ඉරමුසු
[හෙමිඩෙස්මුස් ඉන්ඩිකුස් - Hemidesmus indicus (L) Ait. f.]. ඉරමුසු වනාහි කාෂ්ඨිය වූ කොට කඳකින් යුක්ත, බිම දිගට අතු ඇදෙන බහුවාර්ෂික පැළෑටියකි. කොළවල හැඩය වෙනස්වනසුලුය. කොළ කක්ෂයන්හි පිහිටී බහු-අක්ෂවල (cymes) මල් හටගනී. මල් මුකුටයෙහි පිටපැත්ත කොළපාටය. ඇතුළු පැත්ත නිල් මිශ්‍ර රතු පැහැයෙන් යුක්තය. ඵලය වරාවකි (follicle). ඇට කළුපාටය, කුඩාය, පැතලිය.
ලංකාවේ අඩි 2,500කට වඩා උස් නොවූ ප්‍රදේශවල ඉරමුසු තරමක් බහුලය. ඉන්දියාවේත් මේ ශාකය වැවේ.
ඉරමුසු මුල සුගන්ධවත්ය. පැළෑටිය සහමුලින් ගෙන ඉරමුසු කැඳ සාදා ගනු ලැබේ. වේළපු කොළ උණු වතුරෙහි තම්බා බීමට ගනු ලැබේ.
ඉරමුසු අස්ක්ලෙපියඩාසේ (Asclepiadaceae) (බ.) කුලයට අයත් ශාකයකි.
ආයුර්වේද මතය
හෙළ (සුදු) ඉරමුසු, කළු ඉරමුසු වශයෙන් ප්‍රභේද දෙකකි. ඒවා ශුක්ල සාරිවා, කෘෂ්ණ සාරිවා ආදි නම්වලින් සංස්කෘත නිඝණ්ටුවල හඳුන්වා ඇත. ඉරමුසු දෙවගය ම මධුරය; සිනිඳුය; ගුරුය; ශුක්‍ර උපදවයි. ගිනිමඳබව, අරුචි, ශ්වාස, ඔක්කාර, කාස, තෘෂ්ණා පහ කරයි; තුන්දොස ද රුධිර දෝෂ, ප්‍රදර, ජ්වර, අතීසාර, මේහ, විෂ, කුෂ්ඨ, කණ්ඩුති, ආමවාත, වාතරක්ත, සූතිරෝග යන මේවා ද නසයි.
කළු ඉරමුසු මලබැඳීම කෙරෙයි; ශීතලය; රත්පිත්, සෙම් හා පිත් දිනයි; අරුචි ශමනය කරයි.
ස්කන්දාපස්මාර, ශ්වාස, අර්ශස්, ඖපදංශික රෝග, චර්මවිකාර, මූෂිකවිෂ, රක්තපිත්ත, ව්‍රණ, නේත්‍රරෝග, වාතව්‍යාධි, ව්‍රණශෝධන හා පූතනා නමැති බාලග්‍රහදෝෂ ශමනය සඳහා ඉරමුසු වෙනත් ඖෂධ වර්ග සමඟ යොදනු ලැබේ.
(සංස්කරණය: 1970)