ආන්ධ්‍ර

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉන්දියාවේ භූමිප්‍රදේශයකට මෙන් ම එහි වෙසෙන මනුෂ්‍ය වර්ගයකට ද ආන්ධ්‍ර යන නාමය ව්‍යවහාර කරනු ලැබේ. ආන්ධ්‍ර නැතහොත් ආන්ධ්‍ර දේශය යනු ඩෙකාන් සානුවේ නැගෙනහිර කොටසට භාවිත කළ පැරණි ම නාමයයි. ඔරිස්සා, මධ්‍ය ප්‍රදේශය, මයිසූර් සහ මදුරාසි යන ප්‍රදේශයන්ට මැදිව ඉන්දියාවේ නැගෙනහිර වෙරළබඩ පිහිටා ඇති ආන්ධ්‍ර දේශයෙහි විශාලත්වය වර්ග සැතැපුම් 106,286කි. ජනගහනය (1961) 35,980,000කි. අගනුවර හයිදරාබාද් නගරයයි. එහි ජනගහනය 125,200කි.

භූවිෂමතා

භූවිද්‍යානුකූලව ආන්ධ්‍ර දේශය කොටස් තුනකට බෙදිය හැක. ප්‍රධාන වශයෙන් ගෝදාවරී, කෘෂ්ණා සහ පෙනාර් යන ගංගාවල ඩෙල්ටාවන් ද සහිත වෙරළබඩ තැන්නෙන් යුත් අඩි 500කට වඩා උස් නුවූ දියළු තැනිතලාව පළමුවැන්නයි. මීට බටහිරින් පිහිටියේ ඉන්දියාවේ නැගෙනහිර ඝාට් කඳුවැටියේ කොටසක් වූ දෙවැනි භූප්‍රදේශයයි. ගංගාවන්ගෙන් හා අධික වැස්සෙන් ද බොහෝදුරට සෝදාපාළු වී (ඛාදනය වී) ඇති මෙම ඝාට් උස්බිම් වූකලි එන්, කුඩප්පා ආදි කුඩා කඳු වැටි කීපයකින් ම යුක්ත වූවකි. තුන්වැන්න ආන්ධ්‍ර දේශයෙහි බෙලාරි, කුර්නූල් සහ අමන්තපූර් යන දිස්ත්‍රික්ක ආශ්‍රිතව වූ ඉන්දියානු අර්ධද්වීපික සානුවට අයත් කොට්ඨාසයයි. නැගෙනහිර ඝාට් කඳු පාමුල වූ බලා ඝාට් සහ අජන්ටා ඝාට් පිහිටා ඇත්තේ මංජීරා ගඟත් නැගෙනහිර ඝාට් වැටියත් අතර වූ මේ සානු ප්‍රදේශයෙහිය.

ඩෙකාන් සානුවෙන් පටන් ගෙන ගිනිකොන දිගට හුරුව ගලා ගොස් බෙංගාලේ බොක්කට වැටෙන ආන්ධ්‍ර දේශීය ගංගා අතුරෙන් ගෝදාවරී සහ කෘෂ්ණා යන ගංගාවෝ ප්‍රධානයහ. නැගෙනහිරට බෑවුම් සහිත වූ ඩෙකාන් සානුව ඔස්සේ පහසුවෙන් ගලන මේ ගංගාවෝ නැගෙනහිර ඝාට් කඳුවල කපොලු අතරින් වෙරළබඩ තැන්නට ඇද හැලී, සාරවත් ඩෙල්ටා ඔස්සේ මුහුදට ගලා බසී. මංජීරා, ඉන්ද්‍රවතී සහ සබාරී යන අකු ගංගා සහිත ගෝදාවරී ගඟ ඝාට් කඳු සම්බන්ධ බයිසන් කඳු අතර වූ දොරුවකින් ගලා වුත් කකිනදා නගරය අසලින් මුහුදට වැටේ. ගෝදාවරී හා කෘෂ්ණා ඩෙල්ටා එකිනෙකට යාවූ දියළු තැන්නකි. කෘෂ්ණා ගංගාවෙහි ප්‍රධාන අතුගංගා නම් තුංගභද්‍ර සහ බීමාය. එන් කඳු හරහා කෘෂ්ණා ගඟ ගලන කපොල්ලෙහි පළල යාර 1,300ක් පමණි. වගා කරන ලද ප්‍රදේශයෙන් තුනෙන් කොටසකට පමණ ජලය සැපයෙන්නේ මේ ගංගාවලින් හා ඒවායේ අතුගංගාවන්ගෙනි. ගෝදාවරී, කෘෂ්ණා යන ගංගා ඩෙල්ටාවල වර්තමාන සමෘද්ධිය පිළිබඳ මුල් පදනම වැටුණේ 19 ශත වර්ෂයේ මැද භාගයේ දී සර් ආතර් කොට්න් විසින් එම මහා ගංගාවන් හරහා වේලි බඳවා වාරිමාර්ග පහසුකම් සලසනු ලැබීමෙනි. තුංගභද්‍ර වේල්ල හා රාම්පෙරු, රලපාද්, ගෝදාවරී ආදි ජල සම්පාදන ව්‍යාපාර කීපයක් ම ආන්ධ්‍ර දේශයෙහි ආරම්භ කර ඇත. කෘෂ්ණා නදිය ආශ්‍රිතව ඉදිකැරෙන නාගාර්ජුනසාගර් ජලසම්පාදන ක්‍රමය නිම වූ කල්හි ඉන් අක්කර විසි ලක්ෂයකට ජලය සැපයෙනු ඇත.

දේශගුණය

මෝසම් සුළං කලාපයේ පිහිටි ආන්ධ්‍ර දේශය උෂ්ණ වූ වර්ෂාධික ප්‍රදේශයකි. දකුණු ආන්ධ්‍ර දිස්ත්‍රික්කයන්හි වර්ෂාපතනය අඟල් 20ක් පමණ වන නමුත් ගෝදාවරී නිම්නයෙහි එය අඟල් 40ක් පමණ වෙයි. ඝාට් කඳුවලින් බටහිර ප්‍රදේශයන්හි වර්ෂාපතනය සාමාන්‍යයෙන් අඟල් 20ට අඩුය. සානු ප්‍රදේශයෙහි ග්‍රීෂ්ම ඍතුවේ උෂ්ණත්වය පැ. 103 දක්වා නඟින අතර ශීත ඍතුවේ දී පැ. 61 දක්වා පහත බසින්නේය. වෙරළාසන්න පෙදෙස්වල උෂ්ණත්වය ග්‍රීෂ්ම ඍතුවේ දී පැ. 92°කි.

කෘෂිකර්මය හා නිෂ්පාදන

වැසියන්ගේ ප්‍රධාන රැකියාව කෘෂිකර්මාන්තයයි. වගා කරන ලද ඉඩම් ප්‍රමාණයෙන් සියයට අනූවක් පමණ ම වී, මිලට් වැනි ධාන්‍ය වැවීම සඳහා යොදාගෙන තිබේ. ආන්ධ්‍ර දේශයෙහි ඉතා ම සාරවත් ප්‍රදේශය දියළු තැනිතලා ප්‍රදේශයයි. රාවරය මැනැවින් පවතින මේ ප්‍රදේශයෙහි වී ගොවිතැන ඉතා දියුණුය. එහෙත් වෙරළාසන්න කඩොල් වගුරුවල කිසි ම ගොවිතැනක් කරනු නොලැබේ. දියළු පස් සහිත අනිකුත් පෙදෙස්වල උක් සහ කෙසෙල් වවනු ලැබේ. ඉන්දියාවේ නිපදවන දුම්කොළවලින් සියේට 39ක් උපදින්නේ මෙහිය. රටකජු ද මෙහි වැදගත් බෝගයකි. වර්ෂාධික කඳු බෑවුම් තව ම වනයෙන් වැසී ඇත. වියළි සානුවෙහි ජලසම්පාදනය කොට දුම්කොළ, කපු, උක් ආදිය වගාකරනු ලැබේ.

ආකර කර්මාන්තය දියුණු වී නැතත් වටිනා ඛනිජ වර්ග කිහිපයක් ම මෙම ප්‍රදේශයෙන් සම්බ වේ. කුඩප්පාවේ සහ කුර්නූල්හි තඹ, ඊයම් හා දියමන්ති ද සන්දූර්හි රන් ද නෙල්ලූර් සහ විසාගපටම්හි තලාතු මිනිරන් සහ මැංගනීස් ද ලැබේ. ගෝදාවරී නිම්නයෙහි ගල් අඟුරු ද ඇත. විසාගපටම්හි ඉල්මනයිට් සහ මොනසයිට් වැලි බහුලව තිබේ.

ආන්ධ්‍ර දේශයෙහි එක ම කාර්මික නගරය විසාගපටම්ය. ඉන්දියාවේ නැව් සෑදීමේ මධ්‍යස්ථානය ද මෙයයි. වී කෙටීම හා තෙල් සිඳීම ප්‍රධාන කර්මාන්ත ලෙස සැලැකේ. තෙල් සිඳීම තෙවෙනි අංකයෙහි ලා ගිණිය හැකිය. ගෘහ කර්මාන්ත රාශියක් ප්‍රදේශය පුරා පැතිරී ගොස් තිබේ. රෙදි විවීම, වළලු සෑදීම, කඩදාසි සෑදීම, ගෙත්තම් වැඩ හා පලස් සෑදීම ඉන් සමහරකි. එල්ලෝර්හි තනනු ලබන පලස් හා කුර්නූල් හි කම්බිලි ඉතා ප්‍රකටය. එහි තෙල් ශෝධනාගාරයක් ද ඇත. කකිනදාහි ලුණු ලේවා තිබේ. නවීන කාර්මික දියුණුවක් පෙනෙන රාජමන්ද්‍රි නගරයෙහි එළවළු තෙල් හා ගිතෙල් සාදන කර්මාන්තශාලා සහ රෙදි විවීමේ මධ්‍යස්ථාන ද වෙයි.

ඉතිහාසය

ඈත අතීතයේ දී 'ආන්ධ්‍රදේශය' නමින් හැඳින්වූයේ ගෝදාවරී නදියටත් කෘෂ්ණා නදියටත් අතර වූ කෘෂ්ණා දිස්ත්‍රික්කය ද ඇතුළත් භූමි ප්‍රදේශයයි. සේරිවාණිජ ජාතකයෙහි සඳහන් වන අයුරු ආන්ධ්‍ර දේශයේ අගනුවර වී යයි සැලකෙන අන්ධපුරය (ආන්ධ්‍රපුරය) පිහිටා තිබුණේ තේලවාහ නොහොත් නීලවාහිනී (මහානදීයෙහි අත්තක් වූ වර්තමාන තෙල් නදිය) නම් වූ ගඟබඩ බව හැඟේ. ටොලමිගේ 'භූගෝල ශාස්ත්‍රය' අනුව සාතවාහන නොහොත් ආන්ධ්‍ර රජවරුන්ගේ රාජ්‍යයේ අගනුවර එකල හැඳින්වුණේ ප්‍රතිෂ්ඨාන නමිනි. මෙය හයිදරාබාද් පළාතේ, අවුරංගාබාද් දිස්ත්‍රික්කයේ ගෝදාවරී ගඟබඩ පිහිටි දැනට ‍'පෛඨන්' නමින් හැඳින්වෙන ස්ථානය හැටියට සැලකේ. ආදි ම ආන්ධ්‍ර රජවරුන්ගේ සෙල්ලිපි සම්බ වී ඇත්තේ ද මීට යාබදව පිහිටා ඇති උතුරුමහාරාෂ්ට්‍ර පළාතේ නාසික්, කාර්ලේ සහ නානාඝාට් යන ප්‍රදේශවලිනි. කාලිංගයේ ඛාරවේල රජතුමාගේ හතිගුම්පා ශිලාලේඛනයේ (1 වැනි සියවස) සඳහන් වන්නේ ද සාතවාහන නොහොත් ආන්ධ්‍ර රාජ්‍යය ඔහුගේ රාජධානියට බටහිරින් පිහිටා තුබුණු බවයි. මේ කරුණුවලින් පෙනී යන්නේ ආන්ධ්‍රයන් ක්‍රි.පූ. දෙවන හෝ පළමුවන සියවසේ දී පමණ පළමුවෙන් බලයට පැමිණියේ බටහිර ඩෙකානයේ පෛඨන්හි හා ඒ අවට ප්‍රදේශවල බවත් පසුව නැගෙනහිර දෙසට ඔවුන් සංක්‍රමණය වූ බවත්ය. ක්‍රිස්තු වර්ෂයෙන් පළමු වන සියවස හරියේ දී ම ඔවුන් නැගෙනහිර දෙසට සංක්‍රමණය වීමට පටන්ගත් බව පෙනේ. එම සියවසේ විසූ ප්ලිනී නැගෙනහිර ඩෙකානයේ පිහිටා තිබුණු කොටු පවුරුවලින් වටකළ නගර තිහකින් හා ගම්නියම්ගම් රැසකින් ද ප්‍රබල චතුරංගිනී සේනාවකින් ද යුත් බලවත් ආන්ධ්‍ර දේශයක් ගැන සිය ග්‍රන්ථයෙහි සඳහන් කරයි. ආන්ධ්‍ර රාජ්‍යයට කෘෂ්ණා නදියේ මුවදොර අවට ප්‍රදේශ යටත් කොට ගත හැකි වූයේ ක්‍රිස්තු වර්ෂයෙන් දෙවන සියවසේ මුල භාගයේ විසූ වාසිෂ්ඨ පුත්‍ර පුලමාවී රජතුමාගේ (130–159) රාජ්‍ය සමයේ දී බව ඔහුගේ සෙල්ලිපිවලින් ම පෙනේ. ක්‍රිස්තු වර්ෂයෙන් තුන්වන සියවසේ දී සාතවාහන රජවරුන්ගේ වැටීමෙන් පසු ආන්ධ්‍ර දේශය වෙන ම රාජ්‍යයක් හැටියට නොපැවතුණ නමුත් ඔවුන්ට යටත්ව තිබුණු භූමි ප්‍රදේශය ඉන් පසු රාජපරම්පරාවන් කිහිපයක් විසින් ම පාලනය කරනු ලැබීය. සාතවාහනයන්ගේ වැටීමත් සමඟ ම ආන්ධ්‍ර දේශයෙන් කොටසක් ඩෙකානයේ ඉක්ෂ්වාකු වංශයේ (ඉක්ෂ්වාකු වංශය බ.) රජවරුන් යටතට පත්විය. කොටසක් බෘහත්ඵලායන රජවරුන් විසින් ඔවුන්ගේ රාජ්‍යයට ඈඳා ගන්නා ලදි. මේ කොටස ම පසුව ආනන්ද රාජවංශයට (බ.) හිමි විය. සිව්වන සියවසේ දී පමණ බලයට පත් වූ කාංචීපුරයේ පල්ලව රජවරුන් විසින් ආන්ධ්‍ර දේශයට අයිතිව තිබූ විශාල කොටසක් ඔවුන්ගේ රාජ්‍යයට ඈඳා ගන්නා ලදි. ඉක්බිති බලයට පැමිණි වේංගී ප්‍රදේශයේ ශාලංකායන රජවරුන් ඉක්ෂ්වාකුවරුන්ටත් බෘහත්ඵලායනයන්ටත් පල්ලවයන්ටත් අයිතිව තුබුණු ආන්ධ්‍ර දේශයේ භූමි ප්‍රදේශ සියල්ල ම අල්ලා ගත් බව පෙනේ. එහෙත් මඳ කලකින් ම විෂ්ණුකුණ්ඩීන් රාජපරම්පරාව මුළු ආන්ධ්‍ර දේශය ම වාගේ තමන් යටතට ගති. ඊළඟට ආන්ධ්‍ර දේශය යටත් කර ගන්නා ලද්දේ චාලුක්‍යයන් විසිනි. මෙසේ ආන්ධ්‍ර දේශය වරින් වර රාජවංශ කිහිපයක් මගින් ම පාලනය වූයේ ශතවර්ෂ සතරකට සීමා වූ සුළු කාලයක් තුළය. එනම් සාතවාහන වංශයේ වැටීම සිදු වූ තුන්වන සියවසේ සිට චාලුක්‍යයන් බලයට පත් වූ සත්වන සියවසේ ආරම්භය දක්වාය. සත්වන සියවසේ දී ආන්ධ්‍ර දේශය පැවති තත්ත්වය හියුං සාංතුමාගේ වෘත්තාන්තයෙහි මෙසේ විස්තර වෙයි. “ආන්ධ්‍ර දේශය විශාලත්වයෙන් ලී 3,000ක් (සැතපුම් 500ක්) පමණ ඇත. එහි පිංගල නම් වූ අගනුවර ලී 20ක් (සැතපුම් 3ක්) පමණ වට ප්‍රමාණයෙන් යුක්තය. උෂ්ණ දේශගුණයක් ඇති සාරවත් භූමියක් වන මෙහි ධාන්‍යාදිය සුලභය. මිනිස්සු දරුණු සාහසික ගති ඇත්තෝය. භාෂාව මධ්‍ය දේශයේ භාෂාවට වෙනස් වුවත් අකුරුවල වැඩි වෙනසක් නැත. භික්ෂූන් 3,000ක් පමණ වසන ආරාම 10ක් ද දේවස්ථාන 30ක් ද මෙහි ඇත්තේය.”

සාතවාහන රාජ්‍යයේ වැටීමේ සිට විෂ්ණුකුණ්ඩීන් රාජවංශයේ අවසානය දක්වා මුළු නැගෙනහිර දක්ෂිණාපථය ම ආන්ධ්‍රදේශයට අයත්ව තිබුණු බව පෙනේ. මේ කාලය තුළ ආන්ධ්‍ර දේශයේ බටහිර සීමාව වූයේ මංජීරා නදියයි. ගෝදාවරී නදිය හා එහි අතු ගංගා උතුරු සීමාවෙහි විය. පිනාකිනි නදිය දකුණු සීමාව වූ අතර, නැගෙනහිර සීමාව වූයේ බෙංගාල බොක්කය. මහාරාෂ්ට්‍ර සහ කුන්තල දේශය ආන්ධ්‍රදේශයට බටහිරින් පිහිටා තිබුණි. විදර්භ, චේදි හා දකුණු කොසොල් රට උතුරෙන් විය. කාලිංග රාජ්‍යය ඊශාන දිගින් පිහිටා තුබුණු අතර තොණ්ඩ මාණ්ඩලම් දකුණෙන් පිහිටා තුබුණේය. එහෙත් නවවන සියවසින් පසු 'ආන්ධ්‍ර දේශය' යන නාමය පවා භාවිතයෙන් ඈත්ව ගිය බව පෙනේ. නැගෙනහිර චාලුක්‍යයන් විසින් ඔවුන්ගේ රාජ්‍යයට අයිති වූ මුළු ආන්ධ්‍රදේශයට ම 'වේංගී' යන නාමය භාවිත කිරීමට පටන් ගැනුණු හෙයිනි. නැගෙනහිර චාලුක්‍ය රාජ්‍යයේ අගනුවර බවට පත් වූ 'වේංගි' නගරය නිසා මුළු ආන්ධ්‍රදේශය ම 'වේංගි' නමින් ප්‍රසිද්ධියට පත්විය. හින්දු බලපෑම නිසා මේ ප්‍රදේශය එකොළොස් වන ශතවර්ෂය වන විට 'තෙලිංගාන' යන දෙවන නමකින් ද හැඳින්විණ. 'තෙලිංගාන' යන්න 'ත්‍රිලිංගභූමි' නොහොත් 'ත්‍රිලිංගදේශ' යන්නෙන් බිඳී ආවක් බව කියැවේ. ත්‍රිලිංගභූමි යන්නෙන් අදහස් කරනුයේ 'ලිංග තුනක් ඇති භූමි ප්‍රදේශය' යන්නයි. ශ්‍රීශෛලම්හි පිහිටි මල්ලිකාර්ජුන ලිංගය ද, දක්ෂාරාමයෙහි පිහිටි භීමේශ්වර ලිංගය ද, කරීම් නගර දිස්ත්‍රික්කයෙහි පිහිටි කාලේශ්වර ලිංගය ද ඒ ලිංග තුනය. මේ ප්‍රදේශයේ ජීවත් වූ වැසියන් කථා කළ භාෂාවට ද 'තෙලිඟු' යන නාමය ලැබුණේ මේ නිසා ම යයි කියති. දහතුන්වන සියවසේ මුල් කොටසේ දී 'තෙලිංගාන' ප්‍රදේශය වරන්ගලයේ කාකටිය රාජපරම්පරාව (බ.) මගින් පාලනය වූයේය. පසුව තෙලිංගාන ප්‍රදේශය ඩෙකානයේ මුස්ලිම් රාජ්‍යයක් වූ 'බහමනී' රාජ්‍යයේ 'ගොල්කොණ්ඩා' පළාත බවට පත්විය. ගොල්කොණ්ඩා ප්‍රදේශය ස්වල්ප කලකට පසු මුස්ලිම් සුල්තාන් කෙනකුන් යටතේ පාලනය වුණු නිදහස් රාජ්‍යයක් බවට පත්විය. ආන්ධ්‍රදේශයේ දකුණු කොටස කලක් විජයනගර රාජ්‍යයට ද අයිතිව තිබිණි. බුක්ක රජුගේ කාලයේ දී (1344-77) හා දෙවන හරිහර රජුගේ කාලයේ දී (1377-1404) ද ආන්ධ්‍රදේශයේ දකුණු කොටස ඔවුන්ට අයිතිව තුබුණු බව සෙල්ලිපිවලින් ඔප්පු වේ. ඉන් පසු මෝගල්වරුන් ඩෙකානය යටත් කොට ගෙන සිටි යුගයේ දී ද මේ ප්‍රදේශය දන්නා ලද්දේ 'තෙලිංගාන' යන නමිනි. එකල මේ ප්‍රදේශයත් පාලනය වූයේ මෝගල් රජුට යටත් ආණ්ඩුකාරයකුගෙනි. හයිදරාබාද් ප්‍රදේශයට තෙලිංගාන ප්‍රදේශය සහිත ඔරිස්සා ප්‍රදේශයේ සිට තන්ජෝර් ප්‍රදේශය දක්වා වූ භූමි ප්‍රදේශය අයිතිව තිබුණි. මෝගල් රාජ්‍යය පිරිහී යෑමෙන් පසු හයිදරාබාද් ප්‍රදේශයේ අන්තිම මෝගල් ආණ්ඩුකාරයා වූ නිසාම් උල්-මුල්ක් අසා‍ෆ් ජා ක්‍රි.ව. 1720න් පසු මේ ප්‍රදේශයේ නිදහස් පාලකයා හැටියට ආණ්ඩු කිරීමට පටන් ගති. බ්‍රිතාන්‍ය යුගයේ දී ද මේ මුළු ප්‍රදේශය ම පාලනය වූයේ බ්‍රිතාන්‍යට යටත් නිසාම්වරයකු (හයිදරාබාද් නිසාම්) මගිනි. බ්‍රිතාන්‍ය යුගයේ දී ආන්ධ්‍රදේශයේ දකුණු කොටස අයත්ව තුබුණේ මදුරාසි රාජ්‍යයටය. 1947 දී ඉන්දියාව නිදහස ලබන තෙක් ම මේ තත්වය පැවතුණේය. 1953 ඔක්තෝබර් මස පළමුවන දා සිට මදුරාසි රාජ්‍යයෙන් කොටසක් වෙන් වි ගොස් 'ආන්ධ්‍ර ප්‍රදේශ' නමින් ඉන්දියා සමූහාණ්ඩුවට එක්විය. 1956 නොවැම්බර් මස පළමුවන දා සිට මෙයට හයිදරාබාද් රාජ්‍යයෙන් දිස්ත්‍රික්ක කිහිපයක් ඈඳීමෙන් පසු නව ආන්ධ්‍රදේශය බිහි විය. දැනට ආන්ධ්‍ර දේශය හැඳින්වෙන්නේ 'ආන්ධ්‍ර ප්‍රදේශ' නමිනි. කලක් කුර්නූල් නගරය අගනුවරව තුබුණු නමුත් වර්තමාන අගනුවර හයිදරාබාද් නගරයයි. ආන්ධ්‍ර ප්‍රදේශය ප්‍රමාණයෙන් මෙන් ම ජනගහනයෙන් ද ඉන්දියාවේ සත්වැනි රාජ්‍යය ලෙස සැලැකේ.

දේශපාලනය

වර්තමාන ආන්ධ්‍රදේශය බෙදා ඇත්තේ භාෂාව මුල් කොටගෙනය. දැනට ආන්ධ්‍රප්‍රදේශ නමින් දන්නා කොටසේ සම්පූර්ණයෙන් ම වාගේ ජීවත් වන්නේ තෙලිඟු භාෂාව කථා කරන මිනිසුන්ය. නව ආන්ධ්‍ර ප්‍රදේශය දිස්ත්‍රික්ක විස්සකින් සමන්විත වෙයි. ආන්ධ්‍රදේශය වෙන ම රාජ්‍යයක් බවට පත්වීමෙන් පසු එහි ආණ්ඩුකාරතුමා හැටියට පළමුවෙන් පත් වූයේ ශ්‍රීමත් ශ්‍රී චන්ද්‍ර ලාල් මාධවලාල් ත්‍රිවේදී මහතාය. 1957 ජූනි මස 11 වැනි දා භීම්සේන් සචාර් මහතා එහි ආණ්ඩුකාර ධුරයට පත් විය. ආන්ධ්‍රදේශයේ පළමුවන ප්‍රධාන අමාත්‍යතුමා හැටියට පත් වූයේ ශ්‍රී.ටී. ප්‍රකාශම් මහතායි. මෙකල (1963) ආණ්ඩුකාරයා මහසෙනෙවි ඇස්.ඇම්. ශ්‍රිනාගේශ් ය. ප්‍රධාන අමාත්‍යවරයා රෙඩ්ඩිය.

ඉන්දියා සමූහාණ්ඩු රාජ්‍යයේ 'ඒ' පන්තියේ ප්‍රදේශයක් වූ ආන්ධ්‍රදේශය දැනට පාලනය කරනු ලබන්නේ මහජන පාර්ලිමේන්තුවකිනි. එය මණ්ඩල දෙකකින් යුක්ත වෙයි. විධාන සභාව මන්ත්‍රීවරුන් 301 දෙනකුගෙන් යුක්ත වන අතර විධාන පරිෂද් මණ්ඩලය මන්ත්‍රීවරුන් 60ගෙන් යුක්ත වෙයි. ප්‍රධාන අමාත්‍යතුමාට සහාය පිණිස කැබිනට් මණ්ඩලයක් ද පත් කොට ඇත (ඉන්දියාව බ.)

ආන්ධ්‍ර ජනයා

ආන්ධ්‍රවරුන් ගෝත්‍රයක් හැටියට මුලින් ම සඳහන් වන්නේ ඓතරේය බ්‍රාහ්මණයේය. ආන්ධ්‍ර ගෝත්‍රිකයෝ විශ්වාමිත්‍ර විසින් නෙරපනු ලැබූ ඔහුගේ අකීකරු පුතුන්ගෙන් ඇතිවුණු ආර්ය වර්ගයට අයත් නොවූ කුලයකට අයත් වූහ'යි මේ කෘතියේ දැක්වෙයි. අශෝක රජතුමාගේ සෙල්ලිපි කිහිපයක ම ආන්ධ්‍රවරුන් ගැන සඳහන් වෙයි. මේ සෙල්ලිපිවලට අනුව ආන්ධ්‍රයන් අශෝක රජතුමාගේ රාජ්‍යයේ දකුණු සීමාවට යාබදව විසූ ගෝත්‍රයක් බව කිව හැකිය. සොළී, කේරළ හා පාණ්ඩ්‍ය ගෝත්‍රිකයන් විසූ ඉන්දියාවේ දක්ෂිණාපථයේ කොටසක, ඔවුන්ට සමීපව, ආන්ධ්‍රයන් විසූ බව මහාභාරතයෙහි හා රාමායණයෙහි ද සඳහන් වේ. මීළඟට ආන්ධ්‍ර ජාතිකයන් ගැන සඳහන් වන්නේ පුරාණ ග්‍රන්ථයන්හිය. මේ හැම කෘතියක ම සඳහන්ව ඇත්තේ ආන්ධ්‍ර ජාතිකයන් හෝ ගෝත්‍රිකයන් ගැන මිස ආන්ධ්‍රදේශය ගැන නොවේ. අන්ධකපුරය හෝ අන්ධපුරය ගැන ජාතක කථාවල සඳහන් වෙතත් මුලින් ම ආන්ධ්‍රදේශය ගැන රාජ්‍ය ලේඛනයක සඳහන් වන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් සිව්වන සියවසේ දීය; පල්ලව ශිව ස්කන්ධවර්මන් කුමාරයාගේ වෛදවෝලු තඹසන්නසේය. එබැවින් ආන්ධ්‍රදේශයට මේ නම ලැබුණේ ආන්ධ්‍ර ගෝත්‍රිකයන් ඒ ප්‍රදේශයේ පදිංචි වූවාට පසුව බව කිව හැකිය.

ආන්ධ්‍රදේශයේ රජ කළ රජවරුන් ඔවුන්ගේ සෙල්ලිපිවල තමන් ආන්ධ්‍ර වංශිකයන් බව කිසිවිටෙක කිසිතැනක සඳහන් කොට නැත. සෙල්ලිපිවල ඔවුන් හැඳින්වෙන්නේ සාතවාහන වංශිකයන් හැටියටය. ඔවුන්ගේ කුලයේ නොහොත් වංශයේ නාමය සාතවාහන වූ අතර, ජාති නාමය නොහොත් ගෝත්‍ර නාමය ආන්ධ්‍ර වූ හෙයින් ඔවුන් මෙසේ ඔවුන්ගේ වංශ නාමයෙන් පමණක් පෙනී සිටින්නට ඇත යන්න දැනට පිළිගෙන ඇති මතයයි. පුරාණ ග්‍රන්ථවලින් (විශේෂයෙන් විෂ්ණු, වායු, මත්ස්‍ය හා භාගවත යන පුරාණවලින්) හා ශිලාලේඛනවලින් ලැබෙන තොරතුරු අනුව ආන්ධ්‍ර ගෝත්‍රිකයන් නොහොත් සාතවාහන වංශිකයන් ක්‍රි.පූ. තුන්වන හෝ පළමුවන හෝ ශතවර්ෂයේ සිට ක්‍රිස්තු වර්ෂයෙන් තුන්වන ශතවර්ෂය දක්වා ආන්ධ්‍ර දේශය පාලනය කළ බව කිව හැකිය. (සාතවාහන වංශය ද බලන්න.)

සංස්කෘතිය

ඈත අතීතයේ සිට ම ආන්ධ්‍රදේශය බෞද්ධ මධ්‍යස්ථානයක්ව තිබුණු බවට පුරාවිද්‍යාත්මක සොයාගැනීම්වලින් හා සාහිත්‍ය ග්‍රන්ථයන්ගෙන් ලැබෙන සාක්ෂ්‍ය නොමඳය. බුදුරදුන් වරක් ආන්ධ්‍රදේශයට වැඩ දහම් දෙසූ බවත්, ඒ දහම් දෙසූ තැන පසුව අශෝක රජතුමා විසින් සෑයක් කරවූ බවත් හියුං සාං තුමාගේ වෘත්තාන්තයෙහි දැක්වෙයි. භට්ටිප්‍රෝලු ලිපිවලින් ඔප්පු වන අයුරු ආන්ධ්‍රදේශයට බුද්ධාගම පැමිණ ඇත්තේ තුන්වන ධර්ම සංගායනාව (බ.) පැවැත්වීමටත් පෙරය. මේ ප්‍රදේශයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා විශාල සංඛ්‍යාවක් ජීවත්ව සිටි බව ද උන්වහන්සේලා නිකායයන් කිහිපයකට ම බෙදී සිටි බව ද පෙනේ. නාගාර්ජුනීකොණ්ඩ, අමරාවතී හා ජග්ගය්යපේට ආදි ප්‍රදේශවලින් ලැබී ඇති සෙල්ලිපිවලින් ක්‍රි.පූ. දෙවන සියවසේ සිට ක්‍රිස්තු තුන්වන සියවස දක්වා ආන්ධ්‍රදේශයේ පැවති මහාසාංඝික නිකායයන් කිහිපයක් ගැන කියැවේ. ආර්ය සංඝ, අපරශෛලීය, පූර්වශෛලීය, බහුශ්‍රැතීය සහ මහිංසාසක යන නිකායයෝ ඉන් කිහිපයකි.

ආන්ධ්‍රදේශය එකල ලංකාවට ඉතා ම ආසන්නව පිහිටි බෞද්ධ මධ්‍යස්ථානය වූයෙන්, ලංකාවට බුද්ධාගම ගෙන ඒමෙන් පසු ලංකාව හා ආන්ධ්‍රදේශය අතර ආගමික, සංස්කෘතික හා වෙළෙඳ සම්බන්ධකම් ඉතා ම තදින් පැවති බවට සාක්ෂි ලැබී තිබේ. පාලි ත්‍රිපිටක අටුවාවල සඳහන්වන අන්ධකට්ඨකථාව ආන්ධ්‍ර භාෂායෙන් ත්‍රිපිටකයට ලියන ලද අටුවාවක් ලෙස සලකනු ලැබේ. ඒ අන්ධක අටුවායෙන් නගාගත් ඇතැම් කරුණු සමන්තපාසාදිකාවෙහි කිහිප තැනෙක දක්නට ලැබේ. නාගාර්ජුනීකොණ්ඩයේ තිබී සම්බවුණු සෙල්ලිපියක සිංහල විහාරයක් ගැන හා සිංහල බෞද්ධ භික්ෂුණීන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා පූජා කළ චෛත්‍ය ගෘහයක් හා චෛත්‍යයක් ගැන සඳහන්වීම ලංකාව හා ආන්ධ්‍රදේශය අතර එදා පැවැති සම්බන්ධය දක්වීමට හොඳ නිදසුනකි. ආන්ධ්‍රදේශයේ වැසියකු වූ ද, සුප්‍රකට දර්ශනවාදියකු වූ ද, මහායන ගුරුවරයකු වූ ද නාගාර්ජුනයන්ගේ ශිෂ්‍යයකු ලෙස සැලකෙන ආර්යදේව ලංකාවේ උපන්නෙකි. එතුමා තමාගේ ජීවිතයෙන් වැඩි කොටසක් ගත කළේ නාගාර්ජුනීකොණ්ඩ ප්‍රදේශයේය. වෝහාරික තිස්ස රජු දවස ලංකාවට මහායාන (වෛතුල්‍ය) බුද්ධාගම ගෙන ආයේ ද ආන්ධ්‍ර ප්‍රදේශයෙන් යයි පරණවිතාන මහතා අදහස් කරයි.

ආන්ධ්‍ර රාජ්‍යයට අයිතිව තුබුණු අමරාවතී, නාගාර්ජුනීකොණ්ඩ, ජග්ගය්යපේට, අල්ලූරු, ගුමදිදුර්රු, ඝණ්ඨශාලා, භට්ටිප්‍රෝලු, ගුඩ්වාඩ සහ ගෝලි යන තැන්වලින් විශාල වශයෙන් ලැබී ඇති ස්තූප හා ආරාම නටබුන් ද කැටයම් හා සෙල්ලිපි ද එක් අතකින් එකල ආන්ධ්‍රදේශයේ බුද්ධාගමේ තත්ත්වය ගැන අපට මනාව කරුණු ඉදිරිපත් කරන අතර අනෙක් අතින් බුද්ධාගම නිසාම දියුණු වූ ආන්ධ්‍රදේශීය ගෘහනිර්මාණ ශිල්පය, කැටයම් හා චිත්‍ර කලා යන මේවායේ වැඩීම ගැනත්, ආන්ධ්‍ර කලාකරුවාගේ දක්ෂතාව ගැනත් සාක්ෂි ඉදිරිපත් කරයි. (අමරාවතී, නාගාර්ජුනීකොණ්ඩ, ජග්ගය්යපේට, ගෘහනිර්මාණ ශිල්පය, කැටයම් කලාව යන ලිපි ද බලන්න.) ආන්ධ්‍රදේශයේ කැටයම් කලාව ද ලංකාවේ කැටයම් කලාව ක‍ෙරෙහි බල පා ඇති බව ප‍ෙනේ. දැනට කොළඹ කෞතුකාගාරයේ ඇති 'මායාදේවියගේ සිහිනය' සහ 'සැවැත්නුවර මහා පෙළහර' දැක්වෙන කැටයම් දෙක ද තිරියායේ ගිරිහඬුසෑයේ තිබී හමු වු 'සිදුහත් කුමරුගේ මහබිනික්මන' දැක්වෙන කැටයම ද කොටා ඇත්තේ අමරාවතී, නාගාර්ජුනීකොණ්ඩ වැනි ආන්ධ්‍රදේශීය බෞද්ධ මධ්‍යස්ථානයන්හි කැටයම් වැඩ සඳහා යොදන ලද වර්ගයේ ම කිරිගරුඬ පුවරුවලය. මේ ගල් වර්ගය ලංකාවෙන් සොයාගන්නට නැතත්, අපේ පැරණි කැටයම්කරුවන් විසින් කැටයම් කෙටීමේ දී එම ගල් වර්ගය පාවිච්චි කොට ඇති බව පරණවිතාන මහතා කියයි. ඉහත කී කැටයම් තුනේ ම ආන්ධ්‍ර කැටයම්වල යම් යම් ලක්ෂණ ඇතුළත්ව ඇති බව ද ඒ කැටයම් තුන ම ආන්ධ්‍ර කලාකරුවන් විසින් සිය රටේ දී නිමකොට මෙහි ගෙන එන්නට ඇතැයි සිතිය හැකි බව ද ඒ මහතාගේ හැඟීමයි. සීගිරිය අසල තිබී සොයා ගත් ස්තූපයක ධාතුගර්භයෙන් ද ආන්ධ්‍රදේශයේ සම්බවන වර්‍ගයේ කිරිගරුඬ කැබලි කිහිපයක් ම ලැබී ඇත. මහාසේන රජුගේ යයි සැලකෙන ජේතවනාරාම සෙල්ලිපිය කොටවා ඇත්තේ ද මේ වර්ගයේ කිරිගරුඬ පුවරුවකය. මේ සෙල්ලිපියේ අකුරු එකල නාගාර්ජුනීකොණ්ඩ පළාතේ තිබී හමු වූ සෙල්ලිපිවල අකුරුවලට ඉතා ම සමාන බව ද පරණවිතාන මහතා පෙන්වා දෙයි. පොළොන්නරුවේ පබළු වෙහෙරේ තිබී ආන්ධ්‍ර කැටයම් කලාවට හුරු කැටයම් තුනක් ද සොයා ගෙන ඇත. මෙයින් දෙකක් ම ධ්‍යාන මුද්‍රාවෙන් හිඳින සේ නෙළුැ පිළිම වෙයි. තුන්වන කැටයම ධ්‍යාන මුද්‍රාවෙන් කෙටූ කැටයමකි. මේවා ඉතා කුඩා කැටයම් වුවත් අමරාවතී කැටයම් කලාවට නෑකම් කියන බව ද මේ කැටයම් තුන ම දොළොස්වන සියවසට අයිති ස්තූපයක තිබී සොයා ගන්නා ලද නමුදු ඒවා ඊට බොහෝ ඉහත දී මෙහි ගෙනෙනු ලැබ පසුව පබළු වෙහෙර සැරසීමට යොදා ගන්නා ලද බව ද පරණවිතාන මහතාගේ මතයයි. සමහර විට මෙහි සොයාගෙන ඇති ආන්ධ්‍ර කැටයම් දකුණු ඉන්දියාවට වන්දනාව පිණිස ගිය ලාංකික වන්දනාකරුවන් විසින් මෙහි ගෙන එන්නට ඇතැයි අදහස් කරති. නාගාර්ජුනීකොණ්ඩයෙහි තුබූ සිංහල විහාරය ද ලංකාවේ සිට වන්දනාකරුවන් විශාල වශයෙන් ආන්ධ්‍රදේශයේ වන්දනාවට ගිය බව පෙන්වන සාක්ෂියකි. බුදුගොස් හිමියන් තමන්ගේ කෘතීන්ට කරුණු සපයා ගැනීමේ දී ප්‍රයෝජනයට ගන්නා ලද, ආන්ධ්‍ර දේශයේ දී ලියන ලදැයි සිතන අන්ධකට්ඨ කථාවෙන් ද ලංකාව හා ආන්ධ්‍රදේශය අතර තුබූ ආගමික සම්බන්ධකම හෙළි වේ. අනුරාධපුරයේ ජේතවනාරාමයේ මල් ආසනයන් සැරසීම සඳහා කොටන ලද නාගරාජයාගේ කැටයම ද හිස් සතක් ඇති නාගයාගේ කැටයම ද දේශනාවක් කරන අයුරු දක්වා ඇති බෝධිසත්වයන්වහන්සේගේ කැටයම ද ආන්ධ්‍ර කලාවට අනුව කොටා ඇති බව කිව හැක. ආන්ධ්‍ර ගෘහ නිර්මාණ ශිල්පය අනුව මහාවිහාරයේ ගොඩ නැඟුණු ගෘහවිශේෂයක් ගැන ද සමන්තපාසාදිකායෙහි සදහන්ව ඇත.

ලක්දිව පමණක් නොව අග්නිදිග ආසියාවේ ද ඉන්දියානු සංස්කෘතික ව්‍යාප්තිය පිළිබඳව ආන්ධ්‍ර දේශය විශේෂ තැනක් ගත් බව පුරාවිද්‍යාඥය මතයයි. (ඉන්දු-චීනය; ඉන්දුනීසියාව ලිපි ද බලන්න.)

ආන්ධ්‍රදේශය බලවත් බෞද්ධ මධ්‍යස්ථානයක්ව තුබුණු නමුත් හින්දු ආගම ද එහි සම සමව පැවති බව කිව යුතුය. කාලහස්ති, දාක්ෂාරාම, ශ්‍රී ශෛලම් වැනි ප්‍රසිද්ධ හින්දු දේවාල හැරුණු විට චෙබ්රෝලුහි පිහිටි මහාසේන දේවාලය ද බිදාපුරයෙහි පිහිටි හුම්කාරශඞ්කරී කෝවිල ද බේස්වාදා ප්‍රදේශයේ පිහිටි මල්ලේශ්වර කෝවිල ද වන්දනාකරුවන් විශාල වශයෙන් ගැවසුණු හින්දු පූජනීය ස්ථාන විය.

මෙකල ආණ්ධ්‍ර දේශය මුළුල්ලෙහි ම පාහේ හින්දු ආගම පැතිරී ඇත.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආන්ධ්‍ර&oldid=6491" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි