අබින්
කර්තෘ:කාර්යාලය
ඖෂධය
අබින් නමැති බෙහෙත් ද්‍රව්‍යය සදා ගනු ලබන්නේ පපාවෙර් සොම්නිෆෙරුම් නමැති පැළෑටියෙහි නොපැසුණු ස්ඵෝටිකාවන්හි (ගෙඩිවල) කිරි වැනි යුෂයෙනි. යුෂය ලබා ගැනීම පිණිස පිහියකින් ගෙඩියෙහි කෙඳි එළනු ලැබේ. ඉන් පිටවෙන සුදු පාට යුෂය සුළඟට වියළී කැටි ගැසුණු විට ඇලෙනසුලු කළු ද්‍රව්‍යයක් සෑදේ. මේ ද්‍රව්‍ය අබින්ය.
කර්තෘ:කාර්යාලය
ඉතිහාසගත කාලයකට පෙර ද ලෝකයා අබින් ගැන දැන සිටි බවත් එය භාවිත කළ බවත් සිතන්නට ඉඩ තිබේ. ක්‍රි.පූ.1550 පමණේ දී ලියන ලද ඊබස් පැපිරස් නම් පුරාණ මිසර වෛද්‍ය ග්‍රන්ථයෙහි ද අබින් ගැන සඳහන් වේ. අබින් පැළෑටිය ග්‍රීසියේ ද පෙරදිග රටවල හා උතුරු ඇමරිකාවේ ද කැළෑවට වැවේ. බටහිර ආසියාව මේ පැළෑටියේ ජන්ම භූමිය වෙතත්, එය දැන් බොහෝ රටවල දක්නට ලැබේ. ඉන්දියාවෙහි ද චීනයෙහි සහ වෙනත් රටවල ද එය බහුල ලෙස වවනු ලැබේ. ඉතා ඈත අතීතයේ සිට ම ලෝකයේ නොයෙක් රටවල වෛද්‍යවරයන් අබින් ඉතා අවශ්‍ය ඖෂධයක් හැටියට සලකා වේදනාව නැති කිරීමට ද අතීසාර හා පාචන රෝග මැඩලීමට ද චිත්ත පීඩාවන් මඟහරවා අස්වැස්මක් ලබා දීමට ද එහි ඇති ශක්තිය උපයෝගි කොට ගෙන තිබේ. අබින් කෑමට පුරුදු වූ මනුෂ්‍යයා එය අත්හළ නොහැකි තරමට ඊට වාල් වන බැවින් ධනලෝබි කූට වෙළෙන්දෝ අඹින්වලට පුරුදු වූවන්ගේ ඒ දුර්වලකම තම වාසිය පිණිස පෙරළාගෙන අබින් වෙළඳාමෙන් විශාල ලාභ ලැබුවෝය. වෙළඳුන් පමණක් නොව අධාර්මික බලලෝභී ජාතීහු පවා අධිරාජ්‍යවාදී යුගයේ දී තමන් යටත් කරගත් වැසියන් වහල් බැම්මෙන් බැඳ තැබීමට අබින් උපයෝගී කොට ගත්හ (අබින් යුද්ධ බ.) අබින් වනාහි දීර්ඝ ඉතිහාසයක් ඇති සුප්‍රසිද්ධ ද්‍රව්‍යයක් වනු පමණක් නොව වර්තමාන වෛද්‍ය ශාස්ත්‍රයෙහි භාවිත වන ඉතා පැරණි වූ හා ඉතා ප්‍රයෝජනවත් වූ ඹෟෂධයක් ද වේ.
19 වන ශත වර්ෂය පමණ වන තෙක්, අබින්වලින් සාදාගත් ඹෟෂධවලින් භාවිතයට ගන්නා ලද්දේ අබින් සුනු හා අබින්වල මද්‍යසාරී සාරකය වන අබින් ටින්චරය පමණි. අබින්වල සක්‍රීය ද්‍රව්‍ය වනුයේ ඇල්කලයිඩයන්ය. මේවායින් ඉතා ම වැදගත් වූ ද සක්‍රීය වු ද ඇල්කලයිඩය වන මෝෆීන් 1803 දී දැනගන්නා ලද්දකි. වර්තමාන රසායන විද්‍යාව මගින් තවත් ඇල්කලයිඩ වර්ග සොයාගෙන ඇත. මුල දී අබින් භාවිත වුණු ප්‍රතිකාරයන් සඳහා සාමාන්‍යයෙන් භාවිත වන්නේ ශුද්ධ ඇල්කලයිඩයි. අබින්වලින් ඇල්කලයිඩ 21ක් වෙන් කොටගෙන තිබෙන නමුදු රෝගයන්ට ප්‍රතිකාර කිරීමේ දී ගනු ලබන්නේ මෝෆීන්, කොඩෙයින් හා පැපවරීන් යන මේ තුන් වර්ගය පමණි. මෝෆීන් මෙන් ක්‍රියා කරන සංශ්ලේෂික ව්‍යූත්පන්න (synthetic derivatives) රාශියක් චිකිත්සක කටයුතු සඳහා දැන් ලබාගත හැකිය.
මෝෆීන්වල ක්‍රියා: මෝෆීන් ප්‍රධාන වශයෙන් ම ක්‍රියා කරන්නේ කේන්ද්‍රීය ස්නායු පද්ධතිය හා සිනිඳු පේශී කෙරෙහිය. අබින්වල අන්තර්ගත ප්‍රධාන ඇල්කලයිඩ මෝෆීන් බැවින් එය ක්‍රියා කරන්නේ අබින් ක්‍රියා කරන අන්දමට යයි සැලකිය හැකිය. මෝෆීන්වල විශිෂ්ට ලක්ෂණය වනුයේ කේන්ද්‍රීය ස්නායු කෙරෙහි ක්‍රියාකාරී වීමෙන් වේදනාව දුරු කොටැලීමට එහි ඇති සමත් බවයි. සුළු වේදනා ද පේශීමය වේදනා හා සැකිලි ව්‍යූහයන්හි හටගන්නා වේදනා ද සාමාන්‍යයෙන් ඇස්ප්‍රීන් වැනි ඖෂධ මගින් දුරුකොට ගත හැකිය. එහෙත් කල් පවත්නා දරුණු වේදනා ද අන්ත්‍රක, හදවත, පෙණහැලි, මුත්‍ර මාර්ගය සෘණවලින් හටගන්නා වේදනා ද දුරු කිරීමට ඇස්ප්‍රීන් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා මෝෆීන් හෝ ඊට අනුරුප වූ අන්‍ය ඹෟෂධ වර්ග හෝ අවශ්‍යය. මෝෆීන්වලින් කෙරෙන්නේ හුදෙක් වේදනාව අඩු කිරීම පමණක් නොවේ. රෝගියෙකු තුළ හට ගන්නා කැළඹීම හා බියපත් බව හේතු කොටගෙන ඔහු විඳින දුක වැඩිවන බව ප්‍රත්‍යක්ෂ කරුණකි. රෝගියා තුළ පහළ වන භ්‍රාන්තිය හා මනස්තාපය දුරු කොට ඒ අවස්ථාවේ පවත්නා තෝන්තු ගතිය ද අඩු කොට, ඔහු තුළ විශ්‍රාන්තභාවයක් ද අස්වැස්මක් හා නිදිබර ගතියක් ද මෝෆීන් ඇති කරවයි. දරුණු වේදනාව දුරු කරන ඹෟෂධයක් හැටියට මෝෆීන්වල අගය රඳා ඇත්තේ මේ ගුණය මතය.
මේ ගුණ නිසා ම මෝෆීන් දීමෙන් අන්තරායක් වීමට ද ඉඩ ඇත්තේය. මෝෆීන් හේතු කොට ගෙන හට ගන්නා විශ්‍රාන්ත ගතිය නිසා අමුතු සුවපහසු බවක් ඇඟෙන බැවින් එය හිරිහැර, කරදර ආදී අහිතකර තත්වයන්ගෙන් මිදීමට මඟක් වන්නේය. මෙසේ මිදීමෙන් අස්වැස්මක් ලැබීම දුක්ඛිත අවස්ථාවන්ට ගැළපෙන පරිදි හැඩගැසෙන්නට තරම් චිත්ත ශක්තියක් නැති පුද්ගලයාට විශේෂයෙන් ම ප්‍රයෝජනවත්ය. නිතර නිතර මෝෆීන් දීමෙන් රෝගියාගේ සිතත් ගතත් දෙක ම ඹෟෂධයට ගැති වීමෙන්, චිකිත්සා වශයෙන් වුවමනා නුවූවත්, මේ ඹෟෂධය ගැනීමට ඇති ආශාව මැඩපවත්වා ගත නොහැකි තරමට බලවත් වන්නේය. මෝෆීන් පිට පිටම නොකඩවා පාවිච්චි කිරීමට යාමෙන් එම ඖෂධ ප්‍රමාණය වැඩි කරන්නට සිදුවේ. ඖෂධයට පුරුදු වූ තැනැත්තා අන්තිමේ දී මෝෆීන් නොගෙන සිටියහොත් ඉක්මනින් ලෙඩ වන තත්වයකයට පත්වේ. මෙබඳු තැනැත්තා මෝෆීන් ප්‍රසක්තයෙක් හෙවත් මෝෆීන් හි ඇලුණෙක් වේ. මෝෆීන් ප්‍රසක්තයා එම ඖෂධවලට වාල් වන්නේ මෙපරිදිය. මෝෆීන්වලට හෝ ඊට සමාන ඖෂධවලට වාල් වූ තැනැත්තාට ප්‍රතිකාර කිරීම කවදත් දුෂ්කර කාර්යයකි. මෝෆීන් ප්‍රසක්තකයකුට එය නොදී අත්හිටුවීම දක්ෂ මනෝ වෛද්‍යවරයෙකුගේ පරිපාලනය පිට කළ යුතුය. මෝෆීන් ප්‍රසක්තකයෙකුට හෝ අබින් ප්‍රසක්තකයකුට වෛද්‍යෝපදේශ පිට මෝෆීන් හෝ අබින් හෝ දෙනු ලබන්නේ අන් හැම උපායක් ම නිෂ්ඵල වූ විට පමණි.
මෝෆීන් මගින් මොළයෙහි පැවති උත්කාස මධ්‍යස්ථානය (කැස්ස පාලනය කරන මධ්‍යස්ථානය) අවපීඩිත වේ. පෙණහැලිවල ඇති ඛේට වැනි නුවුවමනා ද්‍රව්‍යන් පිටකිරීමට ප්‍රයෝජනවත් මඟක් වන කැස්ස පාලනය කැරෙනුයේ මේ මධ්‍යස්ථානයෙනි. එහෙත් සෙම්ප්‍රතිශ්‍යාවක මුල දී හා උග්‍ර ක්ලෝමදාහය ( bronchitis) වැනි රෝගවල දී හටගන්නා වියළි කැස්ස යටපත් කොට ගත යුතුය. එය පහසුවෙන් ම කළ හැක්කේ ඉතා ම සුළු මෝෆීන් මාත්‍රා මගින් උත්කාස මධ්‍යස්ථානය අවපීඩනය කිරීමෙනි.
ශ්වසනය පාලනය කරන මොළයේ මධ්‍යස්ථානය ද මෝෆීන් මගින් තදින් ම අවපීඩිත වේ. චිකිත්සීය ප්‍රතිකාරවල දී මෝෆීන්වල මෙම ක්‍රියාව ඉඳහිට උපයෝගී කර ගනු ලැබේ. විශේෂයෙන් මහලු අයට හා ළාබාල අයට මෝෆීන් දීමෙන් විය හැකි ප්‍රධාන අන්තරාය නම් ශ්වසන අවපීඩනයයි. මෝෆීන්වලින් මාරක අතිමාත්‍රවක් දුන් විට, මරණය සිදු වන්නේ ශ්වසනය ක්‍රියා විරහිත වීමෙනි. මොළයේ වමන පාලක මධ්‍යස්ථානය මෝෆීන්වලින් උත්තේජිත වේ. එබැවින් ඔක්කාරය හා වමනය මෝෆීන්වලින් ඇතිවන අතුරු ප්‍රතිඵල වේ. අන්තකයේ පේශී ද පිත්ත ප්‍රණාලිවල හා ක්ලෝමවල පේශී ද සිනිඳු පේශීහු වෙත්. මෝෆීන්වල වන උත්තේජනයෙන් සිනිදු පේශී සංකෝචනය වේ. අන්තකයේ සිනිඳු පේශී සංකෝචනය වීමෙන් අන්තකය භ්‍රාසයට පත්වේ. අන්තකයේ අන්තර්ගත ද්‍රව්‍ය සාමාන්‍යයෙන් චලනය වන්නේ පේශී සංකෝචන තරංග අන්තකය දිගේ පහතට ගමන් කිරීමෙනි. මෝෆීන් නිසා හට ගන්නා අනවරත හාස්‍ය සංකෝචනය නිසා අන්තකයේ අන්තර්ගත ද්‍රව්‍ය එකතැන ම රඳා සිටී. මෙසේ වීමත් මෝෆීන් නිසා අන්තක ශ්‍රාවය අඩුවීමත් හේතුකොටගෙන මලබද්ධය ඇතිවේ. මෝෆීන්වල මේ ගුණය පාචනය හා අතීසාර රෝගවලට ප්‍රතිකාර කිරීමේ දී බෙහෙවින් උපයෝගී කොට ගනු ලැබේ.
චිකිත්සීය ප්‍රතිකාරයේ දී මෝෆීන් භාවිත කරනු ලබන්නේ එයින් කෙරෙන යටකී ක්‍රියාවන් මුල් කොටගෙනය. නොයෙක් අන්දමේ තත්වයන්හි දී වේදනාව නැති කිරීමට ද, කම්පනය, රක්තපාතය, හෘදයවස්තුව ක්‍රියා විරහිත වීම, රෝගියෙකුට ශල්‍යකර්මයක් කරන්නට යෑම ආදී අවස්ථාවල දී සැකබිය දුරු කිරීමට ද පාචනය පාලනය කිරීමට හා වුවමනා විටක දී කැස්ස පාලනය කිරීමට ද මෝෆීන් භාවිත කරනු ලැබේ. මෝෆීන්වලින් විය හැකි ප්‍රධාන අන්තරාය නම් ප්‍රසක්තයා ඊට වාල්වීමත් ශ්වසන අවපීඩනයත්ය.
කොඩෙයින් මොෆීන්වලට වඩා වෙනස් වන්නේ එහි වේදනානාශක ශක්තිය හා ශ්වසන අවපීඩන ශක්තිය බෙහෙවින් අඩුවීම නිසාය. කොඩෙයින් පාවිච්චි කරන තැනැත්තා ඊට වාල් වන්නේත් නැත. කැස්සක් යටපත් කිරීම හා මලබද්ධය ඇති කිරීමට ද කොඩෙයින් පාවිච්චි කරනු ලැබේ. ඇස්පිරින්වලින් ලැබෙන ගුණය වැඩි කිරීමට, බොහෝවිට ඇස්පිරින්වලට කොඩෙයින් මිශ්‍ර කරනු ලැබේ.
චිකිත්සීය ප්‍රතිකාරයේ දී පැපවරින් භාවිත වන්නේ කලාතුරකිනි. එහි ක්‍රියාවන් වැඩි වෙලාවක් නොපවත්නා බැවින් හා ඒවා කෙරෙහි විශ්වාසය නොතැබිය හැකි බැවින්ද වේ. මෝෆීන්වලින් කේන්ද්‍රීය ස්නායු පද්ධතිය කෙරෙහි කෙරෙන ක්‍රියා කිසිවක් පැපවරින්වලින් නොකෙරේ. සිනිඳු පේශීන් ශිථිල කරලීම එම ඖෂධයෙන් ඇතිවන ප්‍රතිඵලයකි.
කර්තෘ:ඇස්.ඩබ්ලිව්. බිබිලෙ
යුනානි වෛද්‍ය ශාස්ත්‍රය හා අබින්: මෙම වෛද්‍ය ශාස්ත්‍රයට අනුව අබින්ගෙඩි සංකෝචනකාරකය, මුත්‍රවර්ධකය; ලේ පිරිසිදු කොට ශරීරය පුෂ්ටිමත් කරනසුලුය. අතීසාරයට සහ පපුවේ රෝගයන්ට හිතකරය, මොලයට හානිකරය, නින්ද උපදවන සුළුය. වහා ශුක්‍රමෝචනය වීම නවතන ඹෟෂධයක් වන මෙය කර්ණ රෝග, අක්ෂිරෝග හා හිස රුජා ආදියෙහි දී අලේප කිරීමට ද කුක්ෂි රෝග, මොළයේ අබාධ, උමතු රෝග, පිටගැස්ම, ඇඳුම, ගුල්ම, අර්ශෂ්, ශුල, අශ්මරී ආදී රෝගවලදී ඹෟෂධයක් වශයෙන් ගනිති. කොලරා රෝගයේදී අබින් රක්තිකා දෙකතුනක් දීමෙන් පචනයද වමනයද නවතී. කාස රෝගයේ දී සේම අධිකව පිටවෙන විට (රෝගියා ඉතා දුර්වල නැත්නම්) අබින් මාත්‍රාවක් දීමෙන් ගුණ ලැබේ.
ආයුර්වේදය හා අබින්: අබින් පැළෑටිය සංකෝචන කාරකය; ශක්තිජනකය; වජිකාරකය; ශරීරය නිවා මේදස් වඩනසුලුය; වාපිත් නසා සෙම් වඩන සුලුය. අබින් ගෙඩිවලට සෙම් නසයි; වාතය වඩයි. එය කැස්සට ගුණය; මත්වීමත් දෙඩවීමත් ඇති කරයි. වැඩිපුර අබින් භාවිතයෙන් කමය නැසේ. අබින් ඇට විෂ රහිතය. ඒවා දියෙහි කල්තා සාදාගනු ලබන පානය සැපදායකයි.
ආමයික ප්‍රයෝග: අධික රක්තස්‍රාවය වළක්වයි. දේශීය චිකිත්සවෙහි අතීසාර ප්‍රතිෂේධක යෝගයක් වූ ජලාසන්නිපාලය නම් බෙහෙත් ගුළියට අබින් ප්‍රමාණයක් යොදනු ලැබේ. ප්‍රමේහ ප්‍රතිෂේධක රසායනයක් වූ ප්‍රමේහගජාංකුශය නම් ප්‍රසිද්ධ රසායනයට ද අබින් ගනු ලැබේ. මේ හැර බාලයන්ගේ පණුරෝගයටද යොදනු ලබන දේශීය ගුළි ආදියට ද අබින් සුළු ප්‍රමාණයක් ගැනේ. දේශීය චිකිත්සවෙහි හා ආයුර්වේද චිකිත්සවෙහි නොයෙක් යෝගයන්ට අබින් යොදති. ඹෟෂධ යෝගවලට අබින් ගැනීමේ ක්‍රමය දේශීය වෛද්‍යශාස්ත්‍රයට ඇතුළත් වුයේ වරින් වර දකුණු ඉන්දියාවෙන් ලක්දිවට පැමිණි සිද්ධ වෛද්‍යවරයන් ඇසුරෙනි. එතැන් පටන් අබින් සිංහල වෙදකමේ ප්‍රධාන ඹෟෂධයක් වී තිබේ.
(සංස්කරණය:1963)