අවයව

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

තමා ලද දැනුම අනුන්ට ලබාදීම පිණිස පරාර්ථානුමානය උපයෝගී වෙයි. අදහස් හුවමාරුව ශබ්ද මගින් වන බැවින් පරාර්ථානුමානය ශබ්දාත්මකය. පරෝක්ෂවස්තුවක් (ප්‍රත්‍යක්ෂ නුවූ යමක්) ඒත්තු ගැන්වීමේ දී අසන්නාට එම වස්තුව ඒත්තු යන පරිදි ශබ්ද සමූහයක් හෙවත් වාක්‍යයක් එකිනෙකට ගැළපෙන අයුරු කොටස් වශයෙන් ප්‍රකාශ කළ යුතුය. එබඳු වාක්‍ය කොටස් හෙවත් ඛණ්ඩවාක්‍ය තර්කඥයන් විසින් අවයව නමින් හඳුන්වනු ලැබෙයි. පරාර්ථානුමානාත්මක සාධන වාක්‍යයේ කොටස් වන හෙයින් ඔව්හු අවයවයෝවෙත්.

න්‍යාය-වෛශේෂික-සාංඛ්‍ය මත අනුව පරාර්ථානුමානයට අවයව පහකි. න්‍යාය-සාංඛ්‍ය දෙපක්ෂය විසින් ස්වකීය අවයව පඤ්චකය ප්‍රතිඥා, හේතු, උදාහරණ, උපනය, නිගමන නමින් හඳුන්වනු ලැබේ. වෛශේෂිකයෝ ඒ පහම ක්‍රමයෙන් ප්‍රතිඥා, අපදේශ, නිදර්ශන, අනුසන්ධාන, ප්‍රත්‍යාම්නාය නමින් දක්වත්. අර්ථ වශයෙන් මේ නම් අතර වෙසෙසක් නොමැත.

මීමාංසක-වේදන්ති මත අනුව අවයව තුනකි. බෞද්ධ මතය අනුව අවයව දෙකකි (අනුමාන බ.) වාත්ස්‍යායන භාෂ්‍යයෙහි අවයව දසයක් ගැන ද සාකච්ඡා කරනු ලැබෙයි. ජිඥාසා, සංශය, ශක්‍යප්‍රාප්ති, ප්‍රයෝජන, සංශය ව්‍යුදාස යන අවයව පහ හා ප්‍රතිඥා ආදි අවයව පහත් ඒ අවයව දසය වෙයි. ඉන් ප්‍රථම අවයට පහ සාධනාංග නොවන හෙයින් අනුමාන ප්‍රමාණයට උපකාර නොවෙතැයි නුවුවමනා යයි ඉවත ලන ලදි. ජෛන නෛයායික භද්‍රබාහු (ක්‍රි.ව. පෙර 433-357) ද ප්‍රතිඥා, ප්‍රතිඥාවිභක්ති, හේතු, හේතුවිභක්ති, විපක්ෂ, විපක්ෂප්‍රතිෂේධ, දෘෂ්ටාන්ත, ආශංකා, ආශංකා ප්‍රතිෂේධ, නිගමන වශයෙන් දස අවයවයක් දක්වයි. හේතුප්‍රතිපාදනය පමණක්ම ඇති පරාර්ථානුමානය අධම යයි ද දස අවයවයෙන් යුත් කල්හි උත්තම යයි ද ඒ අතර වූයේ මධ්‍යම යයි ද රත්නප්‍රභසූරි (ක්‍රි.ව. 1181) ආදි ජෛන නෛයායිකයෝ පවසත්.

(කර්තෘ: ඇස්. අබේසිංහ)

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අවයව&oldid=6112" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි