උපවාසය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

රෝගෝපද්‍රවාදියක් හෝ වෛද්‍යෝපදේශාදියක් හෝ නිසා නොව කිසියම් බාහිර අරමුණක් සලකා කෙටි හෝ දිගු කලකට අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් ම ආහාර වර්ජනය කිරීම උපවාසය නමි. ජලය, පලතුරු යුෂ හා ලුණු හැර අන් හැම ආහාරපානයකින් ම හෝ දැඩි ආහාරවලින් පමණක් හෝ මාංසාහාර වැනි විශේෂ ආහාරවලින් පමණක් හෝ කිසියම් කර්මයකට පෙරාතුව නැතහොත් වරුවක්, දිනක්, දින කීපයක්, එසේ ද නැතහොත් මරණාන්තය දක්වා වැළකී සිටීම වශයෙන් උපවාසය විවිධ ස්වරූප ගනී. ඇතැම් විට උපවාසය ව්‍රතයක අංශයක් වශයෙන් පමණක් සිටී. උපවාසය ඈත අතීතයේ සිට පැවත එන පිළිවෙතකි. බොහෝ ආගම ධර්මයන්ගෙන් අනුමත වී ඇති මෙම පිළිවෙත උසස් සංස්කෘතියකට හිමිකම් කියන නූතන ජනයා විසින් ඒ ඒ ආගමේ දක්වා ඇති පරිදි පිළිපදිනු ලබන අතර ප්‍රාකෘතික ගෝත්‍රික ජනයා තම ආදි මුතුන්මිත්තන්ගෙන් උරුම වූ ගෝත්‍රික චාරිත්‍රයක් සේ සලකා අනුගමනය කරත්. ඇතැම් අවස්ථාවන්හි දේශපාලනාදි අයිතිවාසිකම් හා ඉල්ලීම් දිනාගැනීමේ පහසු ක්‍රමයක් වශයෙන් ද උපවාසය උපයෝගී කරගන්නා බව පෙනේ.

උපවාසය විවිධ හේතූන් නිසා විවිධ අවස්ථාවල දී විවිධාකාරයෙන් පැවැත්වෙන බව පෙනෙන අතර එහි මූලාරම්භය පිළිබඳව තත්වඥයන් දරන මත විවිධය. එය ආරම්භ වූ නිශ්චිත කාලයක් හෝ හේතුවක් දැක්වීම අපහසුය. එහෙත් විවිධ ආගම්වලින් අනුමත වී ඇති උපවාස ක්‍රම හා නානා ගෝත්‍රිකයන් අතර දක්නට ඇති උපවාස ක්‍රම පරීක්ෂා කළ නොයෙක් සමාජ විද්‍යාඥයන් හා මානව විද්‍යාඥයන් උපවාස පිළිවෙතේ ආරම්භය හා ආරම්භක හේතූන් සොයා බලා මත කිහිපයක් පළ කර තිබේ.

ආරම්භය

මුල් ම මිනිසා එකල මුහුණ පෑ ආහාර හිඟය හා ආහාර සපයාගැනීමේ දුෂ්කරතා නිසා අනිවාර්‍ය්‍යයෙන් නිරාහාරව සිටීමට පුරුදු වීමෙන් උපවාසය ආරම්භ වීය යනු එක් මතයකි. උපවාසය ශෝකය ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් වශයෙන් ආරම්භ වූයේය යනු තවත් මතයකි. ශෝකයක් හටගත් කල්හි කුසගිනි වේදනා අමතක වීම සාමාන්‍ය සිද්ධියකි. විශේෂයෙන් මරණයක් වූ කල්හි ඥාතීහු මළ අය ගැන ශෝක වනු විනා කෑම්බීම් ගැන උත්සුක නොවෙති. කුසගිනි වේදනා විඳිමින් සුඛවිහරණයෙන් වැළකී සිටීම මළ අය කෙරෙහි දක්වන ගෞරවයක් ලෙස සැලකුණේ ද විය හැකිය. එහෙයින් කල්යාමේ දී ශෝකය පළ කිරීමේ යෝග්‍ය මාධ්‍යයක් වශයෙන් උපවාසය පිළිගැනුණු බවක් සිතිය හැකිය. මළවුන් වෙනුවෙන් කරන යාගහෝමපූජාදිය සඳහා මළගිය තැනැත්තාගේ වරිගයේ අය ආහාර යොදාගැනීම නිසා ආභාර හිඟයක් ඇති වීමෙන් අනිවාර්‍ය්‍යයෙන් නිරාහාරව සිටීමට ද සිදු වෙයි. මෙයින් උපවාසය ආරම්භ වූයේය යනු හර්බට් ස්පෙන්සර්ගේ මතය වේ. මරණයක් නිසා මළ තැනැත්තාගේ නිවසේ ආහාර අශුද්ධ වන හෙයින් එකී ආහාර අනුභව කිරීම අන්තරායදායක යැයි සැලකෙන නිසා මළ ගෙදරක අය උපවාසයෙහි යෙදෙන බවත් එය ම උපවාසයේ ආරම්භය බවත් ඊ. වෙස්ටර්මාක් අදහස් කරයි. උපවාසයේ යෙදීම ආත්ම දණ්ඩනයකි. තමාට ම මෙසේ දඬුවම් පමුණුවාගැනීමෙන් විඳින දුක් වේදනා නිසා අතිමානුෂ දේවභූතාදීන් තමාට අනුකම්පා කොට ඔවුන්ගේ කරුණාව තමාට දක්වනු ඇතැයි ද එයින් තමාට දේවබැල්මත් ඉෂ්ටාර්ථසිද්ධියත් ලබාගත හැකි වෙතැයි ද ආදිමිනිසා සිතන්නට ඇත. මෙසේ උත්තරීතර බලයට කරන පූජා විධියක් ලෙස උපවාසය ආරම්භ වූ බව ඇතැම් මානව විද්‍යාඥයන් නිගමනය කොට ඇත. උපවාසය පේවීමේ චාරිත්‍රයක් හෙවත් ප්‍රාරම්භක කර්මයක් වශයෙන් ආරම්භ වූ බව ඇතැමෙක් විශ්වාස කරති. ආහාරය සමග අපවිත්‍ර දෑ ශරීරගත වන හෙයින් ඉන් වැළකීම පවිත්‍රව සිටීමට ගන්නා පියවරක් වශයෙන් සැලකූ ආදි ගෝත්‍රික ජනයා එසේ උපවාස කර පවිත්‍රව සිටීම උපනයන සංස්කාරාදී කාර්‍ය්‍යයන්හි දී අවශ්‍ය ප්‍රාරම්භක කර්මයක් කොට සැලකූ බව ඩබ්ල්‍යු.ආර්. ස්මිත් පවසයි.

මේ කවර අයුරින් හෝ ආරම්භ වූ උපවාසය කල් යත් යත් මනුෂ්‍ය සමාජයන් විසින් නොයෙක් සමාජ නීති රීති පැනවීමෙන් ක්‍රමවත් සමාජ චාරිත්‍රයක් වශයෙන් ද ජගත් ආගම් ධර්මයනට පවා වැද්දගැනීමෙන් ආගමික චාරිත්‍රයක් වශයෙන් ද හැඩගසාගන්නා ලදැයි සැලකිය හැකිය. සමාජ චාරිත්‍රයක් වශයෙන් සැලකීමේ දී, උපවාසය අවමංගල්‍යයක දී, රහස් සමාජයකට ඇතුළු වීමේ දී, උපනයනය වැනි ජීවිතයේ විවිධ අවස්ථා පිළිබඳ සංස්කාරයන්හි දී, ශක්තිය ප්‍රදර්ශනය කිරීමේ දී හා පවිත්‍රනය සඳහා අනුගමනය කැරෙන ආකාරයත් ආගමික පිළිවෙතක් වශයෙන් ප්‍රාකෘතික ගෝත්‍රික ආගම්වල හා ලෝකයේ ප්‍රධාන ආගම් කිහිපයක පිළිපැදෙන ආකාරයත් පහත දැක්වේ.

අවමංගල්‍ය අවස්ථාවක දී ශෝකය පළ කිරීමේ ක්‍රමයක් වශයෙන් උපවාසයෙහි යෙදීම බොහෝ ගෝත්‍රිකයන් අතර දක්නට ලැබෙන සමාජ චාරිත්‍රයක් බව පෙන්වීමට සාධක එමට ඇත. මෙම උපවාස චාරිත්‍රයේ අදහස මළවුන්ගේ මෙන් ම තමන්ගේ ද යහපත සැලසීම වේ. අන්දමන් දූපත් වාසීන් ශෝක වන අවස්ථාවන්හි දී තමන්ගේ සුඛෝපභෝගී ආහාර වර්ජනය කරන අතර නවගිනියාවේ වැසියෝ තම තමන්ගේ ප්‍රියතම ආහාරවලින් වළකිත්. සොලමන් දූපත් වාසීහු පොල් හා කෙසෙල් හැර අන් කිසිවක් නොගනිති. උපවාසය චාරිත්‍රයක් වශයෙන් බහුලව ප්‍රචලිත නොවූ පුරාණ පර්සියාවේ මරණයක් වූ කල්හි ඥාතීහු මරණයට පසුදා මුළුල්ලේ ම උපවාස කළහ. පුරාණ ජපන්, ග්‍රීක හා හේබ්‍රෙව් ජාතීන් අතර ද මෙය දක්නට තිබිණි. ෆීජි දූපත් වාසීන්ගේ ශෝක උපවාසය දින දහයේ සිට විස්ස දක්වා කාලයක් තුළ කරනු ලැබේ. ස්වාමිපුරුෂයාගේ මරණයෙහි දී නයිජීරියාවේ යොරුබා ගෝත්‍රික වැන්දඹුවක තම දියණියන් හා සමඟ පැය විසිහතරක් මුළුල්ලේ සම්පූර්ණ උපවාසයක යෙදිය යුතු වන අතර ඝානාවේ ගෝත්‍රිකයන් ද එසේ දැඩි දීර්ඝ උපවාසයක යෙදෙන බව පෙනේ. පුරාණ චීන චාරිත්‍රය අනුව මළ අයගේ ඥාති සම්බන්ධයේ දුර ළඟ ප්‍රමාණය අනුව උපවාසයේ දැඩිබව අඩුවැඩි විය. ළඟ ම ඥාතීන් වෙනුවෙන් දැඩි ලෙස දීර්ඝ උපවාසයක යෙදුණු ඔවුන් මළවුන් පිදීමේ චාරිත්‍රය පැවැත්වූ දිනට කලින් හත් දිනක් උපවාසයේ යෙදීම සිරිතක් විය. කොරියාවේ වැන්දඹුවක එක් දිනක් ද දරුමුනුබුරන් දින තුනක් ද උපවාසයේ යෙදිය යුතු විය. ගෝත්‍රික නායකයකු හෝ රජ කෙනකු මිය ගිය කල්හි මුළු ගෝත්‍රය ම හෝ රට ම උපවාසයේ යෙදීම දකුණු අප්‍රිකානු ගෝත්‍රිකයන්, ෆීජි දූපත් වාසීන් හා පුරාණ මිසරවාසීන් අතර පිළිගත් චාරිත්‍රයකි. ශෝකය පළ කිරීමේ උපවාස චාරිත්‍රය ලංකාවේ ද සංකේත වශයෙන් පමණක් වුව ද දක්නට ලැබෙතැයි කිව හැකිය. මරණයක් වූ කල්හි සිංහල බෞද්ධ ගෙදරක නම් මිනිය ගෙහි ඇති තාක් කල් ආහාර පිසීම තබා ළිපේ ගිනි මෙළවීමක් වත් නොකැරේ. ඒ කාලය තුළ ගෘහවාසීන්ට ආහාර සපයනු ලබන්නේ අසල්වැසි ඥාතිමිත්‍රාදීන් විසිනි. එවැනි ආහාර මළමිනිය තැන්පත් කොට ඇති ගේ තුළට නොගෙන අහල පහල ගෙදරක තබා ආහාර ගන්නවුන් එහි කැඳවාගෙන යති. මෙසේ ආහාර සැපයුණ ද බොහෝ විට මළ අයගේ ගෙදර කිසිවෙක් මිනිය ගෙහි තිබෙන තාක් ආහාර නොගනිති. දුර බැහැරින් පැමිණෙන ඥාතිමිත්‍රාදීන්ට සංග්‍රහ කිරීමට එකී ආහාර ගනු ලැබේ. එහෙත් මෙකල බොහෝ දුරට සිංහල ඉළව් ගෙවල උපවාසය ළිප ගිනි නොමෙළවීමට සීමා වී පවතිතැයි කිව හැකිය.

සමහර ගෝත්‍රිකයන් අතර රහස් සමාජ සුලභය. මේ රහස් සමාජවලට ඇතුළු වීමේ දී උපවාසයෙහි යෙදීම අවශ්‍යයෙන් ම කළ යුත්තකි. බෑන්ක් දූපත් වාසීන්ගේ සිරිත් මෙය ස්ඵුට කරයි. එමෙන් ම අභිචාර විධි හා වෙනත් මන්ත්‍ර ගුරුකම් රහසේ ඉටු කර ‘කට්ටාඩි’ ධුර ලැබීම සඳහා ද උපවාසයේ යෙදෙන්නේ එසේ කිරීමෙන් උත්තර ඥානය ලැබෙතැයි ද උත්තර බල ආරූඪ වෙතැයි ද යන විශ්වාසය නිසාය. ඇස්කිමෝවරුන් හා ලැප්වරු උපවාසය පමණක් නොව ළය විරේකය වැනි දෑ ද මේ වෙනුවෙන් කරති. උතුරු ඇමෙරිකානු ගෝත්‍රිකයන්, අබිපෝනිවරුන් හා සූලූවරුන් අතර ද මෙවැනි දෘඪ උපවාස ක්‍රම දක්නට ලැබේ. රතු ඉන්දියන්වරුන් ඒ සඳහා පමණක් නොව දෛනික ජීවිතයේ අභිරහස් දැනගැනීමට ද උපවාසයේ යෙදෙන බව පෙනේ. දඩයම්කරු තමාගේ දඩයම සාර්ථක වේ දැයි දැනගැනීමට ද විවාහකයකු තමා පියෙක් වේ දැයි බලාගැනීමට ද ආදි වශයෙනි.

උපනයනය ගැන සලකන කල්හි උපවාසය ඒ හා අනිවාර්‍ය්‍යයෙන් සම්බන්ධ වූ අංගයක් සේ පෙනේ. ප්‍රාකෘතික ගෝත්‍රිකයන් අතර ප්‍රචලිත චාරිත්‍ර අනුව උපනයනය නොකරනු ලැබූවන්ට සමහර ආහාර වර්ග මෙන් ම ජීවිතය හා සමාජය සම්බන්ධ රහස් හා වරප්‍රසාද ආදිය අහිමි වනු පමණක් නොව ඔවුන් පූර්ණ මිනිසුන් සේ සැලකීමක් ද නැත. එබැවින් උපනයනය කිරීම ජීවිතයේ වැදගත් සිද්ධියකි. මෙකී උපනයන මංගල්‍යයට සූදානම් වන්නන් උපවාසයේ යෙදී ඊට සුදානම් වීම අනිවාර්‍ය්‍ය චාරිත්‍රයක් ලෙස ප්‍රාකෘතික ගෝත්‍රිකයෝ සලකති. ඕස්ට්‍රේලියානු ගෝත්‍රිකයන් අතර උපනයනය නොකරනු ලැබූවන්ට තහනම් වූ ආහාර වර්ග රාශියකි. නවගිනියාවේ හා ටෝරේස් සමුද්‍ර සන්ධියෙන් බටහිරදිග ගෝත්‍රිකයන්ගේ උපනයනය ලබන්නවුන් මාංසාහාරයෙන් සම්පූර්ණයෙන් ම වැළකී සිටිය යුතුය. නිව් සවුත් වේල්ස්හි ගෝත්‍රිකයන් අතර ඇති ‘බෝරා’ උත්සවයට පෙර පිරිමි ළමයින් දින දෙකක් වතුර මිස අන් අහරක් නොගෙන උපවාස කළ යුතුය. අන්දමන් දූපත්හි ද මෙවැනි තහංචි රාශියක් ඇති අතර ඒවා අස් කරනු ලබන්නේ, පිරිමි ළමයින්ගේ නම්, උපනයනයේ දීත්, ගැහැනු ළමයින්ගේ නම්, විවාහයේ දීත්ය. නිව් හෙබ්‍රිඩීස් වාසීන්ගේ උපනයනයේ දී පිරිමි ළමයින් දින තිහක් තිස්සේ කෑම්පීම් නොගෙන මහත් දුක්වේදනා විඳිමින් හුදකලාව උපවාස කළ යුතුය. ඇමෙරිකානු ඉන්දියන්වරුන්ගේ උපනයන උපවාසය දැඩිය; දීර්ඝය. ඒ සමඟ ම ළය විරේකය හා ස්නානය වැනි දෑ ද කළ යුතු වේ. මුස්කියුකි ඉන්දියානුවරුන් උපනයනය සඳහා අවුරුදු නවයක් තිස්සේ පුහුණු විය යුතුයි. මෙහි ලා ඉතා සුළුවෙන් ආරම්භ වන උපවාසය ක්‍රමයෙන් දැඩි කරනු ලැබ අවසාන දින නවය තුළ දී ඉතා ම දැඩි වේ. ඇල්ගොංකින් ගෝත්‍රිකයන්ගේ උපනයනයේ දී පිරිමි ළමයින් මුහුණුවල කළු සායම් තවරාගෙන දින අටක් උපවාසයේ යෙදිය යුතුය. බොහෝ විට මොවුන්ට මෙම උපවාසය දරාගත නොහැකි තරම් දරුණු වේ.

උපවාසය උපනයනය ලැබීමේ දී ප්‍රධාන ප්‍රාරම්භක කර්මයක් වන්නාක් මෙන් ම ජීවිතයේ වෙනත් විවිධ සංස්කාර අවස්ථාවල දී ද අවශ්‍ය ප්‍රාරම්භක කර්මයක් වේ. රාජත්වය ලැබීමට පෙර රජ කුමරුවා ද පැවිදිබව ලැබීමට පෙර ප්‍රව්‍රජ්‍යාපේක්ෂකයා ද නයිට් පදවිය ලබන්නා ද බව්තීස්මය ලබන්නා ද සත්ප්‍රසාද පූජාවට පෙර කතෝලිකාගමික පූජකයා ද විවාහ මංගල්‍යයට පෙර මණාල යුවළ ද කොටහළු උත්සවයේ දී යුවතිය ද ආදි වශයෙන් ආගමික හා සමාජ අවස්ථාවලට මුහුණ දෙන්නන් විසින් උපවාසයෙහි යෙදීමෙන් ඒ සඳහා සූදානම් විය යුතුය. දරු ප්‍රසූතියක් බලාපොරොත්තුවෙන් ඉන්නා මවක පමණක් නොව දරුවාගේ පියා ද සමහර ආහාර වර්ගවලින් වැළකී සිටීම බහුලව ප්‍රචලිත චාරිත්‍රයකි. ෆීජි දූපත්වාසීන් අතර මෙය විශේෂ චාරිත්‍රයක් වේ. නූපන් දරුවාගේ සුබසෙත පතා කරන මෙවැනි උපවාස ඕස්ට්‍රේලියාවේ, දකුණු ඇමෙරිකාවේ, මෙලනීසියාවේ හා තවත් නොයෙක් රටවල ගෝත්‍රිකයන් අතර දක්නට ලැබේ. මෙම උපවාස බොහෝ විට මස් මාංස හා අල වර්ග වර්ජනය මුල්කොටගෙන සිදු වේ. බොහෝ ගෝත්‍රික තරුණියන්ට ප්‍රථම ආර්තවයේ දී මෙවැනි ම උපවාසයක යෙදීමට සිදු වේ. නොයෙක් ගෝත්‍රිකයන් අතර ද පුරාණ චීනයේ ද දක්නට ලැබෙන උපවාස ක්‍රම අතර විවාහ මංගල්‍යයේ දී ඉටු කළ යුතු උපවාසය වැදගත් එකකි. මෙවැනි උපවාස චාරිත්‍ර උල්ලංඝනය කිරීමෙන් බලවත් අනතුරු පැමිණෙතැයි ඔවුන් ඇදහූ හෙයින් එකී උපවාස ගෝත්‍රික චාරිත්‍ර අතර තදින් බල පෑවේය. අනුන්ගේ ලෙඩදුක් සුව කරවීමට උපවාසයේ යෙදීම පුරාණ ජපන් වැසියන් අතර පැවති චාරිත්‍රයකි.

ඇල්ගොංකින් ඉන්දියානුන් අතර දක්නට ලැබෙන පරිදි උපවාසය ශක්තිය ප්‍රදර්ශනය කිරීමේ මාධ්‍යයක් වශයෙන් ද ප්‍රචලිත වූ වග පෙනේ. වැඩි ම කලක් උපවාස කිරීම ගරු සැලකිලි ලැබීමට සුදුසුකමක් සේ ඔව්හු සැලකූහ. හුදු සමාජ චාරිත්‍රයක් වශයෙන් ගත් කල උපවාසය යම් යම් කාර්‍ය්‍යයන් සඳහා ප්‍රාරම්භක කර්මයක් මෙන් ම පවිත්‍රීකරණය සඳහා උපයෝගී කරගත් කර්මයක් වූ බවට ද බොහෝ සාධක තිබේ. දෙවියන් ඇදහීමට හා ආගමික වතාවත් කිරීමට සුදානම් වීම් වස් ද (මිසරයේ අයිසිස් භක්තයන් දේව මන්දිරයට යාමටත් එම දේවමාතාවන් පිදීමටත් පෙර හා ලැප් පූජකයන් ස්වකීය දේව පූජාවන්ට පෙර), ශුභඵල ගෙන දෙන කාර්‍ය්‍යයන් ආරම්භ කිරීමට පෙර ද (චෙරෝකි ගෝත්‍රිකයන් රාජාලියකු මැරීමට පෙර), මංගල්‍ය සාදයන්ට සහභාගි වනු වස් ද (නවගිනියාවේ අල සංග්‍රහයට පෙර), අලුත් අස්වැන්නේ ප්‍රථම භෝජනයට පෙර ද (චෙරෝකි ගෝත්‍රිකයන්ගේ අලුත් බත් කෑමට පෙර), මිත්‍රාගමික සංග්‍රහවලට පෙර ද උපවාසයේ යෙදීමෙන් පිරිසිදු වී සූදානම් විය යුතුය යන ජනසම්මත ව්‍රත සමාදාන චාරිත්‍ර තිබිණි. සමහර විට මෙම උපවාස කාලය තුළ එයට අමතරව ළය විරේකය හා ස්නානය වැනි කර්ම ද කරනු ලැබේ. එකී ව්‍රත සමාදානයට හෝ සාදයන්ට සහභාගි වීමට අවසර ලැබෙන්නේ ද මෙලෙස සූදානම් වූ අයට පමණකි. ග්‍රීක හා රෝම වැසියන් අතර ද මෙය ප්‍රචලිත චාරිත්‍ර විධියක් විය. මෙවැනි උපවාසවලින් අදහස් කැරුණේ යම්කිසි ශ්‍රේෂ්ඨ කටයුත්තක් සඳහා ඉදිරිපත් වන විට පිරිසිදු වී සූදානම් වීමය. එහෙත් හුදෙක් පවිත්‍ර වනු සඳහා ම උපවාසයේ යෙදීම ද පැරැණියන් අතර මුල්බැසගත් චාරිත්‍රයක් විය. නවගිනියාවේ මිනිසකු මැරූ තැනැත්තේ වහා ගෙදර ගොස් මසක් යන තුරු එහි හිඳ උපවාසය කරයි. ප්ලීව් දූපත්වාසී තරුණ සෙබළුන් සටනකින් පසු උපවාස කරන්නේ ද පිරිසිදු වීම සඳහාය. පුනරුත්පත්තිය කෙරෙහි දැඩි විශ්වාසයක් ඇති ඇලස්කාවේ ට්ලින්ගිට්ස් ගෝත්‍රිකයන් අතර මරණයක් සිදු වූ කල්හි ගැහැනු ළමයි දින අටක් තිස්සේ උපවාසයේ යෙදෙමින් පවිත්‍ර වෙති. තොම්සන් ගඟබඩ රතු ඉන්දියානුන් අතර මළමිනියක් අතපත ගෑ අය එය භූමදාන කරන තුරු ම උපවාසයේ යෙදීමේ සිරිතක් දක්නට ලැබේ.

තහංචි පිළිවෙත් ආරක්ෂා කිරීම නිසා සිදු වන උපවාසය බහුලව දක්නට ලැබෙන සිද්ධියකි. මෙකී තහංචි බොහෝ විට උත්තරීතර බලයක අනුමතිය ලත් ඒවා බවක් කියතත් ඒ වනාහි ආත්මාර්ථ සිද්ධිය සඳහා පනවාගත් සිරිත් වෙසෙසක් බව පෙනී යයි. උසස් වර්ගයේ ආහාර කොටස් වැඩිහිටි පිරිමින්ට පමණක් සීමා කර ඇත්තේ ආහාර හිඟයෙන් මිදීම, තරුණයන් දැඩි හික්මීමක් සඳහා පුහුණු කිරීම ආදි වූ හේතූන් නිසා විය හැකිය. බා-යකා ගෝත්‍රිකයන් අතර සියලු ම මස් වර්ග ස්ත්‍රීන්ට තහනම් වේ. නැගෙනහිර අප්‍රිකාවේ වහෝගෝ ගෝත්‍රිකයන්ගේ සිරිත අනුව සතුන්ගේ සමහර පෝෂ්‍යදායී කොටස් (පීකුදු, හදවත, වකුගඩු ආදිය) ළමයින්ට තහනම් වන අතර නවගිනියාවේ තරුණයන් සමහර ආහාර වර්ජනය කරන්නේ ඒවා ගැනීමෙන් ඇති වෙතැයි සැලැකෙන උපද්‍රවයනට බියෙනි. උපනයනය නොකරනු ලැබුවන්ට අනිවාර්‍ය්‍යයෙන් බොහෝ ආහාර වර්ග තහනම් වනබව කලින් දක්වන ලදි.

ගෝත්‍රිකාගමික චාරිත්‍ර

ගෝත්‍රිකාගම්වල උපවාසයට විශේෂ වැදගත් ස්ථානයක් හිමි වේ. ගෝත්‍රිකයන්ගේ ජීවිතයේ විවිධ අවස්ථාවල දී උපවාසයේ යෙදීම බොහෝ විට ඔවුන්ගේ ආගමික ඉගැන්වීම්වලට එකඟව සිදු වන බව කලින් පැවැසිණි. එපමණක් නොවේ. සාන්තාල් පූජකයන් දේව බැල්ම ලබා පේන කීමේ වරය ලබාගැනීම, සූලූ පූජකයන් දෙවියන් ආරූඪ කරගැනීම හා දෙවියන් සමඟ කථාබස් කිරීම, චීන ජාතිකයන් මළවුන් හා කථා කිරීම ආදි කටයුතු සඳහා අනිවාර්‍ය්‍යයෙන් උපවාසයේ යෙදිය යුතු බව දැක්වෙයි. ඇමෙරින්දියන්වරු තමන්ගේ ආරක්ෂක දෙවිවරු දැකගැනීම සඳහා උපවාසයේ යෙදෙති. උපවාසයේ යෙදීමෙන් දේව බැල්ම ලබා ගුප්ත බලයෙන් තම කාර්‍ය්‍යයන් ඉටු කර ගැනීමට හැකි බව විශ්වාස කරන ගෝත්‍රිකයෝ උපවාසයේ යෙදෙති. මොටු-මොටු ගෝත්‍රිකයන් අතර තමන්ගේ දඩයම් සාර්ථක කරගැනීමට දඩයමේ ගිය අය එන තුරු අනෙක් අය ද ඇලස්කාවේ ගෝත්‍රිකයන් අතර තම ස්වාමි පුරුෂයන් මසුන් මරාගෙන එන තුරු භාර්යාවෝ ද උපවාසයේ යෙදෙති. සටන්වලින් ජය ගැනීම පිණිස (යුදට ගිය අයගේ ජය පතා) ගෙදර සිටින්නෝ උපවාසයේ යෙදෙති. බෑන්ක් දූපත් වාසීහු සතුරකු මැරීමට පෙර ද මයෝරි මන්ත්‍රකාරයෝ කෙනකු මරණයට පත් කිරීමේ අදහසින් ඔහුගේ කෙස් ගසක් ගෙන හදි හූනියම් කරන්නට පෙර ද උපවාසයේ යෙදෙති. ඉන් ස්ථිර සාර්ථක ප්‍රතිඵල ලැබෙන බව ඔවුහු අදහති. ස්වභාවධර්මයාගේ අනුකම්පාව ලබා තම සිතැඟි මුදුන් පමුණුවා ගැනීමට උපවාසය උපයෝගී කොටගන්නා ගෝත්‍රිකයන් අතර ජාවා රටේ ගෝත්‍රිකයන් ද ඉන්දියාවේ සාන්තාල්වරුන් ද දැක්විය හැකිය. තමන්ට වැසිපල අවශ්‍ය වූ විට ඔවුහු කඳු මුදුන්වලට ගොස් යාච්ඤා කරන අතර ඊට පෙර උපවාසයෙහි යෙදෙති. නැචෙස්වරුන් හා සුනිවරුන් අතර ද මෙවැනි ආගමික පිළිවෙත් වේ. දැඩි උපවාසයේ යෙදීමෙන් දේවාශීර්වාදය ලැබිය හැකි බව අදහන චිමේසියන්වරු දින හතක් කිසිදු අහරක් නොගෙන මෛථුනයෙන් ද වැළකී ඇඳට වී සිටිති. කොලොම්බියාවේ ඉන්දියන්වරුන් ද දෙවිවරුන්ගේ ආධාර අවශ්‍ය වූ විට එලෙස කරන බව කියත්. පව් සමා කරවාගැනීමේ හා පසුතැවීමේ ක්‍රමයක් වශයෙන් ද උපවාසය ගෝත්‍රිකාගම්වල බහුලව යෙදේ. මෙම උපවාසය දින එකේ සිට අවුරුදු ගණන් දක්වා දීර්ඝ වන අතර එක් පුද්ගලයකුගේ සිට මුළු රටවැසි ජනතාව ම දක්වා පුළුල් වේ. මෙක්සිකෝවේ ගෝත්‍රිකයන් අතර මෙම චාරිත්‍රය දක්නට ලැබේ. එහි වනාහි තම තමා අතින් කැරුණු වැරදි පිළිබඳ පාපෝච්චාරණයක් කළ පසු චූදිතයෝ පූජකයන් විසින් දෙනු ලබන නියෝග අනුව උපවාස කරති. රටට ම පොදු උවදුරක් පැමිණි කල්හි පූජකවරු දැඩි තවුස් පිළිවෙත් රකිමින් මාස ගණන් උපවාසයේ යෙදී යාච්ඤා කරති. මිසරයේ ද පව් සමා කරවා ගැනීම සඳහා ඇතැම් නියමිත අවස්ථාවල දී හෝ ඉඳ හිට හෝ උපවාස කළ වග පෙනේ. මෙහි දී සුඛවිහරණ සියල්ලකින් ම වැළකී සිටිය යුතුවා පමණක් නොව කිසිදු ආශාවක් සංසිඳවීම ද නොකළ යුතුය. බැබිලෝනියානු අපරාධක්ෂමාපණ ස්තෝත්‍රයන්හි උපවාස කරන්නන් තමන් කළ වැරදි පිළිබඳව ශෝක වන අන්දම නිරූපිත වේ. අපරාධ ක්ෂමාපණයෙහි ලා උපවාසය නිත්‍ය චාරිත්‍රයක් වූ බව ද ඒවායින් හෙළි වේ. ඒ හැර මහත් කරදර හා උපද්‍රව කාලයන්හි දී නියමිත දිනයන්හි මිනිසුන්ට දැඩි උපවාසයේ යෙදෙන්නට සිදු විය. ඇසිරියාවේ මෙවැනි උපවාස බලපැවැත්වූ අන්දම ගැන බයිබලයේ යෝනාගේ පොතේ සඳහන් වේ. රටේ උසස් පහත් හැම දෙන ම හණපිළියෙන් ඇඟ වසාගෙන උපවාස කරමින් දෙවියන්ට කන්නළව් කළ බව එහි කියැවේ.

හින්දු

හින්දූහු උපවාසය උසස් ආගමික ව්‍රතයක් කොට සලකති. ඉන්ද්‍රිය දමනයට උපවාසය අත්‍යවශ්‍යය යන්න ඔවුනතර සර්වසම්මතය. පාපමෝචනයට ද මෝක්ෂසාධනයට ද උපවාසකරණය අවශ්‍ය ම යයි සැලැකේ. කිලිටි වස්ත්‍රයක් ජලයෙන් පවිත්‍ර කරගන්නාක් මෙන් පාපයෙන් කිලුටට පත් ජීවාත්මය ද උපවාසකරණයෙන් පවිත්‍ර වෙතියි හින්දූහු අදහති.

හින්දූන්ගේ උපවාසය සම්පූර්ණ ආහාර වර්ජනයකි. උපවාසො භක්තත්‍යාගඃ යන හරදත්ත වචනයෙන් එය පැහැදිලි වේ. එහෙත් උපවාස කරන්නා බතින් පමණක් නොව බුලත් සැපීම, ධූම පානය, මෛථුන සේවනය, දිවා ශෛය්‍යාව ආදි ක්‍රියාවන්ගෙන් ද මල්ගඳවිලවුන් දැරීම ආදි ශරීරමණ්ඩන ක්‍රියාවන්ගෙන් ද වැළැකී දෙවියන් සිහි කරමින් ම උපවාස කාලය ගෙවිය යුතුයි. මේ උපවාසකරණය බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශූද්‍ර යන චතුර්වර්ණයට ම සාධාරණ වූ කර්මයකි.

උපවාසය වූකලි ව්‍රත සමාදන් වීමේ අංගයකි. දර්‍ශපූර්ණමාස ඉෂ්ටිය පවත්වන දිනවල කෙරෙන උපවාසයේ දී එය පවත්වන ග්‍රාමයෙන් ලබාගත හැකි ආහාරයෙන් පමණක් යැපීම හෝ වනයෙන් ලබාගන්නා ආහාරයෙන් යැපීම හෝ ආහාරයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටීම හෝ වශයෙන් උපවාස ක්‍රම තුනක් තෛත්තිරිය සංහිතාවේ සඳහන් වේ. ගෞතම ධර්ම සූත්‍රයෙහි උපවාසය පාපයන්ගෙන් මිදීම සඳහා කළ යුතු විවිධ කර්මයන්ගෙන් එකක් හැටියට ද එය ම තපසෙහි එක් අංශයක් හැටියට ද හඳුන්වා ඇත.

ගෘහ්‍යසූත්‍ර බොහෝ ගණනක ම දැක්වෙන්නේ යඥකර්ම සඳහා යෙදිය හැකි ධාන්‍ය වර්ගයකින් පිසන ලද ආහාරයක් දිනකට එක් වරක් පමණක් අනුභව කිරීම උපවාසය බවයි. උපවාසය ද පරමාත්මයා කරා ළඟා වීම සඳහා සිදු කළ යුතු කර්මයන්ගෙන් එකක් සැටියට හින්දුහු සලකති. යඥ, දාන, තපස්, අනාශක (උපවාස) යන කර්මයන්ගෙන් බ්‍රහ්මයා සාක්ෂාත් කරගත හැකි බව වෘහදාරණ්‍යක උපනිෂද් ග්‍රන්ථයෙහි සඳහන් වීම ද එයට සාධකයකි. උපවාසය තපසක් ලෙස ජෛමිනි ද හඳුන්වා ඇත.

දර්‍ශපූර්ණමාස ඉෂ්ටි, සන්ධ්‍යාවන්දනාදි වේද ව්‍යවස්ථිත කාර්‍ය්‍යයන් නොකර හැරීම ද ස්නාතක බ්‍රාහ්මණයකුට නියමිත විශේෂ යුතුකම් පැහැර හැරීම ද වෙනුවෙන් දඬුවම් වශයෙන් එක් දිනක් උපවාසයෙහි යෙදිය යුතු බවත් තෘණ, කාෂ්ඨ, වෘක්‍ෂ, ධාන්‍ය, ශර්කරා, වස්ත්‍ර, චර්ම, මාංස යන මේවා සොරකම් කිරීම වෙනුවෙන් දඬුවම් වශයෙන් දින තුනක් උපවාස කළ යුතු බවත් මනුස්මෘතියෙහි දැක්වේ. මේ අනුව වරදවලට දඬුවම් පැමිණවීමට ද උපවාසය යොදාගත් බවක් පෙනේ. උපවාසයක යෙදෙන තැනැත්තා විසින් නොකටයුතු ක්‍රියා කීපයක් ද වේ. නිතර නිතර පැන් පානය කිරීම ද බුලත් සැපීම ද දිවා කාලයෙහි නිදීම ද මෛථුන සේවනය ද යන කරුණු හේතුකොටගෙන උපවාසයෙන් ලැබෙන උතුම් ඵල දූෂණය වන බව දේවල කියයි. උපවාස කරන්නාහට මල්, ආභරණ, අලංකාර වස්ත්‍ර, මල්දම්, සුවඳ විලවුන් යන මේවා පරිහරණයට ද ඇසේ අඳුන් ලීමට ද දත් මැදීමට ද ඉඩ දී තිබෙන බව ගරුඩ, භවිෂ්‍ය යන පුරාණවලින් හෙළි වේ.

උපවාසය ආරම්භ කළ පෑළවිය පටන් පසළොස්වක තිථිය දක්වා වූ පක්ෂය තුළ ආහාර වශයෙන් නොගත යුතු දෑ සම්බන්ධයෙන් විස්තරයක් කෙරෙන භවිෂ්‍ය පුරාණයෙන් ශුද්ධ ගිනි නොදැල්වූවන්ට ව්‍රත මගින් ද සංයමයෙන් ද දානයෙන් ද විශේෂයෙන් උපවාසයෙන් ද දෙවියන් සතුටු කළ හැකි බව කියැවේ. මේ ප්‍රකාශයට අනුව උපවාස කිරීම දෙවියන් සතුටු කළ හැකි මාර්ගයක් හැටියට ද සැලකිය හැකිය.

ශතපථ බ්‍රාහ්මණයෙහි ද ඇතැම් ශ්‍රෞත හා ගෘහ්‍ය සූත්‍රවල ද උපවාස ශබ්දය වෙනුවට උපවසථ යන්න යොදා තිබේ. එදින යාගාර්ථය පිණිස දල්වන ලද අග්නිය සමීපයෙහි දේවතාවන්ගේ වාසය සිදු වන බැවින් එය උපවසථ යයි ව්‍යවහාරයට පත් වූ බව කියති. අග්න්‍යාධේය සිදු කිරීමෙන් පසු ඇති වන පළමුවන පසළොස්වක් දින දර්‍ශපූර්ණමාස ඉෂ්ටිය සිදු කළ යුතු දිනයයි. ඇතැම් විට ඒ සඳහා දින දෙකක් ගත වේ. එහෙත් ඊට අයත් හැම කාර්යයක් ම එක දවසකින් නිම කළ හැකිය. එය දින දෙකක් දක්වා දික් කළ හොත් පසළොස්වක් දින හා අව පෑළවිය දින දෙකේ දී පැවැත්විය යුතුයි. එසේ කිරීමේ දී ප්‍රථම දිනය හෙවත් පසළොස්වක දිනය උපවසථ දිනය ලෙස ද අවපෑළවිය දිනය යජනීය දිනය ලෙස ද සැලකේ. උපවාසය පවත්වනුයේ මේ උපවසථ දිනයේය.

පර්ව දිනයෙහි දී අඹුසැමි යුවළක් විසින් පැවැත්විය යුතු උපවාසයක් ගැන ආපස්තම්බ ධර්ම සූත්‍රයෙහි සඳහන් වේ. ඔවුන්ට ආහාර ගැනීමෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය නොහැකි නම් දිවාකාලයෙහි එක් වරක් පමණක් නියමිත ආහාර ගැනීමට ඉඩ දී තිබේ.

කිලිටි වස්ත්‍රයක් ජලයෙන් සෝදා පිරිසිදු කරන්නාක් මෙන් උපවාසයෙහි පහන්බවට පැමිණියවුන්ට දීර්ඝ කාලයක් තිස්සේ ක්ෂය නොවන සැපතක් අනාගතයේ දී ලැබෙන බවත් කේවල උපවාසයෙන් ශරීරය කෘශ කරගැනීම තපසක් නොවන බවත් උපවාස කරන්නා කෙරෙහි අහිංසාව, සත්‍යවාදීබව, ප්‍රාණවධයෙන් තොරවීම, සංයමය හා දයාව යන ගුණ පිහිටිය යුතු බවත් මහාභාරතයේ ශාන්ති පර්වයෙන් පැවැසේ.

සූර්යයාගේ උත්තරායණ, දක්ෂිණායන ප්‍රවේශය, විෂුව දින, සූර්‍ය්‍ය ග්‍රහණ, චන්ද්‍ර ග්‍රහණ සිදු වන දින හා වෙනත් ව්‍රත සමාදන් වන දිනවල ද හින්දූන් විසින් උපවාසය කරනු ලැබේ. සාමාන්‍ය උපවාස දවසකට සීමා වතත්, ඇතැම් උපවාස දින ගණනක් තිස්සේ රැක්ක යුතුය. ස්කන්ද ෂෂ්ඨිය එවැන්නකි. එය දින සයකට පරිමිත වූවකි.

උපවාස දින ඒ ඒ වසර සඳහා පළ කරනු ලබන හින්දු පංචාංග දින දර්ශනයන්හි පැහැදිලිව වෙන් කොට දැක්වේ. එහි එසේ එන නියමය භක්තයන්ගේ ප්‍රයෝජනය සඳහායි.

බෞද්ධ

බුදුන්වහන්සේ ඉන්ද්‍රිය පාලනයට අපහසු වන අතිමාත්‍ර ශරීර පෝෂණය අනවශ්‍ය බව පෙන්නුම් කළ සේක් නමුදු ආහාර වර්ජනය (උපවාසය) වැනි තපෝව්‍රතානුකරණයෙන් ශරීරය විඩාවට පත් කර කෙලෙසුන් තැවීමට තැත් කිරීම අවඥාවට භාජන කළ සේක. මධ්‍යම ප්‍රතිපදාව මිස අන්තග්‍රාහී වීමක් බුදුදහමින් නොඉගැන්වේ. එහෙයිනි, දීර්ඝ උපවාසවලට එහි ධෛය්‍යර්‍ දීමක් කර නැත්තේ. ඒ මිස උපවාසය බුදුරදුන් ප්‍රතික්ෂේප කර නැත. උපසපන් භික්ෂූන්වහන්සේ මෙන් ම සාමණේරවරු ද අටසිල්, දසසිල් සමාදන් වූ උවසු උවැසියෝ ද දිනයෙන් පැය අටළොසක් පමණ ආහාරයෙන් වැළකී සිටිති. වෙනත් ඇතැම් ආගම්වල මෙන් විකාලයේ වතුර බිඳක් වත් පානය නොකර සිටීම වැනි ආත්මක්ලමථානුයෝගයක් බුද්ධධර්මයෙන් නොඉගැන්වේ.

බුදු වූ දා සිට පිළිවෙළින් දින සතලිස් නවයක් කිසිදු ආහාර පානයක් නැතිව බුදුන්වහන්සේ කල් යැවූහයි බුද්ධචරිතයේ සඳහනි. එහෙත් ‘සත් සතිය’ නම් වූ මේ කාලසීමාවෙහි උන්වහන්සේ සමාධි සුවයෙන් කල් යැවූ හෙයින් එය උපවාසයක් සේ සැලකිය නොහැකිය. (උපෝසථ, විකාල භෝජනය යන ලිපි ද බ.).

යුදෙව්

යුදෙව්වන් විසිනුදු උපවාසය ආධ්‍යාත්මික ප්‍රගතිය සඳහා හිතකර වූ ආගමික ව්‍රතයක් ලෙස සැලකිණි. ඔවුහු දෙවියන්ගේ බැල්ම ලැබීමට එය විශේෂ මාර්ගයක් කොටගත් බව පෙනේ. එදා සීනයි කන්ද මුදුනේ දී දෙවියන් වෙත වෙසෙමින් මෝසෙස් දස පනත ඇතුළු ධර්ම පද්ධතිය ලැබූ අවස්ථාවෙහි ඔහු සම සතලිස් දවසක් රෑ දාවල් දෙක්හි ම උපවාසයේ යෙදුණු වග නික්මයාම නමැති පොතෙහි සඳහන් වේ. දානියෙල් ද දේව වරප්‍රසාද ලබනු සඳහා කිසිදු ධාන්‍යාහාරයක් නොගෙන තෙසතියක් මුළුල්ලේ ප්‍රාරම්භක උපවාසයක් කළ වග දානියෙල්ගේ පොතෙහි සඳහන් වේ. එලියා මුනිවරයා ද හෝරෙබ් කන්දට යද්දී සතලිස් දවසක් පූර්ණ උපවාසයක යෙදුණු වග රාජාවලියෙහි පැවැසේ. මෙසේ උපවාසය දෙව් බැල්ම, දෙව් පිහිට ආදිය ලබා දෙන උච්ච ව්‍රතයක් ලෙස යුදෙව් ජන සමාජයේ ආදියේ සිට ම සැලැකුණු වග පෙනේ. පශ්චාත්කාලීන ඇතැම් යුදෙව් ගත්කරුවෝ උපවාස කර්මය භූතාවේශය ලබාගනු වස් ගුප්ත විද්‍යාඥයන් රැකි ව්‍රතයක් ලෙස ද සලකන්නට වූහ. එහෙත් මේ හේතුවෙන් උපවාස කරන්නන් කෙරෙහි පෙර පැවැති සැලැකිල්ල මඳකුදු අඩු වුණු වගක් නම් නොපෙනේ.

පව් සමා කරවාගැනීම සඳහා උපවාස කිරීමට ද යුදෙව් ජනයා පුරුදුව සිටියහ. ඉන් දෙවියන්ගේ කරුණාවත් අනුකම්පාවත් ලැබෙතැයි ඔවුහු විශ්වාස කළහ. අවුරුද්දේ සත්වැනි මාසයේ දසවැනි දිනය ඒ සඳහා වෙසෙසින් ඇරිණි. එසේ ම අවුරුද්දේ පස්වැනි, සත්වැනි, දසවැනි මාසයන්හි උපවාස කිරීම පිළිබඳ නියමයක් සකාරියාගේ පොතේ සඳහන් වේ. මේ ව්‍රතසමාදානය යෙරුසලම කල්දුවන් අතට පත්වීම නිමිත්තෙන් පැනනැඟුණකි. ‘අදර්’ මාසයේ තෙළෙස්වැනි දිනය එස්තර් ද ඇයගේ සේවිකාවන් ද සමරනු වස් නියම වූ පෙහෙවස් දිනයකි.

යුදෙව්වන් බැබිලෝනියාවට පලවා හරිනු ලැබ එහි ගත කළ විප්‍රවාස සමයෙහිත් (ක්‍රි.පූ. 586-538) එයට පසුවත් උපවාස දින ගණන වැඩි වූ වග පෙනේ. සියරටට පෙරළා යාමට බලාපොරොත්තු වූ යුදෙව්වෝ හැම සතියේ ම දෙවැනි පස්වැනි දිනයන්හි උපවාස කළහ.

වසංගත රෝගාදිය මනුෂ්‍යයන්ගේ පාපී ජීවිත නිසා දඬුවම් වශයෙන් දෙවියන් ඇති කරන උපද්‍රව ලෙස යුදෙව්වෝ ද විශ්වාස කළහ. එබඳු අවස්ථාවන්හි දෙවියන් පිනවා එම උපද්‍රව නිවාරණය කරවාගනු සඳහා මහජන උපවාස ඉවහල් වෙතැයි පුරාණ යුදෙව්වෝ විශ්වාස කළහ. උපවාසය උපද්‍රව නිවාරණ මාර්ගයක් ලෙස මුනිවරයන් ද සැලැකූ වගට ග්‍රන්ථාන්තරයෙන් සාක්ෂ්‍ය ලැබේ. මේ උපද්‍රව නිවාරණ උපවාසයනට කලක් දිනයක් නියම නොවිණි. එය උපද්‍රවයක් ඇති වූ විටක පමණක් කළ යුතු ආගමික කර්මයක් වූ හෙයිනි.

කලින් සඳහන් පශ්චාත්තාප උපවාස දිනය වැනි අනිවාර්ය උපවාස දින යුදෙව් ලිතෙහි දැක්වේ. එහෙයින් එම දවස් මහජනකායට දැනගැනීම අපහසු නොවිණි. එහෙත් ගිලනුන්ට සවස් වරුවේ තේ, කෝපි, දොඩම් යුෂ ආදි සැහැල්ලු පානයක් එක් වරක් ද රෑට පාන් පෙත්තක් සඟ එළවළු ආදියක් තම්බා පිළියෙල කළ සූපයක් ද ගැන්මට අවසර තිබේ. මේ රාත්‍රි භෝජනය මාංසයෙන් සම්පූර්ණයෙන් ම තොර වූවක් විය යුතුය.

පුරාණ කාලයේ සතියේ සෑම බදාදා හා සිකුරාදා දිනයක් ම උපවාස දිනයක් විය. එහෙත් අද ඒ දෙදින කෙරෙහි එබඳු විශේෂයක් සාමාන්‍යයෙන් නොකැරේ. කෙසේ වුව ද අද උපවාසකරණය ලෙස සැලැකෙනුයේ පවින් වැළකීමත් මිත භෝජනයත් වග වර්තමාන චාරිත්‍රවාරිත්‍රාදියෙන් පැහැදිලිව පෙනෙන කරුණකි.

ක්‍රිස්තියානි

පරණ ගිවිසුම් නමින් හැඳින්වෙන ග්‍රන්ථ සංග්‍රහය යුදෙව් ආගමටත් ක්‍රිස්තු සමයටත් පොදු වූ ධර්මග්‍රන්ථාවලියකි. ඒ ග්‍රන්ථාවලියෙහි උසස් ආගමික ව්‍රතයක් ලෙස සැලැකෙන උපවාසය ආදියුගයෙහි මෙන් ම දැනුදු ක්‍රිස්තු සමයෙහි වැදගත් තැනක් ගනී. යේසුස්වහන්සේ සමසතලිස් දවසක් ආහාරපානාදිය වර්ජනය කරමින් වනයේ උපවාස කළ වග අලුත් ගිවිසුමට අයිති මතෙව්ගේ ශුභාරංචිය නමැති ග්‍රන්ථයේ සඳහන් වේ. ඒ එසේ වතත්, බයිබලයේ පුරාණ ග්‍රන්ථ කාංඩයෙහි හෝ නවග්‍රන්ථ කාංඩයෙහි හෝ උපවාස ව්‍රතය සම්බන්ධයෙන් කිසි ම නීතිරීති පද්ධතියක් නොදැක්වේ. ඒ සම්බන්ධයෙන් අද ඇත්තේ යේසුස්වහන්සේගේ කාලයෙන් පසු වැජැඹි ශාසනමාමක ආගමනායකයන් විසින් කලින් කල සම්මත කැරුණු චාරිත්‍ර ක්‍රම පමණකි. මේ සිරිත්විරිත් කාලානුරූපව යුගයෙන් යුගයෙහි වෙනස් වූ වග පෙනේ. එහෙත් ව්‍රත රක්ෂණය හුදෙක් පෙනුම සඳහා නොකළ යුතුය යනු මුල සිට ම සම්මත වූවකි. එසේ පෙනුම සඳහා පෙහෙවස් රැකීම බලවත් වරදක් ලෙස සැලකේ. ක්‍රිස්තුශාසනාරම්භයේ සිට ම භක්තයන් ස්වේච්ඡානුකූලව උපවාස කිරීම හේතුකොටගෙන උපවාස ව්‍රතයට ද ආගමික චාරිත්‍ර අතරෙහි විශේෂ ස්ථානයක් ලැබෙන්නට විය.

උපවාස කළ යුතු අවස්ථා හා කාල පිළිබඳව සාමාන්‍යයෙන් ඒකමතිකභාවය මුල සිට ම තිබිණි. බව්තීස්මය, සත්ප්‍රසාදලාභය ආදි ප්‍රධාන සංස්කාරයනට පෙරාතුව තත්සංස්කාරාපේක්ෂකයන් විසින් උපවාස කළ යුතු විය. එසේ ම වර්ෂාරම්භයෙහි එන ‘කොරොස්ම කාලය’ යන නමින් හැඳින්වෙන වසන්ත සමයෙහි දීත් එයට පසුව ශරද්සෘතුවෙහි දී එන ‘පෙන්ටිකොස්ත’ සමයෙහි දීත් එළැඹෙන ‘එම්බර්’ (භස්ම) දිනයන්හිත් උපවාසය අනිවාර්‍ය්‍ය විය. වර්ෂය තුළ එක ඍතුවකට දින තුන බැගින් සෘතු සතර සම්බන්ධයෙන් ඇති ‘එම්බර්’ දින දොළොසකි. මේ හැර වසරක් තුළ ‘කන්නළවු’ (Rogation) දින තුනක් ද විය. එ හැම ද උපවාස දින විය. ඇතැම් භක්තයන් මෙසේ ශාසනභාරධාරීන් විසින් සම්මත කර ප්‍රකාශයට පමුණුවන ලද මේ උපවාස දින සංඛ්‍යාවට තමන්ට අභිමත පරිදි දින ගණන් එකතු කරගත් වගක් පතපොතින් පෙනේ. එසේ එකතු කරගැන්මට තහනමක් නොවිණි.

මේ උපවාසය ස්වභාවයෙන් එක්බඳු නොවිණි. නියම දිනයන්හි ඇතැමුන් මුළු දවස ම, එනම් හෝරා සූවිස්ස ම, උපවාස කළ අතර සමහරුන් උපවාස කළේ දවල් කාලයේ දී පමණකි. උපවාසයෙහි දී ආහාරපානාදියෙන් මුළුමනින් ම වැළැකිය යුතු වුව ද ගිලනුන්ට යම්කිසි පානයක් ගැන්මට අවසර තිබිණි.

වර්තමාන කාලයේ උපවාස කිරීම පිළිබඳ චාරිත්‍රවාරිත්‍රයන්හි මහත් විපර්යාස කිහිපයක් ඇති වී තිබේ. අද රෝමානු කතෝලික සමාජයේ වර්ෂය තුළ පූර්ණ උපවාස දින ගණනින් දෙකකි. ඒ දෙක ම කොරොස්ම සමයෙහි එන දින දෙකකි. අළු බදාදාත් මහ සිකුරාදාත් යනුයි ඒ දෙදින. මේ දවස් දෙකෙහි හැම භක්තයකු ම ගොඩමසින් වැළැකිය යුතුය. රිසි නම් දියමස් ගැන්මට අවසර තිබේ. එදින හැම භක්තයකු ම ගත යුත්තේ එක ම ආහාර වේලකි.

ඉස්ලාමික

උපවාස පිළිවෙත ඉස්ලාම් ආගමේ ප්‍රධාන තැනක් ගනී. පශ්චාත්තාපය පිළිබඳ මූලධර්මය මත පදනම් වූ උපවාසය පිළිගන්නා ඉස්ලාම් ආගමේ වක්තෘවර මහමත් නබී නායකතුමා උපවාසය උසස් ව්‍රතයක් ලෙස දක්වා ඇත.

ඉස්ලාම් ආගමේ උපවාස කාල කිහිපයක් සඳහන් වේ. ඒවායින් සමහරක් අනිවාර්‍ය්‍යයෙන් ඉටු කළ යුතු අතර අනෙක් ඒවා අමතර වශයෙන් භක්තිමත් අයගේ කැමැත්ත පරිදි ඉටු කළ හැකිය. එහෙත් අන්තගාමී උපවාස ඉස්ලාම් ආගමෙන් අනුමත නොවේ. ඒ සඳහා සමහර විට දඬුවම් ද ලබාදීමට ඉඩ ඇත. අරාබි ජනප්‍රවාද අනුව, මහමත්තුමා විසින් පළමුවෙන් ම මුහර්රම් මාසයේ (ඉස්ලාමික අවුරුද්දේ මුල් මාසයේ) දහවැනි දා (ආෂූරා දින) උපවාස කිරීමට නියෝග කරන ලදි. මෙය යුදෙව්වන්ගේ තිෂ්රි මාසයේ දහවැනි දා (පශ්චාත්තාප දින) උපවාසය අනුගමනය කිරීමකි. එහෙත් පසුව එම සිරිත අත්හැර මුළු රමදාන් මාසය ම උපවාසය සඳහා වෙන් කරන ලදි.

ඉස්ලාම් භක්තිකයන් සියලු දෙනා ම විසින් කළ යුතු වූ උපවාසයකි, රමදාන් උපවාසය. කුරානයේ සඳහන් වන පරිදි දෙවියන් විසින් මහමත්තුමාට කුරානය හෙළි කරන ලද්දේ මේ මාසයේ දීය. එබැවින් රමදාන් උපවාසය කුරානය හෙළි කිරීම සැමරීමේ උපවාසයක් ද වේ. මෙම දින තිහේ උපවාසයෙන් පසු ඉස්ලාම් භක්තිකයෝ මහත් උත්සව පවත්වති. එබැවින් එම උපවාසය එකී උත්සවයට සූදානම් වීමේ කටයුත්තක් ලෙස ද සැලකේ. මේ දින තිහේ කාලසීමාව තුළ කෙරෙන උපවාසය දැඩිය. හිරු උදාවේ සිට හිරු බැස යන තුරු වතුර පවා තහනම්ය. කෙළ ගිලීම වත් නොකළ යුතුය. එම උපවාසය සියලු ඉස්ලාම් භක්තිකයන් විසින් අනුගමනය කළ යුතු වේ. ඉන් වැළකීමට අවසරය ලැබෙන්නේ රෝගී, දුබල, මන්දබුද්ධික, ළදරු යන අයට හා සංචාරකයන්ටත් සොල්දාදුවන්ටත් පමණි. ඔවුන් අතුරින් ද පහසුකම් ඇති අය පසුව හෝ උපවාසයේ යෙදීම ආගමික අවශ්‍යතාවක් වේ. උපවාස දිනවල දී ඉතා භක්තිමත් අය පල්ලියේ ම රැඳී සිටිති. එසේ සිටිමින් යාච්ඤා පැවැත්වීම ද කරති. මෙම උපවාසයේ යෙදෙන අය තමන් අතින් කැරුණු පුරාණ පව්වලින් මිදෙතැයි ඔවුහු අදහති. දින තිහේ උපවාස කාලසීමාව කෙටි කිරීම හෝ දීර්ඝ කිරීම සාවද්‍යය. මේ හැර සිය කැමැත්තෙන් ඉදිරිපත් වන භක්තිමතුන්ට උපවාස කිරීමට අවසර ඇති තවත් කාලසීමා කිහිපයකි. සෑම මාසයක 13, 14 හා 15 දා ද මුහර්රම් මාසයේ දහවැනි දා (ආෂූරා දින) ද උපවාසයට වෙන්ව ඇත. ආෂූරා දින උපවාස කරන්නන්ට ඉදිරි වර්ෂයේ තමන් අතින් සිදු විය හැකි පව්වලින් නිදහස් විය හැකි යයි මහමත්තුමා ප්‍රකාශ කොට ඇත.

දැඩි භක්තිමතුන් සතියේ සෑම සඳුදා හා බෘහස්පතින්දා උපවාස කරන බව පැවසේ. නූතන පිළිවෙත් අනුව සෑම සිකුරාදා දිනයක් ම ඔවුන්ගේ පුණ්‍ය දිනයක් සේ සැලකේ. එදින සුපුරුදු බොහෝ කටයුතුවලින් වැළකී පල්ලි යාම කරනු ලැබේ. ඉස්ලාම් ආගම තවුස් පිළිවෙතට නැඹුරු වූ ආගමක් නොවුව ද හික්මීමේ මාර්ගයක් වශයෙන් හා යහපත් ක්‍රියාවක් වශයෙන් උපවාසය පිළිගන්නා බැවින් උපවාස කරන්නන්ගේ මුඛයේ සුවඳ දෙවියන්ට කස්තූරි සුවඳට වඩා ප්‍රිය යයි එහි සඳහන් වේ.

දඬුවම් පැමිණවීමේ හා වැරදි පිළිගෙන පසුතැවිලිවීමේ ක්‍රමයක් වශයෙන් ද උපවාසය නියම කොට ඇත. ස්වභක්තිකයකු මැරූ මුසල්මානයකු විසින් තමන් විසින් ගෙවිය යුතු වන්දිය ගෙවිය නොහැකි නම් මාස දෙකක් උපවාස කළ යුතු වේ. පොරොන්දුවක් කඩ කළ අයකුට ඊට නිසි දඩය වන දිළින්දන් දහදෙනකුට සංග්‍රහ කිරීම කළ නොහැකි නම් ඔහු තුන් දිනක් උපවාස කළ යුතුය. තව ද වන්දනාවෙහි යාමට පෙර තුන් දිනක් ද ආපසු පැමිණි විට සත් දිනක් ද උපවාස කරන ලෙස මුසල්මානයනට කුරානයෙහි කියා ඇත.

දේශපාලනාදි අරමුණු

නූතන යුගයේ උපවාසය ආගමික පිළිවෙතකටත් වඩා ඇතැම් තන්හි දේශපාලන පිළිවෙතක ස්වරූපය ගෙන ඇත. තම තමන්ගේ ඉල්ලීම් දිනාගැනීමේ සියලු ප්‍රයත්න නිෂ්ඵල වූ කල උපයෝගී කරගනු ලබන්නේ උපවාසයයි. දේශපාලන ඉල්ලීම් දිනාගැනීමේ අවියක් ලෙසින් උපවාසය මුලින් ම උපයෝගී කරගනු ලැබුයේ ඉන්දියාවේය. අවිහිංසාවාදය තම දේශපාලන දර්ශනයේ වැදගත් අංගයක් කොටගත් මහත්මා ගාන්ධිතුමා තම ඉල්ලීම් දිනාගැනීමේ දී විප්ලව ආදි හිංසාකාරි ක්‍රම ප්‍රතික්ෂේප කොට උපවාසය වැනි ක්‍රම අනුගමනය කෙළේය. ඉන්පසු උපවාසයට මෙකී නව මුහුණුවර ලැබිණ. දැනට සමස්ත ලෝකය පුරා දේශපාලන ඉල්ලීම් දිනාගැනීමට උපවාස ක්‍රමය ආයුධයක් කරගන්නා බවක් පෙනේ. මෙකල උපවාසය දැඩි ලෙස අනුගමනය කරනු ලබන්නේ ඉන්දියාවේ හා දකුණු වියට්නාමයේය. දකුණු වියට්නාමයේ නිදහස තකා සටන් කළ ගිහි පැවිදි නායකයෝ රැසක් උපවාසය නිසා මරුමුවට පත් වූහ. ඉන්දියාවේ ද එවැනි අවස්ථා දෙකක් සඳහන් වේ. 1952 දී ආන්ධ්‍ර ප්‍රදේශයේ ප්‍රාන්ත රාජ්‍යයක් ඇති කරන ලෙස ඉල්ලා දැඩි උපවාසයේ යෙදුණ ජෝති ශ්‍රී රාමුලු නැමැත්තා 58 වැනි උපවාස දිනයෙහි මියගිය අතර පංජාබ්හි මහජන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ සික් ජනනායකයකු වූ දර්ශන සිංහ පෙරමන් නමැත්තා චන්දිගාර් නගරය පංජාබ් ප්‍රාන්තයට පවරන්නැයි ඉල්ලා උපවාසයෙහි යෙදී 74 වැනි දින (1969 ඔක්තෝබර් 27 දා) මිය ගියේය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උපවාසය&oldid=9199" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි