අස්මෝඩියස්
සිංහල විශ්වකෝෂය වෙතින්
12:29, 29 පෙබරවාරි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('අස්මෝඩියස් වූ කලි යුදෙව් දේව කථාවන්හි සඳහන් ව...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
අස්මෝඩියස් වූ කලි යුදෙව් දේව කථාවන්හි සඳහන් වන යක්ෂයෙකි. යක් රජකු හැටියට ද දැක්වේ. අස්මෝඩියස් යනු හේබ්‍රෙව් බසින් 'විනාශ කරන්නා' යන තේරුම ගෙන දෙන්නකි. ශරතුස්ට්‍ර ආගමේ දේවකථාවන්හි ද මොහු ගැන සඳහන් වේ.
මෙතෙමේ රගුවෙල් නමැත්තාගේ දුහිතෘ වූ සාරාට ආලය බැඳ, ඇය හා විවාපත් පුරුෂයන් සත් දෙනකු ම පිළිවෙළින් ඒ ඒ මඟුල් දින රෑ මරා දැමීය. මේ නිසා මොහු විවාහක ප්‍රීතිය නැති කර දමන භූතයකු හැටියට විශ්වාස කෙරේ. තල්මුද්හි මොහු සඳහන් වන්නේ සොලමන් රජු පිළිබඳ කථා ආශ්‍රිතවය. එහි ද විවාහක අසමගිය හා ඊර්ෂ්‍යාව ඇති කරන යක්ෂයකු ලෙස හැඳින්වේ. අස්මෝඩියස් නාමය පැරැණි පර්සියානු සෙන්ද්- අවෙස්තා ග්‍රන්ථයන්හි එන දුෂ්ට යක්ෂයකුගේ නාමය වූ අයේෂ්ම දේව යන්නෙන් භින්න වූවකැයි සමහරු සිතති.
(සංස්කරණය: 1965)