අයිවරි කෝස්ට්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ප්‍රංස බටහිර අප්‍රිකාවට අයත් ප්‍රදේශයක් හැටියට පාලනය වූ මෙය 1958 දී ප්‍රංස රජ්‍යමණ්ඩලය තුළ ස්වායත්ත සමූහාණ්ඩුවක් බවට පත්විය. පුරාණයේ දියුණුව පැවැති ඇත්දත් වෙළඳාම නිසා ම අයිවරි කෝස්ට් (ඇත්දත් වෙරළ) නමින් ප්‍රකට වූ මේ ප්‍රදේශය නැගෙනහිරින් පිහිටි ඝානා සමූහාණ්ඩු රාජ්‍යයත් බටහිරින් පිහිටි ලයිබීරියාවත් අතර පිහිටා තිබේ. එයට උතුරින් ප්‍රංස සුඩාන් සහ අපර්වෝල්ටා (බ.) යන පළාත් වේ. දකුණින් ගිනී බොක්කයි. මෙහි ප්‍රමාණය ව.සැ.1,24,503කි. ප්‍රංස සහ අන්‍ය ජනගහනය (1955 දී) 24,85,086කි.

අයිවරි කෝස්ට්හි මුහුදු තීරය සැතපුම් 315ක් පමණ දිගය. වෙරළේ නැගෙනහිර භාගය මඩ වගුරුවලින් ද ලේහෝ, එබ්රී, ඇසීනී ආදි කලපුවලින් ද ගහනය. මුහුදේ වැලිපර නිසා වෙරළට ළඟාවීම දුෂ්කරය. මෙහි වෙරළාසන්න තැනිතලාව සැතපුම් 40ක් පමණ පුළුල්ය. එහි සිට භූමිය මුහුදු මට්ටමේ සිට අඩි 2,000 දක්වා ක්‍රමයෙන් නැගෙයි. නැගෙනහිර පිහිටි කෝං ප්‍රදේශය අඩි 3,000කට අඩු සානුවකි. බටහිරින් පිහිටි නිම්බා කඳු අඩි 5,200කටත් වඩා උසය. කැලි, සැසන්ඩා, බාන්දාමා, කොමොයේ යන ගංගා දකුණු වෙරළ බලා ගලා යයි.

මෙරටෙහි පවත්නේ සෞඛ්‍යයට අහිතකර වූ, සාමාන්‍යයෙන් උෂ්ණ වූ දේශගුණයකි. වෙරළබඩ ප්‍රදේශවල සහ වනතීරවල අධික වර්ෂාපතනයක් වෙයි. සෞම්‍ය දේශගුණයක් පවතින සානු ප්‍රදේශයේ වර්ෂාපතනය බෙහෙවින් අඩුය.

අයිවරි කෝස්ට් ප්‍රදේශයේ ප්‍රධාන නගරය අබිජාන් (බ.) ය. එහි ජනගහනය 1951 දී 81000ක් විය. බුවාකෙ (Bouake) සහ කෝර්හොගෝ මෙහි අනික් සැලකිය යුතු නගරය. මෙරට වාසීහු නීග්‍රෝ ජාතිකයෝයි. මුහුදුබඩ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් ක්රූ හා අග්නි යන ගෝත්‍රිකයෝ වාසය කරති. උතුරු ප්‍රදේශය මෝසි, මන්ඩේ, ෆූලා යන ගෝත්‍රිකයන්ගේ වාසභූමියයි. අයිවරි කෝස්ට්හි ජනගහනයෙන් අඩක් පමණ ම මේ ගෝත්‍රිකයන්ගෙන් සමන්විතය. මධ්‍ය ප්‍රදේශයේ වාසය කරන්නෝ බෝලේ ගෝත්‍රිකයෝය. දියෝඋලා (Dioula), සෙනුෆෝ (Senufo) යන ගෝත්‍රවල ජනයා ඉස්ලාමිකයෝය. අයිවරි කෝස්ට් (1955) ජනගහනයෙන් 14000ක් පමණ යුරෝපීයයෝය.

අබිජාන්හි සිට අපර්වෝල්ටා පළාතේ බෝබෝ ඩියුලසෝ දක්වා වැටී ඇති හැතැප්ම 495ක් පමණ දිගැති දුම්රිය මාර්ගය මෙහි ප්‍රධාන දුම්රිය මඟයි. රථවාහන ගමනාගමනය කළ හැකි මංමාවත් බොහෝය. ප්‍රධාන අහස් තොටුපළවල් දෙකක් ද ඇත්තේය. මෙහි ප්‍රධාන නැව්තොටවල් නම් අබිජාන්, සැසන්ඩා සහ ටබූය.

කොකෝවා, වී, කෝපි, කපු, රටකජු, මඤ්ඤොක්කා, අන්නාසි, ගම්මිරිස් සහ මෙනේරි ද මෑ ආදි ඇට වර්ග ද මෙහි ප්‍රධාන ගොවි ද්‍රව්‍යය. කොකෝවා, කෝපි, මෑ ඇට යන තුන් වර්ගය ප්‍රධාන වශයෙන් පිටරට යවනු ලැබේ. තවද සානුවල වැවෙන මැහොගනි ආදි අගනා ලී වර්ග, පාම් තෙල්, රබර්, කපු සහ කෙසෙල් ද, උතුරු කඳුකරෙහි ඇති කරන ගව ආදි සත්තු ද පිටරට යවනු ලැබෙති. රෙදි විවීමත් කුඹල් කර්මාන්තයත් ලෝහ උණු කිරීමත් මෙහි වැසියන්ගේ ප්‍රධාන කර්මාන්තය.

ආණ්ඩුව: ප්‍රංස බටහිර අප්‍රිකා සංයුක්ත රාජ්‍යයේ සහ ප්‍රංස රාජ්‍ය මණ්ඩලයේ සාමාජික ප්‍රදේශයක් වූ අයිවරි කෝස්ට් රාජ්‍යය ආණ්ඩුකාරයකු විසින් පාලනය කෙරේ. මෙහි මන්ත්‍රීමණ්ඩලය තෝරාපත් කරගනු ලැබූ මන්ත්‍රීන් 50 කින් යුක්තය. ප්‍රංස බටහිර අප්‍රිකාවේ මහා මන්ත්‍රණසභාවෙහි, මෙම රාජ්‍යයේ නියෝජිතයන් වන මන්ත්‍රීහු සිටිත්. ප්‍රංස පාර්ලිමේන්තුවේ ද, ප්‍රංස රාජ්‍ය සංගමයේ මන්ත්‍රීමණ්ඩලයේ ද අයිවරි කෝස්ට් වෙනුවෙන් නියෝජ්‍ය මන්ත්‍රීහු පෙනී සිටිති.

පාලන පහසුව පිණිස මණ්ඩල 17කට බෙදා පාලන නිලධාරීන් පත්කොට තිබේ.

ඉතිහාසය: 16 වැනි සියවසේ දී පෘතුගීසීන් විසින් ඇත්දත් සහ වහලුන් රැස් කරගැනීම සඳහා මෙහි වෙළඳ ජනාවාසයක් පිහිටුවන ලදි. ඉක්බිති මුහුදුබඩ පෙදෙස් අල්ලා ගත් ප්‍රංස ජාතිකයෝ ප්‍රංසයට යටත් දේශයක් හැටියට මෙය පාලනය කළහ. 19 වැනි ශතවර්ෂයේ පසු භාගයේ දී ගිවිසුම් මඟින් ද ස්වදේශිකයන් හා සටන් කොට ජය ගැනීමෙන් ද ක්‍රමයෙන් අභ්‍යන්තර ප්‍රදේශත් ප්‍රංසයේ භාරයට ගන්නා ලදි. 1910, 1916 යන වර්ෂවල පැවති කැරලි කෝලාහල නිසා මෙහි උතුරු පෙදෙස අපර්වෝල්ටා (බ.) නමින් බෙදා වෙන්කැරිණ. 1933 දී නැවතත් අපර්වෝල්ටා පෙදෙස අයිවරි කෝස්ට් ප්‍රදේශයට යා කරනු ලැබීය. දෙවන ලෝක සංග්‍රාම කාලයේ දී ප්‍රංසයේ විෂි රජය යටතේ පැවති මේ ප්‍රදේශයට 1946 දී ප්‍රංස රාජ්‍ය සංගමය තුළ පාරසමුද්‍ර ප්‍රදේශ තත්වය ලැබිණි. ඊළඟ වර්ෂයේ දී පාලන පහසුව පිණිස අපර්වෝල්ටා පෙදෙස නැවතත් මේ ප්‍රදේශයෙන් වෙන්කොට එයට ද සම තත්වයක් දෙන ලදි. 1958 දී අයිවරි කෝස්ට්, ප්‍රංස රාජ්‍ය තුළ ස්වායත්ත සමූහාණ්ඩු රාජ්‍යයක් බවට පත්විය.

1960 අගෝස්තු 7 දින අයිවරිකෝස්ට් ප්‍රදේශය ස්වාධීන සමූහාණ්ඩුවක් බවට පත්විය. සැප්තැම්බර් 20 දින එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ සාමාජිකත්ව ද ලැබීය. රාජ්‍යයේ සහ ආණ්ඩුවේ නායකයා ෆිලික්ස් ඌපුවේ බොවඤ්ඤි (Felix Houphouet Boigny) මහතාය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අයිවරි_කෝස්ට්&oldid=2325" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි