අභිධානග්‍රන්ථ (කෝෂකාව්‍ය)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

භාෂාවක අවයව වශයෙන් සැලැකෙන ව්‍යාකරණ නිරුක්ති ඡ‍‍න්දෝ ලංකාරාදි වූ ශාස්ත්‍ර විශේෂයන් අතුරෙන් අභිධාන ග්‍රන්ථ යයි කියනු ලබන නිඝණ්ටු ශාස්ත්‍රය ද එකකි. පාලි සාහිත්‍යයෙහි ද නොයෙක් තැන උසස් පඬිවරයන් හැඳින්වීමෙහි ලා "ඝනිඝණ්ඩු කෙටුභානං සාක්ඛරප්පභෙදානං" යනාදීන් නිඝණ්ඩුඥානය ද පසස්නා ලද්දේය. මහාබෝධි වංස ගැටපදයෙහි "නිඝණ්ඩු නම් නාමනිඝණ්ඩු යැ, හෙද ත්‍රිකාණ්ඩ, උත්පලිනී අමරමාලා සෙයින් වෘක්ෂාදීන්ගේ පර්‍ය්‍යාය වචන ප්‍රකාශක ශාස්ත්‍රයයි" යනු දක්වන ලදි. තවද එය සූසැට කලාවන් අතුරෙහි නිඝණ්ඩුඥාන යී එක් කලාවක් වශයෙන් ද සලකනු ලැබේ. නාම ලිංගානුශාසන, අභිධානකෝෂ යන නාමයන්ගෙන් පැවැසෙනුයේ ද මේ ශාස්ත්‍රයයි. අභිධාන ග්‍රන්ථයක් ශාස්ත්‍රීය වීම සඳහා අනුගමනය කළ පඬිවරයන් විසින් සම්මත වූ රචනා ක්‍රමයක් ද ඇත. එක් අර්ථයක් දැක්වීම සඳහා භාෂාවේ යෙදෙන තාක් ශබ්දයන් සංග්‍රහය කිරීම එහි ප්‍රධාන ලක්ෂණයයි. එය ඒකාර්ථ සංග්‍රහ නමුදු වෙයි. "නාමප්පකාසංක සත්ථං රුක්ඛාදීනං නිඝණ්ඩු සො." (අභිධානප්පදීපිකා) යනුවෙන් දක්වන ලද්දේත් මේ ලක්ෂණයයි. එක ශබ්දයක යෙදෙනතාක් අර්ථ දැක්වීම එහි දෙවැනි ලක්ෂණයයි. මේ අනේකාර්ථ සංග්‍රහ නමුදු වෙයි. එක් එක් ශබ්දයක ඒකෛකලිංගාදි ලිංගභේදය ද දැක්වුව මනාය. මේ අභිධාන ග්‍රන්ථයක තුන්වැනි ලක්ෂණයයි. සුවසේ ග්‍රහණධාරණය සඳහා සංක්ෂිප්ත වීම ද, වර්ගාදි වශයෙන් විභාගය ද, අභිධාන ග්‍රන්ථයෙක තිබිය යුතු තවත් ලක්ෂණයෙකි. ආලංකාරිකයෝ මේ නිඝණ්ටුශාස්ත්‍රීය ග්‍රන්ථ කෝෂ කාව්‍ය ගණයෙහි ලා දැක්වූහ.

මෙසේ අංග සම්පූර්ණ වූ නිඝණ්ටු ශාස්ත්‍රයක් ඇති වීම ද භාෂාවක් විමසීමෙහි ලා ප්‍රමාණ වෙයි. එසේ ම නිඝණ්ඩුශාස්ත්‍රඥානය භාෂාවිෂයෙහි විශාරද බවට අතිශයින් ම උපකාර වන්නේය. අභිධානඥානය නැතියේ සාහිත්‍ය රචනායෙහි පසු බස්නේය. එහෙත් භාෂා උන්නතිය අපේක්ෂා කළ පඬිවරු ඉතා පෙර සිට අභිධාන ග්‍රන්ථ ද රචනා කළහ. සංස්කෘතයෙහි ත්‍රිකාණ්ඩශේෂ, උත්පලනී ආදී කෝෂග්‍රන්ථ ඉතා පුරාතනය. ඒ පැරණි ග්‍රන්ථයන් ඇසුරු කොට අමරසිංහාචාර්‍ය්‍යයන් විසින් රචනා කළ අමරකෝෂ (බ.) නම් වූ නාමලිංගානුශාසනය අතිප්‍රශස්ත වූ අභිධාන ග්‍රන්ථයයි. මේ හැර අභිධාන චින්තාමණී, උණාදි කෝෂ, මේදිනී, රාජනිඝණ්ටු, වෛද්‍යකරත්න මාලා, ශබ්දචන්ද්‍රිකා, ශබ්දරත්නාවලී, ශබ්දමාලා, සරස්වතී, දෛවඥමුඛමණ්ඩන, විශ්ව, අජ ආදි විවිධ වූ නිඝණ්ටු ශාස්ත්‍රීය ග්‍රන්ථ විය. මේ අභිධාන ග්‍රන්ථයන් අතුරෙහි ලක්දිව ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත වූ ග්‍රන්ථ තුනෙකි. එයින් අමරකෝෂය සංස්කෘතභාෂාධ්‍යයනය සඳහා යෙදුණු අතර වෛද්‍යශාස්ත්‍රය හදාරනුවන් විසින් සරස්වතී නිඝණ්ඩුව ද, නක්ෂත්‍රය හදාරනුවන් විසින් දෛවඥ මුඛමණ්ඩනය ද වි‍ශේෂයෙන් හදාරන ලද්දේය.

ප්‍රාකෘත භාෂාවෙන් රචනා කරන ලද දේශී නාමමාලා, පාඉයලච්චිනාමමාලා ආදි පැරණි අභිධාන ග්‍රන්ථ ද කීපයෙකි. ලක්දිව ඒ ග්‍රන්ථ ව්‍යාප්ත වූ බවක් දක්නට නැත.

බොහෝ කලක් ම පාලිභාෂාඥානය සඳහා අභිධාන ග්‍රන්ථයක් නොවූයෙන් පොළොන්නරු පුර මහපැරකුම්බා මහ රජුන් සමයෙහි එහි ‍ජේතපුර වන විහාරයෙහි වැඩසිටි මොග්ගල්ලාන මහ තෙරණුවන් විසින් අමරකෝෂය ඇසුරු කරමින් අභිධානප්පදීපිකා (බ.) නම් පාලි නිඝණ්ඩුව රචනා කරන ලද්දේය. මෙය වූ කලී පාලි භාෂාවෙන් විරචිත අද්විතීය අභිධාන ග්‍රන්ථයයි. මෙසේ ලක්දිව සිංහල ආධුනිකයන්ගේ පාලි සංස්කෘත භාෂාඥානය සඳහා අභිධාන ග්‍රන්ථ ඇති වූ නමුදු එතෙක් හුදු සිංහලයට අභිධානය ග්‍රන්ථයක් නොවීය. මේ පාඩුව පිරිමසාලනු පිණිස යම්කිසි ආචාර්‍ය්‍යවරයකු විසින් පියුම්මල (බ.) නම් වූ නාමමාලාව රචනා කරන ලද්දේය. ගද්‍යස්වරූප ශබ්දමාලාවක් වූ එය කවර කලෙක කරන ලද දැයි නිශ්චය කළ නොහැක. ජයවර්ධනපුර රාජ්‍යසමයෙහි විසූ නන්නූරුතුන් මිණිසන්හස් නම් අමාත්‍යවරයා විසින් නාමාවලී (පුරාණ) (බ.) නම් වූ, පද්‍ය දෙසිය අසූහයකින් යුත් අභිධාන ග්‍රන්ථය ලියන ලද්දේය. ඒ ග්‍රන්ථයෙහි ඌනතා දුටු ශ්‍රී පරාක්‍රමබාහු නරෙන්ද්‍රයා විසින් අමරකෝෂය හා අභිධානප්පදීපිකාව ද ආදර්ශ කොටගෙන යථෝක්ත පියුම්මලෙහි ආ සියලු අභිධානයන් ගීයෙන් සංග්‍රහ කෙරෙමින් පද්‍ය සත්සිය අටසැටකින් (768) සමලකෘත වූ රුවන් මල් නම් වූ අභිධාන ග්‍රන්ථය රචනා කරන ලද‍්දේය. ‍මේ ග්‍රන්ථරචනාව හේතු කොටගෙන සිංහල භාෂාවෙහි එතෙක් අපරිපූර්ණව තුබූ අංගයෙක් අනූනව සපුරා ගියේය. ඒ සමීපකාලයක දි මැ සිප්පුකුලමේ දීපංකර නම් තෙර කෙනකුන් විසින් වනවාස නිඝණ්ඩුව ද, විල්ගම්මුළ නම් තෙර කෙනකුන් විසින් සිරිමල් නිඝණ්ඩුව ද රචනා කරන ලද්දේය. මේ දෙක ම කවියෙන් තැනූ සිංහල වෛද්‍යකකෝෂ ග්‍රන්ථයෝය. ඉනුදු භාෂායෙහි ඌනතාවක් වැසී ගිය බව පිළිගත යුතුය. ඊට පසුව මාතර කවියුගයෙහි විසූ මාතර සරණපාල තෙරණුවන් විසින් හෙළදිව් අබිදානවත නම් ග්‍රන්ථයෙක් ද, තල්ගහගොඩ යතිරතන නම් යතිවරයන් විසින් නවනාමාවලී (බ.) නම් අභිධාන ග්‍රන්ථයක් ද, රචනා කරන ලද්දේය. මේ නව නාමාවලිය රචනා කිරීමෙන් පසු නන්නූරුතුන් මැතිඳුන්ගේ නිඝණ්ටුශාස්ත්‍රය පුරාණ නාමාවලී (බ.) යයි හැඳිනෙන්නට විය. 1895 දී කෝට්ටේ සිරි පැරකුම්බා පිරුවන් හිමි හිඟුල්වල මංගල ධර්‍මකීර්ති ශ්‍රී ජිනරතන තෙරණුවන් විසින් කවි 656කින් යුත් අබිදන් මල්දම් නම් අබිධාන ග්‍රන්ථයක් කරන ලදි. කෝෂ කාව්‍යයන්ගේ පහළවීමෙන් පසුව අකාරාදී පිළිවෙළින් ශබ්දකෝෂ නිපදවන්නට විය.

(සංස්කරණය:1963)