උපෝසථාගාරය
භික්ෂුසංඝයා පෝය කිරීම (උපෝසථ බ.) සහ වෙනත් සඞ්ඝකර්ම (බ.) කිරීම සඳහා රැස් වන ගොඩනැඟිල්ල උපෝසථාගාරය නම් වේ. පාලි උපෝසථාගාර හෙවත් උපෝසථඝර යන පදය පැරණි සිංහල සෙල්ලිපිවල පොහතකර යී ද පැරණි සාහිත්‍යයෙහි පොහො-අග් හෝ පොහොවර යී ද වර්තමාන ව්‍යවහාරයෙහි පෝයගේ යී ද යෙදේ. උපෝසථාගාරයක් පිහිටුවා ගැනීමේ දී විනයනීතිවලට අනුව සීමා (බ.) බැඳීම ඉතා වැදගත් කටයුත්තක් වේ. සාමාන්‍යයෙන් උපෝසථාගාරයක් පිහිටුවාගනු ලබන්නේ එක් සීමාවක් තුළ වෙසෙන භික්ෂුසංඝයාට පහසුවෙන් රැස් විය හැකි විධියේ මධ්‍ය ආරාමයකය.
සංඝකර්ම සිදු කෙරෙන ස්ථානය වීමත් ස්ථවිර භික්ෂූන් වෙසෙන විහාරයක් උපෝසථකර්මය සඳහා සම්මත කොටගත යුතුය යනුවෙන් විනය නීතියක් තිබීමත් හැමදීම, අසුන් පැනවීම, පහන් දැල්වීම ආදි කටයුතු උපෝසථාගාර සම්බන්ධයෙන් පමණක් භික්ෂූන්ට පනවනු ලැබීමත් යන කරුණු හේතුකොටගෙන උපෝසථාගාරය ඉතා වැදගත් ස්ථානයක් කොට සලකන ලදි.
භික්ෂු සංඝයාට තමන්ගේ කැමැත්ත පරිදි විහාර, අඩ්ඪයෝග, පාසාද, හම්මිය, ගුහා යන ගෘහ විශේෂයන්ගෙන් එකක් පොහෝගෙයක් කොට සම්මත කරගැනීමට බුදුරජාණන්වහන්සේ විසින් අනුදන්නා ලද බව විනය පිටකයෙහි මහාවග්ග පාළියෙහි සඳහන් වෙයි. බුදුරදුන් විසින් භික්ෂූන්ගේ වාසයට යෝග්‍ය තැන් වශයෙන් අනුදන්නා ලද්දේ මේ වාසස්ථාන පස් වර්ගය බව චුල්ලවග්ගයෙහි සේනාසනක්ඛන්ධකයෙහි දැක්වේ. මේවා කවර ආකාර ගොඩනැඟිලි විශේෂ දැයි නිශ්චය වශයෙන් කීමට තරම් සාධක නොමැත. බුද්ධඝෝෂ හිමියන් විහාර යන්න විස්තර කරන්නේ ඇතුළු ගැබකින් ද ආරක්ෂා සහිත සේනාසනවලින් ද යුක්ත මනාව ආවරණය වූ නිවාසයක් ලෙසය. අඩ්ඪයෝග යන්න ගැන විවිධ විස්තරාර්ථ දක්වා ඇත ද එයින් අදහස් කෙරෙන්නේ ගුරුළු පියාපත් වැනි පියස්සක් හෙවත් එක් පසකින් නැමුණු පියස්සක් සහිත ගෘහයක් බව සාමාන්‍ය පිළිගැනීමයි. පාසාද යන්න උඩුමාල් සහිත ගෘහයක් වශයෙන්ද හම්මිය යන්න කුළුගෙයක් සහිත පාසාදයක් වශයෙන් ද ගුහා යන්න උළුමුවා හෝ දැවමුවා කුටියක් නොහොත් ගිරිලෙනක් වශයෙන් ද සාමාන්‍යයෙන් සලකනු ලැබේ.
බුදුසමයෙහි නිජබිම වූ ඉන්දියාවෙහි උපෝසථාගාර පිළිබඳ පුරාවිද්‍යාත්මක තොරතුරු විරලය. පැරණි ගන්ධාර දේශයේ ජමාල්ඝර්හි නම් ස්ථානයේ බෞද්ධ විහාරයක නටබුන් අතර වූ එක් දොරටුවක් සහිත උස් පවුරකින් වට වූ චතුරස්‍රාකාර අංගණයක් උපෝසථාගාරයක් වශයෙන් ප්‍රංස ජාතික පුරාවිද්‍යාඥයකු වූ ඒ. ෆුෂේ මහතා හඳුන්වා ඇත. ගන්ධාර දේශයෙහි ම තඛ්ත්-ඊ-බහායි නම් ස්ථානයේ බෞද්ධ විහාරයක නටබුන් අතර ද එවැනි ම අංගණයක් සොයාගෙන තිබේ.
බුරුම රටෙහි තීන් නම් වූ ගොඩනැඟිලි විශේෂය ද (උපාලි තීන් බ.) සියම් දේශයෙහි බෝට් නම් වූ ගොඩනැඟිලි විශේෂය ද උපෝසථාගාර වශයෙන් ජේම්ස් ෆ’ගසන් මහතා හඳුන්වයි. ඒ මහතා කරන විස්තරයට අනුව, බෝට් ගොඩනැඟිල්ල පිහිටියේ විහාරස්ථානයක වාට් නම් වූ සෘජුකෝණාස්‍ර පිට මළුව ඇතුළත, එහි ප්‍රධාන දොරටුව අභිමුඛවය. බෝට් ගොඩනැඟිල්ල ද ඍජුකෝණාස්‍ර වන අතර එය ගල්ටැම්වලින් මධ්‍ය හා පාර්ශ්වීය අංශවලට බෙදා ඇත. දැවමුවා පියසි පැහැපත් වර්ණයන්ගෙන් යුක්ත උළුවලින් සෙවිලි කරන ලදි. පාර්ශ්වීය අංශවල පියසි මධ්‍යාංශයේ පියස්සට වඩා පහතින් පිහිටි අතර, මේ පියසිතල දෙක අතර සිරස් ප්‍රදේශයෙහි කැටයම් විදින ලද රතුමැටිමුවා පුවරු අල්ලා ඇත. අංශවල පිටපැත්තේ කුලුනු අතර ද මේ විදියේ කැටයම් ගරාදි වේ. බෝට් ගොඩනැඟිල්ලෙහි මධ්‍යාංශයෙහි විශාල පීඨයක රන් ආලේප කළ බුදුපිළිමයක් තැන්පත් කිරීම සිරිතකි. මේ විදියේ සෑම ගොඩනැගිල්ලක ම දොරකොටුවක් විය. ගොඩනැඟිල්ල පිටිපස ඵ්‍රා නම් වූ ප්‍රධාන දාගැබ වූයේය.
ලංකාවේ පෝයගෙවල් අතුරෙන් වංසකථාවන්හි විශේෂයෙන් සඳහන් වනුයේ මහාවිහාරස්ථ ලෝවාමහා ප්‍රාසාදයයි. දුටුගැමුණු රජතුමා (ක්‍රි.පූ. 161-137) විසින් කරවන ලද මෙය මාල් නවයකින් යුක්ත වූ අතර එක් එක් මාලෙහි කුළු ගෙවල් සියය බැගින් ද මුළු පහයෙහි ම මනා කොට සැදි ගර්භ දහසක් ද වූ බව මහාවංසයෙහි සඳහන් වෙයි. දොරකොටු සතරක් ඇත්තා වූ මනෝඥ ප්‍රාකාරයෙන් පරික්ෂිප්ත වූ මෙම ප්‍රාසාදය තඹලෝ උළුයෙන් සෙවිලි කරන ලද බවත් ඒ හේතුවෙන් ම එය ලෝහප්‍රාසාද නම් වූ බවත් මහාවංස කර්තෘ පවසයි. ගින්නෙන් දැවුණු මෙය සද්ධාතිස්ස රජු (ක්‍රි.පූ. 137-119) විසින් සත්මාල් කොට ප්‍රතිසංස්කරණය කරන ලද නමුත් 11 වැනි සියවසේ දී චෝළ ආක්‍රමණිකයන් අතින් යළිත් විනාශයට පත් වූ බව ඉතිහාසයෙහි එයි. මහලු පැරකුම්බා රජු (ක්‍රි.ව. 1153-1186) විසින් නැවත වරක් ප්‍රතිසංස්කරණය කරන ලද මේ ගොඩනැඟිල්ල පිහිටියේ යයි දැනට සලකනු ලබන ස්ථානයෙහි ශේෂව පවත්නේ පේළි 40ක්ව පිහිටි ගල්කණු 1,600කි.
කූටකණ්ණතිස්ස රජු (ක්‍රි.පූ. 41-19) චේතියපබ්බතයෙහි මහා උපෝසථාගාරයක් කරවූ බව මහාවංසයෙහි සඳහන් වන අතර දැනට මිහින්තලේ භෝජන සාලාව නොහොත් සන්නිපාතසාලාව යනුවෙන් හැඳින්වෙන ස්ථානය සෑගිරියෙහි පොහෝ ගෙය නොවිණි දැයි විමසා බලනු වටී.
වංසකථාවන්හි දැක්වෙන පරිදි, වසභ රජු (65-109) විසින් ගලම්බතිත්ථ, කුම්භිගල්ලක විහාර, ඉසුරුමුණිය යන තන්හි ද භාතිකතිස්ස රජු (140-164) විසින් ථූපාරාමයෙහි සහ කල්‍යාණික විහාර, මණ්ඩලගිරික, දුබ්බලවාපිතිස්ස යන තන්හි ද වෝහාරිකතිස්ස රජු (214-236) අනුරාරාමයෙහි ද උපෝසථාගාර කරවන ලදි. ගෝඨාභය රජු (253-266) විසින් ථූපාරාමය, මණිසෝමාරාමය, මිරිසවැටිය යන විහාරයන්හි සහ දක්ඛිණ විහාරයෙහි ද පොහෝගෙවල් පිළිසකර කරවන ලදි.
පළමුව කනිට්ඨතිස්ස රජු (167-186) විසින් ද අනතුරුව මහින්ද II රජු (777-797) විසින් ද අනුරාධපුරයේ කරවන ලද රතනපාසාදය අභයගිරි විහාරයේ උපෝසථාගාරය වූ බව ඇතැම් පුරාවිද්‍යාඥයන්ගේ අදහසයි. මේ ප්‍රාසාදය පිහිටි අඩි 138ක් දිග, අඩි 66ක් පළල, ඍජුකෝණාස්‍රාකාර අධිෂ්ඨානයෙහි පද්මාකාර වැලිකොන්දක් ද ඊ මත බණ්ඩි බොරදමක් ද අධිෂ්ඨානයේ හිසෙහි මුදුන් ලීස්තරයක් ද වෙයි. මේ අධිෂ්ඨානය මත ගල්ටැම් 208කටත් අධික සංඛ්‍යාවක් තිබුණු බව පෙනෙන අතර එයින් 9ක් මුලින් පිහිටි තැන්වල ම ශේෂව පවතී. තනි ගලෙන් නිම වූ මේ එක් එක් කුලුනෙහි දිග අඩි 22කි. මේ කුලුනු රාශියෙන් පෙනෙන්නේ ගොඩනැගිල්ලෙහි මහල්තල කිහිපයක් තිබෙන්නට ඇති බවය. ප්‍රාසාද යන නමින් ම ඒ බව තහවුරු වෙයි. අධිෂ්ඨානයට ගොඩවීම සඳහා තනන ලද පියගැටපෙළ වනුයේ නැගෙනහිර දිසාවෙහිය.
දිවයිනේ ඵෙතිහාසික ස්ථාන කිහිපයක විධිමත් සැලැස්මකට අනුව නිමවන ලද්දාවූ ද අනුරාධපුර යුගයට ම අයත් වූද, විහාර කිහිපයෙක්හි සමචතුරස්‍රාකාර මධ්‍ය වේදිකාවක් මත බෝධිඝරය, පටිමාඝරය සහ දාගැබ මෙන් ම උපෝසථාගාරය ද පිහිටා ඇති බව මේ විහාර පිළිබඳ පර්යේෂණයන්හි යෙදුණු පුරාවිද්‍යාඥයන් පෙන්වා දී තිබේ. උතුරු මැද පළාතට අයත් අනුරාධපුරයේ විජයාරාමය, පංකුලිය, පුලියන්කුලම, පාචීනතිස්සපබ්බත විහාරය, තොලුවිල සහ වෙස්සගිරිය යන ස්ථානත් මැද පළාතේ සීගිරිය අසල කළුදියපොකුණ නම් ස්ථානයේ පැරණි දක්ඛිණගිරිවිහාරයත් නැගෙනහිර පළාතේ ලාහුගල රූණුමහවිහාරය හෙවත් පැරණි මඟුල් මහවිහාරයත් මේ තැන්වලට නිදසුන් වේ. මහායානික විහාරස්ථාන වශයෙන් සලකනු ලබන මේවායේ උපෝසථාගාර “සෘජුකෝණාස්‍ර තනි ගර්භයකින් යුක්තය. ගර්භයෙහි දොරටුව පිහිටියේ දිගු පැත්තෙහිය. පිළිමගෙවල බිම මෙන් මෙහි බිම ගල්පුවරු අතුරා නොමැත. එහෙත් පසුපස බිත්තියේ වම් කෙළවරෙහි හෝ දකුණු කෙළවරෙහි සතරැස් කොටුවක පමණක් ගල්පුවරු අතුරා ඇත. දැනට දක්නට නොමැති, උළු සෙවිලි කරන ලද දැව පියස්ස රැඳුණු ගල්ටැම් අටක් ගොඩනැඟිල්ල ඇතුළත පිහිටා ඇත. පල හතරකින් යුත් පියස්ස ප්‍රධාන දොරටුව උඩ දී මඳක් ඉදිරියට නෙරා තිබේ. ගර්භය අඩි 45x37 පමණ වූ අයම්විතරින් යුක්ත වේ... ගොඩනැඟිල්ලේ සිවුකොනෙහි සීමා ගල් සිටුවා තිබේ. විනයෙහි සියුම් තැන් සාකච්ඡා කිරීමේ දී විනය ග්‍රන්ථවලින් කොටස් කියවීමට නායක ස්ථවිරයන්ට සිදු වූ බවත් ඒ සඳහා අවශ්‍ය පොතපත පෝයගෙයි තැන්පත් කොට තබන ලද බවත් සිතිය හැකිය. මේ අනුව, ගර්භයේ කෙළවරක වූ සලපතළ කොටුවෙහි බදාමයෙන් කළ සේප්පුවක මේ පොත් තැන්පත් කළ සෙයෙකි. ඉන්දියාවේ විහාරස්ථානයන්හි එබඳු සේප්පු තිබුණු බව අනාවරණය වී තිබේ. පුලියන්කුලම, තොලුවිල සහ වෙස්සගිරිය යන තන්හි උපෝසථාගාරවල දොරටුවේ එළිපත්තෙහි දිය කෙම් හාරා තිබේ... විජයාරාමය වැනි ඇතැම් ස්ථානයන්හි පස්සා බිත්තියේ මැද සෙව්වෙහි බුදුපිළිමයක් තැන්පත් කොට තබන ලදි. මේ සිරිත දැනුදු පවතී. පංකුලිය, පුලියන්කුලම සහ වෙස්සගිරිය යන තන්හි උපෝසථාගාර තුළ බිත්ති සතරට මායිම්ව, උසින් අඟල් 6ක් ද පුළුලින් අඟල් 18ක් ද වන ගල් ආසනයකි” (Artibus Asiae, Vol. XXX, No. 1).
පළමුවැනි පරාක්‍රමබාහු රජු (1153-1186) විසින් පොළොන්නරුවෙහි ඉදි කරවන ලද බද්ධසීමාපාසාදයේ නටබුන්වලින් පැරණි පෝයගෙයක ලක්ෂණ ගැන අදහසක් ඇති කරගත හැකිය. එසේම, පැරණි පෝයගෙයක් වශයෙන් ස්ථිරව නිශ්චය කළ හැක්කේ ද මෙම ප්‍රාසාදයයි. මෙය දොළොස් මහල් ප්‍රාසාදයක් වූ බවත් නොයෙකුත් කාමර පන්තිවලින් යුක්ත වූ බවත් චුලවංසයෙහි සඳහන් වෙයි. එච්.සී.පී. බෙල් මහතා 1911-12 සඳහා ලියූ ලංකා පුරාවිද්‍යා සමීක්ෂණ වාර්තාවෙහි ලා මේ ගොඩනැඟිල්ලේ නෂටාවශේෂ පිළිබඳ මනා විස්තරයක් කරයි. එහි දැක්වෙන පරිදි බද්ධසීමාපාසාදය අඩි 113ක් දිගින් ද අඩි 106ක් පුළුලින් ද යුතු ඍජුකෝණාස්‍ර ගොඩනැඟිල්ලකි. එය පිහිටියේ අඩි 4 අඟල් 6ක් උස ඝනබහල අධිෂ්ඨානයක් මතුයෙහිය. අධිෂ්ඨානය මතුපිට ගොඩනැඟිල්ල වටා අඩි 7 අඟල් 6ක් පුළුලැති පියමඟකි. අධිෂ්ඨානය අනුරාධපුර යුගයේ ගොඩනැඟිලිවල අධිෂ්ඨාන මෙන් ම පද්මාකාර වැලිකොන්දෙන් සහ ඊ මත වූ බණ්ඩි බොරදමෙන් ද සිරස්තල මැදි පෙදෙසකින් හා මුදුනේ වූ තවත් පද්මාකාර කොන්දකින් ද යුක්තය. ගොඩනැඟිල්ලේ පිට බිත්තියෙහි ඝනකම අඩි 7ක් වේ. මේ බිත්තියෙහි හෙල්ලක තලයේ හැඩය ඇති කවුළු 6කි. අධිෂ්ඨානය මත පියමඟෙහි චාම් කුලුනු 48ක් වේ. සිවු දිසාවෙහි සමාන සංඛ්‍යාවක් බැගින් වූ මේ කුලුනු බිත්තියට සම්බන්ධ වූ පියස්සක් දැරීම සඳහා පිහිටුවන ලදි. මේ පියස්ස බිත්තියට සම්බන්ධ වූයේ බිත්තියෙහි වූ කවුළුවලට පහළින් නිසා ඒ කවුළුවලින් ගොඩනැඟිල්ල ඇතුළට ආලෝකය පිවිසීමට බාධාවක් නොවීය. ගොඩනැඟිල්ල ඇතුළත බිත්ති සතරට යාව කාමර පන්තියකි. මේ කාමර සංඛ්‍යාව 11 වන අතර 12 වන කාමරය සඳහා ඇති ඉඩ ප්‍රමාණයෙහි සෝපානය තනා තිබේ. කාමරයක බිත්තිවල ඝනකම අඩි 2කි. එක් එක් දොරටුව දෙපස වූ කාමර දෙකක දෙබිත්තියක් අතරිනි ගොඩනැඟිල්ලට ඇතුළු විය යුත්තේ. ගොඩනැඟිල්ල මැද අඩි 60 × 571/2ක් පමණ අයම්විතරින් යුතු සාලාවකි. මේ සාලාවෙහි කුලුනු 108ක් පිහිටා තිබුණු බව පෙනේ. එක් පැත්තක කුලුනු 25 බැගින් ද දොරටුවලට මායිම්ව පිහිටි කාමරවල බිත්ති ඉදිරියේ කුලුනු දෙක බැගින් සිවු පැත්තෙහි කුලුනු 8ක් ද යනු විසිනි. සාලාව මැද තල දෙකකින් සැදි වේදිකාවකි. බිම පිහිටි වඩා විශාල තලයෙහි පැත්තක් අඩි 24ක් වූ අතර ඊ මත වූ තලයෙහි පැත්තක් අඩි 15ක් වූයේය. තලයක් අඩි 1 බැගින් උස්ය. ගල්පුවරු අතුළ මේ වේදිකාවෙහි සිවු කොනෙහි කුලුනු 16කි. ඇතුළත ම වූ කුලුනු හතර මත ගල් වියනක් තිබෙන්නට ඇත. වේදිකාවේ හතර පැත්තෙහි වටකුරු කුඩා පීඨය බැගින් විය. කාමර බිත්තිවල පනෙල් බේරා ඒවායේ රතු සහ නිල් යන වර්ණ ආලේප කර ඇති බව දැනට ශේෂව ඇති සායම් පැල්ලම් කිහිපයකින් පෙනෙයි. ගොඩනැඟිල්ලේ පියස්ස කුඩා පෙති උළුවලින් සෙවිලි කරන ලද බව ගොඩනැඟිල්ල තුළ වූ උළු සහ උළු කැබැලිවලින් පැහැදිලි වෙයි. මේ උපෝසථාගාරයට අයත් සීමා ගල් ද කුලුනුහිස් ආදිය සහිතව අලංකාර ලෙස නිමවා ඇත. මෙහි පිට බිත්තියේ ඇති හෙල්ලක තලයේ හැඩය ගත් කවුළු ආදි වාස්තු විද්‍යාත්මක ලක්ෂණ කාම්බෝජයේ වාස්තු විද්‍යාත්මක ලක්ෂණවලට නෑකම් දක්වන බව බෙල් මහතාගේ අදහසයි.
මෑත අතීතයෙහි ඉදි කරන ලද පෝයගෙවල් අතර මහනුවර අස්ගිරියේ සහ මල්වත්තේ විහාර දෙක්හි ඇති පෝයගෙවල් දෙක විශේෂයෙන් සඳහන් කළ යුතුය.
මේ දෙකින් වඩා පැරණි වූ මල්වතු විහාරයේ පෝයගෙය ඍජුකෝණාස්‍ර ගොඩනැඟිල්ලකි. තනි සාලාවක් වන මෙය පිහිටියේ ගල්පුවරු අල්ලන ලද අධිෂ්ඨානයක් මතය. අධිෂ්ඨානය පාදයෙහිත් මුදුනෙහිත් පද්මාකාර කොඳු දෙකක් ද බඳ මධ්‍යයෙහි ද්විත්ව පද්මාකාර කොන්දක් ද වේ. මේ කොඳුතීරු අතර ප්‍රදේශය සිරස් තලයකි. අධිෂ්ඨානය මත ගොඩනැඟිල්ල වටා අඩි 31/2ක පමණ පියමඟකි. ගොඩනැඟිල්ලේ පියස්ස දරා සිටීම සඳහා පිට බිත්තිය වටා ඇති ගඩොලින් හා බදාමයෙන් කළ කුලුනු පිහිටා ඇත්තේ අධිෂ්ඨානයේ කුඩ්‍යස්තම්භ ආකාරයට බැඳ ඇති පාදම් මතය. මේ කුලුනු සංඛ්‍යාව 20කි. අධිෂ්ඨානය සිවු කොනේ 4ක් ද දිගු පැත්තේ දෙකොනෙහි වූ කුලුනු දෙක මැද 6 බැගින් හා පටු පැත්තේ දෙකොනෙහි වූ කුලුනු දෙක මැද 2 බැගින්ද යනු විසිනි. දිගු පැති දෙක්හි බිත්ති දෙක මැද දොර බැගින් වේ. පටු පැති දෙකින් එක් පැත්තක පමණක් බිත්තිය මැද දොරක් වන අතර අනිත් පටු පැත්තෙහි මැද වූ දොරටුව අහුරා බිත්තිය බැඳ තිබේ. එක් එක් දොරටුව දෙපස බිත්තියෙහි සම්මිතිකව තැබූ ජනෙල් දෙක බැගින් වේ. දිගු පැති දෙක්හි ජනෙල් පටු පැත්තේ ජනෙල් දෙකට වඩා ප්‍රමාණයෙන් විශාලය. අධිෂ්ඨානයට ගොඩවීමට ඇත්තේ එක් පඩිපෙළකි. ගල්පඩි හතරකින් යුතු එය පිහිටියේ නැගෙනහිර දිසාවෙහි දිගු පැත්තෙහිය. ගොඩනැඟිල්ලේ පියස්ස මහනුවර සමයට ආවේණික ක්‍රමයට අනුව පැත්තක් පල දෙකකට සිටින සේ තනන ලද්දකි. යටිපලය සිංහල උළුවලින් ද මුදුන් පලය පෙති උළුවලින් ද සෙවිලි කරන ලද්දේය. මුදුන් පලයේ දෙකෙළවර කොත් කැරලි දෙකකින් අලංකෘතය. පියස්සේ නෙත්තියෙහි සිංහයා කැටයම සහිත වඩිම්බු උළු අල්ලා ඇත්තේය. මේ සෑම සිංහයා උළු දෙකක් අතරට ම, අග කුඩා බෝපතක හැඩය ඇති සිහින් දිග මැටිමුවා පුවරුව බැගින් යොදා ඇත.
දිග බිත්ති දෙකට සමාන්තරව පිහිටි ගල්කණු පේළි දෙකකින් පෝය ගෙය අංශ තුනකට බෙදේ. මධ්‍යාංශය පාර්ශ්වීයාංශ දෙකට වඩා පුළුල්ය. ගොඩනැඟිල්ලේ දොරටුවක් නැති පටු පැත්තේ බිත්තියට යාව යට කී මධ්‍යාංශයෙහි වැඩහුන් බුදුපිළිමයක් තැන්පත් කොට ඇත්තේය. පෝයගේ ඇතුළත පිහිටි, එක් පේළියකට 8 බැගින් අයත් වන ගල්කණු සිවුරැස්ය, චාම්ය. කුලුනු මත මහනුවර සමයට ආවේණික දැවමුවා පේකඩ සතරකි. පියස්ස දරන තලාඳ පිහිටියේ ඒ මතය. දැවමුවා වියන්තට්ටුව සිතියමින් අලංකාර කරන ලදි.
මනහර ලියකම් සහිත සීමා ගල් අටක් පෝයගේ සිවු පැත්තෙහි පිහිටුවා ඇත. මෙය කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස මෙරට උපසම්පදා කර්මය පිහිටුවනු සඳහා සියම් දේශයෙන් භික්ෂු පිරිසක් වැඩම කළ අවස්ථාවෙහි බඳනා ලද සීමාව යයි සලකනු ලැබේ.
මල්වතු විහාරයේ පිළිමගෙය වශයෙන් වත්මන්හි භාවිතා කෙරෙන්නේ ද මේ පෝයගෙය මය.
අස්ගිරි විහාරයේ පැරණි පෝයගේ කුඩා එකක් වනුයේ දැනට භාවිතයට නොගැනේ. ඒ වෙනුවට තනා ඇති අලුත් පෝය ගෙය ඍජු කෝණාස්‍රාකාර තනි සාලාවකි. මෙය පිහිටි අධිෂ්ඨානයේ පාදයෙහිත් මුදුනෙහිත් ඇති කොඳු දෙක පද්මාකාර බොරදමෙන් හා උත්තල බොරදමෙන් යුතුය. කපා මට්ටම් කළ ගල් අල්ලන ලද අධිෂ්ඨානයේ බඳ සිරස්තලයකි.
මල්වතු විහාරයේ පෝයගෙයි මෙන් මෙහි ද දොරටු තුනකි. දිගු පැති දෙක්හි බිත්ති මැද දොරටු දෙකක් ද එක් පටු පැත්තක පමණක් බිත්තිය මැද දොරටුවක් ද යනු විසිනි. බිත්ති හතරෙහි පිට පැත්ත මුදුනේ උළුකොන්දක් වෙයි.
දොරටුවක් නැති පැත්තේ බිත්තියට යාව පෝයගේ ඇතුළත විසිතුරු මකර තොරණක් යට වැඩහුන් බුදු පිළිමයක් වේ. බුදුපිළිමය දෙපස, දිග බිත්තිවලට සමාන්තරව එක් පේළියක කණු 6 බැගින් පිහිටි ගල්කණු පේළි දෙකකි. එහෙත් මල්වත්තේ මෙන් මේ ගල්කණු හුදෙක් සිවුරැස් නොවේ. කුලුනු පාදය ද කඳ මැද චතුරස්‍රාකාර කොටසක් ද කුලුනේ මුදුන් කොටස ද සිවුරැස්ය. කුලුනු කඳේ සෙසු කොටස් අටපට්ටම් කොට කපා තිබේ. කුලුනු මත දැවමුවා පේකඩ ද ඒ මත පියස්සේ බර රැඳෙන තලාඳ ද වේ. වියන්තට්ටුව චිත්‍රකර්මයෙන් සමුපේතය. පෝයගේ බිම පිඟන් ගඩොල් අල්ලා ඇත්තේය.
මෙහි පියස්ස ද මහනුවර සාම්ප්‍රදායික ශෛලියට අනුව නිමියේය. පියස්සේ යටිපලය රට උළුවලින් ද මුදුන් පලය පෙති උළුවලින් ද සෙවිලි කරන ලද්දේය. පියස්සේ අගු පෙදෙසෙහි පරාළවල යටිපැත්තෙහි කැටයම් ලියවා ඇත. මේවා ගොනැස් නම් වේ. පියස්සේ වඩිම්බුව වනුයේ සිංහයා කැටයම සහිත උළු පේළියකි. මුදුන් පලය කෙළවර කොත් කැරලි දෙකකි.
පෝයගේ සීමාව දැක්වෙන චාම් ගල්කණු අටක් අධිෂ්ඨානය වටා ඇත.
අස්ගිරි විහාරයේ පැරණි පෝයගෙය ජරාවාස වෙමින් පවත්නේය. මෙ ද ඍජුකෝණාස්‍රාකාර තනි සාලාවකි. මෙහි අධිෂ්ඨානයේ බාගයකටත් වැඩි කොටස පසට යට වී ඇත්තේය. පෝයගේ වටා අධිෂ්ඨානය මත පටු පියමඟකි. දිගු බිත්තියක එක් දොරටුවක් ද පටු බිත්තියක එක් දොරටුවක් ද වෙයි. මේ දොරටු දෙකෙහි ඇත්තේ සෙල්මුවා සූර්යවංක උළුවහු දෙකකි. පියස්සේ පල හතරකි. ඒ සෙවිලි කරන ලද්දේ පෙති උළුවලිනි.
පෝයගේ ඇතුළත කණු පේළි නොමැතියි. පෝයගෙය වටා පිහිටි සීමා ගල් දැනුදු විද්‍යමානය.
අස්ගිරියේත් මල්වත්තේත් විහාර දෙක්හි පෝයගෙවල් සැලැස්ම අතින් සමාන වන බව යට කළ විස්තරයෙන් පෙනෙයි. වෙනස්කම් දක්නා ලැබෙන්නේ ඒවායේ අංගෝපාංගයන්හිය.
පොත්පත්
අරියසේන හිමි, කඹුරුපිටියේ - සීමාව හා එහි ඓතිහාසික සංවර්ධනය පිළිබඳ තුලනාත්මක විමර්ශනයක් (පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයේ දර්ශන විශාරද උපාධිය සඳහා ඉදිරිපත් කළ අමුද්‍රිත නිබන්ධයකි, 1967.)
Prematilleke, L., Silva, R. - A Buddhist Monastery Type of Ancient Ceylon showing Mahāyänist Influence, Artibus Asiae, Vol. XXX, No. 1.
(සංස්කරණය: 1970)