නෙමටෝඩා වංශය

සිංහල විශ්වකෝෂය වෙතින්
09:23, 26 පෙබරවාරි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Phylum - Nematoda). මෙම වංශය පෘථිවිය තුළ ඉතා අධික ව ව්‍යාප...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Phylum - Nematoda). මෙම වංශය පෘථිවිය තුළ ඉතා අධික ව ව්‍යාප්ත ව පවතී. කරදිය, මිරිදිය හා භෞමික පරිසරවල මෙම සතුන් දැකිය හැක ය. එසේ නමුත් මෙම වංශයට අයිති සතුන්ගේ ව්‍යූහය බොහෝදුරට ඒකාකාරී ය.

මොවුන් පරිසරයේ විලෝපිත ව, මෘතෝපජීවී ව, ක්ෂුද්‍රජීවී භක්ෂක ව හෝ ශාක හෝ සතුන් මත පරපෝෂිත ව ජීවත් වෙයි. ශාක පරපෝෂිතයන් පලිබෝධකයින් ලෙස මිනිසාට වැදගත් වන අතර මිනිස් සිරුරේ පරපෝෂක වටපනුවන් නිසා මිනිසාට නොයෙකුත් රෝග ඇති වේ. Ascaris lumbricoides මඟින් වටපනු රෝගය ද Necator americannus (කොකු පනුවා) මඟින් කොකු පනු රෝගය ද Enterobius vermiculans (කිරි පනුවා) මඟින් කිරිපනු රෝගය ද Trichuris trichiura (කස පනුවා) මඟින් කාස පනු රෝගය ද Wuchereriabancrotti (බරවා පනුවා) මඟින් බරවා රෝගය ද Loa loa නම් පනුවා මගින් දෑස්වල රෝගයක් ද ඇති වේ. සෙමී.120ක් දිග Dracunculus medinensis (‘ගිනි පනුවා’ - Guinea worm) මිනිසාගේ සිරුරේ අධශ්චර්මීය පටකවල හා ශරීර කුහර තුළ ජීවත් වෙයි.

ලංකාවේ අර්තාපල් වගාවට හානි කරන රනවන් කෝෂ්ඨ වටපනුවන් (Globodera rostochiensis) හා එළවළු වගාවන්ට හානි කරන මූල ගැටිති සාදන (roots-knots) Meloidogyne විශේෂ මිනිසාට ආර්ථික ව වැදලත් වන වටපනු පලිබෝධකයන්ගෙන් කිහිපයකි.

නෙමටෝඩාවන් ත්‍රිපස්තරය ව්‍යාජසිලෝමිකයන්ය. මොවුන්ගේ ශරීරය දිගය, සිලින්ඩරාකාරය, හරස්කඩ වටකුරුය, බොහෝ දෙනෙක් මිමී.2කට වඩා කුඩාය. එම නිසා ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක ඉතා අධික සංඛ්‍යාවකින් සිටිය හැක.

ශරීරය උච්චර්මයකින් (caticle) ආවරණය වී පවතී. උච්චර්මය යටින් අධශ්චර්මය පිහිටයි. මෙම අධශ්චර්මය පෘෂ්ඨයට, උදරීය ව හා පාර්ශ්වික ව ශරීරය තුළට නෙරා අධශ්චර්මීය රැහැන් හතරක් සාදයි.

අධශ්චර්මයට යටින් අන්වායාම පේෂි ස්තරයක් පවතී. මෙම පේෂී සෛලවල ස්වභාවය නෙමටෝඩාවන්ට ආවේණිකය. පේෂී සෛලයක් කොටස් දෙකකින් යුක්ත වේ. 1. පාදස්ථ තන්තුමය සංකෝදන ප්‍රදේශය 2. විදුර සංකෝචනය නොවන ප්‍රදේශය - මෙම ප්‍රදේශය තුළ සෛල ප්ලාස්මීය ඉන්ද්‍රයිකා ඇත.

මෙම පේශී සෛලවල විදුර සංකෝචනය නොවන ප්‍රදේශය පෘෂ්ඨීය හා උදරීය අධශ්චර්මීය රැහැන්වල පවතින ස්නායු රැහැන් සමඟ සම්බන්ධ වේ.

සතාගේ චලනය ශරීර බිත්තියේ ඇති අන්වායාම පේෂිවල සංකෝචනය හා ඉහල් වීම මඟින් ඇති කරන තරංගාකාර චලන මඟින් සිදු වේ. ව්‍යාජ සීලෝමයේ ද්‍රවශ්චිති පීඩනය මේ සඳහා උපකාරී වේ.

ආහාර මාර්ගය මුඛයකින් හා ගුදයකින් යුක්ත වේ. මුඛය මුඛ කුහරය තුළට විවෘත වේ. පරිනාමයෙන් පහළ ම සිටින නෙමටෝඩාවාගේ මුඛ කුහරය සරල නලයකි. මොවුන් ක්ෂුද්‍රජීවීභක්ෂක ජීවන ක්‍රමයකට අනුවර්තනය වී ඇත. පසුව විලෝපිත ජීවිතයකට අනුවර්තනය වීමේ දී මුඛ කුහරයේ දත් ඇති වී තිබේ. ශාඛ පරපෝෂිත නෙමටෝඩාවන්ට ශාඛ පටක සිදුරු තිරීම සඳහා කීලකයක් (stylet) පවතී. ග්‍රසනිකාව ත්‍රිඅරීය කුහරයකින් යුක්තය. එහි බල්බ එකක් හෝ කිහිපයක් පවතී. මේවා ආහාර උරා ගැනීමට උපකාරී වේ. ජීර්ණය බහිස්සෛලියා ආරම්භ වී අන්තස්සෛලියව අවසන් වේ.

ස්නායු පද්ධතිය පරිග්‍රසනික ස්නායු වලයකින් හා අන්වායාම ස්නායු රැහැන් ගණනාවකින් යුක්තය. පෘෂ්ඨීය හා උදරීය ස්නායු රැහැන් පෘෂ්ඨීය හා උදරීය අධශ්චර්මීය රැහැන් තුළ පිහිටා ඇත.

සංවේදී අවයව දුර්වල ව වර්ධනය වී ඇත. වර්ග කිහිපයකි. 1. පිටිකා (papillae) - ස්පර්ශ ප්‍රතිග්‍රාහක 2. ඇම්පිඩ (amphids) - රසායන ප්‍රතිග්‍රාහක 3. දැඩිකෙඳි (setae) - යාන්ත්‍රික ප්‍රතිග්‍රාහක 4. පැස්මිඩ (phasmids) - රසායන ප්‍රතිග්‍රාහක 5. සරල ඇස් (ocelli) - සමහර කරදිය හා මිරිදිය වාසීන්ගේ ඇත.

ශ්වසන හා රුධිරවාහිනී පද්ධති නැත. බහිස්ස්‍රාවය සඳහා ප්‍රාග්වෘත්තිකා හෝ සිලුබල්බ නැත. රෙනට් (Rennek) සෛල හා එයට සම්බන්ධ නාල පද්ධතියක් මඟින් බහිස්‍රාවය සිදුවේ. පාර්ශ්වික බහිශ්‍රාවීය ප්‍රනාල පාර්ශ්වික අධශ්වර්මය රැහැන් තුළ පිහිටා ඇත.

මෙම සතුන් සාමාන්‍යයෙන් ඒකලිංගිකය. නමුත් සමහර ද්විලිංගික විශේෂ ඇත. පිරිමි සතුන්ගේ වලිග කෙලවර කොක්කක හැඩය ගැනීමෙන් හා එහි සංසර්ග ශූලිකා (copulatory spicules) පිහිටීමෙන් පිරිමි සතුන් ගැහැනු සතුන්ගෙන් වෙන් කර හඳුනාගත හැක. සමහර විශේෂ පාතිනෝද්භවනය මඟින් ප්‍රජනනය කරයි. ඒව විශේෂවල පිරිමි පිරිමි සතුන් දුබලය.

ගැහැනුහි පිරිමි ප්‍රජනේන්ද්‍රය නාලාකාරය. තනිව හෝ යුගලක් ලෙස ඇත. ගැහැනු ප්‍රජනේන්ද්‍රය යෝනිය මඟින් පිටතට විවෘත වන අතර පිරිමි ප්‍රජනේන්ද්‍රය ජම්බාලයට විවෘත වේ. (ගුදය ද ජම්බාලියට විවෘත වේ.) අභ්‍යන්තර සංසේචනය සිදුවේ.

බිත්තර තනි ලෙස හෝ ගොනු ලෙස නිපදවයි. පරපෝෂිත විශේෂ බිත්තර අධික සංඛ්‍යාවක් නිපදවන අතර බොහෝ විට මෙම බිත්තර බාහිර පරිසර තත්ත්වවලට ප්‍රතිරෝධීය. බිත්තර කවචවල ඇති විවිධ කැටයම් () විවිධ පරපෝෂිත විශේෂ හඳුනාගැනීමට උපකාරී වේ. සමහර විශේෂ ජලාභුජ ආකාරයට ප්‍රජනනය කරයි.

(කර්තෘ: පී. ද සිල්වා:)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=නෙමටෝඩා_වංශය&oldid=4751" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි