එක්සත් ජාතීන්ගේ සංවිධානය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ලෝක සාමය හා ආරක්ෂාව රැක පවත්වාගෙන යෑමේ පරමාර්යෙන් දෙවන ජගත් සංග්‍රාමයෙන් පසු පිහිටුවා ගනුලැබූ ජාත්‍යන්තර මහා සංවිධානයයි. එය පිහිටුවා ගැනීමෙහි මුල් වූවෝ එම ජගත් සංග්‍රාමයේ ජයග්‍රාහක ජාතීහුයි. තම පරිශ්‍රමයේ ප්‍රතිඵලයක් වශයෙන් දිනාගන්නා ලද සාමය සාමූහික ප්‍රයත්නයෙන් දිගට ම රැකගැනීමත් යුද්ධය ලෝකයෙන් තුරන් කර දැමීමත් මෙම ලෝක මහා සමුළුවෙන් ජයාග්‍රහක ජාතීහු අ‍පේක්ෂා කළහ. ජනතාවගේ සම අයිතිවාසිකම් හා ආත්ම නිර්ණය පිළිබඳ මූලධර්මය පදනම් කොට මිත්‍රසම්බන්ධතා වර්ධනයටත්, ආර්ථික සමාජ සංස්කෘතික හෝ මානුෂික ජාත්‍යන්තර ප්‍රශ්න විසඳීමෙහි ලා ජාත්‍යන්තර සහයෝගීතාව සාක්ෂාත් කරගැනීමටත් මෙකී පොදු පරමාර්ථ ඉෂ්ට කරගැනීමෙහි ලා ජාතීන්ගේ ක්‍රියා සමායෝජනය පිණිස වූ මධ්‍යස්ථානයක් වශයෙන් ක්‍රියා කිරීමටත් මෙම මහා සංවිධානය කැප වී සිටී.

විකාසය

‘එක්සත් ජාතීහු’ යනු ජර්මන්-ඉතාලි-ජපන් යන අක්ෂ ජාතින්ට විරුද්ධව ඇමෙරිකානු ඉංග්‍රීසි මිත්‍රපක්ෂයගෙන දෙවන ලෝක සංග්‍රාමයේ දී යුද්ධ භුමියට පිවිසි මිත්‍රජාතීන් හැඳින්වීමට ඇමෙරිකානු ජනාධිපති ෆ්රැන්ක්ලින් ඩී. රූස්වෙල්ට් යෙදූ නමයි. එය නිලවශයෙන් යෙදුණේ ජාතීන් විසි හයක් එක්ව තමන් ‘එක්සත් ජාතීන්’ යන නමින් හඳුන්වමින් අත්ලන්තික් ප්‍රඥප්තියෙහි (අත්ලන්තික් ප්‍රඥප්තිය බ.) මූලධර්ම පිළි ගන්නා බවට 1942 දී අත්සන් තැබූ අවස්ථාවේ දීය. ‘එක්සත් ජාතීන්ගේ සංවිධානය’ පිළිබඳ සංකල්පය නියම වශයෙන් බිහි වූයේ 1943 දී මොස්කව් නගරයේ දීය. එම වර්ෂයේ ඔක්තෝම්බර් 1 වැනි දා සෝවියට් සමාජවාදී සමුහාණ්ඩු සංගමය, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය හා එක්සත් රාජධානිය යන රාජ්‍යයන්හි විදේශ අමාත්‍යවරු ද මොස්කව්හි චීන තානාපතිවරයා ද හමුව එක්සත් ප්‍රකාශනයක් නිකුත් කළහ. “යුද්ධය කරගෙන යාමෙහි ඔවුන් ප්‍රතිඥාවෙන් බැඳී ගෙනයන එකමුතු ක්‍රියාකලාපය සියලු ම සාමකාමී ජාතීන්ගේ ස්වාධීන සමානත්ව මූලධර්මය මත පදනම් වූ, එබඳු සෑම ජාතියකට ම විවෘත වූ, පොදු ජාත්‍යන්තර සංවිධ‍ානයක් මඟින් සාමය හා සුරක්ෂිතභාවය සංවිධානය කොට පවත්වාගැනීම සඳහා දිගට ම ගෙන යනු ලැබේ” යනුවෙන් එහි සඳහන් විය. අනතුරුව 1943 දෙසැම්බරයේ දී රූස්වෙල්ට්, ස්ටාලින් හා චර්විල් යන මහ බලවතුන් තිදෙන තෙහෙරාන්හි දී ප්‍රකාශයක් නිකුත් කරමින් ක්‍රෑර අත්තනෝමතික පාලනය, වහල්බව, ප්‍රජාපීඩනය හා අසහනය තුරන් කිරීමට කැප වූ සියලු ජාතීන්ගේ සක්‍රිය සහභාගිත්වය හා සහයෝගිතාව අපේක්ෂා කරන බව කියා සිටිමින් මොස්කව් ප්‍රකාශනය තහවුරු කළහ.

1944 අගෝස්තු 21-ඔක්තෝබර් 7 කාලය තුළ ඇමෙරිකාවේ කොලම්බියා දිස්ත්‍රික්කයේ (වොෂිංටන්) ඩම්බාර්ටන් ඕක්ස් නම් මන්දිරයේ දී ඉහත කී සිව් ජාතීහු නව ලෝක සංවිධානය අරභයා සැලැස්මක් සකස් කළහ. එම සංවිධානය පිහිටුවීමෙහි ලා ප්‍රඥප්තියක් පිණිස විශේෂ යෝජනා ද එහි දී කෙටුම්පත් කැරිණි. සියලු ම සාමාජිකයන්ගෙන් සැදි මහා මණ්ඩලය, මහබලවතුන් නිත්‍ය සාමාජිකයන් වශයෙන් ඇති ආරක්ෂක මණ්ඩලය, ආර්ථික හා සමාජ මණ්ඩලය යන ජාත්‍යන්තර අධිකරණය යන ඉන්ද්‍රියයන්ගෙන් එ.ජා. සංවිධානය සමන්විත විය යුතු යයි එම සැලැස්මෙහි පැවසිණ. ඉක්බිති 1945 පෙබරවාරි මාසයේ දී යෝල්ටාහි තුන් මහා බලවතුන්ගේ රැස්වීමේ දී ආරක්ෂක මණ්ඩලයේ දී ජන්දය දිමේ ක්‍රමය පිළිබඳව තීරණයක් ගන්නා ලද අතර, ජාතින්ගේ සංගමය මගින් පවත්වා ගෙන එන ලද මැන්ඩේට් ක්‍රමය වෙනුවට භාරකාර ක්‍රමයක් ඇති කිරීමට ද තීරණය විය. සෝවියට් සංගමයේ සාමාජික සමූහාණ්ඩු ස්වාධීන මුල් සාමාජිකයන් හැටියට එ.ජා. සංවිධානයට බඳවා ගත යුතු යයි කරන ලද ඉල්ලීම සලකා බැලූ මෙම සම්මේලනයේ දී යුක්රේනය හා ‍බ්‍යෙලො රුසියාව පමණක් එසේ බඳවා ගතයුතු බවට එකඟ වන ලදි. ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයන්හට නිෂේධ බලය තිබිය යුතුය යන රුසියානු යෝජනාව ද මෙහි දී අනුමත විය.

යෝල්ටා සම්මේලනයේ දී තීරණය කරගන්නා ලද පරිදි නව සංවිධානයට ප්‍රඥප්තියක් පිළියෙල කිරීම සඳහා 1945 අප්‍රේල් 25 වෙනි දා සැන් ෆ්රැන්සිස්කෝහි දී සම්මේලනයක් පවත්වන ලදි. එයට ආරාධනා ලැබුවෝ 1945 මාර්තු 31 වන විට අක්ෂ ජාතීන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කොට සිටියාවූ ද එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනයට අත්සන් තබා සිටියාවූ ද ජාතීහුය. ඒ වන විට එම ප්‍රකාශනයට අත්සන් කොට සිටි ජාතින් 46 ද ඇතුළු ජාතීන් 50කගේ නියෝජිතයන් එකතු වී පවත්වන ලද මෙම සම්මේලනයේ දී එ.ජා. ප්‍රඥප්තිය සම්පූර්ණයෙන් පිළි‍යෙල කරන ලදි.

මේ අතර කොලම්බියා දිස්ත්‍රික්කයේ වොෂිංටන්හි රැස්වූ රටවල් 44ක නීතිවේදීන්ගේ කමිටුව ජාත්‍යන්තර අධිකරණය පිණිස ව්‍යවස්ථාවක් සකස් ‍කෙළේය.

1945 ජූනි 26 දින ජාතින් 51ක නියෝජිතයෝ ආරම්භක සාමාජිකයන් හැටියට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියට අත්සන් තැබූහ. ඔක්තෝබර් 24 දින එ.ජා. මහා මණ්ඩලයේ ඓතිහ‍ාසික ප්‍රථම සභාවාරය ලන්ඩන්හි දී පවත්වනු ලැබීය.

සංවිධානයේ සාමාජිකත්වය

සංවිධානයේ සාමාජිකයන් දෙකොටසක් ඇත. මුල් සාමාජිකයන් සහ පසුව ඇතුළත් කරගන්නා අය වශයෙනි. ඔවුන් සියල්ලට ම සමාන වරප්‍රසාද සහ යුතුකම් ඇත. මුල් සාමාජීකයන් වශයෙන් හඳුන්වනුයේ 1945 සැන් ෆ්රැන්සිස්කෝ සම්මේලනයට සහභාගි වීමෙන් පසුව ප්‍රඥප්තියට අත්සන් තැබූ රාජ්‍යයන් සහ 1942 ජනවාරි 1 දින එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනය අනුමත කළ අයයි. එවැනි මුල් සාමාජිකයෝ 51 ‍දෙනෙක් වෙති. 1974 වර්ෂය අවසානයේ දී සාමාජිකත්වය 138ට නැඟ තිබිණ. 1974 දී එ.ජා සංවිධානයේ සාමාජිකත්වය ලබා සිටි රටවල් පහත දැක්වේ.

1950 සිට මහජන චීනයට සාමාජිකත්වය දීමේ ප්‍රශ්නය ඉදිරිපත්ව තිබුණු නමුත් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය මුල් වී ඒ ගැන දැක් වූ විරෝධය නිසා එරට ඇතුළත් කරගැනීමට ඉන්දියාව සෝවියට් රාජ්‍ය සංගමය වැනි රාජ්‍ය ගෙන ආ යෝජනා දිගින් දිගට ම නිෂ්ප්‍රභ විය. 1971 දී ඇමෙරිකා එ.ජ. රාජ්‍යයේ විරුද්ධත්වය තිබිය දී ම වැඩි ජන්ද රැසක් ම ලැබීමෙන් මහජන චීනය එ.ජා. සංවිධානයේ සාමාජිකත්වය ලැබූ අතර ජාතික චීනය (තායිවානය) ඉන් ඉවත් විය. ආරක්ෂක මණ්ඩලයේ හා අනිකුත් එ.‍ජා. ආයතන හා මණ්ඩල ආදියේ එතෙක් ජාතික චීනය ලබා සිටි තැන ද මහජන චීනය සතු විය. ප්‍රඥප්තියේ 4 වන වගන්තිය පරිදි සාමකාමී වූත්, ප්‍රඥප්තියේ එන බැඳීම් පිළිගන්නා වූත්, එම බැඳීම් පරිදි කටයුතු කළ හැකි යයි ද එසේ කිරීමට කැමති යයි ද සංවිධානය නිගමනය කරන්නා වූත් සෑම රාජ්‍යයකට ම සාමාජිකත්වය විවෘතය. මෙබඳු රාජ්‍යයක් ඇතුළත් කරගැනීමේ දී ආරක්ෂක මණ්ඩලයේ නිර්දේශය මත මහාමණ්ඩලය ගන්නා තීරණය අවශ්‍යය.

ආරක්ෂක මණ්ඩලය විසින් කිසියම් සාමාජික රටකට විරුද්ධව වැළැක්වීමේ හෝ ක්‍රියාකරවීමේ පියවරක් ‍ගෙන තිබේ නම් එම මණ්ඩලයේ නිර්දේශයෙන් මහාමණ්ඩලය විසින් එබඳු රටක් සාමාජික අයිතිවාසිකම් හා වරප්‍රසාද ක්‍රියාකරවීමෙන් තාවකාලිකව නවත්වා තැබීම කළ හැකිය. එම අයිතිවාසිකම් හා වරප්‍රසාද නැවතත් ලබාදීම ද ආරක්ෂක මණ්ඩලයට කළ හැකිය (5 වගන්තිය). වර්තමාන ප්‍රඥප්තියේ ඇතුළත් මූලධර්මයන් යළි යළිත් බිඳිනා එ.ජා.ස. සාමාජිකයකු ආරක්ෂක මණ්ඩලයේ නිර්දේශයෙන් මහාමණ්ඩලය විසින් නෙරපා දැමිය හැකිය (8 වන වගන්තිය).

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන ඉන්ද්‍රිය හෙවත් අංශ 6කි. එනම් මහා මණ්ඩලය, ආරක්ෂක මණ්ඩලය, ආර්ථික හා සමාජ මණ්ඩලය, භාරකාර මණ්ඩලය, ජාත්‍යන්තර අධිකරණය හා මහ ලේකම් කාර්යාලය යන මේවායි.

මහ මණ්ඩලය

එ.ජා. සංවිධානයේ සියලු ම සාමාජිකයන්ගෙන් සැදි එක ම මුළුව වූ මහා මණ්ඩලය වාර්ෂිකව නියමිත වශයෙන් රැස්වන අතර කෙටිකාල දැන්වීම් මගින් විශේෂ සභාවාර පැවැත්වීමට ද ව්‍යවස්ථාවලින් ඊට ඉඩකඩ සලසා ඇත. සංකීර්ණ වූ ෂඩ්විධ මූලික කාරක සභා, කාර්ය පටිපාටික කාර‍ක සභා, ස්ථාවර කාරක සභා, අනු කාරක සභා හා තත්කාර්ය කාරක සභා යයි කාරක සභා පද්ධතියක් මඟින් මහාමණ්ඩලය සිය කටයුතු කරයි.

ෂඩ්විධ මූලික කාරක සභා මෙසේයි:

1. යුද්ධායුධ කටයුතු ඇතුළුව දේශපාලන හා ආරක්ෂක කාරක සභාව.

2. ආර්ථික හා මූල්‍ය කාරක සභාව.

3. සමාජ, මානුෂික හා සංස්කෘතික කාරක සභාව.

4. භාරකාර කාරක සභාව.

5. පරිපාලන හා අයවැය කාරක සභාව.

6. නීති කාරක සභාව යන මේයි.

මහා මණ්ඩලය එ.ජා. මුළුවේ කටයුතු පිළිබඳව කේන්ද්‍රීය තත්ත්වයන් උසුලන්නේ එය සතු සාකච්ඡාමය, සමීක්ෂක, මුදල් පාලන හා තෝරා පත්කිරීමේ කාර්ය මගිනි.

ප්‍රඥප්තියේ 10-14 වගන්තිවලින් මහා මණ්ඩලයට සාකච්ඡාමය බලතල සැලසේ. “වර්තමාන ප්‍රඥප්තියේ බල සීමාව තුළ වූ හෝ වර්තමාන ප්‍රඥප්තියෙන් සැල‍‍සෙන ඉඩකඩ පරිදි පිහිටුවනු ලබන ඕනෑ ම ආයතනයනක බලතල හා කාර්ය පිළිබඳ වූ හෝ ඕනෑම ප්‍රශ්නයක් හෝ ඕනෑම කාරණයක්” ගැන සාකච්ඡා කොට නිර්දේශ කිරීමට මහා මණ්ඩලයට පිළිවන.

මහාමණ්ඩලයේ සමීක්ෂක කාර්‍ය්‍ය ඉෂ්ට කිරීම මගින් එය එ.ජා. ආයතනවල ආර්ථික හා සමාජ කෂේත්‍රයන්හි කටයුතු ද ස්වයංපාලිත නොවූ ප්‍රදේශවල ප්‍රශ්න පිළිබඳ කටයුතු ද පාලනය කරයි. මහා ලේකම්වරයාගේ ද ආරක්ෂක මණ්ඩලයේ ද භාරකාර මණ්ඩලයේ හා ආර්ථික සහ සමාජ මණ්ඩලයේ ද වාර්ෂික වාර්තා මහා මණ්ඩලයට එවිය යුතු වන අතර එම ආයතනවලට නිර්දේශයන් ඉදිරිපත් කිරීමට ද එයට බලය ඇත (15වගන්තිය). ආර්ථික හා සමාජ මණ්ඩලයත් භාරකාර මණ්ඩලයත් කටයුතු කරන්නේ ද මහාමණ්ඩලයේ බලාධිකාරය යටතේය. මහාලේකම් කාර්යාලයේ කටයුතු සමීක්ෂණය කිරීම හා පාලනය කිරීමත් ඊ සතුය.

එක්සත් ජාතීන්ගේ අයවැය ලේඛනය හා සාමාජික රටවලට පනවනු ලබන වරිපණම් පරිමාණ පාලනය කිරීමෙන් ද මහාමණ්ඩලය සිය මුදල් පාලන කාර්ය ඉෂ්ට කරයි. ආර්ථික හා සමාජ මණ්ඩලයේ සාමාජිකයන් ද ආරක්ෂක මණ්ඩලයේ හා භාරකාර මණ්ඩලයේ තෝරාපත් කරන (elective) සාමාජිකයන් ද තේරීමෙන් ස්වකීය තෝරාපත්කිරීමේ කාර්‍ය්‍ය ඉටු කරන මහාමණ්ඩලය ජාත්‍යන්තර අධිකරණයේ අධිකරණ නායකයන් හා මහලේකම්වරයා තේරීමේ දී ද ආරක්ෂක මණ්ඩලය හා සහභාගීව ක්‍රියා කරයි.

ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව පවත්වා ගැනීමේ පොදු සහයෝගීතා මූලධර්ම සලකා බැලීම ද ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව පවත්වා ගැනීම සම්බන්ධයෙන් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙන ඕනෑම ප්‍රශ්නයක් සාකච්ඡාවට භාජනය කිරීම ද මහා මණ්ඩලයට අයත් කාර්ය අතර වේ (10, 11 වගන්ති).

මහා මණ්ඩලයේත් අනිකුත් එ.ජා. අනු මණ්ඩලාදියේත් නිල භාෂා වනුයේ ඉංග්‍රීසි, චීන, ප්‍රංස, රුසිය‍ානු හා ස්පාඤ්ඤ භාෂායි. මහාමණ්ඩලයේ වැඩ රාජකාරි කැරෙන්නේ ඉංග්‍රීසි, ප්‍රංස හා ස්පාඤ්ඤ භ‍ාෂාවලිනි. (ආරක්ෂක මණ්ඩලයේ වැඩ කැරෙන්නේ ඉංග්‍රීසි, ප්‍රංස යන භාෂා දෙකින් පමණි).

ආරක්ෂක මණ්ඩලය

මේ වූකලි ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව පවත්වා ගැනීමේ ප්‍රධාන වගකීම දරන එ.ජා. අංශයයි. ආරම්භයේ සිට 1965 දක්වා වූ කාලය තුළ ස්ථිර සාමාජික රාජ්‍ය පහකින් ද අස්ථිර සාමාජිකයන් සදෙනෙකුගෙන් ද සෑදී තිබුණු ආරක්ෂක මණ්ඩලයේ අස්ථිර සාමාජික සංඛ්‍යාව 1965 දී සම්මත වුණු සංශෝධිත 23 වන වගන්තිය අනුව දසදෙනා දක්වා වැඩි විය. මෙම දසදෙනා තේරිය යුතු වන්නේ අප්‍රිකාවට හා ආසියාවට 5 දෙනකුත් නැ. යුරෝපා රටවලට එක් සාමාජිකයකුත්, ලතින් ඇමෙරිකානු රටවලට දෙදෙනකුත් බ. යුරෝපා රටවලට දෙදෙනකුත් ලැ‍බෙන පරිද්දෙනි. ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජික රාජ්‍ය නම් චීන සමුහාණ්ඩුව (1971 අවසන් භාගයේ සිට මහජන චිනය), ප්‍රංසය, සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය, එක්සත් රාජධානිය හා ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය යන මේවායි. අස්ථිර සාමාජිකයන් තෝරා ගනු ලබන්නේ දෙවර්ෂයක කාලයකටය. ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව පවත්වා ගැනීම ගැනත් සංවිධානයේ වෙනත් අරමුණු ගැනත් සාමාජික රාජ්‍යයන්ගෙන් සිදුවුණු සේවය ආරක්ෂක මණ්ඩලයේ අස්ථිර සාමාජිකයන් තේරීමේ දී මුලින් ම සැලකීමට භාජන වන කාරණයකි. ආරක්ෂක මණ්ඩලයේ එක් සාමාජික රාජ්‍යයකට එක් නියෝජිතයකු පමණක් සිටිය යුතුය (23-3 වගන්තිය). ආරක්ෂක මණ්ඩලය ගන්නා තීරණ පිළිගැනීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් එ.ජා. සාමාජික රාජ්‍යයෝ වර්තමාන ප්‍රඥප්තියේ 25 වන වගන්තියෙන් බැඳී සිටිති. මණ්ඩලයේ සාමාජිකයනට එක් ඡන්දය බැගින් ඇති අතර කාර්යපටිපාටික කටයුතු සම්බන්ධ තීරණවල දී සාමාජිකයන් 9 දෙනකු පක්ෂව ඡන්දය දීම අවශ්‍යය. අන් සෑම කරුණක දී ම ස්ථිර සාමාජික රාජ්‍යවල එකඟත්වය ද සහිතව ඡන්ද 9ක් අවශ්‍ය වන අතර කිසියම් අර්බුදයකට සම්බන්ධ ‍රාජ්‍යයක් ආරක්ෂක මණ්ඩලයේ වෙතොත් එකරුණ ගැන කරන ඡන්ද විමසීමේ දී එම සාමාජික රාජ්‍යය ඡන්දය දීමෙන් වැළකී සිටිය යුතුය (1965 සංශෝධිත 27 වගන්තිය). ව්‍යවස්ථානුකූල තත්ත්වය මෙබඳු වුව ද ස්ථිර සාමාජිකයකු තීරණයේ වලංගු බවට හ‍ානි නොවන පරිදි ඡන්දය දීමෙන් වැළකී සිටින අවස්ථා ද දක්නට ඇත.

ආරක්ෂක මණ්ඩලය වර්ෂය මුළුල්ලේ ම ක්‍රියාකාරීව පවතී. එය සංවිධානය කොට ඇත්තේ අඛණ්ඩව කාර්‍ය්‍යයෙහි යෙදිය හැකි පරිද්දෙනි. එහි නියමිත රැස්වීම්වල දී සාමාජිකයා වෙනුවට එම රාජ්‍යයේ ආණ්ඩුවේ සාමාජිකයකුට හෝ වි‍ශේෂයෙන් නම් කැරුණු නියෝජිතයකුට පෙනී සිටිය හැකිය (28 වගන්තිය). මසකට වරක් සභාපතිවරයා මාරුවන අතර ආරක්ෂක මණ්ඩලයේ සෑම සමාජිකයකුට ම එම පදවිය මාරුවෙමින් යයි. ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයකු නොවන එ.ජා. සමාජික රටක් හෝ එ.ජා. සමාජික නොවන රටක් හෝ මෙම මණ්ඩලයේ සැලකිල්ලට භාජනව පවතින ආරාවුලකට සම්බන්ධ පාර්ශ්වයක් වෙතොත් එම රට ඡන්ද බලය විරහිත ව එම සාකච්ඡාවට සහභාගිවීමට කැඳවනු ලැබේ (32 වගන්තිය). ලෝක සාමයට තර්ජනයක් පවතින බව නැතහොත් නියම ආක්‍රමණකාරී ක්‍රියාවන් කෙරී ඇති බව මණ්ඩලයට පෙනී යන අවස්ථාවල දී ප්‍රස්තුත රටවල් සමග සම්බන්ධතා සිඳලන ‍ලෙස හෝ වෙළඳ සම්බන්ධතා බිඳ ආර්ථික අවහිර ඇති කරන ලෙස හෝ එ.ජා. සාමාජික රාජ්‍යයන්ගෙන් ඉල්ලීමටත් මේ පියවර අසාර්ථක වුවහොත් එ.ජා දිය ගොඩ අහස් හමුදා මගින් ආක්‍රමණකාරී රාජ්‍යයට විරුද්ධව යුද්ධ පියවර ගැනීමටත් ප්‍රඥප්තියෙන් ඉඩ සලසා ඇත (39, 40, 41, 42 වගන්ති). ප්‍රඥප්තියේ 43 වගන්තිය අනුව සෑම එ.ජා. සාමාජික රාජ්‍යයක් ම මණ්ඩලයේ ඉල්ලීම අනුව සන්නද්ධ හමුදා, වෙනත් ආධාර හා පහසුකම් සැපයීමට බැඳී සිටී. ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජික රටවල රණ මාණ්ඩලික නායකයන්ගෙන් සැදි රණ මාණ්ඩලික නිලධාරි කමිටුවේ ආධාරය ඇතිව ආරක්ෂක මණ්ඩලය එ.ජා. හමුදා උපයෝගී කොට ගැනීම පිළිබඳව නිර්දේශ කිරීම, මහා මණ්ඩලය සමග සහභාගිත්වයෙන් ජාත්‍යන්තර අධිකරණයට විනිශ්චයකරුවන් තේරීම, මහ ලේකම්වරයා පත්කිරීම, මහා මණ්ඩලයට නිර්දේශ කිරීම, යුද්ධෝපාය සම්බන්ධ ප්‍රදේශයන්හි එ.ජා භාරකාර කර්තව්‍ය ඉටු කිරීම යන මේවා ආරක්ෂක මණ්ඩලය සතු කාර්යයෝයි. එහි රැස්වීම් අතර කාලය දින 14කට වැඩි නොවන කාලයක් ලෙස දක්වා ඇත ද ප්‍රායෝගික වශයෙන් එහි අන්තරය ඊට වඩා වැඩි වේ. ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයකු විසින් කරනු ලබන ඉල්ලීමකට අනුවත්, සංවිධානයේ සාමාජිකයකු හෝ මහා මණ්ඩලය හෝ යම් අරගලයක් පිළිබඳව ආරක්ෂක මණ්ඩලයේ අවධානය යොමු කළ අවස්ථාවක දීත් එහි සභාපතිවරයා විසින් රැස්වීම කැඳවනු ලබයි. ජාත්‍යන්තර සාමයට හ‍ා ආරක්ෂාවට තර්ජනයක් විය හැකි අවස්ථාවක් පැනනැඟී ඇති බව මහලේකම්වරයාට හැඟී ගිය විට ද ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් පැවැත්විය හැකි වේ.

ආර්ථික හා සමාජ මණ්ඩලය

එක්සත් ජාතීන්ගේ ආර්ථික, සාමාජික, මානව හා සංස්කෘතික කරුණු පිළිබඳව කටයුතු මෙහෙයවීම හා ඒකාබද්ධ කිරීම මේ මණ්ඩලය මගින් කෙරේ. තුන් හවුරුදු කාලයක් සඳහා මහා මණ්ඩලය විසින් ‍තෝරාගනු ලබන සාමාජිකයන් 27 දෙනකුගෙන් එය සමන්විත වෙයි (1965 දක්වා සිටියේ සාමාජිකයන් 18 දෙනකු පමණි). ඔව්හු නැවත පත්වීමට ද සුදුසුසෝ වෙති (61 වගන්තිය). යටත් පිරිසෙයින් වර්ෂයකට දෙවරක්වත් මණ්ඩලය රැස්වීමට නියමිතය. ආර්ථික හා සාමාජික අංශයෙන් ජාත්‍යන්තර සහයෝගය දියුණු කිරීම සඳහා කරුණු හදාරා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම මෙහි කාර්යය ලෙස ප්‍රඥප්තියේ දැක්වෙයි. ආර්ථික හා සමාජ ක්ෂේත්‍රයන්හි ද මානව අයිතිවාසිකම් අභිවර්ධනය සඳහා ද මණ්ඩලයේ කටයුතු සඳහා අවශ්‍ය විය හැක්කා වූ ද කොමිෂන් සභා පිහිටුවීමට 68 වන වගන්තියෙන් මෙම මණ්ඩලයට බලය ලැබී ඇත. ආර්ථික හා සමාජ මණ්ඩලයට සිය කටයුතු කරගෙන යාම පිණිස ආධාරෝපකාරී වන විශේෂිත ආයතන කොමිසම් සභා, ස්ථාවර කාරක සභා හා විශේෂ මණ්ඩල පහත දැක්වේ:

(i) විශේෂිත ආයතන වූකලි එ.ජා. සංවිධානය සමග එක්ව ක්‍රියා කරන ජාත්‍යන්තර, ස්වාධීන, ස්වයං පාලන සංවිධානයෝයි. මේවායේ කාර්ය ආර්ථික හා සමාජ මණ්ඩලය මගින් ඒකාබද්ධ කැරේ. ජාත්‍යන්තර කම්කරු සංවිධ‍ානය (ILO) (බ.), ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) (බ.), එ.ජා. ආධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (UNESCO) (බ.), ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය (ICAO) (බ.), ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය පිණිස වූ ජාත්‍යන්තර බැංකුව (IBRD) (බ.), ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC), ජාත්‍යන්තර සංවර්ධන සමාගම (IDA), ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) (බ.), ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) (බ.), ජගත් තැපැල් සංගමය (UPU), ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය (ITU), ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO), සමුද්‍ර සම්බන්ධ අන්තර් ආණ්ඩු සාකච්ඡා සංවිධානය (IMCO), හා තීරුබදු හා වෙළඳාම පිළිබඳ පොදු සම්මුතිය (GATT) යන මේවා විශේෂිත ආයතනයෝයි.


(ii) කොමිසම් සභා ඒවාට යොමු කරනු ලැබෙන කරුණු හදාරා සවිස්තර වාර්තා හා නිර්දේශ ඉදිරිපත් කරයි. 1947 දී යුරෝපා ආර්ථික කොමිසම (ECE) හා ආසියා සහ ඈත පෙරදිග ආර්ථික කොමිසම (ECAFE) ද 1948 දී ලතින් ඇමෙරිකා ආර්ථික කොමිසම (ECLA) ද 1958 දී අප්‍රිකා ආර්ථික කොමිසම ද පිහිටුවන ලදි. ආහාර නිෂ්පාදනය, කාර්මික සංවර්ධනය හා වෙළඳාම මෙම ප්‍රාදේශීය කෙ‍ාමිසම් සභාවලට විෂය වූ ප්‍රධාන කරුණුය. මේ හැර ගමනාගමන හා සම්බන්ධතා, සංඛ්‍යා ලේඛන, සමාජ කටයුතු, ස්ත්‍රී අයිතිවාසිකම්, ජනගහන, නිද්‍රාජනක මත් ඔසු, ජාත්‍යන්තර වණික් ද්‍රව්‍ය වෙළඳාම හා මානව අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරී ‍කොමිසම් සභා ද වේ. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය, අවසානයට සඳහන් වූ කොමිසම් සභාව විසින් පිළි‍යෙල කරන ලද්දකි.


(iii) ස්ථාවර කාරක සභා හා විශේෂ මණ්ඩල: ආණ්ඩුවලට අයත් නුවූ සංවිධාන පිළිබඳ කාරක සභාව, සාකච්ඡා සභා වැඩ පිළිවෙළ ගැන අතුරු කාල කාරක සභාව නිවාස ඉදිකිරීම හා සැලැස්ම කිරීම පිළිබඳ කාරක සභාව වැනි කාරක සභා කීපයක් ද නිද්‍රාජනක මත් ඔසු පිළිබඳ නිත්‍ය කේන්ද්‍රීය මණ්ඩලය එ.ජා. ළමා අරමුදලේ (UNICEF) විධායක මණ්ඩලය වැනි විශේෂ මණ්ඩල කීපයක් ද ආර්ථික හා සමාජ මණ්ඩල කටයුතුවලට උපස්තම්භක වේ.

භාරකාර මණ්ඩලය

මහා මණ්ඩලයේ අධිකාරිත්වය යටතේ කටයුතු කරන භාරකාර මණ්ඩලය, භාරකාර ප්‍රදේශ පාලනය කරන සාමාජිකයන්ගෙන් ද එම ප්‍රදේශ පාලනය නොකරන ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන්ගෙන් ද වර්ෂ 3ක කාලයක් සඳහා මහා මණ්ඩලය මඟින් තෝරාගනු ලබන එ.ජා. සාමාජිකයන්ගෙන් ද සමන්විත වෙයි. මණ්ඩලයෙන් අඩක් එවැනි සාමාජිකයන්ගෙන් යුක්ත වෙයි (86 වගන්තිය). මෙහි තීරණ ගනු ලබන්නේ පැමිණ සිටින ඡන්දය පාවිච්ච් කරන අයගේ බහුතර ඡන්දයෙනි. වර්ෂයකට එහි සැසිවාර දෙකක් පවත්වනු ලැබේ.

එහි කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ස්ථාවර කාරක සභා දෙකක් ඇත. පරිපාලන සංගම් පිළිබඳ කාරක සභාව සහ පෙත්සම් පිළිබඳ කාරක සභාව යනුවෙනි. තවද එමඟින් විශේෂ ප්‍රශ්න සලකා බැලීමට වරින්වර තත්කාර්ය කාරක සභා පත් කැරෙයි. භාරකාර ප්‍රදේශයන්හි ග්‍රාමීය ආර්ථික සංවර්ධන කාරක එවැන්නකි.

භාරකාර ප්‍රදේශ පාලනය කරන අධිකාරීන් විසින් ඉදිරිපත් කරනු ලබන වාර්ෂික වාර්තා පරීක්ෂා කොට අවශ්‍ය නිර්දේශ කිරීම, පෙත්සම් පිළිගෙන පාලන අධිකාරි රාජ්‍ය හා සාකච්ඡාවෙන් ඒ පිළිබඳව පරීක්ෂා කිරීම, එවැනි ප්‍රදේශවලට සංචාරක දූත මණ්ඩල යැවීම යන මේවා භාරකාර මණ්ඩලයේ කර්තව්‍යයෝයි (87 වගන්තිය). භාරකාර මණ්ඩලය විසින් භාරකාර ප්‍රදේශයන්හි දේශපාලන, ආර්ථික, සමාජ සහ ආධ්‍යාපනික ප්‍රගතිය පිළිබඳව පිළියෙල කරන ප්‍රශ්න මාලාවට එක් එක් භාරකාර ප්‍රදේශයේ පාලනය භාර අධිකාරි රාජ්‍යය විසින් පිළිතුරු සපයමින් මහා මණ්ඩලය වෙත වාර්ෂික වාර්තා ඉදිරිපත් කරනු ලැබේ (88 වගන්තිය). භාරකාර ප්‍රදේශවල ජනතාවගේ ඕනෑ එපාකම් රැක එම රටවලට ස්වාධිපත්‍ය පිළිබඳ මාර්ගය දැක්වීම මෙම මණ්ඩලයේ අරමුණයි. පැසිපික් සාගරයේ භාරකාර ප්‍රදේශය භාරකාර මණ්ඩලයේ පාලනය යටතේ පවතින අතර සෙසු සෑම භාරකාර ප්‍රදේශයක් ම මහා මණ්ඩලය යටතේ පවතී.

ජාත්‍යන්තර අධිකරණය

එ.ජා. සංවිධානයේ මූලික අධිකරණේන්ද්‍රියයි. මෙහි මධ්‍යස්ථානය නෙදර්ලන්තයේ ‍හේග් නුවරය. මහා මණ්ඩලය හා ආරක්ෂක මණ්ඩලය විසින් තෝරාගනු ලබන විනිශ්චයකාරවරුන් 15 දෙනකුගෙන් සැදී ඇති මෙම ලෝක උසාවිය වෙත සාමාජික වන නොවන ඕනෑ ම රාජ්‍යයක් විසින් සමථය සඳහා ආරාවුල් ඉදිරිපත් කළ හැකිය (වැඩි විස්තර සඳහා ජාත්‍යන්තර අධිකරණය ලිපිය බලන්න).

මහලේකම් කාර්යාලය

එ.ජා. සංවිධානයේ එදිනෙදා කටයුතු ඉටු කරන ප්‍රධාන පරිපාලන කේන්ද්‍රස්ථානයයි. එහි ප්‍රධාන නිලධාරියා මහලේකම්වරයායි. මහලේකම් කාර්යාලය මහ ලේකම්වරයකුගෙන් ද එ.ජා. සංවිධානයට අවශ්‍ය විය හැකි කාර්ය මණ්ඩලයකින් ද සමන්විත වේ. මහලේකම්වරයා ආරක්ෂක මණ්ඩලයේ නිර්දේශය උඩ මහා මණ්ඩලය විසින් පත් කරනු ලැබේ (97 වගන්තිය). කාර්ය මණ්ඩලය පත් කරනු ලබන්නේ මහා මණ්ඩලය මඟින් පනවන ලද රෙගුලාසි අනුව මහ ලේකම්වරයා විසිනි (101 වගන්තිය). එ.ජා . සංවිධානයට පමණක් වගකිව යුතු ජාත්‍යන්තර නිලධාරින් වශයෙන් තම තත්ත්වයට හානිකර ක්‍රියාවලින් වැළකී සිටිය යුතු මහලේකම්වරයා හා කාර්ය මණ්ඩලය සිය රාජකාරි කටයුතුවල දී සංවිධානයෙන් පරිබාහිර අන් කිසි ම ආයතනයක හෝ ආණ්ඩුවක උපදෙස් සෙවීම හෝ ලබාගැනීම නොකළ යුතුය (100).

මහා මණ්ඩලයේ ද ආරක්ෂක මණ්ඩලයේ ද ආර්ථික හා සමාජ මණ්ඩලයේ හා භාරකාර මණ්ඩලයේ ද සෑම රැස්වීමක ම ලේකම් වශයෙන් ක්‍රියා කළ යුතු මහලේකම්වරයා එම ආයතන මඟින් පැවරෙන අනිකුත් කාර්ය ද ඉටු කළ යුතුය. එ.ජා. සංවිධානයේ කටයුතු පිළිබඳව වාර්ෂිකව වාර්තාවක් ඔහු විසින් සැපයිය යුතුය (98 වගන්තිය). ජාත්‍යන්තර සාමයට හ‍ා ආරක්ෂාවට හානිකර වේ යයි තමා සිතන ඕනෑ ම කරුණක් මහලේකම් විිසින් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ හැකිය (99 වගන්තිය).

මහලේකම් පදවිය

ආරම්භයේ දී (1946) නෝර්වීජියානු ජාතික ට්‍රිග්ව ලී පස් අවුරුදු කාලයක‍ට මෙම පදවියට පත් විය. 1950 දී තව තෙවසකට ඔහුගේ සේවය දීර්ඝ කරන ලද නමුත් ‍කොරියානු අර්බුදයේ දී ඔහු ගත් ක්‍රියා මාර්ගය නිසා සෝවියට් සංගමයේ බලවත් විරෝධයට ලක් වීමෙන් 1952 දී ඔහු ඉල්ලා අස් විය. අනතුරුව 1953 දී පත් වූ ස්වීඩනයේ ඩැග් හැමර්ෂල්ඩ් මහාලේකම් පදවි‍යේ බලතල සීමාව පුළුල් වන පරිදි කටයුතු කිරීමෙහි දක්ෂ විය. සූවස් අර්බුදයේ දී එ.ජා. සේනාව සංවිධානය කොට පිහිටුවන ලද්දේ, එවක මතභේද නිසා අක්‍රියව සිටි ආරක්ෂක මණ්ඩලය විසින් නොව මහලේකම්වරයා විසිනි. 1958 දී ලෙබනන්හි එ.ජා.නිරීක්ෂක කණ්ඩායමක් තැබීමට මහා මණ්ඩලය කළ යෝජනය ආරක්ෂක මණ්ඩලයේ දී නිෂේධනය වූ අවස්ථාවේ දී ලේකම්වරයා මුල් මහා මණ්ඩල නිර්දේශය පරිදි ක්‍රියාකිරීමට තරම් එඩිතර විය. මහා මණ්ඩලය අක්‍රියක‍ාරි වන අන්දමේ මතභේදවලට මුහුණ පා උවදෙස් නොදිය හැකි තත්ත්වයක සිටින විට ලෝක සාමය රැක ගැනීම මහලේකම් පදවියේ වගකීම බව හැමර්ෂල්ඩ් දක්වා සිටියේය. 1961 දී උතුරු රොඩීසියාවේ දී ගුවන් අනතුරකින් මොහු මිය යෑමෙන් පසු එම පදවියට පත් වූ බුරුම ජාතික ඌ තාන්ට්, හැමර්ෂල්ඩ්ගේ ප්‍රතිපත්ති අඛණ්ඩව ගෙනයමින්, පදවියේ ශක්තියත් බලයත් ‍ගෞරවයත් අභිවර්ධනය කිරීමෙහි සමත් විය. කොංගෝ ප්‍රශ්නයේ දී මහා මණ්ඩලය භේදව තීරණ ගත නොහැකිව සි‍ටි අවස්ථාවේ දී හැමර්ෂල්ඩ් තමා ම ගතයුතු පියවර නිශ්චය කොට ක්‍රියාත්මක කෙළේය. ඌ තාන්ට් ද ඒ පිළිවෙත දිගට ම ගෙන යාම නිසා කටංගාව කොංගෝව හා එක්වීමෙන් කොංගෝ ප්‍රශ්නය බොහෝදුරට නිරාකරණය විය.

ඌ තාන්ට් එම ධුරයට තාවකාලිකව පත් වූයේ සෝවියට් සංගමය ත්‍රිපුද්ගල කම්ටුවකින් සැදි මහලේකම් කාර්යාලයක් යෝජනා කොට තිබිය දී ය. රුසියාව හ‍ා ඇමෙරිකාව ප්‍රමුඛ බලකඳවුරු දෙකේ ම සිත් දිනාගනිමින් අපක්ෂපාතිව කටයුතු කිරීම නිසා ඔහු ස්ථිර මහලේකම් පදවියට පත් කරනු ලැබ එම කාලසීමාව අවසානයේ දී යළි දෙවන වතාවට ද පස් අවුරුදු කාලයකට පත් විය. 1971 දී තෙවන වතාවට ද ඔහුගේ පත්වීම දෙපක්ෂය ම විසින් අපේක්ෂා කැරුණ ද ඔහු තවදුරටත් සේවය කිරීමට අකමැති විය. මේ නිසා සිව් වන මහලේකම් වශයෙන් 1972 ජනවාරි 17 සි‍ට පස්වසක කාලයකට ඕස්ට්‍රියානු නියෝජිත ආචාර්ය කුර්ට් වාල්ට්හයිම් පත්ව සිටී.

මෙතෙක් කටයුතු

ජගත් සාමය හා ආරක්ෂාව පවත්වා ගැනීමත් යුද්ධය හා ආක්‍රමණ සහමුලින් තුරන් කර දමා මානුෂික අරමුණු ඉටුකර ගැනීමත් පරමාර්ථ කොට ගෙන එක්වුණු සාමකාමී ජාතීන්ගේ සංවිධානයක් හැටියට දෙවන ලෝක මහා යුද්ධයේ නිමාවත් සමඟ එ.ජා. සංවිධානය බිහිවෙද්දී අනික් පසින් ජයග්‍රාහක මිත්‍රජාතීහු කොමියුනිස්ට් හෙවත් සෝවියට් ජාතීන් හා බටහිර හෙවත් ධනවාදී ජාතීන් වශයෙන් භින්නවීමෙන් පැහැදිලි ලෝක බලකඳවුරු දෙකක වැඩීම ද සිදු විය. ජගත් දේශපාලනයේ මේ මහා භේදය එ.ජා. සංවිධානයේ සාමරක්ෂණ සද් ව්‍යාපාරයට ආරම්භයේ සිට ම බාධකයක් විය. එ.ජා. සංවිධානයේ කටයුතුවල සාර්ථකත්වයට පදනම් විය යුතු සමීප සහයෝගීතාව හා ඒකමතිකත්වය ජාත්‍යන්තර කඳවුරු භෙදය නිසා බොහෝ දුරට නැති වී ගියේය. ආරක්ෂක මණ්ඩලය යටතේ පිහිටුවාගත යුතු යයි එ.ජා. ප්‍රඥප්තියෙන් අපේක්ෂිත වූ නිත්‍ය එ.ජා. යුදහමුදාව ගොඩනඟාගත නොහැකි වූයේ රණමාණ්ඩලික නිලධාරි කමිටුවේ සාමාජිකයන්ට එකඟත්වයට පැමිණිය නොහැකි වීම නිසාය. මේ මත ඝට්ටනය නිසා ම පරමාණු බෝම්බ නිෂ්පාදනය පාලනය කිරීමට හෝ වෙනත් වර්ගවල අවි ආයුධ අඩුකිරීමට හෝ පියවර ගත නොහැකි විය. ආරක්ෂක මණ්ඩලයේ දී නිතර නිෂේධබලය පාවිච්චි කිරීම නිසා වැදගත් ප්‍රශ්නවල දී තීරණවලට එළඹීමට නොහැකි වීමෙන් සංවිධානයේ කටයුතුවලට බලවත් අවහිරයක් ඇති විය. සැබවින් ම කඳවුරු වශයෙන් භේද භින්නව නොපවතින ලෝකයක නම් එ.ජා. සංවිධානය මගින් ජගත් සාමය හා ආරක්ෂාවත් අර්බුද නිරාකරණයත් සම්බන්ධයෙන් මීට වඩා විශාල සේවයක් ඉටු කළ හැකිව තිබුණි. ඒ කොයි හැටි වුවත් ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ වර්තමාන තත්ත්වය යටතේ අවස්ථාවට ගැලපෙන පිළියම් යොදමින්, එසේ ම අවහිරයන්ගෙන් හෝ අසාර්ථකවීම්වලින් නොසැලී කළ හැකි තාක් සේවය ඉටු කරමින් ජගත් මානව සංහතියේ එක ම ඉෂ්ටාර්ථ සාධක බලාපොරොත්තුව වශයෙන් එ.ජා. සංවිධානය ඉදිරියට ම ගමන් කරන බව සඳහන් කළ යුතුය.

දෙවන ලෝක යුද්ධ සමයේ දී සෝවියට් රාජ්‍යය ඉරානයේ නවත්වා තිබූ යුද සේනා ඉවත් කරගන්නා ලෙස කරන ලද ඉල්ලීමට විරෝධය පළකරමින් සෝවියට් රුසියාව ආරක්ෂක මණ්ඩල රැස්වීමෙන් ඉවත් වී යාම ආරක්ෂක මණ්ඩලයට මුල දී ඇති වූ ඉතා ම අවහිරකාරී අවස්ථාවක් විය. එහෙත් ඒ සිද්ධියෙන් වැඩි කලක් යන්නට පෙර 1946 දී සෝවියට් හමුදා ඉවත් කරගනු ලැබීම එ.ජා. මණ්ඩලයටත් සාමකාමී ලෝකයටත් සන්තුෂ්ටිකර කරුණක් විය. නිතර නිතර නිෂේධබල පාවිච්චියෙන් ආරක්ෂක මණ්ඩල කටයුතු ඇණහිටින තරම් තත්ත්වයක් උද්ගත වුව ද ඒ තත්ත්වය මඟහරවා ගැනීමේ පියවරක් හැටියට නිෂේධබල පාවිච්චියක් නැති මහා මණ්ඩලය වෙත ප්‍රශ්න ඉදිරිපත් වීමේ ක්‍රමයක් සකස් විය. කොරියා ප්‍රශ්නය හා පලස්තීන අරගලය එබඳු අවස්ථා දෙකකි. කොරියා ප්‍රශ්නය කීප අතකින් වැදගත්ය. දෙකඩ වූ කොරියාවේ මැතිවරණ පවත්වන ලෙස 1947 දී මහා මණ්ඩලය තීරණය කොට ඒ සමීක්ෂණය සඳහා කොමිෂන් සභා යැවීය. උතුරු කොරියාව කොමිෂන් සභාවට එරටට ඇතුළුවීමට ඉඩ නුදුන් අතර දකුණු කොරියාව එ.ජා. නියමය පරිදි මැතිවරණය පවත්වා ආණ්ඩුවක් ද පිහිටුවීය. අනතුරුව උතුරු කොරියානු හමුදා 38 වැනි සමාන්තර රේඛාව පැනීමෙන් දකුණු කොරියාව ආක්‍රමණය කිරීම එ.ජා. සංවිධානයට එල්ල වූ පහරක් විය. එම ප්‍රහාරය සාර්ථක වී නම් මුසෝලීනි ඉතියෝපියාව ආක්‍රමණය කළා වූ, එසේ නැති නම් ජපානය මැන්චූරියාව අල්ලා ගත්තා වූ අවස්ථාවේ දී එදා ජාතීන්ගේ සංගමය අක්‍රිය වීම බඳු අවස්ථාවක් එ.ජා. සම්බන්ධයෙන් ද උදාවන්නට තිබුණු බව විචාරකයෝ පවසති.

චීනය එ.ජා. සංවිධානයට ඇතුළු කරගැනීමට නොදී දිගට ම ඇමෙරිකා එ.ජ. රාජ්‍යය ආරක්ෂක මණ්ඩලයේ ගෙන ගිය ව්‍යාපාරය නිසා රුසියාව ආරක්ෂක මණ්ඩලය වර්ජනය කරමින් සිටි මේ සමයේ දී රුසියානු නිෂේධ බලයෙන් බේරී ආරක්ෂක මණ්ඩලයට ක්‍රියාත්මක පියවර ගැනීමට පිළිවන් විය. ඒ අනුව ප්‍රථම එ.ජා. හමුදාව පිහිටුවා ගැනීමේ අවස්ථාව එදා උදාවිය. ඇ.එ.ජ. රාජ්‍යය යටතේ එ.ජා. ආධාරක හමුදා මගින් දකුණු කොරියාවට යුද්ධාධාර දීමට ආරක්ෂක මණ්ඩලය ක්‍රියාත්මක පියවර ගත්තේය (කොරියාව බලන්න).

1950 දී ආරක්ෂක මණ්ඩලය ‘සාමය අරභයා එක්සත්වීම’ (Uniting for Peace) නම් වූ පියවර ගත්තේ ද එහි නිර්බාධක ක්‍රියාකාරී පැවැත්මට මහාජාතීන්ගේ ඒකමතිකත්වය නොමැතිකම නිසා එල්ල වී තිබුණු බලවත් අවහිරය නිසාය. මේ පියවර අනුව හදිසි ආක්‍රමණයක් ඇති වූ විටක නිෂේධබල පාවිච්චිය නිසා ආරක්ෂක මණ්ඩලය අක්‍රිය වන අවස්ථාවල දී එහි සාමාජිකයන් 7 දෙනකුගේ ඉල්ලීමෙන් පැය 24ක දී හදිසි සභාවාරයක් රැස්කර ආක්‍රමණයට ගොදුරු වූ රාජ්‍යයට යුද්ධාධාර හෝ අවශ්‍ය වෙනත් ආධාර සපයන ලෙස සාමාජික රාජ්‍යයන්ට උවදෙස් දීමට යෝජනා සම්මත කොට ගත හැකිය.

1956 දී මිසරය සූවස් ඇළ ජාතිය සතු කළ අවස්ථාවේ දී මැද පෙරදිග ඇති වූ අර්බුදය සම්බන්ධයෙන් මෙම බලතල පාවිච්චි කැරිණි. වහා ම සටන් නැවැත්වීමේ අණ පැන වූ මහා මණ්ඩලය සාමාජික රටවල් 10කින් එ.ජා. හදිසි හමුදාව (UNEF) ඇති කොට මිසරයේ බ්‍රිතාන්‍ය, ප්‍රංස හා ඊශ්‍රායෙල් හමුදා ඉවත් කරගැනීමේ කාර්‍ය්‍යය සමීක්ෂණය කිරීමට එය යෙදවිය (මිසරය; සූවස් ඇළ බ.). එසේ වුව ද 1956 දී හංගේරියේ ඇති වූ කැරැල්ලේ දී සෝවියට් රාජ්‍යයෙන් එහි යවන ලද හමුදා ඉවත් කර ගැනීමට හා එ.ජා. නිරීක්ෂකයන් හංගේරියට යැවීමට ද කරන ලද ඉල්ලීම් සෝවියට් රාජ්‍යය විසින් ප්‍රතික්ෂේප කරන ලදි. 1959 දී මහජන චීනය ටිබෙට් කැරැල්ලක් මැඩපැවැත් වූ අවස්ථාවේ දී ටිබෙට් ජාතිකයන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම්වලට ගරු කරන මෙන් කරන ලද ඉල්ලීම නොසලකා හැරිණ.

මේ අතර සෝවියට් රාජ්‍යය හා ඇ.එ. ජනපද රාජ්‍යය සහයෝගීව ක්‍රියා කිරීම නිසා 1946 දී සිරියාව හා ලෙබනනය ප්‍රංසයටත් මහා බ්‍රිතාන්‍යයටත් විරුද්ධව නීති විරෝධී ලෙස එම දෙරටේ භූමිය යටත් කොටගෙන සිටීම ගැන ගෙනෙන ලද චෝදනාව බේරුම් කරගත හැකි විය. ඉන්දුනීසියාව හා ලන්දේසීන් අතර ඇති වූ යුද්ධ තත්ත්වය ද එ.ජා. කොමිෂන් සභාවල මැදිහත් වීමෙන් කලක් ගත වී වුව ද අවසන් කොටගත හැකි විය. ඉන්දුනීසියාව නිදහස් ජනරජයක් බවට පත් කළ සාම විසඳුම් ගෙනෙන ලද්දේ එ.ජා. ආරක්ෂක මණ්ඩලය විසිනි.

1949 දී කාශ්මීරය පිළිබඳව ඉන්දියාව හා පකිස්ථානය අතර ඇති වූ අරගලයේ සටන් නැවතීමේ තාවකාලික සාමයක් එක්සත් ජාතීන් විසින් ඇති කරන ලදි.

1960න් ඇරඹුණු දසකය තුළ ආසියා අප්‍රිකා ජාතීන් රැසක් එ.ජා. සාමාජිකත්වය ලැබීම එතෙක් එ.ජා. සංවිධානයේ පැවති ඡන්ද රටාව වෙනස් කැරෙන තත්ත්වයකට තුඩු දුන්නේය. එ.ජා. සාමාජික සංඛ්‍යාව වැඩිවීම නිසා 1963 දී ආරක්ෂක මණ්ඩලයේ හා ආර්ථික හා සමාජ මණ්ඩලයේ ද සාමාජික පිරිස වැඩි කැරෙන පරිදි එ.ජා. ප්‍රඥප්තියේ වගන්ති සංශෝධනය කිරීමට ද සිදු විය. 1960 ඇති වූ කොංගෝ ආරාවුලේ දී දෘඪ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට එ.ජා. සංවිධානය පෙළඹුණේ ද බොහෝදුරට එහි සාමාජික ශක්තියේ ඇති වූ යටකී වෙනස නිසා බව පෙනේ. මෙම වියවුල් සමයේ දී මහාලේකම් පදවියේ බලතල අතිශයින් පෘථුල විය. උග්‍ර සටන් හා කැළඹීම් ආදියෙන් හෙම්බත්ව සිටි කොංගෝ ජනරජය ආධාර ඉල්ලා සිටි කල්හි මහලේකම්වරයා මධ්‍යස්ථ යුරෝපීය හා අප්‍රිකා රාජ්‍යවලින් විගස ම ආධාරක හමුදා රැස්කොට කෙළින් ම යුද වැදී භේදකාරී කටංගා පළාතට කොංගෝ ජනරජය හා යළි ඒකාබද්ධවීමට බල කර සිටියේය.

මිනිසාගේ සමාන බවට හෙවත් සමානාත්මතාවට ගරු කරමින් මූලික මානව අයිතිවාසිකම් ලබාදීම ද සිය කාර්යය කොටගෙන සිටින එ.ජා. සංවිධානය දරුණු වර්ණභේද ප්‍රතිපත්තියක් ගෙන යාම ගැනත් නිරිතදිග අප්‍රිකාවේ ප්‍රජාපීඩක පාලනය සම්බන්ධයෙනුත් 1946 සිට ම දකුණු අප්‍රිකා ජනරජය හා ගැටුණේය. ද. අප්‍රිකාවේ උග්‍ර වර්ණභේද ප්‍රතිපත්තිය ලිහිල් කරන ලෙස වාර්ෂිකව කරන ලද ඉල්ලීම්වලින් වැඩක් නොවූ තැන 1960 දී එ.ජා. විශේෂ දේශපාලන කමිටුව විසින් එම රාජ්‍යයට විරුද්ධව රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික සම්බන්ධතා බිඳහැරීම් ඇතුළු දණ්ඩන තහනම් නිර්දේශ කරන ලදි. එහෙත් යෝජනාව සම්මත වීමට අවශ්‍ය තුනෙන් දෙකක ඡන්දය ඊට නොලැබිණ. 1961 දී ජාත්‍යන්තර කම්කරු සංවිධානය එරටට එහි සිය සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස දැන්වීය. අනතුරුව 1962 දී මහා මණ්ඩලය ඉතා දැඩි වර්ජන නීති හා දණ්ඩන තහනම් පැන වුවද ද. අප්‍රිකාව මේ කිසිවකිනුදු නොසැලී සිය උග්‍ර නොමිනිස් ප්‍රතිපත්ති දිගට ම ගෙන යන්නට වන. එහෙත් එ.ජා. සංවිධානට ද එපමණකින් නොනැවතී මනුෂ්‍යත්වයට නොහොබිනා වර්ණභේද ප්‍රතිපත්තියේ විෂමත්වය හා ම්ලේච්ඡ බව ගැන ලෝක මහජන මතය ගොඩනැංවීමේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් ඇති කොට ක්‍රියා කරගෙනයෑමට සිදු විය. නිරිත දිග අප්‍රිකාව (දැන්-නමීබියාව) පිළිබඳ තම මැන්ඩේට් බලය අවසන් කරන ලෙස ද. අප්‍රිකාවට එ.ජා. සංවිධානය කළ නියමය ප්‍රතික්ෂේප කිරීමෙන් ද ද. අප්‍රිකාව ලෝක මතයට ගරු කිරීමට සූදානම් නැති බව පෙන්වීය. එ.ජා. සංවිධානය ද සම්බන්ධතා බිඳහරින ලෙස සාමාජික රාජ්‍යවලට උවදෙස් දී ඇති නමුත් මේ පියවරවලින් ද එම රාජ්‍යය යුක්තියට, ජගත් මහජන මතයට නම්මවා ගත නොහැකිව ඇත.

ප්‍රතිකාල් අධිරාජ්‍යවාදී රජය ඇංගෝලාවේ ගෙන ගිය බිහිසුණු ඝාතන හා මර්දන කටයුතු හෙළා දකිමින් මහා මණ්ඩලය ඉතා දැඩි පියවර සම්මත කළ ද, ඒවා අකුරට ම ක්‍රියාකරවීමේ දුෂ්කරත්වය නිසා සාර්ථක ප්‍රතිඵල ලැබී නැත (ඇංගෝලාව බ.).

දකුණු රොඩීසියාවේ ඉයන් ස්මිත් රජය ඒකපාක්ෂිකව ක්‍රියා කොට එහි ධවලාධිපත්‍යය පිහිටුවමින් 1965 දී නිදහස ප්‍රකාශ කර නවරජයක් බිහි කළ අවස්ථාවේ දී ඊට විරුද්ධව රොඩීසියානු දේශීය බහුජනතාව වෙනුවෙන් නැඟී සිටි එ.ජා. සංවිධානය 1966 සිට වෙළඳ බාධක හා දණ්ඩන තහනම් නීති පනවමින් ද අවි බලය යොදා හෝ රොඩීසියානු නවරජය පෙරළා දමන ලෙස මහා බ්‍රිතාන්‍යයෙන් ඉල්ලමින් ද දැඩි පියවර ගත් නමුත් ඒවා නිෂ්ඵලව ගියේය. දිගින් දිගට එ.ජා. සංවිධානය හා ගැටී සිටිනා දකුණු අප්‍රිකා රජය නව රොඩීසියානු ධවල රාජ්‍යයට හාත්පසින් ම ආධාරකාරීව ක්‍රියාකිරීම ස්මිත් රජය යුක්තිය හා සාධාරණය කෙරෙහි නම්මවා ගත නොහැකි වීමට හේතු වී පවතින බව කිව හැකිය.

1963 දී මැලේසියාව බිහිවීමෙන් පසු ඇති වූ ඉන්දුනීසියා-මැලේසියා ගැටුම ගැන දූතමණ්ඩල යවා කරුණු විභාග කළ එ.ජා. සංවිධානයේ මහලේකම්වරයා ඒ පිළිබඳව දුන් තීරණය පිළිනොගත් ඉන්දුනීසියාවේ ජනාධිපති සුකර්ණෝ මැලේසියාව විනාශ කරන බව පවසමින් බෝර්නියෝ වන ප්‍රදේශවල ගෙරිල්ලා සටන් ද ඇති කොට ක්‍රියා කෙළේය. අනතුරුව 1964 දී මැලේසියාව ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයකු කිරීම නිසා 1965 දී ඉන්දුනීසියාව එ.ජා. සංවිධානයෙන් ඉල්ලා අස් විය. දෙරට අතර තාවකාලික සාමයක් උදා වූයේ ඇ.එ.ජ. රාජ්‍යයේ මැදහත්වීමෙනි (මැලේසියාව බ.).

සයිප්‍රස් රාජ්‍යයේ ග්‍රීක හා තුර්කි දෙවර්ගයා අතර 1963 දී ඇති වූ ඝට්ටනයේ දී තුර්කි රාජ්‍යයේ යුද්ධ හමුදා ඒ සම්බන්ධයෙන් ඇඟිලි ගසතැයි යන බියෙන් සයිප්‍රස් රාජ්‍යය හා එක්සත් රාජධානිය එම ප්‍රශ්නය ආරක්ෂක මණ්ඩලය හමුවට ගෙන ආහ. සාමය රකින එ.ජා. හමුදාවක් සයිප්‍රස් රාජ්‍යයේ වියදමින් එහි ගොඩනැඟීමට ආරක්ෂක මණ්ඩලය තීරණය කෙළේය. හමුදාවේ මැන්ඩේට් බලය විටින් විට අලුත් කිරීම මගින් බොහෝදුරට එහි වියවුල් තත්ත්වය මඟහරවා ගත හැකිව ඇත ද දේශපාලන වශයෙන් ග්‍රීක-තුර්කි දෙපක්ෂය අතර ස්ථිර සමථයක් ඇති වී තිබෙන බවක් නොපෙනේ. ලොව බලවත් ආන්දෝලනයක් ඇති කළ වියට්නාම් අරගලය සම්බන්ධයෙන් එ.ජා. සංවිධානය 1966 දක්වා මැදිහත් නොවීය. 1966 දී ඇ.එ.ජ. රාජ්‍යය මේ ප්‍රශ්නය ගැන ආරක්ෂක මණ්ඩල රැස්වීමක් ඉල්ලා සාකච්ඡාව සඳහා යෝජනා කෙටුම්පත් ඉදිරිපත් කෙළේය. ආරක්ෂක මණ්ඩලයේ දී මෙම ප්‍රශ්නයේ සාකච්ඡාව දින නියමයක් නැතිව කල් තැබිණි. ඉන්පසු එ.ජා. මණ්ඩලයෙන් ඒ ගැන කිසිවක් සිදු නොවීය.

යට සඳහන් වුණු විස්තරය අනුව එ.ජා. සංවිධානයෙන් ලෝකයේ තැන තැන විටින් විට පැන නැඟි අර්බුද හා ප්‍රශ්න සාර්ථක ලෙස විසඳා ගත හැකිව ඇත්තේ කීප අවස්ථාවක දී පමණක් බව පෙනේ. මේ කාර්ය සිද්ධි අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාර්ථකත්වය මනිතොත් එතරම් ම තෘප්තිමත් විය නොහැකි බව සැබවි. එහෙත් මෙවැනි ජාත්‍යන්තර ආයතනයක් නොතිබියේ නම් දෙවන ලෝක යුද්ධයෙන් පසු බලකඳවුරුවලට බෙදී ඊර්ෂ්‍යාපරවශව උනුන් දෙස බලන ලෝක ජාතීන් අතර මෙතෙක් ඇති වූ අර්බුද හා අරගල කවරාකාර ජගත් මහා අර්බුද බවට පෙරළෙන්නට ඉඩ තිබුණේ දැයි සිතන විට එ.ජා. සංවිධානය සාක්ෂාත් කරගත් සසීම කාර්ය සිද්ධිවලින් පවා ලොවට සිදු වූයේ ඉමහත් සෙතක් බව පිළිගත යුතුය. විවිධ ප්‍රශ්න සාකච්ඡාවෙන් ලෝක මහජන මතය කෙරෙහි එය පාන බලය වක්‍ර ලෙසින් වුව ද ප්‍රශ්න නිරාකරණයට මග පාදන්නකි. 1957 දී පිහිටුවන ලද පරමාණු බල ආයතනය ලෝකය පුරා සාමය, සෞඛ්‍යය හා සෞභාග්‍යය සඳහා පරමාණු බලය උපයෝගී කොට ගැනීම යුහුසුලු කරවන අනුබලයකි. සංවිධානයේ මානව අයිතිවාසිකම් අනුමණ්ඩලය විසින් සම්මත කොට ගන්නා ලද මානව අයිතිවාසිකම් ප්‍රකාශනය වත්මන් ලෝකයේ ඉතා වැදගත් ප්‍රකාශනයක් සේ ගැනේ. එ.ජා. සංවිධානයෙන් ජගත් ප්‍රජාවගේ සුභසිද්ධිය සඳහා ඉටු වන සේවය සලකන කල එහි වැදගත්කම කිසිසේත් අකාමකා දැමිය නොහැකිය. මිනිස් සංහතියේ ආර්ථික, සමාජ හා අධ්‍යාපන අභිවෘද්ධිය අරභයා කටයුතු කිරීම සඳහා එහි වූ ශාඛා හා විශේෂ ආයතන මගින් ද යුද්ධ, සිවිල් යුද්ධ ආදි ආපදාවලින් අනාථ වූවනට ආධාර දීමෙන් හා ඔවුන්ට ආවාසස්ථාන සැලසීම් ආදියෙන් ද අනිකුත් වැදගත් සෑම ක්ෂේත්‍රයක ම වාගේ මානව කාර්යාවලීන්ට ආධාර උවදෙස් ආදිය සැලසීමෙන් ද මෙම ජගත් මහා සංවිධානය ඉෂ්ට කරන සේවය නිසා වත්මන් ලෝකය එය මහත් ආශීර්වාදයක් කොට සලකයි.

(සංස්කරණය: 1974)