උපක්ලේශ

සිංහල විශ්වකෝෂය වෙතින්
15:12, 1 ජනවාරි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('සිතට පැමිණ සිත කිලිටි කරන ධර්මයෝ උපක්ලේශ නම් ව...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

සිතට පැමිණ සිත කිලිටි කරන ධර්මයෝ උපක්ලේශ නම් වෙති. පිරිසිදු වස්ත්‍රයක් දැලිමල ආදියෙන් කිලිටි වූ කල්හි නීලපීතාදි සායමක් පොවන ලද නමුත් දුර්වර්ණ ම වන්නා සෙයින් ප්‍රකෘතියෙන් පිරිසිදු වූ භවාඞ්ග සිත යම් ධර්මයකින් කෙලෙසී යේ ද එබඳු වූ චිත්තෝපක්ලේශයෝ සොළොස් දෙනෙක් වෙති. 1. අභිධ්‍යා නම් වූ විෂමලෝභය, 2. නව විධ ආඝාත වස්තුවෙන් උපන් සිත දූෂ්‍ය වීම ලක්ෂණ වූ ව්‍යාපාදය, 3. දශ ආඝාතවස්තුවෙන් උපන් සිතේ චණ්ඩබව ලක්ෂණ කොට ඇති ක්‍රෝධය, 4. බද්ධ වෛරය යැයි කියන ලද උපනාහය, 5. කළගුණ නැසීම යයි කියන ලද මකුබව, 6. තමාත් අන්‍යයාත් සම කොට සලකන යුගග්‍රාහ නම් වූ පළාසය, 7. අනුන්ට ලැබෙන සත්කාරාදිය නොඉවසන ඊර්ෂ්‍යාව, 8. තමාගේ හා අන්‍යයාගේ සම්පත්තියෙහි සාධාරණබව නොඉවසන මසුරු බව, 9. නැති ගුණ අඟවන මායාව, 10. කපටිකමින් උපන් ශඨබව, 11. සුළං පිරූ පාපන්දුවක් මෙන් සිත්හි උපන් තදබව, 12. කරන ලද්දට වැඩියක් කිරීම ලක්ෂණ කොට ඇති සාරම්භය, 13. ජාති ආදිය නිසා සිත්හි උපන් උන්නති යයි කියන ලද මානය, 14. අතිශයින් උන්නති වශයෙන් උපදනා අතිමානය, 15. මත් වීම් ආකාරයෙන් උපදනා මදය, 16. පංචකාමගුණයෙහි සිත බැසගැනීම් වශයෙන් උපදනා ප්‍රමාදය යන මොහුයි. මෙකී ලෝභාදි ධර්මයක් සිත්හි උපන් කල්හි සිත දූෂ්‍ය කෙරෙයි; බබළන්නට නොහැකි වෙයි. එහෙයින් උපක්ලේශ යයි කියනු ලැබේ.

උපක්ලේශයන් අතුරෙන් ලෝභය ම ප්‍රධාන වෙයි. එය පළමු කොට උපදනා හෙයිනි. කවර භවයක හෝ උපදනා සත්ත්වයාට පළමුවෙන් ම භවනිකාන්ති වශයෙන් ලෝහය උපදී. ඊට පසු අනුරූප කරුණු නිසා අන්‍යයෝ උපන්නාහුය.

තවද ලොවැ ප්‍රසිද්ධ වස්තූන්ගේ ප්‍රකාශයට, බැබැළීමට හානිකර වූ උපක්ලේශභාවයෙන් සිටුනා ධර්මයෝ වෙති. එබඳු කරුණු අතුරෙහි සඳ හිරු දෙදෙනාට උපක්ලේශ වූ කරුණු සතරක් අංගුත්තර චතුක්කනිපාතයෙහි එයි. 1. අභ්‍ර හෙවත් වැසි වලාකුළුය, 2. හිමය, 3. දුම් හා ධූලිය, 4. රාහුය යන කරුණු ඒ ඒ අවස්ථායෙහි සඳහිරු දෙදෙනාගේ බැබැළීමට උපක්ලේශ වෙයි. එපරිද්දෙන් මෙලොව මහණබමුණන්ට උපක්ලේශ වූ කරුණු සතරක් එහි ම දැක්වෙයි. 1. රහමෙර පානය, 2. මෙවුන්දම් සෙවීම, 3. රන්රිදී පිළිගැනීම, 4. මිථ්‍යාජීවයෙන් ජීවත් වීම යන කරුණු සතරින් කිලිටි වූ මහණබමුණෝ ප්‍රකාශයට, බැබැළීමට නොපැමිණෙත්.

රත්රන් වූකලි මෘදු වූ ද කටකනූපුරාදි ආභරණ විශේෂයන් තැනීමට යෝග්‍ය වූ ද ප්‍රභාස්වර වූ ද ඛනිජ විශේෂයකි. ඒ ස්වර්ණයාගේ ද උපක්ලේශ වූ කරුණු පසෙක් වෙයි. යකඩ, ලෝහ, තඹ, ඊයම්, රිදී යන මොහුය. මෙයින් කිලිටි වූ ස්වර්ණය කර්මක්ෂම නොවෙයි. එපරිද්දෙන් ම කාමාවචරාදි සතර බිමට අයත් කුසල් සිත කිලිටි කරන - කුසල් සිත ඉපදීමට බාධා කරන - ධර්මයෝ පස් දෙනෙක් වෙති. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, උද්ධච්චකුක්කුච්ච, විචිකිච්ඡා යන පංචනීවරණයෝයි. මොහු පස්දෙන කුසල් සිතට බාධාකිරීමෙන් උපක්ලේශ වෙති. මේ උපක්ලේශයන්ගෙන් මිදුණු සිත ආශ්‍රවක්ෂයකරඥානය දක්වා ඇති ලොවී ලොවුතුරා ගුණයන් ඉපදවීමට සමර්ථ වේ (අංගුත්තර-පංචකනිපාතය).

තවද විදර්ශනා වඩන යෝගාවචරයන්ට මාර්ග ඵලාවබෝධයට බාධා කරන උපක්ලේශ දශයක් වෙයි (අධිමානය බ). එකී උපක්ලේශයන්ගෙන් එකක් පහළ වූ විට එයින් මුළා වූ යෝගාවචරයකුට තමා අධිගමය නොකළ මඟපලනුවණ අධිගම කෙළෙමි යයි අධිමානය උපදියි. එයින් ඔහුට මාර්ගඵලාවබෝධයට බාධා වෙයි.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උපක්ලේශ&oldid=9794" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි