නියම්ගම්පාය විහාරය
මහනුවර දිස්ත්‍රික්කයේ ඌව පළාතේ ගඟ ඉහළ කෝරලයේ ගම්පළවෙල නමැති ගමෙහි පිහිටයේ ය. ගම්පළ-නාවලපිටිය පාරේ ගම්පළ නගරය අසල එම විහාරය පිහිටි පෙදෙස දැනට මරියාවත්ත නමින් ප්‍රකට ය.
“ගංගාශ්‍රීපුර මධ්‍යයෙහි මොටතිස රජ්ජුරුවන් වහන්සේ කැරවූ නියම්ගම්පාය” යනුවෙන් මෙහි ආරම්භය පිළිබඳ වූ පැරණි ම සඳහන 1373 දී පිහිටුවන ලද නියම්ගම්පාය ශිලා ලිපියෙහි තිබේ. මේ නමින් රජෙක් සිංහල රාජාවලියෙහි නැත. උගතුන් සලකන පරිදි ටමය මළුතිස යන නාමය සඳහා වැරදී යෙදී ඇතැයි ගතහොත් මේ විහාරය මළුතිස හෙවත් කනිට්ඨතිස්ස (160-188) රජුගේ කාලයේ දී සාදවන ලදැයි සිතිය හැකි ය. එහෙත් ඊට වෙනත් සාධක නැත. එම විහාරයෙහි නායකත්වය ගෞතම නමැති යතිඳුන් පමුණුවා ගත් බව ද උන්වහන්සේගේ පරපුර පරම්පරානුගත ව අවුරුදු හාරසිය අසූපහක් ඒ දක්වා පැවත ආ බව ද මේ ශිලාලිපියෙහි ම දැක්වේ. ඒ කියමන අනුව මේ විහාරය ක්‍රි.ව. 888 පටන් පැවති බව පැහැදිලි වෙයි.
මේ විහාරය පිළිබඳ ඊළඟ සඳහන ලැබෙන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ (1747-81) සමයට පෙර අප්‍රකට ලේඛකයකු ලියූ මහාවංසයේ තෘතීය භාගයෙනි. නිගමප්පාසාද නම් වූ මේ විහාරය පැරණි බව ද සතරවන විජයබාහු (1271-73) රජතුමා එය ප්‍රතිසංස්කරණය කරවූ බව ද එහි සඳහන් වේ. මෙම කාලයට අයත් 'සිංහල දළදාවංසය', ගම්පළ රජකළ රජවරුන් මෙහි විශේෂ ප්‍රාසාදයක් කරවා දළදා හිමියන් වඩා හිඳුවා මෙහි පුදපූජා පැවැත්වූ බව පවසයි. මේ සමයෙහි සකස් වු 'නම් පොතෙහි' නියම්ගම්පාය ස්ථානය නමින් මේ විහාරය සඳහන් වෙයි. ඊළඟට මෙය සඳහන් වන්නේ 1804 දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දුන් නියම්ගම්පාය තඹ සන්නසෙහි ය. සතරවන භුවනෙකබාහු (1341-51) රජතුමා යාපා කුමාරයන් ලවා මෙහි ගොඩනැඟිලි කර වූ බව මෙහි දැක්වේ. ඒවා කටුකොහොල් ව පවතින බව ඇසූ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ද අනතුරුව එහි නව කර්මාන්ත කරවා තිබේ.
ගම්පළ රජකළ හතරවන වික්‍රමබාහු (1351-74) රජුගේ නියමයෙන් ජයමහලේ සිටාණන් කළ පිළිමගෙය ඉහත කි ශිලා ලිපියෙහි විස්තර කර තිබෙන පරිදි තුන් මහල් වූ අතර එක් පැත්තකින් රියන් 18ක් (අඩි 45ක්) විය. පාදශෛල සහිත ටැම් 20, දෙවිසි රියන් මහ දැව 6ක් හා වියන්, පෝරු, ගොනැස් ඊට ගෙන තිබේ. පිළිමගෙට හා ජයමහලේ සිටුපායට පෙති උළු 80,000ක් ද යොදා ඇත. බිත්ති සුදු හුණු ගා නිමවන ලදි. ගල්බාවක් හා වට ශෛලාසනයක් ද විය.
පිළිමගෙයි මැද මාලයෙහි මැද හිඳි බුදු පිළිමය ද ඒ දෙපස අනුපිළිම දෙකක් ද විය. එහි වියනෙහි පරසතු ගසට පිට දී පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි වැඩ හිඳ දෙවියන්ට බණ කියන බුදුරුව ද විය. බිම්මාලයෙහි තොරණ සහිත පිළිම 28ක් තිබිණ. එහි උඩුවියනේ මෛත්‍රී බෝධිසත්ත්ව ප්රමුඛ තුසිත භවනය හා පිළිම 2,000ක් විය. බිත්ති සතරෙහි පිළිම 3,000ක් ද සූවිසිවිවරණය ද මහා උම්මග්ග ජාතකය ද සිතුවම් කර තිබිණ. තව ද මැද මාලේ තිවංක පිළිමය ද මුදුන් වියනේ සිතුවම් ද විය. එහි බුදුන් ශ්‍රී මහාබෝධියට පිට දී වැඩ හිඳීම හා සත්සතිය දැක්විණ. බිම සකස් කිරීමේ පටන් නෙත් තැබීම දක්වා පනම් ලක්ෂයක් හා වී දහසක් පෑල මේ සඳහා වැය කර ඇත.
පැරණි දේ හැටියට දැනට මෙහි ඇත්තේ ජයමහලේ සිටාණන් කරවූ පිළිමගෙයි අඩිතාලම හා ගල් දොරඋළුවස්ස පමණි. තූර්යභාණ්ඩ වාදනය කරමින් යන නැට්ටුවන්ගේ පෙරහැරක් අඩිතාලමේ කැටයම් කර තිබේ. ගල්දොරඋළුවස්ස මල්වැල්, ලියවැල්, හංසරූප හා දොරටුපාල රූප ආදියෙන් සරසා ඇත. මෙහි බිමින් ලැබුණු පෙති උළු කැබලි කිහිපයක් මහනුවර ජාතික කෞතුකාගාරයෙහි ප්‍රදර්ශනයට තබා තිබේ. පැරණි බෝධිය ද මෙහි වෙයි. ඉතා වටිනා රන් බුදු පිළිමයක් මේ විහාරයේ තිබුණු බව ද පවුම් 2,000 වටිනාකමක් තිබුණු එය 1907 දී සොරුන් පැහැරගෙන යන ලද බව ද එච්.ඩබ්ලිව්. කේව් මහතා පවසයි.
අලුතින් සෑදූ සංඝාවාසය, පොත්ගුල, ධර්මශාලාව හා චෛත්‍යය මෙහි දැකිය හැකි ය.
(කර්තෘ: සෝමපාල ජයවර්ධන)
(සංස්කරණය නොකළ)