දුග්ගන්නා රාළ

සිංහල විශ්වකෝෂය වෙතින්
20:19, 12 මාර්තු 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('මහනුවර රාජ සමයේ රජුගේ පෞද්ගලික සේවකයෝ හෙවත් ර...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

මහනුවර රාජ සමයේ රජුගේ පෞද්ගලික සේවකයෝ හෙවත් රාජ පුරුෂයෝ මෙනමින් හඳුන්වනු ලැබූහ. රජුගේ දුක් දරා සිටින අය යන අරුත් දෙන දුග්ගන්නා රාළ තනතුරු එකල ඉතා උසස් සම්භාවනීය වූ බව පෙන්වා දිය හැකි ය. සිය ජීවිත පරිත්‍යාගයෙන් වුව ද රජුට සේවය කිරීමට ඇප කැප වූ දුග්ගන්නා රාළ ඉතා ම රාජ පාක්ෂික වූවකු සේ සැලකේ.

මහ සැතපෙන ගේ, අතපත්තු මඩුව හා රන් ආයුධ මඩුව යන මුරපොළවල් තුනෙන් කුමන එකක් හෝ යටතේ සේවය කළ මොවුන් උසස් වංශවත් පවුල්වලට අයත් සේ සැලකෙන අතර අප්පුහාමි (බ.) නිළමේ, රාළ බංඩා ආදී වූ ගෞරව නම්වලින් ද හැඳින්වූ බව පෙනේ. මොවුන්ගේ ප්‍රධාන කාර්යය ඒ ඒ මුරපොළට අදාළ පරිදි රජුගේ පෞද්ගලික සේවයන්හි යෙදීම සේ පෙනෙතත් ඒ කාර්යය කුමක්දැයි නියමිත වශයෙන් පැහැදිළි නොවන බව සමහරුන්ගේ මතය වේ. ලැබී ඇති සාධක අනුව දුග්ගන්නා රාළලා සතු වූ කාර්යය තම ජීවිත පූජාවෙන් හෝ රජතුමා රැකබලා ගැනීම, රජුට ගිලානෝපස්ථාන කිරීම ආදී රජුගේ ආවතේව කිරීම බව පෙනේ. රාජභෝජන සඳහා පිළියෙල කරන ලද ආහාර පානවලට වස විෂ මිශ්‍ර කර ඇත්දැයි පරීක්ෂා කර බැලීම සඳහා ඔවුහු සෑම ආහාරයකින් ම ස්වල්පය බැගින් අනුභව කළහ. දෙවැනි රාජසිංහ රජුට විරුද්ධ ව ඇති වූ 1664 කැරැල්ලේ දී අළුවිහාරේ වනිගසේකර මුදියන්සේ පවුලට අයත් එක් දුග්ගන්නා රාළ කෙනෙකු රජුගේ සයනාගාරයේ නිදා සිටින අතර රජු යයි සිතා කුමන්ත්‍රණකරුවන් විසින් මරා දමනු ලැබී ය. සිංහලේ අන්තිම රජු ඉංග්‍රීසීන්ගෙන් පලා යද්දී මැද මහනුවර ගල්ලැහැවත්තේ ආරච්චිලගේ ගෙයි නිදා සිටිය දී ඒ ගේ මුරට සිටියේ මොවුන්ගෙන් එක් අයෙකි. මේ අනුව දුග්ගන්නා රාළලාගේ රාජපාක්ෂිකභාවය කොතරම් වී දැයි සිතා ගත හැකි ය.

රජුගේ පෞද්ගලික ආවතේවයෙහි යෙදී උන් අන්‍යයන් මෙන් දුග්ගන්නා රාළලා ද රජුගේ ශ්‍රී දේහය අපවිත්‍ර වීම වැළැක්වීම සඳහා නිරතුරුව මුකවාඩම් බැඳ සිටියහ. දුග්ගන්නා රාළ පදවිය උසස් තනතුරු සඳහා හිණිමඟක් වීය. හදිසි අවස්ථාවල දී පවා තම ගම රට බලා යාමට රජුගේ අවසරය ලබා ගැනීමට ඔවුන්ට සිදු විය. උසස් පවුල්වලින් රාජපාක්ෂිකභාවය නිසා ම වැදගත් තනතුරු සඳහා ඔවුන් පත් කර ගනු ලැබූ හෙයින් ඔවුන් සතු වූ වරප්‍රසාද ද බොහෝ වීය.

එක් පවුලක කිහිපදෙනෙකු දුග්ගන්නා රාළලා වශයෙන් සේවය කරන විට ගම් තුන හතර සේවාවලින් වන බාධා ආදියෙන් නිදහස් කරන ලදි. මෙකී සංඛ්‍යාව ලන්දේසි යුද්ධයේ දී සේනා තර කිරීම පිණිස එක දක්වා අඩු කරන ලද බව ඩොයිලි විසින් සඳහන් කොට ඇත. දුග්ගන්නා රාළවරුන්ට බිසෝවරුන් පසු කොට යාමට අවසරය වී ය. ඔවුහු අමාත්‍යවරුන් මෙන් ගෞරව ලැබූ අතර උසස් තනතුරු හා ගම්බිම් ලැබීමට සුදුස්සන් වූහ. ඔවුන්ගේ ඉඩම් සියලු ම දිසාවේ (ලේකම්) හෝ රට රාජකාරිවලින් නිදහස් කරන ලදි. හැම අයෙකු විසින් ගබඩාවට ගෙවිය යුතු කත් හාල් මොවුන් විසින් ද ගෙවිය යුතු වූ නමුත් විශේෂ වරප්‍රසාදයක් වශයෙන් එයින් ද නිදහස් කරන ලදහ. එමෙන්ම අන්‍ය උඩරට ප්‍රධානීන්ගේ ආධිපත්‍යයෙන් මොවුහු නිදහස් කරන ලදහ. දිසාපතිවරුන්ට හෝ අධිකාරම්වරුන්ට ඔවුන් කෙරෙහි බලයක් නොවී ය. අධිකාරම්වරුන්ට දුක්ගැනවිලි, ඉඩම් පිළිබඳ ව කරන පැමිණිල්ලක දී විනිශ්චයක් දිය හැකි වූයේ දුග්ගන්නා රාළ තෘප්තියට පත් වන්නේ නම් හෝ තීරණය ඔහුට වාසි වන්නේ නම් පමණකි යයි ඩොයිලි දක්වා ඇත.

අධිකාරම්වරු සතු වූ ශාරීරික දඩුවම් පැනවීමේ බලයෙන් මුදනු ලැබූ නිලදරුවන් අතර දුග්ගන්නා රාළ ද වී ය. එක් එක් දුග්ගන්නා රාළ කෙනකු වෙන් වෙන් ගමක හෝ මිනිසෙකුගේ සේවය නිදහස් කරනු ලැබූයෙන් එකී මිනිසුන් විසින් ඒ වෙනුවට දුග්ගන්නා රාළගේ ඉඩම් කොටස නොමිලයේ වැඩ කිරීමට ඔහුගේ වලව්ව රැක බලා ගැනීම, අළුත්වැඩියා කිරීමාදිය හෝ හාල් සපයා මහනුවරට එවීමට බැඳී සිටියහ.

කුණ්ඩසාලේ රජු සමයෙහි රජතුමා මෙකී අයට ද වෙනත් රාජ සේවකයන්ට මෙන් වරකට මසක් හෝ කාලපරිච්ඡේදයක් හෝ බැගින් මාරුවෙන් මාරුවට මුර සඳහා පැමිණිම යෝග්‍යයයි පළ කළ නමුදු තමන් අනෙක් පන්ති හා සම කොට සැලකීම නින්දාවකැයි ද රජුට නිරතුරු සාත්තු සප්පායම් කිරීම දුග්ගන්නා රාළලාගේ යුතුකම යයි ද ඔවුන්ට ගම්වලට යාමට අවශ්‍ය හදිසියක් වුවහොත් නිවාඩු ඉල්ලිය හැකි යයි ද පවසා යට කී අනුග්‍රහය ආචාර සම්පන්නව ප්‍රතික්ෂේප කළ බව ඩොයිලි සඳහන් කරයි.

මාරුවෙන් මාරුවට රජුට මුර සේවය කළ මොවුන් ඒ ඒ මුරපොළේ කංකානම ලේකම් හා මුහන්දිරම් නිළමේ යටතේ සේවය කළ බව සඳහන් වේ. (වැඩි විස්තර සඳහා අප්පුහාමි බ.) දුග්ගන්නා උන්නාන්සේලා හා දුග්ගන්නා මහත්තින්ලා තවත් දෙකොටසක් ගැන සඳහන් කරනු වටී. මේ කාලයේ රජවරුන්ට රන් දෝලිය, රිදී දෝලිය හා යකඩ දෝලිය කියා බිසෝවරුන් තිදෙනෙකි. අගමෙහෙසිය රන් දෝලිය ද රදළ වංශික දේවිය රිදී දෝළිය ද ගොවි වංශික දේවිය යකඩ දෝලිය ද නම් වූ බව පෝල් ඊ. පීරිස්ගේ මතය වේ. මින් රිදී දෝලිය දුග්ගන්නා උන්නාන්සේ නම් වූ බවත් ඔවුන්ගේ පුත්‍රයන් සිංහාසනයට උරුම වූ බවත් නරේන්ද්‍රසිංහ එවැන්නකු බවත් සමහරුන්ගේ මතය වේ. දුග්ගන්නා උන්නාන්සේලා තෝරා ගනු ලැබූ පවුල් දුග්ගන්නා පේරුව, බණ්ඩාර පේරුව ආදී නම්වලින් හැඳින්වී ය.

දුග්ගන්නා මහත්තින්ලා යනු රන්දෝලිය හා රිදී දෝලියගේ මෙහෙකාරියන්ට ව්‍යවහාර වූ නාමයකි.

(කර්තෘ: පී.ඇම්.පී. අබයසිංහ)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දුග්ගන්නා_රාළ&oldid=5117" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි