අයඩීන්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Iodine). සංකේතය I; පරමාණුක ක්‍රමාංකය 53; පරමාණුක භාරය 126.92. ලෝහයක වැනි ප්‍රභාවක් ඇති, දම්පාටට හුරු කළුපාට පතුරු වශයෙන් ලැබෙන බර ආලෝහ මූල ද්‍රව්‍යයකි. බ'නාඩ් කූටුවා (Courtois) නමැති ප්‍රංස ජාතිකයකු විසින් 1812 දී මුහුදු පැළෑටිවල අළුවලින් ලබා ගන්නා ලද මෙය fප්ලුවොරීන්, ක්ලෝරීන් සහ බ්‍රෝමීන් මෙන් හැලජන් පවුලට අයත් වූවකි. අයඩීන් ඉතා ස්වල්ප වශයෙන් ඇති ඛනිජ වර්ග ලෝකයෙහි බොහෝ පෙදෙස්වල මඳ වශයෙන් දක්නට ලැබේ. මූදු දියෙහි ද, මූදු පැළෑටිවල ද, සමහර උල්පත් දියෙහි ද අයඩින් ඇත්තේය. අද ප්‍රයෝජනයට ගැනෙන අයඩීන්වලින් වැඩි ම ප්‍රමාණය ලැබෙන්නේ දකුණු ඇමෙරිකාවෙහි ඉතා විශාල වශයෙන් ඇති, චිලී සෝල්ට් පීටර් නමින් දන්නා සෝඩියම් නයිට්රේට්වලින් හා ස්ට්‍රස්fපඩ්හි ලවණ නිධි සමඟ ඇති අයඩේට්වලින්ය. මේ ඛනිජ ලවණය සාන්ද්‍ර වශයෙන් ඇති මව් ද්‍රව්‍යයට සෝඩියම් බයිසල්පේට් එකතු කොට එම ද්‍රවයේ අයඩේටයෙන් එය අවක්ෂේපණය කොට වියළා ඌර්ධ්වපාතනයෙන් (sublimation) පිරිසිදු කරගනු ලැබේ.

අයඩීන් රත් කළ විට ද්‍රව අවස්ථාවට නොපැමිණ කෙළින් ම වාෂ්ප අවස්ථාවට ම යයි. මේ වාෂ්පය තද දම් පාටින් යුතුය. බොහෝ දුරට රත් කිරීමේ දී අයඩීන් වාෂ්පය ඉන්ඩිගෝ පාට වෙයි. එහෙත් වායුගෝල පීඩනයේ දී එහි ද්‍රවාංකය සෙ.114.20 ද තාපාංකය සෙ.184.350 ද වෙයි.

ජලයෙහි යම්තමින් ද්‍රවණය වන අයඩීන්, මද්‍යසාරයෙහි ද ඊතර්වල ද පහසුවෙන් ද්‍රවණ්‍ය වන්නේය; පොටෑසියම් අයඩයිට් ද්‍රාවණයක ද ද්‍රළුනය වෙයි. මේ ද්‍රාවණ දුඹුරු පාටය. එහෙත් ක්ලොරොfපෝම්හි හෝ කාබන් ඩයිසල්fපයිඩ්හි හෝ ද්‍රාවණය කිරීමෙන් ලැබෙන්නේ දම්පාට ද්‍රාවණයකි.

රසායනික වශයෙන් අයඩීන් ඉතා සක්‍රියයි. එය රසදිය සමඟ රත් කළ විට විශාල උෂ්ණත්වයක් පිට කරමින් සංයෝජනය වන්නේය. අයඩීන් වාෂ්පයෙහි තබන ලද ඇන්ටිමනි කුඩු වහා ගිනි ගනී. එහි ලූ පොස්පරස් ද ද්‍රව වී ගිනි ගන්නේය. ජලය තිබෙන විට අයඩීන් බොහෝවිට ඔක්සිකාරකයක් වේ.

කැපීම්, සීරීම් ආදියෙහි ආලේප කිරීම සඳහා අයඩීන් නමින් ගනු ලබන්නේ මධ්‍යසාරයෙහි ද්‍රවණය කළ අයඩීන්ය. මේ ද්‍රාවණය ප්‍රථමාධාරයේ දී ඉතා අගනා විෂබීජ නාශකයකි. සැත්කමකට පෙර සමෙහි විෂබීජ නැසීම පිණිස එය භාවිත කරනු ලැබේ. දිලීර රෝග, උපදංශවල සමහර අවස්ථා, ශ්වාසාබාධ සහ හන්දිවාත ආදිය සඳහා අකාබනික අයඩයිඩ් වර්ග භාවිත කෙරේ. තවත් රෝග රැසකට පිළියමක් වශයෙන් අයඩීන් භාවිත කරනු ලබයි. හැම ජීවියකුගේ ම පාහේ වැඩීමටත් ප්‍රාණය රඳා පවත්වා ගැනීමටත් ඉතා අවශ්‍ය දෙයකි අයඩීන්. තයිරොයිඩ් ග්‍රන්ථිය විශාල වීමෙන් හෙවත් ගලගණ්ඩය නමැති රෝගයෙන් වැළකීමට උපකාර වන්නේ අයඩීන්ය. එසේ ම මවගේ ගැබ තුළ සිටින විට හෝ කිරිබොන සමයෙහි දී හෝ දරුවාට අයඩීන් නැති වුවහොත් ඔහු දුර්වල වේ. ඇතැම් විට කුස තුළ දී ම මිය යෑමට හෝ ශරීරයේ රෝම නැතිකම ද ගලගණ්ඩය ද ඇති වීමට හෝ ඉඩ තිබේ. තයිරොයිඩ් ග්‍රන්ථියමගින් නිපැදවෙන තයිරොක්සින් වූකලී අයඩීන් අන්තර්ගත හෝමෝනයකි. එය වර්ධනයටත් පෝෂණය නිසි ආකාර පාලනය කිරීමටත් අවශ්‍යමය. (අන්තඃසර්ග පද්ධතිය බ.)

මිනිසාට අයඩීන් ලැබෙනුයේ ‍ඔහු බොන දිය, කන ලුණු සහ අනෙක් කෑම වර්ග ආදියෙනි. මේවායෙහි ඇති අයඩීන් ප්‍රමාණය අඩු නම් අමතර ව එය එක් කිරීමට ද සිදු වේ. ස්විට්සර්ලන්තයෙහි බොන දියට අයඩීන් එක් කරනු ලැබේ. එය ලුණුවලට එක් කරන විට ලුණු කොටස් 20,000 ට පොටෑසියම් අයඩයිඩ් එක් කොටසක් යෙදීම යෝග්‍ය යැයි කියති. ඇති කරන සතුන්ගේ ආහාරයෙහි ද අයඩීන් තිබිය යුතුය. සතුන්ගේ රෝග නාශනය පිණිස ද නොයෙක් විට පශු වෛද්‍යවරයෝ අයඩීන් යොදති.

අයඩීන්වල ඇත්තාවූ බලවත් ක්‍රියාකාරීත්වයත් උත්ප්‍රේරක ගතිත් නිසා එය කාබනික රසායනන සංශ්ලේෂණයේ (synthesis) දී ක්ලෝරිනිකරණය (chlorination) ඇල්කිල්කරණය (alkylation) සහ සල්පොනීකරණය (suphonation) ආදිය සඳහා ඉතා ප්‍රයෝජනවත්ය. ඩයි කර්මාන්තයේ දී අතුරු සංයෝගවලට (intermediate compounds) අයඩීන් භාවිත කරනු ලැබේ. ඩයිවල සංඝටක (constituents) ලෙස ද මෙය භාවිත කරනු ලැබේ. ඡායාරූප ගැනීමේ පටල සෑදීමේ දී ද අයඩීන් එක්තරා ප්‍රමාණයක් සිල්වර් අයඩයිඩ් ලෙස ගැනේ. අයඩීන්වලින් ඇති තවත් ප්‍රයෝජන රාශියකි. සුළු වශයෙන් අයඩීන් ප්‍රයෝජනයට ගන්නා වූ කර්මාන්ත ද රැසකි.

සංයෝග: කාබනික වූත් අකාබනික වූත් වැදගත් අයඩීන් සංයෝග රැසක් ම ඇත. මේවා අතුරෙන් ඉතා ම වැදගත් යයි කිව යුත්තේ පොටෑසියම් අයඩයිඩ් නම් ලවණයයි. පාටක් නැති, විනිවිද නොපෙනෙන, ස්ඵටිකරූපී වූ මෙය දියෙහි ද මද්‍යසාරයෙහි ද ද්‍රාව්‍යය. එහි අයඩීන් 76.45%ක් ඇත. යටකී තයිරොක්සින් අයඩීන්වල වැදගත් කාබනික සංයෝගයකි.

පිෂ්ටය අයඩීන් යෙදීමෙන් තද නිල් පාටක් දක්වන අධිශෝෂණ (adsorption) සංකීර්ණයක් (complex) ඇති වේ. මෙය අයඩීන් හැඳිනගැනීමේ හොඳ ම ක්‍රමයයි. අයඩීන් ඇති ද්‍රාවණයකට කැඳ ස්වල්පයක් හෝ පිෂ්ට ද්‍රාවණයකින් ස්වල්පයක් හෝ දැමූ විට ඇතිවන නිල්පාට නිසා දිය කොටස් 1,00,00,000ක ඇති අයඩීන් එක් කොටසක් පවා හඳුනා ගත හැකිය.

අයඩින් අගය (Iodine Value). මේ වූකලී සම්මත තත්ව යටතේ තෛලයක හෝ මේදයක හෝ ග්රෑම් 100කට අවශෝෂණය කරගත හැකි අයඩින් ක්ලෝරයිඩ් ප්‍රමාණයේ වූ අයඩීන් ප්‍රමාණය ග්රෑම් ගණනින් දක්වන සංඛ්‍යාවයි.

තෛලයක හෝ මේදයක හෝ නිදහස්ව එසේ නැතහොත් ග්ලිසරෝල් හා සංයෝග වී පිහිටි අසන්තෘප්ත ‍අම්ල ප්‍රමාණය ගැන හැඟීමක් එයින් ලැබේ.

සංයෝගයක කාබන් පරමාණු යුවළක් අතර වූ සංයුජතා බන්ධන දෙකක් හෝ තුනක් හෝ වේනම් එවැනි බන්ධන වික්‍රියතාව සහිත ඒවාය. වික්‍රියතාව සහිත බන්ධන ඇති සංයෝග අසන්තෘප්ත ඒවාය. අයඩින් වැනි ද්‍රව්‍ය හා ගැටෙන විට මෙම වික්‍රියතාව නැති කොට වැඩිපුර බන්ධන හා සමඟ අයඩීන් පරමාණු සංයෝග වෙයි. අයඩින් අගය මැනීමේ ක්‍රමයේ පදනම මෙයයි.

වියළීමේ ගුණය වැඩි වෙත් ම අයඩීන් අගය ද වැඩිය. ඉක්මනින් වියළෙන ලයිනෝරු තෙල්වල අයඩින් අගය 170 සිට 204 දක්වායි. තරමක් වියළෙන හණ ඇට තෙල්වල අගය 1අ41 සිට 148 දක්වායි. වියළීමේ ගුණය අතිශයින් අඩු වූ රටකජු තෙල්වල අයඩීන් අගය 85කි.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අයඩීන්&oldid=2293" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි