අරාබි අර්ධද්වීපය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මෙය ආසියා මහාද්වීපයෙහි නිරිත දිග කෙළවරෙහි උත්තරාක්ෂාංශ 12° හා 32°ත් නැගෙනහිර දේශාන්තර 35° සහ 60°ත් අතර පිහිටා ඇත්තේය. සැතැපුම් 1,400ක් පමණ දික් වූත්, සැතැපුම් 1,250ක් පමණ පළල් වූත් මෙහි විශාලත්වය වර්ග සැතැපුම් 10,00,000ක් පමණ වේ. බටහිරින් රතු මුහුදින් ද, ගිනිකොණින් අරාබි මුහුදින් ද, ඊශාන දිගින් ඕමන් හා පර්සියන් බොකුවලින් ද වටවී ඇති අරාබි අර්ධද්වීපය උතුරු දිගින් වයඹට බරව ඉරාකයට සහ ජෝර්දානයට සම්බන්ධ වී පවතී. දේශපාලන බෙදීම් අනුව අරාබි අර්ධද්වීපය, ප්‍රධාන වශයෙන් සවුදි අරාබිය, යේමන්, ඕමන් සහ ඒඩන් ආරක්ෂිත ප්‍රදේශය යන රටවලට බෙදී තිබේ. කුවයිට් ප්‍රදේශය හා බාහ්රේන් නම් දූපත ද අරාබි අර්ධද්වීපයට ඇතුළත්ය.


භූමි ලක්‍ෂණ:

අරාබි අර්ධද්වීපය නැගෙනහිර දෙසට බෑවුම් සහිත වූ විශාල සානුවක් හැටියට සාමාන්‍යයෙන් සැලකිය හැකියි. මේ සානුවෙහි සාමාන්‍ය උස අඩි 4,000 සිට 5,000 දක්වා වේ. එහෙත් රතුමුහුදට මුහුණ ලා ඇති සානුවෙහි බටහිර සීමාව ඔස්සේ ගැටියක් මෙන් පිහිටි අඩි 8,000ක් පමණ උස් වූ කඳු වැටියක් ඇත. එහි දකුණු කෙළවරෙහි අඩි 9,000—10,000ක් උස් වූ ශිඛර ද වේ. අඩි 12,000කට ද වඩා උස ඇති ඉතා ම උස් ශිඛරය යේමන්හි පිහිටා තිබේ. ඊශාන දිග ඕමන් බොක්කට මුහුණ ලා පිහිටි වෙරළ ඔස්සේ ජෙබල් අල් අක්ධාර් වැටිය පිහිටියේය. අඩි 9,000ක් උස ජෙබල් අල්-ෂම් ශිඛරය පිහිටියේ මේ කඳු වැටියෙහිය. අභ්‍යන්තර කොටස, ඊ වටා පිහිටි කඳුවැටිවලට වඩා පහත් වුව ද, සම උසින් යුත් ප්‍රදේශයක් නොවේ. අඩි 6,000ක් පමණ උස් වූ ජෙබල් ෂම්මාර්, ජෙබල් ටුවයික් ආදි කඳු වැටි ග්රැනිට් පාෂාණමය මුදුන්වලින් යුක්තය.

මෙම අර්ධද්වීපයෙහි අවුරුද්ද මුළුල්ලෙහි ජලය ගලා බස්නා ගංගා නැත. වර්ෂා කාලයේ දී පමණක් දියෙන් පිරෙන "වාඩි" නම් වූ වියළි ගංගා රාශියක් මෙහි වෙයි. රතු මුහුදට බෑවුම් වී ඇති වාඩි සියල්ල ම ඉතා ගැඹුරුය. මේවා යාත්‍රාකිරීමට හෝ ගොවිතැනට ජලය ලබාගැනීමට හෝ යෝග්‍ය වනුයේ කලාතුරකිනි. පර්සියන් වරායට බෑවුම් වී ඇති වාඩි නොගැඹුරු නිම්නවල පිහිටි හෙයින් ගමනාගමනයට උපකාරී වේ. වාඩි ඔස්සේ ගලායන දියපාරවලින් ජලය ලබන ක්ෂේමභූමි කීපයක් අරාබි අර්ධද්වීපයෙහි ඇත්තේය. ඉන් වාඩි සිරා, වාඩි සහාබා, වාඩි රුම්මා සහ වාඩි-අල්-ඩවාසිර් යන මේවා වැදගත්ය.

2-36-1.jpg

දේශගුණය:

අරාබි අර්ධද්වීපය ලෝකයේ ඉතා ම වියළි ප්‍රදේශවලින් එකක් ලෙස පිළිගනු ලැබූවකි. එසේ ම එය ලෝකයේ විශාල කාන්තාර ප්‍රදේශවලින් එකක් ද වේ. එහි අඟල් 8කට අධික වර්ෂාපතනයක් ලබනුයේ යේමන් කඳු පමණි. සමහර විටෙක අඟල් 15–20ක පමණ වර්ෂාපතනයක් ලබන මේ පෙදෙස්වලට "භාග්‍ය සම්පන්න අරාබිය" යන අර්ථය ඇති "ඇරේබියා ෆීලික්ස්" යන නාමය ව්‍යවහාර කරනු ලැබේ. අරාබියේ සාමාන්‍ය උෂ්ණත්වය පැ. 130° දක්වා නඟී. ශීඝ්‍ර විකිරණය නිසා රාත්‍රි කාලය ඉතා ශීතල වේ. දෛනික උෂ්ණත්ව අන්තරය පැ. 20°ක් පමණ වන අවස්ථා ද වේ. දූවිලි සහිතව හමන උණුසුම් වියළි හුළං මහත් පීඩා ඇති කරයි.

මෙහි නියම කාන්තාර ඩහානාහ්, නෙෆූඩ්, අහ්ඛාපා සහ හැරා යයි වර්ග සතරකි (අරාබි කාන්තාරය බ.). තැනින් තැන වැලි කඳු සහිත, තද බොරලුවලින් යුත් ඩහානාහ් වර්ගයේ විශාල කාන්තාර ප්‍රදේශයක් අර්ධද්වීපය දකුණේ රුබ්- අල්-බාලි නමින් හැඳින්වේ. මීට පටු වූ උතුරු කාන්තාර ප්‍රදේශය නෙෆූඩ් වර්ගයේ කාන්තාරයකි. එහි වැලි කඳු ඉතා උසය. මේ පෙදෙස්වල ජලය ඉතා හිඟය. ගමනාගමනය ද අතිශයින් දුෂ්කරය. පතොක් පවා මෙහි නොවැවේ. අර්ධද්වීපයෙහි ඉතුරු කොටසෙහි පිහිටි අර්ධ කාන්තාර (ස්ටෙප්) පෙදෙස්වල පොළොව දැඩි බොරලු සහිත වුව ද, තැනින් තැන පිහිටි කුඩා ජලාශ සමීපයෙහි පතොක් ආදි කාන්තාරීය පැළෑටි වැවේ. ඉතා සිනිඳු වැල්ලෙන් සැදුණු වැලිකඳු බහුල අහ්ඛාපා වර්ගයේ කාන්තාර හා ලාවා වැටි සහිත හැරා වර්ගයේ කාන්තාර නෙයිඩ් ප්‍රදේශයේ ඇත. අරාබි ක්ෂේමභූමි පිහිටා ඇත්තේ අර්ධද්වීපය මධ්‍යයෙහි වූ කොසීම් පළාත අවට සහ වර්ෂාව ලැබෙන වෙරළාසන්න කඳුබෑවුම් සමීපයෙහිය.


රැකීරක්ෂා කටයුතු:

අරාබි අර්ධද්වීපයෙහි සියලු ම රැකීරක්ෂා කටයුතු ක්ෂේමභූමි සහ වෙරළාසන්න වර්ෂාධික තැනිතලාවලට සීමා වී තිබේ. යේමන් සහ ඒ අවට සාරවත් ප්‍රදේශවල කෝපි වැවීම දියුණුය. සුප්‍රසිද්ධ මෝවා කෝපිවල මාතෘභූමිය අරාබි අර්ධද්වීපයයි. දුම්කොළ ද, තිරිඟු, මිලට් ආදි ධාන්‍ය වර්ග ද සුළු වශයෙන් වවනු ලැබේ. රටඉඳි සෑම ක්ෂේමභූමියක ම පාහේ වවනු ලැබේ. අරාබි අශ්වයෝ ජව වේගය සම්බන්ධයෙන් ලෝකප්‍රසිද්ධය. ඔටුවෝ කාන්තාරය හරහා ගමනාගමනයට ද වෙළඳාමට ද මහෝපකාරී වෙත්. එළු, බැටළු සහ බූරු යන සතුන් ද මෙහි ඇති කරති. බාහ්රේන් දූපත්හි පිහිටි ඛනිජතෙල් නිධි අරාබි අර්ධද්වීපයට ධනය ලබාදෙන ප්‍රධාන මාර්ගයයි. මසුන් මැරීම සහ මුතු කිමිදීම වැදගත් රැකීරක්ෂාය.

අර්ධද්වීපයේ ජනගහනය (1953) 1,34,13,000 පමණ වේ. [සවුදි අරාබිය (1952; 70,00,000) යේමන් (1952; 45,00,000) ඒඩන් යටත් විජිතය (1952; 1,38,441) ඒඩන් ආරක්ෂිත ප්‍රදේශය (1952; 8,00,000) කුවයිට් (1952; 2,00,000) ඕමන් හා මස්කත් (1952; 5,50,000) බාහ්රේන් (1952; 1,09,650) කතාර් (1955; 35,000)]. මොවුන්ගෙන් වැඩිදෙනා නොයෙක් නිකායවලට අයත් මුස්ලිම් භක්තිකයෝය. රතු මුහුද අසල පිහිටි මක්කම ප්‍රධාන පූජනීය නගරයයි. ප්‍රධාන නාවික මාර්ගයක් වූ සූවස් ඇළ සහ මැද පෙරදිග ඛනිජතෙල් නිධි නිසා විශේෂයෙන් අරාබි අර්ධද්වීපයේ වෙරළාසන්න පෙදෙස් වැදගත් වී ඇත. මක්කම (1954; 90,000) ඒඩන් (1952: 99,285) කුවයිට් (1953; 25,000) සහ රියාද් (1954; 1,00,000) අරාබි අර්ධද්වීපයෙහි පිහිටි ප්‍රධාන නගරයි. (අරාබි කාන්තාරය; ඒඩන්; ඕමන්; යේමන්; සවුදි අරාබිය යන ලිපි බ.)


ඉතිහාසය:

අරාබිය සැමිටික් ජාතිකයින්ගේ වාස භූමියයි. අරාබියේ ආදි ඉතිහාසය පැටලිලි සහිත එකකි. අරාබි ජාතිකයෝ කවරහු ද ඔවුන් අරාබියට පැමිණියේ කිනම් රටක සිට ද, ඔවුන් හා සැමිටික් භාෂා කථා කරන වෙනත් ජාතීන් අතර ඇති සම්බන්ධය කුමක් ද යනාදි ප්‍රශ්නවලට පිළිතුරු දීම දුෂ්කරය. අරාබිය සැමිටික් ජාතිකයන්ගේ මුල්භූමිය වශයෙන් සමහර පඬුවෝ සලකති. සැමිටික් ජාතිකයින් වරින් වර මේ ප්‍රදේශයෙන් වෙන ප්‍රදේශවලට සංක්‍රමණය වී ඇතත් ඒ පිළිබඳ විස්තර තොරතුරු අප්‍රකටයි. කෙසේ හෝ දහනවවන ශතවර්ෂයේ අග හරියේ දී සොයාගත් අරාබි සෙල්ලිපි අනුව ක්‍රි.පූ. 1000 පමණ කාලයේ සිට ම අරාබියේ සමෘද්ධිමත් සභ්‍යත්වයක් පැවැති බව පෙනේ. ක්‍රි.පූ. හත්වන සියවසේ දී පමණ දියුණු ශිෂ්ටාචාරයන්ගෙන් යුත් රාජ්‍යයන් යටත් පිරිසෙයින් සතරක්වත් අරාබියෙහි තුබූ බවට මේ සෙල්ලිපි දෙස් දෙයි. මිනියොන්, සබ, හද්‍රමෞත් සහ කතබනු යනු මේ රාජ්‍යයන්ගේ නාමයෝයි. තුන්වන හා සිව්වන රාජ්‍යයන් ගැන එතරම් තොරතුරු ලැබී නැතත් පළමුවන දෙවන රාජධානි ගැන සැලකිය යුතු විස්තරයක් ලැබී ඇත. මිනියොන් රාජ්‍යය ක්‍රි.පූ. 1200 පමණ සිට ක්‍රි.පූ. 650 දක්වා යේමන්හි ජවුෆ් ප්‍රදේශයේ පිහිටා තුබූ බව පෙනේ. මේ ප්‍රදේශය පාලනය කළ රජවරුන් විසිපස් දෙනකුගේ පමණ නම් අරාබි සෙල්ලිපිවලින් හෙළි වෙයි. උතුරු අරාබියේ අල්-උලා නමැති ප්‍රදේශයේ තිබී සොයාගත් මිනියොන් බසින් ලියන ලද සෙල්ලිපිවලින් පෙනීයන්නේ මේ ප්‍රදේශයේ ද ඔවුන් විසින් ජනපද පිහිටුවා තුබුණු බවය. මොවුන්ගේ සමකාලිකයින් හැටියට සැලකෙන සැබියන් රජවරුන්ගේ සෙල්ලිපිවල මිනියොන්වරුන් ගැන කිසි ම සඳහනක් නැත.

සැබියන් පාලන යුගය: මිනියොන්වරුන්ගේ පාලන යුගය ආරම්භ වීමෙන් ශතවර්ෂ දෙකකට පමණ පසු, එනම් ක්‍රි.පූ. 10 වන සියවසේ පමණ, ඇතිවී යයි සැලකෙන සැබියන් පාලන යුගය ඒ පාලකයින්ගේ නම්ගොත් අනුව පාලන යුග කිහිපයකට බෙදිය හැක. සැබියන් පාලනයේ මුල් යුගයට අයත් වන ක්‍රි.පූ. දහවන සියවසටත් හත්වන සියවසටත් අතර කාල පරිච්ඡේදයෙහි රට පාලනය කරන ලද්දේ "මුකරිබ්සබ" නමැති පූජක රජවරුන් විසිනි. සිර්වාහ් (ඛරිබාහ්) නගරය ඔවුන්ගේ අගනුවර විය. සැබියන් ඉතිහාසයේ දෙවන යුගය ආරම්භ වන්නේ ක්‍රි.පූ. 650 පමණ කාලයේ සිටය. මේ යුගයේ දී එහි රජවරුන් හැඳින්වුණේ මුල්ක්සබ (සබානි රජවරුන්) යනුවෙනි. එවක සැබියන් අගනුවර වූයේ මාරිබ් නගරයයි. ඔවුන්ගේ පාලනය ක්‍රි.පූ. 115 වර්ෂය දක්වා පැවැත්තේය. අනතුරුව සැබියන් ප්‍රදේශයේ රජබවට පත් වූයේ හිම්යාර් නමැති රාජවංශයයි. ඒ රජුන් බලයට පත්වීමෙන් පසු ඔවුන්ට ඔවුන්ගේ අසල්වැසි හද්‍රමෞත් සහ කතබනු රාජ්‍යවල රජවරුන් සමග නිරන්තරයෙන් ම යුද්ධ කරන්නට සිදු විය.

යුදෙව් රාජ්‍යය: මේ යුද්ධවල ප්‍රතිඵලය වූයේ ක්‍රි.පූ. 115 දී පමණ දකුණු අරාබියේ ආධිපත්‍යය සැබියන්වරුන්ගෙන් ඉවත්වී හිම්යාර්වරුන්ට අයත් වීමය. මේ අලුත් පාලකයින් හැඳින්වුණේ සබාහි සහ රයිදන්හි රජවරුන් වශයෙනි. ඔවුන්ගේ අගනුවර වූයේ සෆාර් නගරයයි. ක්‍රි.පූ. පළමු සියවසේ දී රෝමවරුන් විසින් අරාබිය ආක්‍රමණය කළ නමුත් එය එතරම් සාර්ථක වූ බවක් නොපෙනේ. ඒ කාලයේ දී ම, කලින් අරාබියේ සිට අප්‍රිකාවට සංක්‍රමණය වී සිටි ඇබිසීනියානු කණ්ඩායමක් නැවත අවුත් අරාබියට කඩා වැදී ක්‍රිස්තු වර්ෂයෙන් සිව්වන සියවස පමණ වන විට අරාබියේ දකුණු කෙළවරේ ඔවුන්ගේ රාජ්‍යයක් පිහිටුවා ගත්හ. එහෙත් මේ නිසා හිම්යාර්වරුන්ගේ බලය සම්පූර්ණයෙන් ම බිඳ නොවැටිණ. මේ කාලය වන විට ඔවුන්ගෙන් සමහරෙක් යුදෙව් ආගම වැළඳ ගෙන සිටියහ. යුදෙව් ආගම පිළිගත් හිම්යාර්වරුන් එක්වී පිහිටුවා ගත් රාජ්‍යයට "යුදෙව් රාජ්‍යය" යන නම ලැබිණ. මීළඟට මොවුන් හා ඇබිසීනියන්වරුන් අතර ද යුද්ධ කෝලාහල ඇති වූයේ ආගම මුල්කොටගෙනය. ඇබිසීනියන්වරුන්ගේ ආගම ක්‍රිස්තියානිය විය. ක්‍රිස්තියානි ආගමික බයිසැන්ටයින් රාජ්‍යයේ ද ආධාර ඇතිව ඇබිසීනියානුවන් හිම්යාර්වරුන්ට විරුද්ධව කරන ලද සටන් ක්‍රි.ව. 525 පමණ වන විට බොහෝ දුරට සාර්ථක විය. එහෙත් ක්‍රි.ව. 575 දී පමණ හිම්යාර්වරුන්ට ආධාර දීමට පර්සියානුවරු අරාබියට පැමිණියහ. කල් යාමේ දී ආධාර දීමට පැමිණි පර්සියානුවරු ඒ ප්‍රදේශය යටත් කොට ගෙන ඔවුන්ගේ ම ආණ්ඩුකාරයන් පාලනය සඳහා පත් කළහ.

සැබියන්වරුන්ගේ රාජ්‍ය කාලයේ අවසාන කොටසේ දී පමණ කතබානු රාජ්‍යයත්, හද්‍රමෞත් රාජ්‍යයත් පහළ වී යයි කිව හැක. මේ රාජ්‍ය දෙකට අයත්ව තුබූයේ අරාබියේ දකුණු කොටසේ ප්‍රදේශ දෙකකි. කතබානු රාජ්‍යයේ අගනුවර "තම්න" වූ අතර හද්‍රමෞත් රාජ්‍යයේ අගනුවර "සබොතා" විය. මේ හැර මේ රාජ්‍ය දෙක ගැන විස්තර අප්‍රකටයි.

නැබතියන් රාජ්‍යය: අරාබියේ දකුණු කොටසේ තුබූ මේ රාජ්‍ය හැරුණු විට එහි අනික් කොටස්වල ද කුඩා රාජ්‍ය කිහිපයක් තුබූ බවට සාක්ෂි ඇත. ඉන් පැරණි ම රාජ්‍යය හැටියට සැලකිය හැක්කේ "නැබතියන්" රාජ්‍යයයි. නැබතියන්වරු ක්‍රි.පූ. හයවන සියවසේ මුල භාගයේ දී පමණ ට්‍රාන්ස් ජෝර්දානය නමින් දැනට හැඳින්වෙන ප්‍රදේශයේ සිට ගෝත්‍ර වශයෙන් පැමිණ ඉදුමියන්වරුන්ට අයත්ව තුබූ ප්‍රදේශය අත්පත් කොට ගෙන පසු කලක පෙත්‍රා නගරය ද ඔවුන්ගෙන් පැහැර ගත්හයි කියති. මීට සුළු කලකට පසු ඊට යාබද ප්‍රදේශ ද යටත් කොට ගෙන ඔවුන්ගේ රාජධානිය පිහිටුවා ගන්නා ලදි. ක්‍රි.පූ. 312 පමණ වන විට එකල සිරියාවේ පාලකයා වූ ඇන්ටිගොනස් රජු විසින් කරන ලද ආක්‍රමණ දෙකකට ම සාර්ථක ලෙස මුහුණ දීමට ඔවුන්ට හැකි විය. ක්‍රි.පූ. පළමු වන සියවස පමණ වන විට නැබතියන් රාජ්‍යය උතුරු දෙසින් දමස්කස් ප්‍රදේශය දක්වා පැතිර තුබූ බව කියති. මේ කාලයේ දී ඔවුන් රෝම අධිරාජ්‍යයට පක්ෂ වූවන් හැටියට පෙනී සිටි බව කියැවේ. එහෙත් ඒ සුළු කලකට පමණි. ක්‍රි.ව. 105 දී ට්‍රෙජන් (53-117) නමැති රෝම අධිරාජයා විසින් මේ රාජ්‍යය යටත් කරගන්නා ලදුව ක්‍රි.ව. 106 දී එය රෝම පළාතක් හැටියට රෝම අධිරාජ්‍යයට ඈඳා ගන්නා ලද බැවිනි.

පැල්මයිරා රාජ්‍යය: මේ වකවානුවට ආසන්න කාල පරිච්ඡේදයේ දී සිරියා ක්ෂේම භූමියේ ද කුඩා රාජ්‍යයක් පිහිටා තුබූ බව පෙනී යයි. පැල්මයිරා නමින් හැඳින්වුණු මේ පැරණි රාජ්‍යය පිහිටා තුබුණේ රෝම අධිරාජ්‍යයටත් පාතියන් අධිරාජ්‍යයටත් අතර වූ ප්‍රදේශයකය. පාතියන්වරුන් මෙසපොටේමියාව ආක්‍රමණය කිරීම නිසා වෙළඳාම පිණිස බඩු එහා මෙහා ගෙන යාම පිණිස අලුත් මාර්ග යොදා ගැනීමට සිදුවූයෙන් මේ යුගයේ දී පැල්මයිරා නගරය ප්‍රසිද්ධියට පත් විය. අරාබිවරුන් මේ ප්‍රදේශය අත්පත් කර ගත්තේ කවර කලෙක දැයි නිශ්චය වශයෙන් කිව නොහේ. නැබතියන් රාජ්‍යය මෙන් ම මේ රාජ්‍යය ද හේඩ්රියන් (117–38) නමැති රෝම අධිරාජයා ගේ කාලයේ දී රෝම අධිරාජ්‍යයට ඈඳාගන්නා ලදී. සෙප්ටිමියස් සෙවරස් (193-211) නමැති රෝම අධිරාජයා පැල්මයිරා ප්‍රදේශය හා ඊට යටත්ව තුබූ නගර ද ප්‍රාදේශික රෝම නගර බවට පෙරළීය.

හිරා රාජ්‍යය: අරාබියේ උතුරු කොටසේ ද එබඳු කුඩා රාජ්‍යයක් පිහිටා තුබූ බව පෙනේ. හිරා (අල්-හිරා) නමින් හැඳින්වුණු මේ රාජ්‍යය පිහිටා තුබුණේ යුෆ්‍රටීස් නදියටත් අරාබි කාන්තාරයටත් අතර වූ සාරවත් භූමි ප්‍රදේශයේය. එහි ප්‍රධාන නගරය හැඳින්වුණේ ද "හිරා" නමිනි. මේ රාජ්‍යය පාලනය කළ ප්‍රථම රාජවංශය හැටියට පෙනෙනුයේ "ලඛ්මිද්" වරුන්ය. මොවුන්ගේ පාලනය කිතුවසින් තුන්වන සියවසේ දී පමණ ආරම්භ වී ක්‍රි.ව. 600 දී පමණ අවසන් වූ බව පෙනේ. මේ කාලයෙන් වැඩි කොටසක් රෝමවරුන් සමග හා ඝසාන්වරුන් සමග ඇතිවුණු යුද්ධ කටයුතු සඳහා යොදවන්නට සිදුවිය. ඔවුන් එකල පර්සියානු අධිරාජ්‍යයට හිතවත්ව සිටි බවට සාක්ෂ්‍ය ඇත. ක්‍රි.ව. 602 දී පමණ ලඛ්මිද් රාජ වංශයේ වැටීමෙන් පසු මේ ප්‍රදේශය පාලනය වූයේ පර්සියානු ආණ්ඩුකාරයකු යටතෙහිය.

මේ වකවානුවේ දී ම අරාබියේ උතුරේ තුබූ කුඩා රාජ්‍යයක් ගැන ඉතිහාසයේ සඳහන් වෙයි. යට දක්වන ලද පැල්මයිරා රාජ්‍යයේ වැටීම නිසා අලුත් වෙළඳ මාර්ග සොයා ගැනීමට සිදුවිය. මෙහි ප්‍රතිඵලය වූයේ මුලින් පැල්මයිරා නගරයට ලැබී තුබූ තැන හව්රාන්හි බස්රා වැනි ඝසාන් නගරවලට ලැබීමය. මේ ප්‍රදේශයේ මුලින් ම වාසය කළ ජැෆ්නිද් ගෝත්‍රික ඝසාන්වරුන් දකුණු අරාබියේ පැරණි ගෝත්‍රයකින් පැවත එන්නන් බව කියති. එහෙත් මේ ප්‍රදේශය පළමුවෙන් ම පාලනය කළ ගෝත්‍රය හැඳින්වුණේ "යමිනි" නමිනි. මොව්හු දමස්කස් ප්‍රදේශයට ගිනිකොනින් පිහිටි භූමිප්‍රදේශය අත්පත් කොට ගෙන එහි රාජ්‍යයක් පිහිටුවා ගත්හ. ක්‍රි.ව. තුන්වන සියවසේ අග කොටසේ දී පමණ ඇරඹුණු මේ රාජ්‍යය හයවන සියවස පමණ වන විට දියුණු තත්වයකට පත්ව තුබුණි. එහෙත් සත්වන සියවසේ මුල හරියේ දී එය අරාජික රාජ්‍යයක් බවට පත් වූයෙන් සිරියානු කාන්තාරයේ ජීවත් වූ නා නා ගෝත්‍රිකයෝ ඔවුන්ගේ ම නායකයන් තෝරාගෙන කුඩා ගෝත්‍ර රාජ්‍ය පිහිටුවා ගත්හ. මෙසේ ඝසාන් රාජ්‍යය කුඩා කොටස්වලට කැඩී ගියේය. තවත් කොටසක් පර්සියානු ආධිපත්‍යයට යටත් විය. ක්‍රි.ව. 613 දී පමණ යෙරුසලම හා දමස්කස් නගරය සාසාන් ගෝත්‍රික ඛුෂ්රාවෝ පාවිස්ගේ යටතට පත්වීම නිසා ඝසාන් රාජ්‍යය සම්පූර්ණයෙන් ම බිඳ වැටිණි.

කිතුවසින් පස්වන සියවසේ අගහරියේ දී පමණ මධ්‍යම අරාබියේ ද අලුත් රාජ්‍යයක් බිහි වූ බවට සාක්ෂ්‍ය ලැබේ. අරාබියේ දකුණු කොටසින් පැමිණියේ යයි සලකන "කින්ද" නමැති ගෝත්‍රයක් මේ ප්‍රදේශයේ පළමුවෙන් ම බලයට පත් වූ බව පෙනේ. මොවුන්ගේ රාජ්‍යය පිහිටා තුබුණේ "හද්‍රමෞත්" රාජ්‍යයට බටහිරින් බව කියති. මෙහි මුල් රාජවංශයේ ආරම්භකයා වූයේ ආකිල් අල් මුරාර් නමැත්තෙකි. මේ රාජවංශයේ රජවරුන් හිතවත්කම් දැක්වූයේ යේමන් රජවරුන්ටය. හයවන සියවසේ අගහරියේ දී පමණ රටේ ඇති වූ ආභ්‍යන්තරික වියවුල් නිසා ම එහි වැටීම සිදු විය.

යට දක්වන ලද්දේ ක්‍රි.ව. සවැනි සියවස දක්වා අරාබියේ ඒ ඒ පෙදෙස්වල තුබූ ප්‍රධාන කුඩා රාජ්‍යයන් ගැන විස්තරයකි. මේ කුඩා රාජ්‍යයන් හැරුණු විට, ඊටත් කුඩා සුළු රාජ්‍යයන් ද විශාල සංඛ්‍යාවක් අරාබි දේශයේ සෑම කොටසක ම පාහේ තුබුණු බව පෙනේ. හවන සියවසේ දී අරාබියේ දේශපාලන කටයුතු පැවැත්තේ ඉතා ව්‍යාකූල තත්වයකය. ප්‍රධාන වශයෙන් බනු නමැති ගෝත්‍රිකයන් පදිංචිව සිටි "බහ්රේන්" ප්‍රදේශය මේ කාලය වන විට පර්සියානු බලපෑමට යටත්ව තුබුණි. එහි ප්‍රධාන නගරය වූ හජර්හි විසූ පර්සියානු ආණ්ඩුකාරයකු විසින් ඒ අවට ප්‍රදේශය පාලනය කරන ලදි. මෙකල අරාබියේ බටහිර වෙරළබඩ ප්‍රදේශයේ පැතිර පැවැත්තේ යේමන් රාජ්‍යයේ බලයයි. හෙජාස් ප්‍රදේශයේ තුබූ කුඩා නගර විශාල සංඛ්‍යාවක් ම පාලනය වූයේ ඒ ඒ නගරවල ම පිහිටුවා ගත් ආණ්ඩු මගිනි. මේ නගර අවට වූ ප්‍රදේශ පාලනය වූයේ ද ගෝත්‍ර නායකයින් මගිනි. මේ නිසා ඔවුන් අතර නිරන්තරයෙන් ම යුද්ධ කෝලාහල ඇතිවිය. මේ කුඩා රාජ්‍යයන් හැරණු විට අරාබියේ නොයෙක් පෙදෙස්වල සංචාරක ගෝත්‍ර වශයෙන් ජීවත්වීමෙන් ගෝත්‍ර පාලනයක් ගෙන ගිය කණ්ඩායම් ද විය.

මහමත්තුමාගේ රාජ්‍යය: මහමත්තුමා (බ.) උපන්නේ අරාබි අර්ධද්වීපයේ මෙවැනි ව්‍යාකූල දේශපාලන තත්වයක් පැවතුණු සමයකය. එතුමා මක්කම සිට මැඩිනා ප්‍රදේශයට පලා යාමෙන් පසු එහි දී ආරම්භ කළ කුඩා ආගමික රාජ්‍යය ස්වල්ප කලක දී ම විශාල අධිරාජ්‍යයක් බවට පත් විය. එතුමා මේ සඳහා උපයෝගී කොට ගත්තේ තමා දෙසූ (ඉස්ලාම්) ආගමත්, ස්වදේශා නුරාගයත්ය. මහමත්තුමාගේ ධර්මය හා නායකත්වය පිළිගත්තාවූ, මක්කම හා මැඩීනාහි විසූ මිනිසුන් කණ්ඩායමකින් ආරම්භ කළ එතුමාගේ ආගමික රාජ්‍යය ක්‍රි.ව. 632 දී එතුමා මිය යන විට මුළු අරාබි ප්‍රදේශයේ ම පාහේ පැතිරී පැවැත්තේය. ඒ තාක් කිසි කලෙක නොපැවති දේශපාලන එක්සත්කමක් ද අරාබියට ලැබිණ. මහත්තුමාගෙන් පසු අරාබි රාජ්‍යයේ රජකමට පත්වූවන් හැඳින්වූයේ කාලිෆ් යන නමිනි. අරාබියේ ප්‍රථම කාලිෆ්වරයා වූයේ අබූ බකර් (632-634) (බ.) නමැත්තෙකි. ඔහුගේ රාජ්‍යසමයේ දී මුළු අරාබි අර්ධද්වීපය ම ඔහුගේ ආධිපත්‍යයට යටත්ව තුබුණි. එයින් තෘප්තියට පත් නොවූ හෙතෙම අරාබියට ආසන්නව පිහිටි ප්‍රදේශයන් ද ආක්‍රමණය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කෙළේය. ඔහුගේ රාජ්‍ය කාලයේ මුල් අවුරුද්දේ ම, ඔහු විසින් පර්සියානු රාජ්‍යයට හා බයිසැන්ටයින් අධිරාජ්‍යයට විරුද්ධව යුද්ධ සේනා පිටත් කොට යවන ලදී. මේ ආක්‍රමණ එතරම් සාර්ථක වූ බවක් නො පෙනෙතත්, ඔහුගෙන් පසු කාලිෆ් තනතුරට පත්වූ උමර්ගේ (634–644) කාලයේ දී අරාබිවරුන් විසින් පර්සියන්වරුන් පරාජය කරනු ලැබුවා පමණක් නොව ඉරාක් ප්‍රදේශය ද සම්පූර්ණයෙන් ම යටත් කොට ගන්නා ලදි. කුෆා සහ බස්රා යන නගරද්වය (ක්‍රි.ව. 635) පිහිටුවන ලද්දේ ද උමර්ගේ කාලයේ දී ය. ක්‍රි.ව. 635 දී දමස්කස් ප්‍රදේශය ද අරාබි රාජ්‍යයට යටත් විය. ඊළඟ අවුරුද්දේ දී යෙරුසලම ද අරාබිවරුන්ට අයිති විය. ක්‍රි.ව. 641 දී සිදු වූ සටනකින් පැරද පර්සියාවේ අවසාන සාසාන් රජු පලායාම නිසා මුළු පර්සියාව ම අරාබි රාජ්‍යයට ඈඳා ගත හැකි විය. ක්‍රමයෙන් මෙසේ වැඩෙමින් පැවැති අරාබි රාජ්‍යය තුන්වන කාලිෆ්වරයා වූ උස්මාන් (ඔත්මන්)ගේ (644-656) කාලයේ දී ඇති වූ ආභ්‍යන්තරික කලකෝලාහල නිසා පිරිහීමට පටන්ගත් බව පෙනේ. කෙසේ හෝ අරාබිවරුන් ඇරඹූ විදේශ ආක්‍රමණ මේ යුගයේ ද නොකඩවා ගෙනයන ලදි. එබැවින් අරාබි රාජ්‍යය උතුරෙන්, ආමීනියාව, සහ සුළු ආසියාව දක්වා ද බටහිරින් අප්‍රිකාවේ කාතේජ් ප්‍රදේශය දක්වා ද මේ වන විට විහිද ගොස් තිබිණ. උස්මාන්ගේ මරණින් පසු කාලිෆ් තනතුරට පත් වූ අලිගේ (651–661) පාලන යුගය එතරම් සාමකාමී නොවීය. ඔහු කාලිෆ් තනතුරට පත් වූ නොබෝ කලකින් ම ඔහුට විරුද්ධව කැරලි ගැසූ මුආවියා නමැති සිරියාවේ ආණ්ඩුකාරයාට ක්‍රි.ව. 659 දී අලි කාලිෆ් තනතුරෙන් පහ කිරීමට හැකි විය. ක්‍රි.ව. 661 දී දමස්කස් නගරය රාජ්‍යයේ අගනුවර වශයෙන් තෝරා ගත් ඔහු අලුත් රාජ වංශයක මුල පිරුවේය. ඔහුගෙන් පටන් ගත් රාජවංශය හැඳින් වුණේ "උමයියාද්" නමිනි. මේ රාජවංශයේ මුල් යුගයේ දී නිරන්තරයෙන් ම රටේ අභ්‍යන්තර කෝලාහල ඇති විය. එහෙත් ක්‍රි.ව. 745 දක්වා ම අරාබියේ මෙන් ම අරාබි අධිරාජ්‍යයේ ද එක්සත්කම රැක ගැනීමට උමයියාද් කාලිෆ්වරුන්ට හැකි විය. මේ වංශයේ කාලිෆ්වරුන් 13 දෙනකුගේ පමණ පාලනයෙන් පසු කාලිෆ් තනතුරට පත්වූයේ අබුල් අබ්බාස් (750–754) (අබ්බාස් I. බ.) නමැත්තෙකි. ඔහුගෙන් ඇරඹුණු රාජවංශය හැඳින්වුණේ අබ්බාස් කාලිෆ් වංශය යනුවෙනි. (අබ්බාසිද් බ.). දමස්කස් නගරය අත්හැර ගිය ඔව්හු අරාබි අධිරාජ්‍යයේ අගනුවර හැටියට පළමුවෙන් කුෆා නගරය ද ඊට ස්වල්ප කලකට පසු අන්බර් නගරය ද ක්‍රි.ව. 762 දී බැග්ඩෑඩ් නගරය ද තෝරා ගත්හ. අගනුවර වරින් වර වෙනස් කිරීමට හේතු වූයේ ද අරාබියේ මෙන් ම අරාබි අධිරාජ්‍යයේ ද තත්වය මේ කාලය වන විට ක්‍රමයෙන් පිරිහී යාමය. අබ්බාස් රාජවංශයේ ආරම්භයේ පටන් ම අරාබි රාජ්‍යයේ පැවැත්ම සඳහා තුර්කි ජාතිකයින්ගේ හා පර්සියානුන්ගේ ආධාර නිතර ම පතන්නට සිදු විය. රජයේ උසස් නිලතලවලින් වැඩි කොටසක් දරන ලද්දේ ද විදේශකයින් විසිනි. මේ කාලය වන විට අරාබිවරුන්ගේ පෙර පැවැති රණකාමිත්වය ද ශීඝ්‍රයෙන් පිරිහෙමින් පැවතිණ. අබ්බාසිද් කාලිෆ්වරුන්ගේ පාලන යුගයේ අවසාන භාගයේ දී එනම් ක්‍රි.ව. 900 පමණේ දී අරාබිය, මහමත්තුමා එය එක්සත් කිරීමට පෙර පැවැති තත්වයට ම වැටෙන්ට පටන් ගෙන තුබුණි. එක් එක් ප්‍රදේශ වෙන් වෙන් වශයෙන් පැවැත්ම නැවත වරක් ඇරඹිණ. මේ පෙදෙස්වල විසූවන් ඉස්ලාම් ආගමේ නොයෙකුත් නිකායයන්ට බෙදී සිටීම මෙසේ වෙන් වෙන්ව විසීමට තවත් රුකුලක් විය. මේ නිසා ක්‍රි.ව. 1258 දී ඇති වූ මොංගල් ආක්‍රමණයට මුහුණ දීමට නොහැකි වූයෙන් බැග්ඩෑඩ්හි අබ්බාසිද් කාලිෆ් වංශය සම්පුර්ණයෙන් ම වාගේ බිඳ වැටිණ.

බැග්ඩෑඩ්හි කාලිෆ්වරුන්ගේ පාලන යුගයෙන් පසු අරාබියට පොදු ඉතිහාසයක් නැත. එහෙත් අබ්බාසිද්වරුන්ගේ පාලන යුගයේ අවසාන කොටසේ දී ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදී නිදහස් රාජ්‍යයක් බවට පත්වුණු ප්‍රදේශ කිහිපයක ම ඉතිහාසය වෙන් වෙන්ව සලකා බැලිය යුතුයි. අබ්බාසිද්වරුන්ගේ කාලයේ දී මුලින් ම වෙන් වී නිදහස් වුණු ප්‍රදේශ අතුරෙන් ඕමන් (බ.) සහ යේමන් (බ.) ප්‍රධානය. ඊළඟට අරාබියේ අබ්බාස්වරුන්ගේ පාලනයෙන් මිදී නිදහස් රාජ්‍යයක් බවට පත් වූයේ මක්කම සහ මෙඩීනා යන ආගමික නගර දෙක පිහිටා තුබූ හෙජාස් (බ.) ප්‍රදේශයයි.

ඔටෝමාන් අධිරාජ්‍යය හා බටහිර ජාතීහු: ක්‍රි.ව. 1258 සිට 1517 දක්වා අරාබි රාජ්‍යයේ බටහිර කොටස පාලනය වූයේ මිසරයේ මම්ලුක් සුල්තාන්වරුන් යටතේ සිටි අබ්බාස් වංශික නාම මාත්‍ර කාලිෆ්වරුන් පිරිසක් මගිනි. එහෙත් ක්‍රි.ව. 1517 දී සලීම් I නමැති ඔටෝමාන් සුල්තාන් විසින් අබ්බාස් වංශයේ අවසාන පාලකයා යටත් කොට ගෙන අරාබි රාජ්‍යය ද ඔටෝමාන් අධිරාජ්‍යයට ඈඳා ගනු ලැබ ඔටෝමාන් අධිරාජ්‍යයේ පාලකයින්ට කාලිෆ් තනතුර ද පවරා ගන්නා ලදි. මෙඩීනා ප්‍රදේශයේ පාලනය සඳහා ද ඔවුන්ගේ ම ආණ්ඩුකාරයෙක් පත් කරන ලදි. ක්‍රි.ව. 1517 සිට 1901 දක්වා මුළු අරාබි රාජ්‍යය ම පාහේ පැවතුණේ ඔටෝමාන් අධිරාජ්‍යයට අයත් කොටසක් හැටියටය. එහෙත් දහසයවන සියවසේ මුල් හරියේ දී අරාබියේ නැගෙනහිර කොටසේ ප්‍රදේශ කිහිපයක ම පාලනය ලබාගෙන සිටියේ ප්‍රතිකාල්වරුන්ය. බ්‍රිතාන්‍ය ජාතිකයින් ද මේ වන විට වෙළඳාම අල්ලා ගැනීම පිණිස අරාබි මුහුද හා පර්සියානු බොක්ක අසලට පැමිණ සිටි හෙයින් ඔවුන්ගේ බලපෑම ද අරාබියට දැනෙන්නට විය. ප්‍රතිකාල්වරුන්ගේ ආධිපත්‍යයට යටත්ව තුබූ පර්සියානු බොක්ක හා ඕමන් ප්‍රදේශයත්, දහහත්වන සියවසේ මැද භාගයේ දී ඔටෝමාන්වරුන්ට අහිමි විය. 1622 දී පර්සියානු බොක්ක ඔවුන්ට අහිමි වූයේ ඉංග්‍රීසීන්ගේ හා පර්සියානුන්ගේ විරුද්ධකම් නිසාය. ස්වදේශිකයින්ගේ විරුද්ධකම් නිසා ක්‍රි.ව. 1650 දී ඕමන් ප්‍රදේශය ඔවුන්ට අහිමි විය.

වහාබි ව්‍යාපාරය හා නූතන යුගය: අරාබි ඉතිහාසයේ නූතන යුගය ඇරඹෙන්නේ දහඅටවන සියවසේ මැද හරියේ දී පටන් ගැනුණු වහාබි ව්‍යාපාරයත් සමගය. වහාබි ව්‍යාපාරය ඇරඹුණේ මහමත් ඉබන් අබ්දල් වහාබ් (1703-1791) නමැති මධ්‍යම අරාබියේ නෙයිඩ් ප්‍රදේශයේ අයකු විසිනි. මුලින් ආගමික ව්‍යාපාරයක් වූ මෙයට ක්‍රි.ව. 1750 දී දරයියා ප්‍රදේශයේ සාවුද් අමීර්වරුන් සම්බන්ධ වීමෙන් පසු එය දේශපාලන ව්‍යාපාරයක් බවට පත් විය. ක්‍රි.ව. 1790 ටත් 1806ටත් අතර කාලය තුළ ඔව්හු උතුරු අරාබියේ ප්‍රදේශයන්ගෙන් වැඩි කොටසක් ද හෙජාස් ප්‍රදේශය ද පමණක් නොව සිරියාවේ සහ ඉරාකයේ දේශ සීමා අසල ප්‍රදේශ ද ආක්‍රමණය කළහ. මෙහි විසූ සමහර ගෝත්‍රිකයින් පර්සියන් බොක්ක අසල කොල්ල කෑම් ආදිය ද කරන්නට වූ හෙයින් ඒවා මැඩ පැවැත්වීමට ඔටෝමාන් සුල්තාන් යටතේ මිසරය පාලනය කළ ආණ්ඩුකාරයා වූ මහමද් අලි පාෂා සහ ඉංග්‍රීසීහු ද ඉදිරිපත් වූහ. මහමද් අලි පාෂා විසින් 1812 දී මෙඩීනාව ද, 1813 දී මක්කම ද යටත් කර ගන්නා ලදි. 1818 දී දරයියා නගරය ද වැටිණ. දරයියා නගරය වැටීමෙන් පසු වහාබිවරු ඔවුන්ගේ අගනුවර රියාද්හි පිහිටුවා ගත්හ. 1840 දී පමණ මිසර හමුදා අරාබියෙන් ඉවත්ව ගිය පසු වහාබිවරු නැවත වරක් අරාබියේ ඊශාන පෙදෙස පාලනය කරන්නට පටන් ගත්හ. එහෙත් ක්‍රි.ව. 1871 දී නැවත වරක් ඔවුන්ට සතුරු ආක්‍රමණවලට මුහුණ පාන්නට සිදුවිය. මේ අවුරුද්දේ දී අරාබියට කඩා වැදුණු තුර්කි හමුදා විසින් අල්හසා ප්‍රදේශය අල්ලා ගන්නා ලදි. ක්‍රි.ව. 1885 දී හයිල්හි රෂීද් අමීර්වරුන් විසින් වහාබිවරුන්ගේ දෙවන අගනුවර වූ රියාද් නගරය ද අල්ලා ගන්නා ලද නමුත් ක්‍රි.ව. 1902 දී අබ්දුල් අසීස් ඉබන් සාවුද් නමැත්තා රියාද් නගරය නැවත අත්පත් කොට ගෙන වහාබි රාජ්‍යය යළිත් ගොඩනැගීමට පටන් ගත්තේය. 1932 පමණ වන විට යේමන්, ඒඩන්, හද්‍රමෞත්, ඕමන් සහ කුවායිට් යන ප්‍රදේශ හැරුණු විට මුළු අරාබිය ම ඔහුගේ ආධිපත්‍යය පිළිගත්තේය. මේ අවුරුද්දේම ඔහු සවුදි අරාබි රාජ්‍යයේ රජු හැටියට පත්විය. (මීට පසු යුගයේ ඉතිහාසය සඳහා සවුදි අරාබිය බලන්න.)

2-39-1.jpg

සමාජ තත්වය: අරාබිවරු දැනට අරාබියේ සහ උතුරු අප්‍රිකාවේ ද බහුල වශයෙන් ජීවත් වෙති. ඔවුන්ගේ ගති පැවතුම් හා සිරිත් විරිත් ඔවුන් ජීවත්වන ප්‍රදේශවලට අනුව හැඩ ගැසී ඇත. මේ නිසා ඒ ඒ ප්‍රදේශයන්හි වසන අරාබිවරුන්ගේ සිරිත් විරිත් ආදියෙහි යම් යම් වෙනස්කම් දක්නට ඇත. මෙහි දැක්වෙන්නේ අරාබිවරුන්ගේ සමාජ තත්වය ගැන සාමාන්‍ය විස්තරයකි.

අරාබිවරුන් කාන්තාරබදව වෙසෙන්නන් හා නගරබදව වෙසෙන්නන් වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක. කාන්තාරයේ වසන අරාබිවරුන් හැඳින්වෙන්නේ ස්ථිර පදිංචියක් නැති සංචාරකයින් (නොමැඩ්වරුන්) හැටියටය. මේ වර්ගයට අයත් අරාබිවරුන්ගෙන් බොහෝදෙනකුන් අයත් වන්නේ (නිත්‍ය වාසයක් නැති) බෙඩුවින් ගණයටය. මොවුන් අනික් ජාතීන් හා මිශ්‍ර වී ඇත්තේ ඉතා මඳ වශයෙනි. ඔවුන් අවුරුදු දහස් ගණනකට පෙර ගත කළ ජීවිතයත් දැනට ගත කරන ජීවිතයත් අතර වැඩි වෙනසක් පෙනෙන්නට නැත. දැනට පවා ඔවුන් ජීවත් වන්නේ ගෝත්‍ර වශයෙනි. සෑම ගෝත්‍රයක් ම පාලනය වන්නේ "ෂීක්" නමින් හැඳින්වෙන ගෝත්‍ර නායකයකුගේ මගිනි. ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වී ඇත්තේ ඔටුවන් ඇති කිරීමය. සමහරු එළුවන්, බැටළුවන් වැනි සතුන් ද ඇති කරති. මේ අතර අශ්වයින් අයිති අරාබි ගෝත්‍රිකයෝ ද ස්වල්ප දෙනෙක් වෙති.

බෙඩුවින් අරාබීහු: බෙඩුවින් අරාබිවරු ඔවුන්ගේ එළු, බැටළු ආදි සතුන් උදෙසා තණබිම් සොයමින් තැනින් තැන යෙති. තණබිමක් ලැබුණු විගස ම එහි කූඩාරම් ගසාගෙන කාලයක් ජීවත්ව සිට නැවත අලුත් තණබිම් සොයා යෑම ඔවුන්ගේ සිරිතය. මෙසේ එක් ස්ථානයකින් තවත් ස්ථානයකට යන අවස්ථාවල දී ඔවුන්ගේ ස්ත්‍රීන් ද ළමා ළපටින් ද කැඳවා ගෙන යාම බෙඩුවින් අරාබිවරුන්ගේ සිරිතය. කූඩාරමේ එක් කොටසක් ස්ත්‍රීන් වෙනුවෙන් වෙන් කොට ඇත.

හිඟපාඩුකම් ඇති වූ අවස්ථාවල දී එක් ගෝත්‍රයක් තවත් ගෝත්‍රයකට අයිති එළු බැටළු ආදි සතුන් පැහැර ගැනීම කාන්තාරයේ නිතර ම පාහේ සිදු වන්නකි. ඈත අතීතයේ දී වෙළඳ තවලම් ආදියට පහර දී මංපැහැරීම ද රක්ෂාවක් වශයෙන් මොවුන් කළ බව පෙනේ. මෙවැනි මංපැහැරීම් වළක්වනු පිණිස කාන්තාර පොලිස් හමුදාව දැනට නිතර ම තවලම් මාර්ගයන්හි මුරසේවයෙහි යෙදෙති.

ස්වභාවයෙන් ම කාන්තාරයේ ජල පහසුව නැති හෙයින් මොවුන් ජලස්නානය කරනුයේ ඉතා කලාතුරකිනි. එහෙත් ඒ වෙනුවට වැල්ලෙන් ඇඟ පිරිසිදු කර ගැනීම ඔවුන්ගේ සිරිතක්ව පවතී. කෙතරම් කරදර ජීවිතයක් ඔවුන් කාන්තාරයේ ගත කළ ද ආගන්තුක සත්කාරය ඔවුන් අතින් නොපිරිහෙළා ඉටු වේ.

අරාබිවරුන්ගේ සාමාන්‍ය ඇඳුම කළු හෝ සුදු, ලිහිල් ලෝගුවකි. හිස් වැස්ම සඳහා පාවිච්චි කරන සළුවෙහි දෙකෙළවර උරහිස ද ඉක්මවා පහතට වැටේ. ස්ත්‍රීන් ද සාමාන්‍යයෙන් අඳින්නේ කළු ඇඳුම්ය. එහෙත් නගරබද අරාබි ස්ත්‍රීන් මෙන් මුහුණ වැසීමට ආවරණයක් පාවිච්චි කිරීමක් ඔවුන් අතර නැත. බෙඩුවින් අරාබිවරු සාමාන්‍යයෙන් කටුක ජීවිතයක් ගත කරන නමුත් ස්වභාවයෙන් ම ඔව්හු හොඳ ශරීර සනීපයෙන් යුක්ත අය වෙති. ඔව්හු බොහෝ විට හොඳට වැඩුණු අඟපසඟින් යුත් දැවැන්ත පුද්ගලයෝය.

පොහොසත් ගෝත්‍රවලට අයත් අරාබිවරුන්ගේ ප්‍රධාන ආහාරය තරුණ ඔටුවන්ගේ හෝ එළු බැටළු ආදීන්ගේ මස් හා බත්ය. කූඩාරමේ වසන පුරුෂයින් කෑම කා අවසාන වූ විට, ඉතිරිවන කෑම අනුභවයට ගැනීම ස්ත්‍රීන්ගේ සිරිතය. දුප්පත් ගෝත්‍රවල අයට නිතර ම මස් කෑමට වත්කමක් නැති බැවින් රට ඉඳි, ඔටුකිරි හා ඔටු කිරෙන් තැනූ කේජු ආදිය කා බී ඔව්හු ජීවත් වෙති. කාන්තාරයේ ඈත සංචාරය කරන අවස්ථාවල දී සති ගණන් ඔවුන් ජීවත් වන්නේ ඔටුකිරි හා ඔටුකිරෙන් තැනූ කේජු පමණක් ආහාර කොට ගැනීමෙනි.

අධිපති පවුල්වල අය හා පොහොසත් සංචාරි ගෝත්‍රිකයෝ සමහර විට තරමක අධ්‍යාපනයක් ලැබූවෝයි. ඔව්හු ස්වකීය භාෂාවට (අරාබි) දැඩි ආදරයක් දක්වන අතර, අධ්‍යාපනය ගැන ද සැලකිල්ලක් දක්වති. එහෙත් දුප්පත් අරාබිවරුන්ගෙන් බොහෝ දෙනකුට ස්වල්ප අධ්‍යාපනයක් පවා ලැබී නැත. දැනුදු අරාබි ජාතික ස්ත්‍රීන්ට - විශේෂයෙන් කාන්තාරයේ වසන ස්ත්‍රීන්ට — කියැවීම හෝ ලිවීම පවා උගන්වන්නේ ඉතා කලාතුරකිනි.

නගරබද අරාබීහු: නගරබදව ජීවත්වන අරාබිවරු වැඩි වශයෙන් ම වෙළෙන්දෝ ද කාර්මිකයෝ ද වෙති. ඉතා පොහොසත් අරාබිවරුන්ගෙන් සමහරෙක් මාළිගා වැනි ගෙවල්වල ජීවත් වෙති. එහෙත් නවීන සැප පහසුකම් සහිතව තැනුණු ගෙවල් ඇත්තේ ඉතා මඳ වශයෙනි. වැඩි වශයෙන් ම ගෙවල් තනා ඇත්තේ මෝඩ ගඩොල්වලිනි. දුප්පතුන්ගේ පැල්පත් අතු ආදියෙන් සෙවිලි කරන ලද්දේ වේ.

නගරබදව වෙසෙන අරාබිවරුන්ගෙන් සමහර අය අඳින්නේ යුරෝපීය ඇඳුම්ය. බොහෝ දෙනෙක් යුරෝපීය ඇඳුමේ සමහර අංගයන් හා ස්වදේශික ඇඳුමේ සමහර අංගයන් ද එක්කොට ගැනීමෙන් පිළියෙල කරගත් ඇඳුමක් අඳිති. නගරබද ගැහැනු සාමාන්‍යයෙන් මුහුණු වැස්මක් පාවිච්චි කිරීමට පුරුදුව සිටිති.

නගරබද අරාබිවරුන්ගේ ආහාරය කාන්තාරවාසී අරාබිවරුන්ගේ ආහාරයට වඩා වෙනස්ය. එළවළු හා පලතුරු වර්ග ආදියෙන් පිළියෙල වුණු කෑම වර්ග රාශියක් ඔව්හු අනුභව කරත්. කාන්තාර වාසී අරාබිවරුන්ට වඩා නගරබද අරාබිවරුන්ට අධ්‍යාපන පහසුකම් ද ලැබී ඇත. ක්‍රිස්තියානි ආගම වැළඳගත් කිහිපදෙනෙකුන් හැරුණු විට මුළු අරාබි වර්ගයා ම ඉස්ලාම් භක්තිකයෝය. දැනට ඉස්ලාම් ආගම නිකායයන් රාශියකට බෙදී ඇත. මේ හැම නිකායකට ම අයත් අරාබිවරු මෙකල අරාබියේ ජීවත්වෙති.

මහමත්තුමා උපදින්නටත් ශතවර්ෂ ගණනකට පෙර සිටම අරාබියේ නිරිත දිග, දැනට යේමන් නමින් හැඳින්වෙන පෙදෙසේ පැරණි අරාබි සභ්‍යත්වයක් තුබූ බව පෙනේ. ජොබ් නමැති යුදෙව් ජාතිකයා නාවික කටයුතු, ධීවර කර්මාන්තය හා වෙළඳාම සම්බන්ධව අරාබිවරුන්ගේ දක්ෂතාව ගැන සිය කෘතියක සඳහන් කොට ඇත. ඔවුන් එකල තාරකා ශාස්ත්‍රය හා ගණිත ශාස්ත්‍රය ගැන ද දැන සිටි බව කියැවේ. කුළු බඩු, සුවඳ විලවුන් හා ආලේප වර්ග වැනි වෙළඳ ද්‍රව්‍ය ඔවුන් බටහිර ඉන්දියාවෙන් ගෙනවුත් මිසරය, පලස්තීනය වැනි රටවලට වෙළඳාම පිණිස යැවූ බව ද පෙනේ. ඔවුන්ගේ පෙරදිග මුහුදු මාර්ගය කොරමැන්ඩල් වෙරළ, ලංකාව හා ඉන්දියන් සාගරයේ නැගෙනහිර සීමාව දක්වා එකල ද පැවැත්තේය. දැනට ලංකාවේ වසන යෝනක ජනයාගෙන් වැඩි දෙනෙක් ඉහත දී මෙහි පැමිණි අරාබි වෙළෙන්දන්ගෙන් පැවත එන්නෝ යයි විශ්වාස කරති (මරක්කල බ.). බටහිර දෙසින් අරාබිවරුන්ගේ වෙළඳාම හා මුහුදු මාර්ගය අප්‍රිකාවේ නැගෙනහිර වෙරළ දක්වා පැතිර පැවැත්තේය. අප්‍රිකාවේ නැගෙනහිර වෙරළ බදව ඔවුන්ගේ විජිතයන් කිහිපයක් ද වූ බව කියති. අරාබිවරුන්ගේ වෙළඳ මධ්‍යස්ථානය හා ප්‍රධාන නැව්තොට දැනට ඒඩන් නමින් දන්නා වරාය විය. උතුරෙන් ඔවුන්ගේ වෙළඳාම පලස්තීනය හා සිරියාව දක්වා විහිද ගොස් තුබුණි. එහෙත් හවන සියවස පමණ වන විට, ඊශ්‍රායෙල් රාජ්‍යයේත්, රෝම අධිරාජ්‍යයේත්, සාසානියන් රාජ්‍යයේත් නැඟීම නිසා අරාබිවරුන්ගේ මුහුදු බලය මෙන් ම වෙළඳාම ද පිරිහී ගොස් තුබුණි. එහෙත් ඉස්ලාම් ධර්මයේ පැතිරීමත් සමග ම අරාබිවරුන්ට නැවත වරක් ඔවුන්ගේ වෙළඳ කටයුතු අරඹන්නට හැකි විය. එවර ඔවුන්ගේ වෙළඳ ආධිපත්‍යය කුරුස යුද්ධ(බ.) පටන් ගැනීම දක්වා ම පැවතිණ. 16 වන සියවසේ සිට පෙරදිග වෙළඳාම ක්‍රමයෙන් යුරෝපීය ජාතීන් අතට පත්වූයෙන් අරාබිවරුන්ගේ විදේශීය වෙළඳාම මුළුමනින්ම වාගේ ඇන හිටියේය.

පොත්පත්:

Hitti, P. K. — History of the Arabs

Lewis, B. — The Arab in History

Durant, W. — The Age of Faith

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අරාබි_අර්ධද්වීපය&oldid=3919" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි