මිල්ලව දිසාව

සිංහල විශ්වකෝෂය වෙතින්
14:36, 12 ජූලි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('දුනුවිල දිසාව යනුද මොහුට නමෙකි. මිල්ලව රාජකරු...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

දුනුවිල දිසාව යනුද මොහුට නමෙකි. මිල්ලව රාජකරුණාධාර ඒකනායක ධර්මකීර්ති පණ්ඩිත මුදියන්සේ යන නාමයෙන් හැදින්වුණු මොහු 1818 උඩරට කැරැල්ල සමයේ දී වෙල්ලස්ස හා බින්තැන්න යන ප්‍රදේශවල දිසාවේ පදවිය දැරී ය. දුනුවිල දිසාව යන නමින් ද මොහු හඳුන්වන ලදි.

මොහු ඉතා ලැදිකමින් බ්‍රිතාන්‍ය ආණ්ඩුවට සේවය කළ උගත්, දක්‍ෂ අයෙකු හැටියට බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා විසින් රාජ්‍ය ලේකම් වෙත යවන ලද ලිපියක සඳහන් වේ.

ඇහැලේපොල නිලමේ විසින් සඟවන ලද කකුධ භාණ්ඩ සොයා ගැනීමටත්, බ්‍රිතාන්‍යයන්ට විරුද්ධ ව කරන ලද කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මඩුගල්ලේ උඩ ගබඩා නිලමේ නැවත අල්ලා ගැනීමටත් මොහු බ්‍රිතාන්‍යයන්ට ආධාර කළේ ය. මොහුත් පිළිමතලව්ව හා ඇහැලේපොලත් අතර පැවතියේ දැඩි විරෝධයකි. බ්‍රිතාන්‍යයන්ගේ ආධාර ඇතිව ඇහැලේපොල බලයෙන් පහකර දැමීමටත් වඩා උසස් නිලයක් ලබා ගැනීමටත් මොහු බලාපොරොත්තු විය.

එහෙයින් මොහු ඌවේ දිසාව වශයෙන් පත් කරන ලදි. අලුත් නිලයේ වැඩ භාරගැනීම සඳහා මිල්ලව දිසාව, බින්තැන්නේ සිට බදුල්ලට යෑමට කටයුතු සූදානම් කරද්දී, දුම්බර කැරලිකරුවන්ගේ ප්‍රධාන කඳවුරට යැවීම සඳහා ඔහු විසින් ලියන ලද ලිපි කීපයක් ලෙප්ටිනන්ට් කර්නල් කෙලී විසින් සොයා ගන්නා ලදි. මේවා ලියන ලද්දේ එම පළාතේ ප්‍රධාන කැරලි නායකයකු වන මඩුගල්ලේටයි. තමා නොපමාවම බ්‍රිතාන්‍ය හමුදාවන්ගෙන් මිදී කැරලිකරුවන් හා එක්වීමට එන බවත් එතෙක් තම පුත්‍රයා අදිකාරම භාරයේ තබාගත යුතු බවත් එහි සඳහන් කරන ලදි.

මේ සම්බන්ධයෙන් තම නිදොස් බව පෙන්වීමට මිල්ලව කියා සිටියේ කැරලිකරුවන් තම පුත්‍රයන් අල්ලාගත් බැවින්, ඔවුන්ට හොඳ සැලකිලි ලබාදීමේ චේතනාවෙන් තමා මේ ලිපි මඩුගල්ලේට යැවූ බව ය. එහෙත් බ්‍රිතාන්‍යයෝ එය විශ්වාස නොකළහ.

බ්‍රිතාන්‍යයෝ ඔහු අල්ලා සිර කොට මහනුවරට යැවූහ. එහෙත් ඔහු යුද්ධ විනිශ්චය මණ්ඩලය වෙත යැවීම අනුමත නොකළ බ්‍රවුන්රිග් ඔහු පිටුවහල් කිරීමටත් ඒ සඳහා ඉඩ ලැබෙනතුරු කොළඹ සිරකොට තැබීමටත් නියම කළේ ය. ඔහුගේ දේපල රාජසන්තක කරන ලදි. සිරභාරයේ සිටිද්දීම 1821 අගෝස්තු 20 වනදා මිල්ලව දිසාව මිය ගියෙන් කොටහේන සූසානභූමියේ භූමදාන කරන ලදි.

(කර්තෘ: දේවිකා ප්‍රියදර්ශනී එදිරිවීර)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=මිල්ලව_දිසාව&oldid=5885" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි