ෂඩ් රස

සිංහල විශ්වකෝෂය වෙතින්
11:37, 18 ජනවාරි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ආයුර්වේද ශාස්ත්‍රයෙහි රෝග විනිශ්චයට හා චිකිත...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ආයුර්වේද ශාස්ත්‍රයෙහි රෝග විනිශ්චයට හා චිකිත්සා කර්මයට ද මහෝපකාරී වන්නේ රස ඥානයයි. රසය වනාහි පාඤ්ච භෞතික වේ. එසේ ම ස්ථාවර, ජඞ්ගම යයි දෙවැදෑරුම් වූ ද්‍රව්‍ය ඇසුරු කරයි. ආයුර්වේද චිකිත්සාවට ගනු ලබන හැම ද්‍රව්‍යයක් ම රස, ගුණ, වීර්ය, විපාක, ප්‍රභාව යන පඤ්චවිධ තත්වයකින් යුක්ත වන්නේ ය. ඒ පසට පඤ්චපදාර්ථ යයි කියනු ලැබේ. ඒ පඤ්ච පදාර්ථ අතුරෙන් රසය වනාහි ලවණ රසය, කටු රසය, කෂාය රසය. කිත්ත රසය වශයෙන් දැක්වේ. මේ එක් එක් රසයක් තුළ ගුණ, වීර්ය, විපාක, ප්‍රභාව යන චතුර්විධ පදාර්ථයෝ රැඳී ඇත්තාහ. ද්‍රව්‍ය ආශ්‍රය කරන්නා වූ ඒ ෂඩ්විධ රසයන්ගේ තත්වය වෙන් වෙන් වශයෙන් මෙසේ ය.

මධුර රසය

ශීත, වීර්යය, රස ආදී අනිත් ධාතු වර්ධනය කරයි. ස්තන්‍ය හෙවත් තනකිරි උපදවයි. බල කාරකයි. නේත්‍රයන්ට හා කණ්ඨයට හිතකාරී වෙයි. වාපිත් නසය. හෙවත් වාත පිත්තයන්ගේ අධික වේගය මැඩ පවත්වයි. විෂ නසයි. බෙලසුල් ගතියෙන් යුක්තයි. ස්නිග්ධ කාරක වෙයි. ප්‍රීතිය හා ආයුෂය වඩයි. පුෂ්ටිකාරකයි. ගුරු හෙවත් බර බැවින් යුක්තයි. භග්න සංයෝජක හෙවත් බිඳුණු තැන් පාසවයි. මධුර රසය වෘද්ධයන්, බාලයන්, තුවාල වූවන් හා වැහැරුණා වූ ශරීර ඇත්තවුන්ට හිතකාරී වේ. මල හා පණුවන් උපදවයි. මධුර රසය බහුල ව සේවනය කළ හොත් ජ්වර, ශ්වාස, ගලගණ්ඩ, අර්බුද, අග්නිමාන්ද්‍ර, ප්‍රමේහ, මේදය හා සෙමෙන් උපදනා රෝග සමූහය උපදවයි.

අම්ල රසය

මෙය ආහාර පැසවයි, රුචි ජනකයි. පිත, සෙම, හා ලෙය උපදවයි. ලඝුයි. ලේඛන හෙවත් සෙම් ආදිය තපන ගුණයෙන් යුක්තයි. උෂ්ණ වීර්යයි. ස්පර්ශය ශීතලයි. ක්ලේද ජනකයි. වායු නාශකයි. සිනිඳුයි. තීක්ෂණ වීර්යයි. ශුක්‍රමලමුත්‍රාදිය වඳනා සුලු ය. ආනාහ (බඩපිපුම) ය සහ දෘෂ්ටිය නසයි. ලොම් හා දත් හිරිවට්ටවයි. නෙත් හා බැම හකුළුවයි. අම්ල රසය අධික ලෙස සේවනයෙන් භ්‍රම හෙවත් කරකැවිළි, පිපාසය, දාහය, තිමිර හෙවත් ඇඳිරිය නම් වූ නේත්‍ර රෝගය, ස්වර, කණ්ඩු, පාණ්ඩු රෝග, විසර්ප, ශෝථ, විස්වෝට හා කුෂ්ඨ රෝග උපදවයි.

ලවණ රසය

වමන කාරකයි. විරේචකයි. රුචි ජනකයි. පාචකයි. සෙම්පිත් උපදවයි. පුරුෂේන්ද්‍රිය ශක්තිය නසයි. වාතය නසයි. ශරීරයෙහි ලිහිල් බව හා කෝමලත්වය ඇති කරයි. බලය නසයි. මුඛයෙහි ජලීය ගතිය වඩයි. කපොලයෙහි සහ ගෙලෙහි දාහය උපදවයි. ලවණ රසය බහුල ව සේවනය කිරෆමන් නේත්‍රපාකය ඇති කරයි. රත්පිත කෝඨ හෙවත් ශරීරයෙහි පැල්ලම් ඇති කරයි. තුවාල දියුණයි. වලි පලිත කුෂ්ඨ විසර්ප හා පිපාස උපදවයි.

කටු රසය

උෂ්ණ වීර්යයි. තීක්ෂණයි. විශද හෙවත් ශරීරයෙහි අනවශ්‍ය තෙත් ගතිය හැරපියා ස්‍රෝත සුන් පිරිසිදු කරයි. වාපිත් වඩයි. සෙම් නසයි. ලඝුයි. කුසගිනි වඩයි. කෘමි,කණ්ඩු විෂදෝෂ නසයි. ශුක්‍ර හා ස්තන්‍ය අඩු කරයි. මේද සහ ස්ථුලතාව නසයි. නෙත්වලින් කඳුළු වගුඅරුවයි. නාසය, නෙත්, මුව හා දිවෙහිත් උද්වේග සහිත දාහය ඇති කරයි. පැසවයි. අග්නි දීපනය කරයි. රුචිය උපදවයි. නාසය ශුද්ධ කරයි. තෙත් බව, මේදස්, වුරුණුතෙල, ඇටමිදුලු, මලමුත්‍ර යන මොවුන් වියලවයි. ස්‍රෝත සුන් පහදවයි. කටු රස බහුල සේවනයෙන් දාහය, මුව, තලු, තොල් වියලවයි. කාන්තිය නැති කරයි. උගුරෙහි පීඩා ඇති කරයි.

කෂාය (කසට) රසය

රෝපනය හෙවත් තුවාල ආදිය ලියලවයි. ග්‍රාහී හෙවත් මල බඳනා සුලුයි. ස්තම්භන හෙවත් ගාත්‍රියන්ගේ තද බව ඇති කරයි. ශෝධන හෙවත් ක්ෂතයන්ගේ ශුද්ධිය කරයි. ලේඛන හෙවත් ක්ෂතයන්ගේ අධික වූ මස් පිරීම කපා හරියි. සෝම ගුණයෙන් යුක්ත ය. ශෝෂණය, ක්ෂත ආදිය වියලවා වාතය ප්‍රකෝප කරයි. සෙම්, ලෙය, පිත්සඨ හෙවත් වැඩීම වළක්වයි. කසට රසය වනාහි රූක්ෂ ය, ශීත වීර්ය ය, ලඝු ය, සමප්‍රසන්න බවට පමුණුවයි. විශද ගුණයෙන් යුක්තයි. දිව ඝන කරයි. කණ්ඨයෙහි ස්‍රෝත සුන් අවුරයි. ක්ෂාය රසය අධික ලෙසින් සේවනය කිරීමෙන් ආධ්මාන හෙවත් බඩපිපුම, ආක්ෂේප හෙවත් ගැස්ම ආදී රෝග උපදවයි.

තික්ත රසය

තික්ත රසය වූ කලි ශීත වීර්ය ය, අරුචිය උපදවයි. කණ්ඨය හා තනකිර ශුද්ධ කරයි. වාතය වඩයි. කුසගිනි ඇති කරයි. නාසය වියලවයි. රළුයි. ලඝු ය. පිපාසය, මූර්ඡාව, ස්වර, පිත් කෘමි, විෂදෝෂ, වමන වේගය, අගය හා ලේ කෝපයෙන් හැදෙන පීඩා නසයි. තික්ත රසය අධික ව සේවනයකිරීමෙන් හිසරුජා, මත්‍යා ස්තම්භ, අර්දිත කම්ප, මූර්ඡා, පිපාසාදිය උපදවා බලය හා ශුක්‍රයට හැනි කරයි.

මධුරාදි ෂඩ් රසයන්ගේ එකිනෙකෙහි විශේෂ ගුණ වෙන් වෙන් වශයෙන් මෙසේ ය. මධුර ද්‍රව්‍යයෝ ශ්ලේෂ්ම ජනක වෙති. නමුත් මධුර රසයෙන් යුත් පරණ හැල්සහල්, යව, මුං, ගෝධුම, සීනි, දඩමස් ආදිය සෙම් වඩන්නෝ නොවෙති. නෙල්ලි සහ දෙළුම් හැර ඇඹුල් රස වර්ග පිත වඩයි. ලුණු රසය වෙසෙසින් ම ඇස්වලට අහිතකරයි. නමුත් සහිඳලුණු ඇස්වලට හිතකාරී වෙයි. සිද්ධිගුරු, තිප්පිලි, සුදුලූනු, දුම්මැලිය සහ රසකිද හැර සියලු ම කටු සහ තික්ත රස ද්‍රව්‍යයෝ වෘංහණයට අහිතකර වෙති. බලනාගයෙහි වාතප්‍රකෝපකාරී ද වෙති.

කෂාය හෙවත් කසට රස ද්‍රව්‍යයෝ ස්තම්භන ගුණයෙන් යුක්තයි. නමුත් කසට රස ඇතත් ස්තම්භනය නොවෙයි. පඤ්ච පදාර්ථ අතුරින් පළමුවන රසයෙහි තතු මෙසේ දැක්වුණේ සැකෙවිනි.

මධුරාදී රසයන්ගේ අනෙක් විශේෂ ගුණ

මධුර ද්‍රව්‍යයෝ ශ්ලේශ්ම ජනක වෙති. නමුත් පරණ හැල් සහල්, යව, මුං, ගෝධුම, සීනී, දඩමස් ආදිය මධුර වුව ද සෙම් නොවඩයි. නෙල්ලි සහ දෙළුම් හැර අනිත් ඇඹුල් රස වර්ගයෝ පිත වඩත්. ලුණු රසය විශේෂයෙන් ම ඇස්වලට අහිතකාරී වෙයි. සිද්ධිගුරු, තිප්පිලි, සුදුලූනු, දුම්මැල්ල සහ රසකිඳ හැර කටුකිත්ත රස ද්‍රව්‍යයෝ ම අවෘෂ්‍යය හෙවත් වෘහණයට අහිතකරයි. බලනාශක වාතය කෝප කරන සුලුයි. කෂාය හෙවත් කසට රස ද්‍රව්‍යයෝ ස්තම්භන ගුණයෙන් යුක්තයි. නමුත් අරළු කසට රසය ඇතත් ස්තම්භනය නොකරයි. විසිවැදෑරුම් වූ ගුණයෝ නම් “ගුරු, ලඝු, ස්නිග්ධ, රූක්ෂ, තීක්ෂණ, ස්ථිර, සර, පිච්ඡිල, විශද, ශීත, උෂ්ණ, මෘදු, කර්කශ, ස්ථූල, සුක්ෂ්ම, ද්‍රව, ශුෂ්ක, ආශුකාරී, මන්ද යන මොවුහු ය.”

ගුරු ද්‍රව්‍ය

වාතය දුරු කරයි. පෝෂණය කරයි. සෙම් වඩා පැසීම ප්‍රමාද කරයි.

ලඝු ද්‍රව්‍ය

පත්‍යයි, සෙම් නසයි, වහා දිරවයි.

ස්නිග්ධ ද්‍රව්‍ය

වාතය නසයි, සෙම් වඩයි, තර කරයි, බලකාරී වෙයි.

රූක්ෂ ද්‍රව්‍ය

අතිශයින් වාතය කෝප කරයි. සෙම් නසයි.

තීක්ෂණ ද්‍රව්‍ය

පිත වඩයි. ලේඛන හෙවත් කෘෂ කරයි.

ශ්ලක්ෂණ ද්‍රව්‍ය

තෛලාදි ස්නේහපදාර්ථයන් හිත කරයි. තර කරයි. එහෙත් මෘදු බව උපදවයි.

ස්ථිර ද්‍රව්‍ය

වාතය, මල යන මොවුන් තද කරයි.

සර ද්‍රව්‍ය

වාතය හා මල නිකුත් කරයි.

පිච්ඡිල ද්‍රව්‍ය

දියාරු හා ඛේලසුල්කමින් යුක්ත වෙයි. එහෙත් බලය වඩනුයේ බිදුණු තැන් සංයුක්ත කරයි. සෙම් ඇති කරනුයේ බරයි.

විශද ද්‍රව්‍ය

තෙත් බව නැති කොටැ ක්ෂත පුරවයි.

ශීත ද්‍රව්‍ය

සතුට උපදවයි. ශ්‍රාවයන් වළක්වයි. මූර්ඡාය පිපාස ඩහදිය දා වළක්වයි.

උෂ්ණ ද්‍රව්‍ය

උණුසුම් කරනුයේ සැපදායකයි. මූර්ඡා උපදවයි. ක්ෂත ආදිය පැසවයි.

මෘදු ද්‍රව්‍ය

මොලෙක් වෙයි. කර්කශ ද්‍රව්‍ය රළුයි.

කර්කශ ද්‍රව්‍ය

කර්කශ ද්‍රව්‍ය රළුයි.

ස්ථූල ද්‍රව්‍ය

ශරීරය තද කරයි.‍ ස්‍රොත සුන් අඩු කරයි.

සූක්ෂ්ම ද්‍රව්‍ය

ශරීරයේ සියුම් සිදුරු සමූහය කරා පිවිසෙයි.

ද්‍රව ද්‍රව්‍ය

ක්ලේද ජනකයි. පැතිරෙන සුලු ය.

ශුෂ්ක ද්‍රව්‍ය

ද්‍රව ගතියෙන් තොර වූයේ තෙත්කම නසනුයේ තහවුරුයි.

ආශුකාරී ද්‍රව්‍ය

වහා මුළු ශරීරයේ පැතිරෙන සුලුයි. ආශු ගුණයෙන් යුක්ත වූ දෙය ශීඝ්‍ර ව ක්‍රියා කෙරේ.

මන්ද ද්‍රව්‍ය

සියලු කාර්යයන්හි ලිහිල් වෙයි.

වීර්ය

උෂ්ණ වීර්ය හා ශීත වීර්ය යනුවෙන් මෙය දෙවැදෑරුම් ය. ‘උෂ්ණ වීර්ය’ වා-සෙම් නසයි. පිත වඩයි. ජරාවට පමුණුවයි. ‘ශීත වීර්ය’ වාතයෙන් හා සෙමෙන් උපදනා රෝග ඇති කරයි. පිත් කෝපය කරයි. වීර්ය සම්බන්ධ අනිත් මතය නම් ‘උෂ්ණ වීර්ය’ භ්‍රම පිපාසා, ගිලන් බව, ඩහදිය හා දාහය උපදවයි. ආහාර ආදිය වහා පැසවයි. ‘ශීත වීර්ය’ සමඵල වනුයේ ජීවිතයට හිතකාරී වෙයි. මල ආදිය තද කරයි. රත්පිත පැහැදිලි කරයි.

විපාකය

අනුභව කරන ලද ආහාර මනා කොට පැසවයි. කුසගිනි වඩා අනිත් රස උපදවයි. පැසීම හෙවත් විපාකය කරණ කොට ගෙන එක් රසයක් තවත් රසයක් බවට පැමිණෙයි. එක් ධාතුවක් තවත් ධාතුවක් බවට පත්වෙයි. කෙසේ ද යත් මධුර හා ලවණ රසය විපාකය හෙවත් පැසීමේ දී මධුර රසය බවට පමුණුවයි. අම්ල රසය පමණක් විපාකයෙහි දී ද අම්ල බවට ම පැමිණේ. කටු තික්ත රසයෙන් විපාකයෙහි දී බෙහෙවින් කටු රසය බවට පත්වෙති. මධුර විපාකය සෙම් වඩා වා-පිත් නසයි. අම්ල විපාකය පිත් වඩා සෙම් ජනිත රෝග නසයි. කටු විපාකය වාතය වඩා සෙම්-පිත් නසයි.

ප්‍රභාව

ද්‍රව්‍ය තුළ පවත්නා අචින්ත්‍ය ශක්තියට ප්‍රභාව යැයි කියනු ලැබේ. ගොඩ මානෙල්, මුල හිසේ බැඳගත් කළ නින්ද ඇති වේ. තවත් ප්‍රභා ගුණය ඇති ද්‍රව්‍ය සමූහයක් ඇත්තාහ. රසය, ගුණය, වීර්ය, විපාකය, ප්‍රභවය යන මේ සියලු ම ද්‍රව්‍ය ඇසුරු කොට පවත්නාහ. වීර්ය තුළ පවත්නේ ගුණයට වඩා විශේෂ වූ ශක්තියකි. රස තුළ වීර්යයෝ ද අඩු වැඩි වශයෙන් ඇතුළත් වේ. මේ දැක්වුණු රස, ගුණ, වීර්ය, විපාකාදීහු එකිනෙකට සම්බන්ධවත් ආධාරවත් පවත්නා බැව් ආයූර්වේදීය ‘ද්‍රව්‍යගුණ විඥානයෙහි’ සඳහන් වන්නේ ය.

(කර්තෘ: පී.ඇම්.පී. අභයසිංහ: 1956)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ෂඩ්_රස&oldid=4469" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි