ඉන්දු-ලංකා සම්බන්ධතා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉන්දියාව හා ලංකාව එකිනෙකට නුදුරින් පිහිටා තිබීම නිසා දෙරට අතර ඈත අතීතයේ පටන් ම සම්බන්ධතා පැවතුණු බවට සැකයක් නැත. මයෝසීන යුගයට පෙර දකුණු ඉන්දියාවත් ලංකාවත් එකට සම්බන්ධව තුබුණු බව භූ විද්‍යාඥයෝ කල්පනා කරති. මිනිසා මුල දී ම ලංකාවට සංක්‍රමණය වන්නට ඇත්තේ ඉන්දියාවෙන් විය හැකියි.

ඓතිහාසික යුගය ආරම්භ වීමට ප්‍රථම දෙරට අතර සම්බන්ධතා පැවැති බව රාමායණයේ සඳහන් වේ. ලංකාව හා ඉන්දියාව අතර (ප්‍රාග්ඓතිහාසික කාලයෙහි) වෙළෙඳ සම්බන්ධතා පැවතිණැයි වලාහස්ස ජාතකයෙහි දැක්වේ. මෙම වෘත්තාන්තවල කෙතෙක් දුරට සත්‍යයක් ඇද්ද යන්න ප්‍රශ්නයකි. ගෞතම බුදුරදුනුත් පෙර බුදුවරුන් තුන් නමකුත් මෙරටට වැඩි බව ද මහාවංසයේ සඳහන් වේ.

ආර්යාගමනය

දෙරට අතර සම්බන්ධතා පිළිබඳව ආදි ම ඓතිහාසික සාධක ලැබෙන්නේ ආර්‍ය්‍යාගමනයෙන් පසුවය. මහාවංසයට අනුව ලාළ නම් රටින් විජය නම් කුමාරයකු සත්සියයක් පිරිවර රැගෙනවිත් මෙරට ජනපද පිහිටුවූ බව කියැවේ. මෙරට බලය පිහිටුවාගත් පසු ඔහු අභිෂේකය පිණිස දක්ෂිණ මධුරාවෙන් කුමාරිකාවක ගෙන්වාගත් බව ද සඳහන් වේ. විජයගේ මරණයෙන් පසුව ඔහුගේ සහෝදරයකුගේ පුත්‍රයකු වූ පඬුවස් දෙව් කුමරු ලාළ රටින් පැමිණ මෙරට රජ පැමිණි බව ද වාර්තාගතය. ඔහුගේ මෙහෙසිය ශාක්‍ය වංශික භද්දකච්චානා කුමාරිකාවයි. විජය පිළිබඳ වෘත්තාන්තය පාහියන් හා හියුං සාං වැනි අයගේ දේශාටන වාර්තාවල ද වෙනත් අයුරකින් දැක්වේ. දැනට ඇති සාධක අනුව පිළිගත හැක්කේ ආර්‍ය්‍යයන් උතුරු ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයකින් මෙරටට පැමිණි බවයි. ප්‍රථම ආර්‍ය්‍ය සංක්‍රමණය වූයේ ඉන්දියාවේ බටහිර ප්‍රදේශයෙන් ද නැතහොත් නැගෙනහිරින් ද යන්න මතභේදයට පාත්‍ර වී ඇත. වැඩි දෙනාගේ මතය ඔවුන් ඉන්දියාවේ බටහිර ප්‍රදේශවලින් මෙහි ආ බවය. ඒ කාලයෙහි ම නැගෙනහිරින් ද ආර්‍ය්‍යයන් මෙරටට එන්නට ඇතැයි සිතීමට පුළුවන. ආර්‍ය්‍ය සංක්‍රමණය දිගු කලක් තිස්සේ සිදු වන්නට ඇතැයි සිතීමට ද පුළුවන. මූලාශ්‍රයන් පරීක්ෂා කිරීමේ දී ආර්‍ය්‍යයන් මෙරටට එන්නට ඇත්තේ ක්‍රි.පූ. 6 වන හෝ 5 වන සියවසේ දී යයි පිළිගැනීමට සිදු වේ.

මෞර්‍ය්‍ය බලපෑම

ඉන්දු-ලංකා සම්බන්ධතාවල ඊළඟ වැදගත් අවස්ථාව උදා වනුයේ ක්‍රි.පූ. තුන්වන සියවසේ මෙරට රජ කළ දෙවනපෑතිස් රජුගේ කාලයේ දීය. ඔහු ඉන්දියාවේ මෞර්‍ය්‍ය අධිරාජ අශෝකයන්ගේ සමකාලිකයෙක් විය. මහාවංසයට අනුව අශෝක හා දෙවනපෑතිස් දෙරජහු අදෘෂ්ට මිත්‍රයෝ වූහ. අශෝක අධිරාජයාත් දෙවන පෑතිස් රජතුමාත් අතර තානාපති සම්බන්ධකම් පැවැති බවට සාධක ඇත. මහාවංස ටීකාවට අනුව මෙරටට අභිෂේක ක්‍රමය හඳුන්වා දෙන ලද්දේ අශෝකයන් විසින් එවන ලද දූතයන් විසිනි. අභිෂේකයෙන් පසුව ලක්දිව රජු අශෝකයන්ගේ විරුදනාමයක් වූ ‘දෙවනපිය’ යන්න යොදා ගත් බවට සාධක ඇත. ‘දෙවනපිය’ යන්න වසභ (ක්‍රි.ව. 65) දක්වා ලක්දිව රජ කළ රජවරුන්ගේ වංශ නාමය බවට පත් වූ බව ශිලා ලිපිවලින් පැහැදිලි වේ. ලංකා වංශකථාවල සඳහන් කරුණු අශෝක ශිලාලිපිවලින් ස්ථිර වේ. තම්බපණ්ණි (ලංකා) දේශයට ධර්මමහාමාත්‍රයන් යැවූ බව II හා XIII යන ප්‍රධාන ගිරි ලිපිවල සඳහන් වේ. දිවයිනෙහි තමාගේ ආධිපත්‍යය ස්ථාවර කරගැනීම සඳහා දෙවනපෑතිස් රජු අශෝක අධිරාජයාගේ සහයෝගය ලබාගන්නට ඇතැයි සිතීමට පුළුවන. දෙවනපෑතිස් සමය ඉන්දු-ලංකා සම්බන්ධතාවල දී වෙනත් අංශයකින් ද වැදගත් වේ. තුන්වන ධර්ම සංගායනාවෙන් පසුව ලංකාවට ද ධර්මදූත පිරිසක් එවන ලදහ. එම දූත මෙහෙවරේ ප්‍රධාන වූවෝ අශෝකයන්ගේ පුත් වූ මහින්ද මහරහතන්වහන්සේය. එම ධර්මදූතයන්ට දෙවනපෑතිස් රජුගේ සහයෝගයත් අනුග්‍රහයත් නොමඳව ලැබිණි.

ද්‍රවිඩ දේශපාලන ආක්‍රමණ

දෙවනපෑතිස් රජුගෙන් පසු යුගය දේශපාලනය අතින් මෙරට පිරිහීගිය කාල පරිච්ඡේදයක් විය. එයින් ප්‍රයෝජනගත් දකුණු ඉන්දියානු ජාතිකයන් අනුරාධපුර රාජ්‍යය පැහැරගත් අවස්ථා කිහිපයක් ඇත. වාර්තාගත වී ඇති පළමු ආක්‍රමණය අශ්ව වෙළෙඳුන් වූ සේන සහ ගුත්තික යන දෙදෙනා විසින් මෙහෙයවන ලදි. ඔව්හු අවුරුදු 22ක් පමණ මෙරට පාලනය කළහ. දෙවන ආක්‍රමණය මෙහෙයවන ලද්දේ සොළී රටින් පැමිණි එළාර නම් දෙමළ රජු විසිනි. ඔහුගේ පාලන සමය අවුරුදු 44ක් විය. එළාර රජු හා දුටුගැමුණු රජු අතර වූ යුද්ධයේ දී එළාර රජුට ආධාර පිණිස දකුණු ඉන්දියාවෙන් භල්ලුක නම් සෙනෙවියකු ද පැමිණි බැව් සඳහන් වේ. වංශකථාවල සදහන් වන මෙම දෙමළ ආක්‍රමණ සිදු වූ කාලයට අයත් ශිලාලිපි කිහිපයක ම දෙමළ ජාතිකයන් ගැන සඳහන් වේ. ශිලාලිපිවල ඔවුන් හැඳින්වෙන්නේ ‘දමෙඩ’ යන වචනයෙනි. ඔවුන්ගෙන් සමහරෙක් නාවික හා වාණිජ යනුවෙන් හැඳින්වෙත්. ශිලාලිපි සලකා බලන විටත් වංශ කථා විමසන විටත් පැහැදිලි වන්නේ ද්‍රවිඩ ජනයා මෙරටට පැමිණියේ වෙළෙඳ කටයුතු සඳහා බවය. ඇත්ත වශයෙන් ම මුල දී සිදු වූ මෙම ආක්‍රමණ සංක්‍රමණ ලෙසින් හැඳින්වීම වඩා උචිතය. සී.ඩබ්ලිව්. නිකලස් මහතා සිතන අයුරු මුල් කාලයේ දී මෙරට වෙළෙඳාම පාලනය කිරීම සඳහා සිංහලයන් හා ද්‍රවිඩයන් අතර තරඟයක් පවතින්නට ඇත. වංශකථාවලින් හෙළි වන්නේ ද්‍රවිඩ නාවික බලය අවසානයේ දී ජයගත් බවයි.

වළගම්බා රජුගේ කාලයේ දී ද ද්‍රවිඩ ආක්‍රමණයක් සිදු විය. මෙම ද්‍රවිඩ ආක්‍රමණිකයන් පස්දෙනෙකු වළගම්බා රජු පලවා හැර අවුරුදු 14ක් පමණ කාලයක් එකිනෙකා ඇවෑමෙන් රජ කළ බව දැක්වේ. මොවුන් පැමිණියේ පඬිරටින් යයි සිතිය හැකිය. ක්‍රි.ව. පළමුවන සියවස වන විට ඉන්දියාව සමඟ පැවැති සම්බන්ධතාවල අලුත් අංගයක් දැක්ක හැකිය. ඉලනාග (ක්‍රි.ව. 35-44) රජතුමා ඉන්දියාවට ගොස් සේනාවක් රැගෙන විත් තමාට අහිමිව ගොස් තිබුණු සිංහාසනය යළි ලබාගත් බව පෙනේ. පසු යුගයේ දී මෙවැනි සිද්ධීන් බොහොමයක් ම දක්නට ඇත. මෙවැනි සම්බන්ධතා හැරෙන්නට දකුණු ඉන්දියානු රාජවංශ සමග විවාහ ගනුදෙනු ද සිදු විය. ඉලනාගගේ පුත්‍රයා වූ චන්දමුඛසිවගේ මෙහෙසිය දෙමළ කුමාරිකාවකි.

ක්‍රි.ව. 1 වන සියවසේ රජ කළ වංකනාසික තිස්ස නම් රජතුමාගේ කාලයේ දී සිදු වූ දෙමළ ආක්‍රමණයක් ගැන පූජාවලියේ හා රාජාවලියේ විස්තර වේ. පූජාවලියට අනුව සොළී රජකු ලක්දිව ආක්‍රමණය කොට 12,000ක් ජනයා සිරකරුවන් වශයෙන් ගෙන ගොස් කාවේරි පටුනෙහි වැඩට යොදවන ලදහ. මෙයට පළිගැනීමක් වශයෙන් වංකනාසික තිස්සගේ පුත් ගජබාහු සොළී රට ආක්‍රමණය කළේය. පූජාවලියේ හා රාජාවලියේ අතිශයෝක්තියෙන් විස්තර කොට ඇති මෙම සිද්ධිය දෙමළ ග්‍රන්ථවලින් ද තරමක් දුරට සනාථ වේ. සිලප්පදිකාරම් ග්‍රන්ථයෙහි, ගජබාහු රජු පත්තිනි දෙව්දුව වෙනුවෙන් පැවැත්වුණු උත්සවයකට සහභාගි වූ බව සඳහන් වේ. මෙය සත්‍යයක් වශයෙන් පිළිගතහොත් ඉන්දියාව ආක්‍රමණය කළ ප්‍රථම සිංහල රජතුමා ගජබාහු සේ ගිණිය යුතුය.

මහාසේනගෙන් පසුව රජ පැමිණි සිරිමේඝවණ්ණ (303-331) සමුද්‍රගුප්ත අධිරාජයාගේ සමකාලිකයෙක් විය. සමුද්‍රගුප්තයන්ගේ අලහබාද් ප්‍රශස්තියෙහි සිංහල දේශයේ වැසියන් ඔහුට ගැතිකම් දැක්වූ බව සඳහන් වේ. මෙය අතිශයෝක්තියක් බව චීන වාර්තාවකින් හෙළි වී ඇත. මෙරට සිට බුද්ධගයාව වන්දනාවට යන භික්ෂූන්ට නවාතැන් දීම සඳහා එම ස්ථානයේ ආරාමයක් තැනීමට ලක්දිව රජු සමුද්‍රගුප්තයන් වෙත පුද පඬුරු සහිතව දූතයන් යැවූ බව එම වාර්තාවේ සඳහන් වේ. සිරිමේඝවණ්ණ කල කාලිංග රාජ්‍යය සමගත් සම්බන්ධකම් පැවැති බැව් පෙනේ. කාලිංගයේ වූ දේශපාලන වියවුල් නිසා දන්තධාතූන් වහන්සේ කාලිංග රජු විසින් ආරක්ෂාව සඳහා මෙරටට එවන ලද බව සඳහන් වේ. දළදා පූජාවලියට අනුව දළදාව එවන ලද්දේ මහසෙන් රජු වෙතය. එහෙත් හේමමාලා කුමරිය මෙරටට පැමිණෙන විට මහසෙන් රජු මිය ගොස් මේඝවණ්ණ කුමරා රජ පැමිණ සිටියේය.

ක්‍රි.ව. 5 වන සියවසේ දී නැවතත් දකුණු ඉන්දියානු ජාතිකයන්ගේ ආක්‍රමණයක් මෙරටට එල්ල විය. පණ්ඩු, පාරින්ද, ඛුද්ද පාරින්ද, තිරීතර, දාඨිය හා පීඨිය යනුවෙන් ද්‍රවිඩ රජවරු සදෙනෙක් 433-459 අතරතුර කාලයේ දී පිළිවෙළින් මෙරට රජ කළහ. සිංහල වංශකථාවල මොවුහු සොළීහු යයි හැඳින්වෙතත් එය පිළිගත නොහැකිය. මොවුන් කලාභ්‍ර හෝ පාණ්ඩ්‍ය වංශයට අයත් විය හැකිය. මොවුන්ගෙන් සමහරකු බෞද්ධයන් වූ බව ශිලාලිපිවලින් හෙළි වී ඇත.

ද්‍රවිඩ සේනාවන්ගේ ආධාරය පතා ඉන්දියාවට ගිය රජවරුන් කිහිප දෙනකුන් පිළිබඳව මේ යුගයේ දී විස්තර ලැබේ. මොවුන් අතර මුගලන් (475-512), අග්ගබෝධි (622-644) හා I වන දාඨෝපතිස්ස (643-650) යන රජවරුන් විශේෂයෙන් සඳහන් කළ හැකිය. කලින් කල ලංකාවට පැමිණි දෙමළ කුලී භටයන් හත්වන සියවස වන විට බලසම්පන්නව සිටි අයුරු ඉන්දියාවේ සිටි සිංහල කුමාරයකු කැඳවා ගෙන අවුත් II වන දාඨෝපතිස්ස (659-667) නමින් රජ කරවීමට ඔවුන් සමත්වීමෙන් වටහාගත හැකිය.

කුලී භටයන් ලක්දිවට කලින් කල පැමිණි නමුත් ලංකාව දකුණු ඉන්දියානු රාජ්‍යයක් සමඟ ප්‍රථමවරට සම්බන්ධකම් ඇති කරගන්නා ලද්දේ හත්වන සියවසේ දීය. දකුණු ඉන්දියාවේ පල්ලව වංශය හා ඩෙකානයේ චාලුක්‍ය වංශය අතර වූ සටන්වල දී පල්ලවයනට මානවම්ම නම් සිංහල කුමාරයකුගෙන් ආධාර ලැබිණි. පල්ලවයන්ගෙන් ආධාර ලැබ මානවම්ම රජ ක්‍රි.ව. 681 පමණ ලක්දිව සිංහාසනය ලබාගත්තේය. නරසිංහවර්මන් නම් පල්ලව රජු තමාට ලක්දිව අත් කරගැනීමට හැකි වී යයි ශිලාලිපිවල සඳහන් කරන්නේ මෙම සිද්ධිය පිළිබඳව විය හැකිය. මෙම සිද්ධියෙන් පසුව පල්ලව ජාතිකයන් බොහෝ දෙනකු මෙරට පදිංචියට පැමිණි බවට සාධක ලැබී ඇත.

පඬි තර්ජන

8 වන සියවසේ අවසාන කොටසේ දී දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය බලය වැඩෙමින් පැවතිණි. දකුණු ඉන්දියාවේ විශාල ප්‍රදේශයක් පාණ්ඩ්‍ය අධිරාජ්‍යයට යටත් වීමෙන් පසුව එම අධිරාජ්‍යයෙන් මෙරටට බලවත් තර්ජනයක් එල්ල විය. මෙම කාලයෙන් පසුව දකුණු ඉන්දියාවේ පහළ වූ සියලු අධිරාජ්‍ය නිර්මාපකයන්ගේ දිග්විජය ප්‍රතිපත්තියෙහි ලංකාව ආක්‍රමණය කිරීම වැදගත් කාර්යයක් විය. මෙම තර්ජනයන්ගෙන් මිදීම සඳහා ලක්දිව රජවරු ඉන්දියානු දේශපාලන කටයුතුවලට මැදිහත් වූහ. ඔවුන් විසින් හැම විට ම කරන ලද්දේ නැඟී එන රාජ්‍යයන්ට විරුද්ධ වූවන්ට ආධාර කිරීමයි. මේ මඟින් දකුණු ඉන්දියාවේ සමතුලිතතාව රැකගැනීමටත් යුද්ධ කාර්යයන් දකුණු ඉන්දියාවට සීමා කිරීමටත් ඔව්හු බලාපොරොත්තු වූහ. මෙම දේශපාලන කටයුතුවල දී බොහෝ දුරට බලපෑවේ ඉන්දියානු දේශපාලන න්‍යායයක් වූ මණ්ඩල ධර්මය බව පෙනේ.

මහාවංශයට අනුව දකුණු ඉන්දියානු රජකු විසින් මෙරට ප්‍රථම වරට ආක්‍රමණය කරන ලද්දේ පළමුවන සේනගේ (833-853) රාජ්‍ය සමයේ දීය. ශ්‍රී මාර ශ්‍රී වල්ලභ නම් පාණ්ඩ්‍ය රජතුමා ලක්දිව උතුරු දිග්භාගය ආක්‍රමණය කොට විශාල වස්තුවක් කොල්ලකාගෙන ආපසු ගියේය. මෙම ආක්‍රමණයේ ප්‍රතිඵල වශයෙන් ප්‍රදේශ ඈඳාගැනීමක් නොවීය. ලක්දිව රජුන් ඉන්දියානු දේශපාලන කටයුතු කෙරෙහි අවධානය යොමු කරන්නට පටන් ගත්තේ මෙයින් පසුවයි. මේ සඳහා අවස්ථාවක් දෙවැනි සේන රජුට ලැබුණි. අරිශිල් යුද්ධයට සහභාගි වූ දෙවන සේන රජ ශ්‍රී මාර ශ්‍රී වල්ලභයන් පරදවා දෙවන වරගුණ රජු පාණ්ඩ්‍ය සිංහාසනයට පත් කිරීමට ආධාර කළේය. දෙවන සේන රජු සිහසුනට පත් වූ නවවැනි වර්ෂයේ දී ලැබූ මෙම ජයග්‍රහණය ඔහුගේ පුත් පස්වන කාශ්‍යප රජුගේ සමයේ දී ලියැවුණු බිලීවැව ශිලාලිපියෙන් වර්ණනා වන අතර සේන රජුගේ ශිලාලිපිවල මෙම ජයග්‍රහණය සිහි කිරීමට මදුරාදුනු, මදුරාපහළ යන විරුද නාම යොදා ඇත.

චෝල ව්‍යාප්තිය

දහවන සියවසේ දී පාණ්ඩ්‍ය බලය පිරිහුණු අතර එම ස්ථානය ලබාගැනීමට හැකි වූයේ චෝල බලයටයි. නැඟී ආ චෝල බලවේගය සිංහල දේශයට ස්වභාවයෙන් ම තර්ජනයක් විය. මේ හේතුවෙන් සිංහල දේශය හා පාණ්ඩ්‍ය දේශය අතර පැවති සම්බන්ධතාව දැඩි විය. චෝල බලය මැඩ පැවැත්වීමට පාණ්ඩ්‍යයන්ට පස්වන කාශ්‍යප (914-23) වැනි සිංහල රජුන්ගෙන් ආධාර ලැබුණ ද වෙල්ලූර් සටනේ දී සිංහල, පාණ්ඩ්‍ය දෙසේනාව පරාජයට පත් වූ බව චෝල ශිලාලිපිවල සඳහන් වේ. මෙම සිදුවීම් කෙළවර වූයේ 11 වන සියවස මුල දී ලංකාව චෝල අධිරාජ්‍යයේ මණ්ඩලයක් බවට පත් වීමෙනි.

චෝල බලය ඉන්දියාවට ම සීමා කිරීමට පස්වන කාශ්‍යප රජු කළ උත්සාහය නිෂ්ඵල විය. මුළු දඹදිව එකහෙළි කරන්නට තමාට හැකි වී යයි ඔහු තම ශිලාලිපිවල සඳහන් කරතත් සිංහල සේනාවන් පරාජයට පත් වූ බව ඉහත සඳහන් කරන ලදි. චෝල ව්‍යාප්තිය මැඩපැවැත්වීමට අසමත් වූ පාණ්ඩ්‍ය රාජසිංහ රජ සිය රාජාභරණ රැගෙන තෙවන උදය රජුගේ (935-938) කාලයේ දී මෙරටට පැමිණියේය. ලක්දිව රජුගෙන් ආධාර ලබා ගැනීමට නොහැකි වූ හෙයින් පාණ්ඩ්‍ය රජ රාජාභරණ මෙරට තබා කේරළය බලා ගියේය. මුළු පඬිරට ම යටත් කිරීමෙන් පසුව I වන පරන්තක නම් චෝල රජ අභිෂේකය සඳහා පාණ්ඩ්‍ය රාජාභරණ ලබාගැනීමේ පරමාර්ථයෙන් ලක්දිව ආක්‍රමණය කළේය. එකල ලක්දිව රජ කළේ IV වන උදය (946-954) රජතුමාය. චෝල රාජ්‍යයට රාෂ්ට්‍රකූටයන් කඩා වැදීමේ හේතුවෙන් පරන්තක රජුට ලක්දිව ආක්‍රමණය අතරමඟ නවතා ආපසු යාමට සිදු විය.

IV වන මිහිඳු රජතුමාගේ කාලය (956-972) ඉන්දු-ලංකා සම්බන්ධතාවන්හි වැදගත් යුගයකි. ඔහු කාලිංග දේශය සමඟ විවාහ සම්බන්ධතා ඇති කරගත් බව සඳහන් වේ. මහාචාර්‍ය්‍ය පරණවිතාන මහතා මෙම කාලිංගය ඔරිස්සා ප්‍රදේශයේ වූ පැරණි රාජ්‍යය නොව මලයා අර්ධද්වීපයේ (මෙකල මැලේසියාවේ) වූ රාජ්‍යයක් යයි කල්පනා කරයි. මිහිඳු රාජ්‍ය සමයේ දී VII වන කෘෂ්ණ නම් රාෂ්ට්‍රකූට රජු යටතේ ආක්‍රමණයක් ද චෝල ආක්‍රමණයක් ද ලක්දිව උතුරු පෙදෙසට එල්ල වූ බවට සාධක ලැබී ඇත. මේවා එතරම් ප්‍රතිඵලදායක වී යයි සිතිය නොහැකිය.

1 වන රාජරාජ යටතේ චෝල අධිරාජ්‍යය දකුණු ඉන්දියාවේ බිහි වූ බලවත් ම අධිරාජ්‍යය බවට පත් විය. ක්‍රි.ව. 992-993 අතරතුර කාලයේ දී ඔහු ලක්දිව උතුරුදිග ප්‍රදේශය චෝල අධිරාජ්‍යයට ඈඳාගත්තේය. මෙයින් පසුව උතුරුදිග ප්‍රදේශය චෝල අධිරාජ්‍යයේ මණ්ඩලයක් බවට පත් විය. පොළොන්නරුව එහි මධ්‍යස්ථානය බවට පත් විය. රාජරාජගෙන් පසුව බලයට පත් I වන රාජේන්ද්‍ර ද ලංකාව ආක්‍රමණය කළේය. මෙම ආක්‍රමණයෙන් රුහුණේ සිටි V වන මිහිඳු රජු හා පාණ්ඩ්‍ය රාජාභරණ ද අල්ලාගැනීමට රාජේන්ද්‍රට හැකි විය. චෝල ශිලාලිපිවල රාජේන්ද්‍ර මුළු ලංකාව ම අල්ලා ගත් බව සඳහන් වතුදු රුහුණු ප්‍රදේශය බොහෝ දුරට සිය නිදහස රැකගත්තේය.

චෝලග්‍රහණයෙන් මිදීම

1017 සිට 1070 දක්වා සොළීහු ලක්දිව උතුරුදිග පෙදෙස් චෝල අධිරාජ්‍යයේ මණ්ඩලයක් ලෙස පාලනය කළහ. ඔවුනට රුහුණු පෙදෙසින් නිතර ම විරෝධය එල්ල විය. සොළී පාලනයට විරුද්ධව සිංහලයන් ගෙන ගිය ව්‍යාපාරයට පඬිකුමාරවරුන් ද අයෝධ්‍යාවෙන් පැමිණි කුමාරයකු ද සහභාගි වූ බවට සාධක ඇත. චෝල අධිරාජ්‍යයේ පැවැති අභ්‍යන්තර වියවුල්වලින් ප්‍රයෝජන ගත් I වන විජයබාහු 1070 දී පමණ ලංකාව චෝල පාලනයෙන් මුදවා ගත්තේය. එහෙත් චෝල අධිරාජ්‍යයෙන් එල්ල වූ තර්ජන එයින් අවසන් නොවීය. එම තර්ජනයන්ගෙන් ආරක්ෂා වීම සඳහා විජයබාහු රජතුමා ඉන්දියාවේ රාජ්‍ය කිහිපයක් සමඟ විවාහ සම්බන්ධතා ඇති කරගත්තේය. ඔහුගේ ලීලාවතී බිසව රෝහණයේ කලක් රජ කළ අයෝධ්‍යාවේ ජගතිපාලගේ දියණියකි. හෙතෙම කාලිංග කුමාරිකාවක් වූ තිලෝකසුන්දරී ද සරණපාවා ගත්තේය. ඔහුගේ සහෝදරිය වූ මිත්තා කුමරිය පාණ්ඩ්‍ය කුමාරයකු සමඟ විවාහප්‍රාප්ත වූවාය. ඔහු කර්ණාටයන් හෙවත් බටහිර චාලුක්‍යයන් සමඟ ද සම්බන්ධතා ඇතිකරගත්තේය. චෝල රාජ්‍යයට විරුද්ධ අන් දකුණු ඉන්දියානු රාජ්‍යයන් සමඟ ඔහු සම්බන්ධතා ඇති කරගත් බව මින් පෙනේ. කර්ණාට දේශය බලාගිය සිංහල තානාපතීන්ට නුසුදුසු අන්දමින් කළ කී දේ නිසා චෝල අධිරාජ්‍යය සමඟ ආරාවුලක් ඇති විය. විජයබාහු රජු චෝල දේශය ආක්‍රමණය කිරීමට සූදානම් වුවත් වේලෙයික්කාර භටයන්ගේ කැරැල්ලක් නිසා ඔහුට ඒ අදහස අත්හැර දමන්නට සිදු විය.

මහාපරාක්‍රමබාහුගේ ප්‍රතිපත්තිය

විජයබාහුගෙන් පසු කාලය දේශපාලන වියවුල්වලින් පිරුණු සමයකි. I වන පරාක්‍රමබාහු රාජ්‍යපදප්‍රාප්ත වන තෙක් සිටි රජවරුනට විදේශ කටයුතු පිළිබඳව සිත් යොමු කිරීමට අවස්ථාවක් නොවීය. එහෙත් කාලිංගය සමඟ වූ සම්බන්ධතා දිගට ම පැවතුණු බවට සාධක ඇත. 12 වන සියවස මැද භාගයේ දී පරාක්‍රමබාහු I රජුට මුළු ලක්දිව ම එක්සේසත් කිරීමට හැකිවිය. මෙයින් පසුව ඔහුට විදේශ කටයුතු කෙරෙහි සිත් යොමු කිරීමට අවස්ථාව ලැබිණි. පාණ්ඩ්‍ය දේශයේ සිංහාසනය සඳහා වූ අභ්‍යන්තර යුද්ධයක දී එක් පක්ෂයකට පරාක්‍රමබාහු රජුගේ ආධාර ද අනෙක් පක්ෂයට චෝල රාජ්‍යයේ ආධාර ද ලැබුණේය. තම පාක්ෂිකයාට ආධාර පිණිස පරාක්‍රමබාහු රජතුමා ලංකාපුර නම් සෙනෙවියා යටතේ සේනාවක් යැව්වේය. මුල දී සිංහල සේනාව හැම සටනකින් ම ජය ලබාගත් නමුත් අවසානයේ දී සිංහල සේනාව විනාශ කර එම සෙන්පතීන්ගේ හිස් මදුරාවේ දොරටුවලට තබා ඇණ ගැසීමට චෝලයන්ට හැකි වූ බව චෝල ශිලාලිපිවලින් පැහැදිලිය. එසේ වුව ද පරාක්‍රමබාහු රජතුමා දකුණු ඉන්දියානු ප්‍රතිපත්තිය දිගට ම ගෙන ගියේය. චෝල රාජ්‍යයේ ආධාර ඇතිව සිහසුනට පත් කුලශේඛර රජු තමාගේ පාක්ෂිකයකු කරගැනීමට පරාක්‍රමබාහු රජුට හැකි විය. මේ අයුරින් මහා පරාක්‍රමබාහු රජ තෙමේ ඔහුගේ මරණය දක්වා ම දකුණු ඉන්දියානු දේශපාලන කටයුතුවලට සම්බන්ධ විය.

පාණ්ඩ්‍ය අභ්‍යන්තර අරගළයේ දී සිංහල සේනාවන් නොයෙක් විට පරාජයට පත්වුව ද පරාක්‍රමබාහු රජුගේ ප්‍රතිපත්තිය අසාර්ථක එකක් යයි කිව නොහැකිය. පාණ්ඩ්‍යයන්ට ආධාරදීමෙන් චෝල බලය දුර්වල කරවීමටත් එමෙන් ම දකුණු ඉන්දියාවේ බල සමතුලිතතාව රැකගැනීමටත් ඔහුට හැකි විය. යුද්ධ කටයුතු ඉන්දියාවට ම සීමා කිරීමෙන් ලංකාව ආරක්ෂා කරගැනීමට මෙයින් පිළිවන් විය. එසේ ම පාණ්ඩ්‍යයන්ගේ නිදහස ඇති වූයේ ද පරාක්‍රමබාහු රජුගේ ප්‍රතිපත්තිය නිසාය.

කාලිංග වංශය

පරාක්‍රමබාහු රජතුමාගෙන් පසුව පොළොන්නරුවේ රජපත් රජවරුන් කිහිප දෙනකුන් හැරෙන්නට අන් සියල්ලෝ ම කාලිංග වංශිකයන් වශයෙන් හැඳින්වෙති. මූලාශ්‍රයන්ට අනුව ඔවුන් කාලිංග දේශයෙන් පැමිණි බවත් ඔවුනට මෙරට සිංහාසනය හිමි වූයේ පොළොන්නරුවේ රාජවංශයත් කාලිංග රාජවංශයත් අතර වූ ඥාති සම්බන්ධය නිසා බවත් සදහන් වේ. නිශ්ශංකමල්ල රජුගේ ශිලාලිපිවල ඔහු කාලිංගයේ සිංහ පුරයෙන් පැමිණි බව පැහැදිලිව ම සඳහන් කොට ඇත. සාහසමල්ල මෙරටට පැමිණියේ මෙරටින් ලත් ආරාධනයක් අනුව බව ඔහුගේ ශිලාලිපිවල සඳහන් වේ. ලක්දිව ඉතිහාසයේ වැදගත් තැනක් අයත් වුණු මෙම කාලිංග වංශිකයන්ගේ මුල් භූමිය පිළිබඳව උග්‍ර මතභේදයක් ඇත. මෑතක් වන තුරු ම මෙය ඉන්දියාවේ ඔරිස්සා ප්‍රදේශය යයි පිළිගෙන තිබිණි. එහෙත් ඉහත දැක්වූ පරිදි පරණවිතාන මහතා මෙය ඉන්දියාවේ කාලිංග දේශය නොව එනමින් ම මලයා අර්ධද්වීපයෙහි වූ රාජධානියක් යයි කල්පනා කරයි.

කාලිංග යුගයේ ඉතිහාසය දේශපාලන අවුල්වලින් ගහන වූ හෙයින් කාලිංග වංශිකයන්ට විදේශීය කටයුතු කෙරෙහි අවධානය යොමු කළ හැකි වූයේ කලාතුරකිනි. එම රජවරුන් අතුරින් තරමක් වත් ඉන්දියාවේ දේශපාලන කටයුතු කෙරෙහි අවධානය යොමු කරන්නට හැකි වූයේ නිශ්ශංකමල්ල රජුටය. ඔහු කර්ණාට, නෙල්ලූරු, ගෞඩ, තිලිංග හා ගුජරාථ වැනි රාජ්‍ය සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවත් කාලිංග, වෙංගි, කර්ණාට, නෙල්ලූරු හා ගුර්ජර වැනි රාජ්‍යවලින් කුමාරිකාවන් සරණ පාවාගත් බවත් ඔහුගේ ශිලාලිපිවල සඳහන් වී ඇත. එමෙන් ම පඬි හා සොළී රටවලට ඔහු ආක්‍රමක සේනා යැවූ බවත් සඳහන් වී තිබේ. මෙම ආක්‍රමණ ගැන කෙසේ වෙතත්, ඔහු ඉන්දියාවේ රාමේශ්වරම් ප්‍රදේශයට ගිය බව එහි තිබී සොයා ගන්නා ලද ශිලාලිපියකින් හෙළි වී ඇත. නිශ්ශංකමල්ල රජු පරාක්‍රමබාහු රජුගේ ප්‍රතිපත්තිය අනුගමනය කරන්නට ඇතැයි සිතීමට පුළුවන. නිශ්ශංකමල්ලගෙන් පසුව මෙරට දේශපාලන තත්වය තවදුරටත් පිරිහිණි. මෙයින් අවස්ථාව සලසාගත් සොළීහු කිහිප වරක් ම ලංකාව ආක්‍රමණය කළහ. ලීලාවතී රැජින කල සොළීන් මෙරට තෙවරක් ම ආක්‍රමණය කළ බව සසදාවතේ සඳහන් වේ. කල්‍යාණවතී බිසවගේ (1202-1210) 8 වැනි රාජ්‍ය වර්ෂයේ දී දෙමළ ආක්‍රමණයක් වූ බැව් මිණිපේ ශිලාලිපියේ සඳහන් වේ. පොළොන්නරුවේ අවසාන රජතුමා වූ මාඝ ද පැමිණියේ කාලිංග දේශයෙනි.

13 වන සියවස මැද භාගය වන විට පාණ්ඩ්‍යයෝ ඔවුන්ගේ දෙවන අධිරාජ්‍යය පිහිටුවමින් සිටියහ. තමිළ්නාඩ් ප්‍රදේශයේ බලය ස්ථාවර කිරීමෙන් පසුව පාණ්ඩ්‍යයෝ ලංකාව කෙරෙහි ස්වකීය අවධානය යොමු කළහ. ජටාවර්මන් සුන්දර පාණ්ඩ්‍ය නම් අධිරාජයා 1258 දී නිකුත් කළ සමහර ශිලාලිපිවලින් ඔහු ලක්දිව රජුගෙන් ඇතුන් හා අගනා මැණික් කප්පම් වශයෙන් ලබාගත් බව හෙළි වේ. පරණවිතාන මහතාගේ මතය අනුව පාණ්ඩ්‍ය රජු මෙරට ආක්‍රමණය කෙළේ II වන පරාක්‍රමබාහු රජුගේ ආරාධනයක් අනුවය. උතුරේ බලවත්ව සිටි කාලිංගයන්ට විරුද්ධව මෙසේ ආරාධනා කරන්නට ඇතැයි හේ සිතයි. මුල පටන් ම දකුණු ඉන්දියානු අධිරාජයන් ගෙනගිය දිග්විජය ප්‍රතිපත්තිය ම පාණ්ඩ්‍ය අධිරාජයනුත් ගෙනයන්නට ඇතැයි සිතීම වඩා යුක්තිසහගතය. ජටාවර්මන් වීර පාණ්ඩ්‍ය නම් රජු විසින් 1263 දී නිකුත් කරන ලද ශිලාලිපියකින් ඔහු ද ඊලම් (ලංකාව) ආක්‍රමණය කළ බව කියැවේ. ඊළඟ වර්ෂයේ පළ වූ තවත් ලේඛනයක තමා ලක්දිව සිටි එක් රජකු මරා දැමූ බවත් අනෙකාගෙන් කප්පම් ලබාගත් බවත් ඔහු සඳහන් කොට ඇත. ලංකාව ආක්‍රමණය කරන ලද්දේ ලක්දිව අමාත්‍යවරයකුගේ ආරාධනාවක් පිටය.

ආර්ය චක්‍රවර්ති

I වන භුවනෙකබාහු කාලයේ දී (1272-1284) සිංහල රජවාසල රාජ්පුත් කුලී භටයන් සිටි බව සඳහන් වේ. ඔවුන් ගැන වංශකථාවන්හි සඳහන් වන්නේ අරියඛත්ත යනුවෙනි. භුවනෙකබාහුගේ මරණයත් සමඟ ඇති වූ අන්තර් රාජ්‍ය සමයේ දී රාමේශ්වරමේ සිට පැමිණි ආර්ය චක්‍රවර්ති (බ.) ප්‍රමුඛ පඬි සේනාවක් යාපහුව පැහැර දළදාව ගෙන ගොස් පඬි කුලශේඛර රජුට භාර දුන් බව ද පසුව III වන පරාක්‍රමබාහු රජතුමා පඬි රටට තමන් ම ගොස් දළදාව නැවත මෙහි වැඩම කරවූ බව ද සඳහන් වේ. ඔහු පාණ්ඩ්‍ය අධිරාජ්‍යයේ ආධිපත්‍යය පිළිගන්නට ඇතැයි සිතීමට පුළුවන.

දහතුන්වන සියවස අවසාන වන විට ලක්දිව උතුරුදිග ප්‍රදේශයන්හි ආර්‍ය්‍ය චක්‍රවර්ති නමින් ද්‍රවිඩ රාජ්‍යයක් බිහි විය. මෙම රාජ්‍යය පිහිටුවීමේ දී ඉන්දියාවේ රාමේශ්වරම් ප්‍රදේශයෙන් පැමිණි බ්‍රාහ්මණයන් පිරිසක් මුල් වුණු බැව් සඳහන් වේ. (ආර්ය චක්‍රවර්ති රාජ්‍යය බ). මෙම රාජ්‍යයත් විජයනගර අධිරාජ්‍යයත් අතර සම්බන්ධතා පැවති බවට සාධක ඇත.

විජයනගර අධිරාජ්‍යය

1356-77 කාලයේ රජ කළ 1 වන බුක්ක නම් විජයනගර අධිරාජයා කල උතුරේ දෙමළ රාජ්‍යය විජයනගර ආධිපත්‍යය යටතට පැමිණෙන්නට ඇතැයි සිතීමට පුළුවන. 1378 පමණ කාලයේ දී විජයනගර රජවාසලට ලංකාවෙන් තානාපතීන් යවන ලද බව පෙරිෂ්තා නම් මුස්ලිම් වාර්තාකරුවා සඳහන් කරයි. එමෙන් ම වාර්ෂිකව විජයනගරයට කප්පම් වශයෙන් පඬුරු යවන ලද බව ද හේ කියයි. 1388 දී විරූපාක්ෂක නම් විජයනගර අධිරාජයාත් ලංකාව ආක්‍රමණය කෙළේ යයි ද වාර්තා වේ. විජයනගර මූලාශ්‍රයන්හි සඳහන් වන්නේ උතුරේ වූ රාජධානිය සමඟ පැවැති සම්බන්ධතා පිළිබඳව යයි සිතිය හැකිය.

15 වන සියවස ආරම්භයේ දී දකුණු ඉන්දියාවත් ලංකාවත් අතර පැවති සම්බන්ධතා පිළිබඳ තොරතුරු ප්‍රකට නොවූවත් VI වන පරාක්‍රමබාහු කාලයේ දී (1412-1467) විජයනගර රාජ්‍යයෙන් ආක්‍රමණයක් වූ බව සඳහන් වේ. සිංහල මූලාශ්‍රයන්හි මෙය කන්නඩි ආක්‍රමණයක් යනුවෙන් දැක්වේ. එමෙන් ම සිංහල සේනාවට එම ආක්‍රමණිකයන් පලවා හැරීමට හැකි වූ බව ද සඳහන් කොට ඇත. පරාක්‍රමබාහු රජතුමාට යාපා පටුන යටත් කර ගැනීමට හැකි විය. මේ සමඟ ම ආර්‍ය්‍ය චක්‍රවර්ති රජ ඉන්දියාවට පලා ගියේය. ඔහු පලායන්නට ඇත්තේ විජයනගර රාජ්‍යයට වන්නට ඇතැයි සිතීමට පුළුවන. පරාක්‍රමබාහු රජතුමා දකුණු ඉන්දියාවට ද සේනාවක් යැවූ බව සඳහන් වේ. සිංහල සේනාවට අද්‍රියම්පෙට් නම් වරාය පැහැරගන්නට හැකි විය.

පෘතුගීසි ආක්‍රමණයෙන් පසු

මෙරටට පෘතුගීසීන් පැමිණීමෙන් පසුව ද ඉන්දියාවත් ලංකාවත් අතර සම්බන්ධතා පැවැති බවට සාධක ලැබී ඇත. සීතාවක රජ පැමිණි මායාදුන්නේ පෘතුගීසීන්ට විරුද්ධව කැලිකට්හි සැමොරින් නම් පාලකයාගෙන් උදව් ලබාගත්තේය. මේ සමයේ දීත් ආර්ය චක්‍රවර්ති රජවරු ඉන්දියාව සමග සම්බන්ධකම් පැවැත්වූහ. මහනුවර රජ කළ රාජවංශ ද දකුණු ඉන්දියාව සමඟ සම්බන්ධකම් පැවැත්වූහ. ඔව්හු මලබාර් වෙරළේ නායක්කර් වංශය සමඟ විවාහ සම්බන්ධතා ඇති කරගත්හ. 1739 දී නරේන්ද්‍රසිංහ රජතුමාගේ මරණයෙන් පසුව මහනුවර සිංහාසනය නායක්කර් වංශයට හිමි විය. ඉංග්‍රීසීන් මුළු ලංකාව ම අල්ලාගන්නා තෙක් මහනුවර රජ කළේ මෙම නායක්කර් වංශයයි.

සංස්කෘතික සම්බන්ධතා

ලක්දිව නොයෙක් දිශාවන්හි ආර්‍ය්‍ය ජනපද පිහිටුවීමත් සමඟ ම ආර්‍ය්‍ය සංස්කෘතියට අදාළ දෑ මෙරටට එන්නට ඇතැයි සිතීමට පුළුවන. මෙහි පැමිණි ආර්‍ය්‍ය ජනතාව වී ගොවිතැන හා වාරිමාර්ග කටයුතු පිළිබඳව දැන සිටියහ. කෘෂිකර්මය සඳහා යකඩ නඟුලත් වෙනත් කාර්යයන් සඳහා ලෝහ ආයුධත් ලංකාවට හඳුන්වා දෙන ලද්දේ ආර්‍ය්‍යයන් විසිනැයි සිතිය හැකිය. පසු කාලයේ දී මෙරට වාරිමාර්ග කටයුතු දියුණු වූයේ ආර්‍ය්‍යයන් මෙහි ගෙනෙන ලද දැනුම ආශ්‍රයෙනි. ආර්‍ය්‍යයන්ගේ සමාජ අදහස් ද මෙරට මුල්බැසගත් බව බ්‍රාහ්මණයන් පිළිබඳව පැරණි සෙල්ලිපිවල හා සාහිත්‍යමය මූලාශ්‍රයන්හි සඳහන් වීමෙන් පෙනේ. මෙම මූලාශ්‍රයන්හි බ්‍රාහ්මණයන් ගැන සඳහන් වීමෙන් තවදුරටත් පැහැදිලි වන්නේ වෛදික ධර්මයේ බලපෑම ද මෙරට තුබූ බවයි. පණ්ඩුකාභය සම්බන්ධයෙන් මහාවංසයේ එන විස්තරය අනුව එකල ලංකාවේ පැවැති ආගමික අදහස් බුදුරදුන් කල ඉන්දියාවේ පැවැති ආගමික අදහස්වලට බොහෝ සෙයින් ම සමාන බැව් පරණවිතාන මහතා පෙන්වා දී ඇත.

මහින්දාගමනය

සංස්කෘතික සම්බන්ධතා අතින් වැදගත් ම කාලය උදා වන්නේ දේවානම්පියතිස්ස (ක්‍රි.පූ. 250-210) රජුගෙන් පසු කාලයේ දීය. මිහිඳු මහරහතන්වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස විසින් බුදුදහම ලක්දිව පිහිටුවන ලද්දේ මෙකලය. මේ සමයට පෙර ද මෙරට වැසියන් බුදුදහම ගැන දැනගෙන සිටින්නට ඇතැයි සිතීමට සාධක ඇත. බුදුදහම ඉතා සුළු කාලයක් තුළ දී ලක්දිව නොයෙක් පෙදෙස්වල පැතිර ගිය බව සංඝයාට පුදන ලද ලෙන්වලින් පැහැදිලි වේ. බුදුදහම ඇසුරෙන් බිහි වුණු සම්පූර්ණ සංස්කෘතියක් ද මෙරටට ලැබිණි. අටුවා සහිත ත්‍රිපිටකය ඇතුළු වූ පාලි සාහිත්‍යය හඳුන්වා දෙනු ලැබුයේ මෙකලය. එහි ජාතක කථා වැනි දේ සාමාන්‍ය ජනයා අතර ඉතා ශීඝ්‍රව ව්‍යාප්ත විය. එමෙන් ම මෙරට ලිවීමේ ක්‍රම දියුණු වූ බව ද සිතන්නට පිළිවන. මිහිඳු මහතෙරණුවන් විසින් පාලි ත්‍රිපිටකය හා ආචාර්‍ය්‍යවාද සහිත අර්ථ කථා ලක්දිව ඇතැවැසියනට ඉගැන්වූ බව ද ඒ අතවැස්සන් විසින් අටුවා හෙළ බසින් ලියා තැබූ බව ද සඳහන් වන හෙයින් එකල සිංහලයෙහි ස්ථිර වූ අක්ෂරමාලාවක් හා ලේඛනකලාවක් පැවැති බව පිළිගත යුතුය. ලක්දිව පැරණි බ්‍රාහ්මී අක්ෂර මාලාවත් මෞර්‍ය්‍ය අක්ෂර මාලාවත් අතර සමානත්වයක් දක්නට ඇත. මෞර්‍ය්‍ය කලාශිල්ප ද මෙරටට බුදුදහමත් සමඟ ම හඳුන්වා දෙනු ලැබීය. මෙරට ඉදි කරන ලද පැරණි ම ස්තූප සාංචි ස්තූප අනුව තනන ලද බවට සාධක ලැබී ඇත. බෝධිවෘක්ෂය වටා වූ නොයෙකුත් ගෘහනිර්මාණයන් ද මෙරටට බෝධිශාඛාවක් ගෙන ඊමෙන් පසුව හඳුන්වා දෙන්නට ඇතැයි සිතීමට පුළුවන. මෙම කාර්යයන් සඳහා ඉන්දියාවෙන් හස්තකාර්මිකයන් එන්නට ඇතැයි සිතීමට තුඩු දෙන සඳහන් මහාවංසයේ දක්නට ඇත. ඉන්දියාවේ පැවැති ආකාරයට භික්ෂු හා භික්ෂුණී ශාසන පිහිටුවන ලද්දේත් මෙකලය.

දේවානම්පියතිස්ස රජු කල ඉන්දියානු බුද්ධාගම සමඟ ඇති කරගත් සම්බන්ධතාව පසු කාලයේ දී දිගට ම පවත්වාගෙන යනු ලැබීය. දෙරට අතර භික්ෂු භික්ෂුණීන් ආගිය බව වංශකථාවන්හි නොයෙක් තැන සඳහන් වේ. මහාස්තූපය ගොඩනැඟීම පිළිබඳ උත්සවයන්හි දී දඹදිවින් භික්ෂූන් සහභාගි වූ බැව් මහාවංසයේ සඳහන් වේ. බෝධිමණ්ඩල (බුද්ධගයාව), රජගහ, සාවත්ථි, ඉසිපතන, වේසාලි, පාටලිපුත්‍ර, කෞශාම්බි, උජ්ජයිනී, කාශ්මීර, පල්ලවභෝග, යෝනක අලසන්ද (ඉන්දියාවේ වයඹදිග), වින්ධ්‍යාචල හා වනවාස යන ස්ථානවලින් භික්ෂූහු ඒවාට සහභාගි වූහ. වළගම්බා (ක්‍රි.පූ. 89-77) සමයේ දී මහාවිහාරයට ප්‍රතිපාක්ෂික අභයගිරි නම් වූ විහාරයක් ඇති විය. ඉන්දියාවේ පල්ලවාරාම නම් විහාරයෙන් පැමිණි ධම්මරුචි නම් භික්ෂු නමක් විසින් අභයගිරිවාසීන් ධම්මරුචි ධර්මයට හරවාගත් බව නිකාය සංග්‍රහයේ සඳහන් වේ. බැමිණිටියාසාය පැවැති කාලයේ දී භික්ෂූන් දිවි ගළවාගත්තේ ඉන්දියාවට පලායාමෙන් බව සම්මෝහවිනෝදනියේ සඳහන් වේ.

මහායාන ධර්මයේ ව්‍යාප්තිය

I වන සියවස වන විට ඉන්දියාවේ මහායාන ධර්මය දියුණුව පැවැත්තේය. ආන්ධ්‍ර දේශයේ වූ නාගාර්ජුනිකොණ්ඩ වැනි ස්ථාන මහායාන ධර්මයේ මූලස්ථාන වූ බැව් දැක්වේ. ආන්ධ්‍ර දේශයත් ලංකාවත් අතර මුල සිට ම සම්බන්ධතා පැවතිණි. මහායාන ධර්මය පිළිබඳව ලංකා ඉතිහාසයේ ප්‍රථමයෙන් ම සඳහන් වන්නේ වෝහාරිකතිස්ස (214-236) රජුකලය. වෝහාරිකතිස්ස රජුගේ කපිල නම් අමාත්‍යයා වෛතුල්‍යවාදය මැඩ පැවැත්වූ බව මහාවංසයේ සඳහන් වේ. වෛතුල්‍යවාදය යනුවෙන් දැක්වෙන්නේ මහායාන ධර්මය බව උගතුන්ගේ පිළිගැනීමයි. එසේ වුව ද ඉන්දියාවේ මහායාන ආචාර්‍ය්‍යවරුන් සමඟ ඇති වුණු සම්බන්ධතා පිළිබඳව ප්‍රථම නිශ්චිත සඳහන ලැබෙන්නේ ගෝඨාභය (253-266) සමයේ දීය. වෛතුල්‍යවාදය මඬිනු වස් ක්‍රියා කළ එරජ එම වාදය ගත් භික්ෂූන් 60 දෙනකුන් මෙරටින් පිටුවහල් කළේය. ඔව්හු සොළීරට කාවේරි පටුනේ විහාරයක ලැගුම්ගත්හ. වෛතුල්‍යවාදය පිළිගත් භික්ෂූන්ට කරන ලද අවමානයට පළිගන්නට සිතාගත් ඔවුන්ගේ ගෝලයකු වූ සංඝමිත්ත නම් ඉන්දියානු තෙර නමකට ගෝඨාභය රජුගේ හිත දිනාගැනීමට හැකි විය.

මහාසේන (276-303) රජුගේ කාලයේ දී සංඝමිත්ත නම් භික්ෂුවට රජුගේ ආධාර ඇතිව මහාවිහාරය විනාශ කරන්නට හැකි විය. සංඝමිත්ත භික්ෂුව පසුව මරණයට පත් කරන ලද නමුත් මහායාන අදහස් මෙරටින් තුරන් නොවීය. ලංකාවේ භික්ෂූන්ගෙන් එක් කොටසක් ඉන්දියාවේ බෞද්ධ මධ්‍යස්ථාන සමඟ සම්බන්ධකම් පැවැත්වූ බව මෙම කරුණුවලින් පැහැදිලි වේ. ඉන්දියාවෙන් අලුත් අදහස් මෙරටට පැමුණුණාක් මෙන් ම මෙරටින් ද යම් යම් අදහස් ඉන්දියාවට පැතිර ගිය බවට සාධක ඇත. නාගාර්ජුනිකොණ්ඩ නම් ස්ථානයෙන් සොයාගන්නා ලද ක්‍රි.ව. 2 වන හෝ 3 වන සියවසට අයත් ශිලාලිපියක එම ස්ථානයේ වූ ‘සීහල’ විහාරයක් ගැන සඳහන් වේ. ලංකාවෙන් ගිය භික්ෂූන් නාගාර්ජුනිකොණ්ඩයේ භික්ෂූන්ගේ ආධාර ඇතිව ගන්ධාර, කාශ්මීර වැනි පෙදෙස්වල ධර්මය ව්‍යාප්ත කරලීමෙහි යෙදුණ බවත් එම ශිලාලිපියේ දැක්වේ. මෙම සම්බන්ධතාවන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් මහායාන අදහස් දිගට ම පාහේ මෙරටට පැමිණෙන්නට පටන් ගති.

ක්‍රි.ව. 4 වන 5 වන සියවස්වල දී ලංකාව විශේෂයෙන් ම සම්බන්ධතා පවත්වන ලද්දේ ගුප්ත අධිරාජ්‍යයත් සමඟය. මේ බව පාහියන්ගේ දේශටන වාර්තාවෙන් පැහැදිලි වේ. ශ්‍රී මේඝවර්ණ (303-331) රජු බුද්ධගයාවේ සිංහල භික්ෂූන්ගේ පහසුව සඳහා විහාරයක් කරවූ බව පෙනේ. මෙයින් පැහැදිලි වන්නේ බුද්ධගයාව වන්දනයට ලංකාවෙන් භික්ෂූන් නිතර ගිය බවය. ගුප්ත සමයේ දී මහායාන ධර්මය හීනයාන ධර්මයට වඩා ප්‍රධාන තැනක් ගත් බව පෙනේ. ධාතුසේන සමයේ දී බෝධිසත්ව පූජාව වැනි දේ මෙරටට ලැබෙන්නට ඇත්තේ ගුප්ත රාජ්‍යය සමඟ වූ සම්බන්ධතාවන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් යයි සිතිය හැකිය.

අටුවා පාලියට නැංවීම

පස්වැනි සියවස මෙරට අටුවා සාහිත්‍යය පිළිබඳ වැදගත් ම කාලයයි. අනෙකුත් දේශයන්හි බෞද්ධයන්ගේ හිතසුව පිණිස බුද්ධඝෝෂ හිමියන් මහානාම රජු කල මෙරටට පැමිණ හෙළ අටුවා පාලි භාෂාවට පරිවර්තනය කළ බව දැක්වේ. චූලවංසයෙහි දැක්වෙන පරිදි බුද්ධඝෝෂ හිමියන් පැමිණියේ බුද්ධගයාවෙහි සිටය. තවත් අටුවාචාරීන් දෙදෙනෙකු වූ ධම්මපාල හා බුද්ධදත්ත යන තෙරුන් පැමිණියේ දකුණු ඉන්දියාවෙහි සිටය. ඉන්දියාවේ බෞද්ධ මධ්‍යස්ථානයන් සමඟ වූ සම්බන්ධතා දිගට ම පැවැත්වුණු බවට සාධක ඇත. බුද්ධගයාවෙන් සොයාගන්නා ලද, ක්‍රි.ව. 518ට පමණ අයත් ශිලාලිපියක ලංකාවෙන් ගිය භික්ෂූන් කිහිප දෙනකුන් ගැන සඳහන් වේ. ශිලාලිපිය ලියූ මහානාම නම් ස්ථවිරයන් බුද්ධගයාවේ විහාරයක් හා ප්‍රතිමාවක් කරවූ බව සඳහන් වේ. සිලාකාල රජතුමා (522-535) කලක් බුද්ධගයාවේ භික්ෂුවක ලෙස කාලය ගත කළ බව දැක්වේ. ඔහු ලංකාවට පෙරළා පැමිණියේ කේශ ධාතුව රැගෙනය. ඉන්දියාවේ සිටින කාලයේ දී ඔහු මහායාන ධර්මයේ ආභාසය ලබන්නට ඇතැයි සිතීමට පුළුවන. ඔහුගේ 12 වැනි රාජ්‍ය වර්ෂයේ දී බරණැසින් ධම්මධාතු නම් ග්‍රන්ථයක් මෙරටට ගෙන එන ලදි. එම ග්‍රන්ථයට රජතුමා මහත් පුදපූජා පැවැත්වූ බව සඳහන් වීමෙන් පැහැදිලිවන්නේ එය ධර්ම ග්‍රන්ථයකට වඩා පූජනීය වස්තුවක් වූ බවයි. එය මහායාන ග්‍රන්ථයක් වන්නට ඇත. අග්ගබෝධි (595-608) සමයෙහි මෙරට ථෙරවාදීන් හා වෛතුල්‍යවාදීන් අතර මතභේද හටගැනිණි. ථෙරවාදීන්ගේ නායකත්වය ගෙන ක්‍රියා කෙළේ ඉන්දියාවෙන් පැමිණි ජෝතිපාල නම් භික්ෂු නමකි.

තන්ත්‍රයානය

හත්වන සියවසේ දී වැදගත් මහායාන ආචාර්‍ය්‍යවරු දෙදෙනෙක් මෙහි පැමිණියහ. ගුණවර්මන් නම් ආචාර්‍ය්‍යවරයා කාශ්මීර රජපවුලට අයත් වූවෙකි. ඔහු පැමිණියේ ජාවා රට බලා යන ගමනේ දීය. වජ්‍රබෝධි නම් ආචාර්‍ය්‍යවරයා පැමිණියේ පල්ලව රජවාසල කලක් වාසය කළ පසුය. හෙතෙම චීනය බලා ගමන් ගත් අයෙකි. මේ දෙදෙන ම මහායානය මෙරට ව්‍යාප්ත කිරීමට උත්සාහ දැරූහ. පල්ලව ග්‍රන්ථ නම් අක්ෂර මාලාවෙන් ලියන ලද තිරියායි හා මිහින්තලේ ශිලාලේඛනවල ගැබ් වී ඇත්තේ මහායාන ධර්ම කොටස්ය. මේවා මෙකී ආචාර්‍ය්‍යවරුන් දරන ලද පරිශ්‍රමයේ ප්‍රතිඵල වන්නට පුළුවන. තන්ත්‍රයානය ද ලංකාවට ඉන්දියාවෙන් පැමිණි බවට සාධක ලැබී ඇත. සේන රජතුමාගේ කාලයේ දී (833-853) ඉන්දියානු භික්ෂු නමක් වාජිරියවාදය මෙරටට ගෙන ආවේය. මෙම ධර්මය දියුණුව පැවැත්තේ ඊසානදිග ඉන්දියාවේය. එය ලංකාවට පැමිණියේ ද එම පෙදෙසින් බවට සාධක දැක්විය හැකිය. තන්ත්‍රයානිකයන්ගේ ධාරණී සංඛ්‍යාත මන්ත්‍ර සඳහන් වන ශිලාලිපි මෙරටින් සොයාගෙන ඇත. මේවා ලියා ඇත්තේ ඊසානදිග ඉන්දියාවේ ප්‍රචලිතව පැවැති නාගරී අක්ෂර මාලාවෙනි. අනුරාධපුර යුගය අවසාන වන විට මෙම ධර්මය පිළිගත් ජනයා මෙරට විශාල වශයෙන් සිටි බව බුදුරුවගල හා වැලිගම ඇති මහායාන ප්‍රතිමාවලින් පැහැදිලි වේ.

සංස්කෘත භාෂාව ඉගෙනීම

මහායානය මෙරට පැතිරයාමේ ප්‍රතිඵලයක් වශයෙන් සංස්කෘත භාෂාව හා සාහිත්‍යය පිළිබඳ උනන්දුව වැඩි වූ බව පෙනේ. සංස්කෘත භාෂාවෙන් ලියන ලද ශිලාලිපි කිහිපයක් ම මෙරටින් හමු වී ඇත. ජානකීහරණය නමැති සංස්කෘත කාව්‍යය මෙරට කවියකු විසින් 7 වැනි සියවසේ දී කරන ලද්දකි. සියබස්ලකර වූකලි දණ්ඩීන්ගේ කාව්‍යාදර්ශය සිංහලයෙන් සකස් කර ගැනීමකි.

ඈත අතීතයේ සිට ම මෙරට ශෛව ලබ්ධිකයන් සිටි බවට සැකයක් නොමැත. දකුණු ඉන්දියානු ජාතිකයන් වැඩි වශයෙන් විසූ මහාතිත්ථ වැනි ස්ථානවල ශිව දේවාල තිබුණු බව දැක්වේ. ඉන්දියාවේ ශිවභක්තිකයන් මෙම දේවාල ගැන දැනගෙන සිටි බව 7 වන සියවසට අයත් තේවාරම් නම් ශෛව භක්ති ගීතවලින් පැහැදිලි වේ.

කලාශිල්ප දියුණුව

ලක්දිව කලාශිල්ප ඉතිහාසයේ ආරම්භය ඇති වූයේ බුදුදහම මෙරටට ගෙන ඊමත් සමඟයි. ගෘහනිර්මාණ ශිල්පය ආරම්භ වූයේ මෞර්‍ය්‍ය ආභාසය ඇතිවය. ස්තූප ගොඩනැඟීමේදී සාංචි ස්තූපයේ ආභාසය ලබාගත් බව යට සඳහන් කරන ලදි. වටදාගේ, බෝධිඝර වැනි දේ ද මෙරට දියුණු වූයේ ඉන්දියානු නිර්මාණයන්ගෙන් ආභාසය ලැබීමෙනි. ගෘහනිර්මාණයේ දී මුල් ස්වරූපය ඉන්දියාවෙන් ලබාගත්ත ද එය මෙරටෙහි දී විශේෂ අංගෝපාංග සහිතව දියුණු විය. ස්තූප ගැන කියන විට විශේෂයෙන් සඳහන් කළ හැක්කේ වාහල්කඩය. මෙම වාහල්කඩ ලක්දිව ස්තූපයන්ට එකතු වූයේ දෙවන ශතවර්ෂයේ දීය. වාහල්කඩ පෙර දී හැඳින්වූයේ ආයක යන නමිනි. ආන්ධ්‍ර දේශයේ ස්තූපවල ද මෙවැනි ම අංගයක් දක්නට ඇත. වාහල්කඩ ලංකාවේ ඇති වූවක් හෝ ආන්ධ්‍ර දේශයෙන් ලබාගත්තක් ලෙස සැලකීමට පුළුවන. වටදාගේ ආදිය පිළිබඳව අදහස ඉන්දියාවෙන් ලබාගත්ත ද ඒවා නියම ලෙස විකසනය වූයේ ලංකාවේ දීය.

දිවයිනට ආසන්න දකුණු ඉන්දියාවේ ගොඩනැඟිලි සඳහා දැවදඬු වෙනුවට ගල් භාවිතය ආරම්භ වූයේ 7 වන සියවසේ දීය. මෙය ලංකාවට ද බලපෑ බව දෙවුන්දර උපුල්වන් දේවාලයෙන් හා නාලන්දා ගෙඩිගෙයින් පැහැදිලි වේ. මේ ගොඩනැඟිලි දෙක ම සම්පූර්ණයෙන් ම ගලෙන් නිමවා ඇත. නාලන්දා ගෙඩිගේ කෙරෙහි විශේෂයෙන් ම පල්ලව ගෘහනිර්මාණ ශිල්පය බලපා ඇති බව පෙනේ. මෙම පල්ලව බලපෑම් ලංකාවට ලැබෙන්නට ඇත්තේ මානවම්ම මෙරට රජ වීමෙන් පසුව යයි කීම උචිතය.

මූර්තිකලාව අතින් ද මුල් කාලයේ දී නොයෙකුත් ආභාසයන් ඉන්දියාවෙන් මෙරටට ලැබුණු බව පෙනේ. ඉන්දියාවේ ඒ ඒ කැලවල දී බිහි වුණු කලාශිල්ප ක්‍රමයන්ගේ බලපෑම මෙරටට ද ලැබුණි. ලක්දිව මූර්තිකලාවේ ආදි ම නිදසුන් ලැබී ඇත්තේ ස්තූපයන්හි දක්නට ඇති වාහල්කඩවලිනි. මිහින්තලේ කණ්ටක චේතියේ වාහල්කඩ නිදසුනක් වශයෙන් ගත හැකිය. මෙම වාහල්කඩවල දක්නා කැටයම් හා ඉන්දියාවේ භර්හුත්, සාංචි, බුද්ධගයා වැනි ස්තූපයන්හි කැටයම් අතර විශාල සමානත්වයක් පෙනේ. මෙයින් පැහැදිලි වන්නේ ලක්දිව කැටයම් කලාව මධ්‍යම ඉන්දියානු කලා ක්‍රමයකින් ප්‍රභවය ලැබූවක් බවය.

අමරාවතී බලපෑම්

සාතවාහන යුගයේ දී ඩෙකානයේ අමරාවතිය මුල්කොටගෙන අලුත් කලා ක්‍රමයක් බිහි විය. අමරාවතී වැනි බෞද්ධ මධ්‍යස්ථාන සමඟ දැඩි සම්බන්ධතා පැවතුණු හෙයින් අමරාවතී කලා ක්‍රමය මෙරටට ද බලපෑවේය. මෙම බලපෑම් ලක්දිව කලාශිල්පයන්ගේ දියුණුවට විශාල රුකුලක් වූ බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. ආන්ධ්‍ර දේශයේ නිම කොට ලංකාවට ගෙනෙන ලදැයි සිතිය හැකි මූර්ති හා කැටයම් කිහිපයක් මෙරටින් සොයාගෙන ඇත. මේ අතර මහ ඉලුප්පල්ලමෙන් හා පොළොන්නරුවේ පබළු වෙහෙරෙන් සොයාගත් බුදුපිළිමත් දැනට කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කොට ඇති ‘මායාගේ සිහිනය’ හා ‘ශ්‍රාවස්තියේ ප්‍රාතිහාර්යය’ යන කැටයම් ආදියත් පෙන්වා දිය හැකිය. මෙම කැටයම් හා පිළිම නිමවා ඇත්තේ ලංකාවේ දක්නට නොලැබෙන කිරිගරුඬ වර්ගයකිනි. මේවා අමරාවතී ප්‍රදේශයට විශේෂ වූ ගල් වර්ගයකි. එහෙයින් මෙම මූර්ති හා කැටයම් ආන්ධ්‍ර දේශයෙන් ගෙන ආ බවට කිසිදු සැකයක් නොමැත. ළඟ දී මැදවච්චියෙන් සොයාගත් ලෝකඩ හිටි පිළිමය ද අමරාවතී ශෛලිය අනුව තනන ලද්දකි. මෙම පිළිමය ලංකාවෙන් සොයාගත් ආදි ම පිළිමය ලෙස සැලකේ. ලක්දිව බුදුපිළිමය ඇතිවීමේ දී ආන්ධ්‍ර ආභාසය මුල් වන්නට ඇතැයි යනු පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. මෙයට ප්‍රතිවිරුද්ධ මතයක් ද ඉදිරිපත් වී ඇත. මෙම ක්‍රමයේ බුදුපිළිම පළමුවෙන් ලක්දිව ඇති වන්නට ඇති බවත් ලංකාවෙන් ආන්ධ්‍රදේශය මෙම ක්‍රමය ලබාගන්නට ඇති බවත් එකී මතය ගත්තෝ කල්පනා කරති. අනුරාධපුර යුගයේ නිමවන ලද හිටි පිළිම සියල්ල ම වැඩි වශයෙන් අනුගමනය කර ඇත්තේ ආන්ධ්‍ර බුදුපිළිමවල ආකාරයයි. එක ම වෙනසකට ඇත්තේ පසු කාලයේ පිළිම ප්‍රමාණයෙන් විශාල වීම පමණි.

බ්‍රාහ්මී අක්ෂරමාලාවේ දියුණුවට ද ආන්ධ්‍ර බලපෑම හේතු වූ බව පෙනේ. ක්‍රිස්තු වර්ෂයෙන් මුල් සියවස්වල දී මෙරට අක්ෂරමාලාවේ වැදගත් වෙනස්වීම් දක්නට ඇත. ඒවා බ්‍රාහ්මී අක්ෂර මාලාවේ ස්වාභාවික විකාසයක් නොව ආන්ධ්‍ර දේශයෙන් ලැබුණු බලපෑම්වල හේතුවෙන් ඇති වූ බව ජේතවනාරාම සෙල්ලිපියෙන් පැහැදිලි වේ. ආන්ධ්‍රදේශය සමඟ වූ සම්බන්ධතා පිළිබඳව තවත් වැදගත් සාධකයක් ලැබී ඇත. පස්වැනි සියවසේ දී බුද්ධඝෝෂ අටුවාචාරීන් මෙරට සිටිද්දී ඇසුරු කළ අටුවා අතර අන්ධකට්ඨකථා යනුවෙන් ද අටුවාවක් වූ බව දැක්වේ.

ගුප්ත බලපෑම්

ගුප්ත ඉන්දියාව සමඟ වූ සම්බන්ධතා ද මෙරට කලා ශිල්පයන්ගේ දියුණුවට විශාල අනුබලයක් විය. ගුප්ත සමය ඉන්දියානු කලා ශිල්පයන්ගේ ශ්‍රේෂ්ඨතම යුගයයි. මෙම සමයට අයත් බුදුපිළිම බෞද්ධ කලා ඉතිහාසයේ වැදගත් තැනක් ගනී. ගුප්ත බලපෑම ලංකාවෙන් හමු වී ඇති සමහර බුදුපිළිම කෙරෙහි දක්නට ඇත. ගුප්ත කලාශිල්ප මෙරට තුළ බලපා ඇති බව දැක්වීමට හොඳ ම නිදසුන ලැබෙන්නේ ඉසුරුමුණියෙනි. ඉසුරුමුණියේ ඇති පෙම්යුවළ නිරූපණය කරන කැටයම ගුප්ත ආභාසය ලැබ කරන ලද ශ්‍රේෂ්ඨ කලා කෘතියකි. සීගිරි සිතුවම් කෙරෙහි ද බලපා ඇත්තේ ගුප්ත සමයට අයත් අජන්තා ලෙන් ගුහාවල ඇති සිතුවම්ය. මෙම මතයට විරුද්ධ අදහස් ද ඇති බව සඳහන් කළ යුතුය. මහනුවරට ආසන්න හිඳගල විහාරයෙන් සොයාගෙන ඇති සිතුවම් ද මෙම ගණයට ම අයත් වේ. හිඳගල විහාරයේ සිතුවම් අජන්තා සම්ප්‍රදාය ම අනුගමනය කරමින් කරන ලද සේ පෙනේ.

පල්ලව කලා ශිල්පයන්ගේ ආභාසය ද මෙරට කලාශිල්ප දියුණුවට උපකාරී වූ බැව් පෙනේ. ඉසුරුමුණියේ ‘මිනිසා සහ අශ්ව හිස’ කැටයම පල්ලව ක්‍රමයට කරන ලද්දකි. එම ස්ථානයේ ම දක්නට ඇති පොකුණේ ඇතුන් ජලක්‍රීඩා කරන සැටියෙන් දක්වා ඇති කැටයම මහබලිපුරම්හි කැටයම් සිහිපත් කරවයි. සිතුල්පව්වෙන් හා මඩකලපු දිස්ත්‍රික්කයේ කුරුක්කල්මදම් යන ස්ථානයෙන් සොයාගෙන ඇති බෝධිසත්ව රූප ද තිරියායි වටදාගෙයි දක්නට ලැබෙන ද්වාරපාල රූප ද පල්ලව බලපෑම ඇතිව කරන ලද ඒවාය. කලාශිල්ප කෙරෙහි මෙන් ම සිංහල අක්ෂරමාලාවේ දියුණුව කෙරෙහි ද පල්ලව දේශය බලපා ඇති බව පෙනේ. තිරියායි, කුච්චවේලි හා පංකුලිය යන ශිලාලිපි ලියා ඇත්තේ පල්ලව ග්‍රන්ථ නම් අක්ෂර මාලාවෙනි. 7 වැනි ශතවර්ෂය වන විට සිංහල අක්ෂරයන් වටකුරු ස්වභාවයක් ගෙන ඇත්තේ මෙම බලපෑම හේතු වෙන් යයි පිළිගෙන ඇත.

8 වන 10 වන සියවස් අතර මෙරට කැටයම් කෙරෙහි පාල කැටයම් කලාවේ බලපෑම් ද දක්නට ඇත.

රාජ්‍ය තන්ත්‍රය

අනුරාධපුර යුගයේ අවසාන කාලයේ මෙරට පදිංචි වූ ද්‍රවිඩ සේනාවන් නිසාත් ලංකාව කාලයක් චෝල අධිරාජ්‍යයේ මණ්ඩලයක්ව පැවැති නිසාත් පොළොන්නරු යුගයේ දී දකුණු ඉන්දියානු අදහස් බොහෝ සෙයින් මෙරටට බලපාන්නට විය. මේ යුගයට අයත් දෙමළ ශිලාලිපි බොහොමයක් ම දක්නට ඇත. දකුණු ඉන්දියානු අදහස් දේශපාලන සංස්ථා කෙරෙහි ද බලපා ඇති බව පෙනේ. මේ යුගයේ පාලන තන්ත්‍රයේ තනතුරු අතර මෙකාප්පර්, අගම්පඩි, දෙමළඅධිකාරි වැනි වචන භාවිත විය. පොළොන්නරු යුගයේ රජවරුන් ඉන්දියානු දේශපාලන ග්‍රන්ථ පිළිබඳව දැනගත්තේ දකුණු ඉන්දියානු බලපෑම ආශ්‍රයෙන් යයි සිතීමට පුළුවන. දකුණු ඉන්දියානු සම්බන්ධය දැඩි වීම මෙරට සංස්කෘත භාෂාවේ දියුණුවට ද ආධාරයක් විය. පරාක්‍රමබාහු කෞටිල්‍යයන්ගේ අර්ථශාස්ත්‍රය ප්‍රගුණ කළ බව චූලවංශයේ දැක්වේ. එමෙන් ම ඔහු මහාකාව්‍ය ආදිය පිළිබඳව ද දැනුමක් ඇත්තෙක් විය. “[රජ] දරුවන් මනුෂ්‍ය රූපයෙන් සිටිය ද නරදේවතා හෙයින් දෙවියන් සේ දැක්ක යුතුයැ”යි නිශ්ශංකමල්ල ඔහුගේ ගල්පොත ශිලාලිපියේ සඳහන් කොට ඇත. මෙය මනුස්මෘතියේ අදහස්වලට අනුකූල වේ. එමෙන් ම රජවරුන් රජවාසල කටයුතු සඳහා බ්‍රාහ්මණයන්ගේ සේවාවන් පෙර නොවූ පරිද්දෙන් ලබාගත් බව පෙනේ.

හින්දු ආගම පැතිරීම

ලංකාව චෝල මණ්ඩලයක් වීම නිසාත්, මෙරට ද්‍රවිඩ ජනකායක් පදිංචි වීම නිසාත් හින්දු ආගම පොළොන්නරු යුගයේ දී මෙරට තරමක් ව්‍යාප්ත විය. සොළීන්ගේ වැඩි අනුග්‍රහය ලැබුණේ ශෛව ආගමට හෙයින් මෙරට වඩාත් පැතිර ගියේ එම හින්දු ආගමයි. සොළී යුගයට අයත් දේවාල කිහිපයක් දක්නට ඇත. මේ අතර වැඩි වශයෙන් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ පොළොන්නරුවේ අංක 2 දරන ශිව දේවාලයයි. සොළීන් මෙරට පාලනය කරන කල ‘චතුර්වේදී මංගලම්’ ආදි බ්‍රාහ්මණ ජනපද මෙරට ඇති වූ බව ශිලාලේඛන සාධක මගින් පැහැදිලි වේ. චෝලයන් මෙරටින් පලවා හැරීමෙන් පසුව ද ශෛව ආගමට සිංහල රජදරුවන්ගේ අනුග්‍රහය ලැබුණු බව I විජයබාහුගේ කන්තලේ ශිලාලිපියෙන් පැහැදිලි වේ. විජයබාහු රජතුමා විසින් අග්‍රහාර ගමකට කරන ලද ප්‍රදානයක් ගැන එහි සඳහන් වේ. හින්දු ආගමේ බලපෑම බුද්ධාගම කෙරේ ද දක්නට ලැබෙන්නේ මෙම යුගයේ දීය. කල්‍යාණවතීගේ ශිලාලිපියකට අනුව රුවන්වැලි සෑයේ පූජාවන් සඳහා බ්‍රාහ්මණයන්, බෙරකරුවන්, වාද්‍යකරුවන් හා නෘත්‍යකරුවන් යන මොවුන්ගේ සහාය ලබාගත් බව පෙනේ. හින්දු දෙවිවරුන් සහ බුද්ධාගම අතර තරමක් දුරට සංකලනයක් මේ යුගයේ දී ඇති විය. විජයබාහු සමයට අයත් මහියංගන ස්තූපයේ ධාතු ගර්භයේ ඇති සිතුවමක බුදුන් පිරිවරා ශිව, විෂ්ණු හා කාර්තිකේය යන හින්දු දෙවිවරුන් සිතියම් කොට ඇත.

පොළොන්නරු යුගයේ දී දකුණු ඉන්දියානු කලාශිල්ප ක්‍රම අනුව නිමවන ලද කෘති බොහොමයක් ම හමු වී ඇත. පොළොන්නරුවේ අංක 2 දරන ශිව දේවාලය චෝල ගෘහනිර්මාණ ශිල්පය අනුව තනන ලද්දකි. ප්‍රමාණයෙන් කුඩා වුවත් එය චෝල දේශයේ දේවාලයන් හා සම කළ හැකිය. මේ හැරෙන්නට ලෝකඩයෙන් තනන ලද මූර්ති විශාල සංඛ්‍යාවක් හමු වී ඇත. මෙම මූර්තීන් නිම කිරීමේ දී චෝල පාලකයන් සිංහල කාර්මිකයන්ගේ සේවය ලබාගන්නට ඇතැයි ගොඩකුඹුරේ මහතා කල්පනා කරයි.

එසේ වුව ද සිංහල කලාශිල්ප දියුණුවට චෝල පාලන සමය බලපා ඇත්තේ සුළු වශයෙනි. ලංකාවේ ලෝකඩ ශිල්ප ක්‍රමය දියුණුවීමේ දී ඉන්දියානු මූර්තීන්ගේ මූලික බලපෑම් ලැබෙන්නට ඇතැයි සිතීමට පුළුවන. පොළොන්නරුවේ ගෘහනිර්මාණය සහ අනෙකුත් කලාවන් කෙරෙහි චෝල බලපෑම ඉතා සුළුය. පොළොන්නරුවේ කලාශිල්පයන් අනුරාධපුර යුගයේ කලාශිල්පයන්ගේ ස්වාභාවික විකාසයක් බව පරණවිතාන මහතා නිදසුන් සහිතව පෙන්වා දී ඇත.

මේ යුගයේ දී ද ලංකාවේ බෞද්ධයන් ඉන්දියාවේ බෞද්ධ මධ්‍යස්ථාන සමඟ සම්බන්ධකම් පැවැත්වූ බව පෙනේ. විජයබාහු රජතුමා බුද්ධගයා විහාරයට පඬුරු යැවූ බව සඳහන් වේ. මේ යුගයේ දකුණු ඉන්දියාවේ නාගපටුන හා කාංචි වැනි ස්ථානවල ථෙරවාද මධ්‍යස්ථාන කිහිපයක් විය. මේ මධ්‍යස්ථාන සමඟ වූ සම්බන්ධය ඉතා දැඩි විය. එසේ වුව ද ඉන්දියාවේ බෞද්ධාගම පිරිහීමෙන් පසුව ලංකාවේ බෞද්ධයෝ බුරුමය, සියම වැනි අග්නිදිග ආසියාතික රටවල් කෙරෙහි වැඩිවැඩියෙන් සැලකිල්ල යොමු කරන්නට වූහ.

18 වන සියවසේ දී උතුරු ඉන්දියාව මුස්ලිම් බලය යටතට පත් වූවාට පසු ලංකාවාසීන් සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇත්තේ දකුණු ඉන්දියාව සමඟ පමණි. එසේ හෙයින් හින්දු ආගමේ බලපෑම මෙරටට බෙහෙවින් ම ලැබිණි. පොළොන්නරුවේ අංක 1 දරන ශිව දේවාලය පාණ්ඩ්‍ය ගෘහනිර්මාණ ශිල්පය අනුව තනන ලද්දකි. 14 වන සියවස පමණ වන විට බුද්ධාගමත් හින්දු ආගමත් අතර කිට්ටු සම්බන්ධයක් ඇති වනු දක්නට ලැබේ. හින්දු ආගමේ සමහර දෙවිවරුන් බෞද්ධ ස්වරූපයක් ගත්තේ මෙයින් පසුවයි. සමහර බෞද්ධ භික්ෂූන් පවා දෙවිවරුන් පිදීමට පටන් ගත් බව සන්දේශ කෘතිවලින් පැහැදිලි වේ. විවිධ දෙවිවරුන්ට කැප කරන ලද දේවාල දිවයිනේ නොයෙකුත් ස්ථානවල බිහි විය. මෙම දේවාල අතර කතරගම ස්කන්ද දේවාලය අග්‍ර ගණයේ වැටේ. මෙම දේවාලවල තේවාවන් සඳහා දේවදාසීන් හා බ්‍රාහ්මණයන් වූ බව සඳහන් වේ. 13 වන සියවසේ දෙවිනුවර බ්‍රාහ්මණ ගමක් (අග්‍රහාරයක්) වූ බව ශිලාලිපියක සඳහන්ව ඇත. හින්දු ආගමත් බෞද්ධාගමත් අතර වූ සම්බන්ධය කෙතෙක් දැඩි වී ද යත් ගම්පොළ යුගය වන විට දෙවිවරුන් පිදීම බෞද්ධ විහාර තුළ ම කරන ලදි. ගඩලාදෙණිය හා ලංකාතිලකය මෙවැනි විහාර දෙකකි. සිංහල රජවාසල ද බ්‍රාහ්මණ බලපෑම වැඩිදියුණු වූයේ මේ කාලයේ දීය. රජවරුන් විසින් සිංහලෙන් හා දෙමළෙන් ශිලාලිපි නිකුත් කිරීම දක්නට ලැබෙන්නේ ගම්පොළ සමයේ දීය. දකුණු ඉන්දියානු බලපෑම වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ උතුරේ වූ ආර්‍ය්‍ය චක්‍රවර්ති රාජ්‍යයේ ය. මෙම රාජ්‍යයත් විජයනගර් රාජ්‍යයත් අතර සංස්කෘතිය අතින් දැඩි සම්බන්ධතාවක් විය. ආර්‍ය්‍ය චක්‍රවර්ති රාජ්‍යය දකුණු ඉන්දියානු රාජ්‍යයක ස්වරූපය දැරීය.

මෙම යුගයේ කලාශිල්පයන් කෙරෙහි බලපෑවේ විජයනගර් අධිරාජ්‍යයයි. ගඩලාදෙණි හා ලංකාතිලක විහාර විජයනගර් ගෘහනිර්මාණ ක්‍රමය අනුව ගොඩනඟා ඇති බව පෙනේ. මහනුවර නාථ දේවාලයට ද ආදාහන මළුවේ ඇති ගෙඩිගෙයට ද මෙවැනි ම ද්‍රවිඩ බලපෑම් ලැබී ඇති බව පෙනේ. ශිඛරය හැරෙන්නට ගඩලාදෙණි විහාරය සම්පූර්ණයෙන් ම නිමවා ඇත්තේ ගලෙනි.

මේ කාලයේ දී විහාර කර්මාන්තය හා ඒ හා ආශ්‍රිත වෙනත් ශිල්ප කර්මාන්තාදිය කරවීම පිණිස දකුණු ඉන්දියාවෙන් මෙහි ගෙන්වනු ලැබූ ශිල්පීහු මහනුවර, මාතලේ හා ගම්පොළ අවට ගම්වල පදිංචි වූහ. දැනට මේ ප්‍රදේශවල පදිංචි ඇත්දත් කර්මාන්තය (බ.), පණා කැපීම, තඹ පිත්තල වැඩ, රන් රිදී වැඩ, කණ්ණාඩි කැපීම ආදියෙහි යෙදුණු සිංහල ගැමි ජනයා මොවුන්ගෙන් පැවත එන්නෝ වෙති.

පෘතුගීසීන් මෙරට මුහුදුබඩ පෙදෙස් අල්ලා ගැනීමෙන් පසුව දෙරට අතර සංස්කෘතික සම්බන්ධතා බොහෝ දුරට ඇණ සිටියේය. සම්බන්ධයක් පැවැත්තේ නම් ඒ මදුරා හා තංජෝර් යන රාජ්‍ය සමඟය. මේ යුගයේ දී ද හින්දු ආගමේ බලපෑම් මෙරටට ලැබුණු බව I වන රාජසිංහ ශෛව ආගම වැලඳගැනීමෙන් පෙනේ. ඔහු ශ්‍රීපාදස්ථානය ශෛව පූජකයන්ට පැවරූ බව ද සඳහන් වේ. මහනුවර සමයේ දී බුද්ධාගම සහ හින්දු ආගම අතර වූ සංකලනය දැඩි විය. දෙවිදේවතාවන් පිදීම මහනුවර සමයේ දී ප්‍රධාන තැනක් ගත් බව නොක්ස්ගේ වාර්තාවෙන් පෙනේ. මහනුවර නායක්කර් වංශය බලයට පත් වීමෙන් පසුව හින්දු බලපෑම ඉතා දැඩිව පවතින්නට ඇතැයි සිතීමට පුළුවන.

මෙරට ඉංග්‍රීසීන්ට සම්පුර්ණයෙන් ම යටත් වූවාට පසු සංස්කෘතික සම්බන්ධතා පිළිබඳව දැනගන්නට ලැබෙන්නේ දහනවවන සියවස අවසාන කොටසේ දීය. ඉන්දියාවේ හින්දු සභ්‍යත්වයේ මෙකල ඇති වූ පුනරුද්දීපනය මෙරට කෙරෙහි ද බලපෑවේය. ලංකාවේ උතුරු පෙදෙස්වල හින්දූන්ගේ ප්‍රබෝධයත් දකුණු පෙදෙස්වල බෞද්ධයන්ගේ ප්‍රබෝධයත් ඇති වූයේ මෙම බලපෑම හේතුකොටගෙනය. නිදහස ලැබීමෙන් පසු දෙරට අතර සංස්කෘතික සම්බන්ධතා පැවැත්වීමේ වැදගත්කම දෙරට වාසීන් විසින් ම අවබෝධ කොටගෙන ඇත.

(සංස්කරණය: 1970)