නාඩි ශාස්ත්‍රය
ආයුර්වේදයෙහි ප්‍රකාශිත නාඩි ශාස්ත්‍රය වනාහි රෝග විනිශ්චයෙහි ඉතා සියුම් ක්රමයකි. වීණාවෙහි තත්වල ඇඟිලි තැබීමෙන් විවිධ ස්වරයන් නිකුත් කරනුයේ යම් සේද දෝෂත්රයෙහි ක්‍රියාකාරී නීශක්තිය නියමිත නාඩිවල ඇඟිලි තැබීමෙන් අවබෝධ කරගනුයේ ද එසේ ම ය. දෝෂත්‍රයට අයත් නාඩිවල රක්තවේශ ස්පන්දනය අනුව දෝෂයන්ගේ තත්කාලීන තත්වය වටහා ගනු ලැබේ. දීර්ඝ කාලයක් රෝගීන්ගේ නාඩි ස්පර්ශ කිරීමෙන් ම ඒ සියුම් අවබෝධය ලබා ගත යුතු ය.
සිරිත අනුව නොව විචාර බුද්ධිය අනුව ම නාඩි පරීක්ෂණය අභ්‍යාස කර ගත යුතු වන්නේ ය. භාරතීය සිද්ධ වෛද්‍ය ක්‍රමයෙන් පෝෂණය වූ ලක්දිව දේශීය වෛද්‍ය ශාස්ත්‍රයට අයත් නාඩි ශාස්ත්‍ර ක්‍රමය ඇත්තේ ය. එහි ද මූලධර්මය උත්තර භාරතීය ආයුර්වේද ශාස්ත්‍රයට තත්සම වේ. දෙමළ බසින් කියැවෙන වාත ලක්ෂණාදිය හා නාඩි නාමයත් කරණ කොට ගෙන ද්‍රවිඩ මුහුණුවරක් පෙනෙනු විනා අනිත් වෙනසක් ඇතොත් ස්වල්ප වශයෙනි. සිංහල දේශීය චිකිත්සා ග්රන්ථයන්හී පෙනෙන නාඩි ශාස්ත්‍රය යොගරත්නාකරයෙහි පැහැදිලි ව සඳහන් වේ. දැන් මෙහි පළමු කොට ආයුර්වේදීය නාඩි විඥානය ගැන සංක්ෂිප්ත විස්තරයක් කරනු ලැබේ.
නාඩිය නම්, ශරීරයෙහි නහරවලට නමකි. ශිරා, ධමනී, ස්නායු යයි නහර තුන්වැදෑරුමි. ශිරා, ධමනි දෙවර්ගය ම එකක් යයි සංහිතා ග්රන්ථයන්හි සඳහන් වේ. ශිරාවෝ කාර්ය භෙදයෙන් ධමනී සංඥාව ලබති. එහෙයින් සාරංග ධරයෙහි නාඩි ගැන කියැවෙන තන්හි ධමනි සඥාව යොදා තිබේ. සුශ්‍රැත සංහිතාවෙහි ශිරාවන්ගේ සහ ධමනීන්ගේ ප්‍රභේදය සංඛ්‍යා වශයෙන් හා කාර්ය්ය වශයෙන් ද දෙවැදෑරුම් කොට දක්වා ඇත්තේ ය. නාඩි ඥාන තරංගනියෙහි ශිරා ධමනි නාමයෙන් තොරව හුදෙක් නාඩි නාමය ම ප්‍රමුඛස්ථානයෙහි ලා ශාස්ත්‍ර ක්‍රමය දක්වා තිබේ. එහෙත් නාඩිය ශිරා ධමනීන්ගේ පර්‍ය්‍යාය නාමයක් සේ ශාස්ත්‍රයෙහි ප්‍රකාශ වන බැවින් නාඩි හෙවත් ශිරාවන් ගැන හැඳින්වීම නාඩි ඥානයට අදාළ වේ. ශිරාවන්ගේ ප්‍රභේද හා දෝෂත්රයෙහි ප්රධාන්යයත් ගැන විස්තරයක් සුශ්රැතසංහිතා ශාරීරස්ථානගේ සත් වන අධ්‍යායෙහි ප්‍රකාශ වේ. සුශ්‍රැත ශරීරස්ථානයෙහි දැක්වෙන පරිදි මූලශිරාවෙන් සතළිසක් වෙත්. ඔවුන් අතුරෙන් වාතහනය වන ශිරා දසයෙකි. පිතවාහනය වන්නෝ දශයෙකි. සෙම වහනය වන්නෝ ද සයෙකි. ලෙය වහනය වන්නෝ දසයෙක් වේ. දෝෂත්රයෙහි වහනය යන්නෙන් මොවුන්ට ස්‍රෝතස් යන නාමය ද පර්‍ය්‍යාය වේ. එසේ වනුයේ වෙසෙසින් ම ධමනි අංශයෙහි ශිරාවනට ය. වාත ශෙලෂන්දීන්ගේ වහනය වන්නේ ඒ නළයන් තුළ ද්‍රව පදාර්ථයක් නොව දෝෂයන්ගේ ප්රභවය හෙවත් ශක්ති වේගයයි. හුදෙක් රුධිරය පමණක් ශිරා හෙවත් නාඩීන් තුළ ගලා යයි. වාත, පිත්ත, ශෙලෂ්ම යන දෝෂත්රයෙහි ප්‍රභාව අනුව නාඩීන් තුළ ගමන් කරන රුධිරයෙහි වේගය තුළ පවත්නා තත්වය අනුව දෝෂත්රයෙහි ප්‍රභා ලක්ෂණය නාඩිය ස්පර්ශ කිරීමෙන් වෛද්‍යවරයාගේ ඇඟිලිවලට දැනේ. දෝෂත්රයෙහි බලවේගයෙත් පෝෂණය හා දූෂණය වන ස්ථානයෝ එකී දෝෂයට එකසිය පන්සැත්තෑව බැඟින් වෙත්. රක්තවාහී ශිරා වන්නේ ආශ්‍රය ස්ථානය වන්නේ අක්මාව හා පිලාවත් ය. වාත වාහි ශිරා එක් එක් සත්ථියෙහි හෙවත් කලවයෙහි විසි පහ බැගින් වෙති. වෙසෙසින් කොෂ්ඨයෙහි තිස් හතරකි. ඔව්හු මෙඪය (ලිංගය) ඇසුරු කෙරෙත්. ශ්‍රෝණිය (උකුල) එක්පසෙක දෙක බැඟින් අටකි. පියෙහි සයෙකි. උදරයෙහි සයකි. ළමැද දශයෙකි. දසරුවෙත් උඩ සතලිසෙකි. ගෙලෙහි තුදුසෙකි. දෙකණ සතරෙකි. දිවෙහි නවයෙකි. දෙඇස අටෙකි. නැහැයේ සයෙකි. වාත මහා ශිරාවන්ගේ සංඛ්‍යාව එකසියපන්සැත්තෑවක් වනුයේ මෙසේ ය. නාඩි පරීක්ෂණයෙන් යට දැක්වුණු දෝෂ ස්ථානයන් තුළ පවත්නා වෙනස් වීම් අවබෝධ වන්නේ ය.
නාඩි පරීක්ෂා කරන වෛද්‍යවරයා පැවතිය යුතු අයුරු හා නාඩීන් පරීක්ෂා කරනු ලබන ආතුරයා සිටිය යුතු අයුරු ද නාඩි ශාස්ත්‍ර හැදැරීම පිළිබඳ නියමාවලියෙහි සඳහන් වේ. තහවුරු සිත් ඇති නිරෝගී වූ සුවසේ හෙවත් පහසුවෙන් හිඳගත්තා වූ ද වෛද්‍ය තෙමේ නාඩි පරීක්ෂණයෙන් රෝග විනිශ්චයෙහි සමත් වේ. මත්පැනින් වෙරි වු ද කැළඹුණු සිත් ඇත්තා වූ ද මළමුත්‍ර වේග ඇත්තා වූ ද ලෝභයෙන් මඩනා ලද්දා වූ ද කාමුක වූ ද වෛද්‍ය නාඩි ඥානයෙහි අපොහොසත් වේ. නාඩි පරීක්ෂා කරනු ලැබීමට සුදුසු රෝගියා නම් මලමුත්‍ර පහ කළා වූ ද නොහොත් මල මුත්‍ර වේගරහිත වූ ද සුවපහසු තැනක වැද හොත්තා වූ ද දනපිට අත්තංන ලද්දා වූ ද රෝගියාගේ නාඩියෙහි තත්ත්වය මනා කොට අවබෝධ කර ගත හැකි වන්නේ ය. ස්නානය කළ කෙණෙහි ද ආහාර අනුභව කළ කෙණෙහි ද සාපිපාසයෙන් පෙළෙමින් සිටින විට ද රෝගියාගේ නාඩිය නිවැරදිව අවබෝධ කර ගත හැකි වේ.
පුරුෂයන්ගේ දකුණතෙහි ද ස්ත්රීන්ගේ වමතෙහි ද නාඩි පරීක්ෂා කිරීම මේ ශාස්ත්‍රයෙහි නියමයයි. අතේ මහපට ඇඟිල්ලට නුදුරුව ස්පන්දනය වන නාඩි තුන වාත, පිත්ත, ශෙලශ්ම යන දෝෂත්‍රයට අයත් වේ. ශිරා, ධමනී නොහොත් නාඩීන්ගේ මූල ස්ථානය නාභියයි. නාභිය වටා පිහිටි ඉදිබුවකුගේ හැඩයෙන් යුත් කර්මචන්ද්ර නම් වායුමණ්ඩලයෙන් නාඩි සමූහය නික්මේ. පුරුෂයන්ගේ නාඩිහු කර්මචක්රයේ පහත් පෙදෙසින් ද ස්ත්රීන්ගේ නාඩි කර්මයාගේ උඩු කොටසින් ද නික්ම නියමිත ස්ථානයන්හී පැතිරයෙත්. වාතනාඩිය මුලින් ද පිත්තනාඩිය මධ්‍යයෙහි ද ශෙලෂ්ම නාඩිය අන්තයෙහි ද පිහිටා ඇතැයි ශාස්ත්‍රයෙහි සඳහන් වේ. නාඩින් මඟින් කෙරෙන කාර්ය්යය පාලනය වනුයේ නාභිය ආශ්රිත කුර්ම වාගයේ චල වේගයෙන් යයි කියනු ලැබේ. වාත නාඩි දශය, ගුඪා, පිංගල, ශුශුම්නා, නාගජිහ්විකා, අලංබුසා, යථාභුසා, ගව්දාරා, ශංඛිනි, මුහු දෙහ මධ්යගතා යන මේ නාඩිහු ප්‍රධාන වූ කුර්ම වාතය ඇසුරු කෙරෙත්. වාත නාඩිය චක්රගති ඇත්තී ය. පිත්ත වාහිනී නාඩිය චපල හෙවත් එක් අයුරු නොවන්නී ය. ශෙලෂ්ම වාහිනී නාඩිය ස්ථිර ව පවත්නිය හෙවත් නොවක් ගමන් ඇත්තී ය. වාත කෝපයක් ඇති වූ විට වාත නාඩිය පූඩාවන්ගේ හා සර්පයන්ගේ ගමන් ඇති වෙයි. කපිලවූ පිත්ත නාඩිය කුලිංග පක්ෂි, කාක මණ්ඩුක යන සතුන්ගේ ගමන්වේග ඇත්තී ය. සෙම් කෝපවූ කල නාඩිය හංසයන්ගේ සහ පරෙවියන්ගේ ගමන් ඇති වන්නී ය.
දෝෂත්‍රය ම කුපිතව සන්නිපාත වූ කල්හී නාඩිහු වටුවන්ගේ හා තිත් වටුවන්ගේ ගමන් ඇති වෙත්. විටෙක මඳවූ වේග ඇතිව ද විටෙක අධික වූ වේග ඇතිව ද නාඩි ස්පන්දනය වන්නේ දෝස දෙකක්හුගේ කෝපයෙනැයි දත යුතු ය. ඉතා මඳ වූ ගමන්වේග ඇති නාඩිය ආතුරයා නසයි. සතුන්ගේ ගමනින් අයුරෙන් නාඩි වැටීම දක්වා ඇත්තේ ඔවුන්ගේ පාද මත බව සැලකිය යුතු ය. නාඩි ස්පන්දනය ගැන නොයෙක් සතුන්ගේ ගමන් විලාසය දක්වා ඇත්තේ ඒ ආකාරය සියුම් ලෙසින් අවබෝධ කර ගැනීම සඳහා ය. මේනයින් වෛද්‍යවරයාට සත්ත්ව විද්‍යාව ගැන අවබෝධයක් ද ඇති විය යුතු නියාව පෙනී යයි. ජවර වේගයෙන් නාඩිය උණුසුම් ස්පර්ශයෙන් යුතුව වේගවත්ව වැවේ. කුසගිනි ඇති අයගේ නාඩිය ද වේගවත් වේ. නිරෝගී වූ තැනැත්තහුගේ නාඩිය මධ්‍යම වේග ඇත්තේ තහවුරුවැ වැවේ. මධුරාම්ල ලවණ දී රසයන් අනුභව කිරීමෙන් දෝෂයන් තුළ පවත්නා වෙනස හා අපථ්‍ය ආහාර විහරණයත් කරන කොට ගෙන ඇති වන දෝෂ විකෘතිය ද නාඩි ඥානයෙන් අවබෝධ කරගත හැකි වන්නේ ය. පූර්වයෙහි නාඩි විශේෂඥ වෛද්‍යවරයෝ නාඩි පරීක්ෂණය කරන අතර අසුවල් අසුවල් දෙය කෙසේදැයි විමසන ලද්දේ මේ ක්‍රමයෙනි. ආයුර්වේදීය සංහිතාවල දැක්වෙන විස්තරයත් දේශීය වෛද්‍ය ශාස්ත්‍රය ලිය වී තිබෙන පොත්හි සඳහන් විස්තරයන් අතර ස්වල්ප වෙනසක් ඇත ද නාඩින් හැඳින්වීමේ රීතිය එක සේ ය. යෝගරත්නාකරයෙහි සඳහන් විස්තරයෙන් ස්වල්පයක් මෙහි සඳහන් කරමු. නාඩි අල්ලන මූලික උපදේශය යොගරත්නාකරයෙහි ද නාඩි ඥාන තරංගනියෙහි විස්තරයට සමාන වේ.
පිරිමින් දකුණ අල්ලා ඇඟිලි හිරිහැ ර
ගැහැනුන් වම් අත ද ගෙන එමලෙසට ක ර
සැකවින් අගස්තානය මුත්ත කිවිය ර
පවසමි ලකුණු කායට පැමිණි තොරතු ර
මාපට ඇඟිලි මුලසදනවන කැන ට
හරිමින් දැඟුලක් අල්ලා ඉන්මෙපි ට
එක්වෙති දෙවෙනි තුන්වන වෙද ඇඟිල්ල ට
ක්‍රමයෙන් ලැසෙනුවෙයි ද නුවාපිත්සෙම ට
දවසෙහි දෝසත්රයෙහි බලවේගය හෝ කෝපය අඩු වැඩි වන විට ඒ ඒ දෝෂයට අයත් නාඩියෙහි ස්පන්දන වේගය නැගෙන අයුරු මෙසේ සඳහන් වේ.
උදයට සෙම් නාඩිය වැඩිවෙන් නේ
මැදය දවල් පිත්තාසිය වන් නේ
සවස වාත නාඩිය දැන ගන් නේ
රෑටත් මේ ලෙසමයි පවසන් නේ
දවල් මුල, මැද, අග යන තුන්යාමය සේම රාත්‍රියේ යාම තුනේ ද දෝෂයන් බව පැවැත්වෙන අයුරු නාඩි තත්වයෙහි වෙනස් වීම මෙයින් වැටහේ. සංහිතා ග්රන්ථයන්හී විස්තරය ද මෙසේ ම ය. නාඩින්ගේ ස්පන්දනය පරීක්ෂා කිරීම හුදෙක් දෙඅත පමණක් නොව නාඩි හෙවත් ශිරාවන් පැතිර පවත්නා අනෙක් ප්‍රධාන ස්ථානයන්හි ද පැවැත්විය යුතු බව ආයුර්වේදයෙහි මෙන් ම දේශීය චිකිත්සාවෙහි ද සඳහන් වන්නේ ය. දේශීය නාඩියෙහි නාඩිවලට කියන දෙමළ නම් ද යොගරත්නාකරයෙහි සඳහන් වේ.
වාතෙන් පිත්තෙන් උපනත් නා ඩී
අපේපලොල් “වන්නාඩුකු” නා ඩී
සිගාල මුර්තුව දැනගත් නා ඩී
අතේල කෙන්ඩිය දැනමුත් නා ඩී
“නේකෙල් මුල්ලති මේ කෙල නා ඩී
“වඩලක් තෙල්” කෙනෙයේයුරු නා ඩී
තුන්දා දැනගත් සත් දා නා ඩී
කාඩි මූර්තුව සුලමුත් නා ඩී
කතුලකුතු මයුරන් කෛතුරු නා ඩී
නෛකයුරු තෛරෙ පටලයි නා ඩී
නැත පටලෛපනිකාවා නා ඩී
හුස්ම වැටෙන ගමනින් එම නා ඩී
ඌරගෙ පාරේ බල්ලගෙ ගම නේ
පනා යන නාඩිය දැනගත් ගම නේ
අලියගෙ ගමනේ යන එන පම නේ
වායු පෙනෙන ඉසුමතුඋන ගම නේ
පැණිරස කෑවොත් සෙමනාඩිය වේ
පිටිමුසු කෑවොත් වා නාඩිය වේ
තිත්ත රසට පිත් නාඩිය වැඩි වේ
සත්ත ලෙසට පැවසුවා මේ වේ
එක් එක් ආහාර වර්ගවලට නොයෙක් විධියේ නම් ඇති නාඩි වැවෙන බව යොගරත්නාකරයෙහි සඳහන් වේ. විස්තරයක් වශයෙන් ඒවා හොඳ වුවත් නාඩි අල්ලා ස්පන්දනයෙන් ශිරාවන්ගේ රක්ත ධාවන වේගය අවබෝධ කර ගැනීමට පිරිමැස්මක් ඇතැයි සිතිය නොහැකි ය. දේශීය වෙදකමට අයත් යොගපිටක, යෝගාරනව, වරයෝගසාර ආදී හැම ග්‍රන්ථයක ම නාඩි ගැන ස්වල්ප විස්තරයක් සඳහන් වේ. ඒ සියල්ලෙහි ම භාරතීය ආයුර්වේදීය රීතිය හැර අනිකක් සඳහන් නොවේ. සමහර වට්ටෝරු පොත්වල දෙමළ නම්වලින් කියැවෙන නාඩි විස්තර සඳහන්ව ඇතත් ඒ දෙයින් නාඩි ඥානයට විපුල ප්‍රයෝජනයක් ලැබේ යයි කිව නොහැකි ය. ආයුර්වේදීය රෝග විනිශ්චයට අයත් අෂ්ට පරික්ෂාවෙහි මුලින් ම කියැවෙන්නේ නාඩි පරීක්ෂාවයි.
ආශ්රිත ග්රන්ථ
අෂ්ට පරීක්ෂාව
ශාර්ංගධරය
සුශ්රැතසංහිතාව
නාඩි ඥාන තරංගනි
යොගරත්නාකරය
(කර්තෘ: පී.ඇම්.පී. අභයසිංහ: 1961)
(සංස්කරණය නොකළ)