උඩරට රාජ්‍යයේ පාලන තන්ත්‍රය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

උඩරට රාජ්‍යයේ අසහාය නායකයා හා පාලකයා වූයේ රජතුමාය. ඔහුගේ බලය අතිශ්‍රේෂ්ඨ විය. රටේ සියලු ම ගම්බිම් පිළිබඳ අසහාය ස්වාමිත්වය ද රට වැසියන්ගේ ජීවිතය හා මරණය පිළිබඳ අපරිමිත බලතල ද ඔහු සතුව පැවැත්තේය. රජු තම ආධිපත්‍යය ක්‍රියාත්මක කෙළේ රටේ පාලනය සඳහා ඔහුට උපස්තම්භක වන පිණිස ඔහු විසින් ම පත් කරන ලද විවිධ නිලධාරීන් මගිනි. මේ නිලධාරීන් ඒ ඒ පදවියට අයත් බලතල භාවිතා කෙළේ ද රටවැසියා ඔවුනට ගරු සැලකිලි දැක්වූයේ ද රජුගේ නමිනි. රජුගේ වචනය වදාළ පණත හෙවත් නීතිය වශයෙන් සලකන ලදි. ඊට පිටුපෑම හෝ එය නොසලකා හැරීම රාජද්‍රෝහිකමක් විය. උඩරට නීතිය පිළිබඳ විශාරදයකු ලෙස සලකන ලද පුස්වැල්ලේ දිසාව, “මහ වාසලින් යෙදිච්ච දෙයක් කවදාවත් වරදින්නේ නැත” යයි වරක් පැවසූයේ ද තානාපතියකු ලෙස සෙංකඩගල රජ වාසලට පැමිණි ඇන්ඩ්‍රෑස් මහතා අමතා, “ලංකා රාජ්‍යයේ චිරාගත චාරිත්‍ර අනුව මහ රජතුමන්ගේ අභිමතය නීතියයි; කිසිවකුට ඊට විරුද්ධ විය නොහැකිය”යි උඩරට රදලවරුන් ප්‍රකාශ කෙළේ ද එහෙයිනි. සිහසුනෙන් පහ කරන ලද ශ්‍රී වික්‍රම රාජසිංහ වරක් මේජර් හුක් සමඟ උඩරට ගැන සාකච්ඡා කරමින්, “කෝපයෙන් සිටිය දී කිසිවක් කිරීමට ඉඩ නොදෙන අනුශාසකයෝ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරුන්ට සිටිති. ඔබ අතර දඬුවම් මඳ වශයෙන් පවත්නේ එහෙයිනි. එහෙත් අපේ කෝපය සංසිඳෙන විට වරදකාරයා මැරී අවසානය”යි කීයේ යයි මාර්ෂල් සඳහන් කරයි. මෙසේ උඩරට රාජ්‍යයේ නීතිය හා බලතල පිළිබඳ කේන්ද්‍රය වූයේ රජතුමාය.

මේ අනුව උඩරට රජුට අත්තනෝමතික පාලන බලයක් හෝ රටේ චිරාගත සිරිත් චාරිත්‍ර උල්ලංඝනය කිරීමේ බලයක් හෝ රටේ චිරාගත සිරිත් චාරිත්‍ර උල්ලංඝනය කිරීමේ බලයක් හෝ තිබිණැයි නහමක් සිතිය යුතුය. කුමක් නිසාද යත්, රජු රටේ නීතිය හා රාජසභාව කෙරෙහි සාවධාන විය යුතු වූ හෙයිනි.

උඩරට රාජ්‍යයේ අණපනත් උඩරට රාජ්‍යයේ සිරිත් චාරිත්‍රවලට හා නීතිවලට අනුකූල යයි සැලකේ. මේ සිරිත් චාරිත්‍ර හා නීති කවරේද? උඩරට නීතිය පිළිබඳ අංග සම්පූර්ණ ග්‍රන්ථ අවිද්‍යමානය. නීති නිඝණ්ඩුව සිංහල නීතිය පිළිබඳ අත්පොතකි. එය සම්පාදනය කරන ලද්දේ මහනුවර රාජ්‍ය ලේඛනාගාරයේ හා පුරාණ නීති පිළිබඳ බහුශ්‍රැතයන්ගේ සහායෙනැයි එහි ම සඳහන් වේ. එහි එන පරිදි ලංකාවේ නීතිය කොටස් තුනකට බෙදෙයි. එනම් රාජ නීතිය, ධර්ම නීතිය හා පාරම්පරික නීතියයි. මෙයින් රාජ නීතිය හා ධර්ම නීතිය පුස්තකාරූඪව ඇති නමුදු පාරම්පරික නීතිය එතෙක් පුස්තකාරූඪ වී නැතැයි නීති නිඝණ්ඩුව කියයි.

“මම මගේ රාජ්‍යය ශාස්ත්‍ර අනුව පාලනය කෙළෙමි”යි සිහසුනට අස්වාමික වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ ප්‍රකාශ කෙළේය. මෙහි ලා “ශාස්ත්‍ර” යන්නෙන් අදහස් කරන ලද්දේ සිංහල රජුන් සම්බන්ධයෙන් සිංහල කවීන් විසින් වර්ණිත මනු නීතිය ද එසේ නැතහොත් සිංහල රජුන් උසස් ලෙස සැලකූ කෞටිල්‍ය අර්ථශාස්ත්‍රය ද යනු අවිනිශ්චිතය. දෙක ම යැයි හැඟේ.

ඕලන්ද ආණ්ඩුකාර ඉමන් විලෙම් පැල්ක් (1765-1785) විසින් සිංහලේ භික්ෂූන් වෙත යවන ලද ප්‍රශ්නමාලාවකට පිළිතුරු වශයෙන් උන්වහන්සේලා එවූ ලිපියෙන් ද උඩරට නීති හා මහජන අයිතිවාසිකම් පැහැදිලි වෙයි. රජකු තෝරාගැනීම, ඔටුනු පැලඳවීම, රාජධර්ම, යුද්ධාරම්භය, රාජ සභාව, සංඝයා, අදිකාරම්, දිසාපති, අපරාධ, දඬුවම්, විවාහ, දික්කසාද, බහුභාර්‍ය්‍යා හා බහු පුරුෂ සේවනය, දේපළ වැනි කරුණු පිළිබඳ සිරිත් චාරිත්‍ර ඊට ඇතුළත්ය.

රජුන් අනුගමනය කළ යුතු නීති අතර “සතර සංග්‍රහ වස්තුවෙන් රට පිනවීම ද සතර අගතියෙන් දුරු වීම ද දශරාජධර්ම පිළිපැදීම” ද මුල්තැනක් ගත් බව පෙනේ.

උඩරට මුළු පාලන බලය රජු අයත් සේ පෙනුණ ද එම බලය යම් යම් අයුරින් සීමා විය. විශේෂයෙන් ම, බෞද්ධ සම්ප්‍රදායානුකූලව, දශරාජධර්මය අනුව රජ කළ යුතුය යන අදහස ලංකා ඉතිහාසයේ මුල සිට ම පැවතිණි. අඩු ගණනේ රජු එසේ ක්‍රියාකිරීමට බැඳී සිටි බව වැසියා පිළිගත්හ. එමෙන් ම පැරණි සිරිත්විරිත්වලට රජු ගරු කළ යුතු බව පිළිගැනීමට රජුට සිදු විය. රජුට කෙනකු කුලයෙන් පහත් කිරීමට හැකි විය. එහෙත් කෙනකු කුලයෙන් උසස් කිරීමට රජුට බලයක් නොවීය. සාමාන්‍යයෙන් ඕනෑ ම වැදගත් තීරණයක් ගැනීමට පෙර රජු, රජයේ ප්‍රධාන නිලධාරීන් හා භික්ෂූන් වහන්සේලා සමඟ සාකච්ඡා කොට ක්‍රියා කළ බව පෙනේ. ස්වෛරී, ඒකාධිපති රජකු ලෙස සැලකෙන II වැනි රාජසිංහ රජු පවා යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීමට පෙරත් රාජ්‍යයේ වෙනත් වැදගත් ප්‍රශ්න සම්බන්ධයෙනුත් ප්‍රධාන නිලධාරීන්ගේ හා භික්ෂූන් වහන්සේලාගේ උපදෙස් සෙවූ බව ලන්දේසි වාර්තාවල හා නොක්ස්ගේ විස්තරයේ ද දැක්වේ. රජතුමා වැදගත් කරුණු සම්බන්ධයෙන් භික්ෂූන්ගේ අදහස් විමසන නමුත් ඔවුනට උවදෙස් දිය හැකි වූයේ රජුගේ පුද්ගලික හැසිරීම හා ආගම පිළිබඳ කරුණු ගැන පමණක් බවත් යුද්ධ හා ආදායම් පිළිබඳ කරුණු ගැන ඔවුනට වචනයක් වුව පැවසීම තහනම් බවත් ජෝන්විල් පවසයි.

“වැදගත් නව නීතිරීති ක්‍රියාත්මක කිරීමට පෙර ප්‍රධාන නිලමවරුන් හා සාකච්ඡා කිරීම සාමාන්‍ය සිරිතයි. නායක භික්ෂූන් සමඟ ද නිතර නිතර සාකච්ඡා කෙරෙයි. වැදගත් මහජන කටයුතු එළඹ සිටි කල මේ ඇත්තන් තම රාජ සභාවන්ට කැඳවීම රටේ සිරිතයි” (සිංහලේ ආණ්ඩු ක්‍රමය - ඩොයිලි).

I වැනි විමලධර්මසූර්ය රජු කල පෘතුගීසීන් පරාජය කොට පහතරටින් ද ඔවුන් නෙරපා හැරීමට උඩරට පාලකයාට නුපුළුවන් වීමට එක් හේතුවක් වූයේ සීමාසහිත කාලයකට වඩා ප්‍රදේශයෙන් පිටතට සෙනඟ යැවීමට නොහැකි වීමයි. ඒ ඒ ජන කොටස්වලට ලැබී තිබුණු වරප්‍රසාද වෙනස් කිරීමට රජවරු බිය වූහ. ඒකාධිපතියකු සේ වැසියාගේ ශුභසිද්ධිය නොතකා, සිරිත් විරිත් නොතකා, ක්‍රියා කළ හොත් ජනයා කැරලි කෝලාහල කරතැයි යන බිය නිසා ද පාලනය දරුණු නොවීය.

යම් රජෙක් රටේ සම්මත නීති නොතකයි නම්, ධාර්මික කුමාරවරුන් අනුව නොයයි නම්, රටේ සිරිත් චාරිත්‍රවලට පයින් ගසයි නම්, ඔහුට විරුද්ධ වීම ද ඔහු සිහසුනෙන් නෙරපීමට නැඟී සිටීම ද යුක්තිසහගත යයි රටවාසීහු සැලකූහ. රජුට විරුද්ධව නැඟී සිටීම කැරලි ගැසීමෙන් ප්‍රකාශ කරන ලදි. මෙසේ අන්තිම රජු සත් කෝරළේට දිසාපතිවරුන් දෙදෙනකු පත්කිරීම පෙර සිරිතට පටහැණි හෙයින් සත්කෝරළ වාසීහු කැරලි ගැසූහ. 1818 උඩරට මහ කැරැල්ලට තුඩු දුන් ආසන්න හේතුවක් වූයේ බූටාවේ පවුලට අයත් මඩිගේ මුහන්දිරම් තනතුරකට විජාතිකයකු පත් කිරීමයි. රජු පාරම්පරික සිරිත් චාරිත්‍රවලට පටහැණි ලෙස ක්‍රියා කළ සමහර අවස්ථාවල දී නිලමේවරු රජුට විරුද්ධව නඩු අසා දඬුවම් නියම කළ බව ද පෙනේ. වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ තම වල්ලභ භේරිවාදකයාට හැට්ටයක් තෑගි කෙළේය. එකල පැවති සිරිත් අනුව එවැන්නක් පැලඳීම ඔහුට තහනම්ය. මෙය රම්මලක මහ නිලමේට දන්වන ලදින් හේ හැට්ටය ඉරා දමා භේරිවාදකයා දඟගෙයි ලෑවේය. අමාත්‍ය මණ්ඩලය මේ ගැන වගවිභාග කොට සිරිත් චාරිත්‍ර කඩ කිරීමේ වරදට දඩ ගැසූ හෙයින් රජතුමා අමාත්‍ය මණ්ඩලයේ නිර්දේශය අනුව ඒ දඩය මහා විෂ්ණු දේවාලයට ගෙවී යයි කියති.

උඩරට රාජසභාව මහ වාසල මහ අමාප්ත මණ්ඩලේ යන නමින් හඳුන්වන ලදි. 1766 පෙබරවාරි මස 14 වැනි දින කොළඹ දී සම්මත කරගත් ඕලන්ද-උඩරට ගිවිසුමෙන් මේ බව අනාවරණය වේ.

සෙනරත් රජතුමා, කොට්ටියාරමේ රජ තැන්පත් ඉදලේ, පලුගම රජ වූ කැලේ වන්ඩාර්, මඩකලපුවේ රජ වූ කොමරො වන්ඩාර්... ඌවේ කුමාරයා වූ කුරුවිටරාල යන ආදීන්ගෙන් සමන්විත රාජ සභාවක් කැඳවී යයි බාල්දියස් කියයි. මේ සභාව ද මහවාසල මහ අමාප්ත මණ්ඩලේ යයි සිතිය හැකිය.

ඕලන්ද ආණ්ඩුකාර පැල්ක් විසින් කරන ලද විමසුමට පිළිතුරු වශයෙන් අදිකාරම්වරු දෙදෙන, මහ දිසාපතිවරු සිවු දෙන, මහ මොහොට්ටාල හා බණ්ඩාරවලියට අයත් දුග්ගන්නා මහත්තැන් උඩරට උත්තරීතර මණ්ඩලයට අයත් යයි උඩරට භික්ෂූන් පවසා ඇති හෙයින් ඉහත දක්වන ලද රාජසභා එක ම ගණයට අයත් බව පැහැදිලිය.

උඩරට රාජ්‍යයේ පාලන ක්‍රමය පිළිබඳ නිවැරදි හැඟීමක් ලබාගැනීම සඳහා එහි පාලන කොටස්, එනම් කාර්යාංශ හෙවත් දෙපාර්තමේන්තු, කෙරෙහි අප සිත් යොමු කළ යුතුය. මේ කාර්යාංශ වැඩිවශයෙන් හඳුන්‍වන ලද්දේ ඒ ඒ කාර්යයේ නමින් නොව කාර්යාංශය භාර අධිපතියාගේ පදවි නාමයෙනි. රජු විසින් පත් කරන ලද මේ අධිපතින්ට සුවිශේෂ බලතල තිබිණි. ඉන් එකක් නම් මඟුල් මඩුවට පැමිණ රජු ඉදිරියෙහි පෙනී සිටීමේ වරප්‍රසාදයයි. සිංහලේ අවසාන සමයේ දී මේ කාර්යාංශ ගණනින් පන්සැත්තෑවක් විය. මෙයින් සමහරක් කීප දෙනකුට සීමා වූ කුඩා කාර්යාංශ විය. එහෙත් දිසාව වැනි කාර්යාංශ විශාල විය. ඉටු කළ රාජකාරි අනුව මේ කාර්යාංශ 1. අදිකාරම්, 2. රට වසම, 3. බද්ද, 4. මහ වාසල හා 5. විහාර දේවාල යයි පන්ති පහකට බෙදා දැක්විය හැකිය.

රජුගේ පෞද්ගලික කටයුතු පිළිබඳව නිලධාරිහු කොටසක් රජු විසින් පත් කරනු ලැබ සිටියහ. රටේ සාමාන්‍ය පාලනය සම්බන්ධයෙන් වැදගත් නොවූ මේ අය රජමාළිගයේ පාලනය ගැන පමණක් වැදගත් වූහ. දියවඩන, සළුවඩන, බත්වඩන නිලමේවරු මේ ගණයට ගැනෙත්. රජුගේ විශ්වාසය දිනා සිටි මේ අය වෙනත් නිලවලට පත් කරනු ලැබූ විට ඔවුහු වඩාත් වැදගත් වූහ. එහෙත් රජ මාළිගයේ කටයුතු කළ, තත්වය හා බලතල අතින් මීට වඩා වැදගත් වූ නිලධාරි පිරිසක් වූහ. රාජ්‍යයේ ලේකම් මිටි (බ.) භාරව සිටි මහලේකම්තුමා මොවුන් අතුරින් ප්‍රධාන වේ. දිසාපතිවරයකු ළඟට දෙවන තැනක් ඔහුට හිමි විය. මඩුවේ ලේකම් හා මහඅරමුදලේ නිලමේ මෙම නිලධාරි ගණයට වැටේ. එහෙත් මධ්‍යම ආණ්ඩුවේ ප්‍රධාන නිලධාරීන් ලෙස කටයුතු කරන ලද්දේ මහඅදිකාරම් (බ.) නමැති නිලධාරීන් දෙදෙනකු විසිනි.

අදිකාරම්වරු

උඩරට රාජ්‍යයේ අගමැතිවරු අදිකාරම් යන නමින් දන්නා ලදහ. මහනිලමේ, මහමහත්මයා යන උපාධි නාම යොදන ලද්දේ මොවුන් විෂයෙහි පමණි. මහනුවර යුගයේ මුල් භාගයෙහි අදිකාරම්වරු සිවු දෙනෙක් වූහ. රජුට ආවතේව කිරීම, නගරය ආරක්ෂා කිරීම, යුක්තිය පසිඳලීම හා යුද්ධ කටයුතු පිළිවෙළින් ඒ සිවු දෙන භාරයේ පැවැත්තේය. දෙවන රාජසිංහ සමයට පෙර සිටියේ එක් අදිකාරම්වරයෙකි. එතුමා දෙවැන්නකු ද පත් කෙළේය. මහනුවර යුගයේ අවසාන භාගයේ දී මොවුහු පල්ලේගම්පහ අදිකාරම්, උඩගම්පහ අදිකාරම් යන නම්වලින් හඳුන්වන ලද්දෝය. සිංහලේ අන්තිම රජ තෙවැන්නකු ද පත් කෙළේය. එනම් සියපත්තුවේ ඇල්ලේපොළ අදිකාරම්ය. ප්‍රධාන අදිකාරම්වරු දෙදෙනාගේ බලතල සමාන වුව ද පල්ලේගම්පහ අදිකාරම් ප්‍රමුඛස්ථානය දැරීය. එහෙත් එක් අදිකාරම්වරයකු නැති විට අනෙකා ඔහුගේ කටයුතු ද කෙළේය. අදිකාරම්වරයකු රජුට ඔප්පු කළ යුතු වාර්ෂික දැකුම රිදී පන්සියයකි.

පළමුවැනි අදිකාරම් තැනට පල්ලේගම්පහ අදිකාරම් මහත්මයා යන ගරු නම යෙදුණේ මහනුවර අසල පිහිටි අම්පිටිය, අලුත්ගම ආදි තම පදවියට අයත් ගම් පහක් මුල් කොටගෙනය. මේ ගම් ගඟේ ඉහළින් පිහිටා තිබේ. දෙවැනි අදිකාරම් තැනට උඩගම්පහ යන නම යෙදුණේ ද ඒ පදවියට අයත් හල්ලොලුව, පේරාදෙණිය ආදි ගම් පහක් අනුවය.

අදිකාරම්වරුන්ගේ තේජස හා ශ්‍රී විභූතිය දෙවැනි වූයේ රජුට පමණි. ඔවුන්ගේ නිල සංකේතය නම් රිදිවිලි යොදන ලද නැත හොත් මුළුමනින් රිදියෙන් වසන ලද ඇද වේවැලකි. රජු මෙය අතට දී අදිකාරම් කෙනකු පත් කිරීම චාරිත්‍ර විධියයි. ඔහු කොතැනකට හෝ යන විට මේ නිල යෂ්ටිය රැගත් අයකු පෙරටුව යාම සිරිතක් විය (අදිකාරම් බ.).

රට වසම හා දිසා

II වැනි රාජසිංහයන්ගෙන් පසු සමයේ දී උඩරට රාජ්‍යය පාලන පහසුව සඳහා දිසා සහ රට යන නම්වලින් යුත් පෙදෙස්වලට බෙදා තිබුණේය. රටවල් වූකලි මහනුවර නගරය අවට පිහිටි කුඩා ප්‍රදේශයි. දිසා රටවලට ඈතින් පිහිටියේ විය. නුවර සමයේ පසු භාගයේ දී දිසා දොළසක් විය. එනම් සතර කෝරළේ, සත් කෝරළේ, ඌව, මාතලේ, සපරගමුව, තුන් කෝරළේ, වලපනේ, උඩ පළාත, නුවරකලාවිය, වෙල්ලස්ස, බින්තැන්න හා තමන්කඩුවයි. මින් මුල් සතර මහදිසා යන නමින් ද පාලකයෝ මහදිසාව (මහදිසාපතිවරු) යන නමින් ද හඳුන්වන ලද්දෝය. මේ මහ යන විරුද නාමය ප්‍රදානය කරන ලද්දේ යම් යම් දස්කම් නිසාය. දෙවැනි රාජසිංහ රජු ගල්ඔයට වැඩි ගමනේ දී එතුමන්ගේ ඉලුක්කෝල පහර කා දිය යට සැඟවුණු කිඹුලකු මරා ගෙනා වීරයකුට ගරු කිරීම් වශයෙන් ඔහු උපන් සතර කෝරළේට මහ යන නම ද මුල් තැන ද ලැබුණේය. ත්‍රිමඟලා කොටුව (ත්‍රිකුණාමලේ) ඇරවීම නිසා මාතලේට මහ යන නම පටබඳින ලදි.

දිසාපතිවරු ඒ ඒ දිසාවේ සිටි රාජ නියෝජිතයෝ වූහ. තම දිසාවේ දී දණ්ඩ නමස්කාරය හැර රජුට හිමි නම්බු තලම්බු ඔවුනට ද හිමි විය. දිසාවේ නිල ගමනක් යන ඔහු ඉදිරියෙන් දිසාවට හිමි විශේෂ කොඩිය ගෙන යන ලදි. හේවිසිකාරයෝ ද කොඩි සේසත් ආදිය හා කොඩිතුවක්කු දරුවෝ ද ඔහුට පෙරටුව ගියෝය. යුක්තිය පසිඳලීම, ආදායම එකතු කිරීම, රාජාඥා ක්‍රියාත්මක කරවීම හා දිසාවේ දියුණුවට අදාළ තානායම් ඉදි කරවීම, වෙහෙර විහාර පිළිසකර කරවීම වැනි කටයුතු ඔවුනට භාර විය. දිසාපතිනට තම දිසාව පිළිබඳ සම්පූර්ණ පාලන බලයක් හිමි වූ නමුදු විහාර, දේවාල, නින්ද, ගබඩා යන ගම්වල විසුවෝ ද ඇතැම් විට කූරුවේ සහ මඩිගේ මිනිස්සු ද ඔහුගේ පාලනයෙන් බැහැර වූහ. වරදකරුවන්ට ඇතැම් දඬුවම් පැමිණවීමේ බලය ඔවුන් සතු විය. එහෙත් උසස් පවුල්වලින් පැවත එන්නන්ටත් ඇතැම් තනතුරු දරන්නන්ට හා ඔවුන්ගේ දරුවන්ටත් දඬුවම් පැමිණවීමේ බලයක් ඔවුන්ට නොතිබිණි.

තම දිසාවේ සේවය පිණිස දිසාවේ, වළව්වේ, අතපත්තු, කොඩිතුවක්කු යන මොහොට්ටාලවරුන් ද කෝරාළ, වන්නියා, ආරච්චි, රටේ අදිකාරම්, කංකානම්, විදානේ, අතුකෝරාළ, මුහන්දිරම්, දුරයා යන පන්තිවලට අයත් නිලධාරින් ද පත් කිරීමේ බලය දිසාපතිවරුන්ට හිමි විය. මොවුන් පත් කිරීමේ දී හා ඒ පත්වීම් අවුරුදු පතා අලුත්වැඩියා කිරීමේ දී දිසාවේට පිරිනමන ලද පෙනුම් හා බුලත්සුරුලු දිසාපතිවරුන්ගේ ප්‍රධාන අය මාර්ගයක් විය. ඉහත සඳහන් එක් එක් ගණයට අයත් නිලධාරීන් කීප දෙනකු බැගින් සිටි බව ද ඇතැම් දිසාවල ඇතැම් ගණයකට අයත් නිලධාරීන් නොසිටි බව ද මෙහි ලා සැලකිය යුතුය. එක් එක් කෝරළයෙන් හෝ පත්තුවෙන් පමණක් නොව දානේ ගම්වලින් ද ලැබුණු කත් (වළව්වේ කද), බුලත්සුරුලු, මුරරිදී සහ පෙරහන රිදී තවත් අයමාර්ග විය. මෙසේ සපරගමුවේ දිසාපති තැන වසකට ලත් ආදායම රිදී 10,683කැයි එක්තරා ලේඛනයක සඳහන් වේ.

දිසාවේ යටතේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියා දිසාවේ මොහොට්ටාලයි. දිසාපති තැන නැති විට එම පදවියට හිමි බලතල ක්‍රියාත්මක කරන ලද්දේ ඔහු විසිනි. අතපත්තු මොහොට්ටාල අතපත්තු මිනිසුන් පාලනය කෙළේය. ඔවුහු දිසාවේගේ පුද්ගලික ආරක්ෂක පිරිසයි. තුවක්කු හමුදාව පාලනය කරන ලද්දේ කොඩිතුවක්කු මොහොට්ටාල විසිනි. දිසාපති තැනගේ වළව්ව පිළිබඳ කටයුතු ද පුද්ගලික දේපළ පිළිබඳ කටයුතු ද වළව්වේ මොහොට්ටාල විසින් පාලනය කැරිණි. ගමක මුලාදෑනි තැන වූයේ ආරච්චි හෝ විදානේය. දුරයලා ඇතැම් ගම්වල සුළු මුලාදෑනීහු වූහ. කංකානම්ලා ආදායම් එකතු කිරීමට සහාය වූහ.

රටේරාල

මහනුවර අවට පිහිටි රට සත නමින් හැඳින්වුණු කුඩා පෙදෙස් සතක් ද උඩබුලත්ගම හා පාතබුලත්ගම ද රට යන නමින් හඳුන්වන ලදි. රට සත නම් උඩුනුවර, යටිනුවර, තුම්පනේ, හාරිස්පත්තුව, දුම්බර, හේවාහැට සහ කොත්මලේය. රටවල පාලකයෝ රටේ මහත්මයා යන පදවි නාමය දැරූහ. මුල දී මොවුන්ගේ නිල නාමය වූයේ රටේ රාල යන්න බව පෙනේ.

රටේ මහතුන්ගේ රාජකාරිය දිසාපතීන්ගේ රාජකාරියට සමාන වුව ද පදවිය පහත්ය. ඔවුනට ලැබුණේ ද අඩු ගෞරවයකි. පාලනය සඳහා තමනට සහාය වන පිණිස ලියනරාල, උණ්ඩියරාල, කෝරාළ, අතුකෝරාළ, ආරච්චි, විදානේ යන පන්තිවලට අයත් නිලධාරීන් පත් කරන ලද්දේ රටේ මහත්වරුන් විසිනි. ලියන රාල ගණන් හිලවු තැබීය. උණ්ඩියරාල ආදායම රැස් කෙළේය. කෝරාළ කෝරළයක පාලකයා විය.

බද්දේ නිලධාරීහු

බද්ද යනුවෙන් හඳුන්වන ලද්දේ කාර්යාංශයකි. එක් එක් බද්දේ පාලකයා ඒ ඒ බද්දේ නිලමේ යන නම දැරීය.

මඩිග බද්ද

තවලම් මගින් මඩිවල (මලු, පැස් හෝ ගෝණි) පුරවන ලද බඩු ඇදීම මේ බද්දට අයත් විය. මඩිග බද්දේ නිලමේ තමනට සහාය පිණිස මුහන්දිරම්, ලේකම්, කංකානම් යන නිලධාරීන් පත් කෙළේය. මඩිගේ ඇත්තන්ගෙන් බොහෝ දෙනෙක් මරක්කල මිනිස්සු වූහ.

කොට්ටල් බද්ද

කාර්මික කාර්යාංශය වූ මෙය ඉතා වැදගත් කාර්යාංශය ද විය. එක් එක් රටේ හෝ දිසාවේ නවන්දන්න කුලයට අයත් ශිල්පීන් කර්මාන්තය අනුව වර්ග කොට එක් කිරීමෙන් මෙය සැදිණි. පසු කල එක් එක් රටේ හා දිසාවේ කොට්ටල් බද්දේ ශාඛා තිබුණු නමුත් කලක සියල්ල කැටි කොට උඩරට කොට්ටල් බද්ද, පහතරට කොට්ටල් බද්ද යයි ප්‍රධාන ශාඛා දෙකක් පමණක් පැවතිණ. කොට්ටල් බද්දක ප්‍රධාන ශාඛා නම් යකඩ වැඩ, රන් රිදී වැඩ, වඩු වැඩ, ගල් වැඩ, ලියවීම, ගල් ඔප ලෑම, සිත්තර වැඩ, ලෝකුරු වැඩ හා ලාකිරි වැඩයි. විදානේ, මූලචාරි, මුහන්දිරම්, හංගිඩියා, අතු හංගිඩියා යන වර්ගවලට අයිති මුලාදෑනීන් පත් කරන ලද්දේ කොට්ටල් බද්දේ නිලමේ විසිනි.

බඩහැල බද්ද

මැටි වළං සැපයීම මේ කාර්යාංශයට අයත් රාජකාරිය විය. බඩහැල බද්දේ නිලමේ යටතේ විදානෙලා සේවය කළෝය.

රදා බද්ද

මීට අයත් කාර්යය නමින් ම වැටහේ. විදාන හේනයා හා ගුරුන්නාන්සේ මේ බද්දේ සුළු මුලාදෑනීහුය.

මහ බද්ද

රෙදි විවීම හා බෙර වැයීම මේ බද්දේ රාජකාරියි. මේ බද්දේ ඇත්තෝ මීට අමතරව ගී කීම, නැටීම, නැකත් කීම, බලි තොවිල් පැවැත්වීම, යන්ත්‍ර මන්ත්‍ර වැඩ ආදියෙහි ද යෙදුණෝ යයි ආනන්ද කුමාරස්වාමි කියයි. පහතරට මහ බද්ද නම් කුරුඳු දෙපාර්තමේන්තුවයි.

හුනු බද්ද

හුනු බදාම පිළියෙළ කිරීමත් හුනු ගෑමත් මේ බද්දට අයත් විය. සතර මංගල්‍යය සඳහා වාහල ගොඩනැඟිලි පිරියම් කිරීමත් මාළිගා ගොඩනැඟිලිවල හුනු ගෑමත් මුල්තැනක් ලද කටයුතු විය. විදානේ, හුනුගාන මේස්ත්‍රි යන නිලධාරීන් පත් කරන ලද්දේ හුනුබද්දේ නිලමේ විසිනි.

හඳ බද්ද

රාජකාරිය වේවැල් භාණ්ඩ සැපයීමයි. උත්සවයන්ට අවශ්‍ය කූඩා, වට්ටි, අසුන්, කනප්පු ආදි භාණ්ඩ අවශ්‍යතා අනුව රජුට හෝ දිසාවේට සැපයීම මේ බද්දෙන් බලාපොරොත්තු විණි. සතර කෝරළේ මේ කාර්යාංශය පවුල් සයකින් සමන්විත විය. ඔවුහු හඳ බද්දේ විදානේ නම් මුලාදෑනියකු යටතේ සේවය කළෝය.

කින්නර බද්ද

කුඩා කාර්යාංශයක් වූ මෙයින් මහ ගබඩාවට හා පළාතේ ප්‍රධානයාට නියඳ පැදුරු, බුමුතුරුණු හා කස සපයන ලදි.

අනිල බද්ද

උඩරට රාජ්‍යයේ අවසාන කාලයේ දී පල්ලැක්කි උසුලාගෙන යාම සඳහා පිහිටුවන ලද කාර්යාංශයකි.

සුළං බද්ද

මෙය කුඩා කුඹුරු කැබලි හැර අන් සේවා පංගු භුක්ති නොවිඳි මරක්කල මිනිසුන්ගෙන් සමන්විත වූ කුඩා බද්දක් විය. රාජකාරිය මඩිගේ බද්දට සමාන වූ නමුත් ඉතා සුළු විය.

රහු බද්ද

පවුල් පනහකින් පමණ සමන්විතව පැවැති මේ බද්දේ රාජකාරිය වූයේ දේව උත්සවයන්හි දී නැටීමයි.

ලූනු බද්ද

රජුගේ මුල්තැන්ගෙයට අවශ්‍ය රතුලූණු සහ සුදුලූනු සැපයීම මෙහි රාජකාරිය විය. මේ බද්දේ ශාඛා ඌව, වලපනේ වැනි දිසා කීපයක තිබිණි. රජු විසින් පත් කරන ලද මුහන්දිරම්වරයෙක් මෙය භාරව සිටියේය.

මේ සියලු ම බදුවලට අයත් ඇත්තන් තම සේවයට නියමිත සේවා පංගුව බැගින් බුත්ති විඳි බව සැලකිය යුතුයි. මේ පංගු නිලපංගු, පරවේණි යන නම්වලින් ද හඳුන්වන ලදි.

විහාර දේවාල

උඩරට රාජ්‍ය සමයෙහි මහා නායක හිමිවරුන් පත් කරන ලද්දේ රජු විසිනි. කීර්ති ශ්‍රී රාජසිංහ සමයෙහි සියම් රටින් පැමිණි භික්ෂූන් උපසම්පදා කර්මය පැවැත්වීමෙන් පසු එතුමා වැලිවිට සරණංකර හිමියන්ට වටාපතක් පිළිගැන්වීමෙන් උන්වහන්සේ සංඝරාජ පදවියට ද තවත් දෙනමකට වටාපත් පිළිගැන්වීමෙන් පෝයමළු, අස්ගිරි විහාර දෙකේ මහා නායක පදවිවලට ද පත් කෙළේය. ප්‍රාදේශීය නායක හිමිවරුන් පත් කරන ලද්දේ මහා නායක හිමිවරුන් විසිනි.

දළදා මාළිගාවේ දියවඩන නිලමේ දළදා මාළිගාව පිළිබඳ කටයුතු පරිපාලනය කෙළේය. මේ සඳහා ඔහු විසින් පත් කරන ලද කාරිය කරවන රාල, විදානේ, කංකානම්, මනන්නා, දුරයා ආදි මුලාදෑනීහු ඔහුට සහාය වූහ.

මහනුවර නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිවුදේවාල සඳහා බස්නායක නිලමවරුන් පත් කරන ලද්දේ රජු විසිනි. පිටිසර දේවාල යන නමින් හැඳින්වෙන ඉතිරි දේවාල සඳහා බස්නායකවරුන් පත් කරන ලද්දේ ඒ ඒ පළාත් භාර අධිපතීන් විසිනි. එහෙත් මේ ක්‍රමය කලින් කල වෙනස්ව පැවැති බව පෙනේ. ඔවුහු විවිධ නිලධාරීන්ගේ සහාය ඇතිව පිට කට්ටලේ කටයුතු පරිපාලනය කළෝය.

මහවාසල කාර්යාංශ

උඩරට රාජ්‍යයේ අවසාන භාගයෙහි මහ වාසල කාර්යාංශ පන්තිසක් පැවැති බව පෙනේ. මෙයින් සමහරක් රජුගේ හුදු සුඛෝපභෝගය හා ශ්‍රී විභූතිය අරභයා පැවැති ඉතා කුඩා කාර්යාංශ විය.

මාළිගාවේ කටයුතු සංවිධානය ද රජුගේ අලි ඇතුන් බලා කියාගත් මිනිසුන් පිළිබඳ පරිපාලනය ද ගජනායක නිලමේට භාර විය. පණික්කි මුදියන්සේ, කූරුවේ ලේකම්, ගල්ලද්දෝ, පටබැන්දෝ, පණික්කිලේ ආදි වර්ගවලට අයත් මුලාදෑනීහු ඔහු යටතේ සේවය කළෝය.

මුල දී යුද්ධ කාර්යාංශයක් වූ මහලේකම පසුව ලේකම් මිටි පිළියෙල කිරීම හා නඩත්තු කිරීම ගැන වගකිව යුතු විය. මහනුවර ඇසළ පෙරහැරේ මුලින් ම ගමන් කෙළේ ලේකම් මිටියේ හා පන්හිඳේ රාජ සටහන් සහිත කොඩිය පෙරටු කොටගත් මහ ලේකම් මහත්මයාය. මහ ලේකමේ මුහන්දිරම්වරු ද ආරච්චිල වැනි අන් මුලාදෑනීහු ද සේවය කළෝය. අතපත්තුවේ ප්‍රධාන රාජකාරි වූයේ මුර කිරීම හා පණිවුඩ පනත් ගෙන යාමයි. වෙඩික්කාර ලේකම නම් තුවක්කු හමුදාවයි. චරපුරුෂ සේවය නානායක්කාර ලේකමේ රාජකාරිය විය. සිංහලේ යුද හමුදාව පඩිකාර පේරුව, ගන්කාර පේරුව යයි දෙකට බෙදා තිබුණේය. පඩිකාර පේරුව නිරතුරු සේවයෙහි යෙදුණු අතර, ගන්කාර පේරුව සේවයෙහි යෙදුණේ තම ධුරය අනුවය. මෙය කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් පිහිටුවන ලද ලේකමකි. කොඩිතුවක්කු ලේකම වූකලි කොඩිතුවක්කු, ගිංජල් යන නම්වලින් හැඳින්වුණු, තුන් පා ධාරකයක් මත තබා වෙඩි තබන, තුවක්කු කණ්ඩායමයි. මේ ලේකමේ හේවායෝ යුද්ධ, පොලිස් යන උභය පක්ෂයට අයත් කටයුතු කළහ. නපුරු හිරකාරයන් බලා ගත්තේ ද මොවුන් විසිනි. මුහන්දිරම්, මහ දුරයා, හේවා දුරයා හා දුරයා යන මුලාදෑනීහු කොඩිතුවක්කු නිලමේ යටතේ සේවය කළෝය. බොන්දික්කුල නම් යකඩ කාලතුවක්කුයි. මේ ලේකම පිහිටුවන ලද්දේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසිනි. දුනුවායන්ගේ කාර්යාංශය දුනුකාර ලේකම විය.

රජුගේ ශ්‍රී විභූතිය ප්‍රදර්ශනය කරන පිණිස ඔහු ගමන් යන විට වඩන තුවක්කු, පටිස්තාන, ඉලුක්කෝල ආදි ආයුධ ගත් පිරිසක් ගමන් කළෝය. මංගල්‍ය අවස්ථාවන්හි දී මේ තුවක්කුවලින් වෙඩි තබන ලදි. මේ තුවක්කු හමුදාව වඩන තුවක්කුකාර ලේකම විය.

දඩයමෙහි ලොල් දෙවැනි රාජසිංහ රජු විසින් සංස්ථාපිත මඩුවේ ලේකමේ ප්‍රධාන කාර්ය වූයේ දඩයම් බලු රැළක් පුරුදු පුහුණු කිරීම හා දඩයමට සහාය වීමයි. පසුව මෙය ද යුද්ධ කාර්යාංශයක් විය.

තුට්ටහ ලේකමේ රාජකාරිය වූයේ රජු විසින් භික්ෂු සංඝයාට දානය දෙන ලද අවස්ථාවන්හි දී අවුළුපත් සැපයීමයි. අවුළුපත් දස දොළොස් වර්ගයක් සපයන ලදි.

අස්පන්තිය නම් අස්හලයි. මෙය භාරව සිටියේ අස්පන්තියේ මුහන්දිරම් නිලමේය.

උඩරට රජුන්ට වර්ණ සම්පත්තිය නිසා අගය කරන ලද, ඉන්දියාවෙන් ගෙන්වා ගත් සුදු ගව රැළක් සිටි බව පෙනේ. මෙය භාරව සිටියේ සුදු හරක් පට්ටියේ මුහන්දිරම් නිලමේය. විදාන දුරයා නම් සුළු මුලාදෑනීහු ඔහුට සහාය වූහ.

රටේ නොයෙක් තැන්වල සිටි රජුට අයත් දෙදහසක් පමණ වූ ගවයන් පිළිබඳ කටයුතු කරන ලද්දේ පට්ටි විදානේ නිලමේ විසිනි. පට්ටි මිනිස්සු ගව කටයුතුවල යෙදුණෝය.

මහ අරමුදලේ වන්නකු නිලමේ මහ වාසල උපරිම ගණයේ නිලධාරියෙක් විය. හේ භාණ්ඩාගාර නායකයා විය. ඔහු යටතේ රජු විසින් ම පත් කරන ලද, එහෙයින් මහත්මයා, නිලමේ යන ගරු නම් ලැබීමට සුදුසු ලේකම්ලා පස් දෙනෙක් ද කංකානම්ලා පස් දෙනෙක් ද සේවය කළෝය.

රාජ්‍ය ගබඩාවේ නායකයා මහ ගබඩා නිලමේය. රජුට බව බෝග මගින් ලැබිය යුතු ආදායම ගැන සාවධාන වූයේ ඔහුය. ඔහුගේ නිර්දේශය අනුව රජු විසින් පත් කරන ලද ලේකම්, කංකානම්, ගෙබලන රාල යන පන්තිවලට අයත් නිලධාරීහු ද කම්කරුවෝ ද ඔහුට සහාය වූහ.

උඩගබඩා නිලමේ රාජකීය ගබඩා ගම්වලින් ලත් බවබෝග රැස් කොට තිබුණු රජුගේ පුද්ගලික ගබඩාව භාරව සිටියේය. ඔහුගේ අතවැසියෝ නම් ලේකම්, කංකානම්, ගෙබලන රාල, මුහන්දිරම්, පිටවියදමේ විදානේ යන නිලධාරීහුය.

මහ හැතපෙනගේ මුහන්දිරම් නිලමේ රජුට සාත්තු සප්පායම් කළ අප්පුහාමිලා හෙවත් මහත්වරුන් පාලනය කළේය. ලේකම් මහත්මයෙක් ද කංකානම් නිලමේ කෙනෙක් ද ඔහුට සහාය වූහ. ලේකම් මහත්මයා රජු දිනපතා භාවිතා කළ ආභරණ භාරව සිටියේය. පසුව උසස් තනතුරුවලට පත් කෙරුණේ අප්පුහාමිලාය.

අතපත්තු මඩුවේ මුහන්දිරම් නිලමේ අප්පුහාමිලා අටසාලිස් දෙනකු පාලනය කෙළේය. අණපනත් ගෙනයාම, රන් ආවුද දරා රජු පිරිවර කොට සිටීම හා පෑතැටි දැමීම අතපත්තු මඩුවේ කටයුතුයි.

අප්පුහාමිලා අටසාලිස් දෙනකුගේ සහාය ඇතිව රන් ආවුද රැක බලා ගැනීමත් අලුත්වැඩියා කරවා ගැනීමත් රන් ආවුද මඩුවේ ලේකම් මහත්මයාගෙන් අපේක්ෂිත රාජකාරිය විය.

ලේකම්, කංකානම් යන නිලධාරීන්ගේ සහාය ඇතිව රජයේ තුවක්කු, කඩු වැනි ආයුධ ද යකඩ භා පිත්තල උපකරණ ද භාරව සිටියේ ආවුදගේ වන්නකු නිලමේය.

දියවඩන නිලමේ රජුගේ උලුපැන් ගෙය පරිපාලනය කෙළේය. රජු ස්නානය කරන විට හිස සෝදා පීරා සකස් කිරීම ද පසුව හිසේ තෙල් ගැල්වීම ද ඔහුගේ කටයුතු විය. රජුගේ අවසරය පිට සට්ටම්බිලා දස දෙනෙක් ද පණිවුඩකාරයෝ දස දෙනෙක් ද ඔහු විසින් පත් කරන ලද්දෝය. මොවුහු සුළු මුලාදෑනි වූහ.

හළුවඩන නිලමේ රජුගේ ඇඳුම් ආයිත්තම් භාරව සිටියේය; රජුට ඇඳ පැලඳ සැරසීමට උදව් කෙළේය.

බත්වඩන නිලමේගේ රාජකාරිය වූයේ ආහාර පාන උදව් කරවා රජුට එළවීමයි.

මඩප්පු රාලලා හා පිහ රාලලා ඔහුගේ සහායකයෝ වූහ. මඩප්පු රාලලා මේසය පිළියෙල කොට අහර බඳුන් නිසි ලෙස තැබූහ. නායක අරක්කැමියන් වූ පිහ රාලලා මුළුතැන්ගේ කටයුතු පාලනය කළෝය. බත්වඩන නිලමේ රජුගේ අභිමතය පරිදි රන් හැන්දකින් ආහාර පාන බෙදුයේය.

බුලත් පිළියෙල කිරීම ද රජුට පිළිගැන්වීම ද පණිවිඩ කරන නිලමේගේ කටයුතු විය.

බේත්ගේ මුහන්දිරම් නිලමේ වූකලි ගණනින් පනසක් පමණ වූ රාජ වෛද්‍යවරුන්ගේ නායකයාය. බෙහෙත් ගබඩාව ද ඔහු භාරයේ පැවැත්තේය. බෙහෙත් සෑදීම සඳහා සතලිස් දෙනෙක් ව්‍යාවෘත වූහ. ඔවුහු වෙදැදුරන්ගේ උවදෙස් පරිදි ඖෂධ රැස් කොට විවිධ බෙහෙත් වර්ග තැනුවෝය.

රජුගේ කූණම් පිළිබඳ කටයුතු කූණම් මඩුවේ ලේකම් මහත්වරු දෙදෙනකු විසින් පාලනය කරන ලදි. සට්ටම්බිලා ඔවුනට සහාය වූහ. පවුල් තුන් භාරසියයකට අයත් කුණම් උසුලන්නෝ සට්ටම්බිලා යටතේ සේවය කළෝය.

උඩරට රාජ්‍යයේ සුදලිය හා මාරුවලිය නම් වූ හරඹ කණ්ඩායම් දෙකක් විය. දෙකේ නායකයෝ සුදලියේ මුහන්දිරම් නිලමේ, මාරුවලියේ මුහන්දිරම් නිලමේ යන නම්වලින් දන්නා ලදහ. මේ කණ්ඩායම් මිටි ගුටි හෝ ‍කඩු, පලිස්, මුගුරු හෝ උපයෝගි කොටගෙන ද්වන්ද සටන්වල යෙදුණෝය. මේ නායකයෝ රටේ තන්හි තන්හි හරඹ මඩු පිහිටුවා තම හරඹ ක්‍රම ඉගැන්වූහ.

නැටුම් ඉලංගමේ මුහන්දිරම් නිලමේ රජුගේ නාට්‍ය කණ්ඩායම පාලනය කළේය. මලබාර් සම්ප්‍රදාය අනුව කාන්තාවන්ගෙන් සමන්විත වූ මෙය අශික්ෂිත යයි සිංහලයෝ සැලකූහ.

කවිකාර මඩුව සංවිධානය කරන ලද්දේ එහි මුහන්දිරම් නිලමේ විසිනි. උඩැක්කි හා තාළම්පොට උපයෝගී කොටගෙන කවි දැක්වීම කවිකාර මඩුවේ මෙහෙය විය.

වාහල ඉලංගමේ මුහන්දිරම් නිලමේ පිනුම් ගැසීම, බොරු කකුල් යාම ආදියෙහි යෙදුණු ක්‍රීඩක කණ්ඩායමක නායකත්වය දැරීය.

රජුගේ බෙරවාදකයන් සහ නළාකාරයන් මෙහෙය වූයේ තම්බෝරු පුරම්පෙත්තුකාර මුහන්දිරම් නිලමේය.

සිංගාරක්කාර මුහන්දිරම් නිලමේගේ කාර්යය වූයේ අන්තිම රජු විසින් පිහිටුවන ලද බෙරකාර කණ්ඩායමක් පාලනය කිරීමයි. ඔවුහු දිනකට අට වරක් මාළිගාවේ දී තූර්ය භාණ්ඩ වාදනය කළෝය.

පාලන නිලතල රදල ප්‍රධානීන්ට අයත් වුව ද, යුරෝපයේ වැඩවසම් ක්‍රමය යටතේ පැවති රදල බලය වැන්නක් උඩරට රාජධානියෙහි ගොඩ නැඟුණේ නැත. උඩරට රදලවරුන්ට යුරෝපයේ වැඩවසම් යුගයේ රදලවරුන්ට මෙන් පෞද්ගලික හමුදා නොවූහ. එහෙත් සුළුරජුන්ට හා ප්‍රදේශරජවරුන්ට වෙන ම හමුදා වූ අතර මහරජුට ආධාර පිණිස ඔවුහු හමුදා රැගෙන ආහ. රජුගේ හමුදාව ලෙස රටේ හමුදාව සකස් වී තිබිණි. නිලධාරීන් බලය ඉසුලුවේ රජුගේ කැමැත්ත උඩය. නිලධාරියකු අවශ්‍ය පෙදෙසකට හෝ නිලයකට මාරු කොට යැවීමේ බලය රජු සතු විය. 17 වැනි හා 18 වැනි සියවස්වල දී එම බලය උඩරට රජවරුන් විසින් ප්‍රයෝජනයට ගන්නා ලදි. තවද අවශ්‍ය විටක දී නිලධාරියකු තනතුරින් පහ කිරීමේ බලය රජු සතු විය. සමහර නිලතල පිළිබඳ සේවාකාලය නැවත වරක් දීර්ඝ කිරීමේ අයිතිය රඳා පැවතියේ රජු අතය. අදිකාරම්වරයකුගේ සේවාකාලය සාමාන්‍යයෙන් වර්ෂයකට සීමා විය. එය නැවත දීර්ඝ කිරීම සලකා බලන ලද්දේ රජුගේ අභිමතය පරිදිය. තවද රජවරු රදල බලය ගැන නිතර සුපරීක්ෂ්‍යකාරී වූහ. විශේෂයෙන් ම එය රජුගේ බලයට එරෙහිව නැඟී ආ හැකි බලවේගයක් වූ හෙයිනි. එනිසා සාමාන්‍ය ජනයා රදල නිලධාරීන්ගේ පීඩාවලින් බේරා ගැනීමට රජුට හැකි විය.

16 වැනි සියවස සිට 19 වැනි සියවස දක්වා කාලය තුළ උඩරට රාජ්‍යයට බාහිර ආක්‍රමණ එල්ල වූ අවස්ථා ද එහි අභ්‍යන්තර අවුල් ඇති වූ අවස්ථා ද විය. එහෙත් සාමාන්‍ය පාලන ක්‍රමය බිඳ නොවැටී පැවතිණ. සෙනරත්, II වැනි රාජසිංහ, නරේන්ද්‍රසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ වැනි රජවරු දීර්ඝ කාලයක් රජ කළහ. උඩරට රාජධානියට අයත් වූ රජුන් කීප දෙනෙක් ම දක්ෂතාවෙන් යුත් බලවත් අය වූහ. ඔවුන්ගේ දක්ෂතාවට අතිරේකව, පාලන ක්‍රමය ස්ථිර පදනමක පවත්වා ගෙනයාමට උපකාර වූයේ එම පාලන ක්‍රමය පසුබිමේ පැවැති නොයෙක් නීතිරීති හා සම්ප්‍රදායන් සැම දෙනා ම පිළිගෙන ඒවා අනුව කටයුතු කළ හෙයිනි.

ඉඩම් භුක්තිය හා සේවය

උඩරට පාලන තන්ත්‍රයේ කේන්ද්‍රය වූයේ ඉඩම් බුත්තියයි. රජු දෙරණිසුරු හෙයින් ඉඩම් බුත්ති විඳින හැම දෙන ම රජුට සේවය කළ යුතුයි. විහාර දේවාල වැනි පූජනීය ස්ථානයන්ට පූජා කරන ලද ඉඩම් ද සුවිශේෂ දක්ෂතා, රාජපාක්ෂිකභාවය ආදිය නිසා පුද්ගලයන්ට පමුණුගම් කොට දෙන ලද නින්ද ඉඩම් ද හැර ඉතිරි ඉඩම් සියල්ල සේවා හෙවත් නිල පංගු වශයෙන් බෙදා තිබිණි. මේ පංගුවක් මඩ ඉඩමකින් ද ගොඩ ඉඩමකින් ද සමන්විත විය. සේවා පංගුවක් බුත්ති විඳින්නා තම රක්ෂාව අනුව අවුරුදු පතා යම් කිසි දින ගණනක් රජුට සේවය කෙළේය. හේවායා හේවායකු ලෙසින් ද තරහලු වඩු, ලියන වඩු ආදීන් තම තම රැකියා ලෙසින් ද වේ. ඔවුහු ඒ ඒ කාර්යාංශවලට බැදී සිටියෝය. සේවා පංගුවක් බුත්ති විඳින්නකු මළ විට ඔහුගේ අවශ්‍ය ඥාතියෙක් ඒ පංගුව භාර ගෙන මුල් තැනැත්තා ලෙස ම රජුට සේවය කළේය. මෙසේ පරම්පරාගත වූ හෙයින් සේවා පංගු පරවේණි නමින් ද හඳුන්වන ලදි. විහාර දේවාල ගම්වල හා නින්ද ගම්වල විසුවෝ ඒ ඒ පංගු වෙනුවෙන් ඒ ගම් හිමි විහාර දේවාලයට හෝ නින්ද හිමියාට සේවය කළෝය. මෙයට අමතරව වැඩි දෙනෙක් කත්හාල් රාජකාරිය නම් බවබෝග බද්දක් ද ගෙවූහ.

අධිකරණය

උසස් පහත් හැම නිලධාරියකුට ම පදවිය අනුව අධිකරණ බලතල තිබුණේය. එහෙත් මුල් තැන ගත්තේ රට වසමයි. අදිකාරම්වරු අධිකරණ නායකයෝ වූහ. එහෙත් ඇතැම් නඩු ඇසීමේ බලය තිබුණේ රජුට පමණකි. දිවිරීම යුක්තිය පසිඳලීමේ ප්‍රධාන මාර්ගයක් විය. උණු තෙල, පුලුක් ගොබ, රත් යවට, වී සහ පොළොව සාක්ෂි කොට දිවිරීම ඔප්පු ආදියෙහි සඳහන් දිවිපහයි. තවත් දිවිරීම් ක්‍රම පැවැත්තේය.

පරම අධිකරණ බලය රජු වෙත විය. අධිකරණ කටයුතු අතින් රජුගෙන් ප්‍රධාන කාර්ය දෙකක් ඉටු විය. වැදගත් නායකයන් සම්බන්ධ නඩු, විහාර හා භික්ෂූන් සම්බන්ධ නඩු, රාජද්‍රෝහිත්වය, කැරලි කෝලාහල හා කුමන්ත්‍රණ පිළිබඳ නඩු හා මිනීමැරුම් වැනි අපරාධ නඩු මේ උසාවිය මගින් විසඳන ලදි. දෙවනුව එම උසාවිය අභියාචනා උසාවියක් ලෙස ද කටයුතු කෙළේය. එවිට එහි විසඳනු ලැබුවේ කෙබඳු නඩු දැයි හරිහැටි පැහැදිලි කර නැති නමුත් සාමාන්‍යයෙන් එහි විසඳීමට නඩු ඉදිරිපත් කරන ලද්දේ ප්‍රධානියකු, රජවාසල නිලධාරියකු හෝ විහාරයක් මගිනි.

උසාවි අතරින් දෙවන තැන ගත්තේ "මහ නඩුව" නම් වූ උසාවියයි. එය සමන්විත වූයේ අදිකාරම්වරුන්, දිසාවේවරුන්, ලේකම්වරුන්, මුහන්දිරම්වරුන් හා නීති කටයුතු පිළිබඳ ප්‍රසිද්ධියක් ලත් ප්‍රධානීන් යන මොවුන්ගෙනි. මේ උසාවියට අධිකරණ කටයුතු ගැන පුළුල් බලයක් තිබිණ. විශේෂයෙන් ම සිවිල් නඩු හා අභියාචන නඩු සම්බන්ධයෙනි. මහ නඩුවේ නිලධාරීන්ට තම තමන්ගේ පළාත්වල ද අධිකරණ බලතල හිමි විය. ගම්සභා මගින් ද අධිකරණ කටයුතු කෙරිණ. එහෙත් ඒවා අධිකරණ උසාවි නොවීය. ඒවායේ පරමාර්ථය වූයේ දෙපක්ෂය අතර එකඟත්වයක් ඇති කිරීමය. දිසාපති, කෝරාළ වැනි සිවිල් පාලන බලය තිබුණු නිලධාරීන්ට අධිකරණ නිල ද තිබීම අධිකරණ ක්‍රමයේ දුර්වලත්වයක් ලෙස විවේචනය වෙයි. යම් වැසියකුට සිවිල් බලය පිළිබඳ අධිකරණ ප්‍රශ්නයක් නඟන්නට සිදු වුවහොත් එය මුලින් ම විසඳන්නට ඉදිරිපත් වන්නේ සිවිල් නිලධාරියාය. වැඩි මුදලක් තිබුණු පක්ෂයට මෙම අධිකරණ ක්‍රමය ඉදිරියේ වාසි ලැබුණ බවත් නොයෙක් දූෂණ පැවැති බවත් නොක්ස් පෙන්වා දෙයි. තුටු පඬුරු දීමේ සිරිතක් පැවතීම ඊට හේතුව ලෙස සඳහන් වේ. කුල ප්‍රශ්නය ද මෙම අධිකරණ කටයුතු කෙරෙහි බලපෑ බව සඳහන් වේ. මෙම විවේචනවලට විරුද්ධව තර්ක ඉදිරිපත් කොට ඇත. අධිකරණ හා සිවිල් කටයුතු එක ම නිලධාරියා විසින් කරනු ලැබීමේ ක්‍රමය නිසා අධිකරණය සම්බන්ධ සිවිල් නිලධාරීන්ට වඩා හොඳ අවබෝධයක් ලැබෙන බව කියත්. පාලනයේ රජු කෙරෙහි පැවති බලය නිසා හැම නිලධාරියෙක් ම දැඩි රාජ බයක් ඇතිව කටයුතු කෙළේය. රජුට කිසිවකුගෙන් තුටු පඬුරු අල්ලස් අවශ්‍ය නොවීය. එවැන්නක් දීමට කිසිවෙක් ඉදිරිපත් නොවීය. එනිසා සම්පූර්ණයෙන් ම අපක්ෂපාතව කටයුතු කිරීමට රජුට හැකි විය. සෑම පුද්ගලයකුට ම ඕනෑ ම අධිකරණ විනිශ්චයක් සම්බන්ධයෙන් රජුට අභියාචනා කිරීමේ අයිතිය තිබිණ. අධිකරණයේ අපක්ෂපාතිත්වය රැකීමට එය හේතු විය. රජු අපක්ෂපාතී නොවූයේ වැරදි හැඟීමක් උඩ කෝපයක් හටගත් අවස්ථාවල දී පමණි. අධිකරණ කටයුතුවල අපක්ෂපාතිත්වයට කුල ක්‍රමය බලවත් බාධකයක් නොවීය. එහි බලපෑමක් ඇතිවීමට ඉඩ තිබුණේ උස් පහත් කුල අතර විවාහ සම්බන්ධතා වැනි ප්‍රශ්න මතු වූ අවස්ථාවල පමණි. සාමාන්‍යයෙන් කුල අතර ගැටීම් ප්‍රශ්න ඇති වූයේ කලාතුරකිනි. කුල වෙන් වෙන්ව පදිංචි වී සිටීමත් සමහර කුලවලට සීමා වූ ගම් පැවතීමත් ඊට හේතු විය.

දඬුවම්

අතුල් පහර දීම, ඉපලෙන් තැළීම, කස පහරදීම, දඩ ගැසීම, දඬුකඳේ ගැසීම, වැළැක්ම, දඟගෙයි ලෑම, පිටුවහල් කිරීම, හිස කෙස් කැපීම, අඟ පසඟ කැපීම, රොඩී රැහැට දැමීම හා මැරීම දඬුවම් ක්‍රමයි. අවසන් දෙක දිය හැකි වූයේ රජුට පමණකි.

රජු සහ ජනතාව

රජු සහ රටවැසි ජනතාව අතර කිට්ටු සබඳකමක් හා අව්‍යාජ සුහදතාවක් ඇති වීම පිණිස රජු මහජන සිතුම් පැතුම්වලට ගරු කිරීමත් පොදු ආගමේ අනුග්‍රහයකු වීමත් අත්‍යවශ්‍යය. උඩරට රජුන් සම්බන්ධයෙහි ලා සතර මංගල්‍යයෙන් මෙය සපිරුණි. එයින් පළමුවැන්න නම් සිංහල අවුරුදු උත්සවයයි. ජ්‍යෝතිශ්ශාස්ත්‍රයට මුල්තැන දී පැවැත්වුණු මෙයින් ජාතික ක්‍රීඩාවනට තැන් ලැබිණි. විනෝද මාර්ගයක් පෑදිණි. හිතමිතුරුකම් හා සබඳකම් වැඩිදියුණු විය. දෙවැන්න ඇසළ පෙරහැරයි. දන්ත ධාතුවට හා නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන දෙවිවරුනට ගෞරව වශයෙන් පැවැත්වුණු මෙය සිංහලයන්ගේ ශ්‍රෙෂ්ඨතම ජාතික, ආගමික හා ඓතිහාසික උත්සවය මෙන් ම අසහාය සංස්කෘතික සන්දර්ශනය ද විය. රජු ඇතුළු මුළු රට ම මෙයට සහභාගී විය. ඉල් මහේ දී පැවැත්වුණු කාර්තික මංගල්‍යය තෙවැන්නයි. ප්‍රදීපෝත්සවයක් වූ මෙය කාර්තිකේය හෙවත් කතරගම දෙවියන්ට ගෞරව පිණිස පවත්වනු ලැබිණැයි සමහරු කියති. සිවුවැන්න ජනවාරියේ දී පැවැත්වුණු අලුත්සාල් මංගල්‍යයයි. වී ගොවිතැන කෙරෙහි සිත් යොමු කිරීම මෙහි අරමුණ විය. දැනුදු මේ උත්සව පෙර පැවැති ශ්‍රී විභූතියෙන් තොරව වුව ද පවත්වනු ලැබේ.

(කර්තෘ: තෙන්නකෝන් විමල‍ානන්ද; ඇල්ලෙපොළ සෝමරත්න)

ප්‍රාදේශීය පාලනය

උඩරට රාජධානි සමයෙහි එම රාජධානියට යටත්ව පැවති ප්‍රදේශ නිරවුල්ව පාලනය කිරීමෙහි ලා දේශ කාල වශයෙන් ඉතා මැනවින් ක්‍රියා කැරුණු පාලන පද්ධතියක් දිගට ම පැවැත්තේය. දිසා, රට, කෝරළ, පත්තු, ගම් ආදි වශයෙන් බෙදුණු සිංහලේ රාජ්‍යයෙහි අගනුවරින් සැතපුම් සිය ගණන් ඈත් වූ ද ගමනාගමන දුෂ්කරත්වය නිසා පහසුවෙන් ළඟා විය නොහැකි වූ ද ඉතා සුළු ගැමි ප්‍රදේශවල පවා රාජපාක්ෂිකභාවය රැකී මැනවින් පාලනය ඉෂ්ට විධියේ රාජ-කේන්ද්‍රීය ප්‍රාදේශීය පාලනයක් අවිච්ඡින්නව ම පැවත ආයේය. බටහිර ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය හා සසඳන විට නොදියුණු වැඩවසම් ක්‍රමයක් සේ පෙනී ගිය ද මේ පාලන පද්ධතිය එදා පැවති රාජාණ්ඩුක්‍රමයත් කුලවාදය මත ගොඩනැඟුණු සමාජ රටාවත් ආර්ථීක ව්‍යූහයත් හමුවෙහි ඉතා කාර්යයක්ෂමව ක්‍රියාත්මක වූයේ යයි කියතොත් ඒ අතිශයෝක්තියක් නොවේ.

උඩරට රාජ්‍යයෙහි ප්‍රාදේශීය පාලන කොටස් අතුරෙන් දිසාව නමැති ඒකකය ප්‍රධාන විය. දිසාවක පාලනය දිසාවේ හෙවත් දිසාපති නමැති නිලධාරියකුට පැවරිණ. දිසාවේවරුන්ගේ කාර්ය වූයේ යුක්තිය පසිඳලීම, ආදායම් එකතු කිරීම, රාජාඥා ක්‍රියාත්මක කිරීම, දිසාවේ දියුණුවට අදාළ තානායම් ඉදිකිරීම, වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරවීම යනාදියයි. ඔවුන්ට දිසාව පිළිබඳ සම්පූර්ණ පාලන බලයක් හිමි වූ නමුදු විහාර දේවාලගම්, නින්දගම්, ගබඩාගම් යනාදියේ විසුවෝ ද ඇතැම් විට කූරුවේ සහ මඩිගේ මිනිස්සු ද ඔවුන්ගේ පාලනයෙන් බැහැර වූහ. වරදකරුවන්ට ඇතැම් දඬුවම් දීමේ බලය දිසාවේ සතු විය. එහෙත් උසස් පවුල්වලින් පැවත එන්නන්ටත් ඇතැම් තනතුරු දරන්නන්ට හා ඔවුන්ගේ දරුවන්ටත් දඬුවම් පැමිණවීමේ බලයක් දිසාවේවරුන්ට නොවීය. මොහොට්ටාල, කෝරාළ, වන්නියා, ආරච්චි, කංකානම් විදානේ යන නිල සම්බන්ධයෙන් පත්වීම් කිරීමේ බලය ඔවුන් සතු විය. එම පත්වීම් කිරීමේ දී හා ඒවා වාර්ෂිකව අලුත් කිරීමේ දී දිසාවේවරුන්ට පිරිනැමුණු "දැකුම්" ඔවුන්ගේ ප්‍රධාන අය මාර්ගය විය (සපරගමුවේ දිසාපති තැන මසකට ලත් ආදායම රිදී 10,683කැයි කියත්).

දිසාවේ යටතේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියා දිසාවේ මොහොට්ටාලය. දිසාපති නැති විට එම පදවියට අයත් බලතල ක්‍රියාත්මක කරන ලද්දේ මොහොට්ටාල විසිනි. දිසාපති තැනගේ වළව්ව පිළිබඳ කටයුතු ද මොහොට්ටාල විසින් පාලනය කැරිණ. ගමක මුලාදෑනි තැන වූයේ ආරච්චි හෝ විදානේය. දුරයා නමැති නිලධාරිහු ද ඇතැම් ගම්වල මුලාදැනි වූහ. කංකානම්ලා ආදායම් එකතු කිරීමට සහාය වූහ. අතපත්තු මොහොට්ටාල අතපත්තු මිනිසුන් පාලනය කෙළේය. අතපත්තු මිනිසුන් යනුවෙන් හැඳින්වුණේ දිසාවගේ පෞද්ගලික ආරක්ෂක පිරිසයි. තුවක්කු හමුදාව කොඩිතුවක්කු මොහොට්ටාල විසින් පාලනය කරන ලදි. දිසාපතිවරු දිසාවල වාසය නොකළහ. විටින් විට ඔවුන් සිය දිසාවන්හි චාරිකා ගමන් ගිය අතර පදිංචිව සිටියේ අගනුවරය. දිසාවේ එදිනෙදා පාලනය එහි පදිංචිව සිටි නිලධාරීන් විසින් පවත්වා ගෙන යන ලද අතර දිසාවක කැරලි, අවුල් වියවුල් ආදියක් ඇති වුව හොත් ඒ සම්බන්ධයෙන් දිසාවේ රජුට වගකිව යුතු විය. මධ්‍ය ආණ්ඩුවේ තවත් සමහර නිලධාරීහු ද දිසාවේ සංචාරය කළහ.

රටේ රාල නමැති නිලධාරියා “රටේ” ප්‍රධානියා විය. ඔහු කළ සේවය දිසාපතිවරයකුගේ සේවයට සමාන වූ නමුදු පදවිය ඊට පහත් ලෙස පිළිගැනිණ. ඔහුට ලැබුණේ ද අඩු ගෞරවයකි. පාලනය සඳහා සහාය පිණිස ලියනරාල, උණ්ඩියරාල, කෝරාළ, අතුකෝරාළ, ආරච්චි, විදානේ යන නිලධාරීන් පත් කරන ලද්දේ රටේ රාලවරුන් විසිනි. ලියනරාල ගණන් හිලව් තැබීමත් උණ්ඩියරාල (බ.) ආදායම් රැස් කිරීමත් කළහ.

දිසාවක් හා රටක් පාලන පහසුව සඳහා තවත් කුඩා පාලන ඒකකවලට බෙදාලන ලදි. කෝරළ, අතුකෝරළ, පත්තු හා ගම් යනුවෙන් හැඳින්වුණු ඒවාට වෙන ම පාලන නිලධාරීහු සිටියහ. ගම් පාලනය ගමරාල නමැති නිලධාරියකු විසින් කැරිණ. ගම්වල පාලන කටයුතු සඳහා ගසභාව නමින් ආයතනයක් විය. ගම් පාලනයට මධ්‍ය ආණ්ඩුවේ නිලධාරීන් සම්බන්ධ වූයේ ආදායම් එක් රැස් කිරීමේ දීත් යුද්ධ කටයුතු පිළිබඳ අවශ්‍යතා සපයා ගැනීමේ දීත් දරුණු අපරාධ සිදු වූ විටත් පමණි. ඒ ඒ ගම්වල මංමාවත් හා වාරිමාර්ග ඉදි කිරීම් ආදිය ගම්සභාව මගින් සිදු කැරිණ.

මධ්‍ය ආණ්ඩුව හා ප්‍රාදේශීය පාලන කොටස් අතර සම්බන්ධයේ දී ඒවායේ පිහිටීම බෙහෙවින් බලපෑ කරුණක් විය. රට නම් වූ පාලන ඒකක පිහිටියේ අගනුවරට ආසන්නවය. දිසා පිහිටියේ අගනුවරට දුරස්තරවය. ගමනාගමන පහසුකම් එතරම් නොපැවති හෙයින් දිසාව රට තරම් මධ්‍ය ආණ්ඩුවේ නිරන්තර පරීක්ෂාවට භාජනය නොවීය. එනිසා දිසාපතිට වැඩි බලයක් අයත් විය. දිසාපති අගනුවර වාසය කළ නිසාත් විටින් විට දිසාවන්ට පිටත් කරන ලද මධ්‍ය ආණ්ඩුවේ නිලධාරීන්ගේ මාර්ගයෙනුත් දිසාවල තත්වය ගැන තොරතුරු රජුට දැනගත හැකි විය. චරපුරුෂයන් මගින් ද අවශ්‍ය තොරතුරු ලබාගැනිණි. කෙසේ වුව ද රට යන පාලන ඒකකය දිසාවට වඩා රජුගේ ඍජු පාලනයට යටත් විය.

උඩරට ප්‍රාදේශීය පාලනය ගොඩනැඟී පැවති ආකාරය නිසා රජුගේ බලය රාජ්‍යයේ සෑම පාලන ප්‍රදේශයක් කෙරෙහි ම විහිදිණ. උඩරට රාජධානිය නිරන්තරයෙන් ම සතුරු පහරදීම්වලට මුහුණ දී සිටි හෙයින් එහි දේශසීමා බෙදීම් හා ප්‍රාදේශීය පාලන කොටස්වල බෙදීම් පිළිබඳ ඉතිහාසය පැහැදිලිව දැක්විය නොහැකිය. එහෙත් උඩරට රාජධානියේ අන්තිම රාජ්‍ය සමය වන විට එය ප්‍රාදේශීය පාලනය සම්බන්ධයෙන් ප්‍රධාන පාලන කොට්ඨාස විසිඑකකට බෙදා තිබිණි. මින් දොළසක් දිසා නමින් ද නවයක් රට නමින් ද හැඳින්විණ. සතරකෝරළය, සත්කෝරළය, ඌව, මාතලේ, සබරගමුව, තුන්කෝරළය, වලපනේ, උඩපළාත, නුවරකලාවිය, වෙල්ලස්ස, බින්තැන්න හා තමන්කඩුව ඒ දිසා දොළසයි. උඩරට රාජ්‍යයේ අවසන් අවධිය තුළ රට නමැති පාලන ඒකකයන්ට අයත් වූයේ උඩුනුවර, යටිනුවර, තුම්පනේ, හාරිස්පත්තුව, දුම්බර, හේවාහැට හා කොත්මලේත් උඩබුලත්ගම හා පාතබුලත්ගමත්ය.

(සංස්කරණය: 1970)