අශෝක-2

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(රා.ස. ක්‍රි.පූ. 274–232 පමණ). ඉන්දියාවේ පහළ වූ ශ්‍රෙෂ්ඨතම අධිරාජයා මෙන් ම මේතාක් ලෝකයේ පහළ වූ අත්‍යුත්කෘෂ්ට නරපතීන් කිහිපදෙනා අතුරෙන් ප්‍රමුඛයකු හැටියට ද ගණන් ගත හැකි මෙතුමා ධර්මාශෝක යන නමින් බෞද්ධයෝ හඳුන්වති. බෞද්ධ ලෝකයෙහි මෙතුමා කීර්තියක් උසුලන්නේ අවිහිංසාවාදී ධර්මිෂ්ඨ අධිරාජයකු වශයෙන් හා ධර්ම ප්‍රචාරය සඳහා පුරෝගාමීව කටයුතු කළ අසහාය බෞද්ධ අධිරාජයකු වශයෙනි. මෙතුමා මගධ රාජ්‍යෙයේ මෞර්ය වංශයේ තුන්වන පාලකයා විය.

අශෝක රජුගේ ජීවන චරිතය පිළිබඳ තොරතුරු දීපවංසය, මහාවංසය, සමන්තපාසාදිකාව, සද්ධර්මාලංකාරය, සද්ධර්මරත්නාකරය, දිව්‍යාවදානය, අවදානමාලාව (අශෝකාවදානය) ආදි ග්‍රන්ථවල දැක්වේ. ඒ සියල්ල හුදු ඓතිහාසික සත්‍ය සේ ගිණිය නොහැකි වුවද ඒ තොරතුරුත් අශෝක රජු විසින් දඹදිව පුරා පිහිටුවන ලද සෙල්ලිපිවලින් ලැබෙන සාක්ෂ්‍යත් සසඳා බැලීමෙන් එතුමාගේ ජීවිතය පිළිබඳ සත්‍ය ප්‍රවෘත්තිය බොහෝ දුරට අනාවරණය කට හැකිව තිබේ. දීපවංසයෙහි අශෝක රජු හඳුන්වා ඇත්තේ පියදස්සි, පියදස්සන, අසෝක, අසෝකධම්ම යන නම්වලිනි. කුමාර අවස්ථාවෙහි පියදාස (පියදස්සි) නමින් හැඳින්වුණු එතුමා රජ සිරි ලැබ සියලු සැපතින් සමෘද්ධව නිශ්ශෝකීව විසූ හෙයින් අශෝක කුමාරයා යයි ද පසුව සොහොයුරු කුමරුවන් මරවාලු හෙයින් චණ්ඩාශෝක යයි ද තෙරුවන් කෙරෙහි පැහැද සර්වඥ ශාසනයට ඉටු කළ උදාර සේවය කරණ කොටගෙන ධර්මාශෝක යයි ද ප්‍රසිද්ධ වූ අයුරු සද්ධර්මාලංකාරයෙහි හා සද්ධර්මරත්නාකරයෙහි දැක්වේ. අශෝක රජුට 'පියදසි' යන නම් භාවිත වූ බව එතුමාගේ සෙල්ලිපිවලින් ඔප්පු වේ. එම සෙල්ලිපි වැඩි වශයෙන් ම එතුමා හඳුන්වනුයේ 'දෙවානංපියෙ පියදසි' යනුවෙනි. සමහර විටෙක 'දවොනම්ප්‍රියෙ' යන්නෙන් ද හඳුන්වා තිබේ. 'දෙවියනට ප්‍රිය වූ' යන අරුත් ඇති දේවානම්ප්‍රියෝ යන්නට 'මූර්ඛය' යන අර්ථය ආරෝපණය කිරීම සමහර විට බුදු දහමට එරෙහි වූ බමුණන් අශෝක රජුට නිගා කරනු පිණිස සිතා මතා කරන ලද්දකැයි සිතේ. එහෙත් පතංජලි ආචාරීන්ගේ මහාභාෂ්‍යයෙහි 'දෙවානම්ප්‍රිය' යන්නට දී ඇත්තේ 'භවත්', 'දීර්ඝායුෂ්' හා 'ආයුෂ්මත්' යන අරුත්ය. "දෙවානංපියස අසොකස" යන තන්හි මෙන් අශෝක යන නමින් ම මේ රජතුමා හඳුන්වා ඇත්තේ ඉතා විරල වශයෙනි. මස්කි සෙල්ලිපියෙහි එසේ සඳහන් වේ.

අශෝක රජුගේ මුත්තණුවෝ චන්ද්‍රගුප්ත නම් වූහ. පියාණෝ බින්දුසාර නම් වූහ. මව මෝරිය වංශයෙහි උපන් ධර්මා නම් බිසවක් වූ බව මහා වංසටීකාවෙහි සහ සද්ධර්මරත්නාකරයෙහි සඳහන් වෙයි. අවදානමාලාවෙහි දැක්වෙන අයුරු එතුමියගේ නම සුභද්‍රාංගී නොහොත් ජනපදකල්‍යාණිය. බින්දුසාර රජු සෙලෙව්කස් නිකටෝර් නමැති ග්‍රීක (බැබිලන්) රජුගේ දියණියක් ද බිසෝ තනතුරෙහි තබාගත් බවත් බින්දුසාර රජුට මේ ග්‍රීක බිසවගෙන් ලැබුණු පුත්‍රයා අශෝක කුමාරයා බවත් ටාන් පඬිතුමාගේ මතයයි.

විවිධ ග්‍රන්ථයන්ගෙන් හෙළිවන අයුරු අශෝක රජුට වේඨිස දේවී (විදිශා මහා දේවී), අසන්ධිමිත්‍රා, තිෂ්‍යරක්ෂිතා, පද්මාවතී, කාරුවාකී යයි බිසෝවරුන් පස්දෙනෙක් ද විෂමලෝම, මහේන්ද්‍ර,තීවර, ධර්මවිවර්ධන (කුණාල), ජලෞක යයි පුතුන් පස් දෙනෙක් ද සංඝමිත්‍රා නම් දියණියක් ද වුහ. වේඨිස දේවී තොමෝ ලංකාවේ බුදුසසුන පිහිටුවීමට මහෝපකාරී වූ මහේන්ද්‍ර, සංඝමිත්‍රා යන දෙදෙනාගේ මව වූවාය. තීවර කුමරු කාරුවාකි බිසවගෙන් ද ධර්මවිවර්ධන කුමරු පද්මාවතී බිසවගෙන් ද ඔහුට ලැබුණු පුත්තුය. ජලෞකගේ මව කවරක් දැයි අවිනිශ්චිතය. කෝසම්බි (පැරණි කොසඹෑ) නුවර තිබී හමු වූ ශිලාලිපියක "තිවල මාතු කාලුවාකියෙ" යන්නෙන් හඳුන්වා ඇත්තේ තීවර කුමරුගේ මව වූ කාරුවාකී බිසවය. අශෝක රජුට එක ම සහෝදරියක් සිටියාය. ඇගේ පුත් අග්ගිබ්‍රහ්මාහට රජුගේ දියණි වු සංඝමිත්‍රා කුමරිය පාවා දුන් බවත් ඔවුන්ගේ සහවාසයෙන් සුමන කුමරුගේ උත්පත්තිය වූ බවත් පාලි සාහිත්‍යයේ දැක්වේ.

රජවීම

අශෝක රජුගේ ළමාකාලය ගැන හෝ තරුණ කාලය ගැන එතරම් තොරතුරක් දැනගන්නට නැත. එහෙත් තරුණ වියේ දී ඔහු තම පියාගේ රාජ්‍යයෙහි ප්‍රදේශ දෙකක ම සේවය කළ බව ග්‍රන්ථාගතය. තක්ෂශිලා දේශයෙහි ඇති වූ කැරැල්ලක් මැඩ පැවත්වීම සඳහා අශෝක කුමාරයා තම පියා විසින් එහි යවන ලද බව දිව්‍යාවදානයෙහි සඳහන් වෙයි. ඉක්බිති බින්දුසාර රජු විසින් ඔහු අවන්ති දේශයෙහි අයගන්නා පිණිස උදේනී පුරයට යවන ලදැයි දීපවංසයෙහි සඳහන් වේ. 'උජ්ජේනී කරමෝලි' යන නමින් හැඳින්වුණු එම තනතුරෙහි ඔහු සේවය කරමින් සිටිය දී තම පියා රෝගාතුර වූයෙන් පෙරළා පාටලීපුත්‍ර නගරයට අවුත් පියාගේ ඇවෑමෙන් එම පුරවරයෙහි රජකම ලබා ගත් බව මහාවංසයෙහි කියැවේ.

එතුමා රජකමට පත් වූයේ සිංහාසනය පිළිබඳව තමාගේ ඥාති සොහොවුරන් හා කළ දරුණු සටනකින් ජය ගැනීමෙන් පසුවය. "හෙතෙම භින්නමාතෘක වූ එකුන් සියයක් සහෝදරයන් මරවා මුළු දඹදිව ඒකරාජ්‍යයට පැමිණියේය"යි මහාවංසයෙහි පැවැසේ. ටිබැට් ජාතික ඉතිහාසඥයකු වූ තාරානාථ පවසනුයේ අශෝක කුමාරයා විසින් මේ සටනේ දී සොහොයුරන් සදෙනකු පමණක් මරන ලද බවකි. එහෙත් දිව්‍යාවදානයට අනුව සිංහාසනය පිළිබඳව සටන සිදු වී ඇත්තේ අශෝක කුමරුන් හා බින්දුසාර රජුගේ වැඩිමහලු පුත්‍රයා වූ සුසීම කුමරුන් අතර පමණකි. පාලි වංසකථාවන්හි සුමන නමින් හැඳින්වෙන්නේ මොහු විය හැක. බින්දුසාර රජු විසින් අශෝක කුමාරයා තමන්ගෙන් පසු රජකම හිමිවිය යුතු තැනැත්තා හැටියට නම් කරනු ලබන්නට ඇති බව වින්සන්ට් ස්මිත් පඬිතුමා කල්පනා කරයි. වැඩිමහලු පුත් සුසීම (සුමන?) කුමාරයා තමාගේ ඇවෑමෙන් රජකමට පත් කළ යුතු බව බින්දුසාර රජු මරණාසන්නව ඇඳෙහි වැතිර සිටින අවස්ථා වේ දී ඇමතියන්ට දැන්වූ බවත් රජුගේ අදහසට විරුද්ධ වූ ඇමතියන් ඔහු වෙනුවට අශෝක කුමාරයාට රජකම පැවරූ බැවින් තමහට විරුද්ධව නැඟි සිටි සතුරන් වනසන්නට අශෝක කුමරුට සිදු වූ බවත් දිව්‍යාවදානයෙහි දැක්වේ. අශෝක රජුට චණ්ඩපරුෂව සටන් කරන්නට සිදුවූයෙන් "සතර අවුරුද්දක් මුළුල්ලෙහි ඔටුනු නොපැලඳ ම රාජ්‍යය කොට ඒ සතර අවුරුද්ද ඇවෑමෙන් අප බුදුන් පිරිනිවි දෙසිය අටළොස්වන අවුරුදු මුළු දඹදිව එක්සත් කොට ඔටුනු පැලඳි" බව සද්ධර්මාලංකාරයෙහි සඳහන් වෙයි. අශෝක රජුගේ අභිෂේකය එතුමා රජකම ලබා සතර අවුරුද්දකින් පමණ සිදු කිරීම ද අශෝක රජුට සිංහාසනය සඳහා බලවත් සටනක් කරන්නට සිදු වූ බවට දෙස් දෙන කරුණකි. මේ අභිෂේකය පැවැත්වුණේ පාටලීපුත්‍ර නගරයේ දී බව මහාවංසාදි ග්‍රන්ථවලින් හෙළිවේ. අශෝක රජුගේ අභිෂේකය සිදු කළ දින සිදුවී යැයි කියන ප්‍රාතිහාර්ය පිළිබඳ විස්තර දීපවංසය, සමන්තපාසාදිකාව, මහාවංසය, සද්ධර්මරත්නාකරය, සද්ධර්මාලංකාරය ආදි ග්‍රන්ථවල ඇතුළත් වේ.

අශෝක රජුගේ කාලයේ මුල් අවුරුදු කිහිපය පිළිබඳ තොරතුරු වශයෙන් එකහෙළා පිළිගත හැකි කිසිවක් ඉතිහාසගතව නැත. එහෙත් එතුමා මේ කාලපරිච්ඡේදයේ දී මහත් නිර්දය ක්‍රියාවන්හි යෙදෙමින් චණ්ඩ ජීවිතයක් ගත කළ බව අශෝකාවදානයේ දැක්වෙයි. වරද කළවුනට දඬුවම් දීම සඳහා රජු විසින් නරකයක් වැනි බන්ධනාගාරයක් සාදවා තිබුණ බව ද එහි ගිය කිසිවකු නිදහස් වී පෙරළා නොපැමිණි බව ද දිව්‍යාවදානයෙහි හා හියුං සාං තුමාගේ භ්‍රමණ වෘත්තාන්තයෙහි ද සඳහන් කොට ඇත. අශෝකයන්ගේ රාජ්‍ය කාලයෙහි සිදු වූ ප්‍රථම ඓතිහාසික සිද්ධිය වශයෙන් අපට සැලකිය හැක්කේ මගධ රාජ්‍යය හා කාලිංගය අතර ඇති වූ යුද්ධයයි. කාලිංගයන් පරදවන ලද්දේ අශෝක රජුගේ අභිෂේකයෙන් අට අවුරුද්දකට පසුව බව එතුමාගේ 13 වන සෙල්ලිපියෙන් කියැවේ. එතුමා රජකමට පත් වන විට වයඹදිගින් ගන්ධාරයත් නැගෙනහිරින් ඇසෑම් (කාමරූප) ප්‍රදේශයත් බටහිරින් අරාබි මුහුද හා සුරාෂ්ට්‍ර ප්‍රදේශයත් උතුරෙන් හිමවතත් දකුණෙන් කෘෂ්ණා නදියත් යන මේ ඉම් අතරෙහි වූ භුමි ප්‍රදේශය මෞර්ය රාජ්‍යයට අයත්ව තුබුණු බව පෙනේ. එහෙත් තම මුත්තණුවන් හා පියාණන් අනුගමනය කෙරෙමින් අශෝක රජු ද දිග්විජයෙහි යෙදුණු බවට කාලිංග සටන දෙස් දෙයි. මේ යුද්ධය නිසා අශෝකයන්ට ඇති වූ මහත් පසු තැවිල්ල ඔහුගේ කාලිංග ලිපියෙහි (13 වන සෙල් ලිපියෙහි) මෙසේ දැක්වෙයි: "දෙවන පිය පියදස් රජු විසින් ඔටුනු පලන් අටවන වසරෙහි කලිඟුරට දිනා ගන්නා ලදි. ගණනින් එක්ලක්ෂ පනස්දහසක් දෙනා එහි ලා සිරකරුවන් ලෙස ගෙන යන ලදහ. ලක්ෂයක් පමණ දෙනා එහි දී මරන ලදහ. එමෙන් කීප ගුණයක් මිය ගියහ. එතැන් පටන් අලුතින් දිනාගත් කලිඟුරට පිළිබඳවැ දෙවනපිය පියදසුන් තුළ පවත්නේ තියුණු වූ දැහැමි හැඟුමකි... කලිඟු රට ජය ගැනීමෙන් දෙවනපිය පියදසුනට ඇත්තේ මෙබඳු පසුතැවිල්ලකි. නොදිනූ රටක් දිනුමෙහි දී සැබැවින් මැ ඇතිවන මිනීමැරුම් හෝ මියයෑම් හෝ බලයෙන් හැරගෙන යෑම් හෝ දරුණු දුක් උපදවන බවත් බැරෑරුම් බවත් දෙවන පිය පියදසුන්ගේ හැඟුමයි. එහෙත් මේ හැමටත් වඩා බරපතළ ලෙස දෙවනපියයනට හැඟී ගියේ මේ දැයි; ආදරය කරනු ලබන්නා වූ යම්බඳු බ්‍රාහ්මණ ශ්‍රමණ අන්‍ය පාෂණ්ඩ ගෘහස්ථ කෙනෙක් එහි වෙසෙත් ද එසේ ම මවුපියන් ගුරුවරුන් කෙරෙහි සැලකිලි දක්වන යම් කෙනෙක් වෙත්ද හිතමිතුරන් සහායයන් නෑදෑයන් දාසමෙහෙකාරාදීන් කෙරෙහි මනා සේ පිළිපදිනා කෙනෙක් වෙත් ද එසේම ඔවුන් කෙරෙහි දෘඪභක්තිය ඇති කෙනෙක් වෙත් ද එබන්දන් කෙරෙහි යම්බඳු ජීවිත හානියක් හෝ වධහිංසාවක් වේ නම් ප්‍රියයන්ගෙන් වෙන් වීමක් හෝ වේ නම් ස්නේහ ඇති විවිධ අයට ව්‍යසනාදියක් වේ නම් ඒ සියල්ල පියදසි තෙමේ අතිශයින් දරුණු හා බැරෑරුම් සේ සලකයි." කාලිංග යුද්ධය අශෝක රජුගේ විදේශ ප්‍රතිපත්තියේ මෙන් ම එතුමාගේ ජීවිතයේ ද බලවත් වෙනසක් ඇති කිරීමට හේතුවක් විය. තවත් කිසි කලෙක සටනක් නොකරන්නට එතුමා ඉටා ගත්තේය. "මගෙන් ඇති වන කිසි දරු කෙනෙක් මුනුබුරු කෙනෙක් හෝ වෙත් ද ඔහු (තවත්) අලුත් සටනක් නොපතත්වා" යනුවෙන් යනුවෙන් අශෝක රජ තමාගේ දරුමුනුබුරන්ට ද අවවාදයක් කෙළේය. අශෝක රජු නියම බෞද්ධයකු වූයේත් බුදුදහමට අනුව රට පාලනය ඇරඹුයේත් මේ කාලිංග යුද්ධයෙන් පසුවය.

අශෝක අධිරාජ්‍යය

අශෝක රජු යටත් කොට ගත්තේ කාලිංගය පමණක් වුව ද එතුමා විශාල අධිරාජ්‍යයක පාලකයාව සිටි බවට දෙස් දෙන තොරතුරු එතුමාගේ සෙල්ලිපිවලින් ම හෙළිවේ. එතුමා තමාගේ රාජ්‍යය හඳුන්වන්නේ "විජිත", "විසය", "රාජවිශව (රාජවිෂය)", "පුථවි" යන වචනවලිනි. "පුථවි" (පොළොව) යන යෙදු මෙන් ම එතුමාට අයිතිව තුබූ රාජ්‍යයේ ප්‍රමාණය සිතාගත හැකිය. "දස දහසක් යොදුන් දඹදිව් තෙලෙහි සුවාසූ දහසක් රාජධානිවල... සුවාසූ දහසක් රජදරුවෝ තමන් තමන්ගේ සිවුරඟ සෙන් පිරිවරා අවුත් උපස්ථාන කොට යෙති"යි සද්ධර්මාලංකාරයෙහි සඳහන් වන බැවින් ඒ සියලු රජදරුවන්ට ම අශෝක අධිරාජයා ප්‍රධානව සිටි සැටියක් දැක්වේ. මේ කියමනෙහි අතිශයෝක්තියක් ඇතත් අශෝක රජුට යටත් වූ ප්‍රාදේශික රජුන් විශාල පිරිසක් එකල ඉන්දියාවේ සිටි බවට නම් සැකයක් නැත. ඒ රජුගේ සුළු සෙල්ලිපිවල ද තමාගේ රාජ්‍යයට අයත් මිනිසුන් "ජම්බුදීප වැසියන්" ලෙස හඳුන්වා ඇත. අශෝකාධිරාජ්‍යය එකල විහිද තිබූ අයුරු අනුමාන වශයෙන් දැන ගැනීමට විවිධ ප්‍රදේශයන්හි පිහිටුවන ලද එතුමාගේ සෙල්ලිපි ආධාර වේ (අශෝක ශිලාලිපි බ.). ගිරිලිපි අනුව අධිරාජ්‍යයේ සීමාවනුත් සුළු සෙල්ලිපිවල පිහිටීම අනුව අධිරාජ්‍යය තුළ තුබූ අර්ධස්වාධීන ජනපදයනුත් ටැම් ලිපිවල පිහිටීම අනුව අශෝක රජු චාරිකාවේ යෙදුණු තැනුත් සිතාගත හැකි යයි භාණ්ඩාර්කර් පඬිතුමා කියයි. මේ අනුව සලකන විට අශෝකාධිරාජ්‍යය බටහිරින් සුනාපරන්තය, සුකරාෂ්ට්‍රය, බටහිර අවන්තිය යන පෙදෙස් ඇතුළුව අරාබි මුහුදේ නැගෙනහිර වෙරළ දක්වාත් ගිනිකොනින් කලිඟුරට (ඔරිස්සා) ඇතුළුව බෙංගාලේ බටහිර වෙරළ දක්වාත් දකුණෙන් සුවර්ණගිරි පළාත ඇතුළුව කෘෂ්ණ, තුංගභද්‍ර යන ගංගා දෙක ඇසුරු කොට පවත්නා ප්‍රදේශ දක්වාත් වයඹදිගින් උත්තරාපථය හෙවත් ගන්ධාරය ඇතුළුව පුරුෂපුරය (පෙෂවාර්) දක්වාත් උතුරෙන් හිමවත දක්වාත් පැතිර සිටි බව පෙනේ. එබැවින් ඉන්දියාවේ දකුණු කොටසේ සුළු භූමි ප්‍රදේශයක් හැර මුළු ඉන්දියාව ම අශෝක රජුට යටත්ව පැවති බව සැලකිය හැක. අශෝක රජුගේ මුත්තණුවන් වූ චන්ද්‍රගුප්ත රජු විසින් ග්‍රීක් ජාතික සෙලෙව්කස් නිකටෝර් රජුගෙන් ලබා ගන්නා ලද ඇෆ්ඝනිස්ථානයේ දක්ෂිණ භාගය හා බලුකිස්ථානය ද මේ කාලයේ දී මෞර්ය අධිරාජ්‍යයට යටත්ව පවතින්නට ඇත. කාශ්මීරය අශෝක රජුගේ රාජ්‍යයට යටත්ව පැවති බව ද එහි ශ්‍රීනගර් නම් නගරය ගොඩ නඟන ලද්දේ අශෝක රජු විසින් බව ද රාජතරංගිණියෙහි සඳහන් වෙයි. අශෝක රජතුමා කර වූ බෞද්ධ ස්තූප හතරක් කාශ්මීර දේශයේ දී දක්නට ලැබුණ බව හියුං සාං කියයි. චීනයේ වර්තමාන සිං කියෑං පළාතේ පිහිටා ඇති බෝතාන් නමැති ප්‍රදේශ එකල අශෝකාධි රාජ්‍යයට යටත්ව පැවති බව කියන ජනකථාවක්ද ඇත. අශෝක කුමාරයා යුවරජ තනතුර දරන කාලයෙහි නේපාලයෙහි කැරැල්ලක් මැඩපැවැත්වූ බවට තාරානාථ කරන ප්‍රකාශයත් ලුම්බිනියෙහි හා නිගාලිසාගර්හි අශෝකයන්ගේ ටැම්ලිපි දෙකක් හමුවීමත් ලුම්බිනිය වැඳපුදා ගැනීම සඳහා ගිය අශෝක රජු චෛත්‍යයක් කරවා ගල්ටැඹක් පිහිටුවා එහි වැස්සන් අයබදුවලින් නිදහස් කළ බව සඳහන් වීමත් ඔහුගේ රාජ්‍යයට නේපාලය යටත්ව පැවති බවට දෙස් දෙන කරුණුය.

මේ විශාල අධිරාජ්‍යයෙහි අගනුවර වූයේ පාටලී පුත්‍ර (වර්තමාන පැට්නා) නගරයයි. ග්‍රීකයන් මෙය හඳුන්වා ඇත්තේ පාලිබෝත්‍ර යනුවෙනි. පාලි සාහිත්‍යයෙහි පාටලිගාම, කුසුමපුර, පුප්ඵපුර යනුවෙන් සඳහන් කොට ඇත්තේ ද මේ නගරයයි. නන්ද නගර යනුවෙන් ආර්යමංජුශ්‍රීමූලකල්පයෙහි හඳුන්වා ඇත්තේ ද මෙයයි.

මෙහි වූ රජ මාළිගය සහ අනිකුත් සියලු ම රාජකීය මන්දිර අශෝක රජු විසින් මෙහෙයවන ලද භූතයන් විසින් ගොඩනඟන ලද බවත් මේ ගොඩනැඟිලිවල බිත්ති සහ තොරණ ගලින් නිමවන ලද බවත් ෆාහියන්තුමන්ගේ ගමන් විස්තරයෙහි දැක්වෙයි. අශෝක රජ මාළිගයේ නටබුන් වර්තමාන පැට්නා නගරයට නුදුරුව තිබී පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගන්නා ලදි.

බුදු සමය වැලඳ ගැනීම

අශෝක අධිරාජයා බෞද්ධයකු වූ බව බෞද්ධ ලෝකයාගේ ඒකමතික පිළිගැනීමය. එතුමා බෞද්ධයකු වීමට පෙර ජෛන භක්තියකුව සිටි බව ඊ.ජේ. තෝමස් පඬිතුමා විශ්වාස කරයි. එහෙත් බෞද්ධ සාහිත්‍යයට අනුව නම් එතුමා ජීවිතයේ මුල් කාලයේ දී ශිවභක්තිකයෙක් විය. අභිෂේකයෙන් පසුවත් "ඒ අශෝක රජ්ජුරුවෝ තුන් අවුරුද්දක් මුළුල්ලෙහි පළමු තමන්ගේ චන්ද්‍රගුප්ත නම් මුත්තණුවන් හා බින්දුසාර නම් වූ තමන්ගේ පිය මහරජාණන් දවස පැවති පරිද්දෙන් ම බ්‍රාහ්මණයන්ට හා බ්‍රාහ්මණ ජාති ඇති පඬරඟ පරිබ්‍රාජකාදි වූ සැට දහසක් තීර්ථකයන්ට තමන් ඇතුළු රජගෙහි දී ම නිරන්තරයෙන් බත් දී උපස්ථාන කළහ"යි සද්ධර්මාලංකාරයෙහි දැක්වේ. එහෙත් ඒ තීර්ථකයන්ගේ නොහික්මුණු ඊර්‍යාපථයන් ගැන කළකිරීමට පත්ව සිටි අශෝක රජු දිනක් දැමුණු ඉඳුරන් ඇතිවැ මහමඟැ වඩිමින් සිටි සත්හැවිරිදි නිග්‍රෝධ නම් සාමණේරයන් දැක එතුමන්ගේ ඉරියව් කෙරෙහි පැහැද, මාළිගයට වැඩමවා දන් දී තෙරුවන් සරණ ගොස් බෞද්ධ උපාසකයකු වූ බව දීපවංසය, මහාවංසය, සමන්තපාසාදිකාව ආදි වූ ග්‍රන්ථවල සඳහන්ව ඇත. දිව්‍යාවදානයෙහි සඳහන් වන හැටියට අශෝක රජු බෞද්ධයකු වූයේ සමුද්‍ර නමැති ස්ථවිර කෙනෙකුන්ගේ හමුවීම නිසාය. අශෝක රජු බෞද්ධ භික්ෂුවකගේ අනුශාසනය නිසා බුද්ධාගම වැලඳ ගත් බව පාහියන්තුමාගේ ගමන් විස්තරයෙහි ද සඳහන් වේ. එහෙත් ඒ භික්ෂුවගේ නම එහි සඳහන් කොට නැත. උපගුප්ත නමැති තෙර කෙනකුන්ගෙන් බණ අසා අශෝක රජු බෞද්ධයකු වූ බව හියුං සාං තුමාගේ භ්‍රමණවෘත්තාන්තයෙහි දැක්වෙයි. භික්ෂුවගේ නම කුමක් වුව ද අශෝක රජු බෞද්ධයකු වූයේ බෞද්ධ භික්ෂුවකගේ අනුශාසනාව නිසා බව මේ තොරතුරුවලින් හෙළි වේ. එතුමා බෞද්ධයකු වූයේ කාලිංග යුද්ධයෙන් පසු ඇති වූ චිත්ත සන්තාපය නිසා යයි එතුමාගේ දහතුන්වන ගිරිලිපියට අනුව නම් සිතා ගැනීමට ඉඩ තිබේ. අශෝක රජු තමාගේ "දිග්විජ" අවසන් කොට "ධම්ම විජය" (ධර්මවිජය) ඇරඹුයේ මේ සිද්ධියෙන් පසුවය. ලක්දිව දෙවනපෑතිස් රජුගේ දූතයන් පෙරළා ලංකාවට එන අවස්ථාවේ දී අශෝක රජතුමා එතුමාගේ මිතුරාට "මම බුදුන් දහම් සඟ සරණගත වූයෙමි. ශාක්‍යපුත්‍රයන්ගේ ශාසනයෙහි උපාසක බැව් ගිවිස්සෙමි. නරෝත්තමය, තෙපි ද ශ්‍රද්ධාවෙන් සිත පහදා ගෙන මේ තෙරුවන් සරණ යව්" යන පණිවුඩය එවූ බව මහාවංසයෙහි දැක්වේ. බුද්ධ, ධර්ම, සංඝ යන තෙරුවන් කෙරෙහි එතුමා තුළ පැවති ගෞරවාදරය කල්කටා බයිරාට් ලිපියෙන් ද හෙළිවේ. මෙහි මැ අශෝක රජු විසින් විනය සමුකස, අලියවස, අනාගතභය, මුනිගාථා, මෝනේය සුත, උපතිස පසින, ලාඝු ලෝවාද යන දේශනා සතකට භික්ෂු භික්ෂුණීන්ගේත් උපාසක උපාසිකාවන්ගේත් සැලකිල්ල යොමු කොට ඇත. බුදුන් වදාළ මේ දේශනා සත තුවටක, අරියවංස, අනාගතභය, මුනි, නාලක,රථවිනීත, රාහුලෝවාද යන සූත්‍ර සතයැයි පිළිවෙළින් හැඳිනගෙන ඇත. කොසඹෑ, සාංචි, සාරානාත් යන තුන් තැනැ පිහිටුවා ඇති සෙල් ලිපිවල, සංඝභේද කළ පැවිද්දන් නෙරපන බවට අශෝක රජ තරවටුවක් කරයි. සමන්තපාසාදිකාවේ හා මහාවංසයෙහි ද මේ බව සඳහන් වෙයි.

එතුමා ඔටුනු පලන් දසවන හවුරුද්දෙහි සම්බෝධිය කරා ගිය බව අටවන ගිරිලිපියෙහි දැක්වේ. ලුම්බිනියෙහි පිහිටුවා ඇති ටැම්ලිපියෙහි අශෝක රජු තමන් ඔටුනු පලන් විසිවන අවුරුද්දෙහි බුදුන්වහන්සේ උත්පත්තිය ලැබූ තැනට පැමිණ වන්දනමාන කළ බව ද ලුම්බිනී ග්‍රාමය අයබද්දෙන් නිදහස් කළ බවද බුදුරදුන්ගේ උපත සිහිවීම් වස් එහි ගල් ටැඹක් පිහිටුවන ලද බව ද සඳහන් කොට ඇත. එතුමා ඔටුනු පලන් තුදුස්වන අවුරුද්දෙහි කෝනාගමන බුදුරදුන්ගේ ස්තූපය පෙර පැවතියාක් මෙන් දෙගුණයක් විශාල කොට තැනවූ බවත් ඔටුනු පලන් විසිවන අවුරුද්දෙහි එතැනට පැමිණ ඒ ස්තූපය වැඳ පුදා ගිය බවත් නිගාලිසාගර් සෙල්ලිපියෙහි සඳහන් වේ. බුදුන් දම්සක් පැවැත්වූ ස්ථානය වූ සාරානාත්හි ඉසිපතන භුමියෙහි පිහිටුවා ඇති අශෝක රජුගේ ටැම්ලිපිය එතුමා ඒ ස්ථානයට ද ගිය බව පෙන්වන ලකුණකි. පිරිනිවන් මංචකයේ දී බුදුන්වහන්සේ සිය සව්වන් අමතා තමන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වයට පැමිණීම, දම්සක් පැවැත්වීම හා පරිනිර්වාණය යන තමන්ගේ ජීවිතයේ වැදගත් සිද්ධි සතර සිදු වූ තැන් පුදන්නට අනුදැන වදාළසේක. අශෝක රජු මේ ස්ථානයන්ට වන්දනාව පිණිස ගිය බව එතුමාගේ සෙල්ලිපිවලින් හා දිව්‍යාවදානයෙන්ද ඔප්පු වේ.

රජතුමා ක්‍රමයෙන් බෞද්ධ මහෝපාසකයකු වූ අයුරු එතුමාගේ සෙල්ලිපිවලින් ම වටහා ගත හැක. "මා ශාක්‍යයකු සේ ප්‍රකටව (පෙනී) රජතුමා අවුරුදු දෙකහමාරකටත් වැඩිය. එහෙත් වැඩි දියුණුවක් නොවූයේය. සංඝයා වෙත එළඹී (දැන්) අවුරුද්දකට වැඩිය. දියුණුව ද විපුලය..." ආදි වශයෙන් එතුමාගේ රූප්නාත් ශිලාලිපියෙන් කරන ප්‍රකාශයන්ගෙන් සංඝයාගේ ඇසුර ලැබීමෙන් ඇති වූ වෙනස ප්‍රකට කෙරේ. එතුමා සම්බෝධිය කරා ගිය වන්දනා ගමන (ධර්මයාත්‍රා) ගැන යට කියන ලදි. මෙහි සම්බෝධි යන්නෙන් බුද්ධත්වය ලැබූ අවස්ථාවෙහි බුදුරදුන් පිට දී වදාළ බෝධි වෘක්ෂය ගැනේ. උපගුප්ත තෙරුන් සමඟ අශෝක රජු මහාබෝධිය වඳින්නට ගිය බව දිව්‍යාවදානයෙහි ද සඳහන් වේ. එතුමන් විනෝද චාරිකා යෑම (විහාරයාත්‍රා) සහ මුව දඩයමේ යෑම නතර කළේ ද එදින සිටය. ඒ වෙනුවට ශ්‍රමණ බ්‍රාහ්මණයන් බැහැදැකීමට ගොස් ඔවුන්ට දන් දීමට පටන් ගත් බව එතුමාගේ අටවන ගිරිලිපියෙහි සඳහන් වෙයි. "මගධයෙහි පියදස්සි රජ සංඝයාට අභිවාදනය කොට අල්පාබාධතාව ද ඵාසුවිහාරය ද විචාරයි. බුදුන් දහම් සඟුන් යන තුනුරුවන් කෙරෙහි මා තුළ පවත්නා ගෞරවයත් ප්‍රසාදයත් ඔබවහන්සේලා දන්නා සේක. හිමිවරුනි, භාග්‍යවත්වූ බුදුරදුන් විසින් යමක් දෙසන ලද ද ඒ සියල්ල මනා සේ දෙසන ලද්දේය..." ආදී වශයෙන් ආරම්භ කොට, බුද්ධධර්මයෙහි චිරස්ථිතිය පිණිස ඉවහල් වෙතැයි තමන්ට පෙනී ගිය බුද්ධදේශනා හතක් (යට කී තුවටක, අරියවංස, අනාගතභය ආදි සුත්‍ර හත) කෙරෙහි භික්ෂු භික්ෂුණීන්ගේත් උපාසක උපාසිකාවන්ගේත් සැලකිල්ල යොමු කරවමින් ඒවා නිතර නිතර අසා මෙනෙහි කරන මෙන් ඉල්ලා පළ කරවූ කල්කටා-බයිරාට් (භාබ්‍රෑ) ලිපිය සොයා ගැනීමෙන් පසු අශෝක රජතුමාගේ ආගම පිළිබඳව උගතුන් අතර වරක් පැවති සැකය පහව ගොස් එතුමා (පසු කලක) බෞද්ධයකුව සිටි බව එකහෙළා පිළිගැනී තිබේ.

අශෝකයන් ඇදහූ ධර්මය

අශෝක රජු බෞද්ධයකු වීමෙන් පසු දිග්විජය අත්හැර ඒ වෙනුවට "ධම්මවිජය" ඇරඹූ බව යට කියන ලදි. ඒ නිසා අශෝක රජුගේ විජිතයෙහි පෙර ඇසුණු යුද බෙර හඬ හෙවත් භේරිඝෝෂාව වෙනුවට එදා සිට ඇසෙන්නට වූයේ දහම්බෙර හඬ හෙවත් ධර්මඝෝෂාවය. එහෙත් අශෝක රජ තමන්ගේ ඇදහිල්ල අනුන්ට බලයෙන් පිළිගැන්වීමට තැත් නොකෙළේය. එබැවින් ඒ පිළිබඳව ඔහුගේ සෙල්ලිපිවල විශේෂයෙන් සඳහන් නොකළේය. එමෙන් ම නිර්වාණය, චතුරාර්‍ය්‍ය සත්‍යය හෝ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය ගැන කිසිවක් සඳහන් කොට නැත. මේ නිසා අශෝක රජුගේ "ධර්මය" පිළිබඳව විචාරකයෝ නොයෙකුත් මත පළ කෙරෙති. අශෝකයන්ගේ ධර්මය දේශපාලන හා සදාචාර ප්‍රතිපත්ති අන්තර්ගත "රාජධර්මයක්" යයි ෆලීට් හා බියුලර් යන පඬිවරු කියති. එය සෑම ආගමකට ම පොදු වූ ධර්මයක් යයි වින්සන්ට් ස්මිත් පඬිතුමා කල්පනා කරයි. මීට සමාන අදහසක් දරන රාධා කුමුද් මුඛර්ජි මහතා එය සියලු ආගම්වල "සාරය" යැයි සිතයි. සේනාර් සහ හුල්ට්ෂ් යන පඬිවරු අශෝක රජුගේ ධර්මය බුදුදහමෙන් උපුටා ගත් ධර්මයක් ලෙස සලකති. භාණ්ඩාර්කර් පඬිවරයා එය බුදුසමයේ මුල් අවධියේ සිට ම ගිහියන් (උපාසක උපාසිකාවන්) සඳහා අභිප්‍රේත වූ ධර්ම කොට්ඨාසයන්ගෙන් අනූනව සමන්විත වූවකැයි තරයේ කියා සිටී. අශෝකයන්ගේ ධර්මයෙහි දෙවියකු ගැන හෝ ආත්මයක් ගැන හෝ බුදුන් ගැන හෝ බුද්ධධර්මය ගැන හෝ කිසි ම සඳහනක් නැතැයි රීස් ඩේවිඩ්ස් පඬිතුමා පවසයි. අශෝක රජුගේ ධර්මය බුද්ධධර්මයේ ලෞකික අංශය පිළිබඳ මූලධර්ම හා සහමුලින් ගැළපෙන අතර එය අනෙක් ආගම් හා දර්ශන මගින් ඉදිරිපත් කොට ඇති මූලධර්මයන්ට සහමුලින් පටහැණි වන්නේ ද නැතැයි යනු ආචාර්ය බරුවා මහතාගේ මතය වෙයි. දැහැමි සක්විති රජකු විසින් සියරට වැසියන්ගේ මෙලොව යහපත සඳහා තමා ආදර්ශවත් ලෙස හැසිරීම ද රටවැසියාගේ සුසිරිත දියුණුකිරීමට වෙහෙසීම ද කළ යුතු බව බුදුන් වහන්සේ වදාළහ. අශෝක රජතුමා මේ අදහස මැනවින් තේරුම් ගත් බව පෙනේ. ඒ බව එතුමාගේ හවන ගිරිලිපියෙහි දැක්වෙන පහත සඳහන් ප්‍රකාශයෙන් ඔප්පු වේ. "මුළු ලොවට හිත වැඩ සැලසීමට අයත් කටයුත්තක් කොට සලකමි. ලොවට හිත වැඩ සැලසීමට වඩා වටනා සේවයක් තවත් නැත් මැයි. ම විසින් කෙරෙන යම් ව්‍යායාමයක් ඇත් ද ඒ හැම මගෙන් කෙරෙනුයේ සියලු සත්වයන් මෙලෝ පරලෝ දෙකෙහි දී ම සුවපත් කිරීමටත් මා ඔවුන්ට ඇති ණයෙන් නිදහස් වීමටත්ය." එතුමාගේ ප්‍රථම ධෞලි ලිපියෙහි මෙසේ ද පවසා ඇත. "සියලු මනුෂ්‍යයෝ මගේ දරුවෝය. මගේ ම දරුවන් කෙරෙහි මෙන් ම ඒ හැම ප්‍රජාවගේ ම මෙලොව පරලොව යහපත ද සැපත ද සඳහා වෙහෙසීමට මම ආශා ඇත්තෙමි." මේ අදහස මීට පළමු බුදුන්වහන්සේ ද පළ කොට ඇත. බුද්ධධර්මයෙන් උපුටා ගත් මෙවැනි ධර්මපාඨ අශෝක රජුගේ සෙල්ලිපි පරීක්ෂාවෙන් කියවන අයකුට පෙනී යන්නේය. මේ ධර්මපාඨ වැඩි වශයෙන් ම උපුටා ගෙන ඇත්තේ බුදුන් දෙසූ සිගාලෝවාද සූත්‍රයෙන් හෙවත් ගිහි විනයෙන් බව පෙනේ. එබැවින් අශෝක රජතුමා බෞද්ධයකු වූ බවටත් එතුමාගේ ධර්මය බෞද්ධ ධර්මයේ ප්‍රායෝගික අංශය බවටත් කිසිදු සැකයක් නැත.

අශෝක රජු බුද්ධාගම වැලඳ ගත් නමුත් හින්දු, ජෛන ආදි වූ අනික් ආගම් අදහන්නවුන්ට එතුමාගෙන් කිසි ම හිංසා පීඩාවක් නොවීය. "දේවානම්පිය පියදසි රජ (තමාගේ විජිතයෙහි) සියලු තන්හි ම සෑම ආගමික නිකායක් ම (සවෙ පාසංඩ) වෙසෙනු දැක්මට කැමති වෙයි" යනුවෙන් එතුමා තමාගේ හත්වන ගිරිලිපියෙහි සඳහන් කළේ අනික් ආගම් අදහන්නවුනට හිංසා පීඩාවක් නොකළ හෙයිනි. එතුමා කෙළේ ඔවුන්ට ද උදව් කිරීමය; තමාගේ අනුග්‍රහය දීමය. බරාබර් කඳුවැටියෙහි ඇති ලෙන්ලිපි කිහිපයක ම එතුමා ආජීවකයන්ට ලෙන් පූජා කළ බව සඳහන් කොට ඇත. තමාගේ සෙල්ලිපි විශාල සංඛ්‍යාවකින් ම එතුමා ආයාචනා කොට ඇත්තේ බ්‍රාහ්මණයන්ට හා ශ්‍රමණයන්ට ගරු කරන ලෙසය. මෙහි "බ්‍රාහ්මණ" යන්නෙන් අදහස් කොට ඇත්තේ බ්‍රාහ්මණ ආගම අදහන අයය. "ශ්‍රමණ" යන්නෙන් අදහස් කරනුයේ කවර ආගමක හෝ පැවිදි අයය. "දේවානම්පිය පියදසි රජ සියලු පාෂණ්ඩයන් ද පැවිද්දන් ද ගෘහස්ථයන් ද දානයෙන් ද විවිධ පූජාවන්ගෙන් ද පුදයි. එහෙත් දේවානම්පිය තෙමේ දානය හෝ පූජාව සියලු පාෂණ්ඩයන්ගේ සාරවෘද්ධිය තරමට උසස් කොට නොසලකයි. සාරවෘද්ධිය බහුවිධය. එහි මූලය වනුයේ වචීගුත්තිය නොහොත් කට රැක ගැනීමයි. මෙයින් අදහස් කෙරෙනුයේ ආත්ම පාෂණ්ඩ පූජාව හෙවත් තමාගේ ආගම වර්ණනා කිරීම හා පරපාෂණ්ඩ ගර්හාව හෙවත් අන්‍ය ආගම් හෙළා දැකීම නොකළ යුතු බවයි. ඇත්ත වශයෙන් ම අනික් නිකායන්ට ද නොයෙක් අයුරින් සැලකිය යුතුය. එසේ කිරීමෙන් යමෙක් තමාගේ නිකායට යහපතක් කරගන්නාක් මෙන් ම අනුන්ගේ නිකායන්ට ද සුභසිද්ධිය සලසා දෙයි. එසේ නොකිරීමෙන් තමාගේ නිකායට මෙන් ම අන්‍ය නිකායන්ට ද කරනුයේ අනර්ථයකි". අශෝක රජුගේ දොළොස්වන ගිරිලිපියෙහි සඳහන් වන යට දැක්වුණු කරුණුවලින් එතුමා අන් නිකායන්ට සැලකූ අයුරු මනාව ඔප්පු වේ. එතුමා විසින් ධර්මමහාමාත්‍රයන් පත් කරන ලද්දේ සංඝයාගේ පමණක් නොව බ්‍රාහ්මණ, ආජීවක, නිගණ්ඨ ආදීන්ගේත් හිත වැඩ සඳහා කටයුතු කිරීම පිණිසය.

පාලනය

අශෝක රජුගේ රාජ්‍ය පාලනය පිළිබඳ තොරතුරු කෞටිල්‍යයන්ගේ අර්ථ ශාස්ත්‍රයෙන් හා අශෝක රජුගේ ම සෙල්ලිපිවලින් ද හෙළි වේ.

එතුමා රට පාලනය කෙළේ දැහැමිනි. "මුළු ලොවට හිතවැඩ සැලසීම මට අයත් යුතුකමක් කොට සලකමි. ලෝකයාගේ හිතවැඩෙහි යෙදීමට වඩා වටනා අන් සේවයක් නැති බැවිනි"; "සියලු මනුෂ්‍යයෝ මගේ දරුවෝය. මගේම දරුවන්ගේ මෙන් ඒ හැමදෙනාගේ ද මෙලොව පරලොව යහපත සැලසීමට මම කැමැත්තෙමි" ආදි වශයෙන් ඉහත දැක්වුණේ අශෝක රජු තමාගේ සෙල්ලිපිවලින් රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් පළකළ අදහස්ය. ඒ අදහස්වලින් ම එතුමාගේ පාලනයේ දැහැමි බව ඔප්පු වේ.

රජයේ උසස් ම පදවිය දැරුවේ රජුය. පාලනය හා නීතිය පිළිබඳ එක ම නායකයා ද එතුමා විය. අණපනත් පැනවීම, ඒවා ක්‍රියාවෙහි යෙදවීම හා ප්‍රචාරය කරවීම, සෙල්ලිපි පළකරවීම, රාජශාසනයන් යැවීම, පාලනයෙහි වෙනස්කම් ඇතිකිරීම, අයවැය විමසීම, විදේශයනට තානාපතියන් යැවීම හා තානාපති සම්බන්ධකම් පැවැත්වීම, චතුරංගිනී සෙනඟ සංවිධානය කිරීම, උසස් පදවිවලට සුදුස්සන් පත් කිරීම, වැව් අමුණු බඳවා ගොවිතැනට ජලය සපයා දීම ආදි කටයුතු රාශියක් පිළිබඳ වගකීම රජු කෙරෙහි පැවරිණි. මේ කටයුතුවල දී රජතුමාට සහාය වීම පිණිස නිලධාරීන් පිරිසක් සිටි බව පෙනේ. මෙයින් ප්‍රධාන වූයේ ඔටුන්න හිමි යුවරාජයායි. එම තනතුරට එතුමාගේ කනිටු සොහොයුරු තිස්ස කුමාරයා සුළු කාලයක් පත්ව සිටි බව මහාවංසයෙහි දැක්වේ. රජුට අනුශාසනාව පිණිස පුරෝහිතයෙක් විය. "මහාමාත්‍ර" නමින් හැඳින්වුණු පිරිසක් රජයේ නොයෙකුත් දෙපාර්තමේන්තු භාරව කටයුතු කළහ. පුරෝහිතයාගේ ආධාරය ද ඇතිව පාලනයේ දී රජුට අනුශාසනා කිරීමට "මන්ත්‍රි" නමින් හැඳින්වුණු අගමැතිවරයෙක් ද විය. මේ හැර රජුට උපදෙස් දීම සඳහා "මන්ත්‍රි පරිෂද්" නමින් හැඳින්වුණු මන්ත්‍රී මණ්ඩලයක් ද විය. රටේ දේශ සීමා භාරව සිටි අමාත්‍යවරු "අන්තමහාමාත්‍ර" නමින් ද ධර්ම ප්‍රචාරක කටයුතු ආදිය සඳහා පත්කොට සිටි අමාත්‍යවරු "ධර්මමහාමාත්‍ර" නමින් ද ප්‍රසිද්ධ වුහ.

මගධ රාජ්‍යයේ අගනුවර වූ පැළලුප් නුවර බව පාලනය රජු යටතේ පැවති අධිකාරි සයකින් යුක්ත වූ වෙන ම මණ්ඩලයක් මඟින් කෙරුණු මෙගැස්තිනීස්ගේ ලේඛනවලින් පෙනේ.

අශෝක රජුගේ අධිරාජ්‍යය ඉතා විශාල එකක් වූ බව යට කියන ලදි. එවැනි රාජ්‍යයක් එකල තනි පුද්ගලයකුට පමණක් පාලනය කිරීම දුෂ්කර විය. එබැවින් එතුමාගේ අධිරාජ්‍යය ප්‍රදේශ ගණනකට බෙදා පාලනය කළ බව පෙනේ. අගනුවරින් බැහැර පිහිටි උදේනි, තක්ෂශිලා, තෝසලී, සුවර්ණගිරි ආදි වැදගත් ප්‍රදේශවල පාලනය රජපවුලේ අයට ම භාර දෙන ලදි. "ආර්යපුත්‍ර", "කුමාර" යනුවෙන් අශෝක රජුගේ සෙල්ලිපිවල සඳහන් වන්නේ රජපවුලට අයත් යුවරාජයන් ගැනය. සෑම ප්‍රාදේශික රජකුට ම සහාය සඳහා "මහා මාත්‍රයකු" හෝ ප්‍රාදේශික නිලධාරියකු හෝ පත් කොට තුබුණු බව ද පෙනේ. සමහර විට මහාමාත්‍රවරුන් දිස්ත්‍රික්ක භාර නිලධාරීන් වශයෙන් පත් කර තිබුණු අවස්ථා ද ඇත. ප්‍රාදේශික රාජ්‍යයන්හි ලියකියවිලි සඳහා ලිපිකාර මණ්ඩලයක් ද දූත මෙහෙවර සඳහා දූත පිරිසක් ද විය. මේ රාජ්‍යයන්හි අධිකරණ කටයුතු පැවරුණේ මහාමාත්‍රයන්ට හෝ ප්‍රාදේශික නිලධාරීන්ටය.

ආගමික කටයුතු හා ධර්ම ප්‍රචාරය

බෞද්ධයකු වීමෙන් පසු බුදු සස්නෙහි චිරස්ථිතිය පැතූ අශෝක "රජ්ජුරුවෝ ධර්මයෙහි පැහැද එකි එකී ධර්ම ස්කන්ධයක් එකී එකී විහාරයකින් පූජා කෙරෙමි'යි එක දවසින් ම සයානූ කෙළක් ධන විසඳා එකි එකී විහාරයක් බැගින් සුවාසූ දහසක් රාජධානිවල සුවාසූ දහසක් විහාර කරවාලවයි අමාත්‍යවරුන්ට විධාන කොට තුමූ එම පැළලුප් නුවර අශෝකාරාමයෙහි අශෝක නම් මහා විහාරය කරවන්ට පටන් ගත්හ"යි සද්ධර්මාලංකාරයෙහි සඳහන්ව ඇත. ක්‍රි.ව. 640 දී පමණ ඉන්දියාවට පැමිණි හියුං සාං තුමා අශෝක රජු විසින් කරවන ලද ස්තූප විශාල සංඛ්‍යාවක් සියැසින් දුටු බව ස්වකීය භ්‍රමණවෘත්තාන්තයෙහි සඳහන් කරයි. කෝනාගමන බුදුන්ගේ ස්තූපය විශාල කොට කරවන ලද බව නිගාලිසාගර් ලිපියෙහි සඳහන්වී ඇති බව යට කියන ලදි. සාංචියෙහි මේ දක්වා දක්නට ලැබෙන මහා ස්තූපය අශෝක රජු විසින් කරවන ලද ස්තූප අතුරෙන් ප්‍රධාන තැනක් ගනී.

කාලිංග යුද්ධයෙන් පසු "දිග්විජය" අත්හැර ඒ වෙනුවට "ධර්මවිජය" ඇරඹූ අශෝක රජතුමා ඒ සඳහා යොදා ගත් වැදගත් ක්‍රමයක් නම් ධර්මලිපි කෙටවීමය. එතුමා ඔටුනු පලන් දොළොස්වන අවුරුද්දෙහි පටන් මේ ක්‍රමය ක්‍රියාවේ යෙද වූ බව ඔටුනු පලන් විසිහයවැනි අවුරුද්දෙහි කරවන ලද දිල්ලියේ සවන ටැම්ලිපියෙහි සඳහන් වේ. ඔටුනු පලන් දොළොස්වන අවුරුද්දේ සිට යුක්තයන්, ප්‍රාදේශිකයන් ආදි රජයේ නිලධරයන් අවුරුදු පහකට වරක් රට පුරා චාරිකාවේ යැවීම ධර්ම ප්‍රචාරය කරවීම පිණිස යොදා ගත් තවත් ක්‍රමයකි. මේ බව ඔටුනු පලන් දොළොස්වන අවුරුද්දෙහි කොටවන ලද තුන්වන ගිරිනගර (ගිර්නාර්) ගිරි ලිපියෙහි දැක්වෙයි. මේ වර්ෂයේ සිට දිව්‍යවිමාන දර්ශන, හස්ති දර්ශන, අග්නිස්කන්ධ දර්ශන වැනි විවිධ දර්ශනයන් මිනිසුන්ට පෙන්වීමෙන් ඔවුන්ට ධර්මයට අනුව ජීවත්වීමෙන් ලැබෙන ඉෂ්ට විපාක හා අධර්මයෙන් ජීවත්වීමෙන් ලැබෙන අනිෂ්ට විපාක ද අවබෝධ කරවීමට අශෝක රජු වෙහෙස ගත් බව එතුමාගේ සිව්වන ගිරිලිපියේ එන තොරතුරුවලින් පෙනේ. මෙය එතුමා ධර්ම ප්‍රචාරය සඳහා යොදාගත් තවත් ක්‍රමයකි. මේ සියල්ලට ම වඩා සැලකිය යුතු ක්‍රමය වූයේ ඔටුනු පලන් දහහතරවන අවුරුද්දෙහි කරන ලද "ධර්ම මහා මාත්‍රයන්" පත් කිරීමය. ඉන්පසු ධර්මප්‍රචාරක කටයුතුවලින් හා ආගමික කටයුතුවලින් වැඩි කොටසක් භාර වූයේ ඔවුන්ටය.

සිය අධිරාජ්‍යය තුළ වසන ජනයාට පමණක් කරුණාව දැක්වීමෙන් හෝ ඔවුන් අතර පමණක් ධර්ම ප්‍රචාරය කිරීමෙන් හෝ අශෝක රජු සෑහීමට පත් නොවීය. එතුමාට උවමනා වූයේ මුළු ලොවට ම සෙත් වැඩීමටය. සොළී, පාඬි, කේරළපුත්‍ර, සත්‍යපුත්‍ර යන ප්‍රත්‍යන්ත රාජ්‍යයන් ඇතුළුව තාම්‍රපර්ණිය දක්වා ප්‍රදේශයන්හිත් තමාගේ මිත්‍ර ඇන්ටියෝකස් රජු රජ කළ සිරියාවේ හා ඊට සමීප රාජ්‍යයන් වූ බටහිර ඇසිරියාව, මිසරය, සයිරීනය හා එපිරස් යන ප්‍රදේශයන්හිත් ජනයාට ගිලානෝපස්ථානය හා ධර්ම ප්‍රචාරය පිණිස දූතයන් යැවූ බව ද තිරිසනුන්ට ගිලානෝපස්ථානය සැලසූ බව එතුමාගේ දෙවන හා දහතුන්වන ගිරිලිපිවල සඳහන් වෙයි. මේ ධර්මප්‍රචාරක කටයුතු ඉතා ම සාර්ථක වූ බව එතුමාගේ සෙල්ලිපිවල සඳහන්ව ඇත. "තාම්‍රපර්ණී" යනුවෙන් සඳහන් කළේ ලංකාව ගැනය යනු දැනට පිළිගත් මතයයි. එහෙත් අශෝක රජු විසින් ලක්දිවට ගිලානෝපස්ථානය සඳහා දූතයන් එවුණු බවට මහාවංසයේ හෝ දීපවංසයේ සඳහනක් නැත.

තුන්වන ධර්ම සංගායනාව පවත්වන ලද්දේ ද අශෝක රජුගේ කාලයේ දීය. අශෝක රජු ඔටුනු පලන් දහඅටවන අවුරුද්දෙහි පැළලුප් නුවර අශෝකාරාමයේ දී මොග්ගලිපුත්තතිස්ස මාහිමියන් ප්‍රධාන දහසක් සංඝයා රැස්ව මේ සංගායනාව පැවැත්වූ බව දීපවංසය, මහාවංසය ආදි ග්‍රන්ථවල සඳහන් වෙයි. කල්කටා-බයිරාට් ලිපියෙන් තුන්වන ධර්ම සංගායනාව ගැන ඉඟියක් ලැබෙන බව භණ්ඩාර්කර් පඬිහු කියති. මේ ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා අශෝක රජුගේ අනුග්‍රහය ලැබුණු බව ද ඉහත සඳහන් ග්‍රන්ථයන්හි දැක්වේ. ලෝකයේ නොයෙක් රටවලට ධර්මදූතයන් යැවීමට තීරණය කරන ලද්දේ මේ සංගායනාවේ දී බව කියති. ලක්දිවට බුදුසසුන ගෙන එන ලද්දේ අශෝක රජුගේ පුත් මිහිඳු මාහිමියන් ප්‍රධාන ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන තෙරවරුන් විසිනි. ලංකාවට මෙහෙණි සස්න හා ශ්‍රී මහාබෝධි ශාඛාව ද ගෙන එන ලද්දේ අශෝක රජතුමාගේ දියණි වූ සංඝමිත්තා ස්ථවිරීන් විසිනි. මේ හැර කාශ්මීර, ගන්ධාර, මහිෂමණ්ඩල, වනවාස, අපරන්තක, මහාරාෂ්ට්‍ර, යවනදේශ, හිමවත හා සුවණ්ණභූමි යන රටවලට ද ධර්මදූතයන් යැවූ බව මහාවංසයේ සඳහන් වෙයි.

අශෝක රජු බෞද්ධයකු වීමෙන් පසු දෘඪ අවිහිංසාවාදියකු ද වූ බව කිව හැක. එතුමා වඩාත් ම අවිහිංසාව දක්වා ඇත්තේ තිරිසන් සතුන් කෙරෙහිය. කුකුළන් කෙටවීම වැනි සතුන්ට පීඩා ගෙන දෙන ක්‍රීඩා සම්පූර්ණයෙන් තහනම් කොට මාංසභක්ෂණය තරමක් දුරට තහනම් කළේය. යාග හෝම සඳහා බිලි පූජා කිරීම බොහෝ දුරට වැළැක්වීය. මුවදඩයම සම්පූර්ණයෙන් ම නවතාලීය. නිකරුණේ හෝ සතුන් මරනු පිණිස හෝ කැළෑ ගිනි තැබීම ද පණ ඇති සතුන් ගොදුරට දී තවත් සතුන් රැකීම ද අවුරුද්දේ සමහර දිනයන්හි මසුන් මැරීම හා විකිණීම ද තහනම් කොට නීති පැනවීය. මයින, ගිරා, සක්වාලිහිණි, පරෙවි ආදි කුරුල්ලන් රාශියකට ම එතුමා අභයදානය කළේය. බෞද්ධයකු වීමෙන් පසුව ද තම මුළුතැන්ගෙයි බොජුන් සපයනු සඳහා දිනපතා මොනරුන් දෙදෙනෙකු හා මුවකු මරනු ලබන බව සිහි වී ලජ්ජාවට පත් රජතුමා එය ද සම්පූර්ණයෙන්ම නවත්වන ලදි.

එතුමා සෑම ගමක ම පාහේ මිනිසුන් මෙන් ම තිරිසනුන් ද උදෙසා ගිලන් හල් කරවා මහා මාර්ගයන් අසල ළිං කණවා මගීන්ට සෙවණ ලබා දෙනු පිණිස නුග, අඹ ආදි ගස් රෝපණය කරවූ බව ද එතුමාගේ සෙල්ලිපිවලින් හෙළි වේ.

බෞද්ධ කලාව නියම වශයෙන් පටන් ගැනුණේ අශෝක රජු දවස බව පාගල් පඬිතුමා පවසයි. මේ රජුගේ අනුග්‍රහයෙන් නවජීවනයක් ලැබූ ඉන්දියාවේ කලා ශිල්ප බෞද්ධ නමින් හැඳින්විය හැකි ස්වරූපයක් ගත්තේ එදා සිටය. හරප්පා සභ්‍යත්වයෙන් පසු කලාශිල්ප සඳහා පාෂාණ භාවිතය ඉන්දියාවේ අභාවයට ගොස් තිබුණි. එයින් පසු ඒ සඳහා භාවිත කෙරුණේ දැව දඬු බව පෙනේ. එහෙත් අශෝක රජ කලා ශිල්ප සඳහා පාෂාණ භාවිතය පුරුදු කොට ඊට නව පණක් දුන්නේය. අශෝක සමයට අයත් කලාත්මක කෘතීන් ස්තූප, ලෙන් හා ස්තම්භ යනුවෙන් තුන් කොටසකට බෙදිය හැක. (අශෝක ස්තම්භමෞර්යය්‍ය මූර්ති කලාව ද බ.)

මේ අධිරාජයාගේ ශ්‍රෙෂ්ඨ චරිතය හැදෑරූ බොහෝ පඬිවරු එතුමා ලෝකයේ විසූ විවිධ ශ්‍රෙෂ්ඨ නරපතීන් හා සම කිරීමට වෙහෙසෙති. මේ සඳහා ඔවුන් තෝරාගෙන ඇත්තේ කොන්ස්ටන්ටයින්, ෂාලමේන්, මහා ඇලෙක්සැන්ඩර්, ජූලියස් සීසර් හා නැපෝලියන් වැනි අධිරාජයන්ය. දිග්විජය ආදිය අතින් සලකතොත් මොවුන් අශෝක රජුට වඩා දක්ෂ රණශූරයන් විය හැක; අශෝක රජුට වඩා වැඩි ගණනක් රටවල් යටත් කරගන්නට ද ඇත. එහෙත් ලෝවැසියන්ගේ ආධ්‍යාත්මික දියුණුව පිළිබඳව ඔවුන් අශෝක අධිරාජයා මෙන් වෙහෙස ගත් බවක් නොපෙනේ. මේ කිසි ම නරපතියකු දිග්විජය කිරීම අවසන් කළේ යුද්ධයකින් පැරදීම වැනි බාධකයන් හේතුකොටගෙන විනා යුද්ධයේ ආදීනව දැක නොවේ. සටනකින් ජය ගැනීමෙන් පසු දිග්විජය අවසන් කළ එකම රජ අශෝකය. අශෝක රජුට යම්තමකටවත් සම කළ හැක්කේ මහා අක්බාර් රජතුමා පමණකැයි කිවහැක. එබැවින් අශෝක රජු මුළු ලෝක ඉතිහාසයෙහි මේ තාක් පහළ වුණු ශ්‍රෙෂ්ඨතම නරපතියා ලෙස සැලකිය හැකිය. අශෝක රජු පිළිබඳව එච්.ජී. වෙල්ස් නමැති සුප්‍රසිද්ධ ඉංග්‍රීසි පඬිවරයා ස්වකීය 'ඉතිහාසයේ දළ සටහන' (The Outline of History) නම් වූ ලෝක ප්‍රකට ග්‍රන්ථයෙහි මෙසේ කියයි: "ඉතිහාසයෙහි රාශිභූත වන්නාවූ දහස් ගණන් රජුන් අතුරෙහි ප්‍රතාපය, දයාව, ආත්මශුද්ධිය හා ශ්‍රෙෂ්ඨත්වය යන ගුණාංග සම්බන්ධයෙන් අශෝකයන්ගේ නාමය එකලා තාරකාවක් සේ බැබළි බැබළී පවතී. වොල්ගාහි සිට ජපානය දක්වා එතුමාගේ නාමයට අද පවා ගෞරව කරති. චීන, ටිබැට් ආදි රටවල එතුමාගේ ශ්‍රෙෂ්ඨත්වය නොමැකී පවතී. අද ලෝකයේ ජීවත්වන ජනයා කොන්ස්ටන්ටයින්ගේ හෝ ෂාලමේන්ගේ නාමයට වඩා අශෝක රජුගේ නාමය දනිති; ඊට ගෞරව කෙරෙති."

අශෝකයන් ගැන ආර්.සී. දත් පඬිතුමා කරන ප්‍රකාශයක් මෙසේයි: "හවන සියවසේ විසූ වික්‍ර මාදිත්‍යයන් ද සොළොස් වන සියවසේ විසූ වෙන්ම ආර්යයන්ගේ පැමිණීම සිදු වූ දා සිට හෝ මහා අක්බාර් රජු ද පමණක් හැර මේ රටට පළමු අශෝක රජුගෙන් පසුව හෝ අශෝක රජුගේ ශ්‍රෙෂ්ඨත්වයට ළංවිය හැකි කුමාරයෙක් ඉන්දියාවේ මේ දක්වා පහළ නොවීය. අශෝක රජුගේ මේ ශ්‍රේෂ්ඨත්වයට කරුණු වූයේ එතුමාගේ අධිරාජ්‍යයේ විශාලත්වය හෝ ඔහුගේ බලමහිමය හෝ නොව, හුදෙක් රාජ්‍ය පාලනයේ දීත් විදේශ ප්‍රතිපත්තියේ දීත් එතුමා දැක්වූ වැදගත් වූ ද සර්වසාධාරණ වූ ද උද්‍යෝගයත් සත්‍යය ගැන දැක්වූ දැඩි ආදරයත් සත්‍යය පැතිරවීමට තුබූ ආශාවත් මැයි. මේ නිසා සයිබීරියාවේ සිට ලංකාව දක්වා එතුමාගේ නාමය ගෙදරදොරේ නිතර භාවිත වන වචනයක් බවට පත් විය. ඉන්දියාවේ කිසි ම නරපතියකුට — වික්‍රමාදිත්‍ය හෝ අක්බාර් වැනි ඉන්දියාවේ කිසි නරපතියකුට — මෙවැනි විශ්ව කීර්තියක් හිමි වී නැත. ධර්මය හා සදාචාරය කෙරෙහි මෙතරම් මහඟු බලපෑමක් දැක්වූ අන් කිසි ම රජෙක් මුළු ලෝක ඉතිහාසයෙහි ම හමු නොවේ."

සමහර විට අශෝක රජු බලාපොරොත්තු වූ හැම කටයුත්තක් ම සම්පූර්ණයෙන්ම ඉටු නොවූවා විය හැකිය. එහෙත් එතුමාගේ නාමය ඉරහඳ පවත්නා තාක් නොනැසී පවත්නා බවට සැකයක් නැත.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අශෝක-2&oldid=5603" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි