ඍද්ධි

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ලෞකික පංචාභිඥාවන් අතුරෙහි පළමුවන අභිඥාව ඍද්ධි නම් වෙයි. දේශනා පාළියෙහි "සො අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුහොති" යනාදීන් "ඉද්ධිවිධ"යී ද වදාරන ලදි. ඍද්ධි කොටස යැ ඍද්ධි විකල්ප යැ යන අර්ථයි. ඍද්ධි කථාව විස්තර කොට වදාරන අගසව් සැරියුත් මහ තෙරණුවෝ පටිසම්භිදාමග්ගයෙහි ලා ප්‍රශ්න සයක් ඉදිරිපත් කොට විභාග කළහ. 1 ඍද්ධි කවර යැ (කා ඉද්ධි), 2. ඍද්ධිහු කෙතෙක් ද (කති ඉද්ධියො), 3. ඍද්ධියට භූමීහු කෙතෙක් ද (ඉද්ධියා කති භුමියො), 4. පාදයෝ කෙතෙක් ද (කති පාදා), 5. පදයෝ කෙතෙක් ද (කති පදානි), 6. මූලයෝ කෙතෙක් ද (කති මූලානි) යනුවෙනි.

1. සිද්ධියට පැමිණෙයි යන අර්ථයෙන් ඍද්ධි නම් වෙයි. මෙයින් සත්වයෝ සිද්ධියට, වෘද්ධියට උත්කර්ෂ බවට පැමිණෙත් යන අර්ථයි. මෙයින් ඍද්ධියෙහි ස්වභාව දක්වන ලදි.

2. ඍද්ධීහු දසදෙනෙක් වෙති. අධිෂ්ඨාන ඍද්ධි, විකුර්වණ ඍද්ධි, මනෝමය ඍද්ධි, ඥානවිෂ්ඵාර ඍද්ධි, සමාධිවිෂ්ඵාර ඍද්ධි, ආර්ය ඍද්ධි, කර්ම විපාකජ ඍද්ධි, කෘතපුණ්‍යවත්හුගේ ඍද්ධි, විද්‍යාමය ඍද්ධි, ඒ ඒ තැනැ සම්‍යක්ප්‍රයෝගයෙන් ඍද්ධියට පැමිණෙන ඍද්ධිය යන මොහුයි.

3. ඍද්ධියට භූමි සතරෙකි. ප්‍රථම ධ්‍යාන විවේකජ භුමි යැ, ද්විතීයධ්‍යාන ප්‍රීති සුඛ භූමි යැ, තෘතීය ධ්‍යාන උපෙක්ෂාසුඛ භූමියැ, චතුර්ථධ්‍යාන අදුක්ඛමසුඛ භූමි යැ යන සතර භූමිහු ඍද්ධිලාභය පිණිස ඍද්ධිප්‍රතිලාභය - ඍද්ධි විකුර්වණය - ඍද්ධි විශේෂ පැවැත්වීම - ඍද්ධි වශීභාවය - ඍද්ධියෙහි විශාරද බව පිණිස පවත්නේ යි.

4. ඍද්ධියට පාද සතරෙකි. ප්‍රධන්වීර්යයෙන් සමන්විත වූ ඡන්ද, චිත්ත, විරිය, වීමංසා යන සතර ධර්මයෝ ඍද්ධි ලාභාදිය පිණිස පවත්නා ඍද්ධි ප්‍රතිෂ්ඨායි.

5. ඍද්ධියට පද හෙවත් ආසන්න කාරණා අටෙකි. ඡන්ද, චිත්ත, විරිය, වීමංසා යන පද සතරෙක් වෙයි. ඔවුන් සමඟ යෙදුණු සමාධිය වෙන මැ පද සතරෙකි. මෙසේ ඍද්ධි ලැබීම පිණිස පවත්නා පද (කරුණු) අටෙකි.

6. ඍද්ධියට සොළොස්මූල කෙනෙක් වෙති. අභිඥා උපදවනු කැමති යෝගීහු විසින් කළ යුතු යෝග විධානය දක්වන බුදුරදුන් "සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනංගණෙ විගතුපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ" යනුවෙන් චිත්තයාගේ අනිඤ්ජනභාවය - කම්පා නොවීම - වදාරන ලද වෙයි. සැරියුත් තෙරණුවෝ ඒ චිත්තයාගේ අනිඤ්ජනභාවය සොළොස් ආකාරයෙකින් විභාග කොට සොළොස් ඍද්ධි මූලය දක්වූහ. කුසීතභාවයාගේ වශයෙන් සිත නොහැකුළුණු බව, ඖද්ධත්‍යයෙන් සිත උඩඟු නොවූ බව, රාග වශයෙන් නොනැමුණු බව, ද්වේෂ වශයෙන් සිත නොගැටුණු බව, දෘෂ්ටි වශයෙන් සිත ආත්මනීයාදි භාවයෙන් අනිඃශ්‍රිත බව, ඡන්ද රාග වශයෙන් සිත නොබැඳුණු බව, කාමරාගයෙන් සිත මිදුණු බව, විෂ්කම්භණ විසින් හෝ සමුච්ඡේද විසින් සෙසු කෙලෙසුන්ගෙන් සිත විසංයුක්ත බව, ක්ලේශමර්‍ය්‍යදා රහිත බව, චිත්තයාගේ ඒකාග්‍ර බව, සිත ශ්‍රද්ධායෙන් පරිගෘහීත බව, වීර්ය පරිගෘහීත බව, ස්මෘති පරිගෘහීත බව, ප්‍රඥා පරිගෘහීත බව, ප්‍රඥාවභාසයට පැමිණි බව යන සොළොස් කාරණයන් හේතු කොටගෙන විරුද්ධ ධර්මයන්ගෙන් කම්පා නොවීම ඍද්ධියට මූල වූ සොළොස් ධර්මයෝයි.

මුලින් සඳහන් කළ දස වැදෑරුම් ඍද්ධීන් අතුරෙහි අධිෂ්ඨාන ඍද්ධි නම්: බුදුසසුන්හි ඍද්ධිවිධඥානය (බ) ලැබූ කල්‍යාණපෘථග්ජන හෝ ශෛක්ෂ හෝ රහත් මහණ අනේකප්‍රකාර වූ ඍද්ධි කොටස් වලඤ්ජන කෙරෙයි. එනම් (1) හේ පියවින් එකෙක්ව සිට "බොහෝ වෙමි"යි නුවණින් අධිෂ්ඨාන කෙරෙයි. ආවර්ජන කළ පරිදි බොහෝ වෙයි. චූලපන්ථක තෙරුන් මෙනි. එසේ ම (2) බහු ප්‍රකාරයෙන් සිට එකකු බවට පැමිණෙයි. (3) පර්වත ප්‍රාකාරාදි කිසිවකින් මුවහ නොවී ප්‍රකට බවට පැමිණෙයි. (4) ඇස් සමුයෙහි සිට ප්‍රතිච්ඡන්න බවට - නොපෙනෙන බවට පැමිණෙයි. (5) ඍද්ධි නැතියකු සම්බාධ රහිත තැනෙක පියවින් නොගැටී යන්නා සේ බිත්ති පවුරු පර්වත ආදියෙන් ඈතට නොගැටී යෙයි. (6) ජලයෙහි සෙයින් පොළොවෙහි නැඟීම ගැලීම ද කෙරෙයි. (7) පොළොවෙහි සෙයින් ජලයෙහි සක්මන් ආදිය කෙරෙයි. (8) පියා ඇති ලිහිණියකු සෙයින් අහසෙහි හිඳීම් සිටීම් සක්මන් ආදිය කෙරෙයි. (9) කිසිවකු අත්පස තුබූ දැයක් පහස්නා සේ මහත් ඍද්ධි මහත් අනුභාව ඇති සඳ හිරු පවා අතින් පරාමර්ශ පරිමාර්‍ජන කෙරෙයි. (10) බඹලොව හිම් කොට කයින් වසඟයට පමුණුවයි. හේ බඹලොවට යනු කැමති වී නම් දුර වුව ද ළඟ වේවයි ඉටයි, ළං වෙයි. එසේම ළඟ වූවක් දුරැ වේවයි ඉටයි. ඒ දුරැ වෙයි. බොහෝ දැය අල්ප වේවයි ද අල්ප දැය බොහෝ වේවයි ද ඉටයි. ඒ එසේ මැ වෙයි. මේ ආදි බොහෝ දැය අධිෂ්ඨාන වශයෙන් සිද්ධියට පැමිණෙනුයෙන් අධිෂ්ඨාන ඍද්ධි නම් වේ.

විකුර්‍වණ ඍද්ධි

ඍද්ධිමත් තෙමේ පියවි සටහන් හැරපියා කුමර සටහන් හෝ දක්වයි. නා ගුරුළු යක් අසුර ඉන්ද්‍ර දේව බ්‍රහ්ම සමුද්‍ර පර්වත වන සිහ වග දිවි ඇත් අස් රිය පාබල ආදි සටහන් හෝ දක්වයි. මේ ප්‍රකෘතිවර්ණ හැරැපීම් වශයෙන් පැවැති බැවින් විකුර්‍වණ ඍද්ධි නම් වේ.

මනෝමය ඍද්ධි

යම් සේ මිනිසෙක් කොපුවෙන් කඩුව ඇදගනී ද එසෙයින් ඍද්ධිමත් තෙම මේ සිරුරින් රූපවත් වූ මනෝමය වූ සියලු අඟ පසඟ ඇති පිරිපුන් ඉඳුරන් ඇති අන් සිරුරක් නිර්මාණ කෙරෙයි. මෙය සිරුර තුළ මනෝමය වූ අන් සිරුරක් නිපදීම් වශයෙන් පැවැති හෙයින් මනෝමය ඍද්ධි නම් වේ.

ඥාන විෂ්ඵාර ඍද්ධි

ඥානයාගේ පැවැත්ම - ඥාන වේගය - ඥාන විෂ්ඵාර නමි. ඥාන ප්‍රවෘත්තියට පෙර හෝ පසුව හෝ එකෙණෙහි මැ හෝ ඥානානුභාවයෙන් උපන් ගුණ විශේෂය ඥාන විෂ්ඵාර ඍද්ධි නම් වෙයි. බක්කුල තෙරුන් පශ්චිමභවික ව සිටි හෙයින් මසකුගේ කුස තුළ නිරුපද්‍රැත වීම ඥාන විෂ්ඵාර ඍද්ධියයි. සඞ්කිච්ච භූතපාල ආදීන්ගේ නිරුපද්‍රැතභාවය ඥාන විෂ්ඵාර ඍද්ධි නම් වේ.

සමාධි විෂ්ඵාර සෘද්ධි

සමාධියෙන් පෙර හෝ පසුව හෝ එකෙණෙහි මැ හෝ ශමථානුභාවයෙන් පැවැති ගුණ විශේෂය සමාධි විෂ්ඵාර ඍද්ධි නමි. සමාධියට සමවන් සැරියුත් තෙරුන්ට දුෂ්ට යක්ෂයකු විසින් දෙන ලද පහරින් උන්වහන්සේ නිරුපද්‍රැත වීම සමාධි විෂ්ඵාර ඍද්ධි නම් වේ.

ආර්‍ය්‍ය ඍද්ධි

"ඉධ භික්ඛු සචෙ ආකඞ්ඛති පටික්කූලෙ අප්පටික්කූලසඤ්ඤීවිහරෙය්‍යන්ති අප්පටික්කූලසඤ්ඤී තත්‍ථ විහරති" යනාදීන් වදාළ පරිදි පිළිකුල් දැයෙහි නොපිළිකුල් හැඟීමෙන් යුක්තව වෙසෙනු කැමැති වී නම් අප්‍රතිකූලසංඥා ඇතිව විසීම එපරිදි ම අප්පටිකූලයෙහි පටික්කූලසංඥා ඇතිව විසීම ආදිය චිත්තවශීභාවයට පැමිණි ආර්‍ය්‍යයන් පිළිබඳව පවත්නා හෙයින් ආර්‍ය්‍යඍද්ධි නම් වේ.

කර්මවිපාකජ ඍද්ධි

පක්ෂීන්ගේ ද දෙවියන්ගේ ද ඇතැම් මිනිසුන්ගේ ද විනිපාතිකයන්ගේ ද කර්ම විපාක වශයෙන් උපන් ආකාශගමනාදිය කර්මවිපාකජ ඍද්ධි නම් වේ.

කෘතපුණ්‍යවත්හුගේ සෘද්ධි

සක්විති රජ සිව්රඟ සෙන් සමග අහසින් ගමන් කෙරෙයි. හේ පෙර කළ කුශලයෙන් උපන්නෙයැ. ජෝතිය ජටිල මෙණ්ඩක ආදි සිටුවරුන්ගේ ද පූර්වකෘත පුණ්‍යයෙන් උපන් ගුණ විශේෂ පුණ්‍යවත්හුගේ ඍද්ධි නම් වේ.

විද්‍යාමය ඍද්ධි

විද්‍යාධරයෙක් මන්ත්‍ර ජප කොට අහසින් යෑම ආදි ඍද්ධි කොටස් කෙරෙයි. මේ විද්‍යායෙන් උපන් හෙයින් විද්‍යාමය ඍද්ධි නම් වේ.

සම්‍යක්ප්‍රයෝග හේතුයෙන් වූ ඍද්ධි

නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්දයාගේ ප්‍රහාණය, අව්‍යාපාදයෙන් ව්‍යාපාදප්‍රහාණය මෙසේ අනුක්‍රමයෙන් රහත් මඟින් සර්වක්ලේශයන්ගේ ප්‍රහාණය සිද්ධ වේ නුයි සම්‍යක්ප්‍රයෝග හේතුක ඍද්ධි යයි කියනු ලැබේ.

ඍද්ධිය පිළිබඳ විශේෂඥානය සඳහා පටිසම්භිදාමග්ග ඉද්ධිකථා, විසුද්ධිමග්ග ඉද්ධිවිධනිද්දේස යන තැන් බලන්න.

ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යය දැක්වීම බුදුහු ශ්‍රාවකයනට ප්‍රතික්ෂේප කළහ. ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යයෙන් ප්‍රතිවේධයක් නොවන හෙයිනි. දික්සඟියැ කේවට්ට සූත්‍රයෙහි දී නාලන්දායෙහි ජනයාගේ ප්‍රසාදය සඳහා ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යය දක්වන භික්ෂු කෙනකුන් නිල කළ මැනැවැයි අයැද සිටි කේවට්ට බමුණුහුගේ බස් බුදුහු නොපිළිගත්හ. මන්ත්‍රජපයෙනුදු බොහෝ ඍද්ධි විශේෂ දක්වනුවන් ඇති හෙයින් ජනප්‍රසාදයට ඍද්ධිය ප්‍රමාණ නොවන හෙයිනි.

බාහිර ශාසනයෙහිදු ඍද්ධිලාභීහු වෙති. ජාතක කථාදියෙහි බෙහෙවින් ඒ දැක්ක හැකිය. අෂ්ට සමාපත්ති හා පඤ්චාභිඥා කර්මවාදී යෝගීනට සාධාරණ වුව ද එය මෝක්ෂයට මාර්ග නොවූයේ විදර්ශනා නැති හෙයිනි.

පාතඤ්ජල දර්ශනයෙහි ද ඍද්ධි උපදවා ලිය හැකි සේ දැක්වෙයි. පෘථිව්‍යප්තේ‍ජෝවාය්වාකාශ යන ‍පඤ්චමහාභූතයන්ගේ විජය හේතුකොටගෙන අණිමාදි අෂ්ටමහාසිද්ධි උදා වෙයි. අෂ්ටමහාසිද්ධි නම්: අණිමා, ලඝිමා, මහිමා, ප්‍රාප්ති, ප්‍රාකාම්‍ය, වශිත්ව, ඊශිත්ව, කාමාවසායිත්ව යන මොහුයි. එහි මහත් වූවහුගේ සූක්ෂමභාවය අණිමා යැ. පුළුන් රොදක් මෙන් සැහැල්ලු බවට පැමිණීම ලඝිමා යැ. පර්වතයක් මෙන් මහත් බවට පැමිණීම මහිමා යැ. රිසි රිසි දෑ ලැබිය හැකි බව ප්‍රාප්ති නමැ. සඳහිරු පිරිමැදීම් ආදිය කරනුයේ මේ සිද්ධියෙනි. ජලයෙහි මෙන් පොළොවෙහි ගැලීම් නැඟීම් ආදිය කළ හැකි බව ප්‍රාකාම්‍ය නම් වෙයි. සවිඥාන අවිඥාන භූතයන් වසඟ කළ හැකි බව වශිත්ව නම් වෙයි. අන්‍යයන් කෙරෙහි ඊශ්වරභාවය පැවැත්වීම ඊශිත්ව නම් වෙයි. නොසිස් වූ සංකල්ප ඇති බව කාමාවසායිත්‍ව නම් වෙයි. මහාභූතයන්ගේ සංයමයෙන් ලැබිය හැකි වූ මේ අෂ්ටසිද්ධිය ඓශ්චර්‍ය්‍ය නමැයි ද මහා සිද්ධි නමැයි ද කියනු ලැබේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඍද්ධි&oldid=10745" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි