අස් පන්තිය
මහනුවර යුගයේ සිංහල රජුන්ගේ අස් සෙනඟත් එහි කටයුතු බාර කාර්යාංශයත් 'අස් පන්තිය' නම් විය. මේ කාර්යාංශය බාරව සිටි නිලධාරියා අස් පන්තියේ මුහන්දිරම් නිලමේය. අස් පන්තිය යනු පුරාණ සිංහල රජවරුන්ගේ චතුරංගිනී සේනාවේ එක් අංගයක් වූ අශ්ව සේනාවට ද අස් පන්තියේ මුහන්දිරම් නිලමේ යනු අශ්ව සේනාධිපති තැනට ද සමාන වී යයි සිතිය හැකිය.
රාසිං දෙවියන්ගේ (2 වන රාජසිංහ) කාලයේ දී අස්සල (අස්හල) නම් දෙපාර්තමේන්තුවක් පැවැති බවත් වැලිගම් නැව් තොටට අඩුත්තු මිරිස්සෙන් හා පැල්වත්තෙන් අස්සල නම් බද්දක් අය කරනු ලැබූ බවත් පෘතුගීසි තෝම්බුවල සඳහන් වේ යයි කොඩ්රිංටන් හා පෝල් පීරිස් යන ඉතිහාසඥයෝ කියති.
අස්හල් තැනවීම, ඒවා පිළිසකර කරවීම, අසුන් පුහුණු කරවීම, උන් ව්‍යායාම කරවීම, උන්ට ආහාර දීම ආදි කුදු මහත් කටයුතු සංවිධානය කොට පරිපාලනය කරන ලද්දේ අස්පන්තියේ මුහන්දිරම් නිලමේ විසිනි. මොහුට සහාය පිණිස අස් පන්තියේ කංකානම නම් වූ නිලධාරියෙක් ද විය.
අස් පන්තියට අයත් අස්බාගේ ගම් උඩරට නොයෙක් පෙදෙස්හි වූ බව පෙනේ. අස්පන්තියේ ඇත්තෝ මේ ගම්වල සේවා පංගු ලැබ තම තමන්ට නියමිත රාජකාරි කළාහුය. සේවයට නොපැමිණි අය විසින් මුරදඩයක් ගෙවිය යුතු විය. දැනට උඩරට සමහර පළාත්වල ව්‍යවහාර වන 'අස් පන්තියේ ගෙදර' යන පෙළපත් නාමය ඇත්තෝ මහනුවර යුගයේ දී අස් පන්තියේ සේවය කළ වුන්ගෙන් පැවැත එන්නාහු යයි සිතිය හැකිය.
අශ්වයන්ට ආහාර සැපයීම අම්බාගේ විදානගම්වල වාසය කළ මිනිසුන් විසින් කළ යුතු වූ රාජකාරියකි. එක් එක් ගමේ මෙවැනි කටයුතු සඳහා විදාන මහදුරයා නම් මුලාදෑනියෙක් ද සිටියේය.
සෙනරත් රජතුමා රට බැලීමට ගිය සිව් වන ගමනේ දී ඇත් පන්තියේ හා අස් පන්තියේ මෙහෙ මාරුව සම්බන්ධයෙන් වෙන වෙන ව්‍යවස්ථා පනත් පනවා බෙඹිවෙල, භෝතැන්න යන ගම් නයිමා වැදිහට මාරු පංගුවට භාර දුන් බව ද එරජු තම බිසව සමග මඩකලපු ප්‍රදේශය බලා ගිය ගමනක දී ඇත් අස් පන්ති කරවන මැතිවරුන් පිරිවරා ගිය බව ද වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු ඇත් පන්තිය හා අස් පන්තිය බෙදා වැල්ලගිරිය, ගලුකේ යන ගම් දෙකට දුන් බව ද මන්දාරම්පුර පුවතෙහි සඳහන් වේ.
1818 උඩරට කැරැල්ලෙන් පසු උඩරට ආණ්ඩු ක්‍රමය ප්‍රතිසංස්කරණය කළ විට 'අස් පන්ති කාර්යාංශය' වසා එහි සේවකයන්ට කුරුඳු තැළීමේ කටයුතු පවරා අස් පන්ති මුහන්දිරම් නිලය ද අවලංගු කරන ලදි. (අසරු (අශ්වාරෝහක) හමුදාව බලන්න.)
(සංස්කරණය: 1965)