonard Bloomfield) බ්‍රොනිස්ලෝ මැලි නොව්ස්කි (Bronislaw Malinowski) ජෝන් රූපට් ෆ'ත් (Firth) යනාදි වාග්විද්‍යාඥයෝ කියා සිටියහ. එහෙත් ඩෙන්මාර්කයේ ලුවී හ්‍යෙල්ම්ස්ලෙෆ් (Louis Hjelmslev) නෝර්වේහි ඔල්ෆ් සොමෆෙල්ට් (Alf Sommerfelt) යන වාග්විද්‍යාඥයෝ දො සොසුස්යගේ මතයෙහි පිහිටා සිට භාෂාව "ප්‍රකාශනය" (expression) හා "ප්‍රකාශිතය" (content) යන අංග දෙකකින් සමන්විත වූවකැයි අදත් විග්‍රහ කරති.
දො සොසුය්යගේ යටකී මතයට ආශ්‍රය වූයේ ඒ කාලයේ යුරෝපයේ ප්‍රචලිතව පැවති ඩුර්කේගේ (Durkheim) සමාජ විද්‍යාවයි. පුද්ගලයා හා සමාජය දෙකක් බවත් සමාජය පුද්ගලයාට වඩා වැදගත් බවත් සෑම විට ම අප විසින් පුද්ගලයාට වඩා සමාජය සැලකිල්ලට භාජන කළ යුතු බවත් ඩුර්කේම්ගේ මතය විය. භාෂාව උදෙසා ද මෙකී මතය ගුරුකොට ගත් දො සොසුය්ය. අප විසින් පරීක්ෂණයට භාජන කළ යුත්තේ පුද්ගලයාගේ භාෂාව නොව සමාජයේ භාෂාව බව ප්‍රකාශ කෙළේය. මනස කරා නැඹුරු වීමට සිදුවූයේ සමාජයේ භාෂාව ඇත්තේ කොහි ද යන ප්‍රශ්නයට පිළිතුරු වශයෙනි. සමාජයේ භාෂාව ඇත්තේ සාමාජිකයන්ගේ සිතෙහිය යනු ඔහුගේ මතය විය. මනෝවිද්‍යාඥයන් විසිනුදු තවමත් තීරණය කොට නොමැති මානසික අංගෝපාංග වාග් විද්‍යාවට වැද්ද ගැනීමට ඔහු පොළඹවනු ලැබුයේ මෙසේ යි.
භාෂාව හැදෑරීම හුදෙක් ස්වතන්ත්‍ර විද්‍යාවක් බවට පත් කළයුතු බවත්, එය කිසිසේත් මනෝ විද්‍යාව ආදි අවශේෂ විද්‍යාවන්ට ගැති නොවිය යුතු බවත් තරයේ කියා සිටිමින් වාග් විද්‍යාව නියමවිද්‍යාවක ස්වරූපයට පත් කරන්නට ප්‍රයත්න දැරූවන්ගෙන් ලෙනඩ් බ්ලූම්ෆීල්ඩ් මූලිකස්ථානය ගනියි. මනසෙහි උපදින වාක්චිත්‍ර පිළිබඳ මතයට ඔහු පටහැණි විය; වාග් විද්‍යාව මනෝවිද්‍යාවේ උපාංගයක් බවට පත් වන හෙයිනි. 1933 දී "භාෂාව" (Language) යන හිසින් ඔහු ලියන ලද පොත තවමත් සම්මාන ලබන කෘතියකි. අර්ථ විචාරය වාග්විද්‍යාවේ ඇතිදුර්වල ම ස්ථානය යැයි ඔහු ඒ පොතෙහි සඳහන් කරයි. බ්ලූම්ෆීල්ඩ්ගේ අදහස වූයේ හැම විද්‍යාවක් ම හාත්පසින්ම ආනුභාවික විද්‍යාවක් (empirical science) බවට පත්විය යුතු බවය. ඇසට පෙනෙන්නාවූත් මිම්මෙන් මැනිය හැකි වූත් දේ පමණක් විද්‍යාවට අයත් විය යුතු බව ඔහුගේ නිගමනය විය. භාෂාවේ අර්ථාත්පත්තිය පිළිබඳ පර්යේෂණය මේ අන්දමේ විද්‍යාවක් බවට පත්කිරීම අපහසුව පැවති හෙයින් ඔහු එය වාග්විද්‍යාවේ දුර්වල ස්ථානයකැයි නිගමනය කෙළේය. එසේ නිගමනය කෙළේ ඔහු වාක්චිත්‍ර මාධ්‍යය කොට ගෙන අර්ථය විග්‍රහ කිරීමට විරුද්ධ වූ නිසාත් භාෂාවේ යෙදෙන බොහෝ වචන විද්‍යානුසාරයෙන් කපා කොටා අර්ථය විභාග කළ නොහැකි නිසාත්ය. ඔහුගේ අභිප්‍රාය වූයේ අර්ථ විචාරය අවශේෂ විද්‍යාවන් මගින් මිස වාග්විද්‍යාඥයා විසින් කළ හැක්කක් නොවන බව යයි හැඟේ. අර්ථ විචාරය සඳහා භාෂාවෙන් පරිබාහිර වූ සමාජ සංස්ථාවන්ගේ සහාය අපේක්ෂා කළයුතු හෙයින්, භාෂාව ස්වතන්ත්‍රව හැදෑරිය යුතු යයි කියා සිටියකු අර්ථ විචාරය සඳහා වාග්විද්‍යාව අපොහොසත් වෙතැයි කීම පුදුමයක් නොවේ. අර්ථාත්පත්තිය හරියාකාර පරීක්ෂා කිරීමෙහි ලා සෙසු විද්‍යාවෝ ද අපොහොසත් වෙති. දුක, සැප, ආදරය, කණස්සල්ල ආදි වචනවල අර්ථය කිසිදු විද්‍යාවකින් සපුරා විග්‍රහ කොට දැක්විය නොහේ. එබැවින් අර්ථ විචාරය සෙසු විද්‍යාවන් පරිපාකයට පත්වීමෙන් පසුව පමණක් කළයුතු බව බ්ලූම්ෆීල්ඩ් ප්‍රකාශ කෙළේය. භාෂාවේ අර්ථාත්පත්තිය හරියාකාර පරීක්ෂා කරන්නට නම් සෙසු විද්‍යාවන් පරිපාකයට පත්වනතුරු බලා සිටිය යුතු බව ඔහුගේ අදහස විය. දුක, සැප, ආදරය, කණස්සල්ල ආදි වචනවල අර්ථය කායික ක්‍රියාකාරිත්වයට අනුව ප්‍රකාශ කිරීමට තරම් නූතන විද්‍යාවන්ගෙන් ඉඩක් නොලැබෙන හෙයින් ඒවායේ අර්ථ විවරණය කිරීම වාග්විද්‍යාඥයාට දුෂ්කර කාරණයකැයි ඔහු ප්‍රකාශ කෙළේය. විද්‍යානුකූලව කපා කොටා දැක්විය නොහෙන හෙයින් භාෂා ව්‍යවහාරයේ ඇති බොහෝ යෙදුම් පිළිබඳ අර්ථ විචාරයට අවකාශයක් නොමැති වූයෙන් භාෂා ශාස්ත්‍රෝද්ග්‍රහණයෙහි වැදගත්තැනක් බ්ලූම්fපීල්ඩ් අතින් අතපසු වන්නට විය. ඒ වෙනුවට භාෂාව සමාජ ශාස්ත්‍රයක් සේ ගෙන අර්ථ විවරණය කිරීමේ පිළිවෙළක් සකස් කිරීමෙන් අර්ථ විචාරයට මුල් තැන දෙන ලද්දේ මැලිනොව්ස්කි නැමැති මානව විද්‍යාඥයා හා ෆ'ත් නමැති වාග් විද්‍යාඥයා ද විසිනි.
මනසට නැඹුරුව අර්ථ විචාරය කරන්නට යෑමේ දුෂ්කරතාව දො සොසුය්යගේ සිද්ධාන්තයන් ඇසුරින් දක්නට ලැබිණි. එහෙත් භාෂාව අර්ථවත් වූවක් හෙයින් අර්ථ විචාරය අවශ්‍යයෙන් කළ යුත්තක් වෙයි. භාෂාව සමාජයේ ව්‍යවහාරයෙහි පවතින්නක් හෙයින් ද මනසට නැඹුරුව රූපය හා අර්ථය යනු විසින් ද්වෛතවාදීව කරනු ලබන අර්ථ විචාර ක්‍රමය ප්‍රමාණවත් එකක් නොවන හෙයින් ද මැලිනොව්ස්කි හා ෆ'ත් විසින් භාෂාව සමාජයට ඈඳා ඉදිරිපත් කරන ලද අර්ථවිචාර සිද්ධාන්තය ඉතා අගය කොට සැලකිය යුතුය. මෙකී සමාජ ශාස්ත්‍රීය අර්ථවිචාර සිදධාන්තය සමාජ පරිසරය හා භාෂා ව්‍යවහාරය අතර ඇති සම්බන්ධතාවන්ගේ ආශ්‍රයෙන් ගොඩනඟන ලද්දකි. ඒ සිද්ධාන්තය ආවස්ථික සම්බන්ධය (context of situation) යනුවෙන් හැඳින්වෙයි.
හුදෙකලාව රැගෙන අන් බසකට පරිවර්තනය කළ නොහැකි වාක්‍ය හැම බසක ම දක්නට ලැබේ. පදානුපදිකව පරිවර්තනය කළහොත් ඒ වාක්‍ය හුදෙක් අර්ථශූන්‍ය කියමන් සේ දිස්වෙයි. හැම වචනයකට ම ආවේණික වූ මූලික අර්ථයක් ඇත යන කියමන මේ නිසා නිෂ්ප්‍රභ වෙයි. වචනයක අර්ථය පහදා ලිය හැක්කේ ඒ වචනය හා යෙදෙන සෙසු වචනත් මුළු වාක්‍යය යෙදෙන අවස්ථාව හා විෂයයත් සලකා බැලීමෙනි.
අප කථා කරන හැම වචනයකින් ම එක්තරා අදහසක් පළ වෙතැයි නොගත යුතුය. "ආයුබෝවන්" කියන විට අප සාමාන්‍යයෙන් කරන්නේ එක්තරා සමාජ චාරිත්‍රයක් අනුගමනය කිරීම විනා අපේ අමුත්තාට දීර්ඝායු ප්‍රාර්ථනා කිරීමක් නොවේ. එබැවින් එවැනි වාක්‍ය හා යෙදුම් පිළිබඳ අර්ථ විචාරය වචනයන්ට ආවේණික වූ අර්ථයක් ඔස්සේ නොව, ඒ වාක්‍ය යෙදෙන පරිසරයට අනුව ම කළ යුතු වෙයි.
ම්ලේච්ඡ මනුෂ්‍ය වර්ගයා පිළිබඳව පර්යේෂණය කිරීමේ දී ඔවුන්ගේ ව්‍යවහාරයන් ඉංග්‍රීසියෙන් තේරුම් කරලීමට මෙබඳු සමාජ-ක්‍රමයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාව පළමුවෙන්ම පෙනී ගියේ මානව විද්‍යාඥයකු වූ මැලිනොව්ස්කිගේ පරීක්ෂණවල දී ය. ආවස්ථික සම්බන්ධය පිළිබඳව මැලිනොව්ස්කි විසින් ඉදිරිපත් කරන ලද මතය වාග් විද්‍යා සිද්ධාන්තයක් බවට පෙරළන ලද්දේ ෆ'ත් විසිනි. අර්ථ විචාරය ෆ'ත්ගේ වාග්විද්‍යා සිද්ධාන්තයේ මූලික පරමාර්ථයයි.
භූගෝල විද්‍යාවෙහි දී හමුවන "පෘථිවි පරිවර්ත පරිවර්තනය" යනු ආදි ප්‍රයෝගයන්හි "පරිවර්තනය" යනුවෙන් කියැවෙනුයේ එක් අරුතකි. ග්‍රන්ථයක් එක් බසකින් අනෙක් බසකට පරිවර්තනය කරන ලදැයි පවසන විට "පරිවර්තනය" යනුවෙන් වාච්‍යවනුයේ පළමු අරුතට ඉඳුරා ම වෙනස් අරුතකි. ග්‍රන්ථයක් එක් බසකින් අනෙක් බසකට පරිවර්තනය කරන ලදැයි පවසන විට "පරිවර්තනය" යනුවෙන් වාච්‍යවනුයේ පළමු අරුතට ඉඳුරා ම වෙනස් අරුතකි. සමාජ පරිවර්තනයක් වී ඇතැයි කියන විට "පරිවර්තනය" යනුවෙන් කියවෙනුයේ තවත් වෙනස් අරුතෙකි. මෙසේ විවිධ විෂයයන්ට සීමා වූ අර්ථයන් වචනයන්ගෙන් වාව්‍ය වන හෙයින් විවිධ විෂයයන් උදෙසා විශේෂ පරිමිත භාෂා සකස් කර ගැනීම ද අර්ථ විචාරයෙහි ලා ගැනේ.
වාක්‍යයක අර්ථය නිපැදෙන හැටි සෙවීමේ දී ඒ වාක්‍යයේ අභ්‍යන්තර ලක්ෂණත් - එනම් එහි මූලික වචන සෙසු වචන හා බැඳී තිබෙන පිළිවෙළ සහ උච්චාරණ ක්‍රම ආදියත් — ඒ වාක්‍යය භාවිත වන පරිසරයට අයත් ජනයා, වාක්‍යයට විෂය වූ වස්තු, ඒ වාක්‍යය හා අනවරතයෙන් බැඳෙන තවත් වාක්‍ය ඇතොත් ඒවා, ඒ වාක්‍යය ප්‍රකාශ කිරීමේ ප්‍රතිඵලය යනාදියත් පරීක්ෂා කොට, මනසට ගැති නොවී, එමෙන්ම වචනයන්ට ආවේණික වූ මූලික අර්ථ ඇතැයි යන මතයෙන්ද තොරව අර්ථ විචාරය කළ හැකි බව ෆ́ත්ගේ සිද්ධාන්තයේ මූලික අදහසයි.
එක්තරා ලියැවිල්ලක් ගෙන පරිසරය හා ඈඳා මේ අසුවල් විෂය පිළිබඳ පරිමිත භාෂාව යයි නිගමනය කිරීම ඒ ලියැවිල්ලේ අර්ථයෙන් ඒකාංශයකි. ඒ ලියැවිල්ලේ ප්‍රධාන වචන තෝරා ගෙන ඒ වචන සෙසු වචන හා බැඳී සිටින ආකාරයේ විශේෂතා පෙන්වීමෙන් අර්ථයේ තවත් අංශයක් හෙළි වෙයි. ඒ බසෙහි වියරණය හා වාක්‍යරීතිය හෙළි කිරීමෙන් තවත් දුරට අර්ථය ප්‍රකාශ වෙයි. වියරණය පිරික්සීමේ දී පද විභාගය, කාරක විභාගය ආදියත්, රීතිය පිරික්සීමේ දී ලේඛකයාගේ පද හා වචන සංඝටනය සහ ශබ්ද කෝෂයේ විශේෂතා විභාගයත් ඉටු විය යුතුය. උච්චාරණ විධි පරීක්ෂණයෙන් කරනු ලබන ශබ්ද විද්‍යාත්මක නිගමන ද අර්ථ විචාරයට ආධාරයකි. මෙසේ සමාජ පරිසරය, වචන සංඝටනය, රීතිය, වියරණය, මූලික ශබ්ද (phonemes) හා උච්චාරණ විධි ආදි වශයෙන් අර්ථ විචාරය කරන කල භාෂාව අනෙක් විද්‍යාවකට නතු නොකොට ස්වතන්ත්‍ර විද්‍යාවක ස්වරූපයෙන් පරීක්ෂා කළ හැකිය.
හතෘහරි මතය: අර්ථ විචාරය අරභයා දඹදිව ප්‍රචලිත වුණු සිද්ධාන්ත අතුරින් අග්‍රගණ්‍ය යයි සැලකිය හැක්කේ අර්ථ නිගමනය පිළිබඳව භර්තෘහරි විසින් වාක්‍යපදියයෙහි දැක්වුණු මතයයි. "පදයක වර්ණ නොමැත. වර්ණවල අකුරු නොමැත. වාක්‍යයෙන් තොරව පදයක අර්ථයක් නිගමනය කළ නොහැකිය" යනු භර්තෘහරි මතයයි. භාෂාවේ අර්ථ නිගමනයට අදාළ වන මූලික අංගය වාක්‍යය බව මෙයින් නිගමනය වෙයි. වාක්‍යාර්ථයෙන් පසුව පදගතාර්ථ නිගම නය කළ යුතු හෙයින් ද පදය යනු වාක්‍යයක කොටසක් මිස වාක්‍යය යනු පද සමූහ වීමෙන් සෑදුණක් නොවන හෙයින් ද භර්තෘහරිගේ මේ කියමන අතිශයින් විද්‍යානුකූල වෙයි.
අර්ථ නිගමනය උදෙසා වාක්‍ය, ප්‍රකරණ යනුවෙන් භර්තෘහරි ඉදිරිපත් කළ ප්‍රස්තර දෙක ෆ'ත්ගේ ආවස්ථික සම්බන්ධය (context of situation) පරිසරය (collocation) යන ප්‍රස්තර දෙකට අතිශයින් සමාන වේ. කියමනක අර්ථය රඳා පවත්නේ ඒ කියමන යෙදෙන අවස්ථාව හා පරිසරය මතය. එක ම විදියේ වචන ඇති වාක්‍ය දෙකක් අවස්ථා දෙකක දී දෙවැදෑරුම්ව අරුත් දනවන්ට සමත් වෙයි. අවස්ථාව හා පරිසරය නිගමනය කිරීම අර්ථ නිගමනය උදෙසා ඉවහල් වන මූලික කාරණයයි. වාක්‍යයේ යෙදෙන වචනවල අර්ථය රඳා ඇත්තේ ඒ වචනය හා යෙදෙන අවශේෂ වචන පරිසරය මතය. එබැවින් වාක්‍ය යනුවෙන් දැක්වුණු වචන පරිසරය පිළිබඳ පරීක්ෂණය වචනාර්ථ උදෙසා ඉවහල් වෙයි.
ඉතා ඈත අවධියේ පටන් පාණිනී, කාත්‍යායන, පතංජලී ප්‍රමුඛ භාෂා ශාස්ත්‍රඥයන් විසින් දක්වන ලද අර්ථවිචාර සිද්ධාන්ත අනුව පෙනීයන්නේ ඔවුන් ශබ්දය හා අර්ථය යනුවෙන් භාෂාව දෙපරිද්දෙකින් බෙදා දැක් වූ බවය. "එළදෙන" යන වචනය උච්චාරණය කරන කල අනුක්‍රමයෙන් ඒ ශබ්දයේ පටන් අවසාන ස්වර ශබ්දය දක්වා ශබ්දය උපදින බවත්, මේ ශබ්ද ඉපැදී අවසාන වන්නා හා ම තැල්ලක්, වලිගයක්, මොල්ලියක්, කුර හා අං යුවළක් ඇති සතකුගේ රූපයක් අර්ථ වශයෙන් මැවෙන බවත් පතංජලී කීයේ එබැවිනි. වචනය යනු උච්චාරණය කරනු ලැබූ කල්හි අර්ථයක් උපදවන සංකේතයකැයි පතංජලි කීය. මේ වූ කලි දඹදිව පැරණි අර්ථ විචාර ක්‍රමයේ පදනම වූ ධ්වනි-ස්ඵෝට සිද්ධාන්තයන්ගේ පදනම සේ දැක්විය හැක්කකි. ශබ්ද උත්පාදනය ධ්වනි යයි ද මනාව ගැළපුණු ශබ්ද සමූහයක් එක ගුළාවක් සේ සිටීම නිසා පැන නඟින අර්ථය ස්ඵෝට යයි ද කීම මේ සිද්ධාන්ත සඳහා දිය හැකි පැහැදිලි ම විවරණයයි.
පසුව ස්ඵෝට වාදය දියුණු කළ ශාස්ත්‍රඥයෝ භාෂාවේ සෑම අංගයක් ම ස්ඵෝටයක් හෙවත් අර්ථ දනවන්නක් බව පළ කළහ.
1. කහ, ගහ යන වචන දෙකේ නියම අර්ථය දැනවීමට ඒවායේ ඇති ක-ගයන ශබ්ද ප්‍රභේදය අවශ්‍යය. මීට වර්ණස්ඵෝට යයි කියනු ලැබේ.
2. මිනිසා, මිනිස්සු යන දෙක අරුත් දෙකක් දෙන්නේ එම පදයන්හි විභක්ති වශයෙන් ඇති භේදය නිසාය. මේ පදස් ස්ඵෝටයි.
3. බල්ලො බුරනවා, සයිකලේ බල්ලො අහු වෙන්නෙ නෑ යන දෙතැන "බල්ලො" යන වචනය දෙවැදෑරුම්ව අරුත් ගන්නේ වචන සංඝටනයේ හෙවත් වාක්‍යයන්හි වෙනස නිසායි. මේ වාක්‍යස්ඵෝටයි.
4. තනිවචන මාර්ගයෙන් අර්ථය ප්‍රකාශ කිරීම අපහසු හෙයින් ද වචන අඛණ්ඩ පරිසරයක යෙදිය යුතු හෙයින් ද අර්ථ විචාරයට අඛණ්ඩපදස්ඵෝට නම් ප්‍රස්තරයක් ද අවශ්‍ය වේ.
5. වාක්‍යයක අර්ථය විවරණය කළ යුතු වූ කල සෙසු වාක්‍යවල ආධාරය මත පිහිටා එය කළ යුතු අවස්ථා තිබේ. මීට අඛණ්ඩ වාක්‍යස්ඵෝට යයි කියනු ලැබේ.
මේ ස්ඵෝට පහ අනුක්‍රමයෙන් භාෂාර්ථ උද්දීපනය සඳහා පිහිටුවන ලද ප්‍රස්තර පහකි. මින් හර්තෘහරි විසින් අගය කරනු ලැබුයේ අඛණ්ඩ වාක්‍යස්ඵෝටය යි. අර්ථ විචාරය උදෙසා ඔහු විසින් ඉදිරිපත් කරන ලද වාක්‍ය-ප්‍රකරණ සිද්ධාන්තයෙන් ඒ බැව් පැහැදිලි වේ. ("අර්ථ" යටතෙහි එන විස්තරය ද බලන්න.)
කර්තෘ: ඇම්.ඩබ්ලිව්. සුගතපාල ද සිල්වා
(සංස්කරණය: 1965)