ආවරණය
සාමාන්‍යයෙන් 'වැස්ම' යන අර්ථය ගෙන දෙන මෙම ශබ්දය ජීව විද්‍යාවෙහි දී විශේෂ අන්දමේ වැසුම් සඳහා භාවිත කරනු ලැබේ.
ශාක ඩිම්බයෙක අනුද්වාරය (micropyle) නමැති කුඩා සිදුරක් හැර කුක්ෂිය (nucellus) හාත්පසින් වසාගෙන බීජාධාරකයේ සිට වැඩෙන අවයව එකක් හෝ බොහෝ විට දෙකක් හෝ ඇත. මේවා ඩිම්බාවරණ නම් වේ. පසුව බීජය මේරීමේ දී ඇටපොතු හෙවත් බීජාවරණ බවට පත් වන්නේ ද මේවාය (ඇටය බ.).
සියලු ම බහුසෛලීය සතුන්ගේ ශරීර අවට පරිසරයට ඔරොත්තු දෙන පිණිස සෑදුණ පටක ස්තරයකින් වැසී ඇත. මෙයට ආවරණය යැයි කියති. සෛලීය ස්තරවලින් ව්‍යුත්පන්න වූ නොයෙක් අවයව එහි තිබීමට පුළුවන. ආවරණයෙන් අඩු වශයෙන් කොටසක් හෝ සම්භවය අතින් නිතර ම බහිශ්චර්මීය වෙයි.
බාහිර උවදුරු සහ වියළීම වැළකීම ද ශරීරය ඇතුළට සහ ඉන් පිටතට යා යුතු ද්‍රව්‍ය හුවමාරු කිරීම ද උෂ්ණත්වය රැක ගැනීම ද උත්තේජනයන් පිළිගැනීම ද ආවරණයෙන් සිදු වේ. මීට අමතරව අපෘෂ්ඨවංශීන්ගේ (අපෘෂ්ඨවංශීහු බ.) ආවරණය ඔවුන්ගේ ශරීර දරා සිටින පිටසැකිල්ලක් මෙන් බොහෝ විට ක්‍රියා කරයි.
සිලෝමාන්ත්රධරයන් වැනි සමහර සරල සතුන්ගේ ආවරණය විශේෂ කාර්යයන් සඳහා අනුවර්තනය වූ සෛලයන්ගෙන් සමන්විත අපිච්ඡදීය ස්තරයකි. පැතළි පණු, මෘද්වංගී ආදි සමහරුන්ගේ ආවරණයෙහි පක්ෂ්ම (cilia) ඇත්තේය. බෙල්ලෝ තම ආවරණයෙන් තද කටුවක් ස්‍රාවණය කරගනිති. පරපෝෂී පැතළි පණුවන්ගේ ආවරණය සංසෛලය (coenocyte) නම් වූ ස්තරයක් බවට පත් වී තිබේ. මෙය අසෛලීය වූ උච්චර්මය නමැති බාහිර තට්ටුවක් ස්‍රාවණය කරන්නේය. සන්ධිපාදිකයන්ට ද උච්චර්මයක් ඇත. එය වැස්මක් පමණක් නොව ශරීරය දරා සිටින පිටසැකිල්ලක් ද වන්නේය.
පෘෂ්ඨවංශීන්ගේ (පෘෂ්ඨවංශීහු බ.) ආවරණය හම (බ.) නම් වේ. සම්භවය අතින් එය මධ්යචර්මීය වූ චර්මය නමැති යටි තට්ටුවකින් ද බහිශ්චර්මීය වූ අපිචර්මය නමැති උඩ තට්ටුවකින් ද සෑදී තිබේ. කොරළ (බ.)‚ පිහාටු (බ.)‚ ලෝම (බ.)‚ කෙස්‚ අං (බ.)‚ කුර සහ නිය (බ.) සෑදෙන්නේ ආවරණයෙනි. එපමණක් නොව මත්ස්‍යයන්ගේ හා උභය ජීවීන්ගේ ශ්ලේශ්මල (mucous) ග්‍රන්ථි ද ක්ෂීරපායීන්ගේ ස්වේද (sweat) ග්‍රන්ථි ද ඇතැම් සංවේද ඉන්ද්රියයන්ගේ කොටස් ද එයින් ම ඇති වන්නේය.
(සංස්කරණය: 1965)