උග්‍රසිංහ
(උක්කිරවිංකම්). ක්‍රි.ව. 1739 දී පමණ රචනා කරන ලදැයි සැලකෙන යාල්පාන-වෛපව-මාලෙයි නමැති දෙමළ ග්‍රන්ථයෙහි සඳහන් රජෙකි. එම ග්‍රන්ථයෙහි සඳහන් වන පරිදි උග්‍රසිංහ ශක වර්ෂ 717 දී හෙවත් ක්‍රි.ව. 795 දී උතුරු ඉන්දියාවෙන් විශාල සේනාවක් ගෙනැවින් ලංකාව ආක්‍රමණය කොට දිවයිනෙන් භාගයක් පමණ අල්ලාගෙන ස්වාධීන රාජ්‍යයක් පිහිටුවා ගත්තේය. ග්‍රන්ථයෙහි උග්‍රසිංහ දක්වා තිබෙනුයේ ලක්දිව ප්‍රථම රාජයා වූ විජය රජුගේ සොහොයුරකුගෙන් පැවතෙන්නෙකු ලෙසිනි. තියුණු සටනකින් පසුව ලංකාවෙන් භාගයක් අල්ලාගත් උග්‍රසිංහ සටන් කළේ කවුරුන් සමඟ ද යන්න සඳහන් නොවීම පාඩුවකි. ඔහුට සමකාලීනව ලංකාවෙහි දකුණු කොටසෙහි තවත් රජකු රාජ්‍යය කළ බව සඳහන් වේ.
උග්‍රසිංහට සිංහයකුගේ බඳු මුහුණක් වී යැයි ද ඔහු කීරමලේ පුණ්‍යතීර්ථයෙහි ස්නානය කිරීමෙන් පසුව මුහුණෙහි පැවති විරූපි බව ඉවත් වී යැයි ද කියැවේ. එම පුණ්‍යතීර්ථයට ම පැමිණි අශ්වයකුගේ බඳු මුහුණකින් යුත් වෝළ කුමරියක, එහි ස්නානය කිරීමෙන් පසුව ඇයගේ විරූපී බව ද ඉවත් වූ බවත්, ඇය කෙරෙහි ප්‍රේමයෙන් බැඳුණු උග්‍රසිංහ ඇය පාවාගත් බවත් සඳහන් වේ. මෙම චෝළ කුමරියගේ පිය රජු කවරෙක් ද යන්න අප්‍රකටය. කෙසේ වුව ද රාජවංශික කුමරියක පාවාගැනීමෙන් උග්‍රසිංහගේ රාජ්‍ය උරුමය තහවුරු වී යැයි සිතිය හැකිය.
උග්‍රසිංහට දාව චෝළ කුමරියහට පුතකු හා දියණියක ද ලැබිණ. පුත්‍රයා වාලසිංහරාජ, නරසිංහ රාජ, ජයතුංග වරරාජ යන නම්වලින් හැඳින්වේ. ඔහු තම නැගණිය වූ චම්පකාවතී පාවාගත් බව ද දැක්වේ.
ග්‍රන්ථයෙහි සඳහන් පරිදි උග්‍රසිංහ රජ කළේ උතුරු ලංකාවෙහිය. කතිරමලෙයි නමැති ස්ථානයක සිට පළමුව රාජ්‍යය විචාළ ඔහු, පසුව වෙංකටකනකර හෙවත් සිංගෙයිනගර් නම් ස්ථානයට අගනුවර මාරු කළේය. මෙම අගනුවරවල නම් දෙකෙන් පිළිවෙළින් කතරගම හා මහනුවර අදහස් වන බව පවසා ඇතත්, උතුරු ලංකාවෙහි පාලකයකු මෙම පෙදෙස් පාලනය කළහයි විශ්වාස කිරීම අසීරු බව මහාචාර්ය පරණවිතාන හා රාසනායගම් දක්වා ඇත. උග්‍රසිංහ තම අගනුවර සිංගෙයි නගරයට මාරු කළේ එය ඔහුගේ උපන් ස්ථානය නිසා හෝ වෙනත් එබඳු හේතුවක් නිසා විය හැකිය යනු රාසනායගම්ගේ අදහසයි. මෙහි සඳහන් සිංගෙයිනගර් යාපනයෙහි නැගෙනහිර වෙරළබඩ වල්ලිපුරම් ලෙස සමහරුන් සලකන අතර වී. කුමාරස්වාමි අදහස් කරනුයේ එය නල්ලූර් බවයි. එහෙත් එම අදහසට රාසනායගම් එකඟ නොවේ.
උග්‍රසිංහ වන්නි පෙදෙස්වල සංචාරය කළ බවත් වන්නි හතක අධිපතියන් ඔහුගේ බලය පිළිගෙන ඔහුට කප්පම් ගෙවූ බවත් වෛපව-මාලෙයි ග්‍රන්ථයෙහි සඳහන් වේ. එස්. ඥානප්‍රකාසර්ගේ හා එච්.ඩබ්ලිව්. කොඩ්රින්ටන්ගේ අදහස වූයේ උග්‍රසිංහ යන නමින් හැඳින්වෙනුයේ ද පොළොන්නරු රාජධානියෙහි අවසානය ළඟා කළ කාලිංගමාඝ ම බවයි. එහෙත් මෙම අදහස සදොස් බව ආචාර්ය පරණවිතාන හා රාසනායගම් පෙන්වා දී ඇත. උතුරු ලංකාවෙහි ආර්ය චක්‍රවර්ති රාජ්‍යයෙහි (ආර්ය චක්‍රවර්ති රාජ්‍යය බ.) ආරම්භක රජු ලෙස සැලකෙන විජයකුලංගෙයි හා උග්‍රසිංහ එක් අයකු ලෙස හඳුනාගත හැකිය යනු ආචාර්ය පරණවිතානගේ මතයයි. උග්‍රසිංහ රජුගේ ඓතිහාසිකත්වය නිරවද්‍ය නම්, සැබවින් ම ඔහු අයත් විය යුත්තේ ක්‍රි.ව. 8 වන සියවසට නොව 13 වැනි සියවසට විය යුතුය. 13 වැනි සියවසට පෙර උතුරේ ස්වාධීන රාජ්‍යයක් වූ බවට සාධක නොමැති හෙයිනි. යාල්පාන-වෛපව-මාලෙයි ග්‍රන්ථයෙහි උග්‍රසිංහ දක්වා තිබෙනුයේ දැඩි ශිව භක්තිකයකු හා කීරමලෙයිහි ශිව දෙවොලෙහි අනුග්‍රාහකයකු ද ලෙසිනි.
(සංස්කරණය: 1970)