අබු බකර්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(573- 634) මහම්මත්තුමාගේ ඇවෑමෙන් එතුමාගේ තැන ගත් පළමුවන කාලිප් (බ.) වරයා අබු බකර්තුමා විය. ඔහු මහම්මත්තුමාගේ අයේෂා නම් වූ බිරිඳගේ පියා ද විය.

කුරායිෂ් නම් ගෝත්‍රයට අයත් ධනවත් වෙළෙන්දෙකු වූ අබු බකර් ඉස්ලාම් ධර්මය පිළිගත් සිව්වැන්නාය. ඔහුගේ බලපෑම නිසා මක්කමෙහි අලුත් ආගම් වැළඳගත් වෙනත් නායකයෝ පස් දෙනෙක් ද වූහ. මොහු සදෙන මහමත්තුමාගේ ප්‍රධාන ශ්‍රාවකයෝය. අබු බකර් තුමා උපයාගෙන තිබුණ විශාල ධනයෙන් ඉතා වැඩි කොටසක් යෙදූයේ කුරායිෂ් ගෝත්‍රිකයන් අතින් ඉමහත් පීඩනයට පත්ව සිටි ඉස්ලාම් ධර්මය පිළිගත් වහලුන් නිදහස් කර ගැනීම පිණිසය.

ක්‍රි.ව.622 දී මහමත්තුමා මක්කමෙන් මැඩිනාවට පලාගිය අවස්ථාවේ දී එතුමා සමඟ ගිය එක ම අනුචරයා අබු බකර්ය. අනතුරුව ගත වූ දුෂ්කර වූ ද ඉතා වැදගත් වූ දශවර්ෂය තුළ ම එතුමා අත්නොහැර විසූ අබු බකර් මහම්මත්තුමාත් එතුමාගේ ධර්මයත් කෙරෙහි දැක් වූ අචල භක්තිය හා ඉමහත් විශ්වාසය නිසා "සීදික්" හෙවත් භක්තිමතා යන විරුදනාමය ලද්දේය. මහම්මත්තුමා මිය යන්නට පෙර සිය වසඟයට පත්ව තිබුණු ලෞකික අධිරාජ්‍යයත් එසේ ම තමාගේ ආගමික රාජ්‍යයත් පාලනය කිරීමට ඔහු විසින් පත්කරන ලද්දෙක් නොවීය. එහෙත් තමාගේ මූලිකත්වයෙන් මැඩිනාහි පැවතුණු යාච්ඤා තම ඇවෑමෙන් අබු බකර්තුමාගේ නායකත්වයෙන් පැවැත්විය යුතු යයි මහමත්තුමා නියම කොට තිබුණි. මහමත්තුමාගේ බෑනා වූ අලි (බ.) ද කාලිප් පදවිය පැතූ නමුත් ඉහත කී කරුණ නිසා බලවත් අයගේ වැඩි කැමැත්ත ලැබීමෙන් අබු බකර් ක්‍රි.ව.632 දී කාලිප් බවට පත්විය.

අබු බකර්තුමා කාලිප් පදවියට පත් විගස ම අරාබියේ ඇති වූ කැරලි මැඩපවත්වා මුළු රට ම එක්සත් කිරීම පිණිස යුධ වැදීමට ඔහුට සිදුවිය. මේ හැම සටනකින් ම ද විදේශ ආක්‍රමණ සියල්ලකින් ම වාගේ ද බකර්තුමාට ජය ලැබුණේ එතුමාගේ රණශූර සෙනෙවි කාලිද් අල් වාලිද් හා අමීර් ඉබ්න් අල් ආස් ආදීන්ගේ යුද්ධ දක්ෂතාවය නිසාය. පර්සියාව ඉරාකය මිසරය පලස්තීනය සිරියාව ආදී රටවල අබු බකර්ගේ රාජ්‍ය පැතිරී ගියේය. ග්‍රීක හා බයිසන්ටයින් රාජ්‍ය සේනා පවා අබු බකර්තුමාගේ සේනාවන්ට පැරදුණහ. තම නියම අනාගත වක්තෘ යයි කියා ගත් මු’සයිලිමා නම් ව්‍යාජවක්තෘ පරදවා අබු බකර් මහම්මත්තුමාගේ දිව්‍ය වාක්‍ය ලියවා තැබීය.

ඉස්ලාම් ධර්මය සුවිශාල අධිරාජ්‍යක් ගොඩ නගමින් පැතිරෙද්දී 634 දී අබු බකර්තුමා මිය ගියේය. එතුමා විසින් තමාගෙන් පසු කාලිප් පදවියට සුදුස්සා හැටියට නම් කර තිබුණේ යයි සලකනු ලබන උමර් ඊළඟ කාලිප්වරයා බවට පත්විය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අබු_බකර්&oldid=2067" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි