අග්‍රාමාත්‍යයා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ප්‍රධාන (අග්‍ර) ඇමතිවරයා යන අදහස ඇත්තාවු Premier Minister යන ප්‍රංස වචනයෙන් සැදුණ Prime Minister යන ඉංග්‍රිසි වචනය මුල දී එංගලන්තයේ දේශපාලන ක්ෂේත්‍ර යෙහි යොදනු ලැබුවේ සාවඥ ලෙසකිනි. පළමු වැනි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යයා වශයෙන් සැලකෙන රොබට් වොල්පෝල් පවා තමාට අගමැති යයි කම ගැන විරුද්ධ විය. සියලුම ඇමතිවරු තම තමන්ගේ ඇමති ධුර පිළිබඳව මහරජුට වගකිවයුතු වූ එක සමාන රාජ්‍ය සේවකයෝය යන අදහස පිළීගෙන තිබුණු එංගලන්තය වැනි රටක එක් ඇමතිවරයකු ප්‍රමුඛ අමාත්‍යා හෙවත් අග්‍රාමාත්‍යයා වශයෙන් සැලකීමට පුළුවන්කමක් නොවීය. අග්‍රාමාත්‍ය ධුරයක් තිබෙන බව පිළිගැනීම ව්‍යවස්ථානුකුල වැරදි බව 1806 තරම් මෑත කාලයක බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රකාශ වුණූ අදහසකි. වර්ෂ 1905 වනතුරු "අග්‍රාමාත්‍යයා" පිළිබඳව කිසිවක් බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පනත්හි සඳහන් නොවිය එසේ වුව ද අග්‍රාමාත්‍ය ධුරයක් බිහිවීමට බොහෝ කලක පටන් ම ක්‍රමයෙන් මග පැදිණි. හැනෝවර් වංශික රජුන්ගේ සමයෙහි දි පළමුවැනි හා දෙවැනි ජෝජ් රජවරු තමන් ඉංග්‍රීසි භාෂාව නොදත් හෙයින් කැබිනට් සහා රැස්වීම්වලට සහභාගි නොවුහ. එහෙයින් එකල භාණ්ඩාගාර සාමිවරයා (First Lord of the Treasury) රජුගේ ප්‍රධාන උපදේශකයා විය. මේ ඇමතිවරයා කැබිනට් මණ්ඩලය හා මහරජු අතර සම්බන්ධන පුරුක වශයෙන් අත්‍යන්තයෙන් වැදගත් විය. ක්‍රමයෙන් අග්‍රාමාත්‍යයා බවට පෙරළුණේ මොහුය. මුල දී අගමැතිවරුන්ට රජුගේ අනුග්‍රහය ලබා ගන්නට සිදු විය. විශේෂයෙන්ම 1832න් පසු ඡන්දබලය ව්‍යාප්ත වී යෑම හේතුකොට ගෙන දේශපාලන පක්ෂ වැදගත් බවට පත්වීමෙන් අග්‍රාමාත්‍යයාගේ තත්වය වඩාත් ශක්තිමත් විය.

බ්‍රිතාන්‍යය යටතේ වූ රටවල් බොහොමයක් නිදහස ලැබුවායින් පසු ආණ්ඩුක්‍රම පිහිටුවා ගත්තේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමය ඇසුරිනි. මේ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්හි බ්‍රිතාන්‍යයේ මෙන් නොව අග්‍රාමාත්‍යයා ගැන වැඩි විස්තරයක් ඇතුළත් වේ. ලංකාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 45 වැනි ඡේදයේ දෙවැනි අනුඡේදයෙහි ඇති වගන්තියක් මෙසේයි: "ඇමතිවරුන් අතුරින් කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන ඇමතිවරයා අග්‍රාමාත්‍යයා නම් වේ."

අග්‍රාමාත්‍යා පත්කරනු ලබන්නේ ආණ්ඩුවේ නාමමාත්‍ර ප්‍රධානියා විසිනි. සිද්ධාන්ත අනුකූලව අග්‍රාමාත්‍යවරයා තෝරාගැනීම රජුගේ කැමැත්ත අනුව සිදුවන්නක් ලෙස එංගලන්තයේ සලකනු ලැබේ.

එහෙත් ඇත්ත වශයෙන් රජුට සිය අභිමතය පරිදි එම කටයුත්ත කිරීමට නුපුළුවන. මහා මැතිවරණයකින් ජය ලබා ගන්නා දේශ පාලන පක්ෂයේ නායකයා අගමැතිවරයා හැටියට ඉබේ ම වාගේ පත්වෙයි. ලංකාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි ඡේදයෙහි දෙවැනි උප ඡේදය අනුව අගමැතිවරයා තෝරාගැනිමේදී ඒ සම්බන්ධ යෙන් එංගලන්තයේ මහරැජින වෙත බලපාන ව්‍යවස්ථා සම්ප්‍රදායයන් ලංකාවේ අග්‍රාණ්ඩුකාරයා විසින් අනුගමනය කළ යුතු වේ. (අග්‍රාණ්ඩුකාරයා බ.) මහජන මන්ත්‍රි මණ්ඩලයේ බහුතර ආසන පක්ෂයේ පිළිගනු ලැබු නායකයා හෝ සභාග (coalition) පක්ෂයක් මගින් එසේ පළිගනු ලැබු තැනැත්තා අගමැති වශයෙන් තෝරා ගැනිමේ බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය ඩී. ඇස් සේනානායක මහතා ද ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා ද සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ද අගමැතිධුරයට පත්කිරීමේ දී අග්‍රාණ්ඩුකාරයා විසින් අනුගමනය කරන ලදි. ඩී.ඇස්.සේනානායක ඇවෑමෙන් අගමැති ධුරයට පත් කරනු ලැබු ඩඩ්ලි සේනානායක මහතාගේ පත්වීම විවේචනයට ලක්විය. ඔහු බහුතර පක්ෂය විසින් පිළිගන්නා ලද නියම නායකයා ද යන්න පිළිබඳව සැක පහළ විය. මෙවැනි තත්වයක් පැනනැඟුණු අවස්ථාවක දී නවසීලන්තයේ ඇති වූ එක්තරා පුර්වාදර්ශයක් තිබේ. බහුතර පක්ෂයක් මගින් එක්තරා විශේෂ තැනැත්තකු නායකයා හැටියට පිළිගෙන නැති නම් ඒ සදහා එම පක්ෂයේ සභාවක් කැඳවීම එරටෙහි සිරිතයි. වර්ෂ 1958 දි දකුණු අප්‍රිකාවේ ජේ.පී.ස්ට්‍රිජ්ඩම් අගමැතිගේ ඇවෑමෙන් පසු නැෂනලිස්ට් පක්ෂයේ ප්‍රධානීන්ගේ සභා රැස්වීමක් කැඳවන ලදි. 1953 දී මෙරට අගමැති වූ සර් ජෝන් කොතලාවල මහතා බහුතර පක්ෂය මගින් නායකයා හැටියට පිළිගන්නා ලදි. අග්‍රාමාත්‍ය ධුරයට පත්කරනු ලබන්නේ බලයට පත් දේශපාලන පක්ෂයේ සාමාජිකයන්ගේ සහයෝගිතාව දිනාගත් තැනැත්තායි.

අගමැති ධුරයට පත්වූ විට අග්‍රාමාත්‍යයා විසින් කළයුතු වූ ප්‍රධාන කර්තව්‍යය නම් කැබිනට් මණ්ඩල යට ඇමතිවරුන් තෝරාගැනීමයි. කැබිනට් මණ්ඩලය සැදීමත් එය පවත්වාගෙන යාමත් එය විසුරුවා හැරීමත් යන සියල්ලක් ම කෙරෙහි අග්‍රාමාත්‍යයා ගේ වගකීම අතිවිශාලය. අග්‍රාමාත්‍යා වනාහි කැබිනට් මණ්ඩලය නමැති ආරුක්කුව ස්ථිර ලෙස රදවා සිටුවන මුදුන්ගල යයි හැරල්ඩ් ජේ. ලැස්කි නම් ආණ්ඩුක්‍රම විශේෂඥයා කියයි. කැබිනට් මණ්ඩල යට ඇමතිවරුන් තෝරාගැනීම පිළිබඳව විශේෂ විස්තරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි සඳහන් නොවෙයි. සිය දේශපාලන පක්ෂයේ බලාපොරොත්තුව අනුව නොයෙක් මන්ත්‍රිවරුන්ට ඇමතිධුර ප්‍රදානය කිරීමට ඔහුට සිදුවෙයි. එසේ නොකිරීමෙන් තම දේශපාලන පක්ෂයේ ඒකාබන්ධතාව සහයෝගය නැතිවීමට ඉඩ තිබේ. කැබිනට් මණ්ඩලයෙන් දෙකෙන් පංගුවක් මෙපරිද්දෙන් ඉබේ ම පත්වෙන බව හැරල්ඩ් ලැස්කිගේ මතයයි. තවද එක් එක් අයෙකුගේ ක්‍රියාවන්ට සැමදෙන ම සාමූහික ව වගකිවයුතු වූ ඇමතිවරුන්ගෙන් සමන්විත වන කැබිනට් මණ්ඩලය සැම අතින් ම සම්බන්ධ ඒකකයකි. එවැනි මණ්ඩලයක් ඇති කිරීමේ දී අගමැතිවරයාට හිතුමතේ ක්‍රියා කළ නොහැකි වේ. පාලන පහසුව ඇතිවනුයේ කැබිනට් මණ්ඩලය කුඩා වූ විටය. එහෙත් එසේ ම ක්‍රියා කිරීමට අග්‍රා මාත්‍යයාට නුපුළුවන. 1947 දි එකොලොස් දෙනකුගෙන් හෝ දොළොස් දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් මගින් පාලනය ගෙනයෑමට පුළුවන් කම තිබිය දීත් දහතුන්දෙනෙකුට ඇමතිධුර පිරි නැමීමට ඩී. ඇස් සේනානායක මහාතට සිදුවූයේ පක්ෂ සාමාජිකයන්ගේ අපේක්ෂා ඉටු කිරීමට සිදු වූ නිසයි. සර් අයිවර් ජෙනිංස්ගේ අදහස අනුව අගමැතිවරයාගේ පෞද්ගලික බලය විශාල නම් දේශපාලන වැදගත් සේ ගැනෙන මන්ත්‍රීන්ගේ බලාපොරොත්තු සමහරවිට ඔහුට ගණන් නොගෙන සිටීමට පුළුවන. ලංකාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 45 වැනි ඡේදයේ දෙවැනි උප කටයුතු පිළිබඳ අමාත්‍යංශය භාරව සිටිය යුතුයි. බ්‍රිතාන්‍ය ක්‍රමය අනුව සෑම ඇමතිවරයකුට ම නිලය දැරීමට පුළුවන් වන්නේ මහරැජිණ (මහරජු) ගේ කැමැත්ත ඇති තාක් පමණය. ලංකාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 49 වැනි ඡේදයේ 1 වැනි උපඡේදයේ මෙය සඳහන් කොට ඇත. අසවල් ඇමතිවරයා අස්කළ යුතු යයි අග්‍රාමාත්‍යා අග්‍රාණ්ඩුකාරයාට උපදෙස් දුන් විට ඒ උපදෙස් ප්‍රතික්ෂේප කිරීමට ඔහුට නුපුළුවන. එහෙත් එවැනි පියවරක් අග්‍රාමාත්‍යයකු ගන්නේ එය නොකර සිටීමට බැරි ම අවස්ථාවක දීය. 1848 පමණේ දි ඇති වූ නොයෙකුත් සිද්ධීන් කරණකොට ගෙන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජෝන් රසල් සාමි අකල විදේශ ලේකම්වරයා වූ පාමස්ටන් අස්කිරිමෙන් සිදු වූයේ තම ආණ්ඩුව පිරිහී යෑමයි. නිතර ම ඇමතිවරුන් අස්වීමෙන් ආණ්ඩුවක් දුර්වල වී යයි. ඇමතිවරුන් එක් අමාත්‍යාංශයක සිට තවත් එකකට මාරුකිරීම හා කැබිනට් මණ්ඩලය අභිමත පරිද්දෙන් වෙනස් කිරීම අග්‍රාමාත්‍යයා සතු තවත් බලතලයි.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යයා විශේෂයෙන් වග කිව යුතු වේ. ඔහුගේ කාර්‍ය්‍යය වනුයේ වැඩි වශයෙන් ම ප්‍රතිපත්ති සම්බන්ධයෙන් උපදෙස් ගැන්මට ඔහු වෙත එන්නාවූ ඇමැතිවරුන්ට උපදෙස් දීමයි. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර ස්වකීය වැඩ පිළිවෙලවල් ගැන ඒ ඒ ඇමතිවරු අග්‍රාමාත්‍යා සමග සාකච්ඡා කරති. අගමැති විදේශ කටයුතු සම්බන්ධයෙන් විශේෂයෙන් ම සැලකිලිමත් වෙයි. එංගලන්තයේ සෙසු ඇමතිවරුන් මෙන් නොව විදේශ ලේකම්වරයා සහ අග්‍රමාත්‍යවරයා අතර සාමාන්‍ය යෙන් පවත්නේ ඉතා කිට්ටු පෞද්ගලික සම්බන්ධතාවකි. යුද්ධ කාලයේ දී ලොයිඩ් ජෝජ් වින්ස්ටන් චර්චිල් යන අගමැතිවරු එවක විදේශ කටයුතු භාර ඇමතිවරුන්ට හෙවත් විදේශ ලේකම්වරුන්ට වඩා විදේශ කටයුතු සම්බන්ධයෙන් විශාල වගකීමක් තමන් වෙත පවරා ගත්හ. ඔවුහු විදේශ කාර්‍ය්‍යලයට සම්බන්ධයක් නොමැතිව ඇමරිකානු ජනාධිපති රූස්වෙල්ට් සමග ඉංග්‍රීසි ඇමෙරිකානු ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටත් ලියුම් ගනුදෙනු කිරීමටත් පටන් ගත්හ. මේ කාලයේ දී විදේශ කාර්යාංශය ක්‍රියා කෙළේ සුළු කටයුතු සම්බන්ධයෙනි. සාමය පවත්නා කාලයන්හි දී අග්‍රාමාත්‍යවරු විශේෂ බලතල පාවිච්චි නොකළත් වර්තමාන අග්‍රාමාත්‍ය යකුට අවශ්‍ය විටෙක තමන් වෙත පවරාගත හැකි බලතලවල ප්‍රමාණය යථෝක්ත සිද්ධීන් ගෙන් වටහා ගත හැකිය.

නියම වශයෙන් නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ නායකයා අග්‍රාමාත්‍යවරයාය. එහි දෛනික කාර්‍ය්‍ය සංවිධානය "සභානායක" යන නාමයෙන් හැඳින් වෙන වෙනත් ඇමැතිවරයකුට පිරිනමා ඇතත් නියෝජ්‍ය මණ්ඩලයෙහි ස්වකීය පක්ෂයේ ඒකාබද්ධතාව පවත්වා ගැනීමත්, විරුද්ධ පක්ෂය සමග ඝට්ටන නොවන අයුරින් සම්බන්ධය පවත්වා ගෙන යෑමත් අගමැති විසින් කළයුතු වේ. ආණ්ඩු ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුව දි පිළිතුරු දෙනේනේත් ඔහුය. තම දේශපාලන පක්ෂයේ සහයෝගය දිනාගැන්ම සාමාන්‍යෙයන් අප්‍රසිද්ධව කෙරෙන දෙයකි. එහෙත් නියෝජිත මණ්ඩලයෙහි දී ඔහු කරන සියලලක් ම විවේචනයට ලක් වේ. එපමණක් නොව පාර්ලිමේන්තු වාද විවාද කෙරෙහි මහජනයාගේ සැලකිල්ල යොමුවෙයි. එහෙයින් තවත් මැතිවරණයක දී අගමැතිවරයාගේ දේශපාලන පක්ෂයේ අනාගතය කෙරෙහි ඔහුගේ ක්‍රියා පටිපාටිය බලපානවා ඇත. කැබිනට් මණ්ඩලයේ වැඩ සටහන පිළියෙල කිරීමේ දී මුලික බලය ඇත්තේ ද ඔහුටය. දෙපාර්තමේන්තු අතර පැනනඟින ආරවුල් සමාදාන කිරීමේ දී ඔහු මුල්තැන ගනියි.

ඉහත කී බලතලවල විශාලත්වය හේතුකොට කැබිනට් මණ්ඩලයෙහි ඔහුගේ තත්වය සමවූවන් අතර ප්‍රධාන තැනට සමකළ හැකි යයි කීම වැරදිය. ඇමතිවරුන් අතර ඔහු ප්‍රබල තත්වයක් දරයි. මේ නිසා නූතන අග්‍රාමාත්‍යයාගේ තත්වය ඇමෙරිකානු ජනාධිපතිගේ තත්වයට සම යයි හැරල්ඩ් ලැස්කි, අයිවර් ජෙනිංස් යන කීර්තිමත් දේශපාලන විද්‍යාඥයන් පවසා ඇත. නූතන කාලයේ මහා මැතිවරණයක දී විස‍ඳෙන්නේ පක්ෂ නායකයන් දෙදෙනෙකුගෙන් හෝ වැඩි දෙනෙකුගෙන් කවර තැනැත්තා අගමැති විය යුතු ද යන්නයි. මින් අග්‍රාමාත්‍යයාගේ ප්‍රබලභාවය හෙළි වේ. අග්‍රාමාත්‍ය බලතල සැබැවින් විශාල වුවත් ඇමෙරිකානු ජනාධිපතිට මෙන් ඒ බලතල සියල්ල ව්‍යවස්ථානුකූලව ඔහුට ප්‍රදානය කර ද නොමැත. කැබිනට් මණ්ඩලයටත් අග්‍රමාත්‍යයාටත් අයත් බලතල සියල්ල ව්‍යවස්ථා නුගත සම්ප්‍රදායන් විනා ඒ එකක්වත් නිතිය මගින් පවරනු ලැබු බලතල නොවේ. සිය කැබිනට් සාමාජිකයින් කෙරෙහි අග්‍රාමාත්‍යයාගේ බලය ජනාධිපතිවරයා තම සහකාරයන් අතර උසුලන බලය තරම් විශාල නොවේ. අග්‍රමාත්‍යයාගේ බලය පවත්නේ බහුතර පක්ෂයේ සහයෝගය ඇතිතාක් පමණය. ඇමෙරිකානු ජනාධිපතිවරයාට මෙන් නොව ඔහුට ඇත්තේ පෞද්ගලික බලතල රාශියකි. (අමාත්‍යයා බ.)

අගමැතිනිය යන ශිර්ෂය යටතේ කිවයුත්තේ ද ඉහත සඳහන් කරුණුමය.

ලෝක ඉතිහාසයෙහි ප්‍රථමවරට කාන්තාවක අග්‍රාමාත්‍යධුරයට පත්වීමේ ගෞරවය ලංකාවට හිමිවේ. 1960 ජුලි මස 22 වන දින මෙරට අගමැති පදවිය ලත් සිරිමාවෝ බණ්ඩාරනායක (බ.) මැතිනිය එම ගෞරවය ලබාදීමෙන් ඉතිහාසගත වූවාය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අග්‍රාමාත්‍යයා&oldid=2512" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි