දස්කොන් (අධිකාරම්)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

දස්කොන් (අධිකාරම්)

දෙවෙනි රාජසිංහ මහරජතුමන් සිය මහඅධිකාරම් පදවියට දස්කොන් පත්කරගෙන සිටියේ ය. මොහුගේ පියා ප්‍රංශ ජාතික ගැස්කවින් නම් අයෙකැයි සලකනු ලැබේ. මව ගැන කිසිම තොරතුරක් නැත. එහෙත් ඇය සිංහල කාන්තාවක් විය යුතුයයි සලකත්. දෙවෙනි රාජසිංහ රජුගේ පියාණන් වූ සෙනරත් රජතුමාට කෝන් ගසක් මුල අතහැර දමා සිටි අනාථ දරුවෙක් දක්නට ලැබී, ඔහු හදාවඩන හැටියට රාජපුරුෂයින්ට භාර කළේ ය. ළදරුවා තරමක් වැඩුණු පසු රජ මැඳුරට ගෙන්වා ශාස්ත්‍ර පුහුණු කරවන ලදී. කෝන් ගසක් යට සිට හමුවූ හෙයින් මොහුට 'ගස්කොන්' යන නාමය ව්‍යවහාර වීලු. නැතහොත් ඔහුගේ පියා ගැස්ක්වීන් නිසා ඒ නම් ලැබී, පසුව ව්‍යවහාරයේ ද දස්කොන් වී යයි ද මතයකි. දස්කොන් බොහෝ ක්‍රියා සූර වූ බැවින් ප්‍රසාදයට පත් සෙනරත් රජතුමා ඔහු රාජ සභාවේ උසස් තනතුරුවලට පත්කරනු ලැබී ය. ඒ රජුගේ මරණින් පසු ඔහු පුත් දෙවැනි රාජසිංහ රජු විසින් මහඅධිකාරම් පදවියට පත් කර ගන්නා ලදි. දස්කොන් අධිකාරම් කෙරෙහි විශේෂ ඇල්මක් දැක් වූ රජුගේ කරුණාව නිසා රජමැදුරේ රිසි සේ නිදහස් ව හැසිරීමට පවා ඔහුට ඉඩ ලැබුණේ ය. එහෙත් මේ නිදහස ඔහුගේ අවාසියට පෙරළී දිවස්හුල හිඳ මරණීය දණ්ඩනය විඳ අන්තිම හුස්ම හෙළීමට සිදු විය. දස්කොන් අවසානය සිදු වූ ආකාරය පිළිබඳ ප්‍රවෘත්තිය මෙසේය: රජතුමාගේ අගබිසව රෝගී වූ විටෙක ඇගේ ජන්මපත්‍රය පරීක්‍ෂා කිරීම පිණිස නැකත් දත්තෝ රජ මැඳුරට කැඳවන ලද්දෝ ය. බිසවගේ කේන්ද්‍රය පිරික්සූ ඔවුහු ඇයට අපල කාලයක් උදාවී ඇති බැවින් එය නැති කිරීම පිණිස බලි යාගයක් කළ යුතු බැව් කීය. ඔවුන්ගේ වචන විශ්වාස කළ රජතුමා බලි ඇදුරන් ලවා යාගය කර වන්නට සූදානම් විය. ඇඳුරන් බලිය අඹද්දී එය බිසවගේ හැඩහුරුකමට අනුරූපව කරන්නට උත්සාහ ගත්හ. ඇඹූ බලිය බෙහෙවින් ම දේවියට සමාන විය. එය දුටු දස්කොන් මතු සිදුවන කිසිවක් සිහියට නොනඟා බලියේ කිසිදු ඌනතාවක් නොවන සේ එය නිමවන්නට සිතා බිසවගේ ශරීරයේ යම්කිසි අප්‍රකට ස්ථානයක පිහිටි ලපයක් ද බලියේ අඳින ලෙස අණ කැරිණි. ඇඳුරෝ ද එසේ කළහ. රූපයේ ඇඳ තිබුණු ලපය දුටු රජතෙමේ ඒ ගැන විමසුයේ මහඅධිකාරම්තුමාගේ නියෝගයෙන් එය කරන ලද බැව් ඇදුරන් විසින් කියන ලදි. මේ කාරණයෙන් දස්කොන් කෙරෙහි අවිශ්වාසයක් ඇති කර ගත් රජු ඔහු (දස්කොන්) තම බිසව හා අයථා සම්බන්ධයක් ඇති ව සිටිතැයි තීරණයට බැස ඒ ගැන සොයා බලන තුරු සිරකොට තබන ලදි. ඇත්ත වශයෙන් ම එවැනි නොමනා පෙම් බැඳුමකින් වෙළී සිටි රාජිනිය සිය අමතර පෙම්වතා තමා නිසා සිරගෙයි දුක් විඳින බව දැන ඉතාම දුක්වූවා මේ කව ලියා යැව්වා ය.

"තු න් ක ල තුමුල වනයේ මල් රස නොවිඳ

ක න් ත ල ගජන් කොදුලත බිඟු රොණට වැද

ක න් ත ල පහර වැනි නිරුඳුට අසුව ඉඳ

පි න් ක ළ හිතනුවනි, දැන් තැවෙනු කුමටද


මීට පිළිතුරු සපයන දස්කොන් මෙසේ ලියා එවන ලදි:


වි සැ ස් කමලාව රස පහස නොවිඳ මා

ද සි ස් දුනි පොරණ ඇසු දුටු පමණට මා

වෙ සෙ ස් නුඹේ අමයුරු පහස ලත් පෙ මා

ම හි ස් එකක් ගියනම් නුඹ නමට කි මා


මේ පෙම්පත් හුවමාරුව දැනගැනීමෙන් හා කෙසේ නමුත් සතුරන්ගේ කේලාම් බස් ආදියෙන් ද රජුගේ සැකය වඩ වඩා තහවුරු වූයේ දස්කොන් අධිකාරම දිවස්උල තබා මැරවූයේ ය. මේ කථා ප්‍රවෘත්තිය ජනශ්‍රැතියෙහි ආවක් මිස ග්‍රන්ථාගත වෘත්තාන්තයක් නොවන බව ද සැලකිය යුතුයි.

(කර්තෘ: අඥාතයි)

(සංස්කරණය නොකළ)

දස්කොන් (ගස්කොන් අදිකාරම)

සෙංකඩගල නුවර දෙවැනි රාජසිංහ නරේනද්‍රයාගේ රජ්‍ය කාලයේ අවසන් අවදියට අයත් ක්‍රි.ව. 1672 වැන්නෙහි ලැනරෝල් නම් ප්‍රංශ තානාපතියෙක් රජු බැහැදැකීමට පැමිණියේ ය. හෙතෙම රජවාසල ගරු සිරිත් නොසලකා ගර්‍වයෙන් හැසුරුණු බැවින් රාජපුරෂයන් විසින් හිරභාරයට ගන්නා ලද්දේ ය. ඔහු සමඟ පැමිණි ප්‍රංශ ජාතිකයන් අතර, “ගස්කොන්” නම් අයෙක් ද සිටියේ ය. රජතුමාගේ උදහස වෙනස් වී ලැනරෝල් තානාපතියා නිදහස් කළ දිනයෙහි ම ගස්කොන්ට ද නිදහස ලැබුණේ ය.

ඉක්බිති ගස්කොන් මහනුවර වැසියෙක් විය. හෙතෙම, පෘතුගීසියෙකුට දාව සිංහල ස්ත්‍රියක් සරණ පාවා ගත්තේ ය. ඇගෙන් ගස්කොන්ට පුතෙකු හා දියණියක් ද ලැබිණ. පුතාට පේදුරු ගස්කොන් යයි නම් තැබුවේ ය. පේදුරු ගස්කොන් කුඩා වියේ දී “ජෝසප් ද වාස්” කතෝලික පියතුමාගෙන් පෘතුගීසි භාෂාව හදාළේ ය. සිංහල පරිසරයෙහි වැඩුනු ගස්කොන්ට කල් යත් යත් සිංහල භාෂා සාහිත්‍යය ඉගෙනීමට අභිලාෂයක් ඇති වූයේ ය. හෙල බස ඉගෙනීමෙහි ශූරයෙක් වූ ගස්කොන් ළපැටි වියෙහි ම කාව්‍ය රචනයෙහි දක්ෂයෙක් විය. මේ ආරංචිය සිංහල මහා වාසලට සැළ වීමෙන් සිංහල ඔටුන්න හිමි මහාස්තාන කුමරු හැඳිනගත්තේ ය. ඒ කරණ කොටගෙන ගස්කොන්ට සිංහල වියතුන් ඇසුරෙන් හෙළබස ගැන උසස් දියුණක් ලබා ගන්නට හැකි විය. නොබෝ කලකට පසු මහාස්තාන කුමරු පියරජු ඇවෑමෙන් දෙවැනි විමලධර්මසූරිය නමින් රජ විය. පේදුරුගස්කොන් රාජානුග්‍රහයෙන් ම වැඩුණේ ය. දෙවැනි විමලධර්මසූරිය රජු දෙවිසි අවුරුද්දක් රාජ්‍ය කොට දිවංගත විය. ඊට පසු එතුමාගේ පුත්‍ර වූ කුණ්ඩසාල කුමරු වීරපරක්‍රම නරේන්ද්‍රසිංහ නමින් සිංහාසනාරූඪ වූයේ ය. ඒ රජතුමා රජ පැමිණි මුල් අවදියේ පටන් පේදුරු ගස්කොන් වියතාණන් සමඟ ආශ්‍ර ඇති වූයේ ය. පියරජුට සම වයසකයෙක් හා කුළුපග වූ හිත මිත්‍රයෙක් ද වූ ගස්කොන් ක්‍රි.ව. 1712 වනුයෙහි පටන් හඟුරන්කෙත වාසය කළේ ය. වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා සිංහාසනාරූඪ වී ස්වල්ප කලක් ඉක්මුනු පසු සිංහල ඔටුන්නට අයිතිවාසි කියමින් නැගී සිටි රාජවංශිකයකුගේ පක්ෂයට රදළවරු විශාල සංඛ්‍යාවක් හැරුණේ ය. රජු සිංහාසනයෙන් නෙරපීම සඳහා බලසම්පන්න වූ කැරැල්ලක් මහනුවරින් ඇරඹුණි. රජතුමා හිතවත් වූ දුග්ගන්නා පිරිසක් සමඟ උඩුදුම්බර කඳුකරයට පළා ගියේ ය. රජු කැටුව ගිය හිතවතුන් අතර ගස්කොන් හෙවත් ගස්කොන් අප්පු සාමි ද කෙනෙකි. සිංහල අධිපතීන් ද්‍රෝහිව නැගී සිටි අවස්ථාවේ ගස්කොන් අප්පුහාමි පක්ෂපාත ව රජු සමඟ ම සිට අරක්ෂා කළේ ය. රජු සමඟ නැතක් ගැහැට වින්දේ ය. සතුරන් විනාශ කොට යළිත් රජසිරි ලැබීමට ද ගස්කොන් අප්පුහාමිගේ සහය ලැබුණේ ය. උඩුදුරම්බර කඳුකරයෙන් රජතුමා හඟුරන්කෙතට වැඩම වූ ප්‍රධානීන්ගේ නාමාවලියෙහි ගස්කොන් අප්පුහාමිගේ නම විශේෂයෙන් සඳහන් වී ඇත්තේ ය. රට නිරවුල් වුනාට පසු වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා විසින් ගස්කොන අප්පුහාමි අදිකාරම් ධුරයට පත් කරණ ලද්දේ ය. එකල මහ අධිකාරම් වූයේ රන්මාලක අදිකාරම්තුමා ය. ගස්කොන් අදිකාරම්තුමා ස්වකීය මෑණියන් හා නැගනියන් සමඟ හඟුරන්කෙත වාසය කෙළේ ය. ජාකොමේ ගොන්සාල්වේස් පියතුමා කලක් ගස්කොන් අදිකාරමගේ ආගන්තුකයෙක් වශයෙන් වාසය කරනුයේ ගස්කොන් පවුලේ අය කතෝලික සමයට හරවා ගැනීමට ප්‍රයත්න දැරුවේ ය. රජුගේ කුළුපග මිත්‍රයෙක් වැ රාජ මන්දිරය නිතර ආශ්‍රය කළ ඉග්නේෂියෝ ද අල්මේදා පියතුමාගේ සහ පූජකවරයා නරේන්ද්‍රසිංහ වාසලින් අවසර ලබා ගත්තේ ය. එසේ ම දේවස්ථානය ද ගොඩනගන ලදී. ගස්කොන් අදිකාරමගේ සහායයෙන් ගොන්සාල්වේස් පියතුමා රජුගේ මිත්‍රයෙක් ද විය. රජතුමාගේ මිත්‍රයෙක් වැ සිට ඕලන්දයන් විසින් හිරබාරයට ගන්නා ලද අන්තෝනියෝ ද ඔර්තා පියතුමාට දී තිබුණ නිවස ගොන්සාල්වේස් පියතුමාට පවරණ ලද්දේ ය. ගස්කොන් අදිකාරම ඇසුරු කරණ ගොන්සාල්වේස් පියතුමා විසින් සම්බුද්ධාගම විවේචනය කොට ලියන ලද පොතක් ගැන රාජ්‍යයේ වැසියන් අතර අප්‍රසාදයක් හා විරුද්ධත්වයක් ද ඇති විය. ගස්කොන් රාලගේ උසස්වීම ගැන ඊර්ෂ්‍යාවෙන් පළිගැනීමට අවස්ථාවක් සොයමින් සිටි කුමන්ත්‍රණකාරයන්ට මේ කාරණායෙන් තැනක් ලැබුණේ ය. සිංහල සහ වඩුග රදළවරු දස්කොන් අදිකාරම බෞද්ධාගමට විරුද්ධවූවකු බව රජුට අවබෝධ කළහ. ඇදහිය නොහැකි තරම් බොරු චෝදනා ගොතමින් ගස්කොන් අදිකාරම කෙරෙහි රජු බිඳුවාලූහ. ස්වකීය නිදොස්කම කියා රචනා කොට රජතුමා වෙත ගස්කොන් අදිකාරම්තුමා විසින් යවන ලද දුග්ගැනවිලි කාව්‍යය ද රජු අතට යා නොදී කුමන්ත්‍රණකාරයෝ අතට ගත්හ.

ගස්කොන් අදිකාරම සිංහලයෙක් නොවීමේ වන්දියට භාජන විය. රජු බැහැදැක නිදහසට කරුණු කියන්නටවත් ඉඩක් නොලැබුණේ ය. රාජ උදහසට භාජන වූ ගස්කොන් අදිකාරම්තුමා හඟුරන්කෙත බැබිලඅරාව නම් ආඝාතභූමියෙහි උලහිඳවා මරණ ලද්දේ ය. මේ උලහිඳුවා මැරීම ගැන සූරියගොඩ විහාරය පිළිබඳව වැලිවිට සංඝරාජ මාහිමියන් විසින් ලියන ලද තඹපතෙහි ද සඳහන් ව ඇත්තේ ය. මේ දැක්වුණු විස්තරයට ඉඳුරාම විරුද්ධ වූ විස්තරයක් සහ කථාවන්ගේ ආභාසයෙන් ලියවී තිබේ. ජේම්ස් ද අල්විස් මහතාගේ සිදත් සඟරා සන්නයේ දැක්වෙන ඉතිහාස සන්දර්ශන යන මැයින් ලියවී ඇති විස්තරය හා හෙලදිව් රැජිනියෝ සඳහන් විස්තරය ද ස්වල්ප වෙනස්කම් ඇතුව එක සමාන වෙත්.

දෙවැනි රාජසිංහ රජතුමාගේ කාලයේ දොන් කොන්ස්ටැන්ටයින් හිරබාරයට ගත්තාට පසු කෝන්ගසක් යට සිටි ළමයෙක් සම්බ වූ බවත් ඒ ළමයා යුරෝපාකාරයකුගේ හැඩය ඇත්තෙකු වූ බැවින් රාජසිංහ රජතුමාගේ පියරජ්ජුරුවන්ට දක්වන ලදුව රජ නියමයෙන් රජයේ නිලධාරීන් විසින් ඇතිදැඩි කරන ලද බවත් හෙළදිව් රැජිනිගේ දැක්වේ. කෝන්ගස් යට සිටින්නා ගස්කොන් කියා නම් තැබුවේ. දෙවැනි රාජසිංහ රජවූයේ පියරජුගේ ඇවෑමෙන් බව කථාව ගෙතූ අයට අමතක වී තිබේ. දෙවැනි රාජසිංහ රජුගේ බිසවට පෙම්බැඳීම හැර එතුමාගේ සටන්වලට ගස්කොන් පෙනී සිටි බවක් ඉතිහාසයේ සඳහන් නොවේ. ඉදින් රාජසිංහ අවදියේ සිටි ගස්කොන් පේදුරු ගස්කොන්ගේ පියාටත් අදිකාරම් තනතුරක් ලැබුණේ කුමන දස්කමක් සඳහා දැ'යි නොදැනේ. එසේ නොව වීරපරාක්‍රම නරෙන්ද්‍රසිංහ අවදියේ සිටි ගස්කොන් ම, රාජසිංහ අවදියේත්, මේ පදවියක් ලැබී සිටියේ නම් නරේන්ද්‍රසිංහ රජකාලේ ඔහුගේ වයස අවුරුදු අසූවකටත් වැඩි විය යුතු ය. දෙවැනි රාජසිංහ සමයෙහි පැමිණි ප්‍රංශ ජාතික ගස්කොන්ගේ පුත්‍රයා පේදුරුගස්කොන් නම් නරේන්ද්‍රසිංහ රාජසමයෙහි ඔහුට අදිකාරම් පදවිය ලැබුණු අවුරුදු පනහක් පමණ වූ මැදුම් වයසෙහි විය යුතු ය. එසේ නම් ඔහු රජවාසල මාගම්සෝලියක් නිසා මරණු වූවේ යයි කිව නොහැකි ය.

ජේම්ස් ද අල්විස් මහතාගේ සිදත් සඟරා සඥාපනයේ සඳහන් වනුයේ ගස්කොන් අදිකාරම දෙවන රාජසිංහ සමයෙහි විසූ බවයි. එමතු ද නොවෙයි. රජ මෙහෙසිංයට ග්‍රහබිලිශාන්තියක් රාජනියමයෙන් ගස්කොන් අදිකාරමගේ උපදෙස් පිට කෙරුණු බවක් එහි දී මෙහෙසියගේ රූපය අඹා තිබෙනු දැක ශරීරයෙහි ලපයක් ඇති බවත් බලියෙහි එය නැති නියාවත් ගස්කොන් අදිකාරම බලි ඇදුරන්ට ප්‍රකාශ කළ නිසා රජුගේ සැකයට භාජන වූ බවත් කියැ වේ. බලි ඇඹීමේ දී ආතුරයා අඹනුයේ වස්ත්‍රාභරණයෙන් සරසා බව සිතාගන්නට මේ කථාන්තර ගෙතූ අයට අමතක වී තිබේ. ගස්කොන් අදිකාරම ජීවත් වූ අවදිය ගැන සැබෑ පුවත සඳහන් වන්නේ එකල හඟුරන්කෙත රාජධානිය ඇසුරු කළ කතෝලික පූජකවරුන්ගේ සටහන් වල ය. ගස්කොන් අදිකාරම ජේම්ස් අල්විස් මහතාගේ විස්තරය සහ හෙලිදව්රජනියෙ සඳහන් වන පරිදි පෘතුගීසි මිනිසෙක් නොව ප්‍රංශ ජාතිකයෙකු බව සැබෑ කරුණු අනුව පැහැදිළි වන්නේ ය. ගස්කොන් අදිකර සිව්පදේ - නොක්කඩුමාලේ - යන කුඩා කවි පොත්වල සඳහන් වන තොරතුරු ගස්කොන් අදිකාරමගේ සතුරන් විසින් ගොතන ලද කියුම් වෙති.

යුරෝපීය ජාතිකයෙක් සිංහල රජුයේ උසස් තනතුරක සිටීම නොරුස්නා රදළවරුන්ගේ වෛරය සීමා රහිත බැව් ඔහුට විරුද්ධව කෙරුණු කුමන්ත්‍රණවලින් අවබෝධ වේ. දස්කොන් අදිකාරම විජාතිකයෙක් වුව ද සිංහල අධිපතියන්ට වඩා රාජපාක්ෂිකවැ සිටියේ ය. එසේ ම සිංහල සංස්කෘතියට අනුව නියම සිංහලයෙක් වැ ම ජීවත් වූයේ ය. උඩරට රාජ රාජධානිය ධර්ශාස්ත්‍රඥයෙන් පරිහානි පක්ෂයෙහි පැවති අවදියකැ ගස්කොන් අදිකාරම විසින් ස්වොත්සාහයෙන් ලබා ගන්නා ලද සිංහල සාහිත්‍ය ඥානය හෙලබසෙහි දියුණට උපකාරී විය. ගස්කොන් සංස්කෘත සාහිත්‍යයෙහි ද ප්‍රමාණවත් දැනීමක් ඇතුව සිටි බව එතුමාගේ පද්‍යයන් දෙස බැලීමෙන් වැටහේ. ගස්කොන් අදිකාරම විසින් මධුර වූ විවිධ වෘතයන්ගෙන් යුක්ත වැ රචනා කරන ලදි. ප්‍රශස්ති කාව්‍යය වූ “ශ්‍රී නාම” යෙන් අකුටිල වූ රාජ භක්තිය හා රචනා කෞශල්‍යය ද මැනවින් ප්‍රකාශ වේ. ගස්කොන් අදිකාරම කෙරෙහි වෙර බැඳ අකල් මරණයට ගොදුරු කළ සිංහල නිලදැරියෝ ගස්කොන් අදිකාරම් නිසා සිංහල සාහිත්‍යයට සිදු වූ මහඟු සේවයට හදි කළෝ ය. මේ ශ්‍රේෂ්ඨ පුරුෂයා ගැන රාජසිංහ අවදිය අලලා කියැවෙන පුවත හා නරේන්ද්‍රසිංහ සමය සම්බන්ධකොට කියන කථාවක් යන දෙපුවත ම එක සමාන වුවත් ගස්කොන් අදිකාරමට විරුද්ධව ගෙතුනු අසත්‍ය ප්‍රලාපයන් හැටියට ගණන් ගත යුතු ය. නරේන්ද්‍රසිංහ රජුගේ රාජ්‍ය කාලය තුළ කලක් ගස්කොන් අදිකාරම රාජ සේවයෙහි යෙදුනු බව පැහැදිළි ව පෙනේ.

සේබැස්ටියෝ ද ඩෙරඩෝ විසින් ලියන ලද ජාකොමේ ගොන්සාල්වේස් පියතුමොගේ ජීවන චරිතයෙන් උපුටා ක්‍රි.ව. 1933 සිළුමිණ ශාස්ත්‍රීය කලාපයෙහි ඇස්.ජී. පෙරේරා පියතුමා පළ කළ ලිපිය මෙය සැපයීමට උපකාරී විය.

කරුණු උපුටා ගත් ලියවිලි

1. අමරකෝන් මුදියන්සේගේ කැඩපත

2. නරේන්ද්‍රසිංහ කැරැල්ල

3. සූරියගොඩ රජමහා විහාරේ කැඩපත

(කර්තෘ: පී.ඇම්.පී. අභයසිංහ)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දස්කොන්_(අධිකාරම්)&oldid=5400" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි