අමරණීය භාවය
(කතෝලික මතය) මනුෂ්‍ය ආත්මයේ අශරීරතාව හා අමරණීයභාවය ගැන විශ්වාසයක් යුදෙව් ජනයා අතරේ සාමාන්‍යයෙන් පැවැත්තේය. මේ ඇදහීම නොපිළිගත්තේ යුදෙව්වන් අතරේ කුඩා රදල පක්ෂයක් වූ සදුසිවරුන් පමණෙකි. කල්දියාවේ හා මිසරයේ ද කරන ලද පර්යේෂණයන්ගෙන් පෙනී යන ප්‍රකාර, බැබිලෝනියන්වරු ද කල්දියවරුන් හා මිසර දේශීයයෝ ද මනුෂ්‍යයාගේ මරණින් පසු ඔහුගේ ආත්මය නොනැසී පවත්නා බව විශ්වාස කළහ. යුදෙව්වන්ගේ මුතුන්මිත්තන් කල්දියාවෙහි හා මිසරයෙහි ද දීර්ඝ කාලයක් වාසය කළ බව ඉතිහාසයෙන් පෙනේ. මනුෂ්‍ය ආත්මයේ අමරණීය භාවය පිළිබඳ විශ්වාසයක් ඊශ්‍රායෙල් ජනයා තුළ තුබුණු බව ඔවුන් බැබිලෝනියාවේ වහලුන් වශයෙන් ගෙනගිය කාලයෙන් පසු ලියැවුණු පොත්වලින් ද පැහැදිලි වේ. ඒ පොත්වල ලියා තිබෙන අන්දමට මරණින් පසු ආත්මයෝ තුන් වැදෑරුම් වෙත්. එනම් (1) පියාණන්වහන්සේගේ තුරුල්ලෙහි සැතපී සෞභාග්‍ය භුක්ති විඳිමින් මෙලෝවාසීන්ට තමන්ගේ යාච්ඤාවලින් උදව්වන ධර්මිෂ්ඨ ආත්මයෝය, (2) ප්‍රතාපවත් උත්ථානයක් ලැබීමට සුදුස්සන් වනු පිණිස ඉහත කී තත්ත්වයට ඇතුළු වීමට පෙර මෙලෝ අයගේ යාච්ඤවන්ගේ පිහිට අවශ්‍ය වූ ධර්මිෂ්ඨ ආත්මයෝය. (3) සදාකාල දණ්ඩනයට නියම වූ ආත්මයෝය යනුයි.
අලුත් ගිවිසුම දෙස බැලුව ද, මනුෂ්‍යයාගේ ආත්මය සදාකාලයට ම පවතින බවට සාක්ෂ්‍ය විද්‍යාමාන වේ. මනුෂ්‍යයාගේ ආත්මය අමරණීය බව - ශරීරයෙන් වෙන් වූ පසු නොනැසී සදාකාලයට ම පවත්නා බව- ජේසුස් ස්වාමීන්වහන්සේ විසින් වදාරා තිබෙන කරුණුවලින් පෙනීයේ. උන්වහන්සේගේ ඉගැන්වීම අනුව සදාකාල ස්වර්ග සම්පතක් ද සදාකාල නිරා දුකක් ද ඇත්තේය. "මනුෂ්‍ය පුත්‍රයාණෝ සුරදූතයන් සමග තේජසින් පැමිණෙන කල මහිමාසනයේ වැඩ හිඳින්නාහ. එවිට උන්වහන්සේ අභිමුඛයෙහි සකල ජනයෝ රැස්කරනු ලබත්...ඉන්පසු රජාණෝ තමන් දකුණු පසෙහි සිටින්නන්ට වදාරන්නාහු මාගේ පියාණන්ගේ ආශිර්වාද ලත්තෙනි එන්න, ලෝකාරම්භයේ සිට ඔබ සඳහා පිළියෙල කර තිබෙන රාජ්‍යය හිමිකරගන්න...ඉක්බිති උන්වහන්සේ වම්පසෙහි සිටින්නන් ද අමතා ශාපලත්තෙනි, මාගෙන් ඉවත්ව යක්ෂයාටත් උගේ දූතයන්ටත් පිළියෙල කර තිබෙන සදාකාල ගින්නට පලයව්, යයි වදාරන්නාහ" (මතෙව් 25, 31-41) ශුද්ධ වූ සභාවේ පරම්පරාගත ධර්මය විමසන විට ද, මනුෂ්‍ය ආත්මයේ අශරීර භාවය හා අමරණීයභාවය ගැන ඇදහීමක් ආරම්භයේ පටන් ම කතෝලික ජනයා අතර තුබුණු බව පෙනීයේ. ශුද්ධවූ පියවරුන් උගන්වන ප්‍රකාර "ආත්මයේ අශරීරභාවය හා අමරණීයභාවය මනුෂ්‍යයා සදාකාල පරමානන්දය කරා ගෙනයන ආගමේ පදනම වන්නේය." ධර්මිෂ්ඨයන්ට අනන්ත සෞභාග්‍ය දීමට පොරොන්දු වන අතර ධර්මිෂ්ඨයන් අනන්ත නිරාගින්නට නෙරපා දැමීමට දෙවියන්වහන්සේ තර්ජනය කරනසේක. සැපත හෝ දණ්ඩනය හෝ අනන්තවීමට නම් ආත්මය අරමණීය විය යුතුවේ. එහෙයින් ආත්මයේ අමරණීයභාවය විශ්වාස කළයුතු වගන්තියක් හැටියට පස්වැනි ලතෙරානු මන්ත්‍රණ මණ්ඩලය විසින් ප්‍රකාශ කරන ලදි.
මනුෂ්‍යයාගේ ආත්මය අමරණීය වන බව දේව ප්‍රකාශනය නොමැතිව හුදෙක් මනුෂ්‍ය ඥානයෙන් පෙන්වා දිය හැකිදැයි යන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් එසේ කළ හැකිය යනු ශුද්ධ වූ තෝමස් ඇක්වයිනාස් තුමාගේ මතයයි. එහෙත් ස්කෝටස් තුමාගේ මතය අනුව නම් එය මනුෂ්‍ය ඥානයෙන් ඔප්පු නොකළ හැකි වූ දේව ප්‍රකාශනයෙන් පමණක් දැනගත හැකි වූ සත්‍යයෙකි. මේ මත දෙකින් කවර මතය පිළිගත යුතු දැයි සභාව විසින් තීරණයක් එක එල්ලේ දී නැත. ඒ කෙසේ වුව ද මනුෂ්‍යයාගේ ආත්මය අමරණීය විය යුතු බව පිළිගැනීම ඥානයට එකඟ යයි කිව හැක. මනුෂ්‍යයාගේ ආත්මය තෙමේ සිහිය, බුද්ධිය හා නිදහස් කැමැත්ත යන ත්‍රිවිධ බලයෙන් යුක්තය. යටගියාවේ බොහෝ දේ සිතෙහි ධාරණය කරගැනීමට ද අනාගතය පිළිබඳ මානසික යෝජනා ඉදිරිපත් කිරීමට හා විචාර බුද්ධියෙන් ක්‍රියා කිරීමට ද මනුෂ්‍ය ආත්මයට පිළිවන. එහෙයින් මනුෂ්‍යයාගේ ආත්මය ශරීරය මෙන් ද්‍රව්‍ය සම්පන්න නොවේ යයි කිව යුතු වේ. මෙබඳු අද්‍රව්‍යමය ආත්මයක් නොනැසී නොපවත්නේ නම්, එසේ වීම එහි අභ්‍යන්තර ස්වභාවයෙකින් හෝ බාහිර වූ යම් කිසි බලයෙකින් හෝ විය යුතුයි. ආත්මය කොටස්වලින් සංයුක්ත නොවන හෙයින් ස්වකීය අභ්‍යන්තර ස්වභාවයෙන් ම දිරා පත් නොවෙයි. මනුෂ්‍යයාගේ ආත්මය බාහිර බලයෙකින් විනාශ කරනු ලබන්නේ නම්, එසේ කරනු ලැබිය හැක්කේ දෙවියන්වහන්සේ විසින් පමණකි. එහෙත් මනුෂ්‍ය ආත්මය විනාශ නොවී එයට අනන්ත සෞභාග්‍යය හෝ අනන්ත දුක හෝ ලැබෙන බව දෙවියන්වහන්සේ විසින් ප්‍රකාශ කර තිබේ.
මරණින් පසු ද මෙලොවෙහි නිතර සිහිකරනු ලැබීමට ආශාවක් මනුෂ්‍යයා තුළ පිහිටා තිබේ. මේ ස්වභාවික ආශාව ආත්මයේ අමරණීයත්වයේ ලකුණෙකි. පරලෝ ජීවිතයක් ගැන විශ්වාසයක් සකල මනුෂ්‍ය ජාතීන් අතරේ පවතිනුයේ එහෙයිනි. මරණින් පසු ජීවිතයක් නොමැත්තේ නම්, මෙලොවෙහි පාපිෂ්ඨ ජීවිතයක් ගතකරමින් බොහෝ සුව සැප භුක්ති විඳින අධර්මිෂ්ඨයන්ට දඬුවමක් ද ඇති නොවන බව පිළිගැනීමට සිදුවේ.
පරලොවෙහි ධර්මිෂ්ඨයන්ගේ ප්‍රීති සම්පත්තිය කලකට පැවතී නිම වන්නේ නම්, එසේ නිමවීමට යන බව දැනීමෙන් චිත්ත සංවේගයක් ඇති වන්නේය. ප්‍රීතිය සම්පූර්ණ වීමට නම්, එය සදාකාලික විය යුතුයි. තවද දෙවියන් වහන්සේගේ අනන්ත යහපත්කම ගැන ද අධර්මිෂ්ඨයන්ගේ අකෘතඥතාව හා සිත් දැඩිකම ගැන ද කල්පනා කර බලන කල ඔවුන් වින්ද යුතු දඬුවම කෙළවර වන්නේය යි නොසිතිය හැකිය.
කර්තෘ:ඩී.ජේ. ඇන්ටනි පූජාප්‍රසාදි
(වෙනත් මත සඳහා, ‘අමෘතත්වය’ උත්තර ජීවනය’ බලන්න.)
(සංස්කරණය:1963)